Showing posts with label සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - කෙටිකතා එකතුව. Show all posts
Showing posts with label සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - කෙටිකතා එකතුව. Show all posts

March 08, 2025

කතන්දර - චිත්‍ර!

මගේ කෙටිකතා පොත් දෙක පළ වෙලා දැන් අවුරුදු කීපයක් වෙනවා. සහස් පියවර පොත ලියලා නම් අවුරුදු හයකුත් වුණා. ඒත් තාම මට පොත් කියවූ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙන එක හරිම සතුටු කාරණයක්. මම හිතන්නේ ලියන කෙනෙකුට තමන්ගේ නිර්මාණයක් අනිත් අය රස වින්දා කියලා අහන්නට ලැබීම තමයි උපරිම සතුට. 

මට ළඟදී එහෙම පණිවිඩයක් ලැබුණා දක්ෂිණා වික්‍රමසිංහ නංගීගෙන්. මගේ කෙටිකතා රස වින්දා ට අමතරව ඈ තව පියවරක් ඉස්සරහට ගිහින්. ඒ සමහර කෙටිකතා කියවද්දී ඇගේ හිතේ මැවුණු රූප ඈ ඩිජිටල් චිත්‍ර බවට පත් කරලා. දක්ෂිණා මේවා මාත් එක්ක බෙදාගත්තාම මට පුදුම හිතුණා. ඒ කතාවල සාරය ඇගේ හිතට කා වැදුණු බව මේ නිර්මාණවලින් පැහැදිලියි. අනික මේවා මම ආසම විදිහේ සරල, සුන්දර චිත්‍ර!

ඉතින් දක්ෂිණා, මගේ කතන්දර වලට තව මානයක් එක් කළාට, ඒවා මාත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි නංගි 🩷










January 31, 2024

'කැන්ගරු දේසේ සිංහල පොත්' සමඟ 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව'

මගේ දෙවෙනි කෙටිකතා පොත - 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවාවේ 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහනට කළ කතාබහයි මේ. 

මේ සඳහා මට ආරාධනය කළ SBS සේවාවේ සිංහල අංශයේ ප්‍රධානී දිල්රුක්ෂි විජේසූරිය මහත්මියටත්, පොතේ කොටස් කියවීමෙන් වැඩසටහන රසවත් කළ පූජනී ගුණසේකර සොයුරියටත් මගේ ආදර ස්තූතිය හිමි වෙනවා. 




January 22, 2024

ස්තූතියි!


මගේ දෙවෙනි කෙටිකතා පොත, 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' මෙල්බර්න් නගරයේ එළිදැක්වීම ජනවාරි 20දා පැවැත්වුණා. එය සාර්ථක කරගන්නට දායක වුණු හැමදෙනාටත්, සහභාගී වූ, සුබ පැතුම් පණිවිඩ එවූ හැමදෙනාටත් මගේ ආදර ස්තුතිය හිමි වෙනවා.

සුළු ප්‍රාතිහාර්ය මහා ප්‍රාතිහාර්යයක් වන්නේ ඔබ සැම නිසාමයි! 






January 11, 2024

උපුටන!

මගේ දෙවෙනි කෙටිකතා පොත 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ජනවාරි 20 මෙල්බර්න් නගරයේ එළිදැක්වෙනවා.  ඒ බව මම කළින් පෝස්ට් එකක් දැම්මා නේ. මේ ඒ සම්බන්ධ වෙන කතාවක්. පොත එළිදැක්වීම  වෙනුවෙන් මගේ බොහොම පරණ මිතුරියක් වන කාංචනා අමිලානි පොතේ උපුටන වලින් facebook posts වලට ගැලපෙන පින්තූර ටිකක් මට හදලා එවලා තිබුණා. ඒ මම ඉල්ලලා වත් නෙමෙයි. පහුගිය ටිකේ මම බොහොමත්ම කාර්යබහුල වුණු නිසා මට ඇත්තටම ඒ වගේ දේකට වෙලාව තිබුණේ නැහැ. ඒ නිසා කාංචනා හිතලාම කළ මේ උදව්ව මට බොහොම අගෙයි.

මේ තියෙන්නේ කාංචනා එහෙම හදපු පින්තූර අතරින් එකක්. මම ලියපු කතාවලින් කොටසක් වෙන කෙනෙකුට හිතට දැනිලා ඒක quote එකක් හැටියට උපුටලා තියෙනවා දකින එක අමුතුම අත්දැකීමක්. ඒ වචන ටික වෙනම අරන් මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවා දැක්කාම මාත් පොඩ්ඩක් 'හෙල්ලුනා' කිව්වොත් හරි. ඉතින් කාංචනා ට ස්තූති කරන ගමන් පොත කියවන්න ලැබුනොත් අදහස් කියලා එවන්න කියලාත්, මෙල්බර්න් අහල පහලක ඉන්නවා නම් විසි වෙනිදාට ඇවිත් යන්න එන්න කියලාත් මම ආදරයෙන් මතක් කරනවා. 


September 26, 2023

ලියමු!

මේක තවත් පොත් පෝස්ට් එකක්. පොත් ගැන ම නෙමෙයි ලිවීම ගැන. 

අද මාත් එක්ක කතා කළ කෙනෙක් කිව්වා 'ලියන්න ආසයි, ලියන්න දේවලුත් තියෙනවා, ඒත් දැන් පරක්කු වැඩියි කියලා හිතෙනවා.' කියලා.

මම නම්  ලියන්න ගත්තේ අවුරුදු තිහත් පැනලා කීවාම ඈ විශ්වාස කළේ නැහැ. ඒ වගේම තමයි මම සිංහල හරියට ඉගෙන ගත්තෙත් වයස අවුරුදු දහයක් විතර වෙලා කියන එක. ඒ නිසා මේක It is never too late to follow your heart වර්ගයේ පෝස්ට් එකක්. 

මම ඉස්කෝලේ යන කාලේ සිංහලෙන් නම් නිර්මාණාත්මක දේවල් ලීවෙම නැති තරම්. පස්සේ කාලෙකත් මම ලියන්න පටන් ගත්තේ එක්තරා විදිහකට හිත නිදහස් කරගන්න ක්‍රමයක් හැටියට. මුලින් ලීවේ කවි. කෙටිකතා, පරිවර්තිත කවි, පරිවර්තිත කෙටිකතා කියන පැති වලට මම යොමු වුණේ ක්‍රම ක්‍රමයෙන්, බොහොම හෙමින්. (මුලින්ම කෙටිකතාවක් පරිවර්තනය කරලා තාම අවුරුදු තුනක් වගේ) මට ලියන්න පුළුවන් බව මම දැනගත්තෙත් අනුන්ගෙන්. මට තියෙන හැකියාවක් ගැන විශ්වාසයක් ගොඩනැගුණේ මම ලීව දේවල් කියවපු අයගේ ප්‍රතිචාර වලින්. ඒකත් ජීවිතේ එක්තරා විදිහක irony එකක්. 

මම ලියලා තියෙන්නේ පොත් දෙකයි, ඒ නිසා මම මහා කතුවරියක් නෙමෙයි. හැබැයි මම නිරන්තරයෙන් විවිධ දේවල් ලියනවා, පරිවර්තනය කරනවා, ඉන් ලොකු සතුටක් ලබනවා. මම ලිවීමේ නියැලුණේ නැති කාලයක් තිබුණා ද කියලාත් මට දැන් හිතාගන්න බැහැ. ඒ නිසා 'ලියන්න ආසයි ඒත් දැන් පරක්කු වැඩියි' කියලා හිතන අය ඉන්න එක අපරාදේ කියලා මට හිතෙනවා. ලිවීම පොතකින් ම කෙළවර නොවුණත් දැන් මේ සයිබර් අවකාශයේ ඕන තරම් ඊට අවස්ථාව තියෙනවා. ලියන දේවල් කියවන්න කැමති අයත් ඕන තරම් ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා. ලියද්දි ලියද්දී අභ්‍යාස වෙන නිසා හැකියාව දියුණු වෙනවා. ඒ වගේම ලිවීමෙන් ලැබෙන තෘප්තිය මිළ කරන්න බැහැ. 'ලියන්න ආසයි පරක්කු වැඩියි' කියලා හිතන එක්කෙනක් හරි මේක දකීවි කියන අදහසිනුයි මේ පෝස්ට් එක ලිව්වේ. 

මේ අද මට book fair ගිය මිතුරියක් එවපු පින්තූරයක්. මට නම් මේක වචන දහසකින් වත් කියලා නිමකරන්න බැරි කතාවක් කියන පින්තූරයක්. 




September 19, 2023

සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව- පොත ගැන විස්තර

මගේ අලුත්ම කෙටි කතා පොත මුද්‍රණය වෙලා අවසානයි කියන සතුටු ආරංචිය අද මට ලැබුණා. ඉතාම ඉක්මණින්, සාර්ථකව මේ කටයුත්ත කරගන්න පුළුවන් වුණේ විදර්ශන ප්‍රකාශන අනුබද්ධ ප්රෝග්රෙස් ප්‍රකාශන සමාගමේ කාර්යක්ෂමතාවය නිසා. මේ ගැන මගේ ස්තූතිය හිමිවෙන්නේ විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතාට සහ පුර්ණිමා, ළහිරු ඇතුළු එහි කාර්යමණ්ඩලයට. ඒ වගේම ගගන වර්ණකුලසූරිය ගේ අපූරු කවර නිර්මාණය ගැනත් නොකියාම බැහැ. අන්තිමේදී මේ හැම කෙනෙක්ගේම දායකත්වයෙන් මගේ හිතේ ඇඳුණු විදිහටම 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' කෙටිකතා එකතුව පොතක් හැටියට දොරට වඩිනවා.

ලබන සතියේ ඉඳන් මගේ පොත සියලුම සරසවි ශාඛා වලිනුත්, සූර්ය, දයාවංශ පොත් හල් වලිනුත් ලබාගන්න පුළුවන්. මීට අමතරව විදර්ශන වෙබ් අඩවියෙන් සහ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ B100-101-102 විදර්ශන කුටිවලත් 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' තියේවි.

සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - කෙටිකතා සංග්‍රහය
හෙල්මලී ගුණතිලක
'විදර්ශන ප්‍රකාශන' ආයතනයට අනුබද්ධ 'ප්‍රෝග්‍රස් ප්‍රකාශන' වෙතින්.
වැසුම් නිමැවුම - ගගන වර්ණකුලසූරිය.




September 12, 2023

සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - කෙටිකතා එකතුව

2023 සාහිත්‍ය මාසයේදී පාඨකයන්ට මගෙන් පිරිනැමෙන මේ තිළිණය ගැන දැනුම් දෙන්නේ බොහොම සතුටින්.

ඒ මගේ අලුත්ම කෙටිකතා පොත - “සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව”

මගේ මුල්ම කෙටි කතා පොත එළි දැක්වුවේ 2019 දී. ඒ ‘සහස් පියවර - කෙටිම කෙටි කතා’ කියන පොත. ඉන්පස්සේ ලියවුනු කතා එකතු කරලා පොතක් හැටියට එළිදක්වන්න වුවමනාව තිබුණත් පහුගිය කාලේ ලංකාවේ මුද්‍රණ ක්ෂේත්‍රයේ අර්බුද ඒකට බලපෑවා. ඒත් ඒ ගැටලුවට විසඳුමක් ලැබුණේ විදර්ශන ප්‍රකාශන අනුබද්ධ ආයතනයක් වන Progress Publishing හරහායි. මගේ දෙවෙනි කෙටිකතා පොත මුද්‍රණය කරන්න භාරගත් ඔවුන් නොසිතූ තරමේ ඉක්මණින් ඒ කාර්යය බොහොම ලස්සනට කරලා දුන්නා.

ලංකාවෙන් පිට පදිංචි ව ඉඳන් මේ වගේ ව්‍යාපෘති කරන එක ටිකක් සංකීර්ණයි. ඒ වැඩවලට ලංකාවේ ඉන්න නෑදෑ යාලු මිත්‍රයන්ගේ උදවු නොඅඩුව ලැබුණු නිසා ලේසි වුණා. හැමදේම නූලට තිතට වුවමනා මට එහෙම දුරස්ථ පාලන වැඩ කරන එක ටිකක් ආතතිකාරීයි. ඒත් අලුත් පොතක සතුට ඒ හැම දෙයකටම ඉහළයි.

ඉතින් නිරතුරුව මගේ බ්ලොග් එකට යන එන, මගේ නිර්මාණ කියවන රස විඳින, ගුණ දොස් කියන මිතුරු හැම දෙනාටමයි මේ සතුටු ආරංචිය - එන්න ‘සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව’ ට ගොඩ වදින්න



කවරය - ගගන වර්ණකුලසූරිය