Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

May 30, 2026

වෙසක් කාඩ් මතක


ඉස්සර වෙසක් කිට්ටු වෙද්දී අපිට තිබ්බ ලොකුම වැඩක් තමයි වෙසක් කාඩ් ගන්න එක. පහේ හයේ පන්තිවලදී පන්තියේ හිටිය ඔක්කොම ගෑනු ළමයින්ට අපි වෙසක් කාඩ් බෙදුවා, පිරිමි ළමයින්ට නම් දුන්නේ නැහැ වගේ තමයි මතක. පෝස්ට්කාඩ් එක වගේ වෙසක් කාඩ් ඒ කාලේ සත විසිපහයි.  මීට අමතරව ගුරුවරුන්ට දෙන්න අපි ගන්නේ පියන් දෙකේ ටිකක් ලොකු වෙසක් කාඩ්. ඒවා රුපියල් හතරක් පහක් වෙනවා. ඒවායේ ගොඩාක් වෙලාවට තිබුණේ බුදු පිළිමයක්. පොඩි කාඩ් වල නම් චෛත්‍ය වල පින්තූර, වෙසක් කූඩු වගේ ඒවා තිබුණේ. මල් පොකුරු වල පින්තූර තිබුණු වෙසක් කාඩ් ගනිද්දී නම් වැඩිහිටියෝ බනිනවා වෙසක් එකට අදාළ දෙයක් තියෙන කාඩ් ගන්න කියලා. ඉතින් පන්තියේ ඉන්න ගෑනු ළමයි ගාණයි, උගන්නන ගුරුවරු ගාණයි ගණන් කරලා හැමෝටම ගැලපෙන්න වෙසක් කාඩ් ගන්න එක ඒ කාලේ වෙසක් කිට්ටු වෙද්දී අපිට තිබුණු ලොකුම රාජකාරියක්. 

ඔය කාඩ් වල ලියන පිළිවෙළකුත් තිබුණා. පෝස්ට්කාඩ් වර්ගයේ ඒවා හදලා තිබුණේ මුද්දරයක් ගහලා තැපැල් කරන්නයි. හැබැයි අපි නම් ඕවා දුන්නේ අතේ. ඒ නිසා අපි වැඩි හොඳට ඒ මුද්දරය අලවන්න තිබ්බ කොටුවේ 'අතේ තැපැල්' කියලාත් ලිව්වා. දැන් නම් ඒවා මතක් වෙද්දී අයියෝ කියලාත් හිතෙනවා! මීට අමතරව අපි 'මිතුරිය වාසනාට මිතුරිය හෙල්මලීගෙන්' වගේ මාර formal විදිහට තමයි කාඩ් වල ලීවේ මේ එදිනෙදා හම්බවෙන යාලුවන්ට. ගුරුවරුන්ට ලියද්දී කීකරු සිසුවිය වගේ විශේෂණ පද ත් දැම්මා. මම ලංකාවේ ඉස්කෝලේ යන්න පටන් ගත්තේ පහේ පන්තියේ ඉඳන් නිසා මට මේ අප්‍රකාශිත වෙසක් කාඩ් හුවමාරු රීති ටික මුල ඉඳන් ඉගෙනගන්න වුණා ඉතින්. 

හැබැයි ඉතින් වෙසක් සතිය පහු වෙද්දී යාලුවන්ගෙන් ලැබුණු වෙසක් කාඩ් මිටිය මේස පුරා අතුරලා ආයෙත් ආයෙත්  හැඩ බලමින්, මේ වතාවේ කීයක් ලැබුණාද කියලා ගණන් කරමින් අපි හරි සතුටු වුණා. ඊළඟ අවුරුද්දේ පොත් වලට පිටකවර දාද්දි අලවන්න පින්තූර ගන්නෙත් මේ කාඩ් එකතුවෙන් තමයි. බුද්ධාගම පොතට නම් අනිවාර්යයෙන් ඇලෙව්වේ ලොකු බුදු පිළිමයක් තිබුණු කාඩ් එකක්. අනිත් පොත් වලට අර රෝස මල් එහෙම තිබුණු කාඩ් ප්‍රයෝජන වුණා. 

ලොකු පන්තිවලට යද්දී මේ කාඩ් හුවමාරු පුරුදු නැතිවුණා කියලායි මතක. නෑදෑ කෙනෙක්ගෙන් එහෙම ඇත්තටම තැපෑලේ ගෙදරට ආව කාඩ් එකක් දෙකක් විතරයි ඒ කාලේ වෙසක් කාලෙට ගෙදර තිබුණේ.

දැන් ලංකාවේ කඩවල වෙසක් කාඩ් විකුණන්න තියෙනවාද, ළමයි ඒවා හුවමාරු කරගන්නවාද කියලා හරියටම දන්නේ නැත්තේ මමත් ලංකාවෙන් පිටවෙලා දශක දෙකක් විතර ගතවෙලා නිසා. අපි නිවාඩුවට ලංකාවට ගිය එක සැරයක වත් වෙසක් කාලයක යන්නත් බැරි වුණා. කොහොම කළත් ඒ වෙසක් කාඩ් මතක ටික නම් බොහොම සුන්දර බව තේරෙන්නේ මෙහෙම අතීත මතක සවාරියක ඇවිදලා ආවාම තමයි.

-පරණ වෙසක් කාඩ් වල පින්තූර හොයාගන්නත් නැති තරම් දැන්. මේ පින්තූරය bbc.com පිටුවෙන්

April 17, 2026

පරණ යාලුවෙක් - Asterix




මම මුලින්ම Asterix පොතක් කියවද්දී මට අවුරුදු අටක් විතර ඇති. අපි සේෂෙල්ස් වල ඉන්න කාලේ අක්කලාත් මාත් සතිපතා එහෙ ටවුමේ පුස්තකාලෙන් පොත් ගත්තා. ඒ පුස්තකාලේදී Asterix සහ Tin Tin වගේ චිත්‍ර කතා පොත් දකිනකම් මම නම් ඊට කළින් ඒ වගේ පොත් දැකලා තිබුණේ නැහැ. ලංකාවේදී අපි දැකලා තිබුණේ චිත්‍ර කතා පත්තර, එහෙම නැත්නම් සති අන්ත පත්තරවල තිබුණු චිත්‍රකතා නේ.

Asterix පොත් කියවද්දී අමුතුම මායා ලෝකයකට යන්න ලැබෙනවා. රෝමන් සොල්දාදුවෝ එක්ක ගෝල් දේශයේ වැසියෝ නිරතුරුව පැටලෙන, ඒ සටන් වලින් බොහොම ලේසියෙන්ම ගෝල් වැසියෝ දිනන පොදු තේමාව වටේ එක එක විදිහෙන් මේ කතා ගෙතිලා තියෙනවා. මේවා අපිට නුහුරු තේමා උනත් ඒ හැම පොතක්ම එකින් එකට වෙනස්, හිත් ඇදගන්න විදිහට පෙළ ගැස්විලා තිබුණා. Asterix පොත් වගේම Tin Tin ගේ වීර ක්‍රියා පොත් පෙළත් අපි ඒ කාලේ කියෙව්වේ එක හුස්මට. Tin Tin, Captain Haddock යි Snowy බල්ලායි එක්ක ලෝකේ වටේ ගිහින් කරන වික්‍රම වලට ගැන රූප බලමින් අපි ඒ පොත් කියෙව්වේ හරි ආසාවෙන්. ඒ විස්තර ඉස්කෝලේ යාලුවන්ට කියද්දී එයාලා අපි කියන 'ටින් ටින්' වෙනුවට ප්‍රංශ ඌරුවට කිව්වේ ටැන් ටැන් නිසා පොඩි පටලැවිලි වුණා කියලාත් මට මතකයි.

පොඩි කාලේ පිස්සුවෙන් වගේ මේ වගේ වීර කතා කියෙව්වාට වැඩිහිටි වයසේදී ඒවා කියවන ආසාව අඩුයිනේ. මම වැඩ කරන ඉස්කෝලේ පුස්තකාලේ Asterix පොත් වගේම Tin Tin පොතුත් සම්පූර්ණ series පිටින් තිබුණත් මේතරම් කාලෙකට ආයෙත් කවදාවත් ඒවා පෙරලලා බලනන හිතිලාවත් තිබුණේ නැහැ. ඒ නිසා මම නිකමට වගේ මේ සැරේ නිවාඩුවට කියවන්න Asterix පොතක් ගෙදර ගෙනාවා.

මේ වතාවේ මේ පොත කියවද්දී මට මුලින්ම හිතුණ දේ තමයි 'දෙයියනේ ඉස්සරත් මේවායේ අකුරු මේ තරම් පොඩිද?" කියලා. ඒවා ඉතින් පොඩි කාලේදී නොතිබුණු, වයස යද්දී ඇතිවෙන ප්‍රශ්න. ඒ වගේම ඒ පොත්වල ළමයින්ට අහුවෙන සීමාවෙන් එහා humour එකක් තියෙන බවත් හරියටම තේරුණේ දැන් තමයි. උදාහරණයක් හැටියට Asterix පොත්වල හැම පිරිමි චරිතයකටම x වලින් ඉවරවෙන නමක් දීලා තියෙනවානේ. ඒවා Vitalstatistix, Ikonomikcrisix වගේ ඇත්තටම ඉංග්‍රීසි තේරුම් තියෙන වචන පොඩ්ඩක් එහා මෙහා කරලා බවත්, හැමෝටම කසාය හදන වෙද රාළගේ නම Getafix වීම, තිස්සෙම කරච්චලේට සින්දු කියන හාදයාගේ නම Cacofonix වීම වගේ දේවල් වල හාස්‍යයත් පොඩි ළමයින්ට නම් තේරෙනවා අඩුයි මගේ හිතේ.

ඉතින් ඇත්තටම මේ පොත් අපේ ළමා කාලයේ පදාසයක් විචිත්‍ර කළා කියලා බොහොම ආදරයෙන් මතක් කරන්න පුළුවන්. ඒ වගේම අදත් පුස්තකාලවල, පොත් කඩවල මේ පොත් දකින්න තියෙනවා කියන්නේ අපිට විතරක් නෙමෙයි, ඊළඟ පරම්පරාවලත් පුංචි ළමයින්ගේ ලෝකවල වීරයෝ හැටියට Asterix, Obelix, Tin Tin වගේ චරිත නොනවත්වාම ජයග්‍රාහී ගමනක් යන බවයි.

February 09, 2026

ටෙලිෆෝන් මතක


පහුගිය දවසක අපේ පුතාත්, ලොකු අක්කාගේ පුතාලත් ඇතුළු තරුණ ළමයි කීපදෙනෙක් එක්ක කතාබහක ඉන්දැද්දී 'ටෙලිෆෝන්' ගැන මාතෘකාව ආවා. මේ ළමයි නම් හොඳටම දැනගෙන හිටියේ මොබයිල් ෆෝන්ස් ගැන විතරයි. ලෑන්ඩ් ෆෝන්ස් වුණත් එයාලා දැනගෙන හිටියේ බොත්තම් ඔබන, ස්පීකර් දාන්න පුළුවන් වර්ගයේ ඒවා. පරණ ජාතියේ ඉලක්කම් කරකවන ෆෝන් එකක් අපේ ගෙදර තිබුණු බව තාත්තාත්, අක්කාත්, මාත් කීවම එයාලට හරි පුදුමයි. ඉතින් ඒ කතාබහෙන් තමයි මේ ටෙලිෆෝන් මතක සටහන මතු වුණේ.

අසූව දශකයේ මැද හරියේදී ලංකාවේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන්ස් වැඩිය තිබුණේ නැහැ, ඒවා තිබුණේ ආයතන වල, පොස්ට් ඔෆිස් වල එහෙම තමයි. ඔය කාලේ අපේ ගෙදර තිබුණා අඳුරු කොල පාට, නොම්මර කරකවන ටෙලිෆෝන් එකක්. ඒක තියලා තිබුණේ ගෙදර ඉස්සරහම තිබුණු කන්තෝරු කාමරේ මේසයක් උඩ තියපු ලොකු ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි එකක් උඩ. ඔය පොත පෙරළලා තමයි ඒ කාලේ කාගේ කාගේත් නොම්මර හොයාගත්තේ. මේ පොත බස්නාහිර පළාතට වෙනමම ද මුළු රටේම නොම්මර එක පොතක තිබුණා ද කියලා මට මේ වෙද්දී මතක නැහැ.

ඒ කාලේ ඉතින් වැඩිය කාටවත් ටෙලිෆෝන් නොතිබුණු නිසා අපිට නම් ඕක තිබ්බත් කතාකරන්න කෙනෙක් හිටියේත් නැහැ. තාත්තා ට නම් ඒකට රාජකාරී ඇමතුම් ආවා. ඕක ring වෙද්දී කුස්සියටත් ඇහුණා- එහෙමට සද්දයි. ඒ කාලේ ටෙලිෆෝන් answer කළේ වැඩිහිටියෝ විතරයි, ඒ තරම් වැදගත් තැනක් ගෙදර එකට ලැබුණා. ඒ වගේම තමයි ඒ කාලේ තමන් ඉන්න දුරකථන කලාපෙන් පිට කලාපයකට කෝල් එකක් ගන්නවා නම් 'එක්ස්චේන්ජ්' එකක් හරහා ගන්න සිදු වුණු එක. ඉතින් අපි පානදුර එක්ස්චේන්ජ් එකට කතාකරලා අපිට ඕන නොම්මරේ කියනවා. එතැන ඔපරේටර් ඒ නොම්මරේට කතාකරලා, අපිට ආයෙත් කෝල් කරලා 'මෙන්න ඔයාගේ කෝල් එක' කියලා සම්බන්ධ කරනවා. මේකට විනාඩි දහයක් පහලවක් යන්න පුළුවන්, ඉන්ස්ටන්ට් කෝල්ස් කියලා ජාතියක් තිබුණේ ළඟ පාතට විතරයි. මට මතකයි කළුබෝවිල හිටිය අපේ පුංචි අම්මාලගේ ගෙදරට අම්මලා ඒ විදිහට එක්ස්චේන්ජ් එක හරහා කෝල්ස් ගන්නවා. 

ඊට අමතරව අපේ ගෙදර තිබුණු ටෙලිෆෝන් එකෙන් පොඩි සමාජ මෙහෙවරකුත් වුණා. ඒ කාලේ අපේ පළාතේ තරුණයෝ එක එක තාක්ෂණික රස්සාවලට මැද පෙරදිග රටවලට යන්න පටන්ගෙන තිබුණ කාලේ. ඒත් එයාලගේ පෙම්වතියො හිටිය ලංකාවේ. ඉතින් මේ අයියලා අපේ ගෙවල් අහල පහල හිටිය එයාලගේ පෙම්වතියන්ට කෝල් කළේ අපේ ගෙදර ටෙලිෆෝන් එකට. ඒකත් කෝල්ස් දෙකකට තමයි සිද්ධ වුණේ. මුලින් කතාකරලා ෆෝන් එක ගන්න අම්මාට කියනවා 'ඇන්ටි, ලාලනී ට තව විනාඩි දහයකින් ඔහෙට ඇවිත් ඉන්න කියන්න පුලුවන්ද?' වගේ පණිවිඩයක්. ඊටපස්සේ විනාඩි දහයකින් ආයෙත් කතාකරනවා ලාලනී එක්ක කතාකරන බලාපොරොත්තුවෙන්. ඔය විනාඩි දහය ඇතුළත අහල පහල ගෙවල් වලට මේ පණිවිඩය අරගෙන යන රාජකාරිය පවුලේ බාලයා වශයෙන් මට තමයි පැවරුණේ. ඒ කාලේ වයස අවුරුදු දහයක් වගේ තරමේ හිටිය මට මේ පෙම්වතුන්ගේ කෝල්ස් වල තිබුණු වැදගත්කමක් ලොකුවට තේරුණේ නැහැ, හැබැයි මං එක පයින් මේ පණිවිඩ ගෙන යාම කළා.  

අනුන්ගේ ගෙදරකට ගිහින් තමන්ගේ පෙම්වතා එක්ක ටෙලිෆෝන් එකෙන් කතාකරන්න සිද්ධ වෙනවා කියන එක ඒ කාලේ මේ අක්කලාට මහා කරදරකාරී වැඩක් වෙන්න ඇති කියලා දැන් නම් හිතෙනවා. හැබැයි ඉතින් එයාලට කතාකරන්න තිබුණු එකම ක්‍රමයත් ඒකනේ. ෆෝන් එක තිබුණේ ගෙදර පොදු තැනක නෙමෙයි නිසා එයාලට ඒ කතාබහට උවමනා privacy එක නම් තිබුණා. හැබැයි ඉතින් සමහර දාට ඔය කෝල්ස් අතර පෙම්වතුන් ජෝඩුවගේ රණ්ඩුත් සිද්ධ වුණු බව මතකයි. ඒ බව අපි දැනගන්නේ අදාළ අක්කා කෝල් එක ඉවරවෙලා කඳුළු පිහදමමින් "තෑන්ක් යූ ඇන්ටි, ගිහින් එන්නම් නංගි" කියලා හැඬුම්බරව අපේ ගෙදර අයට කියද්දී. හැබැයි කියන්න සන්තෝසයි, මම එහෙම ටෙලිෆෝන් පණිවිඩ ගැන පණිවිඩ අරගෙන ගිය ඔක්කොම ජෝඩු කසාද බැඳලා දැන් දරු මුනුපුරොත් ඉන්නවා! 

දැන් තියන මොබයිල් ෆෝන්ස් අපට ඉස්සරට වැඩිය ප්‍රයෝජන බව, නැතිව බැරි බව ඇත්තයි. හැබැයි මට හිතෙන්නේ තිස්සෙම අත පාත තියෙන නිසා අපට ඒකෙ අගය අඩුයි කියලා. එක්ස්චේන්ජ් එකක් හරහා කතාකරලා, බලාගෙන ඉඳලා, දුරබැහැර ට කෝල්ස් ගන්න වුණා නම්, අපේ ආදරණීයෙකුගේ කටහඬ අහන්න අසල්වැසි ගෙදරකට ගිහින් බලාගෙන ඉන්න වුණා නම් සමහර විට අපට දැන් අපේ අතේ තියෙන මේ ක්ෂණික පණිවිඩ හුවමාරු උපකරණයේත් අගය වැඩි වැඩියෙන් දැනේවි!


Picture-AI 


June 09, 2025

වැහි ලිලී මල්



වැහි ලිලී මලක පින්තූරයක් අහම්බෙන් ඇහැ ගැටිලා මට ඒක බලාගෙන චිත්‍රයක් අඳින්න ලොකු ආසාවක් ආවා. වැහි ලිලී මල් දකිද්දී මට මතක් වෙන්නේ අපේ ලංකාවේ ගෙදර මිදුල. අපේ අම්මා ඒ මිදුල පුංචි මල් වත්තක් කරලා තිබුණේ. ලස්සනට මල් හිටවලා තිබුණු පාත්ති වල ගැට්ටේ එක දිගට රෝස පාටත් සුදු පාටත් වැහි ලිලී මල් පඳුරු සිය ගාණක් තිබුණා. මේ මල් ජාතියට මේ නම ලැබිලා තියෙන්නේ ඒවා වැස්ස එක්කම පිපෙන නිසා කියලා තමයි කියන්නේ. ලංකාවේ වැස්සෙන් හිඟයක් නැති නිසාද කොහෙද මේ පඳුරු වල නිතරම මල් පිරිලා තිබුණා. 

අපේ ගෙදර මිදුල සුදු වැලි අතුරලා තිබුණේ. බොහොම කාලෙකට ඉස්සර, ඒ ගෙදරට පදිංචි වුණු අලුත, තාත්තා මිදුලේ කෙළවරක හිටවපු යාපනේ අඹ පැළය පස්සේ කාලෙක මුළු මිදුලම වැහෙන්න අතු විහිදලා අපට හෙවනත්, රසම රස අඹත් දුන්නා. අපි පොඩි කාලේ ඉඳන්ම හැමදාම ඒකෙ අත්තක ඔන්චිල්ලාවක් තිබුණා. මුලදී අපිත්, පස්සේ කාලෙක අපේ ළමයිනුත් මේ ඔන්චිල්ලාව පැද්දා. අඹ ගහෙන් නිතර කොළ වැටිලා මිදුල හැඩි වුණ නිසා ඒ දවස්වල අපේ ගෙදර කවුරු හරි ඉඩක් ලැබුන විදිහට දවසට සැරයක් දෙකක් මිදුල අතු ගෑවා. අක්කලාත් මාත් ඒ දවස්වල මිදුල අතුගාන්නෙ තරඟෙට. පොල් අත්තේ රටාවට මිදුල අතුගාන එක මම ආසාම වැඩක්. 

වැහි ලිලී මල් වලට අමතරව අපේ ගෙවත්තේ ආරුක්කුවකට යවපු rain of gold කහ මල් වැලකුත්, තව සුදු රෝස මල් ආරුක්කුවකුත් තිබුණා. ඒ වගේම ඒ මතකය දිගේ යද්දී අම්මාගේ ආදර සාත්තුව ලබලා මල් පුරවාගෙන හිටිය ඉට්සෝරා සහ ඇන්තූරියම් පඳුරුත්, පෙබරවාරි මාසෙට මනමාලියක් වගේ සැරසෙන නිසා වැලන්ටයින් කියලා අඳුන්වපු රෝස පාට මල් පොකුරු පිරුණු ගහත්, පේර ගහ වැහෙන්න හැදිලා තැඹිලි පාට මල් කිණිති පුරවාගත්ත මකුළු මල් වැලත් මට මතක් වෙනවා. අඹ ගහේ දෙබලක තාත්තා රඳවලා තිබුණු ඕකිඩ් මල් වර්ග එකිනෙකාට තරඟෙට වගේ පිපුණා. හැම පෝයටම 'පරෙවි මල්' කියලා අපි කියපු පරෙවියෙකුගේ හැඩේ ඕකිඩ් මලුත්, වෙසක් මාසෙට විතරක් පිපෙන රෝස පාට ඕකිඩ් මල් වර්ගයකුත් මේ අතර තිබුණා. වත්තේ එක කෙළවරක තිබුණු බට පඳුරු හැඩේට කපලා තියාගන්න එක ඒ කාලේ ලොකු අක්කා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන කරපු වැඩක්. ඒ කාලේ අක්කලාත් මාත් මේ මල් වලටත් ගේ පිටිපස්සේ තිබුණු එළවලු වගාවටත් වතුර දාන්න උදවු වෙනවා. සමහර වෙලාවට එක පාරට හයියෙන් වැහලා පාත්තිවල වැහි ලිලී මලුත් යටකරගෙන මිදුලේ වතුර පිරුණු දවසුත් තිබුණා. එහෙම දාට පොඩි අක්කායි මායි වැස්සේම උදලු අරගෙන මිදුලේ වාරි මාර්ග හදලා වතුර බැස්සුව හැටි මතක් වෙද්දී දැන් නම් හිනා.

අපේ ගෙදර තිබුණේ ටවුමට බොහොම කිට්ටුවෙන් උනත්, මල් හිටවලා, සාත්තු කරලා ගෙවත්ත ලස්සනට තිබුණු නිසා ගේ ඉස්සරහා පාරේ යන එන අය, බස් වල යන අයගේ අවධානයට නිතරම ලක් වුණා. අඳුරන්නේ නැති අයත් ගේ ඉස්සරහින් යද්දී නැවතිලා, මල් වලට සාත්තු කරමින් ඉන්න අම්මාට කතා කරලා ඒ ලස්සන හරියට අගය කළ බව මට මතකයි. ඒ වචන අම්මාට ලොකු සතුටක් ගෙනාවා. ලංකාවේ නොවුනත්, දැන් මමත් මගේම ගෙවත්තක මල් හිටවමින්, පෝර දමමින්, ඒවායේ ලස්සන බලමින් ඉන්න කෙනෙක්. ඉස්සර අපේ ගෙවත්තේ තිබුණු ලස්සන උපද්දන්න අම්මාත් තාත්තාත් කොයිතරම් මහන්සි උනාද, ඒ ගස් වැල් වලට කොයිතරම් ආදරය දුන්නාද කියලා මට හරියටම තේරෙන්නේ දැන්.

දැන් අපේ ඒ මහගෙදරත්, ඒ ලස්සන මල් පිරුණු ගෙවත්තත්, ඒ මල් වලට ආදරය දුන්නු අම්මාත් නැහැ. ඒත් අදටත් වැහි ලිලී මලකින් මතුවෙලා හරි ලේසියෙන් මතක ගොන්නකට පිවිසෙන්නට අපිට තාම පුළුවන් නිසා ඒ කිසිදෙයක්, කිසි කෙනෙක් කවදාවත් මැකිලා යන්නේ නැහැ කියලා මට සහතිකයි. 

Digital painting


March 25, 2025

රාජා



රාජාගේ නම රාජා බව අපි දැනගත්තේ ග්‍රාමසේවකගෙන්. ඒ වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ එයාට හැමෝ ම කීවේ ‘ගොළුවා’ කියලා. ඒක අපහාසෙටවත්, සමච්චලයටවත් කීව නමක් නෙමෙයි. ඇත්තට ම කවුරුවත් එයාගේ නම නොදැන හිටි නිසාත්, දැනගන්න විදිහක් නොතිබුණු නිසාත් කීව නමක්. රාජාට උපතින් කන් ඇහුණේ නැහැ. ඒ නිසා එයාට කතා කරන්නත් බැහැ. ඒත් අවුරුදු ගාණක් තිස්සෙ ම අපි එයාටත්, එයා අපිටත් බොහොම ලෙන්ගතුව ඉන්න ඒක කිසි බාධාවක් වුණේ නැහැ.

රාජා ජීවත් වුණේ ගෙයින් ගෙට ගිහින් කුලී වැඩ කරමින්. උදේට කොතැනක හරි ගෙයක් ළඟින් මතුවෙලා, ඒ අය පවරන ඕනෑම වැඩක් කරන්නත් හවසට දවසේ කුලී අරගෙන අතුරුදහන් වෙන්නත් රාජා පුරුදුවෙලා හිටියා. එයා ජීවත්වෙන තැනක් කවුරුවත් දැනගෙන නොහිටියේ ඒක අහගන්න ක්‍රමයක් නොතිබුණු නිසායි. පවරන ඕනෑම වැඩක් ‘යකෙක් වගේ’ කරන්න රාජා දක්ෂයි. එහෙම වැඩ පවරන්නත් වැඩේ පවරන කෙනාට යම් තරමක සංඥා භාෂා දැනුමක් වුවමනා වුණා. ඒත් රාජාට තියුණු බුද්ධියක් තිබුණු නිසා අනෙත් අය යන්තම් අතින් පයින් කියන දේවල් එයා එක සැණින් තේරුම් ගත්තා.

රාජා අපේ ගෙදර වත්ත පිටියේ වැඩ කරන්න නිතර ම ආවා. කළුම කළු හමක් තිබුණු රජාට තිබුණේ සුදුම සුදු හිනාවක්. රාජා පොඩි ළමයින්ටත්, සත්තුන්ටත් අසීමිතව ආදරය කළා. එයා අපේ වත්තේ වැඩකරන කාලේ ලොකු අක්කා එයාගේ අලුත උපන් පුතා වඩාගෙන ගෙමිදුලට එනවා දැක්කොත් රාජා කරමින් හිටිය ඕනෑම බරපතල වැඩක් නවත්තලා එතැනට යනවා. ඉන්පස්සේ ආදරය පිරුණු ඇස් වලින් ඈත ඉඳන් දරුවා දිහා බලාගෙන ඉන්නවා. තවත් ටික කාලයකින් ඒ පුතා මිදුලේ දුව පැන ඇවිදිද්දී, රාජාට ‘ගෝ මාමා’ කියලා කතාකරද්දී රාජා තමන්ගේ වැඩ නවත්තලා වත්තෙන් කඩාගත්ත මලක්, අහුලාගත්ත පිහාටුවක් පුතාට ගෙනත් දෙන්නේ පිරිකරක් පූජා කරනවා වගේ භක්තියෙන්. රාජාත් කසාද බැඳලා ද, එයාටත් දරුවෝ හිටිය ද කියලා අපිට දැනගන්න වුවමනා වුණත් අනෙත් හැම දේම තේරෙන රාජා අපි සංඥා වලින් ඇහුව ඒ ප්‍රශ්න විතරක් මඟ ඇරියා. 

දරුවන්ට ආදරය වුණා වගේ නෙමෙයි, සත්තුන්ට ආදරේ පෙන්නන්න ගිහින් රාජාට සිහිවටන කීපයකුත් ලැබිලා තිබුණා. එයා වැඩ කළ ගෙවල්වල බල්ලන්ව අතගාන්න ගිහින් උන් රාජාව හපා කාලා මැහුම් දාපු විස්තර රඟපාලා පෙන්නමින් සමහර දවස්වලට රාජා හිනාවුණා. සමහරවිට ඒ බල්ලෝ, තමන් ළඟට එන්න එපා කියලා රජාට අනතුරු අඟවන්න ගොරවද්දී ඒ බව නෑහිලා එයා උන්ව අතගාන්න ගියාද කියලා අපිට ඒවා දකිද්දී හිතුණා. අපේ ගෙදර හිටිය බලු පරම්පරාව නම් රාජාට පණ වගේ ආදරය කළා. රාජා ඉන්න දාට උන් අනෙත් හැම රාජකාරියක් ම අමතක කරලා වත්තේ එයා වැඩකරන තැන කිට්ටුවෙන් ඉන්න හරි කැමැත්තක් පෙන්නුවා. රාජාට කෑමට බත් බෙදලා දෙද්දී බල්ලන්ව එතැනින් එළවලා කූඩුවට නොදැම්මොත් රාජා බිම වාඩිවෙලා තමන්ගේ බත් පිඟානෙන් වැඩි කොටසක් බල්ලෝ එක්ක බෙදාගන්න බව අපි දැනගෙන හිටියා. 

රාජාට තිබුණු බුද්ධිය අප නිරන්තරයෙන් ම පුදුම කළා. ඕනෑම කැලැන්ඩරයක් අරගෙන දවස් හරියට පෙන්නන්න, ලබන සතියේ එයා ආයෙත් එන දවස හරියටම පෙන්නන්න එයා දැනගෙන හිටියා. කැලැන්ඩරේ මාස, දවස් මුද්‍රණය කරලා තිබුණේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට අමතරව කඩේකට ගිහින් බඩු මිලදී ගෙන හරියට ම මුදල් ගෙවලා ඉතුරු සල්ලි ගණන් කරලා ගන්න, දුර ගමන් බස් කීපයක නැඟලා තමන්ට වුවමනා තැනට හරියට ම යන්න එයාට පුළුවන්කම තිබුණේ එක අකුරක්වත් නොදැනයි. ඒ වගේම රාජාට සමාජ බුද්ධියත් හොඳට ම පිහිටලා තිබුණා. රාජා කතෝලික ආගමේ බවට සාක්ෂියකට තිබුණේ බෙල්ලේ එල්ලාගෙන හිටිය ලොකු රිදී කුරුසය. ඒත් අප්‍රේල් මාසයේ අවුරුදු පහු වුණු ගමන් කොහෙන්දෝ හොයාගත්ත බුලත් අතක් අරගෙන එයා කුලී වැඩ කළ හැම ගෙදරට ම යන්න රාජා පුරුදු වෙලා හිටියා. එහෙම ගිහින් ඒ ගෙවල්වල පොඩි ළමයින්ට පවා බුලත් දීලා බිම වැටිලා වඳින්න උත්සාහ කරන රාජාට ඒ ගෙවල් වලින් සතුටු පඬුරුත්, තෑගි බෝගත්, කෑම බීමත් සෑහෙන්න තරමට ලැබෙන බව එයා පළපුරුද්දෙන් දැනගෙන හිටියා. එහෙම යන දවසට බෙල්ලේ එල්ලුණු රිදී කුරුසය ගලවලා තියලා යන්න එයා අමතක කළේ නැහැ. 

මේ වගේ අහිංසක කපටිකම් තිබුණත් රාජාගෙන් කාටවත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතිව එයා වැඩ කළ හැම ගෙදර ම විශ්වාසය රකිමින් එයා රාජකාරි කළා. රාජාට වැඩ පැවරුව හැම කෙනෙකුටම හැමදාම තිබුණු ප්‍රශ්නේ රාජාට පණිවිඩයක් දෙන්නේ කොහොමද කියන එක. එයා හිටිය ඉසව්වක් දැනගෙන හිටියත් කවුරුවත් එයාගේ ගෙදරක් තියෙන තැනක්වත්, පවුලක විස්තරයක්වත් දැනගෙන හිටියේ නැහැ. මේ නිසා රාජාට ම හිතිලා ගෙදරකට එනකම් කාටවත් එයාට පණිවිඩයක් යවලා ගෙන්නගන්න නම් බැරි වුණා. 

රාජා මාස ගාණකින් ආවේ නැති බව කාට කාටත් මතක් වෙන්න ගත්තේ වතු පිටි කැලෑ වෙද්දී, ගස්වල පොල් පැහිලා එක දෙක බිම වැටෙද්දී, වැට ඉණි දිරලා වැටෙද්දී. රාජා නිතර යන එන කීප තැනකින් ආරංචි කරලා බැලුවත් ඒ කිසි තැනකට මාස ගාණකින් රාජා ඇවිත් නැති බව අපිට දැනගන්න ලැබුණා. සමහරවිට එයා ඈත පළාතක වැඩකට යන්න ඇති කියලා හැමෝම කතා වුණා. තවත් මාස කීපයක් ගතවුණා. රාජා ගැන ඇත්තම විස්තරය දැනගන්න ලැබුණෙත් බොහොම අහඹු විදිහට. පන්සලේ කඨින පිංකම දවසේ රාජාගේ ගම් පළාතේ ග්‍රාමසේවක මහත්තයාව අපේ තාත්තාට මුණගැහිලා තිබුණා. රාජාගේ හැඩහුරුකම් එක්ක කියලා විස්තර අහද්දී තමයි තාත්තාට හරි විස්තරය දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වෙද්දීත් රාජා ජීවිතෙන් සමු අරන් මාස කීපයක්. කුළී වැඩකට ගිය පළාතක බුලත් විටක් ගන්න රේල් පාර දිගේ ඇවිදගෙන යමින් හිටිය රාජා මහා දවාලක කෝච්චියක හැප්පිලා මිය ගිහින්. කෝච්චියේ නලා සද්දයත්, වටපිට මිනිසුන්ගේ කෑ ගැහීමත් නොඇහුණු හේතුවෙන් එහෙම අවාසනාවන්ත විදිහට රාජාට ජීවිතෙන් සමුගන්න යෙදිලා තිබිලා. ඒ තරම් කාලයක් කළුම කළු මූනකින් අපිට සුදුම සුදු හිනාවක් දුන්නු මිත්‍රයාගේ ඇත්ත නම ‘රාජා’ කියලාත් අපි දැනගත්තේ  ඒ දුක්බර ආරංචියත් එක්කමයි. 

-හෙල්මලී 

photo- unsplash


July 18, 2024

පළිඟු මැණිකේ මතකද?

කාටද මතක පළිඟු මැණිකේ ටෙලි නාට්ටිය ටී වී එකේ යන කාලේ? මෙහෙම ඇහුවාට මටත් ඒක මුලින් බැලුව හැටි මතක හීනෙන් වගේ තමයි. මේක මුලින්ම ජාතික රූපවාහිනියේ විකාශය වුණේ අසූ ගණන් වල මුල.

1983 අවුරුද්දේ ඉඳන් අවුරුදු කීපයක් අපි සේෂෙල්ස් වල ජීවත් වුණේ. අම්මාත් තාත්තාත් එහේ ගුරුවරු හැටියට රැකියාව කළා, අක්කලාත් මාත් ඉස්කෝලේ ගියා. අසූ ගණන් වල සේෂෙල්ස් වල තව ලංකාවේ පවුල් හත අටක් හිටියා. ඒ අයත් වැඩිහරියක් අපේ දෙමව්පියෝ වගේ ගුරුවරු. රට පොඩි නිසාත්, ලංකාවේ කට්ටිය සීමිත නිසාත් මේ පවුල් ටික හොඳ යාළුවො, නිතරම මුණ ගැහුණා, ට්‍රිප් ගියා, ළමයි එකට සෙල්ලම් කළා.

මේ කාලේ ඒ රටේ රූපවාහිනී නාලිකාවක් පටන් ගත්තම කාලේ. ඒකෙ පොඩි අපිට නම් කාටුන්, ළමා චිත්‍රපටි වගේ දේවල් තිබුණා. හැබැයි වැඩිහිටියන්ට නම් එහෙමකට බලන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා එයාලා මේකට පිලියමක් හොයාගෙන තිබුණා. ඒ තමයි ලංකාවෙන් ටෙලි නාට්‍යය රෙකෝඩ් කරලා ගෙනත් බලන එක. මේ කාලේ ඇත්තටම නම් ලංකාවෙත් ටෙලි නාට්‍යය විකාශය වෙලා තිබුණේ දෙක තුනයි. හැබැයි, ලංකාවෙන් පිට හිටියා කියලා නැහැ අපි ඒවා බැලුවා.

මේ ඩෙක් පීස් හෙවත් VHS යුගය. ඒ කාලේ ටෙලි නාට්ටියක් හරියටම පැය බාගයක් විකාශය වුණා. ඉතින් එක කැසට් එකකට මෙයින් කොටස් පහක් හයක් රෙකෝඩ් කරන්න පුළුවන් වුණා වගේ තමයි මට මතක. මේවා ලංකාවේ කොහෙන් හරි ගත්තාද නැත්නම් ලංකාවේ හිටිය අය ලවා රෙකෝඩ් කරලා තියාගෙන සේෂෙල්ස් වලට ගෙන්නා ගත්තාද කියන විස්තර මට මතක නැහැ- ඒ කාලේ ඉතින් මම පොඩියි නේ! හැබැයි ලංකාවට යන එන අය මේ 'ටෙලි නාට්‍ය කැසට්' නිතරම ගෙනාව බව තමයි මට මතක.

ඉතින් මෙහෙම කැසට් එකක් ලැබුණ දවසට සේෂෙල්ස් වල ලංකාවේ පවුල් හත අට අනිවාර්යයෙන් එකතු වෙනවා. එදාට ඉතින් පොඩි පාටියක් වගේ තමයි. හැමෝම මොනවා හරි කෑම ජාති හදාගෙන එනවා, තාත්තලා ටික බියර් බොනවා. අපි පොඩි උන් ටික හති වැටෙනකම් සෙල්ලම් කරනවා. ලොකු අක්කලා අයියලා බැඩ්මින්ටන් ගහනවා. මේ අතරේ ගෙදර තියෙන ඔක්කොම පුටු ටික ටී වී එක ළඟට එකතු කරගෙන අර ටෙලි නාට්ටිය බලන්න පටන් ගන්නවා. පුටු මදි නම් සමහරු බිම, ඒත් කාටවත් ඒවා ගාණක් නැහැ. මේවා වැඩියෙන්ම රස වින්දේ වැඩිහිටියෝ තමයි. ළමයි නම් මේවා බැලුවේ. එතැනින් එහේ මෙහෙ දුවන ගමන්, හැංගිමුත්තන් සෙල්ලම් කරන ගමන්.

ඔය විදිහට මුල් වතාවට පළිඟු මැණිකේ බලපු වෙලාවෙන් මගේ මතකේ හොඳටම රැඳිලා තියෙන්නේ 'පට් පට් ගාලා සම්තින් එකක් හොයන්න' ඕන බව කීව සූරසේන හෙවත් ශ්‍රියන්ත මෙන්ඩිස්ව. තඩි කැසට් ප්ලේයර් එකකුත් කරේ තියාගෙන පිටරට ඉඳලා ඇවිත් ගමටම සෝබනේ දාන චරිතයක් ඒක. මීට අමතරව මැණික්හාමි ගුරුන්නාන්සේ හැටියට රඟපෑව රෝහණ බැද්දගේ නම් හොඳටම මතක තිබුණේ එයා තාත්තාගේ යාලුවෙක් වුණු, ඉස්සර හොරණ අපේ ගෙදර නිතර ආව ගිය 'රෝහණ අන්කල්' නිසා. චිත්තයක් ඇඳපු මැණිකේ අත්තනායක නුහුරට සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිදලා හැඩ බලන ජවනිකාවක් මතකයි, කෙට්ටුම කෙට්ටු ජැක්සන් ඇන්තනි ගේ මොකක්ද ආදර පලහිලව්වක් මතකයි, තව තොවිලයක් මතකයි. ඇත්තටම නම් ඒ ටෙලි නාට්‍යය බැලිල්ලෙන් මට මතක ඔය ටික විතරයි. ඒත් මට හොඳටම මතක ඒ වයිබ් එක, බොහොම දුරක තිබුණු ලංකාවේ විකාශය වුණු අලුත්ම ටෙලි නාට්‍යයක ඊළඟ කොටස් ටික බලන්න අපේ දෙමව්පියන්ගේ තිබුණු ආසාව, උනන්දුව. ඒවගේම එහෙම හැමෝම එකතු වුණු දවස් වලට අපට ඒ නාට්‍යය ලොකුවට නොතේරුණත් එයාලගේ ඒ සතුට අපටත් බෝ වුණු හැටි. ඇත්තටම පළිඟු මැණිකේ කතාවේ අග මුල තෝරාගන්න මට නම් හම්බවුණේ ඊට අවුරුදු කීපයකට පස්සේ ඒක ලංකාවේදී ආයෙමත් විකාශය වෙද්දී. 

දැන් නම් ලංකාවේ ටෙලි නාට්‍යය ඕන තරම්, ඒවාත් කොටස් සිය ගණන්. ලංකාවේ විකාශය වෙලා ඉවර වුණු මොහොතේම අන්තර්ජාලයෙන් මඟ තොටක ඉඳන් වුණත් අලුත්ම කොටස බලන්න පුළුවන්. දැනුත් ලංකාවෙන් පිට ඉන්න අපි ඉඳලා හිටලා හිතට සෙට් වුණු කතාවක් දෙකක් මෙහෙම බලනවා තමයි. ඒත් ඉතින් ඒවා හිත් වදිනවා අඩුයි. මේ විදිහටම පිට රටක ඉඳන් දශක කීපෙකට එහා බැලුව පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය තාමත් හිතේ සුන්දර හැඟීමක් ඉතුරු කරලා තියෙන්නේ ඒක ඒ කාලේ අමාරුවෙන් බලපු, කලාතුරකින් ලැබුන දෙයක් නිසා වෙන්නැති. එහෙම දේවල් කොහොමත් අගය වැඩිනේ. 


photo- mirrorarts.lk

June 20, 2024

හොල්මන් ගුහාවට වෙච්ච දේ!


වෙසක් පොසොන් කාලේ ලංකාවේ නම් හැම හන්දියකම දන්සැල් මතු වෙනවානේ. දන්සැල් 'වඳිනවා'කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක්. මේ වතාවේ ලංකාවේ ගංවතුර තිබුණු නිසා දන්සැල් වල දෙන ජාතිත් ඒවා හදන ක්‍රම ගැනත් PHI මහත්තුරු වැඩියෙන් අවධානය යොමුකරනවා කියලා ආරංචි වුණා.

දන්සැල් වලට අමතරව මේ කාලෙට සංවිධානය කෙරෙන ආගමට සම්බන්ධයක් නැති දේවල් දෙදාස් ගණන් වල මුල කාලේදී යම් තහනමකට ලක් වුණා කියලා මතකයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔලු බක්කෝ නටනව වගේ දේවල්. ඒ වගේම දැන් දැන් බුද්ධාගම ගැන අලුත් සැලකිල්ලක් තියෙන නිසා වෙසක් පොසොන් කාලවලට හොල්මන් ගුහාවල්, අපායවල් වගේ දේවලුත් නැවතිලාද කියලා මම නම් දන්නේ නැහැ. මතක ඇති කාලෙක වෙසක් පොසොන් කාලෙට ලංකාවේ නොහිටිය නිසා මේවා ගැන අප්ඩේටඩ් නැහැ.

ලංකාවේ අපේ පළාතේ නම් හොල්මන් ගුහා තහනම් වුණේ ඒ කාලෙමයි. ඒක වුණේ මෙහෙමයි.

එක වෙසක් පෝයකට අපේ පැත්තේ මල්ලිලා සෙට් එකක් හොල්මන් ගුහාවක් හදන්න ලෑස්ති වුණා. මේක ටවුමට කිට්ටුව ලෑස්ති කළ නිසා ටවුමේ තොරණ බලන්න එන සෙනඟ මේකත් බලන්න එයි කියලා තමයි ප්ලෑන් කළේ. ඉතින් වට පිට ඇවිදලා ආධාර එහෙම හොයාගෙන කොල්ලෝ ටික වැඩේට බැස්සා. එක මල්ලි කෙනෙක්ගේ ගෙදරට ඉස්සරහ තිබුණු හිස් ඉඩමේ තමයි මේ ප්‍රොජෙක්ට් එක කෙරුණේ. මෙයාලා කළු ඉටිකොළ වලින් සැහෙන්න දුරට වංගු සහිත ගුහාවක් හදලා, ඒකෙ තැන තැන ඉඳන් නරඹන්නන්ගේ ඇඟට පනින්න වෙස්මූණු දාපු යක්ෂයෝ භූතයෝ ලෑස්ති කළා. ඒ වගේම යටිගිරියෙන් කෑ ගහන සද්ද රෙකෝඩ් කරලා ගුහාවේ තැනින් තැන ඇහෙන්න ස්පීකර් හයිකරන්නත් මේ කොල්ලෝ කුරුට්ටෝ අමතක කළේ නැහැ. මීට අමතරව දෙමව්පියන්ට කණිපින්දම් කියලා එයාලගේ ඇඳිරුම්කම් හරහා මෙයාලා මල් ශාලාවකින් මිනී පෙට්ටියක් පවා හොයාගෙන තිබුණේ ඒකේ මිනියක් වගේ කවුරුහරි වැතිරිලා ඉන්නත් ප්ලෑන් කරමින්. මේ වියදම් කවර් කරන්නත් හදිසියෙවත් ලාබයක් ලැබුණොත් කියලා හිතලාත් හොල්මන් ගුහාවට ඇතුල්වෙන දොරටුවෙන් ටිකට් එකකුත් කඩන්න තමයි නියමිතව තිබුණේ. ඉතින් පලවෙනි දවසේ ඇඳිරි වැටෙද්දී නමෝ විත්තියෙන් කොලු නඩය කළු ඇඳුම් ඇඳලා බය හිතෙන වෙස් මූණු දාගෙන එහෙම ලෑස්ති වුණා. එක කොලුවෙක් අත් දිග සුදු ෂර්ට් එකක්, කළු කලිසමක් එහෙම ඇඳලා මූන සුදු වෙන්න පවුඩර් උලාගෙන අර මිනී පෙට්ටියේ වැතිරිලා හිටියා. එයාට භාරව තිබුණේ, කළුවරේ එතැනින් කවුරු හරි යද්දී එකපාරට නැගිටලා පෙට්ටිය ඇතුළේ ඉඳගන්න.

ඉතින් මෙයාලා හිතුව විදිහටම හොල්මන් ගුහාව ගැන ආරංචිය ලැව් ගින්න වගේ පැතිරිලා තිබුණු නිසා පලවෙනි දවසෙම හොල්මන් ගුහාවේ ඇතුල්වීමේ දොරටුව ළඟ දිග පෝලිමක් තිබුණා. මුල ඉඳන්ම වැල නොකැඩී සෙනඟ ආවා. අර රෙකෝඩ් කරපු යටිගිරියෙන් කෑ ගහන සද්දවලට අමතරව හොල්මන් ගුහාව ඇතුලේ ඉන්න අය බයවෙලා කෑ ගැහුව සද්දෙත් වටපිටේ දෝංකාර දුන්නා. ටිකට් විකිණීමත් ජයටම කෙරුණා. මේ කාලේ 'අක්කලා' කියන කැටගරියට අයිති වෙලා හිටිය අපි කෙල්ලෝ ටික මේ වැඩ වලට කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි හොල්මන් ගුහාව තිබුණු ඉඩමට ඉස්සරහ ගෙදර ඉඳන් ඒකෙ ප්‍රගතිය බලාගෙන ඉන්න අපි අමතක කළේ නැහැ.

රෑ වෙලා හොල්මන් ගුහාව අවට නොහිතුව තරමේ සෙනඟක් එකතු වෙලා හිටිය වෙලාවක එකපාරට ඒක ඇතුළේ කලබලයක් ඇහෙන්න ගත්තා. හොයලා බලද්දී මිනී පෙට්ටියෙන් නැගිට්ට මිනිය දැකලා ගෑනු ළමයෙක් බයවෙලා කලන්තේ දාලා! දැන් මොකද කරන්නේ? වෙස් මූනු දාපු යක්කු භූතයෝ ඔක්කොම එතැනට එකතු වුණා. මේ කලබලේ මැද ප්‍රධාන දොරටුවෙන් අලුතින් සෙනඟ ඇතුල් කිරීම නැවැත්තුවා. ටික වෙලාවක් ගියත් කෙල්ල ට සිහිය එන්නෙම නැති පාටයි. ඉතින් අන්තිමේදී යක්කු භූතයෝ ටිකයි මළ මිනියයි හැමෝම එකතුවෙලා කෙල්ල ව ඉස්සරහ ගෙදරට උස්සගෙන ගිහින් ඒ ගෙදර සෙටියේ හාන්සි කෙරෙව්වා. එයා ඇවිත් තිබුනේ තව යාළුවො ටිකක් එක්ක මිසක් වැඩිහිටියෝ එක්ක නෙමෙයි. ඉතින් ඒ ඉතුරු ගෑනු ළමයි ටිකත් තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා විතරයි. අන්තිමේදී වටපිටේ හිටිය වැඩිහිටියෝ මැදිහත් වෙලා මූනට වතුර එහෙම ගහලා අමාරුවෙන් ඒ දැරිවි ට සිහිය ගත්තා. අමාරුවෙන් ඇස් අරින කෙල්ල ව දැකලා වැඩියෙන්ම සතුටු වුණේ මළ මිනියට හිටිය කොලුවා. වට වුණු සෙනඟ එහා මෙහා කරගෙන ඉක්මනින් එතැනට කිට්ටු වුණු ඒකා කෙල්ලගේ මූන ට පහත් වෙලා

"නංගි, මොකද වුණේ? දැන් ඔයාට සනීප ද?"කියලා ඇහුවා.

යන්තම් සිහිය ආව ගෑනු ළමයා තමන්ගේ මූන ඉස්සරහින්ම දැක්කේ අර මිනී පෙට්ටියේ ඉඳන් කෑ ගහගෙන නැගිට්ට මළ මිනිය. කළින් වතාවේ වගේ නෙමෙයි මේ වතාවේ මළ මිනිය කතාකරනවා! අනේ කෙල්ල ආයෙමත් කලන්තේ දැම්මා! මේක දැකලා මළ මිනියට කට්ටියගෙන් දෝස් මුරේ, වැඩියත්ම එතැන හිටිය වැඩිහිටියන්ගෙන්. අන්තිමේදී කවුදෝ ඇවිත් මළ මිනිය අහකට ඇදගෙන ගියාට පස්සේ තමයි ඒ ගෑනු ළමයාට ආයෙත් සිහිය අරගෙන ගෙදරට ඇරලුවේ.

කොහොමින් කොහොමින් හරි පහුවෙනිදා වෙද්දී හොල්මන් ගුහාවේ සිද්ද වුණු මේ ජවනිකාව ගැන විස්තර පළාතේ පැතිරිලා තිබුණා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කණටත් මේක යන්න වැඩි වෙලාවක් ගිහින් තිබුණේ නැහැ. ඉතින් ඊළඟට වුණේ හාමුදුරුවන්ගෙන් මේ කොලු නඩයට කැඳවීමක් ලැබුණු එක. එතැන සංවිධායක පිරිසෙන් වැඩිහරියක් දහම් පාසල් ශිෂ්‍යයෝ වෙච්ච නිසාත් මේ කැඳවීමට නොගිහින් ගමේ වසන්න ලැබෙන්නේ නැති නිසාත් කොල්ලෝ ටික පන්සලට ගිහින් බොහොම යටහත් පහත් ව හාමුදුරුවෝ ඉස්සරහ හිට ගත්තා ලු.

හාමුදුරුවෝ ඇහුව පළවෙනි ප්‍රශ්නේ 'වෙසක් පෝය සමරන්න හොල්මන් ගුහාව වැදගත් වෙන්නේ කොහොමද?'කියලා ලු!

අන්තිමේදී කොලු නඩේ අර තරම් මහන්සි වෙලා හදපු හොල්මන් ගුහාවට තිත තියන්න වුණා. ඒ විතරක් නෙමෙයි ඊළඟ වතාවේ ඉඳලා මෙහෙම මැරෑටි වැඩ නොකර පන්සලෙන් සංවිධානය කරන දන්සැලටත් වෙසක් කූඩුවටත් සම්බන්ධ වෙන්න හාමුදුරුවෝ එයාලා ව බලෙන්ම පොරොන්දු කරගත්තා ලු.

දැන් මේ කොලු තාත්තලා ඇත්තටම තාත්තලා. මළ මිනියට හිටිය ඉලන්දාරියා එහෙම අපිට නිතර හම්බවෙනවා. එහෙම වෙලාවට මේ පරණ හොල්මන් ගුහා කතා ඇතුළු පරණ කතා වල නොස්ටැල්ජියාවත් විනෝදයත් විඳින්න ලැබෙනවා. ඒත් දන්සැල් වල, හොල්මන් ගුහා වල ආතල් එක ලංකාවෙන් පිට ඉපදිලා හැදෙන වැඩෙන අපේ ළමයින්ට කවදාවත් පහදලා දෙන්න බැරි බව දැනුණාම පොඩි දුකක් නොදැනෙනවා නෙමෙයි. ඒ විස්තර in context මිසක් බාහිරින් විස්තර කරලා තේරුම් ගන්න බැරි දේවල් නේ. ඒත් ඉතින් කවදාහරි උන්ටත් උන්ගේ ළමයින්ට පහදලා විස්තර කරන්න බැරි වෙනම විනෝද ජවනිකා තියේවි!



photo - Unsplash

May 29, 2024

පොත්, කවර සහ සටහන්

අභ්‍යාස පොත් සහ ඒ පොත්වල ලීව සටහන් ගැන ලියවුණු විස්තරයක් දැකලා ඇවිස්සුණු මතකයක් මේක. 

පුංචිම කාලේ නම් අපේ අභ්‍යාස පොත් වලට පිටකවර දැම්මෙත් අපේ නම් ලිව්වේත් තාත්තා. තාත්තාගේ ලස්සන රවුම් අකුරු වලින් අපේ පොත් හැඩ වුණා. ටිකක් ලොකු වෙද්දී මගේ පොත් වලට පිටකවරත් ඉටි කොළත් දාන එක මම ම කරන්න ගත්තේ ඒක මම හරිම කැමති වැඩක් නිසා. ඒ කාලේ පොත් වලට දැම්මේ බ්‍රවුන් පේපර්. මේවා එන්නේ රෝල්වල. ඉටි කොළත් එහෙමයි. පොත් වලට බ්‍රවුන් පේපර් කවරයක් දාලා කවරේ මැද්දේ ලස්සන පින්තූරයකුත් අලවනවා. ගොඩාක් ළමයි මෙහෙම ඇලෙව්වේ වෙසක් කාඩ්. වෙසක් එකට වෙසක් කාඩ් තොග ගණන් හුවමාරු වුන නිසා හැමෝටම ඒවා තිබුණා. ඒ කාලේ අපේ තාත්තා රැකියාව කළේ සේෂෙල්ස් වල. ඊට කලින් අවුරුදු කීපයක්ම අපිත් එහෙ ඉඳලා ඒ වෙද්දී අක්කලාත් අම්මාත් මාත් ලංකාවට ඇවිත් හිටියේ. ඒ වගේම අපි නිවාඩු කාලවලට නිතර එහෙ ගියා. ඒ නිසා මගේ ළඟ 'පිටරට දේවල්' තිබුණා. ඒ කාලේ Mr Men and Little Miss කියලා cartoon එකක් තිබුණා. ඒකෙ පාට පාට චරිත ඉන්න ලොකු පෝස්ටර් එකක් මට හම්බවෙන්න ඇත්තේ මේ ගමනකදී වෙන්න ඕන. ඉන් පස්සේ කාලයක්ම මගේ පොත් වල කවරේ අලවන පින්තූරය අනිවාර්යෙන් Mr Men නැත්නම් Little Miss කෙනෙක් වුණේ ඒ පෝස්ටරේ එයාලා සිය දෙනෙක් විතර හිටිය නිසා! මේ වයසට අනිත් ළමයි නොකරන දේවල් කරන්න පොඩි ආසාවක් තියෙනවනේ කොහොමත්.

තව කාලයක් ගත වෙද්දී පොත් වලට කවර, ඉටිකොළ දැම්මත් ඉස්සරහ කවරේ නම නොලියා ඇතුල්පිටේ නම ලියන්න අපි පටන් ගත්තා. එක තමයි ඒ කාලේ 'ලොකු ළමයි කරන විදිහ.' ඒ වගේම රුවන් වැකියක්, සින්දුවක කෑල්ලක් එහෙමත් ඒ පිටුවේ ලිව්වා. ඒ කාලෙම තීන්ත පෑනෙන් සටහන් ලියන්නත් ලස්සනට පිළිවෙලට මාතෘකා වෙන්කරලා ඡේද බෙදලා ලියන්නත් පටන් ගත්තා මතකයි. තීන්ත පෑනෙන් ලියද්දි වේගයෙන් ලියන්න අමාරු වුණත් එහෙමයි කියලා අපි ඒ ට්‍රෙන්ඩ් එක අත් ඇරියේ නැහැ. මට මතක හැටියට පරණ National Geographic වගේ සඟරා වල ලස්සනම ලස්සන භූමි දර්ශන වලින් මම මේ කාලේ පොත් වලට කවර දැම්මා. මේ සඟරා වල පිටු පාවිච්චි කරන්න නම් පිටු දෙකක් සඟරාවෙන් පරෙස්සමෙන් ඉරලා මැදින් අලවාගන්න ඕන. මූට්ටු නොපෙනෙන්න මෙහෙම අලවාගන්න එකත් එක්තරා කලාවක්!

තවත් කාලයක් ගතවෙලා උසස් පෙළ කාලේ එළඹුණා. මම වාණිජ විෂයන් කළ නිසා ගිණුම්කරණයට ලොකු CR පොතක් ගෙනියන එක අනිවාර්ය වුණා. මේ කාලේ තමයි අපේ පොත් වල කවර දැමීමේ peak එක කියලා කියන්න පුළුවන්. මේ කාලේ වෙද්දී බස් වල ටියුෂන් එහෙම ගිය නිසා පොත් වලට කවර දැම්මේ පොතේ ආරක්ෂාවටත් වඩා අනිත් අයට පේන්නත් එක්ක! මේකට හොඳම උදාහරණය තමයි අර ලොකු CR පොත් වලට තනි සුදු පිටකවරයක් දාලා පිටිපස්සේ කවරේට ලස්සන කලාත්මක කළු සුදු පින්තුරයක් වගේ අලවන එක. මෙහෙම කළේ බස් වල පොත් අතේ අරගෙන යද්දී පිටට පේන්නේ පිටිපස්සේ කවරේ නිසා යි. අනේ ඉතින් අපි මේ තරම් මහන්සි වෙලා කවර දැම්ම පොත් දිහා කවුරුවත් බැලුවද දන්නෙත් නැහැ, අපි හිතුවේ බැලුවාම කියලා තමයි!

කැම්පස් යද්දිත් මම නම් සටහන් ලිව්වේ පොත් වලමයි. කොළ වල ලියන එක මට හරි ගියේම නැහැ. සම්පූර්ණ සටහනම එක ළඟ පෙරළලා බලන්න පුලුවන් විදිහට තියෙන්න ඕන එක මගේ පිස්සුවක් වුණා. පාට පාට පෑන් වලින් ඉරි ඇඳලා, ඊතල ගහලා වැඩ දාලා තමයි මම සටහන් ලිව්වේ. මීට අමතරව මට වේගයෙන් ලියන්න පුළුවන් නිසා මගේ සටහන් බොහෝ වෙලාවට සම්පූර්ණ මට්ටමේ තිබුණා. ඒ නිසා මගේ සටහන් පොත් වලට මගේ බැච් එකේ සගයන්ගෙන් හරි ඉල්ලුමක් තිබුණා. අපි එකතුවෙලා ජපුර කැම්පස් එක ඉස්සරහා ෆොටෝ කොපි කඩ කීපයකටම අඛණ්ඩ බිස්නස් දුන්නා!

ඉතින් මෙහෙම කිව්වට ආසාවට, සිහිවටනයක් හැටියට මේ එක සටහන් පොතක්වත් ළඟ නැහැ. ඉස්කෝලේ කාලේ සටහන් පොත් වලට නම් වෙච්ච දෙයක් මතක නැහැ. ඒ ලෙවල් කාලේ පොත් නම් නෝට්ස් හොයපු වෙන ළමයින්ට දුන්නා වගෙත් මතකයි. කැම්පස් එකේ සටහන් ටික නම් අවුට් වෙලා ගෙදර අරගෙන ගියාට මම මුලින්ම ගිය රස්සාවේදී අහම්බෙන් හම්බවුණ ජුනියර් බැච් එකේ මිතුරෙකුට ඒ ඔක්කොම අනෙත් පැත්තට ගිහින් දුන්නා. ඒ නිසා ඒවාත් නැහැ. කොහොමත් ඉතින් රටකින් රටකට සංක්‍රමණය වෙද්දී ඉස්සර ලීව පොත් වගේ සිහිවටන අරගෙන යන එක කෙරෙන්නේ නැහැනේ.

දැන් මම දකින්නේ පුතා සටහන් ලියන හැටි. එයාලාගේ සටහන් නම් පොත්වලත් ඩිජිටලිත් තියෙනවා. මම කියලාවත් නැතිව පුතා මම ඉස්සර කළ විදිහට පාට පාටින් මාතෘකා ලියලා, සාරාංශ වෙනම හයිලයිට් කරලා පිළිවෙලට රූපසටහන් ඇඳලා ලියන සටහන් දකිද්දී ඉබේම හිත අතීතෙට දුවනවා. ඉතින් සිහිවටන හැටියට මගේ සටහන් පොත් නැතත් කමක් නැහැ කියලා ඒවා දැක්කාම හිතෙනවා.

පින්තූරය - මගේ ළඟ පොත් නැහැ කියලා හිතුවට පොත් දෙකක් තිබුණා. මම කලින් විස්තර කළ විදිහට ලස්සනට කවර දාලා සටහන් ලීව ඒවා නෙමෙයි. එකක් මම බාලාංශේ වගේ කාලේ ගෙදරදී අකුරු පුරුදු වෙන්න අම්මා ලියෙව්ව පොතක් වෙන්න ඕන. මේක අම්මලා මහගෙදර අස්කරලා ඕස්ට්‍රේලියාවට එද්දී ගෙනාව බඩු අතරේ තිබුණේ. අනිත් එක අපි ශිෂ්‍ය නායිකා තනතුරු දැරුව අවුරුද්දේ දේවි බාලිකාවේ ශිෂ්‍ය නායිකා රැස්වීම් වල වාර්තා මම ලීව පොත. ඒ පොතටත් කවරයක් දාලා පින්තූරයක් එහෙම අලවලා! කොහොමින් කොහොමින් හරි මගේ සටහන් පොත් නැතත්, දශක කීපයක් පරණ මේ පොත් දෙක තාම මගේ ළඟ තියෙනවා. 
දෙවෙනි පින්තූරේ ලොකු අක්කාගේ. ඒ පොත්වල කවරේ තියෙන්නේ තාත්තාගේ අකුරු.

               





March 29, 2024

මතක-තාල


 

මේ සටහන පින්තූරේ තියෙන පොත ගැන නම් නෙමෙයි කියලා මුලින් කියන්න ඕන!

Good Friday වෙනුවෙන් ලැබුණු නිවාඩුවේ උදේම ගේ අස්පස් කරලා, මල් පැල වලට සාත්තු කරලා මම තේ එකක් හදාගෙන එළිමහනේ තියෙන සනීප පුටුවට ගියේ අලුතින් අතට ලැබුණු මේ පොත පෙරළලා බලන්න. එසැණින් එහා ගෙදර පැත්තෙන් බොහොම හුරුපුරුදු තාලයක් වාදනය වෙනවා ඇහුණා. ටිකක් කල්පනා කරලා බලද්දී තමයි මතක් වුණේ ඒ ගීතිකාවක් බව. එහා ගෙදර ඉන්නේ බොහොම වයසක ජෝඩුවක්. ඒ දෙන්නා ගෙදරින් එළියට බහින්නෙම නැති තරම්. ඒ නිසා අද පල්ලි යන්නත් අමාරු ඇති. ඒ වුණත් තමන්ගේ ඒ ඇදහීම වෙනුවෙන් එයාලා ගීතිකාවක් වාදනය කරන්න තෝරාගෙන. මගේ හිත මොහොතින් දශක ගානක් ආපස්සට ඉගිලිලා ගියා.

මම පුංචි කාලේ අපි ජීවත් වුණේ සේෂෙල්ස් වල. සේෂෙල්ස් වැසියෝ වැඩිහරියක් බොහොම බැතිමත් කතෝලික අය. එහෙ අපේ ගෙවල් කිට්ටුවෙන්ම තිබුණා Mont Fleuri නගරයේ Good Shepherd පල්ලිය. හැම ඉරිදාම අපිට උදේට පල්ලියේ සීනු හඬ ඇහුණා. පල්ලිය කිට්ටුවෙන් යද්දී නිතරම මේ විදිහටම බොහොම ලයාන්විත ගීතිකා හඬත් හරි ලස්සනට ඇහුණා. අපි කතෝලික නොවුණත් ඒ හඬවල් අපේ ඉරිදා දවස්වලට සුන්දර කමක් එකතු කළා. මට නම් නොදැනුවත්වම ඒ ගීතිකා කටපාඩම් හිටියා.

අක්කලාත් මාත් ගිය ඉස්කෝලේ තිබුණේ පල්ලියට එහාපැත්තෙ. ඒ දවස්වල ඉස්කෝලේ පුංචි පන්තිවල ළමයි ආගම පාඩමට පල්ලියට එක්කගෙන එනවා. කොයිම ආගමක් ගැනවත් ලොකුවට ඔලුවේ නොතිබුණු කාලෙක මම මේ ගමන් වලට හරි ආසයි. එක හේතුවක් තමයි පල්ලියේ ජනෙල් වලට අල්ලලා තිබුණු stained glass රූප වලින් පාට පාටට ඉර එළිය පෙරිලා එන හැටි බලාගෙන ඉන්න ලැබෙන එක. ඒ පාට ආලෝක තීරු පල්ලිය ඇතුළේ පුංචි දිව්‍ය ලෝකයක් මැව්වා. අනිත් හේතුව තමයි එහෙම පල්ලියට ගියාම මේ ගීතිකා හඬ ළඟින්ම ඇහෙන්න ලැබෙන එක. ඒවායේ uplifting ගතියක් පුංචිම වයසේ හිටියත් මට දැනුණා.

කල්පනා කරලා බලද්දී මගේ ළමා කාලයේ සැහැල්ලු සුන්දර සෙල්ලම් මතක එක්ක තැනින් තැන පසුබිම් හඬක් වගේ මේ ගීතිකා හඬත් තියෙනවා.

"Alleluia, Alleluia.."

අන්තිමේදී එහා ගෙදරින් ඇහෙන ගීතිකාවක හඬ දිගේ අවුරුදු ගාණක් ආපස්සටත්, හැතැප්ම දාස් ගාණක් දුරටත් ගිහින් සතුටු මතකයක සැරිසරන්න මට ඉඩ ලැබුණා

The Little Book of Hygge පොතේ අන්තිමට මෙහෙම තියෙනවා

'Happiness consists more of small conveniences or pleasures that occur everyday than in great pieces of good fortune that happen but seldom' - Benjamin Franklin

~හෙල්මලී~


January 30, 2024

බොම්බයි මොටයි

ඉස්සර අපි පොඩි කාලේ හවස් වරු වලට ඈතින් ලාවට වගේ සීනුවක ටිලිං ටිලිං සද්දේ ඇහුනොත් ඒ බොම්බයි මොටයි වෙළෙන්දෙක් බව නොවරදවාම දැනගෙන හිටියා. ඒ කාලේ බොම්බයි මොටයි වෙළෙන්දෝ කවදාවත් බයිසිකල් වල ගියේ නැහැ, ගියේ පයින්මයි. එහෙම පයින් යද්දී ඇවිදින තාලෙට එයාලගේ අතේ තියෙන සීනුවේ සද්දේ තමයි අපට ඒ ඇහුණේ. ඒ සද්දෙට පාරට දුවගෙන ගියොත් අනිවාර්යයෙන් වෙළෙන්දා ව නවත්තා ගන්න පුළුවන් වුණෙත් එයා පයින් ගිය නිසායි. ඒ බොම්බයි මොටයි තිබුණේ මළකඩ කාලා දුර්වර්ණ වුණු ලොකු, උස ඍජුකෝණාශ්‍ර ටින් එකක. ඒකේ උඩ රවුම් පියනක් තිබුණා. බොම්බයි මොටයි වෙළෙන්දා ළඟ හතරැස් කොටු කැපුව පත්තර පිටු කම්බියක අමුණලා තිබුණා. ඒවායේ තමයි බොම්බයි මොටයි ඔතලා දෙන්නේ. ඒ කාලේ රුපියල් දහයකට වගේ අරින් හතරැස් පත්තර කොටුවක් පිරෙන්න බොම්බයි මොටයි ගන්න පුළුවන්. ඒවායේ අතට දැනෙන රළු ගතිය, තද රෝස පාට , දිවේ දියවෙන සීනි රස අදටත් පැහැදිලි ව මතක් කරන්න පුළුවන් මිහිරි මතකයක්. එක තත්පරයෙන් කටේම දියවෙලා ගියත් බොම්බයි මොටයි කියන්නේ ඒ කාලේ හැටියට අපිට ආගමක්!

ටික කාලයක් ගත වෙද්දී පාරවල් වල ඇවිදගෙන යන බොම්බයි මොටයි වෙළෙන්දෝ හිඟ වුණා. සමහර විට එයාලා එනකම් බලාගෙන ඉන්න අපිට වෙලාව නැති වුණා වෙන්නත් පුළුවන්. හදිසියකට වත් එයාලාව දකින්න ලැබුණේ කානිවල්, සංගීත සංදර්ශන වගේ තිබුණ තැන්වල. මම ජ'පුර කැම්පස් එකේ ඉන්න කාලේ ඒකෙ තිබුණු අවුරුදු උත්සවයක් වෙලාවේ මෙහෙම ආව බොම්බයි මොටයි වෙළෙන්දෙක්ගෙන් මායි යාළුවෙකුයි අතේ තිබුණු සල්ලි ඉවර වෙනකම්ම පිස්සු හැදිලා වගේ බොම්බයි මොටයි කෑවා මතක් වෙද්දී දැන් නම් හිනා. ඒ කියන්නේ ඒ වැඩිහිටි වයසෙදිත් අපි වෙනසක් නැතිව බොම්බයි මොටයි ඇදහුවා.

මෑත කාලේදී බොම්බයි මොටයි වල පිටරට වර්ෂන් එක වෙන candy floss නම් ඕනෑතරම් කන්න ලැබිලා තියෙනවා. ඒත් ඒ සිනිඳු candy floss කද්දී අර ඉස්සර ලංකාවේදී මළකඩ ටින් එකෙන් අරන් පත්තර පිටුවේ ඔතලා කෑව රළු බොම්බයි මොටයි තරම් හිත් වැදුණේ නම් නැහැ. ඔය අතරේ තමයි දැන් ලංකාවේ අර පරණ බොම්බයි මොටයි ලස්සනට පැකේජ් කරලා විකුණන්න තියෙන බව මට දැනගන්න ලැබුණේ. මේ සැරේ අපට ලංකාවෙන් ආව රසකැවිලි අතරේ මෙහෙම පොඩි පෙට්ටිවල අහුරපු බොම්බයි මොටයි තියෙනවා දැකලා මට දැනුණේ පරණ යාලුවෙක් දැක්කාම දැනෙන සන්තෝසේ! කවුද හිතුවේ ඒ බිස්නස් එක මෙහෙම ජාත්‍යන්තර මට්ටමේ එකක් වෙයි කියලා.

මේ වයසේ කියලා නැහැ, තාම අපිට හොඳට බොම්බයි මොටයි අදහන්න පුළුවන්!

October 22, 2023

සාරි කතා (ශනිදා දහයට)

මේක ශනිදාවට සාරි කතාවක්.

මම මුලින්ම සාරි ඇන්දේ ඉස්කෝලේ සෝෂල් එකට. එතකොට වයස දහ අටක් විතර ඇති. ඒකාලේ fashion එක two colour cotton සාරි සහ cowl හැට්ට අත. නුහුරට සාරි ඇඳන් පේළියට හිටගෙන ගත්ත ඒ කාලේ පින්තුර මතක ඇතිව දැන් හංගලා තියෙන්නේ .

ඊටපස්සේ කැම්පස් යද්දී අපේ බෝඩිමේ රූමියෙක් හදිසියේම සෙකන්ඩ් ඉයර් එකේදී බැන්ද නිසා ආයෙත් සාරි අඳින්න වුණා. ඒ කාලේ ඉතින් හෝ ගාලා සාරි දෙකක් වගේ තමයි සන්තකේට තිබ්බේ. ඒ මගුල් ගෙදර ගැන මතක තියෙන්නේ දවසම සාරිය නොවැටී තබාගැනීමේ දුෂ්කර ක්‍රියාව. එදා ගත්ත පින්තූරත් අර කලින් පින්තූර එක්කම හංගලා තියෙනවා. අක්කලාගේ මඟුල් ගෙවල් වලට ඇන්ද නිසා ඊටපස්සේ සාරි ඇඳීමේ පොඩි හැකියාවක් මතු වුණා. මේ කාලේ වෙද්දී වැඩ දාපු ටිෂූ සාරි කරලියට ආව බව මතකයි. මේවාට ඇන්දේ වාටිවලට පබළු ඇල්ලුව හැට්ට. ඒ කාලේ බොහොම කෙට්ටුවට හිටිය අපි වගේ ගෑනු ළමයි අතරේ මේ ටිෂූ සාරි ජනප්‍රිය වුණේ ඒවා ඇන්දාම 'මහතට පේන' නිසා. එහෙම අරමුණකින් ඇඳුමක් ඇන්ද කාලයක් ගැන දැන් නම් හිතාගන්නත් බැහැ!

convocation එකට අඳින්න අම්මා අරන් දුන්න සාරිය තාම මගේ ළඟ තියෙනවා. ඒකත් beige and jade cotton සාරියක්.  ඒ කාලේ වෙද්දී යන්තම් සාරි දෙකක් තුනක් අයිතිය තිබ්බ මට බොහොම ඉක්මණින් ජීවිතේම සාරි බවට පත්වුණේ නොහිතුව විදිහට. කැම්පස් එකෙන් පිටවෙලා ටික කලකින් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන ජාලයක කොළඹට කිට්ටු ශාඛාවක මට රස්සාවක් ලැබුණා. මේ සතියේ ඉන්ටවීව් තිබිලා ලබන සතියේ ඉඳන් 'සාරි ඇඳන්' වැඩට එන්න කියපු රස්සාවක් ඒක. ඒ නිසා මට ඒ වෙනුවෙන් එකසැරේ සාරි දහයක් දොළහක් ගන්න සිද්ධ වුණා. ඒ දවස්වල අම්මා දිවා රෑ මට හැට්ට මැහුව බව මතකයි. ඉන්පස්සේ එළඹුණේ රෑට සාරි මදින, පාන්දර සාරි අඳින, සති අන්තවල සාරි හෝදන, වත්ත පුරා රෙදි වැල් බැඳලා සාරි වේලන කාලයක්. ඒ කාලෙත් මම ඇන්දේ cotton සහ handloom සාරි නිසා මේ හැම වැඩක්ම සංසාරේ තරම් දිගයි. ඒ තනිකඩ කාලේ- රස්සාවට යනවා එනවා ඇරෙන්න ගෙදර වෙන ලොකු වැඩක් නොතිබුණු නිසා මිසක් දැන් කාලෙක නම් ඔහොම දිග වැඩ කරන්න බැරිවෙයි.

මේ රස්සාව කරන කාලේ සාරි සම්බන්ධ මතක හිටින දේවල් දෙකක් වුණා. දෙකම factory visit අතරේදී. පළවෙනි එක factory floor එකක් හරහා යද්දී බිම තිබුණු grate එකකට මගේ සෙරෙප්පු අඩියක් අහුවෙලා කැඩිලා ගිය එක. සාරි අඳින හැමෝම දන්නවා අඩි උස සෙරෙප්පු නැති උනොත් සාරියේ වාටිය පෑගෙන බව. ඉතින් එදා දවසේ ඒ factory visit එකේ ඉතුරු ටික ගෙවුණේ එක අඩි උස සෙරෙප්පුවක්, එක කොට සෙරෙප්පුවක් සහ තිස්සෙම පෑගෙන සාරියක් එක්ක. දෙවෙනි එක factory visit එකක් ගිහින් ආපිට එද්දී. ගෙදර යන්න බස් එකක් ගන්න ලේසි වෙන්න මම අපි ගිය වෑන් එකෙන් ටවුන් හෝල් වලින් බැස්සා. එහෙම බහිද්දී ඒ වෑන් එකේ නවන සීට් එකක පැටලිලා මගේ සාරියේ පදාසයක් ඉරිලා ගියා. එදා මද්දහනක ඉරිලා එල්ලෙන සාරියක් එක්ක මම වරුවක් ටවුන් හෝල් බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා ඉතින්. මම බොහොම ආදරේ කරපු ඒ සාරිය එහෙම ඉරුණාට පස්සේ  විශ්‍රාම යවන්න වුණා.

ගෑනු අපිට කාගේ හරි මඟුල් ගෙදරකට ආරාධනාවක් ලැබෙනවා කියන්නේ ඒ එක්කම "මොකක්ද අඳින්නේ?" කියන සදාකාලික ගැටලුව මතු වෙනවා කියන එකනේ. එක වයසේ යාළුවො ඔක්කොම වගේ එක වකවානුවක බඳිද්දී මේක තවත් බරපතලයි. මේ හැම මඟුල් ගෙදරකටම එකම කට්ටිය එද්දී තත්ත්වය ශෝචනීයයි. මේ සාරි කතාවේ මමත් එක දිගට මඟුල් ගෙවල් වලට මෙහෙම සාරි ඇන්ද chapter එකකුත් ගතවුණා. මේ කාලේ නම් රස්සාවක් කරපු නිසා සාරි ශොපින් ගිහින් අත දිග ඇරලා වියදම් කරන එක අපේ විනෝදාංශයක් වෙලා තිබුණා. 

හැමදාම සාරි ම ඇන්ද මම බඳින දවසේ ඔසරියක් ඇන්දේ මාව හැඩ ගන්වපු කෙනාගේ උපදෙස් මත සුපුරුදු විදිහට 'මහතට පේන්න'. ඒත් එදා ඔසරියට එහෙම විශ්ව කර්මයක් වුණේ නැති නිසා ඔන්න ඔහේ එදාත් සාරි ම අඳින්න තිබුණා කියලා හිතෙන්නේ දැන් තමයි. දෙයියනේ කියලා එතැනින් එහාට මේ නිරන්තර සාරි ඇඳිල්ල ඉවර වුණේ ඉන්පස්සේ අපි පිටරට පදිංචියට ආව නිසා. කාලයක් තිස්සේ රස්සාවට අඳින්න ඕන නිසා මහන්සිවෙලා ආදරෙන් එකතුකරගත්ත මගේ සාරි එකතුව යාළුවො අතරේ බෙදලා දෙද්දී පොඩි දුකකුත් ලොකු නිදහසකුත් දැනුණා.

දැන් නම් මම සාරි අඳින්නේ බොහොම කලාතුරකින්. මෙල්බර්න් වලදී උත්සවයකට, මඟුල් ගෙදරකට සාරි අඳින්න යෙදෙන්නේ අවුරුද්දකට සැරයක් දෙකක් වගේ තමයි. දැන් ඉතින් ඉස්සර වගේ කොටුවේ සාරි කඩවල 'සාරි රස්තියාදු' නැහැ. හැට්ට මහන්න දැන් අම්මාත් නැහැ. ඒත් නිතර නොලැබෙන නිසා ද මන්දා දැන් ඉඳහිට සාරි අඳින්න ආසාවකුත් නැත්තේ නැහැ. ඔහොම තමයි ඉතින් ලෝක ස්වභාවය! 



photo - Ardy Arjun on Unsplash
(two colour cotton සාරි මේ වගේ තමයි. අපි ඇන්දේ මෙහෙම රත්තරන් පාටවල් නොතිබ්බ ඒවා)


March 13, 2023

බ්ලැකී




අතීත මතක අතපත ගාද්දී බොහොම ඉස්සර කාලෙකින් ඇහෙන පූස් පුරු පුරුවක් ළඟ හිත නවතින වෙලාවල් තියෙනවා. ඇස් දෙක වහගත්තොත් දෑතේ උණුහුම මැද්දේ හීනියට පුංචි ගදවතක් වේගයෙන් ගැහෙන හැටිත් හිතේ මැවෙනවා. එක්තරා කාලයක මට ලැබුණු ඒ උණුහුම් ආදරයේ අයිතිකාරිය බ්ලැකී. 

බ්ලැකී මට මුලින්ම මුණගැහෙද්දී මට අවුරුදු හයක් විතර. ඒත් බ්ලැකී නම් ඒ වෙද්දී හිටියේ පැටි වයස පහු කරලා. තාත්තාගේත් අම්මාගේත් රැකියා නිසා අපි සේෂෙල්ස් රටට ගිය වෙලාවේ අපි පදිංචි වුණු ගෙදරත් එක්ක ලැබුණු නිල නොවන තෑග්ගක් තමයි බ්ලැකී. සමහරවිට එයා අපට කලින් ඒ ගෙදර පදිංචි වෙලා හිටිය අයගේ සුරතලා වෙන්න ඇති. ඒත් අපි මුලින් දැක්කේ අහු මුළුවල හැංගිලා ඉන්න, බයෙන් වෙව්ලන පුංචි කළු අවතාරයක්. අපි ඒ ගෙදරට එන්න කලින් සිද්ධ වුණු මොනවා හරි අපි නොදන්නා අකරතැබ්බ නිසා ආයෙත් කිසි මනුස්සයෙක්ව විශ්වාස නොකරන්න බ්ලැකී අධිශ්ඨාන කරගෙන හිටපු ලකුණු පෙනුණා. ඒත් අවුරුදු හයක පුංචි ගෑනු ළමයෙකුට මේවා අදාළ වුණේ නැහැ. බ්ලැකී හැංගිලා හිටිය අහුමුලු වලට බඩගාගෙන යන්න, ඈතින් කෑම පීරිසි තියලා හැංගිලා බලාගෙන ඉන්න, එයාට රහසින් කතාකරන්න මට ඕන තරම් වෙලාව තිබුණා. අන්තිමේදී මම පසු නොබාන බව දැකලා ද කොහෙද බ්ලැකී අපේ ගෙදරින් මාව විතරක් විශ්වාස කරන්න තීරණයක් ගත්ත බවක් පෙනුණා. මේ විදිහට බ්ලැකී 'මගේ' සුරතලා වුණා. තනි කළු පාට බ්ලැකීට දීප්තිමත් කහපාට ඇස් දෙකක් තිබුණා. මගේ පෙරැත්තයට ගේ ඇතුළට ආවත් බ්ලැකී වැඩිහරියක් කාලය ගතකළේ ගෙදර හෙවනැලි වලට මුවාවෙමින්. ෆ්‍රිජ් එක පිටිපස්සේ ඉඩත් මගේ ඇඳ යටත් එයාගේ ප්‍රියතම තැන් වුණා.  එහෙම අඳුරු තැන් වල හැංගිලා ඉන්දැද්දී පෙනුණේ එයාගේ ඇස් දෙක විතරයි.  හැබැයි මෙහෙම ඉන්න අතරේ හෙමින් හෙමින් මාව හොයාගෙන ඇවිත් කකුල් දෙකේ වෙලිලා, උකුලට පැනලා මට විතරක් විශේෂ වුණු ලොකු 'පුරු පුරුවක්' දෙන්න එයා අමතක කළේ නැහැ. මාත් එක්ක ඉන්දැද්දී ගෙදර වෙන කෙනෙක්ගේ අඩි සද්දේ ඇහුනොත් එක මොහොතින් එයා ආයෙත් හැංගුණේ අසුරු සැණින්. 

මෙහෙම ටික කලක් ගත වුණා. බ්ලැකීගේ කුලෑටි ගති ටිකක් අඩු වුණත් එයා කවදාවත් ඒතරම් සමාජශීලී වුණේම නැහැ. ඒ වෙද්දී අපේ ගෙදර තවත් බළල් පවුල් පදිංචි වෙලා හිටියත් බ්ලැකී ඒ අය එක්කත් සම්බන්ධයක් තිබුණේත් නැහැ. එයාගේ ලෝකය වෙලා තිබුණේ මම විතරයි. මාත් ඉඩක් ලැබුණු හැම වෙලාවකම කළේ එක්කෝ උණුහුමට ගුලි වෙලා පුරු පුරු ගාන බ්ලැකීව උකුලේ තියාගෙන පොත් කියවන එක, නැත්නම් එයා එක්ක සෙල්ලම් කරන එක. සෙල්ලම් වයස පහුවෙලා හිටියත් බ්ලැකී මං වෙනුවෙන් ආයෙත් එහෙ මෙහෙ දුවමින්, කහ පාට ඇස් දෙක දිලිසවමින් සෙල්ලම් කළා.

අවුරුදු හතරක් ගතවෙලා ගියේ බොහොම ඉක්මණින්. අපිට සේෂෙල්ස් වලින් නික්මෙන්න කාලේ එළඹුණා. අපේ ගෙදර බලෙන් පදිංචි වෙලා හිටිය අනෙත් බළල් සුරතල්ලු ගැන අපි වද වුණේ නැත්තේ එයාලා ආව විදිහටම වෙන තැනක් හොයාගන්න බව දැනගෙන හිටිය නිසායි. ඒත් බ්ලැකී? එයාගේ කුලෑටි ගතිගුණ නිසා එයා අලුත් අයිතිකාරයෙකුට හුරු නොවෙයි කියලා මම බය වුණා. එයාව දාලා යන්නේ කොහොමද හිතමින් මම නිදි නැතිව අඬමින් කාලේ ගත කළා, ඒ කිසි දෙයක් නොදැන දිගටම බ්ලැකී මගේ ළඟට තුරුල් වෙලා හිටියා. මෙහෙම මාස කීපයක් ගතවුණා. අපිට ෆ්ලොරන්ස් ගැන ආරංචි වුණේ ඒ අතරේ. ෆ්ලොරන්ස් අම්මලා එක්ක එකට රැකියාව කළ ඒ රටේ කෙනෙක්. බ්ලැකීව දාලා යන්න බැරි ගැටලුව අම්මාගෙන් ආරංචි වෙලා තමන් බ්ලැකීව බාරගන්න කැමති බවත් එයා දවසක බ්ලැකීව බලන්න අපේ ගෙදර එන බවත් කියලා තිබුණා. 

ෆ්ලොරන්ස් බළලුන්ට බොහොම ආදරේ කරුණාවන්ත කෙනෙක් කියලා අම්මා කීවත් මට නම් මේ අදහස ගැන විශ්වාසයක් නොතිබුණේ බ්ලැකී ගැන හොඳට දැනගෙන හිටිය නිසායි. අවුරුදු ගාණක් තිස්සේ අපේ පවුලේ අනෙත් සාමාජිකයින් එක්කවත් ලෙන්ගතු නොවුණු බ්ලැකී පිට කෙනෙක් එක්ක යාලු වෙයිද? ඒත් අපිට නොතේරෙන, සත්තුන්ට තේරෙන විශ්ව භාෂාවක් තියෙන බව මට බ්ලැකී ඔප්පු කරලා පෙන්නුවා. ෆ්ලොරන්ස් මුල් වතාවට අපේ ගෙදර ආව වෙලාවේ බ්ලැකී කළින් කිසි දවසක කාටවත් නොදුන්නු ප්‍රතිචාරයක් එයාට දුන්නා. එදා බ්ලැකී හැංගිලා හිටිය තැනින් එළියට ඇවිත් කෙලින්ම ෆ්ලොරන්ස් ළඟට ගිහින් එයාගේ කකුල් දෙකේ ඇතිල්ලුනා. ඉන්පස්සේ එයාගේ පාමුල බිම පෙරළිලා මගේ දිහා බැලුවේ 'මං ගැන වද වෙන්න එපා, මෙයා එක්ක මට ඉන්න පුළුවන්' කියන්නා වගේ. මේක දැකලා මට දැනුණේ ලොකු පුදුමයක් ඒ වගේම සැහැල්ලුවක්.

අපි සේෂෙල්ස් වලින් නික්මෙන්න කලින් ෆ්ලොරන්ස් ට බ්ලැකීව භාර දීලා මම එන්න ආවේ ඇස් වල කඳුළු පුරවාගෙන. ඒත් බ්ලැකීට මගෙන් ලැබුණු ආදරය රැකවරණය ෆ්ලොරන්ස්ගෙන් ලැබෙන බව මට සහතිකවම දැනුණා. 

මේ කතාව හරි නම් මෙතැනින් නිම වෙන්න නියමිතයි. ඒ කාලේ දැන් වගේ විදේශ දුරකථන ඇමතුම්, ඊ මේල් වගේ දේවල් සුලබ නොවුණු නිසා ඊටපස්සේ මට බ්ලැකී ගැන විස්තරයක් දැනගන්න ලැබුණේ නැහැ. ෆ්ලොරන්ස් ට ලියුමක් ලියලා විස්තර අහන්න අම්මලා මාව උනන්දු කළත් බ්ලැකීගෙන් වෙන්වීමේ දුක ඉන් තවත් වැඩිවෙන නිසා මම නිහඬවම හිටියා. ඒත් මේ සමුගැනීමෙන් අවුරුදු හතරකට විතර පස්සේ මට ආයෙත් වතාවක් නිවාඩුවකට සේෂෙල්ස් යන්න අවස්ථාවක් ලැබුණා.ඒ ගමනේදී බ්ලැකීව හොයාගෙන ෆ්ලොරන්ස් ගේ ගෙදර යනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒත් මම හිටියේ හිතේ සැකයෙන්. බ්ලැකී ඒ වෙද්දී ජීවත් ව ඇතිද කියලා මට සැක හිතුණේ ඒ වෙද්දීත් එයාට අවුරුදු දහයක් තරම් විතර වයස ඇති කියලා මට හිතුන නිසා.

ෆ්ලොරන්ස් අපිව බොහොම සතුටින් පිළිගත්තා. 'බ්ලැකී ඉන්නවද?' කියලා මම බයෙන් බයෙන් වගේ ඇහුව ප්‍රශ්නයට උත්තර හැටියට හිනාවුණු එයා ගේ ඇතුලට ගිහින් බ්ලැකීව වඩාගෙන ආවා. මට දැනුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්! ඒ වෙද්දී වයස නිසා බ්ලැකීගේ කළු ලෝම අළු-දුඹුරු පාටක් වෙලා තිබුණා, එයාගේ ගමනත් හිමින්. ඒත් එයා මාව දැක්ක ගමන් උකුලට පැනලා ආදරේ පෙන්නද්දී ඇහුනු පුරු පුරුව නම් ඉස්සර වගේම සද්දෙට තිබුණා!

සමහර සුරතල්ලු අපි එක්ක ගත කරන්නේ අවුරුදු කීපයක් විතරයි. ඒත් එයාලාගේ උණුහුම අපිට ජීවිත කාලය පුරාවටම දැනෙනවා. සමහරවිට එයාලා අපේ ජීවිතේ හිඩැස් පුරවනවා වගේම අපිත් එයාලාගේ ජීවිත වල හිඩැස් පුරවනවා වෙන්න පුළුවන්. ටික කාලයක් හරි බ්ලැකී මගේ ජීවිතේ උන්නු තැන- තාම හරි උණුහුම්!  

පසු සටහන-

මේ සටහන facebook දැම්මාම පොඩි අක්කා ළඟ තිබිලා මේ පින්තූරය කමෙන්ට් කරලා තිබුණා. මේ පොඩි අක්කාත් මාත් බ්ලැකී ත් දශක තුනකටත් වඩා ඉස්සර! 



sketch- watercolours

December 25, 2022

නත්තල්!

 සුබ නත්තලක්!

මම නත්තල් සමරන කෙනෙක් නොවුණත් පුංචිම කාලේ නත්තල් සමරන රටක කාලයක් හිටිය නිසා ඒ සැමරුම මගේ ඇඟට කාවැදිලා ද කොහෙද. ඒ කාලේ ඉස්කෝලෙන් පල්ලියේ පූජාවට එක්කගෙන ගිය නිසා කට පාඩම් වුණු ගීතිකා එහෙම තාමත් මතකයි. ලංකාවේදීත් සෑහෙන්න කාලයක් යනකම් මම නත්තල් ගස් හැදුවා. අපේ ගෙදර කට්ටිය මගේ ඒ ආසාවල් සම සිතින් ඉවසුවා!

ඕස්ට්‍රේලියාවේදීත් පුතා පුංචි කාලේ ඉඳන් මෑතක් වෙනකම් නත්තලට නත්තල් ගහ සරසන එක අපි දෙන්නාගේ ලොකු රාජකාරියක් වුණා. ඉස්සරම නම් පුතා kindergarten එකේදී, ඉස්කෝලෙදි එහෙම හදපු නත්තල් සැරසිලි වලට මුල් තැනක් ලැබුණා. පස්සේ පස්සේ කඩෙන් ගත්ත සැරසිලි වලින් තමයි ගහ හැඩ වුණේ. පුතාට වඩා පුතාගේ අම්මාට තමයි මේ ප්‍රොජෙක්ට් එකේ වැඩි වුවමනාව කියලා තාත්තයි පුතායි ඒ කාලේ හිනා වුණා. දැන් ඉලන්දාරි වයසේ ඉන්න කොල්ලාට නත්තල් ගස් ගැන උනන්දුවක් නැහැ. අලුත් ගෙදරට පදිංචියට එද්දී පරණ නත්තල් ගහ දන් දුන්න නිසා මේ අවුරුද්දේ තමයි සෑහෙන්න කාලෙකට පස්සේ මම නත්තල් ගහක් හැදුවේ නැත්තේ. ඒ යුගයත් ඉවරයි.


ඒ වෙනුවට මම මේ සැරේ වෙන ප්‍රොජෙක්ට් එකකට අත ගැහුවා. ඒ තමයි hand painted christmas cards. කොහොමත් දෙසැම්බර් නිවාඩු කාලේ කියන්නේ මම බොහොම නිදහසේ ගෙවන කාලයක්. ඒ නිසා මේ වැඩේට ඕනෑතරම් කාල වේලාවත් ලැබුණා. තැපෑලෙන් ලියුම් යවනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන මේ කාලේ, මට පුරුද්දක් හැටියට තැපෑලෙන් christmas cards එවන කීප දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මම කළින් වැඩ කළ ඉස්කෝලවල යාළුවො. (මේක පුස්තකාලවල වැඩකරන අයගේ විශේෂත්වයක්ද මන්දා!) ඉතින් මේ සැරේ එයාලාට කඩෙන් ගත්ත cards යවනවා වෙනුවට දිය සායම් වලින් හැඩ වුණු සුබපැතුම් යවන්න මට හදිසියේ හිතුණා. මේ තමයි ඒවා. (මෙතැන කීපයක් අඩුයි, පින්තූරේ ගත්තාට පස්සෙත් තව කීපයක් ඇන්දා) දැනටමත් ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. තමන් වෙනුවෙන් වැඩිපුර වෙලාවක් ගත කරලා චිත්‍රයක් ඇන්ද එකේ personal touch එක ගැන හැමෝටම සතුටුයි වගේ. ඒත් ඇත්තටම නම් ඒවා අඳිද්දී මට දැනුණු සතුට තමයි එතැන වටින්නෙම. the joy of little things!

මේ පින්තූරේ මම රැකියාව කරන ඉස්කෝලේ පුස්තකාලේ නත්තල් සැරසිලි. පොත් රාක්ක ටිකත් පසුබිමේ තියෙන නත්තල් සිරිය ගේන්නේ අමුතුම සතුටක්. 


දකුණු අර්ධ ගෝලයේ ඉන්න අපිට නම් හිම වැටෙන නත්තල් නැහැ. ඒ වෙනුවට මේ සැරේ තද රස්නයක් ලැබෙන්න නියමිතයි. ඒත් හිත ඇතුළේ ඉන්න පුංචි ළමයාට නත්තල් සමරන්න ඒවා බාධක නෙමෙයි!


July 15, 2022

බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ...


ළමා කාලයෙන් වැඩි හරියක් පිට රටක ඉඳලා ලංකාවට ආවාම ලංකාවේ ළමයි කරන සෙල්ලම්, පොඩි කවි සින්දු නොදැන හිටිය එක මට ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් වුණා. ලංකාවට ආව මුල කාලේදී මට සෙල්ලම් සගයෙක් හිටියා. ඒ නෑදෑ වෙන මල්ලි කෙනෙක්. මට ලංකාවේ සෙල්ලම් ගැන අතපොත් තිබ්බේ මේ මලයා තමයි. (මගේ අක්කලා දෙන්නා සෑහෙන්න තරමට මට වඩා වැඩිමල් නිසා උන් දෙන්නා මාත් එක්ක සෙල්ලම් කරනවා වෙනුවට මාව අවුස්සපු එක තමයි ඒ කාලේ කළේ. මාත් අතෑරියේ නැති බවත් තනිකර බඩපිස්සන්ගේ සර්වයිවල් මෝඩ් එකෙන් කටයුතු කරලා වලි බර ව හිටි බවත් මීට එකතුකරන්න කැමතියි.) මේ සෙල්ලම් වැඩිහරියක් එල්ලේ ගහන, කැටපෝල් හදන, සරුංගල් හදන කොලු සෙල්ලම්. මේ අතරේ ටික්කා කියන කෘමියාගේ පිටිපස්ස කොටස තද කරලා ටික්කො පන්නන එක, දිමියන්ට තණකොළ මල් වල යුෂ බොන්න දීලා මත් කරන එක වගේම බිං කුන්ඩෝ හාරන පොඩි පොඩි සෙල්ලම් එහෙමත් තිබුණා. දැන් නම් හිතෙනවා මේවා සත්ත්ව හිංසා නේද කියලා. ඒ කාලේ එහෙම හිතන්න තරම් මෝරලා හිටියේ නැහැ ඉතින්.

මේ අතීත සවාරිය ගියේ බිංකුන්ඩෙක්ව අහම්බෙන් හම්බ වුණු නිසා. ඇත්තටම නම් නෙමෙයි- වීඩියෝවක. ඉස්කෝලේ ළමයින්ගේ විද්‍යා පාඩමකට අදාළ අමතර තොරතුරු ටිකක් හොයද්දි තමයි මෙයාව මුණගැහුණේ. අවුරුදු ගාණකට පස්සේ බිං කුන්ඩෙක් ව දැකලා, ඌ ට antlion කියලා සෝබන නමක් තියෙනවා කියලා දැනගෙන- මට කරමින් හිටිය වැඩෙත් අමතක වුණා!

ඇත්තටම බිං කුන්ඩා කියන්නේ පුංචි මැස්සෙක් ගේ ලාවා අවධිය කියලා දැනගෙන හිටිය අය අත උස්සන්න බලන්න! මාත් ඒක දන්නේ දැන්. ළමයින්ට විද්‍යා වීඩියෝ හොයමින් හිටිය මාත් අන්තිමට ඒකෙන් මේකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. Better late than never කියලා හිතලා මං වගේ මේ විස්තර නොදැන හිටිය අයත් එක්ක ඒ දැනුම බෙදාගන්නයි මේක ලිව්වේ.

බිංකුන්ඩා කියන්නේ antlion lacewing කියන පුංචි මැස්සාගේ ලාවා අවධිය. මේ කෘමියා මේ ලාවා අවධියේ අවුරුදු කීපයක් ජීවත් වෙනවා. වැලි සහිත බිමක කුඩා වලවල් හදාගෙන ජීවත් වෙන බිංකුන්ඩා ඒ වලවල් වලට වැටෙන කූඹින් ආහාරයට අරගන්නවා. කකුල් හයක් සහ සිරුරේ ප්‍රමාණයට තරමක් ලොකු හනු දෙකක් සහිත මේ කුඩා කෘමියා සැඟවී ඉන්නට පහසු වීමට දුඹුරු පැහැතියි. අන් කෘමීන් අතරින් බිංකුන්ඩාගේ තවත් පුදුම සහගත විශේෂයක් තිබෙනවා. ඒ තමයි ඌට බහිශ්‍රාවි පද්ධතියක් නැති එක. ඌ ලාවා අවධියේ සිරුරේ ඇතිවන සියලුම අපද්‍රව්‍ය කෝෂ අවධියේ කෝෂය නිපදවන්නට සිරුරේම ගබඩා කර තබාගන්නවා. කෝෂ අවධියේ මාසයක් පමණ ගතකරලා වැඩුණු lacewing මැස්සා පිටතට එනවා. මේ මැස්සාගේ ආයු කාලය දවස් 30ක් වගේ කෙටි කාලයක්. ඌ බැලූ බැල්මට බත් කූරෙක් වගේ වුණත් ඒ පවුලේ නෙමෙයි.
Antlion Lacewing


Antlion Larvae

ඉස්සර එළියේ සෙල්ලම් කරන්න බැරි වැස්ස දවස්වලට මල්ලියි මායි ගෙයි අයිනේ ඇන තියාගෙන පණ යනකම් බිං කුන්ඩෝ හාරනවා. දඟ වැඩක් නොකරන නිසාත්, වැස්සේ තෙමෙන්න ගිහින් නැති නිසාත් අපේ වැඩිහිටියන්ගෙනුත් මේ වැඩේට බාධාවක් නැහැ. අපි ඒ කාලේ කවි කිය කියා ගුල් වලින් හාර හාර එළියට අරන් තියෙන්නේ මේ තරම් වැඩ කාරයෙක්ව නේ ... දැන් නම් පවු කියලාත් හිතෙනවා!


Common Name: Antlion
Scientific Name: Myrmeleon sp.
Order: Neuroptera




June 16, 2022

මතකය, අමතකවීම සහ Apples චිත්‍රපටිය

මතකය කියන්නේ මම ටිකක් වැඩියෙන් අවධානය දෙන දෙයක්. මගේ වටපිට අය එක්ක සසඳද්දී මට වැඩියෙන් පරණ දේවල් විස්තර සහිතව මතක තියෙන නිසායි ඒ. පුංචි කාලේ සිද්ධ වුණු බොහොම සිල්ලර දේවල්, ඉස්කෝලේ යන කාලේ පරණ කතා, පන්තිවල හිටපු ඔක්කොම ළමයින්ගේ නම්, ඉස්කෝලේ ගුරුවරුන්ගේ නම් එහෙම මට හරි ලේසියෙන් ආයෙත් මතකෙට කැඳවාගන්න පුළුවන්. ඒ වගේම නම් ගම් උපන්දින, දුරකථන අංක එහෙමත් මට බොහෝ දුරට මතකයි.  මම රැකියාව කරන පාසැල් පුස්තකාලයේදී පොත් ගන්න එන දැරියන්ගේ නම් මම මතකයෙන් කියද්දී එයාලාගෙන් ලස්සන හිනාවක් මම ලබනවා. මොනවටද ඔය වගේ සිල්ලර දේවල් වලට මොළේ ඉඩකඩ නාස්ති කරගන්නේ කියලා තමයි හැමෝම මට කියන්නේ. ඒත් අවාසනාවකට මේ මතකය මගේ පාලනයෙන් පිට ඉබේ වෙන දෙයක්. මතක තියාගන්නවා නෙමෙයි, මතක හිටිනවා. ජීවිතේ සමහර රිදෙන, බර දේවල් අමතක කරන්න පුළුවන් නම් මමත් කැමතියි. ඒත් the ability to forget too, is a gift බව මට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙලා තියෙනවා. 

"I have a shocking memory, I remember everything"- Melinda Chapman මේක මටම කීව දෙයක් වගෙයි!

system overload වෙලා මේ ඔක්කොම මතක මට එක තත්පරයෙන් අමතක වෙන්න පුළුවන් බව මගේ මතකය ගැන විහිලු කරන අයට මම මතක් කරලා දෙන්නේ විහිලුවටමත් නෙමෙයි. 'we are who we are because of our memories' කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා මතකය මැකිලා ගියොත් 'මම' ත් අහෝසි වෙලා යයිද?

මතකය සහ අමතක වීම ගැන කියවෙන චිත්‍රපටියක් ගැන කියන්නයි මේ විස්තර ලිව්වේ. මේ ග්‍රීක චිත්‍රපටියක් වන Apples (Μήλα / Mila) මේ කතාවේදී ලෝකය පුරාම මිනිස්සුන් අතර ඇම්නීසියා හෙවත් අමතකවීමේ රෝගයේ වසංගතයක් පැතිරෙනවා. මීට ගොදුරුවන මැදිවියේ පිරිමියෙක් වන ආරිස් එහෙම අයට අලුතින් අනන්‍යතාවයක් ලබාදීමට කරන පර්යේෂණාත්මක වැඩසටහනකට සම්බන්ධ වෙනවා. මේ අතරතුරදී ඔහු මුහුණ පාන අත්දැකීම් මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙනවා. හාස්‍ය රසයත්, පාළුව ඉස්මතු කරන දුක්බර බවත් හරියටම එකතු කරලා හදලා තියෙන නිර්මාණයක් මේ. අන්තිමේදී ආරිස් එයාගේ පරණ ජීවිතයට යනවා. එයා ඒ ජීවිතයෙන් නික්මුණේ ඇත්තටම මතකය ගිලිහුණු නිසාද, ආයෙත් එතැනට ගියේ ඇත්තටම මතකය ආපිට ලැබුණු නිසාද කියන ප්‍රශ්නය අපේ හිතේ ඉතුරු කරන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා.



Directed by Christos Nikou
Written by Christos Nikou & Stavros Raptis
Produced by Iraklis Mavroeidis, Angelos Venetis, Aris Dagios, Nikos Smpiliris, Christos Nikou
Starring Aris Servetalis
Cinematography Bartosz Świniarski
Edited by Giorgos Zafeiris
Distributed by Feelgood Entertainment
Release date 2 September 2020



June 06, 2022

තක්සලාවක් වූ සඟරාව - Readers Digest


පොත් කියවීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම් ගැන මම නිතර ලියනවානේ. ඉස්සර දවසක මගේ කියවීමේ නිධාන කතාව ලිව්වා මෙහෙම. අද ලියන්නේ ඒකෙ වැදගත්ම අතුරු කතාවක්. ඒ තමයි Readers Digest සඟරාව එක්ක මගේ අතීත ගනුදෙනුව.

අවුරුදු දහයේදී සේෂෙල්ස් ඉඳන් ලංකාවට ආව වෙලාවේ මම එකපාරට කියවන්න පොත් නැති අගාධයකට වැටුනා. ඒ වෙද්දී කියවිල්ලට හොඳටම ඇබ්බැහි වෙලා හිටිය මට ඒක නිකම් ඔක්සිජන් නැතිවුණා වගේ වැඩක්. මේ වෙලාවේ මගේ ගැලවීමට ආවේ Readers Digest සඟරාව.

Readers Digest කියන්නේ 1922දී ඇමෙරිකාවේ ඇරඹුණු සඟරාවක්. මේක මාසිකව පළ වුණු- පුංචි කතන්දර, කාලීන තොරතුරු, විහිලු කතා, වචන සෙල්ලම් වගේ රසවත් අංග ගණනාවක එකතුවක්. අපේ තාත්තා 1965 ඉඳන් මේ සඟරාව මිළදීගෙන තිබුණා. අවුරුද්දකට නියමිත සඟරා දොළහ බැඟින් මිටි බැඳලා අපේ ගෙදර පොත් අල්මාරියක ගබඩා කරලා තිබුණා. ඉතින් කියවන්න පොත් නැතිව සා පිපාසෙන් ගේ ඇතුලේ ඇවිදිමින් හිටිය පුංචි කෙල්ලෙකුට හදිසියේම මේ සඟරා එකතුව හම්බ වුණාම ඒක නිධානයක් පහල වුණා වගේ වැඩක්! මේ කාලේ වෙනකොට අවුරුදු විස්සකට වඩා සඟරා මේ එකතුවේ තිබුණා. මේවායේ රසවත් බව තේරුම් ගන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සඟරා එහෙ මෙහෙ ඇදලා දැම්මොත් තාත්තාගෙන් බැනුම් අහන්න වෙන නිසා මම එක සැරේකට එක සඟරා මිටිය බැගින් මගේ කාමරේට අරන් ගිහින් කියවන්න පුරුදු වුණා.

Readers Digest සඟරාව මගේ ජීවිතේට එක්තරා විදිහක තක්සලාවක් වුණා කිව්වොත් හරි. මම ඒවායේ තිබුණු පුංචි කතන්දර උපරිමයෙන් රස වින්දා. Word Power කොටස කියවලා මගේ භාෂාව තනියම පරීක්ෂා කරගත්තා. Quotes වලට අදටත් මගේ තියෙන තදබල පිස්සුව මතු වෙන්න ඇත්තේ Quotable Quotes අංගය කියවලා වෙන්න ඕන. මට sense of humour එකක් ගොඩ නැඟෙන්න Laughter is the best medicine, Humour in Uniform, Life is Like That වගේ අංග හරහා කියවපු විහිලු දාස් ගණනක් හේතු වෙන්න ඇති. මීට අමතරව හැම සඟරාවකම අන්තිම කෙටි කරන ලද නව කතා පළ වුණා. ඒවා මතක තියාගෙන දශක ගාණකට පස්සේත් ඒවායේ මුල් පොත් හොයාගෙන කියවන්න තරම් මම ඒවාට ඇබ්බැහි වෙලා හිටියේ. Murphy's Kid by Torey Hayden, All Creatures Great and Small by James Herriot, Roots by Alex Haley ඉන් කීපයක් විතරයි.


පරණ Readers Digest සඟරා දෙකක්


ඉතින් මේ අවුරුදු විස්සේ Readers Digest සඟරා එකතුව ඉවරකරන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. එහෙමයි කියලා මම නැවතුණා ද? නැහැ! නැවත නැවත කියවීම කලාවක් නම් මම පිකාසෝ වුණේ ඒ කාලේ. අන්තිම වෙද්දී මම සඟරාවක් අතට ගත්තාම (හැම සඟරාවකම පිටිපස්සේ කවරේ ලස්සන චිත්‍රයක් තිබුණා) ඒකෙ තියෙන විශේෂ කතා මේවා කියන්න පුළුවන් මට්ටමට ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම digest කරලා තිබ්බා.

ඊටපස්සේ කාලය ගෙවෙද්දී මට වෙන පොත් පත් කියවන්න ලැබුණා තමයි. ඒ මොනවා කියෙව්වත්, පස්සේ කාලෙක ඉස්කෝලේ වැඩ වැඩි වුණත්, විභාග වලට පාඩම් කළත් හැමදාම මගේ safe place එක වුණේ මේ සඟරා එකතුව. නිදිමත හවස්වරු වල, එහෙම නැත්නම් කම්මැලි වැහි දවස්වල Readers Digest සඟරා මිටියක් උස්සන් ඇඳට ගිහින්, ඒවා කියවලා වෙනම ලෝකෙක අතරමං වෙන්න ඉඩ දෙන්න ඒවා මං වෙනුවෙන් ලෑස්ති පිට හිටියා.

දැන් මට අලුත්ම Readers Digest සඟරාවට පිවිසෙන්න ගත වෙන්නේ තත්පරයයි. දැන් e magazine එක තියෙන නිසා අන්තර්ජාලය හරහා සඟරාව දුරකථනයෙන්ම කියවන්න පුළුවන්. තාත්තා නම් තාම සඟරාව physically කියවනවා. කාලෙත් එක්ක සඟරාව ටිකක් පුංචි වෙලා, පින්තූර වල පාට වැඩිවෙලා, අන්තර්ගතය ටිකක් 'කාලීන' වෙලා. ඒත් පරණ පුරුදු අංග ටික නම් මේ දශක ගාණටම එහෙමම තියෙනවා. 

පෙනුම වෙනස් වූ අලුත් Readers Digest සඟරා


මගේ මේ Readers Digest ඇබ්බැහිය ගැන විස්තර කියලාම අපේ ගෙදර උදවියත් ඒ ගැන හොඳටම දන්නවා. මීට අවුරුදු කීපයකට කලින් දොස්තර කෙනෙක්ගේ waiting room එකේ සඟරා ගොඩේ Readers Digest පරණ සඟරාවක් තිබිලා පුතා මගේ ළඟට නිධානයක් වගේ උස්සගෙන ආවේ 'look amma, it's one of those magazines you used to read when you were little!" කියමින්.

මේ වෙද්දී Readers Digest සඟරාව රටවල් 70ක භාෂා 21කින් මුද්‍රණය වෙනවා. අදටත් ඒක එදා වගේම ලෝකය පුරා ජනප්‍රියයි.

කියවන්න දේවල් හිඟ කාලෙක ඒ හිඩැස පුරවලා විතරක් නෙමෙයි කියවන්න තියෙන ආසාව තව තවත් වැඩි කරලා දුන්නු Readers Digest සඟරාව ඇත්තටම මට පරණ යාලුවෙක් වගේ!

May 17, 2022

වෙසක් කතා

වෙසක් පහු උනාට තාම වෙසක් සතියනේ, ඒ නිසා වෙසක් පෝස්ට් එකක් ලියන්න හිතුණා. disclaimer - ටිකක් නොස්ටැල්ජියාවට බරයි- හතළිහෙන් පස්සේ ආපස්ස බැලෙනවා වැඩියි කියලා කවුද කියලා තිබ්බා.

අපේ මහගෙදර තිබුණේ පන්සලක් ඉස්සරහ. පන්සලට හරියටම පාරෙන් එහා පැත්තේ. වෙසක් එකට පන්සලට සූ ගාලා සෙනඟ එන නිසා අපි ගෙදර ටිකක් ලස්සනට වෙසක් සැරසිලි කරන්න හැමදාම උනන්දු වුණා. එක පාටින් කූඩු පහක් හයක් හදලා, ලයිට් වැල් දාලා, බකට් පත්තු කරලා වැඩ ගොඩයි. ඉස්සරම අපේ ගෙදර වෙසක් කූඩු හැදුවේ තාත්තා. සීරුවට පිළිවෙලට ඒ වැඩේ කරන්න මම නම් ඉගෙන ගත්තේ තාත්තා ගේ වැඩ බලාගෙන ඉඳලා. සව් කොළ නාස්ති නොවෙන විදිහට කූඩුවේ මිමි ගන්න හැටි, හීනි රැළි කපන හැටි ඔක්කොම ඒ පාඩමට ඇතුළත්.

මේ හුරුව නිසා ඉස්කෝලේ වෙසක් කූඩු තරඟ වලදීත් පන්තියේ කූඩුව හදන්න මම මුල් තැන ගත්තා. බාලිකා ඉස්කෝල වල අතපයේ පාප්ප ගාගෙන ඕවා කරන්න කැමති අය හිටියේ අඩුවෙන්.

පස්සේ කාලෙක තාත්තා රටේ නොහිටිය, අක්කලාත් විභාග වලට පාඩම් කරන කාල වලදී ගෙදර වෙසක් සැරසිලි වැඩේ මම තනියම භාරගත්තා. ඒ වෙද්දී තාත්තාගේ ට්‍රේනින් එක නිසා මම වැඩේට ප්‍රවීණයෙක් වෙලා හිටියේ. කූඩු හදනවා කියන project එකට බට ගාල් වල රිංගලා බට කපන, සුද්ද කරන (අත් වල කෑලි කපාගන්න) වැඩ ඔක්කොම ඇතුළත්. කොහොමහරි අපේ ගෙදර හැමදාම ලස්සන වෙසක් සැරසිලි  සම්ප්‍රදාය මමත් කවදාවත් වෙනස් වෙන්න ඉඩ දුන්නේ නැහැ. පස්සේ කාලෙක අක්කලාත් මමත් කසාද බැඳලා මුලින් ගෙදරිනුත් පස්සේ රටෙනුත් පිටවුණත් ඒ සම්ප්‍රදාය එහෙමම පැවතුණේ ආයෙත් තාත්තා වෙසක් සැරසිලි රාජකාරිය පවරා ගත්ත නිසා. දැන් අපි ඔක්කොම ඕස්ට්‍රේලියාවේ. අපේ මහගෙදරත් දැන් එතැන නැහැ.

මහගෙදර වෙසක්- ඉස්සර තාත්තා ගත්ත පින්තූරයක් 

 

ඒත් අපි තවමත් මෙහෙත් කොහොම හරි වෙසක් සැරසිලි කරනවා. තාත්තා පොඩි අක්කාලාගේ ගෙදරත් මම අපේ ගෙදරත් හැම අවුරුද්දෙම වෙසක් කූඩු හදනවා. අපේ පුතා මගේ ළඟ දැවටෙමින් පොඩි පොඩි අත් උදවු දෙනවා. වෙසක් කාලෙට මෙහෙ වැස්ස හුළඟ වැඩි කාලයක් උනත්, සමහර දාට කූඩු එල්ලලා ඊළඟ දවසෙම තෙත බත් වෙලා කඩා වැටුණත් මම නොකඩවා ඒ වැඩේ කරනවා. ඒක මට පොඩි භාවනාවක් වගේම ළමා කාලයට එබෙන්න ලැබෙන කවුළුවක් වගේ දෙයක්.

මේ රටවල ඉතින් අපිට ඕන විදිහට අමුද්‍රව්‍ය නැතත් අපි කොහොම හරි improvise කරනවා. බට පඳුරු නැතත් පැල වලට ආධාරක හැටියට හිටවන්න බට කෝටු මිටි මල් පැල කඩවල විකුණන්න තියෙනවා. සව් කොළ නැතත් තෑගි ඔතන ටිෂු කොළ තියෙනවා. ඔට්ටපාළු නැතත් රබර් පටි තියෙනවා. බල්බ්, හෝල්ඩර් අටවන ලයිට් වැඩ අවදානම් උනත් LED ලයිට් තියෙනවා. උවමනාවක් තියෙනවානම් ක්‍රමයකුත් තියෙනවා කියන කියමන මේ නිසා ඇත්ත වෙනවා. දැන් දැන් නම් මෙහෙ ලංකාවේ කඩවල ප්ලාස්ටික් වෙසක් කූඩු සැකිලි විකුණන්න තියෙනවා. ඒත් මම තාම කැමති දිග ක්‍රමයට හදන්න. (පවට පිං දෙන්න බැහැ කියලා මගේ යාළුවො හිනාවෙනවා!)

මෙරට වෙසක්- අවුරුදු කීපෙක පින්තූර 


මම හිතාගෙන හිටියේ අපේ generation එකේ අය අඩු වැඩි හැටියට මේ වගේ ලංකාවේ වෙසක් අත්දැකීම් ඇතිව වැඩුණු අය කියලා. ඒ කියන්නේ මහන්සිවෙලා වෙසක් කූඩු හැදුව, තරඟෙට කූඩු හැදුව, කූඩු ගිනිගත්ත අත්දැකීම් තියෙන අය කියලා. ඒත් ඒක එහෙමම නැහැ කියලා ඊයේ පෙරේදා මට තේරුණා. ඒ වෙසක් කූඩු හදන එක ගැන කතා කරද්දී අපිට වඩා අවුරුදු දෙක තුනක් බාල සමහර කොල්ලෝත් පොඩි කාලේ ලංකාවේදී කූඩු හදපු නැති අය බව කියද්දී. මේ කොළඹ හතේ කට්ටිය නෙමෙයි, ගම් වල ළමයි. අපේ ගෙදර හිටියේ කෙල්ලෝ විතරක් වුණත් අපි හිටියේ නාගරික පරිසරයක වුණත් අපි නොකඩවා එක හිතින් ඒ සැරසිලි කළ එක ගැන, තාම කරන්න හිතෙන එක ගැන මට පුදුමයක් දැනුනා.

වෙසක් සැරසිලි වගේ දේවල් මිනිස්සු කරන්නේ ලොකු ආගමික නැඹුරුවක් නිසා නෙමෙයි. simply because it is fun. ඒ වගේම පොඩි කාලේ කළ ඒ සැරසිලි වලින් පස්සේ කාලෙක වැඩිහිටියෙක් හැටියට අතීතේ රවුමක් දාලා එන්න ඉඩ දෙන ලස්සන මතක ටිකකුත් ලැබුණා කියලා දැන් තමයි තේරෙන්නේ.

2022 වෙසක් 



January 11, 2022

The Little Tree


අලුත් ගෙදරට ඇවිත් අස් පස් කරද්දී පොත් අහුරපු පෙට්ටි ඇතුළේ පරණ මතක සටහන් හම්බවෙනවා. ඒ වෙලාවට අස් කරන එක පැත්තක දාලා ඒ මතක එක්ක මම අවුරුදු ගානක් ආපස්සට යනවා. මේක තෙවී පුංචිම කාලේ ලීව පොතක්. ලිව්වා කිව්වාට ඒ පුතා ඉස්කෝලේ යන්නවත්, අකුරු ලියන්න ඉගෙන ගන්නවත් කලින්. ඒ නිසා මේක එයා චිත්‍ර ඇඳලා, කතාව මට කියලා, මම ලව්වා ඒ කතාව ලියවපු පොතක් කියන එක තමයි ඒකට හරිම නිර්වචනය. ඒ කාලේ එයාට ඔහොම පොත් ලියන පිස්සුවක් තිබුණා කියලා මට මතක් වුණේ මේක දැක්කාමයි. මේ පොතේ පිටු හතරයි. එයාටම හිතුන පුංචිම පුංචි කතාවක්. 2012 දී පුතාට අවුරුදු පහයි. :) 





September 28, 2021

'සින්දු පොත'


මට වයස දාහතරක් වගේ කාලේදී තමයි මම පිළිවෙලකට සින්දු අහන්න පටන් ගත්තේ. ඒ කාලේ මගේ ළඟ තිබුණා බැට්‍රි දාන පොඩි ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකකුත් හොඳටම පරණ කැසට් රේඩියෝ එකකුත්. ඒ දෙකම ගෙදර අතන මෙතන තියෙද්දී මං අයිති කරගත්තු ඒවා. ඒ දවස්වල මට සිංදුවල තේරුම් 'දැනෙන්න' පටන් අරන් තිබුණා. සිංදුවල වචන හරියටම දැනගන්න ඕන කියලා හිතෙන්න අරන් තිබුණා. ඉතින් මම රෑට කළුවරේ ඇඳේ හාන්සිවෙලා ඉඳන් ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක පපුව උඩ තියාගෙන රෑට යන සින්දු වැඩසටහන් අහනවා. ඒවායේ ඇහෙන ලස්සන සින්දු මතක තියාගෙන ඉඳන් ලැයිස්තුවක් හදනවා. ඒ කාලේ අවුරුද්දට එහෙම නෑයින්ගෙන් හම්බවෙන සල්ලි මම බොහොම පරෙස්සමෙන් එකතු කළා. ඒවා පාවිච්චි කළේ අර සින්දු ලැයිස්තුව දාලා මික්ස් ටේප් හදන්න. කැසට් පීස් එකකට දාන්න පුළුවන් සින්දු දාහතරයිද කොහෙද. ඒත් වැඩිපුර සින්දු ලියලා දෙන්න ඕන කැසට් එකේ ඉඩ ඉතුරු උනොත් කියලා. මගේ ලැයිස්තුවේ සින්දු දාසයක් දාහතක් එකතු උනාම මගේ එකතු කරගත්ත සල්ලි ටිකත් අරගෙන මම යනවා හොරණ ටවුමේ රෙකෝඩ් බාර් එකකට. සාමාන්‍යයෙන් රෙකෝඩ් බාර්වල වැඩකරන්නේ කොල්ලෝ වුණත් මේකේ හිටියේ අන්කල් කෙනෙක්. මම දෙන සින්දු ලැයිස්තුව ඒ අන්කල්ගෙන් පාස් වෙන්නත් ඕන. කොහොමහරි අන්තිමේදී සතියක් දෙකක් ගිහින් සින්දු ටික ගහපු කැසට් පීස් එක අතට ලැබෙනවා. ඒ දවස බොහොම සතුටු දවසක්. මම ඒක ගෙදර ගේන්නේ රටක් රාජ්ජයක් ලැබුණු ගාණට. එදාට තමයි අර පරණ කැසට් ප්ලේයර් එක ඕන වෙන්නේ. මුලින්ම හත් අට සැරයක් කැසට් පීස් එකේ දෙපැත්තම අහන එක තමයි කරන්නේ. ඊටපස්සේ සින්දු තියෙන පිළිවෙල පටුනකට වගේ ලියාගෙන කැසට් පීස් එකේ ප්ලාස්ටික් කවරේට දාන්න පොඩි කාඩ් එකක් හදලා ඒකේ මල් එහෙම ඇඳලා ලස්සන කරන රාජකාරිය. ඊළඟට තව ලොකු වැඩක් තියෙනවා. ඒ තමයි සින්දු ප්ලේ වෙද්දී නවත්තමින් ඒවායේ වචන කටුවට ලියාගන්න එක. ඊටපස්සේ ආයෙත් ප්ලේ වෙන්න ඇරලා අඩුපාඩු හදන එක. මේ ඔක්කොම කළාට පස්සේ තමයි සින්දු පොත එළියට එන්නේ.


මේ සින්දු පොත තාත්තාගේ පරණ රාජකාරී දිනපොතක්. තාත්තා ඒක අයින් කරලා අවුරුද්දකින් දෙකකින් තමයි මම අයිති කරගෙන තියෙන්නේ. මේක අද පෙරළලා බලද්දී හිතාගන්නත් බැරි තරම්. මෙතන මම සින්දු දෙසිය විසි ගානක් ලියලා තියෙනවා. එයින් විස්සක් විතර ඉංග්‍රීසි සින්දු. දිනපොතේ තාත්තාගේ සටහන් අතර තියෙන ඉඩවල මම බොහොම පරෙස්සමින් මේ සින්දු ටික ලියලා. පිටු අංක කරලා, පටුනක් ලියලා සින්දු වෙන වෙනම වර්ග කරන්න සංකේත දාලා. මේ දේවල්වලින් මම අසීමිත සතුටක් ලැබුව බව මට මතකයි. අදටත් මම සින්දුවකට ආදරේ වෙන්නේ ඒකෙ වචන 'දැනුනොත්' විතරයි. ඒකට අඩිතාලම වැටුණේ මම පුංචි කෙල්ලෙක් කාලේ මහා රෑ කළුවරේ ඉඳන් ට්‍රාන්සිස්ටර් රේඩියෝවකින් සින්දු අහද්දී වෙන්න ඇති.



අපේ පුතාටත් දැන් වයස අවුරුදු දාහතරයි. එයා කැමති ඉංග්‍රීසි සින්දුවලට. ඒත් එයා මම කැමති සිංහල සින්දු කාර් එකේ යද්දී ඇහිලා පුරුදු නිසා එයින් සින්දුවක් වෙන තැනකදී ඇහුනොත් "අන්න අම්මා කැමති සින්දුවක් යනවා" කියන්න තරම් සංවේදියි. "ඔයා පුතාට සින්දු අහන්න ඉඩ දීලාද තියෙන්නේ?" පුතාගේ හෙඩ් ෆෝන්ස් දෙක සාලේ පුටුවක වත උඩ තියෙනවා දැකලා අපේ ගෙදරට ආව මගේ යාලුවෙක් දවසක් ඇහුවා. "ඔව්, එයා සින්දු අහනවා සමහර වෙලාවට. ඇයි?" මම ඇහුවා. "ඔය ඉංග්‍රීසි සින්දුවල මොනවා කියනවද කියලා කවුද දන්නේ. මම නම් මගේ දෙන්නාට සින්දු අහන්න දෙන්නේ නැහැ." එයා උත්තර දුන්නා. මට දැනුණු පුදුමය මාව නිරුත්තර කළා .


දශක දෙක තුනකට පස්සේ, මුහුදු කීපයක් තරණය කරලා ඇවිත් මගේ ළඟ බොහොම පරෙස්සමට තියෙන මගේ මේ 'සින්දු පොත' ආයෙත් වතාවක් පෙරළද්දී මට යාලුවාගේ ඒ වචන මතක් වුණා. ඒ කාලේ ඒ විදිහට මට සින්දු අහන්න එපා කියන්න කෙනෙක් නොහිටිය එක කොයිතරම් දෙයක්ද?


පොතේ පිටු අතරේ පාට හේදුණු රෝස පාට මලක් මේ තරම් කාලෙකට පස්සෙත් බොහොම සුරක්ෂිතව තියෙනවා. ඒ වගේම මේ පොතේ බොහොම සීරුවට සිංදු බර ගාණක වචන ලිව්ව අවුරුදු දාහතරක කෙල්ලත් තාම මගේ ඇතුලේ ජීවත්වෙන බව මම දන්නවා.






June 19, 2021

සෙල්ලම් බඩු කතන්දර

මේ දවස්වල පුතා එයාගේ පරණ සෙල්ලම් බඩු එකතුව අස් කරමින් ඉන්නේ. මේ අතර ප්‍රධාන අංගයක් තමයි එයාගේ matchbox cars collection එක. මේ එකතුවේ එක එක ජාතියේ වාහන 200ක් විතර තියෙනවා. පුතා පුංචිම කාලේ ඉඳන් තිබුණු ආසාවක් නිසා එයාගේ තාත්තා එයාත් එක්ක ගිහින් වරින් වර තෝරලා ගත්ත ඒවා තමයි මේ. ඒවා තියන්න මේ රාක්කේ හැදුවෙත් තාත්තායි පුතයි එකතුවෙලා. (පුතාගේ අම්මාට වාහන ගැන උනන්දුව බින්දුවට කිට්ටු නිසා මේ රාක්කෙ දූවිලි පිහිදාන්න විතරයි දායක වුණේ.)

ඒත් මේ කතාවට තව කොටසක් තියෙනවා. ඒ දෙවෙනි පින්තූරේ තියෙන ටිකක් පරණ පාට වාහන ටික ගැන. මේ matchbox ටික දශක තුනකටත් වඩා පරණයි. ඒවා පුතාට ලැබුණේ එයාගේ බාප්පාගෙන්. බොහොම ඉස්සර කාලෙක ඒ මල්ලිත් මේ වගේ ආසාවෙන් එකතු කළ matchbox වාහන ටිකක් අපි දෙගොල්ලම ලංකාවට ගිය වෙලාවක මහ ගෙදර කොහේ හරි අරන් තිබිලා හම්බවෙලා එයා ඒවා පුතාට දුන්නා. පුතා ඒවා ආපහු ගෙදර අරගෙන ආවේ රටක් රාජ්‍යයක් ලැබුණු ගාණට. අවුරුදු ගාණක් තිස්සේ හීරිලා, පාට ගිහින්, දිස්නේ මැකිලා තිබුණත් එදා ඉඳන්ම ඒ වාහන ටිකටත් අනිත් ඒවා අතරේ බොහොම වැදගත් ඉඩක් හිමිවෙලා තියෙනවා.

Velveteen Rabbit කියන ළමා කතාවේ එක තැනක සෙල්ලම් බඩුවක් තව සෙල්ලම් බඩුවකට මෙහෙම කියනවා
"When a child loves you for a long, long time you become 'Real'"

එක පරම්පරාවකින් තව පරම්පරාවකට හුවමාරු වෙන මේ සෙල්ලම් බඩුත් ඒ වගේ කියලා මට හිතෙනවා.