February 04, 2020

ජනවාරියේදී නත්තල් ගස්



"දෙසැම්බර් මාසයේදී සල්ලි දීලා නත්තල් ගස් ගන්නේ මොකටද? ජනවාරි වෙද්දී ඕනෑතරම් නිකම් හොයාගන්න පුළුවන්කම තියෙද්දී!" 
මේ කාටූනය පළ වෙලා තිබුණේ New Yorker සඟරාවේ ජනවාරි 23 කලාපයේ. New Yorker සඟරාවේ කාටූන් සාමාන්‍යයෙන් හාස්‍ය රසයෙන් ඉහළයි. කෑම පැයේ දී කෑම කන ගමන් රස විඳින්න නියමයි.  ඇත්තටම මේ කියන විදිහට ජනවාරි වෙද්දී හැමෝම වීසි කරලා දාලා තියෙන නත්තල් ගස් ඕන තරම් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වෙද්දී නත්තල් ඉවර නිසා ඒවායෙන් වැඩක් නැහැ. කොයිතරම් ගස් නිකම් හොයාගත්තත් නත්තල් සැරසිල්ලට පරක්කු වැඩියි. 

මේ කාටූන් චිත්‍රයේ මේ තරම් විග්‍රහ කරන්න දෙයක් නම් නැහැ තමයි. සමහර විට මේ චිත්‍ර ශිල්පියා වත් මේ තරම් ඒ ගැන හිතුවේ නැතිව ඇති! ඒක දැක්කාම මට එකට කෙළින්ම අදාළත් නැති, නැත්තෙත් නැති කතාවක් මතක් වුණා. මගේ මිතුරියකට ඉන්නවා නව යොවුන් වයසේ දියණියක්. මේ අම්මයි දුවයි නිතරම රණ්ඩු. මගේ මිතුරිය හැමතිස්සෙම කෙල්ලට බැනගත්තු ගමන්මයි ඉන්නේ. කෙල්ලත් දැන් දැන් අම්මාගේ අදහස් වලට එරෙහි වෙමින් කතාකරනවා. සිය දහස්  වෙනි වතාවටත් මිතුරිය මේ නෝක්කාඩුව මට කියද්දී "ඔයා තිස්සෙම බනින්නේ නැතිව පොඩ්ඩක් දූ එක්ක හොඳින් කතා කරන්න බලන්නකෝ. එයා කියන දේවල් වලට ඇහුම්කන් දෙන බවක් තේරුණොත් ඔය මුරණ්ඩු ගතිය අඩු වෙන්න බැරි නැහැ" කියලා මම කිව්වා.

"හපෝ.. එහෙම කතාකරන්න ගියාම එයා එක්කෝ මහා බොළඳ කතාවක් කියයි, නැත්නම් මහා පණ්ඩිත කතාවක් කියයි!. ඕවා අහද්දී මගේ කේන්ති තවත් ඇවිස්සෙනවා! මම ඉන්නේ එයා තව ටිකක් ලොකු වෙලා වැඩිහිටි විදිහට හිතන්න ගන්නකම්. එතකොට මම එයා එක්ක යාලුවෙක් වගේ ඉන්නයි හිතාගෙන ඉන්නේ" මිතුරිය කීවා.  

ඒක අහලා මම නිරුත්තර උනා. ඒ දූගේ වයසේදී අතිශයින්ම බොළඳ වැඩ නොකළ, තමන්ට වඩා කෙනෙක් නැහැයි කියලා හිතාගෙන අතිශයින්ම පණ්ඩිත වැඩ නොකළ අය අඩුයි. අපි වැඩිහිටි වුණු ගමන් ඒවා අමතක වෙන්නේ ඇයි? ඒකත් අතඇරලා දාමු. ඒ දුව ගතකරන මේ බොළඳ + පණ්ඩිත කාලේදී තමන්ට ඇහුම්කන් නොදී නිරන්තරයෙන් බැණවැදුණු  අම්මා එක්ක එයා වැඩිහිටියෙක් වෙලා යාලුවෙක් වගේ ඉන්න ලෑස්තිවෙයිද? 

අපිත් සමහර වෙලාවට දෙසැම්බර් වල ගේන්න ඕන නත්තල් ගහ- නත්තල් පහුවෙලා උනත් කමක් නැහැ- නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා නේද කියලා මට මේක දැක්කාම හිතුණා.  

2 comments:

  1. සාමාන්යෙන් මිනිස්සු ළමයිට සලකන්නෙ තමන්ට තමන්ගෙ ළමා කාලෙදි තමන්ට ලැබුනු සැලකුම් වලට සාපේක්ෂව නේද?

    එතකොට ඔහොම උනාම විෂම චක්‍රයක් වගේ දිගටම යනවනෙහ්😐

    ReplyDelete
    Replies
    1. නවීන් - මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා. පලවෙනි කොටස ළමා කාලයේ හරියට සැලකුම්/ආදරය නොලබා නොදැනුවත්වම තමන්ගේ දරුවන්ටත් ඒකම කරන අය. දෙවෙනි කට්ටිය තමන්ගේ ළමා කාලයේ අඩුපාඩුවක් වුණු බව තේරුම් අරගෙන, ඒක කවදාවත් තමන්ගේ ළමයින්ට වෙන්න ඉඩ නොතියන බවට හිතාගෙන ඒ අඩුපාඩු මකාගෙන ජීවත් වෙන අය.
      දෙවෙනි කොටස වෙන එක අමාරුයි. මොකද තමන්ට කරන්න වෙන්නේ තමන් කවදාවත් අත්දැකපු නැති දේවල්. ඒත් ඒක කරන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ :)

      Delete