Showing posts with label Yiyun Li. Show all posts
Showing posts with label Yiyun Li. Show all posts

February 10, 2025

පාඨකයා නිසොල්මන් කරවන යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’

“සතුට යනු: නිරතුරුවම හෙට දවස, ඊළඟ මාසය හෝ වසර ගැන දෑස් දල්වා බලා සිටීම නොවේ. එමෙන්ම සතුට යනු: දෑත විදහා, එළඹෙන හැම දිනයක්ම අතීතයට එක් වීම වැළකීමට ගන්නා උත්සාහයද නොවේ.”

මේ, යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොතෙන් උපුටා ගත් කොටසකි. මේ ලේඛිකාවගේ නිර්මාණ කියවද්දී පාඨකයා නිසොල්මන් කරවන, කියවූ දේ ගැන යළි යළිත් සිතන්න පොලඹවන මෙවැනි වැකි නිරතුරුව මුණගැසේ.

යීයුන් ලී 1972 දී චීනයේදී උපන් කතුවරියකි. ඈ සිය රටේදී හිමි කරගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව අමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්‍රයෙන් පශ්චාද් උපාධියක් සම්පූර්ණ කර තිබේ. ඉනික්බිති ඊට හාත්පසින්ම වෙනස් මඟක් ඔස්සේ යමින් ඈ අමෙරිකාවේ අයෝවා සරසවියෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳවත් පශ්චාත් උපාධියක් ද සම්පූර්ණ කළ බව සඳහන් වේ. පසුකාලීනව තම විද්‍යා අධ්‍යාපන පසුබිම පසෙක ලූ ඈ අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේත්, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව ආචාර්ය ධුර හොබවා තිබේ.

2024දී ප්‍රකාශයට පත් වූ යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොත කෙටිකතා එකොළහකින් සමන්විත ය. මේ කතාවල තේමා එකිනෙකට හාත්පසින්ම වෙනස් වීම නිසා පාඨකයා ඊට නිරායාසයෙන් ආසක්ත වීම වැළක්විය නොහැකිය. උදාහරණයක් ලෙස: මෙහි ඇතුළත් ‘අ ශෙල්ටර්ඩ් වුමන්’ කෙටිකතාව අලුත උපන් බිලිඳුන් කෙටි කාලයකට රැක බලාගැනීම තම රැකියාව වූ අවිවාහක මැදිවයසේ කාන්තාවක ගැන ගෙතුණු එකකි. මතුපිටින් පෙනෙන දිනචර්යාවක විස්තරවලට යටින් ඒ කතාවේ පෙනී නොපෙනී පාඨකගේ සිත පාරවන්නේ ලෝකයේ කොයි රටකත් ගැහැනුන්ට උරුම වුණු අහිමිවීම්, හැරදා යෑම්, ප්‍රසවය හා බැඳුණු විශාදය වැනි වේදනාත්මක කාරණාය.

“තමන්ගේ ජීවිතයට මිතුරකු තරම් හද බැඳ ගැනීමට හතුරකුට හැකි බවත්, වෛරයක් නිසා දෙදෙනකුට සහෝදර බැම්මක් තරම් බැඳීමක් ඇති වන බවත් ඈ දැන සිටියාය. ජීවිතයට හමු වන හැම කෙනකුම අමුත්තකු ලෙස සලකා කටයුතු කළ හැකි අය වාසනාවන්තයෝ ය.” (- අ ශෙල්ටර්ඩ් වුමන්)

‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ මේ කෙටිකතා එකතුවේ ඇති තවත් කතාවකි. යොවුන් දරුවකුගේ දිවි නසාගැනීමකින් අනතුරුව ඔහුගේ මවුපියන් ජීවිතයට මුහුණදීමට වැර දරන අයුරු ඊට පාදක වී තිබේ. හද බිඳී තිබියදී නොවෙනස්ව කැරකෙන ලෝකයට අනුගතව දිවි ගෙවීමේ දුෂ්කර බව ඔවුන්ට දැනෙන අයුරින්ම පාඨකයාටද දැනෙන්න සැලැස්වීම ලීගේ ලිවීමේ දස්කමයි.

“ඇතැම් දිනවලදී ජියායු තම නිවෙස වෙත පැමිණ, එය ඉදිරිපස තම රථය නවත්වා ගරාජයේ දොර විවර කරන බොත්තම ඔබනු නොහැකිව අකර්මණ්‍යව සිටින්නීය. තවත් දිනවල ඈ වෙහෙස නොතකා, නොකඩවා නිවෙස පිරිසුදු කළාය; එළවළු කපන ලෑල්ල මත කඳුළින් පෙඟුණු ලූනු ගොඩක් පමණක් ඉතිරි වන තුරු උමතුවෙන් මෙන් ලූනු කැපුවාය. මේ කිසි දෙයක් මෙලෙස සිදු වීමට හේතු ඈ ප්‍රශ්න කළේ නැත. උමතු බවක් පෙනුණු හෝ නොපෙනුණු මේ ඕනෑම ක්‍රියාවක් අයත් වූයේ ශෝකය නම් නිර්වචනයටයි.” (- වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්)

මේ ලෙස නිර්මාණ ඇසුරෙන් පාඨකගේ සිත් ඇද බැඳ ගත් යීයුන් ලී, තම ජීවිතයේත් මහත් සේ හැලහැප්පීම්වලට ලක් වුණු තැනැත්තියකි. ඈ එක්තරා කාල වකවානුවකදී තදබලව මානසික අවපාතයට ලක් ව සිටියාය. ඇයගේ විශේෂත්වය නම් ඒ අත්දැකීම් ගැන තම නිර්මාණ මඟින් විවෘතව කතා කිරීමයි. ඉහත සඳහන් ‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ කෙටිකතාවත් ඈ 2019 දී ලියූ ‘වෙයා රීසන්ස් එන්ඩ්’ නවකතාවත් ඇයගේ දරුවකු දිවි නසාගැනීමේ වේදනාව නිසා උපන් නිර්මාණ බව සඳහනි. මීට අමතරව, ලී 2017දී ලියූ ‘මයි ෆ්‍රෙන්ඩ්’ නම් ස්වයං අපදානය ඈ මනසින් සුවපත් වීමේ චාරිකාව ගැන ලියවුණු කෘතියකි.

චීනයේ ගෙවූ ජීවිතයෙන් ලද අත්දැකීම්වලින් පෝෂණය වී, අමෙරිකාවේ අත්දැකීම්වලින් හැඩ වැඩ වුණු ලී ගේ නිර්මාණ, කියවන්නාට අලුතින් ජීවිතය දකින්න මඟ කියයි. ඇයගේ බොහෝ කෙටිකතාවල ප්‍රධාන චරිත, ඈ මෙන්ම චීනයෙන් අමෙරිකාවට සංක්‍රමණය වූ අයයි. මෙවැනි සංක්‍රමණිකයන් තම උපන් රටටවත්, පදිංචි රටටවත් සම්පූර්ණයෙන්ම මනසින් අයත් නොවී ගෙවන දෙබිඩි ජීවිතය ඈ තම නිර්මාණවලදී මනා ලෙස හුවා දක්වන්නීය. මේ කෙටිකතා එකතුවේ ‘අලෝන්’ නම් කෙටිකතාවේ ප්‍රධාන චරිතයත් මෙවැන්නියකි. තම ජීවිතයේ හිමිවීම් සහ අහිමිවීම්වල මූලයන් තේරුම්ගන්න වෙහෙසෙන ඈ, අපටද හුරු පුරුදු චරිතයකි.

“ජීවිතයත් මරණයත් අතර දේශ සීමාවේ අමතක වීම නම් නදියක් ඇති බව ජනකතාවල පැවසේ. එය හරහා ඇති පාලමක් මත සිහින මාතාව නම් කාන්තාවක් සිටින්නීය. ගඟ තරණය කරන සංචාරකයන්ට ඈ තේ බඳුනක් පිරිනමන්නීය. ඔබ මෙය පානය කළ පසු මරණයට යද්දී ජීවිතයේ මෙපිටින් ඇති සියලු දේ අමතක වී යනු ඇත.”
(- අලෝන්)

ස්වකීය නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනා ඇති මේ නිර්මාණකාරිය, 2023 දී විදෙස් ලේඛිකාවක ලෙස ලෝ ප්‍රකට ‘රෝයල් සොසයිටි ඔෆ් ලිටරිචර්’ සංගමයට තේරී පත් වී තිබේ. කෙටිකතාකරණයට අලුත් තේමා හඳුන්වා දෙන යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ වැනි කෙටිකතා සංග්‍රහයන් පාඨකයාගේ පරිකල්පනය අලුත් මානයකට රැගෙන යන බව ඒකාන්තය.

හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
08.02.2025

අලුතින් පණ ගැන්වුණු සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයට 'විදෙසක ලිවිසැරිය' නමින් තීරු ලිපියක් ලිවීමට මට ඇරයුම් කළ පුවත්පතේ උප කතෘ ජයත් පියදසුන් සොයුරාට මගේ ස්තූතිය හිමි වේ .  




December 24, 2023

Wednesday's Child- Yiyun Li

මම Yiyun Li ගේ කෙටිකතාවක් මුලින්ම කියෙව්වේ බොහොම අහම්බෙන්. කම්මැලි මොහොතක පුස්තකාලයේ තිබුණු New Yorker සඟරාවක පිටු පෙරළද්දී තමයි මට ඈ ව මුලින්ම මුණගැහුනේ. ඒ මීට අවුරුදු කීපයකට කලින්. එදා ඒ කෙටිකතාව හොඳටම රස වැටුණු නිසා මම Li ගේ කෙටිකතා තවත් හොයන්නත්, කියවන්නත් පටන් ගත්තා.

1972 දී චීනයේදී උපන් Yiyun Li එහිදී ලබාගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව ඇමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්‍රයෙන් පශ්චාත් උපාධියකුත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ පශ්චාත් උපාධියකුත් සම්පූර්ණ කළ බව සඳහන්. ජීවිතයේ මහත් සේ හැලහැප්පීම් වලට ලක් වුණු Li, එක්තරා කාල වකවානුවකදී තදබලව මානසික අවපාතයට ද ලක් වූ අයෙක්. ඇගේ විශේෂත්වය තමයි ඒ වගේ දේවල් ගැන තම නිර්මාණ වල විවෘතව කතාකිරීම. 2017 දී ඈ ලියූ 'My Friend' නම් ස්වයං චරිතාපදානයේ ඈ මනසින් සුවපත් වීමේ චාරිකාව ගැනත්, 2019 දී ලියූ 'Where Reasons End, නවකතාවේ ඇගේ දරුවාගේ දිවි නසාගැනීම ගැනත් ඈ කතා කරනවා.

තමන්ගේ නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනා ඇති Li, 2023 දී විදෙස් ලේඛිකාවක් ලෙස ලෝ ප්‍රකට Royal Society of Literature වෙත තේරී පත් වුණා. ඈ ලියූ නවකතා අතර A Thousand Years of Good Prayers, The Vagrants, The Book of Goose ආදිය බෙහෙවින්ම ප්‍රසිද්ධයි.

මම Li ගේ ලේඛනයට කැමති ඇගේ කතන්දර කීමේ හැකියාව විශ්මිත නිසායි. චීනයේ ගෙවූ ජීවිතයෙන් ලද අත්දැකීම් වලින් පෝෂණය වී, ඇමෙරිකාවේ අත්දැකීම් වලින් හැඩ වැඩ වුණු ඒ කතා කියවන්නාට අලුතින් ජීවිතය දකින්න මඟ කියනවා. උදාහරණයක් හැටියට ඇගේ 'A Sheltered Woman' කෙටිකතාව අලුත උපන් බිළිඳුන් කෙටි කාලයකට රැක බලාගැනීම තම රැකියාව වූ අවිවාහක මැදිවයසේ කාන්තාවක් ගැන ගෙතුණු එකක්. ඒත් ඒ කතාව යටින් පෙනෙන නොපෙනෙන හැටියට තියෙන්නේ ලෝකයේ කොයි රටකත් ගැහැනුන්ට උරුම වුණු අහිමිවීම්, හැරදා යාම්, පසු ප්‍රසව විශාදය වගේ හිත රිදවන, බිඳවන කාරණා.

A Thousand Years of Good Prayers මම කැමතිම Li ගේ කෙටිකතාවක්. චීනයේදී විද්‍යාඥයෙක් හැටියට රැකියාව කර විශ්‍රාම ගිය පියෙක් තම දියණිය බලන්න කෙටි සංචාරයකට ඇමෙරිකාවට යන ගමනයි මේ කතාවේ නිමිත්ත. තනිකමට වයස් භේදයක් නැති බව බොහොම සියුම් විදිහට කීප විදියකින්ම අපට මේ කතාව මතක් කරලා දෙනවා.

Li ගේ නිර්මාණ වල අපට නැවතිලා හිතන්න කොටස් එමට තියෙන එකත් ඇගේ ලියවිල්ලට මම කැමති වෙන්න තවත් හේතුවක්. ඒ වගේ කොටස් නිරතුරුව මතකේ රැඳිලා අපේ නිර්මාණ ත් පෝෂණය කරනවා.

“Happiness, I would tell her, is to spend every day without craning one’s neck to look forward to tomorrow, next month, next year, and without holding out one’s hands to stop every day from becoming yesterday.”

― The Book of Goose

“The happiness of love is a shooting meteor; the pain of love is the darkness following.”

― A Thousand Years of Good Prayers

ඉතින් Yiyun Li ගේ නිර්මාණ වල තදබල රසිකාවියක් වන මට ඇගේ අලුත්ම කෙටිකතා පොත Wednesday's Child දැක්කාම ඒ පොත මට කතාකරනවා වගේ දැනුණා! දෙසැම්බර් නිවාඩුවේ සාරවත් කියවීමකට ඒ පොත තෝරාගන්න ඉතින් මට දෙසැරයක් හිතන්න වුවමනා වුණේ නැහැ.

Photo- Wednesday's Child (2023) by Yiyun Li
Harper Collins Publishers

(මම Li ගේ කෙටිකතා වලට තියෙන තදබල කැමැත්ත නිසාම ටිකක් දිග වුනත් A Sheltered Woman කතාව පරිවර්තනය කළා. මේ තමයි ඒ පරිවර්තනය. මීට අමතරව Li ගේ නිර්මාණ නිසා inspire වෙලා මම කළ නිර්මාණ කීපයක් තමයි 'තුන්දහස් වසරක යාඥාව', 'වෙනත් නම් තිබුණා' )




August 15, 2023

තුන්දහස් වසරක යාඥාව




"In China we say Xiu hai shi ke tong zhou" Mr. Shi says." It takes three hundred years of prayers to have the chance to cross a river with someone in the same boat."

There is a reason for every relationship, that is what the saying means. Husband and wife, parents and children, friends and enemies, strangers you bump into in the street. It takes three thousand years of prayers to place your head side by side with your loved one's pillow."

A Thousand Years of Good Prayers -Yiyun Li (page 192)


එකම යාත්‍රාවක
එතෙර වන්නට නදියක්
තුන්සියක් වසරක් වත්
යාඥා කළ බව අප
පැහැදිලියි නිසැකයි 

චණ්ඩ රළ කැළඹෙද්දී
හැපි හැපී ගල් කුළු මත
දෙහද හඬ පමණක්
මුමුණ මුමුණා රහසෙන්
දෑත් අල්ලා තරයේ
ළංව උන්නා නුඹ, මම

එයිනුදු නොනැවතී
වසර දහසක් වත්
යාතිකා කරනට ඇති
නික්මුණ ද යාත්‍රාවෙන්
අත් අත්හරිනු නොහැකිව
තැවී දැවුණේ එනිසයි

එහෙත්
එක සිතින් එක වර
යාඥා නොකළෙන්
දිගු තුන්දහස් වසරක්
වෙන්ව යන්නට යෙදුණයි

ගැඹුරු නින්දකදී
නුඹේ ඇසිපිය නිසලව
වැතිරෙන අයුරු කොපුලත
දකින්නට වරමක් නැති
හේතුව එයයි, නියතයි

දිගු තුන්දහස් වසරක්
යාඥා නොකළෙන්
එක සිතින් එක වර
 
වෙන්ව යන්නට යෙදුණයි

- හෙල්මලී

පසු සටහන-
මේක ඉස්සර මම ලීව කවියක්. (පරිවර්තනයක් නෙමෙයි) ඒකට නිමිත්ත වුණේ Yiyun Li ගේ කෙටිකතාවක ඉහතින් උපුටලා තියෙන ඡේදය. Yiyun-li ගේ ලියවිලි හරි ප්‍රබලයි, සමහර වෙලාවට සාන්ද්‍රයි. මේ කවිය මම කලිනුත් පළ කළා. ඒත් ඒකට ගැලපෙන චිත්‍රය ඇඳුනේ දැන්. 

Excerpt from the Short Story Collection- A Thousand Years of Good Prayers by Yiyun- Li (2005) Random House Publishers

Digital Painting

November 28, 2019

වෙනත් නම් තිබුණා

'when we were happy we had other names'- Yiyun Li ගේ කෙටිකතාවක හමුවූ වැකියක් 

සිනාවන් විසිරුණ 
කහ පැහැ හවස් වරුවල
දම් පැහැති, දුක්බර 
මන්දාරම් හි කෙළවර 
අපහට 
වෙනත් නම් තිබුණා
දෑසින් දෑස මිමිණුව  

ලිහී ගිය කවියක  
සිතුවමක පාට බිඳුවක 
දෙතොල් මත නැවතුණු 
සුලැඟිල්ලක පහසක 
අපහට 
වෙනත් නම් තිබුණා 
සුසුමෙන් සුසුම කියැවුණ

සතුට නම් නිම්නය
අත්හළ දුර්ග ගමනක 
අසනි සරයක් සේ
සිහිවේ අදත් ඉඳහිට
අපහට
වෙනත් නම් තිබුණා 
හද බිතු අතර ලියැවුණ


Designs etched on boulders over centuries - Nobby's Beach, Newcastle, NSW


October 16, 2019

තුන්දහස් වසරක යාඥාව


"In China we say 'Xiu hai shi ke tong zhou'" Mr. Shi says." It takes three hundred years of prayers to have the chance to cross a river with someone in the same boat."

"There is a reason for every relationship, that is what the saying means. Husband and wife, parents and children, friends and enemies, strangers you bump into in the street. It takes three thousand years of prayers to place your head side by side with your loved one's pillow."

-A Thousand Years of Good Prayers -Yiyun Li (page 192)

එකම යාත්‍රාවේ 
එතෙර වන්නට නදියක් 
තුන්සියක් වසරක් වත්    
යාඥා කළ බව අප 
පැහැදිලියි, නිසැකයි 

චණ්ඩ රළ කැළඹෙද්දී 
හැපි හැපී ගල් කුළු මත
සිහින දියබත් වනු දැක
දෑත් අල්ලා තරයේ 
දෙහද හඬ පමණක් 
අසා උන්නේ අපමයි

එයිනුදු නොනැවතී   
වසර දහසක් වත් 
යාතිකා කරනට ඇති
නික්මුණ ද යාත්‍රාවෙන්  
අත් අත්හරිනු නොහැකිව
තැවී දැවුනේ එනිසයි 

එහෙත්,
එක සිතින් එක වර  
යාඥා නොකළෙන් 
දිගු තුන්දහස් වසරක්   
වෙන්ව යන්නට යෙදුණයි 

ගැඹුරු නින්දකදී 
නුඹේ ඇසිපිය නිසලව 
වැතිරෙන අයුරු කොපුලත 
දකින්නට වරමක් නැති 
හේතුව එයයි, නියතයි 

දිගු තුන්දහස් වසරක් 
යාඥා නොකළෙන්
එක සිතින් එක වර
වෙන්ව යන්නට යෙදුණයි



photo - Linnaea Mallette, Public Domain Pictures