"මගේ උපන්ගම කොත්වෙහෙරේ, ඔයා නම් දන්නෙවත් නැතිව ඇති, කදුරුවෙලින් හැරිලා යන්න ඕන හැතැප්ම දහයක් විතර. රස්සාවට එන්න ඕන නිසා පිළියන්දල තැනක නැවතුණා." ආපනශාලාවෙන් ගත් බත් මුල දිගහරින ගමන් මාලතී කීවාය. තම බත් මුලෙන් මාලු පිනි ටිකක් මාලතී හා බෙදාගන්නට බලා සිටි දිල්ශාරා එය අසා මොහොතක් නිසොල්මන් විය. මාලතී ගිණුම් අංශයට පත්වීම් ලැබ පැමිණියේ එදින උදෑසන ය. ඇගෙන් දිස් වූ කුලෑටි බව නිසා ඇයට ආයතනය තුළ මඟ පෙන්වන්නට දිල්ශාරා කැමැත්තෙන්ම භාරගත්තාය.
"කොත්වෙහෙරේ?" දිල්ශාරා නැවතත් ඇසුවේ තමන්ට ඇසුණු දේ නිවැරදිදැයි තහවුරු කරගැනීමටය.
"ඔවු, අක්කා දන්නවද ඒ පැත්ත?" මාලතී කෑමත් නවත්වා විමසිල්ලෙන් බැලුවේ දිල්ශාරා කොළඹ හැදී වැඩුණු එකියක් බවට තමන් කර තිබුණු උපකල්පනය වැරදිදෝ යැයි සිතමිනි.
ආපනශාලාවේ මේස පෙළට ඉහළින් ඇති කවුළුවෙන් එපිටට දිල්ශාරාගේ දෑස ඉබේම යොමුවිය. තෙවෙනි මහලේ සිටි ඔවුන්ට පෙනුණේ පහළ තුරු පෙළේ මුදුන් පමණි. දිල්ශාරා ගේ සිත අතීතයට ඉගිලුනේ විදිලි වේගයෙනි.
……………………………………….
සරසවියට ඇතුලු වී මුල් මාස කීපය තුළ දිල්ශාරාට ධර්මජීවව ස්ථිරවම මතකයේ රැඳෙන්නට සිදුවීම් කිහිපයක් විය. ඉන් පළමු මතකය නවක වද කාලයේදී සිදු වූ සිදුවීමකි. ඒ වකවානුවේ හිස නූස්සා බිම බලාගත්වනම සරසවිය ඇතුලේ එහෙ මෙහෙ ගිය නවක සිසු පිරිස තම උපාධි කණ්ඩායමේම සෙසු සගයන් පවා හරි හැටි හැඳිනුවේ නැත. දිනක් එළිමහනේ පැවැත්වුණු නොනිළ 'හඳුනාගැනීමේ සැසියකදී' නවකයන් නම ගම සැපයිය යුතුව තිබුණු අතර ජ්‍යෙෂ්ඨ සිසුන් ඔවුන්ට ඒ අනුව අනවර්ථ නාමයක් හෙවත් 'කාඩ්' එකක් නිකුත් කරන්නට නියමිතව තිබිණි. ඒ වෙද්දී දිල්ශාරාගේ යෙහෙලියන් අතරින් නිතරම සිනාව නවතාගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු සමාධි ට 'සිරික්කිය' නමත් අනුලා විද්‍යාලයේ අධ්‍යාපනය ලද බව කියූ නිසා වින්දි ට 'අනුලා දේවි' නමත් ලියාපදිංචි වී තිබිණි. රැස් ව සිටි හැම කෙනෙක්ම දැන් දැන් තමාගේ වාරය ඒදැයි දෙගිඩියාවෙන් පසුවූ අතරතුරේදී ඉදිරියට කැඳවනු ලැබුවේ කැරළි කොණ්ඩය පැත්තට බෙදා පීරා සිටි සිහින් උස තරුණයෙකි. කිසිදු පැකිලීමකින් තොරව නැඟිට ආ ඔහු ජ්‍යෙෂ්ඨ සිසුන් ඉදිරියේ සිටගත්තේ හමුදා පෙරෙට්ටුවකදී මෙන් සීරුවෙනි.
"නම, ධර්මජීව චන්ද්‍රවංශ - ගම, කොත්වෙහෙර"
ප්‍රශ්නය අසනු ලබන්නත් පෙර ධර්මජීව තම විස්තර හඬ නඟා කීවේ හරි කෙළින් ඉදිරිය බලාගෙනය. සාමාන්‍යයෙන් නවක වද කාලයේදී කතාකරන්නට අවසර දෙන්නට පෙර කතාකරන නවකයන්ට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් තිත්ත වචනයෙන් බැනුම් අසන්නට සිදු වූවත් පුදුමයකට මෙන් ධර්මජීවගේ මේ ඉදිරිපත් කිරීමට කිසි විරෝධයක් නොනැඟුණි. ඒ ඇයිදැයි හොරැහින් බැලූ දිල්ශාරාට පෙනුණේ නුපුරුදු දසුනකි. ජ්‍යෙෂ්ඨ සිසුහු පවා මේ අමුතු හැසිරීම ගැන උන් උන් අතර මුමුණමින්, සිනාසෙමින් සිටියහ.
"ඔය උඹ සිවුරේ ඉන්දැද්දී පාවිච්චි කළ නමද?" එක වාචාල ජ්‍යෙෂ්ඨයෙකු ඇසුවේ සමච්චලයට ය. "උඹ වෙහෙරේද කොතේ ද යකෝ ඉන්නේ?" තව එකෙක් ඊට ඌන පූරණය සැපයුවේ තමන්ගේම විහිලුවට මහා හඬින් හිනැහෙමිනි. මේ විහිලු අසා රැස්ව සිටි නවකයන් අතරද අදිසි සිනා රැල්ලක් පැතිරිණි. එහෙත් ධර්මජීව සීරුවෙන්, නොවෙනස්ව, ඉදිරිය බලාගත්වනම සිටියේය. ඔහුගේ දෑස් රැඳී තිබුණේ ඈත තිබුණු සියඹලා ගසේ මුදුන් ඉසව්ව වෙතය. ඒ දෑසින් පිළිබිඹු වූ හිස් බැල්ම දිල්ශාරා ඉන් පෙර කිසි දෑසක දැක තිබුණේ නැත. ඔහුගේ මුහුණේ මස් පිඬු සියුම්ව වෙව්ලන බවක් දුරට පවා පෙනිණි. ධර්මජීවගේ ඉරියව්වෙත්, හැසිරීමේත්, බැල්මෙත් කිසියම් නොගැලපෙන ගතියක් ඇති බව නවකයන්ටත් ජ්‍යෙෂ්ඨයන්ටත් අවබෝධ වීමට මහා වෙලාවක් ගත වූයේ නැත.
"හා හරි ගිහින් ඉඳගනින්, ඊළඟ එකී වර!" ජ්‍යෙෂ්ඨයෙක් අණ කළේ පැතිර ගිය අපහසුතාවයත් නිහඬ බවත් බිඳිමිනි. නින්දෙන් අවදි වූ කලක මෙන් ගැස්සුණු ධර්මජීව නිහඬවම ගොස් නැවත තණ බිස්සේ හිඳ ගත්තේය. උපාධි කණ්ඩායමේ සිටි එකසිය පනහක් පමණ වූ සිසුන් අතරින් ධර්මජීව චන්ද්‍රවංශ නම් සිසුවා නවක වද කාලයේදී ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් 'කාඩ්' එකක් නොලබා බේරුණේ එලෙසිනි.
ධර්මජීව හැම දේශනයකටම නොවරදවා සහභාගී විය. ඒවා අවසන් වූ විගස ඔහු ඉක්මන් ගමණින් නේවාසිකාගාරයට යනු පෙනිණි. එසේ යන එන ඇතැම් විට ඔහු තනියම තොල් මතුරන අයුරුද දැකිය හැකි විය. ඔහුගේ අමුතු හැසිරීම් කටින් කට ආරංචි වූ නිසාදෝ පළමු ජවනිකාවෙන් පසු ජ්‍යෙෂ්ඨයන් ඔහුව අතරමඟදී නැවත්වූයේ නැත. එහෙත් සෙසු නවකයන්ට නොලැබුණු අමුතු නිදහසක් තමන්ට ලැබීම ගැන ඔහුට වගක් තිබුණු බවක් ද නොපෙනිණි.
තමන් ඉතා නොරිස්සුමෙන් ගත කළ නවක වද කාලය අවසන් වූ පසු එහි සියලු තතු හැකි ඉක්මණින් අමතක කරන්නට වෙහෙසවූ දිල්ශාරාට ධර්මජීව එදා නම ගම කීමේ අමුතු සිද්ධිය නම් හිතේ කෙළවර තැවරුණු ලාටුවක් සේ රැඳී ඇති බව වැටහිණි. එදා ඔහු අහස වෙත එල්ලකරගෙන සිටි හිස් බැල්ම කුමක් හෝ හේතුවකට ඇයගේ මතකයේ හණ වැදී තිබිණි. ඇය සුපරීක්ෂාකාරීව ධර්මජීවව නිරීක්ෂණය කරන්නට ගත්තේ ඒ නිසාමය. ධර්මජීව අත නිතරම ආර්ථික විද්‍යාව පොතක් විය. දේශන ඇරඹෙන තුරු කල්මරණ වේලාවන් වල කෙනෙක් නවකතාවක් කියවන තරමට දැහැන්ගත වෙමින් ඔහු එය කියවන අයුරු දිල්ශාරා දැක තිබිණි. ඔහුගේ අත් අකුරු මුතු කැට මෙන් වූ අතර ඔහු සටහන් ලීවේ අලංකාරව ජේද බෙදමින් මාතෘකා ලකුණු කරමින් බව ඇය අහම්බෙන් දුටුවේ දේශන ශාලාවක ඔහුට පසුපස පේළියක අසුන්ගත් දිනකයි. ඔහු සතුව තිබුණේ කමිස දෙකකි. ඒවාද පාට සේදී ගොස් තිබිණි. අන් කොල්ලන් සේ ඔහු අනුන්ගේ ඇඳුම් හුවමාරු කරගනිමින් ඇන්ද බවක් නොපෙනිණි. බොහෝ දවල්වරු වලදී ධර්මජීව දිවා ආහාරය වෙනුවට කැන්ටිමෙන් තේ කෝප්පයක් බොන අයුරු දිල්ශාරා දැක තිබිණි. තම අතවූ බත් මුල ඔහු හා බෙදාගන්නට ඇත්නම් යැයි ඇයට අනන්තවත් සිතුණත් ඉන් වැරදි වැටහීමක් ඇතිවන බව ඇය දැන සිටියාය. වැඩියත්ම හුදකලාව සරසවිය තුළ සැරිසැරූ ධර්මජීව ඔහුගේ නේවාසිකාගාර සගයන් බව සිතිය හැකි තව සිසුන් දෙදෙනෙක් හා ඉඳහිට කතාබහ කරන බව ඇය දුටුවාය. ඉන් එක් සිසුවෙක් වන කසුන් සමඟ තමන් කණ්ඩායම් පැවරුමකට වැටී ඇති බව දුටු විට ධර්මජීව ගැන තවත් තොරතුරු සොයන්නට එය අවස්තාවක් කරගන්නට ඇයට සිතුණි.
"ඌ එක්තරා ජාතියක පිස්සෙක්!"
දිල්ශාරා ප්‍රවේශමෙන් තෝරාගත් වචන යොදාගෙන වටෙන් ගොඩින් ධර්මජීව ගැන ඇසූ විට කසුන් කීවේ හඬ නඟා සිනාසෙමිනි. ඔවුන් අසුන්ගෙන සිටියේ සිසුන් අතර 'ඇහැළ වල' නමින් ප්‍රසිද්ධ ඇහැළ ගස් සෙවනේ මුහුණට මුහුණ ලෑ බංකු දෙකක ය. පැවරුම ගැන කතාකරන්නට ඒ වෙද්දී කණ්ඩායමේ අනෙත් සාමාජිකයන් පැමිණ තිබුණේ නැත.
"ඒ කියන්නේ? මෙන්ටල් අප්සෙට් එකක්ද?" දිල්ශාරා ඇසුවේ තමන් ඒ ගැන වැඩි තැකීමක් නොකරන බවක් පෙන්වමිනි.
"එහෙමමත් නැහැ. නැත්තෙත් නැහැ. සමහරවෙලාවට දවස් ගණන් කවුරුවත් එක්ක කතාකරන්නේ නැහැ. සමහර දාට මහා රෑටත් දොඩවනවා. අහගෙන ඉන්න කෙනෙක් නැත්නම් තනියම හරි කියෝනවා. හානියක් නැහැ, නියම මීටරේ. හැබැයි අමුතුම කේස් එකක්." කසුන් කියමින් සිනාසුණි. "ඉන්නකෝ මං ඌට කියන්න දිල් ඌ ගැන ඇහුවා කියලා! ඕකා කතාකරන දවසක් අල්ලලා කියන්න ඕන හැබැයි!"
"මේ... පිස්සු නම් කරන්න එපා හරිද?" දිල්ශාරා කසුන්ට තම අත තිබූ ෆයිල් කවරයකින් පහරක් ගැසුවේ කුතුහලය නිසා ධර්මජීව ගැන විස්තර විමසා තමන් කරගත්තේ මෝඩකමක් යැයි පසුතැවෙමිනි. මේ නිසාම ඊළඟ වතාවේ දේශන ශාලාවකදී ධර්මජීව තමන්ට ඉදිරියට මුණගැසුණු විට ඈ මඳක් පසුබෑ නමුත් ඔහු සිය පුරුදු ඉක්මන් ගමණින් ඉදිරිය බලාගත්වනම ඈ පසු කර ගියේ කිසිම හැඟීමක් රහිතවය. එක්කෝ තමන්ගේ උනන්දුව ගැන කසුන් ඔහුට කියා නැති බවත් නොඑසේ නම් කියා තිබුණද ඔහුට ඒ ගැන කිසි විශේෂයක් දැනී නැති බවත් ඉන් දිල්ශාරාට වැටහිණි.
දිනපතා පුරුද්දට මෙන් ධර්මජීවගේ අමුතු හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටි දිල්ශාරාට දිනක් ඔහු ගැන වැඩිදුර විස්තරයක් කණ වැකුණේ අහම්බෙනි. ඒ වෙද්දී ඔවුන් සරසවියට පිවිස මාස කිහිපයකි.
"ධර්මයා තමයි යකෝ අපේ රූම් එකේ අම්මා! අම්මපා අපේ අම්මලාවත් අපිට ඔහොම ආදරෙන් කතා කරලා නැතිව ඇති. සමහර දාට උදේට බලන්න එපායැ 'කසුනා උඹ ඊයේ රෑට කෑවේත් නැහැ නේ, මෙන්න තේ හැදුවා, නැගිටලා තේ බීපං' කියයි 'සුම්මා කෝ දීපන් උඹේ ෂර්ට් එකත් මං හෝදලා දාන්න' කියයි..." කසුන් ඇතුලු ධර්මජීවගේ නේවාසික සගයන් කිහිපදෙනෙක් කැන්ටිමකදී විස්තර කරමින් සිටියේ ඔහු ගැන බව ඒ අසල මේසයක අසුන්ගෙන සිටි දිල්ශාරාට වටහාගන්නට අපහසු වූයේ නැත. මිතුරියන් දෙදෙනක් සමඟ සටහන් පිටපත් කරගනිමින් සිටි ඈ ඒ අතරතුරේදීම ඒ කතාබහට වඩාත් හොඳින් සවන් දෙන්නට විය.
"ඒ උගේ හොඳ දවස්වලනේ. අවුල් දවස් වල තේත් නෑ මුකුත් නෑ. ඇඳෙන් බැස්සා... ඇඳගත්තා ලෙක්චර් එකට දිව්වා. මූන හෝදන්නෙත් නැහැ, හෝතම්බුවා!" මහේල සිනාසුණේ මේසයටද ගසමිනි.
"උඹලාට ආරංචිද හොස්ටල් රැග් එකකදී ඌට වෙච්ච සීන් එක?" කසුන් තම සගයන්ගෙන් ඇසුවේ හඬ බාල කරමිනි. යාබද මේසයේ උන් දිල්ශාරා සටහන් ලියන අතරේම ඊට තව තවත් හොඳින් ඇහුම්කන්දෙන්නට විය.
"පහුගිය රැග් කාලේ දවසක් තව දෙතුන් දෙනෙක් එක්ක මූව සීනියර්ස්ලා සෙට් එකක් අරන් ගිහින්. අපි ඉඳලා නෑ. උන් ටික ඒවා මේවා අහන අතරේ මුගෙන් කෙල්ලෙක් ඉන්නවද කියලාත් අහලා. මේ බූරුවා ඔව් කියලනේ. යකෝ කෙල්ලෙක් හිටියත් ඔව් කියනවද බං රැග් වෙද්දී! ඒ පාර උන් තව තව විස්තර අහලා. දන්නැද්ද ඉතින් ඔය මාතෘකාවට බැස්සම අහන එව්වා. ටිකක් වෙලා උත්තර දීලා මූ හෙණ ගැහුවා වගේ අඬන්න පටන්ගෙනනේ යකෝ! හුස්ම හිරවෙවී ඇඬුවා කියලා මට නාලකයා කීවේ. අන්තිමට ඌට නිකම් ඇදුමට වගේ ඇවිත්, අරුන් ටික බයවෙලා. රැග් එක එතැනින්ම අහෝසියිලු. පස්සේ කට්ටිය මූව අමාරුවෙන් මෙඩිකල් සෙන්ටර් අරන් ගිහින්. එතනින් බෙහෙතුත් දුන්නා කියන්නේ."
"පල යකෝ යන්න, කොල්ලෙක් ඇඬුවා කියලා රැග් එකක් නවත්තපු රටක් අහලා තියෙනවද?" චමත් ඇසුවේ බලවත් සැකයෙනි.
"ඇඬුව නිසාම නෙමෙයි වෙන්නැති...දන්නෑ ඉතින්... උගේ මොකක් හරි අවුලකුත් තියෙනවා නේද ඕයි? අද ඉන්න එකා නෙමෙයි හෙට ඉන්නේ. කතාබහ කරන දවසටවත් ගෙදර විස්තරයක් එහෙම කියන්නේත් නැහැනේ. වෙන වෙන ලෝකේ නැති ආත බූත දොඩවන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේත් නැහැ."
"කියන්නේ නැත්නම් මැරෙන්නද බොලව්, වරෙල්ලා යන්න අද ෆිසිකල් එකේ එවුන් ක්‍රිකට් මැච් එකක් ගහනවලු, යං සප් එකක් දෙන්න" යැයි පිළිතුරු දුන් මහේල ඔවුන්ව කැඳවාගෙන කැන්ටිමෙන් පිටවී ගියේය.
දිල්ශාරා මේ විස්තර අසා පසුවුණේ කැළඹුණු මනසිනි. හිස් බැල්මෙන් වේගවත් ගමනින් යන එන ධර්මජීව අර ආකාරයට හඬා වැටෙන්නට ඇත්තේ ඇයි? පිටට නොපෙනෙන, ඇතුළතින් ලේ ගලන තුවාලයක් සමඟ ජීවත් වීම කෙබඳු විය හැකිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නට ක්‍රමයක් නැති බව ඒ වෙද්දී දිල්ශාරාට වැටහී තිබිණි. ධර්මජීව හා කෙසේ හෝ කතාවට වැටුණත් ඔහු ඊට අදාළ කිසි විස්තරයක් නොකියන බවත්, ඔහුගේ මිතුරන් පවා ඔහු ගැන නිවැරදි තොරතුරක් නොදන්නා බවත් මේ කතාබහෙන් ඇයට පසක් විය. ධර්මජීව ගැන තම උපාධි කණ්ඩායමේ කිසි කෙනෙකුට නැති උනන්දුවක් තමන්ට දැනීම ගැන ඇයට තමන් ගැනම කේන්තියක් ඇතිවෙමින් තිබූ නමුත් ඊට හේතුවත් ඇය යටි සිතින් දැන සිටියාය. දිල්ශාරාට කුඩා කල පටන්ම පීඩාවට පත් වුවන් හඳුනාගන්නට විශේෂ ඉවක් වැනි දෙයක් විය. තමා අවට සිටින අය අතරින් බොහෝ කරදර පීඩා රැසක් සඟවාගෙන දුක් විඳින්නන් ගැන තමන්ට ගැඹුරු රිදුමක් දැනෙන බව ඇයට වැටහී තිබිණි. එදා කැන්ටිමේදී සිදුවූ පරිදි එවැනි අයගේ විස්තර ඇයට කෙසේ හෝ ආරංචි වන්නටත් යෙදුණේ විශ්වයේ අදිසි සැලසුමක ප්‍රතිපලයක් ලෙසිනි. තමන්ගේ මේ 'දැනීමේ' ප්‍රයෝජනය කුමක්දැයි සිතමින් මීට පෙරත් දිල්ශාරා නොයෙක් වර විස්සෝප වී ඇත. ඒ බොහෝ අවස්ථාවල ඒ අයට කළ හැකි උපකාරයක් ඈ සතුව තිබුණේ නැත. සමහරවිට ධර්මජීව කිසියම් මානසික අර්බුදයකට ලක්ව ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ පසුවනු ඇති බව සිතුණත් ස්වභාවයෙන්ම කුලෑටි යුවතියක් වූ දිල්ශාරාට ඊට මැදිහත් වන ක්‍රමයක් නොපෙනිණි. තව කලක් ගතවෙද්දී යෙදෙන්නට නියමිත විවිධ කණ්ඩායම් ව්‍යාපෘති, විනෝද චාරිකා ආදිය හරහා කෙසේ හෝ ඔහුට සමීප වී ඔහු පීඩා විඳින ගැටලුව අසාගෙන එය විසඳීමට සහය වන්නට අවසානයේදී දිල්ශාරා ඉටාගත්තේ කළ හැකි වෙන කිසිවක් ඇයට සිහි නොවූ බැවිනි.
එහෙත් ඇගේ ලෝකය උඩු යටිකුරු වූයේ ඇය නොසිතූ පරිදිය. දිනක් සරසවිය ඉදිරිපිට කඩයකින් සටහන් ෆොටෝකොපි කරගැනීමට බලාසිටි දිල්ශාරා දුටුවේ ඉක්මන් ගමනින් ඇය වෙත එන ධර්මජීවයි. ඔහුගේ හිසකේ අවුල් වී තිබිණි. වෙනදාට ඉදිරිය බලාගෙන යන ඔහු එදා නම් ඇය ඉදිරිපස ඉද්ද ගැසුවා සේ නැවතුණි.
“ඔයා නේද දිල්ශාරා?” ඔහු ඇසුවේ ඇගේ දෙනෙත් දෙස එක එල්ලේ බලමිනි
“ඔව්” කී දිල්ශාරා පියවරක් පසුපසට තැබුවාය. රත් පැහැව තිබුණු ධර්මජීවගේ දෙනෙතේ තිබුණේ මංමුලා වූවකුගේ පෙනුමකි.
“මං ධර්මජීව චන්ද්‍රවංශ” ඔහු කීවේ ඉන් එහාට පැහැදිලි කරන්නට දෙයක් නැතිවා මෙනි.
“ඔව් මම දන්නවා” දිල්ශාරා කීවේ තවත් පියවරක් පසුපසට තබමිනි. කිසි දිනක තමා හා වදනකුදු දොඩා නැති ධර්මජීව මේ අර අඳින්නේ කුමකටදැයි ඇයට සිතාගනු නොහැකි විය.
“ඔයා මට කැමතිද?” ධර්මජීව ඇසුවේ තවමත් එක එල්ලේ ඇගේ දෑස දෙස බලාගත්වනම ය.
හිස් මුදුනෙන් නැඟුණු සීතලක් තම සිරුරම වෙලාගන්නා බවක් දිල්ශාරාට දැනුණි. ඇයගේ පළමු සිතිවිල්ල වූයේ කිසිවෙක් විසින් ධර්මජීවව උසි ගන්වා තමා වෙත එවා ඇති බවයි. එහෙත් වටපිට එවැනි විහිලුවකට සිනාසෙන කොලු රංචුවක් නොවීය. ඇය නැවතත් ධර්මජීව දෙසට දෙනෙත් එල්ල කළ විට දුටුවේ ඔහු තවමත් ඇය දෙස බලාගත්වනම ඇති බවයි.
“ඔයා මට කැමතිද?” ධර්මජීව නැවතත් ඇසුවේය.
“මම… නෑ නෑ..ඇයි?” දිල්ශාරාට ගොත ගැසිණි. ඒ වෙද්දී ඇය කසුන් සමඟ ධර්මජීව ගැන කතාකර අඩුම තරමේ මාසයක්වත් ගෙවී තිබිණි. හදිසියේම ධර්මජීව තමාව සොයා ආවේ ඒ ඔත්තුවට විය නොහැක.
“ඔව්ද, නැද්ද?” ධර්මජීව නැවතත් ඇසීය. ඒ කටහඬේ හදිසි නොඉවසිලි බවක් විය.
“නෑ!” දිල්ශාරා එවර නම් කීවේ ඔහුගේ දෑස දෙස බලාගෙනමය. ඈ තුළ සිහින් කෝපයක් බුබුළු දමමින් තිබිණි.
එය අසා ධර්මජීවගේ දෑසේ විදුලියක් ඇඳී යනු ඇයට පෙනුණි.
“හරි.. වෙන්න බෑ කියලා මටත් හිතුනා.. කොහොමත් කාටවත් මාව ගැලපෙන්න විදියක් නෑනේ. ගිහින් එන්නම්” කී ධර්මජීව ආපිට හැරී ඉක්මන් ගමනින් ආ අතටම ගමන් කරන්නට විය. සිදුවූවේ කුමක්දැයි නිනව්වක් නොමැතිව දිල්ශාරා බොහෝ වෙලාවක් ඔහු ගිය අත බලා සිටියාය.
එදින රාත්‍රියේ දිල්ශාරාට නින්ද අහලකටවත් ආවේ නැත. කවුරුන් හෝ තමන් ධර්මජීව ගැන සොයා බලන බව ඔහුට කියා ඇති බව ඇයට පැහැදිලි විය. ඇය එසේ සොයා බලන්නේ ඇයිදැයි කිසිවෙකුටවත් පැහැදිලි කළ නොහැකි බව ඇය දැන සිටියාය. සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක් ගැන විමසිලිවත් වන්නේ ඔහු ගැන කැමැත්තක්, ආදරයක් ඇති වූ විටය. එහෙත් ඇයට ධර්මජීව ගැන දැනුණේ කුතුහලයක් සහ අනුකම්පාවක් පමණි. ධර්මජීව වුවත් තමන්ට කැමතිදැයි ඇයගෙන් ඇසුවේ තමන් ගැන ඇති කැමැත්තකින් නොවන බවත් ඇයට වැටහිණි. මහත් කැළඹීමකින් පසු වූ බවක් පෙනුණු ඔහු ඇය හා කතාබහ කළේ යම්කිසි දෙයක් තහවුරු කරගැනීමට මෙනි. පසු දින ඔහු හා බලෙන් හෝ කතා කර මෙය විසඳා ගත යුතු බව ඇය අවසානයේදී තීරණය කළාය. තමන්ට කිසිවෙක් අනුකම්පා කරනවාට ධර්මජීව අකමැති වන්නට ඉඩ ඇත. එහෙත් ඔහු සත්‍යය දැනගත් පසු ඉදිරියට වැරදි වැටහීම් ඇතිවීම වළක්වාගත හැකි වනු ඇත.
එහෙත් ඒ හෙට දවස එළඹුණේ නැත. ඊළඟ දිනයේත් ඉන්පසු එළඹුණු දිනවලත් සරසවියේ කොතැනකවත් ධර්මජීව දක්නට නොවීය. වටින් ගොඩින් ආරංචි වූ ආකාරයට ධර්මජීව දිනක් රාත්‍රියේ නේවාසිකාගාරයට පැමිණ තිබුණේ නැත. ඔහු යන එන තැන් කිසිවකුට කීමේ පුරුද්දක් නොතිබුණු නිසා ඔහු ගිය තැනක් දැන සිටි කිසිවෙක් නොවීය. කීප දිනකට පසු සරසවියේ පරිපාලන අංශයෙන් ඔහුව සම්බන්ධ කරගන්නට ගත් උත්සාහයත් ව්‍යර්ථ විය. ධර්මජීව සතුව තිබුණු ඇඳුම් දෙකතුනත්, ෆයිල් කවර කිහිපයක් පුරවා තිබුණු ඉතා පිළිවෙල සටහන් මිටියත්, පොත්පත් කිහිපයත් එලෙසම විය. ඔහු අතුරුදන්ව තිබුණේ තමා හා ප්‍රථම හා අවසාන වතාවට කතා කළ දින රාත්‍රියේ බව කිසිවෙකුට නොකියා ඉන්නට දිල්ශාරා ප්‍රවේසම් විය. තමන් වරදක් කර නැතත් ඔවුන් අතර වූ කතාබහත් ඔහුගේ අතුරුදන් වීමත් අතර සම්බන්ධයක් ඇතැයි අයගේ යටි සිත චෝදනා කරන්නට විය. ඒ වෙද්දී අර්ධ-වර්ෂ විභාග ආසන්න වෙමින් තිබුණු අතර පැවරුම් ගොඩ ගැසී තිබිණි. කිසිකෙනෙක්ව සමීපව ආශ්‍රය නොකළ නිසා ධර්මජීව ගැන සොයන්නට, තැවෙන්නට කිසිවෙක් සිටියේ නැත. දිල්ශාරා පමණක් ඔහුගේ අතුරුදන් වීම ගැන අහස පොලොව ගැටලමින්, තමන්ට ඔහු වෙනුවෙන් යමක් කරන්නට තිබුණා නොවේදැයි ලතවෙමින් පසුවිය.
ඇයට නැවත කිසිදිනක ධර්මජීව ඇස ගැටුණේ නැත.
………………………………………………………
“අක්කා ධර්මජීව අයියාව අඳුරනවා කිව්වාම හිතාගන්නවත් බැහැ. එයා ඉස්කෝලේදී අපේ ලොකු අයියලාගේ පෙළේ හිටියේ” මාලතී කීවේ ගැඹුරු හුස්මක් හෙළමිනි.
“ධර්මජීව අයියා ඉගෙනගන්න හරිම දක්ෂයි. හැමදාම පන්තියේ පළවෙනියාලු. තාත්තා දාලා ගිහින් නිසා අමාරුවෙන් ජීවත් වුණේ. එයාගේ පවුලේ තව නංගිලා දෙන්නෙක්. ඕලෙවල් ඉවර වෙලා ධර්මජීව අයියා කීප සැරයක් රස්සාවකට යන්න හැදුවත් සිරියා නැන්දා ඒකට ඉඩ දීලා නැහැ. ඒනිසා අයියා ගමේ සිල්ලර කඩේක ඉස්කෝලෙන් පස්සේ බඩු කිරුවේ කීයක් හරි හොයාගන්න. ඒ අතරේ කඩේ මුදලාලිගේ දුව එක්ක අයියාගේ සම්බන්ධයක් ඇතිවෙලා. ඒ අක්කා ලස්සනයි. ධර්මජීව අයියාත් නළුවා වගේනේ. කොහොමහරි මුදලාලි ඔය බව දැනගෙන දුවට තරවටු කරලා. ඒත් දුව හොඳටම මුරණ්ඩු වෙලා. ඔය අතරේ දවසක් රෑ කඩේට හොරු පැනලා. කඩේ නිදාගෙන හිටිය ධර්මජීව අයියාට ඇහැරුණු හින්දා උන් පොල්ලකින් ඔලුවට ගහලා කියලයි කතාව ගියේ. ඒත් ගමේ මිනිස්සු කියන්නේ ඒක මුදලාලිම කළ වැඩක් කියලා. ධර්මජීව අයියාගේ ඔලුව පැලුණු තුවාලේ නම් හොඳ වුණා. ඒත් ඊටපස්සේ එයා වෙනස් වුණා. බලාගත් අත බලාගෙන ඉන්න ගත්තා. තනියම කතා කරන්න ගත්තා. කතා නොකරම ඉන්නත් ගත්තා. සිරියා නැන්දා නොගිය දේවාලයක් නැහැ අයියාව සනීප කරගන්න. මුදලාලිගේ දුව කුමාරි අක්කාත් එක එක විදි වලින් මහන්සි වුණා. ඒලෙවල් ප්‍රතිපල ආවේ ඔය කාලේ. ධර්මජීව අයියා කැම්පස් තේරිලා කියලා ආරංචි වුණා. ඊටපස්සේ අයියාට ටිකක් ගුණ බවක් පෙනුණා. හරියට අලුත් බලාපොරොත්තුවක් ලැබිලා වගේ. එයා කැම්පස් යන්න සූදානම් වුණා. අපි නම් හිතුවා උපාධිකාරයෙක් වෙන්න යන නිසා මුදලාලි ධර්මජීව අයියාට කැමති වෙයි කියලා, ඒත් මුදලාලි බලෙන්ම වගේ කුමාරි අක්කාව වෙන කෙනෙකුට බන්දලා දුන්නා. ධර්මජීව අයියා ඒ ගැන ගාණක් නැති විදිහටයි හිටියේ. අපේ අයියලා ඇහුවාමත් ‘ඕවා අතෑරලා දාපන්’ කිව්වලු. ගමේ හැමෝම හිතුවා අයියාගේ අපල කාලේ ඉවරයි කියලා. ඉන්පස්සේ අයියා කොළඹ ආවා. කැම්පස් එකේ වැඩ හොඳින් කරනවා කියලා සිරියා නැන්දාගෙන් ආරංචිවුණා.”
මාලතී එක හුස්මට කියා නැවතුණේ වචන හිරවූ ලෙසිනි.
“එයා කැම්පස් එකෙන් එකපාරට අතුරුදහන් වුණා මාලතී. අපිට එයා ගැන කිසි විස්තරයක් හොයාගන්න බැරි වුණා” දිල්ශාරා කීවේ අවුරුදු ගණනක් පැරණි වරදකාරී හැඟීම යළිත් සිත තුළින් හිස ඔසවද්දීය.
“එයා ගැන ආයෙත් දැනගන්න විස්තරයක් නැහැ අක්කේ. දවසක් උදේක ධර්මජීව අයියා එයා ඉස්සර වැඩ කළ කඩේ ඉස්සරහා වැටිලා හිටියා. ඒ වෙද්දීත් එයා මැරිලා හිටියේ. වස බෝතලය ගෙනත් තියෙන්නෙත් කොළඹින් කියලයි ගමේ අය කීවේ. මහා රෑක බස් තුනකත් ඇවිත්, හැතැප්ම ගාණක් පයිනුත් ඇවිත් තමයි මැරෙන්න එතැනට ඇවිත් තියෙන්නේ. එහෙම කරන්න හිතුනේ ඇයිද කියලා අපිට කවදාවත් දැනගන්න වෙන්නේ නැහැ ඉතින්” මාලතීගේ කටහඬ බිඳිණි. ඈ ඉන්පසු නිහඬ වූයේ ඒ ගැන කියන්නට තවත් කිසිවක් නැති බව හඟවමිනි.
"නම, ධර්මජීව චන්ද්‍රවංශ - ගම, කොත්වෙහෙර"
හිස් බැල්මෙන් ඈත බලාගෙන කී සිහින් තරුණයෙක්ගේ රුව දිල්ශාරාගේ දෑසේ ඇඳී ගොස් කඳුළු පටලයකින් බොඳව ගියේය.
photo- Oppo cam, edited in Snapseed