October 30, 2026

'සංගක්කාර පීපල්!'

පහුගිය දවසක අපි ඩුබායි නගරේ ඇවිදින අතරේ එහෙ පකිස්තානි restaurant එකකට කෑමට ගියා. සාමන්‍යයෙන් ඒ රටේදී අපේ පෙනුම දැක්ක ගමන් අපි ඉන්දියානුවෝ කියලා හිතලා හින්දි දන්න අය අපි එක්ක මුලින් කතාකරන්නෙ හින්දියෙන්. ඉතින් මේ restaurant එකේත් අපි ළඟට ආව වේටර් මහත්තයා, හම්සා, අපිට හින්දියෙන් කතා කරන්න පටන් ගත්තා.

අපට හින්දි බැරි බවත්, අපි ශ්‍රී ලංකන් බවත් කීවාම එකපාරටම හම්සාගෙ මූන ලස්සන හිනාවකින් එළිය උනා.

"ආ.. සිරි ලංකන්...සිරි ලංකන්... යූ ආ සංගක්කාර පීපල්!!' හම්සා සතුටින් කෑ ගැහුවේ menu එක ගැන විස්තර කියන එකත් අමතක කරලා.

බලද්දි හම්සා තද ක්‍රිකට් ෆෑන් කෙනෙක්. එයා ඉස්සර පකිස්තානෙදී නිතර ක්‍රිකට් මැච් බලන්න යනවාලු. ඒ ගිය එක වතාවක එයාට ක්‍රීඩකයෝ ළඟටම යන්න ලැබිලා. ඉතින් එයාලාව දෙවියො වගේ අදහන හම්සා එයින් කීපදෙනෙක් එක්ක පින්තූර ගන්න උත්සාහ කරලා. රටවල් කීපයක ක්‍රීඩකයන්ගෙන් ඇහුවත් ඒ කිසිකෙනෙක් ඊට කැමති වුණේ නෑලු. අන්තිමේදි හිනාවකින් හම්සා එක්ක සෙල්ෆියකට පෙනී ඉන්න ආවෙ සංගක්කාර විතරයිලු. මේ විස්තරේ හම්සා අපට කීවේ කැඩුණු ඉංග්‍රීසි, හින්දි, අරාබි එහෙම දාලා අතින් පයින් විස්තර කරමින්.

"සංගක්කාර ගුඩ් මෑන්. යූ සංගක්කාර පීපල්, ගුඩ් පීපල්" හම්සා අන්තිමට කීවෙ පපුවට අතක් තියාගෙන. හම්සාට ලංකාවෙ කෙනෙක් දැක්කාම සංගක්කාරගෙ නෑයෙක් දැක්ක තරම් අගේ බව එයාගෙ මූනෙන් අපට තේරුණා.

අවුරුදු ගාණකට ඉස්සර පකිස්තානයෙදි හම්සා එක්ක ගත්ත සෙල්ෆිය සංගාගෙ ජීවිතෙන් අංශුවක් තරම්වත් නැතිව ඇති. ඒත් ක්‍රිකට් ලෝලී හම්සාට ඒ තත්පරය ජීවිත කාලෙටම මතක හිටිය දිලිසෙන මොහොතක්. වැඩියත්ම අනෙත් ක්‍රීඩකයො එයා එක්ක පින්තූර ගන්න එක ප්‍රතික්ෂේප කළ නිසා. ලංකාව ගැනත්, ලංකාවෙ මිනිස්සු ගැනත් හොඳ සිතුවමක් හම්සාලාගෙ හිතේ මැවෙන්න ඒ වගේ මොහොතවල් ඇති.

ඉතින් සංගා නිසා පුංචි වෙලාවකට අපිටත් ඩුබායිවලදී 'සංගක්කාර පීපල්' වෙන්න ඉඩ ලැබුණා!



photo from a scene at the end of a cultural show, part of a desert safari


October 27, 2026

නම්

උපන් අලුත 
සති කීපයක් ගතවන තුරු 
ඈ ‘එලයිසා’ විය 
‘එලයිසා ලිලී’

නොබෝ දිනකින් එය ‘ලිල්’ ලෙස කෙටි විය 
ටික කලකින්, ඈ
‘බේකරි කඩේ ස්ටුවර්ඩ් මෙනවිය’ වූවාය  
ඉනික්බිති ‘මගේ ආදරිය’, ‘ඩාලිං’, ‘අම්මා’ යන නම් ලැබුණි 

තිස් වියේදී වැන්දඹු වූ ඈ 
යළි රැකියාවට ගියේ ‘හෑන්ඩ් මහත්මිය’ ලෙසිනි  
ඇගේ දියණිය වැඩී, විවාපත් වී, දරුවන් ලැබුවාය 
දැන් ඈ ‘අත්තම්මා’ ය
‘මට හැමෝම කියන්නේ අත්තම්මා කියලා’ ඈ අමුත්තන්ට කියන්නීය 
එබැවින් මිතුරන්, වෙළෙන්දන්, දොස්තරවරුන් ආදී හැම කෙනෙක්ම 
ඈට අත්තම්මා කීවෝය 

නමුත් මහලු අයට වෙන් වූ වාට්ටුවේදී 
භාවිත කළේ ලෙඩුන්ගේ උප්පැන්නයේ නම පමණි  
“ඇයට ‘ලිල්’ කියන්න, අපි කීවෙමු 
‘අත්තම්මා’ කියන්න”
නමුත් ඇගේ පෞද්ගලික විස්තර වල 
ඒ නම් සටහන් ව තිබුණේ නැත 

එබැවින් 
ඒ අවුල් සහගත 
අවසන් සති කීපයේදී 
නැවත වතාවක් 
ඈ ‘එලයිසා’ වූවාය 

Translation of the poem 'Names' by Wendy Cope
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 


Digital art





October 23, 2026

නිලැස් තරුණියගේ කඳුලු විල


"එකමත් එක කාලෙක, ඈත රටක, ලස්සන කඳු නිම්නයක සුරූපී තරුණියක් ජීවත් වුණා. දිලිසෙන රන් පැහැ හිසකෙස් සහ ගැඹුරු නිල් දෑසක් තිබුණු ඇයට පෙම්වතෙක් හිටියා. ඒ එඬේර තරුණයෙක්. ඔවුන් දෙදෙනා සඳ දිලිසෙන රාත්‍රී කාලවලදී කඳු වලින් වටවුණු ලස්සන විලක ඔරු පදින්න පුරුදු වෙලා හිටියා. මේ දෙදෙනා බොහොම සතුටින් කල් ගත කළා.

ඒත් දවසක් හරිම අවාසනාවන්ත දෙයක් වුණා. තණකොළ කපන්න උස් කඳු මුදුනකට ගිය එඬේර තරුණයා පය ලිස්සලා ප්‍රපාතයකට වැටිලා මැරුණා. මේ ආරංචිය අහලා තරුණිය ශෝකයෙන් උමතු වුණා. ඈ රාත්‍රී කාලවලදී ඔරුවක නැඟිලා ඇගේ පෙම්වතා එක්ක ඉස්සර සතුටින් කාලය ගත කළ විල මැදට යන්න පුරුදු වුණා. ඒ හැම වතාවකම ඈ කඳුලු ගංගාවක් හෙලුවා. අන්තිමේදී ශෝකය ට පැරදිලා බිඳුණු හදින් මියගිය ඈ, ඔරුව සමඟම දියබත් වුණා. 

ටික දවසකින් මේ විලේ පුදුම වෙනසක් සිදු වුණා. විලේ වතුර අමුතුම නිල් පැහැයකින් දිලිසෙන්න ගත්තා. ඒ, ඒ තරුණියගේ දෑසේ නිල් පැහැය. මරණයෙන් පවා පරාජය කළ නොහැකි ආදරයක මහිමය නිසා අදටත් ඒ විල අමුතු නිල් පැහැයකින් දිලිසෙනවා."


මේ ජන කතාව ස්විට්සර්ලන්තයේ Lake Blausee විලේ අරුම පුදුම නිල් පාට ගැන හැදුණු කතාවක්. දිලිසෙන නිල් පාටක් වගේම විනිවිද පේන පැහැදිලි වතුරක් තියෙන මේ විල අදහාගන්න බැරි තරමට ලස්සනයි. 

ස්විට්සර්ලන්තයේ Bernese Oberland කියන ප්‍රදේශයේ Kander Valley (Kandertal) නම් නිම්නයේ තමයි මේ විල පිහිටලා තියෙන්නේ. මීට අවුරුදු 15,000ට කළින් සිදුවුණු නාය යාමක් නිසා හෙක්ටයාර 20ක මේ ඉඩ නිර්මාණය වුණු බව කියවෙනවා. වටේම තියෙන බොහොම උස කඳුත්, ඒ බෑවුම් වල පේන තද කොළ පාටත් නිසා මේ පරිසරය තවත් ලස්සනයි. අපි යන කාලේ වෙද්දී මේ ගස් වල කොළ යන්තම් පාට වෙනස් වෙන්න ගත්තා විතරයි. සරත් කාලයට මේ අවට තවත් බොහොම ලස්සන ඇති. විල පතුලේ තියෙන හුණුගල් මිශ්‍ර පස ආලෝකය පරාවර්තනය කරන විදිහ නිසාලු ඇත්තටම මේ විලට මේ අමුතු නිල ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඒ විල් දියේ විනිවිද පේන ගතිය නිසා විල් පතුළේ තියෙන ගස් කඳන්, විලේ පීනන ට්‍රවුට් මාලු එහෙම බොහොම පැහැදිලිව පේනවා. විල් පතුළේ Raffael Fuchs නම් මූර්ති ශිල්පියා නිර්මාණය කළ තරුණියකගේ පිළිමයක් දකින්නත් පුළුවන්. ඒ අර ඉහත ජනප්‍රවාදේ තරුණියව සංකේතවත් කරන්න කළ නිර්මාණයක්.





Blausee විල බලන්න ගිය වෙලාවේ අපිට වීදුරු පතුල සහිත බෝට්ටුවක විල වටේ පොඩි සවාරියක් යන්න ලැබුණා. අපේ ඔරුව පැදවුවේ ටිකක් වයස 'ජොලි පොරක්'. ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මන් භාෂා ව්‍යක්තව හසුරවන්න දන්නා එයා අර මම කළින් ලීව ජනකතාව අපට කීවේ හරියට ඒ සිද්ධිය බලාගෙන හිටිය ගානට! භාෂා හතරක් කතාකරමින්, විහිලු තහළු කරමින් දහ දොළොස් දෙනෙක් ඉන්න බෝට්ටුවක් විලක් පුරා පදින්න ලේසි නැතිව ඇති. හැබැයි ඒ 'තරුණයා'ට නම් එහෙම වගක්වත් තිබුණේ නැහැ.




ස්විට්සර්ලන්තේ පැත්තේ රවුමක් යන කෙනෙකුට Interlaken ඉඳන් පැය බාගයක drive එකකින් මෙතැනට ළඟා වෙන්න පුළුවන්. public transport නම් ටිකක් සංකීර්ණයි, හැබැයි බැරි නැහැ. විල car park එකේ ඉඳන් ටිකක් එහායින් තියෙන නිසා ඒ අවට බොහොම නිස්කලංකයි. ඒකත් මෙතැන සුන්දර වෙන්න තවත් හේතුවක්. ගස් අතරින් ටික දුරක් ඇවිදගෙන යද්දී එකපාරට ඇස් ඉස්සරහා මැවෙන පුංචි සුරංගනා ලෝකයක් මේක! 




October 20, 2026

ටින් ටින් මුනගැහුණු දවස

පොඩි කාලෙ මම ටින් ටින් පොත් series එක කියෙව්වෙ පුදුම ආසාවකින්. ඒවායේ හාස්‍ය වගේම ළමයි ආස ත්‍රාසජනකබව හොඳ පදමට තිබුණා. ටින් ටින් කියන තරුණ පුවත් පත් වාර්තාකරුවා එයාගෙ බල්ලා ස්නෝවි සහ මිතුරා කැප්ටන් හැඩොක් එක්ක එක එක විදිහෙ වීර වික්‍රම කරපු හැටි, කරදර වල පැටලුණු හැටි ඒ කාලෙ අපි කියෙව්වෙ හුස්ම අල්ලාගෙන. තොම්සන්, තොම්ප්සන් රහස් පරීක්ෂක ඩබල, සිහි කල්පනාව අඩු ප්‍රොෆෙසර් කැල්කියුලස් වගේම උච්ච ස්වරයෙන් සින්දු කියන බියංකා කැස්ටර්ෆියුරේ එහෙම මේ කතාවලට තවත් පාට එකතු කළා. 


ටින් ටින් පොත් series එක නිර්මාණය කළේ බෙල්ජියන් ජාතික කාටුන් ශිල්පියෙක් වන Hergé හෙවත් Georges Remi. 1929 දී මුලින්ම එළි දැක්වුණු මේ පොත් මේ වෙද්දි භාෂා 70ට වඩා පරිවර්තනය වෙලා පිටපත් මිලියන 200ට වඩා විකිණිලා තියෙනවා. 



සංචාරයක් අතරතුරේදී මට අවස්ථාවක් ලැබුණා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ටින් ටින් වෙනුවෙන් වෙන්වුණු licensed shop එකකට යන්න. මේක කඩයක් වගේම පොඩි කෞතුකාගාරයක්. ටින් ටින් පොත් මාලාවෙ එක එක ජවනිකා නිරූපණය කරන models මේකෙ තැන තැන හරි ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම එක එක වර්ගයේ ටින් ටින් සන්නාමයේ ලිපිද්‍රව්‍ය, souvenirs, tshirts වගේ දේවලුත් ටින් ටින් පොත් series එකත් මෙතනින් ගන්න පුලුවන්. තදබල ටින් ටින් ෆෑන් කෙනෙක් වුණු මගේ ඇතුලේ ඉන්න පොඩි ළමයා මේවා දැකලා පිස්සු වැටුණා. මේ හැම model එකකටම අදාළ කතාව, ජවනිකාව මතක් කරමින් මම එහෙ මෙහෙ දුවන හැටි බලලා පුතාටත් හිනා. පොත් පරම්පරාවේ අපි තරම් තාක්ෂණික පරම්පරාවේ එයාලට ටින් ටින් සමීප නැහැ ඉතින්. මම වැඩ කරන පුස්තකාලෙත් මේ පොත් සීරිස් එකම තිබුණත් ඉස්කෝලේ ළමයි නම් ඒ ගැන අපි තරම් උනන්දු නැහැ කියලා මම දැකලා තිබුණා. 

මේ කඩේට අමතරව බ්‍රසල්ස් අගනුවර තව තැනක උස ගොඩනැගිල්ලක බිත්තියක ටින් ටින් ගේ mural එකක් ඇඳලා තිබුණා. ඒකත් හරි ලස්සනයි. 


මම මේ රටේ දැක්ක විශේෂත්වයක් තමයි, ටින් ටින් කොයිතරම් ලෝක ප්‍රසිද්ධ වුණත් බෙල්ජියමේ ඒ නිර්මාණය තාම copyright නීති වලට යටත් නිසා ඊට ගරු කරලා ඒ රූප තියෙන බඩු විකුණන්න තියෙන්නෙ licensed කඩවල විතරයි. හැම හන්දියෙම ටින් ටින් ගෙ රූපෙ තියෙන ටීශර්ට්, පෝස්ට්කාඩ් දකින්න නැහැ. 

ඉතින් කොහොම හරි අන්තිමේදී මට දශක කීපයක් ආපස්සට ගිහින් ටින් ටින් පොත් පිස්සුවෙන් වගේ කියවපු කාලෙ මතක් කරගන්න වගේම ඒ වීරයාගේ නිමවුම්කරුගේ උපන් රට බලන්නත් වරමක් ලැබුණා!  

-pictures taken in the Tin Tin Store and at the Tin Tin Mural in Brussels, Belgium