'මම නම් කඩේ තරම මනින්නේ පරිප්පු හොද්දෙන්!' ක්‍රිස්ටීන් කියන්නේ සද්දෙට හිනාවෙලා. එහෙම කිව්වේ අපි මෙහේ තියෙන ලංකාවේ කෑම කඩ ගැන කතා කර කර හිටිය දවසේ. ඒවායින් කොයි කඩේද හොඳම ඉඳිආප්ප තියෙන්නේ, කොයි කඩේද හවසට උණු උණු වඩේ තියෙන්නේ කියලා ක්‍රිස්ටීන් හරියටම දැනගෙන හිටියා. ඒත් එයා දිහා බැලූ බැල්මට ලංකාවේ කඩවල පරිප්පු හොදි ගැන තියා ලංකාව තියෙන්නේ කොහේද කියලා දන්නවාද කියලාවත් හිතන්න බැහැ. එයාගේ රත්තරන් පාට කොන්ඩේ කොටට කපලා තිබුණා. කොළ පාට ඇස් දෙක නිතරම හිනාවකින් දිලිසුණා. ඒත් විශ්‍රාම ගන්න වයස කිට්ටු වෙලා තිබුණත් ක්‍රිස්ටීන්ගේ කටහඬේ සද්දේ නම් අඩුවෙලා තිබුණේ නැහැ.
ලංකාව ගැන මේ කතා පටන් ගත්තේ අහම්බෙන්. මම මෙතැනට වැඩට ආවේ ළඟදී. ඒනිසා තාම ගතවෙන්නේ මම මෙතැන වැඩකරන අනිත් අයගේ නම් මතක තියාගන්න උත්සාහ කරන, විස්තර අහගෙන ඉන්න කාලේ. ඒත් මම ආව අලුත දවසක් ක්‍රිස්ටීන්ම මාව හොයාගෙන ඇවිත් කතාකළා. තේ බිබී හිටිය මගේ ළඟට පුටුවක් ඇදගෙන ඇවිත් එයා වාඩිවුණේ 'ඔයා ශ්‍රී ලන්කන් නේද?' කියලා අහගෙන.
'ඔව්! ඔයා කොහොමද දැනගත්තේ?' මම ඇහුවේ පුදුමෙන්.
'හිනාවෙනුයි කතාවෙනුයි කිව්වේ!' ක්‍රිස්ටීන් කිව්වේ ලොකු හපන්කමක් කළා වගේ. එදා ඉඳන් නොවැරදීම හැම දවසේම තේ වෙලාවට ලංකාව ගැන කතා කරන්න ක්‍රිස්ටීන් මාව හොයාගෙන ආවා.
'ඔයා ලංකාවට ගිහින් තියෙනවාද?' මේ උනන්දුව දැකලා මම පළවෙනි දවසේම ඇහුවා. ඒක අහලා ක්‍රිස්ටීන් හයියෙන් හිනාවුණා. 'ගිහින් නම් නැහැ- ඒක දිග කතාවක්!' කියලා විතරයි එයා කිව්වේ. ඊටපස්සේ හැමදාම අපි ලංකාව ගැන විස්තර කතාකළත් ක්‍රිස්ටීන් ඒ 'දිග කතාව' කියන්න නම් උනන්දු වුණේ නැහැ. ලංකාවේ තේ කොළ ජාති ගැන, ක්‍රිකට් ගැන, බුද්ධාගම ගැන, වෙසක් ගැන, යුද්ධේ ගැන..ක්‍රිස්ටීන් මේ හැමදෙයක්ම ගැන හරියටම දැනගෙන හිටියා. ලංකාවට ගිහිල්ලාවත් නැති මෙයා මේ විදිහට බාගෙට ලංකාවේ වුණේ කොහොමද කියලා කොයිතරම් හිතුවත් මට හිතාගන්න බැරිවුණා. දවසක් කුතුහලය උහුලාගන්න බැරිව 'ශ්‍රී ලන්කන් කෙනෙක් ඉන්නවද ඔයාගේ හොඳ යාලුවෙක්?' කියලා මම ඇහුවේ ඒ නිසායි.
"හොඳ යාලුවෙක්?" ක්‍රිස්ටීන් ඒක අහලා සුපුරුදු විදිහට හයියෙන් හිනාවුණා.
"නෑ නරක යාලුවෙක්! මගේ හස්බන්ඩ් ශ්‍රී ලන්කන්. හස්බන්ඩ් කිව්වාට එක්ස්-හස්බන්ඩ් - අපි දික්කසාද වෙලා දැන් ගොඩාක් කල්.. ඒත් මම ලංකාව දික්කසාද කළේ නැහැ!' ක්‍රිස්ටීන් හිනාවුණේ හරිම විනෝදෙන්. මට පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් දැනුණා. ක්‍රිස්ටීන්ගේ මහත්තයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති කියලා මට කලින් නොහිතුණේ කොහොමද?
"අනේ සොරි ක්‍රිස්ටීන්, මම හිතුවේම නැහැ.." මම සමාව ඉල්ලන්න පටන් ගත්තා.
"පිස්සුද? ඔයා සමාව ඉල්ලන්නේ මොකටද..? මමනේ අගේ කර කර ඔයාට ඇත්ත කතාව නොකිව්වේ! ඉස්සර කාසි ත් ඔයා වගේ තමයි.. පොඩි දෙයක් ඇත්නම් කලබල වෙනවා.. ලංකාවේ ගතියක්ද කොහේද!' ක්‍රිස්ටීන් කියාගෙන ගියා.
කාසි කියන්නේ එයාගේ පරණ මහත්තයා වෙන්න ඇති කියලාත් ආයෙත් නම් දික්කසාද වෙච්ච මහත්තුරු ගැන විස්තර නොඅහා ඉන්න ඕන කියලාත් මම හිතාගත්තා. එහෙම හිතුවට කාසි ගැන මට නිතර විස්තර කිව්වේත් ක්‍රිස්ටීන්මයි. 'අපේ කාසි ත් ඉස්සර තේ බොද්දි ලංකාවේ ක්‍රමයට සීනි හැඳි දාහතරක් විතර දානවා..' 'කාසි හරි කැමතියි කිරි ටොෆි හදද්දී ඉතුරුවෙන කුඩු කන්න!' වගේ මතක එක්ක කාසි නිතරම අපේ කතාවලට ඇවිත් ගියා. ඒ වගේම ක්‍රිස්ටීන් එයාගේ පුතාලා දෙන්නාත් නිතරම මතක් කළා. 'මගේ කරී බෝයිස් ලා දෙන්නා!' ඒ දෙන්නාව එයා ඇඳින්නුවේ එහෙමයි. 'ඒ දෙන්නාට මගේ පාණ්ඩු පාටත් කාසිගේ චොකලට් පාටත් එකතුවෙලා කැරමල් පාටක් ආවානේ' ක්‍රිස්ටීන් දවසක් කිව්වේ ලොකු රහසක් කියන්නා වගේ. කොල්ලෝ දෙන්නාත් ලංකාවේ කෑම කන්න හරි කැමති බවත් වැඩිමලා හැලප කන්නත් බාලයා තල කැරළි කන්නත් රුසියෝ කියලාත් එයා කිව්වා. ඒ කතාවලින් මගේ හිතේ ඇඳුනේ ඉස්කෝලේ ඇරිලා එන ගමන් ඔය රස කැවිලි කකා එන පුංචි කොල්ලෝ දෙන්නෙක්. ඒ වුණත් ලොකු පුතාට දැන් අවුරුදු තිහක් බවත් දෙන්නාම ඉංජිනේරුවෝ බවත්, වෙන රටවල් දෙකක රස්සාවල් කරන බවත් ක්‍රිස්ටීන් කිව්වේ බොහොම ආඩම්බරෙන්. කාසි ගැන නිතර කතා කළත් ඒ කසාදෙට මොකද වුණේ කියලා එයා කවදාවත් කිව්වේ නැහැ. මම ඇහුවේත් නැහැ. මොකක් නමුත් නොගැලපීමක් වෙන්න ඇති කියලා මම හිතාගත්තා.
මේ විදිහට ක්‍රිස්ටීන් ගේත් මගේත් යාළුකම බොහොම දියුණු වුණා. අපි දෙන්නාගේ වයස් අතරේ ලොකු වෙනසක් තිබුණත් ඒක මේ යාළුකමට බාධාවක් වුණේ නැහැ. ක්‍රිස්ටීන්ගේ ෆ්ලැට් එක ළඟ තියෙන එයාගේ 'පරිප්පු ටෙස්ට්' එක පාස් වුණු ලංකාවේ කඩෙන් ඉඳහිට මටත් එක්ක කඩචෝරු ගේන එකත්, අපේ ගෙදර හදන ලංකාවේ කෑම වලින් කොටසක් එයා එක්ක බෙදාගන්න එකත් ඉක්මනටම පුරුද්දක් වුණා. ක්‍රිස්ටීන් ආසම කෑම ජාතිය පොල් සම්බෝල. ගෙදර සම්බෝල හදද්දී වැඩිපුර හදාගෙන ගිහින් මම ක්‍රිස්ටීන් ට දුන්නා. එයා ඒවා ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන මාස ගාණක් කෑවා. ලංකාවේ ක්‍රමයට රෝස් පාන් හදන බේකරියකුත් එයා හොයාගෙන තිබුණු නිසා නියම 'ශ්‍රී ලන්කන්' විදිහට පොල් සම්බෝල කන්න ලැබෙනවා කියලා ක්‍රිස්ටීන් හිනාවුණා. ලංකාවේ කෑමට අමතරව ක්‍රිස්ටීන් ගේ ඊළඟ කැමැත්ත වුණේ ලංකාවේ සින්දු. සිංහල දෙමල සින්දු දෙජාතියටම එයා එක විදිහට ආදරේ කළා. හරියටම ඒ භාෂා දෙකම බැරිවුණත් මේ කැමැත්ත නිකම් සංසාර පුරුද්දක් වගේ කියලා මට හිතුණේ එයා ලංකාවේ ගායක ගායිකාවෝ එන ප්‍රසංග බලන්න තනියම යනවා කියලා දැනගත්තාම. කාසිට ලස්සනට සින්දු කියන්න පුළුවන්කම තිබුණු බවත් ඒවායේ තේරුම් ඉස්සර කියලා දෙන බවත් එයා මට කිව්වා. 'වික්ටර් ගේ සින්දු.. ම්ම්ම්!!' සින්දු ගැන මතක් කරලා ක්‍රිස්ටීන් කියන්නේ නිකම් මත්වෙලා වගේ.
'හැබැයි සමහර ලංකාවේ සිංදුවල තේරුම් වැරදියි!' මට දවසක් ක්‍රිස්ටීන් කිව්වා.
'හරි කියන්නකෝ බලන්න කොයිවාද කියලා!' මම හිනාවුනේ ලංකාවේ සින්දු ගැන අලුතින්ම දෙයක් ඉගෙනගන්න ලෑස්ති වෙලා.
'අර තියෙන්නේ ලව් ඇන්ඩ් හේට් කෙස් ගහක් කියලා..' ක්‍රිස්ටීන් මතක් කළා.
'ආ ඔව් ඔව්.. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි? ඇයි ඒක වැරදි? එහෙම වෙනවානේ ඉතින්' මම කිව්වා. ඇත්තම කියනවානම් මම ක්‍රිස්ටීන්ගෙන් බලාපොරොත්තු වුනේ ඒවගේ සින්දුවක් ගැන විග්‍රහයක් නෙමෙයි. නිකම් මේ බොහොම ලාමක සින්දුවක වැරදි තේරුමක්.
'ඔව් ඉතින්..එහෙම වෙනවාත් නම් තමයි..ඒත් මගේ පොතේ නම් එහෙම නැහැ!' කියලා හිනාවුණු ක්‍රිස්ටීන් හෙමින් සැරේ වෙන මාතෘකාවක් පටන් ගත්තා.
හිටිහැටියේම දවසක් ක්‍රිස්ටීන් වැඩට ආවේ නැහැ. හොයලා බලද්දී එයා ඉන්න ෆ්ලැට් එකේ තරප්පු පේළියේ වැටිලා උකුල් ඇටය බිඳිලා කියලා ආරංචියක් ලැබුණා. මට ඒක අහලා කියාගන්න බැරි තරමේ කම්පාවක් දැනුණා. වැඩියත්ම ක්‍රිස්ටීන් හිටියේ දැඩි සත්කාර ඒකකයේ නිසා පවුලේ අය ඇර වෙන කාටවත් එයාව බලන්න දෙන්නේ නැහැ කියලා ආරංචි වුනහම. ක්‍රිස්ටීන්ගේ හිනාවයි කෙළවරක් නැති කතාවයි මගේ දවසේ වැදගත්ම කොටසක් වෙලා කියලා මට තේරුණේ එයා වැඩට එන්නේ නැති වුණාමයි. උදේ තේ වෙලාව ඕනෑවටත් වඩා දිග බවක් මට දැනුණා.
'ක්‍රිස්ටීන් නැතිව පාලුයි නේද?' රොවේනා තේ එකත් අරගෙන ඇවිත් මගේ ලඟින් වාඩිවුණේ මෙහෙම මම ක්‍රිස්ටීන් ගැන කල්පනා කර කර ඉන්දැද්දී. රොවේනා ක්‍රිස්ටීන් ගේ පරණ යාලුවෙක් බව මම දැනගෙන හිටියා. ඒ දෙන්නාගේ පුතාලා එකට ඉස්කෝලේ ගිය බවක් මට ක්‍රිස්ටීන් කියලා තිබුණා.
'ඔව් අනේ එයාට දැන් කොහොමද කියලා ආරංචියක් ආවාද?' මම ඇහුවා.
'බොස් කතාකරලා ක්‍රිස්ටීන්ගේ ලොකු පුතා එක්ක. ඔපරේෂන් එකක් කරන්න තියෙනවාලු හෙට. ඒක හොඳට කෙරුණොත් වාට්ටුවකට දානවා කිව්වාලු. එහෙම වුණොත් අපි සෙනසුරාදාට බලන්න යමු" රොවේනා කිව්වා.
'ඒක හොඳයි. පුතාලා ඇවිත් නම් ඉතින් හිතට හයියක්නේ. කාසි ත් ඇවිල්ලාද දන්නේ නැහැ නේද?' මම කිව්වා.
'කාසි??" රොවේනා මගේ දිහා බැලුවේ ඔරවලා. "ඒ මිනිහා මොකට එනවාද ක්‍රිස්ටීන් බලන්න? මම ඉන්න වෙලාවක ආවොත් නම් මම දෙකක් කියනවා මිනිහට දුවන්න!' රොවේනා කෑගැහුවේ කේන්තියෙන්.
මෙතැන මොකක් නමුත් පටලැවිල්ලක් වෙලා කියලා මට හිතුණා
'නෑ මම කිව්වේ කාසි- අර ක්‍රිස්ටීන් ගේ එක්ස් හස්බන්ඩ්..' මම කියන්න පටන් ගත්තා.
'ඌ තමයි මාත් කියන්නේ- මතක් කරන්න එපා කෙලෙහි ගුණයක් නැති බල්ලා!' රොවේනා තාම කේන්තියෙන්
'රොවේනා, මට ක්‍රිස්ටීන් දික්කසාද වෙලා කියලා කියලා තිබුණාට කවදාවත් කාසිගේ වැරද්දක් කියලා නැහැ.. හැමදාම පුංචි පුංචි ලස්සන මතක විතරයි කිව්වේ.. ඒ නිසා මම එහෙම ප්‍රශ්නයක් ගැන දැනගෙන හිටියේ නැහැ. මම හිතුවා වෙන් වුනාට ඒ දෙන්නා තාම හිතවත්කමින් ඇති කියලා. ක්‍රිස්ටීන් ගේ කතා ඇහුවාම එහෙමයි හිතෙන්නේ!' මම ඉක්මනට පැහැදිලි කළේ රොවේනා ගේ කේන්තිය නිවන්න.
ඒක අහලා රොවේනාගේ සද්දේ ටිකක් අඩු වුණා. 'ඔව්.. මේ පිස්සු ගෑණි තාම කාසිට ආදරෙයි.. ඒකයි මෙච්චර දේවල් වෙලාත් කිසිම දොසක් කියන්නේ නැත්තේ." එයා තේ බොන ගමන් ඈත බලාගෙන කල්පනා කරන්න ගත්තා.
'ඉතින් මොකද ඇත්තටම වුණේ?' මම රොවේනාගෙන් ඇහුවා. මේ තරම් දැනගත්තු එකේ ඉතුරු ටිකත් දැනගත්තාට කමක් නැහැ කියලා මට හිතුනා.
'කාසියි ක්‍රිස්ටීන් යි මුලදී බොහොම හොඳට හිටියා. ක්‍රිස්ටීන් පුදුම ආදරයක් තිබුණේ කාසි ට. කාසිට විතරක් නෙමෙයි එයාගේ පවුලේ අයට, නෑදැයින්ට. කාසිගේ අම්මයි ක්‍රිස්ටීන් යි යාළුවො දෙන්නෙක් වගේ. දෙන්නාත් එක්ක එකතුවෙලා නිතරම ලංකාවේ කෑම ජාති හදනවා ඉස්සර. කොල්ලෝ දෙන්නවත් හැදුවේ ලංකාවේ තාලෙට. කාලයක් කාසි මොකක්දෝ උපාධියක් කළා. ඒ කාලේ අවුරුදු ගානක්ම ක්‍රිස්ටීන් තමයි සල්ලි හම්බකරලා ඔක්කොම වියදම් බලාගත්තේ. බැලූ බැල්මට ආදරේ පිරුණු පවුලක් ඒක. ඔහොම ඉඳලා එක දවසක් කාසි හදිස්සියේම අතුරුදහන් වුණා. ක්‍රිස්ටීන් පිස්සුවෙන් වගේ හැමතැනටම කතා කර කර එයාව හෙව්වා. කිසිම ඔත්තුවක් හොයාගන්න බැරිවුනු තැන පොලිසියටත් කිව්වා. මමයි එදා එයා එක්ක පොලිසියට ගියේ!' රොවේනා දිග හුස්මක් පිට කළා.
'පොලිසිය තමයි අන්තිමට විස්තර හොයාගත්තේ. කාසි කාලයක් තිස්සේ ප්ලෑන් කරලායි ඒ යන්න ගිහින් තිබුණේ. දෙන්නාගේ හවුල් බැංකු ගිණුම් බින්දුවටම හිස් කරලා සල්ලි අරන් තිබුණා. ඒ මදිවට බොරු ලියවිලි දීලා ක්‍රිස්ටීන් ගේ අර්ථ සාධක සල්ලි වලිනුත් ගන්න පුළුවන් ඔක්කොම අරගෙන. අතුරුදන් වෙලා ටික දවසකින් ක්‍රිස්ටීන් ට කාසිගේ ලෝයර්ගෙන් දික්කසාදය ඉල්ලලා ලියමනක් ලැබුණා. කාසිට කාලයක් තිස්සේ වෙන පවුලක් ඉඳලා. අන්තිමට එයා ක්‍රිස්ටීන් අතඇරලා ඒ පවුල තෝරාගෙන. මේ බව දැනගෙන ක්‍රිස්ටීන් පුදුම විදිහට කඩාගෙන වැටුණා. ක්‍රිස්ටීන් හිටිය ගෙදර, වාහන ඔක්කොම තිබිලා තියෙන්න කාසිගේ නමට. අපි කොච්චර කිව්වත් තමන්ට හිමි දේ ඉල්ලන්න කියලා ක්‍රිස්ටීන් කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. සෑහෙන දවසක් අඬලා අඬලා අන්තිමට එයා කිව්වා පුතාලා දෙන්නා ඇර කාසිට ඕන හැම දේම ගන්න ඉඩ දෙනවා කියලා. යන්න ඕන කෙනෙක් බලෙන් තියාගන්න එක එයා ආදරේ කරන විදිහ නෙමෙයි කියලාත් කිව්වා. ඉතින් අන්තිමට ක්‍රිස්ටීන් ට ඒ ගෙදරින් එලියට බහින්න වුණා. එතකොට පුතාල දෙන්නා පුංචියි. මහා යුද්ධයක් කරලා ඒ දෙන්නගේ වියදම් ඔක්කොම බලාගෙන ලොකු මහත් කලේ ක්‍රිස්ටීන් තනියම. කාසි නඩත්තු දෙන්න හැදුවත් ඒවා කිසිදෙයක් ක්‍රිස්ටීන් ගත්තෙත් නැහැ. මෙච්චර දෙයක් කරලාත් කිසි දවසක් දොස් කිව්වෙත් නැහැ. අපි කාසිට බනිද්දීත් එයා හිනාවෙලා හැමදාම කිව්වේ 'මම මොකටද කේන්ති අරගෙන ලස්සන මතක ටික නාස්ති කරගන්නේ?' කියලා. ඉතින් ඒ නිසා කාසිට නම් කවදාවත් ක්‍රිස්ටීන් ගේ මූණ බලන්න බැහැ. හැබැයි කාසි අසනීප වෙලා කියලා ආරංචි වුණොත් ක්‍රිස්ටීන් නම් කිසිම කහටක් නැතිව බලන්න යයි!" රොවේනා එක හුස්මට කිව්වා. එයාගේ කටහඩේ තාම කේන්තිය තැවරිලා තිබුණා.
ඒ කතාව අහගෙන ඉඳලා මට හැම දෙයක්ම පැහැදිලි වුණා. මේතරම් කල් අහලා තිබුණු ක්‍රිස්ටීන් ගේ කතාවේ හිඩැස් ටික ඔක්කොම පිරවුණා. 'ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස!' මම මටම කියාගත්තා.
'මොකක්ද?' රොවේනා එයාගේ මතක අතරින් මිදිලා මගෙන් ඇහුවේ තිගැස්සිලා වගේ.
'නැහැ මුකුත් නැහැ.. අපි සෙනසුරාදාට යමු ක්‍රිස්ටීන් බලන්න.. මම ලංකාවේ කෑම ටිකක් හදාගෙන එන්නම් එයාට දෙන්න' මම හෙමින් සැරේ කිව්වා.
photo-pixabay
photo-pixabay
මේ සිද්ධිය සත්‍ය කතාවක් නිසාත්, එයින් හෙළිවන අවංක මිනිස් ගුණාංග කිහිපයක් නිසාත්, සිද්ධියට සම්බන්ධ අය එකිනෙකට වෙනස් සංස්කෘතීන්ට නෑකම් ඇති ය නිසාත්, එය නව කථාවක වස්තු බීජය කර ගත හැකි බවයි මගේ අදහස. ඒ නිසා මෙය තවත් විස්තර ඇතුලත් කර නව කතාවක් ලෙස සකස් කළ හැකිනම් වඩාත් හොඳයි. එසේ නැතිනම් කෙටි කථා පොතකට වුවත් ඇතුලත් කල හැකිවේවි.
ReplyDeleteමට හිතෙන්නෙ මේක නවකතාවකට හරි අපූරුයි... ක්‍රිස්ටීන්ට අපෙත් ආදරය දෙන්න...
Deleteතරුරසී, තාත්තා- ස්තූතියි දෙන්නටම. හැබෑ ජීවිතේදී හරි අපූරු චරිත මුණගැහෙනවා. සමහරවෙලාවට පොතක කියෙව්වා නම් ඇත්තටම මෙහෙම දේවල් වෙන්න පුළුවන් ද කියලාත් අපිට හිතෙන්න පුළුවන්. Truth is stranger than fiction කියනවානේ.
Deleteඅපූරු කථාව. ඒ සිංදුවේ දෙවන පදයෙන් කියවෙන දේට වෙනස් විදිහට ක්‍රියා කරපු කෙනෙක්. ක්‍රිස්ටීන්ට ඉක්මන් සුවය පතනවා.
ReplyDeleteස්තූතියි ඉයන්, ඔව් බිඳුණු දා පූජාව ප්‍රේමයේ ඇගේ ආගම-තවත් තදින් ප්‍රේමයම වෙලා!
Deleteමූට හෙණ ගහන්න එපැයි, අර අසරණීට කරපු දේට? කරුමෙ කියන්නෙ ඔය වගේ බිරිඳක් හොයපු අපි වගේ අවසනාවන්තයොන්ට ලැබෙන්නෙම කාසිගෙ ගෑණු වර්ෂන් එක.
ReplyDeleteඅපූරු කතාවක්.ලස්සනට ලියලා තියනවා. අහල තියනවද මන්දා "අපේ ඔබා" ගැන. එයත් හිටියෙ මෙල්බර්න්වල. අපිට නැතිවු වටිනා බ්ලොග් රචකයෙක්. ඔහුත් ඔය වගේ කෙනෙක් ගැන පෞද්ගලික අත්දැකීමක් ලිව්වා. ඔබා අපිට නැති වෙලත් අවුරුදු ගාණක් ගියත්, කතාව තාමත් මතකයි.
"කාසි" කියල ලියල තියෙන නිසා ද්‍රවිඩ කියල හිතෙනවා. කාලයක් පිස්සෙක් බ්ලොග් එකක් ලිව්වා -"පිස්සාගේ ලෝකය. නියම පොරක්, නිකංම පිස්සෙක් නෙමෙයි, ආචාර්ය පිස්සා. හිටියෙ ඔය යුරොපයෙ රටක. ඔය වගේම ලස්සන අත්දැකිමක් ලිව්වා. දෙමල කොල්ලෙක්, යුරෝපීය බිරිඳක්. අහල තියෙනවද "චාඕ මල්ලි" සින්දුව. අන්න ඒකෙ වගේ කට්ට කාපු එකෙක්. දරුවන්ට අරපිරිමැස්ම පුරුදු කරලා, ලස්සනට ජීවත් වෙනවා කියල ලියලා තිව්වා.
මේ කතාවත් ඒ වගේම මතක තියේවි.ජය!
Sorry, can't use my profile due to obvious reasons. This is my favorite genre - real stories. Hope to see many more.
-Karma is a bitch-
චාඕ මල්ලි - කාසි නිසා අපි විඳෙව්වා
Deleteඇනෝ- ස්තූතියි මේ පැත්තේ ආවාට. ඔව් ඇත්ත කතාවල අමුතුම අපූරු බවක් තියෙනවා තමයි. මම 'ඔබා මාමා'ව (අපි එහෙමයි ඒ කාලේ ආදරේට කිව්වේ)හොඳට දන්නවා. දන්නවා කියන්නේ පෞද්ගලිකව නෙමෙයි ඉතින්. ඔහුගේ රසවත් බ්ලොග් පෝස්ට් කියවලම. එයා හිටියේ පර්ත් වල, මෙල්බන් නෙමෙයි. අනේ ඉතින් අකාලේ යන්න ගියානේ. ඇනොගේ මේ කමෙන්ට් එක දැක්කාම මම ගණන් හදලා බැලුවා- ඔබා මාමා ගිහින් අවුරුදු හයක්! අද ඊයේ වගේ. පිස්සාව නම් එකපාරට මතක් වෙන්නේ නැහැ- ෂුවර් එකට කියවලා ඇති ඒත්. ආයෙත් හොයලා බලන්න ඕන. සින්දුව අහලා තිබ්බෙත් නැහැ. අද උදේ පාන්දරම ඒකත් ඇහුවා. ස්තූතියි ඔත්තු ටිකට. ආයෙත් මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න. මම නිතර ලියන්නේ නැහැ- ඒත් සමහර කාලවලට උල්පත් පෑදෙනවා :)
Deleteපිස්සා බ්ලොග් එක වහල අන්තරස්දාන වුනා. අන්තිම කාලෙ ලව් හුටපටයකුත් තිබ්බා- තවත් ඒ කාලෙම බ්ලොග් ලියපු අම්මණ්ඩි කෙනක් නිසා උන්දැගෙ පිස්සුව හොඳටම තද වුනා. අර කතා ලිවිල්ල එහෙමම නැවතුනා.ඊට පස්සෙ, වැඩි හරියක් ලිව්වෙ කවි. එව්වත් විරහ කවි. මේකා උල ලේනෙක් වගේ අඳෝනා තියන්න තිබා ගත්තාම බල්ලෙකුටවත් අහන් ඉන්න බෑ අඳෝනාව.
Deleteමං මේ කියන්නෙ අදට අවු 10 විතර පෙර කොත්තු වල සිංහල බ්ලොග් පටන් ගත්ත මුල් වකවානුව. ඒ කාලෙ බ්ලොග් කියවපු අය දන්නව ඇති. අර කලු සුද්ද - පුකුයෝකා වල ජපන් කෙල්ල එක්ක යාළුවෙලා හිටිය- අන්න ඒ කාලෙ. කලු සුද්දත් ගියාලු -අකල් මරණයක්. කොහොම උනත් ඔවුන් ගැන සුන්දර මතක තාමත් අපි එක්ක ජිවත් වෙනවා. මතක විදිහට පිස්සා කියපු කතාවෙ සාරාංශය කියන්නම්:
පිස්සට කතා නායකයා හම්බවෙන්නෙ ආපන ශාලාවකදි. යුරෝපීය හැඩහුරුකම් තියෙන ලස්සන පොඩි කෙලි පොඩ්ඩියක් සමඟ ආ මේ තරුණයා , පිස්සගෙ අවධාණයට යොමුවෙන්නෙ, ඔහුගෙ තිබුණ "අපේ" පෙනුම නිසා. කෙලි පොඩ්ඩි , එතන තිබ්බ වැඩි වියදමක් නැති කෑම තමයි තෝරගන්නෙ.
සුහද සිනහවකින් පස්සෙ දෙන්නා දැණ හඳුනගෙන කතාවට වැටෙනවා.පොඩි කෙල්ල ඔහුගෙ දුව. මේ ඒ ආගන්තුකයාගෙ ජීවිත කතාව:
ඔහු සරණාගතයෙක් ලෙස යුරෝපයට පැමිණි, තවත් එක් ද්‍රවිඩ ශ්‍රි ලාංකිකයෙක්.යන-එන මං නැතිව, කන්න-බොන්න, ඉන්න-හිටින්න තැන් නැතිව ඉබාගාතේ ගිය කාලය ගැන ඔහු ලස්සනට කියල තිබුණා. බොහෝ අය හිතන්නෙ බටහිර රටකට පැන්නාම , එහෙ සුර ලෝකෙ වගේ තමයි කියලා. ඒත් යථාර්තය එච්චර ලස්සන නෑ.සෙට්ල් වුනාට පස්සෙ ජීවිතේ හොඳ වුනත්, පටන් ගැන්ම බොහෝවිට කටුකයි.
රෑට බෝට්‍ටු නවතා තිබුණු ජැටියක නිදා ගත්ත හැටිත්, උදේට එන සුදු ජාතික බෝට්‍ටු හිමියො, ඔවුන්ව පයින් ඇනලා අවදි කරපු හැටිත් , ඔහු කියලා තිබුණ. මට හිතෙන්නෙ , ඔහු මුල අමතක නොවෙච්ච ශ්‍රි ලාංකිකයෙක් කියලයි.මෙහෙම සිල්ලර වැඩකරමින්, පාවි, පාවි ඉන්න ඔහුට හමු වෙනවා සුදු ජාතික තරුණියක්. ඒ ගතකරපු ජීවිතේ එපා වෙච්ච මේ තරුණයා , එවකටත් යුධ පිටියක් වෙලා තිබ්බත්, ආපහු ගමරට බලා එන්නෙ බටහිර පන්නයේ ආදර කතා තාවකාලික බව දන්නා නිසයි.
අපේ පිස්සාට කෙලෙව්වෙත් සත්ය පෙරේමෙ වුනාට, අපේ ද්‍රවිඩ මිත්‍රයගෙ ආදර කතාව මෙතනදි වෙනස් නැඹුරුවක් ගන්නවා. කෙල්ල එනවා මේකව හොයාගෙන ලංකාවට.දෙන්නා බැඳලා ආපහු යුරෝපයට යනවා.
අද ඔහු ශ්‍රි ලාංකික සම්භවයක් තිබෙන, තවත් එක් සාර්ථක අනේවාසිකයක්. අද ඔහුට ගේදොර, යාන වාහන හැම දෙයක්ම තියනවා. ඔහුගේ වෘතීය සඟයන් පුදුම වෙන, ඉතා හොද ආර්ථක පදනමක් ඔහුට තියනවා. ඒ ඔහු අරපිරිමැස්ම දන්න නිසයි. ඒක ඔහුගේ දරුවන්ටත් පිහිටලා තියනවා කියල තමා පිස්සා ලියල තිබ්බෙ.
පිස්සා අන්තිමට කියල තිබ්බෙ" මට ඔබ ගැන ආඩම්බරයි, සහෝදරයා" කියලයි.
ස්තූතියි ඇනෝ, මෙච්චර මහන්සි වෙලා මේ කතාව ලිව්වාට. මම ඒත් හෙව්වා පිස්සාගේ බ්ලොග් එක. අත් ඇරලා දාලා කියලා හිතුණා නැති නිසා. අපරාදේ ඉතින් ඒකෙන් වෙන්නේ කියවන්න හොඳ දේවල් නැති වෙන එක.
Deleteඅනේ ක්‍රිස්ටීන් බලන්න හෙට උදේම යන්න. ඇයට ඉක්මන් සුවය පතන ලංකාවේ රෝස් පාන්, පරිප්පු, පොල් හෝ කොච්චි සම්බෝල එක්ක ප්ලේන් ටී රස විදින කෙනෙක් ඉන්න බව කියන්න. කට්ටකාඩුවේ ආදරය ඇයට දෙන්න. ඉක්මනට හොද වෙලා ලංකාවට ඇවිත් යන්න එන්න කියන්න. මේ දේවල් කියනවා නේද සොයුරිය...ක්‍රිස්ටීන් ට කියන්න මේ සිංදුව ඔබ එන්න...ඔබ ඇවිත් යන්න එන්න...
ReplyDeleteස්තූතියි ලොකු මල්ලී, මම කියන්නම් ක්‍රිස්ටීන් ට :)
Deleteමමත් මේ කතා දැනගන්න කලින් ක්‍රිස්ටීන් ට කිව්වා එයා ලංකාවට යන්නම ඕන කෙනෙක් කියලා. කෑම බීම, සංස්කෘතිය ඔක්කොම දේවල් වලට අලුතින් හුරුවෙන්න දෙයක් නැහැනේ. එයාට ඉක්මනට හොඳ වේවි. ජීවිතේ ගැටෙන්නම ඕන දේවල් ටික අත් ඇරලා දැම්මාම හරිම ලේසියි!
කාසි 100%ක් ශ්‍රීී ලාංකිිකයි
ReplyDeleteහදවතින්ම ශ්‍රී ලාංකීයයි? :D
Deleteහැබැයි මද්දා මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් හිටියාට තාම නම් ලංකාවේ මිනිස්සු ගැන හොඳ හැඟීමක් තියෙන්නේ මෙහෙ මිනිස්සුන්ට. Reliable වගේ අදහසක්
අහම්බෙන් ගොඩ වුනේ. හරි රහයි....
ReplyDeleteනරිමොටා මගේ ලිපියකට comment එකක් දාද්දී මේ කතාව ගැන සඳහන් කරලා තිබුණා. ඉතින් ඇවිත් කියෙව්වා.
ReplyDeleteඇත්තටම දුකේ බෑ. හැමෝටම ක්‍රිස්ටීන් වගේ ආදරේට ආදරේ කරන්න පුළුවන් නම්....
මොනවාත් ලියලම යන්න හිතුනු නිසයි ලිව්වේ.
නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ දුක දෙනා!
නිදි- සමාවෙන්න, පරණ පෝස්ට් එකේ පස්සේ ආව කමෙන්ට් බැලුවේ අද.
Deleteඔව් ඇත්තටම ඒ විදිහට ආදරේ කරන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි නේද? තණ්හාව නැති ආදරේ!
🥺🥺🥺🥺
ReplyDeleteහිතාගන්න බැහැ මිනිස්සු ගැන
ක්‍රිස්ටීන්ට දැන් හොඳ ද?
එච්චර දෙයක් වෙලත් ඒක ඉවසගෙන, ඊටත් වඩා තරහ ගන්නෙ නැතුව හිනා වෙලා ඉන්නෙ කෝමද අප්පා🥺🥺🥺🥺
ක්‍රිස්ටීන් ඇත්තටම දැන් නම් බොහොම සතුටින් ඉන්නවා. එයා දැන් විශ්‍රාමිකයි, පුතාලා විවාහ වෙලා. එයා කරන්නේ ලෝකේ වටේ සංචාරය කරන එක යාළුවො කට්ටියක් එක්ක. එයාගේ හිතේ කවදාවත් වෛරයක් නොතිබුණු නිසා වෙන්නැති එයාට මෙහෙම සතුටින් ඉන්න ඉඩ ලැබිලා තියෙන්නේ.
Delete