September 11, 2018

වාසගම්



“ඔය ළමයාගේ නම මොකක්ද?”

මාලනී ඇන්ටි ඇනෙක්සියේ ජනේලෙන් එබිලා අහද්දී නිල්මි බෝඩිමට ඇවිත් විනාඩි දහයක්වත් නැහැ. ඇඳුම් බෑග් ටික, පොත්පත් අහුරපු පෙට්ටි ටික තාම තියපු තියපු තැන්වල.

“නිල්මි!” නිල්මි හිනාවෙලා කිව්වා. “මම බඩු ටික අස් කරලා ඇන්ටි එක්ක කතාකරන්න එන්න හිටියේ”

“සම්පූර්ණ නම?” ඇන්ටි ඇහුවෙ ඒ මුකුත් නෑහුණු ගානට.

“නිල්මි නිසංසලා!” නිල්මි කිව්වා. කාමරේ ඇතුලේ මනු, විරාජිට ඇහැක් ගහලා හිනාවුණේ මේ ආයෙත් විකාශනය වෙන්නේ හුරුපුරුදු ජවනිකාවක් නිසායි.

“නැහැ දරුවෝ වාසගමත් එක්ක නම මොකක්ද? වාසගම දැනගන්නයි මම ඇහුවේ!” ඇන්ටිත් අතෑරියේ නැහැ.

“ආ.. ඒකද? කරන්දෙණිය මුදියන්සේලාගේ දෝන නිල්මි නිසංසලා තමයි මගේ ෆුල් නේම් එක. කේ. එම්. ඩී නිල්මි නිසංසලා!- ඇයි ඇන්ටි බෝඩිමට එද්දී ෆෝම් එකක්වත් පුරවන්න තියෙනවාද?” නිල්මි බොහොම අහිංසක පාටට ඇහුවේ ඔලුවත් ඇල කරළා.

මීට කලින් බෝඩිමේ හිටිය කෙල්ලොන්ගෙන් නම ඇහුවාම නම කිව්වා මිසක් එහෙම සෘජු ප්‍රහාරයක් කාගෙන්වත් ඇන්ටිට ලැබිලා තිබුණේ නැහැ.

“විකාර!” ඇන්ටි ජනේලේ කූරු ටික අත ඇරලා ගස්සාගෙන යන්න ගියා.

බෝඩිමේ කෙල්ලොන්ගේ හිනා හඬ මැකෙන්න ටිකක් වෙලා ගත වුණා.

“බොට පිස්සුද ආව දවසේම ඇන්ටිව තරහා කරගන්නේ?” මනු නිල්මිගෙන් ඇහුවේ කොට්ටෙකින් ගහන ගමන්. “ඔය එයාගේ හැටි. කුල මල, වංශ පෙළපත් නාම තමයි එයාගේ ස්පෙෂලිටි එක. දවසම වුණත් ඒවා ගැන කතාකරයි!”

“ඔව් ඔව්..!” විරාජිත් කතාවට එකතු වුණා. “අපි හරිහමන් පවුල්වලද කියලා දැනගන්නයි අහන්නේ කියලායි මට කිව්වේ!”

“මොන කෙහෙල්මලක් ද බං.. මොන කුල මල ද මේ කාලේ?” නිල්මි කිව්වේ ගාණක් වත් නැතිව හිනාවෙලා. “දැන් අපේ තාත්තා නම් බිබී ඇවිද්දා මිසක් කිසිම මුදියන්සේ මට්ටමේ වැඩක් කරලා නැහැ කවදාවත්. තව චුට්ටක් හිටියා නම් මම ඇන්ටිට ඒ වගේ උදාහරණ එක්ක ඉතිහාස පාඩමකුත් කියාදෙනවා!”

“ඕවා ගැන කතාවට යන්න එපා බං, අන්තිමට අපිට මෙතනින් යන්නත් වෙයි එයා තරහා උනොත්. එක එක මිනිස්සුන්ගේ මෝඩකම්නේ. ඔන්නොහේ ඕවා අල්ලලා දාලා රෑට කන්න මොනවා හරි උයමු!” මනු ඒ කතාව එතැනින් ඉවර කළා.

ඒත් ඇත්තටම ඒ කතාව එක එක විදිහෙන් ආයෙත් මතු වුණා. මාලනී ඇන්ටි බෝඩිමේ කෙල්ලොන්ගේ වාසගම් හොයන්න ආයෙත් ආවේ නැති වුණත් එයාගේ දුව යාළුවෙලා හිටිය පිරිමි ළමයාගේ වාසගම විශ්ලේෂණය කරලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා.

“සජිත්ලාගේ තාත්තාලා ඒගොල්ලන්ගේ වාසගම් වෙනස් කරගෙන කියලා අපේ අම්මාට හිතිලා. ඒ වාසගම තියෙන අය ඒ පැත්තේ ගම්කාරයෝ වෙන්න බැහැලු. දවසක් අම්මා සජිත්ගෙන් කෙළින්ම ඇහුවා. මට පොළොව පලාගෙන යන්න හිතුණා අක්කේ! සජිත්ට කේන්ති ගිහින් දමලා ගහලා ගියා.. දැන් මම කතා කළාට ෆෝන් එක ගන්නෙත් නැහැ!” ඇන්ටිගේ දුව කිව්වේ ඉකි ගහ ගහ. ඇන්ටිගේ හැටි දන්න නිසා අහගෙන ඉන්නවා ඇරෙන්න ඇනෙක්සියේ අක්කලාට මේ ප්‍රශ්නවලට දෙන්න විසඳුම් තිබුණේ නැහැ.

ඇන්ටි උදේට මිදුල අතුගාන ගමන් එහා ගෙදර වැඩට ඉන්න ගෑණුකෙනා එක්ක නිතර ‘වැට උඩින් සාකච්ඡා’ තිබ්බා. ඒවා වැඩියත්ම ඇන්ටිගේ පෙළපතේ උසස් කමයි අනිත් මිනිස්සුන්ගේ පෙළපත්වල පහත් කමයි ගැන තමයි. එහෙම කිව්වාට ඒ වංශවත් නෑයෝ ඇන්ටිව බලන්න කොළඹ එනවා වත් ඇන්ටි ඒගොල්ලෝ බලන්න ගමකට යනවා වත් කවුරුත් දැකලා තිබුණේ නැහැ.

දවසක් හවසක මනුයි නිල්මියි ඇනෙක්සියට එද්දී ටිකක් වයසක පිරිමි කෙනෙක් ගේට්ටුව ළඟ හිටියා. “මම මාලනී ගේ අම්මාගේ මල්ලී. අක්කාට පපුවේ අමාරුවක් හැදිලා කොළඹ මහා ඉස්පිරිතාලෙට ඇතුල් කළා. මාලනී ට පණිවිඩේ කියලා යන්නයි ආවේ. ටැලිපෝන් කළාට ගත්තේ නැහැ කියලා අපේ දුව කිව්වා” එයා විස්තර කළා.

“ඇන්ටි මළගෙදරක යනවා කියලා ගියා- එන්න ටිකක් හවස් වෙයි කිව්වා.” මනු කිව්වා.

දුරකතර ගෙවාගෙන ඇවිත් මහා අව්වේ හිටගෙන හිටිය ඒ මනුස්සයාට අනුකම්පා කරලා නිල්මි ගේට්ටුව ඇරියා. ඇන්ටි ගෙදර එනකම් ගෙදර ඉස්තෝප්පුවේ වාඩිවෙලා ඉන්න ඉඩ සැලැස්සුවා. තේ එකක් අරගෙන යද්දී මාමා පඩිය උඩ ඉඳගෙන විටක් ඒදනවා.

“මම ඇවිල්ලා මේ ළමයින්ටත් කරදරේ!” මාමා තේ එක ගන්න ගමන් කිව්වා. “යුතුකමට පණිවිඩේ කිව්වාට මාලනී නම් අම්මාව බලන්න යන එකත් සැකයි!”

අනුන්ගේ කතා වල විස්තර මොකටද කියලා හිතුව නිල්මි ඒ ගැන වැඩිය හාරා ඇවිස්සුවේ නැහැ.

මාලනී ඇන්ටි එද්දී රෑ වෙන්නත් ඇවිත්. ඇන්ටි ගේට්ටුවෙන් ඇතුල්වෙලා වැඩි වෙලා නොගිහින් ඇහුණේ උස් හඬින් බැන අඬගහන සද්දයක්. කලින් කිසිම දවසක නොදැක්ක තරමේ කේන්තියකින් ඇන්ටි කෑගැහුවා. මේ බනින්නේ අර වයසක මනුස්සයාට නේද කියලා හිතුව නිල්මිත්, මනු ත් ජනේලේ අද්දරට දිව්වා.

“උඹ ඔහොම පරල වෙන බව දැන දැනයි මාලනී මම මේ ගමන ආවේ!” මාමා යන්න ගිහින් ගේට්ටුව ළඟ ඉඳන් සද්දෙට කිව්වා. “උඹට ඔහොම ජන්මන්තර වෛර වෙන්න දෙයක් නැහැ... උඹව වැදුවේ නැති වුණාට ඒ උඹව හදා වඩා ගත්තු අම්මා! උඹව අරන් හදාගෙන, නමක් ගමක් වාසගමක් දුන්නු ඒ ගෑනි නොහිටියා නම් උඹ කාත් කවුරුවත් නැතිව කානු පල්ලක මියැදිලා! ඒ බව මතක තියාගනින්!” එහෙම කෑගහලා මාමා අඳුරේම යන්න ගියා.


දිනමිණ- වසත් සුළඟ 11.09.2018


16 comments:

  1. අඩුවක් තියෙන අය ඔහොමමයි. අනුන්ගේ අඩු හොයලා, උලුප්පලා තමන් වැජඹෙන්න හදනවා!

    ReplyDelete
    Replies
    1. සිරාවට...මාත් ඒක අත්දැකීමෙන් දන්නව

      Delete
    2. ඔව්, එතකොට තමන්ගේ අඩුපාඩුව දැනෙන්නේ නැහැනේ. මනුස්ස ස්වබාවය තමයි!

      Delete
  2. Empty vessels making the most noise, as usual.

    Lotus

    ReplyDelete
    Replies
    1. Thanks Lotus, Yes but sometimes the opposite happens. Sometimes people who lack something help others the most. Thanks for dropping by.

      Delete
  3. Replies
    1. දිනමිණ පත්තරේට ගැලපෙන්න වචන 600 ගාණට සීමා කරලා ලියන්නයි අමාරු වුණේ! ස්තූතියි අරු!

      Delete
  4. Replies
    1. මෙන්න රවීතුමාත් කවදාවත් නැතිව වැටක් ගහලා ගිහින්! thanks Ravi! :)

      Delete
  5. හොඳ කතාවක්...තාගෝර්ගේ ගෝරා මතක් වුනා

    ReplyDelete