Showing posts with label පරිවර්තිත සටහන්. Show all posts
Showing posts with label පරිවර්තිත සටහන්. Show all posts

June 24, 2026

තරු දරුවාට

මිහිතලයේ සංචාරය කිරීමට නම්
ඔබ මිනිස් දරුවකු ලෙස ඉපදිය යුතුය

මුලදී ඔබගේ අලුත් සිරුර හැසිරවීමට,
අත පය සෙලවීමට,
උඩුකුරුව සිටගැනීමට
ඔබ උගත යුතු වෙයි

දිවීමටත්, දෑත උපයෝගී කරගැනීමටත්
ශබ්ද නැගීමටත්, වචන කීමටත්
ක්‍රම ක්‍රමයෙන්
තමන් ව රැක බලා ගැනීමටත්
ඔබ උගනීවී

මිහිතලයේ කාලය නම් නදියේ ඔබ ගිල්වෙනු ඇත

සොම්නසත්, බියත්,
ප්‍රීතියත්, කලකිරීමත්,
ශෝකයත්, ආශ්චර්යයත්
ආදී බොහෝ දේ
ඔබට ඉගෙනීමටත්, දැනීමටත් ලැබේවි

එහිදී දැනෙන
ප්‍රමෝදයත් වියවුලත් මැද
ඔබ ආවේ කොතැනක සිටදැයි
ඔබට අමතක වනු ඇත

ඔබ වැඩුණු පසු
සංචාරයේත්, රැකියාවේත් නියැලේවි
ඇතැම්විට ඔබ දරුවන්ද, මුණුපුරන්ද ලබාවි

කාලය ගතවෙද්දී
ඔබ ගතකරන
මේ නිරතුරුවම වෙනස් වන ජීවිතයේ
ප්‍රීතිමත්බව, ශෝකීබව, පිරුණුබව, හිස්බව
තේරුම් ගන්නට ඔබ තැත් දරනු ඇත

අන්තිමේදී
ඔබේ තරුව වෙත
ආපිට එන්නට කාලය එළඹුණු විට
ඒ අමුතු සුන්දර ලෝකයට සමුදීමට
ඔබට දුෂ්කර වීමට ඉඩ තිබේ

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
From the picture book 'Star Child' by Claire A. Nivola


Digital art



September 09, 2025

The Paradox of Life




මනුසත් බව ගැන පුදුම සහගත කාරණා කිහිපයකි. ළමා වියේදී අප වැඩිහිටි වන්නට ඇඟිලි ගනිමු. නමුත් වැඩිහිටි වියේදී අප තැවෙන්නේ ළමා කාලයට යන්නට ඇත්නම් යැයි සිතමිනි. අපගේ සෞඛ්‍යය පරදුවට තබා අපි මුදල් සෙවීමට වෙහෙසෙමු. ඉනික්බිති අසනීප වූ පසු ඒ මුදල් වැය කර සුවපත් වන්නට තැත් දරමු. වර්තමානය අමතක කර අනාගතය ගැන වද වීම අපගේ සිරිතයි. අන්තිමේදී ඉන් අපට වර්තමානයත් අනාගතයත් දෙකම අහිමි වේ. නොමැරෙන්නන් ලෙස ජීවත් වන අප අන්තිමේදී ජීවත් නොවූවන් ලෙස මැරී යයි.

The Paradox of Life - by Samyak Kamble

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Digital art

August 06, 2025

ආලෝකය

 



ඔබ වටා තද අන්ධකාරයක් දිස් වේ නම්- නැවත බලන්න, ආලෝකයේ ප්‍රභවය ඔබ විය හැක. 

-Rumi

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital art



පසු සටහන 
මම Rumi ගේ බලවත් රසිකයෙක් බව කලින් පෝස්ට් එකක කිව්වානේ. වචන කීපයකින් බොහොම ගැඹුරු දෙයක් කියන්න පුළුවන් නම් ඒ Rumi ම තමයි. දෙයක් භාෂා කීපයකට හැරෙද්දී සුමට බව අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම අඩු වෙලාත් මෙහෙම නම් පර්සියන් භාෂාවෙන්ම තියෙද්දී ඒවා කොයිතරම් ලස්සන ඇතිද කියලා හිතෙනවා. Quotes වලට මගේ නොනිමෙන ආසාවට මුල Rumi වගේ අයගේ මේ ගීතවත් අදහස් තමයි.


May 30, 2025

මිලේනා!


මිලේනා, ඔබට කෝටියක් දෙනා ආදරය කළේ නම් මම ඒ පිරිස අතර එක් අයෙක් වෙමි. ඔබට ආදරය කරන්නන් ඇත්තේ එක් අයෙකු පමණක් නම් ඒ මම වෙමි. එහෙත් ඔබට ආදරය කරන්නන් කිසිවෙකු නොමැති නම් ඒ මා මියගොස් ඇති නිසා බව ඔබට වැටහෙනු ඇත. 

Franz Kafka, Letters to Milena

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

sketch- coloured pencils on paper


February 22, 2025

ශෝකය

මගේ කෝපය සමඟ මා බොහෝ වෙලාවක් ගත කළ පසු තම සැබෑ නම ශෝකය බව ඈ පැවසුවාය.

C.S. Lewis
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital Art


January 02, 2025

ප්‍රේමය යනු . .

 


ප්‍රේමය යනු ඔබේ පාලනයට නතු දෙයක් නොවේ ගාලිබ්. එය බලෙන් අවුළුවන්නටත් නොහැකි, බලෙන් නිවා දමන්නටත් නොහැකි ගින්දරකි. 

-Mirza Ghalib

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Digital painting



November 20, 2024

ඔබේ සිතේ ඇඳේ නම්...

“සමුගැනීමක් රිදුම් දේ නම් එහි තේරුම ඔබ කිසිවෙකු සමඟ මැනවින් කාලය ගත කර ඇති බවයි”
කොතැනක හෝ මේ කියමන දුටුවෙමි
කුඩා මොහොතකට හෝ මා ඔබේ සිතේ ඇඳේ නම්,
ඉන් ඔබේ හදවත සැහැල්ලු වී දෙතොලග දයාබර සිනාවක් මැවෙනු ඇතැයි පතමි.
එසේ සිදු නොවේ නම්, මට සමා වන්න.


Atere Jr
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Digital art


May 17, 2024

අත් හැරීම

අප ප්‍රතිරෝධය පාන දේ අප ව හඹා එයි. 
අප හඹා යන දේ අප ට ප්‍රතිරෝධය පායි. 
නිදහස ඇත්තේ අත් හැරීමෙහි ය.

translation of a quote by unknown author

Digital art




April 11, 2024

Rumi ගේ කවි

 


මේක පසු සටහනක් ම නෙමෙයි, acknowledgement එකක්. Rumi ගේ quote එකෙන් උපන්න සිතිවිල්ලක්. ඉස්සර එක කාලයක් මම කිසිම දෙයක් ලියන්න, පරිවර්තනය කරන්න බැරිව, කොටින්ම කියනවා නම් කිසිම නිර්මාණයක් නොකර writer's block එකකට අහුවෙලා සෑහෙන්න කාලයක් හිටියා. 

ඒ කාලේ Rumi ගේ කවි, සටහන් හොයන්න, ඒවා කියවන්න මට මඟ කිව්වා මගේ හොඳ යාලුවෙක්. එයා 'කොහොම හරි ආයෙත් ලියන්න ගන්න' කියලා මාව තල්ලු නොකර ආයෙත් ලියන එකට මටත් නොදැනී මට මඟ පෙන්නුවා. ඒ කාලේ මම Rumi ගේ නිර්මාණ දාස් ගාණක් කියවන්න ඇති. ඒ වචන බොහොම සරල, සුන්දර වගේම නැණවත් ඒවා බවත් ඒවා කියවීමම සුවපත් වීමක් කියලා ආපස්සට බලද්දී තේරෙනවා. 

සමහරුන්ට අපි වචනයෙන් ස්තූතියි කියලා නැති බව මතක් වෙන්නේ බොහොම කාලයක් ගියාට පස්සේ. හැබැයි මම එක දවසක් ස්තූති කරන්න හදද්දී එයා කිව්වා මම පස්සේ කාලෙක 'දේදුනු' කතාව ලීව දවසේ ඒ ණය ගෙවලා ඉවර කළා කියලා. 😄 
ඉතින් මේ ස්තූතිය ඒ යාළුවාට. ඒ වගේම Rumi ට. 

-digital painting

January 24, 2024

අගාධය

මගේ ලෝකයේ ඔබ උන්නු තැන දැන් ඇත්තේ අගාධයකි. හැම දිවා වරුවකම මම එය මඟ හැර ඇවිදිමි. හැම රාත්‍රියකම මම ඊට ඇදවැටෙමි.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of a quote by Edna St. Vincent Millay


Digital painting

November 29, 2023

මිතුරු

 

ඔබේ සැබෑම මිතුරන් ඔබේ අඳුරුම මොහොතවල් වලදී ඔබ ළඟින් සිටින අයයි. ඒ ඔවුන් අඳුරු හෙවනැලි ඇති තැන්වල ඔබ හා අත්වැල් බැඳ සිටීමට නොබිය බැවිනි. එමෙන්ම ඔවුන් ඔබගේ සොඳුරුම මොහොතවල් වලදී ද ඔබ ළඟින් සිටිනු ඇත. ඒ ඔබට බබලන්නට ඉඩ දීමට ඔවුන් නොබිය බැවිනි. 

Translation of a quote by Nicole Yatsonky

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital painting

November 23, 2023

කාලය

කාලයේ ප්‍රධානම සොඳුරු බව නම් එය කල් ඇතිව නාස්ති කිරීමට නොහැකි වීමයි.

ඊළඟ අවුරුද්ද, ඊළඟ දවස, ඊළඟ පැය පරිපූර්ණ ලෙස ඔබ වෙනුවෙන් සූදානම් ව බලා සිටින්නේ ඔබ කිසිදිනෙක එක මොහොතක්වත් නාස්ති නොකළ ලෙසිනි. ඔබ තෝරාගන්නේ නම් එළඹෙන හැම පැයකදී ම ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට අවස්ථාව ඇත. 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of a quote by Arnold Bennett

Digital painting 





October 31, 2023

ගැලපීම්

ආත්මගත සහකරුවන් ගැන සහ දුටු සැණින් ප්‍රේමයෙන් බැඳීම ගැන මා තවදුරටත් විශ්වාස කළේ නැත. නමුත් ඔබ වාසනාවන්ත නම් කලාතුරකින් ඔබට නියමාකාරවම ගැලපෙන කෙනා මුණගැසෙන බව මා විශ්වාස කරන්නට පටන්ගෙන ඇත. මෙසේ ගැලපෙන්නේ ඔහුවත් ඔබවත් සර්ව සම්පූර්ණ නිසා නොවේ. ඒ, ඔබ වැනි වෙනස්ම දෙදෙනෙකු එලෙස මනාව පෑහීමට ඔබ දෙදෙනාගේ අඩුපාඩු වල එකතුව ඉඩ සැලසූ නිසා යි. 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of an excerpt of the book Blue-Eyed Devil by Lisa Kleypas

Digital painting


October 18, 2023

මතකයේ හිඳිමි

මා කවරෙක්ද යන්නෙන් බිඳක් ඔබ තුළ රඳවාගෙන ඇති බැවින් ඔබට මා සිහිවේ. එහි තේරුම මා යම් සලකුණක් ඔබ තුළ ඉතිරි කර ගොස් ඇති බවයි. මේ නිසා අප අතර දුර නොගිණිය හැකි තරම් ගව් ගණනක් වූවත්, වසර ගණනක් වූවත්, ඔබේ සිත වෙත යළි යළිත් මා කැඳවා ගනු හැකිවනු ඇත. අප යළි මුණගැහුනොත් ඔබ මා හඳුනනු ඇත. මා මිය ගිය පසු ත් ඔබ හදවතින් මගේ මුහුණ දකින බවත්, මගේ කටහඬ අසන බවත්, මා හා පිළිසඳරේ යෙදෙන බවත් මම දනිමි.

ඔබට මා මතක ඇති තෙක් මා කිසිදාක මුළුමනින්ම මැකී යන්නේ නැත. 


පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Translation of an excerpt from the book 'Whistling in the Dark: A Doubter's Dictionary' by Frederick Buechner 

Digital painting






October 12, 2023

නන්නාඳුනන්නා වෙතට

 "කෙතරම් අරුමයක්ද? ඔබ මට ආදරය කළේය. නමුත් දැන් ඔබ මගේ රහස් සියල්ල දන්නා නන්නාඳුනන්නෙක් පමණි" 


Translation of a note by Clementine von Radics

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

Digital painting





October 03, 2023

ආදරය යනු

වයස අවුරුදු පහේදී ආදරය යනු කුමක්දැයි මම අම්මාගෙන් ඇසුවෙමි
එය අසා ඈ මා වඩාගෙන වටයක් කැරකෙද්දී ඇගේ සිනා හඬින් කාමරය පිරුණි.
‘ආදරය විශාල රතු බැලුමක් මෙනි’ ඈ කීවාය. ‘එය තදින් අල්ලාගෙන සිටින්නට ඔබ කැමති වූවත් එය අතහැර නිදහසේ අහසේ පාවෙනු දකිනු රිසි කෙනෙක් ද ඔබ තුළ වෙසෙයි.’

දස වැනි වියේදී ආදරය යනු කුමක්දැයි මම නැවත අම්මාගෙන් ඇසුවෙමි. ඈ පිළිතුරු දෙද්දී ඇගේ දෙතොලේ මුදු සිනාවක් ඇඳිනි.
‘ආදරය නිදිමත කුඩා බළල් පැටවෙක් මෙනි. ඔබ අඬනොගසාම ඌ ඔබ වෙත පැමිණ, ඔබේ උකුලේ වැතිරී, ඔබව තම ලෝකයම කරගනී.’

මට විසි වැනි විය ලැබූ දිනයේදී අවසාන වතාවට ආදරය ගැන අම්මාගෙන් අසන්නට තරම් මම එඩිතර වූවෙමි. මගේ කෙස් රොදක් කන පසුපස රැඳවූ ඈ මගේ තරුණ, බලාපොරොත්තු සහගත මුහුණ මුදු ලෙස තම දෑතට මැදි කර ගත්තා ය. ඈ පිළිතුරු දෙද්දී ඇගේ දෑස අභිරුචියෙන් පිරී තිබිණි.
‘ආදරය, තමන්ගේ වාරය එනතෙක් ඉවසීමෙන් බලා සිටින නිදි ගත් ගිනි කන්දකි’

පරිවර්තනය-හෙල්මලී ගුණතිලක

Translation of the prose poem 'About Love' by Lang Leav

Digital sketch




August 05, 2023

කුණාටුව



කුණාටුව අවසන් වූ පසු, ඔබ එතුළින් මඟ ගෙවා ආවේ කෙලෙසකද, ඔබ දිවි ගලවාගත්තේ කෙලෙසකද යන වග ඔබට මතක් නොවෙනු ඇත. කුණාටුව සැබවින්ම අවසන් ද යන වගත් ඔබට සැක සහිත වනු ඇත. එහෙත් එක් දෙයක් නම් නිසැක ය. කුණාටුවෙන් පිටතට එන්නේ එතුළ ට ඇවිද ගිය පුද්ගලයා නොවේ. කුණාටු නම් එවැනි ය. 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of an excerpt of the book 'Kafka on the Shore' (2002) by Haruki Murakami

Digital Painting


July 18, 2023

ගමනාන්ත


Translation of an excerpt from the book 'Authentic Success' by Robert Holden

ගමනාන්තයන් වෙත ඇබ්බැහිවීම ගැන ප්‍රවේසම් වන්න. සතුට ඇත්තේ මින් ඔබ්බෙහි ඇති තැනක, ඊළඟ රැකියාවක, වෙනත් සහකරුවෙක් ළඟ යන අදහස ඔබේ  අවධානය සොරාගැනීමට ඉඩ තිබේ. සතුට ඇත්තේ වෙනත් තැනක ය යන අදහස ඔබ අත් හරින තුරු කෙදිනකවත් සතුට ඔබ ළඟට නොඑනු ඇත.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Photo- sunrise at Loch Sport, Victoria


July 11, 2023

ශෝකය

ශෝකය ඔබට සදාකාලිකවම දැනෙන දෙයක් බව යථාර්තයයි. ඔබ ආදරය කළ කෙනෙක් අහිමි වීමේ ශෝකයෙන් ඔබ කිසිදා මිදෙන්නේ නැත, ඔබ ඒ සමඟ ජීවත්වීමට ඉගෙන ගන්නවා පමණි. සුවපත් වීමෙන් අනතුරුව ඒ අහිමි වීමේ වේදනාව වටා ඔබ ජීවිතය ගොඩනඟාවි. ඔබ නැවතත් ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණ වූවත් කිසි විටෙකත් පෙර පරිදි නොවනු ඇත. ඔබ පෙර පරිදි විය යුතු නැත, එසේ වීමට ඔබට අවැසි නොවනු ද ඇත. 

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of an excerpt from the book 'On Grief and Grieving' by Elisabeth Kubler-Ross

Digital painting




June 26, 2023

සයුර සේ

Translation of the prose poem 'Some people survive' by Nikita Gill

ඇතැම්හු කඩාවැටීමකින් අනතුරුව දිවි බේරාගත් පසු ඒ ගැන ලෝකයටම කියන නමුත් තවත් අය නිහඬ වෙති. වෙනත් අය ඉනික්බිති නිර්මාණකරණයේ යෙදෙති. විවිධ අය ඉහිලීමට අපහසු වේදනාවන් දරාගන්නේ ඔවුන්ටම ආවේනික ක්‍රම වලටයි. අන් අයගේ විනිශ්චයෙන් තොරව එසේ කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.

ඊළඟ වතාවේ තවත් අයෙකුගේ ජීවිතය තමන්ට ඇත්නම් කියා ලොබ බඳින්නට ඔබට සිතුණු විට මෙය සිහි තබාගන්න. හිරු දිලිසෙන දවසක සන්සුන් සයුරක් සේ මේ මොහොතේ ඔබ ඉදිරිපස සිටින අයෙක් විඳිමින් සිටින වේදනාව ඔබට සිතාගන්නටත් නොහැකි විය හැක. සයුරේ මායිම් කෙතරම් විහිදී පවතින්නේදැයි සිතන්න. ලෝකයේ එක් තැනක සයුර සන්සුන්ව පැවතිය හැකි නමුත් තවත් තැනක ඒ මොහොතේදීත් සුවිසල් කුණාටුවක් ඇතිවෙමින් තිබෙනවා විය හැක.

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Watercolour painting