මේ එයින් කවි කීපයක්.
May 30, 2023
'සුසුමකින් සුළි සුළඟ' - ලක්ශාන්ත අතුකෝරල
November 04, 2022
සමර!
දිලිසුණ පියවර කීපය
අප එවා ඇත
වරක් පමණක්
මේ පොළව මත
කෙටි දුරක් ඇවිද යාමට
සතුටු වෙමි
ඒ කෙටි දුරින්
බොහෝ දුර මා පැමිණි පසු
අප එකට
දිලිසෙන පියවර කීපයක්
ගමන් කළ බැවින්
සිහින් මීදුමට
අතුරුදන් වන්න පෙර ඔබ
මගේ ජීවිතය
එම දිලිසෙන පියවර කීපය ය
~~~~~~~~~~
අතහරින විට
ඔසවා හැකිතරම් ඉහළට
හෙලිය යුතු වෙයි පහළට
කැබලිවනු පිණිස
කුඩාවට
ලොකු සතුට එවිට
ඇය කළේ ඒ විදිහට
~~~~~~~~~~~
දිය කඳුර
දැන් ගැඹුර
වළලුකර පොවන තරමට
යන්තමට පා දොවා ගන්නට...
මෑතක් වන තුරුම
ඉණ ළඟට
නහා පීනා නිවා සැනසුව...
එ කල
කරවටක් ගැඹුරට
ගිලුන කිමිදුන
කීප වර
ගිලී මිය යන්න තරම් සිත් වුණ
කෙතරම් ඉක්මනට
සිඳුනේ ද සාගරය.
~~~~~~~~~~
දැවෙයි ඇතුළත
සිහි වෙන හැමවිටම
දැවෙයි ඇතුළත
සිහිනොවෙනු ඇති යැයි
සිතෙන හැම විටම
මෙයයි
සිදු විය හැකි හොඳම
මේ නොවෙයි
සිදු විය යුතු හොඳම
~~~~~~~~~~~~
පුපුරා නොයමි පිටතට
අසල රැඳි අයට
අනතුරක් වන ලෙසට
කඩා වැටෙනවා මිසක ඇතුළට
දැවී නිමවී
අඟුරු කැටයක් වීමට
මකා දා සියල් ඉතිහාස මතක
ආපසු කිසිවෙකුට
කියවිය නොහැකි විලසට
~~~~~~~~~~~~
බැඳෙන විට
හරියට බැඳී නැති
බිඳෙන විට
හරියට බිඳී නැති
~~~~~~
ඔබ හා මා
මුණගැසීම නො වීම
මා නොතරදාමයෙ කුදා ය
නුඹ ස්වර්ණතිලකා ය
මා කැවුම් මුහුණැති කුස ය
නුඹ ක්ලියෝපත්‍රා ය
මා උද්දාල මහලු බමුණා ය
නුඹ පබාවතී රන්රුව ය
මුණ නොගැසීම
එහෙයින් ය
~~~~~~~~~~
ගමනේ මැදක් හරියේදී ය
බිඳෙනසුලුය
බිඳී විසිරෙනසුලුය
සැමවිටම
යලි එකතු කරගත යුතුය
පෑස්සිය නොහැකි වුව
එකට ගොනුකර
රැගෙන යා යුතුය
මෙතෙක් කල්
යහපත් සියලු මිනිසුන්
යහපත් සියලු ගැහැනුන්
කළා මෙනි
~~~~~~~~~
අවට පරිලෝකනය කරත
ඇස් නතර වෙන රූ කීපයක්
මංගල සාදයේ සාරි ගොඩ මැද
රූමත් ගැහැණියක්
ලැම ඉග උකුල
යහපත් පරිමාණයෙන් යුතු
දෙවරක් බැලිය යුතු
පසුම්බිය තුලින් ආ උපැස්
පසුම්බිය තුලට නැවතත්
ඒ බිරිඳ
ගෙදර දී නො පෙනෙන
සිත නුඹ නොපණත් ය
අයිතිකරු පවා රවටන
(සේයාරුව ayithiya.lk)
August 23, 2022
කවි පොත් කීපයක්
දීර්ඝ ලිවීමේ කටයුත්තක නිරතවෙලා හිටිය නිසා පහුගිය ටිකේ බ්ලොග් එක වෙනුවෙන් අලුත් දෙයක් ලියන්න ලැබුණේ නැහැ. කොහොමත් මට තදබල deadline භීතිකාවක් තියෙන නිසා ඉවරකරන්න යමක් නියමිත වෙලා තියෙද්දී චිත්‍රයක් වත් අඳින්න හිතෙන්නේ නැහැ. අන්තිමට අතක අමාරුවකුත් හදාගෙන deadline එකට ටිකක් කලින්ම වැඩ ඉවරකළ බව දැනුම් දෙන්නේ සතුටින්!
මේ සතුට නිමිත්තෙන් අද ගේන්නේ කවි පොත් පෝස්ට් එකක්.
කවි පොත් වලට මගේ හිතේ තෙතමනයක් තියෙන බව මගේ සමීපතමයෝ දන්නවා. ඒ මම කවි පොතක් ලියන්න නියමිතව තිබිලා මඟින් හැරිලා ආව කෙනෙක් නිසා වෙන්න පුළුවන්. perhaps in another life.
අපේ council පුස්තකාලයේ සිංහල පොත් ලොකු එකතුවක් තියෙනවානේ. ඒ අතර කවි පොතුත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඉඳහිට නිවාඩු පාඩු වෙලාවට මම එතැනින් කවි පොත් කීපයක්ම උස්සාගෙන එනවා. දැන් දැන් දකින්න ලැබෙන මේ පොත් වල කවරවල ලස්සන වෙනම මාතෘකාවකට කාරණාවක්. කවරත් කවි වගේ!
මේ මම රස වින්ද කවි පොත් කීපයක්. හිතේ රැඳුණු කවි දෙකකුත් උපුටා ගත්තා. තව රස කවි සෑහෙන්න තිබුණා. මීට අමතරව ගෙත්තම්පාණ පොතේ ඒ නමම තියෙන කවි පන්තියත් සිත කම්පා කරන සුළුයි. ටිකක් දිග නිසා උපුටා දැක්වූවේ නැහැ.
මාත් කවි ලියන (ලීව තමයි වඩාත්ම හරි) කෙනෙක් වුණත් දිග කතාවක් කෙටියෙන් කියන්න කවියට තියෙන සමත්කම හැමදාම මගේ හිතේ විස්මයක් ඇති කරනවා.
පුංචි
(ගෙත්තම්පාණ- රත්න ශ්‍රී විජේසිංහ)ගෑනුන්ට පුළුවන්
(බිමට වට සිත - එරන්දි ඉරේකා තිරාණගම)May 27, 2021
කවි පොත්
මා කවි ලියූ, කවි පමණක්ම ලියූ යුගයක් විය. නමුත් ඒ වෙද්දී මා වෙනත් කිසිම කවියෙක්ගේ කවි පොතක් කියවා නොතිබුණි. එවන් කාලයකදී මට කවි පොත් මිටියක් තෑගි ලැබුණි. අනෙත් කවීන්ගේ මානයන් හඳුනා ගන්නත් මගේ කවිවල උස් මිටි තැන් දකින්නත් උදවු දුන් ඒ පොත් මිටිය තවම මා ළඟ ආදරයෙන් සුරැකිව ඇත.
අදටත් පොත් සල්පිලකදී, පුස්තකාලයකදී කවි පොත් ළඟ මා සිත නවතින්නේ ඒ නිසා විය හැක. ලොක්ඩවුන් කාලය කවිපොත් හා ඒකාත්මික වීමට කදිමය.
මේ අනුරාධා නිල්මිණි කිවිඳියගේ 'රිදුම් පිරි පිරිමැදුම්' කවි පොතෙනි
පොත්-




