October 26, 2022

ඒ කුඩා සත්ත්වයා



Translation of the poem 'That Little Beast' by Mary Oliver
කවිය නම්
ඒ කුඩා සොඳුරු සත්ත්වයා
හිතුවක්කාරයෙකි

ඌ ඇපල් ප්‍රිය කළ යුතුයැයි
මා පතන වෙලාවට
ඌ ඉල්ලන්නේම රතු මස්

ඉවුරු තෙර නිස්කලංකව
ඇවිදයනු මට රිසිවිට
ඌ කැමති
ඇඳුම් උනා පනින්නයි දියඹට

සරලම වචන ගෙන
වැදගත්ම දෙයක්
කියනු මට රිසි විට
ඌ පටන්ගනී කෑ ගසන්නට
මුළු ශබ්ද කෝෂයත්
එහි සියලු රූපකත්

ස්තූති කථාවක් කර
සියල්ල පෙළගස්වා
නිමකරනු මට රිසිවිට
ඌ හිනැහෙමින්
තම බූල් පා හතරින්
කාමරය වටා නටමින්
චෝදනා කරයි මා සාහසික බවට

ඒත්,
මුවග රැඳී සිනාවෙන්
මා නුඹ ගැන සිතන විට නම්
ඌ නිහඬව වාඩිවී
කොට්ට අත නිකට යට තබාගෙන
සවන්දෙයි නිසලව

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 
දිනමිණ වසත් සුළඟ 26.10.2022 

චිත්‍රය -කවිය පරිවර්තනය කළ ගමන්ම ළඟ තිබුණු Post it කොලයක ඇන්ද මගේ හිතේ මැවුණු 'කවිය නම් සත්ත්වයා' යි 🙂

October 22, 2022

එන්න!

හෙමින් අඩි තියමින්
ශාරදය එළඹෙයි
දෙව්දාර කෙල්ලන්
හිසේ මිහිදුම් පළඳි
තෙතබරිත කඳු බෑවුම්
රත් බිම් මලින් සැරසෙයි
එන්න ඇවිදින්නට
අතීතය තව තරුණයි!

කොපුලකින් පිසලූ 
වැහි දියක තෙත සලකුණ
දෙතොල මත ගිලිහුණු 
හාදුවක මුදු මිමිණුම 
එකින් එක එක්කර 
තනමි සැමරුම් මල් මිට 
එන්න ගෙනයන්නට 
නූපදින හෙට දිනයට 


watercolour pencils and ink on paper


October 19, 2022

අගුල් තිස් තුනක්



Translation of the poem '33 Locks' by Lang Leav

මේ නිසල, අලස නගරයට
මේ මුහුදුබඩ නිවසට
මා පැමිණ
දස වසකට ආසන්නය

මෙහි දොරවල් හයකි
ජනෙල් දාහතරකි
අගුල් තිස් තුනකි

නින්ද නොඑන රාත්‍රීන්වල
මා සිතින් එම අගුල් කරකවමි
ඇඳෙන් බැස
කවුළු වීදුරුවේ මුහුණ තබමි

කලක්, කිසිම කවුළුවක් නැති
කාමරයක විසුවෙමි
මා නිය අගින් සූරා
එහි සායම් වියැකූ තැන්
තවම දිස් වනවා ඇත

මම තවමත් ඇතැම්විට ඒ ගැන සිතමි
ඇතැම් රාත්‍රීන් වල
මගේ මනස
ඒ කාමරය වැනි යැයි දැනේ

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

දිනමිණ වසත් සුළඟ - 19.10.2022 

Photo- Unsplash
 


October 18, 2022

"පිහිතුඩෙන් ආදරේ ලීවේ"

මේ පෝස්ට් එක 'අමු' සින්දු කීපයක් ගැන. ගායකයාත් ඒවා හඳුන්වන්නේ අමු සින්දු කියලයි. You tube channel එකේ පවා තියෙන්නේ 'අමු music' කියලා.

අඩුම සංගීත භාණ්ඩ කීපයක් එක්ක අමුතුම පද රටාවකට, සංජීව් ලොන්ලියෙස් කියන ගායකයාගේ අනන්‍ය කටහඬින් ගැයෙන මේ සින්දු ගැන විස්තර කරනවාට වඩා හොඳම දේ අහන එක. මේ සින්දු වැඩිහරියක පද, සංගීතය, ගායනය තුනම ගායකයාගේමයි. 

මේ සින්දුවලට මීට වඩා ප්‍රසිද්ධියක් ලැබෙන්න ඕන කියලයි මගේ අදහස

(සමහර සින්දු මැද්දට තමන්ගේ පෞද්ගලික ව්‍යවහාරයේ යෙදුම් දාලා තියෙන එකට නම් මගේ ඒතරම් මනාපයක් නැහැ. ඊට අමතරව සමහර ඔරිජිනල් වීඩියෝ වල විෂුවල් එහෙමත් අන්තිමයි කියන එකත් කියන්න ඕන ඉතින්. ඒ සින්දු බලන්නේ නැතිව අහන්න හොඳයි!) 

Youtube channel 


October 12, 2022

විශ්වය පිළිබඳ න්‍යායන්

මා යම් යම් දේ
වෙනත් දෘෂ්ඨි කෝණයකින් 
දකින්නට උත්සාහ කරමිනි

මා ආහාරයට ගනිමින් සිටින
චොකලට් කැබලි සහිත, පීනට් බටර් තැවරූ
බනිස් ගෙඩියෙන් කොටසක්
මගේ බල්ලා ඉල්ලා සිටියි
 
බල්ලන්ට චොකලට් ඉතාමත් අගුණ බැවින්
ඌට එය දිය නොහැකි බව
මා දන්නා මුත්
ඌ ඒ බව නොදනී
 
අමනාපයෙන් මුහුණ දිගු කර ගනිමින්
ඌ සාලුවක් සේ
මගේ පාදය වටා එතෙන්නේ
පාන් කැබැල්ලෙන් ඉතා කුඩා කොටසක් හෝ
ඌට දෙන ලෙස
මට ඒත්තුගන්වන්නට මෙනි
 
මා ඊට යටත් නොවූ විට
ටික වෙලාවකින්
පියානෝව යට ඈත කෙළවරකට
ඌ යන්නේ
දුක්මුසුව, කළකිරීමෙනි
 
මා මගේ බල්ලාට සුදුසුම දේ
ගැන දන්නා අයුරින්ම
මේ විශ්වයත් මට සුදුසුම දේ
දන්නවා ඇතැයි සිතමි

මගේ මුළු ආත්මයෙන්ම යමක් පතද්දී
විශ්වය එය මට නොදී
තමන්ටම මෙලෙස කියාගනු ඇතැයි සිතමි
 
"පිස්සු කෙල්ල, එයා හිතනවා මේ තමයි එයාට වුවමනා දේ කියලා
ඒත් මේකෙන් කොයිතරම් වේදනාවක් ලැබේවිද කියලා එයා දන්නේ නැහැ.."

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Theories about the Universe' by Blythe Baird

Digital painting using oil brush tools from touch pad

දිනමිණ - වසත් සුළඟ 12.10. 2022





October 07, 2022

Hope Gap (Movie)

සුපුරුදු තේමාවන්ගෙන් වෙනස් තේමාවක් යටතේ නිර්මාණය වුණු චිත්‍රපටි ඉඳහිට හම්බවුණාම ඒ ආරංචිය බෙදා ගන්න හිතෙනවා. ඒකට හේතුව වැඩිය චිත්‍රපටි බලන්න අකමැති, කවුරුහරි recommend කළොත් නම් බලන මම වගේ අය තව ඉන්න බව දන්නා නිසා. මේ සටහන 'Hope Gap' චිත්‍රපටිය ගැන.

ග්‍රේස් -හිතෙන දේ කියන, තරමක් තද අදහස් තියෙන කෙනෙක්. ඇගේ සැමියා එඩ්වර්ඩ් නිහඬ, තරමක් ගුප්ත චරිතයක්. අවුරුදු විසි නමයක විවාහ ජීවිතයකින් පස්සේ එඩ්වර්ඩ් ඒ විවාහයෙන් නික්මෙන්න තීරණය කරනවා. මේ චිත්‍රපටිය මේ සිද්ධිය වටා ගොඩනැඟුණු එකක්. මේ දෙන්නාගේ පුතා ජේමි, දෙමව්පියන් අතරට මැදි වෙන හැටි, එයාලගේ පණිවිඩකරුවෙක් හැටියට ඉන්න අතරේම තමන්ට සිදුවුණු අහිමි වීම දරාගන්න හැටි, උඩු යටිකුරු වුණු ජීවිතයක ග්‍රේස් ආයෙත් අමාරුවෙන් පාර හොයාගන්න හැටි මේ කතාවෙන් කියවෙනවා.

සමහර දේවල් අපිට අගය දැනෙන්නේ අහිමි වුණාම. එතකොට 'ආපහු එන්න' කියන්න පරක්කු වැඩියි. සමහරවෙලාවට අපි ජීවත් වෙන්නේ මැරෙන්න තියෙන බය නිසා. ඒත් දරුණු අසනීපයක් තියෙන කෙනෙක් මැරෙන්න හිතන එක ගැන සමාජයෙන් චෝදනාවක් ආවේ නැතත් දරුණු හිත් වේදනාවකින් ඉන්න කෙනෙකුට ඒ ගැන හිතන්න අවසර නැහැ. දෙමව්පියෝ දරුවන්ට ජීවිත කාලෙම පාර කියනවා. සමහර විට දරුවෝ දෙමව්පියෝ දිහා බලලා ඉගෙනගන්නේ දරාගැනීමේ සීමාව කොතනද කියන එක වෙන්න පුළුවන්. වැරදි කෝච්චියකින් හරි ගමනාන්තයකට එළඹෙන්න පුළුවන්, ඒ වගේම ජීවිත කාලයක්ම හරි කියලා හිතාගෙන හිටිය ඒ ගමනාන්තය වැරදි බව පහුවෙලා වැටහෙන්නත් පුළුවන්. මේ, මේ චිත්‍රපටිය බලලා මට හිතුණු දේවල්. ඒ වගේම ප්‍රේමය, හිමිවීම, අහිමිවීම, දරාගැනීම වගේ දේවල් මේ ලෝකේ හැම කෙනෙකුටම පොදු බව අන්තිමේදී මේ කතාවෙන් අපට බොහොම සියුම්ව මතක් කරලා දෙනවා.

චිත්‍රපටිය පුරාම poetry විසිරිලා තියෙන එකත් මම ඊට කැමති වෙන්න හේතු වෙන්න ඇති. සමහර කවි ඇහුනාම දැනුණේ පරණ යාලුවෙක් මුණගැහුණු හුරුපුරුදු බවක්.

//You have been mine before,
-- How long ago I may not know:
But just when at that swallow's soar
Your neck turned so,
Some veil did fall, -- I knew it all of yore.//

(part of the poem 'I have been here before' by Dante Gabriel Rossetti)


Directed by William Nicholson (2019)
Screenplay by William Nicholson
Based on The Retreat from Moscow
by William Nicholson



October 05, 2022

මේ මොහොත

Translation of the poem 'The Moment' by Linda Pastan

ඔබ නික්ම යාමට පෙර මේ මොහොතේදී
මට කිව හැක්කේ කුමක්ද?
ගිම්හානයේ පැහැදුල් ලා පැහැයන් මැකී යමිනි
ඔබේ සම මත වැටුණු හිරු එළිය
වියැකෙමින් තිබුණත්
තවමත් මගේ මුවට උණුසුම් ව දැනේ

පත්‍රවල පැහැයන්
තද පැහැයට හැරෙද්දීම
ශාරදය නම් පිල් මාරු කරන්නා
වනයේ කෙළවර කල්මරමින් සිටී.
අප දෙපා පාමුළින්ම
ලෝකය නිවෘත්තියෙන් නිවෘත්තියට
ගමන් කරමින් ඇති බව
මට දැනේ

ආලෝකය එක්ක සම්බන්ධ වීම
සෙවනැලි හැඳිනීමක
පූර්වකල්පනයක් බව
රොත්කෝ කියා ඇත
ඔහු අදහස් කළේ
අප දෙදෙන
ගිම්හානය පුරාවටම
මේ මොහොත එනතුරු බලාසිටීමද?

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ වසත් සුළඟ- 05.10.2022
photo - Autumn in Melbourne


October 01, 2022

කළු කබායේ හිඩැස්

මරණයට අධිපති මහත්මයාණෙනි
කියන්න සතුටුයි මට
ඔබේ දිගු කළු කබායේ
හිඩැස් ඇති බව
 
වර්ෂ 1273දී මියගිය රූමි
ඔබේ කබායෙන් රිංගා
පැමිණියා අද මා මුණගැහෙන්නට
ඒ ඔහු ආ පලවෙනි වතාවත් නොවේ

ඔහු මා මතකයට ආවා මිස
වදනින් නො දෙඩූ බව සත්‍යයයි
එමෙන්ම ඔහුගේ උස මහත ගැන
තවම මා බිඳක් හෝ නොදනී
 
ගසක සෙවනක සිටි මට
ඒ ගස මෙන් ඔහු ජීවමාන බව හැඟුණි
එමෙන්ම
භෞතික වූ පමණින්ම
හැම දෙයක්ම මහඟු නැතැයිද දනිමි
 
මට කවියක් දෙකක් දී
රූමි යන්නට ගියේය
ටික වෙලාවක් තෘප්තිමත් සතුටින් ගත කළෙමි
ගස තුළද මට දැනුණේ ඒ සතුටමයි
මෙලොව හැම දෙයක්ම හවුලේ බෙදා නොගැනේ ද?
ඔහු දුන් එක් කවියක්, ගසක් ගැන ලියවුණකි
එබැවිත් ගසටත් ඊට හිමිකමක් දැනෙන්නට ඇත

ඉතින්
මරණයට අධිපති මහත්මයාණෙනි
කිසිම අපහසුවකින් තොරව
ඔබේ දිගු කළු කබායෙන්
රහසේම පිටතට පැමිණෙන ඔහු
රූමි ය.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'I Am Pleased to Tell You' by Mary Oliver

photo - Unsplash
දිනමිණ- වසත් සුළඟ 28.09.2022
http://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=db806455