Showing posts with label අසම්පූර්ණ සුරංගනා කතා. Show all posts
Showing posts with label අසම්පූර්ණ සුරංගනා කතා. Show all posts

May 11, 2023

මුහුදු ඉස්කෝලේ නිවාඩු- අසම්පූර්ණ සුරංගනා කතා



මිලා අද දවසම ගත කළේ හැංගිලා. උසට උසේ ඒ මේ අත වැනෙන මුහුදු තණකොළ අතරේ ඉඳන් එයා සැරෙන් සැරේ එළිය බැලුවා. ඊයේ උදේ ඇතිවුණ තිගැස්ම නිසා හැමතිස්සෙම තමන්ගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ එයාට දැනුණා. කොහොමහරි මේ කොළ පාට මුහුදු තණකොළ අතරේ එයාගේ දිස්නේ දෙන කහ පාට පැහැදිලිවම පේන නිසා ඒ හැංගිල්ලෙන් වැඩක් නැති බවවත් එයාට මතක් වුණේ නැහැ.

මුහුදු ඉස්කෝලේ නිවාඩු දුන්නු දවසේ ඉඳන්ම මිලා එයාගේ කකුළු යාලුවා මිකීයි, පසැඟිලි යාලුවා ඩේලියායි එක්ක ඔට්ටු තියමින්, හැංගිමුත්තන් කරමින් ගත කළා. උදේ ඉර නැඟෙන වෙලාවට කොරල් පර අතරේ හරිම ලස්සනයි. පැහැදිලි මුහුදු වතර අතරින් පෙරිලා එන ඉර එළිය තීරු නිසා කොරල් පඳුරු තැඹිලි පාටට, රතු පාටට, රත්තරන් පාටට දිලිසුණා. 

ඒත් ඊයේ උදේ නම් හැංගිමුත්තන් කරන වෙලාවේ ගල් පර දෙකක් අතර හැංගෙද්දී මිලා හොඳටම බයවෙන දෙයක් වුණා. හදිසියෙම ගැඹුරු මුහුදේ අඳුර අතරින් හොල්මනක් මතු වුණා! 

මිලා හොල්මන් ගැන අහලා තිබුණේ පරණ කතන්දර කියන කැස්බෑ ආච්චිගෙන්. මුහුදේ ලෝකයට එහා අහස් ලෝකයේත් ගොඩබිම් ලෝකයේත් අමුතු ලස්සන කතන්දර ගොඩාක් කැස්බෑ ආච්චි දැනගෙන හිටියා. කම්මැලි හවස් වරු වලට පොඩි පොඩි මාළු පැටව්, කකුළු පැටව් මේ කතන්දර අහන්න කැස්බෑ ගෙදරට රොක් වුණා. කැස්බෑ ආච්චි කීව කතා අතරින් හොල්මන් කතා මිලාගේ හිතේ තදින්ම සටහන් වෙලා තිබුණා.

ඉතින් ඊයේ ඒ අඳුර මැද්දෙන් දැක්කේ හොල්මනක් කියලා මිලාට හොඳටම විස්වාසයි. කැස්බෑ ආච්චි කීව විදිහටම ඒ හොල්මන විනිවිද පේන දිග ගවුමක් ඇඳගෙන තමන්ගේ ඉස්සරහින් බොහොම හිමින් පාවෙලා ගියා. මිලා බය වුණු පාරට උන්නු තැනත් අමතක වුණා. ගල් පර අස්සේ සෑහෙන්න වෙලාවක් හැංගිලා ඉඳලා හොරෙන් එබිලා බලද්දී හොල්මන පේන්න හිටියේ නැහැ. 

“මොකද, අද සෙල්ලම් කරන්න යන්නේ නැද්ද? අන්න මිකී කතාකරනවා” තාත්තා ළඟටම ඇවිත් කියද්දී මිලා තිගැස්සුණා.

“නෑ මේ, මං මේ..” එයාට වචන පැටලුණා.

“ඒ පාර මොකක්ද කරගත්තේ?”

තාත්තා මිලා දිහා බැලුවේ ඇස් පුංචි කරලා. කලින් වතාවක සෙල්ලම් කරන අතරේ අම්මලාට හොරෙන් ගැඹුරු මුහුදට ගිහින්, මිකීව පරණ මාළු දැලක පැටලුණු අකරතැබ්බය තාත්තට මතක් වුණු බව මිලාට තේරුණා. එදා මිකීව බේරගන්න තාත්තා මහන්සි වුණත් පස්සේ යාළුවො තුන්දෙනාවම පේළියට තියලා හොඳ දේශනයක් දුන්නා. 

“නෑ නෑ එහෙම මුකුත් නෙමෙයි” මිලා ඉක්මණින් කිව්වා. “මේ ඊයේ, අපි සෙල්ලම් කරද්දී….” 

මේ කතාව අහලා තාත්තා හිනාවෙයි කියලා හිතිලා මිලා කතාව අතරමඟ නැවැත්තුවා. කැස්බෑ ආච්චිගේ කතන්දරවල තමන්ට දැනෙන හුස්ම හිරවෙන ජාතියේ පුදුමය වැඩිහිටියන්ට නොදැනෙන බව යාළුවො ටික ළඟදීත් කතා වෙලා තිබුණේ.

“ඔව් ඔව්, මොකද වුණේ?”

තාත්තා ඇහුවා.

ඔන්න ඔහේ කියලා දානවා කියලා මිලාට හිතුණා.

“මම අර ගල්පර අතරේ හැංගිලා ඉන්දැද්දී හොල්මනක් දැක්කා!” මිලා කීවේ ඇස් දෙක ලොකු කරන්.

මේක අහලා තාත්තා හිනාවුණේ නැහැ. මිලා දැක්ක හොල්මන ගැන විස්තර ගොඩාක් ඇහුවා. ඊටපස්සේ ටිකක් කල්පනා කළා. 

“තාත්තාත් හොල්මන ගැන අහලා බය වෙලාද?” මිලා තමන්ටම කියාගත්තා.

“මම ඉක්මණින් එන්නම්.” තාත්තා හදිසියේම ඈතට පීනාගෙන ගියා. 

තමන් තවදුරටත් බය වෙන්න ඕනද නැද්ද කල්පනා කරමින් ඉන්න අතරේ මිලාට නින්ද ගියා.

“මිලා, මිලා! මේ බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා!” 

තාත්තාගේ කටහඬ ඇහිලා මිලා ගැස්සිලා ඇහැරුණා. එයා හිමින් සැරේ මුහුදු තණකොළ තීරු අතරින් එබිලා බැලුවා. මෙන්න එතැන අර හොල්මන! ඊට එහාපැත්තෙ තාත්තා හිනාවීගෙන ඉන්නවා. මිලාට පොඩි බයකුත් ලොකු කුතුහලයකුත් දැනුණා.

“මෙන්න මිලා ඔයාගේ හොල්මන, අපේ ජෙලිෆිෂ් මහත්තයා!” තාත්තා හයියෙන් හිනාවුණා.

ඇත්ත නේන්නම්, හොඳට එලිය තියෙන තැනක ඉන්දැද්දී ඒ ජෙලිෆිෂ් මහත්තයෙක් බව පේනවා! ජෙලිෆිෂ් මහත්තයා මිලා ට ලොකු හිනාවක් දුන්නා.

හැංගිලා හිටිය තැනින් එලියට එද්දී මිලාට පොඩි ලැජ්ජාවක් දැනුණා තමයි, ඒත් ඉතින් ඒ හිටියේ හොල්මනක් නෙමෙයි නිසා දැනුණේ ලොකු සැනසිල්ලක්. 

“ජෙලිෆිෂ් මහත්තයාගෙන් අහන්න ඕන මාත් එක්ක පොඩි ගමනක් යන්න එනවාද කියලා,” මිලා තමන්ටම කියා ගනිද්දී එයාගේ මූනේ කපටි හිනාවක් ඇඳුනා.

-හෙල්මලී ගුණතිලක-

digital painting

 අසම්පූර්ණ සුරංගනා කතා #3


February 12, 2023

මැහුම්කාර අයිරිනා - අසම්පූර්ණ සුරංගනා කතා #2

 අසම්පූර්ණ සුරංගනා කතා #2


“අනේ මන්දා, අදත් වහින්න වගේ!”

අයිරිනා ගස්වල අතු අතරින් එබිලා අහස දිහා බලලා තමන්ටම කියාගත්තේ නොරිස්සුමෙන්. රාස්බෙරි පඳුරේ කොළ අතරින් අව්ව තීරු තීරු වැටිලා තිබුණත් ඈත අහසේ තිබුණේ අඳුරු මූසල පෙනුමක්. වැස්සොත් අදත් වැඩ ඉවර කරගන්න වෙන්නේ නැහැ, එකතු වුණ වැඩ ටික මතක් වෙද්දී අයිරිනාට ඔලුව අවුල්වෙනවා වගේ දැනුණා. මෙහෙම වෙලාවට එයා කරන්නේ ලැයිස්තු හදන එක. වැඩ ඉවර කරගන්න ඒකෙන් ලොකු උදව්වක් නැහැ තමයි, ඒත් කරන්න තියෙන වැඩ ලැයිස්තුගත කරද්දී හිත හරි ටිකක් හැදෙනවා. සමහර වෙලාවට අයිරිනාගේ ලැයිස්තු වලත් ලැයිස්තු තියෙනවා.

“දවස් දෙකකින් බාරදෙන්න තියෙන මොනාක් සමනල තටු කට්ටල තුනයි, තනි සුදු කට්ටල දෙකයි ”

ඒ වෙද්දීත් සමනල තටුවක් ගොතන ගමන් හිටිය නිසා මේ සැරේ අයිරිනා ලැයිස්තුව හදන්නේ හිතෙන්. දිග ඇදෙමින් යන තම්බර්ජියා වැලක නටුවක හරි බරි ගැහිලා වාඩිවෙන ගමන් එයා කරන්න තියෙන වැඩ ටික මතක් කරන්න ගත්තා.

“අන්ඩ දාන්න දුන්න ජිප්සී සලබ තටු එකයි, අලුතින් තිත් මහන්න දුන්න ලේඩි බර්ඩ් කුරුමිණි පියන් කට්ටල පහයි….”

තමන්ට මේ තරම් වැඩ ගොඩ ගැහුණේ ළඟ එන වසන්ත ඍතුව නිසා බව අයිරිනා දන්නවා. වැඩි වැඩියෙන් මල් පිපෙන කාලයට සමනල්ලු වෙන්න බලාගෙන මේ කාලේ දළඹුවෝ කෝෂගත වෙනවා වැඩියි. හරියටම කෝෂයෙන් නික්මෙන දවස වෙද්දී සමනල තටු කට්ටල ටික බාරදෙන්න අයිරිනාට ඇනවුම් දීලා තමයි එයාලා කෝෂ ඇතුලේ හැංගෙන්නේ. ඒ නිසා ඒ වැඩ නම් කොහොමත් පරක්කු කරන්න බැරි බව අයිරිනා දන්නවා. දැනුත් එයා හිටියේ මොනාක් සමනල තටුවක වැඩ ඉවර කරන ගමන්. එක එක වර්ගවල, පාටවල මැහුම් වැඩ වල නිරන්තරයෙන්ම යෙදිලා හිටියත් අයිරිනා හිත යටින් වැඩියෙන්ම ආසා කළේ මොනාක් සමනල තටුවලට. ඒවායේ ඇස් නිලංකාර කරවන කහ තැඹිලි පාටත් කළු පාට ඉරිත් හීනවලදී පවා අයිරිනාගේ ඇස් පියන් යට ඇඳුනා. මේ කැමැත්තට හේතුව මොනාක් සමනල්ලු ලස්සන වුනත් විෂ බව තමන් කොහේදෝ ඇහුව කතාවද නැත්නම් දවසක් තරුණ මොනාක් සමනලයෙක් අයිරිනාව මල් ගාලකදී හම්බවෙලා එයාගේ ඇස් දෙකේ පාට ලස්සනයි කීව නිසාද? සමහරවිට හේතු දෙකම වෙන්නැති. ඒත් ඒ හේතු දෙක එකිනෙකට පරස්පර නිසා ඒ ගැන වැඩිය නොහිතා ඉන්න එයා උත්සාහ කළා.

“තව වැඩ තියෙනවා, ඇයි මැහුම් බඩු ගේන්න!” අයිරිනා තමන්ටම මුමුණා ගත්තේ එක සමනල තටුවක වැඩ ඉවරකරලා පැත්තකින් තියමින්. දොළ පාරෙන් එහා කඩ මණ්ඩියේ රොබින් නෝනාගේ කඩේ තමයි හොඳම මැහුම් බඩු තිබුණේ. දොළ පාරෙන් එගොඩ මෙගොඩ වෙන්න ගෙම්බන්ගෙන් උදවු ඉල්ලන්න වෙන එක කරදර වැඩක් වුණත් තමන්ගේ ගනුදෙනුකාරයෝ වෙනුවෙන් ඉස්තරම්ම අමුද්‍රව්‍ය ගන්න අයිරිනා හැමතිස්සෙම උත්සාහ කළා.

“කහ නූල් පන්දු දුසිම් බාගයයි, තැඹිලි දුසිමයි. රතු දුසිමයි, සුදු රේන්ද යාර තුනයි. පළගැටි පවුලටම ඊළඟ ඍතුවට අලුත් ඇඳුම් මහන්න බාරදෙන බවක් එදා තණ බිස්සේදී මුනගැහිලා පළගැටි අම්මා කීවා. ඒ ඇඳුම් ටිකටත් රෙදි බොත්තම් දැන්ම ගෙනත් තියාගන්න ඕන.” අයිරිනා හිතෙන් තව ලැයිස්තුවක් හදන්න පටන් ගත්තා.

අඩුම ගානේ වසන්ත කාලෙටවත් තමන්ගේ වැඩ වලට අත් උදවු කාරයෙක් ගන්නවද කියලා අයිරිනා ආයෙත් කල්පනා කළා. තමන්ට නොකඩවා ඇනවුම් එන්නේ තමන්ගේ මැහුම් වැඩ වල ඉස්තරම් ප්‍රමිතිය නිසා ඒ වැඩ නම් වෙන කිසි කෙනෙකුට පවරන්න බැහැ. ඒත් අඩුම ගානේ කඩේ යවන්න, වැඩ ඉවර ඇනවුම් ගිහින් බාර දෙන්න වගේ සිල්ලර වැඩ වලට කුරුමිණි කොල්ලෙක්වත් වැඩට ගන්න වෙන බව එයාගේ යටි හිත කිව්වා.

“තාවකාලිකව වැඩට අරගෙන, වැඩපළ කොහොමද එහෙම බලලා…”

“ඩාං.. ඩෝං.. දඩාං!”

අයිරිනාගේ සිතුවිලි හදිසියේම නැවතුණේ රාස්බෙරි පඳුරේ මුල හරියෙන් ඇහුණු ලොකු සද්දයක් නිසා. බරැති යමක් පෙරළෙන, පඳුරු තැලෙන හඬ අඳුනාගන්න එයාට අමාරු වුණේ නැහැ.

“දෙවියනේ! ආයෙත් වතාවක් මෙතැන හා පවුලක්වත් පදිංචි වෙන්න හදනවාද?” අයිරිනා තමන්ටම කියාගත්තා.

 අසම්පූර්ණ සුරංගනා කතා #2

-හෙල්මලී ගුණතිලක-


Painting- Watercolour paints


January 16, 2023

මාසෙයිල් සහ වික්සන් - අසම්පූර්ණ සුරංගනා කතා#1


.
.
මාසෙයිල් ඇස් අරිද්දි එයාට මුලින්ම පෙනුණේ ඇස් නිලංකාර වෙන තරම් දිලිසෙන එළියක්. "ඒ පාර මම මේ කොහෙද ඉන්නේ?' එයා තමන්ටම කියාගත්තා. ආලෝකයට ඇස් දෙක හුරු වුණාම එයා වටපිට බැලුවා. තමන් ඉන්නේ තනියම බව එයාට තේරෙන්න වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.
මේ වතාවේ මාසෙයිල්ට බැලූ බැලූ අත පෙනුණේ එක එක පාට. අහස සේදුණු නිලකින් දිලිසුණා. බිම තණකොළ නිල්- කොළ පාටකින් බැබලුණා. වැතිරිලා උන්නු තැනින් හිමින් හිමින් නැගිට ගත්ත මාසෙයිල් වටපිට ඇවිදින්න පටන් ගත්තා.
 
මෙදා පාර තමන් ඇවිත් ඉන්න ලෝකය පාට හැඩ තල වලින් පිරිලා බව එයාට හිතුණා අමුතු හැඩවල උල් කොළ තිබුණු ගස් දම් පාට ගෙඩි වලින් බර වෙලා තිබුණා. තැඹිලි පාට ලොකු හොටවල් තිබුණු කෑදැත්තෝ ඝෝෂා කරමින් ඒ ගස් වල අතු අතරේ පියාඹමින් හිටියා. සමහර ගස් වල තිබුණේ තනි රතු පාට කොළ. ඒ නිසාද කොහෙද ඒවායේ මල් කොළ පාටින් පාට ගැන්විලා තිබුණා. සමහර නූස් පඳුරුවල තරු හැඩේ පලතුරු පිරිලා තිබුණා. මාසේයිල්ට බඩගින්නක් දැනුණත් නාඳුනන ඒ ගෙඩි ජාතිය කන්න එයාට බය හිතුණා. උසම උස පතොක් පඳුරු යෝධයෝ වගේ වනාන්තරේ තැන තැන හිටගෙන හිටියා. එයින් එක පතොක් ගහක් ළඟට ගිය මාසෙයිල් ඊට අත තිබ්බේ බයෙන් බයෙන්. ඒත් ඒ ලෝකේ පතොක් ගස්වල අමුතු රැළි රටාවක් මිසක් කටු තිබුණේ නැහැ!

මේ අමුතුම පාට පාට වනාන්තරය මැද්දෙන් ටික දුරක් ගිය මාසෙයිල් ට මහන්සියක් දැනෙන්න වුණා. මේ වතාවේ වත් තමන්ගේ අරමුණ ඉටු කරගන්න බැරි වෙයිද කියලා එයාට සැක හිතුණා. වනාන්තරය මැද්දේ ටිකක් ඈතින් ගස් තුනී වුණු තැනිතලාවක් තියෙන බව එයා දැක්කේ ඒ වෙලාවෙයි. සමහරවිට එතැන තමන් හොයන පිළිතුර ඇති කියලා හිතුණ නිසා මාසෙයිල් හෙමින් හෙමින් ඊට කිට්ටු කළා.

පාට පෙට්ටියක් ඉහිරිලා වගේ ඒ තැනිතලාවත් වෛවර්ණව දිලිසුණා. මාසෙයිල් මේතරම් වෙලා වනාන්තරයේ කොහේවත් නොදැක්ක දෙයක් මෙතැන තිබුණා. තැන තැන පොලොවෙන් පැන නැඟුණ යෝධ මල් අහසට එසවිලා තිබුණේ විශාල පාට පාට කුඩ වගේ. මේ මල් වල තට්ටු තට්ටු පෙති රවුම් දාහක් විතර තිබුණා. ඒ මල් පෙති රවුම් මැද්දේ නොපෙනෙන මානෙක තදින් ගුම් හඬක් ඇහුණේ ඒ මල් වල පැණි බොන මී මැස්සන්ගෙන් වෙන්න ඇති කියලා මාසෙයිල් හිතුවා. වටපිට බලමින්ම එයා තැනිතලාවට අඩිය තිබ්බා.

මේ යෝධ මල් නිසා තැනිතලාවේ අහස සම්පූර්ණයෙන්ම වගේ වැහිලායි තිබුණේ. මල් පෙති අතරින් ඉර එළිය ඉහිරිලා එක එක පාට හෙවනැලි පොළොවේ මැවුණා. මාසෙයිල් ඒවා අතරින් ඇවිද්දේ හීනෙක ඇවිදින තාලෙට.

යෝධ මල් වල නටු අතරින් හදිසි සෙලවීමක් මාසෙයිල් දැක්කේ අහම්බෙන්. එක තත්පරයකින් ඒ ඡායාව ඇඳිලා මැකිලා ගියා. මාසෙයිල් තවත් පරෙස්සමෙන් අඩි තියමින් තැනිතලාව මැදටම ගියා. යෝධ මල්වල නටු අතරින් එයා රිංගුවේ අමාරුවෙන්. ඒ මල් වල සුවඳින් තමනුත් මත් වෙන බවක් එයාට දැනුණා.

හදිසියේම මාසෙයිල් හිටි තැනම නැවතුණා. කහ පාට යෝධ මලක් පාමුල මෙන්න වික්සන්! වික්සන් නරි කුමාරියක් වුණත් එයා එතන නම් වාඩිවෙලා හිටියේ රාජ කුමාරියක් වගේ. යෝධ මල් අතරින් පෙරෙන ආලෝකයට එයාගේ තැඹිලි පාට ලෝම රත්තරන් පාටින් පෙනුණා. වෙනදාට කේන්තියෙන් ගස්සන වික්සන්ගේ බූසි වලිගය අද නම් නිසොල්මන්ව එයාගේ දෙපා වටේ එතිලා තිබුණා. මාසෙයිල්ගේ අඩි සද්දේ ඇහුණත් එයා ඔලුව නූස්සාම ගැඹුරු කල්පනාවක වගේ හිටියා.

"වික්සන්!" මාසෙයිල් ඈත තියාම කීවේ තරමක් හඬ වැඩි කරලා.
"මට සමාවෙන්න. ඒ වෙලාවේ මට සිහිය නැතිවුණා. මම ආයෙත් ඇස් ඇරලා බලද්දී ඔයා පේන්න හිටියේ නැහැ. නැතිව මම ඔයාව දාලා ගියා නෙමෙයි."

වික්සන් මාසෙයිල් දිහා බලන්න ඔලුව හැරෙව්වේ බොහොම හෙමින්. එයා මොනවාදෝ කියන්න ගිහින් ගිලගත්ත බවක් මාසෙයිල් දැක්කා.

යෝධ මල් වෙව්ලවමින් ඈතින් දෙදරුමක් ඇහෙන්න ගත්තේ ඒ වෙලාවෙයි...
.
.
.
- හෙල්මලී ගුණතිලක
Art- watercolours on paper
Marceille & Vixen