Showing posts with label ලියවිලි. Show all posts
Showing posts with label ලියවිලි. Show all posts

February 24, 2026

එකේ පන්තියේ කතාවක්



එකේ පන්තියට ඉර එළිය වැටෙන්නේ අනිත් හැමතැනටම කළින්. ඒකට හේතුව ඉර එළිය පරක්කු දවසටත් හිනා කිචි බිචියෙන් එළිය අරගෙන පොඩ්ඩෝ ටික පන්තියට දුවගෙන එන නිසා. මේ එකේ පන්තිය භාර ටීචර් මිසිස් රොබර්ට්ස්. පන්තියේ පොඩ්ඩෝ ටික එයාට පණ ඇරලා. මිසිස් රොබර්ට්ස්ගේ ආදරේ නිසා මේ දරු දැරියෝ හැමෝම ඉස්කෝලේ එන්නේ හරි උනන්දුවෙන්. 

ඒත් හදිසියේම එක දවසක් උදේ පන්තියේ දොරකඩ ඉඳන් ළමයින්ව පිළිගන්න මිසිස් රොබර්ට්ස් හිටියේ නැහැ. ඒ වෙනුවට එතැන හිටියේ සර් කෙනෙක්, එයාගේ පෙනුමත් නුහුරුයි. එකේ පන්තියේ පොඩ්ඩෝ ටික පන්තියට නොගිහින් දොරකඩ රැඳුනා.

"ගුඩ් මෝනින්, මම මිස්ට විල්ෆර්ඩ්, අද මම තමයි ඔයාලගේ ටීචර්. මිසිස් රොබර්ට්ස් අසනීප වෙලා නිසා අදට විතරක් ඔයාලගේ පන්තිය බලාගන්නේ මම" ඒ සර් ලොකු හිනාවකින් කිව්වා.

ඒත් පොඩ්ඩෝ අතර කසු කුසුවක්. එක්කෙනා දෙන්නා තමන්ගේ ඩෙස්ක් වලට ගිහින් වාඩි වුණත් හැමෝගෙම ඇස් මිස්ටර් විල්ෆර්ඩ් දිහා ඇලවුණු ගමන්මයි තිබුණේ. මේකට හේතුව ඒ ගුරුවරයාගේ හමේ මේ පොඩ්ඩෝ කවදාවත් දැකලා නැති වෙනසක් තිබුණ එක. එයා විටිලයිගෝ එහෙම නැත්නම් සුදු කබර රෝගයට ගොදුරු වුණු කෙනෙක්. මේ පොඩ්ඩන්ට නම් මේක අමුතුම දසුනක් වුණා. 

එකේ පන්තියේ මේ කැළඹීම ගැන නොදැන මිස්ට විල්ෆර්ඩ් පන්තියේ නම් ලකුණු කරන්නයි ලෑස්තිය. ඒත් පන්තිය පුරාවටම අත් පහලවක් විස්සක් ඉස්සිලා. එහෙම තමයි මිසිස් රොබර්ට්ස් එයාලට කියලා දීලා තිබුණේ, ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කෑ ගහන්න එපා, තමන්ට ඒ ප්‍රශ්නේ අහන්න වාරයක් ලැබෙනකම් අත උස්සාගෙන ඉන්න කියලා. 

"ආ මේ පන්තියේ ළමයින්ට උදේම ප්‍රශ්න ගොඩාක් තියෙනවා වගේ, මුලින්ම අපි නම් ලකුණු කරලා ඉමු නේද?" මිස්ට විල්ෆර්ඩ් එකේ පන්තියේ නම් ටික ලකුණු කරන්න පටන් ගත්තා. 

"හරි ඔයා අහන්න පළවෙනි ප්‍රශ්නේ" ඉන්පස්සේ මිස්ට විල්ෆර්ඩ් ඉස්සරහා පේළියෙ අත උස්සාගෙන ඉන්න ගෑනු ළමයෙක්ගෙන් පටන් ගත්තා.

"ඔයාගේ හමට මොකද වුණේ?" ජෙසී බොහොම ඍජුවම මිස්ට විල්ෆර්ඩ්ගෙන් ඇහුවා. ඒ එක්කම උඩට ඉස්සිලා තිබුණු ඉතුරු අත් ටික පහළට වැටුණා. අනිත් අයත් අහන්න ඉඳලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ!

මිස්ට විල්ෆර්ඩ් කලබල වුණේ නැහැ. එයාට පුංචි ළමයින්ගේ ඍජු ප්‍රශ්න පුරුදුයි. 

"බොහොම හොඳ ප්‍රශ්නයක්! මට තියෙන්නේ හමේ රෝගයක්. ඒකට විටිලයිගෝ කියලා කියන්නේ. ඒකෙන් වෙන්නේ හමේ තිබුණු පාට අඩුවෙලා මේ සුදු පාට වැඩි වෙන එක. මට ඒකෙන් කිසිම වේදනාවක් නැහැ. ඒ වගේම ඒක බෝ වෙන්නෙත් නැහැ"

මේක අහලා එකේ පන්තිය ටිකක් නිශ්ශබ්ද වුණා. හැමෝම මේ විස්තරේ තේරුම් ගන්න උත්සාහ කරමින් හිටියේ. 

තවත් අතක් උඩට ඉස්සුණා, ඒ ජමාල්.

"ඒකට ඔයා බේත් බොන්නේ නැද්ද, අපේ තාත්තා කියන්නේ ලෙඩ හොඳවෙන්න නම් බේත් බොන්න ඕන කියලා."

"ඔයාගේ තාත්තා හරි, බේත් බිව්වාම ගොඩාක් ලෙඩ හොඳ වෙනවා තමයි. ඒත් මේක නම් එහෙම බේත් බීලා හොඳ කරන්න අමාරු ලෙඩක්. ඒ වගේ ලෙඩත් මේ ලෝකේ තියෙනවා."

ඒ පාර නම් එකේ පන්තියේ පොඩි කසුකුසුවක් ගියා. බේත් බීලා හොඳ වෙන්නේ නැති ලෙඩ! එහෙම දේවල් ගැන මෙයාලා කළින් දැනගෙන හිටියේ නෑ.

ටික වෙලාවකින් තවත් අතක් උඩට ඉස්සුණා. ඒ කටකාර ඉසබෙලා.

"මිස්ටර් විල්ෆර්ඩ්, ඔයාගේ හම සුදු පාට වෙන ලෙඩේ බෝ වෙන්නේ නෑ කියලා ඔයා කිව්වාට, කොයිකටත් ඔයා අද අපේ පොත් අල්ලන්න එපා හොඳේ." එයා කිව්වා.

ඒක අහලා එකේ පන්තියේ ඉතුරු පොඩ්ඩෝ ටික උඩට ගත්ත හුස්ම පහළට නොදා බලාගෙන හිටියා. ගුරුවරයෙකුට තමන්ගේ පොත් අල්ලන්න එපා කියලා ළමයෙක් කියන එක! මිසිස් රොබර්ට්ස් හිටියා නම් ඉසබෙලාගේ මේ කතාවට මොනවා කියයිද!

හැබැයි මිස්ට විල්ෆර්ඩ් නම් ඉසබෙලාගේ ඒ කතාවෙන් කේන්ති ගත්ත බවක් පෙනුණේ නැහැ.

"මම පොරොන්දු වෙනවා මේක මගෙන් ඔයාලට බෝවෙන්නේ නැහැ කියලා. මට දැන් මේක හැදිලා අවුරුදු දහයක් විතර වෙනවා. ඒත් මාත් එක්ක එකම ගෙදර ඉන්න මගේ නෝනාත් දූලා දෙන්නත් තාම තනි පාටට ඉන්නවා!" එහෙම කියලා එයා හයියෙන් හිනාවුණා. "ඕගොල්ලන්ට මාව විශ්වාසයිද?"

මේකට නම් මුළු එකේ පන්තියෙන්ම හයියෙන් "ඔව්!" කියලා උත්තරයක් ලැබුණා.  

මිස්ට විල්ෆර්ඩ්ගේ හමේ පාටේ වෙනස ගැන එකේ පන්තියට තිබුණු ප්‍රශ්න විසඳුණු බවක් තමයි පෙනුණේ. ඒත් මිස්ට විල්ෆර්ඩ් දවසේ පාඩම පටන්ගන්න යද්දී එක පුංචි අතක් උඩට ඉස්සෙනවා දැක්කා. ඒ අසීෆ්. 

"මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"මිස්ට විල්ෆර්ඩ්, මම හිතන්නේ ඔයා ගහක් වගේ" අසීෆ් තියුණු කටහඬකින් කීවේ පුංචි හිනාවක් එක්ක. 

"එහෙමද? ඒ මොකද ඔයාට එහෙම හිතුණේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"අර බලන්න පිට්ටනිය වටේ තියන ගම් ගස්. ඒවායේ කඳේත් ඔයාගේ හමේ වගේ පාට කීපයක මෝස්‌තර තියෙනවා, හරි ලස්සනයි. ඒ නිසා මම නම් හිතන්නේ ඔයා ගම් ගහක් වගේ!" අසීෆ් දිගටම කියාගෙන ගියා. 

අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ හම ගැන ඉස්කෝලවල ළමයින්ගෙන් එක එක විදිහේ කතන්දර අහලා ඒවාට හොඳට පුරුදුවෙලා හිටිය මිස්ට විල්ෆර්ඩ් මේ කතාව අහලා ටිකක් නිරුත්තර වුණා. 

අසීෆ් ළඟට ඇවිත් එයාගේ පුටුව ළඟ බිමට පහත්වුණු මිස්ට විල්ෆර්ඩ් "ඔයාගේ නම මොකක්ද පුතා?" කියලා ඇහුවා.

"අසීෆ්" අසීෆ් උත්තර දුන්නේ ඇස් දෙක ලොකු කරගෙන

"ඔයාගේ ඒ අදහසට බොහොම ස්තූතියි, අසීෆ්. මම ඊළඟ වතාවේ මගේ හමේ අසනීපෙ ගැන අනෙත් අයට කියද්දී ඔයා කීවා වගේ ගම් ගස් ගැනත් කියන්න ඕන. ඒවගේම ගම් ගහක් දකින හැම සැරයක්ම මට ඔයාව මතක් වෙයි. ස්තූතියි පුතා!" 

මෙහෙම කියලා ආයෙත් තමන්ගේ මේසය ළඟට යද්දී මිස්ට විල්ෆර්ඩ්ගේ ඇස් දෙකේ හීනි දිලිසුමක් තිබුණු බව එකේ පන්තියේ කවුරුවත්ම දැක්කේ නැහැ. 


(සත්‍ය කතාවක් ඇසුරින්)

AI picture


October 24, 2025

කුරුළු කතා


සමහර වෙලාවට පොඩ්ඩක් උවමනාවෙන් බැලුවාම වටපිටාවේ හරි අපූරු දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවට වසන්ත කාලේනේ. මේ දවස්වල අපේ ගේ වටේට කුරුළු කූඩු කීපයක්ම හදලා බව මම දැක්කේ අහම්බෙන්. මේවා ගෙදරටම සම්බන්ධ කරලා හදපු ඇනෙක්ස් වර්ගයේ ඒවා මිසක් ගස් වැල් වල හදපු ඒවා නෙමෙයි. ඒ වගේම මේවායේ ඉන්නේ එක කුරුළු ජාතියකුත් නෙමෙයි, විවිධ ජාතීන් කීපයක්. ඒ spotted dove, blackbird, mud lark කියන කුරුළු වර්ග බව ටිකක් පරීක්ෂාවෙන් බලද්දී මට පෙනුණා. මේ කූඩු වලින් දෙකක්ම අපිට අත දිග ඇරලා අල්ලන්න තරම් කිට්ටුයි, ඒ අතරින් blackbirds ලා නම් බොහොම එඩිතරව එයාලගේ ගේ හදලා තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා දොරකඩම!  හැබැයි Mud lark කූඩුව තියෙන්නේ ගෙදර වහලෙයි වැහි පීල්ලයි අතරේ. ඒ කූඩුව පේන්නේ නැහැ, එයාලා එතැනට යනවා එනවා විතරයි පේන්නේ. කොහොමහරි මෙයාලා හරියට කතා වෙලා වගේ කලින් කවදාවත් නොවුණු විදිහට, එක සැරේ අපේ ගෙදර පදිංචි වෙලා.

කොච්චර වුණත් එයාලා අපේ ගෙදර නවාතැන් ගත්ත අමුත්තො නිසා මම මේ පවුල් කීපය ගැන හොයලා බලන වැඩේ බාර ගත්තා. එයාලාගේ කූඩු පැත්තේ වැඩිය ගැවසෙන්නේ නැතිව, bird bath එකේ නිතරම පිරිසිදු වතුර පුරවලා තියමින් මම මේ ටිකේ එයාලට සහයෝගය දෙනවා. එහෙම කල්පනාවෙන් ඉන්දැද්දී තමයි දවසක් වැහි පීල්ල අස්සේ කූඩු හදපු mud lark ජෝඩුවගේ බිත්තරයක් එයින් එළියට වැටිලා කියලා මම දැක්කේ. උඩ ඉඳන් වැටෙද්දී මගේ මල් පෝච්චියක් උඩට වැටුණු නිසා ඒක නොබිඳී බේරිලා. ඒක ලස්සන නිල් පාට පොඩි බිත්තරයක්. වහලෙට නගින්න බැරි නිසා බිත්තරය ආයෙත් කූඩුවෙන් තියන්නත් බැරිව, ඒකට මොකද කරන්නේ කියන ප්‍රශ්නෙට තමයි මම ඊළඟට මූන දුන්නේ. අන්තිමේදී ටිකක් කල්පනා කරලා  spotted dove ජෝඩුව අහල පහල නැති වෙලාවක් බලලා මම බිත්තරය එයාලගේ කූඩුව ඇතුලෙන් තිබ්බා. පුතා නම් මේ වැඩේට එකහෙලාම විරුද්ධ වුණා. එයා කීවේ මම කළේ unethical වැඩක්, dovesලා ඒ බිත්තරේ වෙනස් බව දැනිලා කූඩුවෙන් බිමට දායි කියලා. ඒත් ජීවත් වෙන්න වාසනාව තියෙනවා නම් වෙන කුරුළු පවුලක හරි ඒ mud lark කුරුළු පැටියා ලොකු වෙයි කියලා තමයි මම හිතුවේ. තාම නම් බිත්තරේ බිම දාලා නැහැ, spotted dove කිරිල්ලී මේ වෙද්දීත් ඔක්කොම බිත්තර ටික රකිමින් ඉන්නවා! තව ඉස්සරහට පියාඹන්න පුරුදු වෙන්න ගිහින් කූඩු වලින් වැටෙන කුරුළු පැටව් ගැන බලාගන්නත් මට රාජකාරි තියෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මගේ කාර්යාලයේ මිතුරියක් එක්ක මම හිනාවෙමින් කිව්වා මේ දවස්වල මට තියෙන අලුත් රාජකාරිය ගැන. ඈ නම් ඒක මට වැඩිය බැරෑරුම්ව අරගෙන ඊට වෙනස් අර්ථකථනයක් දුන්නා. "Birds nesting around your house represent new beginnings and the cycle of life. The universe is giving you a message!" ඈ කිව්වේ එහෙමයි. එහෙම හිතුවොත් එක අතකට ඒකත් හරි. අපේ පුතාත් එයාගේ ඉස්කෝලේ කාලේ ඉවර කරමින්, පියාඹන්න ලෑස්තිවෙන කාලයක් මේ ගෙවෙන්නේ. අපිත් ඉස්සර ඒ වගේම කූඩුවලින් පිටවෙන්න බලන් ඉන්න කාලයක් ගෙව්වා. අද ඊයේ වගේ දැනුණත් ඒ කාලේ පහුවෙලා දශකම කීපයක් ගෙවිලා. එහෙම බැලුවොත් ඇත්තටම මේ new beginnings, growth, cycle of life ගැන පුංචි පාඩමක් තමයි. අපිට එක සැරේ කුරුළු ගුරුවරු තුන්දෙනෙක්ම කියලා දෙන පාඩමක්! 


පින්තූරේ ඉන්නෙ අනුන්ගෙ බිත්තරයකුත් රකින dove කිරිල්ලිත්, දොරකඩම පදිංචි blackbird මහත්මියත්.


July 10, 2025

කුරුළු කතා

ඕස්ට්‍රේලියාවේ වැසියෝ සාමාන්‍යයෙන් magpie කුරුල්ලෝ ගැන වැඩි මනාපයක් නැහැ. ඒකට හේතුව එයාලා බිත්තර දාන කාලෙට එයාලගේ කූඩු තියෙන ගස් ළඟින්වත් කවුරුවත් යනවාට අකැමති නිසා. ඒ වෙලාවට එයාලා  ළඟින් යන එන අයගේ ඔලුවලට කොටන්න වගේ පාත් වෙනවා. මේ කාලෙට බයිසිකල් පදින අයත්, මට වගේ කොණ්ඩ බූසි තියෙන අයත් magpiesලාට පේන්න බැහැ.

Magpie කියන්නේ කපුටෙකුට වැඩිය ටිකක් ලොකු, කළු සුදු පිහාටු තියෙන කුරුල්ලෙකුට. මෙයාලා පොඩි පොඩි කණ්ඩායම් තමයි එකට ඉන්නේ. ගොඩක් වෙලාවට ඒ එක පවුලක දෙමව්පියෝ සහ දරුවෝ බව පේන්නේ වැඩිහිටි තරමේ කුරුළු පැටවුන්ටත් අම්මලා කෑම හොයාගෙන ඇවිත් කවනවා පෙනෙද්දී. මම නම් කැමතිම මෙයාලගේ ගායනයට. පෙනුමයි වැඩයි ටිකක් ගොරහැඩි උනත් මෙයාලගේ සංගීතය නම් හරිම මිහිරියි. හීතල උදේ පාන්දරවලට ගස් වල මුදුන් වලින් එක එක තාන වල magpie ගීත දෝංකාර දෙන එක හරි අපූරු ඕස්ට්‍රේලියානු අත්දැකීමක්.

මීට අමතරව magpie  කුරුල්ලෝ විනෝදයට බර කට්ටියක් කියලා මම අහලා තිබුණට ඒක හරියටම දකින්න ලැබුණේ ළඟදී. පුතාගේ ඉස්කෝලේ ළඟ  magpie  පවුලක්ම සැරිසරමින් ඉන්නවා මම කළින් ඉඳන්ම දැකලා තිබුණා. ළඟදී දවසක් මම මෙයාලගේ හරි ලස්සන සෙල්ලමක් දැක්කා. හවසක, පාලු වෙලා තිබුණු badminton court එකක දැලේ යට දාරයේ මේ  magpie  කණ්ඩායම ම එල්ලිලා උඩු යටිකුරුව පැද්දී පැද්දී හිටියා! එහෙම ඉන්න ගමන් කට්ටියම තරඟෙට වගේ මහා හයියෙන් සින්දුත් කියනවා. ටිකක් වෙලා ඉඳලා බිමට බැහැලා තටු දිග ඇරලා හිරි ඇරලා ආයෙත් උඩු යටිකුරුව එල්ලෙනවා. මේ සෙල්ලමට මාත් කොයි තරම් වශී වෙලා බලාගෙන හිටියද කියනවා නම් වීඩියෝ එකක් වත් ගන්න මතක් උනේ නැහැ නේද කියලාත් මතක් වුණේත් පස්සේ. 

මේ සිද්ධිය දැක්කාට පස්සේ මේ විදිහට තනියම හිතලා විනෝද වෙන්න පුළුවන් තරමට තේරුමක් තියෙන magpie කුරුල්ලන්ට මගේ තියෙන සැලකිල්ල වැඩි වුණා! ඉඳ හිට ගහක් ළඟින් යද්දී ඔලුවට කොටන්න වගේ පාත් වෙන එකටත් එයාලට සමාව දෙන්න පුළුවන් තරමට මම දැන් එයාලා ගැන පැහැදිලා ඉන්නේ.

-හෙල්මලී 

Sketch- Ink on paper



June 09, 2025

වැහි ලිලී මල්



වැහි ලිලී මලක පින්තූරයක් අහම්බෙන් ඇහැ ගැටිලා මට ඒක බලාගෙන චිත්‍රයක් අඳින්න ලොකු ආසාවක් ආවා. වැහි ලිලී මල් දකිද්දී මට මතක් වෙන්නේ අපේ ලංකාවේ ගෙදර මිදුල. අපේ අම්මා ඒ මිදුල පුංචි මල් වත්තක් කරලා තිබුණේ. ලස්සනට මල් හිටවලා තිබුණු පාත්ති වල ගැට්ටේ එක දිගට රෝස පාටත් සුදු පාටත් වැහි ලිලී මල් පඳුරු සිය ගාණක් තිබුණා. මේ මල් ජාතියට මේ නම ලැබිලා තියෙන්නේ ඒවා වැස්ස එක්කම පිපෙන නිසා කියලා තමයි කියන්නේ. ලංකාවේ වැස්සෙන් හිඟයක් නැති නිසාද කොහෙද මේ පඳුරු වල නිතරම මල් පිරිලා තිබුණා. 

අපේ ගෙදර මිදුල සුදු වැලි අතුරලා තිබුණේ. බොහොම කාලෙකට ඉස්සර, ඒ ගෙදරට පදිංචි වුණු අලුත, තාත්තා මිදුලේ කෙළවරක හිටවපු යාපනේ අඹ පැළය පස්සේ කාලෙක මුළු මිදුලම වැහෙන්න අතු විහිදලා අපට හෙවනත්, රසම රස අඹත් දුන්නා. අපි පොඩි කාලේ ඉඳන්ම හැමදාම ඒකෙ අත්තක ඔන්චිල්ලාවක් තිබුණා. මුලදී අපිත්, පස්සේ කාලෙක අපේ ළමයිනුත් මේ ඔන්චිල්ලාව පැද්දා. අඹ ගහෙන් නිතර කොළ වැටිලා මිදුල හැඩි වුණ නිසා ඒ දවස්වල අපේ ගෙදර කවුරු හරි ඉඩක් ලැබුන විදිහට දවසට සැරයක් දෙකක් මිදුල අතු ගෑවා. අක්කලාත් මාත් ඒ දවස්වල මිදුල අතුගාන්නෙ තරඟෙට. පොල් අත්තේ රටාවට මිදුල අතුගාන එක මම ආසාම වැඩක්. 

වැහි ලිලී මල් වලට අමතරව අපේ ගෙවත්තේ ආරුක්කුවකට යවපු rain of gold කහ මල් වැලකුත්, තව සුදු රෝස මල් ආරුක්කුවකුත් තිබුණා. ඒ වගේම ඒ මතකය දිගේ යද්දී අම්මාගේ ආදර සාත්තුව ලබලා මල් පුරවාගෙන හිටිය ඉට්සෝරා සහ ඇන්තූරියම් පඳුරුත්, පෙබරවාරි මාසෙට මනමාලියක් වගේ සැරසෙන නිසා වැලන්ටයින් කියලා අඳුන්වපු රෝස පාට මල් පොකුරු පිරුණු ගහත්, පේර ගහ වැහෙන්න හැදිලා තැඹිලි පාට මල් කිණිති පුරවාගත්ත මකුළු මල් වැලත් මට මතක් වෙනවා. අඹ ගහේ දෙබලක තාත්තා රඳවලා තිබුණු ඕකිඩ් මල් වර්ග එකිනෙකාට තරඟෙට වගේ පිපුණා. හැම පෝයටම 'පරෙවි මල්' කියලා අපි කියපු පරෙවියෙකුගේ හැඩේ ඕකිඩ් මලුත්, වෙසක් මාසෙට විතරක් පිපෙන රෝස පාට ඕකිඩ් මල් වර්ගයකුත් මේ අතර තිබුණා. වත්තේ එක කෙළවරක තිබුණු බට පඳුරු හැඩේට කපලා තියාගන්න එක ඒ කාලේ ලොකු අක්කා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන කරපු වැඩක්. ඒ කාලේ අක්කලාත් මාත් මේ මල් වලටත් ගේ පිටිපස්සේ තිබුණු එළවලු වගාවටත් වතුර දාන්න උදවු වෙනවා. සමහර වෙලාවට එක පාරට හයියෙන් වැහලා පාත්තිවල වැහි ලිලී මලුත් යටකරගෙන මිදුලේ වතුර පිරුණු දවසුත් තිබුණා. එහෙම දාට පොඩි අක්කායි මායි වැස්සේම උදලු අරගෙන මිදුලේ වාරි මාර්ග හදලා වතුර බැස්සුව හැටි මතක් වෙද්දී දැන් නම් හිනා.

අපේ ගෙදර තිබුණේ ටවුමට බොහොම කිට්ටුවෙන් උනත්, මල් හිටවලා, සාත්තු කරලා ගෙවත්ත ලස්සනට තිබුණු නිසා ගේ ඉස්සරහා පාරේ යන එන අය, බස් වල යන අයගේ අවධානයට නිතරම ලක් වුණා. අඳුරන්නේ නැති අයත් ගේ ඉස්සරහින් යද්දී නැවතිලා, මල් වලට සාත්තු කරමින් ඉන්න අම්මාට කතා කරලා ඒ ලස්සන හරියට අගය කළ බව මට මතකයි. ඒ වචන අම්මාට ලොකු සතුටක් ගෙනාවා. ලංකාවේ නොවුනත්, දැන් මමත් මගේම ගෙවත්තක මල් හිටවමින්, පෝර දමමින්, ඒවායේ ලස්සන බලමින් ඉන්න කෙනෙක්. ඉස්සර අපේ ගෙවත්තේ තිබුණු ලස්සන උපද්දන්න අම්මාත් තාත්තාත් කොයිතරම් මහන්සි උනාද, ඒ ගස් වැල් වලට කොයිතරම් ආදරය දුන්නාද කියලා මට හරියටම තේරෙන්නේ දැන්.

දැන් අපේ ඒ මහගෙදරත්, ඒ ලස්සන මල් පිරුණු ගෙවත්තත්, ඒ මල් වලට ආදරය දුන්නු අම්මාත් නැහැ. ඒත් අදටත් වැහි ලිලී මලකින් මතුවෙලා හරි ලේසියෙන් මතක ගොන්නකට පිවිසෙන්නට අපිට තාම පුළුවන් නිසා ඒ කිසිදෙයක්, කිසි කෙනෙක් කවදාවත් මැකිලා යන්නේ නැහැ කියලා මට සහතිකයි. 

Digital painting


March 25, 2025

රාජා



රාජාගේ නම රාජා බව අපි දැනගත්තේ ග්‍රාමසේවකගෙන්. ඒ වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ එයාට හැමෝ ම කීවේ ‘ගොළුවා’ කියලා. ඒක අපහාසෙටවත්, සමච්චලයටවත් කීව නමක් නෙමෙයි. ඇත්තට ම කවුරුවත් එයාගේ නම නොදැන හිටි නිසාත්, දැනගන්න විදිහක් නොතිබුණු නිසාත් කීව නමක්. රාජාට උපතින් කන් ඇහුණේ නැහැ. ඒ නිසා එයාට කතා කරන්නත් බැහැ. ඒත් අවුරුදු ගාණක් තිස්සෙ ම අපි එයාටත්, එයා අපිටත් බොහොම ලෙන්ගතුව ඉන්න ඒක කිසි බාධාවක් වුණේ නැහැ.

රාජා ජීවත් වුණේ ගෙයින් ගෙට ගිහින් කුලී වැඩ කරමින්. උදේට කොතැනක හරි ගෙයක් ළඟින් මතුවෙලා, ඒ අය පවරන ඕනෑම වැඩක් කරන්නත් හවසට දවසේ කුලී අරගෙන අතුරුදහන් වෙන්නත් රාජා පුරුදුවෙලා හිටියා. එයා ජීවත්වෙන තැනක් කවුරුවත් දැනගෙන නොහිටියේ ඒක අහගන්න ක්‍රමයක් නොතිබුණු නිසායි. පවරන ඕනෑම වැඩක් ‘යකෙක් වගේ’ කරන්න රාජා දක්ෂයි. එහෙම වැඩ පවරන්නත් වැඩේ පවරන කෙනාට යම් තරමක සංඥා භාෂා දැනුමක් වුවමනා වුණා. ඒත් රාජාට තියුණු බුද්ධියක් තිබුණු නිසා අනෙත් අය යන්තම් අතින් පයින් කියන දේවල් එයා එක සැණින් තේරුම් ගත්තා.

රාජා අපේ ගෙදර වත්ත පිටියේ වැඩ කරන්න නිතර ම ආවා. කළුම කළු හමක් තිබුණු රජාට තිබුණේ සුදුම සුදු හිනාවක්. රාජා පොඩි ළමයින්ටත්, සත්තුන්ටත් අසීමිතව ආදරය කළා. එයා අපේ වත්තේ වැඩකරන කාලේ ලොකු අක්කා එයාගේ අලුත උපන් පුතා වඩාගෙන ගෙමිදුලට එනවා දැක්කොත් රාජා කරමින් හිටිය ඕනෑම බරපතල වැඩක් නවත්තලා එතැනට යනවා. ඉන්පස්සේ ආදරය පිරුණු ඇස් වලින් ඈත ඉඳන් දරුවා දිහා බලාගෙන ඉන්නවා. තවත් ටික කාලයකින් ඒ පුතා මිදුලේ දුව පැන ඇවිදිද්දී, රාජාට ‘ගෝ මාමා’ කියලා කතාකරද්දී රාජා තමන්ගේ වැඩ නවත්තලා වත්තෙන් කඩාගත්ත මලක්, අහුලාගත්ත පිහාටුවක් පුතාට ගෙනත් දෙන්නේ පිරිකරක් පූජා කරනවා වගේ භක්තියෙන්. රාජාත් කසාද බැඳලා ද, එයාටත් දරුවෝ හිටිය ද කියලා අපිට දැනගන්න වුවමනා වුණත් අනෙත් හැම දේම තේරෙන රාජා අපි සංඥා වලින් ඇහුව ඒ ප්‍රශ්න විතරක් මඟ ඇරියා. 

දරුවන්ට ආදරය වුණා වගේ නෙමෙයි, සත්තුන්ට ආදරේ පෙන්නන්න ගිහින් රාජාට සිහිවටන කීපයකුත් ලැබිලා තිබුණා. එයා වැඩ කළ ගෙවල්වල බල්ලන්ව අතගාන්න ගිහින් උන් රාජාව හපා කාලා මැහුම් දාපු විස්තර රඟපාලා පෙන්නමින් සමහර දවස්වලට රාජා හිනාවුණා. සමහරවිට ඒ බල්ලෝ, තමන් ළඟට එන්න එපා කියලා රජාට අනතුරු අඟවන්න ගොරවද්දී ඒ බව නෑහිලා එයා උන්ව අතගාන්න ගියාද කියලා අපිට ඒවා දකිද්දී හිතුණා. අපේ ගෙදර හිටිය බලු පරම්පරාව නම් රාජාට පණ වගේ ආදරය කළා. රාජා ඉන්න දාට උන් අනෙත් හැම රාජකාරියක් ම අමතක කරලා වත්තේ එයා වැඩකරන තැන කිට්ටුවෙන් ඉන්න හරි කැමැත්තක් පෙන්නුවා. රාජාට කෑමට බත් බෙදලා දෙද්දී බල්ලන්ව එතැනින් එළවලා කූඩුවට නොදැම්මොත් රාජා බිම වාඩිවෙලා තමන්ගේ බත් පිඟානෙන් වැඩි කොටසක් බල්ලෝ එක්ක බෙදාගන්න බව අපි දැනගෙන හිටියා. 

රාජාට තිබුණු බුද්ධිය අප නිරන්තරයෙන් ම පුදුම කළා. ඕනෑම කැලැන්ඩරයක් අරගෙන දවස් හරියට පෙන්නන්න, ලබන සතියේ එයා ආයෙත් එන දවස හරියටම පෙන්නන්න එයා දැනගෙන හිටියා. කැලැන්ඩරේ මාස, දවස් මුද්‍රණය කරලා තිබුණේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට අමතරව කඩේකට ගිහින් බඩු මිලදී ගෙන හරියට ම මුදල් ගෙවලා ඉතුරු සල්ලි ගණන් කරලා ගන්න, දුර ගමන් බස් කීපයක නැඟලා තමන්ට වුවමනා තැනට හරියට ම යන්න එයාට පුළුවන්කම තිබුණේ එක අකුරක්වත් නොදැනයි. ඒ වගේම රාජාට සමාජ බුද්ධියත් හොඳට ම පිහිටලා තිබුණා. රාජා කතෝලික ආගමේ බවට සාක්ෂියකට තිබුණේ බෙල්ලේ එල්ලාගෙන හිටිය ලොකු රිදී කුරුසය. ඒත් අප්‍රේල් මාසයේ අවුරුදු පහු වුණු ගමන් කොහෙන්දෝ හොයාගත්ත බුලත් අතක් අරගෙන එයා කුලී වැඩ කළ හැම ගෙදරට ම යන්න රාජා පුරුදු වෙලා හිටියා. එහෙම ගිහින් ඒ ගෙවල්වල පොඩි ළමයින්ට පවා බුලත් දීලා බිම වැටිලා වඳින්න උත්සාහ කරන රාජාට ඒ ගෙවල් වලින් සතුටු පඬුරුත්, තෑගි බෝගත්, කෑම බීමත් සෑහෙන්න තරමට ලැබෙන බව එයා පළපුරුද්දෙන් දැනගෙන හිටියා. එහෙම යන දවසට බෙල්ලේ එල්ලුණු රිදී කුරුසය ගලවලා තියලා යන්න එයා අමතක කළේ නැහැ. 

මේ වගේ අහිංසක කපටිකම් තිබුණත් රාජාගෙන් කාටවත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතිව එයා වැඩ කළ හැම ගෙදර ම විශ්වාසය රකිමින් එයා රාජකාරි කළා. රාජාට වැඩ පැවරුව හැම කෙනෙකුටම හැමදාම තිබුණු ප්‍රශ්නේ රාජාට පණිවිඩයක් දෙන්නේ කොහොමද කියන එක. එයා හිටිය ඉසව්වක් දැනගෙන හිටියත් කවුරුවත් එයාගේ ගෙදරක් තියෙන තැනක්වත්, පවුලක විස්තරයක්වත් දැනගෙන හිටියේ නැහැ. මේ නිසා රාජාට ම හිතිලා ගෙදරකට එනකම් කාටවත් එයාට පණිවිඩයක් යවලා ගෙන්නගන්න නම් බැරි වුණා. 

රාජා මාස ගාණකින් ආවේ නැති බව කාට කාටත් මතක් වෙන්න ගත්තේ වතු පිටි කැලෑ වෙද්දී, ගස්වල පොල් පැහිලා එක දෙක බිම වැටෙද්දී, වැට ඉණි දිරලා වැටෙද්දී. රාජා නිතර යන එන කීප තැනකින් ආරංචි කරලා බැලුවත් ඒ කිසි තැනකට මාස ගාණකින් රාජා ඇවිත් නැති බව අපිට දැනගන්න ලැබුණා. සමහරවිට එයා ඈත පළාතක වැඩකට යන්න ඇති කියලා හැමෝම කතා වුණා. තවත් මාස කීපයක් ගතවුණා. රාජා ගැන ඇත්තම විස්තරය දැනගන්න ලැබුණෙත් බොහොම අහඹු විදිහට. පන්සලේ කඨින පිංකම දවසේ රාජාගේ ගම් පළාතේ ග්‍රාමසේවක මහත්තයාව අපේ තාත්තාට මුණගැහිලා තිබුණා. රාජාගේ හැඩහුරුකම් එක්ක කියලා විස්තර අහද්දී තමයි තාත්තාට හරි විස්තරය දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වෙද්දීත් රාජා ජීවිතෙන් සමු අරන් මාස කීපයක්. කුළී වැඩකට ගිය පළාතක බුලත් විටක් ගන්න රේල් පාර දිගේ ඇවිදගෙන යමින් හිටිය රාජා මහා දවාලක කෝච්චියක හැප්පිලා මිය ගිහින්. කෝච්චියේ නලා සද්දයත්, වටපිට මිනිසුන්ගේ කෑ ගැහීමත් නොඇහුණු හේතුවෙන් එහෙම අවාසනාවන්ත විදිහට රාජාට ජීවිතෙන් සමුගන්න යෙදිලා තිබිලා. ඒ තරම් කාලයක් කළුම කළු මූනකින් අපිට සුදුම සුදු හිනාවක් දුන්නු මිත්‍රයාගේ ඇත්ත නම ‘රාජා’ කියලාත් අපි දැනගත්තේ  ඒ දුක්බර ආරංචියත් එක්කමයි. 

-හෙල්මලී 

photo- unsplash


November 23, 2024

Second chances

මේක අලුත් ඇරඹුම් ගැන කතාවක්.

මම යන එන මඟ තැනක අලුතින් කැෆේ එකක් විවෘත කළා. මුල ඉඳන්ම ඒක බොහොම සාරෙට පෙනුණා, මාත් ඉඳහිට ඒකට ගොඩ වැදුණා. පටන් ගනිද්දී මේ කැෆේ එක හැඩ කරන්න මල් පැල එක්ක පෝච්චි එහෙම තැන තැන තියලා තිබුණු බව මම දැක්කා. විසිතුරු පැල කියන්නේ මම කැමතිම මාතෘකාවක්. මගේ ළඟත් ඒවගේ පැල සෑහෙන්න ප්‍රමාණයක් තියෙන නිසා මේවාත් නිරායාසයෙන්ම මගේ ඇහැ ගැටුණා.

සති කීපයක් යද්දී කැෆේ එකේ කාර්ය බහුල බව නිසා අලුතින් ගෙනාව මල් පැල ගැන බලන්න ඒකෙ වැඩකරන අයට වෙලාවක් නැති බවත් මම දැක්කා. ඒ සමහර පැල වතුර ටිකක් වත් නැතිව වේලිලා කරවෙලා ගිහින් තියෙනවා දැක්කම මට දැනුණේ දුකක්.

මේ මල් පැල අතරේ තිබුණා magic bean කියන වර්ගයේ පැලයක්. මේකට මෙහෙම කියන්නේ ඒක ලොකු ඇඹරැල්ල ගෙඩියකින් මතුවුණු පැලයක් වගේ පේන නිසා. මගේ ළඟත් සාරෙට හැදුණු magic bean පෝච්චියක් ගෙදර තිබුණා. ඒත් කැෆේ එකේ magic bean පෝච්චිය නම් තිබුණේ බොහොම දුක්මුසු තත්ත්වයක. ඒක තියලා තිබුණෙත් ඉලෙක්ට්‍රික් සුප් මැෂිම ළඟ. වතුර නැතිව වේලිලා තිබුණු පැලයට සුප් මැෂිමෙන් තිස්සෙම රස්නේ හුමාලයත් වැදුණා. කැෆේ එකට යන හැම වතාවෙම මගේ ගෙදර තියෙන මල් පෝච්චිය සැපට වැඩෙන හැටිත් මෙතැන මේ පැලේ දුක් විඳින හැටිත් දැකලා මට හීල්ලුණා. කොහොමත් මල් පැල වලට ආදරේ මම මේවා දැක්කාට වෙන කිසි කෙනෙකුට මේ දේවල් notice වුණු බවක් පෙනුණේ නැහැ.

එක දවසක් මම කැෆේ එකට යද්දී ඒකෙ වැඩ කරන තරුණයා කුණු බෑග් එළියට අරගෙන යමින් හිටියා. ඒ ගෙනියන්න නියමිත කුණු අතරේ කොළ හැලුණු magic bean පෝච්චියත් තිබුණා.

"මේක වීසි කරන්නද හදන්නේ?" මම ඇහුවා

"ඔව් ඒක මැරිලානේ!" එයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා

ඒක අහලා මගේ පපුව පත්තු වුණා. අනේ අසරණ magic bean පැලේ!

"මට දෙන්න, වීසි කරන්න එපා!"මම හිතන්නත් කළින් ඒ වචන මගේ කටින් පැන්නා.

"ඉතින් ඒක මැරිලා නේ!"එයා පුදුමයෙන් කිව්වා.

"මට පුළුවන් එයාට පණ දෙන්න!"මම හිනාවෙලා කිව්වා. ඉන්පස්සේ කණාටු වෙලා තිබුණු පැලයත් එක්ක පෝච්චිය ගෙදර අරගෙන ආවා.

ගෙදර ගෙනැවිත් පෝච්චියත්, පසුත් මාරු කරලා, වතුර දාලා, ඉර එලිය වැටෙන තැනක තියලා මම ඒ පැලයට ආදරේ ටිකක් දුන්නා. ඒ වෙද්දී එකම එක කොළයක් වත් නැති නටුවක් හැටියටයි ඒ පැළය තිබුණේ. ඒ නටුවේ යන්තමට කොළ පාටක් තිබුණු බව විතරයි ඒකෙ ජීවී බවට ලකුණක් හැටියට පෙනුණේ. මේ මීට මාස හයකට කලින්. ඒ මාස හයම ඒ පැළය එහෙමම තිබුණා, මැරෙන්නෙත් නැතිව, හැබැයි ජීවත්වෙන බවට මීට වඩා ලොකු ලකුණකුත් නැතිව. මම එයාට දිගටම ආදරය දුන්නා- එයා දිගටම නිසොල්මන් ව ම හිටියා. "මට එයාට පණ දෙන්න පුළුවන්' කියලා පුරසාරම් දොඩලා ගෙනාවට ඇත්තටම මට ඒක කරන්න බැරි වෙයිද කියලාත් ඔය අතරේදී මට හිතුණා. ඒත් මම උත්සාහය අත් ඇරියේ නැහැ.

ඊයේ පෙරේදා දවසක හදිසියේම ඒ පැළය මේ විදිහට කොළ කීපයක් උපද්දලා තිබුණා! ඉතින් මාස හයකට පස්සේ එයා ජීවත් වෙන්න තීරණය කරලා. මගේ උත්සාහය සාර්ථක වුණු එක ගැන මට දැනුණේ නිමක් නැති සතුටක්.

අපේ ජීවිතත් සමහර වෙලාවට මෙහෙමයි නේද කියලා මට හිතුණා.

සමහර වෙලාවට අපි ඉන්නේ අපිට අහිතකර තැන් වල. එතැනදී අපේ කිසිම දියුණුවක්, වර්ධනයක් නොවී, අපිව ඩිංග ඩිංග විනාස වෙලා යනවා. සමහර වෙලාවට ඒ බව ඊට මැදිවෙලා ඉන්න අපට පේන්නේ නැහැ.

ඒත් අපිට ජීවිතයේ second chances හම්බවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට අපට ආයෙත් දළු දාන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඊට කළින් අපට සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න සෑහෙන්න කාලයක් ඕන වෙන්නත් පුළුවන්. සමහර දේවල් හදිසියට කලබලේට කරන්න බැහැ. එහෙම වෙලාවට පොඩ්ඩක් නවතින්න, හුස්මක් ගන්න, අලුත් බලාපොරොත්තු ඇති කරගන්න බය වෙන්න එපා. ආයෙත් දළු දාන කාලේ අත ළඟයි!

Once you choose hope, anything's possible- Christopher Reeve

~හෙල්මලී~

(මේ මගේ පරණ magic bean පෝච්චිය. දවසක අලුත් එකත් ඒ විදිහට වෙයි!)





July 18, 2024

පළිඟු මැණිකේ මතකද?

කාටද මතක පළිඟු මැණිකේ ටෙලි නාට්ටිය ටී වී එකේ යන කාලේ? මෙහෙම ඇහුවාට මටත් ඒක මුලින් බැලුව හැටි මතක හීනෙන් වගේ තමයි. මේක මුලින්ම ජාතික රූපවාහිනියේ විකාශය වුණේ අසූ ගණන් වල මුල.

1983 අවුරුද්දේ ඉඳන් අවුරුදු කීපයක් අපි සේෂෙල්ස් වල ජීවත් වුණේ. අම්මාත් තාත්තාත් එහේ ගුරුවරු හැටියට රැකියාව කළා, අක්කලාත් මාත් ඉස්කෝලේ ගියා. අසූ ගණන් වල සේෂෙල්ස් වල තව ලංකාවේ පවුල් හත අටක් හිටියා. ඒ අයත් වැඩිහරියක් අපේ දෙමව්පියෝ වගේ ගුරුවරු. රට පොඩි නිසාත්, ලංකාවේ කට්ටිය සීමිත නිසාත් මේ පවුල් ටික හොඳ යාළුවො, නිතරම මුණ ගැහුණා, ට්‍රිප් ගියා, ළමයි එකට සෙල්ලම් කළා.

මේ කාලේ ඒ රටේ රූපවාහිනී නාලිකාවක් පටන් ගත්තම කාලේ. ඒකෙ පොඩි අපිට නම් කාටුන්, ළමා චිත්‍රපටි වගේ දේවල් තිබුණා. හැබැයි වැඩිහිටියන්ට නම් එහෙමකට බලන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා එයාලා මේකට පිලියමක් හොයාගෙන තිබුණා. ඒ තමයි ලංකාවෙන් ටෙලි නාට්‍යය රෙකෝඩ් කරලා ගෙනත් බලන එක. මේ කාලේ ඇත්තටම නම් ලංකාවෙත් ටෙලි නාට්‍යය විකාශය වෙලා තිබුණේ දෙක තුනයි. හැබැයි, ලංකාවෙන් පිට හිටියා කියලා නැහැ අපි ඒවා බැලුවා.

මේ ඩෙක් පීස් හෙවත් VHS යුගය. ඒ කාලේ ටෙලි නාට්ටියක් හරියටම පැය බාගයක් විකාශය වුණා. ඉතින් එක කැසට් එකකට මෙයින් කොටස් පහක් හයක් රෙකෝඩ් කරන්න පුළුවන් වුණා වගේ තමයි මට මතක. මේවා ලංකාවේ කොහෙන් හරි ගත්තාද නැත්නම් ලංකාවේ හිටිය අය ලවා රෙකෝඩ් කරලා තියාගෙන සේෂෙල්ස් වලට ගෙන්නා ගත්තාද කියන විස්තර මට මතක නැහැ- ඒ කාලේ ඉතින් මම පොඩියි නේ! හැබැයි ලංකාවට යන එන අය මේ 'ටෙලි නාට්‍ය කැසට්' නිතරම ගෙනාව බව තමයි මට මතක.

ඉතින් මෙහෙම කැසට් එකක් ලැබුණ දවසට සේෂෙල්ස් වල ලංකාවේ පවුල් හත අට අනිවාර්යයෙන් එකතු වෙනවා. එදාට ඉතින් පොඩි පාටියක් වගේ තමයි. හැමෝම මොනවා හරි කෑම ජාති හදාගෙන එනවා, තාත්තලා ටික බියර් බොනවා. අපි පොඩි උන් ටික හති වැටෙනකම් සෙල්ලම් කරනවා. ලොකු අක්කලා අයියලා බැඩ්මින්ටන් ගහනවා. මේ අතරේ ගෙදර තියෙන ඔක්කොම පුටු ටික ටී වී එක ළඟට එකතු කරගෙන අර ටෙලි නාට්ටිය බලන්න පටන් ගන්නවා. පුටු මදි නම් සමහරු බිම, ඒත් කාටවත් ඒවා ගාණක් නැහැ. මේවා වැඩියෙන්ම රස වින්දේ වැඩිහිටියෝ තමයි. ළමයි නම් මේවා බැලුවේ. එතැනින් එහේ මෙහෙ දුවන ගමන්, හැංගිමුත්තන් සෙල්ලම් කරන ගමන්.

ඔය විදිහට මුල් වතාවට පළිඟු මැණිකේ බලපු වෙලාවෙන් මගේ මතකේ හොඳටම රැඳිලා තියෙන්නේ 'පට් පට් ගාලා සම්තින් එකක් හොයන්න' ඕන බව කීව සූරසේන හෙවත් ශ්‍රියන්ත මෙන්ඩිස්ව. තඩි කැසට් ප්ලේයර් එකකුත් කරේ තියාගෙන පිටරට ඉඳලා ඇවිත් ගමටම සෝබනේ දාන චරිතයක් ඒක. මීට අමතරව මැණික්හාමි ගුරුන්නාන්සේ හැටියට රඟපෑව රෝහණ බැද්දගේ නම් හොඳටම මතක තිබුණේ එයා තාත්තාගේ යාලුවෙක් වුණු, ඉස්සර හොරණ අපේ ගෙදර නිතර ආව ගිය 'රෝහණ අන්කල්' නිසා. චිත්තයක් ඇඳපු මැණිකේ අත්තනායක නුහුරට සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිදලා හැඩ බලන ජවනිකාවක් මතකයි, කෙට්ටුම කෙට්ටු ජැක්සන් ඇන්තනි ගේ මොකක්ද ආදර පලහිලව්වක් මතකයි, තව තොවිලයක් මතකයි. ඇත්තටම නම් ඒ ටෙලි නාට්‍යය බැලිල්ලෙන් මට මතක ඔය ටික විතරයි. ඒත් මට හොඳටම මතක ඒ වයිබ් එක, බොහොම දුරක තිබුණු ලංකාවේ විකාශය වුණු අලුත්ම ටෙලි නාට්‍යයක ඊළඟ කොටස් ටික බලන්න අපේ දෙමව්පියන්ගේ තිබුණු ආසාව, උනන්දුව. ඒවගේම එහෙම හැමෝම එකතු වුණු දවස් වලට අපට ඒ නාට්‍යය ලොකුවට නොතේරුණත් එයාලගේ ඒ සතුට අපටත් බෝ වුණු හැටි. ඇත්තටම පළිඟු මැණිකේ කතාවේ අග මුල තෝරාගන්න මට නම් හම්බවුණේ ඊට අවුරුදු කීපයකට පස්සේ ඒක ලංකාවේදී ආයෙමත් විකාශය වෙද්දී. 

දැන් නම් ලංකාවේ ටෙලි නාට්‍යය ඕන තරම්, ඒවාත් කොටස් සිය ගණන්. ලංකාවේ විකාශය වෙලා ඉවර වුණු මොහොතේම අන්තර්ජාලයෙන් මඟ තොටක ඉඳන් වුණත් අලුත්ම කොටස බලන්න පුළුවන්. දැනුත් ලංකාවෙන් පිට ඉන්න අපි ඉඳලා හිටලා හිතට සෙට් වුණු කතාවක් දෙකක් මෙහෙම බලනවා තමයි. ඒත් ඉතින් ඒවා හිත් වදිනවා අඩුයි. මේ විදිහටම පිට රටක ඉඳන් දශක කීපෙකට එහා බැලුව පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය තාමත් හිතේ සුන්දර හැඟීමක් ඉතුරු කරලා තියෙන්නේ ඒක ඒ කාලේ අමාරුවෙන් බලපු, කලාතුරකින් ලැබුන දෙයක් නිසා වෙන්නැති. එහෙම දේවල් කොහොමත් අගය වැඩිනේ. 


photo- mirrorarts.lk

June 28, 2024

පිස්සුවෙන් පොත් කියවීම

මේ මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ කතාවක්. මේ පාසල මෙල්බර්න් වල ද්විතීයික බාලිකා පාසලක්, ඒකෙ  දැරිවියෝ පොත් කියවිල්ලට බොහොම මනාපයි. මේ විස්තරය පොත් කියවන්න කැමති එකේ ඊළඟ ලෙවල් එක හෙවත් පිස්සුවෙන් පොත් කියවීමේ අවස්තාවක් ගැන.

ළඟදී දවසක හතේ පන්තියේ දැරියක් පුස්තකාලයේදී මාව හොයාගෙන එනවා. අපි ඈ ට අදීති කියමු. ඈ Keeper of the Lost Cities පොත් මාලාවේ පළවෙනි පොත කියවපු බව කියලා දෙවෙනි පොත හොයාගන්න ඈ ට උදවු කරන්න පුලුවන්ද කියලා අහනවා. පොත available බව library system එකේ පෙන්නුවත් පුස්තකාලය පීරලා හොයද්දි අපි දෙන්නටම ඒක හොයාගන්න බැරිවෙනවා. ඒ එක්කම විවේක කාලය ඉවරවෙනවා. පන්තියට යන්න වෙලාව ආවත් අදීතිගේ මූන හොඳ නැහැ. මම ඇගේ නමත් පන්තියත් අහගන්නවා පොත හොයලා ඈට ඊමේල් පණිවිඩයක් තියන්න පොරොන්දු වෙමින්. ඒ වෙනුවෙන් මට ස්තූති කරන ඈ යන්න කලිනුත් 'මම කොහොම හරි ඉක්මණින් මේ දෙවෙනි පොත කියවන්න ඕන' කියලා මට මතක් කරලා දුවලා යනවා. 

Exile- Part 2 of the Series Keeper of the Lost Cities by Shannon Messenger

අදීති ගියාට පස්සේ තව ටිකක් නිවිහැනහිල්ලේ පොත හොයද්දි මට ඒක හම්බවෙනවා. Winter Reads වෙනුවෙන් හදලා තියෙන display එකක ඒක තිබුණු නිසා යි පොත් රාක්ක අතරේ අපි ඒක නොදැක්කේ. ඉතින් මම ඈට email කරනවා පොත හම්බවුණා ඇවිත් අරගෙන යන්න කියලා. ඊළඟ කාලපරිච්ඡේදයේම පුස්තකාලයට එන ඈ  ප්‍රීතියෙන් ඉපිලෙමින් පොත අරගෙන යනවා. 

කතාව පටන්ගන්නේ දැනුයි. මේ සිද්ධියට පස්සේ දවසේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අදීති පුස්තකාලයට දුවගෙන එනවා කළින් දා අරගෙන ගිය පොතත් අතේ තියාගෙන. මාව හොයාගෙන එන ඇගේ ඇස් දෙක දිලිසෙනවා. 

"මම පොත කියවලා ඉවර කළා!" ඈ රහසින් කියනවා. "ඊයේ රෑ නිදාගන්නේ නැතිවම මම පොත කියෙව්වා!" ඈ කියන්නේ ලොකු හපන්කමක් කළ ගානට. 

පුදුම වෙන මම ඒ පොත අතට අරගෙන පෙරළලා බලනවා. පිටු 568ක්! මට හිනා. "ඉතින් අද නිදිමත නැද්ද?" මගේ ප්‍රශ්නෙට "නෑ!" කියලා හිනාවෙමින්ම උත්තර දෙන ඇය පොත් රාක්ක අතරට දුවලා යනවා. අදීති ඊළඟට මා ළඟට එන්නේ Keeper of the Lost Cities පොත් මාලාවේ ඊළඟ පොත් හතර උස්සාගෙන. ඈ ඉන්නේ පුදුම සන්තෝසෙකින්. 

Keeper of the Lost Cities Series bu Shannon Messenger

"නිදිමරන්න එපා ඉතින් අදීති, හෙමින් සැරේ කියවන්න!"පොත් ටික ඇගේ නමට නිකුත් කරන ගමන් මම කියනවා. 

ඈ හිනාවෙලා පොත් ටික අරගෙන දුවලා යනවා. මම මොනවා කිව්වත් ඈ තව දවස් කීපයක් පොත් කියවන්න නිදි මරණ බව නම් ඒකාන්තයි. ඉතින් ආසාවෙන් පොත් කියවීමෙයි පිස්සුවෙන් පොත් කියවීමෙයි වෙනස ඕක තමයි!

මේ පුංචි  සිද්ධියෙන් මගේ හිත අතීතෙට ගියා. දෙයියනේ අපිත් මෙහෙම පිස්සුවෙන් පොත් කියෙව්ව කාලයක් තිබ්බා නේද කියලා මට මතක් වුණා. මම එහෙම කියවපු එක පොතක් තමයි උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය පොත.

වස්සාන සිහිනය පොත ප්‍රකාශයට පත් වුණේ මම ඕලෙවල් පන්තියේ වගේ ඉන්න කාලේ මගේ හිතේ. ඒ කාලේ ඒක පොතක් විතරක් නෙමෙයි උන්මාදයක් වුණා. ඒකෙ තිබුණු නිසඳැස් කෙල්ලෝ පොත්වල අන්තිම පිටුවල ලිව්වා. පෙම්වතුන්ට ලියුම් වල ලියලා දුන්නා. එහෙම වුණාට ඒ වෙද්දී මට නම් මේ පොත කියවන්න ලැබිලා තිබුණේ නැහැ. අලුතින්ම පළ වුණු ආදර කතාවක් අරන් දෙන්න කියලා අම්මලාට කටක් ඇරලා කියන්නත් බැහැනේ. පොත කියවන්න නොලැබුණු එකට විස්සෝපයෙන් කාලය ගතවෙද්දී එක සිකුරාදා හවසක මගේ නෑදෑ අයියා කෙනෙක් අපේ ගෙදර ආවා. එයාගේ ළඟ අලුත්ම වස්සාන සිහිනය පොතක් තිබුණා. අයියාගෙන් පොත ඉල්ලගෙන බලද්දී මට කැමති නම් ඒක කියවන්න පුළුවන් බවත්, ඒත් ඊළඟ දවසේ එයා පාන්දරින් පිටත් වෙලා යද්දී පොත වුවමනා බවත් කීවා. අදීති ට වගේ නෙමෙයි ඔන්න එදා මට නම් deadline එකක් තිබුණා! ඉතින් මම එදා රෑ නිදාගන්නේ නැතිව වස්සාන සිහිනය කියෙව්වා. අවුරුදු දාසයක විතර කෙල්ලෙක් රැයක් තිස්සේ වස්සාන සිහිනය පොත කියවද්දී කතාවේ ඉන්න චාපා සහ කසුන් වෙනුවෙන් අඬන්නත් සෑහෙන්න වෙලාවක් ගතවුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම හිතන්නේ ඒ මහා රෑ පානේ මම ඒ පොතේ තිබුණු නිසඳැස් සටහන් පොතක ලියාගත්තා ද කොහෙද. කොහොමහරි පස්සෙන්දා වෙද්දී කියවලා ඉවර වෙලා පොත අයිතිකාරයාට භාරදෙන්න මට පුළුවන් වුණා. රෑ තිස්සේ නිදිමරලා අඬ අඬ පොත කියවලා ඇස් රතු වෙලා මූන තඩිස්සි වෙලා තිබුණත් මම හිටියේ කොහොමහරි වස්සාන සිහිනය කියවපු ප්‍රීතියෙන් පිනා ගිහින්. ඉන්පස්සේ සෑහෙන්න කාලයක් යනකම් අර පොතෙන් ලියාගත්ත නිසඳැස් කටපාඩම් වෙලා තිබුණු බවත් දැන් නම් ආසාවට එකක් වත් මතක් නොවෙන බවත් ඒ එක්කම කියන්න වෙනවා. 

උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය source refresh.lk


රැයක් නිදිමරාගෙන පොතක් කියවන්න urge එකක් වැඩිහිටි අපිට එන්නේ නැත්තේ පස්සෙන්දාට තියෙන වැඩ ගැන, නිදි මැරුවාම හැදෙන ඔලුව කැක්කුම් ගැන එහෙම මතක් වෙලා අර සිතිවිල්ල යටපත් වෙන නිසා වෙන්න ඕන. ඒත් යෞවන කාලේදී මේ කිසි දෙයක් වැදගත් නැහැ, එකම එක නැවුම් බලාපොරොත්තුවකින් කිසි මහන්සියක් නැතිව motivate වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට මේ වගේ ඇතිවෙන ඇබ්බැහිවීම් ජීවිතේට පාට එකතු කරනවා කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ කාලේ නිදි මරාගෙන වස්සාන සිහිනය කියපු මං වගේ අයත්, මේ කාලේ නිදි මරාගෙන Keeper of the Lost Cities පොත් කියවන අදීති ලා වගේ අයත් හැමදාටම ඉඳීවි! 


June 20, 2024

හොල්මන් ගුහාවට වෙච්ච දේ!


වෙසක් පොසොන් කාලේ ලංකාවේ නම් හැම හන්දියකම දන්සැල් මතු වෙනවානේ. දන්සැල් 'වඳිනවා'කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක්. මේ වතාවේ ලංකාවේ ගංවතුර තිබුණු නිසා දන්සැල් වල දෙන ජාතිත් ඒවා හදන ක්‍රම ගැනත් PHI මහත්තුරු වැඩියෙන් අවධානය යොමුකරනවා කියලා ආරංචි වුණා.

දන්සැල් වලට අමතරව මේ කාලෙට සංවිධානය කෙරෙන ආගමට සම්බන්ධයක් නැති දේවල් දෙදාස් ගණන් වල මුල කාලේදී යම් තහනමකට ලක් වුණා කියලා මතකයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔලු බක්කෝ නටනව වගේ දේවල්. ඒ වගේම දැන් දැන් බුද්ධාගම ගැන අලුත් සැලකිල්ලක් තියෙන නිසා වෙසක් පොසොන් කාලවලට හොල්මන් ගුහාවල්, අපායවල් වගේ දේවලුත් නැවතිලාද කියලා මම නම් දන්නේ නැහැ. මතක ඇති කාලෙක වෙසක් පොසොන් කාලෙට ලංකාවේ නොහිටිය නිසා මේවා ගැන අප්ඩේටඩ් නැහැ.

ලංකාවේ අපේ පළාතේ නම් හොල්මන් ගුහා තහනම් වුණේ ඒ කාලෙමයි. ඒක වුණේ මෙහෙමයි.

එක වෙසක් පෝයකට අපේ පැත්තේ මල්ලිලා සෙට් එකක් හොල්මන් ගුහාවක් හදන්න ලෑස්ති වුණා. මේක ටවුමට කිට්ටුව ලෑස්ති කළ නිසා ටවුමේ තොරණ බලන්න එන සෙනඟ මේකත් බලන්න එයි කියලා තමයි ප්ලෑන් කළේ. ඉතින් වට පිට ඇවිදලා ආධාර එහෙම හොයාගෙන කොල්ලෝ ටික වැඩේට බැස්සා. එක මල්ලි කෙනෙක්ගේ ගෙදරට ඉස්සරහ තිබුණු හිස් ඉඩමේ තමයි මේ ප්‍රොජෙක්ට් එක කෙරුණේ. මෙයාලා කළු ඉටිකොළ වලින් සැහෙන්න දුරට වංගු සහිත ගුහාවක් හදලා, ඒකෙ තැන තැන ඉඳන් නරඹන්නන්ගේ ඇඟට පනින්න වෙස්මූණු දාපු යක්ෂයෝ භූතයෝ ලෑස්ති කළා. ඒ වගේම යටිගිරියෙන් කෑ ගහන සද්ද රෙකෝඩ් කරලා ගුහාවේ තැනින් තැන ඇහෙන්න ස්පීකර් හයිකරන්නත් මේ කොල්ලෝ කුරුට්ටෝ අමතක කළේ නැහැ. මීට අමතරව දෙමව්පියන්ට කණිපින්දම් කියලා එයාලගේ ඇඳිරුම්කම් හරහා මෙයාලා මල් ශාලාවකින් මිනී පෙට්ටියක් පවා හොයාගෙන තිබුණේ ඒකේ මිනියක් වගේ කවුරුහරි වැතිරිලා ඉන්නත් ප්ලෑන් කරමින්. මේ වියදම් කවර් කරන්නත් හදිසියෙවත් ලාබයක් ලැබුණොත් කියලා හිතලාත් හොල්මන් ගුහාවට ඇතුල්වෙන දොරටුවෙන් ටිකට් එකකුත් කඩන්න තමයි නියමිතව තිබුණේ. ඉතින් පලවෙනි දවසේ ඇඳිරි වැටෙද්දී නමෝ විත්තියෙන් කොලු නඩය කළු ඇඳුම් ඇඳලා බය හිතෙන වෙස් මූණු දාගෙන එහෙම ලෑස්ති වුණා. එක කොලුවෙක් අත් දිග සුදු ෂර්ට් එකක්, කළු කලිසමක් එහෙම ඇඳලා මූන සුදු වෙන්න පවුඩර් උලාගෙන අර මිනී පෙට්ටියේ වැතිරිලා හිටියා. එයාට භාරව තිබුණේ, කළුවරේ එතැනින් කවුරු හරි යද්දී එකපාරට නැගිටලා පෙට්ටිය ඇතුළේ ඉඳගන්න.

ඉතින් මෙයාලා හිතුව විදිහටම හොල්මන් ගුහාව ගැන ආරංචිය ලැව් ගින්න වගේ පැතිරිලා තිබුණු නිසා පලවෙනි දවසෙම හොල්මන් ගුහාවේ ඇතුල්වීමේ දොරටුව ළඟ දිග පෝලිමක් තිබුණා. මුල ඉඳන්ම වැල නොකැඩී සෙනඟ ආවා. අර රෙකෝඩ් කරපු යටිගිරියෙන් කෑ ගහන සද්දවලට අමතරව හොල්මන් ගුහාව ඇතුලේ ඉන්න අය බයවෙලා කෑ ගැහුව සද්දෙත් වටපිටේ දෝංකාර දුන්නා. ටිකට් විකිණීමත් ජයටම කෙරුණා. මේ කාලේ 'අක්කලා' කියන කැටගරියට අයිති වෙලා හිටිය අපි කෙල්ලෝ ටික මේ වැඩ වලට කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි හොල්මන් ගුහාව තිබුණු ඉඩමට ඉස්සරහ ගෙදර ඉඳන් ඒකෙ ප්‍රගතිය බලාගෙන ඉන්න අපි අමතක කළේ නැහැ.

රෑ වෙලා හොල්මන් ගුහාව අවට නොහිතුව තරමේ සෙනඟක් එකතු වෙලා හිටිය වෙලාවක එකපාරට ඒක ඇතුළේ කලබලයක් ඇහෙන්න ගත්තා. හොයලා බලද්දී මිනී පෙට්ටියෙන් නැගිට්ට මිනිය දැකලා ගෑනු ළමයෙක් බයවෙලා කලන්තේ දාලා! දැන් මොකද කරන්නේ? වෙස් මූනු දාපු යක්කු භූතයෝ ඔක්කොම එතැනට එකතු වුණා. මේ කලබලේ මැද ප්‍රධාන දොරටුවෙන් අලුතින් සෙනඟ ඇතුල් කිරීම නැවැත්තුවා. ටික වෙලාවක් ගියත් කෙල්ල ට සිහිය එන්නෙම නැති පාටයි. ඉතින් අන්තිමේදී යක්කු භූතයෝ ටිකයි මළ මිනියයි හැමෝම එකතුවෙලා කෙල්ල ව ඉස්සරහ ගෙදරට උස්සගෙන ගිහින් ඒ ගෙදර සෙටියේ හාන්සි කෙරෙව්වා. එයා ඇවිත් තිබුනේ තව යාළුවො ටිකක් එක්ක මිසක් වැඩිහිටියෝ එක්ක නෙමෙයි. ඉතින් ඒ ඉතුරු ගෑනු ළමයි ටිකත් තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා විතරයි. අන්තිමේදී වටපිටේ හිටිය වැඩිහිටියෝ මැදිහත් වෙලා මූනට වතුර එහෙම ගහලා අමාරුවෙන් ඒ දැරිවි ට සිහිය ගත්තා. අමාරුවෙන් ඇස් අරින කෙල්ල ව දැකලා වැඩියෙන්ම සතුටු වුණේ මළ මිනියට හිටිය කොලුවා. වට වුණු සෙනඟ එහා මෙහා කරගෙන ඉක්මනින් එතැනට කිට්ටු වුණු ඒකා කෙල්ලගේ මූන ට පහත් වෙලා

"නංගි, මොකද වුණේ? දැන් ඔයාට සනීප ද?"කියලා ඇහුවා.

යන්තම් සිහිය ආව ගෑනු ළමයා තමන්ගේ මූන ඉස්සරහින්ම දැක්කේ අර මිනී පෙට්ටියේ ඉඳන් කෑ ගහගෙන නැගිට්ට මළ මිනිය. කළින් වතාවේ වගේ නෙමෙයි මේ වතාවේ මළ මිනිය කතාකරනවා! අනේ කෙල්ල ආයෙමත් කලන්තේ දැම්මා! මේක දැකලා මළ මිනියට කට්ටියගෙන් දෝස් මුරේ, වැඩියත්ම එතැන හිටිය වැඩිහිටියන්ගෙන්. අන්තිමේදී කවුදෝ ඇවිත් මළ මිනිය අහකට ඇදගෙන ගියාට පස්සේ තමයි ඒ ගෑනු ළමයාට ආයෙත් සිහිය අරගෙන ගෙදරට ඇරලුවේ.

කොහොමින් කොහොමින් හරි පහුවෙනිදා වෙද්දී හොල්මන් ගුහාවේ සිද්ද වුණු මේ ජවනිකාව ගැන විස්තර පළාතේ පැතිරිලා තිබුණා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කණටත් මේක යන්න වැඩි වෙලාවක් ගිහින් තිබුණේ නැහැ. ඉතින් ඊළඟට වුණේ හාමුදුරුවන්ගෙන් මේ කොලු නඩයට කැඳවීමක් ලැබුණු එක. එතැන සංවිධායක පිරිසෙන් වැඩිහරියක් දහම් පාසල් ශිෂ්‍යයෝ වෙච්ච නිසාත් මේ කැඳවීමට නොගිහින් ගමේ වසන්න ලැබෙන්නේ නැති නිසාත් කොල්ලෝ ටික පන්සලට ගිහින් බොහොම යටහත් පහත් ව හාමුදුරුවෝ ඉස්සරහ හිට ගත්තා ලු.

හාමුදුරුවෝ ඇහුව පළවෙනි ප්‍රශ්නේ 'වෙසක් පෝය සමරන්න හොල්මන් ගුහාව වැදගත් වෙන්නේ කොහොමද?'කියලා ලු!

අන්තිමේදී කොලු නඩේ අර තරම් මහන්සි වෙලා හදපු හොල්මන් ගුහාවට තිත තියන්න වුණා. ඒ විතරක් නෙමෙයි ඊළඟ වතාවේ ඉඳලා මෙහෙම මැරෑටි වැඩ නොකර පන්සලෙන් සංවිධානය කරන දන්සැලටත් වෙසක් කූඩුවටත් සම්බන්ධ වෙන්න හාමුදුරුවෝ එයාලා ව බලෙන්ම පොරොන්දු කරගත්තා ලු.

දැන් මේ කොලු තාත්තලා ඇත්තටම තාත්තලා. මළ මිනියට හිටිය ඉලන්දාරියා එහෙම අපිට නිතර හම්බවෙනවා. එහෙම වෙලාවට මේ පරණ හොල්මන් ගුහා කතා ඇතුළු පරණ කතා වල නොස්ටැල්ජියාවත් විනෝදයත් විඳින්න ලැබෙනවා. ඒත් දන්සැල් වල, හොල්මන් ගුහා වල ආතල් එක ලංකාවෙන් පිට ඉපදිලා හැදෙන වැඩෙන අපේ ළමයින්ට කවදාවත් පහදලා දෙන්න බැරි බව දැනුණාම පොඩි දුකක් නොදැනෙනවා නෙමෙයි. ඒ විස්තර in context මිසක් බාහිරින් විස්තර කරලා තේරුම් ගන්න බැරි දේවල් නේ. ඒත් ඉතින් කවදාහරි උන්ටත් උන්ගේ ළමයින්ට පහදලා විස්තර කරන්න බැරි වෙනම විනෝද ජවනිකා තියේවි!



photo - Unsplash

May 29, 2024

පොත්, කවර සහ සටහන්

අභ්‍යාස පොත් සහ ඒ පොත්වල ලීව සටහන් ගැන ලියවුණු විස්තරයක් දැකලා ඇවිස්සුණු මතකයක් මේක. 

පුංචිම කාලේ නම් අපේ අභ්‍යාස පොත් වලට පිටකවර දැම්මෙත් අපේ නම් ලිව්වේත් තාත්තා. තාත්තාගේ ලස්සන රවුම් අකුරු වලින් අපේ පොත් හැඩ වුණා. ටිකක් ලොකු වෙද්දී මගේ පොත් වලට පිටකවරත් ඉටි කොළත් දාන එක මම ම කරන්න ගත්තේ ඒක මම හරිම කැමති වැඩක් නිසා. ඒ කාලේ පොත් වලට දැම්මේ බ්‍රවුන් පේපර්. මේවා එන්නේ රෝල්වල. ඉටි කොළත් එහෙමයි. පොත් වලට බ්‍රවුන් පේපර් කවරයක් දාලා කවරේ මැද්දේ ලස්සන පින්තූරයකුත් අලවනවා. ගොඩාක් ළමයි මෙහෙම ඇලෙව්වේ වෙසක් කාඩ්. වෙසක් එකට වෙසක් කාඩ් තොග ගණන් හුවමාරු වුන නිසා හැමෝටම ඒවා තිබුණා. ඒ කාලේ අපේ තාත්තා රැකියාව කළේ සේෂෙල්ස් වල. ඊට කලින් අවුරුදු කීපයක්ම අපිත් එහෙ ඉඳලා ඒ වෙද්දී අක්කලාත් අම්මාත් මාත් ලංකාවට ඇවිත් හිටියේ. ඒ වගේම අපි නිවාඩු කාලවලට නිතර එහෙ ගියා. ඒ නිසා මගේ ළඟ 'පිටරට දේවල්' තිබුණා. ඒ කාලේ Mr Men and Little Miss කියලා cartoon එකක් තිබුණා. ඒකෙ පාට පාට චරිත ඉන්න ලොකු පෝස්ටර් එකක් මට හම්බවෙන්න ඇත්තේ මේ ගමනකදී වෙන්න ඕන. ඉන් පස්සේ කාලයක්ම මගේ පොත් වල කවරේ අලවන පින්තූරය අනිවාර්යෙන් Mr Men නැත්නම් Little Miss කෙනෙක් වුණේ ඒ පෝස්ටරේ එයාලා සිය දෙනෙක් විතර හිටිය නිසා! මේ වයසට අනිත් ළමයි නොකරන දේවල් කරන්න පොඩි ආසාවක් තියෙනවනේ කොහොමත්.

තව කාලයක් ගත වෙද්දී පොත් වලට කවර, ඉටිකොළ දැම්මත් ඉස්සරහ කවරේ නම නොලියා ඇතුල්පිටේ නම ලියන්න අපි පටන් ගත්තා. එක තමයි ඒ කාලේ 'ලොකු ළමයි කරන විදිහ.' ඒ වගේම රුවන් වැකියක්, සින්දුවක කෑල්ලක් එහෙමත් ඒ පිටුවේ ලිව්වා. ඒ කාලෙම තීන්ත පෑනෙන් සටහන් ලියන්නත් ලස්සනට පිළිවෙලට මාතෘකා වෙන්කරලා ඡේද බෙදලා ලියන්නත් පටන් ගත්තා මතකයි. තීන්ත පෑනෙන් ලියද්දි වේගයෙන් ලියන්න අමාරු වුණත් එහෙමයි කියලා අපි ඒ ට්‍රෙන්ඩ් එක අත් ඇරියේ නැහැ. මට මතක හැටියට පරණ National Geographic වගේ සඟරා වල ලස්සනම ලස්සන භූමි දර්ශන වලින් මම මේ කාලේ පොත් වලට කවර දැම්මා. මේ සඟරා වල පිටු පාවිච්චි කරන්න නම් පිටු දෙකක් සඟරාවෙන් පරෙස්සමෙන් ඉරලා මැදින් අලවාගන්න ඕන. මූට්ටු නොපෙනෙන්න මෙහෙම අලවාගන්න එකත් එක්තරා කලාවක්!

තවත් කාලයක් ගතවෙලා උසස් පෙළ කාලේ එළඹුණා. මම වාණිජ විෂයන් කළ නිසා ගිණුම්කරණයට ලොකු CR පොතක් ගෙනියන එක අනිවාර්ය වුණා. මේ කාලේ තමයි අපේ පොත් වල කවර දැමීමේ peak එක කියලා කියන්න පුළුවන්. මේ කාලේ වෙද්දී බස් වල ටියුෂන් එහෙම ගිය නිසා පොත් වලට කවර දැම්මේ පොතේ ආරක්ෂාවටත් වඩා අනිත් අයට පේන්නත් එක්ක! මේකට හොඳම උදාහරණය තමයි අර ලොකු CR පොත් වලට තනි සුදු පිටකවරයක් දාලා පිටිපස්සේ කවරේට ලස්සන කලාත්මක කළු සුදු පින්තුරයක් වගේ අලවන එක. මෙහෙම කළේ බස් වල පොත් අතේ අරගෙන යද්දී පිටට පේන්නේ පිටිපස්සේ කවරේ නිසා යි. අනේ ඉතින් අපි මේ තරම් මහන්සි වෙලා කවර දැම්ම පොත් දිහා කවුරුවත් බැලුවද දන්නෙත් නැහැ, අපි හිතුවේ බැලුවාම කියලා තමයි!

කැම්පස් යද්දිත් මම නම් සටහන් ලිව්වේ පොත් වලමයි. කොළ වල ලියන එක මට හරි ගියේම නැහැ. සම්පූර්ණ සටහනම එක ළඟ පෙරළලා බලන්න පුලුවන් විදිහට තියෙන්න ඕන එක මගේ පිස්සුවක් වුණා. පාට පාට පෑන් වලින් ඉරි ඇඳලා, ඊතල ගහලා වැඩ දාලා තමයි මම සටහන් ලිව්වේ. මීට අමතරව මට වේගයෙන් ලියන්න පුළුවන් නිසා මගේ සටහන් බොහෝ වෙලාවට සම්පූර්ණ මට්ටමේ තිබුණා. ඒ නිසා මගේ සටහන් පොත් වලට මගේ බැච් එකේ සගයන්ගෙන් හරි ඉල්ලුමක් තිබුණා. අපි එකතුවෙලා ජපුර කැම්පස් එක ඉස්සරහා ෆොටෝ කොපි කඩ කීපයකටම අඛණ්ඩ බිස්නස් දුන්නා!

ඉතින් මෙහෙම කිව්වට ආසාවට, සිහිවටනයක් හැටියට මේ එක සටහන් පොතක්වත් ළඟ නැහැ. ඉස්කෝලේ කාලේ සටහන් පොත් වලට නම් වෙච්ච දෙයක් මතක නැහැ. ඒ ලෙවල් කාලේ පොත් නම් නෝට්ස් හොයපු වෙන ළමයින්ට දුන්නා වගෙත් මතකයි. කැම්පස් එකේ සටහන් ටික නම් අවුට් වෙලා ගෙදර අරගෙන ගියාට මම මුලින්ම ගිය රස්සාවේදී අහම්බෙන් හම්බවුණ ජුනියර් බැච් එකේ මිතුරෙකුට ඒ ඔක්කොම අනෙත් පැත්තට ගිහින් දුන්නා. ඒ නිසා ඒවාත් නැහැ. කොහොමත් ඉතින් රටකින් රටකට සංක්‍රමණය වෙද්දී ඉස්සර ලීව පොත් වගේ සිහිවටන අරගෙන යන එක කෙරෙන්නේ නැහැනේ.

දැන් මම දකින්නේ පුතා සටහන් ලියන හැටි. එයාලාගේ සටහන් නම් පොත්වලත් ඩිජිටලිත් තියෙනවා. මම කියලාවත් නැතිව පුතා මම ඉස්සර කළ විදිහට පාට පාටින් මාතෘකා ලියලා, සාරාංශ වෙනම හයිලයිට් කරලා පිළිවෙලට රූපසටහන් ඇඳලා ලියන සටහන් දකිද්දී ඉබේම හිත අතීතෙට දුවනවා. ඉතින් සිහිවටන හැටියට මගේ සටහන් පොත් නැතත් කමක් නැහැ කියලා ඒවා දැක්කාම හිතෙනවා.

පින්තූරය - මගේ ළඟ පොත් නැහැ කියලා හිතුවට පොත් දෙකක් තිබුණා. මම කලින් විස්තර කළ විදිහට ලස්සනට කවර දාලා සටහන් ලීව ඒවා නෙමෙයි. එකක් මම බාලාංශේ වගේ කාලේ ගෙදරදී අකුරු පුරුදු වෙන්න අම්මා ලියෙව්ව පොතක් වෙන්න ඕන. මේක අම්මලා මහගෙදර අස්කරලා ඕස්ට්‍රේලියාවට එද්දී ගෙනාව බඩු අතරේ තිබුණේ. අනිත් එක අපි ශිෂ්‍ය නායිකා තනතුරු දැරුව අවුරුද්දේ දේවි බාලිකාවේ ශිෂ්‍ය නායිකා රැස්වීම් වල වාර්තා මම ලීව පොත. ඒ පොතටත් කවරයක් දාලා පින්තූරයක් එහෙම අලවලා! කොහොමින් කොහොමින් හරි මගේ සටහන් පොත් නැතත්, දශක කීපයක් පරණ මේ පොත් දෙක තාම මගේ ළඟ තියෙනවා. 
දෙවෙනි පින්තූරේ ලොකු අක්කාගේ. ඒ පොත්වල කවරේ තියෙන්නේ තාත්තාගේ අකුරු.

               





March 29, 2024

මතක-තාල


 

මේ සටහන පින්තූරේ තියෙන පොත ගැන නම් නෙමෙයි කියලා මුලින් කියන්න ඕන!

Good Friday වෙනුවෙන් ලැබුණු නිවාඩුවේ උදේම ගේ අස්පස් කරලා, මල් පැල වලට සාත්තු කරලා මම තේ එකක් හදාගෙන එළිමහනේ තියෙන සනීප පුටුවට ගියේ අලුතින් අතට ලැබුණු මේ පොත පෙරළලා බලන්න. එසැණින් එහා ගෙදර පැත්තෙන් බොහොම හුරුපුරුදු තාලයක් වාදනය වෙනවා ඇහුණා. ටිකක් කල්පනා කරලා බලද්දී තමයි මතක් වුණේ ඒ ගීතිකාවක් බව. එහා ගෙදර ඉන්නේ බොහොම වයසක ජෝඩුවක්. ඒ දෙන්නා ගෙදරින් එළියට බහින්නෙම නැති තරම්. ඒ නිසා අද පල්ලි යන්නත් අමාරු ඇති. ඒ වුණත් තමන්ගේ ඒ ඇදහීම වෙනුවෙන් එයාලා ගීතිකාවක් වාදනය කරන්න තෝරාගෙන. මගේ හිත මොහොතින් දශක ගානක් ආපස්සට ඉගිලිලා ගියා.

මම පුංචි කාලේ අපි ජීවත් වුණේ සේෂෙල්ස් වල. සේෂෙල්ස් වැසියෝ වැඩිහරියක් බොහොම බැතිමත් කතෝලික අය. එහෙ අපේ ගෙවල් කිට්ටුවෙන්ම තිබුණා Mont Fleuri නගරයේ Good Shepherd පල්ලිය. හැම ඉරිදාම අපිට උදේට පල්ලියේ සීනු හඬ ඇහුණා. පල්ලිය කිට්ටුවෙන් යද්දී නිතරම මේ විදිහටම බොහොම ලයාන්විත ගීතිකා හඬත් හරි ලස්සනට ඇහුණා. අපි කතෝලික නොවුණත් ඒ හඬවල් අපේ ඉරිදා දවස්වලට සුන්දර කමක් එකතු කළා. මට නම් නොදැනුවත්වම ඒ ගීතිකා කටපාඩම් හිටියා.

අක්කලාත් මාත් ගිය ඉස්කෝලේ තිබුණේ පල්ලියට එහාපැත්තෙ. ඒ දවස්වල ඉස්කෝලේ පුංචි පන්තිවල ළමයි ආගම පාඩමට පල්ලියට එක්කගෙන එනවා. කොයිම ආගමක් ගැනවත් ලොකුවට ඔලුවේ නොතිබුණු කාලෙක මම මේ ගමන් වලට හරි ආසයි. එක හේතුවක් තමයි පල්ලියේ ජනෙල් වලට අල්ලලා තිබුණු stained glass රූප වලින් පාට පාටට ඉර එළිය පෙරිලා එන හැටි බලාගෙන ඉන්න ලැබෙන එක. ඒ පාට ආලෝක තීරු පල්ලිය ඇතුළේ පුංචි දිව්‍ය ලෝකයක් මැව්වා. අනිත් හේතුව තමයි එහෙම පල්ලියට ගියාම මේ ගීතිකා හඬ ළඟින්ම ඇහෙන්න ලැබෙන එක. ඒවායේ uplifting ගතියක් පුංචිම වයසේ හිටියත් මට දැනුණා.

කල්පනා කරලා බලද්දී මගේ ළමා කාලයේ සැහැල්ලු සුන්දර සෙල්ලම් මතක එක්ක තැනින් තැන පසුබිම් හඬක් වගේ මේ ගීතිකා හඬත් තියෙනවා.

"Alleluia, Alleluia.."

අන්තිමේදී එහා ගෙදරින් ඇහෙන ගීතිකාවක හඬ දිගේ අවුරුදු ගාණක් ආපස්සටත්, හැතැප්ම දාස් ගාණක් දුරටත් ගිහින් සතුටු මතකයක සැරිසරන්න මට ඉඩ ලැබුණා

The Little Book of Hygge පොතේ අන්තිමට මෙහෙම තියෙනවා

'Happiness consists more of small conveniences or pleasures that occur everyday than in great pieces of good fortune that happen but seldom' - Benjamin Franklin

~හෙල්මලී~


January 30, 2024

බොම්බයි මොටයි

ඉස්සර අපි පොඩි කාලේ හවස් වරු වලට ඈතින් ලාවට වගේ සීනුවක ටිලිං ටිලිං සද්දේ ඇහුනොත් ඒ බොම්බයි මොටයි වෙළෙන්දෙක් බව නොවරදවාම දැනගෙන හිටියා. ඒ කාලේ බොම්බයි මොටයි වෙළෙන්දෝ කවදාවත් බයිසිකල් වල ගියේ නැහැ, ගියේ පයින්මයි. එහෙම පයින් යද්දී ඇවිදින තාලෙට එයාලගේ අතේ තියෙන සීනුවේ සද්දේ තමයි අපට ඒ ඇහුණේ. ඒ සද්දෙට පාරට දුවගෙන ගියොත් අනිවාර්යයෙන් වෙළෙන්දා ව නවත්තා ගන්න පුළුවන් වුණෙත් එයා පයින් ගිය නිසායි. ඒ බොම්බයි මොටයි තිබුණේ මළකඩ කාලා දුර්වර්ණ වුණු ලොකු, උස ඍජුකෝණාශ්‍ර ටින් එකක. ඒකේ උඩ රවුම් පියනක් තිබුණා. බොම්බයි මොටයි වෙළෙන්දා ළඟ හතරැස් කොටු කැපුව පත්තර පිටු කම්බියක අමුණලා තිබුණා. ඒවායේ තමයි බොම්බයි මොටයි ඔතලා දෙන්නේ. ඒ කාලේ රුපියල් දහයකට වගේ අරින් හතරැස් පත්තර කොටුවක් පිරෙන්න බොම්බයි මොටයි ගන්න පුළුවන්. ඒවායේ අතට දැනෙන රළු ගතිය, තද රෝස පාට , දිවේ දියවෙන සීනි රස අදටත් පැහැදිලි ව මතක් කරන්න පුළුවන් මිහිරි මතකයක්. එක තත්පරයෙන් කටේම දියවෙලා ගියත් බොම්බයි මොටයි කියන්නේ ඒ කාලේ හැටියට අපිට ආගමක්!

ටික කාලයක් ගත වෙද්දී පාරවල් වල ඇවිදගෙන යන බොම්බයි මොටයි වෙළෙන්දෝ හිඟ වුණා. සමහර විට එයාලා එනකම් බලාගෙන ඉන්න අපිට වෙලාව නැති වුණා වෙන්නත් පුළුවන්. හදිසියකට වත් එයාලාව දකින්න ලැබුණේ කානිවල්, සංගීත සංදර්ශන වගේ තිබුණ තැන්වල. මම ජ'පුර කැම්පස් එකේ ඉන්න කාලේ ඒකෙ තිබුණු අවුරුදු උත්සවයක් වෙලාවේ මෙහෙම ආව බොම්බයි මොටයි වෙළෙන්දෙක්ගෙන් මායි යාළුවෙකුයි අතේ තිබුණු සල්ලි ඉවර වෙනකම්ම පිස්සු හැදිලා වගේ බොම්බයි මොටයි කෑවා මතක් වෙද්දී දැන් නම් හිනා. ඒ කියන්නේ ඒ වැඩිහිටි වයසෙදිත් අපි වෙනසක් නැතිව බොම්බයි මොටයි ඇදහුවා.

මෑත කාලේදී බොම්බයි මොටයි වල පිටරට වර්ෂන් එක වෙන candy floss නම් ඕනෑතරම් කන්න ලැබිලා තියෙනවා. ඒත් ඒ සිනිඳු candy floss කද්දී අර ඉස්සර ලංකාවේදී මළකඩ ටින් එකෙන් අරන් පත්තර පිටුවේ ඔතලා කෑව රළු බොම්බයි මොටයි තරම් හිත් වැදුණේ නම් නැහැ. ඔය අතරේ තමයි දැන් ලංකාවේ අර පරණ බොම්බයි මොටයි ලස්සනට පැකේජ් කරලා විකුණන්න තියෙන බව මට දැනගන්න ලැබුණේ. මේ සැරේ අපට ලංකාවෙන් ආව රසකැවිලි අතරේ මෙහෙම පොඩි පෙට්ටිවල අහුරපු බොම්බයි මොටයි තියෙනවා දැකලා මට දැනුණේ පරණ යාලුවෙක් දැක්කාම දැනෙන සන්තෝසේ! කවුද හිතුවේ ඒ බිස්නස් එක මෙහෙම ජාත්‍යන්තර මට්ටමේ එකක් වෙයි කියලා.

මේ වයසේ කියලා නැහැ, තාම අපිට හොඳට බොම්බයි මොටයි අදහන්න පුළුවන්!

January 01, 2024

To new beginnings!

 


ටික දවසකට කළින් මල් පැල විකුණන කඩයකින් මල් පැල අරන් එද්දී ඒකෙ පිටවීමේ දොරටුව ළඟ මල් පැල කීපයක් තියලා තියෙනවා මම දැක්කා. බොහොම දුක්මුසු තත්ත්වයේ තිබුණු ඒවායින් පෙනුණේ මරණාසන්න බවක්. අඩු ගාණකට මිළ ලකුණු කරලා තිබුණු ඒ පැල ළඟ "May flourish with some love" කියලා ලියපු පුවරුවකුත් තිබුණා. ඒ වෙද්දී අපට අවශ්‍ය මල් පැල අරගෙන ඉවර වෙලා තිබුණත් මේ අසරණයෝ දෙතුන්දෙනාත් ගෙදර ගෙනියන්න මට හිතුණා. ඒත් ඒවාට ආයෙත් පණ එයිද කියලා නම් ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ.

ගෙදර ගෙනත්, වත්තේ පොඩි ඉඩක් වෙන්කරලා 'ආදරය' ටිකක් දුන්නාම නොහිතූ වේගයෙන් මේ පැල ඔක්කොම දළු දාලා හැදෙන්න ගත්තා. සති කීපයක් ගිය තැන, අලුත් අවුරුද්දේ මුල් දවසට ඒ එක පැලයක් මට මලකුත් උපද්දලා තිබුණා. 

ඉතින් ඔබ සැමටත් මේ 2024 අවුරුද්ද අලුතින් මල් පිපෙන අවුරුද්දක් වෙන්න කියලා මගෙන් මේ ප්‍රාර්ථනාව. 
May this be a year of new beginnings, Happy New Year!

December 14, 2023

'Forget-me-not'

මම ඈට රෙබෙකා කියන්නම්. රෙබෙකා මම කළින් රැකියාව කළ ආයතනයක මගේ ප්‍රධානියා. ඒ රැකියාවට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තෝරලා ගත්තේත් රෙබෙකා. "ඔයාව දැක්ක ගමන් අපේ ටීම් එකට හරියනම කෙනා ඔයා බව මම දැනගත්තා" රැකියාවට ගිය මුල් දවසේ එයා මට එහෙම කීවා. රෙබෙකා පුංචි සිරුරක් තියෙන බොහොම ප්‍රියමනාප, හිනාවෙන් දවස ගෙවන කෙනෙක්. ඒත් ඒ පුංචි ශරීරය ඇතුළේ ඕනෑම අභියෝගයකට ඔලුව කෙලින් තියාගෙන මුහුණ දෙන, හරි කෙලින් තීරණ ගන්න බොහොම ශූර කාන්තාවක් ඉන්න බව මම නොබෝ දවසකින් ඉගෙන ගත්තා.

අපේ කණ්ඩායමේ උන්නු තුන්වෙනියා නිකී. රෙබෙකා අනාවැකි කීව විදිහටම අපි තුන්දෙනා බොහොම ඉක්මණින් හොඳම යාළුවො වුණා. මම සතුටින්ම රැකියාව කළ ආයතනයක් ඒක. අපි ඒ දවස්වල විනාඩි පහට ලොකු තීරණ ගත්තේ උදේ කෑම කන ගමන් මේසේ වටේ වාඩිවෙලා. ලොකු ප්‍රශ්න විසඳුවේ කිට්ටුව තිබුණු කොෆී ෂොප් එකකට ඇවිදගෙන ගිහින් කැපුචිනෝ බොන ගමන්. අපි තුන්දෙනා එක වගේ මහන්සි වෙලා ඒ ආයතනයේ ව්‍යාපෘති කීපයක්ම කළා. මෙහෙම බොහොම සමීපව වැඩකරන අතරේ අපි අපේ විස්තර හැම දෙයක්ම බෙදාගත්තා. ඒ දවස්වල රෙබෙකාගේ තාත්තා ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳිමින් හිටියේ. තාත්තාගේ අසනීපය නිසා එයාලගේ ජීවිතවල ඇතිවුණු හැල හැප්පිලි රෙබෙකා අපි එක්ක කීවා. තාත්තා වෙනුවෙන් නිවාඩු ගන්න ඕන උනාම නිකී ත් මාත් රෙබෙකාගේ වැඩ බෙදාගෙන එයාව නිදහස් කළා.

මෙහෙම කාලය ගතවුණා. එක්තරා කාලයකදී රෙබෙකාත් නිකී ත් මාත් තුන්දෙනාම ඒ ආයතනයෙන් වෙන් වෙලා විසිරිලා ගියා. ඉන්පස්සේ අපි තුන් තැනක වැඩ කළත් මාස කීපයකට වතාවක් වත් මුනගැහෙන්න උත්සාහ කළා. එහෙම මුණගැහුණු වෙලාවල් වලට පරණ කතා මතක් කරලා ඇති තරම් හිනාවුණා. කොරෝනා කාලයෙදී අපේ මේ මුණගැහීම් අතපසු වුණත් දුරකථන ඇමතුමකින් කෙටි පණිවිඩයකින් අපේ යාළුකම් ඒ විදිහටම පැවතුණා. ඒත් ඉන්පස්සේ ටික කලක් යද්දී රෙබෙකා ක්‍රම ක්‍රමයෙන් නිහඬ වුණා. එයාගේ ජීවිතේ තිබුණු කරදර සමනය වෙනකම් එයාට නිදහසේ ඉන්න දෙන්න හිතුව නිසා මම නම් ඒ නිහඬ බව දුරස්වීමක් හැටියට ගත්තේ නැහැ.

මෑත දවසක මට නිකී ව හම්බවුණා. අපි ඒ මුණගැහුණේ සෑහෙන්න කාලෙකින්. දැක්ක ගමන් නිකී දුවලා ඇවිත් මාව බදාගෙන එකපාරට අඬන්න පටන්ගත්තා.

"ඇයි නිකී? මොකක් හරි ප්‍රශ්නයක් ද?" මම පුදුමයෙන් ඇහුවා. නිකී කියන්නේ එහෙම ලේසියෙන් අඬන  කෙනෙක් නෙමෙයි.

"ඔව් හෙල්මලී. ප්‍රශ්නයක් තමයි. මට නෙමෙයි හැබැයි රෙබෙකාට." නිකී කඳුළු අතරින් කීවා. "ඔයාට මේක ෆෝන් එකෙන් කියන්න මට හිත දුන්නේ නැහැ, ඒකයි කළින් නොකීවේ. ඒකට සොරි"

"ඇයි රෙබෙකා ට මොකද?" මම ඇහුවේ කලබලයෙන්.

"රෙබෙකාට.." නිකී අමාරුවෙන් වචන ගැලපුවා. "රෙබෙකාට ඇල්සයිමර් හෙල්මලී. එයා අපේ පණිවිඩ වලට උත්තර එවන්නේ නැති නිසා මම කියන්නෙත් නැතිව බලෙන් වගේ එයාගේ ගෙදරට ගියා. එයා තමයි ගෙදර දොර ඇරියේ. ඒත් එයා මාව ඇඳිරුවේ වත් නැහැ! කාව හම්බවෙන්නද ආවේ කියලා මගෙන් ඇහුවා. එයාගේ මහත්තයා ඉක්මනට ඇවිත් මට විස්තරේ කිව්වා. රෙබෙකා ගෙදර කිසි කෙනෙක් ව අඳුනන්නෙත් නැහැලු" එහෙම කියලා නිකී ආයෙත් මාව බදාගෙන අඬන්න ගත්තා.

ඉතින්, අසනීපයක කුරිරු බව නිසා හරිම කෙටි කාලයක් ඇතුළත බොහොම සුන්දර මනුස්සයෙක් ඒ විදිහට වියැකිලා ගිහින් තිබුණා.

ඇල්සයිමර්, ඩිමෙන්ෂියා වගේ අසනීප ගැන කළින් අහලා තිබුණත්, ජීවිතේ පළවෙනි වතාවට මට සමීපම කෙනෙක් ගැන එහෙම ආරංචියක් ලැබුණාම දැනුණු කම්පනය නිසායි මේ සටහන ලියවුණේ. රෙබෙකාගේ සැහැල්ලු හිනාව මට දැනුත් මැවිලා පේනවා. ඒ දවස්වල තාත්තාගේ ඇල්සයිමර් රෝගය නිසා පීඩිත වෙලා හිටිය ඈට දෛවය දීලා තියෙන්නේ කුරිරු තෑග්ගක්.

මතකය කියන්නේ අපිව අතීතෙට වගේම වර්තමානයට බැඳලා තියන බොහොම සියුම් තන්තුවක්. ඒක ගිලිහුණු දවසට අපිට අපිවම නැතිවෙනවා වගේම අනෙත් අයටත් අපිව නැතිවෙනවා. මතකය අහිමි වුණත් ඒ පුද්ගලයා ජීවත් වෙනවා. පවුලේ අයට, රැක බලාගන්න අයට රෝගියාගේ අතීත මතක එක්ක ගැටෙමින් මතකය හිස් වුණු අලුත් පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න වෙනවා. 

නිකී මුනගැහිලා ආපිට ආවට පස්සේ මට මේ වගේ දේවල් කල්පනා වුණා. සමහර දේවල් අපට වෙනස් කරන්න බැහැ ඒවා ගැන කල්පනා කරන්න විතරයි පුළුවන්. ඒ එක්කම, මතකය අහිමි වුණු රෙබෙකා, ජීවිතේ කලබල අතරේ වුණත් අපි 'අපි' හැටියට ගතකරන හැම මොහොතක්ම වටිනා බව මට මතක් කරලා ගියා කියලාත් හිතුණා.


Have you ever walked along a shoreline, only to have your footprints washed away? That's what Alzheimer's is like. The waves erase the marks we leave behind, and all the sand castles.- Pat Summit


Photo- The perennial version of the Forget-me-not flower, Pentaglottis- captured in the Dandenong Ranges, Melbourne

(පින්තූරය ගැන පසු කතාව- ළඟදී දවසක අපි Dandenong Ranges ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබුණු මඟුල් ගෙදරකට සහභාගී වුණා. ඒක තිබුණේ හරිම ලස්සන පරිසරයක. ඒ ලස්සන බලමින් යද්දී මම අහඹු විදිහට මේ මල් කිනිත්තේ පින්තූරයක් ගත්තා. මම ඒ පරිසරයේ වෙන කිසිම පින්තූරයක් අරගෙන නැති බවත්, ගත්ත මේ මල් කිනිත්ත Forget-me-not වර්ගයේ මලක් බවත් මම දැනගත්තේ ගෙදර ආවාට පස්සේ යි. රෙබෙකා ගැන ආරංචිය මට ලැබුණේ ඊට පස්සේ දවසේ. ඉතින් මේ මල් කිනිත්ත ඈටම තමයි) 

December 03, 2023

හයිඩ්‍රන්ජියා හීන

මම කැමතිම පාට නිල් නිසාද මන්දා මම නිල් හයිඩ්‍රන්ජියා මල් වලට බොහොම කැමතියි. ඒ මල් වල මට නම් අපූරු ලස්සනක් තියෙනවා. මේවා වේලුනාට පස්සෙත් ලස්සන ඉතුරුවෙන මල් ජාතියක්.

මේ ආසාව නිසාම මගේ පහුගිය උපන්දිනේට මම හයිඩ්රන්ජියා පැලයක් අරන් ඇවිත් හිටෙව්වා. "මේකේ නිල් පාට මල් පිපේවි ද?" කියලා මම අහපු ප්‍රශ්නෙට මල් පැල කඩේ ගෑනු ළමයා හිනාවෙලා මට පැහැදිලි කළා හයිඩ්‍රන්ජියා පඳුරක මල් පිපෙන්නේ රෝස පාටින්ද, සුදු පාටින්ද, නිල් පාටින් ද කියන එක තීරණය වෙන්නේ පසේ pH අගය මත බව.. ඉතින් මම හයිඩ්‍රන්ජියා පැලයක් හිටවලා ඒකෙ නිල් මල් පිපෙයි කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්න අතරේ නිල් හයිඩ්‍රන්ජියා පොකුරක මේ ඩිජිටල් චිත්‍රය ඇන්දා.


Hydrangea - digital painting


හිටවලා මාස හතක් විතර ගතවුණු තැන මගේ හයිඩ්රන්ජියා පඳුරේ පුංචි මල් පොහොට්ටු පෙනුණා. මුලදී ඒවා මොන පාටද කියලා හිතාගන්න බැරි නිසා මම ඒ දවස්වල හුස්ම අල්ලාගෙන හිටියේ. ඔන්න දැන් ඒ මල් පොකුරු ටික පිපිලා- ඒවා රෝස පාටයි! මේ රෝස පාට මල් වල එක එක shades දැක්කාම මට මගේ නිල් මල් හීනය අමතක වුණා. පසේ සංයුතිය වෙනස් කරලා මේ මල් වල පාට වෙනස් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියත් එහෙම කරන්නේ මොකටද කියලා හිතුණා.

පෙරලුණු පිට හොඳ බව මම මේ මුල ඉඳන් පාඩමක් ඉගෙන ගනිමින්!


Pink Hydrangeas in bloom



November 05, 2023

ඉසබෙල් ආච්චිගේ හීනය

ඉසබෙල් ආච්චිව මට මුණගැහුණේ බොහොම අහම්බෙන්. අඩි හතරහමාරක් වගේ උස එයා ටිකක් කුදු වෙලා හිටියේ. බැලූ බැල්මට වයස නම් අවුරුදු එකසියපනහක් තරම් විතර පෙනුණා- ඇත්තටම නම් අනූ පහක් විතර ඇති. එයාගේ සුදුම සුදු බොකුටු කොන්ඩේ කොටට කපලා තිබුණා, ඇස් දෙක හිනාවෙන් දිලිසුණා.

ඔය වගේ අතරමඟ දි මුණගැහෙන අහඹු චරිත එක්ක කතාවක් දාගෙන ඉන්න මම කැමතියි. කතා අතරේ මම ඉන්දියාවෙන්ද කියලා ඉසබෙල් ආච්චි ඇහුවා. දැන් යුගේ නම් මෙහෙ කවුරුවත් කාගෙන්වත් ආව රට අහන්නේ නැහැ හිත රිදෙයි කියලා. ඒත් ඉසබෙල් ආච්චි ඊට කලින් යුගේ මගේ හිතේ! මම ලංකාවෙන් බව කිව්වාම  එයා ආවේ ඔස්ට්‍රියාවෙන් බව එයා කිව්වා. ඒ වෙද්දීත් එයාට තිබුණු තද accent එක කොහේ එකක්ද කියලා මම කල්පනා කරමින් හිටියේ. ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු බර ගානක් ගත වුනත් එයාගේ accent එක නැතිවුණේ නැති බව එයා කිව්වා.

I've lost everything else from Austria, but not my accent! එයා එහෙම කිව්වේ හිනාවෙමින් උනත් ඒක ටිකක් දුක කතාවක් බව මට තේරුණා.

ඔහොම සාමීචි කතා කර කර ඉන්දැද්දී ඉසබෙල් ආච්චි මගේ රස්සාව ඇහුවා. ඉන්පස්සේ එයා අවුරුදු හතළිස්පහක් නර්ස් කෙනෙක් හැටියට මේ රටේ වැඩ කළා කිව්වා.

"Then you must have been very busy" මම කිව්වා

"Yes, but I never loved nursing. My passion was always in embalming" ඉසබෙල් ආච්චි උත්තර දුන්නා.

මගේ සාමීචි mode එක එකපාරටම නැවතුණා. ඒ මොකක්ද ඒ පැෂන් එක?? මම හිතුවා එකත් එකටම මට ඉසබෙල් ආච්චි කීව දේ ඇහුනේ වැරදියට කියලා.

මම පොඩ්ඩක් අවුල් වුණා කියලා ඉසබෙල් ආච්චි දැක්කා.

"Do you know what embalming is?"එයා ඇහුවා.

"I do know about embalming, but I am not sure if we are talking about the same thing" මම සැකෙන් වගේ කිව්වා.

"dead people, dead people!"එයා බොහොම උනන්දුවෙන් කිව්වා. ඒක කියද්දී එයාගේ ඇස් තව ටිකක් දිලිසුණා.

මේ අපබ්‍රංසේ අහලා ඉබේ ඇරුණු මගේ කට වහගන්නත් මට අමතක වුණා.

තමන් මතක ඇති කාලෙක ඉඳන් embalming ගැන බොහොම උනන්දුවෙන් හිටිය බව ඉසබෙල් ආච්චි මට විස්තර කළා. එයා ඉස්සර හීන මැව්වේ රස්සාවක් හැටියට embalming කරන්නලු. ඒත් ඒ කාලේ ඒ රස්සාව ඉගෙන ගන්න නම් මාස හයක් embalmer කෙනෙක් යටතේ පඩි නැතිව වැඩ කරන්න නියමිත වෙලා තිබුණා ලු. ඒක මාස හයක් පඩි නොලබා ජීවත් වෙන්න අමාරු කාලයක් නිසා අකමැත්තෙන් උනත් ඉසබෙල් ආච්චි හෙදි වෘත්තිය තෝරාගත්ත බව මට කීවේ හිතේ අමාරුවෙන්. එතකොට නම් ඉගෙන ගන්න අතෙරේම පඩි ලබන හෙද රස්සාවක් කරන්න ඉඩ ලැබුණා ලු.

මේ විස්තරය අහගෙන හිටියාට පස්සෙත් මම හිටියේ shock වෙලා. embalming වගේ දෙයක් කරන්න හීන මවන, එහෙම රස්සාවක් තමන්ගේ dream job එක වුණු ගෑනු කෙනෙක් තියා පිරිමි කෙනෙක් ගැනවත් මම කවදාවත් අහලා තිබුණේ නැහැ. අනික දැන් කාලේ වගේ නෙමෙයි, ඉසබෙල් ආච්චිට ඒ හීනේ තිබිලා තියෙන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර!

මගේ පුදුමේ ගැන වගක් නැතිව ඉසබෙල් ආච්චි දිගටම විස්තර කියමින් හිටියා.

එයා නර්ස් කෙනෙක් හැටියට වැඩ කළේ වැඩිහිටි සාත්තු නිවාසයකලු. ඒවායේ ඉතින් නිතරම වයසක උදවිය මැරෙනවානේ. එහෙම මැරුනාම "අනේ මට මෙයාව embalm කරන්න තිබුණා නම්!" කියලා එයාට හැමතිස්සෙම හිතුනා කියලා ඉසබෙල් ආච්චි කිව්වේ කැකිරි පලමින්. ඒක අහලා මටත් හොඳටම හිනා.

තාම උනත් තමන්ගේ හීනේට යන්න පරක්කු නැහැ කියලා මම ඉසබෙල් ආච්චිට කිව්වේ විහිලුවට වගේ. 

"Well at this rate I could do my own embalm soon!" කියලා එයාත් ඒ හිනාවට එකතු වුණා.

ඉතින් මිනිස්සුන්ගේ හීන කියන ජාති ගැන අපට කවදාවත් පිටින් බලලා තක්සේරු කරන්න බැරි බව ඉසබෙල් ආච්චි නිසා මම අද මුල ඉඳන් ඉගෙන ගත්තා!


 ඉසබෙල් ආච්චිගේ පින්තූරේ අන්දවා ගත්තේ Canva AI tool එකෙන්. 



August 11, 2023

නිහඬ


ජයහඬ ගුවන් විදුලි නාලිකාව- ප්‍රධාන පිවිසුම් ශාලාව

“රයන් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?”

රයන් ගුවන් විදුලි විකාශන මැදිරියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට පා තැබූ සැණින් ප්‍රධාන වැඩසටහන් නිෂ්පාදක ජයවික්‍රම ඔහු අසලට වේගයෙන් ආවේ ඔහු එනතුරු මඟ බලා සිටි ලෙසිනි..

“ඇයි මිස්ටර් ජයවික්‍රම? මට තව ටිකකින් බොස් එක්ක අර ස්පොන්සර්ස් මීටින් එකට යන්න නම් තියෙනවා.” රයන් පැවසුවේ තම දුරකථනයේ දිස් වූ වෙලාව දෙස බලමිනි.

“මේක බොහොම වැදගත් දෙයක් ගැන.” තම හඬ තරමක් බාල කරමින් ජයවික්‍රම පැවසුවේ ය. ඔහු වෙතින් දිස් වූයේ නොසන්සුන් බවකි.

රයන් හිටි පියවරම නැවතුණේ ජයවික්‍රමගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා යි. ඔහු මෙලෙස කලබලයට පත් ව සිටිනු රයන් මින් පෙර දැක තිබුණේ නැත. සාමාන්‍යයෙන් ඔහු මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන සියලු හැල හැප්පීම් සම සිතින් දරාගෙන වැඩ කටයුතු කරන බව ප්‍රචලිත ව පැවතිණි.

“රයන්ලා ට මුකුත් කම්ප්ලේන්ස් එහෙම ඇවිත් තියෙනවද බ්‍රෝඩ්කාස්ට් ඉෂූ එකක් ගැන?” ජයවික්‍රම සාක්කුවෙන් ලේන්සුවක් ගෙන මුහුණ පිසිමින් ඇසුවේ ය. වායු සමනය කරන ලද පිවිසුම් ශාලාවේ දහදිය දමන්නට නම් ඔහු මහත් කැළඹුමකින් පසු විය යුතු බව රයන් ට සිතුණි.

“අපේ ඩිපාට්මන්ට් එකට ඉතින් එක එක කම්ප්ලේන්ස් එනවනේ. කොයි වගේ දෙයක් ගැනද මිස්ට ජයවික්‍රම ඇහුවේ?” රයන් විමසුවේ කුතුහලයෙනි.

මොහොතක් ඔහු දෙස එක එල්ලේ බලා උන් ජයවික්‍රම “එක්කෝ රයන් ඔය මීටින් එක ඉවරවෙලා මාව හම්බවෙන්න එන්නකෝ. මේක දිග කතාවක්.” කියා කොරිඩෝව ඔස්සේ දිගු අඩි තබා ගොස් තම කුටියට වැදී දොර වසා ගත්තේ ය.

ජයවික්‍රම මෙලෙස නොසන්සුන් වන්නට හේතු වූ යම්කිසි ගැටළුවක් ගැන කනිෂ්ඨ සේවකයෙකු වන තමන්ගෙන් විමසන්නේ ඇයිදැයි සිතා ගනු නොහැකි ව රයන් මොහොතක් ඔහු ගිය දෙස බලා සිටියේ ය. මෑත දිනකදී ජයවික්‍රම ගේ පරිගණකයේ ගැටළුවක් ඇති වී රයන් එය විසඳන්නට නම් උපකාර වී තිබිණි. එදා ඔහු කළේ අතපසු ව තිබුණු අප්ඩේට් කිහිපයක් ක්‍රියාත්මක කර ඒ පරිගනකය පණ ගැන්වීම පමණි. මේ ගැටලුවත් ඊට දුරින් හෝ සම්බන්ධ දෙයක් විය හැකිදැයි තවත් තත්පර කිහිපයක් කල්පනා කළ රයන් ඉක්මන් ගමණින් තම රැස්වීම කරා ගමන් කළේ ය.

--------------------------------------------
ඉහළ කොස්වැව, ගල්ගමුව

“කෙල්ලේ මේ රේඩියෝ එකේ බැස්ටි බැහැලා ද බලහං, එක පාරට සද්දේ නැතිව ගියා.”

ලීලාවතීගේ බෙරිහන් හඬ නිවස තුළ වූ නිහැඬියාව බිඳ දැමුවේ ය. එය අසා ඉස්තෝප්පුවේ පාඩම් කරමින් සිටි ඇගේ මිනිබිරිය නොරිස්සුමෙන් හිස ගැස්සී ය.

“අයියෝ ආච්චි, බණ අහන්න කියලා රේඩියෝ එක දාලා දුන්න වෙලාවේ ඉඳන් එක එක කරච්චල් නේ. එක්කෝ සද්දේ මදි කියයි, එක්කෝ වැරදි චැනල් එක කියයි. දැන් ඒ පාර මොකක්ද?” සමන්ති නෝක්කාඩු කියමින් ලීලාවතී වැතිර උන් ඇඳ වෙතට ආවා ය. වසර කීපයක් තිස්සේ එක්තැන් ව සිටින ලීලාවතීගේ ඒකාකාරී දිවියේ පාලු කැපුණේ මේ කුඩා රේඩියෝවෙනි.

“බැට්රි බැහැලා වෙන්න බැහැ ආච්චියෙ, ගිය සතියෙනේ තාත්තා මේකට අලුත් බැට්රි දැම්මේ.” සමන්ති රේඩියෝව අතට ගෙන බලන්නට වූවා ය. “ආච්චි අතපත ගාන්න ගිහින් මොකක් හරි බොත්තමක් වත් එබුනා ද?”

“මම ඔබපු බොත්තමක් නැහැ බං” ලීලාවතී කේන්තියෙන් පිළිතුරු දුන්නා ය. බණ කතාව ආරම්භයේදී දේශනා කරනු ලබන නිමිති පාඨය මේ වෙද්දී මඟ හැරෙන්නට ඉඩ ඇති වීම ඇගේ නොරිස්සුමට හේතු විය. එහෙත් හදිසියේම සමන්ති ඒ මේ අත හරවමින් සිටි රේඩියෝවේ හඬ කලින් මෙන් පැහැදිලි ව නැවත ඇසෙන්නට වූ අතර ඉන් නිකුත් වූ බණ හඬින් කුටිය පිරුණි. මිනිබිරිය අතින් රේඩියෝව උදුරා ගත් ලීලාවතී, එය කනප්පුව මත තබා ඊට වැඳගත්තා ය.

---------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- සාමාන්‍යාධිකාරි ජයත් වංශරත්නගේ කාර්යාලය

“ඔය දෙන්නා කියන දේ මට පැහැදිලි මදි, මොකද්ද මේ කියන බ්‍රෝඩ්කාස්ට් ඉෂූ එක?”

සාමාන්‍යාධිකාරි වංශරත්න රයන් දෙසත් ජයවික්‍රම දෙසත් තම දෑස යැව්වේ මාරුවෙන් මාරුවටයි.

“මෙහෙමයි සර්, අපිට තොරතුරු ලැබුණා - අපි කිව්වට මිස්ට ජයවික්‍රම තමයි මුලින්ම මේක හොයා ගත්තේ..” රයන් කතාව ඇරඹුවේ දත කට පූට්ටු වූ ලෙසින් ඔහු අසල සිටි ජයවික්‍රම කිසිත් නොකී බැවිනි. “අපේ බ්‍රෝඩ්කාස්ට් එක අතරේ වැඩසටහන් අහන අයට ඉඳ හිට විනාඩියක විතර බ්‍රෝඩ්කාස්ට් ලොස් එකක්...”

තම විස්තරය අවසන් කරන්නට රයන් ට ඉඩ නොලැබුණේ වංශරත්න බෙහෙවින්ම කලබල වූ බැවිනි.

“මොකක්? විනාඩියක ලොස් එකක්?? එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද ජයවික්‍රම මේ මනුස්සයා කියන්නේ?”

“නෑ සර්, අපේ පැත්තෙන් වෙන දෙයක් නෙමෙයි, අහන අයගේ පැත්තෙන් මේක වෙන්නේ. හැම තිස්සෙමත් නැහැ, එකම වැඩසටහනත් නෙමෙයි..” ජයවික්‍රම කතා කළේ වචන පටලවමිනි.

නමුත් වංශරත්නට පරල වන්නට ඒ වචන කිහිපය ද ප්‍රමාණවත් විය.

“දැන් කොච්චර කල් ඉඳන් මේක වෙනවාද?” ඔහු ගුගුලේ ය.

“දවස් තුනක් වගේ තමයි සර්, අපි දන්නා තරමට- නේද මිස්ට ජයවික්‍රම?” රයන් තතනමින් පිළිතුරු දුන්නේ ය.

“මෙච්චර කල් මේකේ වැඩ කරලා තමුසේලා දන්නේ නැද්ද අපිට වෙලාව කියන්නේ සල්ලි කියලා? ස්පොන්ස්ර්ස් ලා මේක දැනගත්තොත් මොනවා වෙයිද? ඇයි මීට කලින් මාව කවුරුවත් මේ ගැන දැනුවත් නොකළේ? ” රතු වූ මුහුණින් යුතු ව කෑ ගසන්නට වූ වංශරත්න ඉන්ටකොම් බොත්තම ඔබා “මේරියන්, ලතීෆ්ටයි, ප්‍රියංකරටයි වහාම මාව හම්බවෙන්න එන්න කියන්න” කියා කීවේ දත් මිටි කමින් ය.

තවත් යමක් කියන්නට සැරසී ඒ වචන ගිලගත් ජයවික්‍රම, ප්‍රධාන ශබ්ද ඉංජිනේරුවන් එහි පැමිණෙන තුරු බලා සිටින්නට වූයේ වෙන කළ හැකි කිසිවක් නොවූ බැවිනි.

----------------------------------------------------
ස්ටෙලා ඇපරල් ආයතනය, රත්මලාන

සේවා මුරය ඇරඹෙන්න පෙර ශබ්ද විකාශ යන්ත්‍ර වෙත සම්බන්ධව ඇති පරිගණකයෙන් රේඩියෝ නාලිකාව හරියාකාර ව ක්‍රියාත්මක වේ දැයි සොයාබලන්නට ප්‍රධාන සුපර්වයිසර්වරිය වූ ශාලිකා කිසි දිනක අමතක කළේ නැත. මැහුම් කාර්යයෙහි නියුතු දහස් ගණනක් සේවක සේවිකාවන්ගේ විඩාව නිවුණේ නිෂ්පාදන ශාලාවේ දස අතින් නිරතුරුව ඇසෙන මේ එෆ් එම් හඬිනි. එහෙත් එදින නම් ඈ මේ සඳහා ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත ගියේ පැමිණිල්ලක් ද සහිතවයි.

“අනේ මිස්ට රුචිර, ෆ්ලෝ එකට මීට පස්සේ ජයහඬ දාන්න එපා හරිද?” හෙඩ් ෆෝන් යුවලක් පැළඳ කාර්යාලයේ පරිගණකයක් ඉදිරිපස වාඩි වී උන් තරුණයාට ඈ උස් හඬින් කීවා ය.

“ආ මොකෝ ශාලිකා ජයහඬ එක්ක තරහා වුණා ද?” රුචිර සිනාසෙමින් ඇසුවේ ඈ වෙත හැරෙමිනි. “නැත්නම් ජයහඬේ වැඩකරන කොල්ලා බූට් එකක් තිබ්බා ද?” ඔහු හඬ බාල කර ඇසුවේ ය.

“අනේ මොන කොල්ලෝ ද මිස්ට රුචිර..” ශාලිකා සිලි බිලි ගා සිනාසෙන්නට විය. “ජයහඬේ සැරෙන් සැරේ සද්ද නැතිව යනවා විනාඩියක් දෙකක්. ඊයේ රෑ ශිෆ්ට් එකේ දෙසැරයක් ම වුණා.”

“සද්ද නැතිව යනවා? එහෙම වෙන්නේ කොහොමද? ඊයේ කරන්ට් ගිහිල්ලාත් නැහැනේ? ඒ ගියත් ජෙනරේටර් ඕන් නේ” රුචිර නළල රැළි කර ගත්තේ ය.

“ඔන්න ඔහේ වෙන එකක් දාමු මිස්ට රුචිර. නදී කිව්වා හාට් එෆ් එම් හොඳයි කියලා. ඒකෙ නන්ස්ටොප් සින්දු යනවාලු. අද ඒක දාමු.”

“ආ නදී ට කියන්නකෝ මම එයා වෙනුවෙන් මගේ හාට් එක වුණත් දාන්නම් කියලා!” රුචිර සිනාසෙමින් පරිගණකය වෙත හැරුණේ අලුත් රේඩියෝ චැනලයේ වෙබ් අඩවිය සොයන්නටයි.

-----------------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රැස්වීම් කාමරය 02

“සර් අපි ඔක්කොම සිස්ටම්ස් බොහොම පරෙස්සමෙන් චෙක් කළා, මේක වෙන්න කිසිම විදිහක් නැහැ.” ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් රැස් ව සිටි කළමනාකරණ කණ්ඩායමට කරුණු දක්වමින් කියා සිටියේ ය. ඔහු පැහැදිලි ව කතා කළ ද, මේසය මත වූ ඔහුගේ දකුණු අත යන්තමින් වෙව්ලන බව රයන් ට පෙනුණි.

“වෙන්න විදිහක් නැහැ කියන්නේ කොහොමද ඕයි, මේ වෙලා තියෙන්නේ!” එය අසා වංශරත්න පුපුරා හැලෙන්නට විය. සාමාන්‍යයෙන් කතාකරද්දී ඔහු කිසිවිටෙක වත් ‘ඕයි, තමුසේ’ වැනි වචන යොදා නොගත් බැවින් ඔහු ද සිටින්නේ ඉමහත් පීඩනයකින් බව පැහැදිලි විය.

ඒ පිළිතුර හමුවේ ලතීෆ් නිහඬ විය. රැස් ව සිටි සෙස්සන් ද මුහුණු මුහුණු බලාගත්තේ ඔවුන් ට ද මීට එකතු කරන්නට දෙයක් නොතිබුණු බැවිනි.

මොහොතක් තම හිස දෑතේ රුවාගෙන කල්පනා කළ වංශරත්න හිස ඔසවා රයන් දෙස බැලුවේ ය.

“රයන්, තමුසේ මේක හොයාගන්න මුල් වුණා නේ. හොයාගත්ත දේවල් වල සමරි රිපෝට් එකක් දෙනවා ටීම් එකට.”

රයන් නැගී සිටියේ තරමක් චකිතයෙනි. මාධ්‍ය ක්ෂේත්‍රයට ආධුනිකයෙකු වූ ඔහු තවමත් මෙහි සේවයට පැමිණ ගෙවී තිබුණේ වසර කීපයකි. ගුවන් විදුලි නාලිකාවේ ඉහළම තලයේ කළමණාකරුවන් රැස් ව සිටි මේ රැස්වීමට ඔහු තල්ලු වී ආවේ ජයවික්‍රම ඔහුවත් මේ ගැටලුවට පටලවා ගත් නිසා ය.

“මේ පහුගිය දවස් දහය ඇතුළත විනාඩි දාහතක මුළු එකතුවක බ්‍රෝඩ්කාස්ට් ලොස් එකක් අපි හොයාගෙන තියෙනවා. මේ හැම එකක්ම තත්පර හැටත් සීයත් අතර ප්‍රමාණයක්. මේවා හැම වර්ගයකම වැඩසටහන් අතරේදී වෙලා තියෙනවා- ඒ කියන්නේ ළමා වැඩසටහන්, ආගමික වැඩසටහන්, විද්වත් සකච්ඡා වගේ ඒවා. මෙතැනදී වෙන්නේ අපේ පැත්තෙන් බ්‍රෝඩ්කාස්ට් එක යද්දී අසන්නාගේ පැත්තෙන් විනාඩියක වගේ නිශ්ශබ්දතාවයක් සිද්ධ වෙන එක. මේ ගැටලුව හොයාගන්න වැඩියත්ම අමාරු වුණේ අපේ පැත්තෙන් වෙනසක් නොවුණු නිසා යි.” රයන් තමන්ගේ සටහනින් දෑස ඔසවා මේසය වටා රැස් ව සිටි පිරිස දෙස බැලුවේ ය. ඒ සෑම මුහුනකම වූයේ බැරෑරුම් පෙනුමකි.

වංශරත්න ද සිය අසුනෙන් නැගිට කාමරය සිසාරා තම දෑස යැව්වේය.

“හරි දැන් වෙලා තියෙන දේ හැමෝම දන්නවනේ. ඒ නිසා වෙන්න බැහැ කිය කිය මෝඩ තර්ක ගේන්න ලැස්ති වෙන්න එපා. මේ හැම කෙනෙක්ම- හැම කෙනෙක්ම අනෙත් හැම වැඩේම නවත්තලා මේකට හේතුවක් හොයන්න ඕන මේ දැන්ම! ස්පෙෂලි යූ!” ඔහු දබර ඇඟිල්ල උරුක් කළේ ලතීෆ් වෙතට ය.

“මේ ගැන අනෙත් රේඩියෝ චැනල් දැනගත්තොත් නිකම් දිවි නහ ගත්තා වගේ තමයි! ඒ නිසා පිටට ලීක් වෙන්න කලින් වහාම මේක හරිගස්සාගන්න ඕන. කවුරුහරි මේ ගැන පිටට එක හුස්මක් පිඹලා තිබ්බොත්, මම නරක මිනිහා කියන්න එපා. එච්චරයි. ” එක දිගට කියූ ඔහු නැවතත් අසුනට කඩා වැටුණේ පරාජිතයෙකු ලෙසිනි.

----------------------------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

“මේ වතාවේ පෘතුවියෙන් දත්ත විශාල ප්‍රමාණයක් හොයාගන්න පාර පෙන්නුව J13 ඇතුළු කණ්ඩායමට මේ සම්බන්ධයෙන් උසස් වීමක් ලැබෙන බව මම දැනුම්දෙන්න සතුටුයි. ඇත්තටම ගුවන් විදුලි නාලිකාවක් පාවිච්චි කරලා අසන්නන් ගේ සිතිවිලි ඇතුළට යනවා කියන එක මීට කළින් කවදාවත් අපට කරගන්න බැරිවුණු දෙයක්. මේ වෙද්දී අපට මනුෂ්‍යයින් ගේ සිතිවිලි රටා ගැන බොහොම වැදගත් දත්ත එකතුකරන්න අවස්තාව ලැබිලා තියෙනවා. මේ සිතිවිලි දත්ත කථනය බවට හරවා ගැනීමට ඉදිරියේදී කරන පර්යේෂණ වලට බොහොම ප්‍රයෝජනවත් වෙයි”

කණ්ඩායමේ නායක S215 මේ විස්තර සහිත තම සන්නිවේදන පුවරුව රැස් ව සිටි කණ්ඩායම වෙත පෑවේ ය. පැසසුම් ලබමින් සිටි J13 ගේ සන්නිවේදන පුවරුව අභිමානයෙන් මෝස්‌තර වැටෙමින් තිබිණි.

“ඒත්..” රැස් ව සිටි කණ්ඩායමේ කෙනෙක් තම පුවරුව එසවූයේ ප්‍රශ්නයක් ඇති බව පෙන්වමිනි.

“අසන්නන්ගේ රේඩියෝ තරංග නවත්තන්නේ නැතිව අපිට මනුෂ්‍ය සිතිවිලි වලට පිවිසෙන්න බැරි ද? එහෙම පුළුවන් වුණා නම් අපිට මේ කුඩා කාල ඛණ්ඩ වෙනුවට ලොකු ඛණ්ඩ හරහා එකතු කරගත්ත සිතුවිලි පාවිච්චි කරන්න පුළුවන් නේද? මොකද රේඩියෝවෙන් අහන දේ ට බාධා වුනාම එයාලගේ සිතිවිලි හරි ඉක්මණින් නොසන්සුන් වර්ගයේ ඒවා වෙනවානේ.”

S215 ගේ සිතුවිලි පුවරුව නොරිස්සුම් නිල් එළියකින් දිලෙන්නට විය.

“එහෙම කරන්න පුළුවන් නම් අපි නොකර ඉන්නේ නැති බව ඔබ දන්නවානේ. මෙහෙම හරි ඒ ගුවන් විදුලි නාලිකාව ඇතුළට පිවිසෙන්න ඒ පරිගණක පද්ධතියේ වෛරසයක් පාවිච්චි කරන්නට සිද්ධ වුණු බව ඔබට මතක ඇති. ගුවන් විදුලි තරංග ගැනම අපි මේ තරම් වෙහෙසෙන්නේ ඒවා පාවිච්චි කරලා මනුෂ්‍යන්ගේ ශ්‍රවන ඉන්ද්‍රියන් හරහා බොහොම පහසුවෙන් මනසට පිවිසෙන්න පුළුවන් නිසා යි. හැබැයි ඔබ කීව එක දෙයක් ඇත්ත. විකාශය ට බාධා වුණු විට මනුෂ්‍යයින්ගෙන් බොහෝ වෙලාවට ලැබෙන්නේ එකම නොරිස්සුම් සිතිවිලි තරංග. එකම සිතිවිලි ලබාගෙන අපේ මේ අධ්‍යයනය අර්ථවත් විදිහට කරන්න බැහැ. හැබැයි දැනට අපට පුළුවන්කම තියෙනවා විකාශන බාධාව සිදුවෙන්න විනාඩි කිහිපයකට කලින් කාල පරාසයක තිබුණු සිතුවිලි ඛණ්ඩයත් ග්‍රහණය කරගන්න. ඒකත් එක්තරා ජයග්‍රහණයක්. කොහොම වෙතත් මම මේ රැස් වෙලා ඉන්න කණ්ඩායමට යෝජනා කරනවා රේඩියෝ තරංග මාලා බාධාවක් රහිත ව ගලා යද්දීම අසන්නන්ගේ සිතිවිලි එක්රැස් කරන්න පුළුවන් විදිහට මේ සොයාගැනීම වැඩි දියුණු කරන විදිහට.”

රැස් ව සිටි සැම දෙනාගේම සන්නිවේදන පුවරු දිලිසෙන්නට වූයේ එම යෝජනාව පිළිගත් බවත්, ඒ ගැන දැනුණු උද්යෝගයත් සනිටුහන් කරමිනි.

-----------------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රයන් මේදිස් ගේ කාර්යාලය

රයන් පරිගණක තිරය දෙස බලා සිටියේ ඇසි පිය නොහෙලා ය. සාමාන්‍යධිකාරී වංශරත්න මේ විකාශන ගැටලුව සොයාගන්නැයි රැස්වීමේදී අණ කළේ මීට දින දෙකකට පෙර යි. මේ දක්වා ශබ්ද ඉංජිනේරු කණ්ඩායම නම් කිසිම සොයාගැනීමක් කර නැති බව ඔහු ස්ථිරව ම දැන සිටියේ එවැනි සුබ ආරංචියක් ඔහුට සන්නිවේදනය නොවුණු බැවිනි. මේ ගැටලුව ගැන සිතේ තෙරපුණු නොසන්සුන්කම නිසාම මේ ගැන තමන් ද තතු සෙවිය යුතු යැයි ඔහුට සිතුණි.

ගුවන් විදුලි විකාශය කඩ වූ හැම අවස්ථාවකම තරංගවල දර්ශන නියැදි රයන් අපහසුවකින් තොර ව ලබා ගත්තේ ය. මේවායේ මුලින් නම් ඔහු කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් දුටුවේ නැත. නමුත් රයන් මේ නොසන්සුන් වී සිටින්නේ පරීක්ෂාවෙන් බලද්දී දුටු අසාමාන්‍ය දසුනක් නිසා ය. විකාශය බිඳ වැටෙන හැම අවස්ථාවක ම ඒ හිඩැසට යටින් ඊට සමාන්තරව දිවෙන කළු පැල්ලමක් වැනි යමක් මේ දර්ශන වල ඇති බව හොඳින් බලද්දී ඔහු දුටුවේ ය. පියවි ඇසට පෙනෙන නොපෙනෙන මට්ටමක වූ මෙය කුමක් විය හැකි ද? එය නොසැලකිය යුතු දෙයක් ද? තමන් දකින මේ දසුන ම ගුවන් විදුලි නාලිකාවේ පළපුරුදු ශබ්ද ඉංජිනේරුවන් දැක නොමැති ද? රයන් ගේ සිත ප්‍රශ්න රැසකින් ව්‍යාකූල විය.

තම කැළඹුණු සිත සන්සුන් කරගැනීමට රයන් මොහොතක් දෑස වසා ගත්තේ ය. තමන්ට අදාළ ම නැති ආයතනික ගැටලුවකට පටලැවී සිටි ඔහු මේ ක්ෂේත්‍රෙය් ප්‍රවීණයෙක් නොවේ. එබැවින් මේ දුටු දේ ගැන ඉහළට කියන්නට යාම තවත් ව්‍යසනයක මුල වන්නට නොහැකි ද? මේ ගැන කිව යුත්තේ ජයවික්‍රමට බව ඔහුට එක් වර සිතුණි. ඔව්! මේ ගැටලුව පළමුවෙන් ම සොයා ගත්තේ ජයවික්‍රම නිසා මේ අමුතු නිරීක්ෂණය ගැන කිව යුත්තේ ද ඔහුට ය.

එහෙත් තම කුටිය වෙත ආ ජයවික්‍රම දෑස කුඩා කර පරිගණක තිරය වෙත එබී බලා කී දේ රයන් කිසිසේත් අපේක්ෂා කළේ නැත.

“කෝ රයන්? මට නම් එහෙම වෙනසක් පේන්නේ නැහැ, කොහොමත් කළුවට පේන බැක්ග්‍රවුන්ඩ් එකේ මොකක්ද ඔයා කියන මේ පැච් එක?”

“ඇයි මිස්ට ජයවික්‍රම, මේ බ්‍රෝඩ්කාස්ට් ලොස් එක පටන්ගනිද්දී ඒ ගැප් එකේ මේ කළු පැල්ලමක් වගේ එකක් තියෙන්නේ.”

රයන් කීවේ තමන් ට දෘෂ්ඨි මායා පෙනේදැයි සැකයෙනි.

“හරි එහෙම එකක් තියෙනවා කියමු, මොකක්ද ඒකට හේතුව? කොහොමද ඒක නතර කරන්නේ?” ජයවික්‍රම නොඉවසිල්ලෙන් ඇසී ය.

“හේතුව නම් දන්නේ නැහැ මිස්ට ජයවික්‍රම, මම කිව්වේ මෙහෙම ඔබ්ස්ට්‍රක්ෂන් එකක් අපිට හරියටම අඳුනාගන්න පුළුවන් නම්… සවුන්ඩ් ඩිපාට්මන්ට් එකට කියලා…”

නමුත් රයන් ට එම වැකිය අවසන් කරන්නට ජයවික්‍රම ඉඩ දුන්නේ නැත.

“රයන් හිතනවද මේ සවුන්ඩ් එන්ජිනියර්ස්ලාටත් හොයාගන්න බැරිවුණු දේවල් අපිට පෙනෙයි කියලා? අනික අපි මෙහෙම දෙයක් කිව්වොත් එයාලා පිළිගනී ද?” ඔහු සිනාසෙමින් කීවත් ඒ සිනාවේ සමච්චලයක් ගැබ් ව ඇතැයි රයන් ට සිතුණි.

තමන් සොයාගත් දේ ගැන මෙතෙක් දැනුණු යම් තරමක විශ්වාසය හා ගැටෙමින් ජයවික්‍රම පවසන දේහි සත්‍යයක් ඇතැයි යන හැඟීම බලවත් වූ බැවින් රයන්ට දැනුණේ තම හිස අවුල් වූ බවකි.

“පුතා, අපි දෙන්නා මුලදී ඉහළට මේ ගැටලුව ඉන්ෆෝම් කළා ට හරි නම් සවුන්ඩ් ඩිපාට්මන්ට් එක තමයි මේවා හොයාගන්නයි පිළියම් යොදන්නයි ඕන. දැන්වත් අපි අපිට අදාළ නැති දේවල් වලට අත නොදා ඔන්න ඔහේ අපේ රස්සාවල් බේරාගෙන ඉමු.” රයන් ගේ පිටට තට්ටු කරමින් ජයවික්‍රම අසුනෙන් නැගී සිටියේ ය.

හිස දෑතේ රුවාගෙන කල්පනාවේ නිමග්න ව සිටි රයන් හදිසියේම හිස ඔසවා “ඇත්තටම මිස්ට ජයවික්‍රම කොහොමද මේක මුලදී හොයාගත්තේ?” ඇසූ නමුත් ඒ වෙද්දී ජයවික්‍රම කුටියෙන් පිටව ගොස් තිබිණි.

-----------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

නව ප්‍රවේශයන් අත්හදා බලන කණ්ඩායම යම් ගැටළුවකට මුහුණ දී ඇති බව S215 ඈත තියාම හඳුනා ගත්තේ ඔවුන්ගේ සන්නිවේදන පුවරු වල දැල්වුණු තැඹිලි පැහැති එළි වලිනි. නොසන්සුන් බවේ රටා ඒ හැම පුවරුවකම ඇඳෙමින් මැකෙමින් තිබිණි.

“විකාශන බාධාව කරන අපේ තරංග පෘතුවියෙන් කිරීක්ෂණය කරලා!” කණ්ඩායම් නායක J13 විමසීමකින් තොරව ම පැහැදිලි කළේ තවත් විස්තර අනවශ්‍යයි යන ස්වරයෙනි.

“ඔව් ඒක වෙන්න නියමිතව තිබුණා… ඒගොල්ලෝ විකාශන හිඩැස් ගැන හොයාගන්නේ නැතිව ඉන්න විදිහක් නැහැනේ.” මේ ආරංචියෙන් S 215 ගේ සන්නිවේදන පුවරුවේ වැඩි කලබලයක් පෙන්නුම් වුණේ නැත.

“එයාලා අපේ තරංග හොයාගන්න එක නෙමෙයි ගැටලුව, ඒවායින් මොකද කෙරෙන්නේ කියලා හොයාගන්න එක. අපේ දත්ත අනුව ඒ තරම් නිගමන දියුණුවක් පෘතුවි වැසියන්ගෙන් අපේක්ෂා වෙන්නේ නැහැ” සැහැල්ලුවෙන් මේසේ සටහන් කළ S215 ඉනික්බිති කණ්ඩායම දෙසට හැරුණේ ය.

“අපි විකාශන බාධාවක් නැතිවම මනුෂ්‍ය සිතුවිලි අස්වැද්දීම කියන අරමුණට ඉක්මණින් ම යන්න ඕන මේ නිසා යි.. ඒ ගැන දැනටමත් පර්යේෂණ කෙරෙන බව මම දන්නවා. තවත් ඒ ගැන මහන්සි වෙන්න දැන් කාලය හරි”

තම සන්නිවේදන පුවරුවේ එසේ සටහන් කළ S215 ආපිට හැරී යන්නට ගියේ ය.

----------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව

තමන් සොයාගත් අද්භූත තරංග පෙළ මේ විකාශ හිඩැස් ගැටලුවට යම් හෝ සම්බන්ධයක් ඇති බව සිතෙන් අත් හැරීම රයන් ට දුෂ්කර විය. ඔහු නිරතුරුව තමන්ගේ අනෙත් රාජකාරි අතපසු වන තරමට තරංග දර්ශනයේ දිස් වන මේ කළු පැහැති තීරුව දෙස බලමින් පසු වූයේ එබැවිනි.

විකාශ හිඩැස් නොමැතිව පැය විසිහතරක් ගතවූ බවට සුභ ආරංචිය ලැබුණේ ඒ ගැටලුව ගැන සොයාගෙන දින දහ හතක් ගතවූ තැනදී ය. මේ වතාවේදීත් පැවැත්වුණු හදිසි රහස්‍ය කළමනාකරණ රැස්වීමට රයන් ද සහභාගී වූ අතර ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් විසින් මෙම ප්‍රකාශය කණ්ඩායම වෙත ඉදිරිපත් කරන ලද්දේ උද්දාමයෙනි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසාගේ උපමාව සිහි ගන්වමින් සාමාන්‍යධිකාරී වංශරත්න ගැටලුව විසඳුනු බව එක්වරම පිළිගන්නට සූදානම් වූයේ නැත. තවත් දින තුනක් දවස පුරාම විකාශ තරංග නිරීක්ෂණය කිරීමට අණ කළ ඔහු තෙදිනකට පසු නැවතත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලතීෆ් ට අණ කළේ ය.

---------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- ශබ්ද පාලක මැදිරිය

“අදත් ඔක්කොම ඩේටා ඕකේ නේද ප්‍රියංකර?” ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් හඬ පාලන මැදිරියට පිවිසෙමින් විමසුවේ ය. ඔහුගෙන් දිස් වූයේ දවස් ගණනකින් නිදි නොලැබූවකු ගේ තෙහෙට්ටු පෙනුමකි.

“ඔව් සර්. මුකුත් ගැප්ස් නැතිව යන තුන් වෙනි දවස” ප්‍රියංකර තම උපැස් යුවල ගලවා දෑස පිසිමින් පිළිතුරු දුන්නේ ය. ඔහු ද දින දෙකක් ම තම නිවෙස බලා ගොස් තිබුණේ නැත. “හැබෑටම සර් මොකක්ද ඒ වෙන්න ඇත්තේ? දැන් මේ ප්‍රශ්නේ හරි ගියේත් අපි මුකුත් කරලා නෙමෙයි නේ.”

මෙය අසා ලතීෆ් හිස ගස්සා ඔහු දෙස බැලී ය.

“මුකුත් කළේ නැහැ? තමුසේ ඕක එහෙම ආයෙත් කොහේවත් කියනවා නෙමෙයි! මම එදා මීටිමට ගිහින් ලොක්කාට කිව්වේ අපි ඒ ප්‍රශ්නේ අයිසොලේට් කරලා විසඳුවා කියලා. දැන් තුන් දවසකට පස්සේත් අවුලක් නැති නම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ ඒක විසඳුණේ කොහොමද කියලා!”

“ඔව් ඒක හරි සර්, ඒත් මං කියන්නේ ඇත්තටම මොකක් වෙන්න ඇතිද?” ප්‍රියංකර නැවත ඇසුවේ ය.

“කවුද හලෝ දන්නේ? ඇති ඔයින් ගියා කියලා තමයි කියන්න තියෙන්නේ. තව ටිකෙන් තමුසෙයි මායි දෙන්නම ගෙදර!” ලතීෆ් හඬ නඟා සිනාසෙමින් කීවේ ය.

-------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රයන් මේදිස් ගේ කාර්යාලය

විකාශ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුණු බව දැනුම්දෙන රැස්වීමෙන් පිටතට පැමිණි පසුත් තමන් ට අපේක්ෂිත තරම් සැනසිල්ලක් නොදැනෙන්නේ ඇයිදැයි රයන් කල්පනා කළේ ය. ගුවන් විදුලි නාලිකාවම බංකොලොත් වීමට මඟ පාදන වර්ගයේ විශාල විනාශයක් මඟ හැරුණු බව සත්‍යයකි. නමුත් කොතැනක හෝ යමක් අතපසු වූ බවට තම සිත යට කැවෙන සිතිවිල්ල මඟ හැර ගැනීමට ඔහු අපොහොසත් විය.

සුබ ආරංචිය දැනුම් දුන් පසු ද රයන් තව දුරටත් රේඩියෝ විකාශ තරංග නිරීක්ෂණය කිරීමේ යෙදුණේ පුරුද්දට මෙනි. සුපුරුදු ලෙස රේඩියෝ නාලිකාවේ තරංග බාධා රහිතව නොකඩවා ඇදී යන අයුරු ඔහු බලා සිටියේ ය.

මෙසේ බලා සිටිද්දී හදිසියේ තිරය මත ඇස ගැටුණු අසාමාන්‍ය යමක් රයන් තුළ කැළඹුමක් ඇති කරන්නට සමත් විය. දෑස පිසදැමූ ඔහු පරිගණක තිරය දෙස හොඳින් බැලුවේ ය. කලින් විකාශය බාධා කළ වර්ගයේම කළු පැල්ලමක් මෙවර රේඩියෝ තරංගවල හැඩයම ගෙන ඊට ඈඳී ඊට යටින් ගමන් කරන බවක් ඔහුට පෙනුණි. රයන් කීප වතාවක් දෑස වසා, නැවතත් විවර කර මේ දෙස බැලුවේ ය. ජයවික්‍රම සමඟ පෙර වූ කතාබහ සිහි කළ ඔහු, මෙය නැවතත් වෙනත් කිසිවෙකුට කීවත් ගණන් නොගන්නා බව සිතුවේ ය. විශේෂයෙන්ම පවතී ගැටලුව විසඳුණු පසු කිසිවෙකු වත් මෙවැනි දේ ට අවධානය යොමු නොකරනු ඇත. වෙන අයට නොපෙනෙන මෙවැනි දෑ තමන්ට පෙනෙන්නේ යම් උමතු බවක් නිසාදැයි රයන් ට සිතෙන්නට විය. ටික වෙලාවක් මේ ගැන දිගින් දිගටම කල්පනා කළ ඔහු අවසන් වතාවට ඒ අසාමාන්‍ය තරංග රටාව දෙස බලා, දිගු සුසුමක් හෙළා නිරීක්ෂණ පරිගණක තිරය නිවා දැමුවේය.

-------------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

මධ්‍යස්ථානය තුළ රැස් වූවන්ගේ සන්නිවේදන පුවරු විචිත්‍ර වර්ණයෙන් දිලිසෙමින් තිබුණි. ඔවුන් මේ සමරමින් සිටියේ ගුවන්විදුලි තරංග වලට බාධා නොකරමින්ම පෘතුවියේ වෙසෙන අසන්නන්ගේ සිතිවිලි අස්වද්දා ගන්නට J13 ඇතුළු කණ්ඩායම සමත් වී තිබීමේ දිනුමයි. මෙවැනි ජයග්‍රහණයක් ලැබීම තවත් බොහෝ සොයාගැනීම් සහ ආක්‍රමණ වලට මඟ පාදන බව ඔවුහු පැහැදිලි ව දැන සිටියහ

උද්දාමයෙන් පිරුණු තවත් දවසක් එසේ නිමා විය.


-හෙල්මලී ගුණතිලක

Picture- Pexels