Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

April 22, 2024

අකමැතිම

පෙනේ නම් ඔබට මා දැන්
ඔබ කැමතිම රතු ගවුම ඇඳ
ඇවිද යන හැටි තවමත්
මල් ඉහුනු තණ බිම මැද
පාවහන් රහිතව,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
තවම සක්මනට යනහැටි
අප ගිය අතුරු මං වල
නවතිමින් ඉඳහිට
දොඩන්නට නාඳුනන කුක්කෙකුට,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
වැහි බීරමක් එනවිට
නොඉඳ උණුහුම් වී
ඔබ දුන් නිල් පොරෝනය මැද
තෙමෙන්නට යන හැටි
ඔබ අකමැතිම විදිහට

~හෙල්මලී

Digital painting

(මේක මම බොහොම ඉස්සර ලීව කවියක්. හදිසියේ ආයෙත් හම්බවෙලා recycle කරලා ගත්තා. පරණම ෆෑන්ස් ලාට මතක තිබ්බොත් කියලායි ඒ disclaimer එක. චිත්‍රය අලුත්!)




March 20, 2024

daily miracles

ගෙවත්තේ තැන තැන
මල් දරන පැල සිටුවමි
හඬගා කියා එක එක
ඒවායේ නම් උගනිමි

නස්ටර්ෂම්, හයිඩ්රන්ජියා
ජෙරනියම්, ග්ලැඩිඔලි


අතරින් පතර තවමත්
හුරුපුරුදු නම් හඳුනමි
සීත කාලෙට උන් ගැන
තවත් වැඩිපුර ලතවෙමි

සූරියකාන්ත, දාස්පෙති,
හෙන්දිරික්කා, සිනියාස්


එළවලු නැතිව කොහොමද
සිත සිතා ඉඩ සකසමි
තක්කාලි, මිරිස්, තම්පලා
මුගුණුවැන්නද සිටවමි

පොහොරද දිය ද සපයා
ඉවසනු පිණිස හුරුවෙමි
හැම දල්ලකට, පතකට
රහස්, රස බස් කොඳුරමි

හිරු ගිලෙන හෝරාවල
දවසේ වෙහෙස නොතකමි
ගහ කොළ කියන මන්තර
දැන් වෙන වෙනම හඳුනමි

හුස්ම අල්ලා ගතවූ
දින සති මාස නිමවී
මල් පල දරන ගස් වැල්
දැක ප්‍රීතියෙන් ඉපිලෙමි

'ඉවසීම ඇත්නම්
අසිරිමත් දෑ බොහොමයි'
දිසි අදිසි දෙවියෙක්
කොඳුරන හඬට කන්දෙමි

 ~හෙල්මලී~

flowers by Malie G

February 21, 2024

සිහි නොවන දිනයක් නැත


කලබල වීදියක
දස අත දුවන සෙනඟ'තර
නාඳුනන මුහුණක
ඒ අඩ දෑස් සිනහව ම

ඔබ සිහි නොවන දිනයක් නැත


හිස රැඳි ඔටුනු බර
දැනෙන වෙහෙසී හවසක
රිය ගාලේ ඉරි තැල්මක
ඔබ දුන් දම් පැහැ මල ම

ඔබ සිහි නොවන දිනයක් නැත


නොසෙල්වෙන රිය පෙළ මැද
සිරවුණු අනෝරාවක
"පාලු අඳුරු නිල් අහසේ"
තාල සූරයි හදවත

ඔබ සිහි නොවන දිනයක් නැත

~හෙල්මලී~  

Digital painting



June 12, 2023

පැණ


පිළිතුරු නොදෙන බව දැන
අසමි හිත රිදවෙන පැණ
 
'පාලු ද, තනි ද වෙහෙසද?
කැළැල් රිදුමත් අඩු වී ද?
මතකයේ මල් නොපිපෙන ඉම
මා නමින් සොහොනක් වේද?'


-හෙල්මලී- 

Digital Painting 


March 08, 2023

සැඟවෙමි

 


පාට අහුරක උපදිමි
පින්සල් ඉරක නවතිමි
කෝපි සුවඳක පැටලී
මතක නිම්නෙක සැඟවෙමි

~හෙල්මලී~



February 22, 2023

ඔබ සිනාසුණා පමණයි!



සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුණා පමණයි
*


ඉතින් ඔබ දුර ගොස්
කල්පයක් ගත වී මුත්
ඒ තරුව සොයමින්
චක්‍රාවාට පීරමි
ඉබාගාතේ ඇවිදිමි

සිනාවෙන් මත් වී
දෑස අඩවන් කර
නොකී සහසක් දේ
සොය සොයා ලතවෙමි
හඬා නම මුමුනමි

බොහෝ දුර ඈතක
තරුවක්ව නැවතුණු ඔබ
සිනාසෙනවා පමණයි
මතක පිටු පෙරලමි
කවි එකින් එක ගිනිලමි


*චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගයන ගීයකින් කොටසක්

painted with watercolours and ink

January 13, 2023

පොපී මල්? ඕනෑමයි!




පුංචිම පුංචි ගෙදරක්
එක ජනේලයකුත් ඇති
හිරු රැස් එබෙන පැත්තට
ජනේලය තිබ්බාම ඇති
 
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි

ඉර පරවෙලා මියයන
කහ පැහැ හවස් වරුවල
ලේ රත් පාට මල් පෙති
එකින් එක ඉහිරෙනු ඇති

වචනෙන් වචනේ නොකියා
දෑසින් දෑස බලමින්
කවි කතා සිය දහසක්
අපි දෙන්නාට කිව්වැකි
.
.
.
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි

- හෙල්මලී ගුණතිලක

Painting - watercolour on paper

October 22, 2022

එන්න!

හෙමින් අඩි තියමින්
ශාරදය එළඹෙයි
දෙව්දාර කෙල්ලන්
හිසේ මිහිදුම් පළඳි
තෙතබරිත කඳු බෑවුම්
රත් බිම් මලින් සැරසෙයි
එන්න ඇවිදින්නට
අතීතය තව තරුණයි!

කොපුලකින් පිසලූ 
වැහි දියක තෙත සලකුණ
දෙතොල මත ගිලිහුණු 
හාදුවක මුදු මිමිණුම 
එකින් එක එක්කර 
තනමි සැමරුම් මල් මිට 
එන්න ගෙනයන්නට 
නූපදින හෙට දිනයට 


watercolour pencils and ink on paper


September 17, 2022

"ඉස්සර ලීව කවි කෝ දැන්?"

"ඉස්සර ලීව කවි කෝ දැන්?"

අහස ගිනියම් රතු වී
ඉර මිලින වන සිතුවම
අහම්බෙන් ඇස දැවටෙන
හවස්වරු ඉඳහිට ඇත
බිඳුවක් හුස්ම නැවතී
කවියක සියුම් තටු හඬ
හිත පතුළ සර සර ලයි
උපදින්න වෙර දරමින

අනෝරා මහා වැස්සක
තෙමි තෙමි දුර අවිදින
රුවක හුරු පුරුදුම බව
ළඟ නතරවෙයි හදවත
දුර අතීතෙක ළඟ හිඳ
අකුරු එක එක ඇමිණුව
කවියක දුහුල් මතකය
බොඳ වෙයි පෙනී නොපෙනිම

නූපදින කවි කොතැනද
වංකගිරියක සැඟවීද
වැසි දියක තෙතබත් වී
ලිහී විසිරී මැකුණිද
ඉතින් කවි උපදිනු නැත
අතීතය යළි එනු නැත
විසිතුරු සැඳෑවෙන් පසු
එබෙන්නේ ඝන කළුවර

-හෙල්මලී ගුණතිලක
Photo- Bur Marigolds in Cairns QLD


August 09, 2022

මේඝ සක්මන

 


අහස තද දම් පැහැ වී
හිම තුහින තුඩු විසුරන
සැඩ සුළං, සර සරයෙන්
දුර තුරු මුදුන් කළඹන
අකුණු එක එක දිලිසෙන
තෙතබරිත හවස් වරුවල
සුහදිනිය,
නුඹ වෙසෙන අර්ධ ගෝලයේ
කල් ගෙවන්නේ කෙලෙසද?

ලෙහා විහිදා මුහුලස
ඉගිලෙන සුළං මිත වෙත
එබි එබී කවුළු දොර'ගින්
අසමින් ගිගුම් මිමිණුම
කෝපිත් කවිත් උණුහුම්
සමසමව දෑතට ගෙන
සුහදාන
මා වෙසෙන අර්ධ ගෝලයේ
නරඹමිනි මේඝ සක්මන!




sketch- colour pencils on paper


June 10, 2022

අනුකරණය

Translation of the poem 'Mimesis' by Fady Joudah

තම පාපැදියේ හැඬල අතර
පදිංචිව සිටි මකුලුවාට
කරදර කරන්නට
මගේ දියණිය කැමති වූයේ නැත
 
උගේම කැමැත්තෙන්
එතැනින් නික්ම යන තෙක්
ඈ දෙසතියක් බලා සිටියාය
 
'ඔයා ඒ මකුළු දැල කඩා දැම්මොත්
එතැන තමන්ට ගෙදරක් හදන්න
සුදුසු තැනක් නොවන බව
ඌ ඉබේම දැන ගනීවි
ඉන්පස්සේ ඔයාට බයිසිකල් පදින්න පුළුවන්'
කීවෙමි මම
 
'අනෙත් මිනිස්සු සරණාගතයෝ වෙන්නේත්
එහෙම නේද?'
ඈ විමසුවාය

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Fady Joudah is a Palestinian American physician, poet, and translator. He was born in Austin, Texas, and grew up in Libya and Saudi Arabia.

sketch - coloured pencils on paper




February 23, 2022

පියපත

 

අදත් ඉඳහිට දවසක
අළු අඳුරු රුදු හවසක
මතක කඳු දෙදරවමින්
සිහින මතුවන දින ඇත

බෝ දුර ඉගිල යද්දී
නුඹ අතැර ගිය පියපත
අත්ලත මුදු ව සතපා
සිප ගැනෙන හෝරා ඇත

-හෙල්මලී-
23| පෙබරවාරි | 2022

January 04, 2022

Undoing

 


"this
will take time.
undoing you from my blood”
― Nayyirah Waheed, Salt
 
උරහිසක තැවරුණු
උණු කඳුළු බිඳුවක තෙත
ගැඹුරු නිදි පතුලේ වුව
ඇදුම් දෙන දින තව ඇත
 
ලේ නහර මැද දුවමින්
නුඹේ මතක ඇවිලෙන සඳ
කල්පයක් ගතවුණු බව
අදහනු නොහැකි දින ඇත

ඉතින්
නුඹෙන් මා නික්මෙන්නට
තවත් කල් ගතවෙනු ඇත

-line drawing by hand


November 13, 2021

වැස්සද?



අනෝරා වැහි ඉහිරී
දුර ඈත කඳු මත්තෙන්
මතක මීදුම් පැතිරෙන
තෙතබරිත වූ දිනයක

දෙතොලග මඳ සිනාවෙන් 
නුඹ මැවේ නෙතු අද්දර

පිටුවක කොණක් සන් කර
වසා ලා කියවූ පොත
කෝපි උගුරක් තොලගා
නෙතු හෙලයි කඳු යායට

හදවත පුරා මුල් ඇදි
පාළුව, විසල් තනිකම
නුහුලනා දිනයන් ඇත
 
ඔහෙත් හරියට වැස්සද?

June 21, 2021

මීදුම් කවි

ඇතැම් දින ඇත
දම් පැහැති දුර කඳුද නොපෙනෙන
මුදු කුරුළු මිමිණුම්ද නොඇසෙන
කවුළුවෙන් ඔබ්බෙහි
තරුණ තුරු හිස් මත
එකම හිරු බිඳුවක්ද නොරැඳෙන
 
එවන් දිනවල
බිඳක් තාවර වී
කවුළු වීදුරුවේ
තබමි සීතල කොපුලත

අත ළඟ සේම දැවටෙන
සිත ප්‍රමෝදය අවුලන
දැනෙනමුත් නොදැනෙන
මේ මීදුමත් ඔබමය

 

Photo- misty day in Burwood, Melbourne




April 16, 2021

සමහර දවස්

හිරු රැස් බිඳක් ඉහිරී
මල් පෙති අතර දැවටී
මවන මුදු දේදුන්නක්

මල් පොකුරක්ව එන්නේ
ඇත්තටම හසරැල්ලක්!

- Digital painting with oil brush tools






January 05, 2021

නිදි නොනිඳි අතර ඉඩ




“You know that place between sleep and awake, that place where you still remember dreaming? That's where I'll always love you. That's where I'll be waiting.” J M Barrie


විදා සෙනෙහේ දෑස
නතරවී අළු පැහැති අඳුර මැද
ගත වීද කොයිතරම් කාලයක්?
කෙඩෙත්තු ද? හෙම්බත් ද?

ඔය පාලු ඉඩකඩේ සීතලද?

අතින් අත අල්ලාන
ඇවිද ආ හෙල් නිම්න දෙස බලා
අත අතැර වැටි වැටී
ලේ ගැලුව ගොහොරු බිම් අමතකව
නුඹ තවම ඔතැනමයි!

නුඹට, මට
වෙන වෙනම උසුලාන යා යුතුම
බොහෝ බර කුරුස ඇත
තව දුරයි
ජීවිතේ ගිරි දුර්ග

රැයේ ගනඳුර ගෙවී
වෙලෙද්දී තව දිනක ලා එළිය
ඉතින් නුඹ වියැකෙන්න

නිදි නොනිඳි අතර ඉඩ
හෙමි හෙමින්
හැරයන්න!  

Digital painting using oil brush tool 

December 17, 2020

කිංකිණි

ඉරත් ගිනිගෙන අහසක
වැසිත් නැත නෙත් මානෙක
ලෝකයම නැවතී ඇත
සුසුම්ලන මද්දහනක
එහෙත් මල් බර වදුලක
විසිර යන මල් පෙති මැද
වසන්තය සැඟවී ඇත
පුංචි කිංකිණි ගීයක!   


Digital painting using oil brush