ජ'පුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලය ගැන සොඳුරු මතක සටහන් ගොන්නක්ම මට තියෙනවා. බෝඩිම් වල නැවතිලා, හරියට කෑමක් බීමක් නැතිව, පාඩම් කරමින් ලැබුණු අමිහිරි අත්දැකීම් ඒ සොඳුරු මතක නිසා අමතක කරලා දාන්න පුළුවන්. මගේ ලියවිලි කීපයකටම ජ' පුරේ අත්දැකීම් මුහු කරලා තියෙනවා. සිරිදාස අයියාත් නයිස් නම් බල්ලා ත් ඉන්න 'කළු සුදු' කතාව ඉන් එකක්. ඒ කතාව මගේ 'සහස් පියවර' කෙටිකතා පොතෙත් පළවූණා. ඒත් දැන් ඒ කතාවට අලුතින් හුස්ම පිඹලා රේඩියෝ නාට්‍යයක් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට. මේ වෙනුවෙන් මගේ කෙටිකතා තෝරාගන්න ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමට මගේ හද පිරි ස්තූතිය. ඉනෝකාගේ හඬින් මේ කතාව අහන එක අපූරුම අත්දැකීමක්.
Showing posts with label ජ'පුර සරසවිය. Show all posts
Showing posts with label ජ'පුර සරසවිය. Show all posts
May 31, 2023
February 15, 2020
අකල් වැහි
කැම්පස් එකට වහින්නේ එක පාරට. හදිස්සියේම අකල් වැහි සේලයක් ගස් මුදුන් වලින් බිමට පාත් වෙනවා. ඒ වෙලාවට බංකුවල, බැමිවල වාඩිවෙලා උන්නු, ගස් යට, තණකොළ බිස්සේ කතාකර කර උන්නු හැමෝම හෙවණක් හොයාගෙන දුවනවා. සමහරවිට කැම්පස් එකට වහින්නේ එකපාරට නෙමෙයි වෙන්නත් ඇති. අනිත් තැන් වලට වගේම අහස කළු කරලා, නපුරු වෙලා වරුවක් තිස්සේ වහින්න අරඅඳිනවා ඇති. සමහර විට කැම්පස් එකේ කාටවත් අන්තිම වෙනකම් ඒ බව පේන්නේ නැතිව ඇති. අහසේ නපුරු කම ගහ කොළ වියනෙන් වැහිලා යනවා ඇති. ඈත එන වැස්සේ සද්දේ කතා බහ හිනා වලට මුවා වෙනවා ඇති
එහෙම එක පාරට වැටුණු වැස්සක් දිහා මම කැන්ටිමේ ඉඳන් බලාගෙන හිටියේ වරුවක් තිස්සේ. ඒකට ඕපන් කැන්ටිම කිව්වේ බිත්ති වෙනුවට වැඩියම තිබුණේ කවුළු-කුලුණු නිසාද, එතැන බොහොම විවෘතව හිතන්න පරිසරයක් තිබුණ නිසාද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ කැන්ටිම වටේටම රූස්ස ඇහැළ ගස්. ඒත් මල් කැන් වෑස්සෙන ඇහැළ ගස් නෙමෙයි. කාලෙකට තද කහ පාට මල් වලින් පිරිලා තිබුණු වල් ඇහැළ ගස්. මල් පිපෙන කාලෙට ඕපන් කැන්ටිම වටේට ඇතිරිල්ලක් වගේ මේ කහ මල්පෙති විසිරුණේ කැන්ටිමේ පුටු මේස වල කහ පාටට ඔච්චම් කරන්න වගේ.
මම හිටියේ තුන්වෙනි තේ කෝප්පේ බොන ගමන්. මගේ වටේට ළමයි රංචු පිටින් කැන්ටිමට ආවා ගියා. විෂය කරුණු ගැන ගලාගෙන ගිය තර්ක, දේශපාලන බහින් බස් වීම්, විහිළු තහළු, කතන්දර සද්ද මගේ වටේට රැළි ගැහුවා. ඒත් ඒවා හැම දෙයක්ම ඇහෙන නෑහෙන තරමට මගේ හිත ඇතුළේ සද්දේ ඝෝෂාවක් වෙමින් තිබුණේ. විසඳුම් නැති ප්‍රශ්න කීපයක්ම හිත ඇතුළේ එකා පස්සේ එකා දිව්වේ තරඟයට වගේ. සුලේඛා මගේ ළඟට ඇවිත් උරහිසට අත තියනකම් මම හිටියේ පියවි ලෝකයට බොහොම ඈතින්. වැස්සේම දුවගෙන ආව නිසා සුලේඛා හිටියේ හති අරිමින්. එයාගේ කැරලි කොණ්ඩෙන් එක සීරුවට වතුර බින්දු වෑස්සුණා. ගවුම තෙතබත් වෙලා තිබුණා.
'ලෙක්චර් එකට ආවේ නැත්තේ ඇයි?' කියලා නොඅහාම සුලේඛා අද සටහන් ටිකේ ෆොටෝ කොපි ටික මගේ ළඟින් තිබ්බා. ඊටපස්සේ මගේ හිස් තේ කෝප්පයත් අරගෙන ගිහින් අපි දෙන්නාට තේ දෙකකුත් වඩේ දෙකකුත් ගෙනත් මගේ ළඟින් වාඩිවුණා. ප්ර්ශ්න අහලා, අතොරක් නැතිව දොඩවලා නිශ්ශබ්දතාවය පුරවන්න උත්සාහ නොකරන සුලේඛා ගේ මේ ගතිගුණ මම එයාට කැමති වෙන්න ලොකුම හේතුවක්. මං වෙනුවෙන් මේ සටහන් ෆොටෝ කොපි කරන්න කැම්පස් එක ඉස්සරහ කඩපේළියේ වැස්සේම රස්තියාදු වුණු නිසායි එයා මෙතරම් තෙමිලා තිබුණේ කියලා මට තේරුණා. මට සුලේඛා ගැන පපුව හීරෙන තරමේ ආදරයකුත් උහුලාගන්න බැරි දුකකුත් දැනුණා. මම වචනයක්වත් නොකීවට ඒ ටික එහෙමම තේරුණු ගානට සුලේඛා මගේ උරහිසට ඔළුව තිබ්බා.
උපාධිය අතඇරලා රස්සාවකට යන එක ගැන අවසාන තීරණය ගන්න මට තව දවස් දෙකතුනයි තිබුණේ. ඇත්තටම කියනවානම් එතැන ගන්න තීරණයක් තිබුණේ නැහැ. අනිවාර්යයෙන් කළ යුතු දේ කරන දවස කල් දමමින් මම හිටියේ. අම්මාගේ ඇදුම රෝගය නිතර නිතර උත්සන්න වුණේ බය හිතෙන විදිහට. අම්මාව බලාගන්න ගමේ නැවතුණොත් මට කැම්පස් එන අදහස අතඅරින්න වෙනවා. දිගටම කැම්පස් හිටියොත් ළඟදීම ට්රේොනින් එකට කොහේ හරි ආයතනයකට යන්න වෙන නිසා මට අම්මාව බලාගන්න යන්න වෙන්නේ නැහැ. මේ හැම දේටම වඩා සල්ලි කියන ප්ර ශ්නය මගේ හැම සිතිවිල්ලක්ම යටපත් කරගෙන නැගිට්ටා. අම්මාගේ අසනීපෙට යන බෙහෙත් හේත් වලට වියදම් කරන්න නම් මට අනිවාර්යයෙන් ස්ථිර ආදායමක් වුවමනා වුණා. මේ තරම් කල් කළ විදිහට මගේ ශිෂ්‍යාධාර සල්ලි වලින් වියදම් පිරිමහගන්න පුළුවන් මට්ටම ඒ වෙද්දී පහුවෙමින් තිබුණේ. අම්මා වෙනුවෙන් මම උපාධිය අත ඇරියා කියලා දැනගත්තොත් අම්මාට වාවන්නේ නැති වෙයි. අම්මාට හැමදාම තිබුණු ලොකුම හීනය මම උපාධියක් ගන්න එක. ඒත් මොනවා කරන්නත් අම්මා ජීවත් වෙලා ඉන්න ඕන. අවුරුදු දෙකක් තිස්සේ එක එක ප්ර්ශ්න මැද්දේ ආපු මේ දුර මට අම්මා වෙනුවෙන් අතාරින්න පුළුවන් බව මට ඒත්තු යමින් තිබුණා. සමහර දාට රෑ මැදියමට මම තිගැස්සිලා ඇහැරෙන්නේ අම්මා කෙඳිරිගාන සද්දේ හීනෙන් වගේ ඇහිලා. අම්මාට ආයෙත් ඇදුම උත්සන්න වෙලාද හිත හිත ගෙවුණ ඒ රැයවල් මගේ හුස්මත් හිර කළා.
මම නිහඬව හිටිය අතරේ සුලේඛා පැවරුමක් සම්පූර්ණ කරන්න පටන්ගෙන තිබුණා. ඔළුව ගිනිගෙන උන්නු මගෙන් මේ දවස්වල බින්දුවක් වත් උදවු නොලැබුණත් මේ හැම පැවරුමක් ම සුලේඛා අතින් මං වෙනුවෙනුත් අලුතෙන් ලියවෙන බවත් ඒවාට මටත් නොඅඩුව ලකුණු ලැබෙන බවත් මම දැනගෙන හිටියා. මේ හැම හැලහැප්පිල්ලක් මැද්දෙම නොවෙනස් ව මගේ ළඟ හිටිය සුලේඛා වගේම හොස්ටල් එකේ ගජේට මාව තියාගත්ත, තමන්ගේ කලිසම කමිසේ ඉඳන් මාත් එක්ක බෙදාගත්ත, කැන්ටිමෙන් කන්න සල්ලි නැති උණාම එක ප්ලේන්ටිය බෙදාගත්ත යාළුවො ටිකත් නොහිටින්න මට පිස්සු හැදිලා හුඟ කල්.
වැස්ස එන්න එන්නම තවත් තද වුණා. ඈත කස ගස් ටික නොපෙනෙන තරමට මීදුමක් පැතිරිලා තියෙනවා අපි හිටිය තැනට පෙනුණා. වෙනදාට දවාලට කඩි ගුලක් ඇවිස්සුණ තරමට කලබල කැම්පස් එක වැස්ස නිසා නිසොල්මන් වෙලා තිබුණා. මහා වැස්සේ තෙමි තෙමි දුවන කෙනෙක්, කුඩයක් අතින් ගත්තු කෙල්ලෙක් දෙන්නෙක් විතරක් වැහි දුමාරයෙන් මතුවෙලා ආයෙත් නොපෙනී ගියා. කඩදාසි මිටියක්ම පිරෙන්නට සීරුවෙන් මොනවාදෝ ලියමින් හිටිය සුලේඛා ගේ අතට හිරිකඩ ඉහුණත් එයාට ඒ ගැන නිනව්වක් තිබුණේ නැහැ. මගේ ළඟ තිබුණු ෆයිල් කවරයක් හිරිකඩ එන පැත්තට තියලා මම සුලේඛා ව වැස්සෙන් මුවාකළා.
මගේ අවධානය එයාට යොමු වෙලා කියලා තේරුණු සුලේඛා ලියවිල්ලෙන් ඔළුව ඉස්සුවා.
"සචිත් අපි අම්මාව කොළඹ ගේමු" එයා ස්ථිර කටහඬකින් කිව්වා.
එක තත්පරයකට මගේ හිතේත් බලාපොරොත්තුවක් ඇවිලිලා නිවිලා ගියා.
"මටවත් ඉන්න හරියකට තැනක් නැති එකේ එහෙම කරන්නේ කොහොමද සූ?"මගේ කටහඬේ පරාජිත බව මටම දැනුණා.
ඒත් සුලේඛා ඒ අදහස කිව්වේ ආවාට ගියාට නෙමෙයි කියලා මට තේරුණේ එයා තව දිගට විස්තර කියද්දී.
"මම මේ කිට්ටුවෙන් ඇනෙක්ස් එකක් හොයාගෙන ඔයාගේ අම්මාත් එක්ක ඒකෙ ඉන්නම්. එතකොට රෑකට උණත් අම්මාට අමාරු උණොත් මං ඉන්නවානේ. දවල්ට අපි දෙන්නා මාරුවෙන් මාරුවට අම්මාව බලාගමු. අපේ යාළුවො ටිකත් උදවුකරයිනේ." සුලේඛා කිව්වේ මේ ගැන සෑහෙන්න දුර කල්පනා කළ ගානට.
"ඒත්.. සල්ලි?"මම වචන එළියට දැම්මේ අමාරුවෙන්. හැම ප්ර ශ්නයකම විසඳුම නවතින්නේ සල්ලි ළඟින් බව මට ඒ වෙද්දී ඕනෑවටත් වඩා ඒත්තු ගිහින් තිබුණේ.
"මම දැන් බෝඩිමට ගෙවන ගානට වඩා ඕනනම් ටිකක් වැඩිවෙයි ඇනෙක්ස් එකක්. මට හවුලට නවතින්න යාළුවෙක් දෙන්නෙක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. එතකොට අපිට උයාගෙන කන්නත් පුළුවන්. කෑමට වියදමත් අඩුයි. ඔයා කිව්වා නේද ටියුෂන් කරන්න විදිහක් තිබුණා නම් ගාණක් හොයාගන්න පුළුවන් කියලා? මම අපේ බෝඩිමේ ඇන්ටි ගෙන් ඇහුවා. එයා කැමතියි එයාගේ පුතාටයි තව ළමයි කීප දෙනෙකුටයි කැම්පස් ළමයෙක්ගෙන් ටියුෂන් ගන්න. අපි ඉතුරු ටිකකොහොම හරි කරගමු සචිත්. ඔයා ඩිග්රිය අතාරින්න හිතන්න එපා. අපි ඉක්මනටම අම්මාව ගේමු!"
සුලේඛා කිව්වේ එක හුස්මට. එයාගේ ඇස් දෙකේ බලාපොරොත්තු පිරිලා තිබුණා. මං වගේම එයාත් රෑ නිදි නැතිව කල්පනා කරලා කරලා මේ නිගමනයට ඇවිත් තිබුණු බව මට තේරුණා.
"ඒත්...සුලේඛා...මගේ අම්මාව..ඔයා බලාගන්න?"මගේ වචන හිරවුණේ ඇස් දෙකට කඳුළු පිරෙද්දී. සුලේඛා බොහොම කලාතුරකින් හම්බවෙන විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් බව දැනගෙන හිටියත් මං වෙනුවෙන් එයා මේ වගේ කැපකිරීමක් කරයි කියලා මට කවදාවත් හිතිලා තිබුණේ නැහැ.
"ඔව්! එතකොට පස්සේ කාලෙක ඒ නැන්දම්මා මේ ලේලි එක්ක රණ්ඩුවෙන එකක් නැහැනේ!" සුලේඛා හිනාවෙලා කිව්වා.
එයා එහෙම විහිළුවක් කරලා මගේ හිත සැහැල්ලු කරන්න උත්සාහ කළත් එයාගේ ඇස් දෙකේත් කඳුළු පිරිලා ඉතිරෙමින් තිබුණා.
මට කියන්න තිබුණු දේවල් පපුවේම හිරවෙලා නතරවුණා. මුකුත්ම නොකියා මම සුලේඛා ගේ අත තදින් අල්ලා ගත්තා. එයා කඳුළු පිහිදාගෙන ආයෙත් කලින් වගේ හිනාවුණා.
හදිසියේම ඇදගෙන වැටුණු තරම්ම ඉක්මනට වැස්ස නැවතුණා. ඇහැළ ගස් වල උස අතු අතරින් අව්ව තීරු අමාරුවෙන් පහළටරිංගන්න උත්සාහ කළා. සමහරවිට කැම්පස් එකට වැටෙන අකල් වැහි නතර වෙන්නෙත් එකපාරට නෙමෙයි වෙන්න ඇති. හෙමින් හෙමින් වලාකුළු ගහගෙන ගිහින් වැස්ස තුරල් වෙනවා ඇති. ඒත් කැන්ටින්වල මේස ළඟ ඉඳගෙන බැරෑරුම් කථාවල පැටලිලා ඉන්න අයට ඒ බව පේන්නේ නැතිවා වෙන්නත් ඇති.
Classic Magazine, Dept of Public Administration, University of Sri Jayawardenepura 2020, Vol 8, pages 29-30
-----------------------------------------------------------------------------------------------------------------
Classic කියන්නේ ජ'පුර රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යනාංශයෙන් වාර්ෂිකව ප්‍රකාශනය කරන සඟරාවක්. සරසවියෙන් පිටවෙලා අවුරුදු බර ගණනක් වුණත්, ලංකාවෙන් පිට හිටියත්, හැම අවුරුද්දෙම මේ සඟරාවට කෙටි කතාවක් ලියලා එවන්න කියලා මට බොහොම ආදරයෙන් බලකරන මිතුරියක් දැන් සරසවියේ ඇදුරු මඩුල්ලේ ම ඉන්න නිසා මටත් ඒ සඟරාවේ කොටසක් වෙන්න ඉඩ ලැබෙනවා. මේ ඒකෙ 2020 කලාපය. තාම සඟරාවේ online version එකක් නැති නිසායි කතාව මේ විදිහට දැම්මේ. Classic සඟරාව වෙනුවෙන් මම ලවා කෙටි කතාව ලියවා ගත්තාට පවිත්‍රා මධුවන්ති මිතුරියට මගේ ආදරය!
-----------------------------------------------------------------------------------------------------------------
Classic කියන්නේ ජ'පුර රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යනාංශයෙන් වාර්ෂිකව ප්‍රකාශනය කරන සඟරාවක්. සරසවියෙන් පිටවෙලා අවුරුදු බර ගණනක් වුණත්, ලංකාවෙන් පිට හිටියත්, හැම අවුරුද්දෙම මේ සඟරාවට කෙටි කතාවක් ලියලා එවන්න කියලා මට බොහොම ආදරයෙන් බලකරන මිතුරියක් දැන් සරසවියේ ඇදුරු මඩුල්ලේ ම ඉන්න නිසා මටත් ඒ සඟරාවේ කොටසක් වෙන්න ඉඩ ලැබෙනවා. මේ ඒකෙ 2020 කලාපය. තාම සඟරාවේ online version එකක් නැති නිසායි කතාව මේ විදිහට දැම්මේ. Classic සඟරාව වෙනුවෙන් මම ලවා කෙටි කතාව ලියවා ගත්තාට පවිත්‍රා මධුවන්ති මිතුරියට මගේ ආදරය!
Photo-Open Canteen from Lanka University News
Subscribe to:
Posts (Atom)
