පහුගිය නිවාඩුවේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ටිකක් දුර ගමනක් යන්න අවස්ථාව ලැබුණා. කලිනුත් රට ඇතුළේ හැම ප්‍රාන්තයකටම මේ වගේ ගමන් කීපයක් ගිහින් තිබුණත් කාලය ගතවෙද්දී ඒ ගමන් වල පොඩි පොඩි විස්තර මතකයෙන් ගිලිහෙන නිසා මේ වතාවේ ඒ ගැන විස්තරයක් ලියන්න හිතුණා. වැඩියත්ම ගමනට සහභාගී වෙන්න ඉඩ නොලැබුණු තාත්තාගේ ඉල්ලීමට.
| Barron Gorge National Park, Qld |
අපේ මේ ගමනේ සම්පූර්ණ දුර 7000km විතර. රටේ ගිනිකොණ දිග මෙල්බර්න් නගරයේ ජීවත්වෙන අපි ඊසාන කෙළවරේ Cairns වලට ගිහින් තමයි මේ ගමන පටන් ගත්තේ. Melb - Cairns අතර තියෙන 3000km තරම් දුර අපි ගියේ ගුවනින්. මේ ගමනට පැය තුනකට වැඩි ප්‍රමාණයක් ගත වෙනවා. Cairns - Sunshine Coast 1900km වගේ දුරක් වාහනයෙන් ගිහින් ආපිට Sunshine Coast - Melbourne 1500km දුර නැවතත් ගුවනින් ආවා. වාහනයෙන් එද්දී අතරමඟ නගර තුනක නවාතැන් ගනිමින් ආවේ.
Cairns කියන්නේ Queensland ප්‍රාන්තයේ උතුරු කෙළවරේ තියෙන නගරයක්. ඒ නගරයේ තියෙන්නේ මෝසම් සහිත නිවර්තන දේශගුණයක්. මේ දේශගුණය ලංකාවේ දේශගුණයට සෑහෙන්න සමානයි කියලා කිව්වත් අපි ගිය දවස්වල නම් දැනුණේ වැඩිය රස්නේ නැති නුවරඑළියේ දේශගුණය වගේ. මෙහෙ නොවැම්බර් -මැයි කාලය අධික මෝසම් කාලගුණයක් තියෙනවාලු. සෞම්‍ය දේශගුණයක් තියෙන මෙල්බර්න් ඉඳන් ආව අපිට ලංකාවේදී දැකලා ඇහැට හුරු ගහ කොළ දැක්කාම නම් ආයෙත් ලංකාවට ගියා වගේ හැඟීමක් තමයි දැනුණේ. පොල් වතු, කෙසෙල් වතු, උක් වතු එහෙම Cairns නගරය වටේම දකින්න තිබුණා. ඊට අමතරව කැන්ද ගස්, නිදිකුම්බා, ක්‍රෝටන් එහෙම බලන බලන අත හැම තැනම තිබුණා.
Cairns වල අපි ගිය විශේෂ තැන් මේ.
- Kuranda Scenic Railway and Skyrail
මේ Cairns යනවා නම් අනිවාර්යයෙන් යා යුතුම ගමනක්. Cairns වලින් පටන්ගෙන වැසි වනාන්තරයක් හරහා මුහුදු මට්ටමෙන් 327m ඉහළින් තියෙන Kuranda නම් කුඩා ගම්මානයකට විශේෂ දුම්රියකින් යන ගමනක් මේ. මේ ගමනේදී Barron Falls, Stony Creek Falls ඇතුළු බොහොම ලස්සන දිය ඇලි කිහිපයක්ම පහුවෙනවා.
මේ දුම්රිය මාර්ගය හදන්න පටන්ගෙන තියෙන්නේ 1886දී. දුෂ්කර වනාන්තර ප්‍රදේශයක මිනිස් ශ්‍රමයෙන් විතරක් පාලම් සහ බිංගෙවල් රැසක් එක්ක නිමකරලා තියෙන මේ දුම්රිය මාර්ගයත් ඓතිහාසික වටිනාකමින් යුතු එකක්.
සංචාරකයන් වෙනුවෙන්ම සැකසුණු Kuranda ගම්මානයේ අසිරිය විඳලා ආපිට එද්දී Skyrail නම් Cable Car එකෙන් එන්න පුළුවන්. මේ ගමන හරිම මනස්කාන්තයි. වැසි වනාන්තරය උඩින් යද්දී, පහල ගස් කොළන් වල එක එක කොළ පාටවල් දකිද්දී හරිම ආසා හිතෙනවා. (වීඩියෝ එක පුංචි වීම ගැන සමාවෙන්න. මීට ලොකු කරන්න ට්‍රයි කළා, හරි ගියේ නැහැ)
- Green Island