Showing posts with label සේෂෙල්ස්. Show all posts
Showing posts with label සේෂෙල්ස්. Show all posts

March 13, 2023

බ්ලැකී




අතීත මතක අතපත ගාද්දී බොහොම ඉස්සර කාලෙකින් ඇහෙන පූස් පුරු පුරුවක් ළඟ හිත නවතින වෙලාවල් තියෙනවා. ඇස් දෙක වහගත්තොත් දෑතේ උණුහුම මැද්දේ හීනියට පුංචි ගදවතක් වේගයෙන් ගැහෙන හැටිත් හිතේ මැවෙනවා. එක්තරා කාලයක මට ලැබුණු ඒ උණුහුම් ආදරයේ අයිතිකාරිය බ්ලැකී. 

බ්ලැකී මට මුලින්ම මුණගැහෙද්දී මට අවුරුදු හයක් විතර. ඒත් බ්ලැකී නම් ඒ වෙද්දී හිටියේ පැටි වයස පහු කරලා. තාත්තාගේත් අම්මාගේත් රැකියා නිසා අපි සේෂෙල්ස් රටට ගිය වෙලාවේ අපි පදිංචි වුණු ගෙදරත් එක්ක ලැබුණු නිල නොවන තෑග්ගක් තමයි බ්ලැකී. සමහරවිට එයා අපට කලින් ඒ ගෙදර පදිංචි වෙලා හිටිය අයගේ සුරතලා වෙන්න ඇති. ඒත් අපි මුලින් දැක්කේ අහු මුළුවල හැංගිලා ඉන්න, බයෙන් වෙව්ලන පුංචි කළු අවතාරයක්. අපි ඒ ගෙදරට එන්න කලින් සිද්ධ වුණු මොනවා හරි අපි නොදන්නා අකරතැබ්බ නිසා ආයෙත් කිසි මනුස්සයෙක්ව විශ්වාස නොකරන්න බ්ලැකී අධිශ්ඨාන කරගෙන හිටපු ලකුණු පෙනුණා. ඒත් අවුරුදු හයක පුංචි ගෑනු ළමයෙකුට මේවා අදාළ වුණේ නැහැ. බ්ලැකී හැංගිලා හිටිය අහුමුලු වලට බඩගාගෙන යන්න, ඈතින් කෑම පීරිසි තියලා හැංගිලා බලාගෙන ඉන්න, එයාට රහසින් කතාකරන්න මට ඕන තරම් වෙලාව තිබුණා. අන්තිමේදී මම පසු නොබාන බව දැකලා ද කොහෙද බ්ලැකී අපේ ගෙදරින් මාව විතරක් විශ්වාස කරන්න තීරණයක් ගත්ත බවක් පෙනුණා. මේ විදිහට බ්ලැකී 'මගේ' සුරතලා වුණා. තනි කළු පාට බ්ලැකීට දීප්තිමත් කහපාට ඇස් දෙකක් තිබුණා. මගේ පෙරැත්තයට ගේ ඇතුළට ආවත් බ්ලැකී වැඩිහරියක් කාලය ගතකළේ ගෙදර හෙවනැලි වලට මුවාවෙමින්. ෆ්‍රිජ් එක පිටිපස්සේ ඉඩත් මගේ ඇඳ යටත් එයාගේ ප්‍රියතම තැන් වුණා.  එහෙම අඳුරු තැන් වල හැංගිලා ඉන්දැද්දී පෙනුණේ එයාගේ ඇස් දෙක විතරයි.  හැබැයි මෙහෙම ඉන්න අතරේ හෙමින් හෙමින් මාව හොයාගෙන ඇවිත් කකුල් දෙකේ වෙලිලා, උකුලට පැනලා මට විතරක් විශේෂ වුණු ලොකු 'පුරු පුරුවක්' දෙන්න එයා අමතක කළේ නැහැ. මාත් එක්ක ඉන්දැද්දී ගෙදර වෙන කෙනෙක්ගේ අඩි සද්දේ ඇහුනොත් එක මොහොතින් එයා ආයෙත් හැංගුණේ අසුරු සැණින්. 

මෙහෙම ටික කලක් ගත වුණා. බ්ලැකීගේ කුලෑටි ගති ටිකක් අඩු වුණත් එයා කවදාවත් ඒතරම් සමාජශීලී වුණේම නැහැ. ඒ වෙද්දී අපේ ගෙදර තවත් බළල් පවුල් පදිංචි වෙලා හිටියත් බ්ලැකී ඒ අය එක්කත් සම්බන්ධයක් තිබුණේත් නැහැ. එයාගේ ලෝකය වෙලා තිබුණේ මම විතරයි. මාත් ඉඩක් ලැබුණු හැම වෙලාවකම කළේ එක්කෝ උණුහුමට ගුලි වෙලා පුරු පුරු ගාන බ්ලැකීව උකුලේ තියාගෙන පොත් කියවන එක, නැත්නම් එයා එක්ක සෙල්ලම් කරන එක. සෙල්ලම් වයස පහුවෙලා හිටියත් බ්ලැකී මං වෙනුවෙන් ආයෙත් එහෙ මෙහෙ දුවමින්, කහ පාට ඇස් දෙක දිලිසවමින් සෙල්ලම් කළා.

අවුරුදු හතරක් ගතවෙලා ගියේ බොහොම ඉක්මණින්. අපිට සේෂෙල්ස් වලින් නික්මෙන්න කාලේ එළඹුණා. අපේ ගෙදර බලෙන් පදිංචි වෙලා හිටිය අනෙත් බළල් සුරතල්ලු ගැන අපි වද වුණේ නැත්තේ එයාලා ආව විදිහටම වෙන තැනක් හොයාගන්න බව දැනගෙන හිටිය නිසායි. ඒත් බ්ලැකී? එයාගේ කුලෑටි ගතිගුණ නිසා එයා අලුත් අයිතිකාරයෙකුට හුරු නොවෙයි කියලා මම බය වුණා. එයාව දාලා යන්නේ කොහොමද හිතමින් මම නිදි නැතිව අඬමින් කාලේ ගත කළා, ඒ කිසි දෙයක් නොදැන දිගටම බ්ලැකී මගේ ළඟට තුරුල් වෙලා හිටියා. මෙහෙම මාස කීපයක් ගතවුණා. අපිට ෆ්ලොරන්ස් ගැන ආරංචි වුණේ ඒ අතරේ. ෆ්ලොරන්ස් අම්මලා එක්ක එකට රැකියාව කළ ඒ රටේ කෙනෙක්. බ්ලැකීව දාලා යන්න බැරි ගැටලුව අම්මාගෙන් ආරංචි වෙලා තමන් බ්ලැකීව බාරගන්න කැමති බවත් එයා දවසක බ්ලැකීව බලන්න අපේ ගෙදර එන බවත් කියලා තිබුණා. 

ෆ්ලොරන්ස් බළලුන්ට බොහොම ආදරේ කරුණාවන්ත කෙනෙක් කියලා අම්මා කීවත් මට නම් මේ අදහස ගැන විශ්වාසයක් නොතිබුණේ බ්ලැකී ගැන හොඳට දැනගෙන හිටිය නිසායි. අවුරුදු ගාණක් තිස්සේ අපේ පවුලේ අනෙත් සාමාජිකයින් එක්කවත් ලෙන්ගතු නොවුණු බ්ලැකී පිට කෙනෙක් එක්ක යාලු වෙයිද? ඒත් අපිට නොතේරෙන, සත්තුන්ට තේරෙන විශ්ව භාෂාවක් තියෙන බව මට බ්ලැකී ඔප්පු කරලා පෙන්නුවා. ෆ්ලොරන්ස් මුල් වතාවට අපේ ගෙදර ආව වෙලාවේ බ්ලැකී කළින් කිසි දවසක කාටවත් නොදුන්නු ප්‍රතිචාරයක් එයාට දුන්නා. එදා බ්ලැකී හැංගිලා හිටිය තැනින් එළියට ඇවිත් කෙලින්ම ෆ්ලොරන්ස් ළඟට ගිහින් එයාගේ කකුල් දෙකේ ඇතිල්ලුනා. ඉන්පස්සේ එයාගේ පාමුල බිම පෙරළිලා මගේ දිහා බැලුවේ 'මං ගැන වද වෙන්න එපා, මෙයා එක්ක මට ඉන්න පුළුවන්' කියන්නා වගේ. මේක දැකලා මට දැනුණේ ලොකු පුදුමයක් ඒ වගේම සැහැල්ලුවක්.

අපි සේෂෙල්ස් වලින් නික්මෙන්න කලින් ෆ්ලොරන්ස් ට බ්ලැකීව භාර දීලා මම එන්න ආවේ ඇස් වල කඳුළු පුරවාගෙන. ඒත් බ්ලැකීට මගෙන් ලැබුණු ආදරය රැකවරණය ෆ්ලොරන්ස්ගෙන් ලැබෙන බව මට සහතිකවම දැනුණා. 

මේ කතාව හරි නම් මෙතැනින් නිම වෙන්න නියමිතයි. ඒ කාලේ දැන් වගේ විදේශ දුරකථන ඇමතුම්, ඊ මේල් වගේ දේවල් සුලබ නොවුණු නිසා ඊටපස්සේ මට බ්ලැකී ගැන විස්තරයක් දැනගන්න ලැබුණේ නැහැ. ෆ්ලොරන්ස් ට ලියුමක් ලියලා විස්තර අහන්න අම්මලා මාව උනන්දු කළත් බ්ලැකීගෙන් වෙන්වීමේ දුක ඉන් තවත් වැඩිවෙන නිසා මම නිහඬවම හිටියා. ඒත් මේ සමුගැනීමෙන් අවුරුදු හතරකට විතර පස්සේ මට ආයෙත් වතාවක් නිවාඩුවකට සේෂෙල්ස් යන්න අවස්ථාවක් ලැබුණා.ඒ ගමනේදී බ්ලැකීව හොයාගෙන ෆ්ලොරන්ස් ගේ ගෙදර යනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒත් මම හිටියේ හිතේ සැකයෙන්. බ්ලැකී ඒ වෙද්දී ජීවත් ව ඇතිද කියලා මට සැක හිතුණේ ඒ වෙද්දීත් එයාට අවුරුදු දහයක් තරම් විතර වයස ඇති කියලා මට හිතුන නිසා.

ෆ්ලොරන්ස් අපිව බොහොම සතුටින් පිළිගත්තා. 'බ්ලැකී ඉන්නවද?' කියලා මම බයෙන් බයෙන් වගේ ඇහුව ප්‍රශ්නයට උත්තර හැටියට හිනාවුණු එයා ගේ ඇතුලට ගිහින් බ්ලැකීව වඩාගෙන ආවා. මට දැනුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්! ඒ වෙද්දී වයස නිසා බ්ලැකීගේ කළු ලෝම අළු-දුඹුරු පාටක් වෙලා තිබුණා, එයාගේ ගමනත් හිමින්. ඒත් එයා මාව දැක්ක ගමන් උකුලට පැනලා ආදරේ පෙන්නද්දී ඇහුනු පුරු පුරුව නම් ඉස්සර වගේම සද්දෙට තිබුණා!

සමහර සුරතල්ලු අපි එක්ක ගත කරන්නේ අවුරුදු කීපයක් විතරයි. ඒත් එයාලාගේ උණුහුම අපිට ජීවිත කාලය පුරාවටම දැනෙනවා. සමහරවිට එයාලා අපේ ජීවිතේ හිඩැස් පුරවනවා වගේම අපිත් එයාලාගේ ජීවිත වල හිඩැස් පුරවනවා වෙන්න පුළුවන්. ටික කාලයක් හරි බ්ලැකී මගේ ජීවිතේ උන්නු තැන- තාම හරි උණුහුම්!  

පසු සටහන-

මේ සටහන facebook දැම්මාම පොඩි අක්කා ළඟ තිබිලා මේ පින්තූරය කමෙන්ට් කරලා තිබුණා. මේ පොඩි අක්කාත් මාත් බ්ලැකී ත් දශක තුනකටත් වඩා ඉස්සර! 



sketch- watercolours

June 06, 2022

තක්සලාවක් වූ සඟරාව - Readers Digest


පොත් කියවීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම් ගැන මම නිතර ලියනවානේ. ඉස්සර දවසක මගේ කියවීමේ නිධාන කතාව ලිව්වා මෙහෙම. අද ලියන්නේ ඒකෙ වැදගත්ම අතුරු කතාවක්. ඒ තමයි Readers Digest සඟරාව එක්ක මගේ අතීත ගනුදෙනුව.

අවුරුදු දහයේදී සේෂෙල්ස් ඉඳන් ලංකාවට ආව වෙලාවේ මම එකපාරට කියවන්න පොත් නැති අගාධයකට වැටුනා. ඒ වෙද්දී කියවිල්ලට හොඳටම ඇබ්බැහි වෙලා හිටිය මට ඒක නිකම් ඔක්සිජන් නැතිවුණා වගේ වැඩක්. මේ වෙලාවේ මගේ ගැලවීමට ආවේ Readers Digest සඟරාව.

Readers Digest කියන්නේ 1922දී ඇමෙරිකාවේ ඇරඹුණු සඟරාවක්. මේක මාසිකව පළ වුණු- පුංචි කතන්දර, කාලීන තොරතුරු, විහිලු කතා, වචන සෙල්ලම් වගේ රසවත් අංග ගණනාවක එකතුවක්. අපේ තාත්තා 1965 ඉඳන් මේ සඟරාව මිළදීගෙන තිබුණා. අවුරුද්දකට නියමිත සඟරා දොළහ බැඟින් මිටි බැඳලා අපේ ගෙදර පොත් අල්මාරියක ගබඩා කරලා තිබුණා. ඉතින් කියවන්න පොත් නැතිව සා පිපාසෙන් ගේ ඇතුලේ ඇවිදිමින් හිටිය පුංචි කෙල්ලෙකුට හදිසියේම මේ සඟරා එකතුව හම්බ වුණාම ඒක නිධානයක් පහල වුණා වගේ වැඩක්! මේ කාලේ වෙනකොට අවුරුදු විස්සකට වඩා සඟරා මේ එකතුවේ තිබුණා. මේවායේ රසවත් බව තේරුම් ගන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සඟරා එහෙ මෙහෙ ඇදලා දැම්මොත් තාත්තාගෙන් බැනුම් අහන්න වෙන නිසා මම එක සැරේකට එක සඟරා මිටිය බැගින් මගේ කාමරේට අරන් ගිහින් කියවන්න පුරුදු වුණා.

Readers Digest සඟරාව මගේ ජීවිතේට එක්තරා විදිහක තක්සලාවක් වුණා කිව්වොත් හරි. මම ඒවායේ තිබුණු පුංචි කතන්දර උපරිමයෙන් රස වින්දා. Word Power කොටස කියවලා මගේ භාෂාව තනියම පරීක්ෂා කරගත්තා. Quotes වලට අදටත් මගේ තියෙන තදබල පිස්සුව මතු වෙන්න ඇත්තේ Quotable Quotes අංගය කියවලා වෙන්න ඕන. මට sense of humour එකක් ගොඩ නැඟෙන්න Laughter is the best medicine, Humour in Uniform, Life is Like That වගේ අංග හරහා කියවපු විහිලු දාස් ගණනක් හේතු වෙන්න ඇති. මීට අමතරව හැම සඟරාවකම අන්තිම කෙටි කරන ලද නව කතා පළ වුණා. ඒවා මතක තියාගෙන දශක ගාණකට පස්සේත් ඒවායේ මුල් පොත් හොයාගෙන කියවන්න තරම් මම ඒවාට ඇබ්බැහි වෙලා හිටියේ. Murphy's Kid by Torey Hayden, All Creatures Great and Small by James Herriot, Roots by Alex Haley ඉන් කීපයක් විතරයි.


පරණ Readers Digest සඟරා දෙකක්


ඉතින් මේ අවුරුදු විස්සේ Readers Digest සඟරා එකතුව ඉවරකරන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. එහෙමයි කියලා මම නැවතුණා ද? නැහැ! නැවත නැවත කියවීම කලාවක් නම් මම පිකාසෝ වුණේ ඒ කාලේ. අන්තිම වෙද්දී මම සඟරාවක් අතට ගත්තාම (හැම සඟරාවකම පිටිපස්සේ කවරේ ලස්සන චිත්‍රයක් තිබුණා) ඒකෙ තියෙන විශේෂ කතා මේවා කියන්න පුළුවන් මට්ටමට ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම digest කරලා තිබ්බා.

ඊටපස්සේ කාලය ගෙවෙද්දී මට වෙන පොත් පත් කියවන්න ලැබුණා තමයි. ඒ මොනවා කියෙව්වත්, පස්සේ කාලෙක ඉස්කෝලේ වැඩ වැඩි වුණත්, විභාග වලට පාඩම් කළත් හැමදාම මගේ safe place එක වුණේ මේ සඟරා එකතුව. නිදිමත හවස්වරු වල, එහෙම නැත්නම් කම්මැලි වැහි දවස්වල Readers Digest සඟරා මිටියක් උස්සන් ඇඳට ගිහින්, ඒවා කියවලා වෙනම ලෝකෙක අතරමං වෙන්න ඉඩ දෙන්න ඒවා මං වෙනුවෙන් ලෑස්ති පිට හිටියා.

දැන් මට අලුත්ම Readers Digest සඟරාවට පිවිසෙන්න ගත වෙන්නේ තත්පරයයි. දැන් e magazine එක තියෙන නිසා අන්තර්ජාලය හරහා සඟරාව දුරකථනයෙන්ම කියවන්න පුළුවන්. තාත්තා නම් තාම සඟරාව physically කියවනවා. කාලෙත් එක්ක සඟරාව ටිකක් පුංචි වෙලා, පින්තූර වල පාට වැඩිවෙලා, අන්තර්ගතය ටිකක් 'කාලීන' වෙලා. ඒත් පරණ පුරුදු අංග ටික නම් මේ දශක ගාණටම එහෙමම තියෙනවා. 

පෙනුම වෙනස් වූ අලුත් Readers Digest සඟරා


මගේ මේ Readers Digest ඇබ්බැහිය ගැන විස්තර කියලාම අපේ ගෙදර උදවියත් ඒ ගැන හොඳටම දන්නවා. මීට අවුරුදු කීපයකට කලින් දොස්තර කෙනෙක්ගේ waiting room එකේ සඟරා ගොඩේ Readers Digest පරණ සඟරාවක් තිබිලා පුතා මගේ ළඟට නිධානයක් වගේ උස්සගෙන ආවේ 'look amma, it's one of those magazines you used to read when you were little!" කියමින්.

මේ වෙද්දී Readers Digest සඟරාව රටවල් 70ක භාෂා 21කින් මුද්‍රණය වෙනවා. අදටත් ඒක එදා වගේම ලෝකය පුරා ජනප්‍රියයි.

කියවන්න දේවල් හිඟ කාලෙක ඒ හිඩැස පුරවලා විතරක් නෙමෙයි කියවන්න තියෙන ආසාව තව තවත් වැඩි කරලා දුන්නු Readers Digest සඟරාව ඇත්තටම මට පරණ යාලුවෙක් වගේ!

November 25, 2020

Agatha Christie ගේ පොත් කියවීම

මම මුලින්ම Agatha Christieගේ පොතක් කියවද්දී මට අවුරුදු නමයක් විතර ඇති. ඒ පොත් වල තියෙන මිනී මැරුම් කතන්දර ඒ වයසට නොගැලපෙනවා කියලා ඒ කාලේ කවුරුවත් මාව වැලක්වුවේ නැත්තේ හොඳ වෙලාවට! මම මුලින්ම Agatha Christieගේ පොතක් තෝරාගත්තේ ඇයි කියලා නම් මට මතක නැහැ, ඒත් ඒ පොත්වලට මම ඒ වයසේදීත් පුදුම විදිහට ඇබ්බැහි වුණා කියලා නම් හොඳට මතකයි. ඒ කාලේ අපි හිටියේ සේෂෙල්ස් වල. මගේ වාසනාවකට එහෙදි පුස්තකාලෙන් මම Agatha Christieගේ පොත් එක සැරේට හතර පහ අරන් යද්දීත් කවුරුවත් ඒ ගැන විමසිලිමත් උනේ නැහැ.

Agatha Christieගේ පොත් වල තියෙන්නේ පිටු 300 විතර. ඒත් ඒවායේ බොහොම සියුම්, ඒ වගේම හිත ඇදගන්න විදිහට මිනීමැරුම් වලදී ඒ අපරාධකාරයාව හොයාගන්න හැටි ලියවිලා තියෙනවා. කතාවට අත්‍යවශ්‍ය විස්තර මිසක් අදාළ නැති පරිසර වර්ණනා වගේ දේවල් ඒ පොත්වල නැහැ. Agatha Christieගේ ශෛල්‍යය තමයි කතාවේ තේමාවට අදාලව චරිත හතක් අටක් මුලදී අඳුන්නලා දෙන එක. ඉන්පස්සේ අන්තිම වෙනකම්ම කවුද මෙතැන අපරාධකාරයා කියලා කියවන්නාටත් නොතේරෙන්න අරගෙන ගිහින් අන්තිමේදී පුදුම කරවන එක. එහෙම පුදුමයක් දැනෙන්නේ අදාළ මිනීමැරුම විසඳන්න වුවමනා හැම ඉඟියක්ම මුල ඉඳන්ම අපට දීලා තිබුණු නිසා. පෙන්නලා තිබුණා- අපට පෙනුණේ නැහැ! 

වයසින් වැඩෙද්දීත් මගේ Agatha Christie පොත් ඇබ්බැහිය නම් අඩුවුණේම නැහැ. කාලයක් ගතවෙද්දී එහෙන් මෙහෙන් හොයාගෙන මම කොහොමහරි ඒ රහස් පරීක්ෂක පොත් හැත්තෑ ගණනම කියෙව්වා. ටික කලක් යද්දී ඒ පොත්වල මැද හරිය කියවද්දී මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න තරම් මම Agatha Christie expert කෙනෙකුත් වුනා! "මේවා කියවලා මේකි අපිව කොයිවෙලේ මරලා දායිද දන්නේ නැහැ!" කියලා යාලුවෝ විහිලු කරන තරමට මගේ ඒ ඇබ්බැහිය ප්‍රසිද්ධත් වුණා. ඒ හැම පොතක්ම එකිනෙකට වෙනස්, හරිම නැවුම්. එක සැරයක් කියවපු පොතක් ලේසියෙන් ආයෙත් නොකියවන මම Agatha Christieගේ පොත් නම් තුන් හතර සැරේ කියවලා තියෙනවා. 

ඒත් මේ විස්තරේ මගේ Agatha Christie ඇබ්බැහිය ගැන විතරක්ම නෙමෙයි. 1890දී ඉපදුනු Agatha Christie මියගිහිනුත් දැන් අවුරුදු 44ක් වෙලා. ඒ නිසා ඇගේ පොත් හැම එකක්ම වගේ ලියවිලා තියෙන්නේ 1920-1950 වගේ කාලේදී කියන්න පුළුවන්. ඒවායේ තියෙන්නේ ඒ යුගයට අයිති පසුබිම් විස්තර. ඒ කියන්නේ ග්‍රැමෆෝන් වලින් සින්දු අහන, සාලයේ තියෙන දුරකථනයට පණිවිඩ ලැබෙන, ලියුම් මඟින් වැදගත් විස්තර දැනුම් දෙන කාලේ දේවල්. ඒත් එහෙම මේවායේ පසුබිම යල් පැනලා කියලා මේ පොත් වල ප්‍රසිද්ධිය අඩුවෙලා තියෙනවද? කොහොමවත්ම නැහැ! මම මේ බව හරියටම දන්නේ මෙල්බර්න් නගරයේ මම රැකියාව කරන High School library එකේ වැඩියෙන්ම ජනප්‍රිය පොත් අතරට Agatha Christieගේ පොත් ඇතුළත් නිසා. අවුරුදු 13-18 වගේ වයසේ ළමයි තමන් ආසා දෙයක් නම් මිසක් හොයා හොයා කියවන්නේ නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Agatha Christieගේ පොත් hold කරලා ලැබෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න, මම ඉස්සර කළා වගේ එයින් පොත්ම හතර පහ එක සැරේ උස්සගෙන යන සිසුවියන් මම දවස ගානේ දකිනවා. මේ පොත් කොයිතරම් ජනප්‍රියද කියනවානම් පුස්තකාලයේ අපි නිතරම replace කරන, වැඩියෙන්ම පාවිච්චි කරන පොත් ලිස්ට් එකේ ඉහළින්ම මේ පොත් පෙළත් තියෙනවා. ඒ සමානව තියෙන්නේ Harry Potter, Divergent, Hunger Games වගේ පොත් කියන එකෙන්ම මේවායේ ජනප්‍රියතාවය හිතාගන්න පුළුවන්.

"Did you know that these were originally written about a hundred years ago?" තමන් අරගෙන ගිය Agatha Christieගේ පොත් පුස්තකාලයට ආපසු දෙන ගමන් ඒවා රස වින්ද හැටි ගැන විස්තර කරන සිසුවියන්ගෙන් මම ඉඳහිට අහනවා.
ඒකට උත්තර හැටියට මට නිතරම ලැබෙන්නේ බොහොම පුදුමවුණු මුණූ ටිකක්. ඒගොල්ලන්ට ඒක හිතාගන්නත් බැහැ.

අවුරුදු සීයක් ගතවුණත් මේ කතන්දර පරණ වෙන්නේ නැත්තේ ඒවායේ විස්තර කෙරෙන මිනිස් හැසිරීම් සදාකාලික නිසා කියලා මට හිතෙනවා. ශතවර්ෂයක් ගියත් රසවිඳින්න පුළුවන් විදිහට පොත් ලිවීමේ හැකියාව! Agatha Christie මගේ ප්‍රියතම කතුවරිය විතරක් නෙමෙයි බොහොම ගෞරව කරන වීරවරිය වෙන්නේත් ඒ දක්ෂකම නිසායි. 

පින්තූරය- මම රැකියාව කරන පුස්තකාලයේ Agatha Christie පොත් එකතුවෙන් කොටසක්





April 06, 2020

Bullying සහ විහිලු

අපි පුංචි කාලේ bullying කියලා වචනයක් පාවිච්චියේ තිබුණේ නැහැ. ඒ වෙනුවට කිව්වේ 'විහිලු කරනවා' කියලා. "මෙයාට ඉස්කෝලේ ළමයි එක එක නම් කියලා විහිලු කරලා නේ!" කියලයි වැඩිහිටියනුත් ඒ කාරණේ නොසලකා හැරියේ. ඒවා ගණන් ගත යුතු දේවල් බව, පිළියම් කළ යුතු දේවල් බව, ජීවිත කාලෙටම තුවාල ඉතුරු කරන දේවල් බව කිසිකෙනෙකුට අවබෝධයක් තිබුණේ නැහැ. විහිළුවක් කියන්නේ ඒකට අදාළ පාර්ශව දෙකම ඒකෙන් විනෝදයක් ලබන දෙයක් බව කවුරුවත් විග්‍රහ කළේ නැහැ. ඉතින් අපේ යුගයේ හැමෝම අඩු වැඩි වශයෙන් 'විහිලු' කරමින්, 'විහිලු' ලබමින් වැඩිහිටියෝ වුණා.

bullying කියන දේ කොයිතරම් විනාශකාරී ද කියලා දැන් සමාජයේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඉස්කෝලවල ඒ ගැන කතා කරනවා. ළමයි ඒ ගැන දැනුවත්, තමන්ට ප්‍රශනයක් උනාම සද්ද නැතිව නොඉඳ කතාකරනවා. වැඩිහිටියෝ ඒවාට පිළියම් හොයනවා. එහෙමයි කියලා bullying මේ ලෝකෙන් තුරන් වෙලා ද? නැහැ. ඉස්සරටත් වඩා අලුත් ක්‍රම වලින්, අපේ කාලේ නොතිබුණු cyber-bullying වගේ ක්‍රම වලින් අදටත් හැමතැනම ඒකේ විසකුරු අඬු පඬු පැතිරෙනවා. ඒ වගේම ළමයි අතරේ විතරක් නෙමෙයි වැඩිහිටියෝ අතරේත් එක එක විදිහේ bullying තියෙනවා. ළමයින්ට සාපේක්ෂව bullying situation එකකින් අයින්වෙන්න වැඩිහිටියන්ට හැකියාව වැඩි බව විතරයි වෙනස.

මේ හැම දේම මතක් වුණේ Julie Anne Peters ලියූ 'By the Time You Read this I'll be Dead' පොත කියවද්දී. ඒකෙ තියෙන්නේ bullying නිසා ජීවිතේ එපාවුණු දැරියකගේ කතාවක්. ජීවිත කාලයක් තිස්සේ ඇගේ හැඩරුව ගැන ඇහුණු විහිලු නිසා ඇයට ඇතිවුණු depression ගැනත්, ඇගේ දෙමව්පියන් ඈ එක එක විධි වලින් උදවු ඉල්ලුව බව නොතේරුණු අවාසනාවන්ත තත්ත්වයත් මේ කතාවෙන් කියවෙනවා. ළමයි අතරේ සූක්ෂමව, භයානක විදිහට කෙරෙන bullying ගැන මේ කතාවේ කියවෙන්නේ හිත කීරිගැස්වෙන විදිහට. අන්තිමේදී එකම එක ලෙන්ගතු කෙනෙක් නිසා මේ දැරියගේ ජීවිතේ නම් බේරෙනවා. ඒත් මේ ලෝකේ ඈ තරම් වාසනාවන්ත නැති කොයිතරම් අය ඇද්ද?

මේ පොත යොවුන් නවකතාවක්. සාමාන්‍යයෙන් මම කියවන වර්ගයේ පොත්වලින් වෙනස්. ඒත් මම රැකියාව කරන පාසැල් පුස්තකාලේ තිබිලා නිවාඩු දෙන්න කලින් මම මේ පොත ගෙදර අරගෙන ආවේ නිකමට වගේ. ගෙදරටම වෙලා ගතකරන මේ දවස් ටිකේ මම එක හුස්මට මේ පොත කියවල ඉවර කළේ ඒ කතාව බොහොම සාර්ථකව ගලපලා තියෙන නිසා. පොත කියවලා ඉවරවෙලා මේ සටහන ලියන්න පෙළඹුනේත් මේ මාතෘකාව ගැන තවදුරටත් හිතුන නිසායි.

මමත් පුංචි කාලේ bullying වලට ලක්වුණු කෙනෙක්. ඒත් ඒවා 'විහිලු' නෙමෙයි bullying කියලා තේරෙන්නේ දැන්. මම එක වසර පන්තියට ඇතුල් වුණේ සේෂෙල්ස් රටේ පාසැලකට. ඒ මගේ දෙමව්පියන්ගේ රැකියාවට අපි ඒ කාලේ ඒ රටේ පදිංචි වෙලා උන්නු නිසා. ඒ පන්තියේ හිටිය එකම විදේශික ළමයා මම. අනෙත් ළමයින්ට වඩා මගේ හැඩරුව වෙනස් වුණු එකට අමතරව මම ඒ පන්තියේ හිටිය ප්‍රමාණයෙන් පුංචිම ළමයාත් වුණා. මාස ගණනක් යනකම් මට අනෙත් ළමයින්ගෙන් එක එක උසුළු විසුළු තිබුණු බව මට හොඳටම මතකයි. ඉස්කෝලේ යද්දී එද්දී ළමයි කණ්ඩායම් පිටින් මගේ පස්සෙන් එමින් මට එක එක දේවල් කිව්වා. ඒ වෙද්දී මටඒ භාෂාව නොතේරුණු එක එක්තරා විදිහකට සහනයක් වුනත් ඒ කරන්නේ සමච්චල් බව පුංචි වයසේ හිටියත් මට තේරුණා. මම පන්තියට ආවේත්, ගියේත්, විවේක කාල ගතකළේත් අඬමින්.ඉස්කෝලේ නොගිහින් ඉන්න බොරු බඩේ අමාරු, අතේ පයේ අමාරු මට ඒ දවස්වල නිතර හැදුණා. මේවාට පිලියමක් තිබුණේ නැහැ. ටික කලක් ගිහින් මට ඒ රටේ භාෂාව පුළුවන් උනාමත්, හැමෝටම මාව දැකලා පුරුදු උනාමත් මේ කරදර අඩුවෙලා නැතිවෙලාම ගියා. ඒ අතින් මම වාසනාවන්තයි, මට ඒ අත්දැකීම ලැබුණේ බොහොම පොඩි කාලයයි. ඒත් ඒ කාලේ නම් දැනුණේ ඒක කල්පයක් වගේ. මේ වෙද්දී දශක කීපයක් ගෙවිලා තිබුණත්, අවුරුදු හයක කෙල්ලෙකුට ඒ ටික කාලේදී දැනුණු අසරණකම ගැඹුරු තුවාලයක කැළලක් වගේ මගේ හිතේ කොණක තාම තියෙනවා. ඒ නිසා ජීවිත කාලයක් ම bully වුණු කෙනෙකුට දැනෙන දේවල් මට ඇත්තටම හිතාගන්නවත් බැහැ.

අපි වටේ ඉන්න අය, අපේ ළමයි මේ විදිහට 'විහිලු' කරනවානම්, 'විහිලුවට' ලක්වෙනවානම් කරුණාකරලා වහාම ඊට මැදිහත්වෙන්න. 'ඕවා ගණන් ගන්න එපා' 'කොල්ලෝ ඔහොම තමයි' වගේ දියාරු උත්තර දීලා ඒවගේ හැසිරීම් සාධාරණීකරණය කරන්න එපා. මේ වගේ දේවල් හිතේ හංගගෙන නොඉඳ වැඩිහිටියෙකුට කියන්න දරුවන් ව උනන්දු කරන්න. තමන් එහෙම පැමිණිල්ලක් ලැබුණු වැඩිහිටියෙක් නම් කල් නොයවාඒ ගැන සුදුසු පියවරක් අරගන්න. කාලය ගතවෙද්දී එක එක විදිහෙන් වෙන්න පුළුවන් හානි වැඩියි.

ඒවගේම තමන් අනෙත් අයගේ පෙනුම, තරාතිරම, රැකියාව වගේ දේවල්වලට 'විහිලු' කරන වැඩිහිටියෙක් නම් තමන් ගැන තව සැරයක් හොඳට කල්පනා කරලා බලන්න.



September 22, 2018

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත 'පරිසරය නිවැරදිව දකිමු' පොත



'පරිසරය නිවැරදිව දකිමු' (කතෘ- දයාරත්න වීරසේකර) කෘතිය 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විද්‍යා සාහිත්‍ය කෘති ප්‍රවර්ගයේ අවසන් වටයට නිර්දේශ වීම නිමිත්තෙනි  

තාත්තා 'පරිසරය නිවැරදිව දකිමු' පොත පළ කළේ 2017 අග භාගයේදී ය. අඩ සියවසක් තරම් කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේත් සේෂෙල්ස්හිත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී කාර්යබහුල ව සිටි තාත්තාට මෙවැනි දේකට විවේකයක් ලැබුණේ මීට වසර දෙක තුනකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසුවයි. ඔහු මේ පොතේ අත්පිටපත ලියන්නට ගත්තේ එය මුද්‍රණය කිරීම පිළිබඳව පැහැදිලි සැලැස්මක් ඇතිව නොවේ. ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රයෝජනවත් දේකට කාලය යොමුකිරීමයි. පරිගණකයෙන් සිංහලෙන් ලියන්නට, රූප  සටහන්, වගු සහ ප්‍රස්තාර අඳින්නට අලුතෙන්ම ඉගෙනගත් ඔහු ඉතාමත් කැපවීමෙන්, මහන්සි වී මේ පොත නිම කළේ ය. පරිසරය පිලිබඳ තතු ඉතා සරලව, පැහැදිලිව, උදාහරණ ද ඇසුරෙන් ඉදිරිපත් කර ඇති නිසා මේ පොත ඉතා සිත්ගන්නාසුළු එකකි.

පිටරටක සිට ලංකාවේදී පොතක් මුද්‍රණය කිරීම දුෂ්කර ක්‍රියාවක් බව තාත්තාට දැනුණේ මේ පොත පළ කරන්නට ගිය විටයි. මුලදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දුන්නත් පසුව ගොඩගේ ප්‍රකාශයකයන් වෙත යොමු වූ පසු ඔවුන් ලබා දුන් ඉමහත් සහයෝගය නිසා ඒ කටයුත්ත සාර්ථකව ඉටුකරගන්නට හැකිවිය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සමරු පොතේ පිටුවක් 
2018 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ, විද්‍යා සාහිත්‍ය කෘති ප්‍රවර්ගයේ නිර්දේශිත කෘති හය අතරට තාත්තාගේ පොතත් නිර්දේශ වී ඇති බව අපට ආරංචි වූයේ සම්මාන උළෙල ද අවසන් වූ පසුවයි. ලංකාවේ වාසය නොකරන නිසා තාත්තාට මේ ආරංචිය කල් ඇතිව නොලැබෙන්නට ඇත. ජීවිතයේ හත් වන දශකයේදී තමන්ගේ පළමු පොත ලිවීම, එය පරිගණකගත කර, රූප සටහන් සහ දත්ත වගු ඇතුළත් කිරීම ආදී  සියල්ලම තමන් විසින්ම කරගැනීම, රටින් පිට සිටියදීත් වෙහෙසවී ලංකාවේදී එය මුද්‍රණය කරගැනීම ආදී සියලුම දිනුම් වලට ඉහළින් මේ ලැබුණු ඇගයීම තැබිය යුතුය. ඉතින් ආරංචිය පසුව ලැබුණත් කම් නැත. නිර්දේශ වීම ම ජයග්‍රහණයකි! සුබ පැතුම් තාත්තා... ඊළඟ පොත ඉක්මනට ලියමු! 

මේ සුබ ආරංචිය ගෙන ආ Rasikalogist ට ස්තුතිය.

(රාජ්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට තම පොත නිර්දේශ වූ බව තාත්තාගේ අධ්‍යාපන රසකතා බ්ලොගයේ, බ්ලොග් සටහනක් ලියන්නැයි තාත්තා ට මා යෝජනා කළ විට ඔහු ඊට උනන්දුවක් දැක්වූයේ නැත. එබැවින් ඔහු ලිවිය යුතු මේ සටහන මා ලියන්නේ මහත් ආඩම්බරයෙනි!) 

August 27, 2018

වැරදි-වැරදි කියන කතා


" ටීචර්..අතන ළමයි each other ට ගහනවා!"

එක වසරේ සිංහල පන්තියේ බට්ටෝ ටික පුස්තකාලෙට ඇවිත්. මේ, සෙනසුරාදාට තියෙන භාෂා පාසැලේ (Victorian School of Languages) පුස්තකාලේ. මම පොත් නිකුත් කරනකම් කට්ටියම පේළියක් හැදිලා ඉන්නවා. ඒ අතරේ පේළියේ අග හරියේ පුංචි රණ්ඩුවකුත් යනවා වගේ.

බාගෙට සිංහලෙන් පන්ති භාර ටීචර් ට කියපු මේ කේලම අහලා මටත් හිනා. මේක 'the kids are hitting each other' කියන වාක්‍යයේ direct translation එකක්. 'අතන ළමයි ගහගන්නවා!' කියන්න දන්නේ නැති නිසා ඒ වෙනුවට පාවිච්චි කළ යෙදුමක්. තව බාසාවක් එක්ක කලවමට සිංහල ඉගෙන ගනිද්දී මෙහෙම දේවල් කියවෙනවා. ඒ වෙන බාසාවකින් හිතලා ඒ හිතූ දේ සිංහලට පරිවර්තනය කරලා කියද්දී. ඒත් වචන ගැට ගහ ගහා මෙහෙම කතා කරන එක තමයි බාසාවක් ඉගෙන ගන්න හොඳම විදිහ. පුංචි ළමයි වරද්දන්න ලැජ්ජා නැති නිසා මේ විදිහට හරි ඉක්මනට භාෂා ඉගෙන ගන්නවා.

අපේ පුත්‍රයාත් පුංචි කාලේ මේ විදිහට ඉංග්‍රීසි සිංහල භාෂා දෙකම සමාන්තරව ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගනිද්දී වෙන අපූරුම දේ තමයි කොයි වචනේ කොයි භාෂාවේද කියලා මුලදී හරියටම දන්නේ නැති එක. උදාහරණයක් හැටියට පුතා දන්නවා broken කියන වචනයට 'කැඩිලා' කියන්නත් පුළුවන් කියලා. හැබැයි සිංහලෙන් කතාකරනවානම් කියන්න ඕන කෝකද කියලා මුලදී දන්නේ නැහැ. එයාට වචන දෙකමත්, භාෂා දෙකමත් එකයි. මේකට එයා කළේ ඒ වේලාවට දන්නා වචන දෙකම කිව්ව එක. ඒ කාලේ නිතරම 'අම්මා මේක broken-කැඩිලා!" , 'Its raining-වහිනවා !' වගේ දේවල් කිව්වා. ටිකක් ලොකු වෙද්දී ඒ පුරුද්ද අත් ඇරුනා. දැන් නම් ඒවා මතක් කරනකොටත් ලැජ්ජයි. ඒත් පුතාට දැනටත් සාමාන්‍ය ප්‍රමාණෙකට සිංහල කතාකරන්න, ලියන්න, කියවන්න පුළුවන්. තේරුම් ගන්න නම් හොඳටම පුළුවන්. පුතා ට සිංහල කියලා දෙද්දී, එයා එක්ක සිංහල කතාකරද්දී මටත් සිංහල ගැන අලුතින් හිතන්න වෙනවා. ඒකට හේතුව නොදන්නා කෙනෙක් දෙයක් ඉගෙන ගනිද්දී එයා ඉගෙනගන්නේ විශ්ලේෂණය කරමින්. අපි ඉගෙනගත්තේ විශ්ලේෂණය නොකර භාවිතයෙන්නේ. පුතා දවසක් අහනවා 'If දත් මදිනවා is brushing teeth how come රෙදි මදිනවා means ironing clothes ?' කියලා. මටත් ඒකට දෙන්න තාර්කික උත්තරයක් මතක් වුණේ නැහැ! හැම භාෂාවේම ඔය වගේ පොඩි පොඩි අසමපාත තැන් තියෙනවා කියලා විතරයි මට කියන්න පුළුවන් උනේ.

මේ වගේම භාවිතයෙන් ඉගෙන නොගෙන සමහර දේවල් වල එක තේරුමක් විතරක් දන්නා එකත් වෙලාවකට හිනාවට හේතු වෙනවා. ළඟදී මෙහේ තිබුණු 'බයිලා නයිට්' එකකට යන්න ටිකට් ගන්න අපි කතා වෙද්දී පුතා ඒ කතාවට හොඳට කන් දීගෙන හිටියා. අහගෙන ඉඳලා අන්තිමේදී අහනවා 'why do you want to go to a show where people are saying silly things?' මටත් පුතාගේ ප්‍රශ්නේ අගමුල තේරුණේ නැහැ මුලදී. පස්සේ තමයි තේරුණේ අපි එදිනෙදා කතා බහේදී 'බයිලා කියනවා' කියන්නේ අනම් මනම් කියනවා කියන යෙදුමෙන් කියලා. බලනකොට පුතා දැනගෙන ඉඳලා තියෙන්නේ ඒ 'බයිලා' විතරයි!

මමත් පුංචි කාලේ සේෂෙල්ස් රටේ ඉස්කෝලේ යද්දී එහෙ පාවිච්චි වුණු ක්‍රියෝල් භාෂාව ඉගෙනගත්තේත් තනිකරම trial and error වලින්. රටට ගිය අලුතම සති අන්තයේදී කළ දේවල් ගැන වාක්‍ය කීපයක් ලියලා චිත්‍රයක් අඳින්න පැවරුමක් ලැබුණා. එතකොට මම එකේ පන්තියේ. ඒ වෙද්දී මම දැනගෙන හිටියේ බොහොම සීමිත ක්‍රියෝල් වචන කීපයක් විතරයි. ඒ සති අන්තෙදී අපි මුහුදේ නාන්න ගිහින් තිබුණු නිසා මම ඒක චිත්‍රයක් ඇන්දා. ඒත් ඒ ගැන ලියන්න වචන කෝ! ළමයි කතා කරද්දී මම එහෙන් මෙහෙන් අහුලාගෙන තිබුණු වචන අතරේ තිබ්බා bathem කියලා වචනයක්. මොකක් හරි හේතුවකට මම හිතුවා ඉංග්‍රීසියෙන් sea bath කියන්න පුළුවන් නම් ක්‍රියෝල් වලින් කියන්නේ bathem කියලා වෙන්න ඇති කියලා. දන්නා ක්‍රියෝල් වචන දෙකතුනකුත් දාලා bathem වචනෙත් මැදට දාලා මම බොහොම ආඩම්බරයෙන් ගිහින් ටීචර්ට පොත පෙන්නුවා. චිත්‍රයයි, මම ලිව්ව දේයි සසඳලා ටීචර් නළල රැළි කරනවා මට හොඳට මතකයි. මම ලිව්ව වාක්‍යයට පහළින් ටීචර් ක්‍රියෝල් වලින් තවත් වාක්‍යයක් ලියලා මගේ වාක්‍යයේත් අඩුපාඩු දෙක තුනක් හදලා ලොකු හරියකුත් දාලා මට පොත ආපහු දුන්නා. bathem කියලා ක්‍රියෝල් වලින් කියන්නේ baptism කියන වචනේට බව මම ඉගෙනගත්තේ ඊට සෑහෙන කාලෙකට පස්සේ. එදා ටීචර් මගේ වාක්‍යයේ අඩුපාඩු හදලා කෑල්ලක් එකතු කරලා චිත්‍රයට ගැලපෙන්න හදලා තිබුණු ක්‍රියෝල් වාක්‍යයේ තේරුම I went to a Baptism first then I bathed in the sea'. මම වචනේ හරි තේරුම නොදැන ලිව්ව බව සමහරවිට ටීචර් ට නොතේරෙන්න ඇති. සමහරවිට තේරිලා මගේ හිත නොරිදෙන්න පුංචි වෙනස්කමක් කරන්න ඇති.

සිංහල පොත් ගන්න භාෂා පුස්තකාලෙට එන එකේ පන්තියේ පොඩ්ඩෝ ටික වැරදි වැරදි සිංහල කතාකරනවා දැක්කාම මට මේවගේ අතීත කතා මතක් වෙනවා. අපි සුළුවෙන් හිතුවාට අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්න එක කොයිතරම් ලොකු අභියෝගයක් ද කියලාත් ඒ එක්කම හිතෙනවා. වරද්දන්න බය නැති පුංචි කාලේ තමයි ඒකට හොඳම කාලේ!



photo- Pixabay


April 09, 2018

මතක කැබලිති

“වැඩියම හිතට කාවැදුණු පුංචි කාලේ මතක මොනවාද?” මෙය මෑතකදී පැවැත්වුණු එක්තරා ලේඛන වැඩමුළුවකට සහභාගී වූවන්ගෙන් අසන  ලද ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයේ අරමුණ වූයේ තම තමන්ගේ හිත පතුලත අතගා සොයාගන්නා මෙවැනි මතක වැඩිහිටියන්ගේ ලෝකයට සාපේක්ෂව ඉතා කුඩා, නොවැදගත් එහෙත් ඉතාම අපූරු ඒවා බව ඔප්පු කිරීමයි.

මෙවැනි මතක කැබලිති සොයමින් මමත් මගේ අතීත මාවත්වල සරද්දී ඉතා පැහැදිලිව සනිටුහන් වූ මතක පෙළක් ළඟ නිතැතින්ම සිත නතර විය. දශක තුනකටත් එපිටින් මෙසේ මගේ සිතට පළමුවෙන්ම ආවේ යහපත් එඬේරාගේ පල්ලියේ සිස්ටර් ඇන්ජලික්ගේ ආගම පාඩමයි. සිස්ටර් ඇන්ජලික් ගේ තියුණු නිල් දෑස මෙලෙස මා සිතට කා වැදුණු පළමු මතකයන්ගෙන් එකකි. ඊට හේතුව මා ඊට පෙර නිල් දෑස් ඇත්තන් දැක නොතිබීම විය හැක. එකල සතියකට වරක් ආගම පාඩමට පාසැල අසල තිබුණු පල්ලියට ප්රා ථමික පන්ති රැගෙන යාම මගේ පාසැලේ සිරිත විය. ඒ සේෂෙල්ස් රටේ වික්ටෝරියා නගරයට කිට්ටුව තිබුණු මෝන් ෆ්ලේරි පාසැලයි. (Mont Fleuri ප්‍රංශ බසින් flowery mountain යන තේරුම සහිතය.) අසූව දශකයේ මුල භාගයයි. මගේ පළමු වසර පංතියයි.

'second child in the second pew..Lydia!!...come forward and lead us in prayer!' 

පල්ලිය පුරා නින්නාද වන සිස්ටර් ඇන්ජලික්ගේ ඒ උස් හඬින් වඩාත්ම තිගැස්සෙන්නේ පෙළට ලී බංකු මත අසුන්ගෙන උන් ළමුන් අතරින් පාඩමට සවන් නොදෙමින්, දවල් හීන බලමින් උන් ළමුන් ය. ඉනික්බිති පල්ලියම මීයට පිම්බා සේ නිශ්ශබ්ද ය. ඉතින් ඒ අණ දේව අණට සමාන බැවින් පිටුපෑමක් නැත. ඈ තෝරාගත්තේ ඔබ ව නම් ඔබ වහා වහා පල්ලිය ඉදිරිපසට ගොස් යාඥාවක් ඇරඹිය යුතු ය.

මෝන් ෆ්ලේරි විදුහල, වික්ටෝරියා, සේෂෙල්ස්  

වයස අවුරුදු හයේදී දෙමව්පියන්ගේ රැකියා නිසා සේෂෙල්ස් රටේ තාවකාලික පදිංචියට යනතෙක් මා පන්සලට මිස  පල්ලියකට ගොස් තිබුණේ නැත. ලංකාවේ අප නිවස ඉදිරිපසම තිබුණු පන්සලේ ශබ්ද වාහිනියෙන් නිරතුරුව නිකුත් වූ ගාථා සහ පිරිත් ඇසී බහ තෝරන වියේදී සිට මට ඒවා කටපාඩම්ව පැවති බව අම්මලා කියනු මා අසා ඇත. ඉතින් ඒ නිසා සේෂෙල්ස් ගිය පසු සතියකට  වරක් පාසැලෙන් සිදු වූ මේ පල්ලි ගමන මට අරුම අත්දැකීමක් විය. පල්ලියේ උස් වහලත්, පාට වීදුරු කවුළු ත්, ලී බංකු ත්, ඉටිපන්දම් සහ මල් සැරසිලිත්, තාලයට ගැයුණු ගීතිකාත් මා  අමුතුම ලෝකයකට රැගෙන යන ලදී. මේ සියල්ලටම වඩා අපගේ පාඩම මෙහෙයවූ සිස්ටර් ඇන්ජලික්ගේ නිල් දෑස මා මෝහනයට පත් කළා වැනි විය. ඈ අපට පල්ලියේදී ඉගැන්වූ පාඩම් මේ වෙද්දී මට මතක නැති වූවත් ඈ දැඩි නීතිකාරියක් බව නම් මට හොඳහැටි මතක ය. 

සතියෙන් සතිය සිදුවන මේ යාඥා ක්‍රියාවලිය නරඹමින් උන් මට මගේ වාරය නොබෝ දිනකින් නොවැරදීම එළඹෙන බව වැටහෙන්නට වැඩි කල් ගත නොවිණි. මා කතෝලික නොවන නිසා යාඥා නොදන්නා වග කිව හැකිව තිබුණු බවක් හය හැවිරිදි මා එකල දැන සිටියේ නැත. යාඥා තබා ඒ වෙද්දී ඒ පාඩම් ඉගැන්වූ බසවත් මට හරිහැටි වැටහුණේ නැත! පන්තියේ අන් ළමුන්ට වඩා හැඩ රුවින් වෙනස් වූ මගෙන් ඒ වග විමසන්නට සිස්ටර් ඇන්ජලික්ට ද මතක් වූයේ නැත. මේ නිසා හැකි ඉක්මණින් අන් අය කී දේ අනුකරණය කරමින් තනිවම යාඥාවක් පුරුදු වූ මා, මගේ නම අඬගැසූ විට පල්ලිය ඉදිරියට ගොස් කොපි කරගත් තාලයකට එය කී අයුරු මට පැහැදිලිව මතක ය. අතරමැද දී වචන පැටලී හඬ බාල වෙද්දී සිස්ටර් ඇන්ජලික් සිනාමුසු මුහුණින් මා දෙස බලා උන් හැටිත්, ඉන් මා දිරිමත් වී යාඥාව සම්පූර්ණ කරගත් හැටිත් මට මතක ය. එදා ඇගේ නිල් දෑස කරුණාවෙන් දිලිසෙමින් තිබිණි. සේෂෙල්ස් හි උන් මුළු කාලයේදීම මා මෙලෙස පල්ලි ගිය අතර ආගමික කරුණු කෙසේ වෙතත් ගීතිකා නම් බොහොමයක් කටපාඩම් විය. මේ මතක කෙතරම් ප්‍රබලදැයි වැටහෙන්නේ වර්තමානයේ මා කතෝලික පාසලක රැකියාව කරද්දී ඉඳහිට සිදුවන පල්ලි ගමනේදී ගැයෙන ගීතිකා මා අතින් ඉබේ මිමිණෙන අයුරු දැනීමෙනි.

මෝන් ෆ්ලේරි පාසැලේ මගේ මිතුරු මිතුරියන් විවිධ පැහැයන්ගෙන් යුතු විය. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් නීග්‍රෝ  සම්භවයක් තිබුණු අය වූ අතර ‘සුදු පැහැ’ අය ද, ඉන්දියානු හා චීන සම්භවය ඇති  අය ද අතරින් පතර විය. මගේ පන්තියේ අනෙත් සිසු සිසුවියෝ  මට වඩා වසරක් වයසින් ද  දෙගුණයක් තරම් ඇඟ පතින් ද වැඩි වූවන් වූහ. භාෂා පරතරය යාකරගැනීමට අපට මාස දෙකතුනක් ගතවූයේ මා ඒ වෙද්දී දැන සිටියේ සිංහල පමණක් වීමත්, ඔවුන් දැන සිටියේ ක්‍රියෝල් බාසාව පමණක් වීමත් නිසා ය. යමෙක් වතුරකට අතහරින ලද විට අත පය ගසා නොගිලී ගොඩට එන්නට තැත් දරන සේ වෙන කළ හැක්කක් නොමැති නිසා මා ඉතා සීග්‍රයෙන් ක්‍රියෝල් බාසාව ඉගෙන ගත් බව මට මතක ය . එහෙත් ඒ පළමු මාස කිහිපය ඉතා දුෂ්කර විය. ගුරුවරිය කියූ කිසිදෙයක් මට වැටහුණේ නැත. ගණිතය හැර පන්තියේ ඉගැන්වූ කිසිම විෂයක් මට නොතේරිණි. ගණිත ගැටළු යන්තම් විසඳන්නට හැකි වූවත් ඉලක්කම් වලට ක්රිියෝල් බසින් කියන නම් මා දැන සිටියේ නැත. විවේක කාලයේදී සෙල්ලම් වලට හවුල් වන්නට වුවමනා වූවත් මා ඒ අලුත් සෙල්ලම් වල නීති රීති දැනගෙන උන්නේ නැත. ඒවා පැහැදිලි කළත් මට නොතේරිණි. මේ නිසා කඳුළු බොඳ වූ දෑසින් පන්තියේ දොරකඩ හිඳගෙන අන් ළමුන් සෙල්ලම් කරන අයුරු බලා උන් දුක්මුසු මතකයක් ද සිතට කාවැදුණු මේ මතක ගොන්නේ ඇත. මේ කිසිම ගැටලුවකට ගෙදරින් පිළියම් සොයා ගන්නට නොහැකි වූයේ ගෙදර අයත් මා මෙන්ම ක්‍රියෝල් නොදැන සිටි නිසා ය. අක්කලාටත්, ගුරුවරුන් වූ අම්මාටත් තාත්තාටත් භාෂා ගැටලුව උග්‍ර නොවූයේ උසස් පන්තිවල ඉගැන්නුම්  මාධ්‍යය ඉංග්‍රීසි වූ නිසා ය. මේ සියල්ල නිසා ඒ කාලයේ පාසැල් නොගොස් සිටින්නට මට නිතර බඩේ කැක්කුම් වැළඳෙන්නට විය. උදෑසනට හිටිහැටියේම දෑතේ දෙපයේ ආබාධ මතුවන්නට විය. එහෙත් කෙතරම් උත්සාහ කළත් ඒවා නිතර පාසැල් යාම මඟ හරින්නට යෙදිය හැකි උපක්‍රම නොවිණි.

මෝන් ෆ්ලේරි පාසැලේ හතර වසර පන්තියේ මිතුරු කැළ සහ ගුරුතුමිය 


කෙසේ හෝ කල් ගතවෙද්දී මගේ ක්‍රියෝල් දැනුමත් ඒ හා සමඟම මිතුරු සමාගමත් වැඩි දියුණු විය. වචන ගැටගසමින් ලියන්නට, කියවන්නට, කතාකරන්නට මට මඟ පෙන්වූ ඒ පළමු වසර පන්තියේ ගුරුවරියගේ හැඩ රුව ද මට පැහැදිලිව මතක ය.  මගේ ඒ සීග්‍ර දියුණුව ඇගේ මහන්සියේ සෘජු ප්‍රතිපලයකි. ක්‍රියෝල් කතාකරන්නට හැකිවීමත් සමඟම පන්තිය තුළ මගේ ජනප්‍රිය බව සීරුවෙන් වැඩි වූ අතර මගේ පන්තියේ සගයන්ට මා ‘අර පිටරට ළමයා’ විය. එකල වයසටත් වඩා ඉතා කුඩා සිරුරින් යුතු වූ මාව ඔවුන් එක්තරා ආකාරයකට හදා වඩා ගන්නට විය. විවේක කාලවලදී ළමුන් දෙදෙනෙකු දෑත් එක්කර සාදාගත් ‘පුටුවක’ මා තබාගෙන පාසැලේ තැන තැන රැගෙන දිව ගිය හැටි මට මතකය. එය මට කිසිම මහන්සියක් වීමට අනවශ්‍යය වූ ඉතාම විනෝදජනක ක්‍රීඩාවක් විය! වැඩි කල් ගතවන්නට මත්තෙන් ‘චර බර’ ගා ක්‍රියෝල් කතා කළ මා පෙනුමෙන් ද එන්න එන්නම නීග්‍රෝ කෙල්ලෙකුගේ හැඩ හුරුකම ගත් බවට අක්කලා නිතර විහිලු කළ හ. එහෙත් මගේ මේ විශේෂ දස්කම ප්‍රයෝජනවත් වන අවස්ථා ද තිබිණි. අප නිවසේ අලුත්වැඩියාවන් සඳහා ඉංග්‍රීසි දැනුම දුර්වල කම්කරුවන් ආ විට කළ යුතු දේ පැහැදිලි කරන්නට භාෂා පරිවර්තක ලෙස ගෙදර අයට මා නැතිවම බැරි විය! 

මා හතර වසරේදී ගණන් හැදූ ගණිතය අභ්‍යාස පොතක් 

අප නිවස ඉදිරිපස තිබුණු සුවිශාල පිණි ජම්බු ගස සේෂෙල්ස් හි ගත කළ මගේ ළමා කාලයේ තවත් වැදගත්ම මතකයකි. මට මතක හැටියට මා ගෙදර ගතකළ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කළේ මෙහි අතුපතරේ ය. එක අත්තක සදාකාලික ඔන්චිල්ලාවක් ද ජම්බු වාරයට ගස පිරෙන්නට ගෙඩි ද තිබුණු නිසා මේ පිණි ජම්බු ගස අසල්වාසී ළමා රංචුවගේ ද ප්‍රියතම තිප්පලක් විය. මල් වාරයට පළාතක් වැසෙන්නට සුදු පැහැති මල් රේණු ද, ගෙඩි වාරයට අපට ලංවිය නොහැකි තරමේ ඉහල අතුවලින් ඉදී වැටෙන ගෙඩි ද නිසා නිරතුරුව මිදුල හැඩි වුණත් පිණි ජම්බු ගස අපගේ ප්‍රධාන සෙල්ලම් මධ්‍යස්ථානය විය. මාත් මගේ අසල්වැසි මිතුරු මිතුරියනුත් මෙහි අතු අතරේ හිඳ සැලසුම් කළ මුහුදු කොල්ලකෑම් ගණන, රටවල් ආක්‍රමණය කිරීම් ගණන, අභ්‍යවකාශ චාරිකා ගණන නිමක් නැත. ගසේ දෙබලක ලෑල්ලක් අටවා එහි ප්ලාස්ටික් සෙල්ලම් කෝප්ප, පීරිසි තබා treetop-සෙල්ලම් ගෙයක් ද එහි සකසා තිබුණි. මීට නම් වැඩි ආයුකාලයක් නොතිබුණේ ගස උඩට සෙල්ලමකට හවුල් කරගැනීමට රැගෙන ගිය සුරතල් බළලෙක් අයිතිකරුවද සූරා, සෙල්ලම් බඩු ලෑල්ල මතට පැන එය බිම වට්ටවා පැන ගිය නිසා ය. පළමුවෙන් ප්ලාස්ටික් සෙල්ලම් බඩු ද, ඒ මතට ලෑල්ල ද වැටුණු නිසා ඒවායේ අවසානය ඛේදජනක විය. මේ පිළිබඳව හඬා දොඩා වැඩිහිටියන්ට පැමිණිලි කිරීමෙන් බැනුමකට වැඩි ප්‍රතිපලයක් නොලැබෙන බවට දැනුණු ‘ළමා ඉව’ නිසා ඒ කෝප්ප පීරිසි කට්ටලයේ හදිසි අතුරුදන් වීම රහසක් ලෙසින්ම සුරැකිණි. සේෂෙල්ස් හි පදිංචිය අතහැර ලංකාවට ගොස් බොහෝ කලකට පසු යළිත් වරක් නිවාඩුවකට එහි යන්නට ඉඩ ලද විටෙක මගේ ‘නැවත දැක බලා ගත යුතු ලැයිස්තුවේ’ මුල හරියේම මේ පිණි ජම්බු ගස තිබිණි. ඒ වෙද්දීත් අප උන් නිවසේ අලුත් අයිතිකරුවන් ඊට කිසිම හානියක් නොකර තිබුණා පමණක් නොව මා නැවත එහි යද්දීත් පෙර කලකදී මෙන් එහි අතුපතර කුඩා උන් රංචුවක්ම කෑ කෝ ගසමින් හිඳිනු දක්නට හැකි විය. 

‘මතකය වෙරළත ඇවිදින කුඩා දරුවෙකි. ඔහු අහුලා සුරැකිව තබාගන්නේ මොනවාදැයි කිසිවෙකුට කල්තබා දැනගන්නට නොහැක”- පියර්ස් හැරිස් ගේ මේ කියමන කෙතරම් සත්‍ය දැයි සිතෙන්නේ හිත පතුලේ සුරැකිව ඇති මෙවැනි මතක කැබලිති බොහෝ කලකට පසු යළිත් අතට ගත් විට තවමත් දිදුලන ඒවායේ දිස්නය දකිද්දී ය.




September 21, 2017

පොත්, පුස්තකාල සහ මම


ඉස්සර හැම සෙනසුරාදාම අක්කලාත් මාත් පුස්තකාලේ යනවා. අම්මයි තාත්තයි සතියට ගෙදරට වුවමනා දේවල් ගන්න යන්නේ අපිව එතැන තියලා. ඉතින් අපි පැයක් හමාරක් එතැන ගත කරනවා. ඒ සේෂෙල්ස් වල වික්ටෝරියා නගරේ ප්‍රධාන පුස්තකාලය. නගරයේ කෙළවරකට වෙන්න තිබුණු වහල උස, තට්ටු දෙකේ පරණ ගොඩනැගිල්ලක්. ඒකෙ පොත් නම් සෑහෙන්න තිබුණා. ඒත් පුංචි පරහකට තිබුණේ ළමා පොත් වැඩිපුර නොතිබුණු එක. ඒ වෙද්දී මට අවුරුදු හයක් හතක් විතර. ඒ පුස්තකාලේ තිබුණු ළමා පොත් එකතුව ඉවර කරන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සෙනසුරාදා ගේන පොත් ටික ඉරිදා වෙද්දී කියවලා ඉවරයි. ඉතින් ඊළඟ සෙනසුරාදා වෙනකම් මොනවාද කියවන්නේ!! කියවන්න පොත් නැතිව සතියක් ගත කරන්න අමාරු වෙන තරමේ පොත් ගුල්ලියක් වෙලා තිබුණා මම ඒ වෙද්දීත්. ඒනිසාම වෙන්න ඇති මගේ පොත් ටික ඉරිදා වෙද්දී ඉවර කරලා එතැන ඉඳන් පොඩි අක්කා ගෙනාව පොත් ටික කියවන්න පටන් ගත්තේ. පොඩි අක්කා මට වඩා අවුරුදු පහක් වැඩිමල්. ඒ නිසා අපි දෙන්නාගේ කියවීමේ මට්ටම් පැහැදිලිවම දෙකක්. එයා ඒ කාලේ Famous Five, Secret Seven කියවන කාලේ. මම මුලින්ම Secret Seven පොතක් කියවද්දී මට අවුරුදු හතයි. එදා පොතෙන් බාගෙට බාගයක් තේරුණේ නැහැ කියලා නම් පැහැදිලිවම මතකයි. ඒත් එහෙමයි කියලා මම අක්කාගේ පොත් කියවන එක අත ඇරියේ නැහැ. කාලයක් යද්දී නොතේරෙන ප්‍රමාණය අඩු වුණා. කියවන්න ආසාව වැඩි වුණා. පොඩි අක්කා කියව කියවා හිටිය පොතම මමත් කියවන්න අරන් ගෝරි ඇතිවුණේ නැත්තෙත් නැහැ. ඒත් මේ විදිහට මම පොඩි කාලයක් ඇතුලත බොහොම තදින් කියවීමට ඇබ්බැහි වුණා.
ආපස්සට බලද්දී මම ඒ කාලේ හරි වේගෙන් කියවීම් මට්ටම් කීපයක්ම පහු කරලා කියලා හිතෙනවා. ටික කලක් යද්දී මම රහස් පරීක්ෂක කතා කියවන්න ඇබ්බැහි වුණේ Nancy Drew, Hardy Boys පොත් කියවලා වෙන්න ඇති. Erle Stanley Gardnerගේ Perry Mason පොත්, Agatha Christieගේ පොත් කියවන මට්ටමට මම ආවේ අවුරුදු දහයක් වෙන්න කළින් නේද කියලා තේරෙන්නේ මට අවුරුදු දහයේදී අපි පදිංචියට ලංකාවට ආව නිසායි, ලංකාවේදී මට ඒ විදිහට පොත් කියවන්න පහසුකමක් තිබුණේ නැති නිසායි. වික්ටෝරියා පුස්තකාලෙන් ඒ පොත් ගනිද්දී ගැටළුවක් නොවුණේ අපි තුන්දෙනාගෙම පොත් එකට ගත්තු නිසා වෙන්න ඇති. නැත්නම් අවුරුදු අටක නමයක ළමයෙකුට ඒවගේ පොත් පුස්තකාලෙකින් ගන්න ලැබෙන එකක් නැති බව නම් මට විස්වාසයි, ඒ කාලේ වුණත්!
ලංකාවට ආවාට පස්සේ මගේ කියවීම එහෙමම අඩාල වුණා. අපේ ගෙවල් කිට්ටුව තිබුණු පුස්තකාලේ පොත් තිබුණේ ඉබි යතුරු දාලා. මං වගේ දොඩම් ගෙඩි දෙකක් උස නැති කෙල්ලෙක් ගිහින් ඒවා කියවන්න ඉල්ලන එක අමුතු දෙයක් වුණා. ඒත් මම මගේ උත්සාහය අත් ඇරියේ නැහැ. දවස් දෙකතුනකට සැරයක් ඇවිත් පොත් ඉල්ලන මගේ කරදරෙන් බේරෙන්න බැරි තැන ඉංග්‍රීසි නවකතා තිබුණු අල්මාරියේ දොර මං වෙනුවෙන් ඇරුනා. ඒ පොත් ඔක්කොම කොළ පාට හම් බැම්මෙන් බැඳලා තිබුණේ. පොතේ නම බලන්න අතට අරගෙන පෙරළලා බලන්නම වුණා. එතැන තිබුණු සමහර පොත් සෑහෙන්න පරණයි. ඒවා වැඩි හරියක්ම මට ඇල්ලුවේ නැහැ. ඒත් කියවන්න වටිනා පොත් නොතිබුණාමත් නෙමෙයි. මදි පාඩුවට මම ගෙදර මිටි ගණන් තිබුණු තාත්තාගේ පරණ Readers Digest පොත් ආයෙත් ආයෙත් කියෙව්වා. මේ කාලේ වෙද්දී අපේ ගෙවල් වලට තරමක් එහා, ප්‍රජා සංවිධානයකින් පෞද්ගලික පුස්තකාලයක් පටන්ගත්තා. සාමාජිකයින්ට එක සැරයකට පොත් දෙකයි, ඒ පොත් දෙක ගනිද්ද්දී රුපියල් දෙකක් ගෙවන්න ඕන. මෙතැනට බස් එකේත් ටිකක් දුර යන්නත් ඕන, තනියම ඒ වගේ ගමන් යන්න ගෙදරින් අවසර ලැබෙන්නෙත් නැහැ. මේවගේ බාධක තිබුණත්, පොත් කියවන්න තිබුණු උනන්දුව නිසාම ඒවා විසඳාගන්න පුළුවන් වුණා. අහල පහළ අක්කලා කවුරුහරි එක්ක ඒ පුස්තකාලෙට යන්න මට අවසර ලැබුණා. පිටරටවලින් ප්‍රදාන ලැබුණු පොත් මහා තොගයක් ඒ පුස්තකාලේ තිබුණා. බොහොම වේගයෙන් කියවන්න තිබුණු හැකියාව නිසා මට සතියකින් පොත් දෙකක් ඉවරකරන්න පුළුවන් වුණා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග නිසා පහු කාලෙක විවේකයක් නැති වෙනකම්ම මම ඒ පුස්තකාලෙන් පොත් කියෙව්වා.
ඊළඟට මගේ පොත් ඉල්ලම වුණේ ජ'පුර සරසවියේ පුස්තකාලය. බෝඩිම් ජීවිතය නිසා ඉක්මනට ගෙදර යන්න හදිසියක් නොතිබුණු කාලයක් ඒක. සරසවියේ වැඩ ත් දාහකුත් එකක් අමතර රාජකාරිත් අතරතුරේදී වුනත් දේශන පටන්ගන්නකම්. දේශන අතර කාලවල, හවස දේශන ඉවරවෙලා හය හත වෙනකම් පොත් කියවන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුණා. එතැන සිංහල පොත් එකතුවත් ඉංග්‍රීසි පොත් එකතුවත් දෙකටම මම එක විදිහට රස වැටුණා. කියවීම් ශාලාවේ කෙළවරක මේසයක් අල්ලාගෙන, ෆෑන් වල ගහලා තිබුණු අංක බලලා හරියටම ඉහට ඉහළින් තිබුණු ෆෑන් එකත් දාගෙන පොත් මිටියක් ළඟ තියාගෙන එක හුස්මට කියවගෙන යන්න කාගෙන්වත් බාධාවක් තිබුණේ නැහැ. මගේ තනියට ඒ වගේම පොත් පිස්සුව තියෙන යාලුවොත් හිටියා. සමහර දාට පොත් කියවලා හෙම්බත් වෙලා අපි එහෙමම මේසෙට ඔලුව තියාගෙන නිදාගත්තා. මේ පොත් කියවිල්ලට තිබුණු එකම බාධාව කාලෙන් කාලෙට පැවරුම්, පරීක්ෂණ තිබුණු එක. පාඩම් වැඩ තිබුණු දාට විතරක් පුස්තකාලේ යටම තට්ටුවේ reference hall එකට යන්නත් අනිත් හැමදාම පොත් කියවීමේ ඇබ්බැහියට නතු වෙලා ඉහළ තට්ටුවල සැරිසරන්නත් අපි පුරුදු වුණා. පැවරුම් වලට කරුණු හොයන්නත් අමතර කියවීම් වලටත් British Council Library එකේ සාමාජිකත්වය ගන්න අපිට ඒ කාලේ වුවමනා වෙලා තිබුණා. ඒත් ගෙදරින් මාසෙට වියදමට දෙන සල්ලි වලින් ඒ වගේ ලොකු වියදමක් දරන්න බැරි වුණා. ඒ නිසා අපි දෙතුන්දෙනෙක් එකතුවෙලා එක සාමාජිකත්වයක් අරගත්තා. විජේරාමේ ඉඳන් 112 බස් එකේ කොල්ලුපිටියට ගිහින් පොත් තෝරාගෙන ආයෙත් එන්න දවසෙන් බාගයක් ගතවුනත් කිසිම දවසක ඒක කරදරයක් හැටියට අපි සැලකුවේ නැහැ. සමහරවිට විෂය කරුණු පොත් එකක් ගනිද්දී නවකතා දෙකක් අරගෙන ඇවිත් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා නවකතා කියවන්න පුළුවන් නිසා වෙන්න ඇති.
ලංකාවේ මම මුලින්ම රස්සාවකට ගිය තැනත් පුංචි පුස්තකාලයක් තිබුණා. හැබැයි ඒක තිබුණේ එතැන මෙඩිකල් සෙන්ටර් එකේ-පොත් නිකුත් කළේ නර්ස්! ඉරුවාරදයකට සහනයක් හොයාගෙන එතැනට ගිය දවසක ඒ පොත් අල්මාරිය දැකලා මගේ අසනීප ඉබේම හොඳ වුණා. ඒ රස්සාවට යන්න උදේ හවස පැය තුනක් මම මඟ ගත කළා. ඒ ගමනේ එකම සහනය වුණේ ඒ පුංචි පුස්තකාලයෙන් ලැබුණු පොත් ටික. එතැන හිටිය කෙටි කාලේදී මට ඒ පොත් අල්මාරිය කියවලා ඉවරකරන්න පුළුවන් උනා. ලංකාවෙන් එද්දී මගේ පොත් එකතුව එතැනට දීලා එන්නත් පුළුවන් වුණා.
ඒත් මේ හැම කාලෙටම වැඩියෙන් මගේ හිතේ හැටියට සිංහල පොත් කියවන්න ලැබෙන්නේ පිටරටකදී කියලා කවුරුහරි මට ඒ කාලේ කීවා නම් මම හිනාවෙනවා සිකුරුයි. මගේ පොත් කියවීමේ දොළදුක හරියටම සංසිඳුනේ මෙල්බන් නගරයේ පුස්තකාලවලින්. මෙහේ, ගෙදර ඉඳන් පයින් යන දුරකින් තියෙන පුස්තකාලයක අලුත්ම සිංහල පොත් එකතුවක් තිබීම හීනයක් හැබෑ වීමක්මයි. එතැන නැති පොත් අවට සිංහල පොත් තියෙන වෙන පුස්තකාලවලින් ඉල්ලලා ගෙන්නගන්න පුළුවන් වීමත් ඒ හීනයේම තවත් කොටසක්. ඉංග්‍රීසි පොත් නම් ඉතින් කොහොමත් ඕන තරම් තියෙනවානේ. මතක ඇති කාලෙක ඉඳන් පොත් ගැන තිබුණ ආසාවේ ලොකුම හීනය Master of Library Studies තරම් දුර ඉගෙන ගන්න ලැබීම.මේ හැබෑ වුණු හීනේ අතුරුඵල තමයි අළුත් සුවඳ පොත් එක්ක හැමදාම දවස ගත කරන්න ලැබෙන, පුස්තකාලෙට අලුතින්ම ගන්නේ මොන පොත් ද කියලා නිරන්තරයෙන්ම තීරණය කරන්න ලැබෙන (ඒ පොත් කියවලා බලන්නත් ලැබෙන!) රස්සාවක් කරන එක.
මේ විදිහට කියවන්න පොත් නම් ඕන තරම් තිබුණත් ඉස්සර වගේ එක දිගට, එක හුස්මට කියවගෙන කියවගෙන යන්න වෙලාවක් නැති කම තමයි දැන් නම් තියෙන බාධකය. වගකීම යුතුකම් වැඩිවෙද්දී පොඩි කාලේ වගේ ඒ වෙනුවෙන් වෙන්කරන්න තියෙන කාලේ අඩුයි. ඒත් මම වෙලාව හොයා හොයා පොත් කියවනවා කොහොමහරි. කෑම කන ගමන් පැය බාගයයි, (කෑම කද්දී පොත් කියවිල්ල ඉස්සර තාත්තාගෙන් බැනුම් අහන වැඩක්) පුතාව පන්තියෙන් ගන්න ගිහින් වාහනේ ඉඳන් විනාඩි දහයයි... නිදාගන්න කළින් පැය කාලයි. කියවන්න ඕන තරම් පොත් හැම තිස්සෙම අත පාත තියෙන එකම එක විදිහක සැනසිල්ලක්. ඉතින් පොත් තියෙනකම් ජීවිතේ කවදාවත් තනි නැති බව මම දන්නවා. “I have always imagined that Paradise will be a kind of library.” කියලා මම කොහේ හරි කියෙව්වා මතකයි.
Pic- September book purchases at my library




March 08, 2016

මිමී

Mimi& I- March 1985, Seychelles


මේ පින්තූරේ මගේ අතට ආවේ අහම්බෙන්. අවුරුදු තිහකට විතර පස්සේ.

අපිට ඉස්සර බළල් රංචුවක් උරුම වෙලා තිබුණා. අපේ ඕනෑවටම නෙමෙයි. නැත්තෙමත් නෙමෙයි. ඒ දවස්වල සේෂෙල්ස් වල අපි උන්නු ගෙදර වටපිට උන්නු බළල්ලු ඉබේම වගේ අපේ ගෙදරට රොක් වුණා. එහෙම වුනේ පොඩි අක්කාත් මාත් උන්ට ආදරේ පෙන්නුව නිසා වෙන්නත් පුළුවන්. අපි උන්ට එක එක විකාර නම් දැම්මා. උපන්දින උත්සව තිබ්බා. නිදාගන්න ගෙවල් හදලා දුන්නා. සෙල්ලම් ගෙවල් වලට හවුල් කරගත්තා. කිරි වල පොඟවලා බිස්කට් කන්න දුන්නා. ඉතින් උන් පවුල් පිටින් අපේ ගෙදර නැවතුනා.

මේ පින්තූරේ ඉන්න මිමී මට හොඳට මතකයි. බළල්ලු රංචුවෙන් නපුරුම නිසා.හැමදාම රණ්ඩු වලට ගිහින් තුවාල කරගෙන ආව නිසා. බූසි ම වලිගය තිබුණේ ඌට නිසා. ඌ කාවවත් මායිම් නොකළ නිසා. මට මේ ගවුමත් හොඳට මතකයි. ඒක ඒ අවුරුද්දේ උපන්දිනේට අම්මා මහලා දුන්න නිසා. මහලා දුන්නේ ටිකක් ලොකුවට නිසා. ඒකෙ පුංචි කොටු වල තිබුණු සමහර පින්තූර උඩු යටිකුරු ව තිබුණු එකට මම ටිකක් අකමැතිව උන්නු නිසා. ඒත් මේ පින්තූරේ ගත්තේ ඇයි කියලා මට මතක නැහැ. තාත්තා අහම්බෙන් ගත්තු පින්තූරයක් වෙන්න ඇති. මිමී ගේ අයිතිය තිබුණේ නම් පොඩි අක්කාට. ඌට ප්‍රංශ ආරට නමක් දැම්මෙ එයා ඒ දවස්වල ඉස්කෝලේ ප්‍රංශ ඉගෙනගන්න පටන්ගෙන තිබුණු නිසා වෙන්න ඇති. ඒත් කේන්ති ගිය වෙලාවක එයාගේ තොල පැලිලා ලේ එන්න මූණ හීරුවෙත් එයාගේ ආදර මිමී ම තමයි. ඒ වගේ පුංචි දේවල් මතකයි. ඒත් මිමී ඇතුළු බළල් පවුල දාලා අපි ලංකාවට එද්දී දුක හිතුනාද, ඇඬුවාද කියලා නම් මට මතක නැහැ. අඬන්න ඇති බොහෝ විට. අඩුම ගානේ බාලයා වුණු මමවත්. සමහරවිට ඒ බව මතක නැත්තේ අවුරුදු තිහක් විතර යද්දී දුක හිතෙන ලොකු දේවල් අමතක වෙලා ලස්සන පුංචි දේවල් විතරක් මතක හිටින නිසා වෙන්න ඇති.