July 26, 2023

තෝරාගැනීම්



Translation of the poem 'Choices' by Nikki Giovanni

මා කැමති දේ
කළ නොහැකි නම්
මා කළ යුත්තේ
අකමැති දේ නොකර සිටීමයි
ඒ තෝරාගැනීම් දෙක
අසමාන වූවත්
ඒ මට කළ හැකි හොඳම දෙයයි

මට රිසි දේ
ලබාගනු නොහැකි නම්
මා කළ යුතු වන්නේ
මා සතු දේ ට
රිසි වීමයි
අඩුම තරමේ
රිසි වීමට තව දේවල් තිබීම ගැන
සතුටු වීමයි

මට වුවමනා තැනට යා නොහැකි විට
මඟ සලකුණු පෙන්වන තැනට
මා යා යුතුයි
එසේ යන්නේ
ඒ සමාන්තර ගමන
අවශ්‍ය තැනට එක එල්ලේ යන ගමනට
අසමාන බව
හැමවිටම තේරුම් ගනිමිනි

මා හඟින දේ
කියාගනු නොහැකි විට
කියාගත හැකි දේ පමණක්
හඟින්නට හුරු වෙමි

මේ සියල්ල, අනිකෙහි
පර්යාය නොවන බව දනිමි

එහෙත්
අන් සතුන් අතරින්
මිනිසා පමණක්
හඬන්නට උගත්තේ එබැවිනි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Choices' by Nikki Giovanni
Digital Painting


July 20, 2023

රසකැවිලි වෙළෙන්දා



Translation of Chapter 1 of the novel 'The Vendor of Sweets' by R. K Narayan

“කෙනෙක් රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගන්නවා කියන්නේ තමන්ගේ ආත්මය පාලනය කර ගත්තා වගේ තමයි” ජගන් කීවේය.

“ඒ මොකටද ආත්මය පාලනය කරන්නේ?” ඔහුගේ කතාවට සවන් දෙමින් සිටි ඥාතියා පෙරළා ප්‍රශ්න කළේය.

“මන්දා, එහෙමනේ අපේ ශාස්තෘවරුන් කියලා තියෙන්නේ” ජගන් කීය.

ඔහුගේ සවන් දෙන්නාට මේ ප්‍රශ්නය කෙරෙහි වූ උනන්දුව නැති විය. ජගන් ගේ පුටුව අසල වූ නූස් ලී බංකුවක හිඳ සිටි ඔහු, ප්‍රශ්න ඇසුවේ කතාබහ ඉදිරියට රැගෙන යාමට පමණකි. ජගන් ගේ පුටුවට ඉහළින් බිත්තියේ ලක්ෂ්මි දෙවඟන ගේ රාමු කළ පින්තූරයක් ගසා තිබිණි. සෑම දිනකම දවසේ පළමු කාර්යය ලෙස බොහෝ භක්තියෙන් මෙහි පිච්ච මල් මාලයක් දවටා යාඥා කිරීමත්, දැල්වූ හඳුන් කූරක් බිත්තියේ සිදුරක රැඳවීමත් ජගන් නොවරදවාම සිදු කළේය. මෙහි අවට වාතය පිච්ච මල් සුවඳින්, හඳුන් කූරු සුවඳින් සහ මුළුතැන්ගෙහි ගිතෙලෙන් බැදෙන රසකැවිලි වල සුවඳින් පිරී පැවතිණි.

මේ සවන්දෙන්නා ජගන් ගේ ඥාති සහෝදරයෙක් වූවත් ඒ නෑකම එක එල්ලේ පැහැදිලි කළ හැකි එකක් නොවූයේ ඔහු නගර වැසියන්ගෙන් වැඩි ප්‍රමාණයක් සමඟ මෙවැනි නෑකම් කී නිසාය. (මින් සමහර ඒවා කෙසේ වත් විය නොහැකි ඒවා විය) නමුත් මේ ගැන අභියෝගයට ලක් කරනු ලැබුවහොත් ප්‍රශ්න කරන්නා හෙම්බත් කරවන වංශාවලියක විස්තර ඉදිරිපත් කරන්නට ඔහුට හැකියාව තිබිණි. මහත් සේ සමාජශීලී අයෙකු වූ ඔහු උදෑසන සිට රාත්‍රිය වන තුරුම විවිධ නිවෙස් වෙත යමින් කාලය ගත කළේය.හැම දිනකම නොවරදවාම හවස හතරහමාරට පමණ ඔහු ජගන් ගේ නිවසට පැමිණියේය.

මෙදිනත් සුපුරුදු වෙලාවටම එහි පැමිණි ඔහු, ජගන් වෙත යන්තම් බැල්මක් හෙලා, හිස සන් කර කෙළින්ම මුළුතැන්ගෙයට ගියේය. විනාඩි දහයකට පසු ඔහු ඉන් නික්මුණේ උරෙහි රැඳි සාලුවේ කෙළවරකින් මුව පිසිමිනි.

“සීනි පාවිච්චිය ගැන ටිකක් බලන්න වෙනවා, මට ආරංචියි ආණ්ඩුව සීනි මිළ වැඩිකරන්න යනවා කියලා. තිරිඟු පිටි නම් අද වරදක් නැහැ. ඊයේ ගොඩ්වුන් පාරේ යද්දී තොග වෙළෙන්දා මුණගැහිලා මම ඌට හොඳවැයින් දෙකක් කතා කළා. ඒ පාරේ මම මොනවා කළා ද කියලා අහන්න එපා ඉතින්, මට මේ නගරේ පුරාම යාළුවොයි නෑයොයි ඉන්නවා. එයාලා හැම තිසේම මට අරකට මේකට මට කතාකරනවා. අපි එකිනෙකාට උදවු නොකරනවා නම් මේ ජීවිතෙන් වැඩක් තියෙනවද?”

“කෝකියා අත්හදා බලන්න හැදුව රසකැවිල්ල කාලා බැලුවද?” ජගන් ඔහුගෙන් ඇසීය.

“ඔව්, නැතුව නැතුව.. ඒක රසයි.”

“හැබැයි මට නම් හිතෙන්නේ ඒක අලුත් මුහුණුවරක් දුන්නු පරණ රසකැවිල්ලක් කියලා. අන්තිමේදී ඔය කෝකත් එකයි, නැද්ද හොඳයි?”

“නෑ මහත්තයෝ,” ඥාතියා කීවේය. “මට නම් තාම හැම රසකැවිල්ලක් අතරේම ලොකු වෙනසක් පේනවා. කවදාහරි දවසක මං යෝගියෙක් වෙලා කෑම වල රස නොදැනෙන තැනට වැටෙන්නේ නැතිවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.”

කෙනෙක් රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගැනීම ගැන තමන්ගේ දර්ශනය ජගන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ මේ වෙලාවේදීයි. මෙ ලෙස තවත් පැය භාගයක් ගතවන තුරු ඔවුහු සල්ලාපයේ යෙදුනහ. ඉනික්බිති ජගන් මෙසේ ඇසුවේය.

“උඹ දන්නවද මම මේ දවස්වල කන්නේ මොනවද කියලා?”

“මොනවා හරි අලුත් දෙයක්ද?” ඥාතියා ඇසුවේය.

“අද උදේ ඉඳන් මම ලුණු පාවිච්චිය අත් ඇරියා.” ජගන් ආඩම්බරයෙන් දිලිසෙමින් කීවේය. ඔහුගේ මේ නිවේදනය නිසා අසන්නා තුළ ඇතිවුණු කම්පනය දැක සතුටු වූ ඔහු තවදුරටත් තම න්‍යාය ඉදිරිපත් කරන්නට විය. “අපි හරි නම් කන්න ඕන ස්වභාවික ලුණු විතරයි.”

“මොනවද ස්වභාවික ලුණු කියන්නේ?” ඥාතියා විමසුවේය. “කෙනෙක් අව්වේ හැතප්මක් දුවලා දාඩිය දාලා වේලුනාම පිටේ ඉතිරිවෙන ලුණු ටිකද?”

මේ ග්‍රාම්‍ය උදාහරණය අසා ජගන් මුහුණ ඇඹුල් කරගත්තේය. ඔහුගෙන් දිස් වූයේ මේ කිළුටු ලෝකයේ නොගැටී පාවෙන ආත්මයක ස්වරූපයකි. වයස පනස් පහක් වූවත් ඔහුට තිබුණේ කුඩා සිහින් සිරුරකි. ඔහුගේ දුඹුරු සම විනිවිද පෙනෙනසුළු වූ අතර පුළුල් නළල කෙළවරින් ඇරඹුණු, තැන තැන සුදු වූ ඔහුගේ කෙහෙ රැළි ගෙල තෙක් දිගු ව තිබිණි. ඔහුගේ නිකට සුදු රැවුල් කොට වලින් වැසී තිබුණේ ඔහු රැවුල බෑවේ කලාතුරකින් බැවිනි. මීට හේතුව දිනපතා තමන්ගේ පිළිබිඹුව දෙස කැඩපතකින් බැලීම නරක යුරෝපීය පුරුද්දක් ලෙස ඔහු සැලකීමයි.

ජගන් තම දෝතියට උඩින් හැඳ සිටි බුරුල් කබාය ඔහු විසින්ම වියන ලද රෙද්දකින් මැසූ එකක් විය. හැම දවසකම ඔහු පැයක කාලයක් රෙදි විවීමෙහි යෙදුණි. එක් වරකට ඇඳුම් කට්ටල දෙකකට වඩා පාවිච්චි නොකළ ඔහු ඒ සඳහා රෙදි ප්‍රමාණයක් ඉතිරි කරගෙන ඉතිරිය මනා සේ මිටි බැඳ, ප්‍රදේශයේ අත් යන්ත්‍ර රෙදි කමිටුව වෙත විකිණුවේය. ඔහු මෙසේ ඉපයූ මුදල මසකට රුපියල් පහකට වඩා අඩු වූවද ඔහු ඉන් භාවාතිශය සතුටක් ලැබුවේය. ජගන් ගේ මේ පුරුද්ද ඇති වූයේ ඊට වසර විස්සකට පමණ පෙර ගාන්ධි තුමා ඔවුන්ගේ නගරයේ සංචාරය කළ අවස්ථාවේ මේ කාර්යය වෙනුවෙන් ඔහු පැසසුම් ලැබූ පසු යි.

ජගන් පැළඳ සිටි ආමන්ඩ් ඇටයක හැඩති, කහ පැහැති රාමුවෙන් යුතු වූ උපැස් යුවලට ඉහළින් ලොව දෙස එබිකම් කළේය. ලොකු අලංකාරයක් රහිත කහ පැහැති මෝස්තරයකින් යුතු වූ කදාර් සාළුවක් උර වටා පෙරවාගෙන සිටි ඔහු දෙපයේ ලාගෙන සිටියේ වයස්ගතව මිය ගිය හරකෙකුගේ හමින් සැකසුණු පටි සහිත ගනකම් පාවහන් ජෝඩුවකි. ගාන්ධිගේ අනුගාමිකයෙකු වූ ඔහු, මේ ක්‍රියාවන් පැහැදිලි කළේ “මගේ දෙපයේ සුවපහසුව වෙනුවෙන් පණ තියෙන සතෙක්ගේ බෙල්ල කපන්න අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරනවා” යනුවෙනි. මේ නිසා හරකෙකු හෝ පැටියෙකු මිය යමින් ඇතැයි යන ආරංචි ඔස්සේ ඔහු ඉඳ හිට ඈත ගම් වෙත සංචාරය කළේය. මෙසේ ගොස් ඒ සතාගේ හම ලබා ගත් පසු ඔහු ප්‍රථමයෙන් එය යම් ද්‍රාවණයක ගිල්වා තබා, ඉනික්බිති එය ඇල්බර්ට් මිෂන් වත්තේ ගසක් යට කුඩා කඩයක් කළ ඔහුගේ හිතවත් සපත්තු මසන්නෙක් වෙත ලබා දුන්නේය.

ජගන් ගේ පුතා හය හැවිරිදි වියේදී පමණ පසු වෙද්දී තම පියා නිවසේ පසුපස බරාඳයේ සිදු කළ මේ හම් පදම් කටයුතු ආදියට සතුටින් එකතු වූයේය. නමුත් ඔහු වයසින් වැඩෙද්දී ජගන් සත්ත්ව හමක් නිවසට ගෙන ආ විට එහි ගඳ ගැන නෝක්කාඩු කියන්නට විය. ජගන් ගේ බිරිඳ පුතා තරම්වත් එය නොරිස්සූ අතර හම් පදම් කිරීමේ කාර්යය අවසන් වන තුරු ඈ තම කාමරයෙන් පිටතට ඒම ප්‍රතික්ෂේප කළාය. මෙය දවස් කිහිපයක් ගත වූ ක්‍රියාවලියක් බැවින් ජගන් තම පාවහන් අලුත් කිරීමට උත්සාහ කළ හැම වතාවකදීම ඔහුගේ නිවසේ සිදු වූ වියවුල සුළු පටු නොවේ. මේ පදම් කිරීමේ ක්‍රියාවලියේ මුල් අවධියේ දී සම් කැබැල්ල බිරිඳට හසු නොවන සේ දර මඩුවේ සැඟවිය යුතු නමුත් එහිදී එය මීයන් කෑමට ඉඩ තිබිණි. ජගන්ගේ බිරිඳ මරණාසන්නව හිඳිද්දී වරක් ඔහුට කිට්ටුවට එන්නට සන් කර යමක් කීවාය. ඈ කී දේ ඔහුට හරි හැටි වැටහුණේ නැතත් ඈ කීවේ “හම් කැබැල්ල වීසි කර දමන්න” යැයි අනුමාන කිරීම නිසා ඔහුගේ සිත රිදිණි. ඇයගේ අවසාන කැමැත්ත විය හැකිව තිබුණු ඒ ඉල්ලීමට හිස නවමින් ඔහු නිවසේ තිබුණු අවසාන හම් කැබැල්ල පුණ්‍යායතනයකට දුන්නේ කෘර බැවින් තොර පාවහන් ලබාගැනීමට තවත් කෙනෙකුට අවස්ථාව ලබා දීම ගැන සතුටු වෙමිනි. ඉනික්බිති ඔහු තමන්ගේ සංකීර්ණ පාවහන් අවශ්‍යතාව සපුරාලීමට ඇල්බර්ට් මිෂන් හි සපත්තු තනන්නා මත යැපුණේය.

දැන් ස්වභාවික ලුණු ගැන තම ඥාතියා කී කතාව අසා ව්‍යාකූල වූ ඔහුගේ මුහුණ රත් පැහැ ගැන්විණි. තම වදනින් ජගන් තුළ ඇතිවූ කම්පනය ගැන සතුටට පත් ඥාතියා එහි කළින් පැවති සතුටු සාමීචිය නැවත ඇතිකරගැනීමේ අටියෙන් මෙසේ කීවේය.

“ඔබ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම සරල කරගෙන, මම ළඟදී සමූපකාරයේ ලොක්කාටත් කීවේ ඒකයි…”

මේ වැකියෙන් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිපලය ලැබුණි.

“මම සීනි පාවිච්චියත් නවත්තලා තියෙන්නේ, දන්නවාද? උණු වතුර වීදුරුවක මී පැණි බින්දු විස්සක් දිය කරලා බිව්වාම අපේ ස්වභාවික සීනි අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා.”

“ඔබ අල්පේච්ඡ ජීවිතය හොඳින් ප්‍රගුණ කරලා,” ඥාතියා කීවේය.

මින් දිරිමත් වූ ජගන් තම ප්‍රකාශයට තවත් තතු එකතු කළේය. “මම බත් කන එකත් අත ඇරියා. මම දැන් එළවළුවක්, මී පැණි ටිකක් එක්ක කන්නේ ගලේ ඇඹරුව තිරිඟු ටිකක්.”

“එහෙම තියෙද්දීත් මට හිතාගන්න බැහැ ඔබ වැඩකරමින්, සල්ලි උපයන්න කරදර වෙමින් මේතරම් මහන්සි වෙන්නේ ඇයි කියලා!”

ඥාතියා වීදුරු කවුළුවේ ප්‍රදර්ශනයට තබා ඇති රසකැවිලි වෙත අත දිගුකරමින් කීවේය.

තමන් පැණිරස නොකමින් අන් අය තමන්ගේ ලාභය වෙනුවෙන් පැණිරස කෑ යුතු යැයි ඔහු බලාපොරොත්තු වන්නේ ඇයිදැයි ඇසීමෙන් ඔහු වැළකුණි. තමන් කී දේවල් ප්‍රමාණවත් යැයි සිතුණු බැවින් ඔහු නැගිට යන්නට සූදානම් වන ලකුණු පෙන්වන්නට විය. ජගන් මුදල් ගණන් කරන වෙලාව එළඹෙමින් තිබුණු අතර ඒ කාර්යය අන් අය නැරඹීම ඔහුගේ අකැමැත්තට හේතු විය. වෙලාව හවස හය වී තිබිණි. ඒ, දවසේ ප්‍රධාන වෙළඳ කටයුතු අවසන් ව ඉදිරිපස වෙළඳසැලේ සේවක කොලුවා ඉසින් දවසේ එකතු වූ මුදල් ගණන් කිරීම සඳහා ගෙන එනු ලබන වේලාවයි. මේ වෙලාවට ජගන් ට දැනුණේ ඔහු සිහසුනට වී තම රාජධානිය පාලනය කරන, තම යටත් වැසියන්ගෙන් (මීට කෝකියන් හතර දෙනෙක් සහ කඩේ කොලුවා ඇතුළත් විය) පඬුරු ලබන රජ කෙනෙක් බවයි. මෙහිදී සිහසුන ලෙස සැලකුණේ තමන්ගේ රසකැවිලි රාජධානියේ හතර අතම පෙනෙන ලෙස උපායශීලිව කුඩා වේදිකාවක් මත තබන ලද, තුනී කොට්ටයක් දමා තිබුණු ලී පුටුවයි. මේ පුටුව ශතවර්ෂයක් තරම් පමණ පැරණි එකක් විය. එහි අත් වාරු දෙක, පසුපස කොටස සහ කැටයම් කළ කකුල් දිලිසෙන පිත්තල තීරු වලින් අලංකාර කර තිබිණි. මේ පුටුව, ලෝව්ලි පිළිමය පසුපස මේ නිවස තනද්දී ජගන් ගේ පියා විසින් විශේෂයෙන්ම තනවන ලද්දකි. සාමාන්‍යයෙන් තම පවුලේ උදවිය නිවසේ ඔප දමන ලද බිම මත අසුන් ගන්නා බැවින් පුටුවක් තනවන්නට අවශ්‍යතාවයක් නොතිබුණත් ඉංග්‍රීසි ජාතික බදු එකතු කරන්නෙකු වූ නෝබල් මහතා නක්ෂත්‍රය ඉගෙනුමට නිතර මේ නිවසට ආ ගිය නිසාත්, පාඩම් වේලාවට ඔහුට බිම හිඳ ගන්නටත්, බිම හිඳ සිට නැගිටින්නත් වේදනාකාරී වූ නිසාත් පුටුවක් සඳහා අවශ්‍යතාවයක් ඇති විය. එකල ඉතා වටිනා ත්‍යාගයක් ලෙස සැලකුන නෝබල් මහතාගේ අත්සන සහිත පින්තූරයක් කාලයාගේ ඇවෑමෙන් දුර්වර්ණ වී සොල්දරයේ සුන්බුන් අතර තිබී සොයාගන්නා ලදී. පසු කලෙක එය සොල්දරෙයන් රැගෙන විත් දරුවන්ගේ කෙළි බඩුවක් ලෙස තැන තැන විසි කරමින් තියෙද්දී පින්තූරය රාමුවෙන් ඉවත් කර ඒ රාමුවේ දෙවියන්ගේ පින්තූරයක් බහා බිත්තියේ එල්ලා තිබිණි. නෝබල් මහතාගේ රාමුවක් රහිත පින්තූරය තව දුරටත් දරුවන් විසින් සෙල්ලමට ගනු ලද අතර ඔහුගේ කොපුල් හි වූ විසිළු සහගත රැවුල ඔවුන්ට හවස් වරු පුරාවටම සිනා ගෙන ආවේය. ග්‍රීෂ්ම ගිම්හාන සමයේදී පවන් ගැසීමටත් මේ පින්තුරය යොදා ගන්නා ලදී. අන්තිමේදී එය නැවතත් පැරණි ගිණුම් ජර්නල සහ අනෙකුත් පවුලේ සුන් බුන් සමඟ නැවතත් සොල්දරයටම යවා තිබිණි.

මෙතැන අසුන්ගෙන සිටිද්දී ජගන්ට මහත් තෘප්තියක් දැනුණි. එක් පසෙකින් ඔහුට මුළුතැන්ගෙහි සිදුවන හැම දෙයක්ම දකින්නත්, අහන්නත්, සුවඳ විඳින්නත් හැකි විය. එහි සිට නිරතුරුවම වෙළඳ සැල වෙත වෛවර්ණ රසකැවිලි පිරවුණු තැටි යැවිණි. මුළුතැන්ගෙහි රසකැවිලි බැදෙන හඬ ඇසෙන තාක් ජගන් ඒ වෙත අවධානය යොමු කළේ නැත. ඒ වෙනුවට ඔහු රත් පැහැති බැම්මෙන් යුතු වූ භගවත් ගීතා පොතේ සංස්කෘත පද වෙත නොසැලෙන බැල්මකින් බලා සිටියේය. නමුත් මුළුතැන්ගෙහි කැවිලි බැදෙන හඬේ කුඩා හෝ විරාමයක් ඇති වුවහොත් ශුද්ධ වූ පාඨයෙන් දෑස් ඉවතට නොගෙනම “මොකද ඔතැන වෙන්නේ?” යැයි ඔහු අසයි. එවිට ප්‍රධාන කෝකියා “මුකුත් නැහැ” කියා තම සුපුරුදු පිළිතුර දෙනු ලබන අතර මෙය ජගන්ගේ මනස සන්සුන් කර නැවතත් දේව වාක්‍ය වෙත යොමු කිරීමට සමත් වේ. නමුත් ඒ ඉදිරිපස වෙළඳ සැලේ යම් පමාවක් ඔහුගේ අවධානයට ලක් වන තුරු පමණි. එවිට ජගන් නැවතත් කෑ ගසන්නට ගනී.

“කැප්ටන්, ඔය කහ පාට සායක් ඇඳගෙන ඉන්න පොඩි කෙල්ලගෙන් අහන්න මොනවාද ඕන කියලා, දැන් එයා සෑහෙන්න වෙලා ඔතැන බලාගෙන හිටියා.”

ඔහුගේ හඬින් වෙළඳ සැලේ කොලුවා මෙන්ම දොර ළඟ සිටින මුරකරු ද යුහුසුළු ව තම රාජකාරි වෙත යොමු වූහ. මේ මුරකරු අතීතයේදී යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි අයෙකි. කාකි ඇඳුමින් සැරසී සිටින ඔහු නිරතුරුව තම ලී පුටුවේ අසුන්ගෙනම නිදා වැටීමේ සම්භාවිතාවක් තිබිණි. ඇතැම් විට ජගන් “කැප්ටන්, අර මොකද අර හිඟන්නෙක් ඇවිත්? සිකුරාදාට විතරයි හිඟන්නන්ට එන්න පුළුවන්, මේක දන්සලක් නෙමෙයිනේ” යනුවෙන් කෑ ගසනු අසන්නට ලැබිණි.

ඉදිරිපස වෙළඳ සැලේ කොලුවා විසින් හාම්පුතා වෙත දවසේ ආදායම ගෙන එනු ලබන විට වටපිටාවේ නිහැඬියාවක් පැතිරිණි. කොලුවා ගනුදෙනුවලින් මුදල් ලබාගත්තත් ඔහු එහි මුළු එකතුව දැන සිටී යයි අපේක්ෂා කෙරුණේ නැත. ඔහු අතට ලැබුණු හැම පයිසයක්ම දිගු ගෙලක් සහිත වූ පිත්තල ජෝගුවකට දමනු ලැබූ අතර හැම දිනකම හවස හයට ඒ ජෝගුව ජගන් වෙත ගෙන යන ලදී. ඉන් අනතුරුව නැවත තම අසුන වෙත යන ඔහු රාත්‍රී හතට කඩයේ දොර පලු වසද්දී ඒ පැයේ එකතු වූ මුදල් සහිත වෙනත් කුඩා බඳුනක් ගෙතුලට ගෙන යයි. මේ වෙද්දීත් මුදල් ගණන් කිරීම නො අරඹා ඇති ජගන් තව දුරටත් දේව වාක්‍ය සහිත පොත කියවමින් සිටින්නේය. හිස ඔසවන්නේ නැතිවම වුවත් මුළුතැන්ගෙහි රසකැවිලි බැදීම නැවතුණු බව, උදුනේ ගින්දර නිවද්දී ඇසෙන හඬ, තැටි සහ හැඳි හේදෙන හඬ ඔහුගේ අවධානයට ලක් වේ. ඉනික්බිති කුස්සියේ සිට පාද ජෝඩු හතරකුත්, දවසේ අවසාන ක්‍රියාව ලෙස වෙළඳසැලේ සිට ඉතිරි වූ රසකැවිලි රැගෙන එන එක පාද ජෝඩුවකුත් පැමිණෙන අයුරු ඔහුට ඇසේ.

ඔවුන් සියලුම දෙනා තමන්ගේ මේසය අසල රැස් වී ඇති බව දැනුණු විට ජගන් ඔවුන්ගෙන් සුපුරුදු ප්‍රශ්නය අසන්නේය.

“කොච්චර ඉතුරුද?”

“වැඩිය නැහැ”

“හරියටම කියන්න”

“මයිසොර් පැක් වලින් සියර් දෙකක් විතර”

“ඒවා හෙට විකුනන්න පුළුවන්”

“ජිලෙබි සියර් භාගයයි”

“ඒක හෙටට වැඩක් නැහැ. හරි දැන් යන්න”

කඩයේ කොලුවා ඉතිරි රසකැවිලි තැටි ගෙතුලට ගෙනැවිත් තබා හෙමින් සීරුවේ පිටව ගියේය. එහෙත් කෝකියෝ තවමත් යාමට අවසර ලැබෙන තුරු බලා සිටියහ.

“ජනෙල් ඔක්කොම වහලාද?” ජගන් ඇසුවේය.

“ඔව්”

“හෙට ජිලෙබි හදන්න එපා. මොකද්ද ඒකෙ ප්‍රශ්නේ?”

රසකැවිලි ඉතිරි වීම ඔහුගේ සිතට වධ දෙන කාරණයක් වූ අතර එය හිස් කබල යට ඇනුණු කටුවක් සේ එය ඔහුට කරදරකාරී විය. දවස අවසානයේදී දිලිසෙන හිස් තැටි මුළුතැන්ගෙය වෙත එනු දකින්න ඔහු ප්‍රිය කළේය. ඉනික්බිති මේ ගැන විවිධ අදහස් දැක්වීමක් සිදුවිය.

“දැන් මේ ඉතුරු වුණ ටිකට මොකද කරන්නේ?” ජගන් විමසුවේය.

“මහත්තයා අවසර දෙනවා නම් අපි හෙට අලුත් රසකැවිල්ලක් අත්හදා බලන්නම්. එතකොට ඔය ඉතුරුවා ගැන ප්‍රශ්නයක් නැහැනේ. ඔක්කොම පොඩි කරලා වෙන හැඩයකින් හෙට බදින්න පුළුවන්.”

ප්‍රධාන කෝකියා සුපුරුදු ලෙස නිවුණු හඬින් කීවේය.

“ඔව් ඉතින් අන්තිමේදී හැම දෙයක්ම හදලා තියෙන්නේ පිටියි සීනියි රස කාරකයි වලින් නේ..” ජගන් දාර්ශනික ලෙස කීවේ මෙතෙක් වේලා තමන් නොගෙන සිටීමට තැත් කළ තීරණයට අවසානයේදී එළඹෙමිනි. ආහාර ද්‍රව්‍ය වල මිළ ඉහළ යමින් තිබුණු බැවින් ප්‍රායෝගිකව බලද්දී මෙය ගත යුතු වූ තීරණයක් විය.

තම සේවකයන් නික්ම ගිය පසු ජගන් තම දේව වාක්‍ය පොත පසෙකින් තබා තම මේසයේ ලාච්චුව ඇරියේය. පිත්තල ජෝගුවෙන් ලාච්චුවට කාසි හලද්දී හඬ නොනැඟෙන සේ ඒ තුළ තුවායක් අතුරා තිබිණි. සියුම් කලාවෙහි දක්ෂයෙක් පියානෝවක යතුරු පුවරුව මතින් තම අතැඟිලි ගෙනයන ශෝභාවෙන් ඔහු ඉක්මනින් මේ කාසි ඒවායේ වටිනාකම් අනුව වෙන් කළේය. එකතු වූ මුදල් ප්‍රමාණය වෙත තම බැල්ම රැඳවූ ඔහු පැය කාලක් ඇතුළතදී එහි මුළු වටිනාකම ගණනය කර අවසන් කළේය. සටහන් පොතක සටහනක් යෙදු ඔහු, ඉන් අනතුරුව ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැකි ලේජරයේ වඩාත් සංකීර්ණ සටහන් කීපයක් යෙදුවේය. ජගන් සිය කුඩා සටහන් පොතේ යෙදුවේ හවස හයෙන් පසුව ලැබී කුඩා ජෝගුවේ තිබුණු ආදායම පමණි. මේ මුදල අන් ආදායමෙන් වියුක්තව, නිදහස්ව පවතින ලෙස ඔහු සැලකුවේය. මෙය එක්තරා ආකාරයකින් ස්වයං ජනිත බවත්, ඒවා බදු ආදියෙන් මුක්තව පැවතීමට සුදුසුකම් ඇති බවත් ඔහු සැලකුවේය. ඉඩ ලැබුණු වහාම මේ කාසි නැවුම් මුදල් නෝට්ටු බවට හරවා, මිටියක් බැඳ සොල්දරයේ නෝබල් මහතාගේ පින්තූරයට පාලු කැපීමට එහි තැන්පත් කෙරෙනු ඇත.

ලාච්චුවේ ඇති කාසි දෙස අවසන් වතාවට බැල්මක් හෙලූ ජගන්, ප්‍රවේසමෙන් ලාච්චුව වසා දැමුවේය. ඉනික්බිති ලාච්චිවේ අල්ලුව හතර වතාවක් ඇද, එය ඇරේවිදැයි පරීක්ෂා කර, ශබ්ද නංවමින් තම පුටුව පසුපසට තල්ලු කළේය. ඉන් අනතුරුව ඔහු දොරට විශාල පිත්තල ඉබ්බෙකු දමා, යතුර කරකවා තම සාක්කුවේ රුවාගත්තේය.

“කැප්ටන්! මේ ඉබ්බා හරියට වැටිලාද බලනවා” ජගන් කී විට කැප්ටන් එය අත් බෝම්බයක් විලසින් දෑතට මැදි කර තදින් අල්ලා ගත්තේ රණකාමී ස්වරූපයෙනි. .

“මේක හොඳ හයිය ඉබ්බෙක් සර්, මේ වගේ ඒවා දැන් හොයාගන්න නැහැ. මම ඉබි යතුරු ගැන හොඳට දන්නවා. මේක ගමක කම්මලක හදන්න ඇත්තේ” මෙලෙස ඉබි යතුරු සහ කම්මල් ආදිය ගැන ඔහු බොහෝ විස්තර කියන්නට ගත් විට ඔහු ට බාධා කළ ජගන්, “හරි, වටපිට ගැන කල්පනාවෙන් ඉන්නවා ” කීවේය.

කැප්ටන් ඔහුට යුධ හමුදාමය සැලියුට් ආචාරයක් දුන් පසු ඒ දවස එලෙසින් නිමා විය.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

The Vendor of Sweets (1967) by R. K Narayan- Indian Thought Publications

Digital painting

July 18, 2023

ගමනාන්ත


Translation of an excerpt from the book 'Authentic Success' by Robert Holden

ගමනාන්තයන් වෙත ඇබ්බැහිවීම ගැන ප්‍රවේසම් වන්න. සතුට ඇත්තේ මින් ඔබ්බෙහි ඇති තැනක, ඊළඟ රැකියාවක, වෙනත් සහකරුවෙක් ළඟ යන අදහස ඔබේ  අවධානය සොරාගැනීමට ඉඩ තිබේ. සතුට ඇත්තේ වෙනත් තැනක ය යන අදහස ඔබ අත් හරින තුරු කෙදිනකවත් සතුට ඔබ ළඟට නොඑනු ඇත.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Photo- sunrise at Loch Sport, Victoria


July 14, 2023

මුළුතැන්ගෙයි කවි


Translation of the poem ‘Kitchen Poems’ by Nicolette Stasko

දස දහස් වෙනි වතාවට
අස් පස් කරමි
උදේ කෑම කෑ පිඟන් කෝප්ප
තද කරමි කිමෝනෝව
සකසාගමි එහි බුරුල් අත්
ඉහිරුණු පාන් කුඩු සහ මී පැණි
නොතැවරෙන්නට

කඩදාසි ඉවත් කරමි
එක් තැනකින් තවත් තැනකට
හීනි කවි පොතක්
ලිස්සා වැටේ පිටතට

ලිවීමට තරම් වටිනා දෙයක් ලිවීමම
කෙතරම් අසීරුද
එය දැක යළිත් සිහිවේ මට
හුරුපුරුදු රිදුමක් මතුව එයි
මා දෑස පසුපස

අද අහස
ඕනෑවටත් වඩා
නිල් පාට ය
තියුණු ය

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

ඕස්ට්‍රේලියානු ජාතික කිවිඳියක් වන Nicolette Stasko සිඩ්නි විශ්ව විද්‍යාලයේ කථිකාචර්යවරියක් ලෙස සේවය කළාය. කවි පොත් කිහිපයක් සහ නවකතාවක් පළ කර ඇති ඇය ඒවා වෙනුවෙන් විවිධ සම්මාන දිනා තිබේ. 

Digital painting
ලන්ඩන් කවි- ජූලි 2023 කලාපය 

July 11, 2023

ශෝකය

ශෝකය ඔබට සදාකාලිකවම දැනෙන දෙයක් බව යථාර්තයයි. ඔබ ආදරය කළ කෙනෙක් අහිමි වීමේ ශෝකයෙන් ඔබ කිසිදා මිදෙන්නේ නැත, ඔබ ඒ සමඟ ජීවත්වීමට ඉගෙන ගන්නවා පමණි. සුවපත් වීමෙන් අනතුරුව ඒ අහිමි වීමේ වේදනාව වටා ඔබ ජීවිතය ගොඩනඟාවි. ඔබ නැවතත් ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණ වූවත් කිසි විටෙකත් පෙර පරිදි නොවනු ඇත. ඔබ පෙර පරිදි විය යුතු නැත, එසේ වීමට ඔබට අවැසි නොවනු ද ඇත. 

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of an excerpt from the book 'On Grief and Grieving' by Elisabeth Kubler-Ross

Digital painting




July 09, 2023

නොපවතීම


දැනටමත් සුදු ඇසටර් මලින්
සහ උඳුපියල්ලෙන්
සැරසුණු තණබිමේ
අලුතින් කහ මල් ගෙත්තමක්!

"වතුර නැතිව පවතින්නේ නැහැ ඕවා"
මා දරුවන්ට අනතුරු අඟවන මුත්
ඔවුහු මා බස නොතකා ඒවා නෙලති

දිය තිබුණත් නැතත්
ළමා කාලයද දිගු කල් නොපවතී

මම
මල් නෙලන ඔවුන් ව නරඹමි
හෙට දවසින් සහ
ඊයේ දවසින් නිදහස් ඔවුහු

අද දවස නෙළති

-පරිවර්තනය හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Out of Water' by Marie Ponsot

Digital painting

July 07, 2023

'අපේක්ෂා' - රේඩියෝ කෙටිකතාවක් ලෙස

මගේ කෙටිකතාවක් මගේ ප්‍රියතම කලා ශිල්පිනියකගේ හඬින් අහන්න ලැබුණු මොහොත! මේ මගේ සහස් පියවර කෙටි කතා පොතේ 'අපේක්ෂා' කෙටිකතාව, නිරංජලා සරෝජිනී මහත්මියගේ හඬින්. 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 'කෙටිකතා' වැඩසටහනට මේ කෙටිකතාව තෝරාගැනීම ගැන වැඩසටහන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත්, මේ ආදරණීය හඬ වෙනුවෙන් නිරංජලා සරෝජිනී මහත්මියටත් මගේ ආදර ස්තූතිය! ❤


July 05, 2023

Run, Rabbit, Run & Wakefield - Movie Review

ළමා වියේදී ඇතිවන trauma (මේකට කම්පනය කියන එක මදි වගේ) සුළුවෙන් බැහැර කරන්න බැරි බව දැන් පුළුල් ව පිළිගත් දෙයක්. ඒ, එහෙම සිදුවීම් යටපත් කිරීම තුළින් පසුකාලීනව වැඩිහිටි වියේදී වුණත් විවිධ මානසික ගැටළු ඇතිවෙන්න පුළුවන් නිසායි. මේ තේමාව ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකුත් TV series එකකුත් ගැන එක සැරේම ලියන්න හිතුණා. චිත්‍රපටිය Run, Rabbit, Run. TV series එක Wakefield. මේ දෙකම ඕස්ට්‍රේලියාවේ නිපදවුණු නිර්මාණ දෙකක් වීම අහම්බයක්. 

Run, Rabbit, Run කතාව ටිකක් සංකීර්ණයි. කාලයකට ඉහතදී අතුරුදන් වූ දැරියක් ඒ දැරියගේ සහෝදරියගේ දුව තුළින් කතා කරන සිද්ධියක් වටේ තමයි මේක ගෙතෙන්නෙ. ඒ කියන්නේ අපි කියන විදිහට දැරියකට එයාගේ පුංචි අම්මාව 'වැහිලා'. හැබැයි ඒ සිද්ධිය මතුපිටින් පේන තරම් සරල නැති බව තේරෙන්නේ කතාව ගලාගෙන යද්දී.

 

Wakefield කියන්නේ මානසික රෝගීන් වෙනුවෙන් තියෙන සාත්තු නිවාසයක හෙද සේවකයෙක් වන නික් සහ ඔහු හා ගැටෙන විවිධ චරිත වටා ගෙතුණු කතා මාලාවක්. මේක පටන්ගන්නේ නික් ට අහම්බෙන් ඇහුණු සින්දුවක් අමතක කරගන්න බැරි සිද්ධියකින් හෙවත් earworm situation එකකින්. මේ එක්කම විවිධ දෘෂ්ඨි මායාවන් සහ මතක කැබලි ඔහුව පීඩාවට පත් කරමින් අමතක වුණ trauma එක නිරාවරණය කරගැනීම දක්වාම ඔහුව රැගෙන යාම නරඹන අපටත් කම්පනයක් ඇති කරවනසුළුයි. මීට අමතරව ඒ සාත්තු නිවාසයේ ඉන්න තව නේවාසිකයන් කීපදෙනෙක්ගේ කතාත් මේ කතා මාලාවට සියුම්ව බද්ධ කරලා තියෙනවා. 

 

මේ කතා දෙකම childhood trauma ගැන වුණත් Run, Rabbit, Run චිත්‍රපටියට මූලික වෙලා තියෙන්නේ ඒ සිදුවීම ප්‍රතික්ෂේප කිරීම හෙවත් denial බව, Wakefield කතා මාලාවට මූලික වෙලා තියෙන්නේ යටපත් වීම හෙවත් suppresion බව ඒ දෙකේ ප්‍රධාන චරිත දෙකේ හැසිරීමෙන් පැහැදිලියි. කොහොම වෙතත්, මේ කොයි විදිහෙන් යටපත් වුණත්,  කාලයක් ගිහින් මේවා ආපහු මතුවෙලා ජීවිතයට පීඩා කරන බව නම් පැහැදිලියි. ඒ නිසා මේ වගේ නිර්මාණ වලින් ගත යුතු පාඩම තමයි ඒ වගේ දේවල් වලට ලක් වුණු අය හැකි ඉක්මණින් උපදේශනයට යොමුකළ යුතු බව. 

මේ නිර්මාණ දෙකේම සිනමාකරණය ගැන විශේෂයෙන් යමක් කිව යුතුයි. ඕස්ට්‍රේලියානු පරිසරයේ සමහර තැන් වල තියෙන රළු ලස්සන අපූරුවට මේ කතා දෙකටම හසු කරගෙන. Wakefield කතා මාලාවේ ප්‍රධාන චරිතය වන නික් ගේ අම්මා විදිහට නදී කම්මැල්ලවීර ශිල්පිනිය පණ පෙවීම විශේෂ කරුණක්. Run, Rabbit, Run චිත්‍රපටියේ ළමා රංගන ශිල්පිනිය Lily La Tore ගේ රංගනයත් ප්‍රසංශනීයයි. 


Run Rabbit Run (Film) - 2023
Directed by Daina Reid, Written by Hannah Kent

Wakefield (TV Series) - 2021(8 episodes)
Created and Directed by Kristen Dunphy

July 02, 2023

Life!


"You meet thousands of people
and none of them really touch you
and then you meet one person
and your life is changed forever"

- Love and other Drugs
(2010)

02 July 2023



photo- Ninety Mile Beach, Vic