Showing posts with label Banned Books Week. Show all posts
Showing posts with label Banned Books Week. Show all posts

October 09, 2023

තහනම් කළ පොත් සතිය (Banned Books Week) 2023

ඔක්තෝම්බර් මාසයේ පළමු සතිය තහනම් කළ පොත් සතිය (Banned Books Week) හැටියට ලොව පුරා සමරනවා. ඉතිහාසය පුරාම විවිධ හේතු වලට විවිධ වර්ගයේ පොත් පත් බලධාරීන් විසින් තහනම් කරලා තියෙන අතර අදටත් මේ වගේ වාරණ ගැන අහන්න ලැබෙනවා. මේ ගැන කතාකරන සතියක් නම් කිරීමේ අදහස කියවීමේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන ජනතාව දැනුවත් කරන්නයි.  Banned Books සමරන සතිය පුරාවටම ලොව පුරා පුස්තකාල වල මේ ගැන තොරතුරු ප්‍රදර්ශනය කරනවා.

පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ සමහර පොත්පත් එක්තරා කාලයක, එක්තරා රටක/ ප්‍රාන්තයක තහනම් වුණු බව අහන්න ලැබෙන එක සමහරවෙලාවට පුදුමයට කාරණාවක්. පහතින් තියෙන්නේ ඉන් අතලොස්සක් විතරයි.


To Kill a Mockingbird- Harper Lee

මේ පොතෙන් වර්ගවාදය ඇවිස්සෙන බවත් එය කියවීමෙන් පාසල්වල නීග්‍රෝ සම්භවයක් ඇති සිසුන් අපහසුතාවයට පත්විය හැකි බවත් ඉස්මතු කරමින් ඇමෙරිකාවේ කැලිෆෝනියා සිට මිසිසිපි දක්වා පාසල් කලාපවල මෙය මුලින්ම තහනම් කළේ 1966දී.


Of Mice and Men- John Steinback (1937

මේ පොත තහනම් කෙරුණේ වර්ගවාදය ඇවිස්සීම, පරුෂ වචන භාවිතය සහ කතාවේදී ස්ත්‍රීන් කෙරෙහි දක්වන රළු බව නිසායි. 1936දී පොත ප්‍රකාශයට පත් කළ වකවානුවේ පටන් මේ දක්වා 54 වතාවක් මෙය තහනම් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණත් අදටත් බොහෝ පාසල්වල මෙය නිර්දේශිත පොතක් හැටියට නම් කර තිබෙනවා. 


Harry Potter Series- J K Rowlings (1997-2007)

ලොව පුරාම පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්  හැරී පොටර් කතා මාලාවත් ඇතැම් රටවල/පාසල්වල තහනම් කෙරුණේ එහි අඩංගු මන්තර සහ මායා බලයන් ආගමට පටහැනි බව හේතු හැටියට දක්වමින්. මේ කතා මාලාවේ පළමු පොත නිකුත් වූ අලුතම මේ තහනම ප්‍රකාශයට පත් කෙරුණත් කතුවරිය ඉන් අධෛර්යමත් නොවී ඉතිරි පොත් ද ලියා අවසන් කර බෙහෙවින්ම ජනප්‍රිය වුණා. 


Charlotte's Web- E. B White (1952)

1952 දී මුල්වරට ප්‍රකාශයට පත් වූ මේ පොත කුඩා දැරියකගේ මිතුරු සතුන් ගැන ලියවුණු ළමා කතාවක්. මේ පොත ඇමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ පාසල් පුස්තකාලයක  තහනම් කිරීමට හේතු වුණේ එහි එන සතුන් කතා කිරීම දෙවියන් වහන්සේ විසින් කළ මැවීම් වලට පටහැනි නිසායි.  මේ හේතුව මතම කුඩා දරුවන්ගේ අතර අදටත් බෙහෙවින්ම ජනප්‍රිය A A Milne ගේ Winne the Pooh (1926) කතා මාලාව ද අතීතයේදී තහනම් කර තිබෙනවා 


Thirteen Reasons Why- Jay Asher (2007)

මේ පොත මෑත යුගයේදී යොවුන් පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වුනු අතර එය Netflix රුපවාහිනී කතා මාලාවක් බවටද හැරවුණා. මේ පොත තහනම් කිරීමට යෝජනා කෙරුණේ එහි දිවි හානි කර ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ආදී තේමා ඇති නිසයි. මේ පොත 2010- 2019 කාලයේදී ඇමෙරිකාවේ වැඩියෙන්ම තහනම් කෙරුණු පොත් අතරින් එකක්.

වාරණයකින් තොරව කියවීමට, තොරතුරු ලබාගැනීමට නිදහස තිබීම කොයිතරම් වටිනා දෙයක්ද යන්න සිහි කරගැනීමට වාර්ෂිකව පැවැත්වෙන තහනම් පොත් සැමරීමේ සතිය අපට වැදගත්. 

https://bannedbooksweek.org/about/

Photos- Banned Books Week Display at a school library in Melbourne