May 30, 2021

අන්ධ බල්ලා

Translation of the Short Story ‘The Blind Dog’ by R. K Narayan




ඒ බල්ලාගේ කිසිම වැදගත් පෙනුමක් වත්, උසස් පෙළපතක ලකුණක්වත් තිබුණේ නැත. ඌ සුදු පාටින් සහ දූවිලි පාටින් යුතු වූ, නිතර තැන තැන දකින්නට ලැබුණු සාමන්‍යය බල්ලෙක් විය. උගේ වල්ගය පුංචි කාලයේදීම කවුරුන් හෝ කපා දමා තිබුණු අතර, ඌ මහා පාරේම ඉපදී, සති පොළේ කුණු ආදියෙන් යැපී දැඩි වූ සතෙක් විය. ඒ බල්ලා හට අඳුරු දෑසක්, අමුතු ගමන් විලාසයක් මෙන්ම අනවශ්‍ය කලහකාරී හැසිරීමක් තිබුණි. වයස දෑවුරුද්දක් ගතවන්නටත් පෙරාතුව උගේ ඇඟ පුරා සටන් රාශියකින් ලැබුණු කැළැල් දිස් විය. උණුසුම් මධ්‍යාහ්නයේදී විවේකයක් වුවමනා වූ වෙලාවලට සති පොළේ නැගෙනහිර ගේට්ටුව අසල බෝක්කුව තුළ ගුලි වී නිදන්නට ඌ පුරුදුව සිටියේය. සන්ධ්‍යාව එළඹෙද්දී මේ බල්ලා අහල පහල පාරවල්වල සැරි සරමින්, සුළු රණ්ඩු හබ ආදියෙහි පැටලෙමින්, කෑමට දෙයක් අහුලමින් තම දෛනික චාරිකාවේ යෙදී, නැවතත් රාත්‍රිය වෙද්දී ප්‍රධාන ගේට්ටුව අසලට ඒමට පුරුදුව සිටියේය.


මෙලෙසින් තුන් වසරක් ගත වූ තැන එක්තරා දවසක මේ බල්ලාගේ ජීවිතයේ වෙනසක් සිදු විය. දිනක් දෑසම නොපෙනෙන හිඟන්නෙක් සති පොළේ ප්‍රධාන ගේට්ටුව අසල පෙනී සිටියේය. වයසක කාන්තාවක් උදේම ඔහුව කැඳවාගෙන විත් මෙහි හිඳුවා යන්නට ගියාය. දවාලට ඇය ඔහුට කෑම ගෙනැවිත් දී ඔහුගේ කාසි එකතුකරගෙන ගිය අතර රාත්‍රිය එළඹෙද්දී නැවතත් පැමිණ ඔහුව කැඳවාගෙන ගියාය.


මේ අසලින් නිදාගෙන උන් බල්ලාටත් කෑම සුවඳ දැනෙන්නට විය. ඌ බෝක්කුව යට තමන්ගේ නිවහනෙන් නික්මී, හිඟන්නා වෙතට කිට්ටු වී, ඔහුගේ දුප්පත් කෑම වේල දෙස වලිගය වනමින් බලා සිටියේය. හිඟන්නා තම දෑත දෙපසට වනමින් “ඔතැන කවුද?” කියා විමසද්දී බල්ලා ඔහු වෙත ගොස් ඔහුගේ අතක් ලෙවකෑවේය. අන්ධ මිනිසා බල්ලාගේ සිරුර දෙකනේ සිට වලිගය දක්වාම මෘදුව ස්පර්ශ කර, “උඹ හරි ලස්සන සතෙක් නේ, මාත් එක්ක වරෙන්” යැයි පැවසීය. ඉන්පසු ඔහු බල්ලාට කෑම අහුරක් වීසි කළ අතර බල්ලා විසින් බෙහෙවින් කෘතඥව ඒ කෑම කන ලදී. සමහරවිට ඒ, ඒ දෙදෙනා අතර මිතුදමක් ඇතිවන්නට නියමිතව තිබුණු සුබ මොහොත විය හැක.


ඉනික්බිති ඒ දෙදෙනා හැම උදෑසනකම එතැනදී මුණගැසුණහ. බල්ලා තමන්ගේ රස්තියාදු ගමන් අඩුකර අන්ධ මිනිහා අසල වාඩිවී සිටින්නත්, ඔහුට හිඟමන් ලැබෙන අයුරු බලාසිටින්නත් පුරුදු විය. ටික කලක් මෙසේ බලා සිටිද්දී එතැනින් යන එන්නන් හිඟන්නාට කාසියක් දිය යුතු බව බල්ලාට වැටහුණි. මේ නිසා කාසියක් නොදී එතැනින් යන එන අයගේ පසුපස එළවන්නත්, ඔවුන්ගේ ඇඳුම් වල කෙළවරකින් ඇදගෙන යළිත් ගේට්ටුව අසල සිටින හිඟන්නා වෙත කැඳවාගෙන එන්නත්, ඔවුන් හිඟන්නාගේ පාත්තරයට යමක් දමන තුරුම ඔවුන්ව අත්නොහැර සිටින්නත් ඌ පුරුදු විය.


මේ අවට ගැවසුණු අය අතර ඉතාමත් දඟකාර හැසිරීමකින් යුතු වූ කොලුවෙක් විය. වයසක හිඟන්නාට විසුළු නම් කියමින් ඔච්චම් කිරීමටත්, ඔහුගේ හිඟමන් පාත්තරයේ ඇති කාසි සොරකම් කිරීමට තැත් කිරීමටත් ඔහු කැමැත්තක් දැක්වීය. මෙය සිදු වූ විට අන්ධ මිනිසා අසරණව, සැරයටිය වනමින් කෑ ගැසුවා පමණි. මේ කොලුවා හැම බ්‍රහස්පතින්දා දිනයකම සති පොළේ ගේට්ටුව අසලට පැමිණියේ පිපිඤ්ඤා හෝ කෙසෙල් පිරවූ කූඩයක් හිස මත තබාගෙනය. සෑම බ්‍රහස්පතින්දා හවස් වරුවක්ම අන්ධ මිනිසාගේ ජීවිතය අර්බුදකාරී විය. මේ ආරුක්කු දොරකඩ නිතිපතා රැස් වූවන් අතර රෝද සහිත වේදිකාවක් මත සිට වෛවර්ණ එහෙත් මඳක් සැක සහිත සුවඳ විලවුන් විකිණූ වෙළෙන්දෙක්, ගෝනියක් මත බාල කතන්දර පොත් අතුරාගෙන විකිණූ මිනිසෙක් සහ සංකීර්ණව තැනූ රාමුවක පාට පීත්ත පටි විකිණූ අයෙක් විය. බ්‍රහස්පතින්දාවන්හිදී කොලුවා නැගෙනහිර දෙසින් ඇති ගේට්ටුවෙන් මතු වෙද්දී මෙයින් එක් අයෙක් "ඒයි අන්ධයෝ අන්න උඹේ වසංගතේ එනවා--" යැයි කීය.


"දෙවියනේ අද බ්‍රහස්පතින්දාද?" එය අසා අන්ධයා අඳෝනා තබන්නට විය. ඔහු දෑත වනමින් "බල්ලෝ, බල්ලෝ, කෝ උඹ?" යැයි කෑ ගසා, බල්ලාව තමන් වෙතට ගෙන්වා ගැනීමට ශබ්දයක් කළේය. ඉනික්බිති ඔහු බල්ලාගේ හිස අතගා මුමුණන්නට විය. "අර නොසන්ඩාලයාට ඉඩ දෙන්න එපා--" කියද්දීම කොලුවා විරිත්තමින් ඔහු ඉදිරියේ පෙනී සිටියේය.


"ආ අන්ධයෝ! තාම ඇස් පේන්නේ නැහැ වගේ බොරු කරනවා නේද? උඹ ඇත්තටම අන්ධ නම් උඹට මේක පේන්නත් බැහැ--" කියමින් ඔහු හිඟමන් පාත්තරය වෙත තම අත දිගු කළේය. මෙය දැක බල්ලා ඔහු වෙත පැන තම දත් අතරට කොලුවාගේ මැණික්කටුව මැදි කරගත්තේය. කොලුවා අපහසුවෙන් තම අත බේරාගෙන පැන දුවන්නට වූ විට බල්ලා ඔහු පසුපසින් දුවමින් ඔහුව සති පොළෙන් පිටතටම එළවා දැමුවේය.


"කොහොමද ඒ වල් බල්ලාගේ ලෙන්ගතුකම මේ නාකි මිනිහාට!" විලවුන් වෙළෙන්දා විශ්මය පළ කළේය.


එක් සන්ධ්‍යාවක අන්ධ මිනිසා කැඳවාගෙන යාමට නියමිත වේලාවට වයසක ගැහැණිය පැමිණියේ නැත. සන්ධ්‍යාව රාත්‍රිය බවට හැරෙද්දී කැළඹුණු සිතින් යුතුව අන්ධ මිනිසා ගේට්ටුව අසල බලා සිටියේය. ඔහු එලෙස බලා සිටිද්දී අසල්වැසියෙක් පැමිණ 'සාමි, ඒ නාකි ගෑනි එනකම් ඉන්න එපා, එයා ආයෙත් එන්නේ නැහැ. අද දවාලේ එයා මැරුණා--" යැයි කීය.


අන්ධ මිනිසාහට තමන්ට තිබූ එකම නිවහනත්, මෙලොව ඔහුව බලාගත් එකම පුද්ගලයාත් අහිමිව තිබිණි. "මෙන්න මේ පටිය ගන්න--" පීත්ත පටි වෙළෙන්දා ඔහු විකුණමින් සිටි දේ අතරින් ගත් සුදු පැහැති රැහැනක් දිගු කළේය. "මම මේක ඔහේට නිකම් දෙන්නම්. මේක ඔය බල්ලාගේ බෙල්ලේ ගැටගහගෙන ඌට ඔහේට මඟ පෙන්නන්න ඉඩ අරින්න. ඌ ඔහේට ලෙන්ගතු හැඩයිනේ."


මෙයින් පසු බල්ලාගේ ජීවිතය වෙනම මඟක් ගත්තේය. ඌට වයසක ගැහැනියගේ රාජකාරිය පැවරුණු අතර උගේ නිදහස සම්පූර්ණයෙන් අහිමි විය. පීත්ත පටි වෙළෙන්දා ප්‍රදානය කළ රැහැනේ දිගට උගේ ලෝකය සීමා විය. උගේ පැරණි රස්තියාදු ගැසීම් සහ ඌ ආගිය තැන් සහමුලින්ම අමතක කරන්නට සිදු වූ අතර ඒ වෙනුවට සදාකාලිකව ඒ රැහැනේ කෙළවර රැඳී සිටින්නට ඌට සිදුවිය. මිතුරු හෝ සතුරු වෙනත් බල්ලන් දුටු විට ඔහු ඉබේම රැහැන අදිමින් ඒ වෙත පනින්නට සැරසුණත්, ඒ වෙනුවෙන් නොවැරදීම තම හාම්පුතාගෙන් පා පහරක් ලැබුවේය.


"තක්කඩියා, මාවත් වට්ටවන්නද හදන්නේ-- සිහියක් නැද්ද උඹට?"


ටික දිනකින් තම නෛසර්ගික හැඟීම් සහ ආවේග පාලනය කරගැනීමට බල්ලා ඉගෙන ගත්තේය. අනෙත් බල්ලන් තමන් වෙත පැමිණ ගෙරෙව්වත් ඌ උන්ව ගණන් ගත්තේ නැත. තම සගයන් හා කෙරුණු සන්නිවේදනයන් සහ තම ගමන් බිමන් ඌට අහිමි විය. මේ අහිමි වීමෙන් වාසි ලැබුවේ බල්ලාගේ නව හාම්පුතාය. ඔහු මෙතෙක් කාලයකට නොගිය තරම් දුර ඇවිදිමින් සිටියේය. බල්ලා විසින් මඟ පෙන්වනු ලදුව ඔහු මුළු දවස පුරාම ඇවිදිමින් ගත කළේය. වයසක ගැහැනියගේ අභාවයෙන් පසු එක් අතකින් සැරයටියත්, අනෙත් අතින් බල්ලා බැඳි රැහැනත් ගෙන ඔහු මෙතෙක් කල් විසූ සති පොළ අසල වූ අම්බලමේ පදිංචියෙන් ඉවත් විය. උදෑසනම තම දවස ඇරඹූ ඔහුට, එක තැනක සිටිනවා වෙනුවට තැන තැන ඇවිදීමෙන් තම ආදායම තෙගුණ කරගත හැකි බව වැටහිණි. ඔහු අම්බලම තිබුණු පාර ඔස්සේ ගමන් කර මිනිසුන්ගේ කටහඬවල් ඇසුණු විට නැවතී, අත පා, සිඟමන් යදින්නට විය. කඩපිල්, පාසල්, රෝහල්, අවන්හල් -- ඔහු මේ කිසිවක් අත්හැරියේ නැත. නතර වීමට වුවමනා වූ විට ඔහු රැහැන මඳක් ඇද්ද අතර යළිත් පිටත්වන්නට වුවමනා වූ විට කරත්තකරුවෙක් මෙන් සැර පරුෂව බල්ලාට කෑ ගැසීය. බල්ලා විසින් අන්ධ මිනිසාව වළවල්වල වැටීමෙන් සහ පඩි හෝ ගල් හා ගැටීමෙන් ප්‍රවේසම් කරමින් අඟලෙන් අඟල පඩිපෙළවල් හෝ ආරක්ෂාකාරී ස්ථාන වෙත ගෙන යන ලදී. මෙය දකින මිනිසුන් ඔහුට කාසි දෙමින් උපකාර කරන්නට වූ අතර කුඩා දරුවන් රොක් වී ඔහුට කෑම ලබා දෙනු පෙනුණි. සාමාන්‍යයෙන් බල්ලෙක් යනු නිරතුරුව ක්‍රියාශීලීව ගත කරමින් වරින්වර නිශ්චිත විවේකයන් ගන්නා සතෙකි. එහෙත් දැන් මේ බල්ලාට (අන්ධ මිනිසා ඌව හැඳින්වූයේ 'කොටියා' ලෙසයි) තම විවේකය සම්පූර්ණයෙන් අහිමි වී තිබිණි. ඌට විවේකයක් ලැබුණේ වයසක මිනිහා කොහේ හෝ හිඳගත් විට පමණය. රාත්‍රියට මිනිසා නින්දට ගියේ බල්ලා බැඳි රැහැන තම අතැඟිල්ලක පටලවාගෙනය. "උඹත් එක්ක මට අවදානමක් ගන්න බැහැ--" ඔහු කීය.


තව තවත් වැඩියෙන් ආදායම් උපයන්නට ආසාවක් මහලු හිඟන්නාව වෙලාගෙන තිබුණු නිසා විවේක ගැනීම, ආදායම් ලබන අවස්ථාවක් අපතේ හැරීමක් ලෙස ඔහුට හැඟුණි. මේ නිසා බල්ලාටත් නිරතුරුව ඇවිදීමට සිදුවූ අතර ඇතැම් විට ඌ ඊට විරෝධය පෑවේය. එහෙත් ඌ මඳක් හෝ වේගය බාල කළහොත් උගේ හාම්පුතා සැරයටියෙන් ඌට අනිනු පෙනුණි. මේ වෙලාවට බල්ලා කෙඳිරිගාන්නට හෝ ගොරවන්නට වූවොත් "කෙඳිරිය නවත්තාගනින් තක්කඩියා, මම උඹට කන්න දෙන්නේ නැද්ද? උඹට ඕන කම්මැලිකමට වැතිරිලා ඉන්න නේද?' අසමින් අන්ධ මිනිසා සාප කළේය. කෘර අන්ධ පාලකයාගෙන් මිදෙනු නොහැකිව බල්ලා ඉතා සෙමෙන් අඩි තබමින් නිරතුරුව සතිපොළ වටා ඇවිද්දේය. සති පොළේ සෙනඟ අඩු වී බොහෝ වෙලාවක් ගත වන තුරු වෙහෙසට පත් බල්ලාගේ අඳෝනාව රාත්‍රිය කීතු කරමින් ඈතට ඇසෙන්නට විය. මාස කිහිපයක් ගත වෙද්දී බල්ලා වෙත මුල් කාලයේදී තිබුණු පෙනුම අතුරුදන් වී, දිස්නය වියැකුණු ලොම් අස්සෙන් ඇටකටු පෑදුනු උගේ සිරුර මතු වී පෙනුණි.


පීත්ත පටි වෙළෙන්දාත්, පොත් විකුනන්නාත්, සුවඳ විලවුන් වෙළෙන්දාත් ගනුදෙනු අඩු හවස් වරුවක මේ ගැන සාකච්ජාවක් පැවැත්වූහ. "පව් අර අසරණ බල්ලාව වහලෙක් වගේ තියාගෙන ඉන්නවා දකිද්දී මගේ පපුව පැලෙන්න එනවා. අපිට මුකුත් කරන්න බැරිද මේ ගැන?" පීත්ත පටි වෙළෙන්දා විමසීය. "ඔය තක්කඩියා දැන් පොලියට සල්ලි දෙනවලු- මට කීවේ පළතුරු වෙළෙන්දා--ඌ දැන් ඌට වුවමනාවටත් වඩා හම්බ කරනවා. ඌ දැන් සල්ලි වෙනුවෙන් යකෙක් වෙලා--" මේ වෙලාවේ විලවුන් වෙළෙන්දාගේ ඇස ගැටුණේ පීත්ත පටි රාමුවෙන් එල්ලෙන කතුරයි. "ඔන්න ඕක මෙහෙ දෙන්න," කී ඔහු කතුරත් ගෙන එතැනින් ඉවත් විය.


අන්ධ මිනිසා නැගෙනහිර පෙදෙසේ ගේට්ටුව පසු කරමින් සිටියේය. බල්ලා රැහැන අදිමින් පසුවිය. මඟ අසල මස් කටුවක් වැටී තිබුණු අතර බල්ලා එය අහුලා ගැනීමට තැත් කරමින් සිටියේය. රැහැන ඇදී තම අත රිදුණු නිසා අන්ධ මිනිසා බල්ලාට පා පහරක් එල්ල කළ බැවින් ඌ බෙරිහන් දෙන්නට විය. එසේ වූවත් මස් කටුව අත් හැර යන්නට හිත හදාගනු නොහැකිව බල්ලා නැවත වරක් ඒ වෙත ඇදෙන්නට උත්සාහ කළේය. අන්ධ මිනිසා නොසරුප් වදනින් බල්ලාට බැන වදින්නට විය. මේ මොහොතේ එතැනට එළඹුණු විලවුන් වෙළෙන්දා තම අත වූ කතුරෙන් රැහැන කපා දැම්මේය. රැහැනේ කොටසක් අතේ එල්ලෙමින් තිබියදී අන්ධ මිනිසා එකවරම නතර විය. "කොටියෝ, කොටියෝ උඹ කොහෙද?" ඔහු කෑ ගසන්නට විය.


"හිතක් පපුවක් නැති පාහරයා, උඹට ආයෙත් ඌව අල්ලන්න වෙන්නේ නැහැ! ඌ දැන් නිදහස්!" විලවුන් වෙළෙන්දා තමාටම මුමුණා ගනිමින් යන්නට ගියේය. බල්ලා මහත් වේගයෙන් පැන දිව්වේය. ඌ මඩ වළවල් වෙත හොම්බ ඔබමින්, අනෙත් බල්ලන් වෙත වුවමනාවෙන්ම ගැටෙමින්, චතුරශ්‍රයේ වතුර මල වටා නොනවත්වා දුවන්නට විය. උගේ දෑස සතුටින් දිලිසෙමින් තිබුණු අතර ඌ නොකඩවාම බුරමින් සිටියේය. මස් කඩය, තේ කඩය, බේකරිය වැනි උගේ පැරණි තිප්පලවල් වෙත ගිය බල්ලා ඒවායේ රස්තියාදු වන්නට විය.


අන්ධ මිනිසා මඟ සොයාගන්නට වෙහෙසේද්දී පීත්ත පටි වෙළෙන්දාත් ඔහුගේ සගයන් දෙදෙනාත් මේ දර්ශනය මහත් සේ රස විඳින්නට විය. අන්ධයා උන් තැනම සිටගෙන, සැරයටිය වනමින් සිටියේය. තමන් අවකාශයේ එල්ලෙමින් ඇති බවක් ඔහුට දැනෙන්නට විය.


"මගේ බල්ලා කෝ? මගේ බල්ලා කෝ? අනේ කවුරුහරි මට මගේ බල්ලාව හොයලා දෙන්නකෝ! ඌ ආයෙත් අහුවුණොත් මම මරනවා ඕකාව!" ඔහු වටපිට අතපත ගාමින්, අසීරුවෙන් පාර මාරුවන්නට උත්සාහ කළ අතර කිහිප තැනකදී වාහන දුසිමකට පමණ යට වන්නට ගියේය.


"හොඳ වැඩේ ඕකා යට වුණොත්, හිතක් පපුවක් නැති තිරිසනා--" ඒ දෙස බලා උන් තිදෙනා කීහ. කෙසේ හෝ, කාගේ හෝ උදව්වෙන් වයසක මිනිසා නැවතත් අම්බලම වෙත පැමිණි අතර ඔහු තම ගෝනි පඩංගුව වෙත ඇද වැටුණේ ඒ ගමනේ පීඩාවෙන් අඩක් ක්ලාන්තව ය.



මින්පසු දින දහයක්, පහළවක්, විස්සක් යන තුරු ඔහුවත්, බල්ලාවත් දක්නට සිටියේ නැත.

"බල්ලා නම් ලෝකේ වටේ රවුම් ගහ ගහා බොහොම සතුටින්, නිදහසින් ඇති, හිඟන්නා සමහරවිට නොඑන්නම යන්න ගිහින් ඇති--" ඔවුන් මෙසේ කියා අවසන් වන්නටත් පෙර අන්ධ මිනිසාගේ සැරයටිය බිම ගැටෙන හුරු පුරුදු හඬ ඇසෙන්නට විය. බල්ලා විසින් මඟ පෙන්වනු ලැබූ මිනිසා පදික වේදිකාව ඔස්සේ එමින් සිටියේය. .


"අර බලන්න!" ඔවුහු කෑ ගැසූහ. "අර මිනිහා බල්ලාව ආයෙත් අල්ලාගෙන ගැටගහගෙන--" පීත්ත පටි වෙළෙන්දාට ඉවසුම් නොමැතිව ඔහු අන්ධයා වෙත දිව ගියේය. "ඔහේ කොහේද මේ තරම් කල් හිටියේ?"


"උඹලා දන්නවද සිද්ධ වුණු දේ?" අන්ධ මිනිසා හඬ නඟා කීය. "මේ බල්ලා පැනලා ගියා. මම අර අම්බලමේ මුල්ලේ කෑමක්වත් නැතිව, සතයක්වත් උපයාගන්න විදිහක් නැතිව හිරවෙලා මැරිලා යන්න ඉඩ තිබුණා-- තව දවසක් වත් ගෙවුණා නම් මැරිලාම යන්න ඉඩ තිබුණා-- මූ ආයෙත් ආවේ නැත්නම්--"


"කවදාද? කවදාද?"


"ඊයේ රෑ. මම මහා රෑ නිදාගෙන ඉන්දැද්දී ඌ ඇවිත් මගේ මූන ලෙවකෑවා. මට ඌව මරන්න තරම් කේන්තියක් දැනුණා. හොඳට මතක හිටින්න පාරකුත් ගැහු
වා." අන්ධ මිනිසා කීවේය. " ඒත් මම අන්තිමේදී ඌට සමාව දුන්නා, කොහොමත් ඌ බල්ලෙක්නේ! පාරේ තියෙන කුණු ටිකක් අවුස්සලා කන්න හොයාගන්න තාක් රස්තියාදු ගහ ගහා හිටියාට හරියකට බඩගිනි වෙද්දී ඌ ආයෙත් මාව හොයාගෙන ආවා. දැන් ආයෙත් ඌට මාව දාලා යන්න බැහැ, මේ බලන්න මම ගත්ත දේ--" එසේ කියා ඔහු තම අත තිබුණු යකඩ දම්වැල සෙලවූයේය.


බල්ලාගේ දෑසේ යළි දක්නට තිබුණේ බලාපොරොත්තු සුන් වූ පෙනුමකි. "පලයන් මෝඩයා," අන්ධ මිනිසා කරත්තකරුවෙකු සේ සැර පරුෂව කෑ ගැසුවේය. ඉනික්බිති ඔහු දම්වැලෙන් ඇද, සැරයටියෙන් ඇන්න විට බල්ලා සෙමෙන් අඩි කිහිපයක් ගමන් කළේය. සැරයටියේ හඬ මැකී යන තෙක් ඔවුහු සවන් දුන්හ.


"ඔය බල්ලාට නිදහස ලැබෙන්නේ මරණයෙන් තමයි." පීත්ත පටි වෙළෙන්දා ඒ දෙස බලා සුසුමක් හෙලමින් කීවේය. "තමන්ගේ විනාසයට කැමැත්තෙන්ම එන සතෙක් ගැන අපි මොනවා කරන්නද?

Digital sketch with coloured pencil tools

From the Book Malgudi Days, by R. K Narayan - Viking Press, USA (1982)


May 27, 2021

කවි පොත්

මා කවි ලියූ, කවි පමණක්ම ලියූ යුගයක් විය. නමුත් ඒ වෙද්දී මා වෙනත් කිසිම කවියෙක්ගේ කවි පොතක් කියවා නොතිබුණි. එවන් කාලයකදී මට කවි පොත් මිටියක් තෑගි ලැබුණි. අනෙත් කවීන්ගේ මානයන් හඳුනා ගන්නත් මගේ කවිවල උස් මිටි තැන් දකින්නත් උදවු දුන් ඒ පොත් මිටිය තවම මා ළඟ ආදරයෙන් සුරැකිව ඇත.

අදටත් පොත් සල්පිලකදී, පුස්තකාලයකදී කවි පොත් ළඟ මා සිත නවතින්නේ ඒ නිසා විය හැක. ලොක්ඩවුන් කාලය කවිපොත් හා ඒකාත්මික වීමට කදිමය.

මේ අනුරාධා නිල්මිණි කිවිඳියගේ 'රිදුම් පිරි පිරිමැදුම්' කවි පොතෙනි 

   



නොලියවෙන කවි ගැන හිත යට සිහින් රිදුමක් දැනෙන දින ඇතත් ඒ තවත් එක් අහිමි වීමක්, අත්හැරීමක් බව දැන් හිත හදා ගනු හැක. 

වින්ද්‍යා ආරියරත්න කිවිඳියගේ 'මිහිරි මිථයා දෘෂ්ටියක මම' කවි පොතේ පහත පිදුම සිනහවක් සමඟම කඳුලක් ගෙන ආවේ එබැවිනි.






පොත්- 
රිදුම් පිරි පිරිමැදුම්, අනුරාධා නිල්මිණි
සන්ථව ප්‍රකාශන (2019)

මිහිරි මිථයා දෘෂ්ටියක මම, වින්ද්‍යා ආරියරත්න
ගොඩගේ ප්‍රකාශන (2019)



May 14, 2021

ගිනි පුළිඟු


මගී පාලමේ කෙටි බිත්තියට වාරු වී අහස දෙස බලා සිටි අර්ජුන් මොහොතකට ඉන් ඉවත් වී පහතින් පෙනෙන කලබලකාරී මාවත දෙස නෙත් යොමුකළේය. වෙලාව උදෑසන නවයට ආසන්න වූවත් පහතින් තවමත් වැඩිපුරම පෙනුණේ කඩිමුඩියේ රාජකාරී වෙත දුවන මිනිසුන් සහ ගැහැණුන්ය. අවට රත් වෙමින් තිබුණු වා තලයේ අලුත් දුහුවිලි වළාවක් පැතිරිණි. පහත නගරයෙන් විහිදෙන නාටාමි ඝෝෂාවත්, තුන් රෝද රියවලින් මතුවන කන් කීරි ගස්වන නළා හඬත්, පෙට්ටි කඩයකින් නික්මෙන කඨෝර බයිලා නාදයත් අසන්නට තවමත් උදෑසන වැඩියැයි අර්ජුන්ට සිතිණි. තම දෑස පසුපසින් මෝදුවන හිසරදය මේ අවට කලබලය නිසාම නොවන බව ඔහු දැන සිටියේය. දෙදිනක් තිස්සේ නිදි නොලැබූ මිනිසෙක්ගේ මත් බවින් ඔහුගේ හිස බමමින් තිබිණි.

අද මුණගැසීම සඳහා වෙනදා මෙන් විහාරමහාදේවි උද්‍යානය තෝරා නොගැනීම ගැන ඊයේ දුරකථන සංවාදයේදී ජනනි නෝක්කාඩු පෑවත් ඒ සුළු මොහොතකට පමණි. තමන්ට හදිසියේ කොළඹින් පිටතට යෑමට සිදුව ඇති බවත්, ඒ නිසා දුම්රියපළට ආසන්න තැනකදී සුළු වෙලාවකට මුණගැසිය හැකි බවත් යෝජනා කරද්දී තම කටහඬ බිඳක්වත් නොසැලුණු බව අර්ජුන් දැන සිටියේය. ඒ ගැන ආඩම්බර විය යුතුද, කම්පා විය යුතුදැයි ඔහු කල්පනා කළේ ඈත බෝ ගසේ මුදුන වෙත නෙත රඳවමිනි. තමන්ගේ හැඟීම් දැනීම් නහර එකින් එක කපා හරිමින් ගත කළ පසුගිය වසර කිහිපය පිළිබඳව ඔහු ආවර්ජනය කරන්නට විය. හද තුළ නිරතුරුව වෛරයම වැපිරූ විට අස්වැන්න ලෙස වෛරය නෙලා ගත හැකි බවත් එවිට හැඟීම් දැනීම් ආදියෙන් වියුක්ත වීම පහසු බවත් ඔහු අත්දකිමින් පසුවිය. එහෙත් මෙතෙක් කාලයකට තමාට අත්හැරිය නොහැකි වූ එකම හැඟීමත්, මහරු සම්පතත් වූයේ ජනනිගෙන් ලද ආදරයයි. කෝටියක් නොගැලපීම් මැද සෘජුව, රේඛීයව ගලා යන ඒ ආදරය බොහෝ දුෂ්කර අවස්ථාවලදී තමන්ව ජීවත් කළ බව ඔහු දැන සිටියේය.


අර්ජුන් අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේ පුරුද්දට මෙනි. ජනනි මෙහි ඒමට තවත් පැය බාගයක්වත් ගත වනු ඇත. මේ ඔරලෝසුව පවා තෑගි ලැබුණේ ජනනිගෙන් බව සිහිවූ විට අර්ජුන්ගේ මුවේ මඳ සිනාවක් ඇඳිණි. එහෙත් එදින හරියටම මධ්‍යහ්න දොළහ පසුවූ පසු ඔහුට වේලාවෙන් පලක් නොවන බව සිහිවී ඒ සිනාව උපන් සැණින් මැකී ගියේය. අදයි ඒ දවස! වදනින් විස්තර කළ නොහැකි තරමේ බරක් සහ ඒ හා සමාන්තරව විමුක්තිදායක නිදහසක් ඔහුගේ සිත වෙලා ගැනිණි. ගත පුරා විහිදුණු උද්වේගයකින් තම සිරුර දහදියෙන් තෙත්ව යන අයුරු අර්ජුන් ට දැනෙන්නට විය. හිස් මුදුණෙන් ඇරඹී, කොපුල් තල පසු කර සිරුර පුරා ගලන දහදියට පෙඟෙන කමිසය තුළින් තම පපුව හරහා සවිකර ඇති ඇසුරුම පෙනේදැයි මොහොතකට කැළඹුණු ඔහු, මින් පෙර දහස් වාරයක් උගෙන තිබුණු පරිදි ප්‍රවේසමෙන් එහි සුරක්ෂිතබව සැක හැර ගත්තේය. ඔහු එදින තම සිරුරේ ප්‍රමාණයට වඩා විශාල කමිසයක් දේවාගෙන් ඉල්ලාගෙන ඇඳ ගත්තේත් සියල්ල සැඟවීමට ඇති වුවමනාව නිසාමය. හදිසි කැලඹුම නිසා වේගයෙන් ගැහෙන තම හදවත, ඊට ආසන්නයේම ඇති ඩිටෝනේටරය ක්‍රියාත්මක කර දමා අනපේක්ෂිත මොහොතක, සැලසුමට අදාළ නැති තැනකදී සියල්ල අවසන් කරනු නොහැකිදැයි වියරු සිතුවිල්ලක් සිතට එළඹුණෙන් මහා හඬින් සිනාසෙන්නට ඔහුට සිත් විය. එහෙත් අවුල් වූ හිසකෙසින් සහ වැවුණු රැවුලින් යුතු තරුණයෙක් කොටුවේ මගී පාලමක් මත හිඳ තනියම සිනාසෙනු දකින අය 'ඒ පිස්සෙක්යැයි' ඒකාන්තයෙන්ම සිතනු ඇති නිසා ඔහු ඒ වියරු බව ආයාසයෙන් යටපත් කරගත්තේය.

“විජේ!”

විප්‍රකාර සිතිවිලි අතරේ අතරමංව සිටි අර්ජුන්, ජනනි අත ළඟටම එන තුරු ඒ බව නොදුටුවේය. තමන් අසලටම විත් ඇය තම නම කණට කෙඳිරූ හඬ අසා ඔහු දරුණු ලෙස තිගැස්සුණත් ඒ බව වසන් කරගෙන සිනාවක් මවාගන්නට ඔහුට හැකි විය. ජනනි සදාකාලිකව ඔහුව ඇමතුවේ සරසවියේ ඔහු ලද අන්වර්ථ නාමයෙනි. සරසවියේ නවක සිසුවෙක් වූ කාලයේදී නළුවෙක් මෙන් කොණ්ඩය සකසමින්, කෙල්ලන්ට බැලුම් හෙලමින් පසුවූ තමන්හට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ප්‍රසිද්ධ ද්‍රවිඩ නළුවෙක්ගේ නම ප්‍රදානය කළ විට රහසින් දැනුණු උද්දාමය ඔහුට සිහිවිය. සරසවියේ මුල් වසර වලදී සැහැල්ලුවෙන් සිනාසෙමින්, කෙල්ලන්ට උසුළු විසුළු කරමින්, විනෝද ගමන් සැලසුම් කරමින් පසු වූ අර්ජුනාදන් යළි කිසි දිනක මතු නොවන ලෙස පාගා දමා පසු කාලයකදී සංවිධානයේ අණ හිස් මුදුණින් පිළිගන්නා, විනාශය අරමුණු කරගත් මේ අර්ජුනාදන් බිහිවූ බව දැන සිටියේ ඔහු පමණි. ඒ අනුවර්තනය ජනනිගෙන් වසන් කරන්නට ඔහුට මහත් පරිශ්‍රමයක් දරන්නට වූවත්, ඒ වෙද්දීත් තම හදවතේ පදාසයක් ජනනි හිමි කරගෙන සිටි බව තම විමුක්තිකාමී සගයන්ගෙන් වසන් කිරීම ඊටත් වඩා දුෂ්කර කාර්යයක් විය. ආපස්සට හැරී බලද්දී තමන් විසින් විශාලම වංචාව සිදු කරන ලද්දේ මේ දෙපාර්ශවයටම නොව, තමන්ටම බව ඔහුට සිතුණේ සිත හිරිවැටෙන පසුතැවීමක් සමඟය.

ආයාසයෙන් මවාගත් සිනහවකින් ඔහු ජනනි වෙත හැරුණි. ඇය හැඳ සිටියේ සුදු පසුබිමේ සිහින් නිල් මෝස්තරයක් සහිත සල්වාර් ඇඳුමකි. තමන් අතර කිසිදිනයක එවන් ඉල්ලීමක්, එකඟතාවයක් සිදු නොවුණත් ඈ ඔහු හා ගමන් බිමන් යද්දී දමිළ යුවතියක් සේ සැරසෙන බවත් ඇතැම් දිනවල නළලේ තිලකයක් පවා තබන බවත් ඔහු දැක තිබිණි. ඒ ගැන තමන්ට ගැඹුරු රිදුමක් සහ සතුටක් එක වර දැනෙන්නේ ඇයිදැයි ඔහු නොයෙක් වර කල්පනා කළත් කිසිදිනක තම හෘද සාක්ෂියෙන් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත.

“අද මෙතැනද අපි කතාකරන්නේ?” ඇය හිස ඇළ කර සිනාසෙමින් ඇසුවාය. ඒ සිනාවේ ඊයේ දුරකථන කතාබහේදී ඇසුණු නොක්කාඩුවේ ශේෂයක් සහ දරුවෙක්ගේ දඟකම ඉවසන මවකගේ සෙනෙහසත් කැටිව තිබිණි.

තමන් ජනනිට පවසන්නට පෙළගස්වාගෙන ආ සියල්ල ඒ දෑසේ කාන්තිය හමුවේ ඇවිලෙන කපුරු පෙත්තක් සේ දියවී අතුරුදහන් වූ බවක් අර්ජුන්හට දැනුණි. සංවිධානය විසින් අද තමාට පවරා තිබෙන්නේ එහි ජ්‍යෙෂ්ඨයන්ට සහ ශ්‍රේෂ්ඨයන්ට වෙන් කළ රාජකාරියක් බැවින් එය මඟහරින්නට ක්‍රමයක් නැත. ඔවුන්ගේ අවසාන හමුවීම අත ළඟ වග ඇය හට කිව යුතු බව පසුගිය මාස කිහිපය පුරාවටම දැන සිටියත් ඔහු එය දිනෙන් දින කල් දැම්මේ තමන්ගේම සිත රවටා ගනිමිනි. ගෙවුණු සතියේදී සටන් පුහුණුවට සහභාගී වෙද්දීත්, පිපිරුම් මෙවලම් එකලස් කරද්දීත් ඇයගෙන් සමුගැනීමට යොදාගන්නා දෙබස ඔහු මුල සිට අගටත් අග සිට මුලටත් කට පාඩම් කරගත්තේය. එහෙත් කෙමෙන් රත්වන කොළඹ අහස යට, සෙනඟ තෙරපෙන මගී පාලමක අත් වැටකට බරදී මේ දැන් පිපුණු මලක් සේ සුන්දරව තමා දෙස සිනාමුසුව බලා සිටින ඇගේ දෙනෙත් කාන්තිය හමුවේ ඒ සැලසුම් සියල්ල සුණු විසුණු වී ගියේ ඔහු නොසිතූ අයුරිනි.

“විජේ, ඇයි? මොකද මේ අමුතු වෙලා?” ජනනි ඔහුගේ බාහුවෙන් අල්ලා සෙලවූයේ ඔහුගේ නොබිඳුණු නිහඬ බව නිසා ඉපදුණු නොරිස්සුමෙනි. තම හද ගැස්ම වේගවත් වන බව අර්ජුන් හට දැනුණි. ඇගේ අත ගිලිහෙන පරිද්දෙන් ඇය වෙතින් මඳක් ඉවත්වූ ඔහු, ඈත බෝ ගස මුදුණේ කැදලිවල බහින්බස් වන කපුටු ජෝඩු වෙත ආයාසයෙන් දෑස යොමු කළේය.

“මට ටික දවසකට කොළඹින් පිටට යනවා,” ඔහු ඇගේ දෑස මඟහරිමින් කීවේය. “කවදා ආයෙත් එන්න වෙයිද නැහැ”

“කොහෙද යන්නේ, සමන්තුරේද?” ඈ ඔහුට පිළිතුර සපයා දී ම පැණයක් නැඟුවාය.

ඔහු යන්තමින් හිස සෙලවුවා පමණි. ඔවුන්ට පහතින් ගිලන් රථයක් මහා හඬ නංවමින් වාහන පෙළ අතරින් ඉදිරියට ඇදෙන්නට උත්සාහ දරමින් පසුවිය. දෙදෙනා අතර දිගු මොහොතක් ගත වූයේ ඒ දෙස නිහඬවම බලා සිටිද්දීය.

“යන්න එපා විජේ!” ඈ නැවත වරක් ඔහුගේ බාහුව තදින් අල්ලා ගත්තාය. යළිත් හද ගැස්ම ඉක්මන් වෙද්දී ඔහු ඈ දෙස බැලුවේ විමතියෙනි. ඈ මෙතෙක් කාලයකට කිසි දිනෙක සම්ප්‍රදායික පෙම්වතියගේ භූමිකාව රඟපා තිබුණේ නැත. ජීවිතය බෙදා ගැනීමට ඔහුව තෝරාගැනීමේ තීරණයේ පටන් සරසවි දිවියේද, ඉන් ඔබ්බට කොළඹ ගෙන්දගම් පොළොවෙහි පය ගසා ගෙවුණු වසර කිහිපයේදීද, අන් පෙම්වතියන් කළ බවට ඔහු අසා තිබුණු බොළඳ දෙඩවිලි හෝ සුරතල් බහින් බස් වීම් ඇය සිදුකර නොතිබුණි. ඔහුගේ 'කාර්යබහුල බව' තර්කයකින් තොරව පිළිගෙන තිබුණු ඈ ඉල්ලා සිටියේ ඉඩක් ලද විටක ඇය හා දොඩමළු වන්නට පැයක් හෝ වෙන් කරන ලෙස පමණි. තම ජීවිතයේ වැදගත්ම මෙන්ම අවසාන දිනයේදී ජනනිගේ හැසිරීම මෙලෙස වෙනස් වීම ඔහු කිසිසේත් අපේක්ෂා කළේ නැත.

ගොළුව ගිය මුවින් ජනනි දෙස බලා සිටිද්දී ඇගේ දෙනෙත කඳුලින් පිරී යනු අර්ජුන් දුටුවේය. මෙහි සිටින්නේ තම මවගේ දේහය අසළ පවා එක කඳුලක්වත් නොහෙලා නොසැලී උන් ඇයමද යන්න ඔහුට අදහාගනු නොහැකි විය. ගිනියම් වූ නගරයේ, කැකෑරෙන අවු කූටකය යට ඒ කඳුළු නොඉහුරුණු දෙනෙත් පත්ලට එබී බලද්දී එහි දිස් වූ අප්‍රමාණ ආදරය සහ අපේක්ෂාවන් ඔහුගේ දෑස් නිලංකාර කළේය. අර්ජුන් මේ සමුගැනීම සඳහා කලබල තැනක් තොරාගත්තේද ඒ වෙන්වීම වඩාත් පහසු සහ ඉක්මන් වනු පිණිස වූවත් එය එසේ වන්නට යෙදී නැති බව ඔහුට වැටහිණි. එබැවින් තවත් වදනකුදු නොදොඩා ඇයගෙන් ඉවත් වන්නට ඔහු තීරණය කළේය.

තමන් වෙතින් ඉවත්ව යන ඔහු දෙස මොහොතක් බලා සිටි ජනනි, ඉන් පෙර කිසි දිනෙක මහා සෙනඟක් මැදදි තමන් නොකර තිබුණු දෙයක් කළාය. අර්ජුන්ගේ පසුපසින් දිව ගිය ඈ ඔහුගේ බඳ වටා දෑත් යවා ඔහුව තරයේ වැළඳගත්තාය.

………………………..

හාත්පස ගිනි පුළිඟු සහ දුම් වළාවන් වියැකී බොහෝ වේලාවක් යන තුරු ඈත බෝ ගස මුදුණේ කපුටු කැදලි හිස් වී පැවතිණි.



Sketch - Ink on paper

May 09, 2021

රූපණ සමඟ පරිවර්තන කවියේ මිහිරියාව

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලාංකික රූපවාහිනී නාලිකාවක් වන රූපණ නාලිකාවේ 'අමයුරු කවි රස - රූපණ කවි චාරිකාවට' සහභාගී වන්නට ලැබීම මට බෙහෙවින්ම නැවුම් අත්දැකීමක් වුණා. මෙහි පරිවර්තන කවියේ මිහිරියාව නම් වැඩසටහනට මා පරිවර්තනය කළ කවි ගැන කතාකරන්නට මට අවස්ථාව ලැබුණා. මේ සඳහා මට ආරාධනා කළ අනුරුද්ධ වැලිගමගේ ඇතුළු රූපණ නාලිකාවේ නිෂ්පාදක කණ්ඩායමට මගේ ස්තූතිය.

Rupane Episode 243 - May 08 2021 from Weeratech Creations on Vimeo.