March 30, 2023

'පාවේ'- කාංචනා අනුරාධි

මම කාංචනා අනුරාධි ගේ සින්දු අහන්න ගත්තේ බොහොම මෑතක. ඇය ලොකු ප්‍රතිභාවක් වගේම දිගු ගමනක් තියෙන ගායිකාවක්. මම ටිකක් පරණ තාලේ නිසා high pitch සහ වේග රිද්ම සින්දු වලට වැඩි කැමැත්තක් නැහැ. ඒත් කාංචනා ගේ මේ අලුත් සින්දුවට නම් මගේ හිත ගියා. 

සුපුරුදු විදිහට සින්දුවක වචන තමයි මාව ඒකට ඇද බැඳ ගන්නවාද කියලා තීරණය කරන්නේ. මේ සින්දුවේ ගායනය වගේම පද රචනයත් කාංචනා අනුරාධි ගේ බව දැක්කාම මට පුදුම හිතුණා. ඒ කියන්නේ ඈ පද රචනයටත් දක්ෂයි. මේ ගීතේ සංගීතය සහ හඬ මුසුව තිලිණ බොරලැස්ස. ඒ සංගීතය හරහාත් අපට නැවුම් අත්දැකීමක් දෙන්න තිලිණ සමත් වෙලා තියෙනවා. 



Melody and Lyrics by Kanchana Anuradhi
Music composed, produced and arranged by Thilina Boralessa


සින්දුවේ මගේ හිත නැවතුණේ මේ කොටසේ

"සකිසඳේ ප්‍රේමේ 
නුඹයි මා ප්‍රාණේ 
පැටලිලා සුළඟේ.... 
එන්නෙපා ආයේ..."

හොඳ යාළුකමක් නැති කරගන්න හොඳම ක්‍රමය ඒ යාළුකම ආදරයක් බවට පෙරලෙන්න ඉඩ අරින එක කියන කියමන ඒක අහද්දී මට මතක් වුණා. 

March 28, 2023

කඳු මුදුනක



 
Translation of the poem 'Afternoon On A Hill' by Edna St. Vincent Millay

මේ විසල් අහසක් යට
වඩා සතුටුම මම වෙමි
සියගණන් මල් පිරිමැද
එකක් වත් නොනෙලා යමි

වළාකුළු හා කඳුහෙල
නිහඬ දෑසින් නරඹමි
සුළඟ හා රඟදෙන්නට
ඉල්පෙන පතන දැකගමි

දුර ඈත නගරයේ එළි
දිස් වෙද්දී නික්මී යමි
මගේ දේ මේ යැයි දැන
කඳු මඬල අතහැර යමි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital painting

March 24, 2023

අභය දානය

(පෙර සටහන)

මම රැකියාව කරන පුස්තකාලයේ වැඩියෙන්ම තියෙන්නේ වීදුරු බිත්ති. දවසක් හවසක මම දැක්කා මේ බිත්තියක් ළඟ බිම තටු ගහන ලස්සන තැඹිලි පාට මොනාක් සමනලයෙක් . sliding doors වලින් ඇතුලට ඇවිත් තිබුණ මෙයා ආයෙත් යන්න පාර හොයාගන්න බැරිව අසරණ වෙලා හිටියා. ඒ වෙලාවේ මට එයාට උදව්වක් කරන්න ඉඩක් ලැබුනේ නැහැ.

ඊට පස්සේ දවසේ පුස්තකාලේ පොත් රාක්කයක මේ සමනලයා වහලා ඉන්නවා මම ආයෙත් දැක්කා. ඒ වෙද්දී එයා හොඳටම හෙම්බත් වෙලා හිටිය බවක් පෙනුණා. මම ළඟට යද්දී එහාට මෙහාට වුණේත් අමාරුවෙන්. සමහරවිට රෑ තිස්සෙම මේ වීදුරු ගොඩනැගිල්ලේ ඒ අතට මේ අතට පියාඹන්න ඇති. ඉතින් මම බොහොම පරෙස්සමට ඒ සමනලයාව භාජනයකට අරගෙන එළියට ගිහින් මල් පඳුරකින් තිබ්බා. එයා තවත් සෑහෙන්න වෙලාවක් යනකම් නිසොල්මන්ව ඉඳලා පැයක් හමාරක් ගිහින් පියාඹලා ගිහින් තිබුණා. 

ඒ වෙලාවේ මට Nikki Giovaniගේ Mercy නම් කවිය මතක් වුණා. එක්තරා විදිහකට මේ නිමිති දෙක වෙනස්. ඒත් එක්තරා විදිහකට සමානයි. පහතින් තියෙන්නේ ඒ කවියේ පරිවර්තනයක්. 

--------------


මකුළුවා මරා දමන ලෙස
ඈ මගෙන් ඉල්ලා සිටියාය
එහෙත් ඒ සඳහා
මා අතට ගත්තේ
මට සොයාගතහැකි
සාමකාමීම ආයුධයි

කෝප්පයක් සහ අත පිස්නාවක් ගෙන
මකුළුවා අල්ලා එළියට දමා
ඌට නිදහසේ ඇවිද යන්නට ඉඩ දෙමි

කවදා හෝ දිනක, මා ද
කිසිවෙකුට හානි නොකර
ජීවත්ව සිටිමින් පමණක්
කොහේ හෝ වැරදි තැනක සිටියොත්

මටත්, මෙවැනිම
අභය දානයක්
ලැබෙනු ඇතැයි පතමි


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem Mercy by Nikki Giovanni

Digital Sketch





March 21, 2023

The Father (2020) - Movie Review


වියපත් වෙද්දී සිරුරේත් මනසේත් ඇතිවන වෙනස්කම් අපේ පාලනයෙන් තොරයි. සිරුර දුර්වල වෙද්දී ඒ බව පැහැදිලිව පෙනෙන නිසා ඒ හා ගනුදෙනු කරන්න ලේසියි. ඒත් මනස දුර්වල වෙද්දී? 

The Father කියන්නේ දුර්වල වෙමින් යන මනසක් ඇති ඇන්තනි නම් වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන නිර්මාණය වුනු චිත්‍රපටියක්. Dementia කියන රෝගය ගැන අපි අහලා තිබුණත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඇන්තනි ගේ විශ්ෂ්ඨ රඟපෑම හරහා අපටත් එය අත්විඳින්නට මේ චිත්‍රපටයෙන් අවස්ථාව ලබා දෙනවා.

වයස්ගත වෙද්දී මුරණ්ඩු ගති පෙන්වන ඇන්තනි තමන්ගේ එදිනෙදා කටයුතු වලට දියණියගේ සහාය ප්‍රතික්ෂේප කරනවා. ඒත් dementia රෝගය නිසා ක්‍රම ක්‍රමයෙන් කම්පාව, වේදනාව, පැටලිලි සහගත බව, කෝපය වැනි ආවේග ඔහුගේ ජීවිතය ආක්‍රමණය කරන්නේ නරඹන අපවත් වියවුලට පත් කරමින්. නිරන්තරයෙන්ම සැබෑවත් මායාවත් ආතර තැනක දෝලනය වීම කෙතරම් වෙහෙසකාරීද යන බව මේ චිත්‍රපටය අපට පසක් කර දෙන අතර dementia රෝගීන් පිළිබඳව අප තුළ අලුත්  සහකම්පනයක් ඇති කරවනවා. සමස්තයක් හැටියට ගත් කල මෙය විශිෂ්ඨ චිත්‍රපටියක් හැටියට නම් කළ හැකියි.

The Father චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපාන්නේ Anthony Hopkins සහ Olivia Colman. මේ චිත්‍රපටිය නිර්දේශ වූ/ ලබාගත් සම්මාන ගැන විස්තර පහතින්. 

At the 93rd Academy Awards, Hopkins won Best Actor and Zeller and Hampton won Best Adapted Screenplay; the film received six nominations in total, including Best Picture and Best Supporting Actress (Colman). At the 78th Golden Globe Awards, the film received four nominations, including Best Motion Picture – Drama, and it received six nominations at the 74th British Academy Film Awards, winning Best Actor (Hopkins) and Best Adapted Screenplay. In addition, Hopkins and Colman were nominated for Outstanding Leading Actor and Outstanding Supporting Actress respectively at the 27th Screen Actors Guild Awards.


Directed by Florian Zeller

Screenplay by Florian Zeller, Christopher Hampton

Based on Le Père by Florian Zeller


March 18, 2023

අද්භූත පෙට්ටගම



Translation of the ‘Calamander Chest’ by Joseph Payne Brennan

“මේක කොදෙව් දූපත් වලින් ගෙනාවේ සර්!”

පරණ බඩු වෙළෙන්දා තම දෙඅත්ල එකට පිරිමදිමින් කීවේය. 

“හොඳ කළු මැදිරිය ලීයෙන් හදලා තියෙන්නේ. කලාතුරකින් හම්බවෙන බඩුවක් සර්!”

“එහෙනම්.. මම ඒක ගන්නම්.” අර්නස්ට් මාක්ස් මඳක් පසුබාමින් කීවේය. 

කළු මැදිරිය ලීයෙන් තැනූ මේ පෙට්ටගම ඔහුගේ ඇස ගැටුණේ පරණ බඩු කඩයක අලසව ඇවිදිමින් සිටියදී ය. එහි ගාම්භීර විදෙස් පෙනුම ඔහුගේ සිත පැහැර ගත්තේය. කළු පැහැති වයිරම් සහිත ඒ තද දුඹුරු ලීය බැලූ බැල්මට කළුවර ලීයක් සේ දිස්විය. අඩි දෙකක් තරම් පළලින්, අඩි පහක් පමණ දිගින් සහ අඩි තුනක් තරම් ගැඹුරින් යුතු වූ මේ පෙට්ටගම, හොඳින් ඉඩකඩ සහිත වූ එකක් බව පෙනුණි. පරණ බඩු කඩයේ වෙළෙන්දා මෙය ඩොලර් දොළහක් තරම් සුළු මුදලකට විකිණීමට සුදානම් බව වැටහුණු විට මාක්ස්ට එය කෙසේ හෝ ලබාගැනීමට සිත් විය.

එහෙත් වෙළෙන්දා මේ පෙට්ටගම විකුණා දැමීමට දක්වන උනන්දුවත් එහි අඩු මිළත් ඔහුගේ සිතේ සැකයක් ඇති නොකළා නොවේ. මේ වටිනා ලීය මතුපිටින් පමණක් පෙනෙන්නට ඇති දෙයක්ද? පෙට්ටගමේ නොපෙනෙන අඩුපාඩුවක් තිබේද?

මීට පසු දින පෙට්ටගම තම කාමරයට ගෙනවිත් භාර දුන් විට ඔහුට එහි කිසි අඩුපාඩුවක් සොයාගනු නොහැකි විය. එහි කලු මැදිරිය ලීය ශක්තිමත්ව තිබුණු අතර මුළු පෙට්ටගමේම කිසිදු ඇද පලුද්දක් නොවිණි. එහි පියන සුමට ලෙස වැසෙන බවත් එහි අගුලේ වූ විශාල ලෝහ යතුර පහසුවෙන් කරකැවෙන බවත් ඔහු නිරීක්ෂණය කළේය. 

තමන්ගේ මේ අලුත් මිලදීගැනීම ගැන මහත් සතුටින් මාක්ස් පෙට්ටගමේ ලීය මනාව ඔපදමා එය තම කාමරයේ හිස් ව තිබුණු කෙළවරකට තල්ලු කළේය. ඊළඟ වතාවේ නවාතැන් මාරු කරද්දී මෙහි වටිනාකම තදින් දැනෙනු ඇති බව ඔහුට කල්පනා විය. ඒ දවස එළඹෙන තුරු එය ඔහුගේ අරුමෝසමක් රහිත කාමරයට අලංකාරයක් එක් කරනු ඇත. 

සති කීපයක් ගත විය. තවමත් ඉඳහිට ඔහු තමන් අලුතින් අත්පත් කර ගත් මේ භාණ්ඩය වෙත ආඩම්බරය මුසු බැල්මක් හෙලුවත් ක්‍රමක්‍රමයෙන් ඒ ගැන සිතුවිලි ඔහුගේ මනසින් ගිලිහෙන්නට විය. 

එහෙත් එක් දිනක් පෙට්ටගම ඔහුගේ අවධානය පැහැර ගත්තේ නොසිතූ විරූ ලෙසිනි. එදින බොහෝ රෑ වනතුරු ඔහු කියවීමේ යෙදී සිටියේය. හදිසියේම, කුමක් හෝ හේතුවකට ඔහු තම දෑස පොතෙන් මුදාගෙන කාමරයේ කෙළවරේ වූ පෙට්ටගම දෙස යොමු කරන්නට යෙදුණි.

පුදුමයකි! එහි පියන යටින් මතුවී සුදු පැහැති දිගු ඇඟිල්ලක් පෙනෙන්නට තිබිණි. මෙය දැක භ්‍රාන්ත වූ මාක්ස් උන් තැනම නිසොල්මන්ව සිටියේ තම දෑස මේ අමුතු දසුන වෙතම අලවාගෙනයි. පෙට්ටගමේ කෙළවරින් එල්ලා වැටුණු මේ සුදුමැලි ඇඟිල්ල මහත අතකට සම්බන්ධ වූ බවක් පෙනුණු අතර එහි කෙලවරේ කළු පැහැති නියපොත්තක් විය.

මේ අමුතු දසුන දැකීමෙන් මුලින්ම ඇතිවූ කැළඹුම මඳක් පහවූ පසු තමන් තුළ තද කේන්තියක් මතුවන බව මාක්ස් ට දැනුණි. හදිසියේ මෙතැන පහළ වීමට මේ ඇඟිල්ලට කිසිම අයිතියක් තිබුණේ නැත! එය මහත් අසාධාරණ සහ මෝඩ සිදුවීමකි. තම කාමරයට මේ නිවසේ වෙනත් නවාතැන්කරුවෙක් හදිසියේ කඩා වැදුණු තරමට බලවත් නොරිස්සුමක් ඔහුට දැනුණි. මේ හදිසි මතුවීම නිසා තමන්ගේ සාමකාමී, සුවබර රාත්‍රියට බාධා වූ තරම්! 

නොසරුප් වදනක් කියමින් මාක්ස් තම අත වූ පොත පෙට්ටගමෙන් මතු වූ ඇඟිල්ල වෙත දමා ගැසුවේය. එසැණින් ඇඟිල්ල අතුරුදන් විය. නොඑසේ නම් එය ඔහුගේ දෘෂ්ටි පථයෙන් ඉවත් විය. කාමරය හරහා ආලෝකය විහිදෙන සේ තම කියවීම් ලාම්පුව ඇළ කළ මාක්ස්, වේගවත් ගමනින් පෙට්ටගම වෙත ගොස් වැරෙන් එහි පියන විවර කළේය. 

එහෙත් ඒ තුළ කිසිවක් තිබුණේ නැත.

පියන අත්හැරිය මාක්ස් තම පොත අහුලාගෙන නැවතත් පුටුව වෙත ගියේය. සමහරවිට තමන් වුවමනාවට වඩා පොත් කියවමින් සිටියා විය හැකි බව ඔහුට සිතුණි. අධික වෙහෙසට පත් තම දෑස තමන්ට මායාවන් පෙන්වනවා විය හැක. තව ටික වෙලාවක් කියවන්නට උත්සාහ ගත්තත් වරින් වර තම දෑස පෙට්ටගම වෙත යොමුවන බව ඔහුට දැනුණි. එහෙත් පෙර දුටු ඇඟිල්ල නැවත වරක් දිස් වූයේ නැත. ටික වෙලාවකින් මාක්ස් නිදාගැනීමට ගියේය.

මේ සිදුවීමෙන් සතියක් ගතවෙද්දී මාක්ස් ට ඇඟිල්ල ගැන අමතක වන්නට විය. ඔහු හවස් වරුවේ වැඩි වැඩියෙන් නිවසින් පිටත ගතකරන්නත් අඩුවෙන් පොත් කියවන්නත් විය. ඒ සතිය අවසන් වෙද්දී තමන් ඒ දුටුවේ වෙහෙසට පත් වූ දෑස මැවූ අමුතු දෘෂ්ටි මායාවක් පමණක් බව ඔහු තමන්ටම ඒත්තු ගන්වාගෙන තිබිණි. 

දෙවන සතිය ආරම්භයේදී ඔහු අලුත් සඟරා කිහිපයක් මිළදී ගත්තේ හවස් වරුව තම කාමරයේ ගත කිරීමේ අදහසිනි. මේ වෙද්දී තම දෑසට මනා විවේකයක් ලැබී ඇති බව ඔහු විශ්වාස කළේය. පළවෙනි සඟරාව කියවන්නට පටන්ගෙන මඳ වෙලාවකින් පෙට්ටගම දෙස බැලූ විට ඔහු දුටුවේ සියල්ල සාමාන්‍ය පරිදි ඇති බවයි. පුටුවේ හරිබරි ගැසී වාඩි වූ ඔහු සඟරාව කියවීමට කෙතරම් අවධානය යොමු කළේද යත් තවත් හෝරාවකට වැඩි කාලයක් ගතවන තුරු ඒ වෙතින් හිස එසවූයේ නැත. ඒ සඟරාව කියවා අවසන් කර තවත් එකක් අතට ගන්නට යද්දී මාක්ස්ගේ දෑස ඉබේම පෙට්ටගම වෙත යොමු විය- දෙවියනේ! ඇඟිල්ල නැවතත් මතු වී තිබිණි!

පෙර පරිදිම එය පණ නැති ලෙසින් පෙට්ටගමේ කෙලවරකින් එල්ලා හැලුනි. මහත අතත් අප්‍රියජනක කළු නියපොත්තත් එලෙසම විය.

කාමරය හරහා වේගයෙන් ඒ වෙත දිව යාමට උපන් වුවමනාව ආයාසයෙන් මැඩ ගත් මාක්ස් තම පුටුව අසල වූ කනප්පුව මත වූ බරැති ලෝහ අළු බඳුන වෙත සෙමෙන් අත දිගු කළේය. තම අතැඟිලි එහි ගැටෙද්දී පවා ඔහු තම දෑස ඇඟිල්ල වෙතින් ඉවත් කර ගත්තේ නැත. 

ඉතා සෙමෙන් පුටුවෙන් නැගිටගත් මාක්ස් ගොලුබෙලි ගමනින් කාමරය හරහා ගමන් කරන්නට විය. ලෝහයෙන් තැනුණු, මුවහත් දාරයක් සහිත අළු බඳුනෙන් වැරෙන් පහරක් එල්ල කළහොත් ඊට වඩා දුර්වල ඕනෑම දෙයක් සුණු විසුණු කළ හැකි බවට ඔහු තුළ විශ්වාසයක් විය. එහෙත් ඔහු පෙට්ටගමෙන් අඩියක් තරම් නුදුරින් සිටිද්දී එකවරම ඇඟිල්ල අතුරුදහන් විය. පෙට්ටගමේ පියන ඔසවා බලනු ලැබුවද සුපුරුදු ලෙස එය හිස්ව තිබිණි. 

මහත් සේ කැළඹුමට පත් වූ මාක්ස් නැවත තම පුටුව වෙත ගොස් අසුන් ගත්තේය. ඉන්පසු ඇඟිල්ල නැවත වරක් මතු වූයේ නැතත් එහි බියකරු රුව තම මනසින් ඉවත් කර ගැනීමට ඔහු අසමත් විය. මේ පෙට්ටගම තමන්ගේ හිමිකමින් බැහැර කළ යුතු බව නින්දට යාමට පෙර ඔ හු අකමැත්තෙන් වුව ඉටා ගත්තේය. 

තමන් මනා සෞඛ්‍යයෙන් පසු වූ අතර තම දෑසට සතියක විවේකයක් ලැබී තිබුණු නිසා මේ අප්‍රසන්න දසුන මවන සොබාදමේ යම් විකෘතිය රැඳී තිබුණේ තමා වෙත නොව පෙට්ටගමේ බව මාක්ස් තාර්කිකව සිතුවේය. පරණ බඩු වෙළෙන්දා නොවටිනා මිළකට මේ පෙට්ටගමේ විකුණා දැමීමට දැක්වූ උනන්දුව ඔහුට සිහිවිය. පරණ බඩු කඩයට එද්දීම මීට කිසියම් භූත බලපෑමක් තිබුණා විය හැක. මේ නිසාම ඒ කපටි වෙළෙන්දා සුළු මුදලකට එය විකුණා දැමීමට පෙළඹුනා විය හැක. 

ව්‍යවහාරික දැනුමකින් යුත් තරුණයෙක් වූ මාක්ස්, මේ සිදුවීමට භෞතික නොවන හේතුවක් ඇති බව පිළිගත්තේ තරමක නොකැමත්තෙනි. නමුත් මේ ගැන තර්ක කිරීමට තමන් කළ යුතු දෙයක් නොවේ යැයි ඔහු සිතුවේය. තමන් යහපත් ලෙස සිහිය පවත්වා ගැනීම සියල්ලට වඩා වැදගත් බවත් අන් සියලු දේ ඊට දෙවෙනි බවත් ඔහු සැලකුවේය.

මේ අනුව ඊට පසු දින රැකියාවට යාමට පෙර පෙට්ටගම නගරයේ කුණු ගොඩ වෙත ගෙන ගොස් දැමීමට කටයුතු යොදන සේ මාක්ස් තම ගෙහිමි කාන්තාවට කීවේය. එසේ ගෙන ගිය විට එය පුළුස්සා දැමීමටත් ඔහු විශේෂයෙන් උපදෙස් දෙන්නට අමතක කළේ නැත. 

නමුත් ඒ හවස්වරුවේ කාමරයට ආ විට මුලින්ම ඔහුගේ ඇස ගැටුණේ කාමරය කෙළවරෙහි වූ කළුමැදිරිය පෙට්ටගමයි. තදින් කෝප වූ ඔහු ආ පයින්ම ගෙහිමි කාන්තාව වෙත ගොස් මීට හේතු විමසා සිටියේය. තමන්ගේ අණ නොතකා හැරීම ගැන දැක්විය හැකි නිදහසට කරුණු මොනවාද?

මාක්ස්ගේ බැන වැදීම් අතරින් යමක් කියා ගැනීමට හැකි වූ විට ගෙහිමි කාන්තාව ඉවසීමෙන් පැහැදිලි කළේ සැබවින්ම ඒ උදෑසන නගරයේ කුණු බැහැර කරන ස්ථානය වෙත රැගෙන යාම සඳහා පෙට්ටගම ගෙනියනු ලැබූ බවයි. නමුත් එය එහි රැගෙන ගිය විට එය භාර නිලධාරියා පවසා ඇත්තේ බැලූ බැල්මට මෙහි යම් වැරදීමක් සිදුවී ඇති බවයි. මේ තරම් අලංකාර වටිනා භාණ්ඩයක් විනාශ කර දැමීමට සිහි බුද්ධියක් ඇති කෙනෙක් අවසර නොදෙන බවත්, කුලී කරුවන් දෙදෙනාට වැරදීමක් සිදුවී ඇති බවත්, මේ වෙනුවට අයිතිකරුට අනවශ්‍ය යම් නොවටිනා භාණ්ඩයක් ඔහුගේ නවාතැනේ ඇති බවට නොඅනුමාන බවත් ඔහු කියා තිබේ. 

කුණු ගොඩ වෙත පෙට්ටගම රැගෙන ගිය කුලී කරුවන් දෙදෙනාටද මේ කරුණ ගැන සහතික වීමට නොහැකි වූ නිසාත්, අධික මිළකින් යුතු භාණ්ඩයක් සම්බන්ධයෙන් වැරදි දෙයක් කිරීමට ඇති නොකැමැත්ත නිසාත් නැවතත් ඔවුන් එය මාක්ස්ගේ නවාතැන වෙත ගෙනැවිත් ඇත. මේ විස්තරය අසා මහත් කලබලයට පත් වූ මාක්ස්, යන්තම් ගලපා ගත් වදනින් ගෙහිමි කාන්තාවගෙන් සමාව ඉල්ලා, පෙරලා තම කාමරයට ගොස් පුටුවකට වැටී, අයාගත් දෙනෙතින් යුතුව පෙට්ටගම දෙස බලා සිටියේය. 

අන්තිමේදී ඊට තවත් අවස්ථාවක් ලබා දීමට ඔහු තීරණය කළේය. තවදුරටත් අද්භූත කිසි දෙයක් සිදු නොවුනොත් ඔහු පෙට්ටගම තව දුරටත් තියාගන්නටත්, නොඑසේ නම් එය විනාශ කර දැමීමට යම් බරපතල පියවරක් ගැනීමටත් ඔහු ඉටා ගත්තේය. 

එදින හවස් වරුවේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට ඔහු සැලසුම් කර තිබුණත් හවස හය පසු වෙද්දී වැස්සක් ඇද හැලෙන්නට වූයෙන් ඔහු කාමරයටම වී සිටින්නට හිත හදා ගත්තේය. 

කියවීමේ කාර්යය ආරම්භ කිරීමට පෙර පෙට්ටගම යතුරු ලා එහි යතුර තම සාක්කුවට දමා ගැනීමට මාක්ස් අමතක කළේ නැත. මින් පෙර මෙය සිදුකිරීමට ඔහුට මතක් නොවීම විකාර සහගත විය.මෙවර නම් තමන් පෙට්ටගම තීරණාත්මක පරීක්ෂණයකට ලක් කරන බව ඔහුට හැඟිනි.

පොත කියවද්දී ඔහු පෙට්ටගම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ද රාත්‍රී එකොළහ පසු වී ඔහු තම පොත පසෙක තබන තුරු කිසිවක් සිදු වූයේ නැත. පොත වස දමා පුටුවෙන් නැගිටිද්දී -ඇඟිල්ල නැවත පැමිණ තිබිණි. පෙනුමෙන් නම් එහි කිසි වෙනසක් සිදුව තිබුණේ නැත. එහෙත් පණ නොමැතිව එල්ලා හැලෙනු වෙනුවට එහි කුඩා චලනයක් දිස් විය. ඇඟිල්ල යන්තමින් වෙව්ලමින් තිබුණේ සිය දිගු කළු නියපොත්තෙන් දුර්වල ලෙස පෙට්ටගම සූරන්නට තැත් දරන අයුරිනි. 

අවශ්‍ය තරම් ධෛර්යය එකතු කරගත් පසු මාක්ස් පෙර සේම ලෝහ අළු බඳුන අතින් ගෙන කාමරය හරහා සෙමෙන් ඇවිද යන්නට විය. මෙවර ඇඟිල්ල අතුරුදන් වූයේ ඔහු ඊට පහරදෙන්නට අළු බඳුන ඔසවාගෙන සිටිද්දීය. එක්වරම එය පෙට්ටගම තුළට ඇදගත් වගක් දිස් විය. 

ගැහෙන හදින් යුතුව මාක්ස් පෙට්ටගමේ පියන විවර කළේය. මේ වතාවේත් එය හිස් ව තිබිණි. තම සාක්කුවේ වූ යතුර ගැන ඔහුට මතක් වූ විට තම සිරුර ත්‍රාසයෙන් කිලිපොලා යන බවක් ඔහුට දැනුණි. මේ බියකරු ඇඟිල්ල විසින් පෙට්ටගමේ යතුරු ඇරගෙන ඇත! නො එසේ නම් සිදුව ඇත්තේ තමන්ගේ පියවි සිහිය අහිමි වීමයි. 

චංචල වූ සිතින් යුතුව මාක්ස් දෙවෙනි වතාවටත් පෙට්ටගම යතුරු ලා පුටුවක වාඩිවී, වේලාව අලුයම දෙක වන තුරු ඒ දෙස බලා සිටියේය. ඉනික්බිති ඔහු ඇඳට ගියේ මහත් කැළඹුමටත් වෙහෙසටත් පත්වයි. විදුලි බුබුල නිවා දමන්නට පෙර පෙට්ටගම තවමත් යතුරු ලා ඇති බව ඔහු නැවතත් පරීක්ෂා කර බැලුවේය. 

නින්දට වැටුණු වහාම මාක්ස් භයංකර හීනයක් දුටුවේය. නොනැවතී ඇසෙන සූරන හඬකින් තමන් අවදි වූ බවත්, ඉටිපන්දමක් දල්වාගෙන පෙට්ටගම දෙස බැලූ බවත් ඔහු සිහිනයෙන් දුටුවේය. මෙවර එහි පියන යටින් පෙනෙන්නට තිබුණු ඇඟිල්ල මහත් ජවයකින් යුතු වූ බවක් දිස් විය. එය ඇඹරෙමින්, දඟලමින් ලීයට තට්ටු කරමින් කළු නියපොත්තෙන් ලීයේ මතුපිට සූරමින් පසුවිය. එහෙත් හදිසියේම මාක්ස්ගේ පැමිණීම දැනුණු කලෙක මෙන් එය එක්වරම නිසොල්මන් වී එක්වරම ඉතා උවමනාවෙන් ඔහුට ළඟට එන්නැයි සන් කරන්නට විය. ත්‍රාසයෙන් භ්‍රාන්තව සිටියත් මීට අකීකරු වීමට තමන්ට නොහැකි බවක් මාක්ස්ට හැඟිනි. ඉටිපන්දම බිමින් තැබූ ඔහු සෙමෙන් කාමරය හරහා ගියේ රොබෝවකු මෙනි. ඔහුට සන් කරන අද්භූත ඇඟිල්ල යකඩ වෙනුවට මිනිස් මාංශ ආකර්ෂණය කරගන්නා කාන්දමක් වැනි විය. 

මාක්ස් පෙට්ටගමට කිට්ටුවෙද්දීම ඇඟිල්ල ඒ තුළට වැදුණු අතර එහි පියන එසවිණි. බියෙන් ත්‍රස්ත වී සිටියත් තමන්ව කිසිසේත්ම වළකා ගැනීමට නොහැකි වූ ඔහු, පෙට්ටගම තුළට බැස, එහි හිඳ, දනිස් නිකට දක්වා නවා වැතිරුණේය. ඉන් මොහොතකට පසු පෙට්ටගමේ පියන වැසී ගොස් යතුර අගුලේ කැරකෙනු ඔහුට පැහැදිලිව ඇසිණි. 

බියකරු සිහිනයේ මේ කොටසේදී මාක්ස් මහා හඬින් කෑ ගසමින් අවදි වූවේය. ඇඳෙහි හිඳගත් ඔහුට තම මුහුණ දහදියෙන් තෙත්ව ගොස් ඇති අයුරු දැනුණි. ඒ සිහිනය නිසාම ඇඳෙන් බැස ගොස් විදුලි බුබුල දැල්වීමට ඔහු බිය විය. ඒ වෙනුවට ඔහු ඇඳ ඇතිරිලි අතර සැඟවී අලුයම වන තුරු අවදිව සිටියේය.

තම මනස මඳක් සන්සුන් වූ පසු කළු කෝපි කෝප්පයක් පානය කිරීමට නිවසින් පිටතට ගිය මාක්ස් රැකියාවට නොගොස් තමන් හඳුනන ලොරි කරුවකුගේ නිවසට ගියේය. මින් පෙරදී ඔහු නිවාස මාරු කරද්දී මේ පුද්ගලයාගේ සහාය ලබාගෙන තිබිණි. ලොරිකරු වෙත නිශ්චිත විස්තරාත්මක උපදෙස් මාලාවක් දී එකඟතාවයකට එළැඹි පසු, මාක්ස් ඔහුට ඩොලර් දහයක් ගෙවුවේ කාර්යය සම්පූර්ණ කළ පසු තවත් ඩොලර් දහයක් ගෙවන පොරොන්දුවෙනි. දහවල් කෑමෙන් පසු සෑහෙන තරමක සිතේ සහනයක් ඇතිව ඔහු කාර්යාලයට ගියේය. 

එදා හවස්වරුවේ මාක්ස් තම කාමරයට පා තැබුවේ මහත් ආත්ම විශ්වාසයෙනි. එහෙත් ඇතුළු වී වටපිට බලද්දී තම හදවත කඩා වැටෙනු ඔහුට දැනුණි. තමන් දුන් උපදෙස් නොතකන ලද අතර ලොරි කරු විසින් පෙට්ටගම රැගෙන ගොස් තිබුණේ නැත. එය මෙතෙක් කල් තිබුණු අයුරින්ම කාමරයේ කෙළවරෙහි තවමත් තිබිණි. 

මෙවර කේන්තිය වෙනුවට මාක්ස්ට දැනුණේ කලකිරීමකි. දුරකතනයක් සොයා ගිය ඔහු ලොරි කරුට ඇමතුවේය. සිදු වූ අතපසු වීම ගැන සමාව ඉල්ලූ ලොරි කරු පැවසුවේ මේ කාර්යය සඳහා පිටත් වන්නට සූදානම් වෙද්දීම තමන්ගේ ලොරියේ කාර්මික දෝෂයක් සිදු වූ බවයි. මේ වෙද්දී එය අලුත්වැඩියා කර අවසන් වීමට ආසන්න බවත්, පසු දින උදෑසනින්ම මේ කටයුත්ත සම්පූර්ණ කරන බවත් ඔහු කියා සිටියේය. 

තවත් කළ හැකි දෙයක් නොමැති බැවින් මාක්ස් ඔහුට ස්තූති කර දුරකථනය විසන්ධි කළේය. නැවතත් තම කාමරය වෙත යාමට ඔහු තුළ වූයේ බලවත් නොකැමැත්තකි. ඇති තරම් වෙලාව රැගෙන අසල වූ අවන්හලකින් රාත්‍රී ආහාරය ගත ඔහු ඉනික්බිති චිත්‍රපටයක් නැරඹීමට ද ගියේය. චිත්‍රපටය අවසන් වූ පසු ඔහු උණුසුම් චොකලට් පානයක් සඳහාද තාවර විය. මාක්ස් නැවතත් තම කාමරය වෙත යද්දී මැදියම් රැයද පසු වී තිබිණි. 

පෙර දා රාත්‍රියේ බියකරු සිහිනයක් දුටුවද, මෙදින නම් නින්දට යාමට තමන්ට මහත් උනන්දුවක් ඇති බව ඔහුට දැනුණි. සම්පූර්ණ රැයක නින්ද අහිමි වී සිටි ඔහුට වෙහෙසක් දැනෙමින් තිබිණි. 

පෙට්ටගම යතුරු ලා ඇති බව සහතික කර ගැනීමෙන් පසු ඔහු එහි යතුර තම කොට්ටය යටින් තබා නින්දට ගියේය. සිතේ කැළඹිල්ලක් තිබුණත් ඔහු ඉක්මණින් නින්දට වැටුණේය. 

පැය කිහිපයකට පසු හදිසියේ අවදි වූ මාක්ස් ඇඳෙහි හිඳ ගත්තේය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබිණි. තමන් අවදි කළේ කුමක්දැයි ඔහුට මුලදී නොවැටහුණත්, ටික වෙලාවකින් ඔහුට එය ඇසෙන්නට විය. කාමරයේ එක් කෙළවරකින් දඩි බිඩි හඬක් සහ සීරෙන හඬක් ඇසෙමින් තිබිණි. 

තදින් වෙව්ලමින් සිටි මාක්ස් ඇඳෙන් බැස කාමරය හරහා ගොස් තම කියවීම් ලාම්පුවේ බොත්තම එබුවේය. නමුත් ඉන් ආලෝකයක් නිකුත් වූයේ නැත. එක්කෝ විදුලිය කපා හැර තිබිණි, නැත්නම් විදුලි බුබුල පිලිස්සී තිබිණි. 

ලාම්පුව තිබූ කනප්පුවේ ලාච්චුව විවර කළ මාක්ස් වියරුවෙන් මෙන් ඉටිපන්දමක් සොයන්නට විය. ඔහු ඉටිපන්දමක් සොයාගෙන එය දල්වන්නට ගත වූ කාලය තුළදී පෙට්ටගම තුළින් නැඟුණු සීරුම් හඬ උත්සන්න වී තිබුණු අතර මුළු කාමරයම ඒ හඬින් දෝංකාර දෙන්නට විය. 

මාක්ස් වෙව්ලමින් ඉටිපන්දමත් අතින් ගෙන පෙට්ටගම වෙත ඇවිද ගියේය. කාමරයේ කෙළවර වෙත ඉටිපන්දමේ ආලෝකය පැතිරෙද්දී ඔහු නැවත වරක් ඇඟිල්ල දුටුවේය. මෙවර එය පෙට්ටගමින් පිටතට විහිදී අමුතු ජවයකින් දඟලමින් විය. ඇඹරෙමින්, නටමින් තිබුණු එය, කළු පැහැති නියපොත්තෙන් ලීය හාරමින් වියරුවෙන් හැසිරෙන අයුරු පෙනුණි. 

මාක්ස් කිට්ටු වෙද්දී එක්වරම ඇඟිල්ල නිසොල්මන් වී පහතට එල්ලා හැලෙන්නට විය. බියෙන් ත්‍රාස ව සිටි මාක්ස්ට හැඟුණේ එය ඔහු කිට්ටු වන බව හඳුනාගෙන දැන් නිහඬව, ඔහු කරන දේ නරඹමින් සිටින බවයි. 

මාක්ස් කාමරය හරහා තරමක් දුර ඇවිද යද්දී ඇඟිල්ල සෙමෙන් එසවී ඉතා උවමනාවෙන් ඔහුට සන් කරන්නට විය. ඔහුට එක්වරම තමන් දුටු බියකරු සිහිනය සිහියට නැඟුණි. ඒත් මෙවරත්- සිහිනයේදී මෙන්ම- ඔහුට ඒ අද්භූත සන් කිරීමට අකීකරු වන්නට නොහැකි බව දැනුණි. ධ්‍යානයකට සම වැදුණු අයෙකු ලෙස ඔහු නොනැවතී ඉදිරියටම ගමන් කළේ ය. 

පසු දින පාන්දරම ගෙහිමි කාන්තාව විසින් ලොරිකරු සහ ඔහුගේ අත් උදවුකරු කාමරය වෙත කැඳවාගෙන ආවාය. ඒ වෙද්දීත් මාක්ස් රැකියාවට පිටත්ව ගොස් ඇති බවක් පෙනුණු නමුත් ඔහු පෙර දිනම අවශ්‍ය විස්තරාත්මක උපදෙස් ලබා දී තිබුණු නිසා ඔහු එහි සිටීම මේ කටයුත්ත සඳහා අත්‍යවශ්‍ය වූයේ නැත. 

අගුලු ලා තිබුණු පෙට්ටගම කාමරයේ කෙළවරක වූ නමුත් ඊට යතුරක් පෙනෙන්නට තිබුණේ නැත. අවසානය තෙක්ම දැල්වුණු ඉටිපන්දමක් ඉන් ගැලූ ඉටි මැද ඒ අසල බිම දිස් විය. 

මෙය දැක ගෙහිමි කාන්තාව නොරිස්සුමෙන් හිස සැලුවාය. “මුළු ගේ ම පුච්චලා දාන්න හොඳ ක්‍රමයක් මේක,” ඈ නෝක්කාඩු කියන්නට විය. “මාක්ස් මහත්තයා එක්ක මේ ගැන කතාකරන්න වෙනවා. එයා සාමාන්‍යයෙන් මෙහෙම නොසැලකිලිමත් වැඩ කරන්නේ නැහැ.”

පෙට්ටගම ඔසවාගෙන යමින් සිටි මිනිසුන් දෙදෙනා ඈ කී දේට ඇහුම්කන් දුන්නේ නැත. තරප්පුව බසිද්දී ලොරිකරුගේ සගයා මැසිවිලි කියන්නට විය. “මේකේ ඇතුල් පැත්ත හදලා තියෙන්නේ ඊයම් වලින්ද මන්දා! මේ තරම් බර පෙට්ටගමක් මම නම් කවදාවත් දැකලා නැහැ!”

“මේවා බර ලී ජාති!” ලොරිකරු කෙටියෙන් කීවේ තම මහන්සිය ඉතිරි කරගනිමිනි.

“ඒ මහත්තයා මේතරම් හොඳ පෙට්ටගමක් අහක දාන්නේ ඇයි දන්නේ නැහැ නේද?” නගරය කෙළවරෙහි වූ අත්හරින ලද ගල් කොරියක් වෙත ලොරිය ළඟා වෙද්දී උදවුකරු ලොරිකරුගෙන් විමසුවේය. 

“මම හිතන්නේ ඒකට හේතුව මම දන්නවා,” ලොරිකරු තම සගයා වෙත කපටි බැල්මක් හෙලමින් කීවේය. “ඒ මහත්තයා ඕක ගත්තේ ජේසන් කින්කල්ගෙන්. කින්කල් එයාට මේකේ නිධාන කතාව නොකියා විකිණුවාට පස්සේ එයාම ඒක හොයාගන්න ඇති- ඒකයි මේ වීසි කරන්නේ.”

මෙය අසා උදවුකරුගේ උනන්දුව වැඩි විය. “මොකක්ද ඒ කතාව?” ඔහු විමසුවේය. 

ඔවුහු ගල් කොරිය වෙත ගොස් ලොරියෙන් පිටතට ආහ.

“කින්කල් මේක වෙන්දේසියකින් නොවටිනා ගාණකට අරගෙන තියෙන්නේ” පෙට්ටගම ඉවතට ඔසවා ගනිමින් ලොරිකරු විස්තර කළේය. “ඒ අර වයසක හෙන්රි ස්ටබර්ටන්ගේ ලීබඩු වෙන්දේසියෙන්.”

මෙය අසා උදවුකරුගේ දෑස භීතියෙන් මහත් විය. ඔවුන් සිටියේ පෙට්ටගම බෑවුමක් දිගේ ඉහලට ඔසවාගෙන යමිනි. “ඒ කියන්නේ අර මරලා දාලා තිබුණු ස්ටබර්ටන්ද?”

“ඔව් ඔව්, පෙට්ටගමක මරලා දාලා හිටපු කෙනා. මේ ඒ පෙට්ටගම!”

ගල් කොරියේ උස් බිමක කෙළවරට එළඹෙන තුරු ඔවුන් අතර නැවතත් කතාබහක් සිදුවූයේ නැත. හෙල පහළ අගාධය පතුළේ වූ දිය කඳ දෙස බලමින් ලොරිකරු තම මුහුණේ වූ දහදිය පිසින්නට විය.

“එයාලා ඒ මනුස්සයව හොයාගනිද්දී හරි අජූත පෙනුමක් තිබිලා තියෙන්නේ. එයා පෙට්ටගම ඇතුලේ දෙකට නැමිලා, ඇඟපත කළු ගැහිලා ඉඳලා තියෙන්නේ. ආරංචි වුණු විදිහට ඒ යකාව ඇතුළට දාලා තියෙන්නේ පණ පිටින් ලු, ඒ මිනිහා පහුරු ගාලා එළියට එන්න උත්සාහ කරලාලු! පෙට්ටගම අරිද්දි තමයි දැකලා තියෙන්නේ එක ඇඟිල්ලක් අගුල හරියෙන් පියනට අහුවෙලා තිබුණු බව. මිනිහා නියපොත්තෙන් අගුල අරින්නත් හදලා!”

මෙය අසා උදවුකරු වෙව්ලා ගියේය. “එහෙනම් මේක මහා අවාසනාවන්ත බඩුවක්. ඉක්මණින් මේ වැඩේ ඉවර කරලා දාමු!”

ලොරිකරු හිස වනා මීට එකඟ විය. “ඔය පැත්තෙන් අල්ලලා තල්ලු කරන්න.”

ටික වෙලාවක් තල්ලු කරද්දී පෙට්ටගම හෙල පහළට තල්ලු වී පහත වූ කළු පැහැති ගැඹුරු දිය පතුලේ ගිලුණි. ගලක් සේ බරට එය කිඳ බසිද්දී ජලය දෙබෑ වූයේ මහා හඬක් නඟමිනි. 

“ඒක නම් අතුරුදන් වුන එකමයි කාරිය. දැන් මට තව ඩොලර් දහයක් එකතු කරගන්න පුළුවන්.” ලොරිකරු කීය.

නමුත් පුදුමයකට මෙන් ඔහුට කිසි දිනක ඒ ඩොලර් දහය ලබාගැනීමට හැකි වූයේ නැත. ඊට හේතුව මේ දිනට පසු අර්නස්ට් මාක්ස් මහතා දකින්නටවත් නොවීමයි. සම්පූර්ණයෙන් අතුරුදන් ව ගොස් සිටි ඔහුගෙන් ඉන් මතු කිසිදු ආරංචියක් ලැබුණේ නැත. ඒ වෙද්දීත් පොලීසිය සමඟ විවිධ ගැටුම් ඇතිකරගෙන තිබුණු ලොරිකරු මේ ඩොලර් දහයේ පාඩුව අමතක කර දැමූ අතර පෙට්ටගම ඉවත් කිරීම ගැන කිසිවෙකුට කිසිම සඳහනක් කළේ නැත. ගෙහිමි කාන්තාව ලොරිකරුගේ නම දැන නොසිටි නිසා මාක්ස්ව සෙවීමේදී ඇගෙන් ලැබුණු තොරතුරු වැඩි ප්‍රයෝජනයක් වූයේ නැත. 

මාක්ස් යම් කරදරයකට මැදි වී, පදිංචියත් නමත් වෙනස් කරන්නට ඇති බව අවසන් වශයෙන් පොලිසිය විසින් නිගමනය කරන ලදී.


පරිවර්තනය හෙල්මලී ගුණතිලක

From Weird Tales (1954) Vol 45 No 6

pencil sketch

සන්නස පුවත්පත -2023 මාර්තු කලාපය 


March 13, 2023

බ්ලැකී




අතීත මතක අතපත ගාද්දී බොහොම ඉස්සර කාලෙකින් ඇහෙන පූස් පුරු පුරුවක් ළඟ හිත නවතින වෙලාවල් තියෙනවා. ඇස් දෙක වහගත්තොත් දෑතේ උණුහුම මැද්දේ හීනියට පුංචි ගදවතක් වේගයෙන් ගැහෙන හැටිත් හිතේ මැවෙනවා. එක්තරා කාලයක මට ලැබුණු ඒ උණුහුම් ආදරයේ අයිතිකාරිය බ්ලැකී. 

බ්ලැකී මට මුලින්ම මුණගැහෙද්දී මට අවුරුදු හයක් විතර. ඒත් බ්ලැකී නම් ඒ වෙද්දී හිටියේ පැටි වයස පහු කරලා. තාත්තාගේත් අම්මාගේත් රැකියා නිසා අපි සේෂෙල්ස් රටට ගිය වෙලාවේ අපි පදිංචි වුණු ගෙදරත් එක්ක ලැබුණු නිල නොවන තෑග්ගක් තමයි බ්ලැකී. සමහරවිට එයා අපට කලින් ඒ ගෙදර පදිංචි වෙලා හිටිය අයගේ සුරතලා වෙන්න ඇති. ඒත් අපි මුලින් දැක්කේ අහු මුළුවල හැංගිලා ඉන්න, බයෙන් වෙව්ලන පුංචි කළු අවතාරයක්. අපි ඒ ගෙදරට එන්න කලින් සිද්ධ වුණු මොනවා හරි අපි නොදන්නා අකරතැබ්බ නිසා ආයෙත් කිසි මනුස්සයෙක්ව විශ්වාස නොකරන්න බ්ලැකී අධිශ්ඨාන කරගෙන හිටපු ලකුණු පෙනුණා. ඒත් අවුරුදු හයක පුංචි ගෑනු ළමයෙකුට මේවා අදාළ වුණේ නැහැ. බ්ලැකී හැංගිලා හිටිය අහුමුලු වලට බඩගාගෙන යන්න, ඈතින් කෑම පීරිසි තියලා හැංගිලා බලාගෙන ඉන්න, එයාට රහසින් කතාකරන්න මට ඕන තරම් වෙලාව තිබුණා. අන්තිමේදී මම පසු නොබාන බව දැකලා ද කොහෙද බ්ලැකී අපේ ගෙදරින් මාව විතරක් විශ්වාස කරන්න තීරණයක් ගත්ත බවක් පෙනුණා. මේ විදිහට බ්ලැකී 'මගේ' සුරතලා වුණා. තනි කළු පාට බ්ලැකීට දීප්තිමත් කහපාට ඇස් දෙකක් තිබුණා. මගේ පෙරැත්තයට ගේ ඇතුළට ආවත් බ්ලැකී වැඩිහරියක් කාලය ගතකළේ ගෙදර හෙවනැලි වලට මුවාවෙමින්. ෆ්‍රිජ් එක පිටිපස්සේ ඉඩත් මගේ ඇඳ යටත් එයාගේ ප්‍රියතම තැන් වුණා.  එහෙම අඳුරු තැන් වල හැංගිලා ඉන්දැද්දී පෙනුණේ එයාගේ ඇස් දෙක විතරයි.  හැබැයි මෙහෙම ඉන්න අතරේ හෙමින් හෙමින් මාව හොයාගෙන ඇවිත් කකුල් දෙකේ වෙලිලා, උකුලට පැනලා මට විතරක් විශේෂ වුණු ලොකු 'පුරු පුරුවක්' දෙන්න එයා අමතක කළේ නැහැ. මාත් එක්ක ඉන්දැද්දී ගෙදර වෙන කෙනෙක්ගේ අඩි සද්දේ ඇහුනොත් එක මොහොතින් එයා ආයෙත් හැංගුණේ අසුරු සැණින්. 

මෙහෙම ටික කලක් ගත වුණා. බ්ලැකීගේ කුලෑටි ගති ටිකක් අඩු වුණත් එයා කවදාවත් ඒතරම් සමාජශීලී වුණේම නැහැ. ඒ වෙද්දී අපේ ගෙදර තවත් බළල් පවුල් පදිංචි වෙලා හිටියත් බ්ලැකී ඒ අය එක්කත් සම්බන්ධයක් තිබුණේත් නැහැ. එයාගේ ලෝකය වෙලා තිබුණේ මම විතරයි. මාත් ඉඩක් ලැබුණු හැම වෙලාවකම කළේ එක්කෝ උණුහුමට ගුලි වෙලා පුරු පුරු ගාන බ්ලැකීව උකුලේ තියාගෙන පොත් කියවන එක, නැත්නම් එයා එක්ක සෙල්ලම් කරන එක. සෙල්ලම් වයස පහුවෙලා හිටියත් බ්ලැකී මං වෙනුවෙන් ආයෙත් එහෙ මෙහෙ දුවමින්, කහ පාට ඇස් දෙක දිලිසවමින් සෙල්ලම් කළා.

අවුරුදු හතරක් ගතවෙලා ගියේ බොහොම ඉක්මණින්. අපිට සේෂෙල්ස් වලින් නික්මෙන්න කාලේ එළඹුණා. අපේ ගෙදර බලෙන් පදිංචි වෙලා හිටිය අනෙත් බළල් සුරතල්ලු ගැන අපි වද වුණේ නැත්තේ එයාලා ආව විදිහටම වෙන තැනක් හොයාගන්න බව දැනගෙන හිටිය නිසායි. ඒත් බ්ලැකී? එයාගේ කුලෑටි ගතිගුණ නිසා එයා අලුත් අයිතිකාරයෙකුට හුරු නොවෙයි කියලා මම බය වුණා. එයාව දාලා යන්නේ කොහොමද හිතමින් මම නිදි නැතිව අඬමින් කාලේ ගත කළා, ඒ කිසි දෙයක් නොදැන දිගටම බ්ලැකී මගේ ළඟට තුරුල් වෙලා හිටියා. මෙහෙම මාස කීපයක් ගතවුණා. අපිට ෆ්ලොරන්ස් ගැන ආරංචි වුණේ ඒ අතරේ. ෆ්ලොරන්ස් අම්මලා එක්ක එකට රැකියාව කළ ඒ රටේ කෙනෙක්. බ්ලැකීව දාලා යන්න බැරි ගැටලුව අම්මාගෙන් ආරංචි වෙලා තමන් බ්ලැකීව බාරගන්න කැමති බවත් එයා දවසක බ්ලැකීව බලන්න අපේ ගෙදර එන බවත් කියලා තිබුණා. 

ෆ්ලොරන්ස් බළලුන්ට බොහොම ආදරේ කරුණාවන්ත කෙනෙක් කියලා අම්මා කීවත් මට නම් මේ අදහස ගැන විශ්වාසයක් නොතිබුණේ බ්ලැකී ගැන හොඳට දැනගෙන හිටිය නිසායි. අවුරුදු ගාණක් තිස්සේ අපේ පවුලේ අනෙත් සාමාජිකයින් එක්කවත් ලෙන්ගතු නොවුණු බ්ලැකී පිට කෙනෙක් එක්ක යාලු වෙයිද? ඒත් අපිට නොතේරෙන, සත්තුන්ට තේරෙන විශ්ව භාෂාවක් තියෙන බව මට බ්ලැකී ඔප්පු කරලා පෙන්නුවා. ෆ්ලොරන්ස් මුල් වතාවට අපේ ගෙදර ආව වෙලාවේ බ්ලැකී කළින් කිසි දවසක කාටවත් නොදුන්නු ප්‍රතිචාරයක් එයාට දුන්නා. එදා බ්ලැකී හැංගිලා හිටිය තැනින් එළියට ඇවිත් කෙලින්ම ෆ්ලොරන්ස් ළඟට ගිහින් එයාගේ කකුල් දෙකේ ඇතිල්ලුනා. ඉන්පස්සේ එයාගේ පාමුල බිම පෙරළිලා මගේ දිහා බැලුවේ 'මං ගැන වද වෙන්න එපා, මෙයා එක්ක මට ඉන්න පුළුවන්' කියන්නා වගේ. මේක දැකලා මට දැනුණේ ලොකු පුදුමයක් ඒ වගේම සැහැල්ලුවක්.

අපි සේෂෙල්ස් වලින් නික්මෙන්න කලින් ෆ්ලොරන්ස් ට බ්ලැකීව භාර දීලා මම එන්න ආවේ ඇස් වල කඳුළු පුරවාගෙන. ඒත් බ්ලැකීට මගෙන් ලැබුණු ආදරය රැකවරණය ෆ්ලොරන්ස්ගෙන් ලැබෙන බව මට සහතිකවම දැනුණා. 

මේ කතාව හරි නම් මෙතැනින් නිම වෙන්න නියමිතයි. ඒ කාලේ දැන් වගේ විදේශ දුරකථන ඇමතුම්, ඊ මේල් වගේ දේවල් සුලබ නොවුණු නිසා ඊටපස්සේ මට බ්ලැකී ගැන විස්තරයක් දැනගන්න ලැබුණේ නැහැ. ෆ්ලොරන්ස් ට ලියුමක් ලියලා විස්තර අහන්න අම්මලා මාව උනන්දු කළත් බ්ලැකීගෙන් වෙන්වීමේ දුක ඉන් තවත් වැඩිවෙන නිසා මම නිහඬවම හිටියා. ඒත් මේ සමුගැනීමෙන් අවුරුදු හතරකට විතර පස්සේ මට ආයෙත් වතාවක් නිවාඩුවකට සේෂෙල්ස් යන්න අවස්ථාවක් ලැබුණා.ඒ ගමනේදී බ්ලැකීව හොයාගෙන ෆ්ලොරන්ස් ගේ ගෙදර යනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒත් මම හිටියේ හිතේ සැකයෙන්. බ්ලැකී ඒ වෙද්දී ජීවත් ව ඇතිද කියලා මට සැක හිතුණේ ඒ වෙද්දීත් එයාට අවුරුදු දහයක් තරම් විතර වයස ඇති කියලා මට හිතුන නිසා.

ෆ්ලොරන්ස් අපිව බොහොම සතුටින් පිළිගත්තා. 'බ්ලැකී ඉන්නවද?' කියලා මම බයෙන් බයෙන් වගේ ඇහුව ප්‍රශ්නයට උත්තර හැටියට හිනාවුණු එයා ගේ ඇතුලට ගිහින් බ්ලැකීව වඩාගෙන ආවා. මට දැනුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්! ඒ වෙද්දී වයස නිසා බ්ලැකීගේ කළු ලෝම අළු-දුඹුරු පාටක් වෙලා තිබුණා, එයාගේ ගමනත් හිමින්. ඒත් එයා මාව දැක්ක ගමන් උකුලට පැනලා ආදරේ පෙන්නද්දී ඇහුනු පුරු පුරුව නම් ඉස්සර වගේම සද්දෙට තිබුණා!

සමහර සුරතල්ලු අපි එක්ක ගත කරන්නේ අවුරුදු කීපයක් විතරයි. ඒත් එයාලාගේ උණුහුම අපිට ජීවිත කාලය පුරාවටම දැනෙනවා. සමහරවිට එයාලා අපේ ජීවිතේ හිඩැස් පුරවනවා වගේම අපිත් එයාලාගේ ජීවිත වල හිඩැස් පුරවනවා වෙන්න පුළුවන්. ටික කාලයක් හරි බ්ලැකී මගේ ජීවිතේ උන්නු තැන- තාම හරි උණුහුම්!  

පසු සටහන-

මේ සටහන facebook දැම්මාම පොඩි අක්කා ළඟ තිබිලා මේ පින්තූරය කමෙන්ට් කරලා තිබුණා. මේ පොඩි අක්කාත් මාත් බ්ලැකී ත් දශක තුනකටත් වඩා ඉස්සර! 



sketch- watercolours

March 08, 2023

සැඟවෙමි

 


පාට අහුරක උපදිමි
පින්සල් ඉරක නවතිමි
කෝපි සුවඳක පැටලී
මතක නිම්නෙක සැඟවෙමි

~හෙල්මලී~



March 06, 2023

මගේ පළමු දේව දූතිය




අවමඟුල් දා
අපව එකා බැගින් ඈ වෙත ඔසවමින්
‘නංගී ට හාද්දක් දී සමුදෙන්න...
ඈ දැන් දේව දූතියක් ’
තාත්තා කීවේය

සුදු පැහැති කැටයම් පෙට්ටියක
සති දහයක් වයසැති, සුදුමැලි නංගී
වැතිර සිටියේ නිදා සිටි අයුරිනි
අත්තටු හෝ රිදී තරුවක් නොමැතිව
නිහඬව, නිසොල්මන් ව
මගේමයි කිව හැකි දේව දූතියක්ව සිටින්නේ
මා නැලවූ, හිනැස්සූ ඈ ම බව
අදහන්නටත් නොහැකි විය

කාලය ගතවෙද්දී
මට බොහෝ දේ පැහැදිලි විය
යුද්ධයට ගිය ඥාති සොයුරන් වෙනුවෙන්
අප ඈ වෙත යාඥා කළෙමු
බෝම්බ හා සටන් නවතන ලෙස
අප ඈ වෙත යාඥා කළෙමු

ඈ මේ හැම දෙයින් ම බේරුණා
අම්මා නිතර කීවාය

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි.

Translation of the poem 'My First Angel' by Katherine Gallagher, from the book 'Fish-Rings on Water' (1989)

ලන්ඩන් කවි - මාර්තු 2023

March 02, 2023

Still Life - Movie Review

ජෝන් මේ ලන්ඩන් නගරයේ කෙන්සින්ටන් නගර සභාවේ සේවකයෙක්. ඒත් එයාගේ රැකියාව සාමාන්‍යයෙන් දකින්න ලැබෙන රස්සාවක් නෙමෙයි. ඒ ප්‍රදේශයේ කාත් කවුරුවත් නොමැතිව මිය යන අයගේ පවුලේ ඥාතීන් හොයලා එයාලට මරණය ගැන දැනුම්දෙන එකයි ඔහුගේ රැකියාව. මේ කාර්යයේම දිගුවක් හැටියට ජෝන් ඒ මරණ වෙනුවෙන් අවමංගල්‍ය උත්සවත් ලැස්ති කරනවා. බොහෝ වෙලාවට ඒ අවමංගල උත්සව වල ඉන්න එකම අමුත්තා එයා විතරයි.

මේ චිත්‍රපටියේ ජෝන් තම රැකියාව අභිබවා ගිය යුතුකම් කරන්න කැපවෙන හැටි විස්තරාත්මකව පෙන්නනවා. ජෝන් එහෙම කරන්නේ ඒ කාත් කවුරුවත් නැතිව මැරුණු අය 'තමන්ගේ' උදවිය හැටියට එයා සලකන නිසායි. තනියම ජීවත්වෙන ජෝන් ගතකරන්නේ ඉතාමත්ම සරල, තරමක පාලු ජීවිතයක්. ඒ නිසාදෝ කොහෙද එයා මේ කටයුතු වෙනුවෙන් උපරිමයෙන් කැපවෙනවා.

ඒත් එක මරණයක් වෙනුවෙන් කලින්ටත් වඩා වෙහෙසිලා තොරතුරු හොයන්න ජෝන් ට සිද්ධ වෙනවා. මේ ගමනේදී ඔහු අත්දකින විශේෂ සිදුවීම් තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නේ. Still Life කියන නම මීට හොඳින්ම ගැලපෙන්නේ ඒකෙ බොහෝ රූප රාමු නිසල වස්තු යොදාගෙන කළ චිත්‍රවලට සමාන නිසා. ඒ වගේම වචන සෙල්ලමක් එක්ක ඒ නම නිශ්චල ජීවිතයක් කියන තේරුමත් දෙනවා. ජෝන් අලුත් දේ අත්හදා බලන්නේ නැති කෙනෙක්. එහෙම දේවල් කරන්න වුණත් සිදු කරන්නේ ඉතාම ප්‍රවේසමෙන්. ඒ නිසා ඔහුත් නිශ්චල ජීවිතයක්. එක්තරා හමුවීමකදී ඒ ජීවිතය තරමක් චංචල වෙන්න සැරසුනත් ආයෙත් බොහොම ඉක්මණින් නිශ්චල වෙනවා. එහෙමයි ජීවිතේ හැටි.

බොහොම හැඟුම්බර අවසානයක් සහිත මේ චිත්‍රපටිය කලාතුරකින් දකින්න ලැබෙන තේමාවක් සහිත එකක්. ඊට හිමිවුන සම්මාන ගැන විස්තර තිබුණේ මෙහෙමයි. 

Still Life was presented at the 70th Venice Film Festival , where it won the award for Best Director in the category "Orizzonti". At the Reykjavik International Film Festival, Still Life received the top award (Golden Puffin) as well as the FIPRESCI Award. It also received the Black Pearl award (the highest award) at the Abu Dhabi Film Festival for "its humanity, empathy and grace in treating grief, solitude and death"; for his performance, Eddie Marsan won the Best British Actor award at the 2014 Edinburgh International Film Festival


Directed by Uberto Pasolini

Written by Uberto Pasolini

Produced by Felix Vossen, Christopher Simon, Uberto Pasolini, Ceri Hughes

Starring Eddie Marsan