Showing posts with label කෙටිම කෙටි කතා. Show all posts
Showing posts with label කෙටිම කෙටි කතා. Show all posts

May 04, 2022

කළු-සුදු


නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා. නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා. සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශයේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.

"මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න ... බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ.."

හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහළ ඉන්න මිසීලා, සර්ලා බාලාංසේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.

නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා.

සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්.ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිල ඇඳුම වගේ කොට කලිසමමයි ඇන්දේ.

"ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න.."

කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් විශ්ව විද්‍යාලේ ඇතුළේ හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.

සිරිදාස අයියාට නයිස් මුණ ගැහුණේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න "නයිස්..නයිස්..!!" කියනවා ඇහිලා, පෙරළාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔළුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔළුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට සිරිදාස අයියාගේ අතකුත් ලෙවකෑවා.

ඒ තමයි නයිස්ගෙයි සිරිදාස අයියාගෙයි යාලුකමේ පළවෙනි පියවර. මොකක් නමුත් හේතුවකට සිරිදාස අයියාගේ ගල් හිතේ ඒ පුංචි බැල්ලි පදිංචි වුණා. වෙන කාටවත් නොපෙන්නුව කරුණාවක් වෙනුවෙන් වෙන් කෙරුණා. මුලින්ම වුණේ සිරිදාස අයිආ හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිනි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළ එක. එයා කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශයටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් ඒකට විරුද්ධ නොවුනේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.

නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවෙලා ඒක හොයාගෙන ආව ළමයෙක්ව "වගකීමක් නැහැ!" කියලා බැනලා එළවා ගත්තා. මිසීලා සර්ලාට හැමදාම ගෝරනාඩු කළා. වැරදිලාවත් කවුරුවත් එක්ක හිනාවුණේ නැහැ.

"ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!" දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. "ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!" කොල්ලෝ එදාට එකිනෙකාට විහිළු කරගන්නවා. ඒත් මේ සැරේ ඒ ආරංචිය අහලා කවුරුවත් කාටවත් විහිළු කළේ නැහැ. "එතකොට නයිස්?" හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ.

"උපකුලපතිගෙන් අහලා බලමුද?" එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙළින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චණ්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ."මට බැහැ.. මට ගිය සතියෙත් බැන්නා.." "හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ" එක එක්කෙනා ඉදිරිපත් නොවී පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට හැමෝවම නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උණා.

"මොකා...නයිස්???" නයිස් ගැන ඇහුව ගමන් සිරිදාස අයියා ඒ අයගේ ඇඟට කඩාගෙන පැන්නා.

"නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි.."

"මම කාටවත් කෑම දෙන්නේ නැහැ... දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??" සිරිදාස අයියා කෑගැහුවා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.

"ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ.."

එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.

සිරිදාස අයියා ඒ ප්‍රශ්නේ ඇහුණේ නැති ගානට ටිකක් වෙලා නිස්සද්දව ජනේලෙන් එළිය බලාගෙන හිටියා.

"ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා." අහක බලාගෙනම හෙමින් කිව්වා.

"කියනවා එහෙම නෙමෙයි ඕවා කාටවත්...දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!" ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.

ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී එකතුවෙලා බනින එක නම් ඉබේම වගේ අඩු වුණා. 

- හෙල්මලී ගුණතිලක 

Photo Pixabay

පහුගිය ටිකේ ලංකාවේ දේශපාලන අරගලය follow කරමින් හිටිය නිසා ලියන කියන කටයුතු මුකුත්ම කරන්න බැරි වුණා. බ්ලොග් එක හිස් වෙලා මොකෝ කියලා හොයලා බැලුව සහෘදයන්ට ස්තූතියි. බ්ලොග් එකේ පාලු යන්නත් එක්ක කෙටි කතාවක් පෝස්ට් කරන්න හිතුවා. මේක බොහොම ඈත අතීතෙක ලීව කතාවක්. මගේ සහස් පියවර කෙටිකතා පොතෙත් ඇතුලත්. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ  පළකරන සිසිල සඟරාවේ 2022 මැයි මාසයේ කලාපයේත් මේ කතාව පළ වුණා.

July 02, 2021

“Reminds me of sunshine”


දුම්රියපළ කවදත් මේ වෙලාවට හරිම කලබලයි. රාජකාරියට යන එන්නන්ගේ බැරෑරුම් මූණු අතරේ පාසල් දරු දැරියන්ගේ කෙළිකවටකම් පිරිලා. උදේ හත පහු වුණත් අද නම් ඉර පායන්නේ නැති හැඩයි. කළු වලාකුළු ගොන්නක්ම පේන මානයක් යනකම්ම අහසේ තෙරපිලා. සීත සෘතුව නිමවෙන්න ළඟ වුණත් තාම මේ වගේ අඳුරු වැහි බර දවස් නම් නිමක් නැහැ. මේ දුම්රියපළ, වේදිකා හය, පිටවීම් දොරටුව ළඟ පුංචි කෝපි හල, ඈතින් පේන කොළ හැලුණු ජකරන්ඩා ගස් පෙළ, රේල් පීලි අස්සේ කෑම හොයන මුහුදු ලිහිණි රංචුව, මේ හැම එකක්ම හැමදාම මේ විදිහමයි. මේ හැම එකක්ම හීනි තාලයක් එක්ක මගේ සිතිවිලි අතරේ ගැවසුණු කාලයකුත් තිබුණා.

ඉඳහිට දැවටෙන සීතල සුළඟට මුළු ඇඟම හිරිවැටෙනවා. මට මේ සීතල කරදරයක් උනාට මගේ වටා උන්නු බොහෝ දෙනා එය ගණන් ගන්නේවත් නැති හැඩයි. අදත් ගෙදරින් එළියට බහිද්දී පුරුද්දට වගේ මම මගේ කහපාට මෆ්ලරය දවටා ගත්තා. මේ දවස් ටිකේම, ඇඳුමට නොගැළපුණත්, උදේට විහිදෙන ලා ඉර එළියට නොගැළපුණත් ගෙදරින් පිටවෙද්දී මේ මෆ්ලරය මගේ අතේ රැඳුණා.

“ඒකට තමයි මම කැමතිම!"

ඒ ගැන විමසූ හැම කෙනාටම මම කිව්වා. ඒත් ලාච්චුවක පත්ලෙන් මේ මෆ්ලරය මම ආයෙත් හොයාගත්තේ මේ සීතල දවස්වල ඒකේ උණුහුම මට වුවමනා නිසාද? තාම ඒ වූල් කැරලි අතරින් පුරුදු ලා සුවඳක් හමන නිසාද? එහෙම නැත්නම්... ඇත්තම කියන්න මගේ හිතට බල කරනවානම්, දවස් අටකට උඩදී ඔහුව නැවතත් දුටුව නිසාද?

“එහෙමම කියන්න බෑ..”. මම මා එක්කම තර්ක කළා... “ඒ කෝච්චිය වැඩිම වුණොත් විනාඩි තුනක් නවත්තාගෙන ඉන්න ඇති මෙතැන...මිනිස්සුත් පිරිලා හිටියේ.. ඒ ටිකට කොහොමද කෙනෙක් අඳුනා ගන්නේ? මේ තරම් කලබල වෙලාවට?”

ඒ කොහොම වුණත් අමතක කිරීමට බැරි බවේ තදබල රෝගයකින් පෙළෙන මට ඔහු යන එන වෙලාවල්, යන එන දුම්රිය එක්ක ඒ දුටු දසුන ගැලපෙන බව අමතක කරන්න බැරි වුණා. ඒ තත්පරය මතක් වී දුම්රිය එන තුරු සීතල ලී බංකුවේ ඉන්න මට, මේ මහා සෙනඟ මැද මොහොතකට හුස්ම හිරවෙන තරමේ තනිකමක් දැනුණා.

එදාත් අද වගේම ඈත ජකරන්ඩා ගස් හිස් වෙලා තිබුණු දවසක්. මේ බංකුවේම සීතල නොදැනුණු දවසක්.

"මට නම් බෑ හීතල කාලෙට වේලාසන එන්න!" මම නෝක්කාඩුවක් කිව්වා. "මාව මැරෙන්න යනවා හීතලේ!"

එහෙම කිව්වාට මම නොවැරදීම වේලාසනින් එන බව අපි දෙන්නාම දැනගෙන හිටියා.

"මේක හීතලක්යැ ළමයෝ?" ඔහු හිනාවක් සඟවන්න තැත් කරමින් කීවා. "ඕනනම් දාසයක් විතර ඇති!"

"ඇත්තද? දාසයයි වගේද පේන්නේ?"ඔහු ඉදිරියේ වටයක් කැරකෙමින් මම හිනාවුණා. "නියමයිනේ!!"

ඊළඟ දවසේ එද්දී ඔහු අතේ ලස්සනට එතූ පුංචි පාර්සලයක් තිබ්බා. දුම්රියපළේ කලබලය මැද්දේම පුංචි දැරියක් වගේ මා කඩිමුඩියේ ඒ පාර්සලය ලෙහා බැලුවා. ගන වූල් නූලෙන් අමුතු රටාවකට ගෙතූ කහ පාට මෆ්ලරයක් මගේ අතැඟිලි අතරේ දැවටුනා.

"සීතලට කියාපු දේ!" එය සිපගනිමින් මා සිනාසුණා. "ඒත් කහ පාට?.. මට කහ පාට ඇඳුමක්වත් නැහැ!"

ඔහු එය මගේ දෑතින් ගෙන සීරුවට මගේ ගෙල වටා දැවටුවා.

"To remind you of sunshine!" මා වෙත පහත් වී ඔහු රහසින් මිමිණුවා.

ඊට පස්සේ කොයිතරම් නම් දුම්රිය මෙතැනින් යන්න ඇතිද? කොයිතරම් නම් මිනිස්සු මේ වේදිකාවල බලාගෙන ඉන්න ඇතිද? පුංචි දේවල් වෙනස් වෙන්න ලොකු කාලයකුත් ලොකු දේවල් වෙනස් වෙන්න පුංචි කාලයකුත් තරම් වෙන බව මම ඉගෙනගත්තේ මෙතැනදීද? කොහොම වුණත් සමහර දේවල් නම් කවදාවත් වෙනස් වෙන්නේ නැති බවත් මම ඉගෙනගත්තෙත් මෙතැනදීමද?

මගේ සිතිවිලි පෙළ නතරකරමින් මගේ ඉදිරිපස දුම්රියක් මහා හඬින් විත් නැවතුණා. හිස ඔසවා බැලූ එක තත්පරයකදී නැවතත් ඒ හුරුපුරුදු දෑස මා දෑසේ ගැටුණා. ඒ දුම්රිය පිටව යන තෙක්ම මා දෑස ඉන් මුදාගෙන බිමට යොමුකරගත්තේ ඉනූ කඳුළු ඔහු දකීවි යැයි බියෙන්. මෙතෙක් කල් සීතලෙන් මිදීමට මට උපකාරී වූ කහ පැහැති මෆ්ලරය ඒ මොහොතේ කඳුළු සැඟවීමටත් මට පිහිට වුණා.

දුම්රිය පිටවී ගොස් මොහොතකින් කෙටි පණිවිඩයකින් මගේ ජංගම දුරකථනය දෙදරුවා. නොසිතාම, පුරුද්දට මෙන් මා එය වෙත නෙත් යොමු කළා.

"Reminds me of sunshine!" එහි සටහන් වී තිබුණා.


සහස් පියවර- කෙටිම කෙටි කතා (2019)
සයුර ප්‍රකාශන
සිතුවම- විංගි ජයලත් (Vingi Jayalath), Vingarts


චිත්‍රය ගැන සටහන

මේ කෙටිකතාව මගේ සහස් පියවර -කෙටිම කෙටි කතා පොතේ තියෙන කෙටිකතාවක්. පොතෙන් ඒ කතාව කියවලා ඒකට ආසා වුණු නිසා ඒකට චිත්‍රයක් ඇන්දා කියලා මම බොහොම ආදරය කරන චිත්‍ර ශිල්පිනියක් වන විංගි ජයලත්ගෙන් පණිවිඩයක් ලැබුණ වෙලාවේ මට අදහාගන්න බැරි වුණා. විංගිගේ චිත්‍රවලට මම ආදරේ කරන්නේ සෑහෙන්න කාලෙක ඉඳන්. විංගි අඳින Mandala චිත්‍රවලට කොයිතරම් ඉවසීමක්, සංයමයක් ඕනද කියලා මම දන්නේ මාත් ඉඳ හිට පොඩි පොඩි චිත්‍ර කුරුටු ගාන නිසා , මට නම් චිත්‍රයක් අඳින්න ඒතරම් ඉවසීමක් නැති නිසා. විංගි අඳින doodlesවල තියෙන්නේ එයාටම ආවේනික හුරතල් ගතියක්. ඉතින් මගේ කතාවට විංගිගෙන් ලැබුණු මේ චිත්‍රයේ වටිනාකම මට නිමක් නැහැ. මගේ කතාවට තව මානයක් එකතු කළාට විංගිට ස්තූතියි කියන්නයි මේ කතාව ආයෙත් බෙදාගත්තේ.

June 08, 2020

කටු සහ මල්




මේක මේ ලෝකෙට සෑහෙන්න සමානකම් තියෙන සමාන්තර ලෝකයක කතාවක්. එහේත් මෙහෙ විදිහටම මිනිස්සු, ගස් වැල්, සතා සිව්පාවා, ඇළ දොළ ගංගා තිබුණා. මිනිස්සු උදේට නැගිටලා කාලා බීලා අඬලා දොඩලා ගයලා නටලා රස්සාවල් කරලා ගෙදර ඇවිල්ලා නිදාගත්තා. ඒත් ඒ ලෝකේ එක පුංචි වෙනසක් තිබුණා. පුංචියි කියන්නත් බැහැ ඉතින්. එහෙ සමහර මිනිස්සු තමන්ගේ ජීවිතවල සැරිසරද්දී කකුලේ එක ජාතියක කටු ඇනුණා. මේවා ඇහැට පේන්නේ නැති ජාතියක්. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇස් ඇරගෙනම ඒ කටු නොදැක කටු ගාලට ඇවිදගෙන ගියා. ගොඩාක් අයගේ මේ කටු ඇනුණේ තරුණ කාලෙදී වුණත් එහෙමයි කියලා වයස් භේදයක් තිබුණෙත් නැහැ. මේ කටු ඇනුණාම පිටතට පේන ලක්ෂණ අඩුයි. හදවත ඉරිතැලීම තමයි නොපෙනෙන ප්‍රධාන ලක්ෂණය. නින්ද නොයෑම, කෑම අරුචිය, අධික ලෙස කඳුළු ගැලීම වගේ දේවලුත් බහුලව සිදු වුණා. ඒත් ඒ ලක්ෂණ ලේසියෙන් හංගන්න පුළුවන් නිසා කටු ඇනුණු උදවිය බොහෝ දුරට තමන්ගේ රෝග ලක්ෂණ නොපෙන්වා තම තමන්ගේ එදිනෙදා රාජකාරි කරගත්තා.

මෙහෙම කටු ඇනුණු අය අතරින් සමහර අයට විතරක් ඒ ලෝකේදී එක වරප්‍රසාදයක් ඉබේ ලැබිලා තිබුණා. ඒ තමයි අර ඇනුණු කටුවේ රිදිල්ල උරාගෙන හිස් මුදුනේ මල් පුබුදුවන්න. ඉතින් කටු ඇනුණු සමහර අය නිතර මේ විදිහට එක එක විදිහේ මල් පිබිදුවා. එක එක්කෙනාගේ මල් එකින් එකට වෙනස් වුණත් ඒ හැම එකකම තිබුණේ එකම සුවඳක්. සමහරවෙලාවට පාරේ තොටේ යද්දී දකින සමහර අය 'කටු ඇනුණු අය' කියලා අනෙත් අය දැනගත්තේත් හිස් මුදුනේ තිබුණු මල් නිසා. සමහරු ඒ මල් නිසා බොහොම ජනප්‍රිය වුණා. ඒගොල්ලෝ ඒ මල් උපදින්න හේතුවුණු කටු ගැන ප්‍රසිද්ධියේ කතා කළා. සමහර අය මල් ගැන විතරක් කතා කළා. කටු ගැන ඇහුවාම 'මගේ මල් වලින් මාව දකින්න එපා' කියලා කීවා. මේ දෙගොල්ලෝම නොකීව එක දෙයක් තිබුණා. ඒ තමයි කොයිතරම් මල් ඉපැද්දුවත් අර කටු ඇනුණු වේදනාව සමනය නොවෙන බව. අවුරුදු එකක්, පහක්, දහයක්, විස්සක්, පනහක් ගියත් ඒ වේදනාව ඇදුම් කමින්, ලේ නහරවල දුවමින් ඇඟ පුරා සැරිසරන බව. ඒ තරම් කල් ගත වුණත් තමන්ට තාමත් කඳුළු ගලන ලක්ෂණ තිබුණු බව. කොහොම වුණත් මේ මල්වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒවාට වැඩියෙන්ම ඉල්ලුමක් තිබුණේ එක සුවිශේෂී කණ්ඩායමකින්. ඒ තමයි කටු ඇනුණත් මල් පුබුදුවන්න වරම් නොලැබුණු අය. මේ අය කටු ඇනුණු වේදනාව වගේම ඒක සිරුරෙන් පිටකරගන්න බැරි වේදනාවෙනුත් තැවුණු දැවුණු අය. තමන්ගේ කටුව නිසා තමන්ට හැකියාවක් තිබුණා නම් පුබුදුවන්න තිබුණු මල් වෙන අයගේ හිස් මුදුනේ දැක්කාම මේ අයට යම් සහනයක් දැනුණා. එහෙම මල් පුබුදුවපු අයගේ පස්සෙන් මල් නැති උදවිය ගියා. තමන්ට පුබුදුවන්න බැරි වුණු මලේ සුවඳ දුර තියා වින්දා. ඒවා වර්ණනා කළා. ඉන් සමහරු අනුන්ගේ මල් හොරකම් කරගෙන තමන් පිබිදූ ඒවා වගේ හිස් මුදුනේ තියාගන්න ගිහින් ගැටුම් පවා ඇති වුණා. ඒත් බහුතරයක් කටු ඇනුණු උදවිය එක්කෝ තමන්ගේ මල් පුබුදවමින් එහෙමත් නැත්නම් අනුන්ගේ මල් සුවඳ විඳිමින් කාලය ගත කළා.

මේ දෙවර්ගයට අමතරව තුන්වෙනි කොටසකුත් මේ ලෝකයේ ජීවත් වුණා. ඒ තමයි ජීවිතේ කිසිම දවසක කටුවක් ඇනුණේ නැති උදවිය. ඒ අයගේ ජීවන ගමන යෙදිලා තිබුණු පාරේ කොතැනකවත් අර අදිසි කටු ජාතිය හමුවෙන්න නියමිත වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ අය කිසි ආපදාවක් නැතිව තමන්ගේ ගමන් බිමන් ගියා. එහෙම යද්දී එද්දී තැන තැන අනෙත් අයගේ හිස් මුදුන් වල පිපුණු ලස්සන මල් දැක්කා. එක්කෝ මොහොතක් නතරවෙලා ඒවායේ සුවඳ වින්දා. නැත්නම් තමන්ට කවදාවත් තේරුම් ගන්න බැරි ඒ මල් පිබිදීම ගැන නොරිස්සුමෙන් 'මොන විකාරයක්ද?' හිතමින් යන්න ගියා. සමහර වෙලාවට, ජීවිතේ කිසිම දවසක කටුවක වේදනාවක් නොවිඳපු කෙනෙක් හිස් මුදුනේ මල් පොකුරක් පිපුණු කෙනෙක් ව පාරේදී මුණ ගැහිලා, ඒ මල් වල සුවඳ බලලා, දිලිසෙන පෙති අතගාලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා කීවා. ඒ වෙලාවට ඇඟ පුරා ඇදුම්කන කටුවේ රිදුමෙන් දාහෙන් පංගුවකින් ඒ මල් පුබුදවපු කෙනා, නිදි නැති රැයවල් වගේම නිරන්තර කඳුළු ගැලීම් නැති, කටුවක වේදනාවක් නොවින්ද කෙනා දිහා බලලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා හිතුවත්, ඒ බව නොකියා හිනාවුණා.

ඉතින් ඒ ලෝකයේ උදවිය කටු ඇනගනිමින්, මල් පුබුදුවමින්, ඒ මල් වල ලස්සන බලමින් ජීවත් වුණා!


sketch with stylus on Lenovo Thinkpad

February 18, 2020

පදික මාරුව


ගිනිගහන මද්දහනක්. ඈ ඉන්නේ පාරේ විදුලි සංඥා එළි පුවරුව ළඟ, පාර මාරුවෙන්න බලාගෙන. දිග රතු සල්වාර් කමිසයක්. තනි කරලට ගෙතුව නිතඹට දිග කොණ්ඩයක්. මූණ වටේටම කෙස් කැරළි හුළඟට නටනවා- ඒත් ඈට ඒ ගැන වගක් නැහැ. ඇගේ මුළු අවධානයම ඇගේ ඉදිරිපිට තියෙන ප්‍රෑම් එකට යොමුවෙලා. ප්‍රෑම් එකේ ඉන්න පුංචි එකා මෙතැනට නොපෙනුණාට ඒ පැටියා අම්මා එක්ක හුරතල් වෙන බව අම්මාගේ ඉරියව් වලින් කියන්න පුළුවන්. ඈ හිනාවෙනවා, ඔලුව හොල්ලනවා, ප්‍රෑම් එකටම පහත් වෙනවා, මූණ වහන් කරනවා, ආයෙත් බලනවා. සමහරවිට ඒවාට පොඩ්ඩාගෙන් ආපිට හිනා සාගරයක් ලැබෙනවා ඇති. අම්මාට මේ ගිනි අව්ව ගැන වගක් නැත්තේ ඒ නිසා වෙන්න ඇති. ඇගේ මූණ හරි ලාබාල පාටයි. හිනාව හරි සිරියාවයි. අලුත් අම්මෙක්! ප්‍රෑම් එකේ අත්වැටේ කළු පාට කබායක් රඳවලා. දැන් අව්ව වුණාට අද උදේ තද සීතලක් තිබුණා. මේ දෙන්නා මේ උදේ ආව ගමනක් ද දන්නේ නැහැ. ප්‍රෑම් එක යට බඩු මලු දාන්න පොඩි කොටසක් තියෙනවා. මෙතැනට ඒක යන්තමට පේනවා. එතැන උඩ හරියේම තියෙනවා කිරි පිටි ටින් එකක්. ඒක පොඩි පැටියාට වෙන්න ඕන. තව පේනවා බිත්තර තිස් හයේ ඇසුරුමක්. ඒතරම් බිත්තර! සමහරවිට ඈ ඇනවුම් වලට කේක් හදනවා ඇති. ලීක්ස් ගහක දෙකක කොළ මේවා අතරින් පේනවා. දැන් ඈ ගෙදර ගිහින් කිරි බෝතලයක් දීලා පැටියාව නිදිකරවාවී. ඉන්පස්සේ දවාලට උයාවී. ඩිංගක් පරක්කුයි තමයි. ඒත් හැමදාම නෙමෙයිනේ. ඉන්පස්සේ පැටියා නැගිටින්න කළින් ඉක්මණින් ඉක්මණින් කේක් එක හදන්න ගනීවි.

විදුලි සංඥා එළිය වෙනස් වුණා. ඈ ඉක්මන් ගමණින් පාර මාරුවුණේ පොඩ්ඩා එක්ක කෝලම් කරන ගමන්මයි. පදික වේදිකාවේ උස් පහත් තැන් ගැන ඈ ඉබේම වගේ ප්‍රවේසම් වුණේ ප්‍රෑම් එකේ යට හරියේ තියෙන බඩු මලු ගැන හිතුව නිසා වෙන්න ඕන. මේ කඩ පේලියක් කිට්ටුව නිසා අවට ගෙවල් නම් නැහැ. ඈ මේ අව්වේ ප්‍රෑම් එක තල්ලු කරගෙන තව බොහොම දුරක් යන්න නියමිත ඇති. ගෙදර යන්න කළින් රස්නේ වැඩිවෙලා පැටියා අඬාවිද?


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ලයිට් එක කොළ පාට වුණා අම්මා, යන්නේ නැද්ද? දැන් පිටිපස්සේ අය හෝන් ගහයි!"

"ආ! ඔව්නේ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මම මේ කතන්දරයක් පාර පනිනවා බලාගෙන හිටියානේ!"