Showing posts with label fairy tales. Show all posts
Showing posts with label fairy tales. Show all posts

November 26, 2023

ගිනි කිරිල්ලිය

Translation of the Russian folk tale - ‘The Firebird’


බොහොම දුර අතීතෙක, ඈත රාජධානියක ගිනි කිරිල්ලියක් වාසය කළා. මේ කිරිල්ලියගේ වයස කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ, හැබැයි මේ රාජධානියේ වැසියන්ගේ මිත්තණියන්ගේ මිත්තණියනුත් ඈ ගැන කතන්දර අහලා තිබුණා. ගිනි කිරිල්ලියව ඇස් දෙකෙන් දකින ඕනෑම කෙනෙකුට ලොකු වාසනාවක් අත් වෙන බව හැමදෙනාම දැනගෙන හිටියා. කිරිල්ලියගේ පෙඳයෙන් පිහාටුවක් ගලවාගන්න පුළුවන් වෙන කෙනාට ඊටත් වඩා වාසනාවක් ලැබෙන බව තමයි විශ්වාසය තිබුණේ. ඒත් මේ ගිනි කිරිල්ලිය නිතරම හැංගිලා හිටිය නිසා කිසි කෙනෙකුට මේ වාසනාව ලැබුනේම නැති තරම්. ඒත් කවුරුවත් උත්සාහය නම් අත ඇරියේ නැහැ.

ඉවාන් කුමාරයත් මේ වගේ උත්සාහවන්තයෙක්. එයා තරුණයි, කඩවසම්- ඒත් එයාට කවදාවත් හැබෑම ආදරය හමුවෙලා තිබුණේ නැහැ.

"මට ගිනි කිරිල්ලියගේ පිහාටුවක් ලබාගන්න තිබුණා නම් මගේ ජීවිතයම වෙනස් වේවි," එහෙමයි එයා හිතුවේ.

රාජධානිය හරහා යන සංචාරකයන්ගෙන් ගිනි කිරිල්ලිය හොයාගන්න පුළුවන් තැනක් ගැන ඉවාන් කුමාරයා නිතරම ඇහුවා. ඒත් කිසි කෙනෙක් ඒ ගැන හරි තොරතුරක් දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදී දර විකුණන වයසක කාන්තාවක් රජ වාසලට ආවා.

ඉවාන් කුමාරයා සුපුරුදු විදිහට තමන්ගේ ප්‍රශ්නය මේ කාන්තාවගෙන් ඇහුවා. පලවෙනි වතාවට එයාට ඊට පිළිතුරක් ලැබුණා.

"අමරණීය කෝෂි කියන මායාකාරයාගේ උයනේ හැදෙන රත්තරන් ඇපල් කන්න ඔය ගිනි කිරිල්ලිය කැමතියි" වයසක කාන්තාව මෙහෙම කියද්දී කුමාරයාගේ ඇස් දෙක දිලිසුණා.

"එහෙනම් මම එතැනට යනවා!" ඔහු ප්‍රීතියෙන් කෑ ගැහුවා. "කොහෙද ආච්චියෙ මේ උයන තියෙන්නේ?"

වයසක කාන්තාව ඔලුව වැනුවා.

"කුමාරයාණෙනි, එහේ නම් යන්න එපා," ඈ කීවා. “කෝෂි හරිම නපුරෙක්, අනික එයාව මරන්නත් බැහැ. එයාගේ මන්තර හරි බලගතුයි.එයාගේ උයනට ඇතුල්වෙන අය ව එයා සදාකාලයටම ගල් ප්‍රතිමා බවට හරවනවා."

ඉවාන් කුමාරයා තමන්ගේ කඩුවට අත තිබ්බා.

"මම බය නැහැ! මම ඉවාන් සාර්විච්, මම මායාකාරයාගේ උයනේ ගිනි කිරිල්ලිය හොයාගන්නවා. ආච්චියෙ මට කියන්න එතනට යන පාර, මම ඔබට සදා ණයගැතියි."

වයසක කාන්තාව සුසුමක් හෙලුවා.

"උතුරු කඳු පන්තියෙන් නැගෙනහිර පැත්තට හැතැප්ම පහක් යන්න, ඉන්පස්සේ බටහිර ගංගාවෙන් දකුණු පැත්තට හැතැප්ම තුනක් යද්දි අඳුරු වනාන්තරය මැද්දේ උයන හමුවේවි."

"බොහොම ස්තූතියි ආච්චියේ, මට කවදාවත් ඔබව අමතක වෙන්නේ නැහැ," ඉවාන් කුමාරයා ආචාර කරමින් කීවා.

වයසක කාන්තාව ආයෙමත් සුසුමක් හෙලුවා.

"කුමාරයාව ගල් ප්‍රතිමාවක් බවට හැරවුනොත් නම් මාව අමතක වේවි" ඈ කීවා.

ඉවාන් කුමාරයා පහුවෙනිදාම පිටත් වුණා. කාන්තාවගේ උපදෙස් පිළිපදිමින් ඔහු බටහිරටත් දකුණටත් ගමන් කරලා තුන් දවසකින් උස් තාප්පයකින් වට වුණු මාලිගාවකට ළඟා වුණා.

තමන්ගේ අශ්වයා ව ගහක අත්තක ගැටගැහුව කුමාරයා උස ගහකට නැගලා මාලිගාවේ තාප්පයෙන් ඇතුළ බලන්න උත්සාහ කළා. මෙහෙම බලද්දී පෙනුණු දෙයින් ඔහුගේ හදවත මොහොතකට නතර වුණා.

මාලිගාවේ උයනේ ප්‍රතිමා අතරින්, අලංකාර මලින් බර මල් පඳුරු අතරින් ඉතාම සුන්දර කුමාරිකාවන් දහතුන් දෙනෙක් ඇවිදිමින් හිටියා. මේ හැම කෙනෙකුටම තමන්ටම ආවේනික ලස්සනක් තිබුණා. මෙයින් කුමාරිකාවන් දොළොස් දෙනෙක් එකට ඇවිදිමින් හිටියත් දහතුන් වැන්නිය හිටියේ තනියම. ඈ තාප්පයට කිට්ටු වෙද්දීම ඉහළ බලලා ඉවාන් ව දැක්කා.

ඒ ඇස් දෙක මුණගැහුණු ගමන් ඉවාන් ඈ ට හාද්දක් පා කරලා යැව්වා. ඒ මොහොතේ ඔහු ඒ කුමාරිකාව එක්ක ආදරයෙන් බැඳුණා. කුමාරයා ඈ වෙත අත දිගු කළත් ඈ තමන්ගේ ඇඟිල්ලක් දෙතොලට තෙරපලා ඔහුට අනතුරු ඇඟේව්වා. ඒ එක්කම භයානක මායාකරු කෝෂි වේගයෙන් මාලිගාවෙන් පිටතට ආවේ ගොරවමින්, වටපිට ඉවකරමින්.

"මට අමුත්තෙක් ගේ ගඳක් දැනෙනවා!" මායාකාරය බැරැන්ඩි හඬකින් කීවා. "ඇතුලට යන්න ලස්සන කෙල්ලනේ, ඇතුලට යන්න!" එහෙම කියමින් ඔහු කුමාරිකාවන්ව මාලිගාව ඇතුලට පිටත් කරේ සැකයෙන් වටපිට බලමින්.

මායාකරුට නොපෙනෙන්න ගහේ කඳට මුවාවුණු ඉවාන් ටික වෙලාවකින් ආයෙමත් වටපිට බැලුවා. ඒ වෙද්දී උයන පාලුවට ගිහින් තිබුණා. පෙනෙන්නට තිබුණේ ප්‍රතිමා කීපයකුත් උයන කෙලවරේ රත්තරන් ඇපල් ගෙඩි පිරුණු ගහකුත් විතරයි.

"රත්තරන් ඇපල්!" ඉවාන් ගේ ඇස් දෙක දිලිසුණා. "මට ගිනි කිරිල්ලිය අල්ලාගන්න පුළුවන් උනොත් මම එයාගෙන් පිහාටුවක් ඉල්ලා ගන්නවා. එතකොට මම ආදරය ලබන්න වාසනාවන්ත වේවි, සමහරවිට අර දහතුන්වෙනි කුමාරිකාවගේ අත ගන්න ලැබේවි."

රත්තරන් ඇපල් ඇති ගහට ළං වෙන ක්‍රමයක් හොයාගන්න හිතාගෙන ඉවාන් තමන් හිටිය ගහේ මුදුනටම නැග්ගා. ඒත් උයන වටා තිබුණු තාප්පයේ කොයි තැනක වත් ගේට්ටුවක්නම් දකින්න ලැබුණේ නැහැ. ඒත් තව ටිකක් විපරමින් බලද්දී උයන අතට නැමුණු ඕක් අත්තක් ඉවාන් ට පෙනුණා. එතැනින් නම් ඇතුළට පනින්න පුළුවන් වේවි!

පමා නොවී ඕක් අත්තේ උදව්වෙන් උයනට පැනගත්ත කුමාරයා වටපිට බලද්දී ප්‍රතිමාවන් පේළියක්ම දැක්කා. කිට්ටුවෙලා බලද්දී ඒ ප්‍රතිමාවන් හැටියට පෙනුණේ උයනට අනවසරයෙන් ආව තමන් වගේ වෙනත් තරුණයන් බව කුමාරයාට තේරුණාම ඔහු බයෙන් කිළිපොලා ගියා. ඒ ප්‍රතිමා වල මූණු වල තිබුණේ භ්‍රාන්ත වුණු පෙනුමක්. කුමාරයා ඉක්මන් ගමනින් රත්තරන් ඇපල් ගහ පැත්තට ගියා.

"මේ හැම කෙනෙක්ම ආදරය හොයාගෙන ආව අය ද? මේ නපුරු මායාකාරයා එයාලාව ප්‍රතිමා කරලද? අර කුමාරියන්ව හිරකරගෙන තියාගෙන ඉන්නේ ඇයි?" මෙහෙම යද්දී කුමාරයා කල්පනා කළා.

ඉවාන් කුමාරයා රත්තරන් ඇපල් ගහට කිට්ටුවෙද්දී ගහේ මුදුනෙන් තටු ගහන හඬක් යන්තමින් ඇහුණා- ඒ එක්කම බොහොම අලංකාර කිරිල්ලියක් ගහේ අනෙත් පැත්තේ අත්තක වැහුවා. ඒ කිරිල්ලියගේ පිහාටු දිලිසුණේ ගින්දර පාටින්. ඇගේ පෙඳය රතු පාටත් කහ පාටත් රත්තරන් පාටත් එකතුවුණු පාටකින් බැබලුණා. කිරිල්ලිය තමන්ගේ ඔලුව ඇල කරගෙන රත්තරන් ඇපල් තෝරන හැටි ඉවාන් බලාගෙන හිටියේ හුස්මත් අල්ලාගෙන.

"ගිනි කිරිල්ලිය!" ඉවාන් තමන්ටම මුමුණා ගත්තා. ඉන්පස්සේ ඔහු කිරිල්ලියට කිට්ටු වෙන්න පියවරක්, දෙකක්, තුනක් තියලා උඩ පැනලා ඇගේ පෙඳය අල්ලා ගත්තා.


"මාව අත අරින්න, මාව අත අරින්න!" කෑ ගසමින්, දඟලමින් කිරිල්ලිය ඉවාන් කුමාරයාගේ මූණට තමන්ගේ අත්තටු ගැහුවා. ඒත් කුමාරයා තදින්ම අල්ලාගෙන හිටියා. අන්තිමේදී දඟලලා හෙම්බත් වුණු ගිනි කිරිල්ලිය නිසොල්මන් වුණා

"ඔබ කවුද? ඔබට මොනවාද වුවමනා?" ඈ ඇහුවා.

"මම ඉවාන් කුමාරයා," ඔහු කීවා. "මට වාසනාවත් ආදරයත් ලබාගන්න ඔබේ පෙඳයෙන් පිහාටුවක් වුවමනායි."

ගිනි කිරිල්ලිය ඔලුව හරවලා කුමාරයා දිහා බැලුවා.

"ආදරය?" ඈ ඇහුවා. "ඔබ ආදර හොයනවාද?"

කුමාරයා සුසුමක් හෙලුවා.

"ඔව්" ඔහු කීවා.

"ඔබට වුවමනා දේ මම දුන්නොත් ඔබ මට යන්න දෙනවාද?"

"මම පොරොන්දු වෙනවා" එහෙම කීව ඉවාන් කුමාරයා කිරිල්ලියගෙන් ඉවත් වෙලා දෑත පසුපසට කරගත්තා.

තරමක නිහැඬියාවකින් පස්සේ කිරිල්ලිය කුමාරයාට ආචාර කළා.

"ඔබෙන් බේරෙන්න මම ඉගිලිලා නොයයි කියලා විශ්වාස කිරීම ගැන ස්තූතියි. මෙන්න ඔබට පිහාටුවක්. කවදාහරි මාව වුවමනා වුණොත් කතාකරන්න."

එහෙම කීව කිරිල්ලිය තමන්ගේ දිලිසෙන පියාපත් විහිදලා ගහේ මුදුනට පියඹලා ගියා. ඉන්පස්සේ පහත උන්නු කුමාරයාට මෙහෙම කීවා.

"ආදරය හොයන ඔබේ ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා"

එහෙම කියලා ඈ අතුරුදන් වුණා.

ඉවාන් කුමාරයාට ලොකු සතුටක් දැනුණා. එයා පිහාටුව තමන්ගේ තොප්පියේ රඳවාගෙන රත්තරන් ඇපල් ගහේ කඳට හේත්තු වුණා. ඉර බැහැලා සිකුරු තරුව දිලිසෙන්න ගනිද්දී එයා මාලිගාව දිහා බලාගෙන දහතුන්වෙනි කුමාරිකාව ගැන කල්පනා කරමින් උන්නේ. ඒ මොහොතේම මාලිගාවේ දොර ඇරිලා කුමාරිකාවෝ දහතුන්දෙනා පිටතට ආවා. කළින් වතාවේ වගේම මේ සැරේත් කුමාරිකාවෝ දොළොස් දෙනෙක් රහස් කියමින්, හිනාවෙමින් හිටියාට දහතුන්වෙනි කුමාරිකාව හිටියේ තනියම. ඈ කෙලින්ම තාප්පය ළඟට ගිහින් ඉන් එපිට කුමාරයා ඉන්නවාද කියලා බලමින් හිටියා.

"කුමරිය, මම මෙහේ!" ඉවාන් රහසින් කීවා. ඒක ඇහිලා කුමාරිකාව ඉක්මණින් එතනට දුවලා ආවා. "ඔබ කවුද?" ඈ ඇහුවා. "මෙහේ ආවේ ඇයි? මේ මාලිගාව නපුරු මායාකාරයෙකුට අයිති බව දන්නේ නැද්ද? එයාට ඔයාව අහු වුණොත් ගල් ප්‍රතිමාවක් කරයි."

ඒත් ඉවාන් කුමාරයාගේ සිතිවිලිවල උන්නේ ඈ විතරයි.

"මම ආදරය හොයාගෙනයි ආවේ කුමරිය, ඉතින් මට ඔබව මුණගැහුණා." ඔහු ඈ වෙත අතක් දිගු කරමින් කීවා.

කුමාරිකාව මාලිගාව පැත්තට හැරිලා බලලා බයෙන් වෙව්ලුවා.

"අනිත් මිතුරියනුත් මාත් මෙතැන හිරකාරියෝ. කෝෂි කියන මායාකාරයා ජීවත්වෙලා ඉන්නකම් අපට ගැලවීමක් නැහැ, ඒ වගේම තමයි එයා කවදාවත් මැරෙන්නෙත් නැහැ. දැනටමත් එයා නිසා තරුණ ජීවිත සෑහෙන්න නැතිවෙලා තියෙනවා. අනේ කුමාරයෝ, තාම ඔබට ඉඩ තියෙන නිසා මෙතැනින් පැන ගන්න."

ඒත් කුමාරයා ඊට එකඟ වුණේ නැහැ.. “ඔබ මෙතැන ඉන්න තාක් මමත් ඉන්නවා” ඔහු කීවා. කුමාරිකාව කොයිතරම් බැගෑපත් වුණත් ඔහු ඒ අදහස වෙනස් කර ගත්තේ නැහැ.

ඒ රාත්‍රිය ගෙවෙද්දී ඉවාන් කුමාරයා කුමාරිකාවට තව තවත් ආදරයෙන් බැඳුනා. ඇගේ නම කැටරිනා බවත්, දවල් කාලයට නම් ඒ කුමාරිකාවන්ට මාලිගාවෙන් පිටතට එන්න ඉඩක් නොලැබෙනම තරම් බවත් ඈ කීවා. රෑට මායාකාරයා නින්දට වැටුණත් මාලිගාවත්, උයනත් මුරකර රාක්ෂයෝ කණ්ඩායමක් එයාගේ ඇඳ වටේ ඉන්න බව ඈ කීවා. කවුරුන් හෝ උයනට ඇතුල් වුණත්, කුමාරිකාවක් ඉන් පිට වෙන්න උත්සාහ කළත්, මායාකාරයා ඉක්මණින් ම ඇහැරෙන බවට ඈ අනතුරු ඇඟෙව්වා.

“ඉතින් ඔබට මාව බේරාගන්න ක්‍රමයක් නැහැ” කැටරිනා දුකෙන් කීවා.

ඉවාන් ඇගේ අත අල්ලා ගත්තා. “මම ඒක බලාගන්නම්කෝ” ඔහු කීවා. “හෙට මම ඔබව බඳින්න මායාකාරයාගෙන් අවසර ඉල්ලනවා. එයා ඊට විරුද්ධ වුණොත් ඔහුට මේ කඩුවෙන් කොටනවා!”

“අනේ ඉවාන්, ඒත් එයාට හදවතක් නැහැ, ඒ නිසා එයාව මරන්න බැහැ!” කුමරිය කීවේ සුසුමක් හෙලමින්.

ඒ වෙලාවේ කුකුලන් හඬලන හඬක් ඈතින් ඇහුණා. ඒක අහලා කුමාරිකාව සුදුමැලි වුණා.

“ඉර නඟින වෙලාවට කෝෂි අවදි වෙනවා, මම ඉක්මනින්ම මාලිගාව ඇතුළට යන්න ඕන. මගේ පස්සෙන් එන්න එපා ආදර ඉවාන්, එහෙම ආවොත් ඔබට මරණය උරුම වෙන බවට නියතයි.”

එහෙම කියලා ඉවාන් ට හාදුවක් දුන්නු කුමරිය, “මම කියන නිසා ආපහු යන්න!” කියා මාලිගාවට දුවලා ගියා.

කැටරිනා ගේ අනතුරු ඇඟවීම ගණන් නොගත් ඉවාන් තමන්ගේ කඩුව අතට අරගෙන මාලිගාවේ දොරටුවට ගිහින් ඊට තඩි බාන්නට පටන් ගත්තා.

ටික වෙලාවකින් ඇස් දෙකේ ගිනියම් පෙනුමක් තිබුණු රාක්ෂයෙක් දොරටුවෙන් එබිලා බැලුවා.

“මොනවාද තමුසෙට ඕන?” රාක්ෂයා ඇහුවා.

“මම ඉවාන් කුමාරයා. මට කෝෂි නම් මායාකාරයාව මුණගැහෙන්න ඕන. මේ ලෝකේ තියෙන වැදගත්ම රාජකාරිය ගැන කතාකරගන්න තියෙනවා.”

“ආ තමුසෙටත් ගල් ප්‍රතිමාවක් වෙන්න වුවමනා වෙලා වගේ,” රාක්ෂයා සමච්චලයට හිනා වුණා. “ඉන්නවකෝ මම බලන්නම් කෝෂි ඇහරිලාද කියලා.”

ඉවාන් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. ටික වෙලාවකින් මාලිගාවේ දොරවල් ඇරුණා. ඉන් පිටතට ආවේ දත් විලිස්සන, ගොරවන රාක්ෂයෝ කණ්ඩායමක්. එයාලගේ කහ පාට දළත් උල් නියත් හොඳින් පෙනුණා. උන්ට පිටිපස්සෙන් කෝෂි එනවා පෙනුණා. කේන්තිය නිසා එයාගේ දෑස් දිලිසුණා, මූන අඳුරු වෙලා තිබුණා.

“මගේ දොරට තඩිබාන්න තරම් එඩිතර වුණු උඹ කවුද?” මායාකාරයා කේන්තියෙන් කෑ ගැහුවා.

කුමාරයා ඔහුට ආචාර කළා.

“මම ඉවාන් කුමාරයා. මම ආවේ කැටරිනා කුමාරියව විවාහ කරගන්න අවසර ඉල්ලන්නයි.”

මේක අහලා කෝෂි කේන්තියෙන් වෙව්ලන්න ගත්තා. “මේ ලැජ්ජා නැති කමට නම් සම්පූර්ණ දඬුවමම දෙන්න ඕන. මෝඩ කුමාරයා අන්තිම වතාවට ඉරත්, අහසත් දිහා බලාගනින්. තව සුළු මොහොතකින් උඹ ගල් වෙනවා!”

මෙහෙම කියලා මායාකරු දෑත ඉහළට එසෙව්වා. ඉවාන්ට විපර්යාසයක් වෙන තුරු කෝෂි ගේ දෙපා වටා උන්නු රාක්ෂයෝ කෙළ හලමින්, ගොරවමින් බලාගෙන හිටියා.

“තත්පරයක් ඉන්න!” කී ඉවාන් තමන්ගේ තොප්පියෙන් ගිනි කිරිල්ලියගේ පිහාටුව පිටතට ගත්තා. ඉන්පස්සේ ඔහු ඒක ඒ මේ අත වනමින් “ගිනි කිරිල්ලිය, මෙතැනට එන්න, මට ඔබේ උදවු අවශ්‍යයයි” කියලා හඬගාලා කීවා.

එක පාරටම රන් පැහැති තටු දිලිසුමක් පෙනුණා. ගිනි කිරිල්ලිය මොහොතින් ඉගිලිලා එතැනට ආවා. මායාකරුගේ හිස වටේට කැරකෙන්නට ගත්ත ඈ ගීයක් ගයන්නට වුණා. ඒ ගීය ඇහෙද්දී ඉවාන් ගේ දෙපා ‘නටන්න!’ යි බලකරමින් කිති කැවෙන්නට වුණා.

රාක්ෂයෝ කණ්ඩායමට නම් මේ ආරාධනාව පිළිනොගෙන ඉන්නට බැරිවුණා. උන් ඒ අතට මේ අතට වීසි වෙමින් රවුමට නටන්නට ගත්තා. කෝෂි ටත් තමන්ව පාලනය කරගන්නට බැරි බව පෙනුණේ ඔහුත් ඒ මේ අතට වැනෙමින් නටන්නට වුණු නිසා යි. මේ මායාකාරී සංගීතය නිසා අන්තිමේදී මායාකාරයාත් ඔහුගේ රක්ෂයෝ හැමකෙනෙක්මත් නටමින් හිටියා. ඉතාමත් වේගයෙන් නටන්නට ගත් මේ පිරිස දිහා ඉවාන් බලාගෙන හිටියේ හරිම පුදුමයෙන්. බොහොම වෙලාවක් වේගයෙන් නැටුවාට පස්සේ එයාලා හෙම්බත්ව බිම ඇදගෙන වැටිලා ගැඹුරු නින්දකට පත් වුණා.

ගිනි කිරිල්ලිය ඉවාන් ළඟින් නැවතුණා. ඔහු ඇයට ස්තූති කරන්නට සැරසෙද්දී ඈ ඔහුට බාධා කළා.

“ඉක්මණින් රන් ඇපල් ගහ ළඟට යන්න. එහි මුල් අතර ඔබට බිත්තරයක් දකින්න ලැබේවි. අමරණීය කෝෂි ගේ හෘද වස්තුව තියෙන්නේ ඒ බිත්තරය ඇතුළේ. ඒ බිත්තරය බින්දොත් කෝෂි මරණයට පත්වෙනවා. ඉක්මන් කරන්න, අන්න ඔහු නැගිටින්න හදන්නේ!”

ඉවාන් ඇපල් ගස වෙත දිව්වේ ඔහුගේ හදවත වේගයෙන් ගැහෙද්දි. ගහේ මුල් අතර දෑතින්ම හාරමින් ඔහු ගිනි කිරිල්ලිය කී බිත්තරය හෙව්වා. අන්තිමේදී මුල් අතර බොහොම ගැඹුරකින් ඔහුට එය හම්බවුණා.

වෙව්ලන දෑතින් බිත්තරය පිටතට ගත් ඉවාන් කුමාරයා, හැකි වෙර යොදා එය බිමට හෙලුවා. බිත්තරය කැබලි දහස් ගණනකට බිඳී යද්දී මාලිගාව දෙසින් වේදනාවෙන් කෑ ගහන හඬක් ඇසෙන්නට වුණා. කෝෂි මියගිහින් තිබුණු අතර ඔහුගේ නපුරු රාක්ෂයෝ දියවී යමින් සිටියා.

“ඉවාන්- මගේ ඉවාන්!” උයනට දුවගෙන ආව කැටරිනා කුමාරිය ඉවාන් කුමාරයා ව වැළඳ ගත්තා. ඈ එක්කම අනෙත් කුමාරිකාවන් දොළොස් දෙනාත් තමන්ගේ හිරගෙදරින් නිදහස් වීමේ සතුටින් ඉපිලෙමින් දිවගෙන ආවා.

තවත් මොහොතකින් උයනේ තිබුණු ප්‍රතිමාවන් වෙව්ලන්නට වුණා. ප්‍රතිමා දොළහක් තිබුණු තැන තරුණයන් දොළහක් පෙනුණා.

ඉවාන් කුමාරයාත්, කැටරිනා කුමාරියත් සදාකාලයම සතුටින් ජීවත් වෙන්න උයනෙන් පිට වී යද්දී ගිනි කිරිල්ලිය ඔවුන්ට ආශිර්වාද කරමින් අහසේ වටයක් ඉගිලුණා. හැම දේම යහපත් විදිහට විසඳුනු නිසා ඈ හිටියේ සතුටින්.

ඇයට තවත් එක රාජකාරියක් ඉතිරිවෙලා තිබුණා. රන් පැහැති අත්තටු සලමින් ගිනි කිරිල්ලිය රන් ඇපල් ගහට පියඹුවා. දැන් ඈ ට හිතේ හැටියට ඇපල් කන්න පුළුවන්!

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

The story of the Firebird has been adapted to a ballet and orchestral concert work by the Russian composer Igor Stravinsky.



Picture- Digital Collage


March 19, 2022

එඩිතර යකඩ සොල්දාදුවා




(Translation of the fairy tale ' The Steadfast Tin Soldier' by Hans Christian Anderson)

එක්තරා කාලයකදී යකඩ සොල්දාදුවෝ විසිපස් දෙනෙක් සිටියා. මේ හැම දෙනාම තනා තිබුණේ එකම යකඩ හැන්ද උණු කර නිසා මේ අය සහෝදරයන්. ඔවුන් හැම කෙනෙක්ම තම බයිනෙත්තු උර මත තබාගෙන සීරුවෙන් ඉදිරිය බලා සිටියා. රත් පැහැයෙන් සහ නිල් පැහැයෙන් යුතු වූ ඔවුන්ගේ නිල ඇඳුම් දකුම්කළුව දිලිසුණා. ඔවුන් සිටි පෙට්ටිය විවර කෙරුණු විට ඔවුන්ට මේ ලෝකයේ පළමු වරට ඔවුන්ට අසන්නට ලැබුණු වදන් පෙළ "යකඩ සොල්දාදුවෝ!" යන්නයි. මෙසේ කීවේ සතුටින් ඉපිලෙමින්, අත්පුඩි ගසමින් සිටි කුඩා පිරිමි දරුවෙක්. මේ සොල්දාදුවන් රැස ඔහුගේ උපන්දිනය වෙනුවෙන් තෑගි ලැබී තිබුණු අතර ඔහු ඉනික්බිති ඔවුන්ව මේසය මත පෙළ ගැස්වූවා.

මේ සොල්දාදුවන් එකෙක් හැර අන් සියලු දෙනාම එක වැනිවම පෙනුණා. එහෙත් එක් සොල්දාදුවෙකුට තිබුනේ එක පාදයක් පමණයි. මේ සොල්දාදුවන් තනද්දී ඔහුව තනා තිබුණේ අන්තිමටම වූ අතර ඔහුගේ පාදය තනන්නට යකඩ ප්‍රමාණවත් ව තිබී නැහැ. නමුත් ඔහුත්, දෙපයක් තිබුණු ඔහුගේ සහෝදරයන් මෙන්ම ඉතා සීරුවෙන් සිටියා. අපූරු ඉරණමක් උරුම වූ තිබුණේ මොහුටයි.

මේ සොල්දාදුවන් තබා තිබුණු මේසය මත තවත් සෙල්ලම් බඩු රැසක් දක්නට තිබුණා. නමුත් මේ අතරින් වඩාත්ම කැපී පෙනුණේ කඩදාසි මාලිගාවයි. එහි කුඩා කවුළු තුළින් එහි අමුත්තන්ගේ ශාලාව පැහැදිලිව පෙනුණා. මාලිගාව ඉදිරිපස පොකුණක් සේ දිස් වන්නට කැඩපතක් තබා තිබුණු අතර ඒ වටා කුඩා ගස් පෙළක්ද තිබුණා. ඉටියෙන් තැනූ හංසයන් මේ පොකුණ මත පිහිනද්දී ඔවුන්ගේ ඡායාව කැඩපතෙන් පිළිඹිබු වුණා.

මේ සියලු දේ ඉතා අලංකාර වූවත් ඒ අතරින් වඩාත්ම අලංකාර වූයේ මාලිගාවේ විවර දොර අසල සිටි යුවතියයි. ඈ ද කඩදාසියෙන් නිමවී තිබුණත් ඈ ඉතා දුහුල් රෙද්දකින් මැසූ ගවුමක් හැඳ සිටියා. ඇගේ උරහිස් වටා සාළුවක් ලෙසින් නිල් පැහැති පීත්ත පටියක් රඳවා තිබුණු අතර එය මැදින් දිලිසෙන සරුව පිත්තල රෝස මලක් අමුණා තිබුණා. ඈ නැටුම්කාරියක් නිසා ඇගේ දෑතම එසවී තිබුණා. ඇගේ එක් පාදයක්ද බෙහෙවින් එසවී තිබුණු අතර සොල්දාදුවාට එය නොපෙනුණු නිසා ඇයටද ඔහුට මෙන්ම එක් පාදයක් පමණක් ඇතැයි ඔහු සිතුවා.

"ඈ තමයි මට ගැලපෙනම බිරිඳ," ඔහු කල්පනා කළා . "නමුත් ඇගෙන් පෙනෙන්නේ බොහොම උසස් බවක්. අනික ඈ වෙසෙන්නේ මාලිගාවක. මට නම් තියෙන්නේ ලී පෙට්ටියක් විතරයි, අපි විසිපස් දෙනාම ඉන්නේ ඒක ඇතුළේ. ඈ වගේ වැදගත් තරුණියකට ගැලපෙන තැනක් නෙමෙයි ඒක. ඒත් මම කැමතියි ඈ ව අඳුනාගන්න."

මේ මේසය මත දුම්කුඩු පෙට්ටියක් තිබුණා. තමන් එය පසුපසින් වැතිරුණහොත් කිසිවෙක්ට නොපෙනෙන්න ඉතා සීරුවෙන්, නොවැටී තනි කකුලෙන් සිටගෙන සිටින මේ සියුමැලි තරුණිය නරඹන්නට හැකි බව ඔහුට වැටහුණා.

හවස් වෙද්දී ඔහු හැර අන් සියලුම යකඩ සොල්දාදුවන්ව ඔවුන්ගේ පෙට්ටියේ තැන්පත් කෙරුණු අතර නිවැසියන් නින්දට ගියා. මේ, සෙල්ලම් බඩු සෙල්ලම් කරන්නට ගන්නා වේලාවටයි. ඔවුන් එකිනෙකා බලන්නට නෑගම් යමින්, සටන් කරමින්, සාද පවත්වමින් සතුටු වුණා. පෙට්ටිය තුළ සිටි යකඩ සොල්දාදුවන් පෙට්ටිය සොලවමින් දැඟලුවේ ඉන් පිටතට පැමිණ අන් අයට එක්වීමටයි. නමුත් ඔවුන්ට එහි පියන ඔසවාගන්නට හැකි වූයේ නැහැ. බෝනික්කන් පිනුම් ගසමින් සිටි අතර පැන්සල විසිළු අකාරයකට උඩ පනිමින් සිටියා. මොවුන් කොයිතරම් ශබ්දයක් නැඟුවාද යත් නිදා සිටි කැනරි කුරුල්ලා අවදිව කවි පද ගායනා කරන්න වුණා. තමන් සිටි තැන්වලින් නොසෙල්වී සිටියේ යකඩ සොල්දාදුවාත් නටන තරුණියත් පමණයි. ඈ පයේ ඇඟිලි තුඩු මතින් සිටගෙන දෑත් දිගුකරගෙන සිටි අතර ඔහුද එලෙසම දැඩි උත්සාහයෙන් එක් පයකින් සිටගෙන සිටියේ ඇය වෙතින් දෑස ඉවත් නොකරගෙනමයි.

රාත්‍රී දොළහ එළඹුණු විටම මහා හඬක් නඟමින් දුම් කුඩු පෙට්ටියේ පියන විවර වූවා. ඇත්තටම නම් එය දුම්කුඩු පෙට්ටියක් නොවෙයි. එහි සිටියේ කුඩා කළු බියකරු මිනිසෙක් පමණයි

"යකඩ සොල්දාදුවා," ඔහු කීවා, "තමන්ගේ දෑස තමන් ළඟ තියාගන්න. තමන්ට අදාළ නැති දේවල් දිහා බලන්න එපා!"

යකඩ සොල්දාදුවා මෙය නෑසුණු ලෙසින් සිටියා.

"හරි එහෙනම්, හෙට බලාගමු," පෙට්ටියෙන් ආ මිනිසා කීවා.

පසුදා උදෑසන නිවසේ දරුවන් අවදි වෙද්දී යකඩ සොල්දාදුවා සිටියේ ජනෙල් පඩිය මතයි. හරියටම වරද කුඩා මිනිසාගේ ද සුළඟේ ද යන්න පැහැදිලි නැතත් හදිසියේ හැමූ සුළං රැල්ලක් නිසා කවුළුව එක්වරම විවර වූ අතර සොල්දාදුවා තුන්වෙනි මහලෙන් පහත වීදිය වෙතට වැටුණා. ඔහු වැටුණේ හිස පහළට සිටින ලෙසයි. වැටෙන අතරමඟදී කීපවරක්ම කරනම් ගැසූ ඔහු අවසානයේදී බිම රැඳුනේ හිසත් බයිනේත්තුවත් මාවතේ ගල් පතුරු අතර සිරවෙන ලෙසත් ඔහුගේ එකම පාදය ඉහළට මතුවෙන ලෙසත්.

මෙහෙකාරියත් නිවසේ කුඩා දරුවාත් ඔහුව සොයන්නට වරක් පැමිණි විට ඔහුව ඔවුන්ට පෑගෙන්නට ගියත් ඔවුන් ඔහුව දුටුවේ නැහැ. සොල්දාදුවා එක් වරක් හෝ "මම මෙහේ" කියා කෑ ගැසුවානම් ඔවුන්ට පහසුවෙන්ම එය ඇසෙන්නට තිබුණා. නමුත් නිල ඇඳුමෙන් සිටින වේලාවකදී එසේ උදවු ඉල්ලා කෑ ගැසීම තරම් නොවේයැයි ඔහුට සිතුණා.

නොබෝ වෙලාවකින් වැස්සක් ඇද හැලුණා. ක්‍රම ක්‍රමයෙන් වැසි දිය වේගයෙන් වැටෙන්නට වූ අතර ඉක්මණින්ම එය මහා වැස්සක් බවට පත් වුණා. වැස්ස නැවතුණු පසු එතැනින් යන්නට ආවේ තක්කඩි කොලුවන් දෙදෙනෙක්.

"මේ බලන්න," ඉන් එකෙක් කීවා. "මෙන්න ඉන්නවා යකඩ සොල්දාදුවෙක්. අපි එයාව නැව් නග්ගමු."

ඔවුන් පත්තර කඩදාසියකින් බෝට්ටුවක් තනා, සොල්දාදුවා ව එහි මැද්දේ තබා කානුවේ එය පාකර යැව්වා. බෝට්ටුව වේගයෙන් ඇදී යද්දී කොලුවන් දෙදෙනා අත්පොලසන් ගසමින් කානුව අසලින් දිව ගියා. දෙවියනේ, කාණුවේ වතුර රැළි නැඟුණු තරම්! ඒ වතුර ගලා ගිය ඉක්මන! මීට හේතුවුණේ ඊට සුළු වෙලාවකට කලින් වැටුණු මහා වැස්සයි. කඩදාසි බෝට්ටුව වැරෙන් සෙලවෙමින්, උස් පහත් වෙමින් ඇදී ගියා. සමහර වේලාවට එය කෙතරම් කැරකුණා ද කියනවානම් සොල්දාදුවාට ක්ලාන්ත ගතියක් දැනෙන්නට වුණා. නමුත් ඔහු පෙර සේම සීරුවෙන්ම පසු වුණා. බිඳක් වත් නොසෙල්වී, ඉදිරියම බලා සිටි ඔහු තවමත් උරහිස මත තුවක්කුව තබාගෙන සිටියා. එක්වරම කානුව ලෑල්ලකින් වැසුණු තැනක් ඔස්සේ බෝට්ටුව ගමන් කළා. හාත්පස තිබුණේ සොල්දාදුවාගේ ලී පෙට්ටියේ තරම්ම අඳුරක්.

"කොහෙද මම මේ යන්නේ?" සොල්දාදුවා කල්පනා කළා. මේක අර අද්භූත මිනිහා මගෙන් පලිගන්න කළ දෙයක් වෙන්න ඕන. අනේ අර කෙල්ල මගේ ළඟ හිටියා නම්, එහෙනම් කොයිතරම් කළුවර වුණත් ගාණක් නැහැ."

එක්වරම කාණුවේ ලෑල්ල අතරින් විශාල දිය මීයෙක් මතු වුණා. ඔහු වාසය කළේ කාණුවේමයි.

"ගමන් බලපත්‍රයක් තියෙනවද?" මීයා ඇසුවා. "කෝ ගන්න බලන්න"

සොල්දාදුවා නිහඬවම සිටි අතර තවත් තදින් තම තුවක්කුව අල්ලා ගත්තා. බෝට්ටුව ඔහු පසු කර වේගයෙන් ඇදී යද්දී මීයා දත් කූරු සපමින්, කෑ ගසමින්, කෝටු කැබලි වීසි කරමින් එය පසුපස එලවන්නට වුණා.

"ඔය බෝට්ටුව නවත්තන්න, එයා මාර්ග ගාස්තු ගෙව්වේ නැහැ, එයා ගමන් බලපත්‍රය පෙන්නුවේ නැහැ!" ඔහු කෑ ගැසුවා.

නමුත් දිය පහර එන්න එන්නම වේගවත්ව ගලා ගියා. කාණුව වැසුණු ලෑල්ල පසු වූ විට අඳුර දුරු වී නැවතත් හාත්පස පෙනෙන්නට වුණා. නමුත් ඉන්පසු ඔහුට ඇසුණේ ඕනෑම එඩිතර කෙනෙක් පවා බය ගන්වන සුළු ශබ්දයක්. ඒ, නොබෝ දුරකින් කාණුව ඇළ මාර්ගයකට වැටෙන හඬ. මෙය සොල්දාදුවාට දිය ඇල්ලකින් පහතට වැටීමකට සමාන භයානක දෙයක්.

ඒ වෙද්දී ඊට බොහොමත්ම ආසන්නයෙන් සිටි නිසා ඔහුට බෝට්ටුව නැවත්වීමට හැකියාවක් තිබුණේ නැහැ. බෝට්ටුව පහතට වැටෙද්දී එය දිය සුළියකට අසු වුණා. අසරණ යකඩ සොල්දාදුවා හැකිතරම් එඩිතරව සිටින්නට උත්සාහ කළා, ඔහු ඇසිපිය හෙලුවේ වත් නැති තරම්. බෝට්ටුව තුන් වරක් කැරකී යද්දී එහි වතුර පිරෙන්නට වුණා. ක්‍රමක්‍රමයෙන් සොල්දාදුවා ගිලෙමින් සිටියා. බෝට්ටුව එන්න එන්නම ගැඹුරට යද්දී එහි කඩදාසිය මෙලෙක වී අප්‍රාණික වී ගියා. සොල්දාදුවාගේ හිසට ඉහළින් වතුර යද්දී ඔහුට සිහි වූයේ ඔහුට යළි කිසි දිනෙක දකින්නට නොලැබෙන අලංකාර නැටුම්කාර තරුණියව. පැරණි ගීයකින් කොටසක් ඔහුගේ සවනේ රැව් දුන්නා.

"එඩිතර සටන්කරු ඉතින් ආයුබෝවන්
නුඹව මරණයෙන් බේරාගනු
කිසිවෙකුට දැන් නොහැකියි"

කඩදාසි බෝට්ටුව කැඩී ගිය විට සොල්දාදුවා ගිලෙන්නට වුණා. හදිසියේම, ඒ මොහොතේ විශාල මාලුවෙක් ඔහුව ඩැහැ ගත්තා.

මාළුවාගේ කුස තුළ කෙතරම් අඳුරුද! එය කානුවටත් වඩා අන්ධකාර වූ අතර ඊට වඩා සිරවූ ගතියක් දැනුණා. නමුත් යකඩ සොල්දාදුවා එඩිතරකමින්ම සිටියා. ඔහු තුවක්කුව කර මත තබාගෙන නියම සොල්දාදු ලීලාවෙන්ම වැතිරී සිටියා.

හදිසියේම මාළුවා කිසිම හේතුවක් රහිතව දඟලන්නට වුණා. ඉන්පසු ඌ එක්වරම නිසල වූ අතර අකුණු පහරක් වැනි එළියක් ඌ තුළින් මතුවුණා. සොල්දාදුවාට නැවතත් දිවා ආලෝකය පෙනුණා. ඒ එක්කම "මෙන්න යකඩ සොල්දාදුවෙක්!" කියන කටහඬක් ද ඇසුණා.

කිසිවෙක් විසින් මාළුවා අල්ලා, ඌව වෙළඳපොල වෙත ගෙනගොස් තිබුණු අතර ඌ ව මිලදීගත් අය ඌව කුස්සියකට ගෙනා විට නිවසේ කෝකියා විසින් ඌ ව දෙපලු කර තිබුණා.

කෝකියා ඔහුව ඇඟිලි දෙකකින් ඔසවා උඩු මහලට රැගෙන ගියා. මාලුවෙක්ගේ කුස තුළ සංචාරය කළ මේ අරුම පුදුම සංචාරකයා දකින්නට හැම දෙනාටම වුවමනා වුවත්, සොල්දාදුවාට නම් ඒ ගැන ආඩම්බරයක් දැනුණේ නැහැ. ඔවුන් ඔහුව මේසයක් මත තැබුවා. කිනම් පුදුමයක්ද! මේ ලෝකයේ මේ තරම් විස්මයජනක දේ සිදුවිය හැකිද? ඔහු සිටියේ කලින් සිටි කාමරයේමයි. එතන සිටියේ කළින් ළමුන්මයි. මේසය මත තිබුණේ කලින් සෙල්ලම් බඩුමයි. අලංකාර කඩදාසි මාලිගයත්, හැඩකාර නටුම්කාර යුවතියත් එලෙසම සිටියා. ඇය තවමත් සිටියේ එක කකුලක් ඔසවාගෙන අනෙත් කකුලේ ඇඟිලි තුඩු මතින් සිටගෙනයි. ඇයද බොහෝ එඩිතරකමකින් එතැන සිටගෙන ඇති බව දකිද්දී ඔහුට ඈ ගැන දැනුණේ ගැඹුරු හැඟීමක්. සොල්දාදුවන් නොහඬන නිසාම මිස නොවේනම් ඔහු ඒ වෙලාවේ යකඩ කඳුළු බිඳු කිහිපයක් හෙලන්නට ඉඩ තිබුණා. ඈ ඔහු දෙස බැලූ අතර ඔහු ද ඈ දෙස බැලුවා. ඔවුන් අතර එක වචනයක්වත් හුවමාරු වුණේ නැහැ.

හදිසියේම එතැන සිටි එක් කුඩා පිරිමි ළමයෙක් යකඩ සොල්දාදුවා ව ඔසවා ගිනි උදුනට වීසි කළා. ඔහු එසේ කළේ කිසිම හේතුවක් රහිතවයි. සමහරවිට අර දුම්කුඩු පෙට්ටියේ සිටි බියකරු මිනිසාගේ බලපෑම ඊට හේතු වන්නට ඇති.

යකඩ සොල්දාදුවා සිටගෙන සිටියේ රත් පැහැති ගිනි දැල් මැදයි. ඔහුට තදබල උණුසුමක් දැනුනත් එය ගිනිදැල් වලින් නැගුණක්ද, ඔහුට දැනුණු ආදරය නිසා නැගුණක් ද ඔහු දැන සිටියේ නැහැ. ඔහුගේ නිල ඇඳුමේ තිබුණු අපූරු පැහැයන් වියැකී තිබුණු බව ඔහු දුටුවා. ඒ ඔහු ගෙවා ආ දුෂ්කර ගමන නිසාද, නොඑසේ නම් ශෝකය නිසාදැයි කිසිවෙක්ට කියන්නට හැකියාවක් තිබුණේ නැහැ.

ඔහු යුවතිය දෙස බලාගත්වනම සිටි අතර ඇය ද ඔහු දෙස නෙත් යොමාගෙනම සිටියා. ඔහුට දැනුණේ ඔහු දියව යන බවක්. ඔහු තවමත් තුවක්කුව උරයේ තබාගෙන එඩිතරව, සීරුවෙන් සිටියා.

හදිසියේම කාමරයේ දොර සුළඟට විවර වුණා. ඒ සුළං රැල්ල ම නැටුම්කාර යුවතිය වටා ද එතුනා. ඇය දිව්‍යාංගනාවක් ලෙසින් පියාසර කර එක එල්ලේම උදුන වෙත පාවී ගොස් සොල්දාදුවා අසලදීම එළියක් විහිදුවා, ගිනිබත් වී අතුරුදන් වුණා. සොල්දාදුවා ද දියව ගොස් යකඩ ගුලියක් බවට පත්වුණා.

පසුදින නිවසේ වැඩකරුවෙක් උදුනේ අළු අස්පස් කරද්දී එහි දුටුවේ හදවත් හැඩයකට ඉතිරි වූ ඒ යකඩ ගුලියයි. හැඩකාර නැටුම්කාරියගේ නම් ඉතිරි ව තිබුණේ ඇගේ සාලුව සැරසූ සරුවපිත්තල රෝස මල පමණයි. එයද අඟුරු වී ගොස් තිබුණා.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

March 05, 2020

ප්‍රීතිමත් කුමාරයා



නගරයට ඉහළින්, උස කුළුණක මුදුනේ ප්‍රීතිමත් කුමාරයාගේ පිළිමය තිබුණා. ඔහුගේ මුළු සිරුර ම සිහින් රන් පත්‍රයෙන් අලංකාර කර තිබුණා. ඔහුගේ දෑසේ නිල් මැණික් දෙකක් දිලිසුණා, ඒවගේම කඩු මිටේ දීප්තිමත් ව පෙනුණේ රත් මැණිකක්.


හැමදෙනාම කුමාරයාව නිරතුරුව අගය කළා. “ඔහු සුළං දිශා දර්ශකයක් තරම් දැකුම්කලුයි” තමන්ට බොහොම කලාකාමී අදහස් තිබෙන බවට මතයක් ගොඩනඟන්නට කැමැත්තෙන් උන් නගර සභා නිලධාරියෙක් කීවා. “ඒත් එතරම්ම ප්‍රයෝජනවත් නම් නැහැ” ඒ එක්කම ඔහු කීවේ මිනිසුන් ඔහු ප්‍රායෝගික නැති කෙනෙක් යැයි වරදවා වටහා ගනී යැයි බියෙන්.


“ඇයි ඔයාට ප්‍රීතිමත් කුමාරයා වගේ වෙන්න බැරි?” හඳ ඉල්ලමින් හඬන කුඩා දරුවෙකුගෙන් ඔහුගේ මව ඇසුවා. “ප්‍රීතිමත් කුමාරයා නම් කවදාවත් එක එක දේවල් ඉල්ලමින් කරන ඇඬිල්ලක් ගැන හීනෙකින් වත් හිතන්නේ නැහැ”


“මේ ලෝකේ එක්කෙනෙක් හරි බොහොම සතුටින් ඉන්න එක ලොකු දෙයක්” අලංකාර පිළිමය දෙස බලාගෙන උන් බලාපොරොත්තු සුන්වූ මිනිසෙක් සෙමෙන් මිමිනුවා.


පිරිසිදු සුදු ඇඟලුම් සහ රත් පැහැති කබා පැළඳ සිටි අනත්දරු නිවසේ දරුවන් පල්ලියෙන් පිටවෙද්දී පිළිමය දැක “ඔහු දේවදූතයෙක් වගේ” කීවා.

“ඔයාලා කොහොමද දන්නේ? ඔයාලා දේවදූතයෝ දැකලා නැහැනේ” එය ඇසී ඔවුන්ගේ ගණිතය ගුරුවරයා ඔවුන්ගෙන් ඇසුවා.

“ආ අපි දැකලා තියෙනවා, හීනවල” ළමුන් පිළිතුරු දුන්නා. ළමුන් හීන දැකීම අනුමත නොකළ ගුරුවරයා එය අසා නපුරු බැල්මකින් රවා බැලුවා.


එක් රාත්‍රියකදී පුංචි ලිහිණියෙක් නගරයට ඉහළින් පියාසලමින් සිටියා. ඔහුගේ මිතුරන් සියලු දෙනා ඊට සති හයකට කලින් ඊජිප්තුව බලා පියාසර කර තිබුණා. ඔහු ඔවුන් හා නොගොස් නතර වී තිබුණේ ඉතාම ලස්සන දිය තණ පඳුරක් හා ප්‍රේමයෙන් වෙලී උන් නිසායි. පළමුවරට ඈ ඔහුගේ නෙත ගැටුණේ වසන්ත කාලයේ මුලදී විශාල කහ පැහැති සලබයෙක් හඹාගෙන ගඟ පහළට ඉගිලෙද්දී. ඇගේ සිහින් ඉඟ දැක ඈ වෙත ආකර්ෂණය වූ ඔහු ඈ හා දොඩන්නට නතර වුණා.


කල් නොයවා අදාළ කාරණා ගැන කතාකරන්නට ප්‍රිය කළ ලිහිණියා, “මම ඔබට ප්‍රේම කරන්නද?” කියා ඇසූ විට තණ පඳුර හිස පහත් කර ඔහුට ඇගේ කැමැත්ත පෙන්වූවා. ඉතින් ඔහු පියාපත් දියෙහි ගාවමින්, රිදී රැළි නංවමින්, ඈ වටා කීප වරක් පියාසර කළා. ඔහුගේ මේ ප්‍රේම රංගනය මුළු ගිම්හාන කාලය පුරාවටම පැවතුණා.


“මේක නම් මහා විකාර සම්බන්ධයක්” අනෙත් ලිහිණින් කිචිබිචි ගෑවා. “ඈට කිසිම වස්තුවක් නැහැ, නෑදෑයෝත් වැඩියි.” ඇත්තටම ඈ වැනිම තණ පඳුරු ගඟ පුරාම පෙනෙන්නට තිබුණා. සරත් කාලය එළඹුණු විට ලිහිණින් හැම දෙනාම ඉගිලී ඈතට ගියා.


ඔවුන් යන්නට ගිය පසු පුංචි ලිහිණියාට මහත් පාළුවක් දැනුණා. ඒ වගේම ඔහුගේ පෙම්වතිය ගැන නොරිස්සුමක් දැනෙන්නටත් වුණා. “ඇගේ කිසිම කතාබහක් නැහැ” ඔහු කීවා, “ඒ වගේම සුළඟ එක්ක අඟර දඟර පානවා වැඩියි”. ඇත්තටම සුළඟ හැමූ හැම විටකම ඈ බොහොම සුන්දර ලෙස නැමි නැමී ආචාර කරනු පෙනුණා. “ඈ තරමක් ගෙදරට කොටු වූ කෙනෙක් බව මට තේරෙනවා” ඔහු තවදුරටත් කීවා. “ඒත් මම සංචාරයට ප්‍රිය කරන කෙනෙක්, ඒනිසා මගේ බිරිඳත් ඊට ප්‍රිය කළ යුතුයි”


“ඔබ එනවාද මා සමඟ යන්න?” ඔහු අවසාන වශයෙන් ඇගෙන් ඇසුවා. ඒත් දිය තණ පඳුර හිස සලා අකමැත්ත පළ කළේ ඈ ඇගේ නිවසට තදින්ම බැඳී උන් නිසායි.


“ඔබ මට ඔච්චම් කළා” එය දැක ඔහු කෑ ගැසුවා. “මම යනවා පිරමිඩ තියෙන පැත්තට!” එසේ කියා ඔහු ඉගිලී ගියා.


දවස පුරාම ඉගිලුණු ඔහු රෑ වෙද්දී නගරය වෙත ළඟා වුණා. “අද රෑට මම නවතින්නේ කොහේද? නගරය මා වෙනුවෙන් ලැහැස්ති වී ඇති කියලා මම හිතනවා”


ඔහු උස කුලුන මුදුනේ පිළිමය දුටුවේ එවිටයි.


“මම අද රෑට මෙතැන නවතින්නම්.” ඔහු කීවා. “තැනත් හොඳයි, හොඳ වාතශ්‍රයකුත් තියෙනවා”. එසේ කියූ ඔහු ප්‍රීතිමත් කුමාරයාගේ දෙපා මුල නතරවුණා.

“මට තියෙන්නේ රන් පැහැති නිදන කාමරයක්” ඔහු වටපිට බලමින්, නිදාගන්නට සූදානම් වෙමින් තමාටම හෙමින් කියාගත්තා. ඒත් නින්දට කලින් තමන්ගේ හිස තටුව අස්සේ සඟවා ගන්නට යද්දී ලොකු දිය බිඳුවක් ඔහුගේ ඇඟට වැටුණා. “මේ නම් හරිම විශ්මයක්” ඔහු පුදුම වුණා. “අහසේ එකම වලාකුළක් වත් නැහැ, තරු බොහොම දීප්තිමත්ව දිලිසෙනවා, ඒත් මෙන්න වහිනවා! උතුරු යුරෝපයේ දේශගුණය නම් අන්තිමයි. දිය තණ පඳුර නම් වැස්සට හරි මනාපයෙන් උන්නා. ඒත් ඒ ඇගේ ආත්මාර්ථකාමී බව නිසා යි.”


එවිටම තව දිය බිඳුවක් වැටුණා.


“වැස්සෙන් වත් හෙවණක් දෙන්න බැරි නම් පිළිමයකින් වැඩක් ඇතිද? හොඳ දුම් කවුළුවක් වත් හොයාගන්නට ඕනෑ” මෙසේ කියා ඔහු පියාපත් විදා ඉගිල යන්නට සැරසෙද්දී තුන්වෙනි දිය බිඳුවත් වැටුණා.


ඉහළ බැලූ ලිහිණියා දුටුවේ කුමක්ද?



ප්රීතිමත් කුමාරයාගේ දෑස කඳුළින් පිරී තිබුණු අතර ඔහුගේ රන් පැහැති කොපුල් හරහා කඳුළු ගලා යමින් තිබුණා. සඳ එළියේ දිස් වුණු ඔහුගේ මුහුණේ සුන්දර බව නිසා පුංචි ලිහිණියාට ඔහු ගැන මහත් අනුකම්පාවක් දැනුණා.

“ඔබ කවුද” ඔහු ඇසුවා

“මම ප්රීතිමත් කුමාරයා”

“එහෙනම් ඔබ වැලපෙන්නේ ඇයි?” ලිහිණියා ඇසුවා; “ඔබ නිසා මම හොඳටම තෙමුණා”


“මිනිස් හදවතක් ඇතිව මා ජීවත්ව උන් කාලයේදී කඳුළු කියන්නේ මොනවාද කියාවත් මා දැනගෙන උන්නේ නැහැ” පිළිමය පිළිතුරු දුන්නා. “මම වාසය කළේ ශෝකයට ඇතුළුවීමට තහනම්ව තිබුණු සන්-සූසි මාලිගයේ. දිවා කාලයේදී මම මගේ සගයන් හා එක්ව උද්‍යානයේ ක්‍රීඩා කළා. සවස්වරු වලදී මම මහා ශාලාවේ නර්තනයන්ට නායකත්වය දුන්නා. උද්‍යානය වටා බොහොම උස් පවුරක් තිබුණත් ඉන් එපිට තිබුණේ මොනවාදැයි හොයන්නට මම කවදාවත් උනන්දු නොවුනේ මගේ ජීවිතය ඉතාම ලස්සනට තිබුණු නිසා යි. මගේ අමාත්‍යවරු මට කීවේ ‘ප්‍රීතිමත් කුමාරයා’ කියලා යි. සැපත කියන්නේ සතුට නම් මම ඇත්තටම සතුටින් හිටියේ. ඉතින් ඔය විදිහට මම ජීවත් වුණා, මැරිලා ගියා. දැන් මම මැරිලා නිසා ඒ අය මාව මේ උස් තැනක රඳවලා තියලා. මෙතැනට මගේ නගරයේ අවලස්සනත්, දුක්ඛිත බවත් හොඳට පේනවා. මගේ හදවත ඊයමින් තනා තිබුණත් වැලපෙනවා හැරෙන්නට මට කළ හැකි වෙන දෙයක් නැහැ”


“මොකක්? ඒ කියන්නේ මෙයා තනි රත්තරන් නෙමෙයි ද?” ලිහිණියා තමන්ටම කියාගත්තා. එහෙත් ඔහු ඉතා ආචාරශීලී නිසා එවැනි පෞද්ගලික දේ නොඅසන්නට ප්‍රවේසම් වුණා.


“බොහොම දුර ඈතක” පිළිමය සෙමෙන්, ගීතවත් හඬකින් තවදුරටත් කියන්නට වුණා. “බොහොම දුර ඈත කුඩා පාරක එක්තරා දුප්පත් ගෙදරක් තිබෙනවා. ඒ ගෙදර එක කවුළුවක් විවරවයි තිබෙන්නේ, එයින් මට පේනවා මේසයක් අසල වාඩිවී සිටිනා කාන්තාවක්. ඇගේ මුහුණ ඇදී ගිහින්, ඈට හරි වෙහෙස පාටයි. ඈ ඇඳුම් මසන්නියක් නිසා ඇගේ දෑත ඉඳිකටු ඇනීමෙන් රත් පැහැ ව, රළු ව පෙනෙනවා. රැජිනගේ ලස්සනම පරිවාර කාන්තාව ඊළඟ රාජකීය නැටුමට අඳින්නට නියමිත සැටින් ගවුමේ මල් මසමිනුයි ඇය සිටින්නේ. ඒ කාමරයේ කෙළවරක ඇගේ පුංචි පුතා අසනීපයෙන් වැතිරී ඉන්නවා. උණක් වැළඳී සිටින ඔහු දොඩම් ඉල්ලමින් හඬනවා. ඒත් ඔහුගේ අම්මාට ගඟෙන් ගත් ජලය මිසක් ඔහුට දෙන්නට වෙනත් දෙයක් නැහැ. ඒ නිසා ඔහු හඬමින් ඉන්නේ. පුංචි ලිහිණියෝ පුංචි ලිහිණියෝ, මගේ කඩුවේ කොපුවේ ඇති රත් මැණික ඇයට දෙන්නට බැරිද? මගේ දෙපා මේ පාදමට සවිවෙලා නිසා මට හෙලවෙන්නට බැහැ”


“ඊජිප්තුවේ කට්ටිය මම එනතුරු මඟ බලාගෙන ඉන්නේ.” ලිහිණියා කීවා. “මගේ යහළුවෝ නයිල් ගඟේ ඉහළ පහළ පියාඹමින් විශාල නෙළුම් මල් එක්ක කතා කරමින් ඇත්තේ. ඉක්මනින්ම ඒ අය උතුම් රජුගේ සොහොන්ගෙයි නිදන්නට යාවි. ඒ රජු එතැන තීන්ත ආලේපිත මිනී පෙට්ටියක සැතපිලා ඉන්නවා. ඔහුගේ සිරුර කහ පැහැති මුදු රෙදිවලින් ඔතා කුළුබඩු වර්ගවලින් සුවඳ කවාලායි තිබෙන්නේ. ඔහුගේ ගෙල වටා පච්ච වර්ණ ගලින් සැදුණු මාලයක් පළඳවා තිබෙනවා. ඔහුගේ දෑත් පරඬැල් වගේ.”


“පුංචි ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “ඔබට බැරිද මාත් එක්ක එක රැයක් ගතකරලා මගේ පණිවිඩකරු වෙන්න? අර පුංචි දරුවාට හරිම තිබහයි, ඒ අම්මාට හරි දුකයි”


“මම ළමයින්ට කැමති නැහැ” ලිහිණියා පිළිතුරු දුන්නා. “පහුගිය ගිම්හාන කාලේ මම ගඟබඩ වාසය කරද්දී අර තිරිඟු මෝල හිමියාගේ මහා අණක් ගුණක් නැති කොල්ලෝ දෙන්නා මට නිතරම ගල් වලින් ගැසුවා. අපි ලිහිණියෝ බොහොම වේගයෙන් පියාඹන අය නිසා උන්ට කවදාවත් මට වදින්න නම් ගල් පාරවල් ගහන්න බැරි වුණා. ඒ නැතත් අපේ පවුලේ හැමදෙනාම කඩිසර බවට හරි ප්‍රසිද්ධයි. ඒත් මම නම් සලකන්නේ ඒ වැඩේ අපට කළ අගෞරවයක් හැටියට.”


ඒත් ප්‍රීතිමත් කුමාරයාගේ දුක්බර පෙනුම දැකලා පුංචි ලිහිණියා ට අනුකම්පා හිතුණා. “මෙතැන හරිම සීතලයි” ඔහු කීවා. “ඒත් මම තව එක රැයක් ඔබ එක්ක ඉඳලා ඔබේ පණිවිඩකරුවා වෙන්නම්”


“ඔබට බොහොමත්ම ස්තූතියි පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා.


ඉතින් ලිහිණියා කුමාරයාගේ කඩුවෙන් රත් මැණික ගලවාගෙන, එය හොටයේ තබාගෙන නගරයේ පියැසි වලට ඉහළින් පියාසර කළා. ඔහු සුදු පැහැති කිරිගරුඬ දේවදූතයන් අඹා තිබුණු පල්ලියේ උස් කුලුන පසු කළා. ඔහු රජ මාලිගය පසු කරද්දී නැටුමක හඬ ඇසුණා. ලස්සන කෙල්ලක් තම පෙම්වතා සමඟ සඳලුතලයට පැමිණියා. “අහසේ තරු කොයිතරම් අලංකාරද” ඔහු ඈට කීවා. “ආදරයේ බලය කොයිතරම් අපූරු ද?”


“හෙට රාජකීය නැටුමට අඳින්න මගේ ගවුම ලෑස්ති ඇති කියලා මම ප්‍රාර්ථනා කරනවා” ඈ පිළිතුරු දුන්නා. “මම අණ කළා ගවුමේ විසිතුරු මල් මහන්න කියලා, ඒත් ඇඳුම් මහන්නියන් හරිම කම්මැලියි”


ඔහු ගඟට ඉහළින් පියාසර කරද්දී නැව්වල කුඹගස්වල එල්ලෙන ලන්තෑරුම් දුටුවා. යුදෙව් ජනාවාස පසු කරද්දී වයසක යුදෙව්වන් එකිනෙකා හා හෙට්ටු කරමින්, තඹ තරාදි වල සල්ලි කිරමින් සිටිනු දුටුවා. අන්තිමේදී ඔහු දුප්පත් නිවසට ළඟා වී ඇතුළට එබී බැලුවා. කුඩා දරුවා උණ විකාරයෙන් ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටියා, ඔහුගේ අම්මා මහන්සිය නිසා නින්දට වැටී සිටියා. ඔහු ගේ තුළට ගොස් මේසය මත තිබුණු ඇගේ දිදාලය අසලින් විශාල රත් මැණික තැබුවා. ඉන්පසු ඔහු ඇඳ වටා ඉතා මුදු ලෙස පියාඹා ඔහුගේ පියාපතින් දරුවාට පවන් සැලුවා. “මට හරිම සිසිලක් දැනෙනවා.” දරුවා කීවා. “මට සනීප වෙනවා වෙන්න ඇති”; එසේ කියා ඔහු සැප නින්දකට වැටුණා.


ලිහිණියා සතුටු කුමාරයා වෙත පියාඹා ගොසින් ඔහු කළ දේ ගැන විස්තර කීවා. “හරි පුදුමයි” ඔහු කීවා, “වටපිට සීතල වුණත් මට දැන් හරි උණුසුමක් දැනෙනවා.”


“ඒ ඔබ යහපත් දෙයක් කළ නිසා.” කුමාරයා කීවා. පුංචි ලිහිණියා මේ ගැන කල්පනා කරමින් නින්දට වැටුණා. කල්පනා කිරීම ඔහුට නිතරම නිදිමත ගෙනාවා.


පසුදින උදා වුණු පසු ඔහු ගංගාවට ගොස් දිය නාගත්තා. “හරිම විශ්මිත සංසිද්ධියක්” පාලම උඩින් ගමන් කරමින් සිටි පක්ෂි විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙය දැක පුදුම වුණා. “සීත කාලයේ ලිහිණියෙක්!” ඉනික්බිති ඔහු ප්‍රාදේශීය පුවත්පතට ඒ ගැන දීර්ඝ ලිපියක් ලීවා. එය කාටවත් නොතේරෙන වචන වලින් පිරී තිබුණත් බොහෝ දෙනා එහි වැකි උපුටා දැක්වූවා.


“අද රෑට මම ඊජිප්තුව බලා යනවා,” කී ලිහිණියා ඒ ගැන සිතමින් සතුටින් පසු වූවා. ඔහු නගරයේ හැම පොදු ස්මාරකයක් වෙතම ගිය අතර පල්ලියේ කුලුන මත බොහෝ වෙලාවක් ගත කළා. ඔහු යන යන තැන උන් ගේ කුරුල්ලන් ඔහුව දැක “කොයිතරම් වැදගත් අමුත්තෙක්ද!” කියා එකිනෙකාට මුමුනනු ඔහු ඉතා ආශාවෙන් අසා සිටියා.


සඳ නැඟ ආ විට ඔහු නැවතත් ප්‍රීතිමත් කුමාරයා වෙත ගියා. “ඔබට ඊජිප්තුව වෙත ගෙනයන්නට දෙයක් තිබේ ද?” ඔහු ඇසුවා. “මම මේ පිටත්වෙන්න සූදානම් වෙන්නේ”


“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “ඔබට බැරිද මාත් එක්ක තව එක රැයක් ගතකරන්න?”


“මා එනතුරු අනිත් අය ඊජිප්තුවේ බලාගෙන ඇති” ලිහිණියා පිළිතුරු දුන්නා. “හෙට මගේ මිතුරන් දෙවෙනි ඇළ මාර්ගය වෙත පියාසර කරනු ඇති. ඒ අවට පන් ගාල් වල දිය අශ්වයෝ වැතිරිලා ඇති. කළුගලින් තැනුණු සිංහාසනයක මෙම්නොන් දෙවියන් හිඳගෙන ඇති. ඔහු මුලු රෑ පුරාම තරු දිහා බලාගත්වනම හිඳ, උදා තරුව දිලිසේද්දී එක් වරක් පමණක් සතුටින් කෑගසා ඉනික්බිති නිහඬ වෙනවා. මධ්‍යහ්නයෙදී කහ පැහැති සිංහයන් දිය බීමට ඉවුර වෙත එනවා. උන්ගේ ඇස් කොළ මැණික් වගෙයි, උන්ගේ ගර්ජනයට ඇළේ ශබ්දයත් පරාදයි.”


“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “දුර ඈත නගරයෙන් අනෙත් පස සොල්දර කාමරයක මට තරුණයෙක් පෙනෙනවා. ඔහු කඩදාසි පිරුණු මේසයක් මතට නැඹුරු වී සිටින්නේ. ඔහු සිටිනා තැනට කිට්ටුවෙන් වීදුරුවක දැමූ පරවුණු වයලට් මල් පොකුරක් තිබෙනවා. ඔහුට ඇත්තේ දුඹුරු පැහැ බොකුටු කෙහෙරැළි, ඔහුගේ දෙතොල දෙළුම් මෙන් රත් පැහැතියි. ඔහුට තිබෙන්නේ හීන වලින් මත් වුණු විශාල දෑසක්. වේදිකා අධ්‍යක්ෂවරයා වෙනුවෙන් නාට්‍යයක් ලියා ඉවරකරන්නට ඔහු උත්සාහ කරමිනුයි සිටින්නේ. එහෙත් අධික සීතල නිසා ඔහුට තවදුරටත් ලියන්නට බැහැ. උදුනේ ගින්දර නැහැ, කුසගින්න නිසා ඔහු ක්ලාන්තයෙන්.”


“මම ඔබත් එක්ක තව දවසක් ඉන්නම්” ඇත්තටම හොඳ හදවතක් තිබුණු ලිහිණියා පිළිතුරු දුන්නා. “මම ඔහුට තවත් රත් මැණිකක් ගිහින් දෙන්නද?”


“අහෝ! දැන් තව රත් මැණික් නම් ඉතිරිවෙලා නැහැ,” කුමාරයා කීවා; “මට ඉතිරිවෙලා තියෙන්නේ මගේ දෑස විතරයි. ඒවා සකසා තිබෙන්නේ අවුරුදු දහස් ගණනකට කලින් ඉන්දියාවෙන් ගෙනා දුර්ලභ නිල් මැණික් වලින්. ඉන් එකක් උගුල්ලාගෙන ගොස් ඔහුට දෙන්න. ඔහු එය ආභරණකරුට විකුණා කෑමත්, දරත් මිලදී ගනීවි. ඊටපස්සේ ඔහුගේ නාට්‍යය ලියා ඉවර කරාවි.”


“ආදර කුමාරයෝ” ලිහිණියා කීවා, “මට ඒක නම් කරන්න බැහැ”; එසේ කියා ඔහු වැලපෙන්නට ගත්තා.


“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “මම ඔබට දෙන අණ පිළිපදින්න.”


ඉතින් ලිහිණියා කුමාරයාගේ ඇසක් උගුල්ලාගෙන ශිෂ්‍යයා වාසය කළ සොල්දර කාමරය වෙත පියාසර කළා. එහි වහලයේ සිදුරක් තිබුණු නිසා ඔහු පහසුවෙන් එයින් රිංගා කාමරයට ගියා. තරුණයා තම හිස දෑතේ සඟවාගෙන සිටි නිසා ඔහුට පියාපත් හඬ ඇසුණේ නැහැ. ඔහු හිස ඔසවා බලද්දී පරවුණු වයලට් මල් පොකුර ළඟ නිල් මැණිකක් දුටුවා.


“මාව අගය කෙරෙන්න පටන් අරගෙන,” ඔහු සතුටින් කෑගැසුවා; “මේක නාඳුනන ප්‍රශංසා කරන්නෙකුගෙන් තෑග්ගක්. දැන් මට මගේ නාට්‍යය ඉවර කරන්න පුළුවන්.” ඔහු සිටියේ ඉතාමත් සතුටින්.


පසුදා ලිහිණියා නැව් තොට වෙත පියාසර කළා. යෝධ නැවක කුඹ ගස මුදුනේ හිඳ ඔහු නාවිකයෝ ලණු යොදාගෙන නැවෙන් විශාල පෙට්ටගම් පිටතට අදින අයුරු නැරඹුවා. පෙට්ටගමක් නැව් බඳෙන් මතුවුණු හැම වතාවකම ඔවුන් “හීව්-අ-හෝයි” කියා බෙරිහන් දුන්නා. “මම ඊජිප්තුවට යනවා” ලිහිණියාත් කෑගැසුවා, එහෙත් කිසි කෙනෙක් එය ගණනකට ගත්තේ නැහැ. සඳ නැඟ එද්දී ඔහු නැවතත් ප්‍රීතිමත් කුමාරයා වෙත පියාසර කළා.


“මම ආවේ ඔබෙන් සමුගෙන යන්නට” ඔහු කීවා.


“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “ඔබට බැරිද මාත් එක්ක තව එක රැයක් ගතකරන්න?”


“දැන් සීත කාලය,” ලිහිණියා පිළිතුරු දුන්නා, “බොහොම ඉක්මනින් සීත හිම වැටෙන්නට පටන් ගනීවි. ඊජිප්තුවේ නම් කොළ පාට තල් ගස් උඩට ඉර අව්ව සැරට වැටිලා ඇති. කිඹුලෝ මඩේ වැතිරිලා කම්මැලිකමෙන් වටපිට බලනවා ඇති. මගේ සගයෝ ටික බාල්බෙක් පන්සලේ කැදලි තනනවා ඇති. ඔවුන් දිහා බලාගෙන රෝසපාට, සුදු පාට කොබෙයියන් එකිනෙකාට කරව් කරනවා ඇති. ආදරණීය කුමාරයෝ, මම ඔබගෙන් සමුගෙන යා යුතුයි. මට ඔබව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඊළඟ වසන්තයේදී මම ආපිට එද්දී ඔබ දන් දුන්නු මැණික් වෙනුවට මම ඔබට මැණික් කැට ගෙනත් දෙන්නම්. මා ගෙනැවිත් දෙන රත් මැණික රතු රෝස මලකටත් වැඩියෙන් රතු පාට වේවි, නිල් මැණික මහා මුහුද තරම්ම නිල් පාට වේවි.”


“පහත චතුරශ්‍රයේ ඉන්නවා ගිනිකූරු විකුණන පුංචි කෙල්ලක්” කුමාරයා කීවා. “ඈ අතින් ගිනිකූරු සියල්ලම කාණුවට වැටිලා, නාස්තිවෙලා. මුදල් නැතිව ගෙදර ගියෝතින් ඇගේ පියා ඇයට පහර දේවි. ඇය හඬමින් ඉන්නේ. ඇයට සපත්තුවත්, උණුසුම් මේස්වත් නැහැ, ඇයගේ පුංචි හිසට ආවරණයක් නැහැ. මගේ අනෙත් ඇසත් උගුල්ලාගෙන ගොස් ඇයට දෙන්න, එතකොට ඇයට පියාගෙන් ගුටිකන්නට වෙන එකක් නැහැ.”


“මම ඔබ එක්ක තව එක රැයක් ගතකරන්නම්,” ලිහිණියා කීවා, “ඒත් මට නම් බැහැ ඔබේ ඇස උගුල්ලන්න. ඔබ එතකොට සම්පූර්ණයෙන්ම අන්ධ වේවි.”


“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “මම ඔබට දෙන අණ පිළිපදින්න.”


ඉතින් ඔහු කුමාරයාගේ අනෙත් ඇසත් උගුලුවාගෙන පහතට පියඹා ගියා. ඔහු ගිනිකූරු විකුණන දැරිය වෙත පහත් වී මැණික ඇගේ අත්ලේ රැඳෙව්වා. “හරිම ලස්සන වීදුරු කෑල්ලක්” කෑගැසූ දැරිය සිනාසෙමින් තම නිවස බලා දුවන්නට වුණා.

ඉනික්බිති ලිහිණියා කුමාරයා වෙත නැවතත් ආවා. “ඔබ දැන් අන්ධයි,” ඔහු කීවා “ඒනිසා මම හැමදාම ඔබ ළඟින්ම ඉන්නම්”


“එපා, පුංචි ලිහිණියෝ,” අසරණ කුමාරයා කීවා, “ඔබ ඊජිප්තුව බලා යා යුතුමයි.”


“මම හැමදාම ඔබ ළඟින්ම ඉන්නම්” කී ලිහිණියා කුමාරයාගේ දෙපතුල අසල නින්දට ගියා.


ඊළඟ දවස මුළුල්ලේම ඔහු කුමාරයාගේ උරහිස මත හිඳ තමන් දුරු රටවලදී දුටු අමුතු දේ ගැන විස්තර කරන්නට වුණා.


නයිල් ගඟේ ඉවුරුවල පේළි ගැසී සිටිමින් හොට අගින් රන් මසුන් අල්ලන අයිබිස් කොකුන් ගැන, කාන්තාරයේ වෙසෙන, ලෝකය තරමටම පැරණි, සියලු දේ ගැන දන්නා ස්ෆින්ක්ස් ගැන, කහ පැහැති මාල අතින් ගෙන තමන්ගේ ඔටුවන් අසලින් සෙමෙන් ගමන් ගන්නා වෙළෙඳුන් ගැන, කළුවර ලී තරමටම කළු පැහැති, විශාල පළිඟු ගෝලයකට වන්දනා කරන සඳේ කඳු වලට අධිපති රජු ගැන, තල් ගසක නිදන, පූජකයන් විසි දෙනෙකුගෙන් පැණි කැවුම් ලබන තෙදැති කොළ සර්පයා ගැන, පැතලි විශාල පත්‍ර මත නැගී වැව තරණය කරන, නිරතුරුව සමනලයන් සමඟ සටන් කරන අඟුටුමිට්ටන් ගැන විස්තර ඔහු කුමාරයාට කීවා.


“ආදරණීය පුංචි ලිහිණියෝ,” කුමාරයා කීවා, “ඔබ මට ආශ්චර්යමත් දේ ගැන කියනවා, එහෙත් මේ ලෝකේ වඩාත්ම ආශ්චර්යවත් දේ තමයි මිනිසුන් සහ ගැහැනුන්ගේ ඇති වේදනාව දරා ගැනීමේ හැකියාව. මිනිසුන්ගේ දුක්ඛිතකම තරම් තවත් අභිරහසක් නැහැ. මගේ නගරයට ඉහළින් පියාසර කරන්න පුංචි ලිහිණියෝ, ඔබ දකින දේ මට කියන්න.”


ඉතින් ලිහිණියා විසල් නගරයට ඉහළින් පියාසර කළා. පෝසතුන් තමන්ගේ අලංකාර නිවෙස්වල සාද පවත්වද්දී හිඟන්නන් ඒවායේ ගේට්ටු අසල හිඳ සිටින අයුරු ඔහු දුටුවා. ඔහු අඳුරු මාවත් වල පියාසර කරද්දී, බඩගින්නේ පෙළෙන දරුවන්ගේ සුදුමැලි මුහුණු හිස් බැල්මෙන් අඳුර දෙස යොමු වී ඇති අයුරු දුටුවා. පාලමක ආරුක්කුවක් යට කුඩා ළමුන් දෙදෙනෙක් එකට ගුලි වී සිටියේ උණුසුම් වීමට තැත් කරමින්. “අනේ, අපිට කොයිතරම් බඩගිනිද!” ඔවුන් කීවා. “ඔතැන නිදාගන්න බැහැ” කියා මුරකරු කෑගැසූ විට ඔවුන් වැස්සේම යන්නට ගියා.


ඔහු ආපසු පියඹා ගොස් කුමාරයාට ඔහු දුටු දේ කීවා.


“මගේ ඇඟ පුරා තියෙන්නේ පිරිසිදු රත්තරන්,” කුමාරයා කීවා, “ඔබ එය රන් පත්‍රයෙන් පත්‍රය ගැලවිය යුතුයි. ඒවා මගේ දුප්පතුන්ට දෙන්න. ජීවත්ව සිටින අය රත්තරනින් සතුට ලබාගන්න පුළුවන් බව නිරතුරුව විශ්වාස කරනවා.”


ලිහිණියා රන් පත්‍රයෙන් පත්‍රය ගලවද්දී ප්‍රීතිමත් කුමාරයාගෙන් අඳුරු අළු පැහැයක් දිස් වෙන්නට ගත්තා. ඔහු රන් පත්‍රයෙන් පත්‍රය දුප්පතුන්ට දෙන්නට ගත් විට පුංචි දරුවන්ගේ මුහුණු රෝස පැහැයෙන් බැබලුණා, ඔවුන් වීදි පුරා සෙල්ලම් කරන්නට ගත්තා. “අපිට දැන් පාන් තියෙනවා!” ඔවුන් සතුටින් කෑ ගැසුවා.


ඉනික්බිති හිම වැටෙන්නට ගත්තා, හිම වැටුණාට අනතුරුව තුහින පැතිරෙන්නට වුණා. මංමාවත් රිදියෙන් තැනුණු තරමට බබළමින් දිලිසෙන්නට වුණා. ගෙවල්වල වහලින් පහළට හිම කූරු එල්ලෙමින් තිබුණේ කඩු වගේ. හැමකෙනාම උණුසුම් ලොම් කබා පැළඳගෙන එහා මෙහා ගියා, පුංචි ළමුන් රතු තොප්පි පැළඳගෙන හිම ක්‍රීඩා කළා.


අසරණ පුංචි ලිහිණියාට එන්න එන්නම සීතල වැඩිවුණා. එහෙත් ඔහු කුමාරයාට බෙහෙවින්ම ආදරය කළ නිසා ඔහුව අත්හැර යන්නට සූදානමක් තිබුණේ නැහැ. බේකරි හිමියාගේ අවධානය වෙනතක තිබෙන වේලාවලදී ඔහු බේකරිය අසල වැටී තිබුණු පාන් රොඩු ආහාරයට ගත්තා. අත්තටු ගසමින් සිරුර උණුසුම්ව තබාගන්නට උත්සාහ කළා.


එහෙත් අන්තිමේදී තමන් මියයන්නට නියමිත බව ඔහුට වැටහුණා. කුමාරයාගේ උරහිසට පියාසර කරන්නට ඔහුට ශක්තිය තිබුණේ යන්තමින්. “ආයුබෝවන් ආදරණීය කුමාරයා!” ඔහු මිමිනුවා, “මට ඉඩ දෙනවාද ඔබේ අත සිපගන්නට?”


“ඔබ අවසානයේදී ඊජිප්තුවට යන්නට සූදානම් වීම ගැන මට සතුටුයි පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා “ඔබ මෙහි සිටියා කල් වැඩියි. මම ඔබට ආදරේ නිසා මගේ දෙතොලට හාදුවක් දෙන්න”


“මම යන්නේ ඊජිප්තුවට නෙමෙයි,” ලිහිණියා කීවා. “මම යන්නේ මරණයේ නිවසට. මරණය නින්දේ සොහොයුරා නොවේද?”


එසේ කියා ඔහු ප්‍රීතිමත් කුමාරයාගේ දෙතොල් මත හාදුවක් තබා ඔහුගේ දෙපා පාමුල මැරී වැටුණා.


ඒ මොහොතේම පිළිමය තුළින් අමුතුම ඉරිතැලුම් හඬක් ඇසුණා, හරියට යමක් බිඳී ගියා වැනි හඬක්. ඇත්තටම සිදුවී තිබුණේ පිළිමයේ ඊයම් හදවත හරියටම දෙකට පැළී යාමයි. ඇත්තෙන්ම එය බොහොම දරුණු සීත කාලයක්.


පසුදා උදෑසනින්ම නගරයේ නගරාධිපති නගර සභාවේ නිලධාරීන් දෙදෙනෙක් සමඟ චතුරශ්‍රයේ ඇවිදිමින් සිටියා. ඔවුන් කුලුන පසුකර යද්දී ඔහු පිළිමය දෙස හිස ඔසවා බැලුවා. “අයියෝ, ප්‍රීතිමත් කුමාරයා මහා කසිකබල් පාටයි!” ඔහු කීවා.


“ඇත්තටම කසිකබල් පාටයි!” නිතරම නගරාධිපති කියන දේට එකඟ වෙන නිලධාරීන් දෙදෙනාත් කීවා. එසේ කියා ඔවුන් පිළිමය වඩාත් හොඳින් දැක බලාගන්නට එය කිට්ටුවට ගියා.


“කඩුවේ තිබුණු රත් මැණික හැලී ගිහින්, ඔහුගේ ඇස් දෙකම නැහැ, ඒ මදිවට ඔහුගේ රත්තරන් පාටත් මැකිලා ගිහින්,” නගරාධිපති කීවා. “ඔහු දැන් හිඟන්නකුට වඩා ටිකයි හොඳ!”


“හිඟන්නකුට වඩා ටිකයි හොඳ!” නගර සභා නිලධාරීන් ද කීවා.


“ඔහුගේ දෙපා මුල මැරුණු කුරුල්ලෙක් පවා ඉන්නවා!” නගරාධිපති තවදුරටත් කීවා. “අපි ඇත්තටම ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන කුරුල්ලන්ට මෙතැන මැරෙන්න තහනම් බවට.” නාගරික ලිපිකරුවා මේ යෝජනාව සටහන් කරගත්තා.


ඉතින් ඔවුන් ප්‍රීතිමත් කුමාරයාගේ පිළිමය කඩා දැමුවා. “ඔහු තවදුරටත් අලංකාර නැති නිසා ඔහු තවදුරටත් ප්‍රයෝජනවත් නැහැ,” සරසවියේ කලාව පිළිබඳ මහාචාර්යවරයා කීවා.


ඔවුන් පිළිමය උදුනක ලා උණු කළ අතර ඒ ලෝහයෙන් කුමක් තැනිය යුතුදැයි තීරණය කරන්නට නගරාධිපති විසින් නිලධාරීන් රැස් කර රැස්වීමක් පැවැත්වූවා. “අපි අනිවාර්යයෙන්ම තව පිළිමයක් තැනිය යුතුයි,” ඔහු කීවා, “එය මගේ පිළිමයක් විය යුතුයි.”


“මගේ පිළිමයක්” නගර සභා නිලධාරීන් හැම දෙනාම කියා ඔවුන් බහින් බස් වන්නට ගත්තා. මම ඔවුන්ව අන්තිමට දකිද්දීත් ඔවුන් බහින්බස් වෙමිනුයි උන්නේ.



“මේක නම් හරිම පුදුමයක්!” වාත්තු වැඩපොළේ ප්‍රධානියා තමන්ගේ සේවකයන්ට කීවා. “මේ බිඳුණු ඊයම් හදවත උදුනේ ලෑවත් උණු වෙන්නේ නැහැ. අපිට ඒක ඉවතලන්නට වෙනවා.” ඉතින් ඔවුන් එය මැරුණු ලිහිණියා වීසි කර දමා තිබුණු කුණුගොඩටම එයත් වීසිකළා.

----------------------------------

“නගරයේ ඇති වටිනාම දේවල් දෙක මට ගෙනැවිත් දෙන්න,” දෙවියන් ඔහුගේ සුර දූතයෙකුට කීවා. සුර දූතයා ඊයම් හදවතත්, මියඇදුණු කුරුල්ලාත් දෙවියන් වෙත ගෙනැවිත් දුන්නා.


“ඔබ හරියටම තෝරාගෙන,” දෙවියන් කීවා. “මගේ පාරාදීස උයනේ මේ පුංචි කුරුල්ලා සදාකාලිකව ගී ගයාවී, ප්‍රීතිමත් කුමාරයා මගේ රන් නගරයේ වෙසෙමින් මට ප්‍රශංසා කරාවි.”



From the book ‘Happy Prince and Other Tales’ by Oscar Wilde, first published in 1888

Published in Sannasa March 2020 Page 16
Picture from Sannasa





July 18, 2019

ආත්මාර්ථකාමී යෝධයා

Translation of the short story The Selfish Giant | Oscar Wilde


හැම හවසකම පාසැල ඇරී නිවෙස් වෙත යන අතරතුරේදී ළමුන් පිරිස යෝධයාගේ උයනේ සෙල්ලම් කරන්නට පුරුදු ව සිටියහ.

එය සිනිඳු තණකොළ පිරුණු විශාල සොඳුරු උයනක් විය. පොළොවේ තැන තැන තාරුකා වැනි මල් විසිර තිබිණි. වසන්ත කාලයට ලා රෝස පැහැති මල් පිපෙන, සරත් කාලයට රසවත් ඵල දරන පීච් ගස් දුසිමක් ද එහි එක කෙළවරක විය. ගස්වල අතු පතරින් ඇසුණු කුරුලු ගී හඬ කෙතරම් මිහිරි වී ද යත්, ළමුන් වරින් වර තමන්ගේ සෙල්ලම් නවතා ඊට සවන් දෙනු පෙනිණි. “අපි කොයිතරම් සතුටින් ද?” ඔවුහු නිතරම එකිනෙකාට කියා ගත් හ.

නමුත් දිනක් යෝධයා ආපසු පැමිණියේ ය. ඔහුගේ මිතුරු කෝනිෂ් රාක්ෂයා බලන්නට ගොස් සිටි ඔහු, එහි සත් වසරක් නවාතැන්ගෙන හිඳ තිබිණි. වසර හතක් ගතවෙද්දී කතාකරන්නට තිබුණු සියල්ලම කියා හමාර ව තිබුණු බැවින් යෝධයාට යළිත් තමන්ගේ මාලිගය වෙත යන්නට සිත් පහළ වී තිබිණි. ඔහු නැවත එද්දී කුඩා ළමුන් ඔහුගේ උයනේ සෙල්ලම් කරන අයුරු දුර තියාම ඔහුට පෙනිණි.

“මෙතැන මොකද කරන්නේ?” ඔහු රළු හඬකින් කෑ ගසද්දී ළමෝ පලා ගියහ.

“මගේ උයන, මගේම උයනයි" යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඒ බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. මෙතැන සෙල්ලම් කරන්න පුළුවන් මට විතරයි, වෙන කාටවත් බැහැ"

උයන වටා උස් තාප්පයක් ඉදිකළ යෝධයා එහි දැන්වීමක් ද එල්වී ය. 

‘අනවසරයෙන් ඇතුල්වීම තහනම්’

ඔහු ඉතාමත් ආත්මාර්ථකාමී යෝධයෙකි.

අසරණ ළමුන්ට සෙල්ලම් කරන්නට තැනක් අහිමි විය. ඔවුන් මහපාරේ සෙල්ලම් කරන්නට උත්සාහ කළත් එහි තිබුණු දූවිලිත් ගල් බොරළු ත් නිසා එය ඉතා අප්‍රසන්න විය. පාසැල නිම වූ පසු ඔවුහු උස තාප්පය අසලින් ගමන් කරමින් ඇතුළත ගෙවත්ත ගැන කතා කරන්නට පුරුදු වූහ.

“අපි එහේ කොයිතරම් සතුටින් හිටියාද?" ඔවුහු එකිනෙකාට කියා ගත් හ.

වසන්තය උදා වූ විට හැමතැනම මල් පිපී, කුරුලු පැටවුන් ඉගිලෙමින් වටපිටාව ඉතා අලංකාරව තිබිණි. ඒත් ආත්මාර්ථකාමී යෝධයාගේ උයනේ පමණක් ශීත කාලය නොවෙනස් ව තිබිණි. එහි ළමුන් නොසිටි නිසා කුරුල්ලන් ගී ගැයීමට වෙහෙසුණේ නැති අතර ගස් වලට මල් පුබුදුවන්නට අමතක විය. වරක් එක මලක් පොළොවෙන් හිස ඔසවද්දී යෝධයාගේ දැන්වීම් පුවරුව නෙත ගැටී, ළමුන් ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් නැවතත් පොළොව යටට ගොස් නිදන්නට විය. මේ වෙනස ගැන සතුටු වූයේ හිම ත් තුහින ත් පමණි. ‘වසන්තයට මේ උයන අමතක වෙලා!’ ඔවුහු ප්‍රීති ඝෝෂා කළ හ. ‘දැන් අපිට අවුරුද්ද පුරාම මෙතැන ඉන්න පුළුවන්'. හිම ඇගේ විසල් ශ්වේත ලෝගුවෙන් උයනම වසා ගත් අතර තුහින උයනේ ගස් සියල්ලම රිදී පාටින් පාට කළේ ය. ඉනික්බිති ඔවුහු ඔවුන්ගේ මිතුරු උතුරු සුළඟට එහි නවතින්නට ඇරයුම් කළ හ. උණුහුම් ලොම් කබා ඇඟලාගෙන ආ උතුරු සුළඟ, දවස පුරාම ගෙරවිලි නඟමින් උයන වටා දිව යන්නටත් මාළිගාවේ දුම් කවුළු කඩා දමන්නට උත්සාහ කරන්නටත් විය. “මේක බොහොම ලස්සන තැනක්" ඔහු කීය. “අපි හිම වැස්සටත් ඇවිල්ලා යන්න එන්න කියමු" ඉතින් ඒ ආරාධනාවෙන් උයනට පැමිණි හිම වැස්ස අළු පැහැති ඇඳුම් ආයිත්තම් ඇඟලා සිටි අතර ඔහුගේ හුස්මත් හිම මෙන් සීතල විය. හැම දවසකම පැය තුන හතරක් තිස්සේ මාළිගාවේ වහලය මත රැඟුම් පෑ ඔහු එහි උළු කැට ත් වැඩි ප්‍රමාණයක් බිඳ දමා තිබිණි. 

“මට තේරෙන්නේ නැහැ මේ සැරේ වසන්තය ඇයි මේ තරම් පරක්කු කියලා" තමන්ගේ සීතල අඳුරු උයන දෙස මාළිගාවේ කවුළුවකින් බලා සිටි ආත්මාර්ථකාමී යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඉක්මණටම දේශගුණයේ වෙනසක් වුණොත් හොඳයි"

ඒත් වසන්තයවත්, ගිම්හානයවත් උයනට ආවේම නැත. සරත් කාලය අනෙත් හැම ගෙවත්තකටම රසවත් ඵල ලබාදුන්නත් යෝධයාට නම් කිසිවක් ම දුන්නේ නැත. “ඔහු ආත්මාර්ථකාමී වැඩියි!’ සරත් කාලය ප්‍රකාශ කර තිබිණි. ඒනිසා යෝධයාගේ උයනේ හිම ත්, තුහින ත්, හිම වැස්ස ත්, උතුරු සුළඟ ත් පමණක් ගස් අතර රැඟුම් රඟමින් පසු වූහ.

එක් උදෑසනක යෝධයා නිදි ඇඳේ හිඳිද්දී අපූරු සංගීතයක් කණ වැකිණි. එය කෙතරම් මිහිරි ද යත් ඔහුට මුලදී සිතුණේ රජතුමාගේ සංගීත කණ්ඩායම උයන අසලින් ගමන් කරනවා විය හැකි බවයි. ඒත් ඒ ඔහුගේ කවුළුව අසල ගී ගයමින් උන් පුංචි කුරුල්ලෙක් බව ඔහු දුටුවේ පසුව ය. යෝධයා ට කලකින් කුරුලු ගීයක් ඇසී තිබුණේ නැති නිසා එය ලොව ඇති මිහිරිම තනුව බව ඔහුට සිතිණි. එවිටම වහල මත හිම වැස්සේ දැඟලුම නැවතුණු අතර උතුරු සුලඟේ ගෙරවිල්ලද අඩු විය. කවුළුව අතරින් මන පිනවන මල් සුවඳක්ද ගලා එන්නට විය. “වසන්තය ඇවිල්ලා වගේ!” යැයි කෑගසමින් යෝධයා ඇඳෙන් බිමට පැන කවුළුවෙන් එබී බැලුවේ ය.

ඔහු දුටුවේ කුමක් ද?

තාප්පයේ සිදුරකින් ළමුන් උයනට රහසින් ඇතුළු වී තිබිණි. ඔවුන් සිටියේ ගස් වල අතුපතර වාඩිගෙන ය. බැලු බැලූ අත හැම ගසකම කුඩා දරුවෙක් විය. ළමුන් ආපසු පැමිණීම ගැන ගස් කොයිතරම් සතුටු වී ද යත් ඒවා තම අතු මලින් පුරවා තාලයට සොලවමින් විය. කුරුල්ලන් ප්‍රමෝදයෙන් ගී ගයමින් පියාඹමින් සිටි අතර  මල් තණ බිස්සෙන්  හිස්  ඔසවා සිනාසෙමින් විය. එහෙත් මේ සොඳුරු දසුන් පිරි උයනේ එක් කෙළවරක පමණක් ශීත කාලය තවමත් පෙනෙන්නට තිබිණි. උයනේ ඈත මුල්ලක කුඩා දරුවෙක් ගසකට නැග ගනු නොහැකිව හඬමින් පසු විය. “නගින්න දරුවෝ නගින්න!’ යැයි උනන්දු කරමින් ගස තම අතු පහත් කළ නමුත් දරුවා ඊට නගින්නට කුඩා වැඩි විය.

මෙය බලා සිටි යෝධයාගේ පපුව උණු විය. “මම කොයිතරම් ආත්මාර්ථකාමී විදිහටද වැඩ කරලා තියෙන්නේ" ඔහු කීය. “දැන් මම දන්නවා ඇයි වසන්තය මගේ උයනට ආවේ නැත්තේ ඇයි කියලා. මම අර පුංචි දරුවා ව ගහ මුදුනින් තියනවා. ඊටපස්සේ තාප්පය කඩා දානවා. මගේ උයන හැමදාටම පුංචි ළමයින්ට සෙල්ලම් උයනක් වෙන්න ඕන” ඔහු මෙතක් කල් කළ දේ ගැන ඔහුට මහත් පසු තැවිල්ලක් දැනෙමින් තිබිණි.

ඉතින් ඔහු හෙමින් සීරුවේ මාළිගාවේ බිම් මහලට ගොස් එහි ඉදිරිපස දොර විවර කර උයනට පා තැබුවේය. ඒත් ඔහු ව දුටු සැණින් උයනේ සෙල්ලම් කරමින් සිටි ළමුන් රංචුවම බියෙන් පැන දිවූහ. ඒ සමඟම උයන යළි වරක් ශීත කාලයේ ගිලුනි. උයනේ කෙළවර හඬමින් සිටි පුංචි දරුවා පමණක් උයනෙන් පලා නොගියේ ඔහුගේ දෑසේ පිරී තිබුණු කඳුළු නිසා ඔහු යෝධයාව නොදුටු හෙයිනි. යෝධයා හෙමින් සීරුවේ ඔහු ළඟට ගොස් ඔහුව ඔසවා ගසේ අත්තක් මතින් තැබුවේය. එසැණින් ගස පුරා මල් පිරී ඉතිරුණු අතර කුරුල්ලන් ගී ගැයීමට ඒ වෙත රොක්විය. පුංචි දරුවා යෝධයාගේ ගෙල වටා දෑත යවා ඔහුට හාදුවක් දුන්නේය. යෝධයා නපුරු නැති බව දුටු සෙසු ළමුන් ද දිව ආ අතර ඔවුන් සමඟම වසන්තයත් යළි උයන වෙත එළඹිණි.

‘ළමයිනේ, දැන් මේ උයන උඹලාගේ’ කී යෝධයා විශාල පොරොවක් ගෙන උයන වටා තිබුණු තාප්පය කඩා බිඳ දැම්මේය. මධ්‍යහනයේ නගරය වෙත ගොස් ආපසු එමින් සිටි ගම්වැසියන් දුටුවේ ඉතාමත් අලංකාර උයනක තම දරුවන් හා සෙල්ලම් කරන යෝධයාවයි. දවස පුරාම මෙලෙස සෙල්ලම් කළ ළමුන් සවස් වෙද්දී යෝධයා වෙත ආවේ ඔවුන් නිවෙස් වෙත යන බව කියා සමු ගැනීමට යි.

“කෝ උඹලාගේ පුංචි යාළුවා?” යෝධයා ඇසීය. “අර මම ගහට නගින්න උදවු කළ ළමයා?” ඒ කුඩා දරුවාට යෝධයා වැඩියෙන්ම ආදරය කළේ ඔහු යෝධයාව වැළඳගෙන හාදුවක් දුන් නිසා ය.

“අපි දන්නේ නැහැ" ළමෝ කීහ. “එයා යන්න ගිහින් වගෙයි"

“එයාට කියන්න හෙට මතක ඇතිව ආයෙත් එන්න කියලා" යෝධයා කීවේ ය. ඒත් ඒ ළමයා ව තමන් නොහඳුනන බවත්, ඔහු වෙසෙන තැනක් නොදන්නා බවත්, ඉන් පෙර ඔහුව කිසි දවසක දැක නැති බවත් ළමුන් කී විට යෝධයාට මහත් ශෝකයක් දැනිණි.

හැම දිනකම පාසැල හමාර වූ පසු ළමෝ පිරිස යෝධයා හා සෙල්ලම් කරන්නට පැමිණියහ. ඒත් යෝධයා ආදරය කළ කුඩා පිරිමි ළමයා නම් යළි කෙදිනකවත් දකින්නට ලැබුණේ නැත. යෝධයා ළමුන් හැම දෙනාටම කරුණාව පෑ නමුත් ඔහුගේ පළවෙනිම පුංචි යාළුවා යළි දකින්නට මඟ බලා සිටියේ ය. යෝධයා නිතර ඔහු ගැන දෙඩූ අතර “අනේ ඔහුව දකින්නට ඇත්නම්” යැයි තැවුනේ ය.

මෙලෙස අවුරුදු ගණනක් ගතවෙද්දී යෝධයා කෙමෙන් වයෝවෘද්ධ විය.  ඔහුට දැන් දැන් ළමුන් හා සෙල්ලම් කරන්නට සවිය තිබුණේ නැත. ඒ වෙනුවට හාන්සි පුටුවක වැතිරී ළමුන් සෙල්ලම් කරන අයුරු නරඹමින්, උයනේ විසිතුරු බලමින් ඔහු කාලය ගත කළේ ය. “මගේ උයනේ කොයිතරම් සුන්දර මල් වර්ග තියෙනවාද" ඔහු කීය. “ඒත් ලස්සනම මල් වර්ගය තමයි පුංචි ළමයි"

ශීත කාලයේ දිනක් යෝධයා තම කවුළුවෙන් පිටත බලා සිටියේ ය. ඔහු ඒ වෙද්දී ශීත කාලයට වෛර නොකළේ එය වසන්තය නිදා උන් කාලයත්, මල් විවේක ගන්නා කාලයත් බව දැන සිටි නිසා ය.

උයනේ කෙලවර දුටු දෙයක් දෙස  ඔහු හිටිහැටියේ ම යළිත් බැලුවේ පුදුමයෙන් දෑස පිසලමිනි. එතැන අපූරු දසුනක් මැවී තිබිණි. උයනේ ඈතම කෙලවරේ ගසක් සුදු පැහැ මලින් පිරී තිබිණි. ඒ ගසේ අතු රන් පැහැයෙන් බැබලුණු අතර ඒවා රිදී ඵල වලින් බර ව තිබිණි. ඒ ගස යට යෝධයා ආදරය කළ කුඩා දරුවා දකිනු හැකි විය.

යෝධයා පහළ මාලයටත්, උයනටත් දිව ගියේ ඉතා සතුටිනි. ඔහු වහා වහා තණ පිටිය හරහා දිව ගොස් කුඩා දරුවා අසලට ගියේ ය. එහෙත් දරුවාට ලං වෙද්දී යෝධයාගේ වත කේන්තියෙන් රත් පැහැ විය.

“කවුද ඔබට තුවාල කළේ?” ඔහු කෑගෑවේය.

ඒ, කුඩා දරුවාගේ දෙඅත්ලේත් දෙපයේත් ඇණ ගැසූ සලකුණු පෙනුණු නිසා ය.

“ඔබට අත තියන්නට කිට්ටු වුණේ කවුද?” යෝධයා කේන්තියෙන් පිපිරී ය. “මට නම කියන්න! මම මගේ කඩුව අරගෙන ගිහින් ඔහුව මරලා දානවා"

“එපා” කුඩා දරුවා පිළිතුරු දුන්නේ ය. “මේ ආදරය වෙනුවෙන් ලද තුවාල"

යෝධයාට දරුවාගේ අමුතු ගාම්භීර බවක් හදිසියේ දැනිණි.

“ඔබ කවුද?” ඔහු ඇසුවේ දරුවා ළඟ දණින් වැටෙමිනි.

දරුවා යෝධයා වෙත සිනාවක් පෑවේ ය.

“ඉස්සර දවසක ඔබ මට ඔබේ උයනේ සෙල්ලම් කරන්නට ඉඩ දුන්නා. අද ඔබ මගේ උයන ට යන්න එන්න. මගේ උයන පාරාදීසය යි"

එදා හවස ළමුන් පිරිස උයනට දිව ආ විට දුටුවේ යෝධයා ගසක් යට වැතිරී මිය ගොස් සිටි ආකාරය යි. ඔහුගේ සිරුර සුදු මල් පෙති වලින් වැසී තිබිණි. 

Photo Source: Wikimedia commons, illustration by Walter Crane of the story "The Selfish Giant" in Wilde's book, The Happy Prince and Other Tales