Showing posts with label සිසිල සඟරාව. Show all posts
Showing posts with label සිසිල සඟරාව. Show all posts

July 04, 2025

ආදරණීය සීයේ



නව හැවිරිදි වන්කා ශුකොව් මීට තෙමසකට පෙර සපතේරුවකු වන අල්යාකින් වෙත වැඩ පුහුණුවීමට යොදවන ලදී. නත්තලට පෙර දින රාත්‍රියේ ඔහු නින්දට නොගොස්  හාම්පුතා ත් ඔහුගේ බිරිඳත් අනෙත් සේවකයන් සමඟ දේව මෙහෙයට යනතුරු බලා සිටියේය. ඉනික්බිති ඔහු තම හාම්පුතාගේ අල්මාරියෙන් තීන්ත කූඩුවක් සහ මළ කෑ තුඩක් සහිත තීන්ත පෑනක් පිටතට ගෙන, පොඩි වුණු කඩදාසි කැබැල්ලක් තමන් ඉදිරියේ දිග හැරීය. ලිවීම ඇරඹීමට පෙර, වන්කා කුටියේ දොර සහ කවුළු වෙතත් පාවහන් තැනීමට ගන්නා අච්චු සහිත අඳුරු රාක්ක වෙතත් කිහිප වරක් බිය මුසු බැලුම් හෙලා සොවින් බර සුසුමක් හෙලුවේය. ඉනික්බිති බංකුව මත කඩදාසිය ඇතිරූ ඔහු, ඒ අසලින් දණ ගසාගෙන ලියන්නට විය.

“ආදරණීය සීයා, කොන්ස්ටන්ටින් මාකරිච්,” ඔහු ලිවීය. “ඔබට ලියුමක් ලියන්නට මට සිතුණා. ඔබට සුබ නත්තලක් වේවා. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේගෙන් යහපත් දේ ම ලැබේවා. අම්මාත් තාත්තාත් නැති මට ඉන්නේ ඔබ විතරයි.”

තම ඉටිපන්දමේ ආලෝකය වැටී කුටියේ කෙළවරක වූ ප්‍රතිමාව දිලිසෙන අයුරු බලා සිටි වන්කා තම සීයා ගැන කල්පනා කරන්නට විය. තම සීයා වන කොන්ස්ටන්ටින් මාකරිච්, ශිවාරෙව් නම් ප්‍රභූ පවුලකට අයත් වත්තක රාත්‍රී මුරකරු ලෙස සේවය කළේය. කුඩා සිරුරකින් හෙබි හැටපස් හැවිරිදි මහල්ලෙකු වූවත් සීයා අපූරු කාර්යශූර අයෙකු විය. ඔහුට තිබුණේ මත් දෑසක් සහ නිරතුරු සිනාවෙන් පිරුණු මුවකි. දිවා කාලයට ඔහු එක්කෝ මෙහෙකරුවන් වෙනුවෙන් වෙන් වූ මුළුතැන්ගෙහි නිදා ගත්තේය. නොඑසේ නම් එහි කෝකියන් සමඟ විහිලු තහළු කරමින් පසු වූයේය. රාත්‍රී කාලයේදී බැටළු සමින් තැනූ කබා කිහිපයක් පොරොවාගෙන ඔහු ගෙඋයන වටා ඇවිද්දේ තම අත වූ කුඩා ලී මිටියෙන් ඒ මේ අතට තට්ටු දමමිනි. ‘කෂ්ටන්කා’ නම් මහලු බල්ලාත්, මුගටියකු වැනි දිගටි හැඩරුව නිසා ‘ඊල්’ නම ලද බල්ලාත් තම හිස් පහත් කරගෙන ඔහු පසුපස ඇවිද ගියහ. ඊල්, අනවශ්‍ය තරමට ආචාරශීලී බවක් සහ සුරතලයක් දැක්වූ සතෙකු විය. ඔහු ආගන්තුකයන්ටද තම ස්වාමියාටද දැක්වූයේ එක සමාන කරුණාවන්ත බවකි. නමුත් ඌ තරමක අපකීර්තියකට ලක් වූවෙකි. උගේ යටහත්පහත් බවට යටින් තිබුණේ අතිශය කපටිකමකි. ඉඳහිට රහසින් රිංගා විත් කාගේ හෝ විලුඹ සපා කන්නට, ගබඩා කාමරයකට රිංගන්නට නොඑසේ නම් ගැමි ගෙවත්තකින් කිකිළියක් සොරා කන්නට ඌට වඩා වෙනත් හපනෙකු නොවීය. කිහිප වතාවක්ම උගේ පසුපස ගාත් ගැලවී යන්නට තරම් අනතුරු සිදු වී,  දෙවතාවක් පමණ ඌ ව එල්ලනු ලැබී තිබිණි. මීට අමතරව හැම සතියකම පාහේ සිරුර අඩපණ වනතුරු ඌ ගුටිකා ද තිබුණු නමුත් මේ කිනම් ව්‍යසනය වූවත් ඌ ඊළඟ දවසේත් නැවත උද්යෝගීමත්ව පෙනී සිටීමට සමත් විය.

තේ තම සීයා ගේට්ටුව අසල සිටගෙන, දෑස් කුඩා කරමින්, පල්ලියේ රතු පැහැති කවුළු දෙස බලමින්, තම ෆෙල්ට් බූට් සපත්තු වල අඩි හප්පමින්, මෙහෙකරුවන් සමඟ විහිලු තහළු කරමින් පසුවන අයුරු වන්කාට මැවී පෙනුණි. ඔහුගේ කුඩා ලී මිටිය බඳ පටියෙන් එල්ලෙමිනි. සීතල නිසා තම දෑත් අතුල්ලමින්, වරෙක මෙහෙකාර කෙල්ලද, තවත් වරෙක කෝකි කාන්තාව ද කොනිත්තමින් ඔහු සිනාසේ. 

“දුම්කුඩු ටිකක් ඕන ද?” කාන්තාවන්ට ඔහු තම දුම්කුඩු පෙට්ටිය පායි. 

කාන්තාවන් දුම්කුඩු උරා කිඹුහුම් හරිද්දී සීයා මහත් සේ විනෝදයට පත් ව සිනාසෙමින් කෑ ගසයි. 

“ඔය නහයවල් හීතලට ගල් ගැහිලා තියෙන්නේ, ඒවා ගලවලා අරිමු!”

ඔහු බල්ලන්ටද දුම්කුඩු පායි. කෂ්ටන්කා කිඹුහුම් ඇර, තම හිස ගස්සා උරණ වී ඉවතට යයි. ඊල් නම් තම ආචාරශීලී බව නිසා කිඹුහුම් නොඇරියත්, තම වලිගය වනන්නේ ය. කාලගුණයෙහි සුන්දර බවට අමතර ව වාතය නැවුම් ව, පාරදෘශ්‍ය ව පවතින බවක් දැනේ. රාත්‍රිය අඳුරු වුවත් නිවෙස්වල සුදු පැහැති පියසි, දුම් කවුළු වලින් පිටවෙන දුම් කැරළි, තුහින වැටීමෙන් රිදී පැහැ ගැන්වුණු ගස්, හිම කණ්ඩි ආදියෙන් යුතු මුළු ගම්මානයම ඒ උස් බිමට දිස් වේ. මුළු අහසම ප්‍රීතියෙන් දිදුලන තරු වලින් පිරී ඇති අතර ක්ෂීරපථය, හිමෙන් ඔප දමන ලද කලක මෙන් පැහැදිලිව දිස් වේ.  

වන්කා සුසුමක් හෙලා, පෑන තීන්තයේ ඔබා නැවතත් ලියන්නට ගත්තේය. 

“ඊයේ මම හොඳ බැනුමක් ඇහුවා. මෙයාලගේ පොඩි එකාව තොටිල්ලේ පද්දමින් ඉන්දැද්දී මට නින්ද ගිය නිසා ලොකු මහත්තයා මගේ කොණ්ඩයෙන් ඇදලා අරගෙන, බූට්ස් දිග අරින්න ගන්න පොල්ලකින් මට ගැහුවා. ඒ වගේම ගිය සතියේ ලොකු නෝනා මට හෙරින්ග් මාලුවෙක් සුද්ද කරන්න කිව්වාම මම උගේ වලිගෙ පැත්තෙන් සුද්ද කරන්න පටන් ගත්තා කියලා නෝනා මාළුවා මගේ මූණේ ඇතිල්ලුවා. මෙතැන වැඩකරන මිනිස්සු මාව විහිලුවකට අරන් තියෙන්නේ. එයාලා මාව වොඩ්කා ගේන්න තැබෑරුමට යවනවා. ලොකු මහත්තයාගේ පිපිඤ්ඤා හොරකම් කරන්න යවනවා. ඉතින් ඊටපස්සේ ලොකු මහත්තයා මට අතට අහුවුණු දෙයින් ගහනවා. ඒ වගේම සීයේ මෙහෙ කන්න කිසි දෙයක් නැහැ. උදේට එයාලා මට පාන් දෙනවා, දවල්ට කැඳ, රෑට ආයෙත් පාන්. තේ, සුප් එහෙම තිබුණොත් නෝනා යි මහත්තයයි ඒවා ඔක්කොම ගිලලා දානවා. මම නිදාගන්නේ කොරිඩෝවේ, මේ කාලකණ්නි පොඩි එකා අඬන සැරයක් ගානේ මම තොටිල්ල පද්දන්න ඕන නිසා මට නින්දක් නැහැ. අනේ සීයා මට අනුකම්පා කරලා මාව මෙහෙන් ගමට අරගෙන යන්න. මට මේක ඉවසන්න බැහැ. මම සීයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම්, සීයා වෙනුවෙන් මම සදාකාලිකව දෙවියන්ට යාඥා කරන්නම්, මාව මෙහෙන් අරගෙන ගියේ නැත්නම් මාව මැරිලා යාවි.”

වන්කාගේ දෙතොල් වෙව්ලන්නට විය. දැලි වැකුණු සුරතින් තම දෑස පිස දැමූ ඔහු ඉකියක් මැඩ ගත්තේය. 

“මම සීයාගේ දුම්කුඩු කොටලා දෙන්නම්,” ඔහු තවදුරටත් ලියන්නට විය. “මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. මම වැරද්දක් කළොත් සීයාට පුළුවන් සීඩෝර් ගේ එළුවාට වගේ මට තලන්න. මට රස්සාවක් නැතිව හරියන්නේ නැහැ කියලා සීයාට හිතෙනවා නම් මම ගබඩා කාරයාගෙන්  බැගෑපත් වෙලා ඉල්ලන්නම් එයාගේ බූට්ස් සපත්තු පිරිසිදු කරන්න මට ඉඩ දෙන්න කියලා. එහෙම නැත්නම් මම ෆෙද්කා වෙනුවට එඬේර රස්සාවට යන්නම්. අනේ සීයේ, මෙහෙ කිසිම ජීවිතයක් නැහැ, මට මේක ඉවසන්න බැහැ. මට මෙහෙන් පැනලා ගමට එන්න උවමනා උනත් මට ඒ ගමනට දාන්න බූට්ස් නැහැ, මාව මඟදී සීතලට ගල් වෙයි කියලා මට බයයි. මම ලොකු වුණාම සීයාව බලාගන්න පොරොන්දු වෙනවා, කිසි කෙනෙකුට සීයාට කරදර කරන්න ඉඩ දෙන්නේ නැහැ. සීයා ස්වර්ගස්ථ වුණාම මම දැන් අම්මාගේ ආත්මය වෙනුවෙන් යාඥා කරනවා වගේම සීයා වෙනුවෙනුත් යාඥා කරන්නම්. 

මොස්කව් කියන්නේ ලොකු නගරයක්. බැලූ බැලූ අත තියෙන්නේ ලොකු මහත්තුරුන්ගේ ගෙවල්. ඒ වගේම හැමතැනම අශ්වයෝ ඉන්නවා, හැබැයි බැටළුවෝ නම් නැහැ. මෙහෙ ඉන්න බල්ලෝ නපුරුත් නැහැ. මෙහෙ කොල්ලෝ රංචුව කිසි කෙනෙකුට පල්ලියේ ගීතිකා කණ්ඩායමට එකතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ පළාතේ කඩවල ඕන මාලුවෙක් අල්ලන්න ගැලපෙන බිලී කොකු විකුණන්න තියෙනවා. ඒවා බොහොම හොඳ මට්ටමේ ඒවා, රාත්තල් හතලිහක මාලුවෙක් උනත් ඒවායින් අල්ලන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර කඩවල තුවක්කු පවා විකුණන්න තියෙනවා. ඒවා මෙහෙ ලොකු මහත්තයාගේ ළඟ තියෙන තුවක්කු වගෙයි, ඒ නිසා ඒවා එකක් රූබල් සීයක් තරම් මිළ වුණත් මම පුදුම වෙන්නේ නැහැ. මෙහෙ මස් කඩ වල කැලෑ කුකුළෝ, හාවෝ, මාළු එහෙම විකුණන්න තියෙනවා, ඒත් ඒ සත්තු දඩයම් කළේ කොහෙන්ද කියලා කවුරුවත් කියන්නේ නැහැ.

අනේ සීයේ, මහා මන්දිරයේ නත්තල් ගහ සැරසුවාම මට රත්තරන් පාට ගෑව වෝල්නට් එකක් අරන් තියාගන්නවාද? ඒක මගේ කොළ පාට පෙට්ටගමට දාලා තියන්න. ඔල්ගා ඉන්ත්යවේනා පුංචි නෝනාට කියන්න ඒක වන්කා ට කියලා.”

හැඬුම්බර සුසුමක් හෙලූ වන්කා නැවතත් කවුළුවෙන් එපිටට නෙත් යොමු කළේය. හැම වසරකම සීයා තම හාම්පුතා වෙනුවෙන් නත්තල් ගසක් සොයන්නට කැළයට යන අයුරුත් ඒ ගමනට තමන් එකතු වන අයුරුත් ඔහුට සිහි විය. එය කෙතරම් සුන්දර කාලයක්ද! ඒ ගමන් වලදී වනය හිම පතනයෙන් ගුම් දුන් අයුරු, සීයා උගුර පෑදු අයුරු සහ තමන්ගේ සිනා හඬ පවා වන්කා ට ඇසෙනවා සේ විය. තෝරාගත් නත්තල් ගස කපා බිම හෙලීමට පෙර සීයා තම දුම් පයිප්පය උරා, දුම්කුඩු බිඳක් ආශ්වාස කර සීතලෙන් ගල් ව සිටි වන්කා ට  සිනාසෙන්නේය. තුහිනයෙන් වැසුණු තරුණ දේවදාර ගස් සීරුවෙන් සිටින්නේ කපා දැමීමට තෝරාගනු ලබන්නේ තමන්ගේ කවරෙකුදැයි සිතමින් මෙනි. බැලූ බැලූ අත හාවුන් හිම කණ්ඩිවලට ඉහළින් පැන දුවනු පෙනුණේ  ඊතල මෙනි. “ඕකාව අල්ලපන්.. අල්ලපන්.. ආ වලිග කොට යක්ෂ පැටව්!” ඒ වෙලාවට සීයාට මෙසේ කෑ නොගසා සිටින්නට නොහැකි විය. 

නත්තල් ගස කපා ගත් පසු සීයා එය බිම දිගේ ඇදගෙන මන්දිරය වෙතට ගෙනගොස් ඉනික්බිති එය සැරසුවේය.ඒ නිවැසියන් අතරින් වන්කා ගේ ප්‍රියතම සාමාජිකාව වූ ඔල්ගා ඉන්ත්යවේනා ට වසරේ කලබලම කාලය එයයි. වන්කා ගේ මව වන පෙලගේයා මිය යන්නට පෙර, ඈ මන්දිරයේ මෙහෙකාරියක්ව රැකියාව කරද්දී ඔල්ගා වන්කාට නෙක රසකැවිලි දුන්නාය. එමෙන්ම ඈ අලස කම මකාගන්නට ඔහුට ලියන්නට, කියවන්නටත්, සියයට ගණන් කරන්නටත්, නටන්නටත් ඉගැන්වූවාය. පෙලගේයා අන්ත්‍රා වූ පසු වන්කා තම සීයා සමඟ ජීවත් වීමට මෙහෙකරුවන්ගේ මුළුතැන්ගෙය වෙතත් ඉන් ටික කලකට පසු මොස්කව් හි සපතේරුවාගේ නිවසටත් මාරු කෙරිණි.

“අනේ සීයේ කොහොම හරි එන්න,” වන්කා දිගටම ලිපිය ලියන්නට විය. “දෙවියන්ගේ නාමෙට මාව මෙතැනින් ගලවා ගන්න. මම වගේ අසරණ අනාථ දරුවෙකුට අනුකම්පා කරන්න. මෙහෙ හැම කෙනෙක්ම මට කරදර කරනවා, මම හැම තිස්සෙම බඩගින්නේ ඉන්නේ, මට පුදුම දුකක් දැනෙන්නේ, මට නිතරම ඇඬෙනවා. ලඟදි දවසක් ලොකු මහත්තයා ගහද්දි මාව බිම ඇදගෙන වැටුණා. මගේ ජීවිතය බල්ලෙකුගේ ජීවිතේටත් අන්තයි… 

සීයේ අල්යෝනාවත්, එකැස් යෙගෝකාවත්, අශ්ව කරත්තකාරයාත් මම මතක් කළා කියන්න. සීයේ මගේ සර්පිනාව කාටවත් දෙන්න එපා. මම නවතිනවා, ඔබේ මුණුබුරා ඉවාන් ශුකොව්. අනේ සීයේ ඉක්මණින් එන්න.”

වන්කා තම ලිපිය ලියූ කඩදාසිය දෙවරක් නවා, පෙර දිනයේදී කොපෙක් එකක් දී මිළදී ගත් ලියුම් කවරයට බහාලූයේය. මඳක් කල්පනා කළ ඔහු පෑන තීන්ත කූඩුවේ ඔබා ලිපිනය ලියන්නට විය. 

ගමේ ඉන්න සීයාට

ඉනික්බිති ඔහු හිස කසමින් මඳක් කල්පනා කර ඊට මෙලෙස එකතු කළේය. 

කොන්ස්ටන්ටින් මාකරිච්

බාධාවකින් තොරව තම ලිපිය ලියාගැනීමට හැකි වීම ගැන සතුටු වූ වන්කා, තම තොප්පිය හිස ලාගෙන, කබාය පළඳින්නට වත් තාවර නොවී, කමිසය පිටින්ම වීදියට දිව ගියේය. 

පෙර දිනයේදී ඔහු මස් වෙළඳ සැලේ සේවකයන්ගෙන් තැපෑල ක්‍රියාත්මක වන ආකාරය විමසා තිබිණි. ලියුම් පෙට්ටි වලට දමන ලද ලියුම්, බේබදු අසරුවන් එළවනු ලබන, සීනු සවිකරන ලද තැපැල් අස් රිය මඟින් ලෝකය පුරාවට රැගෙන යන බව ඔවුහු කීහ. වන්කා කිට්ටුවෙන්ම තිබුණු ලියුම් පෙට්ටිය වෙතට ගොස් එහි විවරය තුළින් තම වටිනා ලියමන ඇතුල් කළේය. 

ඉන් පැයක් ගතවෙද්දී, මිහිරි බලාපොරොත්තු හද පොදි බැඳගෙන ඔහු නිදන්නට විය. ඔහු සිහිනෙන් දුටුවේ ඔහුගේ සීයාවයි. සීයා ගිනි උදුන අසල හිඳගෙන දෙපා පද්දමින් තමන්ගේ ලියමන කියවනවා ඔහු දුටුවේය. සීයාගේ දෙපා අසල, තම වලිගය වනමින් ඊල් වැතිර සිටියේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Vanka’ by Anton Chekov

සිසිල සඟරාව - ජූලි 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Image generated by Meta AI


June 03, 2025

පැක්ල්ටයිඩ් මහත්මියගේ කොටියා


පැක්ල්ටයිඩ් මහත්මියට කොටියෙකු මැරීමට නොතිත් ආශාවක් තිබිණි. මේ ආශාව හදිසියේ ඇතිවූවක් නම් නොවේ. එමෙන්ම ඉන්දියාවේ ජන සංඛ්‍යාවෙන් මිලියනයකට එහි සිටින රුදු සතුන් ගණන අඩු කර ඈ එහි පැමිණෙද්දීට වඩා ඉන් පිටවෙද්දී එහි සුරක්ෂිත බව වැඩි කර තබා යන්නට ඇයට අවශ්‍යතාවයක් තිබුණේ ද නැත. මේ අමුතු ආශාවට හේතු වූයේ ලූනා බිම්බර්ටන් මෑත දිනයක ඇල්ජීරියානු ගුවන් නියමුවෙකු සමඟ හැතැප්ම එකොළහක් ගුවන් යානයක ගමන් කර තිබීමත්, නොනවත්වාම ඒ ගැන විස්තර කීමත් ය. මෙවැනි උදම් ඇනීමක් යටපත් කළ හැකි වූයේ තමන්ම කොටියෙකු වෙඩි තැබීම, ඒ ගැන පුවත්පත්වල ඡායාරූප පල වීම සහ කොටි හමෙන් පලසක් ලබා ගැනීම වැනි කාරණා වලින් පමණක් බව පැක්ල්ටයිඩ් මහත්මිය දැන සිටියාය. තම කර්සන් වීදියේ නිවසේ ලූනා බිම්බර්ටන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කරන අයුරුත්, එදින එහි සභාවේ කතාබහ කෙරෙද්දී බිම කොටි හම් පලස අතුරා තිබෙන අයුරුත් මේ වෙද්දී පැක්ල්ටයිඩ් මහත්මිය සිතෙන් මවාගෙන අවසන් ව තිබිණි. මීට අමතරව කොටියාගේ නිය පහුරින් හාරිච්චියක් නිර්මාණය කිරීමට මෝස්තරයක් ඈ දැනටමත් සිතා තිබුණු අතර එය ලූනා බිම්බර්ටන්ගේ ඊළඟ උපන්දිනයට තෑගි දීම ඇගේ අදහස විය. සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවීම් තීරණය වූයේ කුසගින්නත්, ප්‍රේමයත් මත වූවත් පැක්ල්ටයිඩ් මහත්මියගේ ලෝකයේ නම් ඇගේ ක්‍රියාවන් සහ අරමුණු මූලික වශයෙන් තීරණය වූයේ ලූනා බිම්බර්ටන් වෙත ඇගේ තිබුණු නොකැමැත්ත මතයි. 

පැක්ල්ටයිඩ් මහත්මියට වාසි වන අයුරින් සියලු දේ පෙළගැස්වෙන්නට විය. වැඩි මහන්සියක් හෝ අවදානමක් රහිතව කොටියෙකු වෙඩි තැබීමේ අවස්ථාව වෙනුවෙන් ඈ රුපියල් දහසක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කර තිබිණි. වයස්ගත වීම නිසා ඇතිවූ දුර්වලකම් හේතුකොටගෙන වන සතුන් දඩයම් කිරීම නවතා අවට ගම්මානවල නිවෙස්හි ඇතිකරන සතුන් දඩයම් කිරීමට තෝරාගෙන තිබුණු කොටියෙකු ගැන ආරංචියක් ලැබුණේ මේ වකවානුවේදී ය. රුපියල් දහසක් ලැබීමේ පොරොන්දුව නිසා ඒ ගම්වැසියන්ගේ වාණිජමය සහ ක්‍රීඩාකාරී සහජාශය පිබිදී තිබිණි. මේ නිසා ඔවුන් දිවා රෑ නොබලා වනයේ මායිම් හි ගැමි දරුවන් රැඳවූයේ කොටියා තම ගොදුරු බිමින් ඈතට යාම වැළක්වීමටයි. මීට අමතරව මිළෙන් අඩු එළුවන් නොපරීක්ෂාකාරී ලෙසින් තැන තැන රඳවා තිබුණේ කොටියා ව තවදුරටත් ගම්මානය වෙතට ආකර්ෂණය කර ගැනීමේ අදහසිනි. නගරයේ නෝනා ගේ කොටි දඩයම් දිනයට පෙර වයෝවෘද්ධ බව නිසාම කොටියා මිය යයිද යන්න ගම්වැසියන්ගේ එකම ගැටලුව විය. ගැමි ගැහැනුන් කුඹුරු වැඩ කිරීමෙන් පසු කැලය මැද්දෙන් තම බිළිඳුන් වඩාගෙන ගමන් කරද්දී ගී ගැයීම නැවත්වූයේ ගරු කටයුතු ගව පට්ටි පහරන්නාගේ නින්ද කැඩේවි යන බියෙනි. 

අන්තිමේදී වැදගත් දවස උදා විය. එය සඳ එළිය දිලිසුණු, වළාකුළු රහිත දිනයක් විය. ගසක් මත තැනූ වේදිකාවක පැක්ල්ටයිඩ් මහත්මියත් ඇගේ පඩි ලබන සේවිකාවක් වන මෙබින් මෙනෙවියත් උක්කුටිකව වාඩි වී සිටියෝය. නියමිත දුරකින් වූ ගසක බැඳ තිබුණු එළුවා උපතින්ම තියුණු හඬක් හිමි වූ එකෙකු වූ අතර උගේ හඬ නිහඬ රාත්‍රියක තරමක් බිහිරි කොටියෙකුට වුව ඇහෙන මට්ටමේ විය. දඩයම් ක්‍රීඩාවේ යෙදෙන්නිය රයිෆලයක් සහ කාලය ගත කිරීමට කාඩ් කුට්ටමක් අතැතිව දඩයම පැමිණෙන තුරු බලා සිටියාය. 

“අපිට මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන්ද?” මෙබින් මෙනෙවිය විමසුවාය.

ඇත්ත වශයෙන්ම ඈ තුළ වන සත්ත්වයා ගැන බියක් නොතිබුණු අතර ඇයට මාරාන්තික බියක් තිබුණේ තමන්ට ගෙවන ලද ගාස්තුවට වඩා ක්ෂුද්‍ර හෝ සේවාවක් සැපයීම ගැනයි. 

“පිස්සුද?” පැක්ල්ටයිඩ් මහත්මිය පිළිතුරු දුන්නාය. “මේ හොඳටම වයසක කොටියෙක්. ඌට උවමනා උනත් මේ තරම් උසකට පැනගන්න බැරිවෙයි.”

“කොටියා වයසයි නම් ඔයිට ලාබෙට ඔය වැඩේ කරගන්න තිබුණා කියලා මට හිතෙනවා. රුපියල් දාහක් කියන්නේ ලොකු ගාණක්නේ.”

කවර රටක කොයි වර්ගයක මුදලක් ගැනත් ලුවීසා මෙබින් දැක්වූයේ පරීක්ෂාකාරී ආකල්පයකි. ඇගේ උනන්දු සහගත මැදිහත් වීම නිසා මොස්කව් නගරයේ හෝටල් වලදී සන්තෝසම් ලෙස රූබල් අතුරුදන් වීම වැළකුණු අතර, ප්‍රංශයේදී අනුකම්පා විරහිත ඩැහැගැනීම් වලින් බේරෙන්නට ෆ්‍රෑන්ක් නෝට්ටු ඇගේ අතේ එල්ලිණි. කොටියා වෙනුවෙන් ගෙවිය යුතු වෙළඳපොල මිල ගැන ඇගේ ගණනය කිරීම් හදිසියේ නැවතුණේ අදාළ සත්ත්වයා හදිසියේම පෙනී සිටි බැවිනි. ගැට ගසා තිබුණු එළුවා දුටු සැණින් කොටියා බිමට පහත් වනු පෙනිණි. ඌ මෙසේ කළේ මුවා වීමේ අරමුණකට වඩා කඩා පනින්නට පෙර විවේකයක් ගැනීමේ අරමුණින සේ විය.

“මම හිතන්නේ ඌ අසනීපෙන්’ ලුවීසා මෙබින් හින්දි බසින් හඬ නඟා කීවේ යාබද ගසක උන් ගම්මුලාදෑනියාට ඇසෙන්නයි. 

“ෂ් ෂ් ..” පැක්ල්ටයිඩ් මහත්මිය කීවාය. මේ මොහොතේ ම කොටියා හෙමි හෙමින් ගොදුර වෙත කිට්ටු වන්නට විය. 

“දැන්!.. දැන්!” මෙබින් මහත්මිය උද්යෝගයෙන් කෑ ගැසුවාය. “කොටියා එළුවාගේ ඇඟට පැනලා නැත්නම් අපි එළුවා වෙනුවෙන් ගෙවන්න ඕන නැහැ.” (ඇම සඳහා අයකිරීම වෙනම සිදුවිය.)

රයිෆලය මහා හඬක් නඟමින් පත්තු වූ අතර කොටියා පසෙකට පැන මරණයේ නිසොල්මන් බව පාමින් බිම වැතිරුණි. මොහොතින් උද්යෝගිමත් ගම් වැසියන් එහි රොක් වූ අතර ඔවුන්ගේ කෑ ගැසීම් වලින් මේ සතුටු ආරංචිය ගම්මානයට සැළ වී, එහි බෙර හඬ නැඟෙන්නත්, ප්‍රීති ඝෝෂා ඇසෙන්නත් විය. කර්සන් වීදියේ නිවසේ සැලසුම් කළ සාදය සැබෑ වෙමින් තිබුණු නිසා මේ ජය හඬ පැක්ල්ටයිඩ් මහත්මියගේ සිත තුළ ද දෝංකාර දෙන්නට විය. 

එළුවා වෙඩිල්ලක් වැදීම නිසා මාරාන්තික තුවාල ලබා සිටි බව මුලින්ම දුටුවේ ලුවීසා මෙබින් ය. කොටියාගේ සිරුරේ රයිෆලය සිදු කළ කිසිම හපන්කමක් දක්නට තිබුණේ නැත. වෙඩිල්ල වැදී තිබුණේ වැරදි සතාට බවත්, වයස්ගත කොටියා මිය ගියේ වෙඩි හඬ නිසා ඇතිවූ හෘදයාබධයකින් බවත් අවසානයේදී නිගමනය විය. මේ සොයාගැනීමෙන් පැක්ල්ටයිඩ් මහත්මියට යම් නොරිස්සීමක් ඇති වූවද ඈ මියගිය කොටියාගේ අයිතිකාරිය නිසාත්, රුපියල් දහස ලබාගැනීමට ගම්වැසියන් විශාල උනන්දුවක් දැක්වූ නිසාත්, ඈ විසින් කොටියා ව වෙඩි තබා මරණ ලද බව ප්‍රසිද්ධ කරන්නට එකඟතාවයක් ඇති විය. මෙබින් මෙනවිය වැටුප් ලබන සේවිකාවක් පමණක් වූ බැවින් ඈ ගැන වධ වීමක් සිදු වූයේ නැත. අවසානයේදී පැක්ල්ටයිඩ් මහත්මිය ප්‍රීතිමත් මුහුණින් කැමරාවට මුහුණ දුන් අතර ඇගේ සේයාරූ ටෙක්සාස් සිට රුසියාව දක්වා පරාසයක පුවත්පත්වල පළ විය. ලූනා බිම්බර්ටන් නම් දෙසතියක්ම ගත වන තුරු පුවත් පතක් දෙස බැලීම පවා ප්‍රතික්ෂේප කළ අතර කොටියාගේ නිය පහුරින් තැනූ හාරිච්චිය තෑගි ලැබූ විට ඊට ස්තූති කර පිළිතුරු යැව්වේ මැඩගත් ආවේගයෙනි. 

කොටි හමෙන් තැනු පලස කර්සන් වීදියේ නිවසේ සිට පළාතේ ප්‍රභූ මන්දිරය වෙත ගමන් කර ප්‍රභූවරුන් ගේ ප්‍රශංසාවට ලක් විය. මේ නිසා මන්දිරයේ පැවැත්වූ බාල් නැටුම වෙනුවෙන් පැක්ල්ටයිඩ් මහත්මිය දඩයමට අධිපති ඩයනා දෙවඟන ලෙස සැරසී යාම ඉතා ගැලපෙන බව පිළිගැනිණි. ඇගේ මිතුරෙකු වන ක්ලොවිස් යෝජනා කළ ලෙස ඔවුන්ගේ මිතුරු කණ්ඩායමේ හැම කෙනෙකුම තමන් මෑතක දඩයම් කළ සතෙකුගේ ලොමින් සෑදුණු ඇඳුමක් ඇඳගෙන බාල් නැටුමට යාම නම් ඈ ප්‍රතික්ෂේප කළා ය. 

“එහෙම කළොත් හැබැයි මට නම් අත දරුවෙක් වගේ තමයි ඇඳගෙන යන්න වෙන්නේ,” ක්ලොවිස් පාපොච්චාරණය කළේය. “මොකද මට අඳින්න වෙන්නේ ළඟදී දඩයම් කළ හාවෙක්ගේ දෙන්නෙක්ගේ ලොමින් හැදුව පොඩි ඇඳුමක්.”

“ඇත්තටම සිද්ධ වුණු දේ දැනගත්තොත් නම් හැමෝම හරි විනෝදයට පත් වේවි නේද?” බාල් නැටුමට දින කීපයකට පසු ලුවීසා මෙබින් කීවාය.

“ඒ කියන්නේ මොකක්ද?” පැක්ල්ටයිඩ් මහත්මිය ඉක්මණින් ඇසුවාය.

“නෑ ඉතින්, ඔයා එළුවා ට වෙඩි තියලා ඒකට බය වෙලා කොටියා මළා කියලා,” මෙබින් මෙනවිය කීවේ ප්‍රසන්න සිනාවකිනි.

“දැනගත්තත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.” පැක්ල්ටයිඩ් මහත්මිය කියද්දී ඇගේ මුහුණේ පැහැය වෙනස් විය.

“ලූනා බිම්බර්ටන් නම් විශ්වාස කරයි,” මෙබින් මෙනවිය කීවාය.

එය අසා පැක්ල්ටයිඩ් මහත්මියගේ මුව කොළ පැහැය මුසු සුදුමැලි පාටක් විය. 

“ඔයා මගේ රහස එළි කරන්නේ නැහැනේ?” ඈ ඇසුවාය.

“ඩොර්කින්ග් කිට්ටුව මම සල්ලිවලට ගන්න කැමත්තක් තියෙන පොඩි බංගලාවක් තියෙනවා,” මාතෘකාවට අදාළ නැතිව මෙබින් මෙනවිය කියවාගෙන ගියාය. “හයසිය පනහක් දුන්නාම නිරවුල් අයිතිය ලැබෙනවා, සෑහෙන්න ලාබයි. එකම ප්‍රශ්නේ මගේ අතේ සල්ලි නැති එක.” 

----------------------

ලුවිසා මෙබින් ගේ අලංකාර බංගලාවට ඈ දුන් නම ‘වන සත්ත්ව පියස’යි. ගිම්හාන කාලයේදී එහි ගෙඋයනේ ටයිගර්-ලිලී මල් පිපී අලංකාර ව දිස් වෙද්දී ඊට ඇගේ මිතුරු මිතුරියන්ගේ විශ්මය ත් ප්‍රශංසාවත් හිමිවිය. 

“ලුවීසා කොහොම මේවා කරගන්නවාද මන්දා,” පොදු මතය එය විය. 

පැක්ල්ටයිඩ් මහත්මිය නම් නැවත සත්ත්ව දඩයමේ ගියේ නැත. 

“ඒකට යන අමතර වියදම් වැඩියි,” ඒ ගැන විමසන මිතුරියන්ට ඈ පිළිතුරු දුන්නාය.


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Mrs Packletide’s Tiger’ by Saki 

සිසිල සඟරාව - ජුනි 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

May 01, 2025

බැංකුව බංකොලොත්



සෙත් ගෝවින්ද් රාම් ට අයත් පිපාල්නගර් බැංකුවේ පඩිපෙළ අතුගාමින් උන් නාතු තමන්ටම මොනවාදෝ මුමුණමින් සිටියේය. ඔහු තම කුඩා කොස්ස ඉක්මණින් සහ නොසැලකිල්ලෙන් එහා මෙහා ගෙන යද්දී විසිරුණු දූවිල්ල, වළාකුලක් සේ ඉහළ නැඟී නැවතත් පඩි පෙළ මත පතිත විය. නාතු කුණු ඉවත් කරන තැටිය කුණු කූඩය මත වැරෙන් හඬවද්දී රෙදි අපුල්ලන්නාගේ පුත්‍රයා වන සීතාරාම් එතැනින් ගමන් කළේය. 

සීතාරාම් ගේ හිස මත අලුතින් අපුල්ලන ලද රෙදි සහිත පොට්ටනියක් විය. ඔහු යමින් සිටියේ ඒවා බෙදා හැරීමටයි.

“ඔච්චර දූවිලි අවුස්සන්න එපා බං!” ඔහු නාතු ට හඬගා කීවේය. “උඹ ඉල්ලුව විදිහට මෙයාලා පඩිය මාසෙකට රුපියල් දෙකකින් වැඩි නොකළ නිසා නිසා උඹ තාම කෙන්තියෙන්ද ඉන්නේ?”

“මම කැමති නැහැ ඒ ගැන කතා කරන්න,” අතුගාමින් සිටි ගැටවරයා කීවේය. “ඒක තියා මගේ මාසේ පඩිය වත් ලැබුණේ නැහැ. දැන් මාසේ විසිවෙනිදාත් වෙලා. කවුද හිතන්නේ බැංකුවක් මේ විදිහට දුප්පත් මිනිහෙක්ගේ පඩිය නොගෙවා තියාගෙන ඉඳීවී කියලා? මගේ පඩිය හම්බවුණ ගමන් මම නම් මෙතන තව සතියක් වත් වැඩකරන්නේ නැහැ, අස්වෙලා යනවා යන්න.”

නාතු මෙසේ කියමින් නැවතත් තම අත වූ තැටියෙන් වැරෙන් කුණු බාල්දියට තඩි බාන්නට වූයේ තමන් කී කරුණ ඔප්පු කිරීමටත් තම ආත්ම විශ්වාසය වැඩි කරගැනීමටත් මෙනි.

“උඹේ වැඩේ හරියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා” සීතාරාම් කීවේය. “මාත් බලන්නම්කෝ උඹට ගැලපෙන රස්සාවක් තියේද කියලා.” ඇපිල්ලූ රෙදි පොට්ටනියෙන් හිසත් උරයත් අඩක් පමණ වැසී ගොස් තිබුණු ඒ තරුණයා, නිරුවත් දෙපයින් යන්නට ගියේය. 

සීතාරම් ගිය හතරවෙනි නිවසේදී එහි ගෙහිමි කාන්තාව ගෙවත්ත අතුගාන්නට කොලුවෙකු සොයන බව ඔහුට අසන්නට ලැබිණි. ඔහු තම පොට්ටනිය ගැටගසමින් මෙසේ කීවේය. 

“මම දන්න කොල්ලෙක් ඉන්නවා අතුගාන වැඩේ කරන, ඌ මේ දවස්වල රස්සාවක් හොයනවා. ලබන මාසේ ඉඳන් වැඩ පටන්ගන්න පුළුවන්. දැනට ඒකා වැඩකරන්නේ බැංකුවේ, ඒත් එහෙ හරියට පඩි ගෙවන්නේ නැහැලු, ඒ නිසායි අයින් වෙන්න හදන්නේ.”

“හැබෑට?” ශ්‍රීවස්තා මැතිණිය කීවාය. “හෙට ඇවිත් මාව හම්බවෙන්න කියපන්කො.”

තම සේවාදායකයාට මෙන්ම මිතුරාට සේවයක් කිරීමට ඉඩ ලැබීම ගැන සතුටින් සීතාරාම් යන්නට ගියේය. 

ශ්‍රීවස්තා මහත්මියට වෙළඳපලට යාමට අවශ්‍යතාවයක් තිබිණි. බිළිඳා බලාගැනීම ගැන ආයාට උපදෙස් දුන් ඈ දිවා ආහාරය ඉක්මණින් සූදානම් කරන්නැයි කෝකියාට අණ කළා ය. ඉනික්බිති ඈ පිපාල්නගර් වෙළඳපොල වෙත ගියේ සුපුරුදු ලෙස එහි රෙදි කඩ වල සැරිසැරීමට ය. 

කඩ වීදියේ එක කෙළවරක වූ විශාල සියඹලා ගස නිසා ඒ පෙදෙසම සෙවන වී තිබිණි. ශ්‍රීවස්තා මහත්මියට තම මිතුරිය වූ භූෂන් මහත්මිය ව මුණගැසුණේ ඈ මේ සෙවනේ ගිමන් හරිමින් සිටිද්දීය.භූෂන් මහත්මිය විශාල ලේන්සුවකින් පවන් ගසමින් සිටියාය. මේ ගෙවෙන්නේ පිපාල්නගර් ඉතිහාසයේ රස්නයෙන් වැඩිම ගිම්හාන කාලය බව ඈ සපථ කළාය. ඉනික්බිති ඈ ශ්‍රීවස්තා මහත්මියට තමන් මිළදීගැනීමට බලාපොරොත්තුවන රෙදි වර්ගයේ සාම්පලයක් පෙන්වූවා ය. විනාඩි පහක් තිස්සේ ඒ දෙදෙනා ඒ රෙද්දේ පාට, මෝස්තරය සහ වියමන ගැන කතා කළහ. ඒ මාතෘකාව අවසන් වූ පසු ශ්‍රීවස්තා මහත්මිය මෙසේ කීවාය. 

“දන්නවද මෙයා, සෙත් ගෝවින්ද් රාම්ගේ බැංකුවට තමන්ගේ සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැහැලු. බැංකුව අතුගාන කොල්ලාට මාසෙකින් පඩි ගෙවලා නැහැ කියලා අද උදේ මට අහන්න ලැබුණා!”

“දෙයියනේ!” භූෂන් මහත්මිය පුදුම වූවාය. “අතුගාන කොල්ලාට ගෙවාගන්න බැරි නම් ලොකු ප්‍රශ්නයක් ඇති. එකත් එකටම අනෙත් සේවකයන්ට ගෙවන්නෙත් නැතිව ඇති.”

ඈ සියඹලා ගස සෙවනේ ශ්‍රීවස්තා මහත්මියව තනි කර තම සැමියා සොයා ගියා ය. ඔහු සිටියේ කමල් කිෂෝර් ගේ ඡායාරූප සාප්පුව ඉදිරියේ අසුන්ගෙන එහි හිමිකරු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. 

“කොහෙද අනේ ගියේ?” භූෂන් මහත්මිය නෝක්කාඩු කීවාය. “මම පැයක විතර තිස්සේ ඔයාව හොයනවා!”

“කොහේ යන්නද?” භූෂන් මහතා කීවේය. “ඔයා එක කඩේක හිටියා නම් මට ඔයාව හොයාගන්න තිබුණා. ඒත් කොහෙද ඔයා මලෙන් මලට යන මී මැස්සියෙක් වගේ කඩෙන් කඩේට යනවානේ.”

“කියවන්න එපා අනේ, මේ රස්නේ නිසා තියෙන කරදර හොඳටම ඇති. පිපාල්නගර් වලට මොනවා වේගෙන එනවාද මන්දා, අන්න බැංකුවත් බංකොලොත් වෙන්න යනවාලු.”

මෙය ඇසු කමල් කිශෝර් වහා වහා මේ කතාව වෙත අවධානය යොමු කළේ ය. “ඒ මොන බැංකුවද?” 

“පිපාල්නගර් බැංකුව ඇර වෙන මොකක්ද? දැන් ඒකෙ සේවකයන්ටත් පඩි ගෙවන්නේ නැහැ කියලා ආරංචියි. මොකද? මට කියන්න එපා කිශෝර් මහත්තයාටත් ඒකෙ ගිණුමක් තියෙනවා කියලා!”

“මට නම් නෑ, ඒත් මගේ අසල්වැසියාට ගිණුමක් තියෙනවා!” ඉනික්බිති ඔහු අසල ඇති ලැටිස් වැටෙන් ඔබ්බෙහි සිටි කරණවෑමියා ඇමතුවේය. 

“දීප්චන්ද් ආරංචිද? අන්න පිපාල්නගර් බැංකුව බංකොලොත් වෙන්න ලු යන්නේ. පුළුවන් තරම් ඉක්මණින් තමුසෙගෙ සල්ලි ටික ගන්නවා!”

මෙය අසා කලබල වූ දීප්චන්ද් ගේ අත ලෙස්සා ගිය අතර ඒ මොහොතේ ඔහු හිසකෙස් කපමින් උන් වයස්ගත මහත්මයාගේ කණ මඳක් තුවාල විය. වේදනාවෙන් සහ ඒ මොහොතේ ඇසුණු පුවතෙහි කම්පනයෙන් කෑ ගැසූ ඒ මහතා අඩක් බාන ලද රැවුලින් යුතුව පාර පැන සිල්ලර භාණ්ඩ වෙළඳසැල වෙත දිව ගියේ එහි දුරකතනයක් වූ බැවිණි. ඉනික්බිති ඔහු වහා වහා සෙත් ගෝවින්ද් රාම් ගේ අංකය ඇමතුවේය. නමුත් ඒ මොහොතේ සෙත් නිවසේ නොසිටි අතර ඔහු කාශ්මීරයේ නිවාඩුවක් ගත කරමින් සිටි බව කියැවිණි. වයස්ගත මහත්මයා මේ කතාව විශ්වාස කළේ නැත. ඔහු ඉක්මන් ගමනින් බාබර් සාප්පුව වෙත නැවත ගොස් දීප්චන්ද් ට මෙසේ කීවේය. 

“අන්න කුරුල්ලා පියාඹලා! සෙත් ගෝවින්ද් රාම් ගම රට දාලා ගිහින්. ඒ කියන්නේ අනිවාර්යයෙන් බැංකුව කඩා වැටෙනවා.” මෙසේ කී ඔහු ඉක්මණින් තම කාර්යාලය වෙත ගියේ තම චෙක්පොත ගැනීමටයි. 

මේ පුවත කඩ වීදිය ඔස්සේ පැතිරුණේ ලැව් ගින්නක වේගයෙනි. සිල්ලර බඩු කඩයේ ගැනුම්කරුවන් වෙත ඉගිලී ගිය එය ඉන්පසු බුලත් වෙළෙන්දා, ඇඳුම් මසන්නා, රන් බඩු තනන්නා සහ පදික වේදිකාවේ උන් හිඟන්නා දක්වා ද පැතිරිණි. 

 ගණපත් නම් මහලු හිඟන්නා කොර වූ පාදයක් සහිත වූවෙකි. වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ හිගමන් යැදි ඔහුව හැම දිනකම සවස් යාමයේදී එතැනින් ඉවතට ගෙන යනු ලැබුවේ යමෙකු විසින් වීල්බැරක්කයක් තබා තල්ලු කිරීමෙනි. ඔහු කිසි දිනක ඇවිදිනු කිසිවෙකු දැක තිබුණේ නැත. නමුත් බැංකුව බංකොලොත් වන බවට ලද ආරංචිය නිසා එක්වරම ගණපත් හුන් තැනින් නැගිට බැංකුව වෙත දිව යනු දැක හැම දෙනෙක්ම පුදුමයෙන් පුදුමයට පත් වූහ. ඔහුගේ ඉතිරුම් ගිණුමේ රුපියල් දහසක්ම තිබුණු බව පසුව ආරංචි විය. 

මේ ඇතිවූ අර්බුදය ගැන වීදි කෙළවරවල එකතු වූ මිනිසුන් කණ්ඩායම් සාකච්ඡා කරන්නට විය. පිපාල්නගර් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කිසි ව්‍යසනයක් සිදු වූයේ නැත. ඊට ගංවතුරක්, භූ චලනයක් හෝ නියඟයක් එළඹුණේ කලාතුරකිනි. මේ නිසා ළඟදීම සිදුවීමට නියමිත පිපාල්නගර් බැංකුවේ කඩාවැටීම ගැන හැම කෙනෙක්ම මහත් සේ කලබල වූහ. ඇතැම්හු කල් ඇතිව දුරදක්නා නුවණින් තම මුදල් ඉන් ඉවත් කර ගැනීම ගැන හෝ එහි මුදල් තැන්පත් නොකිරීම ගැන උදම් ඇනූහ. තවත් අය මේ කඩාවැටීමට හේතු විය හැකි හේතු කාරණා ගැන තර්ක කළහ. ඔවුන්ගේ අදහස වූයේ සෙත් ගෝවින්ද් රාම්ගේ අනවශ්‍ය වියදම් මීට හේතු වූ බවයි. එක් අයෙකු කීවේ ඔහු නිසැකවම ප්‍රාන්තය හැර ගොස් ඇති බව වූ අතර තවත් අයෙක් ඔහු රට ද හැර ගොස් ඇති බව විශ්වාස කළේය. ඔහු පිපාල්නගර්හි ම කොහේ හෝ සැඟවී වටින බව තෙවැන්නෙක් තර්ක කළේය. සිව්වැන්නා කීවේ ඔහු සියඹලා ගසේ අත්තක ගෙල වැල ලා ගෙන සිටිද්දී එදින උදෑසන අතුගාන කොලුවා විසින් ඔහුව සොයා ගත් බවයි.

එදින මධ්‍යහ්නය වෙද්දී ඒ කුඩා බැංකුව සතුව තිබුණු මුදල් සංචිත සියල්ල අවසන් වී තිබිණි. ගනුදෙනුකරුවන්ගේ හිරිහැරයට ලක්වූ බැංකු කළමනාකරු මහත් අර්බුදයකට මුහුණ දුන්නේය. හදිසි මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට නම් කිලෝමීටර් තිහකට එපිටින් වූ වෙනත් බැංකුවකින් ඉල්ලීමක් කළ යුතුය. නමුත් මේ රැස්ව සිටි පිරිසට එතෙක් ඉවසා සිටින්නට පෙරැත්ත කළ හැකිදැයි ඔහුට විශ්වාසයක් තිබුණේ නැත. යාත්‍රාවක නැඟී කාශ්මීරයේ සංචාරයක යෙදෙමින් සිටි සෙත් ගෝවින්ද් රාම් සමඟ මේ ගැන සන්නිවේදනය කිරීමට ක්‍රමයක් තිබුණේ ද නැත. 

බැංකුවේ මුදල් ආපිට ගැනීමට පොදි කමින් සිටි මිනිසුන්ට, ඒ සඳහා පසු දින නැවත ඒමට දැනුම් දෙන ලදී. මේ ගැන මනාප නොවූ ඔව්හු එහි පඩිපෙළ මත රැස් කමින් කෑ ගසන්නට වූහ. “අපේ සල්ලි දීපල්ලා, නැත්නම් අපි බැංකුව කඩනවා” “සේප්පුවේ හැංගිලා ඉන්න සෙත් ව එළියට දාපල්ලා!” මෙවැනි වැකි දසත රැව් දෙන්නට විය. බැංකුවේ තැන්පතු ලෙස පයිසයක් වත් නොතිබුණු රස්තියාදුකරුවෝ මේ සෙනඟට එකතු වී ඔවුන්ව තවත් අවුළුවන්නට වූහ. බැංකුවේ දොරකඩ සිටගෙන සිටි කළමණාකරු රැස්ව සිටි පිරිස සන්සුන් කරන්නට උත්සාහ කළේය. බැංකුව සතුව විශාල ධනයක් ඇති බවත්, මේ මොහොතේදී නැතත් ඉක්මණින් ම එය ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි බවත්, ඒ සඳහා පසු දින නැවත පැමිණෙන ලෙසත් ඔහු පැහැදිලි කළේ ය. 

“අපිට සල්ලි ඕන දැන්!” සෙනඟ අතරින් හඬක් මතු විය. “දැන්, දැන්, දැන්!” 

ඈත සිට එල්ල වූ ගඩොලකින් පිපාල්නගර් බැංකුවේ වීදුරු කවුළුවක් සුණු විසුණු විය. 

පසු දින උදෑසන බැංකුවේ පඩිපෙළ අතුගෑමට නාතු ආ විට වීදුරු කැබලි, ගල් මුල් සහ වෙනත් කසලින් එය හැඩි වී තිබිණි. කෝපයෙන් සහ පිළිකුලින් දෑත එසවූ ඔහු මෙසේ කෑ ගසන්නට විය. 

“දාමරිකයෝ, බූරු පැටව්! මට බැංකුවෙන් පඩි පරක්කු මදිවට දැන් වැඩත් වැඩි වෙලා!”

ඔහු කුණු විසුරුවමින් වේගයෙන් අතුගාන්නට විය. 

“සුබ උදෑසනක් නාතු” රෙදි අපුල්ලන්නාගේ පුතා තම බයිසිකලයෙන් බසිමින් කීවේය. “ලබන මාසේ ඉඳන් අලුත් රස්සාවකට යන්න උඹ ලෑස්ති ද? කොහොමත් දැන් බැංකුව බංකොලොත් නිසා උඹට අලුත් රස්සාවක් හොයාගන්නම වෙනවානේ.”

“ඒ කොහොමද?” නාතු ඇසුවේය. 

“ඇයි උඹට ආරංචි වුණේ නැද්ද? තව ටික වෙලාවකින් පිපාල්නගර් වලින් බාගයක්ම මෙතනට එයි එයාලගේ සල්ලි ගන්න, එතකොට උඹට බලාගන්න පුළුවන්.” තමන්ගේ නමින් බැංකු ගිණුමක් නොවූ බැවින් මෙසේ කියා සතුටින් ආචාර කළ තරුණයා, තම බයිසිකලයේ නැඟී යන්නට ගියේය. 

නාතු තමන්ටම මුමුණා ගනිමින් නැවතත් තම කාර්යයේ යෙදිණි. වැඩ අවසන් වූ පසු ඔහු ඉහළම පඩියේ වාඩි වී කළමණාකරු පැමිණෙන තුරු බලා සිටින්නට විය. ඔහුගේ අරමුණ වූයේ කෙසේ හෝ තම පඩිය ලබා ගැනීමයි. 

“බැංකුවක් මෙහෙම කඩා වැටෙයි කියලා කවුද හිතුවේ!” ඈත බලමින් කල්පනාවේ නිමග්නව ඔහු තමන්ටම කියා ගත්තේය. “කොහොමද දන්නේ නැහැ මේක වුණේ..”


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the story ‘The Boy who Broke the Bank’ by Ruskin Bond


Picture generated by Canva AI

සිසිල සඟරාව - මැයි 2025 කලාපය 

(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)



March 04, 2025

විෂ්ණු ලකුණ



“මේක කාල නාගයා ට.” ගංගා රාම් පීරිසියකට කිරි වත්කරමින් කීවේය. “හැම රෑ ම මම බිත්තියේ මුල්ලේ තියෙන මේ කුහරය ළඟින් කිරි පීරිසියක් තියනවා. උදේ වෙද්දී කිරි ටික අතුරුදන්.”

“ඕක බොනවා ඇත්තේ බළලා.”ළමෝ කීහ. 

“බළලා!” ගංගා රාම් කේන්තියෙන් කෑ ගැසීය. “ඔය කුහරේ ළඟට මොනම බළලෙක් වත් යන්නේ නැහැ. කාල නාගයා තමයි ඕකේ ජීවත් වෙන්නේ. මම ඌට කිරි දෙන තාක් ඌ මේ ගෙදර කිසි කෙනෙක්ව දෂ්ඨ කරන්නේ නැහැ. බේබිලාට හිතේ හැටියට වත්තේ සපත්තු නැතිව සෙල්ලම් කරන්න පුළුවන්.”

ගංගා රාම් ගෙන් උපදෙස් ගන්නට අපගේ සූදානමක් තිබුණේ නැත.

“තමුසේ මහා මොඩ බ්‍රාහ්මින් කාරයෙක්,” මම කීවෙමි. “තමුසේ දන්නේ නැතිද නයි කිරි බොන්නේ නැති බව? බිව්වත් දවස ගානේ කිරි පීරිසියක් බොන්නේ නැති බව? අපේ සර් කීවා සර්පයෝ කෑම කන්නේ දවස් කීපයකට සැරයක් කියලා. දවසක් අපි දැක්කා ගෙම්බෙක් ව ගිලපු ගැරඬියෙක් ව. ඒ ගොදුර දවස් ගානක් යනකම් ගුලියක් වගේ උගේ උගුරේ හිරවෙලා තිබුණා. ඒක දියවෙන්න සෑහෙන දවසක් ගතවුණා. අපේ ඉස්කෝලේ ලැබ් එකේ ස්ප්‍රීතු වල දාලා සර්පයෝ දුසිම් ගණන් තියෙනවා. ගිය මාසේ අපේ සර් නයි නටවන කෙනෙක්ගෙන් නයෙක් සල්ලිවලට අරන් තිබ්බා, ඌට දෙපැත්තටම දුවන්න පුළුවන්! උගේ වලිගෙත් ඔලුවකුයි ඇස් දෙකකුයි තියෙනවා. ඌ ව දාන්න හිස් බෝතලයක් නොතිබුණු නිසා පොළඟෙක් හිටිය බෝතලයකට දැම්මේ. බෝතලේ ඇතුළේ නිකම් කුණාටුවක් වගේ වුණා එකපාරට. දිරාපත්වෙමින් තිබුණු පොළඟා ව නයා තත්පරෙන් කීතු කීතු කළා.”

ගංගා රාම් භක්තිය නිසා උපන් ත්‍රාසයෙන් තම දෑස් වසාගත්තේය. 

“මේ කියන දේවල් වලට බේබිලාට කවදාහරි පටිසන් දෙනවා..ඔව්, ඔව් පටිසන් දෙනවා…”

ගංගා රාම් සමඟ තර්ක කිරීමේ පලක් නොවිණි. හැම යහපත් හින්දු බැතිමතෙකු මෙන්ම ඔහු ද බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන බල ත්‍රිත්වය, එනම් මැවීම, සුරැකීම සහ විනාශ කිරීම යන බලයන් ගැන විශ්වාස කළේය. මේවා අතරින් ඔහු වඩාත්ම භක්තිමත් වූයේ විෂ්ණු ගැන වූ අතර හැම උදෑසනක ම ඔහු සඳුන් ආලේපනයෙන් V ලකුණක් තම නළලතේ සටහන් කළේය. බ්‍රහ්මින් කුලයට අයත් වූවත් ඔහු සාක්ෂරතාවයෙන් තොර වූ අතර මිත්‍යා විශ්වාස කරපින්නාගෙන සිටියේය. ඔහුට අනුව නම් සෑම ජීවියෙකුම - සර්පයන්, ගෝනුස්සන් සහ පත්තෑයන් පවා - පුජනීය විය. මෙවැනි සතෙකු ඇස ගැටුණු විට ඔහු උන් ව ඉක්මණින් වසන් කළේ අප උන්ව මරණු ඇතැයි බියෙනි. අප බැඩ්මින්ටන් පිති වලින් පහර දුන් දෙබරුන් ව ඔහු බේරාගෙන උන්ගේ කැඩුණු තටු පිරියම් කරමින් සාත්තු කළේ ය. ඇතැම් අවස්ථාවලදී මේ දෙබරුන් ඔහුට දෂ්ඨ කළ නමුත් එයින් ඔහුගේ භක්තිමත් බව වෙනස් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. යම් සතෙකුගේ විෂ සහිත බව වැඩි නම් ගංගා රාම් ඌට දැක්වූ භක්තිය වැඩි විය. සර්පයන් ගැන ඔහු දැක්වූ උනන්දුව මීට උදාහරණ වූ අතර ඒ අතරිනුත් කාල නාග නම් සර්පයාට ඔහු තදින් බැඳී සිටියේය. 

“අපිට උඹේ කාල නගයාව අහු වුණොත් අපි ඌව මරලා දානවා.”

“මම ඒකට ඉඩ තියන්නේ නැහැ. ඌ බිත්තර සීයක් දාලා තියෙන්නේ. ඌව මැරුවොත් බිත්තර සීයෙන් නයි පැටවු සීයක් එළියට ඇවිත් මේ ගේ පුරාම යයි. එතකොට බේබිලා මොකද කරන්නේ?”

“එතකොට අපි උන්ව පණ පිටින් අල්ලලා බොම්බායට යවනවා. එහෙ උන්ගේ විෂ දොවලා ගන්නවලු නයි විස නසන බෙහෙත් හදන්න. පණ ඇති නයෙකුට රුපියල් දෙකක්ම ගෙවනවා ලු. එතැනම රුපියක් දෙසීයක්නේ!”

“බේබිලා ඔය කියන දොස්තරලාට කිරි බුරුළු ඇති, මොකද නයින්ගේ විෂ දොවන්න කිරි බුරුළු තියෙනවා මම දැකලා නැහැ. ඒත් මූට නම් කිට්ටු කරන්න හිතන්න වත් එපා. මේ කාල නාගයාට වියත් තුනක් විතර මහා විසාල පෙනයක් තියෙනවා,” ඔහු පෙනයක් සේ දෑත හිස මතින් අල්ලා දෙපැත්තට වැනෙන්නට විය. “ඌ තණ බිස්සේ අව්ව තපිනවා බලන්න වටිනවා”

“ඒකෙන්ම පේනවා උඹ කීව බොරු වල තරම. එහෙම පෙනයක් තියෙනවා නම් ඌ පිරිමි සතෙක්. එහෙනම් ඌ අර බිත්තර සීය දැම්මා වෙන්න බැහැ. ඒවා දාන්න ඇත්තේ උඹම තමයි”

කොලු රැළ මහා හඬින් සිනාසෙන්නට වූහ. 

“ඒවා ගංගා රාම් බිත්තර, ළඟදීම අපිට ගංගා රාම් පැටවු ලැබෙනවා!”

මෙයින් ගංගා රාම් ගේ සිත බලවත් සේ රිදිණි. සාමාන්‍යයෙන් නිවසක මෙහෙකරුවෙකු ට මෙවැනි අපහාස ලැබීම සාමාන්‍ය දෙයක් වූවත් නිවසේ දරුවන් අතින් මෙසේ ලැජ්ජාවට පත් වීම ඔහුට පවා ඉසිලිය නොහැකි විය .ඔවුහු නිරතුරුවම ඔවුන්ගේ අලුත් මනස්ගාත අදහස් කියමින් ඔහු ව පාච්චල් කළහ. එපමණක් නොව ඔවුන් කිසි විටක වත් දේව වාක්‍ය පොත කියවූයේ නැත. අවිහිංසාව ගැන මහත්මා ගාන්ධි කී දේවල් පවා ඔවුහු පිළිපැද්දේ නැත. ඔවුන්ගේ උනන්දුව තිබුණේ කුරුල්ලන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ හැකි තුවක්කු ගැනත් සර්පයන් ගිල්වා මරා දැමිය හැකි ස්ප්‍රීතු ගැනත් පමණි. තමන් අදහන පිළිවෙලට හැම ජීවියෙකුම උතුම් බව ගංගා රාම් දිගටම විශ්වාස කළේය. නොකඩවා සර්පයන් ආරක්ෂා කිරීමට ඔහු ප්‍රතිඥා දුන්නේ උන් දෙවියන් මැවූ සතුන් අතරින් විසකුරුම වර්ගය වූ බැවිනි. උන් ව නොමරා උන්ට ආදරය කළ හැකි නම් ඒ තර්කය ඔප්පු වන බව ඔහු නිතරම පැවසුවේය.. 

ගංගා රාම්ට ඔප්පු කිරීමට අවශ්‍ය වූ තර්කය පැහැදිලි වූයේ නැතත් නයා වෙසෙන ගුල අසල කිරි පීරිසියක් තැබීමෙන් සහ උදෑසනදී එය අතුරුදන් බව දැකීමෙන් ඔහුගේ යම් තර්කයක් නම් ඔප්පු විය. 

දිනක් අපි කාල නාගයා ව දුටුවෙමු. පෙරදා රාත්‍රියේ දරුණු ලෙස මෝසම් වැසි ඇද හැලී තිබිණි. ගිම්හානයේ කුරිරු උණුසුම නිසා වේලී කර වී තිබුණු මහා පොළොව ජීවයෙන් උතුරමින් පසු විය. කුඩා දිය කඩිති වල ගෙම්බන් කෑ ගසමින් සිටි අතර මඩ වූ පොළොවෙන් ගැඩවිලුන්, පත්තෑයන් සහ කුරුමිණියන් සිය ගණනක් මතු විය. තැන තැන තණකොළ මතු වී, කෙසෙල් පත් කොළ පැහැයෙන් බැබලෙමින් තිබිණි.

කාල නාගයා ගේ ගුල වැහි වතුරෙන් පිරී තිබුණු බැවින් ඌ තණ බිස්සේ වැතිරී සිටියේය. උගේ කළු පැහැති පෙනය අව්වට දිලිසුණි. අඩි හයක් තරම් දිග වූ ඒ නාගයා මගේ අතක් තරම් වට ප්‍රමාණයෙන් යුතුව තරබාරු ව පෙනුණි. 

“අන්න නයෙක්, ඌ ව අල්ලමු!”

එදින පොලොව ලිස්සනසුලු වූ බැවින්ද, කානු සහ අනෙත් විවර වැසි දියෙන් වැසී ගොස් තිබුණු බැවින් ද, ගංගා රාම් නිවසේ නොසිටි බැවින් ද කාල නාගයාට බේරීමට ක්‍රමයක් තිබුණේ නැත.

දිග බට කෝටු රැගෙන අප ඌ ව වට කළේ ඌ ට අපගේ ඉව දැනෙන්නටත් පෙර ය. ඌ අප ව දුටු විට උගේ දෑස ගිනි රතු පැහැයක් ගත් අතර ඌ සතර අතට පිඹිමින් එසැණින් කෙසෙල් ගාලට ඇදී යන්නට විය. නමුත් පොළොවේ වූ මඩ ගතිය නිසා අඩි පහකට වඩා ඇදී යාමට පෙර පිට හරහා කෝටුපහරක් වැදී ඌ අඩපණ විය. ඉනික්බිති පහර පිට පහර වැදුණු බැවින් බරපතල ලෙස තුවාල ලැබූ ඌ අන්තිමේදී දිස් වූයේ මඩ සහ ලේ වැකුණු කළු- සුදු ජල්ලියක් ලෙසිණි. එහෙත් උගේ හිසට හානි සිදුව තිබුණේ නැත. 

“පෙනයට ගහන්න එපා,” එක කොලුවෙක් කෑ ගැසුවේය. “අපි මූව ඉස්කෝලෙට අරගෙන යමු”

බට කෝටු වලින්ම ඔසවා අඩපණ ව සිටි නාගයා ව විස්කෝතු ටින් බඳුනකට දමා ගන්නට අපි සමත් වූයෙමු. ඉනික්බිති එය ලණුවකින් ගැට ගසා ඇඳ යට සඟවා තැබුවෙමු. 

ඒ රාත්‍රියේ ගංගා රාම් නාගයාට කිරි පීරිසිය තබන තෙක් මම හොර ගල් ඇහිලුවෙමි. 

“අද කාල නාගයාට කිරි තියන්නේ නැද්ද?”

“මම තියන්නම්, බේබි නිදාගන්නකො” ඔහු නොරිස්සුමෙන් කීවේය.

ඊට වඩා ඒ ගැන කතා කිරීමට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැත. 

“ඌ ට ආයෙත් නම් කිරි ඕන වෙන්නේ නැහැ”

මෙය අසා ගංගා රාම් මොහොතක් නිසොල්මන් විය. 

“නෑ මම මේ කිව්වේ වැස්ස නිසා ඕන තරම් ගෙම්බෝ ඉන්නවනේ. උඹේ කිරි වලට වඩා ගෙම්බෝ රස ඇති. අනික උඹ කවදාවත් කිරි වලට සීනි දාන්නෙත් නැහැනේ”

ඊට පසු දින ගංගා රාම් කිරි සහිත පීරිසිය නැවත ගෙන ආවේය. ඔහු බුම්මාගෙන සිටි අතර ඔහුගේ මුහුණෙන් සැකයක් දිස් විය. 

“මම උඹට කිව්වා සර්පයෝ කිරි වලට වැඩිය ගෙම්බෝ කන්න කැමතියි කියලා”

අප පාසල් යාමට සූදානම් වෙද්දී ගංගා රාම් අප අවටම ගැවසෙමින් පසුවිය. පාසල් බස් රථය පැමිණි විට නාගයා සහිත ටින් එකද අතින් ගෙන දනි පනි ගා අප එයට නැඟ ගත්තෙමු. බස් රථය පිටත් වෙද්දීම අප ටින් බඳුන ඔසවා ගංගා රාම් ට පෙන්වා මෙසේ කීවෙමු.

“උඹේ කාල නාගයා මේ ටින් එකේ හොඳ පරෙස්සමට ඉන්නවා. අපි ඌව ස්ප්‍රීතු වල දාන්න ඉන්නේ”

බස් රථය ඈතට ඇදී යද්දී ගංගා රාම් තම සවනට වැකුණු දේ අදහා ගනු නොහැකිව, විවර මුවින් යුතුව දෑස් අයාගෙන බලා සිටිනු පෙනුණි. 

එදින පාසලේදී මහත් උද්යෝගයක් ඇති විය. සහෝදරයන් වන අප සිව් දෙනා අපගේ මුරණ්ඩු බව නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි අයයි. මේ සිද්ධියෙන් ඒ බව තවත් තහවුරු වී තිබිණි. 

“විසාල නයෙක්”

“අඩි හයක් දිගයි!”

නයා සහිත විස්කෝතු ටින් බඳුන විද්‍යා ගුරුවරයාට ඉදිරිපත් කරන ලදී. අපට අවශ්‍ය වූයේ ඔහු අපගේ දඩයම අගය කරනු ඇසීමයි. නමුත් මේ ගැන ගණන් නොගත් බවක් පෙන්වූ ඔහු අපට විසඳන්නට විද්‍යා ගැටළු කිහිපයක් ලබා දුන්නේය. මෙසේ ටික වෙලාවක් ගතවූ පසු ඔහු තම ඩැහි අඬු අතට ගත්තේ තාලයක් මුමුණමිනි. තවත් විෂ සර්පයෙකු ස්ප්‍රීතු වල බහා තිබුණු වීදුරු බෝතලයක් ද ලං කරගත් ඔහු විස්කෝතු ටින් බඳුන ගැට ගසා තිබුණු ලණුව ලෙහන්නට විය.

ලණුව තරමක් බුරුල් වූ සැණින් එහි පියන වීසි වී ගියේ ගුරුතුමාගේ නහය යන්තමින් මඟ හරිමිනි. ටින් බඳුනෙන් නැගී සිටියේ රතු අඟුරු මෙන් දිලිසෙන දෑස් සහිත කාල නාගයා ය. කිසිදු හානියක්වී නොතිබුණු උගේ පෙනය විහිදී තිබිණි. එක්වරම වේගයෙන් පිඹින්නට වූ නාගයා ගුරුතුමාගේ මුහුණට පහර දෙන්නට පැන්නේය. පුටුවද පෙරළාගෙන බිය වී පස්සට පැන බිමට ඇද වැටුණු ගුරුතුමා බියෙන් ගල් වී නයා දෙස දෑස් අයා බලා සිටියේය. පන්තියේ ළමෝ තම ඩෙස්කු මතට නැඟී වියරුවෙන් කෑ ගැසූහ. 

කාල නාගයා ලේ රත් පැහැති දෑසින් හාත්පස බැලුවේය. උගේ බෙදුණු දිව වරින් වර මුවින් මතුවනු පෙනුණි. නොකඩවා වේගයෙන් පිඹිමින් උන් ඌ එක්වරම නිදහස සොයා යන්නට තීරණය කළේය. මේසය මත වූ ටින් බඳුනෙන් මිදී බිමට වැටුණු ඌ තම බිඳුනු සිරුර අද්දවමින් වේදනාවෙන් මිරිකෙමින් බිම දිගේ ඇදී යන්නට විය. ඔහු එළිපත්තට එළඹුණු විට නැවත පෙනය විහිදුවේ එහි තවත් අනතුරක් දක්නට තිබුණු බැවිනි. 

පන්ති කාමරයෙන් පිටත පීරිසියක් සහ කිරි ජෝගුවක් අතැතිව ගංගා රාම් සිටගෙන සිටියේය. කාල නාගයා තමන් වෙතට ඇදී එනු දුටු සැණින් ඔහු බිම දණ ගසා පීරිසියට කිරි වත් කර එය දොරකඩින් තැබුවේය. ඉනික්බිති දෑත එක් කර නළල බිම ඔබා ඔහු වැඳ වැටුණේ නාගයාගෙන් සමාව ඉල්ලන ලීලාවෙනි. එහෙත් මහත් සේ කැළඹී, අධික කෝපයෙන් සිටි නාගයා පිඹිමින් ගංගා රාම් ගේ හිසට පැන කිහිප වරක් දෂ්ඨ කළේ ය. ඉන්පසු ඌ ඉතාමත් අපහසුවෙන් ඇදී ගොස් කාණුවට රිංගා අතුරුදන් විය. 

තම මුහුණ දෑතින් වසාගෙන ගංගා රාම් බිමට ඇද වැටිණි. ඔහු වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියේය. නයි විෂ ඔහුව සැනෙකින් අන්ධ කර තිබුණු අතර විනාඩි කිහිපයක් යද්දී ඔහු සුදුමැලි වී කටින් සෙම දමන්නට විය. ඔහුගේ නළලේ මතු වී තිබූ ලේ බිඳු ගුරුතුමා තම ලේන්සුවෙන් පිස දැමුවේය. ගංගා රාම්ගේ නළලේ සඳුන් ආලේපනයෙන් ඇඳ තිබුණු V අකුරට යටින් කාල නාගයා දෂ්ඨ කළ තැන පැහැදිලි ව පෙනුණි. 


Translation of the story ‘Mark of Vishnu’ bu Kushwant Singh

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

සිසිල සඟරාව - මාර්තු 2025 කලාපය 

(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)


Photo generated by Canva AI

February 06, 2025

කබාය

 


ඒ කඳුකර වතුයායේ සීතල දේශගුණයක් පැවතුණත් හාත්පස මීදුම් රහිතව තිබුණු බැවින් ඈතින් හිමාල කඳු පන්තිය පැහැදිලි ව දිස් විය. ඒ දිනවල වතුයාය ට පිවිසෙන මාර්ගවල තැන තැන හිම වැටී තිබුණි. මා වඩාත් ප්‍රිය කළේ නිවසේ ඇඳට වී උණුසුම් ව, පොතක් කියවමින් සිටීමට වුවත් පෙරදිනක අසල්වැසි කපාඩියා යුවළගේ සාදයකට කළ ඇරයුම මා පිළිගෙන තිබුණු බැවින් එහි නොගොසින් සිටීම නොතරම් බව මට සිතුණි. එබැවින් අන්තිමේදී මම ඝන කමිස දෙකක්, පැරණි ෆුට්බෝල් මෆ්ලරයක් සහ කබායක් පැළඳගෙන සඳ එළියෙන් ආලෝකවත් වූ පාර ඔස්සේ පිටත් වූයෙමි. 

කපාඩියා නිවස තිබුණේ මගේ නිවසේ සිට හැතැප්මක් තරම් දුරිනි. මේ දුරින් අඩක් පමණ මා ගෙවූ පසු මාවත මැද තරුණියක් සිටගෙන සිටින අයුරු දුර සිටම මම දුටුවෙමි. 

බැලූ බැල්මට ඇයට වයස දාසයක්, දාහතක් පමණ විය. ඉනට තරම් දිග කොණ්ඩයකින් යුතු වූ ඈ හැඳ පැළඳ සිටියේ පැරණි තාලයට ය. රෝස සහ දම් පැහැයෙන් යුක්ත වූ ඇගේ දිගු ගවුමේ තැන තැන දිලිසෙන සීක්වින්ස් අල්ලා තිබුණු අතර එය දුටු විට මට සිහි වූයේ මගේ අත්තම්මාගේ පින්තූර ඇල්බම් වල පින්තූරයි. ඈට කිට්ටු වෙද්දී ඇයට සුන්දර දෑසක් සහ මනස්කාන්ත සිනාවක් තිබුණු බව මට පෙනුණි. 

“සුබ සන්ධ්‍යාවක්! අද බොහොම සීතල දවසක් නේද?” මම ඇගෙන් ඇසුවෙමි. 

“ඔයා සාදයටද යන්නේ?” ඈ මගෙන් විමසුවාය. 

“හරියට හරි, ඔයාගේ ලස්සන ගවුම දැක්කාම කියන්න පුළුවන් ඔයා යන්නෙත් එහෙ කියලා. එහෙනම් අපි දෙන්නාම යමු, දැන් ළඟයි.”

ඈ මා අසලින් ගමන් කරන්නට වූවාය. නොබෝ වේලාවකින් දේවදාර තුරු අතරින් කපාඩියා නිවසේ විදුලි ආලෝකය පෙනෙන්නට විය. තමන්ගේ නම ජූලි බව තරුණිය කීවාය. ඒ වෙද්දී මා ඒ වතුයාය ට පැමිණ ගත වී තිබුණේ මාස කීපයක් බැවින් මා ඉන් පෙර ඈ ව දැක තිබුණේ නැත. 

සාදයේ සෑහෙන පිරිසක් සිටි නමුත් ඒ කිසිවකු ජූලි හඳුනන බවක් නොපෙනුණි. ඈ මගේ මිතුරියක් බව හැම කෙනෙකුම අනුමාන කළ අතර මා ද ඒ අදහස බැහැර කළේ නැත. ඈ තනිකමින් පීඩා විඳි බවත් මිතුරු ඇසුරක් සොයමින් සිටි බවත් පැහැදිලි ව පෙනුණි. ඒ සාදයේදී ඈ බොහෝ ප්‍රීතියෙන් කාලය ගත කළාය. ඈ කෑම බීම ගැන වැඩි අවධානයක් යොමු නොකළත් එහි හැම කෙනෙකු අසලටම ගොස් සිනාසෙමින්, කතාකරමින්, ඔවුන්ට ඇහුම්කන් දෙමින් කාලය ගත කළාය. ඉනික්බිති සංගීතය වාදනය වීමත් සමඟම ඈ තනිවමත්, වෙනත් අය සමඟත් නටමින් බෙහෙවින් විනෝද වූවාය. බැලූ බැල්මට පෙනුණේ ඈ සංගීතයෙන් මත්ව සිටි බවකි. 

මා සාදයෙන් නික්මෙන්නට සූදානම් වෙද්දී මැදියම් රැයට ආසන්න වී තිබිණි. ඒ වෙද්දී මා සෑහෙන තරමට මධුවිත තොලගා තිබුණු අතර මට වුවමනා වූයේ නින්දට වැටෙන්නයි. මා නිවෙස් හිමියන්ගෙන් සමු ගෙන හැමට සුබ නත්තලක් පතද්දී ජූලි මා අසලට විත් ඇය ද නිවෙස බලා යන්නට සූදානම් බව පැවසුවා ය. 

“ඔයාගේ ගෙවල් කොහෙද ජූලි?”

අප සාදයෙන් පිටවූ පසු මම ඇගෙන් විමසුවෙමි. 

“මම ඉන්නේ වුල්ෆ්ස්බර්න් වල” ඈ කීවාය. “කන්ද උඩ.”

“මේ හුළඟ හරි සීතලයි. ඔයාගේ ගවුම ලස්සන වුණාට ඒකෙන් වැඩි උණුසුමක් ලැබෙන්නේ නැහැ වගෙයි නේද? මෙන්න, මගේ කබාය ඇඳගන්න. පේනවනේ, කබාය නැති වුණත් මම නම් සීතලෙන් ආරක්ෂිතයි.”

මා මගේ කබාය ගලවා අගේ උරහිස් මත රඳවද්දී ඈ විරෝධයක් පෑවේ නැත. ඉනික්බිති අපි නිවෙස් බලා ගමන් ඇරඹුවෙමු. 

අප මුලින් මුණගැසුණු ඉසව්වේදීම ඈ නැවතත් නතර වූවාය. 

“මෙතැනින් කෙටි පාරක් තියෙනවා. මම මේ කන්ද දිගේ දුවලා යන්නම්.” ඈ කීවාය. 

“ඔයාට ඒ පාර පුරුදු ද? පටු පාරක් වගේනේ පේන්නේ.”

“අයියෝ මම මේ පාරේ හැම ගහක් ගලක්ම හොඳට දන්නවා, මම නිතර ඒ පාරේ යනවා එනවා. අනික අද හොඳට හඳ එළිය තියෙන දවසක්නේ.”

“එහෙනම් කබාය ඇඳගෙන ම යන්න. මම හෙට ඇවිත් ඒක ආපිට ගන්නම්.” මම කීවෙමි. 

ඈ මොහොතක් නිසොල්මන් ව හිඳ ඉනික්බිති සිනාසී, හිස වනා, මා කී දේ අනුමත කර, ඒ කෙටි මඟ ඔස්සේ නොපෙනී ගිය අතර මම තනිවම නිවස බලා ගියෙමි. 

ඊට පසු දින මම වුල්ෆ්ස්බර්න් වෙත ඇවිද ගියෙමි. කුඩා දිය කඳුරකින් එතෙර වී, විවර ව තිබුණු යකඩ ගේට්ටුවකින් ඇතුළු වූ විට මා එහි දුටුවේ ගරා වැටුණු නිවසකි. ඊට වහලයක් නොතිබුණු අතර, ගල් ගොඩක්, කඩා වැටුණු පෝරණුවක් සහ පෙරදී බරාඳයක් තිබුණු බවට ලකුණු පෙන්වූ කණු කිහිපයක් දක්නට විය. 

ජූලි මට විහිළුවක් කළා ද? නොඑසේ නම් මා පැමිණ තිබුණේ වැරදි නිවසටද?

කඳු ගැටය වටා ඇවිද ගිය මම ඒ අසල ටේලර් යුවල පදිංචි පැරණි නිවස වෙත එළඹී, ජූලි නම් තරුණියක් ගැන විස්තර දන්නේදැයි වයස්ගත ටේලර් මහත්මියගෙන් විමසුවෙමි. 

“නෑ මම හිතන්නේ මම එහෙම කෙනෙක් දන්නේ නැහැ,” ඈ කීවාය. “කොහෙද එයා පදිංචි?”

“වුල්ෆ්ස්බර්න් වල කියලා තමයි කිව්වේ නම්, ඒත් ඒ ගෙදර ගරා වැටිලානේ.”

“පහුගිය අවුරුදු හතලිහට කවුරුවත් වුල්ෆ්ස්බර්න් වල ජීවත් වෙලා නැහැ. මේ පළාතේ මුලින්ම පදිංචි වුණ මැකිනන් ලා තමයි එහෙ හිටියේ. ඒත් එයාලගේ දුව මැරුණා ට පස්සේ..” ටේලර් මහත්මිය හදිසියේම කතාව නවතා මා වෙත අමුතු බැල්මක් එල්ල කළා ය. “මම හිතන්නේ ඒ දැරිවි නම ජූලි, කොහොමහරි ඒ ළමයා මළා ට පස්සේ එයාලා ඒ ගේ විකුණලා කොහේ හරි ගියා. ඊටපස්සේ කවුරුවත් ඒකෙ ජීවත් වුණේ නැහැ, ගේ ටික ටික ගරා වැටුණා. ඔයා හොයන ජූලි එයා වෙන්න බැහැ. ඒ දැරිවි මැරුණේ ක්ෂය රෝගේ හැදිලා. ඒ කාලේ ඒ ලෙඩේ හොඳ කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එයාගේ සොහොන තියෙන්න ඔය පාරේ කෙලවර තියෙන සොහොන් පිට්ටනියේ.”

මා ටේලර් මහත්මියට ස්තූති කර සොහොන් පිටිය වෙත ඇවිද යන්නට විය. ඒ වෙද්දී මට මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්නට වුවමනාවක් නොමැති වුවත් නොදැනුවත්වම මෙන් මා ඒ වෙත ඇදී යමින් තිබිණි.

ඒ කුඩා සොහොන් පිටිය තිබුණේ දේවදාර තුරු පෙළ පාමුලයි. එතැනට තනි නිල් අහස් පසුබිමේ හිමාල කඳු පෙළේ සදාකාලික හිම පතනය මනාව පෙනුණි. අධිරාජ්‍ය ගොඩ නඟන්නට වෙහෙසී මේ වෙද්දී ලෝකයට අමතක වූ සොල්දාදුවන්, වෙළෙන්දන්, ගවේෂකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සිරුරු වල නටබුන් මේ බිමේ වැළලී තිබිණි. ජූලි ගේ සොහොන සොයා ගන්නට මට වැඩි වෙලාවක් ගත වූයේ නැත. වැඩි මෝස්‌තර නොමැති සරල සොහොන් කොතක ඇගේ නම පැහැදිලි ව සඳහන් ව තිබිණි.


ජූලි මැකිනන්
1923-39
“මොහොතක් ඈ අප ළඟ සිටියාය
දැන් සදාකාලික සැතපුමට
ඈ දෙවියන් වහන්සේ ළඟ යි”

මෝසම් වැසි ගණනාවක් මේ සොහොන් පිටිය පිස හමා ගොස් එහි සොහොන් කොත් වල අකුරු මකා දමා තිබුණද, ඒ කිසිවකින් මේ කුඩා සොහොන් කොත පීඩාවට පත් වූ බවක් නොපෙනුණි. 

මා ආපසු යාමට හැරෙද්දී සොහොන් කොත පසුපස මා මීට පෙර දැක පුරුදු යමක් මගේ නෙත ගැටුණු බැවින් මම එතැනට පා නැඟුවෙමි.

පිළිවෙලට නවන ලද මගේ කබාය එහි විය. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘The Overcoat’ by Ruskin Bond

සිසිල සඟරාව - පෙබරවාරි 2025 කලාපය 
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Photo generated by Canva AI


January 07, 2025

ගිනිකූරු විකිණූ දැරිය

වසරේ අවසාන දිනය වූ එදින, හිම වැටෙන, බෙහෙවින් සීතල දිනයක් විය. රාත්‍රිය එළඹෙමින් තිබිණි. මේ වෙලාවේ වීදිය ඔස්සේ ගමන් කරමින් සිටි දුගී දැරිය හිස් වැස්මක් වත් පාවහන් වත් රහිතව සිටින බවක් පෙනුණි. ඇය නිවසින් නික්මෙද්දී අගේ දෙපයේ සෙරෙප්පු යුගලක් තිබුණු බව සත්‍යය වූවත් ඒවායින් ඇති පල කුමක්ද? ඒ ඇගේ මව පාවිච්චි කළ සෙරෙප්පු නිසා ඒවා ඇගේ දෙපයට විශාල විය. වේගයෙන් ගමන් කළ අශ්ව රිය දෙකක ගැටීමෙන් බේරීමට ඈ දිව යද්දී ඒවා ඇගේ දෙපයින් ගිලිහී ගොස් තිබිණි.

ඉන් එක් සෙරෙප්පුවක් සොයාගන්නටවත් නොමැති වූ අතර අනෙක හිඟන කොලුවෙකු විසින් ඩැහැගෙන යන ලදී. තමන්ට දරුවෙකු ඇති කලක ඒ සෙරෙප්පුව තොටිල්ලක් ලෙස පාවිච්චි කිරීම ඔහුගේ අදහස විය. අන්තිමේදී කුඩා දැරිය ඇගේ නිරුවත් කුඩා දෙපයින්ම ගමන් කළ අතර ඒ දෙපය සීතලෙන් නිල්- රතු වී තිබිණි. ඈ පරණ ඒප්‍රනයක සාක්කුවේ ගිනිකූරු මිටි කීපයක් බහාගෙන සිටි අතර තව එක් මිටියක් ඇගේ අතේ විය. ඒ දවස පුරාවටම කිසි කෙනෙකු ඇගෙන් එක් ගිනිකූරු මිටියක් වත් මිළට ගෙන තිබුණේ නැත. ඇයට කිසිවෙකු වත් සතයක් හෝ දී තිබුණේ නැත.

කුසගින්නෙන් සහ සීතලෙන් පීඩිතව වෙව්ලමින් ඈ හෙමි හෙමින් ඉදිරියට ගියා ය. ඇගෙන් දිස් වූයේ ශෝකයේ ප්‍රතිමූර්තියකි.

ඇගේ ගෙල දෙපස වූ අලංකාර, රන්වන්, කැරළි කෙස් ඇදහැලෙන හිම කැටි වලින් වැසෙන්නට වූවත් ඇයට ඒ ගැන වගක් තිබුණේ නැත. වටපිට ගොඩනැගිලි වල කවුළු අතරින් ඉටිපන්දම් එළි දිලිසෙමින් දිස් විය. රෝස්ට් කළ පාත්ත මස් සුවඳ දසත විහිදිණි. එය නව වසර උදාවට පෙර දවස බව ඇයට සිහි විය.

නිවෙස් දෙකක් අතර මුල්ලක බිම හිඳගත් ඈ සීතලෙන් මුවා වීමට උත්සාහ කළාය. තම කුඩා දෙපය තමන්ගේ සිරුර වෙතට ලං කරගත් නමුත් ඈට වැඩි වැඩියෙන් සීතල දැනෙන්නට විය. ඒ දවසේ කිසිම වෙළඳාමක් නොකර, කිසි ආදායමක් උපයා නොතිබුණු බැවින් ඈ ආපිට තම නිවසට යාමට සිතුවේ නැත. එසේ ගියහොත් නිසැක ව ම ඇගේ පියා ඇයට පහර දෙන බව ඈ දැන සිටියාය. අනෙත් අතට තම නිවසද මෙතරම්ම සීතල විය. එහි හිසට ඉහළින් පියසක් තිබුණද, එහි විශාල හිඩැස් පිදුරු සහ රෙදි කැබලි ආදියෙන් වසා තිබුණද ඒ අතරින් සුළඟ උරුවම් බාමින් හමා ගියේය.

මේ වෙද්දී ඇගේ කුඩා දෑත සීතලට සම්පූර්ණයෙන් මෙන් හිරි වැටී තිබිණි. අහෝ! එක ගිනිකූරක් කොයිතරම් සහනයක් ගෙනෙනු ඇතිද! ගිනිකූරු මිටියෙන් එකම එක ගිනිකූරක් පිටතට ගෙන එය බිත්තියේ ගාවා දල්වා තම ඇඟිලි ඉන් උණුසුම් කරන්නට ඇත්නම්! මෙසේ සිතූ ඈ ඉන් එකක් පිටතට ගත්තාය. “රිෂ්!” එය ඇවිලුණු හැටි, ගිනිගත් හැටි! ඉන් නික්මුණේ ඉටිපන්දමක වැනි ආලෝකයකි. ඈ අත්ලෙන් ඒ එළිය මුවා කරද්දී ඈට දැනුණේ එය අපූරු දිලිසුමක් බවයි. පිත්තල පාද සහ කැටයම් සහිත විශාල වානේ උදුනක් ඉදිරිපස තමන් වාඩිවී සිටින බවක් ඇයට දැනුණි. ඒ ගින්න දැවුණේ මහත් උද්යෝගයෙනි, ඉන් ලැබුණු උණුහුම සතුට ගෙන එන්නක් විය. කුඩා දැරිය උණුසුම ලැබීමට තම දෙපා ද දිගු කළා ය- නමුත් හදිසියේම ඒ කුඩා ගිනි දැල්ල නිවී ගිය අතර ඒ සමඟම උදුන ද අතුරුදන් විය. ඇගේ අතේ ඉතිරිව තිබුනේ දැවුණු ගිනිකූර පමණි.

ඈ දෙවෙනි ගිනි කූරත් දැල්වූවාය. එය දැවෙද්දී විහිදුණු දීප්තිමත් ආලෝකය අසල බිත්තිය මතට වැටී එය වේල් පටක් සේ දුහුල් වූයේ ඇයට ඒ නිවසේ ඇතුළත පෙනෙන ලෙසයි. කෑම මේසය මත හිම මෙන් සුදෝ සුදු මේස රෙද්දක් අතුරා තිබුණු අතර ඒ මත වටිනා පිඟන් කට්ටලයක් දක්නට විය. එක් පලංගානක ඇපල් සහ වියළි ප්ලම් පුරවා රොස්ට් කළ පාත්තයෙකු දුම් දමමින් තිබිණි. නමුත් වඩාත්ම පුදුම සහගත කාරණාව නම් ඒ පාත්තයා හදිසියේම මේසයෙන් බිමට පැනීමයි. ඌ පපුවේ ඇනුණු හැන්දකුත් ගෑරුප්පුවකුත් සහිතව ඒ මේ අත වැනෙමින් කුඩා දැරිය අසලටම එද්දී - හදිසියේම දෙවෙනි ගිනිකූරත් නිවුණි. ඉනික්බිති එතැන ඉතිරි වූයේ ගනකම්, තෙත, සීතල බිත්තිය පමණි. ඈ තවත් ගිනිකූරක් අතට ගත්තාය. දැන් ඇය සිටියේ විසිතුරු ලෙස සරසන ලද නත්තල් ගසක් යටයි. එය ඇය පෙර වේලාවක ධනවත් වෙළෙන්දාගේ නිවසේ වීදුරු දොරවල් තුළින් දුටු නත්තල් ගසටත් වඩා විශාල විය.

නත්තල් ගසේ කොළ පැහැති අතු ඉති අතරින් විදුලි බුබුළු දහස් ගණනක් දැල්වෙමින් තිබිණි. ඒ අතර ඈ සාප්පු කවුළු වල දැක ඇති අන්දමේ විසිතුරු ලෙස පාට දිලුණු සිතුවම් වූ අතර ඒවා ඈ දෙස බලා සිටිනවා මෙන් පෙනුණි. ඒ විසිතුරු අල්ලන්නට දැරිය අත දිගු කළ සැණින් ඒ ගිනිකූරත් නිවී ගියේ ය. නත්තල් ගසේ විදුලි එළි ටිකෙන් ටික ඉහලට එසවෙනු ඈ දුටුවාය. නොබෝ වේලාවකින් ඒවා දෙව්ලොව තරු ලෙසින් පෙනෙන්නට වී හදිසියේම ඉන් එකක් පොළොවට කඩා වැටී එහි දිගු ගින්දර සලකුණක් ඉතිරි කළේය.

“කවුරු හරි මැරිලා!” දැරිය කීවාය. ඇයට ආදරය කළ එකම පුද්ගලයා වන ඇයගේ මියගිය අත්තම්මා ඈ ට කියා තිබුණේ තරුවක් කඩා වැටුණු විට කිසිවකුගේ ආත්මයක් පොළොවෙන් නික්මී දෙවියන් වෙත යන බවයි.

ඇය තවත් ගිනිකූරක් දැල්වූවා ය. යළිත් වතාවක් ආලෝකය පැතිරෙද්දී ඒ මැද සිටියේ ඇගේ අත්තම්මා යි. දිදුලමින්, බැබලෙමින් සිටි ඇයගේ මුහුණේ තිබුණේ ආදරබර පෙනුමකි.

“අත්තම්මා!” දැරිය කෑ ගැසුවාය. “අනේ මාව ඔයා එක්ක එක්කගෙන යන්න. ගිනිකූරු නිවෙද්දී හැම දේම අතුරුදන් වෙනවා, උණුසුම් උදුන, රසම රස රෝස්ට් කළ මස්, ලස්සන නත්තල් ගහ, මේ හැම දෙයක්ම!” මෙසේ කියා ඈ ගිනිකූරු මිටියක්ම බිත්තියේ අතුල්ලා දැල්වූවාය. ඈට වුවමනා වූයේ ඇගේ අත්තම්මා ව තමන් සමීපයේ තබා ගැනීමටයි. ගිනිකූරු දැල්වෙද්දී විසිරුණු ආලෝකය මධ්‍යහ්නටත් වඩා දීප්තිමත් විය. ඇයට අත්තම්මා මෙතරම් අලංකාරව, මේතර උස් ව කවදාවත් පෙනී නැත. අත්තම්මා කුඩා දැරියගේ අතින් අල්ලාගත් පසු දෙදෙනාම දිලිසෙන ආලෝකය වෙතට සතුටින් පියාඹා ගියෝය. ඔවුන් ගිය පෙදෙසේ සීතලවත්, කුසගින්න වත්, සිත් තැවුල් වත් තිබුණේ නැත. ඔවුන් සිටියේ දෙවියන් සමඟයි.

පසු දිනට එළිවන සීතල හෝරාවේදී වීදිය අයිනේ නිවසක බිත්තියට වාරු වී දැරිය හිඳ සිටියා ය. ඇගේ දෙකොපුල් රෝස පැහැයෙන් දිලිසුණු අතර මුවේ මඳ

සිනාවක් විය. ගෙවී ගිය වසරේ අවසන් රාත්‍රියේ ඈ අධික සීතල නිසා මියැදී සිටියාය. දරදඬු ව සිටි ඇයගේ අතේ තිබුණු ගිනිකූරු මිටි අතුරින් එකක් පමණක් පිලිස්සී අවසන් ව තිබිණි. “ඇයට උණුහුම් වෙන්න වුවමනා වෙන්න ඇති,” එය දුටු මිනිස්සු කීහ. ඈ දුටු විසිතුරු සුන්දර දේ ගැන කිසිවෙකු හීනෙන් වත් අනුමාන කළේ නැත. නව වසර උදා වෙද්දී කුඩා දැරිය තම අත්තම්මා සමඟ පිවිසුණු ඒ උත්කර්ෂවත් පෙදෙස ගැන කිසිවෙකුට ඉඟියක් වත් ලැබී තිබුණේ නැත.

Translation of the short story ‘The Little Match-Seller’ by Hans Christian Anderson

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


සිසිල සඟරාව - ජනවාරි 2025 කලාපය
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Photo generated by Canva AI




December 22, 2024

මහාරාජා සහ රැජින


Translation of the story ‘Raja and Rani’ by Rabindranath Tagore



බිපින් කිශෝර් රිදී හැන්දක් මුව හොවාගෙන උපන්නෙකු බැවින් ඔහු මුදල් ඉපයීමට වඩා දෙගුණයක් හොඳින් එය වියදම් කිරීමට දැන සිටියේය. මින් ඇතිවූ ස්වභාවික ප්‍රතිපලය නම් ඔහුට තමන් උපන් නිවසේ වැඩි කල් වාසය කිරීමට නොහැකි වීමයි. .

බිපින් යහපත් පෙනුමක් ඇති සුකුමාර තරුණයෙක් විය. ඔහු ව්‍යාපාර සම්බන්ධයෙන් මෝඩයෙකු වූවත්, ජීවිතයේ හැල හැප්පීම් දරා ගැනීමට නුසුදුස්සෙකු වූවත්, සංගීතයට දක්ෂයෙක් විය. ජගන්නාත් ගේ රියේ රෝදයක් ලෙසින් ඔහු ජීවිතය ඔස්සේ පෙරළී ගියත්, ඔහුට අවශ්‍ය කුමාර ජීවිතය වැඩි කාලයක් තිස්සේ ගෙන යාමට නොහැකි විය.

වාසනාවකට මේ වෙද්දී තරුණ මහාරාජා චිත්තරන්ජන්, ආධුනික නාට්‍ය කණ්ඩායමක් සංවිධානය කිරීමට මහත් උනන්දුවෙන් පසුවිය. බිපින් කිශෝර් ගේ පෙනුමත් සංගීත හැකියාවත් දැක ඒ ගැන පැහැදුණු රාජා, ඔහුව තම කණ්ඩායමට සතුටින් බඳවා ගත්තේය.

චිත්තරන්ජන් උපාධිධාරියකු වූවත් ඔහු අනවශ්‍ය වියදම් කාරයෙක් නොවීය. පෝසතකුගේ පුතෙකු වූවත් ඔහු හැම විටම නියමිත වෙලාවට, නියමිත තැන්වල ආහාර ගැනීමත්, නින්දට යාමත් කළේ ය. කෙසේ වෙතත් ඔහු බිපින් ට ආසක්ත වූයේ සුරාවට ආකර්ෂණය වන්නෙකු ලෙසිණි. ඇතැම් දිනවල ඔහු බිපින් ට සවන් දෙද්දී, ඔහු සමඟ ඔපෙරා තනු නිර්මාණ ගැන සාකච්ඡා කරද්දී ඔවුන් වෙත ගෙනැවිත් තිබුණු ආහාර පාන හීල් වූ අතර රාත්‍රිය ගෙවී ගියේය. තම ස්වාමියාගේ වෙන කිසිදු වරදක් නැතත් ඔහුගේ එකම දුර්වලතාවය බිපින් කිශෝර් වෙත මේ දක්වන අසාමාන්‍ය ඇඟඇලුම් කම බව චිත්තරන්ජන් ගේ සේවකයෝ පවා කීහ.

වසන්තා කුමාරි තරුණ රැජින නම් තම සැමියාට බැන වැදුණේ ඔහු කිසිම වාසනාවක් නොමැති බැබුන් වඳුරෙකු වෙනුවෙන් තම කාලය නාස්ති කරගනු බව කියමිනි. ඔහු අද හෙටම පළවා හළ හැකි නම් ඇයට සැනසීමට හැකි බව ඈ කීවාය.

තම තරුණ බිරියගේ ඉරිසියාවකට සමාන මේ හැසිරීම් ගැන මහරාජා චිත්තරන්ජන් යටි සිතින් සතුටු විය. මේ ලෝකයේ සිටින්නේ තමන් ආදරය කරන පිරිමියා පමණකැයි ගැහැනුන් සිතන බව ඔහු තනිවම සිනාසෙමින් සිතුවේ ය. මීට අමතරව අගය කිරීමක් ලැබිය යුතු තවත් පිරිමින් සිටිනු හැකි බව ඔවුන් කල්පනා කරන්නේ නැත. ඔවුන් සිතන පරිදි මෙලොව එකම යහපත් පිරිමියා නම් තම දෙසවනට විවාහ පොරොන්දු කෙඳිරූ තැනැත්තා ය. තම සැමියාගේ ආහාර වේල මඳක් ප්‍රමාද වීම ඇයට මහා මෙරක් තරම් ගැටලුවක් වන නමුත් සැමියා මත යැපෙන්නන් ට කෑම කටක් වත් නොමැති වූවත් ඔවුන් එය පිත්තල බොත්තමක් තරම්වත් ගණන් ගත්තේ නැත. ස්ත්‍රී පාර්ශවයේ මේ අසාධාරණ හැසිරීම විරෝධය පෑ යුතු වර්ගයේ එකක් වූවත් චිත්තරන්ජන්ට ඒ ගැන අප්‍රසාදයක් දැනුණේ නැත. මේ නිසා ඔහු තම බිරිඳ ඉදිරියේදී බිපින් සමඟ බරපතල සාකච්ඡා වල නිරත වූයේ ඇයව අවුස්සා ඇගේ නොරිස්සුම රස විඳීමට ය.

නමුත් මේ මහාරාජා චිත්තරන්ජන් ට සහ රැජින ට ක්‍රීඩාවක් වැනි වූ දේ බිපින් ට නම් මහත් ව්‍යසනයක් විය. ඊට හේතුව, රැජින මේ අවාසනාවන්ත යැපෙන්නා වෙත උවමනාවෙන්ම දැක්වූ නොසලකහැරීම දැක ඒ නිවසේ සේවකයන් ඊටත් වඩා උවමනාවෙන් ඔහුව නොසලකා හැරීමයි. ඔවුන් නිරතුරුවම බිපින් ගේ සුවපහසුව ගැන සොයාබැලීමට අතපසු කිරීම ඔහුගේ මහත් සිත් තැවුලටත්, දොම්නසටත් හේතු විය.

වරක් රැජින, පුටේ නම් සේවකයාට දොස් පවරමින් මෙසේ ඇසුවේය. “උඹ කිසි වෙලාවක වැඩක් පලක් කරනවා පේන්න නැහැ, දවස තිස්සෙම මොනවද මිනිහෝ කරන්නේ?”

“සමාවෙන්න මැඩම්, මගේ දවසම ගෙවෙන්නේ මහරාජා ගේ අණට බිපින් බාබුගේ සාත්තුවට,” අසරණ සේවකයා ගොත ගැසීය.

“ඇයි උඹේ බිපින් බාබු මහාරාජා කෙනෙක් ද?” මෙය අසා රැජින නොරිස්සුමෙන් විමසුවා ය. පුටේ ට මෙය ප්‍රමාණවත් විය. ඊළඟ දිනයේ පටන් ඔහු බිපින් බාබුගේ ඉඳුල් පිඟන් ඉවත් නොකළ අතර ඇතැම් දිනවලදී ඔහුගේ ආහාර ආවරණය කරන්නටද අමතක කළේය. මේ නිසා බිපින්ට නුහුරු ලෙස තම පිඟන් කෝප්ප සෝදා ගැනීමටත්, බොහෝ අවස්ථාවල නිරාහාරව සිටීමටත් සිදු විය. නමුත් මේ ගැන කන් කෙඳිරි ගා රාජාට පැමිණිලි කිරීම ඔහුට තරම් වූයේ නැත. සේවකයන් සමඟ සණ්ඩු සරුවල් ඇති කරගැනීම වැනි මට්ටමකට තමන්වම පහතට හෙළා ගැනීමට අකමැති වූ බැවින් ඔහු මේ අපහසුතා නොසලකා සිටීමට සමත් විය. එබැවින් බිපින් කෙරෙහි රාජා ගේ කැමැත්ත වැඩි වෙද්දී රාණි ගේ අකමැත්තද සීමාන්තික ලෙස වැඩිවිය.

නිසි පුහුණුවීම් වලින් අනතුරුව සුභද්‍රහරන් නම් ඔපෙරාව මහජන දැක්මට සූදානම් විය. මෙහි වේදිකාව තැනුනේ රජ වාසලේ මිදුලේ ය. ක්‍රිෂ්ණා ගේ චරිතය මහාරාජා චිත්තරන්ජන් විසින් රඟ පෑ අතර බිපින් පණ පෙව්වේ අර්ජුන ගේ චරිතයටයි. ඔහු කෙතරම් මිහිරි ව ගී ගැයුවේ ද! ඔහු කෙතරම් පියකරු ද! නරඹන්නන් මහත් සතුටින් අත්පොළසන් දෙන්නට විය.

නාට්‍යය අවසන් වූ පසු චිත්තරන්ජන් තම රැජින වෙත පැමිණ ඒ ගැන ඇගේ අදහස් විමසුවේය.

“ඇත්තටම, බිපින් අර්ජුනගේ චරිතය හරිම අපූරුවට කළා. එයා වංශවත් පවුලක කෙනෙක් වගේ තමයි හරියටම පේන්නේ. එයාට තියෙන්නේ එයාටම ආවේනික කටහඬක්!”

“එතකොට මම කොහොමද? මම ලස්සන නැද්ද? මගේ කටහඬ මිහිරි නැද්ද?” චිත්තරන්ජන් කවටකමින් ඇසුවේය.

“ඔයා ඉතින් වෙනම කතාවක් නේ” කී රැජින නැවතත් බිපින් කිශෝර් ගේ නාටකීය හැකියාවන් වර්ණනා කරන්න පටන් ගත්තාය.

ඉක්බිති තත්ත්වය සහමුලින්ම වෙනස් වූ අතර ප්‍රශංසා කරන්නා අවලාද නඟන්නට පටන්ගත්තේය. මෙතුවක් කල් තම බිරිඳ ඉදිරියේ බිපින් ගේ ගුණ වර්ණනා කිරීමට පසුබට නොවූ ඔහු, දැන් සිතුවේ මිනිසුන් වැඩි දුර නොසිතා බිපින් ගේ හැකියාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන බවයි. ඔහුගේ පෙනුමේවත් කටහඬේ වත් ඇති සුවිශේෂී බව කුමක්ද? මීට ටික කලකට ඉහතදී ඔහු ද එවැනි වැඩිදුර නොසිතන්නෙකු ව සිටියද, හදිසියේම, අභිරහස් ක්‍රමයකට චිත්තරන්ජන්ගේ සිතීමේ හැකියාව දියුණු වී තිබිණි!.

ඉනික්බිති එළඹුණේ මාලිගාවේදී බිපින් ගේ සියලු පහසුකම් ගැන සොයා බැලෙන කාලයකි.

“බිපින් කාලයක් තිස්සේ යමක් කමක් තිබුණු කෙනෙක් නිසා එයාට රාජ සභාවේ සුළු සේවකයෝ එක්ක නවාතැන් දෙන එක වැරදියි නේද?” රැජින මහාරාජාගෙන් විමසුවාය.

“හඃ!” කියා ඊට කෙටියෙන් පිළිතුරු දුන් මහාරාජා මාතෘකාව වෙනස් කළේ ය.

රාජකීය ළදරුවාගේ ඉඳුල් කට ගෑමේ මංගල්‍යය වෙනුවෙන් තවත් ප්‍රසංගයක් පවත්වන්නට රැජින යෝජනා කළ විට මහාරාජා චිත්තරන්ජන් එය නෑසුණු සේ සිටියේ ය.

දිනක් තම යහන නිසි ලෙස නොසැකසීම ගැන මහාරාජා පුටේ නම් සේවකයාට බැන වැදුණු විට “මම මොනවා කරන්නද අවසර, මැඩම් මට අණ දීලා තියෙන්නේ දවසම බිපින් බාබු ව බලාගන්න කියලා” යැයි ඔහු පැවසුවේ ය.

මෙයින් කෝපයට පත් රාජා “පුහ්! බිපින් බාබු රජෙක් කියලා දැන් නේ මම දන්නේ! ඇයි ඌ ට උගේ පිඟන් තනියම හෝදාගන්න බැරිද?” යැයි කෑ ගැසීය. මින් අනතුරුව සේවකයා තම ස්වාමියාගේ අණ පිළිපදින්නට පටන් ගත් බැවින් බිපින් නැවතත් පෙර සේම අසරණභාවයට පත් විය.

දැන් දැන් බිපින් ගේ ගීතවලට රැජින ප්‍රිය කළා ය. ඇයට ඒවා බෙහෙවින්ම මිහිරි වූ අතර ඈ ඒවායේ කිසි දොසක් නොදැක්කා ය. හවස්වරු වලදී ඇගේ සැමියා බිපින් සමඟ මිහිරි සංගීතය ගැන සාකච්ඡා කරද්දී ඈ යාබද කාමරයක පැලල්ලක පසුපස සිට ඊට සවන් දුන්නා ය. වැඩි කල් ගත වීමට මත්තෙන් මහාරාජා නැවතත් නියමිත වෙලාවට ආහාර ගැනීමත්, නින්දට යාමත් පුරුදු පුහුණු කරන්නට විය. සංගීත සාද අවසන් වූ අතර රජ වාසලට බිපින් ගේ සේවාව තවදුරටත් අනවශ්‍ය විය.

මහාරාජා චිත්තරන්ජන් සාමාන්‍යයෙන් මධ්‍යහ්නය දක්වා නිවසින් බැහැර ව තම ඉඩකඩම් පාලන කටයුතු සිදු කළේ ය. දිනක් ඔහු වේලාසනින් ආපිට පැමිණ මාලිගාවේ කාන්තාවන් ගේ කොටසට යද්දී තම රැජින යමක් කියවමින් සිටිනු දුටුවේය. ඒ කුමක්දැයි ඔහු ඇසු විට ඇය තරමක් පසුබානු පෙනුනත් ඉනික්බිති කීවේ “මම මේ බිපින් බාබු ගේ සින්දු පොතෙන් සින්දු කීපයක් කියෙව්වා, ඔයාගේ සංගීත විනෝදාංශය නවත්තලා දැම්මාට පස්සේ අපිට ඉතින් සංගීතය අහන්න ඉඩක් නැති වෙලාම ගියානේ.”

සංගීතය නම් විනෝදාංශය තම සැමියාගේ මනසින් මකා දැමීමට වෙහෙස වූයේ තමන් බව ඇයට ඒ මොහොතේ අමතක වූවා වැනි විය.

මීට පසු දින රාජා චිත්තරන්ජන් විසින් බිපින් ව තම නාට්‍ය කණ්ඩායමෙන් නිර්දය ලෙස ඉවත් කරනු ලැබුවේ ඒ අහිංසකයාට මින් මතුවට කෑම වේලක් වත් ලැබෙන්නේ කෙලෙසදැයි නොසිතමිනි.

බිපින් ට වැඩියත්ම ශෝකයක් දැනුණේ තමන්ව මෙලෙස සේවයෙන් පහ කිරීම නිසා නොවේ. ඔහු මහාරාජාට සේවය කළේ මුදලට නොව අවංක භක්තිමත් බැඳීමකිනි. මහාරාජාගේ මේ හදිසි වෙනස් වීම ඔහුට වටහා ගැනීමට නොහැකි විය.

“මේ දෛවය තමයි, දෛවය තමයි!” ඔහු තමාටම කියාගත්තේය. ඉනික්බිති ඔහු බරැති සුසුමක් හෙලා, තම පරණ ගිටාරය එහි ආවරණයේ හොවාගෙන, තමන් සතුව ඉතිරිව තිබුණු කාසි දෙක පුටේ ට සමුගැනීමේ තෑග්ගක් සේ පිරිනමා, තමන්ට එකදු මිතුරෙකු වත් නොමැති විසල් ලෝකය වෙත පිය නැඟුවේ ය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Picture generated by Canva AI

සිසිල සඟරාව -  දෙසැම්බර් 2024 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

November 01, 2024

ගෙදර හැදුණු කොටියා



මගේ සීයාට තිමති නම් කොටි පැටියා හමු වී තිබුණේ දෙහ්රා ප්‍රදේශයට කිට්ටුවෙන් ඇති ටෙරායි කැලෑවට දඩයමේ ගිය අවස්ථාවකදී ය.

සීයා දඩයක්කාරයෙකු නොවුණත් ඒ අවට වනාන්තර සහ කඳු ප්‍රදේශ ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණු බැවින් දිල්ලියේ සිට පැමිණි ප්‍රභූ පිරිසකගේ මේ දඩයම් ගමනට සම්බන්ධ වන සේ ඔහුට ද ආරාධනා කර තිබිණි. ඔහුට පැවරුණු රාජකාරි නම් ඒ ප්‍රදේශයේ භු විෂමතා ගැන ඔවුන්ට උපදෙස් දීමත්, හදිසියේවත් ඔවුන්ට කොටියෙකු හමුවුවහොත් ඌ ව වෙඩික්කරුවන් වෙතට පැන්නීම සඳහා පත් කර සිටි කණ්ඩායමට මඟ කීමත් ය.

මේ දඩයම්කරුවන්ගේ කඳවුර පවා මහත් සුඛෝපභෝගී මට්ටමින් පැවතිණි. එහි විශාල කූඩාරම් හතක් (එක වෙඩික්කරුවෙකුට එක බැගින්), භෝජන කටයුතු සඳහා කූඩාරමක්, සහ සේවක කූඩාරම් කීපයක් විය. මේ දින කීපයේදී ඔවුන්ට ලැබුණු රාත්‍රී ආහාර වේල පවා ඉතා හොඳ මට්ටමේ පැවතුණු බව සීයා පසුව කීවේය. මහා වනය මැද කුඩාරමක උණු වතුරෙන් අත සේදීමට කෝප්ප, උණුසුම් කරන ලද පිඟන්, කොටස් හත අටකින් යුතු කෑම වේලක් සහිත භෝජන සංග්‍රහයක් නිතර දක්නට නොලැබෙන බව ඔහුගේ අදහස විය. නමුත් මෙවැනි ප්‍රභූවරුන් බලයේ සිටි කාලයේ දේවල් සිදු වූයේ එලෙසිනි. මීට අමතරව මේ දඩයම් කණ්ඩායමේ අලි ඇතුන් පහලවක් ද විය. මින් අලි හතර දෙනෙකු මත ප්‍රභූන් වෙනුවෙන් ආසන පනවා තිබුණු අතර සෙසු සතුන් පුහුණු කර තිබුණේ ගොදුර දඩයම් කණ්ඩායම වෙතට පලවා හැරීමටයි.

මේ වතාවේදී කණ්ඩායමට කොටියෙකු දකින්නටවත්, වෙනත් කිසි සතෙකු දඩයම් කිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් ඔවුහු මුව රංචුවක්, මොණරුන් සහ වල් ඌරන් දුටුවහ. ඔවුන් කොටියෙකු දැකීමේ අදහස අත්හැර නරින්ට වෙඩි තබන්නට පටන් ගත් විට මගේ සීයා ඒ කණ්ඩායමෙන් මඳක් ඉවත් ව කැලය මැඳින් වැටුණු අඩි පාරක් ඔස්සේ ඉන් තරමක් ඔබ්බට ඇවිද ගොස් ඇත. මෙසේ යද්දී ඔහු නුග ගසක මුල් අතර සැඟවී සිටි අඩි එකහමාරක පමණ කුඩා කොටි පැටවෙක් දුටුවේය. සීයා ඌ ව තමන් ළඟ තබාගෙන හිඳ ඊට පසුදා දඩයම් කඳවුර අවසන් වූ පසු ඌ ව ගෙදර ගෙන ආවේය. ඒ දඩයම් කණ්ඩායමෙන් කිසිවෙකුට කිසිම සතෙකු මරා ගැනීමට හෝ මෙසේ පණ පිටින් අල්ලා ගැනීමට හෝ නොහැකි වූ අතර මෙවැනි වික්‍රමයක් කර තිබුණේ සීයා පමණි.

ඒ කුඩා කොටි පැටවාට තිමති යන නම දුන්නේ මගේ අත්තම්මා ය. මුලදී ඌ තනිකරම දැඩි වූයේ අපගේ කෝකියා වන මහමුද් ඌට දුන් කිරි වලිනි. නමුත් නොබෝ දිනකින් ඌට ඒ කිරි දිරවන්නට අපහසු බවක් පෙනුණු බැවින් උගේ කෑම වේල අමු එළු මස් සහ මෝර තෙල් වලට මාරු විය. තවත් කල් ගත වෙද්දී ඌට ලැබුණු පරෙවි සහ හා මස් ගැන ඌ වඩාත් කැමැත්තක් පෙන්වීය.

තිමති ට සගයන් දෙදෙනෙකු විය. ටොටෝ නම් වඳුරා කුඩා කොටි පැටවාගේ වලිගය ඇද ඌ ට සරදම් කිරීමට තරම් නිර්භීත වූ අතර තිමති ඉන් කුපිත වූ විට ටොටෝ ජනෙල් රෙදි දිගේ නැග සැඟවිණි. මීට අමතරව සීයා පාරෙන් සොයාගත් කුඩා බලු පැටවෙකු ද මේ සමාගමට අයත් විය.

මුලදී තිමති බලු පැටවාට බෙහෙවින් බිය වූ අතර ඌ ළඟට එද්දී තිමති විසුළු සහගත ලෙස ඌ ට තම විශාල පා වනා ඈතට දුව ගොස් සැඟවිණි. එහෙත් ටික කලක් යද්දී උන් දෙදෙනා බෙහෙවින් මිතුරු වූ අතර බලු පැටවාට තම පිට උඩ නිදා ගැනීමටද කොටි පැටවා ඉඩ දුන්නේ ය.

තමන් සමඟ සෙල්ලම් කිරීමට සුදානම් ඕනෑම කෙනෙකු වෙත කුරුමානම් ඇල්ලීම තිමති ගේ ප්‍රියතම විනෝද ක්‍රීඩාවක් විය. එකල මම සීයාගේ ගෙදර නතර වන්නට ආ විට මේ ක්‍රියාව සඳහා මා කොටියාගේ ප්රියතමයෙකු විය. එවන් අවස්ථාවලදී ඌ තම දිලිසෙන දෑසේ කපටි බැල්මකින් යුතුව, පහත් වී බඩගාගෙන මෙන් ක්‍රම ක්‍රමයෙන් මා අසලට විත්, මගේ දෙපා වෙත පැන, උඩුකුරු ව වැතිරී මහත් ප්‍රීතියෙන් පා ගසමින් මගේ වළලුකර සපන බවක් පෙන්වයි.

මේ වෙද්දී තිමති හොඳින් වැඩුණු බල්ලෙකුගේ තරම විය. මා ඌ ව ඇවිදින්නට රැගෙන යද්දී ගමේ මිනිස්සු අප ව මඟ හැර යාමට උත්සුක වූහ. මෙවැනි ගමන් වලදී තිමති දම්වැල අදිද්දී මට ඌව පාලනය කර ගැනීම පහසු වූයේ නැත. නිවසේ උගේ ප්‍රියතම තැන විසිත්ත කාමරය වූ අතර, එහි වූ දිග සෝපාවේ මහත් තේජසින් යුතුව වැතිර හිඳිමින්, තමන් ව එතැනින් එළවීමට තැත් කරන අයට ගොරවමින් කාලය ගෙවන්නට ඌ ප්‍රිය කළේ ය.

තිමති ට ඉතා පිරිසිදු ගති පැවතුම් තිබිණි. ඌ බළලෙකු මෙන් තම ඉදිරි ගාත් වලින් මුහුණ සේදුවේය. රාත්‍රියේදී කෝකියාගේ කාමරයේ නිදා ගත් ඌ හැම උදෑසනකම ඉන් පිටතට යවන මොහොත එනතුරු බලා සිටියේ ප්‍රීතිමත් නොඉවසිල්ලකිනි.

“ඔහොම යද්දී දවසක උදේ බලද්දී තිමති මහමුද් ගේ ඇඳ උඩ ඉඳීවි. මහමුද් ගේ ඇඳුම්, සපත්තු විසිරිලා තියේවි, ඒත් මහමුද් නම් දකින්න නැතිවෙයි!” අත්තම්මා අනාවැකි පවසන ස්වරයෙන් නිතර කීවාය. එහෙත් ඇත්තටම නම් එවැන්නක් සිදු වූයේ නැත. තිමති ට සය මසක් පමණ වයසේදී ඌ තුළ යම් වෙනසක් දක්නට වූ අතර ඌ එන්න එන්නම මිත්‍රශීලී බවින් අඩු විය. මා ඌ ව ඇවිදින්නට ගෙන යද්දී දිවගොස් කාගේ හෝ සුරතල් පෙකිනීස් බල්ලෙකුට හෝ බළලෙකුට කුරුමානම් අල්ලන්නට උත්සාහ කිරීම් වැඩි වනු පෙනිණි. ඇතැම් රාත්‍රී කාලවලදී අපට කුකුළු කූඩුව වෙතින් බියපත් කෑගැසීම් ඇසුණු අතර ඊට පසු දිනයේ බරාඳය පුරාවට කුකුල් පිහාටු විසිරී තිබිණි. මේ හැම දෙයක්ම නිසා තිමති ව නිරතුරුව ගැට ගසා තැබීමට සිදුවිය. අන්තිමේදී ඌ මරණීය අදහසකින් යුතුව මහමුද් වෙත කුරුමානම් පාන බවක් පෙනෙන්නට වූ විට තිමති ව සත්වෝද්‍යානයකට මාරු කිරීමට කාලය එළැඹ ඇති බව සීයා තීරණය කළේ ය.

කිට්ටුම සත්වෝද්‍යානය තිබුණේ සැතපුම් දෙසීයක් එපිටින් ලක්නව් ප්‍රදේශයේ ය. සීයා තිමති ට සහ තමන්ට දුම්රියේ පළමු පන්තියේ මැදිරියක් වෙන් කරවා ගත්තේ ඔවුන් යන දුම්රිය මැදිරියක යාමට වෙන කිසිවෙකු අකමැති වූ බැවිනි. මෙලෙස තිමති ව ලක්නව් වෙත රැගෙන යනු ලැබුණු අතර සත්වෝද්‍යාන පාලකයෝ ද හොඳින් කෑම ලබා වැඩුණු, සෑහෙන තරමේ හොඳ හැසිරීමක් ඇති කොටියෙකු තෑගි ලබන්නට සතුටු වූහ.

මීට මාස හයකට පමණ පසු අත්තම්මාත් සීයාත් ලක්නව් වෙත නෑදෑ ගමනක් ගොස් තිබිණි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සීයා එහි සත්වෝද්‍යානයට ගොස් තිමති ගේ සැප දුක් විමසන්නට තීරණය කළේ ය. මේ ගමනට මා එක් වූයේ නැතත් ඔවුන් ආපිට දෙහ්රා වෙත පැමිණි පසු මට ඒ ගැන සියලුම විස්තර ආරංචි විය.

සත්වෝද්‍යානයට ගිය පසු සීයා කෙලින්ම තිමති රැඳවූ කූඩුව වෙත ගොස් ඇත. මේ වෙද්දී වැඩිහිටි තරමට වැඩී, අලංකාර ඉරි සලකුණු සහිතව සිටි තිමති , එදින සිට ඇත්තේ තම කූඩුවේ කෙළවරක ගුලි වී හිඳිමිනි. .

“හලෝ තිමති !” කී සීයා, කූඩුව වටා වූ යකඩ වැට පහසුවෙන් තරණය කර කූඩුව වෙත ගොස් එහි කූරු අතරින් දෑත දමා ඇත. කොටියා තමන් වෙත පැමිණි විට සීයා උගේ හිස දෑතින්ම බදාගෙන අතගාන්නට පටන්ගෙන තිබේ. හිස අත ගාමින්, දෙකන් කිතිකවමින් ඉන්නා විටදී කොටියා ගොරවන්නට උත්සාහ කළ විට සීයා උගේ මුවට අතුල් පහරක් දී ඇත්තේ පෙර පුරුදු ලෙසිණි.

නොබෝ වෙලාවකින් තිමති සීයාගේ දෑත ලෙවකන්නට පටන්ගෙන ඇතත් යාබද කූඩුවේ සිටි ව්‍යාඝ්‍රයා වරින් වර කූඩු දෙක අතර මායිමට පනින්නට වූ බැවින් ඒ හැම වාරයකම ඌ බිය වී සීයා වෙතින් ඉවත් වී තිබේ. සීයා මේ ව්‍යාඝ්‍රයාට තරවටු කර එලවා දැමූ විට තිමති නැවතත් ඔහු වෙත පැමිණයත් ව්‍යඝ්‍රයාගේ බාධා කිරීම වරින් වර සිදු වූ බැවින් තිමති වැඩි වෙලාවක් ගත කර ඇත්තේ තම කූඩුවේ කෙළවරක බියෙන් ඇකිලෙමිනි.

මේ වෙද්දී මිනිසෙකුගේ සහ කොටියෙකුගේ මේ සොඳුරු මුණගැසීම දකින්නට නරඹන්නන් කිහිප දෙනෙකු රැස් වී තිබිණි. සෙනඟ අතරින් මතු වූ සත්වෝද්‍යාන සේවකයෙකු සීයා වෙත පැමිණ ඔහු කුමක් කරන්නේදැයි විමසා ඇත.

“මම මේ තිමති එක්ක කතා කරනවා,” සීයා කියා ඇත. “මම මෙයාව මීට මාස හයකට කළින් මෙතැනට භාර දෙද්දී තමුන් හිටියේ නැද්ද?”

“මම මෙහෙ වැඩට ඇවිත් ඒ තරම් කල් නැහැ,” පුදුමයට පත් වූ සේවකයාගේ පිළිතුර විය. “කරුණාකරලා ඔය දෙන්නා දිගටම කතාකරන්න. මට නම් ඌව කවදාවත් අල්ලන්න බැරි වුණා, ඌ හැමදාම හරි කේන්තියෙන් ඉන්නේ.”

“මෙයාව වෙන තැනකට නොදාන්නේ ඇයි?”සීයා අසා ඇත. “මේ එහා පැත්තෙ ඉන්න ව්‍යාඝ්‍රයා මෙයාව නිතරම බය කරනවා. මම ගිහින් සුපරින්ටෙන්ඩන්ට් හම්බවෙලා කතා කරන්නම්.”

මෙසේ පවසා සත්වෝද්‍යානයේ සුපරින්ටෙන්ඩන්ට් සොයා ගිය සීයාට ආරංචි වී ඇත්තේ ඔහු එදා වේලාසනින් පිටව ගොස් ඇති බවයි. එබැවින් සත්වෝද්‍යානය තුළ ටික වෙලාවක් ඇවිදිමින් ගත කළ සීයා නැවතත් තිමති ගේ කූඩුව වෙත ගොස් ඇත්තේ උගෙන් සමුගැනීමට යි. ඒ වෙද්දී ඇඳිරි වැටෙමින් තිබිණ.

නැවත වරක් කූඩුවේ කූරු අතරින් තිමති ව අත ගාමින්, ඌ ගොරවද්දී අතුල් පහර දෙමින් විනාඩි පහක් පමණ ගත කරද්දී තවත් සත්වෝද්‍යාන සේවකයෙකු බියෙන් මෙන් තමන් දෙස බලා සිටින බව සීයා දැක තිබේ. මොහු මීට සය මසකට පෙර තමන් තිමති ව එහි භාර දීමට පැමිණි විට සිටි සේවකයන්ගෙන් කෙනෙකු බව සීයා හඳුනාගෙන ඇත.

“ඔහෙට නම් මාව මතක ඇති,” සීයා කීවේය. “තිමති ව මේ මෝඩ ව්‍යාඝ්‍රයා ගෙන් වෙන් කරලා වෙන කූඩුවකට මාරු කරන්නේ නැත්තේ ඇයි?”

“ඒත් - සර්-” සේවකයා ගොත ගසන්නට විය. “මේ සර්ගේ කොටියා නෙමෙයි.”

“හරි හරි මම දන්නවා,” සීයා නොරිස්සුමෙන් කීවේය. “මම දන්නවා දැන් මූ මගේ නෙමෙයි කියලා. ඒත් අඩු ගානේ මගේ යෝජනාවට කන් දෙන්න ඔහෙලාට පුළුවන් නේ.”

“මට සර් ගේ කොටියාව හොඳට මතකයි,” එවිට සේවකයා කීවේය. “ඌ මීට මාස දෙකකට කළින් මළා.”

“මැරුණා!”

“ඔව් සර්, නිවුමෝනියාව හැදිලා මළේ. මේ ඉන්න කොටියා අර කඳුකර පැත්තෙන් අල්ලාගෙන ආවේ ගිය මාසේ, ඌ හරිම භයානක සතෙක් සර්!”

මෙය අසා සීයා නිරුත්තර විය. මේ වෙද්දීත් කූඩුවේ වූ කොටියා වැඩෙන උනන්දුවකින් ඔහුගේ අත ලෙවකමින් පසුවී ඇත. සීයා ඉතාමත් සෙමින් ඒ වෙතින් තම අත මුදාගෙන පිටතට ගෙන ඇත. කූඩුව තුළ වූ කොටියාගේ මුව සමීපයට එහි කූරු වලට මෙපිටින් තම මුහුණ ලං කළ සීයා, ‘සුබ රාත්‍රියක් තිමති ’ යැයි කියා, සේවකයා වෙත රවා බලා, ඉක්මන් ගමණින් සත්වෝද්‍යානයෙන් පිටවී ගොස් තිබේ.



Translation of the Short Story ‘A Tiger in the House’ by Ruskin Bond
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක  

සිසිල සඟරාව - නොවැම්ර්  2024 කලාපය 

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Picture generated by Canva AI



October 03, 2024

පැයක කතාවක්



මැලාර්ඩ් මහත්මිය හෘද රෝගයෙන් පෙලුණු කෙනෙක් බැවින් ඇගේ සැමියාගේ මරණය පිළිබඳ ප්‍රවෘත්තිය හැකි තරම් සීරුවෙන් ඇයට සැල කරන්නට මහන්සි ගැනිණි.

ඇගේ සොයුරිය වන ජෝසෆීන් මේ ප්‍රවෘත්තිය ඇයට කීවේ ව්‍යංගාර්ථයෙන් යුතු වූ අසම්පූර්ණ වාක්‍ය වලිනි. මැලාර්ඩ් මහත්මියගේ සැමියාගේ මිතුරකු වන රිචර්ඩ් ද ඈ අසල විය. මිය ගිය අයගේ නම් ලයිස්තුවේ ඉහළින්ම බ්‍රෙන්ට්ලි මැලාර්ඩ්ගේ නම සහිතව දුම්රිය අනතුර පිළිබඳ පුවත පුවත්පත් කන්තෝරුවට එද්දී, එහි සිටියේ ඔහු යි. තවත් විදුලි පුවතක් යවා මේ ආරංචිය සැක හැර දැනගත් රිචර්ඩ්, වෙනත් අසංවේදී මිතුරෙකු මේ ශෝකජනක පුවත ඇයට සැල කරන්නට පෙර වහා වහා එහි පැමිණියේය.

මෙවැනි පුවතක් අසන වෙනත් ගැහැනුන් මෙන් ඈ එය ඇසූ සැණින් විශ්වාස කරන්නට අපහසු ව, ගල් ගැසී සිටියේ නැත. ආරංචිය කන වැකුණු සැණින් ඇය තම සොයුරිය වැළඳගෙන වියරු ලෙස හඬා වැටුණා ය. ශෝකයේ කුණාටුව පහව ගිය පසු තනිවම තම කුටිය වෙත ගිය ඇය, කිසිවෙකුට තමන් සමඟ පැමිණෙන්නට ඉඩ දුන්නේ නැත.

කාමරයේ විවර කවුළුව ළඟ, සැප පහසු සනීප පුටුවට ඈ වාරු වූයේ ගත පෙළා ආත්මය වෙතම කාන්දු වූ අධික වෙහෙසිනි. නිවස ඉදිරිපස චතුරශ්‍රයේ ඇති තුරු වල මුදුන්, වසන්තයේ අලුත්ම ජීවයෙන් පිරී වෙව්ලමින් පසුවනු පෙනුණි. වර්ෂාවේ සුන්දර හුස්ම හාත්පස දැනුණි. දුර ඈත කිසිවෙකු විසින් ගයමින් සිටි ගීයක පද කීපයක් ඇයට යන්තමින් ඇසුණි. අගුවේ බාල්ක අතරේ ගිණිය නොහැකි තරම් ගේ කුරුල්ලෝ කිචි බිචි ගාමින් පසු වූහ. කවුළුවෙන් එපිට බටහිර දෙස අහස වළාකුලින් පිරී තිබුණත් ඒ අතර තැන තැන නිල් අහස පෙනුණි.

මැලාර්ඩ් මහත්මිය පුටුවේ කොට්ටය මත හිස රඳවා නිසොල්මන් ව සිටියා ය. ඉඳහිට උගුරෙන් නැඟුණු ඉකියකින් ඇගේ සිරුර වෙව්ලනු පෙනුණි. ඇගෙන් දිස් වූයේ නින්ද යනතුරු හඬමින් සිටි දරුවෙකු සිහිනයෙනුත් ඉකි ගසන දසුනකි. තරුණ වියේ පසු වූ ඈට තිබුණේ පැහැපත් සන්සුන් මුහුණකි. ඉන් හැඟීම් යටපත් කරගත් බවක් මෙන්ම ශක්තිමත් බවක් ද දිස් විය. නමුත් දැන් නම් ඒ දෑසේ වූයේ මලානික බැල්මකි. ඈත අහසේ වලාකුළු අතර නිල් පදාස වෙත යොමු ව තිබුණු ඒ දෑසේ තිබුණේ ආවර්ජනයට බර බැල්මක් නොව ප්‍රඥාවත් කල්පනාවක ලකුණු ය.

ඈ වෙත යමක් පැමිණෙමින් තිබුණු බව ඇයට දැනුණු අතර ඈ බියෙන් යුතුව ඒ ගැන අපේක්ෂාවෙන් සිටියා ය. ඒ කුමක්ද? ඒ කුමක්දැයි ඈ නොදැන සිටි අතර එය හඳුනාගැනීමට හෝ නමක් දීමට ඇයට හැකියාවක් තිබුණේ නැත. නමුත් අහසින් නික්ම හාත්පස ශබ්ද, සුවඳ සහ පාට හරහා තමන් වෙත එය ළඟා වනු ඇයට දැනුණි.

ඇගේ ළැම වේගයෙන් උස් පහත් විය. ඈ වෙතට පැමිණෙමින් තිබුණු දේ ඈ යන්තමින් හඳුනාගනිමින් සිටියය. ඒ ආවේගය හා සටන් කරන්නට ඇයට අවශ්‍ය වුවත් ඇගේ සිහින් සුදුමැලි දෑත ඊට ශක්තිමත් නොවනු ඇත. ඒ බලවේගයට මඳක් නතු වෙද්දී ඇගේ යන්තමින් විවර ව තිබුණු දෙතොල් අතරින් එකම වචනයක් ගිලිහිණි. ඈ එය නැවත නැවත මිමිණුවා ය: “නිදහස්, නිදහස්!” ඇගේ දෑසේ වූ හිස් බැල්මත් බියගුළු බවත් අතුරුදන් විය. ඒ දෑස උද්යෝගයෙන් දිලිසුණි. ඇගේ නාඩි වේගවත් වූ අතර සිරුර පුරා වේගයෙන් ගැලූ රුධිරයෙන් මුළු සිරුරම උණුසම් වී සන්සුන් විය. තම සිතේ මේ පිරී ඇත්තේ මහත් ප්‍රීතියක්දැයි සිතන්නට ඈ තාවර නොවූවාය. ඒ මොහොතේ තියුණු ව තිබුණු ඇගේ සංජානනය, ඇයට මේ දැනෙමින් තිබුණු දේ නිර්වචනය කිරීම වැදගත් ලෙස සැලකුවේ නැත.

මරණයේදී ඒ කාරුණික, සිලිටු දෑත එකට බැඳී තිබෙනු දකිද්දීත්, තමා දෙස ආදරයෙන් හැර වෙනත් කිසිම ආකාරයකින් නොබැලූ මුව අළු පැහැතිව නිසොල්මන් ව දකිද්දීත් තමන් නැවතත් වැළපෙනු ඇති බව ඈ දැන සිටියා ය. නමුත් ඒ අඳුරු මොහොතට ඔබ්බෙන් ඇති වසර ගණනාවක කාලය තමන්ටම පමණක් අයිති වන අයුරු ඈ දුටුවාය. ඒ කාලය ආදරයෙන් පිළිගැනීමට ඈ දෑත විවර කළා ය. මින් ඉදිරියට තමන් තව කෙනෙකු උදෙසා ජීවත් වීමට අවශ්‍ය නැති වුවත් තමන්ට තමන් වෙනුවෙන් ජීවත් විය හැකි බව ඈ මෙනෙහි කළා ය. තම ජීවිතය තුළ තමන්ගේ කැමැත්ත අන්ධ ව පාගා දමන ප්‍රබල බලාධිකාරයක් යළිත් නොමැති වනු ඇත. මිනිසුන් සහ ගැහැනුන් විවාහය තුළදී තමන්ගේ කැමැත්ත අනුන් වෙත පැටවීම කරුණාවෙන් සිදු කළත්, කෘර ලෙස සිදු කළත් ඒ අවස්ථා දෙකම අපරාධයක් බව එක් කුඩා මොහොතකදී ඇයට වැටහිණි.

නමුත් - සමහර වෙලාවල් වලට පමණක්- ඈ ඔහුට ප්‍රේම කළා ය. එහෙත් බොහෝ වෙලාවට එතැන ප්‍රේමයක් තිබුණේ නැත. දැන් මේ කිසිවකින් වැඩක් වේ ද? මේ මොහොතේ ඇයට ඉබේම මෙන්ම ප්‍රබල ව දැනෙමින් තිබුණු ස්ථිර ආත්ම විශ්වාසය හමුවේ ප්‍රේමය නම් ලිහනු නොහැකි අභිරහස ගැන කල්පනා කර වැඩක් වේ ද?

“නිදහස්! සිරුරත් ආත්මයත් නිදහස්!”

ජෝසෆීන් වැසූ දොරෙහි අනෙත් පස දණ ගසාගෙන තම දෙතොල යතුරු හිලට තබාගෙන තමන්ට ඇතුලට එන්නට ඉඩදෙන මෙන් ඉල්ලමින් බැගෑපත් වෙමින් සිටියාය. “ලුවීස්, අනේ දොර අරින්නකෝ! ඔයා දැන් අසනීප වෙනවා ඔහොම ඉඳලා, ඔයා මොකද කරන්නේ ලුවීස්? දෙයියන්ගේ නාමෙට දොර අරින්න!”

“ඔතැනින් යන්න, මම අසනීප වෙන්නේ නැහැ.”

ඈ ඒ විවර කවුළුව අද්දර සිට ජීවිතයේ අමෘතය පානය කරමින් සිටියා ය. තමන් ඉදිරියේ ඇති දවස් ගැන සිතමින් ඈ රසවත් සිතුවිලි මවමින් සිටියා ය. තමන්ටම පමණක් සතු වන අනාගත වසන්ත දවස්, ගිම්හාන දවස්, විවිධ වර්ගයේ දවස්! ජීවිතය බොහෝ දිගු වේවා යැයි ඈ ඉක්මන් යාඥාවක් මිමිණුවාය. ජීවිතය දිගු වැඩි වනු ඇතැයි ඈ අකමැත්තෙන් සිතා තිබුණේ මීට පෙර දවසේ ය.

ටික වෙලාවකට පසු ඈ තම සොයුරියගේ ඉල්ලීමට කන් දී දොර විවර කළා ය. ඇගේ දෑසේ තිබුණේ දිනුමක් ලැබූ කෙනෙකුගේ අමුතු ආකාරයේ වියරු පෙනුමකි. නොසිතාම ඈ ඇවිද ගියේ විජයග්‍රහණයේ දෙවඟන මෙනි. මැලාර්ඩ් මහත්මිය තම සොයුරියගේ බඳ වටා අත යවා ඈ සමඟම පඩිපෙළ බැස පහත මාලයට ගියා ය. ඔවුන් එනතුරු රිචර්ඩ්ස් පහත මාලයේ බලා සිටියේ ය.

එවිටම කවුරුන් හෝ පිටත සිට නිවසේ ප්‍රධාන දොරටුව යතුරකින් විවර කරමින් සිටියේ ය. ඉනික්බිති නිවසට ඇතුළු වූයේ බ්‍රෙන්ට්ලි මැලාර්ඩ්ය. දීර්ඝ ගමනකින් පසු මඳක් වෙහෙස බවක් පෙන්වූ ඔහුගේ අතේ ගමන් මල්ලත් කුඩයත් විය. දුම්රිය අනතුර වූ තැනින් බොහෝ දුරක හිඳ තිබූ ඔහු එවැනි අනතුරක් ගැන දැනගෙන වත් සිටියේ නැත. ජෝසෆින් ගේ විලාපය ඇසෙද්දී, තමන්ව තම බිරිඳ ගෙන් මුවා කිරීමට රිචර්ඩ්ස් දරන උත්සාහය දැක පුදුමයට පත්වී ඔහු දොරකඩට වී සිටිවනම බලා සිටියේය.

නමුත් රිචර්ඩ්ස් ප්‍රමාද වැඩි වී තිබිණි.

දොස්තරවරු පැවසුවේ ඇගේ මරණය සිදු ව තිබුණේ හදිසි සතුට නිසා වූ හෘදයාබාධයකින් බවයි.



පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the Short Story - ‘The Story of an Hour’ by Kate Chopin (1894)
සිසිල සඟරාව - ඔක්තෝම්බර් 2024 කලාපය 

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Picture generated by Canva AI



September 02, 2024

වීරයාගේ වීදි කොණ


ඔහුගේ ව්‍යාපාරික ආයතනය තිබුණේ සති පොළ පාරත් ෆාමසියට යන පාරත් කැපෙන තැන වීදියේ කෙළවරයි. මෙයට ‘ආයතනය’ යැයි කීම ගැන විරෝධය පෑමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබුණේ එහි පැවැත්ම දෘෂ්ඨි මායාවක් තරම් වූ බැවිනි. ඔබ රාත්‍රී අටට එහි ගියහොත් ඔහුව දකින්නේ නැත, එමෙන්ම රාත්‍රී දහයටත් ඔහු එතැන නැත. නමුත් අටත් දහයත් අතර කාලයේදී ඔහු පැමිණ තම භාණ්ඩ විකුණා යන්නට යයි. 

“උගේ වාසනාව! දවසටම පැයක් විතර වැඩකරලා රුපියල් දහයක් සාක්කුවේ දාගෙන යනවා, අරෙහෙ උපාධිකාරයෝ ඉන්නවා රස්සාවල් නැතිව - මූට මාසෙට රුපියල් තුන්සීයක්!” ඔහුව දකින්නෝ එසේ කියති. මෙවැනි දේ ඇසෙන විට ඔහුට දැනෙන්නේ නොරිස්සුමකි. “මම දවසම ලිප ළඟ ඉඳන් මේ කෑම ජාති බදින හැටි එයාලා දන්නේ නැහැනේ…” ඔහු කියයි. 

තම යාබද නිවසේ කුකුලා හඬලන විට ඔහු පිබිදෙන නමුත් ඒ කුකුලා පාන්දර තුනට අවදි වී ලතෝනි දෙන දවස් ද ඇත. “අද මොකද කුකුලා කලින් නැගිටගෙන?” රාමා මෙවන් දිනවල පිබිදෙමින් කල්පනා කරන නමුත් ඒ සංඥාව කුමන වෙලාවක ලැබුණත් ඔහුට එය මගහැරිය නොහැක. එබැවින් වේලාව තුන වුවත් හතර වුවත් පිබිදෙන ඔහු, තම දවස අරඹයි. 

රාත්‍රී 8.15 පමණ වෙද්දී තම බඩු මුට්ටු රැගෙන ඔහු නියමිත තැනට පැමිණියේය. ඔහු කෙතරම් දේ ඔසවාගෙන ආවේද යත් බැලූ බැල්මට පෙනුණේ ඔහුට අත් සතරක් ඇති බවයි. විවධ කෑම ජාති සහිත බන්දේසියක් ඔහු තම හිස මත සමබරව විය. ඔහුගේ එක් බාහුවක කුඩා බංකුවක් එල්ලිණි. එක් අතක ලාම්පුවක් සහ අනෙත් අතේ බංකුවේ ගැලවිය හැකි කකුල් විය. මේ ලාම්පුවට පස්තෑල පහක වටිනාකමින් යුතු භූමිතෙල් වැය වූවත් ඔහු එය දල්වා ළඟින්ම තබාගත්තේ විදුලි ආලෝකය පමණක් මත යැපෙන්නට ඔහු අකමැති වූ බැවිනි. ඔහුට සුරැකීමට මාරු කාසි සහ ආම්පන්න බොහෝ විය. 

ලාම්පුවේ එළියෙන් ආලෝකමත් වූ ඔහුගේ කෑම බන්දේසිය දුටු විට ආම රෝගයෙන් පෙලෙන්නෙකුට පවා ඒ දෙස නොබලා එතැනින් යාමට අපහසු විය. එහි එක් පසෙක බොන්ඩා අහුරකි. ඒවා පිම්බී, විශාල ව පෙනුණද මුව තුළම දියවී යාමට සමත් ය. තව පසෙක තට්ටු ගැසූ මස්ලින් රෙදි කැබලි සේ පෙනෙන සුදු පැහැති තෝසේ මිටියකි. ඔහුගේ චපාති කෙතරම් සැහැල්ලු ද යත් සුලැඟිල්ලක් මත ඉන් පනහක් වුව එසවිය හැක. තැම්බූ තාරා බිත්තර පෙනුණේ ඇත්දළින් නිමවූ ගෝල ලෙසයි. මීට අමතරව උදුනක් මත නිරතුරුව නටන කෝපි පෝච්චියක් ද විය. රාමා සතුව වෙනම ඇලුමිනියම් බඳුනක චට්නියක් තිබුණු අතර ඔහු හැම මිළදී ගැනීමක් සමඟම පාහේ ඉන් ස්වල්පයක් නොමිලේ බෙදුවේය. 

සිනමා ශාලාවේ හවස තිරගතවීම අවසන් වූ පසු ඉන් නික්මෙන සෙනඟ තමන්වෙත කැඳවා ගැනීමට ඔහු හැම දිනකම නියම වෙලාවටම ඒ වීදි කොණට පැමිණියේ ය. ඔහු පැමිණීමට පෙර වැරහැලි පෙනුමකින් යුතු වූ එක්තරා කෙසඟ තරුණයෙක් මේ සිංහාසනයට හැමදාම බොරු කිමිකම් පෑ නමුත් අපගේ මිත්‍රයා ඒ ගැන අනවශ්‍යව වද වූයේ නැත. “ඔන්න ඔහේ මම නැති අතරේ ඒ අසරණ මීයාට මෙතැන බිස්නස් කරන්න ඉඩ අරිනවා” යැයි කීමට පවා ඔහු කරුණාවන්ත විය. වීදි කෑම ලෝකයේ කුමාරයා එහි පැමිණෙන්නට විනාඩියකට පෙර අනෙකා අතුරුදන්වීම නිසා මේ කරුණාවට මනා සේ ගරුසරු ලැබී තිබුණු බවක් පෙනුණි. 

රාමාගේ ගනුදෙනුකරුවන් ඔහු ව ප්‍රිය කළේ ය. 

“පයිස හයකට කෝපි කෝප්පයකුත් ඇනාවකට චපාති හතරකුත් වෙන කොහෙන්ද ලැබෙන්නේ?” ඔවුහු ඔහුව අගය කරමින් පැවසූහ. ඔවුහු රාමාගේ බන්දේසිය වටා වටවී ඉන් රිසි රිසි දේ ගත් හ. හැම මොහොතකම ඒ වටා අත් දුසිමක් තරම් කැරකෙනු පෙනුණි. මීට හේතුව ඔහුගේ ගණුදෙනුකරුවන්ට විවිධ ආහාර වර්ග මිළදී ගැනීමට පෙර ඒවා අල්ලා, හොඳින් පරීක්ෂා කර බැලීමට බලය ලැබී තිබීමයි. 

තමන් විකුණන ද්‍රව්‍ය අල්ලා බලන බොහෝ දෑත් ඔහු වටා තිබුණ ද, කවුරුන් විසින් කුමන කෑමක් ගනු ලැබී ද යන්න ඔහු නිවැරදිව දැන සිටියේ ය. ඕනෑම වේලාවකදී චපාති තෝරන්නේ කවර අශ්ව කරත්තකරු ද යන වග විස්මය දනවන ඉවකින් දැන සිටි ඔහුට, අවශ්‍ය නම් ඒ කරත්තයේ ලියාපදිංචි අංකය පවා කියන්නට හැකියාව තිබිණි. බියෙන් සැකයෙන් යුතුව සෙනඟ අතරින් මතුවෙන මේ පැල්ලම් සහිත අත නම් සපත්තු මදින කොලුවාගේ බවත්, මල්ලව පොර ශූරයාගේ අත ඉස්තරම් තාරා බිත්තරයක් සොයා මතුවන වෙලාවත්, කෑමට පෙර ඒ බිත්තරය බන්දේසියේ වැදෙන මොහොතත් ඔහු හරියාකාවරම දැන සිටියේය. 

රාමාගේ ගනුදෙනුකරුවෝ පදික වේදිකාවේ සැරිසැරූ ජනගහනයෙන් කොටසක් විය. උදාහරණයක් හැටියට ඔහු වෙතට එන සපත්තු මදින කොල්ලෝ දවස පුරාවටම සපත්තු පොලිෂ් සහ බුරුසුවක් ලූ මල්ලක් කරේ එල්ලාගෙන “පොලිෂ් සර්, පොලිෂ්!” කියමින් ඒ මේ අත යන අයයි. මේ අසරණයන් වෙනුවෙන් ඔහුගේ හදවතේ මෘදු පදාසයක් තිබිණි. කිසියම් තරබාරු ගනුදෙනුකරුවෙකු මේ කොල්ලන් සමඟ සපත්තු මැදීමේ සේවාවේ මිළ පිළිබඳ ව හෙට්ටු කරනු දුටු විට “ලෝබකම් නොකර ඒ අහිංසකයාට ටිකක් වැඩිපුර කීයක් හරි දෙනවා! තව අන්නාවක් වැඩිපුර ලැබුණොත් ඌ ට තෝසෙකුයි චපාතියකුයි කන්න පුළුවන්. නැත්නම් ඌ ට බාගෙට කාලා දවස පුරාම බඩගින්නේ ඉන්න වෙන්නේ” යැයි කෑ ගසා කීමට ඔහුට සිතේ. 

ඒ දරුවන්ගේ ගිලී ගිය කුසගිනි දෑස් ඔහුගේ හදවත රිදවුවේය. ඔවුන් ඇඳ සිටි වැරහැලි දැකීම ඔහුට වේදනාවක් විය. ඔවුන් තම දුඹුරු පැහැ මලු පසෙක තබා ඔහු වෙත එද්දී පෙන්වන දැඩි උනන්දුව ඔහුව ශෝකයෙන් පුරවාලීය. එහෙත් ඔහුට කළ හැක්කේ කුමක්ද? ඔහුට ඔහුගේ වෙළඳාමද පින් පිණිස කළ හැකි වූවක් නොවේ. ඔහු ඔවුන් වෙනුවෙන් සකසන කෝපි කෝප්ප බාගය අඟලට මැන දුන් නමුත් ඔවුන්ට ඕනෑතරම් වෙලාවක් ඒ වීදුරුව වෙත ඇලී ගැලී සිටීමට ඉඩ ලැබුණි. 

දවස පුරාම විශාල හෝටලය ඉදිරිපස හිඟමන් ඉල්ලා බැගෑපත් වන අන්ධ හිඟන්නා දවස අවසානයේ තමන්ගේ ඉපයීම් වලින් කොටසක් රාමා වෙත ගෙනැවිත් දී කෑම බීම ඉල්ලා සිටියේය. තණකොළ විකුණන ගැහැණුන් ද මෙසේ පැමිණි ගනුදෙනුකරුවන් අතර විය. ඔවුන් පැමිණියේ තම හිස් මත තබාගෙන උන් තණකොළ මිටි සාර්ථකව විකුණා අවසන් වූ පසු ය. ඔවුන්ගේ උස් කරච්චල් කටහඬ ඔහුට නොරිස්සුම්සහගත වූ අතර ඔවුන්ට කෑම ලබාදීමට ඔහු ප්‍රිය කළේ නැත. නොන්ඩියක් සහිතව ඇවිදින කපටි මිනිසාත් දිනපතා ඔහු වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් අතර විය. හැම ආහාර වර්ගයක්ම එක් කර සැකසූ පාර්සලයක් මිළදීගන්නා ඔහු, එය පාරෙන් අනෙත් පස පදික වේදිකාවේ ගසක් යට සිටගෙන සිටින වෛශ්‍යාවක් වැනි ගැහැනියක් වෙත ගෙන ගියේ ය.

මේ පෙදෙසේ ගැහැනුන් සහ මිනිසුන් විවිධ රැකියා කර උපයාගත් කාසි සියල්ලම දවස අවසානයේදී පැමිණියේ රාමා වෙතටයි. මේ මුදල ඔහු කුඩා රෙදි මල්ලක බහා තම කමිසය යටින් බෙල්ලේ එල්ලාගෙන සිටියේය. සිනමා හලේ රාත්‍රී විකාශය ඇරඹී, එහි යන හැම කෙනෙකුම චිත්‍රපටිය බලද්දී කන්නට දෙයක් මිළදී ගත් බවට සැක හැරගත් පසු ඔහු තම නිවස බලා පිටත් වේ. 

ඔහු ජීවත් වූයේ සති පොළ පසුපස වූ දෙවන වීදියේ ය. ඔහුට ඇතුළු වන්නට බිරිඳ දොර විවර කළ විට ඒ නිවසේ නිරතුරුව දැනුණු දැවුණු තෙල් පුසුඹ රාත්‍රී අවකාශයට එක් විය. ඇය ඔහු අත වූ බඩු මුට්ටු ඩැහැගෙන, ඔහුගේ කමිසය යටින් අත යවා රෙදි මල්ල ඉවතට ඇද වහා වහා එහි වූ මුදල ගණන් කළා ය. ඉනික්බිති එළඹුණේ ඔවුන් ඒ මුදල ගැන උදම්වන වෙලාවයි. “උදේ ආයෝජනය කළ රුපියල් පහට දැන් තව රුපියල් පහක් ලැබිලා..” ගණිතයේ ගුණකිරීම නම් විශිෂ්ඨ මායා බලැති ක්‍රියාව ගැන ඔවුහු මෙනෙහි කළහ. පසුදින ආයෝජනය සඳහා සෑහෙන මුදල නැවතත් රෙදි මල්ලට දැමූ ඈ, ප්‍රවේසමෙන් ලාභය වෙන් කර, වසර ගණනකට පෙර තමන් විවාහ වී මෙහි එද්දී ගෙන ආ කුඩා ලී පෙට්ටියක එය බහාලූවාය. 

රාත්‍රී ආහාරයෙන් පසු රාමා බුලත් කොළයක් සහ දුම්කොළ කැබැල්ලක් හක්කට තද කරගෙන නිවසේ බරාඳයට ගොස් නින්දට වැටුණි. ඔහු සිහිනයෙන් දුටුවේ තමන්ට පදික වේදිකාවෙන් ඉවත් වන්නැයි ගෝරනාඩු කරන පොලිස් කොස්තාපල්වරුන් සහ තමන් විවිධ ලෙඩ රෝග පතුරවමින් නගරයේ ජනගහනය අඩු කරන බව චෝදනා කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ය. නමුත් වාසනාවකට මෙන් සැබෑ ජීවිතයේදී නම් කිසිවෙකු ඔහුට මෙවැනි බරපතල කරදරයක් කළේ නැත. තම සේවා මුරය අවසන් ව එතැනින් නිවස බලා යන පොලිස් කොස්තාපල් ට සහ සෞඛ්‍ය පරීක්ෂක කන්තෝරුවේ සේවකයාට ඉඳහිට කෑම පාර්සල දෙන්නට ඔහු අමතක කළේ නැත. 

සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණි වෙලාවට නම් “මේ කෑම ඔක්කොම වීදුරු පෙට්ටියක දාලා නොවික්කොත් මට දවසක ඒවා විනාශ කරන්න වෙයි, බලාගෙන!” යැයි කීවත් ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ බැවින් ඉන් ඔබ්බට ඒ කාරණය ගැන එළවූයේ නැත. නමුත් ඔහු තනිවම නම් ඒ ගැන බොහෝ කලපනා කර තිබිණි. “මේ මිනිස්සු මේවා කාලා කොහොම ජීවතුන් අතර ඉන්නවද කියලා මට නම් හිතාගන්න බැහැ. එක පැත්තකින් දූවිලි, අනෙත් පැත්තෙන් කුණු කානුව- සමහර විට මේවා කාලා කාලාම මිනිස්සුනට මේ වස විස වලට ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා ඇති.” පිරිසිදුබවේ සහ සනීපාරාක්ෂාවේ මූලික නීති මාලාව රාමා අතින් උල්ලංඝනය වූ බවට සැකයක් නැතත් ඔහුගේ ගනුදෙනුකරුවන් වසර ගණනක් තිස්සේ කිසිම ගැටළුවක් රහිතව ඒ ආහාර අනුභව කර නොමැරී බේරුණා පමණක් නොව යහතින් වැජඹුණු බවක් ද පෙනුණි. 

රාමාගේ ජීවිතය කිසිදු සෝ සන්තාපයක් රහිතව ගෙවුණු ඉතා තෘප්තිකර එකක් බව කිව හැක. තමන්ගේ මහන්සියෙන් පමණක්ම තම ජීවිකාව කළ බව ඔප්පු කළ මේ මනුෂ්‍යයාගේ ජීවිතය, විශ්වය ඝනීබහවනය වී විනාශ වන තුරුම නොවෙනස් ව පැවතීමට ඉඩ තිබිණි. ඔහුගේ වෙළඳාමත් මුදල් සෙවීමත් නිසා කිසිවෙකුට හානියක් නොවූ අතර, ඔහුගේ ආහාර අනුභවයෙන් වැඩිදෙනෙකු මිය ගොස් තිබුණේ නැත. නගරසභාවේ අවිචාරවත් කටයුතු වල ප්‍රතිපලයක් ලෙස ඇතිවන හදිසි අනතුරුත් ඔහුගේ කෑම බීම සැපයීම නිසා ඇති වූ ඒවාත් අතර වැඩි වෙනසක් තිබුණේ නැත. 

නමුත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේදී සදාකාලිකව මෙවැනි සුරක්ෂිතබවක් ළඟා කරගැනීම දුෂ්කර ය. වැඩියෙන් සන්තුෂ්ඨිය ඇති තැන් දකින දෙවිවරු ඒ ගැන කෝප ගෙන හදිසියේම තම නොපහන් බව පෙන්වති. දිනක් රාමා සුපුරුදු ලෙස තම වීදි කොණ වෙත පැමිණි විට එහි සෙනඟ රැස් ව සිටින බවක් දුටුවේය. “කරුණාකරලා අයින් වෙලා ඉඩදෙන්න” ඔහු ආඥාත්මක හඬින් කීවද කිසිවෙකු එය ගණන් ගත්තේ නැත. 

“හවස ඉඳන් කට්ටිය මොකක්දෝ දෙයකට රණ්ඩු වෙනවා!” ලිපිද්‍රව්‍ය වෙළඳසැලේ කුඩා කොලුවා රාමාගේ කමිස අතින් ඇද කීවේය.

“මොනවටද?” ඔහු ඇසුවේය.

“මොනවට හරි…” කොලුවා කීවේය. “මිනිස්සු කියනවා වෙළඳ බදු කන්තෝරුව ළඟ මොකක්ද ඡන්දයක් ගැන පත්‍රිකා බෙදුව කෙනෙකුට පිහියෙන් ඇනලා ලු. කාගේ හරි කෝන්තරයක් වෙන්නත් පුළුවන්. අපිට මොකද? රණ්ඩු වෙන්න ඕන කෙනෙක් රණ්ඩුවුන දෙන්!” 

“තමුසේ කවුද අපි ගැන එහෙම කියන්න?” මෙය ඇසුණු කෙනෙක් කීවේය. 

හැම දෙනාම ඔහු දෙස නොමනාපයෙන් බලන්නට විය. “මනුස්සයෙකුට කතාකරන්නවත් බැරිද දැන්..?” රැස්ව සිටි පිරිසෙන් අයෙක් කීවේය. එය අසා ඔහු අසල සිටි අයෙක් ඔහුට අතුල් පහරක් එල්ල කළේය. රාමා තම බඩු මුට්ටු එල්ලාගෙන අසරණව වටපිට බලමින් පසුවිය. මේ අතුල් පහර සේව නූලක් ඇවිලුවා සේ විය. නොබෝ වෙලාවකින් එතැන රැස්ව සිටි උන් ගුටි ඇන ගනු පෙනුණි. 

“පවතින ක්‍රමය භංග වේවා!” කවුරු හෝ කෑ ගැසීය. 

“අපි හිතුවා වගේම අපිව යටත් කරන්න මේ හැම දෙයක්ම කළින් සැලසුම් කළ, සංවිධානය කළ දේවල්..” තවත් පැත්තකින් ඇසුණි. 

මිනිස්සු කෑ ගැසූහ, සෝඩා බෝතල ප්‍රහාර එල්ල විය, හැම කෙනෙකුම තව කෙනෙකුට පහර දෙන බවක් පෙනුණි. වීදියේ වූ කඩ වෙත කඩා වැදුණු පිරිසක් ඒවා වසා දමන්නට අණ කරනු පෙනුණි. 

“ඇයි අපි වහන්න ඕන?” කඩහිමියෝ විමසූහ. 

“මේ තරම් දෙයක් වෙද්දී තමුසෙලාට බිස්නස් කරන්න හිත හදාගන්න පුළුවන් ද?”

ශිෂ්ඨ සමාජයේ සීමා මායිම් හදිසියේ අතැර දමන ලද බවක් පෙනුණි. හැම කෙනෙක්ම තව කෙනෙකු හා කේන්තියෙන් පසු වූහ. පැයක් යද්දී වටපිට යුධ පිටියක් බවට පත්විය. ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් පැමිණියත් ඉන් තත්ත්වය තවත් නරක අතට හැරුණේ සටනට තවත් පාර්ශවයක් එක් වූ බැවිණි. නීතිය හා සාමය රැකීමටත්, තමන්වම ආරක්ෂා කර ගැනීමටත්, තුවාල වූ බවට සැලකෙන අයව රැකීමටත් පොලිසියට තුන් ආකාරයක රාජකාරියක් විය. වසා නොදැමූ කඩ සාප්පු මංකොල්ලකා තිබිණි.

එක්වරම සිනමා ශාලාවේ දර්ශනවාරය අවසන් වී මහා ජනකායක් මාවතට ඉහිරුණි. මොවුන් ද මේ ගැටුමේ විවිධ තැන් වලට එක් වූහ. පිහි අතින් ගත් මිනිස්සු ඒ මේ අත දිවූ අතර ලේ පෙරා ගත් අය කෙඳිරි ගාමින්, කෑ ගසමින් විය. ගිලන් රථ තැන තැන දක්නට ලැබිණි. පොලීසිය මුලදී පොලු වලින් පහර දීමත්, කඳුළු ගෑස් ප්‍රහාරත් සිදු කළ අතර අන්තිමේදී පිරිස වෙත වෙඩි තබන්නට විය. බොහෝ දෙනා මරණයට පත්විය. තුවාල ලත් සංඛ්‍යාව තුන්දහසට වැඩි බවට මිනිසුන් අතර කතාවක් පැතිරුණද, නිල ආරංචි මාර්ග කියා සිටියේ තුවාල ලැබුවේ පස් දෙනෙකු පමණක් බවත් මරණයට පත් වූ සංඛ්‍යාව හතරකුත් කාලක් බවත් ය. මැදියම් රැයේදී රාමා තමන් සැඟව සිටි බෝක්කුවෙන් පිටතට පැමිණ නිවස බලා ගියේ ය. 

“අද මම වෙනදා ගෙනියන ප්‍රමාණ ගෙනියන්නේ නැහැ, අද වැඩි සෙනඟක් ඉඳී කියලා මම හිතන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මොන යකෙක් වැහුණාද කියලා දෙවියෝ තමයි දන්නේ! ඡන්ද කීපයක් වෙනුවෙන් උන් එකිනෙකාව මරාගන්න ලෑස්තියි...” ඊට පසු දින රාමා සිය බිරිඳ ට කීවේය. ඔහුගේ අනුමානය නිවැරදි විය. එදින සති පොළ වීදියේ සාමාන්‍ය ජනතාවට වඩා පොලිස් නිලධාරීන් දක්නට වූ අතර ඔහුගේ සුපුරුදු වීදි කොණ තදින් රැකවල් ලා තිබිණි. පොලිස්කරුවෙකු පෙන්වූ ඉන් ඈත තැනක ඔහුට තම වෙළඳාම කරන්නට සිදු විය. 

කෝලාහලයේදී සිදු වූ වෙඩි තැබීම් සාධාරණ ද යන වග සහ මින් මතු මෙවැන්නක් සිදුවීම වළක්වන්නට පොලිසිය ගත් පියවර යනාදී දේ ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සියලුම පුවත්පත් ඝෝෂා කරන්නට පටන් ගෙන දින දහයක් පමණ ගතවෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. තමන් ඉදිරිපිට නූතන ඉතිහාසය දිගහැරෙන ආකාරය පුවත්පත් විකුණන කොලුවන්ගේ සිරස්තල කෑ ගැසීම් ඔස්සේ නිරීක්ෂණය කළ රාමා, ටික දවසක් ගතවෙද්දී නැවතත් තමන්ගේ සුපුරුදු වීදි කොණ වෙත යන්නට උත්සාහ කළේය. ඔහු එහි තම බන්දේසිය සූදානම් කර බංකුවේ අසුන් ගත් සැණින් නිල පදක්කම් පැළඳු තරුණයන් දෙදෙනෙක් ඔහු වෙත පැමිණියහ.

“මෙතැන වෙළඳාම් කරන්න බැහැ.”

“ඇයි බැරි සර්?”

“මෙතැන තමයි එදා අපේ නායකයා තුවාල ලැබූ ශුද්ධ වූ තැන. පොලිසියේ උන් මෙතැනදී තමයි එයාගේ හදවතට තුවක්කු එල්ල කළේ. අපි මෙතැන එයා වෙනුවෙන් ස්මාරකයක් හදනවා. දැන් මේක අපේ තැන. නගර සභාවෙන් අපට මෙතැන දුන්නා.”

නොබෝ දිනකින් මේ වීදි කොණ ලණු ඇද වෙන්කර දැමුණු අතර එහි නිතරම කිසියම් පිරිසක් රැස්ව සිටි බව පෙනුණි. ආධාර සඳහා කැට සෙලවීමත්, ඒවාට මිනිසුන් මුදල් දැමීමත් සිදුවිය. එතැන මුදල් ආකර්ෂණය අතින් කෙතරම් බලගතු ද යන වග රාමා නම් හොඳින් දැන සිටියේය. ගලින් තැනු ස්මාරකයක් ඉදි කිරීමට මුදල් එකතු වූ අතර ඊට අලංකාර වැටක් සහ මල් පෝච්චි එකතු වූ පසු ඒ වීදි කොන සම්පුර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. 

බරපතල, සැර පරුෂ පෙනුමෙන් යුත් විවිධ පුද්ගලයෝ මෙතැනට පැමිණ නිතරම කතා බහේ යෙදී සිටියහ. මෙතැන සිට මීටර් දෙසීයක් තරම් දුර, වීදියේ මැද තැනකට රාමා ට විතැන් වීමට සිදුවිය. මේ නිසා ඔහුගේ ගනුදෙනුකරුවන්ට ඔහු ව එකවර නොපෙනුණි. සිනමා ශාලාවෙන් පිටතට එන්නෝ වෙනත් පැති වලට ඇදී ගියහ. රථවාහන පොලිස් නිලධාරියාගේ මඳ ඉවසීමෙන් ප්‍රයෝජන ගෙන තම රිය පාරේම නවතා යමක් මිළදී ගැනීමට දිව ආ අස් රිය රියැදුරන්ට මෙතරම් දුරක් ඒම දුෂ්කර විය. පෙරදී රාමා ඒ වීදි කොණෙහි නොමැති වෙලාවට එතැන අයිති කරගෙන සිටි කෙසඟ තරුණයා පාරෙන් අනෙත් පස විය. සපත්තු මදින කොලුවන් ඔහු වෙත යමින් සිටි අතර ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙමින් තිබිණි. 

කොයිතරම් අඩුවෙන් කෑම වර්ග සැකසුවත් හැම දිනකම බොහෝ කෑම ඉතිරි වී ආපසු නිවසට ගෙන යාමට රාමාට සිදු විය. මින් කොටසක් ඔවුහු ආහාරයට ගත් අතර බිරිඳගේ උපදෙස් මත ඉතිරිය රත් කර ඔහු පසු දින නැවතත් විකිණීමට ගෙන ආවේය. මේවා ආහාරයට ගත් කීප දෙනෙක් ඔක්කාර කර රාමාගේ කෑම දැන් පෙර සේ රසවත් නොමැති බවට කතාවක් පැතිරවූහ. දිනක් අන්නා දෙකක් පමණක් රෙදි මල්ලේ ඇතිව නිවසට ගිය ඔහු නිවසේ බරාඳයේ හිඳ තම බිරිඳට මේසේ නිවේදනය කළේය.

“මම හිතන්නේ දැන් අපේ ව්‍යාපාරය අසාර්ථකයි. අපි මීට පස්සේ ඒ ගැන හිතන්නේ නැතිව ඉමු.”

තම භාජනත්, බන්දේසියත්, ලාම්පුවත් පසෙකට දැමූ රාමා විශ්‍රාම සුවයෙන් ජීවිතයේ ඉතිරි ටික ගෙවන්නට සූදානම් වූයේය. ටික කලකින් තම ඉතුරුම් අවසන් වූ පසු ඔහු නිතරම ශබ්ද විකාශන යන්ත්‍ර ඝෝෂාවෙන් යුක්ත වූ කෝහිනුර් නම් ආපානශාලාවක රැකියාවක් ලබාගැනීමට කටයුතු කළේ ය. එහි ඔහු මසකට රුපියල් විස්සක් ඉපයීම වෙනුවෙන් දවසට පැය අටක් වේටර් රැකියාව කළේය. කොහෙන්දෝ නිරතුරුව ඇසුණු රේඩියෝ හඬ නොරිස්සුවත්, දවස පුරාම ගනුදෙනුකරුවන් යන එන එතැන රැකියාවේ ඔහු රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි. කිසියම් ගනුදෙනුකරුවෙක් ඔහුට ගරු සරු නොමැතිව කතා කළහොත් ඔහු මෙසේ කියනු ඇසේ. 

“පරෙස්සමෙන් කතාකරන්න සහෝදරයා, ඉස්සර කාලෙක මාත් හෝටලයක අයිතිකාරයෙක්!” 

මේ කුඩා ස්මරණයෙන් රාමා මහත් තෘප්තියක් ලැබූ බවක් පෙනුණි. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the short story ‘The Martyr’s Corner’ by R. K Narayan 


සිසිල සඟරාව - සැප්තැම්බර් 2024 කලාපය 

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Picture generated by Canva AI