February 28, 2021

මස්

Translation of the Short Story 'They are Made Out of Meat' by Terry Bisson


"උන් මස් කුට්ටි විතරයි."

"මස්?"

"ඔව් මස්. මස් වලින් හැදිලා තියෙන්නේ."

"මස්?"

"ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපි ඒ ග්‍රහලෝකේ එක එක තැන්වලින් කීපදෙනෙක් අරගෙන අපේ ගවේෂක යානා වලට අරගෙන ගිහින් සම්පූර්ණයෙන්ම සිදුරු කරලා පරීක්ෂා කරලා බැලුවා. මුළුමනින්ම මස්."

"එහෙම වෙන්න විදිහක් නැහැනේ. එතකොට රේඩියෝ සංඥා? තරු එක්ක හුවමාරු කෙරුණු පණිවිඩ?"

"උන් කතාකරන්න රේඩියෝ තරංග පාවිච්චි කරනවා, පණිවිඩ නිකුත් කරන්නේ උන්ගේ ශරීර වලින් නෙමෙයි, යන්ත්‍ර වලින්."

"ඉතින් යන්ත්‍ර හැදුවේ කවුද? යන්ත්‍ර හැදුව කෙනාව තමයි අපි සම්බන්ධ කරගන්න වුවමනා වෙන්නේ."

"යන්ත්‍ර හැදුවේ උන්ම තමයි. ඒක තමයි මම මෙතරම් වෙලා කියන්න උත්සාහ කළේ. යන්ත්‍ර හදලා තියෙන්නේ මස් කුට්ටි ටික."

"ඒ මොන විකාරයක්ද? මස් කුට්ටියක් යන්ත්‍රයක් හදන්නේ කොහොමද? තමුසේ මගෙන් ඉල්ලන්නේ හැඟීම් දැනීම් තියෙන බුද්ධිමත් මස් වර්ගයක් තියෙනවා කියලා විශ්වාස කරන්න කියලද?"

"මම මේ පිළිගන්න කියලා ඉල්ලනවා නෙමෙයි, පිළිගන්න කියලා කියනවා. ඒ ඛණ්ඩකයේ හැඟීම් තියෙන එකම ජීවීන් වර්ගය මස් වලින් හැදිලා තියෙන්නේ."

"එහෙනම් උන් අර ඔර්ෆොලෙයි වගේ වෙන්න ඇති. මස් ජීව අවස්තාවක් පහුකරන කාබන් මූලික ප්‍රාණියෙක්."

"නැහැ. උන් මස් හැටියට ඉපදිලා මස් හැටියට මැරිලා යනවා. අපි උන්ගේ ජීවන චක්‍ර කීපයක්ම නිරීක්ෂණය කළා. ඒකට වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඔබ දන්නවද මේ මස් කුට්ටි වල ආයු කාලය කීයක්ද කියලා?"

"මට දැනගන්න වුවමනාවක් නැහැ. හරි, සමහරවිට උන්ගේ ශරීරයේ මස් තියෙන්නේ එක කොටසක විතරක් වෙන්න ඇති. අර වෙඩ්ඩීලයි වර්ගය වගේ. මස් සහිත ඔලුවක් ඇතුලේ එලෙක්ට්‍රෝන ප්ලාස්මා මොළයක්."

"නැහැ. උන්ට වෙඩ්ඩීලයි වර්ගය වගේ මසින් හැදුණු ඔලුවක් තියෙන නිසා අපිත් ඒක හිතුවා. ඒත් මම කළින් කිව්වේ, අපි උන්ව හාරලා තෙරපලා බැලුවා. උන් සම්පූර්ණයෙන්ම මස්."

"මොළයක් නැහැ?"

"අපොයි, මොළයක් තියෙනවා. ඒත් මොළය හැදිලා තියෙන්නේ මස් වලින්! ඒක තමයි මම මෙතරම් වෙලා කියන්න උත්සාහ කළේ."

"එහෙනම්... කල්පනා කරන ක්‍රියාවලිය කෙරෙන්නේ මොකෙන්ද?"

" මම කියන දේ තේරුම් ගන්නේම නැහැ නේද? මේක පිළිගන්න ඔබ පැකිලෙනවා කියලායි මට හිතෙන්නේ. උන් කල්පනා කරන්නේ මොළයෙන්. මස් කුට්ටියෙන්."

"කල්පනා කරන මස්! තමුසේ මට කියන්නේ කල්පනා කරන්න පුළුවන් මස් තියෙනවා කියලා පිළිගන්න කියලද?"

"ඔව්! කල්පනා කරන මස්, හැඟීම් දැනෙන මස්! ආදරේ කරන මස්. හීන දකින මස්. මස් තමයි මෙතැන වැදගත්ම දේ! දැන් ඔබට පොඩි හරි චිත්‍රයක් මැවෙනවාද එහෙම නැත්නම් මම ආයෙත් මුල ඉඳන් විස්තර කරන්න පටන්ගන්න ඕනද?"

"දෙවියනේ! එහෙනම් තමුසේ මේ ඇත්තටමයි කියන්නේ! උන් මස් කුට්ටි."

"ඇති යන්තම්! බොහොම ස්තූතියි. ඔව්. උන් මස් කුට්ටි. උන්ගේ අවුරුදුවලින් අවුරුදු සීයක් විතර තිස්සේ උන් අපි එක්ක සන්නිවේදනය කරන්න උත්සාහ කරලා තියෙනවා."

"හැබෑට? මොනවාලුද මස් කුට්ටි වලට දැනගන්න ඕන?"

"මුලින්ම අපි එක්ක කතාකරන්න. මට හිතෙන විදිහට ඉන්පස්සේ විශ්වය ගවේෂණය කරන්න, අනෙත් බුද්ධිමත් ජීවීන් එක්ක සම්බන්ධ වෙන්න, අදහස්-තොරතුරු හුවමාරු කරන්න වගේ සාමාන්‍යය දේවල්."

"ඒ කියන්නේ අපි මස් එක්ක කතාකරන්න ඕන?"

"ඒක තමයි අදහස. ඒගොල්ලෝ රේඩියෝ තරංග හරහා එවන පණිවිඩයේ කියන්නේ 'හෙලෝ. ඔහේ කවුරුවත් ඉන්නවද? ගෙදර කවුද?' වගේ දේවල්"

"ඒ කියන්නේ උන් ඇත්තටම වචන, අදහස් , මත පාවිච්චි කරලා කතා කරනවා."

"ඔව් ඔව් හැබැයි උන් සන්නිවේදනය කරන්නේ අනෙත් මස් කුට්ටි එක්ක විතරයි."

"එහෙනම් තමුසේ දැන් කීවේ රේඩියෝ සංඥා පාවිච්චි කරනවා කියලා?"

"ඔව්, ඒත් රේඩියෝ සංඥා වලින් ඇහෙන්නේ මොනවා කියලාද ඔබ හිතන්නේ? මස් ශබ්ද. මස් කුට්ටියක් හෙල්ලෙද්දී පෙරලෙද්දී නිකුත්වෙන ශබ්ද. උන් කතාකරන්නේ මස් කුට්ටියේ කොටස් සොලවමින්. ඒ මස් හරහා වේගයෙන් වාතය විදලා උන්ට සින්දු කියන්නත් පුළුවන්."

"දෙවියනේ! සින්දු කියන මස්! මේක නම් විශ්වාස කරන්න බැහැ. දැන් තමුසේ මේ ගැන දෙන උපදෙස මොකක්ද?"

"නිල වශයෙන්ද නැත්නම් නොනිල වශයෙන්ද?"

"දෙකෙන්ම."

"නිල වශයෙන් අපි විශ්වයේ මේ චතුර්ථ භාගයේ ඉන්න සියලුම බුද්ධිමත් ජීව වර්ග එක්ක සන්නිවේදනය කරලා, ඒ අයව පිලි අරගෙන කිසිම පූර්ව විනිශ්චයක්, බියක් හෝ පක්ෂපාතී බවකින් තොරව ඒ හැම තොරතුරක්ම සටහන් කරන්න ඕන. ඒත් නොනිල වශයෙන් මට නම් දෙන්න තියෙන උපදෙස තමයි මේ වාර්තා හැම එකක්ම මකලා දාලා මේ ගැන අමතක කරන එක."

"තමුසේ ඔහොම කියයි කියලා මම බලාගෙන හිටියේ."

"මෙහෙම කියන එක ටිකක් දරුණුයි තමයි. ඒත් හැම දේකම සීමාවක් තියෙනවා. අපිට ඇත්තටම මස් කුට්ටි එක්ක සන්නිවේදනය කරන්න අවශ්‍යයි ද?"

"මම සීයට සීයක් එකඟයි. මොනවා කියන්නද? 'හෙලෝ මස් කුට්ටිය, ඉතින් කොහොමද?' කියන්නයැ. ඒත් මේ වැඩේ හරියයිද? මෙතැන ග්‍රහලෝක කීයක් තියෙනවද?"

"එකක් විතරයි තියෙන්නේ. ඒත් උන්ට විශේෂයෙන් සකස් කළ භාජනවල වෙන ග්‍රහලෝක වලට යන්න පුළුවන්, හැබැයි ඒ ග්‍රහලෝකවල ජීවත් වෙන්න බැහැ. අනික උන් මස් නිසා ගමන් කරන්න පුළුවන් C අවකාශයේ විතරයි. ඒ කියන්නේ උන් ආලෝකයේ වේගයට සීමාවෙලා තියෙන්නේ. මේ නිසා උන් අපි එක්ක සන්නිවේදනය කරන්න තියෙන අවස්තාව හරිම අඩුයි, ඇත්තටම කියනවා නම් අවස්තාවක් නැතිම තරම්."

"එහෙනම් අපි විශ්වයේ වෙන කවුරුවත් නැති විදිහට ඉන්නවා."

"හරියට හරි."

"ටිකක් කෘරයි. ඒත් තමුසේ කිව්වා වගේ කාටද ඕන මස් කුට්ටි ටිකක් මුණගැහෙන්න? දැන් එතකොට අපේ යානාවල ඉන්න එවුන්ට මොකද කරන්නේ? තමුසෙලා පරීක්ෂණවලට සිදුරු කළ කට්ටිය? උන්ට මේ දේවල් අමතක වෙයි කියලා තමුසෙට විශ්වාස ද?"

"උන්ට මතක තිබ්බත් වැඩිම වුණොත් පිස්සෝ හැටියට ගණන් ගැනෙයි. අපි උන්ගේ ඔලු ඇතුලට ගිහින් මොළේ මස් ටික සුමට කරලා ආවා. දැන් අපි උන්ට හීනයක් විතරයි."

"මස්වලට හීනයක්! අපි මස් ටිකකට හීනයක් වෙනවා කියන එකේ මහා අමුතු නොගැලපීමක් තියෙනවා."

"එහෙනම් අපි ඒ මුළු ඛන්ඩයම ජන ශූන්‍ය හැටියට ලකුණු කරනවා."

"හොඳයි. නිල වශයෙනුත් නොනිල වශයෙනුත් එකඟයි. ඒ වැඩේත් ඉවරයි. වෙන කවුරුවත් ඉන්නවද? චක්‍රාවාටයේ ඒ පැත්තේ වෙන වැදගත් කෙනෙක් එහෙම නැතිද?"

"ඔව් ඉන්නවා, ටිකක් ලැජ්ජාශීලී හැබැයි බොහොම සුන්දර හයිඩ්‍රජන් ජීවී සමූහයක් G445 කලාපයේ නමවෙනි වර්ගයේ තරුවක ඉන්නවා . මීට තාරකා මණ්ඩල භ්‍රමණ දෙකකට කළින් අපි එක්ක සන්නිවේදනය කළ කට්ටියක්. ආයෙත් යාලු වෙන්න ඕනෑලු."

"ඒ අය කොහොමත් ඔය විදිහට ආයෙත් එනවා."

"නැත්නම්? මේ විශ්වයේ තනියම ඉන්න සිද්ධවුණ ඕන කෙනෙකුට දරාගන්න බැරි තරම්, කියාගන්න බැරි තරම් සීතලක් දැනෙනවා අනිවාර්යයෙන්ම..."


From the Short Story Collection 'Bears Discover Fire' (1990) by Terry Bisson


February 12, 2021

ඉස්කෝලේ වයසට කළින් දරුවාට පොත් දාහක් කියවමු!

ඉස්කෝලේ වයසට කළින් දරුවාට පොත් දාහක් කියවමු!

ඒක නිකම් කරන්න බැරි වැඩක් කියලා හිතුනා නේද? ඒත් ඒක ප්‍රායෝගිකව, සාර්ථකව කෙරෙන ව්‍යාපෘතියක්. 1000 Books Before School කියන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පුස්තකාල හරහා ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. මේ වැඩසටහනෙන් පොඩ්ඩන්ගේ භාෂා හැකියාව බොහොම සීග්‍රයෙන් වැඩි වෙන බවත්, ජීවිත කාලෙටම පොත් වලට ආදරේ පරම්පරාවක් බිහිවෙන බවත් ඔප්පු වෙලා තියෙනවා.

ඔය වගේ දේවල් පිටරටවල කළාට ඕවා අපිට කරන්න බැහැ කියලා හිතුණාද? ඇත්තටම අපිට බැරිද? පොත් දාහක් කියද්දී බරපතලව හිතුනට පුංචි ළමයින්ගේ පොත්වල තියෙන්නේ පිටු කීපයයි. පොතක් කියවලා ඉවර කරන්න යන්නේ පොඩි කාලයයි. ඒත් වැඩියි වගේද? දාහක් නෙමෙයි නම් අඩුම ගණනේ පොත් සීයක්? දරුවෙක්ගේ පළවෙනි අවුරුදු පහේදී එක අවුරුද්දකට පොත් විස්සක් කියලා දෙන්න බැරිද අපිට? එහෙම හිතුවොත් ඇත්තටම මේක බැරි වැඩක් නෙමෙයි.

දරුවෙකුට තනියම පොත් කියවන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු පහක් විතර වුණාම. ඒත් අපි ඒගොල්ලන්ට පොත් හඳුන්වලා දෙන්න ඒ වෙනකම් ඉන්නවා කියන්නේ පොත් ගැන ආසාව ආදරය ඇතිකරන්න පුළුවන් අවුරුදු පහක් අපතේ යවනවා කියන එක.

දරුවෝ පුංචිම කාලේ වර්ණ හැඩතල අඳුනාගන්න අවධියේදී ඒගොල්ලන්ට පොත් පෙන්වමින්, ශබ්ද නඟලා කියවීමෙන් ඒ අය ඒවාට අවධානය යොමුකරන්න ගන්නවා. වයස මාස ගණනකදී වුණත් මේ වගේ දේවල් ඒ අයගේ මොලය වර්ධනයට හේතුවෙනවා. බබාට මාස දහයක් අවුරුද්දක් වගේ කාලේදී අපි පොතක් පෙන්වලා කියන ශබ්ද අනුකරණය කරන්න ඒ අය උත්සාහ කරනවා. පොතේ කතාවට අමතරව පාට ගැන, සත්තු ගැන විවිධ දේවල් කියලා දෙන්න මේක හොඳම අවස්ථාවක්.

පොඩ්ඩෝ තවත් ටිකක් ලොකු වුනාම කතා පොත්වල සිද්ධ වෙන දේවල් තරමකට තේරෙද්දී, ඒ අය මේ ඇහෙන කතා රස විඳින්න ඉගෙනගන්නවා. පොත් කියවන වෙලාව අම්මලා තාත්තලා එක්ක දැවටිලා ඉන්න වෙලාවක්, අලුත්ම මායා ලෝකෙකට යන්න වෙලාවක් බව ඒ අය ඉගෙන ගන්නවා. එහෙම වුණාට පස්සේ නම් පොත් කියවිල්ලෙන් ගැලවෙනවා බොරු! මේ වෙලාව පොඩ්ඩන්ට ලෝකේ ගැන කියලා දෙන්නත් හොඳ අවස්ථාවක්. පොතේ කතන්දරේට සමාන්තරව කතාබහක් ඇතිකරගැනීමෙන් මේක කරන්න පුළුවන්. 'ඒ අලි පැටියා අම්මා කියන දේ අහන්නේ නැතිව දුවලා ගිහින් ගඟට වැටුණා! පුතා නම් අම්මා කියන දේ අහනවා නේද?" වගේ පුංචි පාඩම් කතාව ඇසුරෙන් උගන්නන්න පුළුවන්.

පොත් ඇසුරේ හැදෙන දරුවන්ගේ ලෝකය පුළුල් වෙන බවට තර්කයක් නැහැ. එහෙම දරුවන්ගේ සහකම්පනය (empathy) සාපේක්ෂව වැඩියි. ඒ අය නිර්මාණශීලි යි. වචනාවලිය (vocabulary) දියුණුයි. මේ දරුවෝ ඉස්කෝලේ යන වයස එද්දී තාර්කික හැකියාවෙන්, සංයමයෙන් ඉදිරියෙන් ඉන්නවා. තමන්ගේම කියලා පොත් එකතුවක් තියෙන දරුවෙක් සාමාන්‍යයෙන් පොත් ඉරන්නේ නැහැ, ඒවායේ බලි කුරුටු අඳින්නේ නැහැ. ඒ පොත් ටික තියන්න පුංචි රාක්කයකුත් ලෑස්ති කරලා දුන්නොතින් දරුවෝ පිළිවෙලත් ඉගෙනගන්නවා.

මේ අදහස හොඳ වුණාට ළමයින්ට කියලා දෙන්න ඔයතරම් පොත් කොහෙන්ද හොයාගන්නේ, ඕවාට වෙලාව කොහෙන්ද කියලාත් හිතෙනවා නේද? පුස්තකාල පහසුකම් තියෙන අයට නම් හොඳම තෝරාගැනීම දරුවන්ට ගැලපෙන පොත් පුස්තකාලයෙන් ගන්න එක. ඒකට හේතුව ළමයින්ගේ කියවීම් මට්ටම් ඉක්මණින් වෙනස්වෙද්දී නිරන්තරයෙන් පොත් මිළදී ගන්න සිද්ධ වෙන නිසා. ඒ පහසුකම නැත්නම් මොනවද කරන්න පුළුවන්? ළමයින්ට සෙල්ලම් බඩු හැටියට ගෙනත් දෙන ප්ලාස්ටික් කෑලි වෙනුවෙන් වැය කරන මුදලෙන් පොතක් දෙකක් ගන්න එක ඊට වඩා ප්‍රයෝජනවත්. දරුවන්ගේ උපන්දිනවලට පොත් තෑගි දෙන්න කියලා අපිට අනිත් අයට යෝජනා කරන්න පුළුවන්. අපිටත් පුරුද්දක් හැටියට අනිත් දරුවන්ට තෑගි දෙද්දී ඒ දේ කරන්න පුළුවන්. දෙමව්පියෝ කීපදෙනෙක් එකතුවෙලා තමන්ගේ දරුවන්ගේ පොත් බෙදාගන්න එක, කියවලා ඉවර වුණු පොත් වෙනත් පුංචි දරුවන්ට දෙන එක අමාරු වැඩ නෙමෙයි.

දරුවෝ එක්ක පොත් කියවන්න දවසකට පොඩි වෙලාවක් නැහැ කියන අයට නම් ඉතින් දෙන්න පිළියමක් නැහැ. තමන්ගේ එදිනෙදා පුරුදු ගැන, දිනචර්යාව ගැන, ළමයින් වෙනුවෙන් ගතකරන කාලය ගැන තව ටිකක් හිතන්න කියලා තමයි ඒ අයට කියන්න වෙන්නේ.

මේ සටහන පුංචි උදාහරණයකින් ඉවර කරන්නම්. මම රැකියාව කරන්නේ මෙල්බර්න් නගරයේ පෞද්ගලික ද්විතියික පාසැලක පුස්තකාලාධිපතිනියක් හැටියට. මේ පාසැලේ ඉන්නේ අවුරුදු 13-18 අතරේ ගැහැණු ළමයි. මෙල්බර්න් නගරයේ උසස් පෙළ විභාග ප්‍රතිපල අතින් ඉදිරියෙන්ම ඉන්න පාසැලක් මේක. මේ පාසැලේ ළමයි හැමකෙනෙක්ම තාක්ෂණයත් එක්ක හැදුණු වැඩුණු අය. පාසැලේ වැඩකටයුතු වලට ලැප්ටොප් පරිගණකයක් ඒ සිසුවියන්ට අනිවාර්යයි. මේ වගේ පරිසරයක හැදුනත් මේ ළමයි පොත් කියවන්න හරිම ආසයි. ඒක පිපාසයක් කියන්න පුළුවන් තරම්. අලුත්ම පොත් ජාති කියවන්න, යාළුවො එක්ක තරඟෙට කියවන්න ඒ අයගේ පුදුම උනන්දුවක් තියෙන්නේ. ඒ උද්යෝගය දකිද්දී මට හරිම ආසා හිතෙනවා. මේ මම දකින්නේ පුංචිම කාලේ ඒ දරුවෝ තුළ පොත්වලට ඇතිකළ ආදරයක ප්‍රතිපල බව මම දන්නවා. උපන් දවසේ ඉඳන් අලුත්ම තාක්ෂණය එක්ක හැදුණු ළමයි පොත් කියවීමට මේ තරම් කැමතියි නම් ඒ කියන්නේ තාක්ෂණය ඒකට බාධාවක් නෙමෙයි කියන එක නේද? ඒ දරුවෝ අධ්‍යාපන කටයුතු වලින් කැපී පේන්නත් මේ පොත් කියවීම හේතු වෙනවා.

පොත් කියවන පුරුද්ද අපේ දරුවන්ට තෑගි කරන එක අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. එයින් නිර්මාණය වෙන සහකම්පනයක් ඇති තාර්කික දරුවා හෙට ලෝකයට බොහොම ප්‍රයෝජනවත් වේවි.

-හෙල්මලී ගුණතිලක-
photo- 1000 Books Before School Project




February 10, 2021

කපුටුස්





“ඇයි අපි ඒ අයට බය?” කපුටුස් තාත්තාගේ පැත්තට ඔලුව කරකවලා ඇහුවා.

තාත්තා උත්තර නොදී පිහාටු පිම්බුවා. දෙන්නාම හිටියේ කොස් ගහක පහළ අත්තක.

“කියන්නකෝ තාත්තේ!” කපුටුස් බල කළා. තාත්තා ඔහොමමයි. ලේසියෙන් වචනයක් ගන්න අමාරුයි.

“එහෙම තමයි. ඒගොල්ලෝ නපුරුයි.” තාත්තා කීවා.

“නපුරුයි නම් අපිට කන්න කෑම ලෑල්ලට එක එක කෑම ජාති දාන්නේ?” අද කපුටුස් කොහොමහරි මේක විසඳා ගන්නයි ලෑස්තිය.

“ඒ දාන්නේ අපිට නෙමෙයිනේ. අර මෝඩ මයිනන්ටයි ලේන්නුන්ටයි නේ.” තාත්තා ඈත බලාගෙන කීවා. කොස් ගහට එපිටින් තිබුණේ කතුරුමුරුංගා ගහ. ඊට එහා කුණු වල. දවස තිස්සෙම ඒ දිහා ඇහැ ගහගෙන ඉන්න එක තාත්තාගේ ප්‍රධාන රාජකාරිය.

කපුටුස් ටිකක් වෙලා නිහඬව කල්පනා කළා. මයිනෝ නම් ටිකක් මෝඩයි තමයි. එකෙක් ‘දුවපාං!’ කීව ගමන් ලවක් දෙවක් නැතිව කට්ටියම ඉගිලිලා යනවා. එහෙම කලබල වුණාට සමහර වෙලාවට අහලක කිසි අනතුරක්වත් නැහැ. ඒත් ලේන්නුන්ගේ නම් මෝඩ බවක් කපුටුස්ට පෙනිලා තිබුණේ නැහැ. ගස් බෙනවල ලොකු කූඩු හදන්න, ඒවාට ඕන කොහු, පුළුන් එහෙම එහෙන් මෙහෙන් උස්සගෙන එන්න සෑහෙන්න කල්පනාවක් තියෙන්න වුවමනායි කියලා තමයි කපුටුස්ට හිතුණේ. ලේනෙක් දවසක් මේ ගෙදර පිටිපස්සේ රෙදි වැලේ වේලෙන්න දැම්ම තුවායක මැද පදාසයක නූල් ගලවලා අරගෙන යන හැටි කපුටුස් බලාගෙන හිටියේ හොඳටම හිනාවෙමින්.

කෑම ලෑල්ලට බත්, පළතුරු එහෙම දාන්නේ තමන්ට නෙමෙයි කියලා කපුටුස් ට පොඩි සැකයක් තිබුණත් ඒක මේ වෙනකම් කවුරුවත් ස්ථිරව කියලා තිබ්බේ නැහැ. තමන් දවසක් එතැන තිබුණු බෙරි වුණු කෙසෙල් ගෙඩියක් කමින් ඉන්දැද්දී ‘ශෝ!.. ශෝ!’ සද්දයක් ඇහිලා ඉගිලිලා ගියත් ඒ ගැන ඊට එහා කපුටුස් කල්පනා කරලා තිබුණේ නැහැ.

“කෑම ලෑල්ල තියෙන්නේ ලේන්නුන්ටයි අනෙත් කුරුල්ලන්ටයි. අපි ඒකෙන් කනවට කකුල් දෙකේ අය කැමති නැහැ.” කපුටුස්ගෙන් ඊළඟ ප්‍රශ්න මාලාව ඉදිරිපත් වෙන්න කලින් තාත්තා පැහැදිලි කළා. “අපි බඩජාරියි කියලා ඒගොල්ලෝ හිතන්නේ.. අනෙත් සත්තුන්ගේ කොටහත් අපි කනවා කියලනේ අපිව පන්නන්නේ.”

“ඉතින් කතාව ඇත්තනේ, අපි ඔක්කොම කනවනේ” කපුටුස් තාත්තාට හරස් ප්‍රශ්නයක් දැම්මා.

තාත්තා උත්තර නොදී රවලා බැලුවා. තාත්තාගේ පිහාටු පිම්බිල්ලෙන් එයා ඉන්නේ කේන්ති ගිහින් කියලා කපුටුස් දැනගත්තා. තමන් මුලින් ඇහුව ප්‍රශ්නේ ආයෙත් අහලා තාත්තගේ මේ කේන්තියම දික් කරගන්නවාද එහෙම නැත්නම් වෙන දවසක අලුතින්ම කේන්තියක් ලෑස්ති කරගන්නවාද කියලා ටිකක් වෙලා කල්පනා කළ කපුටුස් ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහුවා.

“ඉතින් තාත්තේ අපි ඇයි ඒ අයට බය?”

ගෙයි පිළිකන්න පැත්තේ ඉඳලා ආව ගෑනු කෙනෙක් කුණු වල පැත්තට වතුර කොරහක් වීසි කරලා ආයෙත් ඇතුලට ගියා. ඔය ඉඳුල් වතුර එක්ක තියෙන්නේ ළූනු පොතුයි, දෙහි බෑයවලුයි කියලා අත්දැකීමෙන් දන්නා නිසා කපුටුස්වත් තාත්තාවත් ඒ ගැන බලන්න යන්න කරදර වුණේ නැහැ.

“ඉස්සර දවසක උඹේ මුත්තෙක් ඔය කකුල් දෙකේ කෙනෙක්ගෙන් වෙඩි කෑවාලු.” තවත් ටිකක් වෙලා නිශ්ශබ්දව හිටිය තාත්තා අන්තිමේදී කීවා.

“වෙඩි?” කපුටුස් ඇහුවේ ඔලුව කරකවලා බලමින්. “ඒ රස ජාතියක්ද තාත්තේ?”

“මෝඩයෝ! වෙඩි කෑවාම මැරෙනවා!” තාත්තා කේන්තියෙන් කෑගැහුවා.

කළින් වතාවක තමන් මේ විදිහට තාත්තාගේ කේන්ති දික්කරගත්ත වෙලාවක තාත්තා තමන්ට රිදෙන්න කෙටුවා කියලා කපුටුස්ට මතක තිබුණ නිසා එයා කොස් අත්ත උඩ තාත්තාගෙන් ටිකක් ඈතට වුණා. තාත්තාගේ සද්දේ ඇහිලා ආයෙත් ගෙදර පිළිකන්න පැත්තෙන් එබිකම් කළ ගෑනු කෙනා ‘දොරකඩ ඉඳන් කපුටෙක් කරව් කරනවා… නෑයෙක් එන්න වගේ!’ කියලා ගේ ඇතුළේ හිටිය කෙනෙකුට හයියෙන් කිව්වා. ඒක අහලා කපුටුස්ට හිනාවකුත් ගියා. ‘මෙහෙම මෝඩ උදවියටනේ අපි බය!’ එයාට හිතුණා.

එදා රෑ වෙද්දී ගේ ඉස්සරහ අඹ ගහේ සුපුරුදු තැන ඉඳගෙන නිදාගන්න හැදුව කපුටුස්ට සැරෙන් සැරේ එක එක විකාර හීන පෙනිලා ඇහැරුණා. එයාගේ හිත කීවේ කකුල් දෙකේ අයට බය වෙන්න ඕන නැහැ කියලාමයි. ඒ අයට වීසි කරන්නත් මේ තරම් රස කෑම තියෙනවා නම් ඒ ගෙවල් ඇතුළේ කොයිතරම් ජාති ඇතිද? අර තාත්තා කීව ‘වෙඩි’ කතාව මොකක්ද? තාත්තා කීව විදිහට ඒගොල්ලෝ ඕනෑකමින් මුත්තාව මැරුවා කියලා කපුටුස්ට හිතාගන්නම බැරි වුණා. මරනවා තියා පාරේදී කපුටෙක් දැක්කත් ඒ අය කවදාවත් දෙසැරයක් හැරිලා බලන්නේවත් නැහැ. එහෙනම් මුත්තා කකුල් දෙකේ අයගේ වෙඩි කියන ජාතිය කෑවේ කොහොමද? ‘වෙඩි’ රසද දන්නෑ! අඩ නින්දේ වැනි වැනි හිටිය කපුටුස්ට හිතුණා.

පස්සෙන්දා වෙනදාට වැඩිය කළින් කපුටුස් ඇහැරුණේ මොකක්දෝ අමුතු සද්දයක් ඇහිලා. රෑ තිස්සේ අනම් මනම් විකාර හිතමින් හිටිය නිසා එයාට නින්ද ගියේ එළිවෙන ජාමේ. පාන්දර, යන්තම් එළිය වැටීගෙන එද්දී මිදුල පුරා පැතිරුණු මීදුම අතරින් කපුටුස්ට ඈතින් ‘කාක් කාක්’ හඬක් ඇහුණා. හැබැයි ඒ කපුටෙක්ගේ හඬක් නම් නෙමෙයි. කපුටු බාසාව නොදන්නා කෙනෙක් අමාරුවෙන් වචනයක් දෙකක් කියන්න උත්සාහ කරන හඬක්. ඒ අමුතු සද්දේ ඇහිලා නිදිමත කොහේ ගියාද කියලා නැති වුණ කපුටුස්, සද්දේ එන පැත්තට ඉක්මණින්ම පියෑඹුවා.

ගෙදර මිදුලේ සුදු ඇඳගත්තු කකුල් දෙකේ කෙනෙක් හිටියා. පිනි බාන නිසාද කොහෙද ඒ කෙනා සුදු සාළුවක් ඔලුවේ ඉඳන් පොරවාගෙනත් හිටියා. එයාගේ අතේ කෙසෙල් කොළයක් එලුව පලංගනාවක සුවඳ හමන කෑමක් තිබුණා. ‘කාක් කාක්’ කියමින් හිටියේ මේ කෙනා තමයි. එහෙම කියමින් එයා වටපිට ගස්වල මුදුන් දිහා බැලුවේ යමක් හොයනවා වගේ. එහෙම බලමින්, පලංගනාවේ තිබුණු කෑම ගුලියක් අතේ තියාගෙන ඒ කකුල් දෙකේ කෙනා මිදුල වටේ ඇවිද්දා.

කපුටුස් උගුරැස්ස ගහේ අත්තක වාඩිවෙලා මේ සිද්ධිය ගැන විපරමින් බැලුවා. මෙහෙම සිද්ධියක් කළින් කවදාවත් නොදැකපු එයාට, කළින් දවසේ රෑ තිස්සේ කල්පනා කළ මනස්ගාත එක්ක මේ පේන්නේ හීනයක්ද කියලාත් හිතුණා. එහෙම දෙගිඩියාවෙන් ඉන්දැද්දී කකුල් දෙකේ කෙනා උගුරැස්ස ගහ යටට ආවා, කපුටුස් දිහා එක එල්ලේ බැලුවා, ආයෙත් වතාවක් ‘කාක්, කාක්’ කිව්වා. එහෙම කරලා පලංගනාවේ තිබුණු කෙසෙල් කොළය කෑම ටිකත් එක්කම උගුරැස්ස ගහ යට බැම්ම උඩින් තියලා යන්න ගියා.

හරියටම මේ සිද්ධ වුණේ මොකක්ද කියලා නිනව්වක් නැතිව කපුටුස් ඒ කෑම ටික දිහා තව ටික වෙලාවක් බලාගෙන හිටියා. කකුල් දෙකේ කෙනා මේ කෑම තමන්ට දුන්නා වෙන්න බැහැ. එහෙම කෑම දාන්නේ කෑම ලෑල්ලටනේ. අනික තාත්තා කීව විදිහට ඒ අය කපුටෝ කෑම කනවට කැමතිත් නැහැනේ. හැබැයි ඒ කෙනා තමන්ගේ දිහා බලලා නුහුරට ‘කාක්, කාක්’ කීව විදිහට කපුටුස්ට නම් තේරුණේ ‘කන්න, කන්න’ කියනවා වගේ. කොයිකටත් කියලා කපුටුස් කෑම එක තියෙන බැම්මට පියෑඹුවා. අම්මෝ සුවඳේ බැහැ! කපුටුස් ඩිංග ඩිංග කෑම ටිකට ලං වෙලා පැත්තකින් රස බැලුවා. වෙනදාට මේ කෑම ජාතියේ දංකුඩ පිළිකන්නේ කොස් ගහ මුලට හලන නිසා කපුටුස් මේවා අඳුරනවා. ඒත් අද නම් ඒවායෙන් වෙනදා දැනෙන කර රහ නැහැ. අමුතු තෙල් සුවඳකුත් එනවා. මේ දිව්‍ය භෝජනේ රස බලන්න ගත්ත කපුටුස්ට, කෑමක් ලැබුනාම නෑයින්ටත් අඬගහලා මිසක් කන්නේ එහෙම නැහැ කියලා අම්මා පුංචි කාලේ ඉඳන් කට පාඩම් කළ චාරිත්තරේත් අමතක වුණා. එයා ඒ කෑම ටික ඔක්කොම කටට දෙකට ගිල දැම්මා.

කාලා ඉවරවෙලා ආයෙත් අඹ ගහට ඉගිලෙද්දී කපුටුස්ට මත් ගතිය වගෙයි. උදේම හිස් බඩ මෙතරම් කෑමක් කෑවාමයි! අර තාත්තා කීව ‘වෙඩි’ මේවා වෙන්න බැරිද කියලා කපුටුස්ට හදිසියේ හිතුණේ හොට ගහේ අතුල්ලද්දී. එයා මොහොතක් ගල් ගැහුණා. මුත්තා වගේ එයාත් මැරෙයිද කියලාත් හිතුණා. නෑ වෙන්න බැහැ! තාත්තාට කියන්න ඕන කකුල් දෙකේ අය හරි හොඳයි කියලා. තමන්ට අඬගහලාම රස කෑමක් දුන්නා කියලා. මෙතරම් කල් නිස්කාරණේ අහිංසක කකුල් දෙකේ අයට බයවුණේ. තාත්තලාගේ හණමිටි අදහස්! දවල් වෙද්දී පිළිකන්න පැත්තේ දොරෙන් ඇතුලටත් පියාඹලා බලන්න ඕන කියලාත් කපුටුස්ට හිතුණා. එතකොට ඒගොල්ලෝ තවත් රස කෑම දෙයිනේ. එහෙම හිතමින්, තනියම හිනාවෙමින්, ඉර නගින්න කළින් තව ඩිංගක් නිදාගන්න කපුටුස් ඇස් දෙක පියාගත්තා.


Digital sketch with oil brush tool

දිනමිණ- වසත් සුළඟ, 10-02-21. 15 පිටුව
http://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=358cfb39&imageview=1




February 03, 2021

බිය

Translation of the poem 'Fear' by Kahlil Gibran


දිනමිණ, වසත් සුළඟ, 02.02.21. 15 පිටුව
https://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=a560a441&imageview=1