Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

October 20, 2025

"මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා"



“ඔයා නම් ඉතින් හැම දේම හොඳට ප්ලෑන් කරනවනේ, වැඩේ හොඳට යයි” සමුද්‍රා ළඟටම ඇවිත් කියද්දී තනුජා හිටියේ කේටරින් සර්විස් එකේ කට්ටියට මේස ටික පෙන්නමින්. තනුජාලාගේ ගෙදර එදා රෑට තියෙන පාටියට ඒ වෙද්දී හැමදේම සූදානම් වෙමින් තිබුණා. වත්තේ තැන තැන මේස පුටු තියලා, ගහ කොළ බල්බ් වැල් වලින් එළිය කරලා අමුතුම ලස්සනක් පෙනුණා.

“අනේ සමුද්‍රා, ඔයාලා ආවාද? කොච්චර දෙයක්ද කළින්ම ආව එක? යං වාඩිවෙන්න” තනුජා සමුද්‍රාව වැළඳගන්න ගමන් කිව්වා. සමුද්‍රා ගේ සැමියා ජානක, තනුජාගේ සැමියා සමන්ගේ විශ්ව විද්‍යාල කාලයේ මිත්‍රයෙක්. ඒ යාළුකම නිසා එයාලා කාලෙක ඉඳන් ආශ්‍රය කරනවා. නිතරම නැතත්, උත්සවයක්, මරණයක් වුණාම යනවා එනවා. තමන්ගේ අලුත් ගෙදරට ගෙවදින පිරිතෙන් පස්සේ සතියේ, දෙන්නාගේම යාලු මිත්‍රයින්ට රෑ කෑමට ආරාධනා කරන්න තනුජාත් සමනුත් තීරණය කරලා තිබුණා. අන්තිමේදී ඒක අමුත්තෝ තිහක් හතළිහක් එන්න නියමිත සාදයක් බවට හැරුණා. 

“ඔයාගේ නෑයෝ එහෙමත් ඔක්කොම ඇවිල්ලා ද?” සමුද්‍රා සාලේ පැත්තට යන ගමන් දොර රෙදි එහා මෙහා කරමින්, කාමරවලට එබෙමින් ඇහුවා. ජානක බොහොම හොඳ ගතිගුණ ඇති මනුස්සයෙක් වුණත් මොකක්දෝ හේතුවකට මේතරම් කාලෙකට තනුජාගේ හිතේ සමුද්‍රා ගැන නම් පැහැදීමක් ඇති වෙලා තිබුණේම නැහැ. සමුද්‍රා ගේ සුහද කතාබහට යටින් මොකක්දෝ පිරිමැහෙන්නේ නැති අවුලක් එයාට හැමදාම දැනුණා. ඒත් සමන් ගේ යාළුවො ආශ්‍රය කරද්දී ඒ යාලුවන්ගේ බිරින්දෑවරුන්ගෙන් මිදෙන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා තනුජා ඒ කවුරු එක්කත් හැමදාම සිනාමුසුව හිටියා.  

“මගේ නෑයෝ ඔක්කොම ආවේ ගිය සතියේ තිබුණු පිරිතටයි දානේටයිනේ සමුද්‍රා. දුර නිසා එයාලා ඊට පස්සේ ආපහු ගියා. අද එන්නේ අපේ යාළුවො ටික තමයි. තව සමන්ගේ අයියලායි, නංගිලායි ඉන්නවා, එයාලා මේ ළඟ නේ ඉන්නේ” තනුජා පැහැදිලි කළා. ඒත් ප්‍රශ්නේ ඇහුවාට ඒකට උත්තරේ අහගන්න සිහියක් සමුද්‍රා ට නොතිබුණේ අලුත් ගෙදර දොර ජනෙල්, මේස පුටු සිසාරා එයාගේ ඇස් දුවමින් තිබුණු නිසා. ඒ බැල්මේ මොකද්දෝ ඉරිසියාවක් තැවරිලා තියෙනවාද කියලාත් තනුජා ට හිතුණා. 

ඒ වෙලාවේ එතැනට ආවේ සමන් ගේ අයියාගේ දුව මනීෂා. එයාගේ අතේ මල් පොකුරක් තිබුණා. 

“පුංචි, මම මල් වාස් ටික කුස්සියේ තියාගෙන හදන්නම්. නැත්නම් අපේ දෝණි එක්ක බැහැ, ඔක්කොම අදීවී.” මනීෂා කිව්වේ සමුද්‍රා එක්කත් හිනාවෙන ගමන්.  

සමුද්‍රා ගේ බැල්ම එසැණින් යොමු වුණේ මනීෂාගේ දිහාවට. එයා මනීෂා දිහා උඩ ඉඳන් පහළටත්, මනීෂාගේ ඇඟේ දැවටෙන එයාගේ චූටි දුව දිහාත් හොඳින් බැලුවා. 

“මේ තනුජාගේ මල් කුමාරි නේද? ඒ කාලේ බෝලේ වගේ පෙරළි පෙරළි හිටියේ… දැන් දුවෙකුත් ඉන්නවද?” සමුද්‍රා හරි ලෙන්ගතුකමින් වගේ ඇහුවේ පොඩි කෙල්ලගේ ඔලුව අතගාන ගමන්. 

“ඔව්, ඔව් මනීෂා තමයි අපේ මල් කුමාරිට හිටියේ, ඔයාට මතකයි නේද? හරි පුතේ ඔයා මල් වාස් ටික හදන්නකෝ. එහෙනම් සමුද්‍රා ඔයාත් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න, මම අර කේටරින් කට්ටිය කෑම අරින එක බලලා ඔයාට බොන්න දේකුත් අරගෙන එන්නම්” තනුජා නැගිට්ටේ කුස්සිය පැත්තට ආපිට යන්නයි. 

“පොඩ්ඩක් ඉන්න, ඔයාගෙන් බඩුවක් අහන්නත් තියෙනවා.” සමුද්‍රා මනිෂාට යන්න ඇරලා තනුජාගේ අතින් ඇදලා ආයෙත් වාඩි කරවා ගත්තා. “අරයා ගැන” එයා ඇස් දෙකෙන් පෙන්නුවේ පිටුපාලා යමින් හිටිය මනීෂා ව.

“අපේ මනීෂා ගැන? ඇයි සමුද්‍රා?” තනුජා නැවතුණා.

තනුජාලා කසාද බඳිද්දී මනීෂාට අවුරුදු හතක් අටක් විතර. ඒ හුරුබුහුටි, කටකාර කෙලි පැටික්කිට තනුජා මුල් හමු වීමෙන්ම ආදරේ වුණා. එයාලගේ මඟුල් ගෙදර මල් කුමාරි වුණු දවසේ මනමාල ජෝඩුව පිටත්වෙලා යන වෙලාවේ එයාලා එක්ක යන්න ඕන කියලා මනීෂා හොඳටෝම ඇඬුව හැටි තනුජාට හොඳට මතකයි. ඒ කාලේ ‘තනු පුංචි’ කියමින් තමන්ගේ පස්සෙන් වැටිලා තොරතෝංචියක් නැතිව කියවමින් හිටි කෙල්ල දැන් කසාද බැඳලා අම්මා කෙනෙක් වෙලා නේද කියන එක සමහර වෙලාවට තනුජාට අදහා ගන්නත් බැහැ. මනීෂා ගැන තනුජාට හැමදාම දැනුණේ තමන්ගේ දරුවන්ට තරම්ම ගැඹුරු බැඳීමක්.

සමුද්‍රා මනීෂා ගැන කියන්න හදන්නේ සතුටු කාරණයක් නෙමෙයි කියලා තනුජාට හිතුණේ සමුද්‍රා ඇස් කරකවන හැටි දැකලා. “මම මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා ඔන්න තනු, ඔයාගෙන්ම අහන්න ඕන කතාවක් මේක. ඔය මනීෂා බඳිනකොට ඔය දුව හම්බවෙන්න හිටියා නේද?” සමුද්‍රා හඬ බාල කරලා අහද්දී එයාගේ ඇස් දෙකෙන් බේරුණේ රස කෑමක් ලැබුණු කෙනෙකුගේ පෙරේතකමක්.

සමුද්‍රා කීව දේ තමන්ට හරියට ඇහුණා ද කියලා තනුජාට එකපාරට හිතාගන්න බැරිවුණා. මනීෂා බැඳලා දැන් අවුරුදු පහක් හයක් ඇති, එයාගේ දුවටත් දැන් අවුරුදු තුනක් විතර. තනුජාට මුලින් හිතුණේ සමුද්‍රා මේ මනීෂා ව වෙන කවුරුහරි එක්ක පටලවාගෙන කියලායි. 

“ඔයාට වැරදිලාද කොහෙද සමුද්‍රා, අපේ මනීෂා බැඳලා දැන් කොච්චර කල්ද! වෙන මනීෂෙක් වෙන්නැති” එයා හිනාවෙලා කිව්වා.

“නෑ නෑ.. ඔය මනීෂා ගැනම තමයි අනේ මං අහන්නේ, මම ළඟදී එයාලගේ මඟුල් ෆොටෝ දැක්කා, එතකොට තමයි මට නෝටිස් වුණේ”

සමුද්‍රා ජයග්‍රාහී ලීලාවෙන් කීවේ තනුජාගේ අතකුත් අල්ලාගෙන.

තනුජාට ඒ වෙද්දීත් මේ කතාවේ අග මුල තේරුණේ නැහැ. මීට අවුරුදු පහ හයකට කළින් තිබුණු මනීෂාගේ මඟුල් ගෙදර විස්තර එයා මතක් කරගන්න උත්සාහ කළා. පිරිපුන් ඇඟක් තිබුණු මනීෂා එදා ඔසරියට හරි හැඩට හිටියා. ඒ මඟුල් ගෙදර පින්තුර මේ තරම් කාලයක් ගිහින් සමුද්‍රා දැක්කේ කොහොමද? අනික මොකක්ද මේ බබෙක් හම්බවෙන්න හිටිය කතාව?

“ඔයා මේ කියන්න හදන දේ මට තේරෙන්නේ නැහැ, වහෙන් ඔරෝ නැතිව කෙළින් කියන්නකෝ” තනුජා තරමක නොරිස්සුමකින් කිව්වා. සමුද්‍රා මේ ලෑස්ති වෙන්නේ කොහෙන් හරි හොයාගත්තු කුණු ගොඩක් අවුස්සන්න බව එයාට පැහැදිලි වුණා. 

“ඕකේ මොකක්ද අනේ තේරුම්ගන්න අමාරු? අපේ නෑදෑ දුවෙක් මනීෂා ගේ යාලුවෙක්ලු. මමත් ළඟදී දැනගත්තේ. එයාගේ පරණ පින්තුර වගයක් බලද්දී තමයි මම දැක්කේ මනීෂා ගේ මගුල් දවසේ ගත්තු පින්තූර ටිකක්. ඒ පින්තූර වල ඔයාලයි, සමන්ගේ අයියලායි හිටිය නිසායි මම අඳුනාගත්තේ, නැත්නම් අපිට ඔය කෙල්ලන්ව මතක නැහැනේ අනේ. ඔසරිය ඇන්දාට බඩ මේං මෙහෙම නේද? මට නම් අම්මෝ කියලා හිතුණා. අද පාටියට ආවාම ඕක කොහොමහරි ඔයාගෙන් අහන්න ඕන කියලා මම මතක තියාගත්තා! ඒක අහද්දී මේ බඩ්ඩත් මෙතැනම ඉඳී කියලා කවුද හිතුවේ” සමුද්‍රා කැකිරි පැලුවේ හරි විනෝදජනක දෙයක් කීව විදිහට.

තනුජාට දැනුණේ තමන්ගේ ඉස් මුදුණින් ගින්දර පිටවෙනවා වගේ. එයාට සමුද්‍රා ට කම්මුලට ගහන්න තරම් කේන්තියක් ආවා. මනීෂා කසාද බැඳලා මාස පහක් හයක් ගත වුණාට පස්සේ දවසක එයා හිතේ අමාරුවෙන් තමන්ව හොයාගෙන ආව හැටි තනුජාට මතක් වුණා. ඒ, ඒ වෙද්දී එයාලා හිතුව විදිහට දරුවෙක් පිළිසිඳ නොගත්ත ගැටලුව. ඉස්සර ඉඳන්ම තමන්ගේ අම්මාටත් වඩා තනුජා පුංචි එක්ක හිතේ තියෙන දේවල් බෙදාගන්න මනීෂා පුරුදු වෙලා හිටිය නිසා මේ ප්‍රශ්නයත් එයා මුලින්ම කීවේ තනුජා ට. එයාලාට තව වයස තියෙන නිසාත්, තාම වැඩි කාලයක් ගත වෙලා නැති නිසාත් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැති බව කියලා තනුජා එයාගේ හිත හදන්න උත්සාහ කළත් මනීෂා හිටියේ හිතේ අමාරුවෙන්. ඒ නිසා අන්තිමේදී තනුජා පවුලේ අය එක්කත් කතා කරලා මනීෂාත් ඇගේ සැමියාවත් එයාලා දන්නා වෛද්‍යවරයෙකුට යොමු කළා. මූලික පරීක්ෂණ කීපයකින් පස්සේ මනීෂා ට යම් ප්‍රමාණයක් බර අඩු කරගන්න උපදෙස් දුන්නු ඒ වෛද්‍යවරයා ඖෂධ මාත්‍රාවකුත් නියම කළා. මනීෂා ඒ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දේ පවුලේ හැම කෙනෙක්ම පුදුම කරමින්. ඒ කාලේ එයා රස්සාවට යන ගමන්ම ව්‍යායාම කරලා, කෑම පාලනය කරලා කොහොම හරි බරත් අඩු කරගත්තා. අන්තිමේදී කසාද බැඳලා අවුරුදු එකහමාරක් විතර යද්දී මනීෂා ස්වාභාවිකවම ගැබ් ගත්තා. සමන්ගේ පවුල් වල තුන්වෙනි පරම්පරාවේ පළවෙනි දරුවා එන්න නියමිත බව දැන ගත්තාම හැමෝම සතුටින් පිනා ගිය හැටි තනුජාට අද වගේ මතකයි. එහෙව් කෙල්ලට සමුද්‍රා මේ කරන අපහාසය මොකක්ද? අනෙත් අතට ඒවා හොයන්න සමුද්‍රා කවුද?

හොඳ හුස්මක් අරගත්ත තනුජා වටපිට බලලා පහත් හඬින් මෙහෙම කිව්වා. 

“සමුද්‍රා ඔයා අද මොන කුණු ගොඩක් ඔලුවේ පුරවාගෙන ආවාද කියලා මම දන්නේ නැහැ, හැබැයි නිකරුණේ මිනිස්සුන්ට පද හදන්න එපා. ඔය කෙල්ලට බැඳලා ටික කලක් යනකම් ළමයි නැතිව ඉන්දැද්දී ඒකි ව දොස්තර ලා ළඟට එක්කගෙන ගියේ මමයි. ඒ නිසා මම දන්නවා ඒවායේ දින වකවානු හරියටම. එහෙම උනත්, නැතත් ඔයා කවුද ඕවා අවුස්සන්න? අනික දැන් අවුරුදු පහක් හයක් පරණ කතාවක් ගැන? ඔයාට අනිත් මිනිස්සු සන්තෝසෙන්, ප්‍රශ්න නැතිව ඉන්නවා දකින්න හරි අමාරු බව මට කළින් ඉඳන් තේරිලා තියෙනවා. ඔයාගේ ඔය කුණු ගොඩවල් වෙන කාටහරි කියන්න, මෙහෙ නම් ඕවාට ඉඩ නැහැ!”

එහෙම කියලා තනුජා නැගිටලා යන්න ගියේ ආපහු හැරිලාවත් බලන්නේ නැතිව. ඒ නිසා ඒ කෙළින් උත්තරෙන් සමුද්‍රාගේ මූන කළු වෙලා ගිය බව එයා දැක්කේ නැහැ. සමන් ට වුවමනා නම් දිගටම ජානක එක්ක යාළුකම් තියාගන්න පුළුවන් බවත්, සමුද්‍රා නම් ආයෙත් එහෙ නාවට කමක් නැති බවත් සමන්ට කියන්න තනුජා ඒ එක්කම හිතා ගත්තා. 

මේ කිසි දෙයක් නොදන්නා මනීෂා, තනුජා ව හොයාගෙන ගිහින් මල් පුරවපු මල් බඳුන  එයාගේ අතේ තියන හැටි සමුද්‍රා බලාගෙන හිටියේ ඇද වුණු මූණෙන්. 


photo- Gemini


July 07, 2023

'අපේක්ෂා' - රේඩියෝ කෙටිකතාවක් ලෙස

මගේ කෙටිකතාවක් මගේ ප්‍රියතම කලා ශිල්පිනියකගේ හඬින් අහන්න ලැබුණු මොහොත! මේ මගේ සහස් පියවර කෙටි කතා පොතේ 'අපේක්ෂා' කෙටිකතාව, නිරංජලා සරෝජිනී මහත්මියගේ හඬින්. 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 'කෙටිකතා' වැඩසටහනට මේ කෙටිකතාව තෝරාගැනීම ගැන වැඩසටහන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත්, මේ ආදරණීය හඬ වෙනුවෙන් නිරංජලා සරෝජිනී මහත්මියටත් මගේ ආදර ස්තූතිය! ❤


February 12, 2023

මැහුම්කාර අයිරිනා - අසම්පූර්ණ සුරංගනා කතා #2

 අසම්පූර්ණ සුරංගනා කතා #2


“අනේ මන්දා, අදත් වහින්න වගේ!”

අයිරිනා ගස්වල අතු අතරින් එබිලා අහස දිහා බලලා තමන්ටම කියාගත්තේ නොරිස්සුමෙන්. රාස්බෙරි පඳුරේ කොළ අතරින් අව්ව තීරු තීරු වැටිලා තිබුණත් ඈත අහසේ තිබුණේ අඳුරු මූසල පෙනුමක්. වැස්සොත් අදත් වැඩ ඉවර කරගන්න වෙන්නේ නැහැ, එකතු වුණ වැඩ ටික මතක් වෙද්දී අයිරිනාට ඔලුව අවුල්වෙනවා වගේ දැනුණා. මෙහෙම වෙලාවට එයා කරන්නේ ලැයිස්තු හදන එක. වැඩ ඉවර කරගන්න ඒකෙන් ලොකු උදව්වක් නැහැ තමයි, ඒත් කරන්න තියෙන වැඩ ලැයිස්තුගත කරද්දී හිත හරි ටිකක් හැදෙනවා. සමහර වෙලාවට අයිරිනාගේ ලැයිස්තු වලත් ලැයිස්තු තියෙනවා.

“දවස් දෙකකින් බාරදෙන්න තියෙන මොනාක් සමනල තටු කට්ටල තුනයි, තනි සුදු කට්ටල දෙකයි ”

ඒ වෙද්දීත් සමනල තටුවක් ගොතන ගමන් හිටිය නිසා මේ සැරේ අයිරිනා ලැයිස්තුව හදන්නේ හිතෙන්. දිග ඇදෙමින් යන තම්බර්ජියා වැලක නටුවක හරි බරි ගැහිලා වාඩිවෙන ගමන් එයා කරන්න තියෙන වැඩ ටික මතක් කරන්න ගත්තා.

“අන්ඩ දාන්න දුන්න ජිප්සී සලබ තටු එකයි, අලුතින් තිත් මහන්න දුන්න ලේඩි බර්ඩ් කුරුමිණි පියන් කට්ටල පහයි….”

තමන්ට මේ තරම් වැඩ ගොඩ ගැහුණේ ළඟ එන වසන්ත ඍතුව නිසා බව අයිරිනා දන්නවා. වැඩි වැඩියෙන් මල් පිපෙන කාලයට සමනල්ලු වෙන්න බලාගෙන මේ කාලේ දළඹුවෝ කෝෂගත වෙනවා වැඩියි. හරියටම කෝෂයෙන් නික්මෙන දවස වෙද්දී සමනල තටු කට්ටල ටික බාරදෙන්න අයිරිනාට ඇනවුම් දීලා තමයි එයාලා කෝෂ ඇතුලේ හැංගෙන්නේ. ඒ නිසා ඒ වැඩ නම් කොහොමත් පරක්කු කරන්න බැරි බව අයිරිනා දන්නවා. දැනුත් එයා හිටියේ මොනාක් සමනල තටුවක වැඩ ඉවර කරන ගමන්. එක එක වර්ගවල, පාටවල මැහුම් වැඩ වල නිරන්තරයෙන්ම යෙදිලා හිටියත් අයිරිනා හිත යටින් වැඩියෙන්ම ආසා කළේ මොනාක් සමනල තටුවලට. ඒවායේ ඇස් නිලංකාර කරවන කහ තැඹිලි පාටත් කළු පාට ඉරිත් හීනවලදී පවා අයිරිනාගේ ඇස් පියන් යට ඇඳුනා. මේ කැමැත්තට හේතුව මොනාක් සමනල්ලු ලස්සන වුනත් විෂ බව තමන් කොහේදෝ ඇහුව කතාවද නැත්නම් දවසක් තරුණ මොනාක් සමනලයෙක් අයිරිනාව මල් ගාලකදී හම්බවෙලා එයාගේ ඇස් දෙකේ පාට ලස්සනයි කීව නිසාද? සමහරවිට හේතු දෙකම වෙන්නැති. ඒත් ඒ හේතු දෙක එකිනෙකට පරස්පර නිසා ඒ ගැන වැඩිය නොහිතා ඉන්න එයා උත්සාහ කළා.

“තව වැඩ තියෙනවා, ඇයි මැහුම් බඩු ගේන්න!” අයිරිනා තමන්ටම මුමුණා ගත්තේ එක සමනල තටුවක වැඩ ඉවරකරලා පැත්තකින් තියමින්. දොළ පාරෙන් එහා කඩ මණ්ඩියේ රොබින් නෝනාගේ කඩේ තමයි හොඳම මැහුම් බඩු තිබුණේ. දොළ පාරෙන් එගොඩ මෙගොඩ වෙන්න ගෙම්බන්ගෙන් උදවු ඉල්ලන්න වෙන එක කරදර වැඩක් වුණත් තමන්ගේ ගනුදෙනුකාරයෝ වෙනුවෙන් ඉස්තරම්ම අමුද්‍රව්‍ය ගන්න අයිරිනා හැමතිස්සෙම උත්සාහ කළා.

“කහ නූල් පන්දු දුසිම් බාගයයි, තැඹිලි දුසිමයි. රතු දුසිමයි, සුදු රේන්ද යාර තුනයි. පළගැටි පවුලටම ඊළඟ ඍතුවට අලුත් ඇඳුම් මහන්න බාරදෙන බවක් එදා තණ බිස්සේදී මුනගැහිලා පළගැටි අම්මා කීවා. ඒ ඇඳුම් ටිකටත් රෙදි බොත්තම් දැන්ම ගෙනත් තියාගන්න ඕන.” අයිරිනා හිතෙන් තව ලැයිස්තුවක් හදන්න පටන් ගත්තා.

අඩුම ගානේ වසන්ත කාලෙටවත් තමන්ගේ වැඩ වලට අත් උදවු කාරයෙක් ගන්නවද කියලා අයිරිනා ආයෙත් කල්පනා කළා. තමන්ට නොකඩවා ඇනවුම් එන්නේ තමන්ගේ මැහුම් වැඩ වල ඉස්තරම් ප්‍රමිතිය නිසා ඒ වැඩ නම් වෙන කිසි කෙනෙකුට පවරන්න බැහැ. ඒත් අඩුම ගානේ කඩේ යවන්න, වැඩ ඉවර ඇනවුම් ගිහින් බාර දෙන්න වගේ සිල්ලර වැඩ වලට කුරුමිණි කොල්ලෙක්වත් වැඩට ගන්න වෙන බව එයාගේ යටි හිත කිව්වා.

“තාවකාලිකව වැඩට අරගෙන, වැඩපළ කොහොමද එහෙම බලලා…”

“ඩාං.. ඩෝං.. දඩාං!”

අයිරිනාගේ සිතුවිලි හදිසියේම නැවතුණේ රාස්බෙරි පඳුරේ මුල හරියෙන් ඇහුණු ලොකු සද්දයක් නිසා. බරැති යමක් පෙරළෙන, පඳුරු තැලෙන හඬ අඳුනාගන්න එයාට අමාරු වුණේ නැහැ.

“දෙවියනේ! ආයෙත් වතාවක් මෙතැන හා පවුලක්වත් පදිංචි වෙන්න හදනවාද?” අයිරිනා තමන්ටම කියාගත්තා.

 අසම්පූර්ණ සුරංගනා කතා #2

-හෙල්මලී ගුණතිලක-


Painting- Watercolour paints


May 04, 2022

කළු-සුදු


නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා. නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා. සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශයේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.

"මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න ... බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ.."

හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහළ ඉන්න මිසීලා, සර්ලා බාලාංසේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.

නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා.

සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්.ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිල ඇඳුම වගේ කොට කලිසමමයි ඇන්දේ.

"ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න.."

කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් විශ්ව විද්‍යාලේ ඇතුළේ හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.

සිරිදාස අයියාට නයිස් මුණ ගැහුණේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න "නයිස්..නයිස්..!!" කියනවා ඇහිලා, පෙරළාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔළුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔළුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට සිරිදාස අයියාගේ අතකුත් ලෙවකෑවා.

ඒ තමයි නයිස්ගෙයි සිරිදාස අයියාගෙයි යාලුකමේ පළවෙනි පියවර. මොකක් නමුත් හේතුවකට සිරිදාස අයියාගේ ගල් හිතේ ඒ පුංචි බැල්ලි පදිංචි වුණා. වෙන කාටවත් නොපෙන්නුව කරුණාවක් වෙනුවෙන් වෙන් කෙරුණා. මුලින්ම වුණේ සිරිදාස අයිආ හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිනි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළ එක. එයා කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශයටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් ඒකට විරුද්ධ නොවුනේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.

නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවෙලා ඒක හොයාගෙන ආව ළමයෙක්ව "වගකීමක් නැහැ!" කියලා බැනලා එළවා ගත්තා. මිසීලා සර්ලාට හැමදාම ගෝරනාඩු කළා. වැරදිලාවත් කවුරුවත් එක්ක හිනාවුණේ නැහැ.

"ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!" දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. "ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!" කොල්ලෝ එදාට එකිනෙකාට විහිළු කරගන්නවා. ඒත් මේ සැරේ ඒ ආරංචිය අහලා කවුරුවත් කාටවත් විහිළු කළේ නැහැ. "එතකොට නයිස්?" හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ.

"උපකුලපතිගෙන් අහලා බලමුද?" එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙළින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චණ්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ."මට බැහැ.. මට ගිය සතියෙත් බැන්නා.." "හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ" එක එක්කෙනා ඉදිරිපත් නොවී පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට හැමෝවම නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උණා.

"මොකා...නයිස්???" නයිස් ගැන ඇහුව ගමන් සිරිදාස අයියා ඒ අයගේ ඇඟට කඩාගෙන පැන්නා.

"නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි.."

"මම කාටවත් කෑම දෙන්නේ නැහැ... දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??" සිරිදාස අයියා කෑගැහුවා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.

"ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ.."

එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.

සිරිදාස අයියා ඒ ප්‍රශ්නේ ඇහුණේ නැති ගානට ටිකක් වෙලා නිස්සද්දව ජනේලෙන් එළිය බලාගෙන හිටියා.

"ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා." අහක බලාගෙනම හෙමින් කිව්වා.

"කියනවා එහෙම නෙමෙයි ඕවා කාටවත්...දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!" ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.

ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී එකතුවෙලා බනින එක නම් ඉබේම වගේ අඩු වුණා. 

- හෙල්මලී ගුණතිලක 

Photo Pixabay

පහුගිය ටිකේ ලංකාවේ දේශපාලන අරගලය follow කරමින් හිටිය නිසා ලියන කියන කටයුතු මුකුත්ම කරන්න බැරි වුණා. බ්ලොග් එක හිස් වෙලා මොකෝ කියලා හොයලා බැලුව සහෘදයන්ට ස්තූතියි. බ්ලොග් එකේ පාලු යන්නත් එක්ක කෙටි කතාවක් පෝස්ට් කරන්න හිතුවා. මේක බොහොම ඈත අතීතෙක ලීව කතාවක්. මගේ සහස් පියවර කෙටිකතා පොතෙත් ඇතුලත්. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ  පළකරන සිසිල සඟරාවේ 2022 මැයි මාසයේ කලාපයේත් මේ කතාව පළ වුණා.

July 02, 2021

“Reminds me of sunshine”


දුම්රියපළ කවදත් මේ වෙලාවට හරිම කලබලයි. රාජකාරියට යන එන්නන්ගේ බැරෑරුම් මූණු අතරේ පාසල් දරු දැරියන්ගේ කෙළිකවටකම් පිරිලා. උදේ හත පහු වුණත් අද නම් ඉර පායන්නේ නැති හැඩයි. කළු වලාකුළු ගොන්නක්ම පේන මානයක් යනකම්ම අහසේ තෙරපිලා. සීත සෘතුව නිමවෙන්න ළඟ වුණත් තාම මේ වගේ අඳුරු වැහි බර දවස් නම් නිමක් නැහැ. මේ දුම්රියපළ, වේදිකා හය, පිටවීම් දොරටුව ළඟ පුංචි කෝපි හල, ඈතින් පේන කොළ හැලුණු ජකරන්ඩා ගස් පෙළ, රේල් පීලි අස්සේ කෑම හොයන මුහුදු ලිහිණි රංචුව, මේ හැම එකක්ම හැමදාම මේ විදිහමයි. මේ හැම එකක්ම හීනි තාලයක් එක්ක මගේ සිතිවිලි අතරේ ගැවසුණු කාලයකුත් තිබුණා.

ඉඳහිට දැවටෙන සීතල සුළඟට මුළු ඇඟම හිරිවැටෙනවා. මට මේ සීතල කරදරයක් උනාට මගේ වටා උන්නු බොහෝ දෙනා එය ගණන් ගන්නේවත් නැති හැඩයි. අදත් ගෙදරින් එළියට බහිද්දී පුරුද්දට වගේ මම මගේ කහපාට මෆ්ලරය දවටා ගත්තා. මේ දවස් ටිකේම, ඇඳුමට නොගැළපුණත්, උදේට විහිදෙන ලා ඉර එළියට නොගැළපුණත් ගෙදරින් පිටවෙද්දී මේ මෆ්ලරය මගේ අතේ රැඳුණා.

“ඒකට තමයි මම කැමතිම!"

ඒ ගැන විමසූ හැම කෙනාටම මම කිව්වා. ඒත් ලාච්චුවක පත්ලෙන් මේ මෆ්ලරය මම ආයෙත් හොයාගත්තේ මේ සීතල දවස්වල ඒකේ උණුහුම මට වුවමනා නිසාද? තාම ඒ වූල් කැරලි අතරින් පුරුදු ලා සුවඳක් හමන නිසාද? එහෙම නැත්නම්... ඇත්තම කියන්න මගේ හිතට බල කරනවානම්, දවස් අටකට උඩදී ඔහුව නැවතත් දුටුව නිසාද?

“එහෙමම කියන්න බෑ..”. මම මා එක්කම තර්ක කළා... “ඒ කෝච්චිය වැඩිම වුණොත් විනාඩි තුනක් නවත්තාගෙන ඉන්න ඇති මෙතැන...මිනිස්සුත් පිරිලා හිටියේ.. ඒ ටිකට කොහොමද කෙනෙක් අඳුනා ගන්නේ? මේ තරම් කලබල වෙලාවට?”

ඒ කොහොම වුණත් අමතක කිරීමට බැරි බවේ තදබල රෝගයකින් පෙළෙන මට ඔහු යන එන වෙලාවල්, යන එන දුම්රිය එක්ක ඒ දුටු දසුන ගැලපෙන බව අමතක කරන්න බැරි වුණා. ඒ තත්පරය මතක් වී දුම්රිය එන තුරු සීතල ලී බංකුවේ ඉන්න මට, මේ මහා සෙනඟ මැද මොහොතකට හුස්ම හිරවෙන තරමේ තනිකමක් දැනුණා.

එදාත් අද වගේම ඈත ජකරන්ඩා ගස් හිස් වෙලා තිබුණු දවසක්. මේ බංකුවේම සීතල නොදැනුණු දවසක්.

"මට නම් බෑ හීතල කාලෙට වේලාසන එන්න!" මම නෝක්කාඩුවක් කිව්වා. "මාව මැරෙන්න යනවා හීතලේ!"

එහෙම කිව්වාට මම නොවැරදීම වේලාසනින් එන බව අපි දෙන්නාම දැනගෙන හිටියා.

"මේක හීතලක්යැ ළමයෝ?" ඔහු හිනාවක් සඟවන්න තැත් කරමින් කීවා. "ඕනනම් දාසයක් විතර ඇති!"

"ඇත්තද? දාසයයි වගේද පේන්නේ?"ඔහු ඉදිරියේ වටයක් කැරකෙමින් මම හිනාවුණා. "නියමයිනේ!!"

ඊළඟ දවසේ එද්දී ඔහු අතේ ලස්සනට එතූ පුංචි පාර්සලයක් තිබ්බා. දුම්රියපළේ කලබලය මැද්දේම පුංචි දැරියක් වගේ මා කඩිමුඩියේ ඒ පාර්සලය ලෙහා බැලුවා. ගන වූල් නූලෙන් අමුතු රටාවකට ගෙතූ කහ පාට මෆ්ලරයක් මගේ අතැඟිලි අතරේ දැවටුනා.

"සීතලට කියාපු දේ!" එය සිපගනිමින් මා සිනාසුණා. "ඒත් කහ පාට?.. මට කහ පාට ඇඳුමක්වත් නැහැ!"

ඔහු එය මගේ දෑතින් ගෙන සීරුවට මගේ ගෙල වටා දැවටුවා.

"To remind you of sunshine!" මා වෙත පහත් වී ඔහු රහසින් මිමිණුවා.

ඊට පස්සේ කොයිතරම් නම් දුම්රිය මෙතැනින් යන්න ඇතිද? කොයිතරම් නම් මිනිස්සු මේ වේදිකාවල බලාගෙන ඉන්න ඇතිද? පුංචි දේවල් වෙනස් වෙන්න ලොකු කාලයකුත් ලොකු දේවල් වෙනස් වෙන්න පුංචි කාලයකුත් තරම් වෙන බව මම ඉගෙනගත්තේ මෙතැනදීද? කොහොම වුණත් සමහර දේවල් නම් කවදාවත් වෙනස් වෙන්නේ නැති බවත් මම ඉගෙනගත්තෙත් මෙතැනදීමද?

මගේ සිතිවිලි පෙළ නතරකරමින් මගේ ඉදිරිපස දුම්රියක් මහා හඬින් විත් නැවතුණා. හිස ඔසවා බැලූ එක තත්පරයකදී නැවතත් ඒ හුරුපුරුදු දෑස මා දෑසේ ගැටුණා. ඒ දුම්රිය පිටව යන තෙක්ම මා දෑස ඉන් මුදාගෙන බිමට යොමුකරගත්තේ ඉනූ කඳුළු ඔහු දකීවි යැයි බියෙන්. මෙතෙක් කල් සීතලෙන් මිදීමට මට උපකාරී වූ කහ පැහැති මෆ්ලරය ඒ මොහොතේ කඳුළු සැඟවීමටත් මට පිහිට වුණා.

දුම්රිය පිටවී ගොස් මොහොතකින් කෙටි පණිවිඩයකින් මගේ ජංගම දුරකථනය දෙදරුවා. නොසිතාම, පුරුද්දට මෙන් මා එය වෙත නෙත් යොමු කළා.

"Reminds me of sunshine!" එහි සටහන් වී තිබුණා.


සහස් පියවර- කෙටිම කෙටි කතා (2019)
සයුර ප්‍රකාශන
සිතුවම- විංගි ජයලත් (Vingi Jayalath), Vingarts


චිත්‍රය ගැන සටහන

මේ කෙටිකතාව මගේ සහස් පියවර -කෙටිම කෙටි කතා පොතේ තියෙන කෙටිකතාවක්. පොතෙන් ඒ කතාව කියවලා ඒකට ආසා වුණු නිසා ඒකට චිත්‍රයක් ඇන්දා කියලා මම බොහොම ආදරය කරන චිත්‍ර ශිල්පිනියක් වන විංගි ජයලත්ගෙන් පණිවිඩයක් ලැබුණ වෙලාවේ මට අදහාගන්න බැරි වුණා. විංගිගේ චිත්‍රවලට මම ආදරේ කරන්නේ සෑහෙන්න කාලෙක ඉඳන්. විංගි අඳින Mandala චිත්‍රවලට කොයිතරම් ඉවසීමක්, සංයමයක් ඕනද කියලා මම දන්නේ මාත් ඉඳ හිට පොඩි පොඩි චිත්‍ර කුරුටු ගාන නිසා , මට නම් චිත්‍රයක් අඳින්න ඒතරම් ඉවසීමක් නැති නිසා. විංගි අඳින doodlesවල තියෙන්නේ එයාටම ආවේනික හුරතල් ගතියක්. ඉතින් මගේ කතාවට විංගිගෙන් ලැබුණු මේ චිත්‍රයේ වටිනාකම මට නිමක් නැහැ. මගේ කතාවට තව මානයක් එකතු කළාට විංගිට ස්තූතියි කියන්නයි මේ කතාව ආයෙත් බෙදාගත්තේ.

February 28, 2021

මස්

Translation of the Short Story 'They are Made Out of Meat' by Terry Bisson


"උන් මස් කුට්ටි විතරයි."

"මස්?"

"ඔව් මස්. මස් වලින් හැදිලා තියෙන්නේ."

"මස්?"

"ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපි ඒ ග්‍රහලෝකේ එක එක තැන්වලින් කීපදෙනෙක් අරගෙන අපේ ගවේෂක යානා වලට අරගෙන ගිහින් සම්පූර්ණයෙන්ම සිදුරු කරලා පරීක්ෂා කරලා බැලුවා. මුළුමනින්ම මස්."

"එහෙම වෙන්න විදිහක් නැහැනේ. එතකොට රේඩියෝ සංඥා? තරු එක්ක හුවමාරු කෙරුණු පණිවිඩ?"

"උන් කතාකරන්න රේඩියෝ තරංග පාවිච්චි කරනවා, පණිවිඩ නිකුත් කරන්නේ උන්ගේ ශරීර වලින් නෙමෙයි, යන්ත්‍ර වලින්."

"ඉතින් යන්ත්‍ර හැදුවේ කවුද? යන්ත්‍ර හැදුව කෙනාව තමයි අපි සම්බන්ධ කරගන්න වුවමනා වෙන්නේ."

"යන්ත්‍ර හැදුවේ උන්ම තමයි. ඒක තමයි මම මෙතරම් වෙලා කියන්න උත්සාහ කළේ. යන්ත්‍ර හදලා තියෙන්නේ මස් කුට්ටි ටික."

"ඒ මොන විකාරයක්ද? මස් කුට්ටියක් යන්ත්‍රයක් හදන්නේ කොහොමද? තමුසේ මගෙන් ඉල්ලන්නේ හැඟීම් දැනීම් තියෙන බුද්ධිමත් මස් වර්ගයක් තියෙනවා කියලා විශ්වාස කරන්න කියලද?"

"මම මේ පිළිගන්න කියලා ඉල්ලනවා නෙමෙයි, පිළිගන්න කියලා කියනවා. ඒ ඛණ්ඩකයේ හැඟීම් තියෙන එකම ජීවීන් වර්ගය මස් වලින් හැදිලා තියෙන්නේ."

"එහෙනම් උන් අර ඔර්ෆොලෙයි වගේ වෙන්න ඇති. මස් ජීව අවස්තාවක් පහුකරන කාබන් මූලික ප්‍රාණියෙක්."

"නැහැ. උන් මස් හැටියට ඉපදිලා මස් හැටියට මැරිලා යනවා. අපි උන්ගේ ජීවන චක්‍ර කීපයක්ම නිරීක්ෂණය කළා. ඒකට වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඔබ දන්නවද මේ මස් කුට්ටි වල ආයු කාලය කීයක්ද කියලා?"

"මට දැනගන්න වුවමනාවක් නැහැ. හරි, සමහරවිට උන්ගේ ශරීරයේ මස් තියෙන්නේ එක කොටසක විතරක් වෙන්න ඇති. අර වෙඩ්ඩීලයි වර්ගය වගේ. මස් සහිත ඔලුවක් ඇතුලේ එලෙක්ට්‍රෝන ප්ලාස්මා මොළයක්."

"නැහැ. උන්ට වෙඩ්ඩීලයි වර්ගය වගේ මසින් හැදුණු ඔලුවක් තියෙන නිසා අපිත් ඒක හිතුවා. ඒත් මම කළින් කිව්වේ, අපි උන්ව හාරලා තෙරපලා බැලුවා. උන් සම්පූර්ණයෙන්ම මස්."

"මොළයක් නැහැ?"

"අපොයි, මොළයක් තියෙනවා. ඒත් මොළය හැදිලා තියෙන්නේ මස් වලින්! ඒක තමයි මම මෙතරම් වෙලා කියන්න උත්සාහ කළේ."

"එහෙනම්... කල්පනා කරන ක්‍රියාවලිය කෙරෙන්නේ මොකෙන්ද?"

" මම කියන දේ තේරුම් ගන්නේම නැහැ නේද? මේක පිළිගන්න ඔබ පැකිලෙනවා කියලායි මට හිතෙන්නේ. උන් කල්පනා කරන්නේ මොළයෙන්. මස් කුට්ටියෙන්."

"කල්පනා කරන මස්! තමුසේ මට කියන්නේ කල්පනා කරන්න පුළුවන් මස් තියෙනවා කියලා පිළිගන්න කියලද?"

"ඔව්! කල්පනා කරන මස්, හැඟීම් දැනෙන මස්! ආදරේ කරන මස්. හීන දකින මස්. මස් තමයි මෙතැන වැදගත්ම දේ! දැන් ඔබට පොඩි හරි චිත්‍රයක් මැවෙනවාද එහෙම නැත්නම් මම ආයෙත් මුල ඉඳන් විස්තර කරන්න පටන්ගන්න ඕනද?"

"දෙවියනේ! එහෙනම් තමුසේ මේ ඇත්තටමයි කියන්නේ! උන් මස් කුට්ටි."

"ඇති යන්තම්! බොහොම ස්තූතියි. ඔව්. උන් මස් කුට්ටි. උන්ගේ අවුරුදුවලින් අවුරුදු සීයක් විතර තිස්සේ උන් අපි එක්ක සන්නිවේදනය කරන්න උත්සාහ කරලා තියෙනවා."

"හැබෑට? මොනවාලුද මස් කුට්ටි වලට දැනගන්න ඕන?"

"මුලින්ම අපි එක්ක කතාකරන්න. මට හිතෙන විදිහට ඉන්පස්සේ විශ්වය ගවේෂණය කරන්න, අනෙත් බුද්ධිමත් ජීවීන් එක්ක සම්බන්ධ වෙන්න, අදහස්-තොරතුරු හුවමාරු කරන්න වගේ සාමාන්‍යය දේවල්."

"ඒ කියන්නේ අපි මස් එක්ක කතාකරන්න ඕන?"

"ඒක තමයි අදහස. ඒගොල්ලෝ රේඩියෝ තරංග හරහා එවන පණිවිඩයේ කියන්නේ 'හෙලෝ. ඔහේ කවුරුවත් ඉන්නවද? ගෙදර කවුද?' වගේ දේවල්"

"ඒ කියන්නේ උන් ඇත්තටම වචන, අදහස් , මත පාවිච්චි කරලා කතා කරනවා."

"ඔව් ඔව් හැබැයි උන් සන්නිවේදනය කරන්නේ අනෙත් මස් කුට්ටි එක්ක විතරයි."

"එහෙනම් තමුසේ දැන් කීවේ රේඩියෝ සංඥා පාවිච්චි කරනවා කියලා?"

"ඔව්, ඒත් රේඩියෝ සංඥා වලින් ඇහෙන්නේ මොනවා කියලාද ඔබ හිතන්නේ? මස් ශබ්ද. මස් කුට්ටියක් හෙල්ලෙද්දී පෙරලෙද්දී නිකුත්වෙන ශබ්ද. උන් කතාකරන්නේ මස් කුට්ටියේ කොටස් සොලවමින්. ඒ මස් හරහා වේගයෙන් වාතය විදලා උන්ට සින්දු කියන්නත් පුළුවන්."

"දෙවියනේ! සින්දු කියන මස්! මේක නම් විශ්වාස කරන්න බැහැ. දැන් තමුසේ මේ ගැන දෙන උපදෙස මොකක්ද?"

"නිල වශයෙන්ද නැත්නම් නොනිල වශයෙන්ද?"

"දෙකෙන්ම."

"නිල වශයෙන් අපි විශ්වයේ මේ චතුර්ථ භාගයේ ඉන්න සියලුම බුද්ධිමත් ජීව වර්ග එක්ක සන්නිවේදනය කරලා, ඒ අයව පිලි අරගෙන කිසිම පූර්ව විනිශ්චයක්, බියක් හෝ පක්ෂපාතී බවකින් තොරව ඒ හැම තොරතුරක්ම සටහන් කරන්න ඕන. ඒත් නොනිල වශයෙන් මට නම් දෙන්න තියෙන උපදෙස තමයි මේ වාර්තා හැම එකක්ම මකලා දාලා මේ ගැන අමතක කරන එක."

"තමුසේ ඔහොම කියයි කියලා මම බලාගෙන හිටියේ."

"මෙහෙම කියන එක ටිකක් දරුණුයි තමයි. ඒත් හැම දේකම සීමාවක් තියෙනවා. අපිට ඇත්තටම මස් කුට්ටි එක්ක සන්නිවේදනය කරන්න අවශ්‍යයි ද?"

"මම සීයට සීයක් එකඟයි. මොනවා කියන්නද? 'හෙලෝ මස් කුට්ටිය, ඉතින් කොහොමද?' කියන්නයැ. ඒත් මේ වැඩේ හරියයිද? මෙතැන ග්‍රහලෝක කීයක් තියෙනවද?"

"එකක් විතරයි තියෙන්නේ. ඒත් උන්ට විශේෂයෙන් සකස් කළ භාජනවල වෙන ග්‍රහලෝක වලට යන්න පුළුවන්, හැබැයි ඒ ග්‍රහලෝකවල ජීවත් වෙන්න බැහැ. අනික උන් මස් නිසා ගමන් කරන්න පුළුවන් C අවකාශයේ විතරයි. ඒ කියන්නේ උන් ආලෝකයේ වේගයට සීමාවෙලා තියෙන්නේ. මේ නිසා උන් අපි එක්ක සන්නිවේදනය කරන්න තියෙන අවස්තාව හරිම අඩුයි, ඇත්තටම කියනවා නම් අවස්තාවක් නැතිම තරම්."

"එහෙනම් අපි විශ්වයේ වෙන කවුරුවත් නැති විදිහට ඉන්නවා."

"හරියට හරි."

"ටිකක් කෘරයි. ඒත් තමුසේ කිව්වා වගේ කාටද ඕන මස් කුට්ටි ටිකක් මුණගැහෙන්න? දැන් එතකොට අපේ යානාවල ඉන්න එවුන්ට මොකද කරන්නේ? තමුසෙලා පරීක්ෂණවලට සිදුරු කළ කට්ටිය? උන්ට මේ දේවල් අමතක වෙයි කියලා තමුසෙට විශ්වාස ද?"

"උන්ට මතක තිබ්බත් වැඩිම වුණොත් පිස්සෝ හැටියට ගණන් ගැනෙයි. අපි උන්ගේ ඔලු ඇතුලට ගිහින් මොළේ මස් ටික සුමට කරලා ආවා. දැන් අපි උන්ට හීනයක් විතරයි."

"මස්වලට හීනයක්! අපි මස් ටිකකට හීනයක් වෙනවා කියන එකේ මහා අමුතු නොගැලපීමක් තියෙනවා."

"එහෙනම් අපි ඒ මුළු ඛන්ඩයම ජන ශූන්‍ය හැටියට ලකුණු කරනවා."

"හොඳයි. නිල වශයෙනුත් නොනිල වශයෙනුත් එකඟයි. ඒ වැඩේත් ඉවරයි. වෙන කවුරුවත් ඉන්නවද? චක්‍රාවාටයේ ඒ පැත්තේ වෙන වැදගත් කෙනෙක් එහෙම නැතිද?"

"ඔව් ඉන්නවා, ටිකක් ලැජ්ජාශීලී හැබැයි බොහොම සුන්දර හයිඩ්‍රජන් ජීවී සමූහයක් G445 කලාපයේ නමවෙනි වර්ගයේ තරුවක ඉන්නවා . මීට තාරකා මණ්ඩල භ්‍රමණ දෙකකට කළින් අපි එක්ක සන්නිවේදනය කළ කට්ටියක්. ආයෙත් යාලු වෙන්න ඕනෑලු."

"ඒ අය කොහොමත් ඔය විදිහට ආයෙත් එනවා."

"නැත්නම්? මේ විශ්වයේ තනියම ඉන්න සිද්ධවුණ ඕන කෙනෙකුට දරාගන්න බැරි තරම්, කියාගන්න බැරි තරම් සීතලක් දැනෙනවා අනිවාර්යයෙන්ම..."


From the Short Story Collection 'Bears Discover Fire' (1990) by Terry Bisson


April 24, 2020

සර්කස් සිහින


විදූ ගේ එක අතක ඇත්තේ මයිලෝ කුඩු දැමූ අඬු කෝප්පයකි. ඔහු සැටි පුටුවේ දිග ඇදී රූපවාහිනිය නරඹමින් සිටී. දහඩියෙන් තෙත්ව තිබී ගලවා දැමූ ඔහුගේ කොටු කමිසය යාබද පුටුව මත ය. මේ 'මකරෙකු පුහුණු කරගන්නා අයුරු' නමැති ඔහුගේ ප්‍රියතම කාටූනය විකාශය වන වේලාවයි. මකරාගේ සිහියෙන්ම ඔහු වරින් වර මයිලෝ හැන්ද බැගින් කමින් සිටී. කුඩා ප්ලාස්ටික් බෝලයකුත් බැඩ්මින්ටන් පිති දෙකකුත් ඔහුගේ පුටුව පාමුළ ඇත. විදූ මේ සිටින්නේ සෙල්ලම් කරනා අතරතුර තම ප්‍රියතම වැඩසටහන සිහි වී දුව ආ ගමන් ය. කොහොමත් අද සෙල්ලම් සැසිය සාර්ථක නැත. ඊට ප්‍රධානතම හේතුව විදූ ගේ අතිජාත මිත්‍ර ජයන් පසුගියදා කකුල කඩාගෙන එක්තැන් වීමයි. ජයන් නැති පාඩුව නම් මෙතෙකැයි කියා නිම කළ නොහැක. එහා පාරේ වෙසෙන ජයන් ව බලන්නට විදූ ට යා හැකි වූවත් ඔහු ඇඳට කොටු වී සිටිනා බැවින් එහි ගොස් කළ හැකි විශේෂ දෙයක් නැත. දැන් විදූ හා සෙල්ලමට ඉතිරි වී ඇත්තේ කුඩා එවුන් සහ කෙල්ලන් පමණි. පිත්ත වෙත හරියකට බෝලයක් එල්ලයට එවන්න බැරි උන් හා මොන සෙල්ලම් දැයි විදූ ට දැන් දැන් සිතෙන්නට පටන්ගෙන ඇත. මෙහි බැඩ්මින්ටන් ක්‍රීඩාව ඇරඹුණේ මෙලෙස ක්‍රිකට් සෙල්ලම අසාර්ථක වෙද්දී ය. හැම නිවසකම තිබුණු බැඩ්මින්ටන් පිති රැගෙන එනු ලැබුණු අතර ඉනික්බිති කණ්ඩායම් බැඩ්මින්ටන් ක්‍රීඩාවක් නිර්මාණය විය. එහෙත් එය ලත් තැනම ලොප් වුණේ කුඩා ශෙවෝන් එල්ල කළ දැවැන්ත පහරක් නිසා තිබුණු එකම බැඩ්මින්ටන් මල රිචර්ඩ්ස් සීයා ගේ වත්තේ වැටටත් ඉහළින් පියාඹා ඒ නිවසේ වහලය මත රැඳුණු පසු ය. ගසක් නම් සොලවන්නට හෝ පුළුවන. ගෙදරක වහලයේ ඇති බැඩ්මින්ටන් මලක් ආපසු ගන්නේ කෙලෙස ද? සෙල්ලම අත ඇරෙන්නට යද්දී කවුරුන් හෝ විසින් මේ කුඩා ප්ලාස්ටික් බෝලය කණ්ඩායම වෙත ගෙන එන ලදී. මුල සෙල්ලම තරම් සාර්ථක බවක් නොමැතිව බැඩ්මින්ටන් පිත්තෙන් ඒ අතට මේ අතට බෝලය මාරු වෙද්දී විදූ ට මකරාගේ වැඩසටහන සිහි විය. ඔහු එසැණින් නිවසට දුව ආ අතර එසේ පැමිණ තිබුණේ කුඩා ප්ලාස්ටික් බෝලය ද සාක්කුවේ රුවාගෙන බව දුටුවේ කමිසය උනා දමද්දී ය. දැන් ඒ සෙල්ලමත් කඩාකප්පල් වන්නට ඇත. හෙට අයිතිකරු සොයා බෝලය ආපසු දිය යුතුය. නැත්නම් ඕවා පසුව අනවශ්‍යව දික්ගැස්සෙන නඩු බව ඔහු අත්දැකීමෙන් දනී.

විදූ ට ගෙදරදී කැමති වැඩසටහනක් බලන්නට රූපවාහිනිය බෙදාගන්නට ජල්ලි අල්ලන්නට අවශ්‍ය නැත. ඔහු නරඹන්නේ නැතිනම් නිවසේ රූපවාහිනී යන්ත්‍රය බොහෝ විට අක්‍රිය ව පවතී. එමෙන්ම මයිලෝ කුඩු කෝප්පයක් කද්දීත්, ඊට පෙර ශීතකරණයේ ඇති ස්ප්‍රයිට් බෝතලයට කට තියා බොද්දීත් ඒ කේලම දෙමව්පියන්ගේ කණේ තියන්නට මරුමුස් බාලයෙක් පවුලේ නැත. හාත්පස බැලූ බැලූ අත රාමු කර එල්ලා ඇත්තේ විදූ ගේ ඡායාරූප බැවින් නිවසේ එකම සුරතලා කවුදැයි තර්කයක් නැත. එකම කරදරය නම් තවමත් දෙමව්පියන් ඒ අතට මේ අතට ඔහුගේ ඡායාරූප ගන්නට තැත් කිරීමයි. නැපියක් හැඳ කකුලක් කටේ රුවා හපමින් සිටින තමන්ගේ ළදරු පින්තූර ආදිය පෙන්වනු ලදුව, ඒ තමන් බව හඳුනානොගත් පරිද්දෙන් "මේ කවුද?" යැයි විමසන්නට විදූ ප්‍රිය කරයි. "ආ මේ මගේ අනිත් ළමයි අට දෙනාගෙන් එක්කෙනෙක්, මේ එයා පොඩි කාලේ!" අම්මාත් ඔහුගේ විහිලුවට එක්වෙන්නේ බැරෑරුම් මුහුණෙනි. "කෝ දැන් ඒගොල්ලෝ?" එවිට විදූ රහසින් අසයි. "එහා කාමරේ.. අල්මාරියේ ඉන්නේ!" අම්මා ද රහසින් කියන්නී ය. ඉන්පසු දෙදෙනාම ඇති තරම් සිනා වේ.

මයිලෝ කෝප්පයත් මකරාගේ කතාවත් එකවර අවසන් වූ පසු විදූ තමන්ගේ කාමරයට පියමැන්නේ කල්පනා බරව ය. නිවස ඉදිරිපස පාරේ තවමත් පැවැත්වෙන සෙල්ලම් සංගමයට අද නැවතත් එක් වෙන්නට විදූ ගේ බලාපොරොත්තුවක් නැත. ඒ වෙනුවට එක්තැන් ව සිටින ජයන් සමඟ කළ හැකි සෙල්ලමක් ගැන සිතන්නට ඔහු ඔලුව වෙහෙසවීය. එය කවරක් වූවත් ගෙවල් දෙකේම අම්මලා ඊට කැමති කරගත යුතු ය... එයින් ජයන් වෙහෙසට පත්නොවිය යුතු ය- පැනිය යුතු කඩුලු රැසකි. එහෙත් ඉදිරියට එළඹෙන්නේ පාසැල් නිවාඩු කාලය බැවින් යම් ස්ථිරසාර පිළියමක් අත්‍යවශ්‍ය ය.

විදූ කල්පනාවේ නිමග්නවම තම ඇඳට සවිකර ඇති ඉනිමඟ නැග්ගේ ය. කුඩා කල ඔහුගේ ඒකායන සිහිනය වූයේ තට්ටු ඇඳක උඩ තට්ටුවේ නිදා ගැනීම ය. තාත්තා මේ සිහිනය සැබෑ කරමින් ඔහුට අපූරු තට්ටු ඇඳක් ගෙනත් දුන්නේ හයවෙනි උපන්දිනයට ය. එදා ඉතා ආඩම්බරයෙන් එහි උඩ තට්ටුවට නැඟුණු ඔහු එහි යට ඇඳ ඉවත්කර ඒ ඉඩෙහි තම සෙල්ලම් බඩු තබන්නට ඉඩ සකසා දෙන්න යැයි තාත්තාගෙන් ඉල්ලීමක් කළේ ය. මේ නිසා අදටත් ඔහුට යට තට්ටුවක් නැති තට්ටු ඇඳක ඉහළ මාලයේ විරාජමාන ව හිඳින්නට වරම් ලැබී ඇත. ඇඳේ හාන්සි වූ විදූ ට උසක සිටින නිසා වැටට උඩින් පැහැදිලිවම එහා වත්ත පෙනේ. එහා වත්තේ උදවිය එහි පදිංචි වූයේ ළඟදී බැවින් ඔවුන් ගැන වැඩිමනත් විස්තරයක් ඔහු තවමත් දන්නේ නැත. එහෙත් නිවෙස් පෙළ ඉදිරිපස පාර අද්දර සෙල්ලම් කරන ළමුන් රංචුවේ කෑ කෝ ගැසීම් ඇසී ඒ නිවසින් කිසිම කුඩා දරුවෙක් නික්මුණේ නැති නිසා එහි කුඩා ළමුන් නැති බව නම් ඔහුට විශ්වාස ය. වරින් වර බිරුම් හඬ ඇසුණු බැවින් එහි බල්ලෙක් ඇති බව විදූ ට වැටහී තිබුණත් මෙතෙක් ඌ ව දැක තිබුණේ නැත. ජනේලයේ පැලැල්ල අතරින් අසල්වැසි ගෙමිදුලේ උන් බල්ලා දුටු විදූ ඉබේම ඇඳේ ඉන්දවිණි ඌ ඉතා කුඩා සුදු බූල් බල්ලෙකි. ගෙලෙහි පළඳා තිබුණු මලක් සහිත රෝස පැහැති කරපටිය නිසා ඌ ට අමුතු අලංකාරයක් එක් ව තිබිණි. විදූ ජනේලයෙන් එබී බලද්දී මේ බූල් බල්ලා සිටියේ ඒ ගෙවත්ත මැද තබන ලද කුඩා කනප්පුවක් මත පසුපස ගාත් වලින් හිටගෙන ය. ඌ කිසියම් තාලයකට ඉදිරිපස ගාත් වනමින් සිටියේ ය. කනප්පුව අසල බිම විශාල ප්ලාස්ටික් වළල්ලක්, කහ පැහැති බෝලයක් සහ තවත් මොනවාදෝ අඩුම කුඩුම පිරුණු පෙට්ටියක් විය. මේ සෙල්ලම මෙහෙයවමින් සිටියේ ඉතාමත් වයස්ගත කාන්තාවකි. ඇය ඇයගේ කුඩා සිරුරට වඩා දෙගුණයක් පමණ විශාල කබායක් හැඳගෙන සිටින බව විදූ ට දුරටත් පෙනුණි. ඈ ඔහුට පිටුපා උන් බැවින් ඔහු දුටුවේ පුළුන් වන් ඇයගේ හිසකෙස් අහුරත් ඇගේ කුදු ගැසුණු පිටත් පමණි.

"මායාකාරියෙක් වත් ද?" විදූ තමාටම මුමුණා ගත්තේ ය. පොත්වලත් රූපවාහිනියේ කතන්දරවලත් විවිධ ආකාරවල මායාකරුවන් බහුලව උන් නමුත් එවැන්නෙක් තමන්ගේ අසල්වැසියෙක් වීමේ සම්භාවිතාව කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. පසුගිය වසරේ අම්මාත් තාත්තාත් සමඟ බලන්නට ගිය සර්කස් සංදර්ශනයේ නම් සෙල්ලම් පුරුදු කළ බල්ලන් රැසක් උන් නමුත් ඔවුන්ගේ පුහුණුකරුවන් මෙවැනි වයසක උදවිය නොව තරුණ තරුණියන් විය. අනෙක මායාකාරියන් තම ගෙවත්තේ සිට මායා කටයුතු කරන බවක් විදූ අසා තිබුණේ නැත. ඒවා සිදුවුණේ අඳුරු ගුහා වල ය.. නොඑසේ නම් අත්හැර දමා තිබුණු බලකොටු වල ය. මේවා ගැන සිතමින් උන් විදූ , එහා වත්තේ බලු පැංචාගේ අලුත්ම සෙල්ලම ඇස ගැටී වහාම පියවි ලොවට එළඹිණි. බූල් බල්ලා එවර කනප්පුවෙන් බිමට පැන මිදුලේ වටයක් දුවමින් සිටියේ ය. එහෙත් ඌ දිව්වේ සාමාන්‍ය විදිහට නම් නොව, ඉස්සරහා ගාත් දෙකෙනි! ඉනික්බිති වරුවක් තිස්සේ විදූ බල්ලාගේ විවිධ සෙල්ලම් බලා සිටියේ ය. ඌ කරණම් ගසන අයුරුත්, ප්ලාස්ටික් වළල්ලෙන් පිනුම් ගසන අයුරුත් බෝලය පෙරළමින් දිව යන අයුරුත් ඔහු බලා සිටියේ අයා ගත් මුවිනි. මෙසේ බලා සිටිද්දී ඔහුගේ සිතේ ඉබේම සැලසුමක් ඇඳෙන්නට විය. තමන්ගේ වයස්ගත අසල්වැසි කාන්තාවට බල්ලෙකුට මේ තරම් සෙල්ලම් පුරුදු කරන්නට හැකි නම් එය ඉතාමත් පහසු කාර්යයක් විය යුතු ය. තමන් වැනි ජව සම්පන්න කොලුවෙකුට එය දවසින් සිදු කළ හැකි වනු ඇත. අනෙක තමන් මකරු පුහුණු කිරීමේ වැඩසටහන් එකක් වත් නෑර නරඹා ඇති බැවින් එය අමතර සුදුසුකමක් වනු ඇත. පුංචි අඩුපාඩුවකට ඇත්තේ තමන්ට බල්ලෙක් නොමැති වීම ය. එහෙත් ජයන් ට බල්ලෙක් ඇත! මේ ජයන් සමඟ තමන් කරන්නට සොයමින් සිටි 'නිවාඩු කාල ව්‍යාපෘතිය' විය හැක. ජයන් ගේ බල්ලා වන රයිලි ප්‍රමාණයෙන් විශාල, බෙහෙවින් වයස්ගත බල්ලෙක් වීම ගැටළුවක් දැයි විදූ ඇඳ මත හිඳගෙන ම කල්පනා කළේ ය. ප්‍රමාණයෙන් විශාල බල්ලන්ගේ බුද්ධිය ඉහළ බව ඔහු කොහේදී හෝ අසා තිබිණි. එසේ නම් මේ එහා ගෙදර ඇබිංදන් බල්ලාට වඩා රයිලි බෙහෙවින්ම දස්කම් පානු ඇත! මීට අමතරව 'මොළේ කල්පනා කරලා වැඩක් කරන්න තව ටිකක් ලොකු වෙන්න ඕන!' කියා තාත්තා නිතරම තමන්ට කියයි. එයින් අදහස් වන්නේ වයස්ගත රයිලි ට සෑහෙන්න මොලේ කල්පනා කර සෙල්ලම් උගත හැකි බව නොවේ ද? රයිලි ට හන්දිපත් රුදාව ඇති බවත් ඌ දවසම නිදමින් ගතකරන බවත් ජයන් තමන්ට කියා තිබේ. සර්කස් සෙල්ලම් ඉගෙනුම හන්දිපත් රුදාවට හොඳ පිළියමක් බවත්, එවැන්නක නිරත වෙද්දී රයිලි කම්මැලිකමට නිදාගැනීම අත්හරිනු ඇති බවත් ජයන් ට පහදා දිය යුතු ය. එහා වත්තේ මහලු කාන්තාව හා ඇයගේ බල්ලා ගේ සෙල්ලම් දෙස තව බැල්මක් හෙලූ විදූ ඇඳෙන් බැස්සේ අමුතු උද්යෝගයකිනි. වහාම ජයන් මුණගැසෙන්නට යා යුතු ය. රයිලි ට සෙල්ලම් ඉගැන්වීමට සැලැස්මක් සකසා ගත යුතු ය. ප්ලාස්ටික් වළල්ලක් සොයාගත හැකි තැනක් ගැන අම්මාගෙන් ඇසිය යුතු ය. නිවස ඉදිරිපස සෙල්ලම් රංචුවේ කෑකෝ හඬ තවමත් ඇසේ. ජයන්ගේ ගෙදර යන අතරතුර ළඟදීම රයිලි ගේ සර්කස් සංදර්ශනයක් බලන්නට සුදානම් වන්නැයි ඔවුන්ට කිව යුතු බව සිතමින් විදූ තම කාමරයෙන් පිටවූයේ උරුවම්බාමිනි.



Sketch on Lenovo Thinkpad with stylus



February 18, 2020

පදික මාරුව


ගිනිගහන මද්දහනක්. ඈ ඉන්නේ පාරේ විදුලි සංඥා එළි පුවරුව ළඟ, පාර මාරුවෙන්න බලාගෙන. දිග රතු සල්වාර් කමිසයක්. තනි කරලට ගෙතුව නිතඹට දිග කොණ්ඩයක්. මූණ වටේටම කෙස් කැරළි හුළඟට නටනවා- ඒත් ඈට ඒ ගැන වගක් නැහැ. ඇගේ මුළු අවධානයම ඇගේ ඉදිරිපිට තියෙන ප්‍රෑම් එකට යොමුවෙලා. ප්‍රෑම් එකේ ඉන්න පුංචි එකා මෙතැනට නොපෙනුණාට ඒ පැටියා අම්මා එක්ක හුරතල් වෙන බව අම්මාගේ ඉරියව් වලින් කියන්න පුළුවන්. ඈ හිනාවෙනවා, ඔලුව හොල්ලනවා, ප්‍රෑම් එකටම පහත් වෙනවා, මූණ වහන් කරනවා, ආයෙත් බලනවා. සමහරවිට ඒවාට පොඩ්ඩාගෙන් ආපිට හිනා සාගරයක් ලැබෙනවා ඇති. අම්මාට මේ ගිනි අව්ව ගැන වගක් නැත්තේ ඒ නිසා වෙන්න ඇති. ඇගේ මූණ හරි ලාබාල පාටයි. හිනාව හරි සිරියාවයි. අලුත් අම්මෙක්! ප්‍රෑම් එකේ අත්වැටේ කළු පාට කබායක් රඳවලා. දැන් අව්ව වුණාට අද උදේ තද සීතලක් තිබුණා. මේ දෙන්නා මේ උදේ ආව ගමනක් ද දන්නේ නැහැ. ප්‍රෑම් එක යට බඩු මලු දාන්න පොඩි කොටසක් තියෙනවා. මෙතැනට ඒක යන්තමට පේනවා. එතැන උඩ හරියේම තියෙනවා කිරි පිටි ටින් එකක්. ඒක පොඩි පැටියාට වෙන්න ඕන. තව පේනවා බිත්තර තිස් හයේ ඇසුරුමක්. ඒතරම් බිත්තර! සමහරවිට ඈ ඇනවුම් වලට කේක් හදනවා ඇති. ලීක්ස් ගහක දෙකක කොළ මේවා අතරින් පේනවා. දැන් ඈ ගෙදර ගිහින් කිරි බෝතලයක් දීලා පැටියාව නිදිකරවාවී. ඉන්පස්සේ දවාලට උයාවී. ඩිංගක් පරක්කුයි තමයි. ඒත් හැමදාම නෙමෙයිනේ. ඉන්පස්සේ පැටියා නැගිටින්න කළින් ඉක්මණින් ඉක්මණින් කේක් එක හදන්න ගනීවි.

විදුලි සංඥා එළිය වෙනස් වුණා. ඈ ඉක්මන් ගමණින් පාර මාරුවුණේ පොඩ්ඩා එක්ක කෝලම් කරන ගමන්මයි. පදික වේදිකාවේ උස් පහත් තැන් ගැන ඈ ඉබේම වගේ ප්‍රවේසම් වුණේ ප්‍රෑම් එකේ යට හරියේ තියෙන බඩු මලු ගැන හිතුව නිසා වෙන්න ඕන. මේ කඩ පේලියක් කිට්ටුව නිසා අවට ගෙවල් නම් නැහැ. ඈ මේ අව්වේ ප්‍රෑම් එක තල්ලු කරගෙන තව බොහොම දුරක් යන්න නියමිත ඇති. ගෙදර යන්න කළින් රස්නේ වැඩිවෙලා පැටියා අඬාවිද?


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ලයිට් එක කොළ පාට වුණා අම්මා, යන්නේ නැද්ද? දැන් පිටිපස්සේ අය හෝන් ගහයි!"

"ආ! ඔව්නේ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මම මේ කතන්දරයක් පාර පනිනවා බලාගෙන හිටියානේ!"






February 15, 2020

අකල් වැහි

කැම්පස් එකට වහින්නේ එක පාරට. හදිස්සියේම අකල් වැහි සේලයක් ගස් මුදුන් වලින් බිමට පාත් වෙනවා. ඒ වෙලාවට බංකුවල, බැමිවල වාඩිවෙලා උන්නු, ගස් යට, තණකොළ බිස්සේ කතාකර කර උන්නු හැමෝම හෙවණක් හොයාගෙන දුවනවා. සමහරවිට කැම්පස් එකට වහින්නේ එකපාරට නෙමෙයි වෙන්නත් ඇති. අනිත් තැන් වලට වගේම අහස කළු කරලා, නපුරු වෙලා වරුවක් තිස්සේ වහින්න අරඅඳිනවා ඇති. සමහර විට කැම්පස් එකේ කාටවත් අන්තිම වෙනකම් ඒ බව පේන්නේ නැතිව ඇති. අහසේ නපුරු කම ගහ කොළ වියනෙන් වැහිලා යනවා ඇති. ඈත එන වැස්සේ සද්දේ කතා බහ හිනා වලට මුවා වෙනවා ඇති

එහෙම එක පාරට වැටුණු වැස්සක් දිහා මම කැන්ටිමේ ඉඳන් බලාගෙන හිටියේ වරුවක් තිස්සේ. ඒකට ඕපන් කැන්ටිම කිව්වේ බිත්ති වෙනුවට වැඩියම තිබුණේ කවුළු-කුලුණු නිසාද, එතැන බොහොම විවෘතව හිතන්න පරිසරයක් තිබුණ නිසාද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ කැන්ටිම වටේටම රූස්ස ඇහැළ ගස්. ඒත් මල් කැන් වෑස්සෙන ඇහැළ ගස් නෙමෙයි. කාලෙකට තද කහ පාට මල් වලින් පිරිලා තිබුණු වල් ඇහැළ ගස්. මල් පිපෙන කාලෙට ඕපන් කැන්ටිම වටේට ඇතිරිල්ලක් වගේ මේ කහ මල්පෙති විසිරුණේ කැන්ටිමේ පුටු මේස වල කහ පාටට ඔච්චම් කරන්න වගේ.

මම හිටියේ තුන්වෙනි තේ කෝප්පේ බොන ගමන්. මගේ වටේට ළමයි රංචු පිටින් කැන්ටිමට ආවා ගියා. විෂය කරුණු ගැන ගලාගෙන ගිය තර්ක, දේශපාලන බහින් බස් වීම්, විහිළු තහළු, කතන්දර සද්ද මගේ වටේට රැළි ගැහුවා. ඒත් ඒවා හැම දෙයක්ම ඇහෙන නෑහෙන තරමට මගේ හිත ඇතුළේ සද්දේ ඝෝෂාවක් වෙමින් තිබුණේ. විසඳුම් නැති ප්‍රශ්න කීපයක්ම හිත ඇතුළේ එකා පස්සේ එකා දිව්වේ තරඟයට වගේ. සුලේඛා මගේ ළඟට ඇවිත් උරහිසට අත තියනකම් මම හිටියේ පියවි ලෝකයට බොහොම ඈතින්. වැස්සේම දුවගෙන ආව නිසා සුලේඛා හිටියේ හති අරිමින්. එයාගේ කැරලි කොණ්ඩෙන් එක සීරුවට වතුර බින්දු වෑස්සුණා. ගවුම තෙතබත් වෙලා තිබුණා.

'ලෙක්චර් එකට ආවේ නැත්තේ ඇයි?' කියලා නොඅහාම සුලේඛා අද සටහන් ටිකේ ෆොටෝ කොපි ටික මගේ ළඟින් තිබ්බා. ඊටපස්සේ මගේ හිස් තේ කෝප්පයත් අරගෙන ගිහින් අපි දෙන්නාට තේ දෙකකුත් වඩේ දෙකකුත් ගෙනත් මගේ ළඟින් වාඩිවුණා. ප්ර්ශ්න අහලා, අතොරක් නැතිව දොඩවලා නිශ්ශබ්දතාවය පුරවන්න උත්සාහ නොකරන සුලේඛා ගේ මේ ගතිගුණ මම එයාට කැමති වෙන්න ලොකුම හේතුවක්. මං වෙනුවෙන් මේ සටහන් ෆොටෝ කොපි කරන්න කැම්පස් එක ඉස්සරහ කඩපේළියේ වැස්සේම රස්තියාදු වුණු නිසායි එයා මෙතරම් තෙමිලා තිබුණේ කියලා මට තේරුණා. මට සුලේඛා ගැන පපුව හීරෙන තරමේ ආදරයකුත් උහුලාගන්න බැරි දුකකුත් දැනුණා. මම වචනයක්වත් නොකීවට ඒ ටික එහෙමම තේරුණු ගානට සුලේඛා මගේ උරහිසට ඔළුව තිබ්බා.

උපාධිය අතඇරලා රස්සාවකට යන එක ගැන අවසාන තීරණය ගන්න මට තව දවස් දෙකතුනයි තිබුණේ. ඇත්තටම කියනවානම් එතැන ගන්න තීරණයක් තිබුණේ නැහැ. අනිවාර්යයෙන් කළ යුතු දේ කරන දවස කල් දමමින් මම හිටියේ. අම්මාගේ ඇදුම රෝගය නිතර නිතර උත්සන්න වුණේ බය හිතෙන විදිහට. අම්මාව බලාගන්න ගමේ නැවතුණොත් මට කැම්පස් එන අදහස අතඅරින්න වෙනවා. දිගටම කැම්පස් හිටියොත් ළඟදීම ට්රේොනින් එකට කොහේ හරි ආයතනයකට යන්න වෙන නිසා මට අම්මාව බලාගන්න යන්න වෙන්නේ නැහැ. මේ හැම දේටම වඩා සල්ලි කියන ප්ර ශ්නය මගේ හැම සිතිවිල්ලක්ම යටපත් කරගෙන නැගිට්ටා. අම්මාගේ අසනීපෙට යන බෙහෙත් හේත් වලට වියදම් කරන්න නම් මට අනිවාර්යයෙන් ස්ථිර ආදායමක් වුවමනා වුණා. මේ තරම් කල් කළ විදිහට මගේ ශිෂ්‍යාධාර සල්ලි වලින් වියදම් පිරිමහගන්න පුළුවන් මට්ටම ඒ වෙද්දී පහුවෙමින් තිබුණේ. අම්මා වෙනුවෙන් මම උපාධිය අත ඇරියා කියලා දැනගත්තොත් අම්මාට වාවන්නේ නැති වෙයි. අම්මාට හැමදාම තිබුණු ලොකුම හීනය මම උපාධියක් ගන්න එක. ඒත් මොනවා කරන්නත් අම්මා ජීවත් වෙලා ඉන්න ඕන. අවුරුදු දෙකක් තිස්සේ එක එක ප්ර්ශ්න මැද්දේ ආපු මේ දුර මට අම්මා වෙනුවෙන් අතාරින්න පුළුවන් බව මට ඒත්තු යමින් තිබුණා. සමහර දාට රෑ මැදියමට මම තිගැස්සිලා ඇහැරෙන්නේ අම්මා කෙඳිරිගාන සද්දේ හීනෙන් වගේ ඇහිලා. අම්මාට ආයෙත් ඇදුම උත්සන්න වෙලාද හිත හිත ගෙවුණ ඒ රැයවල් මගේ හුස්මත් හිර කළා.

මම නිහඬව හිටිය අතරේ සුලේඛා පැවරුමක් සම්පූර්ණ කරන්න පටන්ගෙන තිබුණා. ඔළුව ගිනිගෙන උන්නු මගෙන් මේ දවස්වල බින්දුවක් වත් උදවු නොලැබුණත් මේ හැම පැවරුමක් ම සුලේඛා අතින් මං වෙනුවෙනුත් අලුතෙන් ලියවෙන බවත් ඒවාට මටත් නොඅඩුව ලකුණු ලැබෙන බවත් මම දැනගෙන හිටියා. මේ හැම හැලහැප්පිල්ලක් මැද්දෙම නොවෙනස් ව මගේ ළඟ හිටිය සුලේඛා වගේම හොස්ටල් එකේ ගජේට මාව තියාගත්ත, තමන්ගේ කලිසම කමිසේ ඉඳන් මාත් එක්ක බෙදාගත්ත, කැන්ටිමෙන් කන්න සල්ලි නැති උණාම එක ප්ලේන්ටිය බෙදාගත්ත යාළුවො ටිකත් නොහිටින්න මට පිස්සු හැදිලා හුඟ කල්.

වැස්ස එන්න එන්නම තවත් තද වුණා. ඈත කස ගස් ටික නොපෙනෙන තරමට මීදුමක් පැතිරිලා තියෙනවා අපි හිටිය තැනට පෙනුණා. වෙනදාට දවාලට කඩි ගුලක් ඇවිස්සුණ තරමට කලබල කැම්පස් එක වැස්ස නිසා නිසොල්මන් වෙලා තිබුණා. මහා වැස්සේ තෙමි තෙමි දුවන කෙනෙක්, කුඩයක් අතින් ගත්තු කෙල්ලෙක් දෙන්නෙක් විතරක් වැහි දුමාරයෙන් මතුවෙලා ආයෙත් නොපෙනී ගියා. කඩදාසි මිටියක්ම පිරෙන්නට සීරුවෙන් මොනවාදෝ ලියමින් හිටිය සුලේඛා ගේ අතට හිරිකඩ ඉහුණත් එයාට ඒ ගැන නිනව්වක් තිබුණේ නැහැ. මගේ ළඟ තිබුණු ෆයිල් කවරයක් හිරිකඩ එන පැත්තට තියලා මම සුලේඛා ව වැස්සෙන් මුවාකළා.

මගේ අවධානය එයාට යොමු වෙලා කියලා තේරුණු සුලේඛා ලියවිල්ලෙන් ඔළුව ඉස්සුවා.

"සචිත් අපි අම්මාව කොළඹ ගේමු" එයා ස්ථිර කටහඬකින් කිව්වා.
එක තත්පරයකට මගේ හිතේත් බලාපොරොත්තුවක් ඇවිලිලා නිවිලා ගියා.

"මටවත් ඉන්න හරියකට තැනක් නැති එකේ එහෙම කරන්නේ කොහොමද සූ?"මගේ කටහඬේ පරාජිත බව මටම දැනුණා.

ඒත් සුලේඛා ඒ අදහස කිව්වේ ආවාට ගියාට නෙමෙයි කියලා මට තේරුණේ එයා තව දිගට විස්තර කියද්දී.
"මම මේ කිට්ටුවෙන් ඇනෙක්ස් එකක් හොයාගෙන ඔයාගේ අම්මාත් එක්ක ඒකෙ ඉන්නම්. එතකොට රෑකට උණත් අම්මාට අමාරු උණොත් මං ඉන්නවානේ. දවල්ට අපි දෙන්නා මාරුවෙන් මාරුවට අම්මාව බලාගමු. අපේ යාළුවො ටිකත් උදවුකරයිනේ." සුලේඛා කිව්වේ මේ ගැන සෑහෙන්න දුර කල්පනා කළ ගානට.

"ඒත්.. සල්ලි?"මම වචන එළියට දැම්මේ අමාරුවෙන්. හැම ප්ර ශ්නයකම විසඳුම නවතින්නේ සල්ලි ළඟින් බව මට ඒ වෙද්දී ඕනෑවටත් වඩා ඒත්තු ගිහින් තිබුණේ.

"මම දැන් බෝඩිමට ගෙවන ගානට වඩා ඕනනම් ටිකක් වැඩිවෙයි ඇනෙක්ස් එකක්. මට හවුලට නවතින්න යාළුවෙක් දෙන්නෙක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. එතකොට අපිට උයාගෙන කන්නත් පුළුවන්. කෑමට වියදමත් අඩුයි. ඔයා කිව්වා නේද ටියුෂන් කරන්න විදිහක් තිබුණා නම් ගාණක් හොයාගන්න පුළුවන් කියලා? මම අපේ බෝඩිමේ ඇන්ටි ගෙන් ඇහුවා. එයා කැමතියි එයාගේ පුතාටයි තව ළමයි කීප දෙනෙකුටයි කැම්පස් ළමයෙක්ගෙන් ටියුෂන් ගන්න. අපි ඉතුරු ටිකකොහොම හරි කරගමු සචිත්. ඔයා ඩිග්රිය අතාරින්න හිතන්න එපා. අපි ඉක්මනටම අම්මාව ගේමු!"

සුලේඛා කිව්වේ එක හුස්මට. එයාගේ ඇස් දෙකේ බලාපොරොත්තු පිරිලා තිබුණා. මං වගේම එයාත් රෑ නිදි නැතිව කල්පනා කරලා කරලා මේ නිගමනයට ඇවිත් තිබුණු බව මට තේරුණා.

"ඒත්...සුලේඛා...මගේ අම්මාව..ඔයා බලාගන්න?"මගේ වචන හිරවුණේ ඇස් දෙකට කඳුළු පිරෙද්දී. සුලේඛා බොහොම කලාතුරකින් හම්බවෙන විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් බව දැනගෙන හිටියත් මං වෙනුවෙන් එයා මේ වගේ කැපකිරීමක් කරයි කියලා මට කවදාවත් හිතිලා තිබුණේ නැහැ.

"ඔව්! එතකොට පස්සේ කාලෙක ඒ නැන්දම්මා මේ ලේලි එක්ක රණ්ඩුවෙන එකක් නැහැනේ!" සුලේඛා හිනාවෙලා කිව්වා.

එයා එහෙම විහිළුවක් කරලා මගේ හිත සැහැල්ලු කරන්න උත්සාහ කළත් එයාගේ ඇස් දෙකේත් කඳුළු පිරිලා ඉතිරෙමින් තිබුණා.

මට කියන්න තිබුණු දේවල් පපුවේම හිරවෙලා නතරවුණා. මුකුත්ම නොකියා මම සුලේඛා ගේ අත තදින් අල්ලා ගත්තා. එයා කඳුළු පිහිදාගෙන ආයෙත් කලින් වගේ හිනාවුණා.

හදිසියේම ඇදගෙන වැටුණු තරම්ම ඉක්මනට වැස්ස නැවතුණා. ඇහැළ ගස් වල උස අතු අතරින් අව්ව තීරු අමාරුවෙන් පහළටරිංගන්න උත්සාහ කළා. සමහරවිට කැම්පස් එකට වැටෙන අකල් වැහි නතර වෙන්නෙත් එකපාරට නෙමෙයි වෙන්න ඇති. හෙමින් හෙමින් වලාකුළු ගහගෙන ගිහින් වැස්ස තුරල් වෙනවා ඇති. ඒත් කැන්ටින්වල මේස ළඟ ඉඳගෙන බැරෑරුම් කථාවල පැටලිලා ඉන්න අයට ඒ බව පේන්නේ නැතිවා වෙන්නත් ඇති.



Classic Magazine, Dept of Public Administration, University of Sri Jayawardenepura 2020, Vol 8, pages 29-30

-----------------------------------------------------------------------------------------------------------------
Classic කියන්නේ ජ'පුර රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යනාංශයෙන් වාර්ෂිකව ප්‍රකාශනය කරන සඟරාවක්. සරසවියෙන් පිටවෙලා අවුරුදු බර ගණනක් වුණත්, ලංකාවෙන් පිට හිටියත්, හැම අවුරුද්දෙම මේ සඟරාවට කෙටි කතාවක් ලියලා එවන්න කියලා මට බොහොම ආදරයෙන් බලකරන මිතුරියක් දැන් සරසවියේ ඇදුරු මඩුල්ලේ ම ඉන්න නිසා මටත් ඒ සඟරාවේ කොටසක් වෙන්න ඉඩ ලැබෙනවා. මේ ඒකෙ 2020 කලාපය. තාම සඟරාවේ online version එකක් නැති නිසායි කතාව මේ විදිහට දැම්මේ. Classic සඟරාව වෙනුවෙන් මම ලවා කෙටි කතාව ලියවා ගත්තාට පවිත්‍රා මධුවන්ති මිතුරියට මගේ ආදරය!


Photo-Open Canteen from Lanka University News

September 11, 2019

කාබුල් වෙළෙන්දා


Translation of the short story Cabuliwallah by Rabindranath Thagore




මගේ පස් හැවිරිදි දියණිය, මිණි, නොදොඩා සිටින්නට දන්නේම නැති කෙල්ලකි. ඇගේ දිවියේ විනාඩියක් වත් නිහඬ ව ගත කර අපතේ යවා නැති බව මම නම් තදින් විශ්වාස කරමි. ඇගේ මව මේ ගැන කේන්ති ගෙන ඒ දෙඩවිලි නවතාලන්නට වෙහෙසුණත්, මා නම් කිසිවිටකවත් එසේ කළේ නැත. මිණි නිහඬව සිටිනු දැකීම අසාමාන්‍ය දසුනක් වූ අතර මට එය දරාගනු බැරි දෙයක් විය. ඉතින් මාත් ඈ හා නිරතුරුවම රස කතාබහේ යෙදුණි. 

ඇතැම්විට සිදුවූයේ මෙවැන්නකි. මගේ අලුත්ම නවකතා පොතේ දාහත්වන පරිච්ජේදය ලියමින් සිටිනා වෙලාවක, මිණි හෙරක මෙන් රහසේම කාමරයට විත් මගේ අත අල්ලා ගෙන මෙසේ කියන්නීය.

"තාත්තා! රාම් දයාල් දොරටු පාලකයා කපුටා කියලා කියන්නේ වැරදියට! එයා මුකුත් දන්නේ නැහැ නේද?"

මා ඈට ලෝකයේ ඇති භාෂාවල වෙනස්කම් ගැන පැහැදිලි කරන්නට තැත් කරද්දීම ඈ වෙනම මාතෘකාවක් පටන්ගෙන අවසන් ය. 

"භෝලා කියනවා අහසේ අලියෙක් ඉඳගෙන උගේ හොඬවැලෙන් වතුර විදින එකලු අපිට වහිනවා වගේ පේන්නේ! ඇත්තද තාත්තා?"

ඊට ගැලපෙන පිළිතුරක් මා ගොනු කරද්දී ඇගේ කතා වෙනත් දෙසකට දිවගොස් හමාර ය. 

"තාත්තා! අම්මාගෙයි ඔයාගෙයි මොකක්ද තියෙන නෑකම?"

ඉතා අමාරුවෙන් සිනාව වළක්වා ගන්නා මා "මිණි! ගිහින් භෝලා එක්ක සෙල්ලම් කරන්න, මම වැඩක්!" කියාගන්නට සමත් වේ. 

මගේ කාමරයේ කවුළුවට මහපාර හොඳින් දිස් විය. දිනක් දැරිය මේසය අසල බිම මගේ දෙපා කිට්ටුවෙන් සෙල්ලම් කරමින් උන්නා ය. මගේ පොතේ දාහත් වන පරිච්ජේදය ලියා නිම කරන්නට මම වෙහෙසෙමින් සිටියෙමි. ඒ කතාවේ වීරයා වූ ප්‍රතාප් සිං, වීරවරිය වූ කාංචනලතා ව බදා වැළඳගෙන මාලිගාවේ තුන්වෙනි මහලේ කවුළුවකින් පනින්නට සූදානම් වූවා පමණයි, මිණි කෑ ගසමින් කවුළුව අසලට දිව ගියා ය. 

"කාබුල් වෙළෙන්දෙක්, කාබුල් වෙළෙන්දෙක්!" ඈ කෑ ගෑවා ය. 

ඈ කී පරිදිම කාබුල් සිට පැමිණි වෙළෙන්දෙක් මහමඟ ගමන් කරමින් සිටියේ ය. ඔහුගේ උපන්බිම වැසියන් පළඳින ආකාරයේ බුරුල් කිළුටු ඇඳුමක් ඔහු ඇඳ සිටි අතර හිසේ කුඩා තලප්පාවක් ද විය. ඔහු පිටේ මල්ලක් එල්ලාගෙන සිටි අතර අතේ මිදි පිරවූ පෙට්ටියක් විය. 

දියණිය ඔහුට හඬගැසුවේ කුමන අදහසකින්දැයි මා නොදැන සිටි නමුත් එය අසා 'දාහත්වන පරිච්ජේදය ලියලා හමාරයි!' කියා නම් මට සිතිනි. දැරිය දුටු වෙළෙන්දා අපගේ ගෙවත්ත වෙත හැරුණු මොහොතේම දැරිය බියෙන් ත්‍රස්ත වී මව වෙත ගොස් සැඟවුනා ය. හැඩි දැඩි මිනිසා අත වූ මල්ලේ ඈ වැනිම ළමයින් තව කීප දෙනෙක් ඇති බවට අන්ධ විශ්වාසයක් මිණි හට තිබූ බව පෙනිණි. ඒ අතරවාරයේ වෙළෙන්දා සිනාසෙමින් මා අභියස සිටගෙන සිටියේ ය. 

මගේ පොතේ වීරයාත් වීරවරියත් පසු වූ අඩමාන අවස්ථාව සලකා කුමක් හෝ මිළ දී ගෙන මොහුව යවා දමන්නට මට හදිසි ආවේගයක් ඇති විය. එහෙත් මා ඔහුගෙන් සුළු දේවල් කිහිපයක් මිළදී ගනිද්දී අබ්දුල් රහමාන් ගැන, රුසියානුවන් ගැන, ඉංග්‍රීසින් ගැන, දේශසීමා ප්‍රතිපත්ති ගැන අප අතරේ කතාබහක් ඇති විය. 

යන්නට පිටත් වෙද්දී “පුංචි බේබි කෝ සර්?” යැයි ඔහු විමසී ය.

මිණි ගේ සිතේ මේ මිනිසා ගැන පැලපදියම් ව ඇති බොරු බිය තුරන් කළ යුතු බව සිතූ මම ඇය ව පිටතට කැඳවාගෙන ආවෙමි. ඇය මගේ පුටුව අසල සිටගෙන කාබුල් වෙළෙන්දාත් ඔහුගේ මල්ලත් දෙස බලා සිටියා ය. ඔහු ඇයට වියළි මිදි සහ කජු පියලි අහුරක් දුන් නමුත් ඈ එය පිළිනොගෙන මා වෙතම ඇලී සිටියේ වැඩුණු සැකයෙනි. 

ඒ ඔවුන්ගේ පළමු හමුවීමයි.

ඊට දින කිහිපයකට පසු උදෑසනක නිවසින් පිටවෙද්දී මිණි දොරකඩ අසල බංකුවක හිඳ ඇගේ දෙපා අසල වාඩිගෙන සිටි කාබුල් වෙළෙන්දා සමඟ ඉතා සතුටින් කතාබහක යෙදෙනු දැක මම ඉමහත් පුදුමයට පත් වුණෙමි. තාත්තාට අමතරව තමන්ට මෙලෙසින් ඉවසිල්ලෙන් සවන් දෙන වෙන කිසිවෙක් දියණියට පෙර කිසිදිනක ලැබී තිබුණේ නැත. ඒ වෙද්දීත් අමුත්තා ඇයට තෑගි කළ ආමන්ඩ් ඇට සහ වියළි මිදි වලින් ඇගේ පුංචි ඇඟලුමේ කෙළවරක් පිරී තිබිණි. “මොකටද එයාට මේවා දුන්නේ?” විමසමින් මා ඔහුට ඒ වෙනුවෙන් ශත අටක් දුන් විට ඔහු විරෝධයක් නොපා ම එය ගෙන සිය සාක්කුවේ රුවා ගත්තේ ය. 

එහෙත් මා ඉන් පැයකට පමණ පසු නැවත නිවසට එද්දී ඒ අවාසනාවන්ත කාසිය එහි වටිනාකමෙන් දෙගුණයකටත් වඩා වැඩි තරමේ කලබැගෑනියක් සිදු කර තිබිණි. වෙළෙන්දා මා දුන් කාසිය මිණි හට දී තිබුණු අතර එය ඇය අත දිලිසෙමින් තිබියදී ඇගේ මවට හසු වී තිබිණි. 

“ඔයාට කොහෙන්ද ඔය සල්ලි?” අම්මා සැකයෙන් ඇගෙන් විමසා ඇත.

“මට කාබුල් වෙළෙන්දා දුන්නේ” මිණි සතුටින් පිළිතුරු දී ඇත

“කාබුල් වෙළෙන්දා දුන්නා! අනේ මිණි ඔයා මොකටද ඒක එයාගෙන් ගත්තේ?” අම්මා කම්පාවෙන් කෑ ගසා ඇත. 

එවෙලේ නිවසට ආ මාහට මිණි ට සිදු වන්නට නියමිත ව තිබුණු ව්‍යසනයෙන් ඈ ව ගලවා ගන්නට හැකි විය. මඳක් ප්‍රශ්න කිරීමෙන් පසු මට මේ මිතුරුකමේ සැබෑ තතු අනාවරණය විය. ඒ, ඔවුන් දෙදෙනා මුණගැසුණු පළමු හෝ දෙවෙනි අවස්ථාව නොවන බවත්, නිරන්තරයෙන් ආමන්ඩ් ඇට සහ වෙනත් රසකැවිලි අල්ලස් දී දැරිය තමන් වෙත ඇති අධික බිය මඟහරවා ගැනීමට වෙළෙන්දා සමත් වී ඇති බවත්, දැන් ඒ දෙදෙනා හොඳ යහළුවන් බවත් මට සොයාගනු හැකි විය. 

මේ දෙදෙනාට ම වෙන් වූ අපූරු විහිලු රැසක් තිබුණු අතර දෙදෙනාම ඉන් මහත් විනෝදයක් ලැබූ හ. උස මහත මිනිසා අබියස හිඳ සිටින මිණි ඉතාමත් කුඩාවට, එහෙත් බෙහෙවින්ම උදාර ව දිස් විය. ඈ කැකිරි පලමින් ඔහුගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගනී. 

“කාබුල් වෙළෙන්දා, කාබුල් වෙළෙන්දා.. මොනවාද ඔය මල්ලේ තියෙන්නේ?”

“අලියෙක්!” ඔහු කඳුකර වැසියන්ගේ නාසික හඬින් පිළිතුරු දේ.

බැලූ බැල්මට මෙහි මහා හාස්‍යයක් නොතිබුණත් ඒ දෙදෙනා නම් ඉන් මහත් සතුටක් ලැබූ බව පෙනිණි. එය අසා සිටි මටත් කුඩා දරුවෙක් වැඩිහිටියෙක් හා සමඟ කරන කතාබහේ අමුතු චිත්තාකර්ෂණීය බවක් දැනිණි. 

තමන්ගේ වාරය පැමිණි විට වෙළෙන්දා ත් නොදෙවෙනිව මිණි ගෙන් ප්‍රශ්න අසන්නට විය. 

“දැන් කවද්ද පුංචි බේබි මාමණ්ඩිලාගේ ගෙදර යන්නේ?”

බෙංගාලි කෙල්ලන් ‘මාමණ්ඩි ගේ ගෙදර’ ගැන ඉගෙනගන්නේ කුඩා කාලයේ දී ම ය. එහෙත් අප මඳක් අලුත් පන්නයේ වූ බැවින් මෙවැනි දේ දැරියගෙන් වසන් කර තිබුණු අතර මේ ප්‍රශ්නයෙන් ඇය මඳක් වික්ෂිප්ත වූ බවක් දිස් විය. එහෙත් ඒ බවක් නොපෙන්වා ඈ උපාය නුවණින් “ඔයාත් යනවාද එහේ?” යැයි වෙළෙන්දාගෙන් ආපිට ප්‍රශ්න කළා ය. 

කාබුල් වෙළෙන්දාගේ පන්තියේ මිනිසුන් අතර ‘මාමණ්ඩි ගේ ගෙදර' යන පදයට යටි අරුතක් තිබිණි. ඔවුහු එය හිරේ විලංගුවේ වැටෙනවාටත් යෙදූ හ. ඔවුන් එසේ කීවේ එය තමන්ගේ කිසි වියදමක් නොමැතිව, කා බී සැපට සිටිය හැකි තැනක් යන්න අදහස් වන්න යි. ඉතින් මේ හැඩිදැඩි වෙළෙන්දා දියණිය නැඟූ ප්‍රශ්නය ඒ අරුතින් වටහා ගත් බවක් පෙනිණි. 

සිතින් මවාගත් පොලිස්කරුවෙක් වෙත අත මිට මොලවමින් “ආ..මාමණ්ඩි ට මම තඩිබාන්න ඉන්නේ!” යැයි ඔහු කීය. මෙය අසා ගුටි කන මාමණ්ඩියෙක් සිතින් මවාගත් මිණි මහා හඬින් සිනාසෙන්නට වූ අතර ඇගේ ඒ සිනාවට වෙළෙන්දාත් හවුල් විය. 

අතීතයේදී එවැනිම සරත් කාලවලදී පැරණි රජවරු වෙනත් සතුරු රාජධානි අත්පත් කරගැනීමට යුධ වැදුණු නමුත් මම කල්කටාවේ මගේ කුඩා මුල්ලෙන් නොසෙල්වී ම මනසින් ලොව පුරා ඇවිද්දෙමි. වෙනත් රටක නමක් ඇසුණු පමණින්, මඟ තොට දී විදේශිකයෙක් දුටු පමණින් මගේ සිත සිහින ජාලයක් වියන්නට උත්සුක විය. එරට කඳු නිම්න ගැන, වනාන්තරයක් අසල කුඩා නිවහනක් ගැන, එහි මිනිසුන් ගතකළ නිදහස් නිවහල් දිවිය ගැන කතන්දර මවාගන්නට මම පුරුදු ව සිටියෙමි. සමහරවිට මේ දවල් සිහින මැවීම මා සිදුකළේ මා ගත කළ ඒකාකාරී ජීවිතය සංචාරයක අදහසින් පවා උඩු යටිකුරු වන බව දැන සිටි නිසා විය හැක. කාබුල් වෙළෙන්දා ළඟපාතක සිටින විට ඔහුගේ ගම් ප්‍රදේශයේ ශූෂ්ක කඳු පන්ති සහ ඒ අතරින් දිවෙන පටු අඩි පාරවල් වෙත මම නිරතුරුව සිතින් ගමන් කළෙමි. බඩු පොදි ඔසවා යන ඔටුවන්, අමුතු තුවක්කු සහ හෙල්ල අතින් ගත් තලප්පා බැඳි වෙළෙඳුන් තැනිතලා බිම් මතින් ගමන් කරනු මට මැවී පෙනුණි. ඒත් මෙවැනි අවස්ථා වලදී මිණි ගේ අම්මා මගේ දැහැන බිඳින්නේ ‘අර මිනිහාගෙන් පරෙස්සම් වෙන්න ඕන!’ යැයි ඇවිටිලි කරමිනි. 

අවාසනාවකට මෙන් මිණි ගේ අම්මා ඉතා කුලෑටි කාන්තාවක් විය. පාර දෙසින් ශබ්දයක් ඇසුණු විට, නොඑසේ නම් නිවස දෙසට කවුරුන් හෝ පැමිණෙනු පෙනුණු විට ඈ වහා වහා ඒ ගැන වැරදි නිගමනයන්ට එළඹෙන්නට උත්සුක වේ. හැමවිටම ඒ එන්නේ හොරු ය, බේබද්දන් ය, සර්පයන් ය, කොටි ය. එක්කෝ මැලේරියාව ය, කැරපොත්තන් ය. නොඑසේ නම් දළඹුවන් ය. කොයිතරම් කාලයක් ගත වූවත් ඇයට මෙවැනි භීතිකාවන්ගෙන් මිදෙනු නොහැකි විය. මේ නිසා කාබුල් වෙළෙන්දා ගැන මහත් සැකයෙන් පසු වූ ඈ ඔහු ගැන ඇස ගසාගෙන සිටින මෙන් මගෙන් අයැද්දා ය. 

ඇය නිකරුණේ බිය වී ඇති බව කියා එය විහිළුවකින් බැහැර කරන්නට මා උත්සාහ කළත් ඈ බරපතල ප්‍රශ්න නඟා මගේ තර්ක බින්දා ය. 

ළමුන් පැහැරගෙන යාම රට තොට සිදුවෙන්නේ නැති ද?

කාබුල් නගරයේ වහල් සේවය තියෙන බව කියවෙන්නේ බොරු ද?

මේ හැඩිදැඩි මිනිසා මේ පුංචි දරුවා පැහැරගනී යන්න විය නොහැකි ම ද?

එය සිදුවිය හැකි දෙයක් වූ නමුත් එවැන්නක් සිදු නොවනු ඇති බව ඇයට ඒත්තු ගන්වන්නට මා මහන්සි ගත්තත් ඇගේ බියේ වෙනසක් සිදු වූයේ නැත. එහෙත් ඒ මිනිසාට නිවස වෙත ඒමට තහංචි පැනවීම නුසුදුසු බවක් දැනුණු හෙයින් මේ මිතුරුකම වෙනසක් නොවී ම ගලා ගියේ ය. 

හැම වසරකම ජනවාරි මාසයේ මැදදී රාමන් නම් වූ ඒ කාබුල් වෙළෙන්දා තමන්ගේ ගම රට බලා යෑම පුරුද්දක් කරගෙන සිටියේ ය. ඒ කාලය කිට්ටු වෙද්දී ඔහු ඉතා කාර්යබහුල වූයේ ගෙයින් ගෙට ගොස් ණය එකතු කරගැනීමට වෙහෙසුණු නිසා ය. එහෙත් මේ වසරේ නම් ඒ රාජකාරි අතරතුරේ දී පවා ඔහු මිණි බලන්නට එන්නට කෙසේ හෝ වෙලාව සොයා ගත්තේ ය. පිටින් බලන්නෙකුට නම් මෙය මේ දෙන්නාගේ කුමන්ත්‍රණයක් සේ පෙනෙන්නට ඉඩ තිබුණේ උදය වරුවේ බැරි වුවහොත් කෙසේ හෝ හවස් වරුවේ දී හෝ ඔහු ඈ බලන්නට පැමිණි නිසා ය. 

ඇතැම්විට බඩු පොදි අතින් ගත් මේ හැඩිදැඩි මිනිසා අඳුරු දොරකඩකින් මතුවනු දකිද්දී මා හට වුව තිගැස්මක් ඇති වූ නමුත් “ආ කාබුල් වෙළෙන්දා! කාබුල් වෙළෙන්දා!” කියමින් මිණි ඔහු වෙත දිව යනු දකිද්දී, වයසින් අහසට පොළොව වැනි වූ මේ මිතුරන් දෙදෙනාගේ විහිලු තහළු ඇසෙද්දී මටත් යම් සැනසිල්ලක් දැනිණි. 

ඔහු නිවාඩුවට ගම රට බලා යන්නට නියමිතව තිබුණු දිනට දින කිහිපයකට කලින් මා මගේ පොතේ හරි වැරදි බලමින් කාමරයේ විය. කාලගුණය තරමක් සීතල වූවත් කවුළුවෙන් ආ හිරු රැස් තීරුවක් මගේ දෙපා ස්පර්ශ කර මඳ උණුසුමක් පැතිරවීය. වේලාව උදෑසන අටට ආසන්න ව තිබුණු අතර පාන්දරින්ම මහමඟ ට බට මගීන් තමන්ගේ හිස් ආවරණය කරගෙන නිවෙස් බලා යනු පෙනිණි. හිටිවනම මහා පාර දෙසින් කලබගෑනියක් ඇසුණු අතර මා එබී බලද්දී දුටුවේ මාංචු ලූ රාමන් ව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැඳවාගෙන යන ආකාරය යි. ඔවුන් පසුපසින් කුතුහලයෙන් පිරුණු කොලු රංචුවක් ද විය. කාබුල් වෙළෙන්දාගේ ඇඳුම් වල ලේ පැල්ලම් තිබුණු අතර එක් පොලිස් නිලධාරියකු අත පිහියක් විය. මම වහා වහා දිව ගොස් ඔවුන් ව නවත්වා සිදුව ඇති දේ ගැන විස්තර ඇසුවෙමි. පිරිසේ සිටි අය කී දෙයින් මට තේරුම් ගියේ රාම්පුරි සාළුවක් මිළදී ගැනීම වෙනුවෙන් මගේ අසල්වැසියෙක් රාමන් ට ණයක් තිබුණු බවත්, ඒ ගැන විමසද්දී ඔහු එය ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන්පසු ඇති වූ රණ්ඩුවේ දී රාමන් ඔහුට පහර දී ඇති බවත් ය. මේ විස්තර කිරීම් සිදුකෙරෙද්දීත් චූදිතයා තම සතුරාට විවිධ අපහාස කරමින් පසු විය. මේ අතරේ අප නිවසේ බරාඳයෙන් හදිසියේ මතු වූ මගේ කුඩා මිණි “ආ කාබුල් වෙළෙන්දා! කාබුල් වෙළෙන්දා!” යැයි සුපුරුදු ලෙස කෑ ගසමින් දිව ආවා ය. ඈව දුටු විට රාමන් ගේ මුහුණ සතුටින් දිලිසෙන්නට විය. එදා නම් ඔහු සතුව මල්ලක් නොතිබුණු නිසා එහි අලියෙක් සිටී ද නැද්ද යන වග ගැන ඇයට ඔහුගෙන් විමසන්නට නොහැකි බැවින් ඇය ඉක්මණින් ම ඊළඟ ප්‍රශ්නයට යොමු වූවා ය. 

“ඔයා මාමණ්ඩි ගේ ගෙදර යනවාද?”

රාමන් එය අසා සිනාසී, “ඔවු පුංචි බේබි, හරියට හරි, එහේ තමයි මම මේ යන්නේ!” යැයි කීය. 

ඒත් ඒ පිළිතුරින් ඈ සතුටු වූ බවක් නොපෙන්වූ නිසා ඔහු මාංචු ලූ දෑත පෙන්වා 

“මගේ අත් දෙක ගැට ගහලා නේ, නැත්නම් මම දෙනවා උන්දැට හොඳ පාරක්!” ද කීය. 

ජීවිත හානි කිරීමට තැත් කිරීම හා පහර දීම වෙනුවෙන් රාමන් ට වසර කීපයක සිර දඬුවමක් ලැබුණි. 

සුපුරුදු ලෙස කාලය ගත වූ අතර ඒ කාලයේදී කිසිවෙකුටවත් රාමන් ව සිහිපත් වූයේ නැත. කලක් නිදහසේ විසූ කඳුකර වැසියා සිරකුටියක වසර ගණනක් ගත කරන බව අපට මතක් වූයේ වත් නැත. ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන් සිටි මගේ කුඩා මිණි ට පවා ඇගේ පරණ මිතුරා අමතක වූ බව මට කියන්නට කණගාටු ය. ඇය වයසෙන් වැඩෙද්දී ඇගේ ජීවිතයට අලුත් සගයන් එක් වූ අතර ඇය වැඩිපුරම ආශ්‍රය කළේ වෙනත් දැරියන් ය. ඇය ඔවුන් හා කෙතරම් කාලය ගත කළාද යත් ඇගේ පියාව බලන්නට ඔහුගේ කාමරයට එන්නට පවා ඇයට වෙලාවක් තිබුණේ නැත. ඒ වෙද්දී අප දෙදෙනාගේ කතාබහ නැත්තටම නැති තරම් විය. 

වසර ගණනක් ගත වූ පසු එළඹුණු එක් සරත් සමයක මිණි ගේ විවාහය සඳහා කටයුතු සූදානම් කර තිබිණි. ඊට දින යෙදී තිබුණේ පූජා නිවාඩු වකවානුවේ දී ය. දුර්ගා කයිලාස් වෙත යද්දී අප නිවසේ ආලෝකයත් පියා ගේ නිවස අඳුරේ තනිකර සැමියා ගේ නිවස වෙත යන්නට නියමිත ව තිබිණි. 

එය දීප්තිමත් උදෑසනක් විය. වැසි වැටී වටපිටාවේ අලුත් පිවිතුරු බවක් දිස් විය. නුමුහුන් රත්‍රන් සේ බැබලුනු හිරු කිරණ නිසා කල්කටාවේ අතුරු මාවතක තිබුණු අප නිවසේ ගඩොල් බිත්ති පවා දිදුලමින් තිබිණි. පාන්දර පටන් මඟුල් උළෙල වෙනුවෙන් අප නිවසේ වැයෙමින් තිබුණු නළා හඬේ හැම ස්වරයක් පාසා ම මහද සැලිනි. ඒ වැයුණු බයිරවී රාගයෙ විලාපය එළඹෙමින් තිබුණු වියෝව ගැන මා හට දැනුණු වේදනාව උත්සන්න කරවී ය. මගේ මිණි එදා විවාපත් වෙන්නට නියමිතව තිබිණි!

පාන්දර සිටම නිවස සද්ද බද්ද හා කලබලයෙන් පිරී තිබිණි. මැද මිදුලේ සිටවූ උණ බම්බු අතර වියනක් බඳින්නට නියමිතව තිබිණි. සිහින් කිංකිණි හඬ නංවන පොකුරු පහන් හැම කාමරයකත් බරාඳයේත් එල්ලන්නට නියමිතව තිබිණි. බැලු බැලූ අත නොනිම් කඩිමුඩියත් උද්වේගයත් දක්නට විය. මා මගේ කුටියේ ගණන් පරීක්ෂා කරමින් සිටිද්දී යම් පුද්ගලයෙකු ඇතුල් වී, මට ගෞරවයෙන් ආචාර කර පසෙකින් සිට ගත්තේ ය. ඒ කාබුල් වෙළෙන්දා වූ රාමන් විය. මට මුලදී ඔහුව හඳුනාගැනීමට දුෂ්කර වූයේ ඔහු අත මල්ලක් නොතිබූ නිසාත්, ඔහුගේ දිගු කොණ්ඩය කොටට කපා තිබුණු නිසාත්, ඔහු සතුව පෙර තිබුණු ප්‍රබෝධමත් බව පෙනෙන්නට නොතිබුණු නිසා ත් ය. එහෙත් ඔහු මා හා සිනාසුණු සැණින් මම ඔහුව හඳුනාගත්තෙමි.

"උඹ කවද්ද ආවේ රාමන්?" මම ඔහුගෙන් ඇසුවෙමි.


"ඊයේ හවස හිරෙන් නිදහස් වුණා" ඔහු කීය.


ඒ වදන්වල කර්කශ බවක් මට දැනුණි. තම සහෝදර වැසියෙකුට තුවාල කළ පුද්ගලයෙක් හා මා පෙර කෙදිනකවත් සාමීචි පවත්වා තිබුණේ නැති අතර ඒ බව වැටහුණු විට මගේ හදවත කීරි ගැසිණි. අද වැනි සුභ දිනයක ඔහු නෑවිත් සිටියා නම් යහපත් බව මට සිතිණි.

"අද උත්සව දවසක්, ඒ නිසා මට වැඩ ගොඩයි. උඹට බැරිද වෙන දවසක ආපහු එන්න?" මම ඇසීමි.

එය අසා ඔහු වහා වහා යන්නට හැරුණත්, දොර ළඟ මඳක් නතර වී "මට පුංචි බේබි ව ඩිංගකට බලන්න බැරිද සර්?" යැයි විමසී ය. මිණි තවමත් පෙර සේ ම නොවෙනස් ව ඇති බව ඔහු විශ්වාස කර තිබිණි. "ආ! කාබුල් වෙළෙන්දා.. කාබුල් වෙළෙන්දා!" කියමින් ඇය ඔහු වෙත දිව එනු ඇතැයි ඔහු මවාගෙන ඉන්නට ඇත. අතීතයේදී කළ පරිදිම දෙදෙනාට සිනාසෙමින් කතා කරනු හැකිවේ යැයි ඔහු සිතා තිබිණි. ඔහු අත තිබුණු මුදල් සියල්ල අහිමි වූ නිසා වෙනත් වෙළෙන්දෙකුගෙන් කෙසේ හෝ ඉල්ලා ගත් ආමන්ඩ් ඇට සහ වියළි මිදි මුලක් ඔහු රැගෙන විත් තිබුණේ මේ අතීත මතකයන් මැද ගැවසෙමිනි.

"අද ගෙදර උත්සවයක්. අද කවුරුවත් මුණගැහෙන්න බැහැ" මම නැවතත් කීවෙමි.

එය අසා ඔහුගේ මුහුණ අඳුරු විය. ඔහු කල්පනා බරව මා දෙස බලා හිඳ "සුබ දවසක්" කියා පිටතට යන්නට ගියේ ය.

ඔහු ගැන තරමක අනුකම්පාවක් දැනුණු නිසා මා ඔහුට නැවත හඬ ගසන්නට යද්දී ඔහුම ආපිට පැමිණියේ ය. නැවතත් මා අසලට පැමිණි ඔහු 

"මම මේ ගෙනාව දේවල් ටික පුංචි බේබි ට දෙන්න පුළුවන් ද සර්?" කියා ඇසීය. මම ඔහු වෙතින් එය අරගෙන ඒ සඳහා මුදල් ගෙවන්නට සූදානම් වෙද්දී ඔහු මගේ අත අල්ලා එය වැළකීය.

"සර් බොහොම කරුණාවන්තයි, මට සල්ලි එපා, මාව මතක තියාගන්න-ඒ ඇති. මහත්තයාගේ දුව වගේම දුවෙක් මටත් ගමේ ඉන්නවා. ඈ ව මතක් වෙලායි මම පුංචි බේබි ට රසකැවිලි ගේන්නේ, නැතිව මට වාසියක් ගන්න නෙමෙයි"

මෙසේ කියා තමන්ගේ කිළුටු ලෝගුවට අත යැවූ ඔහු කුණු වැකුණු කුඩා කඩදාසි කැබැල්ලක් පිටතට ගත්තේ ය. ඔහු ඉතා ප්‍රවේසමෙන් එය දිග හැර, දෑතින් ම මගේ මේසය මත ඇතිරී ය. එහි තිබුණේ පුංචි අතක සලකුණකි. එය අත්ලක තීන්ත තවරා කඩදාසියක් මත තැබූ විට ඇතිවන සලකුණක් මිස ඡායාරූපයක්වත් රේඛා චිත්‍රයක්වත් නොවී ය. ඔහු වසරක් පාසා කල්කටාවට පැමිණ ගෙන් ගෙට ගොස් බඩු විකුණා තිබුණේ කුඩා දියණියගේ අත්ලත ස්පර්ශය හැමදාම හදවත අසලින් තබාගෙන ය. 


මගේ දෑසට කඳුළු පිරුණි. ඔහු කාබුල් සිට පැමිණි පලතුරු වෙළෙන්දෙක් පමණක් බව මට අමතක විය. ඔහු හා බලද්දී මා නම් - එහෙත් මා ඔහුට වැඩිය කවරෙක් ද? ඔහුත් මා වැනිම පියෙකි. දුර ඈත කඳුකර නිවහනක වෙසෙන ඔහුගේ පුංචි පාර්වතී ගේ අත්ලත සලකුණ මට මගේ කුඩා මිණි ව සිහියට ගෙනාවේ ය.


මිණි ව කැඳවාගෙන එන්නැයි මම ඇතුල් ගෙයට වහාම පණිවිඩයක් යැව්වෙමි. ඊට බොහෝ විරෝධතා මතු වූවත් මා ඒ කිසිවකට සවන් දුන්නේ නැත. නොබෝ වෙලාවකින් රතු මඟුල් සාරියෙන් සැරසී, නළලත සඳුන් තවරා තරුණ මනාලියක් ලෙස අලංකාර ව උන් මිණි පැමිණ විනීත ව මා අසලින් සිටගත්තා ය.

මේ වෙනස දැක කාබුල් වෙළෙන්දා මහත් විශ්මයට පත් වූ බවක් පෙනිණි. ඔවුන්ගේ පැරණි මිතුදම ට නැවත පණ දීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. අවසානයේදී ඔහු සිනාසී 

"පුංචි බේබි මාමණ්ඩි ලාගේ ගෙදර යනවද?" කියා ඇසී ය.

එහෙත් මේ වෙද්දී මිණි 'මාමණ්ඩි ලාගේ ගෙදර යන' යෙදුමේ නියම තේරුම දැන සිටි නිසා ඇයට පෙර පරිදි සැහැල්ලුවෙන් පිළිතුරු දෙනු නොහැකි විය. ඇය ලැජ්ජාවෙන් රතු වූ මුහුණ සඟවාගෙන ඔහු අසල සිටගෙන සිටියා ය.

මිණි ත් කාබුල් වෙළෙන්දා ත් මුලින්ම මුණ ගැසුණු දිනය සිහිවී මට මහත් ශෝකයක් දැනුණි. මිණි යන්නට ගිය විට රාමන් දිගු සුසුමක් හෙලා බිම හිඳගත්තේ ය. ඔහු නැති අතරතුරේ දී ඔහුගේ දියණියත් වයසින් වැඩෙන්නට ඇති බවත් දැන් ඔහුට ඇය සමඟත් අලුතින් මිතුරු වීමට සිදුවිය හැකි බවත් ඔහුට හදිසියේ සිතී තිබිණි. ඔහු එද්දී සිටි ආකාරයට වඩා ඈ බෙහෙවින්ම වෙනස් වී ඇති බව සහතික ය. පසුගිය අට වසරට ඈට මොනවා නොවන්නට ඇති ද?

නැවතත් මඟුල් නලා හඬ ඇසෙන්නට වූ අතර සරත් සමයේ ලා හිරු එළිය අප වටා පැතිරෙමින් තිබිණි. එහෙත් අපගේ පටු කල්කටා වීදියේ උන් රාමන් මනසින් දකිමින් සිටියේ ඇෆ්ගනිස්ථානයේ ශුෂ්ක කඳු පෙළ ය.

සාක්කුවෙන් මුදල් නෝට්ටුවක් ගත් මා, එය ඔහුට දුන්නේ "උඹේ රටට, උඹේ දුව ගාවට පලයන් රාමන්, උඹ අද මුණගැහුණු එකේ සතුට මගේ කෙල්ල ට වාසනාව ගෙනේවි" කියමිනි. 

මේ මුදල් ත්‍යාගය දුන් නිසා එදා උත්සවයේ සමහර විශේෂාංග කපා හැරීමට මට සිදු විය. විදුලි බුබුළු දැල්වීමටත්, හමුදා තූර්ය වාදක කණ්ඩායම ගෙන්වීමටත් නොහැකි වීම ගැන නිවසේ කාන්තාවෝ නම් මහත් තැවුලට පත්ව සිටියහ. ඒත් දුර ඈත දේශයක, බොහෝ කලක් මඟ හැරී සිටි පියෙකුට තම දියණිය නැවත මුණගැසේ ය යන සිතිවිල්ල මට නම් ඒ මඟුල් උත්සවය බෙහෙවින්ම ආලෝකමත් කරන්නට සමත් විය.


From the book- Cabuliwallah and Other Stories by Rabindranath Tagore
Picture- copyright free image from Pixabay

August 03, 2019

මරන්න ගෙන ගිය බැටළුවා


Translation of the short story 'Lamb to the Slaughter' by Roald Dahl
 
 

උණුසුම්ව, පිරිසිදුව තිබුණු කාමරයේ ජනෙල් තිර වසා තිබිණි. ඇගේ පුටුව අසලත් ඊට ඉදිරියෙන් තිබුණු හිස් පුටුව අසලත් මේස ලාම්පු දල්වා තිබූ අතර ඈ පසුපස තිබූ මේසය මත උස වීදුරු දෙකක සෝඩා වතුරත්, විස්කිත් විය. තර්මොස් බඳුනක් අලුත් අයිස් කැටවලින් පුරවා තිබිණි

මේරි මැලෝනි ඇගේ සැමියා රැකියාවෙන් පසු ගෙදර එනතුරු බලාගෙන සිටියා ය.

ඇය වරින්වර ඔරලෝසුව දෙස නෙත් යොමු කළේ කලබලයකින් නොවේ. ඈ එසේ කළේ ගතවෙන හැම විනාඩියක් පාසාම ඔහු එන වෙලාව ළඟා වන බව මතක් කරමින් සතුටු වන්නට ය. ඈ වටා පැතිරුණේ මඳහසක ස්වරූපය යි. ඈ කළ හැම දේකම මුදු බව දැවටී තිබිණි. මැහුම වෙත ඇගේ හිස නැමී තිබුණේ ඉන් පෙර නොවූ විරූ නිසල බවකිනි. මේ ඇගේ ගැබිණි බවේ හය වෙනි මාසය නිසා ඇගේ හමේ විනිවිද පෙනෙන ගතියක් තිබුණි. ඇගේ වත පුරා අමුතු සිලිටි බවක් පැතිරී තිබුණු අතර, දෑස අලුත් සෞම්‍ය ගතියකින් පෙරට වඩා විශාලව දිස් විය. ඔරලෝසුවේ වෙලාව පහට දහයක් ලෙස සටහන් වෙද්දී ඈ වඩාත් හොඳින් සවන් දෙන්නට විය.  ඉන් සුළු මොහොතකට පසු, හරියටම වේලාවට, එළියේ රථයක් නවත්වන හඬත්, එහි දොරක් වැසෙන හඬත්, කවුළුව අසලින් පිය ගැටෙන හඬත්, දොරේ යතුර කරකැවෙන හඬත් ඇසිණි. ඇය මැහුම පසෙකින් තබා නැගිට ඉදිරියට ගියේ ඔහු එද්දීම හාදුවක් දීමට ය.

“හෙලෝ ඩාලිං” ඈ කීවා ය.
“හෙලෝ ඩාලිං” ඔහු පිළිතුරු දුන්නේ ය.

ඇය ඔහුගේ කබාය ගෙන එය අල්මාරියේ රැඳවූවා ය. ඉනික්බිති බීම තබා තිබුණු තැනට ගොස් ඔහුට සැර බවින් වැඩි බීම වඩියක් ද, තමන්ට සැර අඩු වීදුරුවක් ද ගෙනැවිත් නැවත මහමින් සිටි ඇඟලුම අතට ගෙන හිඳගත්තා ය. ඔහු ඇයට ඉදිරියෙන් ඇති අසුනේ හිඳ, දෑතින්ම උස වීදුරුව කලතමින් සිටියේ එහි වූ අයිස් කැට ගැටී සිහින් හඬක්  නැංවෙන ලෙසිණි. 

ඇයට නම් මේ දවසේ තෘප්තිකර ම වේලාව යි. පළමු විස්කි වීදුරුව අවසන් වන තුරු ඔහු නිහඬව සිටීමට ප්‍රිය කරන බව ඇය දැන සිටියා ය. දවස පුරාම නිවසේ තනිව ගත කළ දිගු හෝරාවන්ට පසු එළැඹෙන මේ වේලාවේ ඈ ද නිහඬව ඔහුගේ සමාගම විඳින්නට කැමැත්තෙන් සිටියා ය. ඔහු ඇසුරේ දැනෙන සුවය උපරිමයෙන් විඳිමින් ඔහු හා තනි වූ විට ඔහුගෙන් නික්මුණු පිරිමි රශ්මියේ ඈ කිමිදුණේ හිරු රැස් නාන අයෙක් මෙනි. ඔහු දොරකින් ඇතුල් වන ආකාරයට, කාමරයක් හරහා දිගු අඩි තබමින් ඇවිදින ආකාරයට, සැහැල්ලුවෙන් අසුනක හිඳ සිටින ආකාරයට ඈ ආදරය කළා ය. ඔහු ඈ දෙස බලද්දී ඔහුගේ දෑසේ දිස් වූ තියුණු, කල්පනා භරිත පෙනුමටත්, ඔහුගේ මුවේ හැඩයටත් ඈ ප්‍රිය කළා ය. ඒ හැමටත් වඩා ඔහු විස්කි වීදුරුවේ බලයෙන් තමන්ගේ මහන්සිය අඩු වෙන තෙක් ඒ තෙහෙට්ටුව ගැන කිසිවක් නොකීම ගැනත් ඇයට මහත් ආදරයක් දැනුණි.

“මහන්සි ද ඩාලිං?”

“ඔව්” ඔහු කීය. “හරි මහන්සියි” එසේ කියූ ඔහු හදිසියේම වෙනදාට නොකරන දෙයක් කළේ ය. ඒ, වීදුරුව ඔසවා එහි ඉතිරි ව තිබුණු විස්කි වඩිය එක හුස්මට මුවට හලා ගැනීම ය. ඇය ඔහු දෙස එක එල්ලේ බලා සිටියේ නැතත් වීදුරුවේ අඩකට වඩා විස්කි තිබුණු බව අයිස් කැට හිස් වීදුරුවේ ගැටෙන හඬින් ඇයට වැටහිණි. පුටුවේ ඉදිරිපසට නැමී මොහොතක් නිසොල්මන් ව උන් ඔහු, නැගිට තවත් විස්කි වීදුරුවක් වත්කර ගැනීම පිණිස සෙමෙන් ඇවිද ගියේ ය.

“මං අරන් දෙන්නම්!” ඇය හඬ නගා කීවේ පුටුවෙන් වහා වහා නැගිටමිනි. 

“වාඩිවෙන්න” ඔහු කීය.

ඔහු නැවත පැමිණි විට ඔහුගේ අලුත් බීම වඩියේ විස්කි සාන්ද්‍රණය වැඩි කම නිසා එය තද පැහැති බව ඇයට පෙනිණි.

“ඩාලිං, ඔයාගේ සෙරෙප්පු දෙක ගෙනත් දෙන්නද?”

“එපා”

ඔහු අඳුරු පැහැ බීම වීදුරුව තොලගාන අයුරු ඈ බලා සිටියා ය. එහි සැර බව නිසාම තෙල් ගතියෙන් යුතු රැළි නැගෙනු ඇයට පෙනිණි.

“ඔයා තරම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් දවස තිස්සෙම හිටගෙන ඉන්න වෙන එක හරි අසාධාරණයක් කියලායි මට නම් හිතෙන්නේ” ඈ කීවා ය.

ඔහු කිසිවක් කීවේ නැති නිසා ඇය යළිත් ඇගේ අතේ වූ මැහුම වෙත නෙත යොමු කළා ය. ඔහු වීදුරුව තොලගාන හැම වරකම එහි අයිස් කැට ගැටෙන හඬ ඇයට පැහැදිලි ව ඇසිනි.

“ඩාලිං මම ඔයාට චීස් ටිකක් ගේන්නද? අද බ්‍රහස්පතින්දා නිසා මම රෑට කෑම හැදුවේ නැහැ.”

“එපා” ඔහු කීය.

“ඔයාට කෑමට එළියට යන්න මහන්සි වැඩි නම් තාම උයන්න පරක්කු වැඩි නැහැ” ඇය දිගටම කියාගෙන ගියා ය. “ෆ්‍රීසර් එකේ ඕනෑතරම් මස් ජාති තියෙනවා. ඔයාට ඔය පුටුවෙන් නැගිටින්නේවත් නැතිවම කෑම කන්න පුළුවන්”
ඔහුගෙන් පිළිතුරක්, සිනහවක්, කුමක් හෝ සන් කිරීමක් ලැබේදැයි ඇගේ දෑස බලාපොරොත්තුවෙන් විය.

“කොයිකටත් මම ඔයාට මුලින්ම චීස් ටිකක් එක්ක ක්‍රැකර්ස් ටිකක් ගේන්නම්” ඇය යළිත් කීවා ය.

“මට ඕන නැහැ” ඔහු කීය.

ඔහු දෙස අයාගත් විශාල දෙනෙතින් යුතුව ඇය නොසන්සුන් ව පුටුවේ හිඳ සිටියා ය.

“ඒත් ඔයා මොනවා හරි කන්න ඕන නේ! මම ලෑස්ති කරන්නම්, එතකොට ඔයාට ඕන නම් කන්න පුළුවන්, අකමැති නම් නොකා ඉන්න පුළුවන්”

ඇය පුටුවෙන් නැගිට මැහුම මේස ලාම්පුව අසලින් තැබුවා ය.

“වාඩිවෙන්න” ඔහු කීවේය. “විනාඩියකට වාඩිවෙන්න”

ඇයට බියක් දැනෙන්නට වූයේ එවිට ය.

“ඉතින් වාඩිවෙන්න” ඔහු නැවතත් කීය.

ඇය හෙමින් සීරුවේ පුටුවට පහත් වූයේ කැළඹුණු විශාල දෑස ඔහු දෙස යොමාගත් ගමන්ම ය. ඔහු දෙවෙනි බීම වඩිය අවසන් කර හිස් වීදුරුව තුළට ඔරවාගෙන සිටියේ ය.

“මේ අහන්න” ඔහු කීය. “මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”

“ඇයි ඩාලිං? මොකක් හරි ප්‍රශ්නයක් ද?”

මේ වෙද්දී ඔහු සම්පූර්ණයෙන්ම නිසොල්මන් ව සිටියේ ය. ඔහු හිස නවා සිටියේ ලාම්පුවේ ආලෝකය මුහුණෙන් කොටසකට වැටී මුව අඳුරේ තිබෙන ලෙස ය. ඔහුගේ වම් ඇස අසල නහරයක් ගැහෙන බව ඇයට පෙනිණි.

“ඔයාට මේක ටිකක් කම්පනයක් වෙයි” ඔහු කීය. “ඒත් මම සෑහෙන්න කල්පනා කරලා තීරණය කළා ඒක ඔයාට කෙළින්ම කියන එකයි කරන්න ඕන කියලා. ඔයා මට වැඩිය දොස් කියන එකක් නැහැ කියලා මං හිතනවා”

ඉනික්බිති ඔහු ඇයට කීවේ ය. ඒ සඳහා උපරිමයෙන් විනාඩි තුන හතරක් මිස ඊට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇය බොහෝ සෙයින් නිශ්චලව ඒ සියල්ල අසා සිටියේ කැලඹීමක් මුසු වූ ත්‍රාසයකිනි. ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා ඔහු ඇයගෙන් දුරස් වෙමින් සිටියේ ය.

“ඉතින් ඒක තමයි විස්තරය” ඔහු අවසන් වශයෙන් කී ය. “මං දන්නවා මේ ඔයාට මේක කියන්න හොඳ වෙලාවක් නෙමෙයි කියලා, ඒත් වෙන ගැලපෙන වෙලාවක් එන එකක් නැහැ. මම කොහොමත් ඔයාට සල්ලි දෙන්නම්, ඔයාගේ වැඩ කටයුතු ගැන බලන්නම්. ඒත් ඔයා ප්‍රශ්න ඇති කරන්නේ නැතිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම වුනොත් මගේ රස්සාවට හොඳ නැහැ”

ඇයට මුලින්ම සිතුණේ ඒ කිසිවක් විශ්වාස නොකර ප්‍රතික්ෂේප කරන්නට ය. සමහරවිට ඔහු කිසි දෙයක් නොකියන්නට ඇති  බවත්, මේ සියල්ලම ඈ සිතින් මවා ගන්නට ඇති බවත් ඇයට සිතිණි. සමහරවිට ඈ සුපුරුදු වැඩකටයුතු වල නියැලුනොත්, මේ කිසිවක් නොඇසුණා සේ රඟපෑවොත් ටික වෙලාවක් යද්දී මේ කිසිවක් සිදු නොවූ බව ඇයට දැනෙනු ඇත.

“මම කෑම ලෑස්ති කරන්නම්” ඇය රහසෙන් මෙන් කියන්නට සමත් විය. මෙවර නම් ඔහු ඇයව වැළකුවේ නැත.
කාමරය හරහා ගමන් කරද්දී ඇයට තමන් පාවෙන බවක් දැනිණි. සුළු අප්පිරියාවක්, ඔක්කාර ගතියක් ඇරෙන්නට ඇයට වෙන කිසිවක් දැනුණේ නැත. ඇය යාන්ත්‍රිකව මෙන් බිම් මහලට ගොස්, විදුලි බුබුල දල්වා, ෆ්රීසරය විවර කර, අත ගැටුණු පළමු දේ පිටතට ගත්තා ය. එය ඔතා තිබුණු කඩදාසිය ඉවත් කර ඇය එය දෙස බැලුවා ය.

එය බැටළු මස් ගාතයක් විය.

එහෙනම් ඔවුන්ට රෑ කෑමට බැටළු මස් අහාරයට ගනු හැක. මස් ගාතයේ සිහින් කෙළවර දෑතින්ම අල්ලාගෙන ඇය එය යළි උඩුමහලට ගෙන ගියා ය. විසිත්ත කාමරය හරහා යද්දී ඔහු ඇයට පිටුපා කවුළුවෙන් පිටත බලා  සිටිනු දැක ඇය නැවතුණා ය.

“දෙවියන්ගේ නාමෙට මට කෑම හදන්න එපා” ඇය නැවත ආ හඬ ඇසුණත් ආපසු හැරී නොබලාම ඔහු කීය. “මම එළියට යනවා”

ඒ මොහොතේ මේරි ඔහු වෙත ඇවිද ගොස්, බිඳක්වත් නොනැවතී, ඈ අත තිබුණු සීතලෙන් ගල් වූ මස් ගාතය ඉහළට ඔසවා හැකි වෙර යොදා ඔහුගේ හිස පසුපසට පහර දුන්නා ය.

එය යකඩ ආයුධයකින් ගැසූ පහරක් තරමට ශක්තිමත් විය.

ඈ අඩියක් පසුපසට ගෙන බලා සිටියා ය. වඩාත්ම පුදුම සහගත කරුණ වූයේ පහර වැදුණු පසු ත් ඔහු තත්පර හතරක් පහක් වැනි වැනී සිටගෙනම පසුවීමයි. ඉන්පසු ඔහු කපා හෙළූ කඳක් සේ බිම ඇද වැටුණි.

ඔහු ඇද වැටුණු හඬේ බියකරු බව, ඔහුගේ සිරුරේ ගැටී මේසයක් උඩු යටිකුරු වීම වැනි දේ ඇයව කම්පනයෙන් මුදවා ගැනීමට සමත් විය. ඇය සෙමෙන් සිහි එලවා ගනිමින් සිටියා ය. ඇයට පුදුමයක් ද තද සීතලක් ද දැනෙමින් තිබිණි. වේගයෙන් ඇසිපිය හෙලමින් ඇය ඔහුගේ සිරුර දෙස බලා සිටියේ ඒ විහිලු සහගත මස් ගාතය දෑතින්ම තදින් අල්ලාගත්වනම ය. 

හරි, ඈ තමාටම කියාගත්තා ය. මම එයාව මැරුවා.

ඇගේ මනස හදිසියේම නිරවුල් වී තිබුණේ පුදුම සහගත ලෙස ය. ඇය ඉතා වේගයෙන් සිතන්නට විය. රහස් පරීක්ෂක නිලධාරියෙක්ගේ බිරිඳ වූ ඈ මීට අදාළ දඬුවම ගැන හොඳාකාරවම දැනගෙන සිටියා ය. ඇයට ඒ ගැන කම්පාවක් දැනුණේ නැති අතර එය එක්තරා ආකාරයක සැනසිල්ලක් සේ සිතෙමින් තිබිණි. එහෙත් දරුවාට කුමක් සිදුවනු ඇතිද? නූපන් දරුවන් කුසේ දරාගත් මිනීමරුවන් වෙනුවෙන් තිබුණේ කවරාකාරයේ නීති ද? ඔවුන් අම්මාත් දරුවාත් දෙදෙනාම මරා දැමුවා ද? නොඑසේ නම් දඬුවම දීමට දරුවා බිහි වන තුරු බලා සිටියා ද?

මේරි මැලෝනි ඒ ගැන දැන සිටියේ නැත. ඒ නිසා ඒ අවදානම ගැනීමට ඇගේ සූදානමක් තිබුණේ ද නැත.

ඇය මස් ගාතය කුස්සියට ගෙන ගොස්, එය බඳුනක බහා, විදුලි පෝරණුව ක්‍රියාත්මක කර, එය ඊට ඇතුළු කළා ය. ඉනික්බිති දෑත සෝදා ඉහළ මාලයේ නිදන කාමරය වෙත දිව ගියා ය. කැඩපත ඉදිරියේ හිඳ කොණ්ඩය පිළිවෙල කර වත්සුණු තවරා ගත්තා ය. ඇය සිනාවක් පලඳාගන්නට උත්සාහ කළ නමුත් එය අමුතු විරිත්තීමක් සේ දිස් විය. ඈ යළි වරක් උත්සාහ කළා ය.

“හෙලෝ සෑම්” ඈ උද්යෝගයෙන්, ශබ්ද නගා කැඩපතට කීවා ය.
ඇගේ කටහඬේ තිබුණේ නොගැලපෙන ස්වරයකි.

“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, බෝංචි ටින් එකකුත් දෙන්න”
එවර නම් ඇගේ කටහඬත් සිනාවත් සාමාන්‍ය වෙමින් තිබිණි. ඇය තව කීපවරක් ඒ ස්වරය අභ්‍යාස කළා ය. ඉන්පසු පහත මාලයට දිවගොස්, කබාය ඇඟලාගෙන, නිවසේ පසුපස දොරින් පිටවී මහමඟට බැස්සා ය.

වෙලාව සවස හය පසු වී නොතිබුණත් කඩය තුළ විදුලි බුබුළු දැල්වී තිබුණි.

“හෙලෝ සෑම්” ඇය කවුන්ටරය පසුපස උන් මිනිසා වෙත සිනාවක් පාමින් කීවා ය.

“සුබ සන්ධ්‍යාවක් මිසිස් මැලෝනි, කොහොමද?”
“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, ආ.. ඔව්, බෝංචි ටින් එකකුත් දෙන්න”
ඔහු ඈ ඉල්ලූ දෑ දීමට උත්සුක විය.

“පැට්‍රික් ට මහන්සිලු, අද රෑ කෑමට එලියට යන්න බැහැලු” ඈ ඔහුට කීවාය. “අපි සාමන්‍යයෙන් බ්‍රහස්පතින්දාට රෑ කෑමට එළියට යනවා. අද ඉතින් ගෙදර උයන්න එලවලු මොනවත් නැති බව එයාට අහු වුණා”

“එහෙනම් මස් ටිකකුත් ඕනද මිසිස් මැලෝනි?”

“නෑ, බොහොම ස්තූතියි, මස් තියෙනවා. මම ෆ්රීසර් එකෙන් හොඳ බැටළු මස් ගාතයක් ගත්තා”

“ආ!”

“අනේ මන්දා සෑම්, මම නම් ඒතරම් කැමති නැහැ හීතල පිටින්ම මස් උයන්න, ඒත් අද ඒක කරන්න වුණා. ඔයා හිතන්නේ ප්‍රශ්නයක් නැතිවෙයිද?”

“මම නම් හිතන්නේ ඕකේ ලොකු වෙනසක් නැහැ කියලා” කඩහිමියා කීය “මේ ලොකු අල වලින් දාන්නද?”

“ඔව් ඒවා හොඳයි, එයින් දෙකක් දාන්න”

“වෙන මොනවාද?” ඔහු හිස ඇල කර ඇය දෙස බලා සිනාසෙමින් ඇසීය. “කෑමට පස්සේ? අතුරුපසට මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ?”

“සෑම් හිතන්නේ මොනවාද හොඳ?”

කඩහිමියා කඩය සිසාරා නෙත් යොමු කළේය. “ ලොකු චීස්කේක් කෑල්ලක් දුන්නොත් මොකද? එයා ඒවාට කැමති බව මම දන්නවා”

“නියමයි” ඈ කීවාය. “එයා චීස්කේක් කන්න හරිම ආසයි”

හැමදේම ඔතා අසුරා දුන් පසු ඈ මුදල් ගෙවා, ඇගේ කාන්තිමත් ම සිනහව ඔහුට දී “බොහොම ස්තූතියි සෑම්, සුබ රාත්‍රියක්” කීවාය.

“ඔබටත් බොහොම ස්තූතියි මිසිස් මැලෝනි, සුබ රාත්‍රියක්”

දැන්, මේ සිදුවන්නේ රෑ කෑම පිළියෙළ කෙරෙන තුරු බලා සිටින තම සැමියා වෙත් තමන් ඉක්මනින් ගෙදර යෑම බව ඇය තමන්ටම කියා ගත්තාය. ඔහු දවස පුරා වෙහෙසවී ගෙදර පැමිණ ඇති නිසා ඇය රෑ කෑම හැකි තරම් රසවත් ව පිළියෙළ කළ යුතු ය. මෙවැනි සිතුවිල්ලකින් නිවසට යන ඇය හට හදිසියේ වත් එහිදී අසාමාන්‍ය, බියකරු දෙයක් දකින්නට ලැබුණොත් ඇය කම්පනයත් ශෝකයත් නිසා උමතුවෙන් මෙන් හැසිරෙන්නට ඉඩ ඇත. එහෙත් ඇය එවැනි කිසි දෙයක් තුන් හිතකින් වත් බලාපොරොත්තු වන්නේ නැත. ඇය මේ කඩයෙන් එළවලු මිළදීගෙන ගෙදරට යනවා පමණි. මිසිස් පැට්‍රික් මැලෝනි බ්‍රහස්පතින්දා හවසක කඩෙන් එළවලු මිළදීගෙන තම සැමියාට රෑ කෑම සූදානම් කරන්නට ගෙදර යනවා පමණි.

එහෙමයි ක්‍රමය, ඇය ඈ ටම කියාගත්තාය. හරි විදිහට, සාමාන්‍ය විදිහට හැම දේම කරන්න. හැමදේම ස්වභාවිකව කරද්දී රඟපාන්නට වුවමනා නොවනු ඇත.

ඉතින් මේ විදිහට සිතූ නිසා නිවසේ පසුපස දොරටුවෙන් ඇතුළු වෙද්දී ඈ පුංචි තාලයක් මුමුණමින්, සිනාසෙමින් සිටියා ය. 
“පැට්‍රික්!” ඈ හඬ නඟා කතා කළා ය. “ඔයාට කොහොමද ඩාලිං?”
 
ඇය අත වූ පාර්සලය මේසය මත තැබූ ඈ විසිත්ත කාමරය වෙත ගියා ය. එසේ ගොස් හදිසියේම ඔහු එහි බිම වැටී සිටි අයුරු දුටු විට, ඔහුගේ දෙපා ඇකිලී, අතක් සිරුරට යටවී ඇඹරී තිබෙනු දුටු විට ඇයට සැබවින්ම කම්පනයක් දැනුණි. ඔහු ගැන ඇගේ සිතේ නිධන්ගතව තිබුණු ආදරය උතුරායන්නට විය. ඇය ඔහු වෙත දිවගොස්, ඔහු අසල දණගසාගෙන වැළපෙන්නට විය. එය කෙතරම් පහසු වීද යත් කිසිම රඟපෑමක් අවශ්‍ය වූයේ නැත.

විනාඩි කිහිපයකට පසු ඇය නැගිට දුරකථනය වෙත ගියා ය. පොලීසියේ දුරකථන අංකය ඇය දැන සිටි අතර අනෙත් පසින් පිළිතුරු ලැබුණු විට ඈ කෑගසන්නට විය.

“ඉක්මනට එන්න! ඉක්මනට! පැට්‍රික් මැරිලා!”

“කවුද කතාකරන්නේ?”

“මිසිස් මැලෝනි, මිසිස් පැට්‍රික් මැලෝනි”

“මොකක්? පැට්‍රික් මැලෝනි මැරිලා?”

“මට එහෙම හිතෙනවා” ඈ හඬා වැටෙන්නට විය. “එයා බිම වැටිලා ඉන්නේ, මට හිතෙන්නේ එයා මැරිලා කියලා”
“අපි ඉක්මණටම එනවා”

පොලිස් රථය ඉතාමත් ඉක්මණින් පැමිණියේ ය. ඇය දොර විවර කළ විට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ඇතුළු විය. ඈ ඔවුන් දෙදෙනාව හැඳිනුවාය. ඈ ඒ පොලිස් ස්ථානයේ හැම දෙනෙක්ම පාහේ හැඳිනුවා ය. ඇය වැළපෙමින් ජැක් නූනන් නම් පොලිස් නිලධාරියාගේ සිරුරට බර විය. ඔහු සෙමෙන් ඇයව පුටුවක අසුන් ගැන්වුවේය.
“එයා මැරිලාද?” ඇය හඬමින්ම ඇසුවා ය.

“බොහොම කණගාටුයි, මැරිලා නම් තමයි. මොකද වුණේ?”

ඇය කඩයට ගිය අයුරු, ආපසු නිවසට ආ පසු ඔහු බිම වැටී සිටිනු දුටු අයුරු කෙටියෙන් විස්තර කළා ය. ඇය හඬමින් විස්තර කියද්දී නූනන් නම් පොලිස් නිලධාරියා මියගිය මිනිසාගේ හිස පසුපස වියළි ලේ පැල්ලමක් දුටුවේය. ඔහු වහාම දුරකථනය වෙත ගියේ ය.

වැඩි වෙලාවක්  ගතවන්නට මත්තෙන් දොස්තර කෙනෙක්, රහස් පරීක්ෂක වරුන් දෙදෙනෙක්, පොලිස් ජායාරූප ශිල්පියෙක්, ඇඟිලි සලකුණු විශේෂඥයෙක් ඇතුළු තවත් නිලධාරීහු කිහිපදෙනෙක්ම පැමිණියහ. මල සිරුර අසල රහස් සාකච්ඡා පැවැත්විණි. රහස් පරීක්ෂක නිලධාරීන් ඇගෙන් නොනවත්වා ප්‍රශ්න රැසක් අසන්නට විය. ඔවුහු ඇයට කරුණාවෙන් කතා කළහ. ඇය යළිත් මුල සිටම ඇගේ කතාව කීවා ය.  පැට්‍රික් එද්දී ඈ ඇඳුමක් මසමින් සිටි බව, ඔහුට මහන්සි වැඩි නිසා කෑමට එළියට නොගොස් සිටින්නට තීරණය කළ බව, ඇය මස් පිසීම සඳහා පෝරණුවට දමා එළවලු ගෙන ඒමට කඩයට ගොස් එද්දී ඔහු බිම වැටී සිටි අයුරු විස්තර කළා ය.

“කොයි කඩේ ද?” එක් නිලධාරියෙක් ඇසීය.

ඇය ඊට පිළිතුරු දුන් විට ඔහු ඇගෙන් ඉවතට හැරී තවත් නිලධාරියෙකුට රහසින් යමක් කීවේ ය. දෙවැන්නා වහා වහා නිවසින් පිටතට ගියේ ය.

පැය කාලකින් ඔහු නැවත පැමිණියේ සටහන් පිරුණු කඩදාසියක් අතැතිව ය. වැළපෙමින් සිටි ඇයට ඔවුන්ගේ රහස් සාකච්ඡාවල ඇතැම් වැකි ඇසිණි.
“බොහොම සාමාන්‍ය විදිහට හිටියේ.. සතුටින්.. මහත්තයාට හොඳ කෑමක් දෙන්න ඕනෑකම තිබුණා, බෝංචි, චීස්කේක්.. එයා නම් වෙන්න විදිහක් නැහැ”

ටික වෙලාවකට පසු දොස්තරත්, ජායාරූප ශිල්පියාත් තව මිනිසුන් දෙදෙනෙකුත් සිරුර රැගෙන ගියහ. ඇඟිලි සලකුණු ශිල්පියාත් ගිය පසු ඉතිරි වූයේ රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනාත් පොලිස් නිලධාරීන් දෙදෙනාත්  පමණි. ඔවුන් ඇයට සැලකුවේ ඉතා විනීතව ය. ඇයට මේ නිවසින් පිටව යන්නට ජැක් නූනන් යෝජනා කළේ ය. ඇගේ සොයුරියගේ නිවසට එසේත් නැත්නම් ඔහුගේම නිවසට වුව යා හැකි බවත් ඔහුගේ බිරිඳ ඇයට නවාතැන් දෙනු ඇති බවත් ඔහු කීය.

එහෙත් ඇය ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා ය. ඇයට අඩියක් වත් සෙලවෙනු බැරි තරමේ අපහසුවක්  දැනෙන බව කී ඇය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් නොකරන බවට පොරොන්දු වී එතැනම රැඳී සිටින්නට අවසර ඉල්ලුවා ය.

ඇයට අමාරුවක් දැනෙනවා නම් නිදන කාමරයට ගොස් මඳක් වැතිරී සිටීම වඩාත් සුදුසු නොවන්නේදැයි එවර ජැක් නූනන් විමසුවේ ය.

ඇයට ඒ පුටුවටම වී ටික වෙලාවක් සිටින්නට අවශ්‍ය බව ඇය කියා සිටියා ය. ටික වේලාවක් ගත වූ පසු ඇයගේ අමාරු ගතිය පහවූ විට ඇය එතැනින් ඉවත්වන බව කීවා ය.

ඉන්පසු ඔවුහු ඇයට එතැනම ඉන්නට ඉඩ හැර නිවස පරීක්ෂා කිරීමේ නියැලුණහ. ඉඳහිට රහස් පරීක්ෂක වරයෙක් ඇයගෙන් ප්‍රශ්නයක් දෙකක් අසනු පෙනිණි. ඇගේ සැමියා මියගොස් ඇත්තේ හිසේ පසුපසට එල්ල කළ තද පහරක් නිසා බව ජැක් නූනන් ඇයට සෙමෙන් පැහැදිලි කළේය. ඔවුහු ඒ ආයුධය සොයමින් සිටියහ. මිනීමරුවා එය රැගෙන පලායන්නට ඉඩ තිබුණු බවත් නොඑසේ නම් එය ඉවත දමා හෝ සඟවා යන්නට ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය.

“මේක ඉතින් පරණ කතාවම තමයි. ආයුධය හොයාගත්තොත් මිනීමරුවා අල්ලන්න පූළුවන්”

ටික වෙලාවකට පසු එක් රහස් පරීක්ෂකවරයෙක් ඇය අසලින් අසුන් ගෙන නිවසේ ආයුධයක් ලෙස භාවිත කළ හැකිව තිබුණු දෙයක් ගැන ඇයට අදහසක් තිබුණේ දැයි විමසුවේ ය. මුරිච්චි යතුරක්, එසේත් නැත්නම් බර යකඩ  මල් පෝච්චියක් වැනි දෙයක් නිවසින් අතුරුදන් වී ඇත්දැයි සොයා බලන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය.

ඔවුන්ගේ නිවසේ යකඩ මල් පෝච්චි නොතිබුණු බව ඈ කීවා ය.

“එහෙනම් මුරිච්චි යතුරක්?”

එවැනි ආයුධයක් නොතිබුණු බවට ඇයට විශ්වාස නමුත් එවැනි වෙනත් දේ ගරාජයේ තිබෙන්නට හැකි බව ඈ කීය. 

නිවස පරීක්ෂාකිරීම නොකඩවාම සිදු විය. තවත් පොලිස් නිලධාරීන් නිවස වටා සැරිසරන බව ඇය දැනගෙන සිටියා ය. ඔවුන්ගේ අඩි ශබ්දය මිදුල දෙසින් නිරතුරුව ඇසුණු අතර වරින්වර විදුලි පන්දම් එළියක් තිර රෙදි අතරින් පෙනිණි. ඒ වෙද්දී රාත්‍රිය එළැඹි තිබුණි. වෙලාව රාත්‍රී නමයට ආසන්න බව සාලයේ ඔරලෝසුවෙන් ඇය දුටුවා ය. නිවස පරීක්ෂා කරමින් උන් නිලධාරීන් සිව් දෙනා හෙම්බත් ව සිටියහ. 

“ජැක්” ඊළඟ වතාවේ ජැක් නූනන් එතැනින් යන්නට ආ විට ඈ ඔහුව ඇමතුවේ ය. “මට අතනින් බොන්න මොනවා හරි ගෙනැත් දෙනවා ද?”

“හරි ඉන්න මම දෙන්නම්, ඔයා කිව්වේ විස්කි ද?”

“ඔව්, හැබැයි පුංචි වීදුරුවක්. එයින් මගේ අමාරු ගතිය මඟ ඇරිලා යන්න පුළුවන්”
ඔහු ඇය අතට වීදුරුවක් දුන්නේ ය.

“ඔයාත් එකක් බොන්න. දැන් හොඳටම මහන්සි ඇතිනේ. මට කොයිතරම් හොඳට සැලකුවාද ඔයගොල්ලෝ හැමෝම.”

“අපේ නීති වලට නම් පටහැනියි, ඒත් මම පොඩ්ඩක් බොන්නම්, නැතිනම් තව ටිකක් වෙලා යන්න කළින් මාව මහන්සියට ඇදගෙන වැටෙයි”

එයින් පසු එතැනට පැමිණි අනෙත් අයත් මඳ පෙරැත්තයකින් පසු පුංචි විස්කි වඩියක් බීමට එකඟ විය. ඔවුහු වීදුරු අතැතිව තැන තැන සිටගෙන සිටි අතර ඈ ළඟපාතක සිටි නිසා අපහසුතාවයෙන් එකල මෙකල වෙමින් ඇගේ හිත හැදීමට නොයෙක් දේ කියමින් පසු වූහ. කුස්සියට යන්නට ගිය ජැක් නූනන් යළිත් එසැණින් නැවත පැමිණියේ ය

“මිසිස් මැලෝනි, තාම පෝරණුව වැඩකරන බව දන්නවාද? මස් ටික තාම ඇතුලේ ද?”

“ආ ඔව්නේ! හැබෑටම!” ඇය කීය.

“මම ඒක නිවලා දාන්නද?”

“අනේ ජැක් ඒක නිවනවාද? බොහොම ස්තූතියි”

පොලිස් නිලධාරියා දෙවෙනි වරට කුස්සියෙන් පිටතට එද්දී ඈ කඳුළු පිරුණු විශාල දෑසින් ඔහු දෙස බැලුවා ය.

“ජැක් නූනන්”

“ඔව්?”

“ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න?- ඔයාටයි මේ අනෙත් කට්ටියටයි?”

“අපි උත්සාහ කරන්නම් මිසිස් මැලෝනි”

“මෙතැන ඉන්න හැමෝම පැට්‍රික් ගේ හොඳ යාලුවෝ, ඔයගොල්ලෝ ඇවිත් ඉන්නේ එයාව මැරුව මිනීමරුවා අල්ලන්න. ඔයගොල්ලන්ගේ රෑ කෑම වෙලාව දැන් හොඳටම පහුවෙලා නිසා හැමෝටම දැන් උහුලන්න බැරි තරම් බඩගිනි ඇති. ඔයගොල්ලන්ට කෑම ටිකක් නොදී ගෙදර තියාගත්තා කියලා දැනගත්තොත් පැට්‍රික්ගෙන් මට කවදාවත් සමාවක් ලැබෙන එකක් නැහැ. ඔයගොල්ලෝ එකතුවෙලා අර කෑම ටික කනවාද? පෝරණුවේ තිබුණු මස් ටික මේ වෙද්දී ගාණට හරි ගිහින් ඇති.”

“කොහොමවත්ම බැහැ” නූනන් කීය.

“අනේ කොහොමහරි කන්න” ඈ බැගෑපත් වූවාය. “මට නම් කිසි දෙයක් කටේ තියන්න බැහැ. එයා ඉන්දැද්දී උය උයා හිටිය දෙයක් නම් කොහොමවත්ම කන්න බැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ටික කෑවොත් මට ඒක ලොකු උදව්වක් වේවි. ඊටපස්සේ රාජකාරි ඉවරකරන්න”

නිලධාරීහු කිහිපදෙනා මුලදී අදිමදි කළත් ඔවුන් හැමදෙනාම තද කුසගින්නෙන් පසු වුණු බැවින් අවසානයේදී හැමදෙනාම කුස්සියට ගොස් කෑම බෙදාගන්නට වූහ. කාන්තාව ඇය උන් තැනම හිඳිමින් ඔවුන්ගේ කතාබහට සවන් දෙමින් සිටියාය. මස් තළුමරමින් ඔවුනොවුන් අතරේ කතා කරමින් සිටි ඔවුන්ගේ හඬ ඇයට ඇසිණි.

“තව ටිකක් බෙදා ගන්න චාලි”

“ඉවර කරන්න හොඳ නැහැ නේද?”

“එයා කිව්වේ අපිට ඉවර කරන්න කියලා, ඒ නිසා කමු”

“පැට්‍රික් ට ගහන්න මිනීමරුවා පාවිච්චි කරලා තිබුණේ ලොකු ආයුධයක්. දොස්තර කිව්වේ හිස්කබල කුඩුවෙලා කියලා”

“ඒ නිසාම තමයි ඒක හොයාගන්න එක ලේසි වෙන්න ඕන”

“ඔව් මමත් හිතුවේ ඒකමයි”

“ඔයතරම් ලොකු ආයුධයක් නම් මිනීමරුවාට පැනලා යද්දී ඕක උස්සාගෙන යන්න බැහැනේ”

“මම නම් කියන්නේ ඕක මේ හතර මායිමේ ම ඇති”

“සමහරවිට අපේ නහයවල් යටම ඇති, මොකද කියන්නේ ජැක්?”

එහා කාමරයේ මේරි මැලෝනි සෙමෙන් සිනාසෙන්නට පටන් ගත්තාය.
 
 
 
 
Original Story from the book 'Lamb to the Slaughter' by Roald Dahl published in 1953
Photo- Source: Wikimedia Commons- Mary Cassatt, Woman Sewing