Showing posts with label prose poems. Show all posts
Showing posts with label prose poems. Show all posts

June 08, 2023

ශෝකයේ දරුවන්

Translation of the prose poem 'Children of Grief ' by Nikita Gill

ශෝකයේ වැඩිමහලු දරුවා කෝපයයි. ඈ වේගයෙන් කුටියෙන් කුටියට කඩා වදිද්දී ඒවායේ කවුළු පියන් දෙදරයි. ඇගේ දෙවෙනි නම විනාශයයි, ඈ ඒ ගැන පසු තැවෙන්නේ නැත. ඔබගේ පපුව තුළ කුණාටුවක්ද, ආත්මය තුළ මහා වැසි සහිත කැළඹුමක් ද ඇති කරන ඈ, ඔබ සුණු විසුණු වී යන තෙක් ඔබ ව අත හරින්නේ නැත.

ශෝකයේ දෙවෙනි දරුවා දුක්මුසු බවයි. ඈ ඔබේ ඇට මිදුළු තුළට රිංගා ඒ හැමතැනටම අයිවි වැල් වැනි තම අත් දුවවන්නේ ඔබගේ සිරුර සිර කර බැඳ දමමිනි. ඔබම සැතක් ගෙන ඉන් මිදීමට ඉගෙන ගන්නා තුරු ඈ ඔබේ සිරුර වේදනාවෙන් වෙලා ගෙන දිරාපත් කරවයි.

ශෝකයේ බාල දරුවා සුවපත්වීමයි. බිඳුණු ආත්ම දිලිසෙන රන් පැහැයෙන් පිරියම් කරන්නී ඇයයි. ඉනික්බිති ඒ හැම ඉරි තැල්මක් ම හිරු එළිය වැටී දිලිසෙනු පෙනෙයි. “ඇයි?” ඔබ ඇයගෙන් අසනු ඇත. ඔබේ තුවාලවල ඔසු ගලවමින්, ඔබේ ආධ්‍යාත්මය සිහින් පොද වැස්සකින් තෙමමින් ඇය මෙසේ කියනු ඇත. “ඔබට ශෝකය ගෙන ආ දේ කිසි දාක මතකයෙන් නොගිලිහෙන්නට නියමිතයි’


පරිවර්තනය හෙල්මලී ගුණතිලක 

digital painting 



May 24, 2023

දේව දූතයන්



Translation of the prose poem 'Angels' by Lang Leav

එය සිදුවන්නේ මෙසේ යි.

කවදා හෝ දවසක ඔබට මුණගැසෙන යම් කෙනෙක් ගැන ඔබට විස්තර කළ නොහැකි තරමේ දැඩි බැඳීමක් දැනෙනු හැක. මෙය ඔබ මින් පෙර කිසිදිනක අත් දකින ලද්දක් නොවේ.

මේ තැනැත්තා ඔබේ ජීවිතයට එන්නේ එක්කෝ කරදර කාලයක ඔබව සුරැකිව තබාගැනීමට යි, නැතිනම් ඔබට ජීවිතයේ වැදගත් පාඩමක් ඉගැන්වීමට යි.

සමහරවිට මේ තැනැත්තා තුළ දේව දූතයෙක් සිටිනවා විය හැක, ඒ අදිසි බලයක් විසින් එවන ලද කෙනෙක් වන්නට ඉඩ ඇත. 

ඔබ කළ යුත්තේ ඔවුන් ව විශ්වාස කිරීමයි- ඔවුන් ඔබ ව සුවපත් කරන චාරිකාවේදී ඔබ වෙත වේදනාවන් සහ දෝමනස්සයන් ගෙන ආවත් නොකඩවා ඔවුන්ව ව විශ්වාස කිරීමයි. ඔවුන් ඔබ වෙත පැමිණි හේතුව කාලයක් ගත වූ පසු පැහැදිලි වනු ඇත. 

නමුත් එක් අනතුරු ඇඟවීමක් කළ යුතුමය- ඔබ මේ තැනැත්තාට කෙමෙන් ආදරය කරන්නට පටන් ගන්නට ඉඩ තිබේ. 

මතක තබා ගන්න, ඔවුන් ඔබට හිමි වන්නේ නැත. ඔවුන්ගේ අරමුණ ඔබව ගලවාගැනීම නොව ඔබට ඔබවම ගලවාගැනීමට මඟ පෙන්වීමයි. 

මේ කාර්යය සම්පූර්ණ වූ විට රැස් වළල්ල ගිලිහී එහි වූ දේව දූතයා නික්ම යනු ඇත. ඔවුන් ඔබගේ ජීවිතයෙන් ඉවත් වන්නේ එවිටයි. 

ඉනික්බිති ඔබ දෙදෙනා පෙර සේම නැවතත් නාඳුනන්නන් බවට පත්වනු ඇත.  



පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Digital painting