Translation of the short story - ‘A Sheltered Woman’ By Yiyun Li (2014)
අලුත් මව නින්දෙන් අවදිව, එහෙත් තවමත් නොපහවුණු නිදිමතින් යුතුව මේසය අසල හිඳගෙන සිටියේ තමන්ව කැඳවනු ලැබුවේ ඇයිදැයි තේරුම්ගත නොහැකි වූ ලෙසටය. 'සමහරවිට එයාට ඒක කවදාවත් තේරුම් යන එකක් නැහැ' මෙයි නැන්දා කල්පනා කළා ය. මේසය මත ඇය විසින් සකසන ලද සෝයා බෝංචි සහ ඌරු ගාත් සුප් බඳුනක් විය. මීට පෙරත් අලුත් මවුවරුන් රැසකටම ඇය මේ සුප් වර්ගය සකසා දී තිබිණි. 'රැසක්' යන වදනින් නිශ්චිත ප්‍රමාණයක් කියවුණේ නැති නමුත් අනාගත සේවා යෝජකයන් සමඟ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ වලදී මෙයි නැන්දා තමන් මෙතෙක් කල් සේවා සැපයූ පවුල් ගණන හරියටම කීවාය. වත්මන් හාම්පුතුන්ට ඒ ගැන පවසද්දී ඒ අගය පවුල් එකසිය විසි හයක් සහ බිලිඳුන් එකසිය තිස් එකක් විය. ඒ හැම පවුලකම නම ගම, ඇය ඔවුන් සමඟ වැඩ කළ වකවානුව, බිළිඳුන්ගේ නම් සහ උපන්දින ආදී සියලු විස්තර සටහන් කර තිබුණේ අල්ලක් තරම් වූ කුඩා දිනපොතක ය. මෙය දෙවරක් ඉරී ගොස් තිබුණු අතර ඒ දෙවරම නැවත අලවා තිබිණි. වසර ගණනාවකට පෙර මෙයි නැන්දා මේ කුඩා දිනපොත සොයාගත්තේ ඉලිනොයි නගරයේ මෝලීන් ප්‍රදේශයේ නිවසක බඩු බාහිරාදිය විකුණන්නට දමා තිබුණු තැනකිනි. එහි කවරයේ තිබුණු දම් සහ කහ පැහැති මල්වල රූපයත් ඒවායේ චාම් පෙති වටා දිස් වූ නොදියවුණු හිමත් ඇයගේ සිත් ගත්තේය. ශත පහක් වූ එහි මිළ ගැනත් ඇයට කැමැත්තක් දැනුණි. කාසි පෙට්ටියක් උකුල මත තබාගෙන බඩු විකිණීම භාරව සිටි පිරිමි ළමයාට ශත දහයක් දුන් ඈ ඉතුරු මුදල වෙනුවට මෙවැනිම තවත් සටහන් පොතක් ලබාගනු හැකිදැයි ඇසුවාය. කොලුවා වික්ෂිප්තව ඈ දෙස බලා නැතැයි කීවේ ය. එසේ අසන්නට ඈව මෙහෙයවූයේ තණ්හාව වූ නමුත් ඒ සිදුවීම නැවත සිහිවන හැම වාරයකදීම- අලුත් සම්මුඛ පරීක්ෂණයකට සටහන් පොත තම සූට්කේසයෙන් පිටතට ගන්නා හැම වාරයකදීම- ඇයට තමන් ගැනම සිනා පහළ විය. එක් පොතක් පුරවන්නවත් ප්‍රමාණවත් ජීවිතයක් නැතිව තිබෙද්දී තමන් එකල සටහන් පොත් දෙකක් සෙව්වේ කවර හේතුවකටද?
අලුත් මව හැන්ද නොඅල්ලාම නිසොල්මන්ව සිටි අතර ඇගේ දෑසින් ඉහිරුණු කඳුළු, දුම් දමන සුප් බඳුනට වැටුණි.
"හරි හරි" මෙයි නැන්දා කීවාය. ඈ සිටියේ බිළිඳාව සහ තමන්ව අලුත් පැද්දෙන පුටුවේ පද්දමිනි. නොනවත්වාම ඉදිරියටත් පසුපසටත් පැද්දුණු ඇයට දැනුණේ පෙරදිනට වඩා එදින පුටුවේ කිරි කිරිය අඩු බවකි. මේ පැද්දීම මඟින් වඩාත් සතුටක් ලබන්නේ කවරෙක්ද යන පැණය ඇය තමන්ගෙන්ම අසා ගත්තාය. කැඩී බිඳී යන තුරුම පැද්දෙන පුටුවද නො එසේ නම් පැද්දෙමින් ජීවිතය ගෙවා දමන තමන් ද? මුලින්ම තම අවසානය මුණගැහෙන්නේ මින් කවරෙක්ටද? කෙතරම් ඉන් මිදෙන්නට උත්සාහ කළත්, අන් අය තමන් වෙත සවන් යොමු නොකරන විට තනියම කතාකරන කෙනෙක් බවට තමන් පත් වී ඇති බව මීට බොහෝ කලකට පෙර මෙයි නැන්දා පිළිගෙන තිබිණි. එහෙත් ඈ අඩුම තරමේ ඒ දෙබස්වල වචන මුවින් පිටතට ලිස්සා නොයන ලෙස පරෙස්සම් වූවාය.
"මම මේ සුප් එකට කැමති නැහැ." අලුත් අම්මා කීවාය. ඒකාන්තයෙන්ම චීන නමක් තිබුණු නමුත් ඈ තමන්ට ශනෙල් ලෙස අමතන ලෙස මෙයි නැන්දාට කියා තිබිණි. කෙසේ වෙතත් මෙයි නැන්දා හැම බිලිඳෙක්ගේ ම මවකට ම 'බබාගේ අම්මා' ලෙස ඇමතූ අතර බිළිඳුන්ට 'බබා' යැයි කීවාය. මෙලෙස කීම සරල වූවා සේ ම එක් ගනුදෙනුකරුවන් කණ්ඩායමක් වෙනුවට තවත් කණ්ඩායමක් මාරු කරද්දී එය පහසු විය.
"ඔයාට කැමති වෙන්න නෙමෙයි ඒක දුන්නේ," මෙයි නැන්දා පිළිතුරු දුන්නා ය. මුළු උදය වරුව පුරාම පිසින ලද ඒ සුප් කෝප්පය කිරි සුදු පැහැයකට ඝන වී තිබිණි. තමන් නම් කිසි දිනක මෙවැන්නක් ආහාරයට නොගන්නා නමුත් කිරි දෙන මවුවරුන්ට නම් එය බොහෝ සෙයින් ගැලපුණි. "බබා වෙනුවෙන් ඕක බොන්න."
"මම මොකටද එයා වෙනුවෙන් බොන්නේ?" ශනෙල් කීවාය. ප්‍රසූතියෙන් පසුව තවමත් ගතවී තිබුණේ දින පහක් වූවත් ඇයගෙන් දිස් වූයේ කෘෂ බවකි.
"හැබෑට ම මොකටද?" මෙයි නැන්දා සිනාසෙමින් කීවා ය. "එහෙම නැතිව කිරි එරෙන්නේ කොහොමද?"
"මම හරකෙක් නෙමෙයි."
'ඔයා හරකෙක් වුණා නම් ලේසියි' මෙයි නැන්දා සිතූ නමුත් ඈ දරුවාට කිරිපිටි දීම නමැති විකල්පය ගැන මුදු ලෙස තර්ජනය කළා පමණි. ඇයට නම් මේ විකල්පය ගැටළුවක් නොවූවත් බොහෝ දෙනා ගාස්තු ගෙවා ඇගේ සේවාව ලබාගත්තේ අලුත උපන් බිලිඳුන් සහ කිරි දෙන මව්වරුන් රැකබලා ගැනීමට ඇති ඇගේ දස්කම නිසා විය.
තරුණ කාන්තාව වැළපෙන්නට විය. 'ඇත්තටම මේ දැරිවි තරම් අම්මෙක් වෙන්න නුසුදුසු කෙනෙක් මම තවත් නම් දැකලා නැහැ' මෙයි නැන්දා සිතුවාය.
"මම හිතන්නේ මට පසු-ප්‍රසව විශාදිය තියෙනවා"
තරුණිය කොහෙන්දෝ අහුලාගත් විසිතුරු වැකියක් කීවා ය.
"මගේ සීයා ඉපදිලා දවස් තුනේදී එයාගේ අම්මා එල්ලිලා මැරිලා. මිනිස්සු නම් කියන්නේ අවතාරයක බැල්මක් වැටුණු නිසයි එහෙම උනේ කියලා. ඒත් මම නම් හිතන්නේ..." තමන්ගේ අයිෆෝනය කැඩපතක් ලෙස පාවිච්චි කළ ශනෙල් තම මුහුණ දෙස බලා ඉදිමුණු ඇසිපිය ඇඟිල්ලකින් තෙරපුවාය. "...මම හිතන්නේ එයාට පසු-ප්‍රසව විශාදිය තියෙන්න ඇති."
පුටුවේ පැද්දීම නැවැත්වූ මෙයි නැන්දා බිළිඳා තවත් තුරුලු කරගත්තාය. ඔහු වහා වහා ඇගේ ළමැද වෙත හිස තෙරපන්නට විය. "විකාර කියවන්න එපා," ඈ තදින් කීවා ය.
"මම මේ පසු ප්‍රසව විශාදිය කියන දේ පැහැදිලි කරනවා විතරයි."
"ඔයාගේ ප්‍රශ්නේ ඔයා කන්නේ නැති එක. ඔයා ඉන්න විදිහට ඉන්න කිසි කෙනෙක් සතුටින් ඉන්න එකක් නැහැ."
"කිසිකෙනෙක් මම ඉන්න විදිහට ඉන්න එකක් නැහැ," ශනෙල් දුර්මුඛ ලෙසින් කීවාය. "ඔයා දන්නවද මම ඊයේ හීනෙන් දැක්කේ මොකක්ද කියලා?"
"නැහැ"
"හිතලා කියන්න."
"අපේ ගමේ මිනිස්සු නම් කියන්නේ අනුන්ගේ හීන අනුමාන කරන එක නරක වැඩක් කියලා," මෙයි නැන්දා කීවාය. මිනිසුන්ගේ සිත් වෙත පහසුවෙන් ඇතුල් වූයේත් පිට වූයේත් අවතාර පමණි.
"මම හීනෙන් දැක්කා බබාව වැසිකිලියට දාලා ෆ්ලෂ් කරනවා."
"ආ. මම මහන්සි වුනත් ඒක නම් අනුමාන කරගන්න බැරිවෙයි."
"ඒක තමයි ප්‍රශ්නේ. මට දැනෙන දේ කාටවත් තේරෙන්නේ නැහැ," කී ශනෙල් නැවතත් වැළපෙන්නට විය.
මෙයි නැන්දා බිළිඳාගේ පොරෝනය ඇතුළත ඉව කර බැලුවේ ඇගේ ඒ අලුත් කඳුළු වෙත අවධානය යොමු නොකරමිනි. "බබාගේ නැපිය මාරුකරන්න වෙලා වගේ," ඈ දැනුම් දුන්නේ තරමක කාලයක් ලබා දුන් විට ශනෙල්ගේ අදහස් වෙනස්වන බව දැන සිටි නිසාය. තම දරුවා වැසිකිලියට දැමීම ගැන කතා කළත් අම්මා කෙනෙක් නම් අම්මා කෙනෙක් මය.
පසුගිය වසර එකොළහ පුරාවට මෙයි නැන්දා අලුත උපන් බිළිඳුන් සහ ඔවුන්ගේ මවුවරුන් සමඟ ඒ නිවෙස්වල නැවතී සේවය කළා ය. බිළිඳාට වයස මසක් වූ විට ඒ නිවසින් ඉවත් වීම ඇගේ ප්‍රතිපත්තිය විය. එක් නිවසකින් ඉවත් වී එක එල්ලේම තවත් නිවසකට යන්නට නොයෙදෙන අවස්ථා එළඹුණේ ඉතා කලාතුරකින් වූ අතර එවන් විරාම තිබුණත් ඒවා දින කිහිපයකට වඩා දිගු වූයේ නැත. වැඩිපුර මුදල් ගෙවා මෙයි නැන්දාව තවත් සතියක්, මාසයක් නොඑසේ නම් ඊටත් දිගු කාලයක් නවත්වා ගැනීමට බොහෝ පවුල් උත්සාහ කළ නමුත් ඇය නිරතුරුව ම ඒ යෝජනා ප්‍රතික්ෂේප කළාය. ඇගේ රාජකාරිය බිළිඳුන්ගේ පළමු මාසයේ සේවිකාවක් වීම පමණක් විය. මෙවන් සේවිකාවක් බිළිඳාත්, අම්මාත් වෙනුවෙන් ඉටුකරන කාර්යයන් සාමාන්‍ය සේවිකාවකගේ කාර්යයන්ට වඩා වෙනස් බව ඇගේ අදහස විය. කළාතුරකින් තමන්ගේ සේවාවන් කළින් ලබාගත් දෙමව්පියන් විසින් තම දෙවෙනි දරුවා වෙනුවෙන් ඇගේ සේවාවන් ලබාගැනීම සඳහා ඇගෙන් විමසන ලදී. කළින් වතාවකදී තම අතේ නැළවුණු බිළිඳෙක්ව වසර කිහිපයකට පසු කුඩා දරුවෙක් ලෙස මුණගැසීමට සිදුවීම ඇයගේ නින්දට බාධා පමුණුවන්නට පවා සමත් විය. වෙන කිසිම විකල්පයක් නොමැති අවස්ථාවලදී පමණක් ඈ මෙවැනි ඉල්ලීම් වලට එකඟ වූ අතර එවන් අවස්ථාවල ඒ නිවෙස්වලදී මුණගැහුණු වැඩිමහල් දරුවන්ව ඈ සැලකුවේ හිස් වාත අවකාශයන් ලෙසයි.
තම සැමියාට දින කිහිපයක් නිවාඩු ගනු නොහැකි ඇයිදැයි ඇයට නොතේරෙන බව වැළපීම් වාර අතරතුරදී ශනෙල් කීවාය. ඊට පෙරදා ඔහු රාජකාරී ගමනක් සඳහා ෂෙන් ෂෙන් වෙත ගොස් තිබිණි. "මාව එයාගේ පුතා එක්ක කවුරුවත් නැතිව ගෙදර තනියම දාලා යන්න එයාට මොකක්ද තියෙන අයිතිය?"
'කවුරුවත් නැතිව?' බිළිඳා ගේ ඇහිබැම කෙතරම් තදින් එකට ඈඳී තිබුණාද යත් ඒ අතරමැද සම කහ පැහැයක් ගෙන තිබුණි. ඒ දෙස පරීක්ෂාවෙන් බැලූ මෙයි නැන්දා මෙසේ සිතුවාය. 'ඔයාගේ තාත්තා මහන්සි වෙලා වැඩ කරනවා අම්මාට ගෙදරට වෙලා, එයාගේ තනියට ඉන්න මාව ‘කවුරුවත් නොවන’ ගාණට දාන්න පුළුවන් වෙන්න.' 'සර්පයාගේ වර්ෂය' වූ මේ වර්ෂය දරු ප්‍රසූතියකට සුබ වසරක් නොවූ අතර මෙයි නැන්දාට පවා එය වාසි අඩු වකවානුවක් විය. සාමාන්‍යයෙන් ඇයට තෝරාගැනීම සඳහා ඉස්තරම් විකල්ප තිබිණි. මේ යුවල මුල් වතාවේදී මුණගැහුණු විට ඇයට ඔවුන් කෙරෙහි කැමැත්තක් ඇති වූයේ නැත. අලුතින් දෙමව්පියන් වීමට සුදානම් වන අන් අය මෙන් නොව මේ දෙදෙනා වෙන කල්පනාවල සිටි බවක් දිස් වූ අතර, ඇයට රැකියාව පිරිනැමීමට පෙර ප්‍රශ්න ඇසුවේද කිහිපයක් පමණි. ඔවුන් තමන්ගේ දරුවා නන්නාඳුනන කෙනෙක්ගේ භාරයට පත් කරන්නට නියමිත බව මතක් කරන්නට පවා ඇයට සිතුණත් ඔවුන් දෙදෙනාම ඒ ගැන වධ වන බවක් දිස් වූයේ නැත. ඇතැම්විට ඔවුන් ඈ ගැන යහපත් නිර්දේශ ලබා තිබුණා විය හැක. ඉතා ඉස්තරම් සාත්තු සේවිකාවක් ලෙස මෙයි නැන්දා බොහෝ තැන්වලින් නිර්දේශ විය. ප්‍රථමයෙන් චීනයේත්, ඉනික්බිති ඇමෙරිකාවේත් හොඳ අධ්‍යාපනයක් ලබා ඒ මුහුදුබඩ පෙදෙසේ නීතිඥවරුන්, දොස්තරවරුන්, ඉංජිනේරුවන් ආදී වෘත්තිකයන් ලෙස සේවය කළ ඔවුන් වාසනාවන්ත පිරිසක් වූ අතර ඒ කෙසේ වෙතත් ඔවුන්ට ඇමෙරිකාවේ ඉපදුනු තම දරුවන් වෙනුවෙන් පළපුරුදු චීන සේවිකාවක් අවශ්‍ය විය. බොහෝ පවුල් ඇයව ඇණවුම් කළේ තම දරුවන් උපදින්නට මාස ගණනකට පෙරාතුවය.
බිළිඳාව පිරිසිදු කර රෙදි කඩකින් එතූ පසු ඔහු සංතෘප්ත බවක් පෙන්වූ නිසා මෙයි නැන්දා ඔහුට ඇඳුම් මාරුකරන මේසය මත ඉන්නට හැර ජනේලයෙන් එපිට බැලුවාය. සුපුරුදු ලෙස ඈ තමන්ට අයිතියක් නැති දර්ශන පථයක සුන්දරත්වය වින්දාය. ඇසීලියා පඳුරක් සහ ගල් පතුරු ඇතිරූ අඩිපාරක් අතර මැද තනන ලද පොකුණක් එහි විය. එහි රන් මාළු සහ නෙලුම් පත් රැසක් දක්නට තිබිණි. ඒ නිවසේ සැමියා තම ගමන යන්නට පෙරාතුව පොකුණ නැවත පිරවීමත්, මාළුන්ට කෑම දීමත් මෙයි නැන්දාට පවරා ගියේය. පොකුණට වසරකට වතුර ගැලුම් එක්දාස් අටසීයක් වැයවෙන බව ඔහු ඇයට දැනුම් දුන්නේ ඒ සඳහා වැය වන වියදමත් ගණන් බලමිනි. ඈ සාමාන්‍යයෙන් මෙවැනි අමතර වගකීම් භාරගැනීම ප්‍රතික්ෂේප කරන නමුත් මෙවර එසේ නොකළේ ඔහු ඇයට තම වැටුපට අමතරව දිනකට ඩොලර් විස්සක් ගෙවන්නට සූදානම් වූ නිසාය.
එක කකුලක් මත සමබරව සිටගෙන සිටින කොකෙකු ගේ ප්‍රතිමාවක් පොකුණ මැද තිබුණු අතර උගේ ගෙල දිස් වූයේ ප්‍රශ්නාර්ථ ලකුණක් මෙනි. මෙය නිර්මාණය කරන ලද චිත්‍ර ශිල්පියා ගැන මෙයි නැන්දා මඳක් කල්පනා කළා ය. ඇත්තටම එහි නිර්මාණකරු කාන්තාවක් වුවද විය හැකි වූවත් එවැන්නක් පිළිගැනීමට ඇය මැලි වූවාය. ඒ කොක් ප්‍රතිමාව වැනි අලංකාර එහෙත් නිෂ්ඵල දේ නිමවන්නේ පිරිමින් බව විශ්වාස කරන්නට ඇය තුළ කැමැත්තක් විය. ඒ, ගැහැණුන්ගේ නපුරුකම් වලින් මිදුණු තනිකමෙන් යුත් පිරිමියෙක් වේවා යැයි ඇය සිතුවාය.
මඳ වෙලාවකින් බිළිඳා දඟලන්නට විය. "අම්මා සුප් එක බීලා ඉවරවෙනකම් ඔහොම ඉන්නකෝ," මෙයි නැන්දා රහසින් කීවත් ඉන් පලක් වූයේ නැත. හදිසියේ බය ගැන්වුණු කොකා, කලබලයකින් තොරව අලංකාර ලෙස පියාපත් විදහා ඉගිල ගියේ එක්වරක් හඬගා කෑගසමිනි. ඒ හඬ ඇසී කැළඹුණු මෙයි නැන්දාට සිනා පහළ විය. ඊයේ පොකුණ අසල එවැනි ප්‍රතිමාවක් නොතිබුණු නිසා අද එතැන තිබුණේ ප්‍රතිමාවක් බව තමන්ට සිතුණේ ඒකාන්තයෙන්ම තමන් වයසට යමින් සිටින නිසාත් තමන්ගේ මතකය වියැකෙන නිසාත් යැයි ඇයට සිතුණි. මෙයි නැන්දා බිළිඳා වඩාගෙන ගෙවත්තට ගියාය. පොකුණේ දැන් සිටියේ රන් මසුන් පෙරට වඩා අඩු ප්‍රමාණයක් වූ අතර ඒ කිහිප දෙනා කොකාගේ ආක්‍රමණයෙන් බේරී තිබිණි. කෙසේ වෙතත් මේ පාඩුව ගැන ශනෙල්ට කිව යුතු විය. 'ඔබට පසු ප්‍රසව විශාදය ගැන ගැටළුවක් තිබේ කියා සිතෙනවාද? එසේනම් ඒ රන් මසුන් ගැන සිතන්න. පාරාදීසයක් බඳු පොකුණක අද ජීවත් වී ඔවුහු හෙට ඒ අසලින් යමින් සිටි කොකෙකුගේ කුසට වී දිව්‍ය ලෝකයට යති.'
තමන්ගේ භාරයට පත්වෙන මවුවරුන් සහ බිළිඳුන්ට විධිමත් දින චර්යාවක් පවත්වා ගැනීම අවශ්‍ය බව මෙයි නැන්දා විශ්වාස කළා ය. ප්‍රසූතියෙන් පසු පළමු සතියේදී ඈ අලුත් මවට ප්‍රධාන කෑම වේල් හයක් සහ ඒ අතරට කෙටි කෑම වේල් තුනක් දුන්නාය. දිවා කාලයේදී බිළිඳාට පැය දෙකකට වතාවක් කිරි දෙනු ලැබූ අතර රාත්‍රියේදී පැය තුනකට හෝ හතරකට වතාවක් එය සිදු විනි. බිළිඳාගේ තොටිල්ල දෙමව්පියන්ගේ නිදන කාමරයේ තබාගන්නවාද නොඑසේ නම් වෙනම ළදරු කාමරයක තබනවාද යන්න තීරණය කිරීමට ඇය ඔවුන්ට ඉඩ ඇරියා ය. එහෙත් කිසි විටක තොටිල්ල තමන්ගේ කාමරයේ නම් තබන්නට ඇය ඉඩ දුන්නේ නැත. මෙසේ කරන්නේ තමන්ගේ පහසුවට නොවන බව ඇය ඔවුන්ට පැහැදිලි කළ අතර මාසයක් පමණක් රැඳෙන කෙනෙක් ට දරුවා සමීප වීම තේරුමක් නොමැති බව ඇය කීවා ය.
“ඔයතරම් කන එක කොහොමවත්ම කරන්න බැහැ. එක එක්කෙනා වෙනස්,” ඊළඟ දවසේදී ශනෙල් කීවා ය. එදින අඩුවෙන් අඬමින් සිටි ඇය සෝපාවේ ගුලිවී සිටියේ පපුව මත රත් කරන ලද තුනී කොට්ට දෙකක් තබාගෙන ය. ඒ තරුණියගේ කිරි නිපදවීමේ හැකියාව ගැන මෙයි නැන්දා සතුටට පත්වී සිටියේ නැත.
‘මම ගියාට පස්සෙ ඔයාට ඕන හැටියෙ වෙනස් විදිහට ඉන්න පුළුවන්’ බිළිඳා නළවන අතරතුරේදී මෙයි නැන්දා තනිවම සිතුවා ය. 'මේ මාසෙන් පස්සේ ඔයාගේ පුතා ඕන නම් ඇද ගැහුනු පිපිඤ්ඤා ගෙඩියක් හැටියට උස්මහත් වුණත් මට නම් කිසිම ගානක් නැහැ.' ඒත් දැන්මම කිසිම මවකට වත් බිළිඳෙක්ට වත් නියමිත සැලසුමෙන් පිට කටයුතු කළ නොහැකි විය. දරුවාගේ පළමු මාසය ට සාත්තු සේවිකාවක ගේ සේවය ලබා ගැනීමේ හේතුව සියලුම දේවල් නිවැරදිව සිදුවනු දැකීම මිස වෙනස් දේවල් සිදුවනු දැකීම නොවන බව මෙයි නැන්දා ශනෙල්ට කීවා ය.
“ඉතිං ඔයත් ඔයාගේ ළමයි හම්බ වුන වෙලාවේ මේ සැලසුම පිළිපැද්දා ද? ඔයා නම් එහෙම කළේ නැතුව ඇති.”
“ඇත්තම කියනවා නම් මම කළේ නැහැ, ඒකට හේතුව මට දරුවෝ ලැබිලා නැහැ.”
“අඩුම ගානේ එක්කෙනෙක්වත්?”
“ඔයා සාත්තු සේවිකාවක් හොයද්දි ළමයි ඉන්න ඕන බවක් කිව්වෙ නැහැනේ.”
“ඒත් ඇයි ඔයා... මේ වගේ රස්සාවක් තෝරාගත්තෙ?”
ඇත්තටම ඇයි? “සමහර වෙලාවට රස්සාව අපිව තෝරා ගන්නවා,” මෙයි නැන්දා පිළිතුරු දුන්නාය. තමන්ට මෙලෙස ගැඹුරු අදහස් දැක්විය හැකි බව දැන සිටියේ කවුද?
“ඒත් ඔයා ළමයින්ට ආදරේ ඇති එහෙනම්?”
අනේ නැහැ නැහැ නැහැ, මෙයාටත් ආදරේ නැහැ අරයාටත් නැහැ, ඒ එක්කෙනෙකුටවත් නැහැ. “ගඩොල් බඳින කෙනෙක් තමන්ගෙ ගඩොල්වලට ආදරේද?” මෙයි නැන්දා ඇසුවා ය. “පිඟන් සෝදන මැෂිම අලුත්වැඩියා කරන කෙනා පිඟන් සෝදන මැෂින් වලට ආදරෙයිද?” එදින උදෑසන ශනෙල් ගේ කැඩුණු පිඟන් සෝදන මැෂිම අලුත්වැඩියා කිරීමට මිනිසෙකු පැමිණියේය. විනාඩි විස්සක් පමණ කෙටි කාලයක් එය අත පත ගෑ ඔහු ඩොලර් 100ක බිලක් දී යන්නට ගියේය. මේ මුදල මෙයි නැන්දාගේ දවසක පඩිය තරම් විය.
“නැන්දා, ඒක හොඳ තර්කයක් නෙවෙයි.”
“මගේ රස්සාවෙ හැටියට හොඳ තර්ක ඉදිරිපත් කරන්න මම දක්ෂ වෙන්න උවමනා නැහැ. එහෙම තර්ක කරන්න පුළුවන් නම් මම ඔයාගේ මහත්තයා වගේ නීතිඥයෙක් වෙනවානේ නේද?”
ශනෙල් සතුටෙන් තොර සිනහවක් නඟන බවක් පෙනුණි. ඇය ම කියාගන්නා පරිදි ඇයට විශාදය තිබුණත් මෙයි නැන්දා සමග කතාබහ කිරීමට නම් ඇය කැමැත්තක් දක්වන බවක් දිස්විය. වෙනත් නිවෙස්වල අම්මලා ඇය සමග කතා කළේ බිළිඳුන් ගැනත් මව්කිරි දීම ගැනත් පමණක් වූ අතර ඊට අමතරව ඔවුන් ඇය ගැන උනන්දුවක් දැක්වූයේ නැත.
මෙයි නැන්දා බිළිඳාව ශනෙල් අසලින් සෝපාවේ තැබුවත් ඇය ඔහු වෙනුවෙන් ඉඩදීමට අකමැත්තක් පෙන්වූවාය. “හරි අපි දැන් බලමු කිරි තත්ත්වේ,” මෙයි නැන්දා කීවේ දෑත එකට අතුල්ලා උණුසුම් කර ශනෙල්ගේ ළැම මත වූ කුඩා කොට්ට ඉවත් කරමිනි. ඈ වේදනාවෙන් කෑ ගැසුවාය.
“මම තාම ඔයාව ඇල්ලුවෙ වත් නැහැ.”
'ඔයාගේ ඇස් දිහා බලන්න. හොඳ පයිප්ප බාස් කෙනෙකුට වත් ඔය කාන්දුව හදන්න බැහැ.'
“මට මේකාට තවත් නම් කිරි දෙන්න ඕන නැහැ,” ශනෙල් කීවාය.
'මේකාට?' “ඒ ඔයාගේ පුතා.”
“ඇයි මගෙ විතරක්? එයාගෙ තාත්තටත් අයිතියි. තාත්තට මොකද ගෙදර නතරවෙලා උදව් කරන්න බැරි?”
“පිරිමින්ට කිරි එරෙන්නේ නැහැනේ.”
ශනෙල් කඳුළු අතරින් සිනාසුණාය. “නැහැ. එයාලට පුළුවන් සල්ලි හොයන්න විතරයි.”
“සල්ලි හොයන්න පුළුවන් කෙනෙක් හම්බවුන නිසා ඔයා වාසනාවන්තයි. පිරිමි හැමෝටම ඒක බැහැ, දන්නවද?”
ශනෙල් තම රාත්‍රී ඇඳුමේ අත්වාටියෙන් ප්‍රවේශමෙන් කඳුළු පිසදා ගත්තාය. “නැන්දා ඔයා කසාද බැඳලද?”
“ඉස්සර,” මෙයි නැන්දා කීවාය.
“මොකද වුණේ? ඔයා එයා ව දික්කසාද කළා ද?”
“එයා මැරුණා,” මෙයි නැන්දා කීවාය. තම කසාදය පුරාවටම, හැම දවසකම තම සැමියා තම ජීවිතයෙන් ඉවත් වන්නේ නම් යැයි ඇය සිතූ නමුත් එය ඒකාන්තයෙන්ම සිදුවේ යැයි පැතුවේ නැත. අවුරුදු ගණනාවකට පසු දැනුදු ඔහුගේ මරණය පිළිබඳව ඇයට වගකීමක් දැනුණි. ඇයට සිතුණේ ඔහුගේ මරණයට හේතු වූයේ එක්තරා රාත්‍රියකදී ඔහුට පහර දුන් තරුණයන් පිරිස නොව තමන් බවයි. ‘උන්ට ඔයාගේ සල්ලි අරගෙන යන්න දුන්නෙ නැත්තෙ ඇයි?’ ඇතැම් දිනවල තනිවම කතා කිරීමෙන් හෙම්බත් වූ පසු මෙයි නැන්දා ඔහුට දොස් පැවරුවාය. ඩොලර් තිස්පහකට ජීවිතයක්, අවුරුදු පනස් දෙක සම්පූර්ණ වන්නට මාස තුනක්.
“එයා ඔයාට වැඩිය ගොඩක් වැඩිමල් ද?”
“ටිකක් වැඩිමල් ඒත් ඒ තරම්ම නෑ”
“මගේ මහත්තයා මට වැඩිය අවුරුදු 28ක් වැඩිමල්,” ශනෙල් කීවාය. “ඒක නම් ඔයා අනුමාන කළේ නැතිව ඇති.”
“නැහැ, මට හිතුණේ නැහැ.”
“එහෙම නොහිතුණේ මම වයස පාට නිසාද එයා තරුණ පාට නිසාද?”
“ඔය දෙන්න හොඳට ගැලපෙනවා.”
“ඒත් එයා මට කලින් මැරේවි නේද? ගැහැණු පිරිමින්ට වැඩිය කල් ජීවත් වෙනවා නේ. දැනටමත් එයාට සෑහෙන්න වයසයිනේ.”
'එහෙනම් ඔයත් නිදහස් වෙන්න බොහොම උනන්දුයි වගේ. මෙන්න මේක අහගන්න. ඔය වගේ ප්‍රාර්ථනාවක් හරි නොයන එක වධයක් තමයි, ඒත් කවදා හරි ඒක හරි ගියොත් ඔයාට තේරෙයි ජීවත් වෙනවා කියන්නේ ලෝකෙ තියෙන මහා ම කළකිරෙන දෙයක් බව. මේ ලෝකෙ කොහොමත් ඒ තරම් දිලිසෙන තැනක් නෙමෙයි, ඒත් තේරුමක් නැති ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ වෙනවා කියන්නේ ලෝකෙ ඉතුරුවෙලා තියන ආලෝකයත් අඩුවෙලා යනවා කියන එක.’ “විකාර කතා කරන්න එපා.” මෙයි නැන්දා කීවාය.
“මම කීවේ ඇත්ත. ඔයාගේ මහත්තයා මැරුණේ කොහොමද? පපුවේ අමාරුවක් හැදිලා ද?”
“එහෙම කියන්නත් පුළුවන්,” කී මෙයි නැන්දා ශනෙල් තවත් ප්‍රශ්න අහන්නට පෙරාතුව ඇගේ පියයුරක් වැරෙන් මිරිකුවා ය. තදින් හුස්මක් ඉහළට ගත් ශනෙල් කෑගසන්නට විය. නමුත් මෙයි නැන්දා ඇගේ පියයුර අත්හැරියේ ඊට මනා සම්බාහනයක් දුන් පසු ය. ඇය අනෙක් පියයුර වෙත අත පෑ විට ශනෙල් තවත් හඬ නඟා කෑ ගැසූ නමුත් තම ඉරියව්ව වෙනස් නොකළේ සමහරවිට බිළිඳා තෙරපෙනු ඇතැයි බියෙන් විය හැකිය.
ඉනික්බිතිව මෙයි නැන්දා උණුසුම් තුවායක් ගෙන ආවාය. “යනවා යන්න,” ශනෙල් ඇයට කීවාය. “මට තවත් ඔහේ ව මෙහේ තියාගන්න උවමනාවක් නැහැ.”
“එතකොට ඔයාව බලාගන්නේ කවුද?”
“මාව බලාගන්න කවුරුවත් ඕනෙ නෑ.” පුටුවෙන් නැගී සිටි ශනෙල් තම නිදි කබායේ ඉන පටිය ගැට ගසා ගත්තාය.
“එතකොට බබා?”
“එයාගෙ අවාසනාව තමයි.”
ශනෙල් තරප්පු පෙළ වෙත ඇවිද ගියේ මුරණ්ඩු කමින් දරදඬු වූ සිරුරෙන් යුතුවය. මෙයි නැන්දා බිළිඳාව වඩා ගත්තාය. ඇයට ඔහු වෙනුවෙන් දැනුණු කේන්තිය, දුක, කැළඹීම ආදී හැඟුම් වල බර හා සැසඳූ විට ඔහුගේ සිරුරේ බර නොගිනිය හැකි තරම් විය.
මෙයි නැන්දාට මේ තරුණ කාන්තාව ගැන එක්තරා ආකාරයක ගරුසරු සහිත බියක් දැනුනි. 'ඔන්න ඔහොම තමයි අම්මා කෙනෙක් දරුවෙක්ව අනාථයෙක් කරන්නේ,’ ඈ තමාටම කියා ගත්තාය.
දවස් හයක් වයස වූ බිළිඳාව මවගෙන් කිරි වරන ලදී. ඔහුගේ පෝෂණයත් රැක බලා ගැනීමත් සම්පූර්ණයෙන්ම මෙයි නන්දාට පැවරිණි. ඇය කෙතරම් ඒ බව පිළිගන්නට අකමැති වූවත් ඔහුට ආදරය කිරීම ද ඇය පිට පැටවිණි. ශනෙල් තම කාමරයට වී මුළු හවස් වරුවම චීන ටෙලි නාට්‍යයන් නැරඹුවා ය. ඉඳහිට වතුර බීමට පහළ මාලයට පැමිණෙන ඈ වයසක ගැහැණියටත් බිළිඳාටත් කතා කළේ ඔවුන් දුප්පත් නෑයන් සේ සලකමිනි. ඔවුන්ට නවාතැන් දීම ට සිදුවීම කරදරයක් වුවත් ඔවුන් හා කතා බහ කරන්නට අවශ්‍ය නැති වීම සහනයක් සේ සැලකිණි.
එදින හවස් වරුවේ පිඟන් සෝදන මැෂිම අලුත්වැඩියා කරන්නා නැවතත් පැමිණියේය. ඔහුගේ නම පෝල් බව ඔහු නැවතත් මෙයි නැන්දාට මතක් කළේය. 'හරියට එක දවසක් ඇතුලත ඒක අමතක වෙන්න තරම් මම වයසයි වගේ,' ඈ සිතුවාය. මීට කලින් ඇය ඔහුට පොකුණෙන් මාළු සොරාගත් කොකා ගැන කියා තිබුණු අතර ඔහු නැවත පැමිණ ඒ ප්‍රශ්නයට විසඳුමක් යොදන්නට පොරොන්දු විය.
“ඔයා කරන දෙයින් කුරුල්ලාව මැරෙන්නෙ නැහැ කියලා සහතික වෙනවා නේද?” පෝල් පොකුණට ඉහළින් කම්බි කීපයක් අදිනු බලා සිටි මෙයි නැන්දා විමසුවාය.
“ඔයාම අල්ලලා බලන්න.” පෝල් බොත්තම තද කරමින් කීවේය.
මෙයි නැන්දා එකිනෙක අතරින් වියා ඇද තිබුණු කම්බි මත ඇගේ අතක් තිබ්බා ය. “මට මුකුත් දැනෙන්නෙ නැහැ.”
“ඒක හොඳයි. මුකුත් දැනුනානම් මම ඔයාගෙ ජීවිතේ අනතුරේ දැම්මා වෙනවා. එතකොට ඔයාට මට නඩු දාන්න පුළුවන්.”
“ඒත් මේක කොහොමද වැඩ කරන්නේ?”
“ඒ කොකා ඔයාට වැඩිය සංවේදී ඇති කියලා අපි හිතමු.” පෝල් කීවේය. “මේක වැඩ නොකළොත් මට කියන්න. මම ආයෙත් ඔයාගෙන් සල්ලි ගන්නෙ නැහැ.”
මෙයි නැන්දාට නම් මේ ගැන සැකයක් දැනුණු නමුත්, ඇගේ ප්‍රශ්නාර්ථයෙන් යුත් නිහඬබව ඔහුට තමාගේම දක්ෂකම් අගය කර ගැනීමට බාධාවක් වූයේ නැත. 'මොළේ කල්පනා කරන මිනිහෙකුට කිසි දෙයක් අමාරු නැහැ,' ඔහු කීවේය. තම ආම්පන්න අසුරා ගත් පසු ඔහු මඳක් තාවර වූ අතර ඔහුට තම නිවෙස බලා යෑමට හදිසියක් නොමැති බව ඇයට වැටහිණි. ඔහු හැදී වැඩුණේ වියට්නාමයේ බව ඔහු මෙයි නැන්දා ට කීවේය. ඔහු ඇමරිකාව ට පැමිණ තිබුණේ මීට වසර 37 කට පෙර ය. ඔහුගේ බිරිඳ මිය ගොස් තිබුණු අතර ඔහුට වැඩිහිටි වූ දරුවන් තිදෙනෙක් විය. ඉන් එක් අයෙක් වත් ඔහුට මුණුබුරෙක් දායාද කර තිබුණේ නැතිවා පමණක් නොව එසේ කරන්නට බලාපොරොත්තුවක් ද නොතිබුණු බව ඔහු පැවසුවේය. ඔහුගේ බාල සොයුරියන් දෙදෙනාම නිව්යෝර්ක්හි වාසය කළ අතර ඔවුන් ඔහුට කලින් මුණුබුරන් ලබා තිබිණි.
මෙය හුරුපුරුදු කතාවක් ම විය. ඔවුන් හැම දෙනෙක්ම කොහේ හෝ සිට පැමිණ තිබුණු අතර ඒ ගමන අතරතුරේ දී තමන් වටා තවත් විවිධ මිනිසුන් එක් රැස් කරගෙන තිබිණි. පෝල්ගේ ජීවිතය ගෙවුණු හැටි මෙයි නැන්දාට මැවී පෙනුණි. තමන් අනුන්ට ප්‍රයෝජනයක් වීමට වයස වැඩි වනතුරු ඔහු කාර්යබහුල ව තම දවස් ගත කරනු ඇති අතර ඉනික්බිති ඔහුව තම දරුවන් විසින් වැඩිහිටි නිවාසයකට යොමු කරනු ඇත. ඔවුන් ඔහුගේ උපන්දිනයට හා නිවාඩු දිනවලට ඔහුව බලන්නට එනු ඇත. මෙවැනි බැඳීම් රහිත මෙයි නැන්දාට තමන් ඔහුට වඩා උසස් බවක් දැනුනි. පෝල් යන්නට යද්දී ඈ බිළිඳාගේ කුඩා අතක් ඔසවා වැනුවාය. “පෝල් සීයාට බායි කියන්න.”
මෙයි නැන්දා ආපසු හැරී නිවස දෙස බලද්දී ශනෙල් දෙවැනි මහලේ තම කාමරයේ කවුලුවෙන් එබී බලමින් සිටියා ය. “ඒ මනුස්සයා කොකාට විදුලි සැර වද්දන්න ද හදන්නේ?” ඈ හඬනගා ඇසුවාය.
“එයා කියන්නේ කොකාට යන්තම් විදුලියක් වදියි කියලයි. ඒ ඌට පාඩමක් උගන්නන්න.”
“මිනිස්සුන්ගේ මට පෙන්නන්නම බැරි මොකක්ද දන්නවද? එයාලා කැමතියි ‘ඔන්න ඔයාට හොද පාඩමක්' කියලා කියන්න. ඒත් ඒ පාඩමෙන් ඇති වැඩක් තියෙනවද? ජීවිතේ මොකක් හරි අසමත් උනාම ආයෙත් විභාගයක් ලියලා ඒක හරිගස්සන්න බැහැ.”
ඒ ඔක්තෝබර් මාසයේ හැමූ සැන්දෑ සුළඟේ මුහුදෙන් මුසු වූ සීතලක් විය. සෙම්ප්‍රතිශ්‍යාවක් හදා නොගන්නැයි කියා අනතුරු අඟවනවා හැරෙන්නට මෙයි නැන්දාට ශනෙල් ට කියන්නට දෙයක් තිබුණේ නැත.
“හැදුනත් කාටවත් මොකද?”
“සමහරවිට ඔයාගේ දෙමව්පියන්ට ඔයා ගැන කැක්කුමක් ඇති”
ශනෙල් ඊට නොසැලකිලිමත් ශබ්දයක් නැගුවාය.
“නැත්නම් ඔයාගේ මහත්තයා.”
“හා! එයා මේ දැන් මට ඊමේල් කළා එයාට තව දවස් දහයක් එහේ ඉන්න වෙනවා කියලා.” ශනෙල් කීවාය. “ඔයා දන්නවද එයා මේ මොහොතේ කරන්නේ මොනවද කියලා මම හිතන දේ? කවුරුහරි ගෑනියෙක් එක්ක බුදියනවා ඇති, සමහරවිට එක ගෑණියෙකුට වැඩිය වැඩි ඇති.”
“මම නම් හිතන්නේ නැහැ එයා ඒ ජාතියෙ මනුස්සයෙක් කියලා,” මෙයි නැන්දා කීවාය.
“ඔයා කවදාවත් එයා ගැන නරක වචනයක්වත් කියන්නේ නැහැ.” ශනෙල් කීවාය.
'හොඳක් කියන්නෙත් නැහැ.' ඈ තනිවම කියාගත්තා ය.
“එයාට මීට කලින් කසාද ගෑණියෙකුයි ළමයි දෙන්නෙකුයි හිටියා.”
'ඔයා හිතන්නෙ පිරිමියෙක්- ඕනෑම පිරිමියෙක්- ඔයා මුණගැහෙනකම් තනිකඩව ඉඳීවි කියලද?' මෙයි නැන්දා පෝල්ගේ දුරකථන අංකය සහිත කොළ කැබැල්ල තම සාක්කුවෙහි රුවා ගත්තා ය.
“ඒ මනුස්සයා ඔයාට නොම්මරේ දුන්නද?” ශනෙල් ඇසුවාය. “එයා ඔයා එක්ක යාලුවෙන්න හදනවද?”
“ඒ මනුස්සයා? එයාගෙන් බාගයක්, එහෙම නැත්නම් ඊටත් වැඩිය දැනටමත් මිනී පෙට්ටියේ.”
“පිරිමි අන්තිම මොහොත වෙනකම්ම ගෑනු පස්සේ යනවා.” ශනෙල් කීවාය. “නැන්දේ ඔය මිනිහට රැවටෙන්න එපා. කිසිම පිරිමියෙක් විශ්වාස කරන්න බැහැ.”
මෙයි නැන්දා සුසුමක් හෙලුවාය. “බබාගේ තාත්ත ගෙදර එන්නෙ නැත්නම් කවුද ගෙදරට බඩු ගේන්නේ?”
ගෙහිමියා තම පැමිණීම කල් දමන ලද අතර ශනෙල් දරුවාගේ කිසිම රාජකාරියක් කිරීම ප්‍රතික්ෂේප කළාය. තමන්ගේ ප්‍රතිපත්තිවලට පටහැනිව මෙයි නැන්දා තොටිල්ල තම කාමරයට ගත් අතර නිවසට බඩු බාහිරාදිය ගෙන ඒමට වෙළඳපළට යාමේ වගකීම ද භාරගත්තා ය.
"ඔයා හිතනවද මිනිස්සු හිතයි කියලා අපි මේ බබාගේ සීයායි ආච්චියි කියලා?" සුඛෝපභෝගී රථ දෙකක් අතර කුඩා ඉඩක ඉතා අමාරුවෙන් මෝටර් රථය නවත්වද්දී පෝල් ඇසුවේය.
වෙළඳපොළට යාමට ඔහු එකඟ වූයේ මෙයි නැන්දා ඔහුට ගෙවන්නට පොරොන්දු වූ අමතර මුදල නිසා නොවිය හැකි ද? "කවුරුවත් කිසි දෙයක් හිතන්නේ නැහැ," ඈ බඩු ලැයිස්තුව පෝල් ගේ අතට දෙමින් කීවාය. "මායි බබායි කාර් එකේ ඉන්නම්."
"ඔයා එන්නේ නැද්ද?"
"මේ අලුත උපන් බබෙක්. ශීතකරණ පේළියක් තියෙන කඩේකට මම එයාව අරගෙන යයි කියලා ඔයා හිතනවද?"
"එහෙනම් එයාව ගෙදර තියලා එන්නනේ තිබුණේ."
‘කවුරු එක්ක තියලා එන්නද?’ බිළිඳා නිවසේ තබා පැමිණියහොත් ඈ ආපසු යද්දී ඔහු මෙලොවින් යන්නට ගොස් තිබෙන්නට ඇති බවට බියක් මෙයි නැන්දා ට දැනුණු අතර ඇය ඒ සිතිවිල්ල පෝල් සමඟ බෙදාගත්තේ නැත. බිළිඳාගේ මව පසු ප්‍රසව විශාදියෙන් පීඩා විඳින බවත් ඇය දරුවා රැක බලා ගැනීමට නුසුදුසු බවත් ඇය විස්තර කළා ය.
"ඉතින් මට බඩු ලැයිස්තුව දුන්නා නම් ඉවරයිනේ." පෝල් කීවේය.
‘බඩු ටික ගෙනත් දෙන්නේ නැතිව ඔහේ සල්ලිත් අරන් යන්න ගියානම්?' ඒ සිතිවිල්ල අසාධාරණ බව දැන දැනම ඇය සිතුවා ය. තම මියගිය සැමියා ඇතුළුව තමන්ට විශ්වාස කළ හැකි පිරිමි සිටියහ.
ආපසු එන ගමනේදී පොකුණට පැමිණෙන කොකා නැවත ආවේදැයි පෝල් විමසුවාය. තමන් ඌ ව නොදුටු බව මෙයි නැන්දා පිළිතුරු දුන්නාය. ඒ කුරුල්ලාට පාඩම උගන්වනු ලබන අවස්ථාව තමන්ට දක්නට ලැබේදැයි ඈ කල්පනා කළා ය. ඇයට ඉතිරිව තිබුණේ තව දින විසි දෙකක් පමණි. පොකුණට කොකා ආවාත් නොආවාත් තව දින විසි දෙකකින් ඊළඟ පවුල ඇයව මෙතැනින් ඉවත් කරනු ඇත. තමන් අසල බිළිඳු අසුනේ නිදා සිටින දරුවා දෙස බැලූ මෙයි නැන්දා 'එතකොට ඔයාට මොකද වෙන්නේ?' කියා ඇසුවා ය.
"මට?" පෝල් විමසී ය.
"ඔයාට නෙමෙයි. බබාට."
"ඔයා මොකටද ඒ ගැන වධ වෙන්නේ? එයාට හොඳ ජීවිතයක් ලැබේවි. මට වඩා හොඳ එකක්. අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේට වඩා හොඳ එකක්."
"එහෙම කියන්න ඔයා මගේ ජීවිතේ ගැන දන්නේ නැහැනේ."
"මට හිතාගන්න පුළුවන්. ඔයා කාව හරි හොයාගත්තා නම් හරි. මෙහෙම ගෙයින් ගෙට යන අස්ථිර ජීවිතයක් ඔයාට ගැලපෙන්නේ නැහැ."
"ඇයි, මොකක්ද ඒකෙ ප්‍රශ්නේ? මම ගෙවල් කුලී ගෙවන්නේ නැහැ, මට කෑම වියදමක් නැහැ."
"සල්ලි හොයන එකේ තේරුම මොකක්ද ඒවා වියදම් කරන්නේ නැත්නම්?" පෝල් කීවේය. "අඩුම ගාණේ මම නම් ඉස්සරහට උපදින්න ඉන්න මගේ මුණුබුරෝ වෙනුවෙන් සල්ලි ඉතුරුකරනවා."
"මම මගේ සල්ලි වලට කරනේ දේ ඔයාට වැඩක් නැහැ," මයි නැන්දා කීවාය. "දැන් කරුණාකර පාරට අවධානය දීලා එලවන්න."
මින් හික්මවනු ලැබූ පෝල් නුහුරු නිහඬ බවකින් යුතුව දිගටම වාහනය පැදවූ අතර එය අධිවේගී මාර්ගයේ තිබුණු සෙමෙන්ම ධාවනය වන රථය විය. ඇතැම්විට ඔහු එසේ කියන්නට ඇත්තේ යහපත් චේතනාවෙන් විය හැකි වූවත්, එවැනි පිරිමින් ඇති තරම් සිටි අතර ඇය එවැන්නන් ව පීඩාවට පත් කරන වර්ගයේ කාන්තාවක් විය. පෝල් ට කතා අසන්නට රිසි නම් ඇයට ඔහුට කතාවක් දෙකක් කියා තමාගේ කැමැත්ත දිනාගැනීමට ඔහුගේ ඇති බලාපොරොත්තු නැතිකර දමීමට හැකිව තිබිණි. එහෙත් ඇය පටන් ගත යුත්තේ කොතැනින් ද? ආදරය කිරීමේ කිසිම බලාපොරොත්තුවක් නැතිව තමන් කසාද බැඳ නොකල්හි මිය යන තුරු බලා සිටි තම සැමියා ගැන කියන්නද? නොඑසේ නම් තම පියා සම්පූර්ණයෙන්ම ඔවුන්ගෙන් ඈත් ව සිටිය යුතු යයි තම මව පැනවූ කොන්දේසියක් නිසා ඇයට කිසි දිනක හමු නොවූ බව? නැත්නම් ඇයට තම මිත්තනියගෙන් කතාව ආරම්භ කළ හැක. තම බිළිඳු දියණියගේ තොටිල්ල අසල හිඳ අතුරුදන් වූ ඒ මිත්තණිය, ඊට වසර විසිපහකට පසු තම සැමියාට ජරා ජීර්ණ වන අසනීපයක් වැළඳුනු විට නැවත පැමිණ තිබිණි. මෙයි නැන්දාගේ සීයා දාමරිකයෙක් වූවා නම් මේ අතුරුදන්වීම සාධාරණීකරණය කරන්නට ඉඩ තිබිණි. නමුත් කරුණාවන්ත මිනිසෙක් වූ ඔහු, තම දියණිය තනිව හදා වඩාගෙන තිබුණේ වචනයක්වත් නොකියා නික්මුණු තම බිරිඳ නැවත පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවේ එල්ලීගෙන ය.
මෙයි නැන්දා ගේ මිත්තණිය වැඩි දුරක ගොස් තිබුණේ නැත. ඒ මුළු කාලයම ඈ ඒ ගමේම වෙනත් පිරිමියෙක් සමඟ ජීවත් ව තිබුණු අතර දිවා කාලයේදී ඔහුගේ සොල්දරයේ හැංගී සිට මැදියම් රාත්‍රියට පමණක් හුස්මක් ගැනීමට පිටතට පැමිණ ඇත. කෙදිනක හෝ තම සැමියා මිය යන තුරු ඈ මෙලෙස සැඟවී නොසිට, ඊට පෙර පෙනී සිටියේ ඇයිදැයි කිසිවෙකුට වටහා ගනු නොහැකි විය. ඈ කීවේ තම සැමියාට පිළිවෙලකට සමුදීම බිරිඳක් ලෙස ඇගේ යුතුකම බවයි.
විවාපත් වූ අලුත මෙයි නැන්දාගේ මව දියුණු වෙමින් පවතින ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා ය. පියාගේ මරණයත්, මවගේ නැවත ආගමනයත් සම සිතින් දරා සිටි බවක් පෙන්වූ නමුත් ඈ ඊළඟ වසරේදී තම පළමු සහ එකම දරුවා ලැබීමට ගැබ්ගෙන සිටිද්දී හදිසියේම තම සැමියාව එලවා ගත්තේ ඩී ඩී ටී කුප්පියක් බොන බවට තර්ජනය කරමිනි.
මෙයි නැන්දා ව උස් මහත් කරනු ලැබුවේ මායාකාරී ගැහැනුන් දෙදෙනෙක් විසිනි. ගම්වැසියෝ මේ ගැහැනුන්ව පිළිකෙව් කළ නමුත් දැරියව ඔවුන්ගේ කෙනෙක් ලෙස පිළිගත්හ. වැසු දොර පියන් පසුපස ඔවුහු ඇයට අයගේ පියා සහ සීයා ගැන විස්තර කීහ. එසේ කියද්දී ඔවුන්ගේ දෑස් වල ඈ දුටුවේ ඇගේ වැඩිහිටියන් ගැන ඔවුන්ට තිබුණු බිය මුසු අප්‍රසාදය යි. වසර ගණනක් තිස්සේ අන්ධකාරයේ ජීවත්වීම නිසා සුදුමැලි පෙනුමක් සහිත වූ ඇගේ මිත්තණිය දිගින් දිගටම තම නිශාචර පුරුදු ක්‍රියාත්මක කළා ය. ඈ මහා රෑ තිස්සේ තම දියණියටත්, මිනිබිරියටත් කෑම පිසිමින්, වූල් ඇඳුම් ගොතමින් කාලය ගත කළා ය. මෙයි නැන්දා ගේ මව නම් ඉතා අඩුවෙන් අහාර ගනිමින්, සෙමෙන් කුසගින්නෙන් මිය යමින් සිටි නමුත් ඇසි පිය නොහෙලා තම දියණිය ආහාර ගනු නැරඹීම නම් ඇයට කිසි දිනක එපා වූයේ නැත.
මේ ගැහැනුන් දෙදෙනාම මිය යන තුරු නිවසින් නික්මෙන්නට මෙයි නැන්දා කල්පනා කළේ නැත. ඒ දෙදෙනා ජීවත්ව සිටි කාලයේදී ඔවුන්ගේ අමුතු ගති නිසා ලෝකාපවාදයෙන් බේරී සිටියත්, මරණයෙදී ඔවුහු ඒ වාසභූමිය රැගෙන නික්මුණහ. මේ නිසා මෙයි නැන්දාව එහි බැඳ තබාගන්නට කිසිවක් තිබුණේ නැත. දුර ඥාතියෙක් නිව් යෝර්ක් හි ක්වීන්ස් නගරයේ කෙනෙක් ගැන ගෙනා විවාහ යෝජනාව ඇය පිළිගත්තේ දෙවරක් නොසිතා ය. අලුත් රටකදී තම මවගේත් මිත්තනියගේත් ශ්‍රේෂ්ඨ බව වියැකෙනු ඇත. මෙයි නැන්දා ඒ දෙදෙනා ගැන තම සැමියාට කීවේ නැත. කීවත් ඔහු ඒ ගැන උනන්දුවක් නොදක්වනු ඇත. ඒ මෝඩ මිනිසාට වුවමනා වූයේ තම ජීවිතය බෙදාගැනීමට මහන්සි වී වැඩකරන කාන්තාවක් පමණි. ඇය හිස හරවා පෝල් දෙස බැලුවාය. සමහරවිට තම සැමියා, පියා, සීයා මෙන්ම තම ආච්චි වසර ගණනක් එක්ව වාසය කළ නමුත් සීයාගේ මරණයෙන් පසු ආපිට ඔහු වෙත නොගිය මිනිසා ආදී පිරිමි සහ පෝල් අතර වෙනසක් නොමැති වන්නට ඉඩ ඇත. තම ජීවිතවල වූ ගැහැනුන් විසින් සංකීර්ණ බවට පත් නොකරන ලද සාමාන්‍ය වර්ගයේ සතුට ඔවුන්ගේ ලැබීම විය යුතුය.
“බැරිවෙලාවත් ඔයා හෙට හවස නිදහස් ද?” රථය ශනෙල් ගේ නිවස ඉදිරිපිට නැවැත්වූ විට පෝල් විමසුවේ ය.
“මම දවසම වැඩ බව දන්නවනේ.”
“ඔයාට බබාවත් අරගෙන එන්න පුළුවන් අද වගේ.”
“කොහේ යන්නද?”
හැම ඉරිදාවකම ඊස්ට්-වෙස්ට් ප්ලාසා උද්‍යානයේ චෙස් ක්‍රීඩාවේ යෙදෙන මිනිසෙක් සිටින බව පෝල් පැවසුවේ ය. ඔහුට වුවමනා වූයේ මේ මිනිසා අසලින් මෙයි නැන්දා සහ බිළිඳා සමඟ ඇවිදින්නට යන්නයි.
මෙයි නැන්දා මෙය අසා සිනාසුණා ය. “ඇයි, එයාගේ අවධානය බිඳලා සෙල්ලමින් පරද්දන්න ද?”
“මට වුවමනා මම එයාට වඩා හොඳ තත්ත්වෙක ඉන්නවා කියලා එයාට පෙන්නන්න.”
කොහොමද හොඳයි කියන්නේ? ණයට ඉල්ලා ගත්තු මිතුරියෙකුයි, ළදරු කරත්තයක යන අනුන්ගේ මුනුබුරෙකුයි නිසා? “කවුද එයා?”
“වැදගත් කෙනෙක් නෙමෙයි. මම එයා එක්ක අවුරුදු විසි හතකින් කතා කරලා නැහැ.”
ඔහුට පිළිවෙලකට බොරුවක් වත් කියාගන්නට හැකියාවක් තිබුණේ නැත.
“ඔයා හිතන්නේ එයා මේ ප්‍රෝඩාවට රැවටෙයි කියලද?”
“මම එයාගේ හැටි දන්නවා.”
මිතුරෙක් හෝ සතුරෙක් වේවා- කෙනෙක් පිළිබඳව විස්තර දැනගැනීම, ඒ පුද්ගලයාව නිතරම ඇස් මානයේම තබා ගැනීමක් වැනිදැයි මෙයි නැන්දා කල්පනා කළා ය. තමන් ගැන කවුරුන් හෝ මෙලෙස දැන ගැනීම ඔවුන්ගේ සිතිවිලි වල සිරගත වීමකට සමාන විය යුතු ය. එලෙස කල්පනා කළ විට තම අම්මාත් ආච්චීත් වාසනාවන්ත බව කිව හැක. ඔවුන් දෙදෙනා ව දැන සිටි බවක් කිසිවෙක්ට, අඩුම තරමේ මෙයි නැන්දාට වත් කියන්නට හැකියාවක් තිබුණේ නැත. ඔවුන් ගැන නොදැන සිටි බැවින් ඔවුන්ගෙන් පසු තම ජීවිතයට පැමිණි කිසිවෙක් ගැන දැනගැනීමට උවමනාවක් නැතිවීමේ වාසනාව ඇය ලබා තිබුණි. මීට ඇගේ සැමියා, වසරක් තිස්සේ නිව් යෝර්ක් සිට සැන් ෆ්රැන්සිස්කෝ දක්වා ආ දිගු ගමනේදී ඈ රැකියාව කළ චීන අවන්හල් වල ඈ සමඟ වැඩ කළ සේවකයන්, ඇගේ සටහන් පොතේ නම් පමණක් වූ ඈ රැක බලා ගත් බිළිඳුන් සහ ඔවුන්ගේ මවුවරුන් ඇතුළත් විය.
“මම නම් කියන්නේ අල්ලලා දාන්න කියලා,” ඈ පෝල් ට කීවාය. “අවුරුදු විසි හතක් හිතේ තියාගෙන ඉන්න වටින්නේ මොන වගේ කෝන්තරයක් ද?”
පෝල් සුසුමක් හෙලුවේ ය. “මම කතාව කීවොත් ඔයාට තේරෙයි.”
“අනේ කරුණාකරලා මට කිසිම කතාවක් කියන්න එපා.” මෙයි නැන්දා කීවා ය.
පෝල් එළවලු ආදිය ශීතකරණයේ තැන්පත් කරන අයුරුත්, මෙයි නැන්දා බිළිඳා වෙනුවෙන් කිරි බෝතලයක් රත් කරන අයුරුත් තරප්පු පෙළේ මැද කොටසේ සිට ශනෙල් බලා සිටියා ය. ඔවුන්ගේ මුණගැසීම කෙසේ දැයි ඈ හඬගා ඇසුවේ පෝල් යන්නට ගිය පසු ය. මෙයි නැන්දා පැද්දෙන පුටුවේ බිළිඳා සමඟ හිඳගෙන සිටියා ය. ඔහු කුස පුරවාගනු නැරඹීම ඔහුගේ මවගේ කරදරකාරී හැසිරීම් දරාගැනීමට උපකාරී විය.
ශනෙල් පහල මාලයට පැමිණ සෝපාවේ අසුන් ගත්තා ය. “මම දැක්කා කාර් එක ඇවිත් නවත්තනවා. ඔය දෙන්නා ඊට පස්සෙත් සෑහෙන්න වෙලාවක් කාර් එකේ හිටියා. වයසක මිනිහෙකුට ඔයතරම් රොමෑන්ටික් වෙන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැනේ.”
දරුවා ව රැගෙන තම කාමරයට යන්නට සිතුණත් මෙයි නැන්දා ඉන් වැළකුණේ මේ ඇගේ නිවස නොවන නිසා ත් ඇය එසේ ගියත් කතාකිරීමේ ආශාවකින් පෙළෙන බවක් පෙන්වූ ශනෙල් ඈ පසුපසින් එන්නට ඉඩ ඇති නිසාත් ය. මෙයි නැන්දා නිහඬව සිටි නිසා තම සැමියා දුරකතනයෙන් ඇමතූ බවත්, ඔහුගේ පුතා වයස්ගත ප්‍රේම සම්බන්ධයකට සාක්කි දරන්නට නිවසින් පිටතට ගොස් සිටි බව ඈ ඔහුට කී බවත් ශනෙල් කියන්නට විය.
ඔයා හරි නම් මේ මොහොතේ මෙතැනින් පිටවෙලා යන්න ඕන, මෙයි නැන්දා තමාටම කියා ගත්තා ය. නමුත් ඇගේ සිරුර පැද්දෙන පුටුවේ තාලයට හුරුවෙමින් තිබිණි.
“නැන්දේ ඔයාට කේන්ති ද?”
“ඔයාගේ මහත්තයා මොකද කීවේ?”
“එයාගේ හිත ටිකක් අවුල් වුණා. මම කීවා ගෙදර නොඑන කොට ඕක තමයි වෙන්නේ කියලා.”
ඇයි ඔයා නොයන්නේ? මෙයි නැන්දා තමන්ගෙන්ම අසා ගත්තා ය. ඔයා ඉන්නේ බබා වෙනුවෙන් කියලා ඔයා විශ්වාස කරන්න කැමතියි නේද?
“එයා හිත අවුල් කරගත්ත එක ගැන මං වෙනුවෙන් ඔයා සතුටු වෙන්න ඕන,”ශනෙල් කීවා ය. “අඩුම ගාණේ බබා වෙනුවෙන් වත්?”
මට සතුටු අනෙත් හැමකෙනෙක්ම වගේ ඔයාත් ළඟදීම අතීතයට එක් වෙන එක ගැන.
“ඔයා සද්ද නැතිව ඉන්නේ ඇයි නැන්දා? මම කරදරයක් වුණු එකට සමාවෙන්න, මට මෙහෙ කවුරුවත් යාළුවො නැහැ, ඔයා විතරයි මට හොඳට සැලකුවේ. අනේ කරුණාකරලා මාවයි බබාවයි බලාගන්නවා ද?”
“ඔයගොල්ලෝ මට ගෙවනවානේ,” මෙයි නැන්දා කීවාය. “ඒ නිසා මම අනිවාර්යයෙන්ම ඔය දෙන්නාව බලාගන්නවා.”
“මේ මාසෙන් පස්සෙත් ඉන්න පුළුවන් ද?” ශනෙල් ඇසුවා ය. “මම දෙගුණයක් ගෙවන්නම්.”
“මම සාමාන්‍ය සේවිකාවක් විදිහට වැඩ කරන්නේ නැහැ.”
“ඒත් අපි ඔයා නැතිව මොනවා කරන්නද නැන්දේ?”
මේ තරුණ කාන්තාවගේ මිහිරි හඬට රැවටෙන්න එපා, මෙයි නැන්දා තමාටම කියාගත්තා ය. ඔයා ඒ තරම් වැදගත් නැහැ, එයාට වත්, බබාට වත්, කාට වත්. මෙසේ සිතද්දීත් තමන් - මාස කීපයක්, වසරක්, වසර දෙකක් - බිළිඳා වැඩෙන අයුරු දකින චිත්ත රූපයක් ඈ මවා ගත්තා ය. “බබාගේ තාත්තා ගෙදර එන්නේ කවදා ද?”
“එයා එන වෙලාවක එයි.”
මෙයි නැන්දා බිළිඳා ගේ මුව තුවායක කොණකින් පිස දැම්මා ය.
“ඔයා හිතන්නේ මොනවාද කියලා මම දන්නවා- මම හරියකට මිනිහෙක් ව තෝරාගෙන නැහැ කියලා නේ. ඔයා දන්නවා ද මට මේ තරම් වයසක, කිසි වගකීමක් නැති මිනිහෙක් ව කසාද බඳින්න වුණේ කොහොමද කියලා?”
“ඇත්තම කියනවා නම් මට දැනගන්න වුවමනාවක් නැහැ.”
මෙයි නැන්දාගේ විරෝධතාවය නොතකා මිනිස්සු ඇයට ඔවුන්ගේ කතන්දර කීහ. සෑම ඉරිදා හවස් වරුවක ම චෙස් සෙල්ලම් කරන මිනිසා පෝල් ගේ බිරිඳගේ ගමේ වැසියෙකි. බොහෝ කලකට ඉහතදී ඈ විසින් පෝල් ට ඔහු ව පෙන්වා ඔහු පෝල් ට වඩා හොඳ සැමියෙක් වෙන්නට ඉඩ තිබුණු බව කියා තිබිණි. සමහරවිට ඈ වරක් පමණක් ඔහුව රිදවීමේ අදහසින් ඒ බව ඔහුට කියන්නට ඇත. සමහරවිට ඈ වසර ගණනක් තිස්සේ පරණ විවාහ යෝජනාවක් ගැන කියා ඔහුට වධ දෙන්නට ඇත. සිදු වූයේ මින් කවරක්දැයි පෝල් නොකී අතර මෙයි නැන්දා ද වැඩි විස්තර නො ඇසුවා ය. පෝල් නිරතුරුව ම තම වෘත්තීය ඒ මිනිසා සමඟ සංසන්දනය කරමින් නියම වෘත්තිකයෙක් බවට පත් වූ නමුත් ඔහු දිගටම කුළී කරුවෙක් ලෙස රැකියාවේ නියැලිනි.
සතුරෙක්ට පවා මිතුරෙක් මෙන් සදාකාලික ලෙස ජීවිතයට බැඳෙනු හැක. ආරවුලකට මිනිසුන් දෙදෙනක්ව දිවි ඇති තෙක් සොයුරන් බවට පත් කළ හැක. හැම කෙනෙක්ම පිටස්තරයෙක් ලෙසට සලකනු හැකි පුද්ගලයා වාසනාවන්ත බව මෙයි නැන්දා කල්පනා කළත් මේ නුවණැති සිතිවිල්ල ඈ පෝල් සමඟ බෙදාගත්තේ නැත. ඔහු ඇගෙන් ඉල්ලා සිටියේ සවන් දෙන ලෙස පමණක් වූ අතර ඈ ඒ ඉල්ලීම ඉටු කළා ය.
ශනෙල් නම් මීට වඩා කදිම ලෙස කතන්දර කියූ අතර ඇතැම්විට ඒවා අසා මෙයි නැන්දා ලැජ්ජාවෙන් රතු වූවා ය. ඈ තමන්ට වඩා වයසින් වැඩිමහල් පිරිමියෙක් සමඟ යහන්ගත වී තිබුණේ ඇගේ තාත්තාට දඬුවම් කිරීමට ය. ඊට හේතුව තාත්තා ශනෙල් ගේ සම පෙළේ යුවතියක් පසුපස යාම යි. වැඩිමහල් මිනිසා ද ශනෙල් ගේ පියා මෙන්ම තම බිරිඳට වංචා කරමින් මේ රහසිගත සම්බන්ධය ගොඩනඟාගෙන තිබිණි. ශනෙල් ගැබ් ගැනීම සැලසුම් කළේ ඒ දෙදෙනාටම පාඩමක් ඉගැන්වීමට ය.
මුලදී ඒ පිරිමියා ශනෙල් කවුරුන්දැයි දැන සිටියේ නැත. ‘මම එයාට බොරුවක් කීවා මාත් එක්ක බුදියගෙන සල්ලි දීලා මඟ අරින්න පුළුවන් ජාතියේ කෙනෙක් කියලා එයාට හිතෙන්න.” ශනෙල් කීවාය. “ඒත් අන්තිමේදී එයාට මාව බඳිනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති වුණා. මගේ තාත්තාට එයාගේ ව්‍යාපාර නැතිකරන්න තරම් බල පුළුවන්කාරකම් තිබුණා.”
මෙයින් තම මවට කුමක් සිතෙන්නට ඇති දැයි තමන් කල්පනා නොකළාද කියා මෙයි නැන්දා ඇයගෙන් ඇසුවා ය. “එයා මොනවා හිතන්නද?” ශනෙල් පිළිතුරු දුන්නී ය. තමන්ගේ පිරිමියාගේ හදවත වත් රැකගන්නට බැරි ගැහැණිය තම දියණියට යහපත් ආදර්ශයක් නොවන බව ඇගේ අදහස විය.
මෙයි නැන්දාට ශනෙල් ගේ නපුරු අදහස් සහ පෝල් ගේ නොනැමෙන ප්‍රතිපත්ති වලින් යුතු තර්ක වැටහුණේ නැත . ‘ඔයා ඉපදිලා තියෙන්නේ හරිම ලෝකෙකට තමයි’ ඇය බිළිඳා ට කීවා ය. ඒ වෙද්දී මැදියම් රැය පසුවී තිබුණු අතර ඇගේ කුටියේ වූ ලාම්පුව නිවා දමා තිබිණි. බිළිඳා ගේ තොටිල්ලේ සවිකර තිබුණු විදුලි පහනේ මුහුදු සත්ත්වයන් ගේ රූප වල ඡායාව ඔහුගේ මුහුණ මත නිල්, තැඹිලි රටාවක් මැව්වේ ය. තමන්ගේ මවත් ඉටිපන්දම් එළියෙන් තමන් ව නැළවූ කාලයක්, නො එසේ නම් තම මිත්තණිය අඳුරේම තමන් අසලට වී උන් කාලයක් තිබෙන්නට ඇත. ඔවුන් තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළේ කවර ආකාරයක අනාගතයක් ද? ඇය වැඩුණේ ලෝකයන් දෙකකට මැදිව ය. ඉන් එකක ඇගේ මව ත්, මිත්තණිය ත් වූ අතර සෙසු සියලු දෙනා අයත් වූයේ අනිත් ලෝකයට යි. මේ ලෝක දෙක එකිනෙකින් වසන් වී පැවතුණි. ඉන් එක් ලෝකයක් අහිමි වීම නිසා ඇයව ස්ථිර ව, ඇගේ කැමැත්තට පටහැනිව, අනෙත් ලෝකයේ ස්ථිර පදිංචි කරුවෙක් බවට පත් කෙරුණි.
මෙයි නැන්දා පැවත ආවේ තමන්ට තමන්වම වටහා ගත නොහැකි වූ ගැහැනුන් පරම්පරාවකිනි. මේ වටහා නොගැනීම නිසා ඔවුහු තම පිරිමින්ගේ ජීවිත අවුල් කළ අතර තම දරුවන් අනාථ කළහ. මේ අතරින් මෙයි නැන්දා ට අඩුම තරමින් දරුවෙක් නොවදන්නට නුවණ තිබිණි. නමුත් මෙවැනි නිදි රහිත රාත්‍රීන් වලදී තමන්ට ආදරය කළ හැකි බිළිඳෙක් රැගෙන රහසින් පිටමන් වී යාම ගැන ඇය සිතූ අවස්ථා විය. ලෝකය බෙහෙවින් විශාල නිසා ගැහැනියකට තමන්ට වුවමනා පරිදි දරුවෙක් හදා ගැනීමට තැනක් තිබිය යුතු විය.
බිළිඳුන් එකසිය තිස් දෙනෙක් සහ ඔවුන්ගේ විශ්වාසය තබන සුළු, පරීක්ෂාකාරී දෙමව්පියන් මෙයි නැන්දා ව තමන්ගෙන්ම ආරක්ෂා කර තිබිණි. නමුත් දැන් ඇයව ආරක්ෂා කරන්නේ කවුද? තමන්ගේ ආරක්ෂාව වත් සලසා ගනු නොහැකි වූ අනෙත් බිළිඳුන් ට මෙන්ම මේ බිළිඳාටද කළ හැකි දෙයක් නොවූ අතර ඇය විසින් ඔහුව ආරක්ෂා කරගත යුතු විය. නමුත් එසේ ආරක්ෂා කර ගත යුත්තේ කාගෙන්ද? තමන්ගේ හදවත් තුළ ඔහු වෙනුවෙන් ඉඩක් නැති ඔහුගේ දෙමව්පියන්ගෙන් ද? නො එසේ නම් තමන්ට වෙන් වූ මාසයක කාලයෙන් ඔබ්බට ඔහුගේ ජීවිතය ගැන සිතන්නට පටන් ගෙන තිබූ මෙයි නැන්දා ගෙන් ද?
‘මේක තමයි වෙන්නේ ඔලුව අවුල් කර ගත්තාම. බොහොම ඉක්මණින් තමනුත් අර පෝල් වගේ වයසක කරදරකාරයෙක් වෙයි වෙයි, එහෙම නැත්නම් ශනෙල් වගේ තනිකමින් පිරුණු, අහගෙන ඉන්න ඕන කෙනෙක්ට කතන්දර කියන්න ලෑස්ති කෙනෙක් වෙයි. ඔයාට වුවමනා නම් ඔයාගේ අම්මයි, ආච්චි අම්මයි, ඊට කළින් ඒ පරම්පරාවේ හිටිය ගෑනුයි ගැන හිතන්නයි කතාකරන්නයි පුළුවන්. ඒත් ප්‍රශ්නේ තමයි ඔයා ඒ අයව අඳුනන්නේ නැහැ. කෙනෙක් ව අඳුනාගැනීමෙන් ඒ කෙනා සදහටම තමන් ළඟ තියාගන්න පුළුවන් නම් කෙනෙක් ව නාඳුනන එකෙනුත් ඒකමයි වෙන්නේ. මරණය මළ ගිය අයව ඉවත් කරන්නේ නැහැ, මරණයෙන් වෙන්නේ ඒ අය තමන් තුළ තවත් ගැඹුරෙන් වැඩෙන්න පටන් ගන්න එක.’
ඈ බිළිඳා ව ගෙන නිවසින් පිටමං ව ගියහොත් ඇය ව නවත්වන්නට කිසිවෙක්ට හැකිවන්නේ නැත.
එකල ඇයගේ මිත්තණියට නින්ද අනිවාර්ය අවශ්‍යතාවයක් නොවූ අතර තෝරාගැනීමක් පමණක් විය. ඇයට අවශ්‍ය නම් ඇගේ මිත්තනිය බවට පත්වන්නට හැක. නො එසේ නම් දරුවා ට පෝෂණය අවශ්‍ය බැවින් තමන් ආහාර ඉතා ස්වල්පයක් ගත් තම මව බවට පත්වන්නට හැක. ඇයට අවශ්‍ය නම් වුවමනාවටත් වැඩි කාලයක් ඇයව ආරක්ෂා කළ මේ ලෝකයෙන් සැඟව පලා යන්නට හැක. නමුත් රැළි නැඟෙන සේ මතුවන මේ තදබල වුවමනාව මීට වසර ගණනාවකට පෙර සිදූවූ පරිදි තවදුරටත් ඇයව බියපත් කළේ නැත. ඇය ක්‍රමක්‍රමයෙන් වයස්ගත වූවත්, අමතක වීම් බහුල වූවත් තමන් තමන් වීමේ භයානක බව ඇයට ක්‍රම ක්‍රමයෙන් වැටහෙමින් තිබිණි. ඇගේ මවත්, මිත්තනියත් මෙන් නොව, ඇය සාමාන්‍ය දෛවයක් භාර ගැනීමට තමන්ට ඒත්තු ගන්වාගෙන තිබිණි. ඇය මෙතැන සිට ඊළඟ තැනට මාරු වූ විට ඇය විසින් කිසිම අභිරහසක් හෝ හානියක් හෝ ඉතිරි කර නොයනු ඇත. ඇයව හඳුනා ගැනීම නිසා කිසිවෙක් කැළඹීම ට ලක් නොවනු ඇත.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
පසු සටහන
YiYun Li ගේ නිර්මාණ New Yorker සඟරාව හරහා මට කියවන්නට ඉඩ ලැබුණේ අහම්බෙනි. ඉනික්බිති බොහෝ ඉක්මණින් ඇය මගේ ප්‍රියතම ලේඛිකාවන්ගෙන් අයෙක් බවට පත් විය. අකුරු අතරින් කියවෙන දේ ට ඔබ්බෙහි තවත් කතන්දර බොහොමයක් ඇගේ කෙටි කතාවල ගැබ් ව තිබීම මා ඒවා වෙත ආකර්ෂණය වන්නට හේතු වූවා කිව හැක.
චීන සම්භවයක් ඇති YiYun Li ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියේ ආචාර්යවරියක් වශයෙන් සේවය කරන්නී ය. When We Were Happy We Had Other Names, A Thousand Years of Good Prayers, Hello, Goodbye ආදිය ඈ ලියූ කෙටිකතා අතරින් මා වඩාත්ම කැමති ඒවා වේ.
A Sheltered Woman පිටු 16ක දිගු- කෙටිකතාවක් වූවත් එය පරිවර්තනය කළ යුතුමයි කියා මට කලාතුරකින් දැනෙන සිතිවිල්ලක් ඒ ගැන පහල විය. මේ ඒ උත්සාහයයි.