ඔහුගේ ව්‍යාපාරික ආයතනය තිබුණේ සති පොළ පාරත් ෆාමසියට යන පාරත් කැපෙන තැන වීදියේ කෙළවරයි. මෙයට ‘ආයතනය’ යැයි කීම ගැන විරෝධය පෑමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබුණේ එහි පැවැත්ම දෘෂ්ඨි මායාවක් තරම් වූ බැවිනි. ඔබ රාත්‍රී අටට එහි ගියහොත් ඔහුව දකින්නේ නැත, එමෙන්ම රාත්‍රී දහයටත් ඔහු එතැන නැත. නමුත් අටත් දහයත් අතර කාලයේදී ඔහු පැමිණ තම භාණ්ඩ විකුණා යන්නට යයි.
“උගේ වාසනාව! දවසටම පැයක් විතර වැඩකරලා රුපියල් දහයක් සාක්කුවේ දාගෙන යනවා, අරෙහෙ උපාධිකාරයෝ ඉන්නවා රස්සාවල් නැතිව - මූට මාසෙට රුපියල් තුන්සීයක්!” ඔහුව දකින්නෝ එසේ කියති. මෙවැනි දේ ඇසෙන විට ඔහුට දැනෙන්නේ නොරිස්සුමකි. “මම දවසම ලිප ළඟ ඉඳන් මේ කෑම ජාති බදින හැටි එයාලා දන්නේ නැහැනේ…” ඔහු කියයි.
තම යාබද නිවසේ කුකුලා හඬලන විට ඔහු පිබිදෙන නමුත් ඒ කුකුලා පාන්දර තුනට අවදි වී ලතෝනි දෙන දවස් ද ඇත. “අද මොකද කුකුලා කලින් නැගිටගෙන?” රාමා මෙවන් දිනවල පිබිදෙමින් කල්පනා කරන නමුත් ඒ සංඥාව කුමන වෙලාවක ලැබුණත් ඔහුට එය මගහැරිය නොහැක. එබැවින් වේලාව තුන වුවත් හතර වුවත් පිබිදෙන ඔහු, තම දවස අරඹයි.
රාත්‍රී 8.15 පමණ වෙද්දී තම බඩු මුට්ටු රැගෙන ඔහු නියමිත තැනට පැමිණියේය. ඔහු කෙතරම් දේ ඔසවාගෙන ආවේද යත් බැලූ බැල්මට පෙනුණේ ඔහුට අත් සතරක් ඇති බවයි. විවධ කෑම ජාති සහිත බන්දේසියක් ඔහු තම හිස මත සමබරව විය. ඔහුගේ එක් බාහුවක කුඩා බංකුවක් එල්ලිණි. එක් අතක ලාම්පුවක් සහ අනෙත් අතේ බංකුවේ ගැලවිය හැකි කකුල් විය. මේ ලාම්පුවට පස්තෑල පහක වටිනාකමින් යුතු භූමිතෙල් වැය වූවත් ඔහු එය දල්වා ළඟින්ම තබාගත්තේ විදුලි ආලෝකය පමණක් මත යැපෙන්නට ඔහු අකමැති වූ බැවිනි. ඔහුට සුරැකීමට මාරු කාසි සහ ආම්පන්න බොහෝ විය.
ලාම්පුවේ එළියෙන් ආලෝකමත් වූ ඔහුගේ කෑම බන්දේසිය දුටු විට ආම රෝගයෙන් පෙලෙන්නෙකුට පවා ඒ දෙස නොබලා එතැනින් යාමට අපහසු විය. එහි එක් පසෙක බොන්ඩා අහුරකි. ඒවා පිම්බී, විශාල ව පෙනුණද මුව තුළම දියවී යාමට සමත් ය. තව පසෙක තට්ටු ගැසූ මස්ලින් රෙදි කැබලි සේ පෙනෙන සුදු පැහැති තෝසේ මිටියකි. ඔහුගේ චපාති කෙතරම් සැහැල්ලු ද යත් සුලැඟිල්ලක් මත ඉන් පනහක් වුව එසවිය හැක. තැම්බූ තාරා බිත්තර පෙනුණේ ඇත්දළින් නිමවූ ගෝල ලෙසයි. මීට අමතරව උදුනක් මත නිරතුරුව නටන කෝපි පෝච්චියක් ද විය. රාමා සතුව වෙනම ඇලුමිනියම් බඳුනක චට්නියක් තිබුණු අතර ඔහු හැම මිළදී ගැනීමක් සමඟම පාහේ ඉන් ස්වල්පයක් නොමිලේ බෙදුවේය.
සිනමා ශාලාවේ හවස තිරගතවීම අවසන් වූ පසු ඉන් නික්මෙන සෙනඟ තමන්වෙත කැඳවා ගැනීමට ඔහු හැම දිනකම නියම වෙලාවටම ඒ වීදි කොණට පැමිණියේ ය. ඔහු පැමිණීමට පෙර වැරහැලි පෙනුමකින් යුතු වූ එක්තරා කෙසඟ තරුණයෙක් මේ සිංහාසනයට හැමදාම බොරු කිමිකම් පෑ නමුත් අපගේ මිත්‍රයා ඒ ගැන අනවශ්‍යව වද වූයේ නැත. “ඔන්න ඔහේ මම නැති අතරේ ඒ අසරණ මීයාට මෙතැන බිස්නස් කරන්න ඉඩ අරිනවා” යැයි කීමට පවා ඔහු කරුණාවන්ත විය. වීදි කෑම ලෝකයේ කුමාරයා එහි පැමිණෙන්නට විනාඩියකට පෙර අනෙකා අතුරුදන්වීම නිසා මේ කරුණාවට මනා සේ ගරුසරු ලැබී තිබුණු බවක් පෙනුණි.
රාමාගේ ගනුදෙනුකරුවන් ඔහු ව ප්‍රිය කළේ ය.
“පයිස හයකට කෝපි කෝප්පයකුත් ඇනාවකට චපාති හතරකුත් වෙන කොහෙන්ද ලැබෙන්නේ?” ඔවුහු ඔහුව අගය කරමින් පැවසූහ. ඔවුහු රාමාගේ බන්දේසිය වටා වටවී ඉන් රිසි රිසි දේ ගත් හ. හැම මොහොතකම ඒ වටා අත් දුසිමක් තරම් කැරකෙනු පෙනුණි. මීට හේතුව ඔහුගේ ගණුදෙනුකරුවන්ට විවිධ ආහාර වර්ග මිළදී ගැනීමට පෙර ඒවා අල්ලා, හොඳින් පරීක්ෂා කර බැලීමට බලය ලැබී තිබීමයි.
තමන් විකුණන ද්‍රව්‍ය අල්ලා බලන බොහෝ දෑත් ඔහු වටා තිබුණ ද, කවුරුන් විසින් කුමන කෑමක් ගනු ලැබී ද යන්න ඔහු නිවැරදිව දැන සිටියේ ය. ඕනෑම වේලාවකදී චපාති තෝරන්නේ කවර අශ්ව කරත්තකරු ද යන වග විස්මය දනවන ඉවකින් දැන සිටි ඔහුට, අවශ්‍ය නම් ඒ කරත්තයේ ලියාපදිංචි අංකය පවා කියන්නට හැකියාව තිබිණි. බියෙන් සැකයෙන් යුතුව සෙනඟ අතරින් මතුවෙන මේ පැල්ලම් සහිත අත නම් සපත්තු මදින කොලුවාගේ බවත්, මල්ලව පොර ශූරයාගේ අත ඉස්තරම් තාරා බිත්තරයක් සොයා මතුවන වෙලාවත්, කෑමට පෙර ඒ බිත්තරය බන්දේසියේ වැදෙන මොහොතත් ඔහු හරියාකාවරම දැන සිටියේය.
රාමාගේ ගනුදෙනුකරුවෝ පදික වේදිකාවේ සැරිසැරූ ජනගහනයෙන් කොටසක් විය. උදාහරණයක් හැටියට ඔහු වෙතට එන සපත්තු මදින කොල්ලෝ දවස පුරාවටම සපත්තු පොලිෂ් සහ බුරුසුවක් ලූ මල්ලක් කරේ එල්ලාගෙන “පොලිෂ් සර්, පොලිෂ්!” කියමින් ඒ මේ අත යන අයයි. මේ අසරණයන් වෙනුවෙන් ඔහුගේ හදවතේ මෘදු පදාසයක් තිබිණි. කිසියම් තරබාරු ගනුදෙනුකරුවෙකු මේ කොල්ලන් සමඟ සපත්තු මැදීමේ සේවාවේ මිළ පිළිබඳ ව හෙට්ටු කරනු දුටු විට “ලෝබකම් නොකර ඒ අහිංසකයාට ටිකක් වැඩිපුර කීයක් හරි දෙනවා! තව අන්නාවක් වැඩිපුර ලැබුණොත් ඌ ට තෝසෙකුයි චපාතියකුයි කන්න පුළුවන්. නැත්නම් ඌ ට බාගෙට කාලා දවස පුරාම බඩගින්නේ ඉන්න වෙන්නේ” යැයි කෑ ගසා කීමට ඔහුට සිතේ.
ඒ දරුවන්ගේ ගිලී ගිය කුසගිනි දෑස් ඔහුගේ හදවත රිදවුවේය. ඔවුන් ඇඳ සිටි වැරහැලි දැකීම ඔහුට වේදනාවක් විය. ඔවුන් තම දුඹුරු පැහැ මලු පසෙක තබා ඔහු වෙත එද්දී පෙන්වන දැඩි උනන්දුව ඔහුව ශෝකයෙන් පුරවාලීය. එහෙත් ඔහුට කළ හැක්කේ කුමක්ද? ඔහුට ඔහුගේ වෙළඳාමද පින් පිණිස කළ හැකි වූවක් නොවේ. ඔහු ඔවුන් වෙනුවෙන් සකසන කෝපි කෝප්ප බාගය අඟලට මැන දුන් නමුත් ඔවුන්ට ඕනෑතරම් වෙලාවක් ඒ වීදුරුව වෙත ඇලී ගැලී සිටීමට ඉඩ ලැබුණි.
දවස පුරාම විශාල හෝටලය ඉදිරිපස හිඟමන් ඉල්ලා බැගෑපත් වන අන්ධ හිඟන්නා දවස අවසානයේ තමන්ගේ ඉපයීම් වලින් කොටසක් රාමා වෙත ගෙනැවිත් දී කෑම බීම ඉල්ලා සිටියේය. තණකොළ විකුණන ගැහැණුන් ද මෙසේ පැමිණි ගනුදෙනුකරුවන් අතර විය. ඔවුන් පැමිණියේ තම හිස් මත තබාගෙන උන් තණකොළ මිටි සාර්ථකව විකුණා අවසන් වූ පසු ය. ඔවුන්ගේ උස් කරච්චල් කටහඬ ඔහුට නොරිස්සුම්සහගත වූ අතර ඔවුන්ට කෑම ලබාදීමට ඔහු ප්‍රිය කළේ නැත. නොන්ඩියක් සහිතව ඇවිදින කපටි මිනිසාත් දිනපතා ඔහු වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් අතර විය. හැම ආහාර වර්ගයක්ම එක් කර සැකසූ පාර්සලයක් මිළදීගන්නා ඔහු, එය පාරෙන් අනෙත් පස පදික වේදිකාවේ ගසක් යට සිටගෙන සිටින වෛශ්‍යාවක් වැනි ගැහැනියක් වෙත ගෙන ගියේ ය.
මේ පෙදෙසේ ගැහැනුන් සහ මිනිසුන් විවිධ රැකියා කර උපයාගත් කාසි සියල්ලම දවස අවසානයේදී පැමිණියේ රාමා වෙතටයි. මේ මුදල ඔහු කුඩා රෙදි මල්ලක බහා තම කමිසය යටින් බෙල්ලේ එල්ලාගෙන සිටියේය. සිනමා හලේ රාත්‍රී විකාශය ඇරඹී, එහි යන හැම කෙනෙකුම චිත්‍රපටිය බලද්දී කන්නට දෙයක් මිළදී ගත් බවට සැක හැරගත් පසු ඔහු තම නිවස බලා පිටත් වේ.
ඔහු ජීවත් වූයේ සති පොළ පසුපස වූ දෙවන වීදියේ ය. ඔහුට ඇතුළු වන්නට බිරිඳ දොර විවර කළ විට ඒ නිවසේ නිරතුරුව දැනුණු දැවුණු තෙල් පුසුඹ රාත්‍රී අවකාශයට එක් විය. ඇය ඔහු අත වූ බඩු මුට්ටු ඩැහැගෙන, ඔහුගේ කමිසය යටින් අත යවා රෙදි මල්ල ඉවතට ඇද වහා වහා එහි වූ මුදල ගණන් කළා ය. ඉනික්බිති එළඹුණේ ඔවුන් ඒ මුදල ගැන උදම්වන වෙලාවයි. “උදේ ආයෝජනය කළ රුපියල් පහට දැන් තව රුපියල් පහක් ලැබිලා..” ගණිතයේ ගුණකිරීම නම් විශිෂ්ඨ මායා බලැති ක්‍රියාව ගැන ඔවුහු මෙනෙහි කළහ. පසුදින ආයෝජනය සඳහා සෑහෙන මුදල නැවතත් රෙදි මල්ලට දැමූ ඈ, ප්‍රවේසමෙන් ලාභය වෙන් කර, වසර ගණනකට පෙර තමන් විවාහ වී මෙහි එද්දී ගෙන ආ කුඩා ලී පෙට්ටියක එය බහාලූවාය.
රාත්‍රී ආහාරයෙන් පසු රාමා බුලත් කොළයක් සහ දුම්කොළ කැබැල්ලක් හක්කට තද කරගෙන නිවසේ බරාඳයට ගොස් නින්දට වැටුණි. ඔහු සිහිනයෙන් දුටුවේ තමන්ට පදික වේදිකාවෙන් ඉවත් වන්නැයි ගෝරනාඩු කරන පොලිස් කොස්තාපල්වරුන් සහ තමන් විවිධ ලෙඩ රෝග පතුරවමින් නගරයේ ජනගහනය අඩු කරන බව චෝදනා කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ය. නමුත් වාසනාවකට මෙන් සැබෑ ජීවිතයේදී නම් කිසිවෙකු ඔහුට මෙවැනි බරපතල කරදරයක් කළේ නැත. තම සේවා මුරය අවසන් ව එතැනින් නිවස බලා යන පොලිස් කොස්තාපල් ට සහ සෞඛ්‍ය පරීක්ෂක කන්තෝරුවේ සේවකයාට ඉඳහිට කෑම පාර්සල දෙන්නට ඔහු අමතක කළේ නැත.
සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණි වෙලාවට නම් “මේ කෑම ඔක්කොම වීදුරු පෙට්ටියක දාලා නොවික්කොත් මට දවසක ඒවා විනාශ කරන්න වෙයි, බලාගෙන!” යැයි කීවත් ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ බැවින් ඉන් ඔබ්බට ඒ කාරණය ගැන එළවූයේ නැත. නමුත් ඔහු තනිවම නම් ඒ ගැන බොහෝ කලපනා කර තිබිණි. “මේ මිනිස්සු මේවා කාලා කොහොම ජීවතුන් අතර ඉන්නවද කියලා මට නම් හිතාගන්න බැහැ. එක පැත්තකින් දූවිලි, අනෙත් පැත්තෙන් කුණු කානුව- සමහර විට මේවා කාලා කාලාම මිනිස්සුනට මේ වස විස වලට ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා ඇති.” පිරිසිදුබවේ සහ සනීපාරාක්ෂාවේ මූලික නීති මාලාව රාමා අතින් උල්ලංඝනය වූ බවට සැකයක් නැතත් ඔහුගේ ගනුදෙනුකරුවන් වසර ගණනක් තිස්සේ කිසිම ගැටළුවක් රහිතව ඒ ආහාර අනුභව කර නොමැරී බේරුණා පමණක් නොව යහතින් වැජඹුණු බවක් ද පෙනුණි.
රාමාගේ ජීවිතය කිසිදු සෝ සන්තාපයක් රහිතව ගෙවුණු ඉතා තෘප්තිකර එකක් බව කිව හැක. තමන්ගේ මහන්සියෙන් පමණක්ම තම ජීවිකාව කළ බව ඔප්පු කළ මේ මනුෂ්‍යයාගේ ජීවිතය, විශ්වය ඝනීබහවනය වී විනාශ වන තුරුම නොවෙනස් ව පැවතීමට ඉඩ තිබිණි. ඔහුගේ වෙළඳාමත් මුදල් සෙවීමත් නිසා කිසිවෙකුට හානියක් නොවූ අතර, ඔහුගේ ආහාර අනුභවයෙන් වැඩිදෙනෙකු මිය ගොස් තිබුණේ නැත. නගරසභාවේ අවිචාරවත් කටයුතු වල ප්‍රතිපලයක් ලෙස ඇතිවන හදිසි අනතුරුත් ඔහුගේ කෑම බීම සැපයීම නිසා ඇති වූ ඒවාත් අතර වැඩි වෙනසක් තිබුණේ නැත.
නමුත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේදී සදාකාලිකව මෙවැනි සුරක්ෂිතබවක් ළඟා කරගැනීම දුෂ්කර ය. වැඩියෙන් සන්තුෂ්ඨිය ඇති තැන් දකින දෙවිවරු ඒ ගැන කෝප ගෙන හදිසියේම තම නොපහන් බව පෙන්වති. දිනක් රාමා සුපුරුදු ලෙස තම වීදි කොණ වෙත පැමිණි විට එහි සෙනඟ රැස් ව සිටින බවක් දුටුවේය. “කරුණාකරලා අයින් වෙලා ඉඩදෙන්න” ඔහු ආඥාත්මක හඬින් කීවද කිසිවෙකු එය ගණන් ගත්තේ නැත.
“හවස ඉඳන් කට්ටිය මොකක්දෝ දෙයකට රණ්ඩු වෙනවා!” ලිපිද්‍රව්‍ය වෙළඳසැලේ කුඩා කොලුවා රාමාගේ කමිස අතින් ඇද කීවේය.
“මොනවටද?” ඔහු ඇසුවේය.
“මොනවට හරි…” කොලුවා කීවේය. “මිනිස්සු කියනවා වෙළඳ බදු කන්තෝරුව ළඟ මොකක්ද ඡන්දයක් ගැන පත්‍රිකා බෙදුව කෙනෙකුට පිහියෙන් ඇනලා ලු. කාගේ හරි කෝන්තරයක් වෙන්නත් පුළුවන්. අපිට මොකද? රණ්ඩු වෙන්න ඕන කෙනෙක් රණ්ඩුවුන දෙන්!”
“තමුසේ කවුද අපි ගැන එහෙම කියන්න?” මෙය ඇසුණු කෙනෙක් කීවේය.
හැම දෙනාම ඔහු දෙස නොමනාපයෙන් බලන්නට විය. “මනුස්සයෙකුට කතාකරන්නවත් බැරිද දැන්..?” රැස්ව සිටි පිරිසෙන් අයෙක් කීවේය. එය අසා ඔහු අසල සිටි අයෙක් ඔහුට අතුල් පහරක් එල්ල කළේය. රාමා තම බඩු මුට්ටු එල්ලාගෙන අසරණව වටපිට බලමින් පසුවිය. මේ අතුල් පහර සේව නූලක් ඇවිලුවා සේ විය. නොබෝ වෙලාවකින් එතැන රැස්ව සිටි උන් ගුටි ඇන ගනු පෙනුණි.
“පවතින ක්‍රමය භංග වේවා!” කවුරු හෝ කෑ ගැසීය.
“අපි හිතුවා වගේම අපිව යටත් කරන්න මේ හැම දෙයක්ම කළින් සැලසුම් කළ, සංවිධානය කළ දේවල්..” තවත් පැත්තකින් ඇසුණි.
මිනිස්සු කෑ ගැසූහ, සෝඩා බෝතල ප්‍රහාර එල්ල විය, හැම කෙනෙකුම තව කෙනෙකුට පහර දෙන බවක් පෙනුණි. වීදියේ වූ කඩ වෙත කඩා වැදුණු පිරිසක් ඒවා වසා දමන්නට අණ කරනු පෙනුණි.
“ඇයි අපි වහන්න ඕන?” කඩහිමියෝ විමසූහ.
“මේ තරම් දෙයක් වෙද්දී තමුසෙලාට බිස්නස් කරන්න හිත හදාගන්න පුළුවන් ද?”
ශිෂ්ඨ සමාජයේ සීමා මායිම් හදිසියේ අතැර දමන ලද බවක් පෙනුණි. හැම කෙනෙක්ම තව කෙනෙකු හා කේන්තියෙන් පසු වූහ. පැයක් යද්දී වටපිට යුධ පිටියක් බවට පත්විය. ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් පැමිණියත් ඉන් තත්ත්වය තවත් නරක අතට හැරුණේ සටනට තවත් පාර්ශවයක් එක් වූ බැවිණි. නීතිය හා සාමය රැකීමටත්, තමන්වම ආරක්ෂා කර ගැනීමටත්, තුවාල වූ බවට සැලකෙන අයව රැකීමටත් පොලිසියට තුන් ආකාරයක රාජකාරියක් විය. වසා නොදැමූ කඩ සාප්පු මංකොල්ලකා තිබිණි.
එක්වරම සිනමා ශාලාවේ දර්ශනවාරය අවසන් වී මහා ජනකායක් මාවතට ඉහිරුණි. මොවුන් ද මේ ගැටුමේ විවිධ තැන් වලට එක් වූහ. පිහි අතින් ගත් මිනිස්සු ඒ මේ අත දිවූ අතර ලේ පෙරා ගත් අය කෙඳිරි ගාමින්, කෑ ගසමින් විය. ගිලන් රථ තැන තැන දක්නට ලැබිණි. පොලීසිය මුලදී පොලු වලින් පහර දීමත්, කඳුළු ගෑස් ප්‍රහාරත් සිදු කළ අතර අන්තිමේදී පිරිස වෙත වෙඩි තබන්නට විය. බොහෝ දෙනා මරණයට පත්විය. තුවාල ලත් සංඛ්‍යාව තුන්දහසට වැඩි බවට මිනිසුන් අතර කතාවක් පැතිරුණද, නිල ආරංචි මාර්ග කියා සිටියේ තුවාල ලැබුවේ පස් දෙනෙකු පමණක් බවත් මරණයට පත් වූ සංඛ්‍යාව හතරකුත් කාලක් බවත් ය. මැදියම් රැයේදී රාමා තමන් සැඟව සිටි බෝක්කුවෙන් පිටතට පැමිණ නිවස බලා ගියේ ය.
“අද මම වෙනදා ගෙනියන ප්‍රමාණ ගෙනියන්නේ නැහැ, අද වැඩි සෙනඟක් ඉඳී කියලා මම හිතන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මොන යකෙක් වැහුණාද කියලා දෙවියෝ තමයි දන්නේ! ඡන්ද කීපයක් වෙනුවෙන් උන් එකිනෙකාව මරාගන්න ලෑස්තියි...” ඊට පසු දින රාමා සිය බිරිඳ ට කීවේය. ඔහුගේ අනුමානය නිවැරදි විය. එදින සති පොළ වීදියේ සාමාන්‍ය ජනතාවට වඩා පොලිස් නිලධාරීන් දක්නට වූ අතර ඔහුගේ සුපුරුදු වීදි කොණ තදින් රැකවල් ලා තිබිණි. පොලිස්කරුවෙකු පෙන්වූ ඉන් ඈත තැනක ඔහුට තම වෙළඳාම කරන්නට සිදු විය.
කෝලාහලයේදී සිදු වූ වෙඩි තැබීම් සාධාරණ ද යන වග සහ මින් මතු මෙවැන්නක් සිදුවීම වළක්වන්නට පොලිසිය ගත් පියවර යනාදී දේ ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සියලුම පුවත්පත් ඝෝෂා කරන්නට පටන් ගෙන දින දහයක් පමණ ගතවෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. තමන් ඉදිරිපිට නූතන ඉතිහාසය දිගහැරෙන ආකාරය පුවත්පත් විකුණන කොලුවන්ගේ සිරස්තල කෑ ගැසීම් ඔස්සේ නිරීක්ෂණය කළ රාමා, ටික දවසක් ගතවෙද්දී නැවතත් තමන්ගේ සුපුරුදු වීදි කොණ වෙත යන්නට උත්සාහ කළේය. ඔහු එහි තම බන්දේසිය සූදානම් කර බංකුවේ අසුන් ගත් සැණින් නිල පදක්කම් පැළඳු තරුණයන් දෙදෙනෙක් ඔහු වෙත පැමිණියහ.
“මෙතැන වෙළඳාම් කරන්න බැහැ.”
“ඇයි බැරි සර්?”
“මෙතැන තමයි එදා අපේ නායකයා තුවාල ලැබූ ශුද්ධ වූ තැන. පොලිසියේ උන් මෙතැනදී තමයි එයාගේ හදවතට තුවක්කු එල්ල කළේ. අපි මෙතැන එයා වෙනුවෙන් ස්මාරකයක් හදනවා. දැන් මේක අපේ තැන. නගර සභාවෙන් අපට මෙතැන දුන්නා.”
නොබෝ දිනකින් මේ වීදි කොණ ලණු ඇද වෙන්කර දැමුණු අතර එහි නිතරම කිසියම් පිරිසක් රැස්ව සිටි බව පෙනුණි. ආධාර සඳහා කැට සෙලවීමත්, ඒවාට මිනිසුන් මුදල් දැමීමත් සිදුවිය. එතැන මුදල් ආකර්ෂණය අතින් කෙතරම් බලගතු ද යන වග රාමා නම් හොඳින් දැන සිටියේය. ගලින් තැනු ස්මාරකයක් ඉදි කිරීමට මුදල් එකතු වූ අතර ඊට අලංකාර වැටක් සහ මල් පෝච්චි එකතු වූ පසු ඒ වීදි කොන සම්පුර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත්තේය.
බරපතල, සැර පරුෂ පෙනුමෙන් යුත් විවිධ පුද්ගලයෝ මෙතැනට පැමිණ නිතරම කතා බහේ යෙදී සිටියහ. මෙතැන සිට මීටර් දෙසීයක් තරම් දුර, වීදියේ මැද තැනකට රාමා ට විතැන් වීමට සිදුවිය. මේ නිසා ඔහුගේ ගනුදෙනුකරුවන්ට ඔහු ව එකවර නොපෙනුණි. සිනමා ශාලාවෙන් පිටතට එන්නෝ වෙනත් පැති වලට ඇදී ගියහ. රථවාහන පොලිස් නිලධාරියාගේ මඳ ඉවසීමෙන් ප්‍රයෝජන ගෙන තම රිය පාරේම නවතා යමක් මිළදී ගැනීමට දිව ආ අස් රිය රියැදුරන්ට මෙතරම් දුරක් ඒම දුෂ්කර විය. පෙරදී රාමා ඒ වීදි කොණෙහි නොමැති වෙලාවට එතැන අයිති කරගෙන සිටි කෙසඟ තරුණයා පාරෙන් අනෙත් පස විය. සපත්තු මදින කොලුවන් ඔහු වෙත යමින් සිටි අතර ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙමින් තිබිණි.
කොයිතරම් අඩුවෙන් කෑම වර්ග සැකසුවත් හැම දිනකම බොහෝ කෑම ඉතිරි වී ආපසු නිවසට ගෙන යාමට රාමාට සිදු විය. මින් කොටසක් ඔවුහු ආහාරයට ගත් අතර බිරිඳගේ උපදෙස් මත ඉතිරිය රත් කර ඔහු පසු දින නැවතත් විකිණීමට ගෙන ආවේය. මේවා ආහාරයට ගත් කීප දෙනෙක් ඔක්කාර කර රාමාගේ කෑම දැන් පෙර සේ රසවත් නොමැති බවට කතාවක් පැතිරවූහ. දිනක් අන්නා දෙකක් පමණක් රෙදි මල්ලේ ඇතිව නිවසට ගිය ඔහු නිවසේ බරාඳයේ හිඳ තම බිරිඳට මේසේ නිවේදනය කළේය.
“මම හිතන්නේ දැන් අපේ ව්‍යාපාරය අසාර්ථකයි. අපි මීට පස්සේ ඒ ගැන හිතන්නේ නැතිව ඉමු.”
තම භාජනත්, බන්දේසියත්, ලාම්පුවත් පසෙකට දැමූ රාමා විශ්‍රාම සුවයෙන් ජීවිතයේ ඉතිරි ටික ගෙවන්නට සූදානම් වූයේය. ටික කලකින් තම ඉතුරුම් අවසන් වූ පසු ඔහු නිතරම ශබ්ද විකාශන යන්ත්‍ර ඝෝෂාවෙන් යුක්ත වූ කෝහිනුර් නම් ආපානශාලාවක රැකියාවක් ලබාගැනීමට කටයුතු කළේ ය. එහි ඔහු මසකට රුපියල් විස්සක් ඉපයීම වෙනුවෙන් දවසට පැය අටක් වේටර් රැකියාව කළේය. කොහෙන්දෝ නිරතුරුව ඇසුණු රේඩියෝ හඬ නොරිස්සුවත්, දවස පුරාම ගනුදෙනුකරුවන් යන එන එතැන රැකියාවේ ඔහු රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි. කිසියම් ගනුදෙනුකරුවෙක් ඔහුට ගරු සරු නොමැතිව කතා කළහොත් ඔහු මෙසේ කියනු ඇසේ.
“පරෙස්සමෙන් කතාකරන්න සහෝදරයා, ඉස්සර කාලෙක මාත් හෝටලයක අයිතිකාරයෙක්!”
මේ කුඩා ස්මරණයෙන් රාමා මහත් තෘප්තියක් ලැබූ බවක් පෙනුණි.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘The Martyr’s Corner’ by R. K Narayan
සිසිල සඟරාව - සැප්තැම්බර් 2024 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)
Picture generated by Canva AI