Showing posts with label පරණ කවි. Show all posts
Showing posts with label පරණ කවි. Show all posts

September 09, 2024

අයිරිස්!

 


අයිරිස්!
තෙත සුළඟ සිපගෙන
නිම්නයක සුපිපෙනු මැන

දේදුන්න නැති දිනයක
කවියක් ව ඉහිරෙනු මැන

*අයිරිස් මලට නම ලැබී ඇත්තේ ග්‍රීක බසින් දේදුන්න යන තේරුම ඇතිවයි

Photo-the very first Iris bloom in my garden


May 23, 2024

AI සින්දු - ඉතින් නාඬන්න

 කවුද හිතුවේ අපි ලියන කවි, සින්දු කරන්න පුළුවන් දවසක් ඒවි කියලා! මේ suno ai හාස්කම්!





April 22, 2024

අකමැතිම

පෙනේ නම් ඔබට මා දැන්
ඔබ කැමතිම රතු ගවුම ඇඳ
ඇවිද යන හැටි තවමත්
මල් ඉහුනු තණ බිම මැද
පාවහන් රහිතව,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
තවම සක්මනට යනහැටි
අප ගිය අතුරු මං වල
නවතිමින් ඉඳහිට
දොඩන්නට නාඳුනන කුක්කෙකුට,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
වැහි බීරමක් එනවිට
නොඉඳ උණුහුම් වී
ඔබ දුන් නිල් පොරෝනය මැද
තෙමෙන්නට යන හැටි
ඔබ අකමැතිම විදිහට

~හෙල්මලී

Digital painting

(මේක මම බොහොම ඉස්සර ලීව කවියක්. හදිසියේ ආයෙත් හම්බවෙලා recycle කරලා ගත්තා. පරණම ෆෑන්ස් ලාට මතක තිබ්බොත් කියලායි ඒ disclaimer එක. චිත්‍රය අලුත්!)




August 15, 2023

තුන්දහස් වසරක යාඥාව




"In China we say Xiu hai shi ke tong zhou" Mr. Shi says." It takes three hundred years of prayers to have the chance to cross a river with someone in the same boat."

There is a reason for every relationship, that is what the saying means. Husband and wife, parents and children, friends and enemies, strangers you bump into in the street. It takes three thousand years of prayers to place your head side by side with your loved one's pillow."

A Thousand Years of Good Prayers -Yiyun Li (page 192)


එකම යාත්‍රාවක
එතෙර වන්නට නදියක්
තුන්සියක් වසරක් වත්
යාඥා කළ බව අප
පැහැදිලියි නිසැකයි 

චණ්ඩ රළ කැළඹෙද්දී
හැපි හැපී ගල් කුළු මත
දෙහද හඬ පමණක්
මුමුණ මුමුණා රහසෙන්
දෑත් අල්ලා තරයේ
ළංව උන්නා නුඹ, මම

එයිනුදු නොනැවතී
වසර දහසක් වත්
යාතිකා කරනට ඇති
නික්මුණ ද යාත්‍රාවෙන්
අත් අත්හරිනු නොහැකිව
තැවී දැවුණේ එනිසයි

එහෙත්
එක සිතින් එක වර
යාඥා නොකළෙන්
දිගු තුන්දහස් වසරක්
වෙන්ව යන්නට යෙදුණයි

ගැඹුරු නින්දකදී
නුඹේ ඇසිපිය නිසලව
වැතිරෙන අයුරු කොපුලත
දකින්නට වරමක් නැති
හේතුව එයයි, නියතයි

දිගු තුන්දහස් වසරක්
යාඥා නොකළෙන්
එක සිතින් එක වර
 
වෙන්ව යන්නට යෙදුණයි

- හෙල්මලී

පසු සටහන-
මේක ඉස්සර මම ලීව කවියක්. (පරිවර්තනයක් නෙමෙයි) ඒකට නිමිත්ත වුණේ Yiyun Li ගේ කෙටිකතාවක ඉහතින් උපුටලා තියෙන ඡේදය. Yiyun-li ගේ ලියවිලි හරි ප්‍රබලයි, සමහර වෙලාවට සාන්ද්‍රයි. මේ කවිය මම කලිනුත් පළ කළා. ඒත් ඒකට ගැලපෙන චිත්‍රය ඇඳුනේ දැන්. 

Excerpt from the Short Story Collection- A Thousand Years of Good Prayers by Yiyun- Li (2005) Random House Publishers

Digital Painting

December 20, 2022

පුංචි කහ මල




පුංචි කහ මල* මම
දැන් ඇඬූ සේ දිස් වෙන
කැළඹුන මේඝ සහසක
නම් මතක් කර හිනැහෙන

*the meadow buttercup. has shiny, wet-looking petals. Toxic to both humans and animals.

හෙල්මලී ගුණතිලක
-2013-

ගිම්හාන නිවාඩුවේ විවේකයක් ලැබුණු වෙලාවේ අද අපි තුන්දෙනා කඳුකර පැත්තක ඇවිදින්න ගියා. පහුගිය ටිකේම වැස්ස නිසා ඒ පැතිවල හැමතැනම ඇහැ නිවන නිල්ලක් පැතිරිලා තිබුණා. මෙහෙම යද්දී මඟ දිගට පුංචි කහ පාට මලක් යායට පිපිලා තියෙනවා මම දැක්කා. ළඟට ගිහින් බලද්දී ඒ meadow buttercups කියන කැලෑ මල බව මම අඳුරා ගත්තා.

meadow buttercups මලේ විශේෂත්වය තමයි දුරට පේන්නේ ඒ මල පිණි වැටිලා තෙත් වෙලා දිලිසෙන විදිහට. ඒත් ඒ මලේ හැටි. ඒ දිලිසිල්ල මලට කෘමීන් ඇදගන්නයි. ඒ වගේම මේතරම් ලස්සන මේ මල සත්තුන්ටත් මිනිස්සුන්ටත් විෂ සහිතයි.

මීට අවුරුදු කීපෙකට කලින් මේ වගේම ගමනකදී මේ විදිහටම ඒ මල දැකලා, ඒ ගැන මේ විස්තර හොයලා කවියක් ලීව බව මගේ මතකයේ කොණක තිබුණා. ඉතින් මම අද ඒ මලේ පින්තූරයක් ගත්තේ ගෙදර ගිහින් ඒ කවිය හොයාගන්න අදහසින්. මේ තමයි ඒ කවිය. පරණ කවි ෆෝල්ඩර පීරලා යි හොයාගත්තේ. මේ පුංචි කවියට නිමිති වුණේ ඉහත කීව මල ගැන විශේෂ කරුණු දෙකයි. ඒ මම පේළියෙන් දෙකෙන් කවි ලීව කාලේ- දැන් අවුරුදු දහයකටත් කිට්ටුයි!

photo- Rainforest Gallery, Warburton, Dec 2022


December 13, 2022

'පින්තූරයක් නැත'- කවි 10ට ගී 10ක් වෙතින්

'පින්තූරයක් නැත' කවිය මම ලියන්නට යෙදුණේ 2015 අවුරුද්දේදී. එදා ඉඳන් මේ පහුගිය අවුරුදු ගාණට මම හීනෙන්වත් නොහිතුව විදිහට ඒ කවිය දස දහස් වාරයක් share වෙමින් කවියට ලැදි හිත් අතරේ පැතිරිලා ගියා. අදටත් ඒක මගෙන් වෙන් වූ පැවැත්මක් තියෙන තරමට ජීවමාන බවට මට නිතිපතා සිහි කැඳවීම් ලැබෙනවා.
 
චරණ රූපවාහිනී නාලිකාවේ 'කවි දහයට ගී දහයක්' වැඩසටහන වෙනුවෙන් කවි දහයෙන් එක් කවියක් හැටියට 'පින්තූරයක් නැත' කවිය එකතු කරගන්න මිගාර බමුණුසිංහ සොයුරා අහද්දී මට මේ බව තවත් තහවුරු වුණා. ඉතින් සයිබර් අවකාශයේ සැරිසරමින් තිබුණු මගේ කවිය, ඉන් ඔබ්බට- රූපවාහිනී මාධ්‍යයටත් අරන් ගිහින් තවත් රසිකයන් සමූහයක් එක්ක බෙදා ගත්තාට ඔහුට මගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවූ වජිර ජයවර්ධන සහෘදයා ඇතුළු වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමටත් මගේ ප්‍රණාමය.



June 15, 2020

නරියෙක්!


නරියා කියන්නේ මම හරි ආස සතෙක්. ඒ ඌගේ අමුතු ලස්සනක් තියෙන නිසා. අපි වැඩියම දන්නේ පොඩි කාලේ කියවපු කතන්දර වල හිටිය මිදි තිත්තයි කිව්ව, නිල් බාල්දිය ඇඟේ හලා ගත්ත, සිංහයා ව රැවට්ටුව කපටි නරි හාමි ගැනනේ. ඒත් රුසියන් රූප පොත්වල හරි ලස්සන නරි හාමිලා හිටියා. 

ලංකාවේදී කොයිතරම් නරි ගැන අහලා තිබුණත් මම නම් ඇත්තටම නරියෙක් ව හරියකට දැක්කේ මෙහෙදී. ඕස්ට්‍රේලියාවට නරි ගෙනත් තියෙන්නේ යුරෝපයෙන්. ඒ ගෙනත් තියෙන්නෙත් යුරෝපීය ජාතිකයන්ට විනෝදයට දඩයමේ ගිහින් වෙඩි තියලා සතුටු වෙන්න! ඒත් නොහිතුව විදිහට මෙහෙ නරි හරි ඉක්මනට බෝ වෙලා. දැන් මෙහෙ නරි සලකන්නේ pests ලා හැටියට. දැන් නගර ආශ්‍රිතවත් ලඳු කැලෑ වල හැමතැනම මේගොල්ලෝ පදිංචි වෙලා ඉන්නවා. රෑට ගෙවතු වලට පැනලා නිදැල්ලේ ඉන්නේ හාවෝ පූසෝ වගේ සුරතල් සත්තු කාලා දාන්නත් මේගොල්ලෝ හරි දක්ෂයි. ඒත් නරි නිශාචර සත්තු නිසා අපිට ඒගොල්ලන්ව ලේසියෙන් දකින්න වෙන්නේ නැහැ. අපිට මෙහෙදී නරි දකින්න ලැබෙන්නේ මැරිලා ඉන්දැද්දී! පාර අද්දර වදුලේ ජීවත් වෙලා උන්නු නරි, පාර පනින්න ගිහින් වාහන වල හැපිලා මැරිලා ඉන්නවා උදේට අධිවේගී පාරේ වැඩට යද්දී නිතර දකින්න පුළුවන්. ඒ නරි අපි ඉස්සර කතන්දර පොත්වල දැක්ක විදිහටම හරිම ලස්සනයි. රතු-තැඹිලි බූසි ලොම්, උල් මූන, සුදු කෙලවරක් තියෙන ලස්සන පිම්බුණු වලිගෙ. උන් පාර අයිනේ වැතිරිලා ඉන්නේ හරියට නිදි වගේ. ඒත් ඉතින් ඒ ඉන්නේ මැරිලා බව තේරුම්ගන්න අමාරු නැහැ. එහෙම දේවල් දැකපු දවස්, දවසම ටිකක් අඳුරුයි.

මේ ඉස්සර එහෙම දවසක ලිව්ව කවියක්. පරණ සටහන් එකතුවක තිබිලා හම්බවුණේ.

a fox, by the freeway, dead.

මියෙන්නට පුලුවන්ද
මෙහෙම්මම සීරුවෙන්?
ගැඹුරු නින්දක පතුල
සෙමෙන් සැරිසරන මෙන්?
මියෙන්නට පුලුවන්ද
කිසිත් සිදු නොවූ ලෙසින්?
ලේ බිඳක් නොහලාම
සුව පහසු විලාසෙන්?
මැකෙන්නට පුලුවන්ද
ලෝකයක මතකයෙන්?
රතු- දුඹුරු කබායම
පොරවාගෙන සීතලෙන්?

-2013-


මගේ නරි obsession එක ගැන දන්නා පුතා තමයි කිව්වේ 'draw  fox, Amma!' කියලා. මේ චිත්‍රය ඇඳුනේ ඒ නිසායි


drawn with touchpad on Paint