Showing posts with label Movie Review. Show all posts
Showing posts with label Movie Review. Show all posts

April 07, 2026

Rental Family- Movie review

 



කෙනෙකුට belonging කියන දේ දැනෙන්න නම් තව කෙනෙක් එක්ක නෑකමක්, ගැඹුරු සම්බන්ධයක් තියෙන්නම ඕනද?  මේවාට අමතරව වෙන ක්‍රමයක් නිසා ඒක ඇති වෙන්න පුළුවන් ද?

Rental Family කියන චිත්‍රපටියෙන් කතාකරන්නේ මේ ගැන. තනිකම, පවුලක් ඇතුළේ තියෙන බැඳීම් වගේම ගැටුම්, මවාපෑම්, තමන්වත් අනුන්වත් රවටා ගැනීම් ඇසුරෙන් ගලාගෙන යන කතාවක් මේක. ජපානයේ ජීවත්වෙන ඇමෙරිකානු නලුවෙක් වන ෆිලිප් රඟපාන්න අවස්ථා සොයමින් ඉන්න කෙනෙක්. ඔහු අහම්බෙන් සම්බන්ධ වෙනවා කුලියට පවුලේ සාමාජිකයන් සපයන ආයතනයකට. ඒ ආයතනය හරහා ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න සැමියෙක්, පියෙක්, වාර්තාකරුවෙක් වගේ චරිත ඔහු රඟපාන්න බාරගන්නවා. මුලදී මුදලට කරන මේ රැවටීම ගැන අකමැත්තෙන් පසුවන ඔහු කාලය ගතවෙද්දී ඒ ඒ චරිතයට පිවිසෙන්නේ ඒ පවුල් වල සාමාජිකයින් එක්ක ඇත්තටම බැඳෙමින්. මේ තරම් කාලයක් ඔහුගේ ජීවිතය වෙලාගත් තනිකම ඒ සම්බන්ධකම් නිසා ගිලිහෙන බවක් ඔහු අත් විඳිනවා, ඔහු තමන් ගැනත් අලුතෙන් ඉගෙන ගන්නවා. ඒත් ගිවිසුම්ගත කාලයෙන් පස්සේ මේ සමහර බැඳීම්වලින් මිදෙන්න බැරිවීමත් තමන්ගේ ගිවිසුමට පිටින් සේවා සපයන්න යාමත් නිසා ෆිලිප් මුහුණ දෙන විවිධ අර්බුද තමයි මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ.  

අවමංගල්‍යයන්ට සහභාගීවන අමුත්තන් හැටියට වගේම තවත් විවිධ කටයුතුවලට companions ලා හැටියට පුද්ගලයන් කුලියට ගැනීම ජපානයේ අතීතයේ පටන් පැවතුනු චාරිත්‍රයක්. ශ්‍රමය කුලියට ගැනීම වගේම මානසික සේවාවක් සපයන companion කෙනෙක් කුලියට ගැනීම සාමාන්‍ය දෙයක් හැටියට ඔවුන් සලකන්නේ. 

They're not so much engaging someone in a service to fill in as a family member, but having the courage to say, 'Hey, I want to be able to do this better, can you help me?'" 

"Even if it's a substitute, even if it's only for a short time, it's still valuable to them."

මේ චිත්‍රපටිය රචනා කරලා අධ්‍යක්ෂණය කළ Hikari කියන්නේ එහෙමයි. 

Brendon Fraser මේ කතාවේ ෆිලිප් ගේ චරිතය බොහොම සංයමයෙන් රඟපානවා. ඒ වෙනුවෙන් ඔහුට ජපන් භාෂාව ඉගෙන ගන්නත් සිදුවුණු බව ඔහු කියනවා. බොහොම සුන්දර ව, නරඹන්නන්ගේ හිත ඇද බැඳ ගනිමින් ගලාගෙන යන මේ කතාව බැලිය යුතුම චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. මට නම් මේක බලලා ඉවරවුණාම මීට ටික කලකට කළින් ජපානේ සංචාරය කරලා ආපිට එද්දී දැනුණු saudade මය හැඟීම ආයෙත් දැනෙන්න ගත්තා. 



Director-Hikari
Writers- Hikari, Stephen Blahut
Stars- Brendan Fraser, Takehiro Hira, Mari Yamamoto

September 16, 2025

Puzzle (2018)

මම Puzzle බලන්න හේතුව ඒකෙ Irrfan Khan ඉන්න බව දැක්ක නිසා විතරමයි. Lunch Box චිත්‍රපටියේ  විශිෂ්ඨ රඟපෑම නිසා මම එයාගේ තදබල රසිකාවියක්. මේකේ තේමාව එක්තරා විදිහකට Lunch Box චිත්‍රපටියට සමානයි කියන්නත් පුළුවන්. ඒ වගේම චරිතවල පසුබිම් එහෙම ගත්තාම සම්පූර්ණයෙන් ම වෙනස් කියන්නත් පුළුවන්. Puzzle චිත්‍රපටිය 2018දී ඇමෙරිකාවේදී නිෂ්පාදනය වුණු එකක්. මේ 2020 දී සිදුවුණු Irrfan Khanගේ අභාවයට කළින් ඔහු රඟපෑ අන්තිම ඉංග්‍රීසි චිත්‍රපටිය.

මේ කතාව එක්තරා ගැහැනියකගේ self discovery ගමනක් ගැන කියලා කියන්න පුළුවන්. සමහරවෙලාවට ඇස් ඇරගෙනම අන්ධ ව ජීවිතය ගතකරන අපි හරියටම පෙනීම ලබන්නේ අහඹු ලෙස මුණගැහෙන පිටස්තරයෙක් නිසා. නැතිනම් අනපේක්ෂිත සිදුවීමක් නිසා. මේ කතාවේ ඇග්නස් ත් එහෙම වෙනසකට මුහුණ දෙනවා. එයින් එයාගේ ආත්මය විතරක් නෙමෙයි ජීවිතයේ ගමන් මඟ ම වෙනස් වෙනවා. Jigsaw puzzle එකක වගේම කොටස් අවුල් වෙලා සී සී කඩ ගිය ජීවිතයක් සමහර වෙලාවට Jigsaw puzzle එකක් වගේම එකලස් කරලා සම්පූර්ණ කරන්න පුළුවන්. ඒත් Lunch Box චිත්‍රපටියේදී වගේම අපි බලාපොරොත්තුවෙන අවසානය නෙමෙයි අප‍ට Puzzle චිත්රපටියෙදීත් ලැබෙන්නේ. සමහර ගමන් යන්න ලැබෙන්නේ තනියම. යා යුත්තේත් තනියම. ඒ බවත් මේ කතාව හෙමින් සැරේ අපට මතක් කරලා දෙනවා. 

මේ චිත්‍රපටියේ සියුම් ව්‍යංගාර්ථ බොහොමයි. ඒවගේම ඒ රූප රාමු වල කාව්‍යමය සුන්දරත්වය ඉහළයි. ප්‍රධාන චරිත රඟපාන  Kelly Macdonald, Irrfan Khan දෙදෙනාගේ රඟපෑම් නිරායාසව ගලාගෙන යනවා. වෙහෙසකර බවක් නොදැනී බලන්න පුළුවන් වගේම, බැලුවාට පස්සේ හිතන්න දෙයක් ඉතුරු කරන චිත්‍රපටියක් තමයි Puzzle. 

"Life is messy. It doesn't make any goddamn sense. Sorry to break the news to you. Life's just random. Everything's random. My success, you here now. There's nothing we can do to control anything. But when you complete a puzzle, when you finish it, you know that you have made all the right choices. No matter how many wrong pieces you tried to fit into a wrong place, but at the very end, everything makes one perfect picture. What other pursuits can give you that kind of perfection?" - Robert 
Puzzle (2018)
Directed by: Marc Turtletaub
Written by: Oren Moverman, Polly Mann
Starring: Kelly Macdonald, Irrfan Khan




December 18, 2023

Glitch (2015)

මේක drama series එකක් ගැන විස්තරයක්. series තියා තනි movies වත් බලන්න හොර මගෙන් මෙහෙම ඒවා නිතර ලැබෙන්නේ නැහැ!

මේකේ නම Glitch. ඕස්ට්‍රේලියාවේ රූගත කරලා තියෙන මේ series එකට seasons තුනක් තියෙනවා. බොහොම කෙටියෙන් කියනවා නම් Yoorana කියන ඈත නගරයක මියගිය කීප දෙනෙක් කිසි දෙයක් නොවුණු විදිහට යළි පණ ලැබීම තමයි මේකේ නිමිත්ත. ඒ නගරයේ පොලිස් නිලධාරියෙකුත්, වෛද්‍යවරියත් මේ අවුල ලිහන්න මහන්සි වෙනවා. 

සමහර වෙලාවට series බලද්දී කොටස් කීපයකට පස්සේ තරමක නීරස බවක් දැනෙනවා. ඒත් Glitch බලද්දී කොටසින් කොටස කුතුහලය උපරිමයි. ඇහැට හුරු ඕස්ට්‍රේලියානු පරිසරය, ගොඩනැගිලි, යෙදුම් එහෙම තියෙන එක මට නම් බෝනස් එකක්. supernatural වර්ගයේ වුණාට ඒකත් ගණනකට තියෙන නිසා මම කැමතියි. ඒ කියන්නේ වැඩියෙන්ම පේන්නේ එදිනෙදා සිදුවීම්, ඒ යටින් පැහැදිලි කරන්න බැරි සංසිද්ධියක් යනවා. මේ වගේම තේමාවක් තියෙන මාලා නාට්‍යයක් ඉස්සර මෙහේ ABC රූපවාහිනී නාලිකාවේ පෙන්නුවා 'Nowhere Boys' කියලා. ඒක නම් අරමුණු කරගෙන තිබුණේ teen වයසේ ළමයින්ව. හැබැයි මාත් පුතා එක්ක ඒක එක කොටසක් වත් මඟ අරින්නේ නැතිව බලන්න තරම් ඇබ්බැහි වුණා. Glitch බලද්දී ඒ පරිසරයත්, තේමාවත් නිසා මට  'Nowhere Boys' ආයෙත් මතක් වුණා. 

මම තාම මේකේ seasons තුනම බලලා ඉවර කළේ නැහැ. දැනට නම් උඩින්ම recommend කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. බලන/ බලපු කෙනෙක් ඉන්නවා නම් අදහස් කියමු!

Glitch (2015)

Created by Louise Fox & Tony Ayres



November 13, 2023

'කන්දක් සේමා' චිත්‍රපටිය



පහුගිය සති අන්තයේදී මෙල්බර්න් නගරයට සේන්දු වුණු 'කන්දක් සේමා' චිත්‍රපටිය නරඹන්නට මට ඉඩ ලැබුණා. මේ කතාවට පාදක වුණු සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාව බොහොම ඉස්සර කාලෙක මම කියවලා තිබුණාට මේ වෙද්දී මට ඒකෙ ප්‍රධාන තේමාව මිසක් විස්තර මතක තිබුණේ නැහැ.

කන්දක් සේමා චිත්‍රපටිය වැඩියත්ම රූපගත කරලා තියෙන්නේ ජපානයේ. ශ්‍රී ලාංකික නළු නිළියන් හැටියට නිරෝෂා පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, වීණා ජයකොඩි, කෞශල්‍යා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, දසුන් පතිරණ වගේ ප්‍රවීණ නලු නිලි පිරිසක් මෙහි චරිතවලට පණ පොවනවා. මීට අමතරව ජුන් එටෝ, අයාකො කොබයාශි කියන බොහොම දක්ෂ ජපන් ජාතික නලු නිලි දායකත්යවකුත් තියෙනවා. මෙහි සම අධ්‍යක්ෂණය අසෝක අතාවුදහෙට්ටි සහ ටාඕ නශිමොතෝ. තිර පිටපතත් සුමිත්‍රා රාහුබද්ධගෙන්.

කන්දක් සේමා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නූපා. ඈ මධ්‍යම පාන්තික පවුලක තරුණියක්. පවුල ඇතුළෙත්, ආදර සම්බන්ධයකිනුත් ඇතිවෙන හැල හැප්පිලි නිසා ඈ ඒජන්සියක් හරහා කෙරෙන විවාහයකින් වයස්ගත ජපන් ජාතිකයෙක් විවාහ කරගෙන ජපානයට යනවා. මේ කතාවට පාදක වෙන්නේ නූපා ත් ඇගේ සැමියා මසයා සන් ගේත් ඇති නොගැලපීම. නාඳුනන රටක, ඒ භාෂාවේ වචනයක් වත් නොදැන, සැමියාගෙනුත් ආදරයක් නොලබා තනිවෙන නූපා ඒ තනිකමට පාලුවට මුහුණ දෙද්දී තවත් විවිධ කරදරවල පැටලෙනවා. නූපා ජීවිතය පුරාවට පරමාදර්ශී ආදරයක් හොයන්නේ ඇගේ ජීවිතයේ මුල ඉඳන්ම තිබුණු හිඩැස් නිසා වෙන්න පුළුවන්. ඒත් ඒ 'පෙම්බරා' ඇගේ මනෝ චිත්‍රයක් විතරයි. අප අවට හැම කෙනෙක්ම තුවාල සහිත, ජීවිතයේ වැරදි තීරණ ගන්න, බිඳුණු මිනිස්සු බව සියුම් විදිහට මේ කතාවෙන් පෙන්නලා දෙනවා.

'කන්දක් සේමා' චිත්‍රපටිය ජපානයේ රූගත කිරීම නිසා ඊට වැඩි සෞන්දර්යාත්මක අගයක් එකතු වෙලා තියෙනවා. ඒ රටේ සකුරා මල්, හිම කඳු ආදී දර්ශන සම්ප්‍රදායික ශ්‍රී ලංකික සිනමාවට නැවුම් රසයක් එකතු කරන්න සමත්. ඒ වගේම රටවල් දෙකක් හරහා සිනමා නිර්මාණයක් බිහි කරද්දී ප්‍රායෝගික ප්‍රශ්න එමට තියෙන්න ඇති. මේ නිසා මේ ව්‍යායාමය අගය කළ යුත්තක්. මීට අමතරව නරඹන්නාට කතාව තේරුම් ගැනීම සඳහා උප සිරැසි අවමයෙන් උවමනා වෙන විදිහට ජපන් භාෂාවේ දෙබස් එක්කම සිංහල දෙබස් යොදා තියෙන හැටිත් හොඳ උපක්‍රමයක්.

චිත්‍රපටිය ගැන කතා කරද්දී නූපා ගේ චරිතය රඟපාන නිරෝෂා පෙරේරා ගැන විශේෂ සඳහනක් නොකරම බැහැ. මේ නිරෝෂා දෙදාස් ගණන් වල මුලදී ලංකාවේ රූපවාහිනී නාලිකාවක මුඛරි ලෙස කතාකරමින් වැඩසටහන් ඉදිරිපත් කළ නිරෝෂා පෙරේරා ම බව මට නම් අඳුනාගන්න බැරි වුණා. නූපා ගේ චරිතයට විශිෂ්ඨ ව පණ දුන්නු නිරෝෂාට ලංකාවේ මීට කලින් මතක හිටින විදිහේ රංගන අවස්ථා නොලැබුණු එක ගැන මට පුදුම හිතුණා. මීට අමතරව චිත්‍රපටියේ සොරා සන් ගේ චරිතයට පණ පොවන අයාකො කොබයාශි ඉස්සර ජාතික රුපවාහිනියේ තිරගත වුණු ඔෂින් මාලා නාටකයේ පොඩි ඔෂින් බව චිත්‍රපටිය ගැන ලියවුණු සටහනක මම දැක්කා.

මේ චිත්‍රපටියේ එක තැනක ජපානයේ සිය දිවි නසාගැනීම් වලට ප්‍රසිද්ධ අඔකිගහරා වනාන්තරයට නූපා පිවිසෙන දර්ශනයක් තියෙනවා. හාත්පස හිම ඉහිරුණු ඒ පරිසරයට ප්‍රශ්න වලින් හෙම්බත් වුණු නූපා යන්නේ ආපිට එන්න නෙමෙයි. ඒත් වනාන්තරය මැද එක තැනක තියෙන දැන්වීම් පුවරුවක් ඇගේ ඇස ගැටෙනවා. "ඔබට ආදරය කරන අයව හඬවන්න එපා" ඒ පුවරුවේ තියෙන්නේ ඒ වගේ අදහසක්. ඇයට ඇගේ දියණියගේ හඬ සිහිනයෙන් වගේ ඇහෙනවා. ඉතින් ඈ ආපිට යනවා. මේ රූප රාමු පෙළ නරඹන්නා ව බෙහෙවින්ම කම්පනය කිරීමට සමත්.

'කන්දක් සේමා' චිත්‍රපටිය මෑත කාලයේදී මම නැරඹු සිංහල චිත්‍රපටි අතරින් ඉදිරියෙන් තියෙන බව කියන්න පුළුවන්. 

- හෙල්මලී 

October 29, 2023

Anandi Gopal- Movie Review

 


Anandi Gopal (2019)

Director: Sameer Vidwans
Writer: Karan Shrikant Sharma
Stars: Bhagyashree MilindLalit PrabhakarSonia Albizuri

ආනන්දී ගෝපාල් කියන්නේ ඉන්දියාවෙන් බිහි වූ පලවෙනි බටහිර වෛද්‍ය විද්‍යා වෛද්‍යවරිය. 1865 දී උපන් ඇය ඉතාම ලාබාල වයසේදී ඇයගේ වයසට වඩා විසි වසරක් තරම් වයසින් වැඩි වැන්දඹු තරුණයෙක් සමඟ විවාහ කරනු ලබනවා. ගෝපාල් රාඕ ජෝෂි නම් ඔහුගේ රැකියාව තැපැල් කන්තෝරුවක ලිපිකාර තනතුරක්. නමුත් පොත්පත් කියවීමත් අධ්‍යාපනය ලැබීමත් ගැන ඉමහත් උනන්දුවක් දක්වන ඔහු තම ලාබාල බිරිඳ ට අධ්‍යාපනය ලබාදෙන්න වෙහෙසෙනවා. මේ යුගයේ ඉන්දියාවේ සමාජ පසුබිම ඔහුගේ මේ අරමුණට එරෙහිව බලවත් ව නැගී සිටියත් ගෝපාල් මින් පසු බාන්නේ නැහැ. 

සැමියාගේ තදබල උනන්දුවත් සහයෝගයත් නිසා ආනන්දී අධ්‍යාපනය ලැබීමටත්, ඉන් නොනැවතී වෛද්‍ය විද්‍යාව හැදෑරීමටත් යොමුවෙනවා. විවිධ බාධක මැද ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වාසනාව ලබන  ඇය 1886 දී නැවත ඉන්දියාවට පැමිණ එහි ප්‍රධාන රෝහලක කාන්තා වාට්ටුව භාර වෛද්‍යවරිය ලෙස පත්වීමක් ලබනවා. 

විදේශයක අධ්‍යාපනය ලැබීමටත්, බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලැබීමටත් වරම් ලද පළමු ඉන්දියානු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙන ආනන්දී ගෝපාල් ගැන සැකසුණු මේ චරිතාපදාන චිත්‍රපටිය අගය කළ යුතුයි. අතීත භාරතයේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිබුණු විවිධ වැට කඩොලු ගැනත් තනි මිනිසෙකුගේ අධිෂ්ඨානයෙන් ඒ බාධක බිඳ ජයගැනීමට කාන්තාවකට හැකි වූ අයුරුත් මනාව ඉන් පෙන්නුම් කෙරෙනවා. 

September 18, 2023

Miss Potter- Movie

The works of Beatrix Potter have been always close to my heart. It might be because just like her, I have a never ending childlike fascination for animals and nature. I used to spin long tales of woodland creatures and fairies for my little one, long ago, and the Tales of Benjamin Rabbit by Beatrix Potter were always an inspiration. To this day, I can spend hours gazing at her intricate sketches.

Later on, I moved on to writing and at one point translated Beatrix Potter's stories out of sheer love. My love for painting too was rekindled around that time and to this day I am the happiest when I am sketching and painting little creatures and fairy houses.

I had never come across Beatrix Potter's life story before, so finding a movie based on her life was quite refreshing. This movie is a bit sad but lovely at the same time. It gives us insight to how hard it must have been for her to start up as an author and illustrator in an era where no one thought much about  'just stories written for children'. 



Sometimes when no one really believes in you- not even yourself- you just need one person who does. One person who believes in you unconditionally and without accepting any excuses from you. Then, and only then, miracles can happen.

Thank you to all those believers who happen to cross the paths of the reluctant creators. Always remember that you are the reasons behind some great miracles!


Miss Potter (2006)
Directed by Chris Noolan

August 24, 2023

Why Women Kill- TV Series

මිනී මැරුමකට පස්සේ ඒකට හරියටම හේතු කියන්න පුළුවන් මිනී මරුවාට විතරයි. සමහර හේතු ආත්මාර්ථකාමීයි, දරුණුයි. ඒත් සමහර හේතු නම් එක අතකට සාධාරණයි කියලත් හිතෙන වෙලාවල් නැත්තේම නැහැ.

'Why Women Kill කියන්නේ කාන්තාවන් නිසා/ කාන්තාවන් අතින් සිද්ධ වුණු මරණ වටා ගෙතුණු dark comedy series එකක්. අඩු නැතිව හාස්‍ය තියෙන මේක එක එක කාල වකවානු වලට අයිති සිදුවීම් වලින් තමයි කතාව ගෙනියන්නේ. ඒ හැම කාලයට අදාළ ඇඳුම් මෝස්‌තර, ගෙවල් අලංකරණය, වාහන එහෙමත් බොහොම ලස්සනට කතාවට යොදාගෙන තියෙන එකෙන් ආකර්ෂණය වැඩියි.

දෙවෙනි season එක දක්වාම ප්‍රේක්ෂකයාගේ උද්යෝගය රඳවාගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව මම වගේ series නොබලන කෙනෙක් ගේ පවා කැමැත්ත දිනාගත්ත බව කියන්නම ඕන!

Why Women Kill (2019-2021)

Executive Producer- Mark Cherry


July 05, 2023

Run, Rabbit, Run & Wakefield - Movie Review

ළමා වියේදී ඇතිවන trauma (මේකට කම්පනය කියන එක මදි වගේ) සුළුවෙන් බැහැර කරන්න බැරි බව දැන් පුළුල් ව පිළිගත් දෙයක්. ඒ, එහෙම සිදුවීම් යටපත් කිරීම තුළින් පසුකාලීනව වැඩිහිටි වියේදී වුණත් විවිධ මානසික ගැටළු ඇතිවෙන්න පුළුවන් නිසායි. මේ තේමාව ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකුත් TV series එකකුත් ගැන එක සැරේම ලියන්න හිතුණා. චිත්‍රපටිය Run, Rabbit, Run. TV series එක Wakefield. මේ දෙකම ඕස්ට්‍රේලියාවේ නිපදවුණු නිර්මාණ දෙකක් වීම අහම්බයක්. 

Run, Rabbit, Run කතාව ටිකක් සංකීර්ණයි. කාලයකට ඉහතදී අතුරුදන් වූ දැරියක් ඒ දැරියගේ සහෝදරියගේ දුව තුළින් කතා කරන සිද්ධියක් වටේ තමයි මේක ගෙතෙන්නෙ. ඒ කියන්නේ අපි කියන විදිහට දැරියකට එයාගේ පුංචි අම්මාව 'වැහිලා'. හැබැයි ඒ සිද්ධිය මතුපිටින් පේන තරම් සරල නැති බව තේරෙන්නේ කතාව ගලාගෙන යද්දී.

 

Wakefield කියන්නේ මානසික රෝගීන් වෙනුවෙන් තියෙන සාත්තු නිවාසයක හෙද සේවකයෙක් වන නික් සහ ඔහු හා ගැටෙන විවිධ චරිත වටා ගෙතුණු කතා මාලාවක්. මේක පටන්ගන්නේ නික් ට අහම්බෙන් ඇහුණු සින්දුවක් අමතක කරගන්න බැරි සිද්ධියකින් හෙවත් earworm situation එකකින්. මේ එක්කම විවිධ දෘෂ්ඨි මායාවන් සහ මතක කැබලි ඔහුව පීඩාවට පත් කරමින් අමතක වුණ trauma එක නිරාවරණය කරගැනීම දක්වාම ඔහුව රැගෙන යාම නරඹන අපටත් කම්පනයක් ඇති කරවනසුළුයි. මීට අමතරව ඒ සාත්තු නිවාසයේ ඉන්න තව නේවාසිකයන් කීපදෙනෙක්ගේ කතාත් මේ කතා මාලාවට සියුම්ව බද්ධ කරලා තියෙනවා. 

 

මේ කතා දෙකම childhood trauma ගැන වුණත් Run, Rabbit, Run චිත්‍රපටියට මූලික වෙලා තියෙන්නේ ඒ සිදුවීම ප්‍රතික්ෂේප කිරීම හෙවත් denial බව, Wakefield කතා මාලාවට මූලික වෙලා තියෙන්නේ යටපත් වීම හෙවත් suppresion බව ඒ දෙකේ ප්‍රධාන චරිත දෙකේ හැසිරීමෙන් පැහැදිලියි. කොහොම වෙතත්, මේ කොයි විදිහෙන් යටපත් වුණත්,  කාලයක් ගිහින් මේවා ආපහු මතුවෙලා ජීවිතයට පීඩා කරන බව නම් පැහැදිලියි. ඒ නිසා මේ වගේ නිර්මාණ වලින් ගත යුතු පාඩම තමයි ඒ වගේ දේවල් වලට ලක් වුණු අය හැකි ඉක්මණින් උපදේශනයට යොමුකළ යුතු බව. 

මේ නිර්මාණ දෙකේම සිනමාකරණය ගැන විශේෂයෙන් යමක් කිව යුතුයි. ඕස්ට්‍රේලියානු පරිසරයේ සමහර තැන් වල තියෙන රළු ලස්සන අපූරුවට මේ කතා දෙකටම හසු කරගෙන. Wakefield කතා මාලාවේ ප්‍රධාන චරිතය වන නික් ගේ අම්මා විදිහට නදී කම්මැල්ලවීර ශිල්පිනිය පණ පෙවීම විශේෂ කරුණක්. Run, Rabbit, Run චිත්‍රපටියේ ළමා රංගන ශිල්පිනිය Lily La Tore ගේ රංගනයත් ප්‍රසංශනීයයි. 


Run Rabbit Run (Film) - 2023
Directed by Daina Reid, Written by Hannah Kent

Wakefield (TV Series) - 2021(8 episodes)
Created and Directed by Kristen Dunphy

June 14, 2023

I, Daniel Blake - Movie Review

මුලින්ම කියන්න ඕන මේක දුක හිතෙන චිත්‍රපටියක් බව. හැබැයි ඒ බව නොදැන බැලුවාත් අන්තිමේදී අපරාදේ කියලා නම් හිතුණේ නැහැ.

මේ කතාව ගෙතෙන්නෙ ඩැනියෙල් කියන තරමක් වයස්ගත පුද්ගලයෙක් ගැන. තනියම ජීවත්වෙන ඔහුට අනතුරකට පස්සේ රැකියාව කරන්න බැරිවෙනවා විතරක් නෙමෙයි ආණ්ඩුවේ ආයතන වල විවිධ අකාර්යක්ෂමතා නිසා ලැබිය යුතු දීමනා අහිමි වෙනවා. මේ නිසා ඔහු මුහුණ දෙන විවිධ කම්කටොලු ගැනත්, තමන් වගේම අසරණ වුණු තවත් පවුලකට ඔහු අහම්බෙන් පිහිට වුණු හැටිත් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. කෙනෙකුට අසරණ වෙන්න ලොකු දෙයක් වෙන්න අවශ්‍ය නැති බව ඇත්තටම පුදුම සහගතයි. බඩගින්න, අසාධාරණයට ලක් වීම, ඇහුම්කන් දෙන්න, තමන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති කම, පරිඝණක සාක්ෂරතාව නැතිකම වගේ දේවල් කෙනෙක්ව කොයිතරම් පාගලා දාන්න පුළුවන්ද කියලා හිතුවම ඇත්තටම හිත සසල වෙනවා. 

මම නොහිතුව විදිහට මේ චිත්‍රපටිය බලලා මාව කම්පනයට පත් වුණේ මේකේ ඉන්න ඩැනියෙල් වගේම කාර්යාල සගයෙක් මට ඉන්න නිසා. මේ කතාවේ ඩැනියෙල්ගේ හැඩ රුවම තියෙන, ඒ වයසේම වගේ ඉන්න ඔහුට තද අයිරිෂ් accent එකක් තියෙන නිසා කතා කරන්නෙත් ටිකක් ඒ විදිහට. ඔහුත් බිරිඳ ගේ වියෝවෙන් පස්සේ තනියම ජීවත් වෙන්නේ. මේ මෑතක අසනීපයකින් සිහි නැති වීමක් වෙලා පැය ගාණකට පස්සේ සිහිය ආවාම තනියම ගිලන් රථයකට කතාකරලා ඉස්පිරිතාලේ ගිය බව 'අපේ ඩැනියෙල්' කීවේ හිනාවෙමින්. ඒත් ඒ හිනාව ඇතුළත තනි වීමේ අසරණ කමක් තිබුණු නිසා වෙන්නැති මේ චිත්‍රපටිය නිසා මට ඔහුව මතක් වුණේ. 

මම වෙසෙන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් හරියට ඉන්නවා. I, Daniel Blake චිත්‍රපටියෙන් කියවෙන කතාවේ තව version එකක් එයාලාත් අත් විඳිනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව දුර්වල අය. ඒ වගේ සංක්‍රමණික දෙමව්පියන් වෙනුවෙන් ආයතනවලට ඉංග්‍රීසියෙන් ලිපි ලියන, දුරකථන ඇමතුම් දෙන පුංචි දරුවන් මම බහුලව දැකලා තියෙනවා. 

ඉතින් I, Daniel Blake කියන්නේ අපිව තව හිතන්න පොළඹවන චිත්‍රපටියක්. 

I, Daniel Blake won the Palme d'Or at the 2016 Cannes Film Festival, the Prix du public at the 2016 Locarno International Film Festival, and the 2017 BAFTA Award for Outstanding British Film.


I, Daniel Blake (2016)


Directed by Ken Loach
Written by Paul Laverty
Produced by Rebecca O'Brien
Starring: Dave Johns, Hayley Squires
Cinematography Robbie Ryan


March 21, 2023

The Father (2020) - Movie Review


වියපත් වෙද්දී සිරුරේත් මනසේත් ඇතිවන වෙනස්කම් අපේ පාලනයෙන් තොරයි. සිරුර දුර්වල වෙද්දී ඒ බව පැහැදිලිව පෙනෙන නිසා ඒ හා ගනුදෙනු කරන්න ලේසියි. ඒත් මනස දුර්වල වෙද්දී? 

The Father කියන්නේ දුර්වල වෙමින් යන මනසක් ඇති ඇන්තනි නම් වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන නිර්මාණය වුනු චිත්‍රපටියක්. Dementia කියන රෝගය ගැන අපි අහලා තිබුණත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඇන්තනි ගේ විශ්ෂ්ඨ රඟපෑම හරහා අපටත් එය අත්විඳින්නට මේ චිත්‍රපටයෙන් අවස්ථාව ලබා දෙනවා.

වයස්ගත වෙද්දී මුරණ්ඩු ගති පෙන්වන ඇන්තනි තමන්ගේ එදිනෙදා කටයුතු වලට දියණියගේ සහාය ප්‍රතික්ෂේප කරනවා. ඒත් dementia රෝගය නිසා ක්‍රම ක්‍රමයෙන් කම්පාව, වේදනාව, පැටලිලි සහගත බව, කෝපය වැනි ආවේග ඔහුගේ ජීවිතය ආක්‍රමණය කරන්නේ නරඹන අපවත් වියවුලට පත් කරමින්. නිරන්තරයෙන්ම සැබෑවත් මායාවත් ආතර තැනක දෝලනය වීම කෙතරම් වෙහෙසකාරීද යන බව මේ චිත්‍රපටය අපට පසක් කර දෙන අතර dementia රෝගීන් පිළිබඳව අප තුළ අලුත්  සහකම්පනයක් ඇති කරවනවා. සමස්තයක් හැටියට ගත් කල මෙය විශිෂ්ඨ චිත්‍රපටියක් හැටියට නම් කළ හැකියි.

The Father චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපාන්නේ Anthony Hopkins සහ Olivia Colman. මේ චිත්‍රපටිය නිර්දේශ වූ/ ලබාගත් සම්මාන ගැන විස්තර පහතින්. 

At the 93rd Academy Awards, Hopkins won Best Actor and Zeller and Hampton won Best Adapted Screenplay; the film received six nominations in total, including Best Picture and Best Supporting Actress (Colman). At the 78th Golden Globe Awards, the film received four nominations, including Best Motion Picture – Drama, and it received six nominations at the 74th British Academy Film Awards, winning Best Actor (Hopkins) and Best Adapted Screenplay. In addition, Hopkins and Colman were nominated for Outstanding Leading Actor and Outstanding Supporting Actress respectively at the 27th Screen Actors Guild Awards.


Directed by Florian Zeller

Screenplay by Florian Zeller, Christopher Hampton

Based on Le Père by Florian Zeller


March 02, 2023

Still Life - Movie Review

ජෝන් මේ ලන්ඩන් නගරයේ කෙන්සින්ටන් නගර සභාවේ සේවකයෙක්. ඒත් එයාගේ රැකියාව සාමාන්‍යයෙන් දකින්න ලැබෙන රස්සාවක් නෙමෙයි. ඒ ප්‍රදේශයේ කාත් කවුරුවත් නොමැතිව මිය යන අයගේ පවුලේ ඥාතීන් හොයලා එයාලට මරණය ගැන දැනුම්දෙන එකයි ඔහුගේ රැකියාව. මේ කාර්යයේම දිගුවක් හැටියට ජෝන් ඒ මරණ වෙනුවෙන් අවමංගල්‍ය උත්සවත් ලැස්ති කරනවා. බොහෝ වෙලාවට ඒ අවමංගල උත්සව වල ඉන්න එකම අමුත්තා එයා විතරයි.

මේ චිත්‍රපටියේ ජෝන් තම රැකියාව අභිබවා ගිය යුතුකම් කරන්න කැපවෙන හැටි විස්තරාත්මකව පෙන්නනවා. ජෝන් එහෙම කරන්නේ ඒ කාත් කවුරුවත් නැතිව මැරුණු අය 'තමන්ගේ' උදවිය හැටියට එයා සලකන නිසායි. තනියම ජීවත්වෙන ජෝන් ගතකරන්නේ ඉතාමත්ම සරල, තරමක පාලු ජීවිතයක්. ඒ නිසාදෝ කොහෙද එයා මේ කටයුතු වෙනුවෙන් උපරිමයෙන් කැපවෙනවා.

ඒත් එක මරණයක් වෙනුවෙන් කලින්ටත් වඩා වෙහෙසිලා තොරතුරු හොයන්න ජෝන් ට සිද්ධ වෙනවා. මේ ගමනේදී ඔහු අත්දකින විශේෂ සිදුවීම් තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නේ. Still Life කියන නම මීට හොඳින්ම ගැලපෙන්නේ ඒකෙ බොහෝ රූප රාමු නිසල වස්තු යොදාගෙන කළ චිත්‍රවලට සමාන නිසා. ඒ වගේම වචන සෙල්ලමක් එක්ක ඒ නම නිශ්චල ජීවිතයක් කියන තේරුමත් දෙනවා. ජෝන් අලුත් දේ අත්හදා බලන්නේ නැති කෙනෙක්. එහෙම දේවල් කරන්න වුණත් සිදු කරන්නේ ඉතාම ප්‍රවේසමෙන්. ඒ නිසා ඔහුත් නිශ්චල ජීවිතයක්. එක්තරා හමුවීමකදී ඒ ජීවිතය තරමක් චංචල වෙන්න සැරසුනත් ආයෙත් බොහොම ඉක්මණින් නිශ්චල වෙනවා. එහෙමයි ජීවිතේ හැටි.

බොහොම හැඟුම්බර අවසානයක් සහිත මේ චිත්‍රපටිය කලාතුරකින් දකින්න ලැබෙන තේමාවක් සහිත එකක්. ඊට හිමිවුන සම්මාන ගැන විස්තර තිබුණේ මෙහෙමයි. 

Still Life was presented at the 70th Venice Film Festival , where it won the award for Best Director in the category "Orizzonti". At the Reykjavik International Film Festival, Still Life received the top award (Golden Puffin) as well as the FIPRESCI Award. It also received the Black Pearl award (the highest award) at the Abu Dhabi Film Festival for "its humanity, empathy and grace in treating grief, solitude and death"; for his performance, Eddie Marsan won the Best British Actor award at the 2014 Edinburgh International Film Festival


Directed by Uberto Pasolini

Written by Uberto Pasolini

Produced by Felix Vossen, Christopher Simon, Uberto Pasolini, Ceri Hughes

Starring Eddie Marsan

 

January 28, 2023

After Life- (TV Series)

 මේ comedy-drama series එකක් ගැන ඔත්තුවක්. series බලන්න අකමැති මමත් එක දිගට බැලුව නිසා series ෆෑන්ලා කැමැත්තෙන් බලයි කියලා මට හිතෙනවා.

බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුන After Life කියන කතා මාලාව ගෙතිලා තියෙන්නේ මෑතක තම බිරිඳ වන ලීසාව අහිමි වුණු ටෝනි නමැති පුවත්පත් වාර්තාකරුවා වටේ. බිරිඳ නැතිව ජීවත් වීම ඔහුට ඉතාම දුෂ්කර කාරණාවක් බව දැනෙනවා. ඔහු මේ ශෝකය දරාගන්නේ 'සමාජයට වාතයක් වෙමින්'. ඒත් ඔහුගේ සමීපතමයන්, ඔහුට ආදරය කරන අය ඔහුව ඉවසමින් දරාගන්නවා. ටෝනි තමන්ගේ ශෝකය කළමනාකරණය කරගන්නට ඉගෙන ගන්නා චාරිකාව තමයි මේකේ ප්‍රධානම නිමිත්ත. 

ඒත් ශෝකය ගැන පදනම් වුණත් මේ කතා මාලාවේ හාස්‍යයත් නොඅඩුව තියෙනවා. වැඩියත්ම ටෝනි වටේ ඉන්න අය සමාජයේ එක එක වර්ගයේ extreme චරිත නිසා. ඔහු රැකියාව කරන පත්තර කන්තොරුවත් සුවිශේෂී තැනක්. ඔවුන්ගේ ප්‍රදේශයේ විශේෂ සිදුවීම් ගැන වාර්තා කරන එක ටෝනි ගේ රැකියාවේ කොටසක්. ඔහුට මේ ගමන් වලදී මුණගැහෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ 'විශේෂ' සිදුවීම් ගැන අඬන්න බැරි නිසා හිනාවෙන්න වෙනවා සමහර වෙලාවට. හැම කෙනෙක්ම ඇතුළේ ලෝකයට නොපෙන්වන සැඟවුණු චරිතයක් තියෙන බව මේ නිර්මාණයෙන් අපට මතක් කරලා දෙනවා. සමහර විට මනෝ විශ්ලේෂකයාට වඩා සාර්ථකව ඒ රාජකාරිය අහම්බෙන් සොහොන් පිට්ටනියකදී මුණගැහුණු කෙනෙක් ඉටු කරලා දෙන්න පුළුවන්. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණු කෙනෙක් කෙනෙක්ට ඉතා හොඳ මිතුරෙක් වෙන්න පුළුවන්. හැමෝම එක්ක රණ්ඩු ඇතිකරගන්න ටෝනි ඇතුලෙත් දයාබර සැමියෙක් ඉඳලා තියෙන්න පුළුවන්. 

ශෝකයේ පතුලේ ගැලිලා, ඉන් මිදෙන්න බැරිව ඉන්න ටෝනි ට ලෝකය ගැනම කේන්තියි. 'හැමෝම එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා!' ඔහු එක තැනකදී කියනවා. ඒත් ඔහුත් ශෝකයට ඇබ්බැහි වුණු බව ඔහුටම තේරෙන්නේ නැහැ. මේ කතා මාලාවේ අන්තිම හරියේදී එක සංවේදී අවස්ථාවක මිය යන්න කලින් ලීසා ටෝනි වෙනුවෙන් කවියක් පටිගත කරලා තියනවා. ඒ Mary Elizabeth Fryeගේ Do not stand at my grave and weep කියන කවිය. මගේත් ප්‍රියතම කවියක් වන මේක මේ අවස්ථාවට බෙහෙවින්ම ගැලපෙනවා. මේ කතා මාලාවේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වන Ricky Gervais ම ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑම සුවිශේෂී සිද්ධියක්. බොහොම විචිත්‍රවත් චරිත සමූහයක් එකතු කරගෙන නිර්මාණය කරලා තියෙන මේ කතා මාලාව කම්මැලි නැතිව නරඹන්න පුළුවන්, බලද්දී කඳුළු වගේම සිනා නොඅඩුව ගෙන එන බවට සහතික වෙන්නත් පුළුවන්. 

After Life- (TV Series) 
No. of series 3 
No. of episodes 18

 

January 19, 2023

Unorthodox (2020)

සමහර වෙලාවට මූලික මනුෂ්‍ය නිදහස සීමා වෙන්නේ ආගමක නමින් වෙන්න පුළුවන්. සමහරු ඒ සීමා කිරීම් ජීවිතයේ කොටසක් හැටියට වැළඳ ගනිද්දී තවත් කෙනෙකුට ඒවා හිරිහැරයක් හැටියට දැනෙන්න පුළුවන්. 

Unorthodox නම් mini series එක කොටස් හතරකින් යුත් කතා මාලාවක්. මේක පදනම් වෙලා තියෙන්නේ Deborah Feldman 2012 දී රචනා කළ ස්වයං චරිතාපදානය Unorthodox: The Scandalous Rejection of My Hasidic Roots යන කෘතියෙන්. 

Esty නම් යුදෙව් තරුණිය යෝජිත විවාහයක් තුළ අසතුටින් ගෙවන ජීවිතය නිමා කරමින් තදබල ආගමික නීති සහිතව තමන් නිව් යෝක්හි වෙසෙන Hasidic Jewish සමාජයෙන් පළා යාමේ කතාන්දරයයි මේ. ඈ පළා යන්නේ අතීතයේදී යුදෙව්වන් විනාශ කරන්නට මුල් පියවර ගැනුණු ජර්මනියේ බර්ලින් නගරයට. මේ කතාවේ irony එක තියෙන්නේ එතැනයි. 

විශිෂ්ඨ තිර රචනයක්, අධ්‍යක්ෂණයක් දකින්න පුළුවන් මේ කතා මාලාවේ රංගනයත් ඉතා ඉහළයි. මේ miniseries එක බලනවානම් ඒ එක්කම මේ වගේ තදින් විවේචන එල්ල විය හැකි චිත්‍රපටියක් සාර්ථකව රූගත කරන්නට ඔවුන් ගත් මහන්සිය පෙන්වන Making of Unorthodox කෙටි වීඩියෝවත් බලන්න අමතක කරන්න එපා. 

Written by :Anna Winger & Alexa Karolinski
Directed by: Maria Schrader
Starring: Shira Haas, Amit Rahav, Jeff Wilbusch


November 25, 2022

Apostasy - Movie Review

Apostasy (2017)

ජීවිතයේ තීරණ බලය ආගම් වලට පැවරුවාම ජීවිතයේ වැදගත් දේවල් අහිමි වෙලා ආගම විතරක් ඉතුරු වෙනවා. අපිට පැහැදිලිව හිතන්න, හරි වැරැද්ද තේරුම් ගන්න තියෙන හැකියාව දුර්වල වෙනවා. Apostasy චිත්‍රපටියේ පෙන්නන්නේ එක ආගමක් වුණත් මේක හැම ආගමටම පොදුයි.

'Apostasy' පොඩි ඉඩක් ඇතුළේ ලොකු කතාවක් කියන චිත්‍රපටියක්. මේ මෙහි තිර රචක Daniel Kokotajloගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වූවක්. මේ චිත්‍රපටිය ගැන දැනෙන හැඟීම විචාරයක මෙහෙම සාරාංශ කරලා තිබුණා.

//Frequently, the film is enraging. Not because it shows the way in which dogma has the power to rewire the moral instincts of its devotees, but for the sombreness with which it acknowledges that the devotees allow this to happen //- The Guardian 

Apostasy කියන වචනේ තේරුමත් මේ චිත්‍රපටිය නිසා අලුතින් ඉගෙන ගන්න ඉඩ ලැබුණා

Apostasy- the abandonment or renunciation of a religious or political belief or principle.





Directed by: Daniel Kokotajlo
Written by: Daniel Kokotajlo
Produced by: Andrea Cornwell, Marcie MacLellan

October 07, 2022

Hope Gap (Movie)

සුපුරුදු තේමාවන්ගෙන් වෙනස් තේමාවක් යටතේ නිර්මාණය වුණු චිත්‍රපටි ඉඳහිට හම්බවුණාම ඒ ආරංචිය බෙදා ගන්න හිතෙනවා. ඒකට හේතුව වැඩිය චිත්‍රපටි බලන්න අකමැති, කවුරුහරි recommend කළොත් නම් බලන මම වගේ අය තව ඉන්න බව දන්නා නිසා. මේ සටහන 'Hope Gap' චිත්‍රපටිය ගැන.

ග්‍රේස් -හිතෙන දේ කියන, තරමක් තද අදහස් තියෙන කෙනෙක්. ඇගේ සැමියා එඩ්වර්ඩ් නිහඬ, තරමක් ගුප්ත චරිතයක්. අවුරුදු විසි නමයක විවාහ ජීවිතයකින් පස්සේ එඩ්වර්ඩ් ඒ විවාහයෙන් නික්මෙන්න තීරණය කරනවා. මේ චිත්‍රපටිය මේ සිද්ධිය වටා ගොඩනැඟුණු එකක්. මේ දෙන්නාගේ පුතා ජේමි, දෙමව්පියන් අතරට මැදි වෙන හැටි, එයාලගේ පණිවිඩකරුවෙක් හැටියට ඉන්න අතරේම තමන්ට සිදුවුණු අහිමි වීම දරාගන්න හැටි, උඩු යටිකුරු වුණු ජීවිතයක ග්‍රේස් ආයෙත් අමාරුවෙන් පාර හොයාගන්න හැටි මේ කතාවෙන් කියවෙනවා.

සමහර දේවල් අපිට අගය දැනෙන්නේ අහිමි වුණාම. එතකොට 'ආපහු එන්න' කියන්න පරක්කු වැඩියි. සමහරවෙලාවට අපි ජීවත් වෙන්නේ මැරෙන්න තියෙන බය නිසා. ඒත් දරුණු අසනීපයක් තියෙන කෙනෙක් මැරෙන්න හිතන එක ගැන සමාජයෙන් චෝදනාවක් ආවේ නැතත් දරුණු හිත් වේදනාවකින් ඉන්න කෙනෙකුට ඒ ගැන හිතන්න අවසර නැහැ. දෙමව්පියෝ දරුවන්ට ජීවිත කාලෙම පාර කියනවා. සමහර විට දරුවෝ දෙමව්පියෝ දිහා බලලා ඉගෙනගන්නේ දරාගැනීමේ සීමාව කොතනද කියන එක වෙන්න පුළුවන්. වැරදි කෝච්චියකින් හරි ගමනාන්තයකට එළඹෙන්න පුළුවන්, ඒ වගේම ජීවිත කාලයක්ම හරි කියලා හිතාගෙන හිටිය ඒ ගමනාන්තය වැරදි බව පහුවෙලා වැටහෙන්නත් පුළුවන්. මේ, මේ චිත්‍රපටිය බලලා මට හිතුණු දේවල්. ඒ වගේම ප්‍රේමය, හිමිවීම, අහිමිවීම, දරාගැනීම වගේ දේවල් මේ ලෝකේ හැම කෙනෙකුටම පොදු බව අන්තිමේදී මේ කතාවෙන් අපට බොහොම සියුම්ව මතක් කරලා දෙනවා.

චිත්‍රපටිය පුරාම poetry විසිරිලා තියෙන එකත් මම ඊට කැමති වෙන්න හේතු වෙන්න ඇති. සමහර කවි ඇහුනාම දැනුණේ පරණ යාලුවෙක් මුණගැහුණු හුරුපුරුදු බවක්.

//You have been mine before,
-- How long ago I may not know:
But just when at that swallow's soar
Your neck turned so,
Some veil did fall, -- I knew it all of yore.//

(part of the poem 'I have been here before' by Dante Gabriel Rossetti)


Directed by William Nicholson (2019)
Screenplay by William Nicholson
Based on The Retreat from Moscow
by William Nicholson



August 04, 2022

Lantana (Movie)

ලන්ටානා කියන්නේ වල් පැලයක්. අපට නම් හුරු බාලොලියා, ගඳපාන කියන නම්වලින් කිව්වමයි. කොයිතරම් ලස්සන මලක් තිබ්බත් වල් පැලයක් හැටියට සැලකෙන නිසා මේකේ වටිනාකම අඩුයි

Lantana චිත්‍රපටියට මේ නම දීලා තියෙන්නෙත් පිටතින් ලස්සන උනත් ඇතුළතින් කටු ගාලක් වූ ලන්ටානා වැනි ආක්‍රමණික වල් පැලයකින් අත්වෙන්න පුළුවන් හානියට සමාන කතා තේමාවක් ඇති නිසා. 



විවාහක ජෝඩු හතරක්- වැඩිහිටියන් අට දෙනෙක්ගේ විවිධ සහසම්බන්ධතා සහ ගැටුම් වටා ගෙතුණු චිත්‍රපටියක් මේක. මේ අතරින් එක් කාන්තාවකගේ අතුරුදහන් වීම නිසා මේ අයගේ සැඟවී තිබුණු හැඟීම්, ගනුදෙනු සහ එකිනෙකා ගැන තියෙන සැකයන් එළියට එනවා. ආදරය, විශ්වාසය, ද්‍රෝහීවීම්, බලාපොරොත්තු සුන්වීම් ආදී මිනිස් හැඟුමන් මනුෂ්‍ය සම්බන්ධතා වලදී ගන්නා විවිධ හැඩ මේ චිත්‍රපටියෙන් මනාව පෙන්වනවා. විශේෂයෙන්ම චිත්‍රපටියේ අවසාන විනාඩි කිහිපය මේ හැඟීම් ඇසට පෙනෙන තරමට වඩා ගැඹුරින් මුල් දුවා ඇති අයුරු පෙන්වන කොටසට මම කැමතියි. 

Andrew Bovell ගේ තිර පිටපතකට Ray Lawrence අධ්‍යක්ෂණය කළ Lantana චිත්‍රපටියට පසුබිම් වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයයි.  Anthony LaPaglia, Kerry Armstrong, Geoffrey Rush සහ Barbara Hershey වැනි ප්‍රකට ඕස්ට්‍රේලියානු නළු නිලියන් මෙහි චරිතවලට පණ දෙනවා. 

මේ චිත්‍රපටිය ඕස්ට්‍රේලියාවේ AFIA(Australian Film Institute Awards) හිදී හොඳම චිත්‍රපටියට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන හතක් දිනාගෙන ඇති අතර මීට අමතරව තවත් දෙස් විදෙස් සම්මාන රැසක්ද හිමිකරගෙන තියෙනවා. 



Lantana 2001 - 1hr 55min

June 16, 2022

මතකය, අමතකවීම සහ Apples චිත්‍රපටිය

මතකය කියන්නේ මම ටිකක් වැඩියෙන් අවධානය දෙන දෙයක්. මගේ වටපිට අය එක්ක සසඳද්දී මට වැඩියෙන් පරණ දේවල් විස්තර සහිතව මතක තියෙන නිසායි ඒ. පුංචි කාලේ සිද්ධ වුණු බොහොම සිල්ලර දේවල්, ඉස්කෝලේ යන කාලේ පරණ කතා, පන්තිවල හිටපු ඔක්කොම ළමයින්ගේ නම්, ඉස්කෝලේ ගුරුවරුන්ගේ නම් එහෙම මට හරි ලේසියෙන් ආයෙත් මතකෙට කැඳවාගන්න පුළුවන්. ඒ වගේම නම් ගම් උපන්දින, දුරකථන අංක එහෙමත් මට බොහෝ දුරට මතකයි.  මම රැකියාව කරන පාසැල් පුස්තකාලයේදී පොත් ගන්න එන දැරියන්ගේ නම් මම මතකයෙන් කියද්දී එයාලාගෙන් ලස්සන හිනාවක් මම ලබනවා. මොනවටද ඔය වගේ සිල්ලර දේවල් වලට මොළේ ඉඩකඩ නාස්ති කරගන්නේ කියලා තමයි හැමෝම මට කියන්නේ. ඒත් අවාසනාවකට මේ මතකය මගේ පාලනයෙන් පිට ඉබේ වෙන දෙයක්. මතක තියාගන්නවා නෙමෙයි, මතක හිටිනවා. ජීවිතේ සමහර රිදෙන, බර දේවල් අමතක කරන්න පුළුවන් නම් මමත් කැමතියි. ඒත් the ability to forget too, is a gift බව මට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙලා තියෙනවා. 

"I have a shocking memory, I remember everything"- Melinda Chapman මේක මටම කීව දෙයක් වගෙයි!

system overload වෙලා මේ ඔක්කොම මතක මට එක තත්පරයෙන් අමතක වෙන්න පුළුවන් බව මගේ මතකය ගැන විහිලු කරන අයට මම මතක් කරලා දෙන්නේ විහිලුවටමත් නෙමෙයි. 'we are who we are because of our memories' කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා මතකය මැකිලා ගියොත් 'මම' ත් අහෝසි වෙලා යයිද?

මතකය සහ අමතක වීම ගැන කියවෙන චිත්‍රපටියක් ගැන කියන්නයි මේ විස්තර ලිව්වේ. මේ ග්‍රීක චිත්‍රපටියක් වන Apples (Μήλα / Mila) මේ කතාවේදී ලෝකය පුරාම මිනිස්සුන් අතර ඇම්නීසියා හෙවත් අමතකවීමේ රෝගයේ වසංගතයක් පැතිරෙනවා. මීට ගොදුරුවන මැදිවියේ පිරිමියෙක් වන ආරිස් එහෙම අයට අලුතින් අනන්‍යතාවයක් ලබාදීමට කරන පර්යේෂණාත්මක වැඩසටහනකට සම්බන්ධ වෙනවා. මේ අතරතුරදී ඔහු මුහුණ පාන අත්දැකීම් මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙනවා. හාස්‍ය රසයත්, පාළුව ඉස්මතු කරන දුක්බර බවත් හරියටම එකතු කරලා හදලා තියෙන නිර්මාණයක් මේ. අන්තිමේදී ආරිස් එයාගේ පරණ ජීවිතයට යනවා. එයා ඒ ජීවිතයෙන් නික්මුණේ ඇත්තටම මතකය ගිලිහුණු නිසාද, ආයෙත් එතැනට ගියේ ඇත්තටම මතකය ආපිට ලැබුණු නිසාද කියන ප්‍රශ්නය අපේ හිතේ ඉතුරු කරන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා.



Directed by Christos Nikou
Written by Christos Nikou & Stavros Raptis
Produced by Iraklis Mavroeidis, Angelos Venetis, Aris Dagios, Nikos Smpiliris, Christos Nikou
Starring Aris Servetalis
Cinematography Bartosz Świniarski
Edited by Giorgos Zafeiris
Distributed by Feelgood Entertainment
Release date 2 September 2020



October 08, 2021

Capernaum (Movie)




Capernaum 2018දී තිරගත වුණු, Nadine Labaki අධ්‍යක්ෂණය කළ ලෙබනන්හි නිපදවුණු චිත්‍රපටියක්.  මේ බේරූට් නගරයේ ජීවත් වෙන දොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් වටා ගෙතුණු කතාවක්. සේන් තම දරුණු, හිංසාකාරී පවුලෙන් නික්මෙන්නේ ඒ කරදර දරාගන්න බැරිම තැන. ඉන්පස්සේ එයාට මුණගහෙනවා නීති විරෝධී විදිහට ඒ රටේ කුඩා දරුවෙක් එක්ක ජීවත්වෙන ඉතියෝපියානු කාන්තාවක්. විවිධාකාර කරදර බාධක වලට මුහුණ දෙන සේන් අන්තිමේදී දරුණු අපරාධයකට හිර භාරයට පත්වෙනවා. හිරේ ඉන්දැද්දී එයා පුදුම සහගත දෙයක් කරනවා. ඒ තමයි තමන්ව ලෝකයට ගෙනාවාට එයාගේ දෙමව්පියන්ට නඩු පවරන එක.


මේ චිත්‍රපටියෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ ලෝකය පුරාම ඇතිවන යුද්ධ සහ වෙනත් විවිධ ගැටුම්, වැඩිහිටියන්ගේ වැරදි තීරණ, අක්‍රමවත් පාලන ක්‍රම ආදී හැම දෙයක්ම නිසා වඩාත්ම පීඩාවට පත්වන්නේ කුඩා දරුවන් බව. Capernaum හි විශේෂත්වය තමයි ඒකෙ ප්‍රධාන චරිත රඟපාන වැඩි දෙනෙක් නළු නිලියන් නොවීම. සේන් ගේ චරිතය අති දක්ෂ විදිහට රඟපාන Zain Al Rafeea බේරූට් නගරයේ වාසය කළ සිරියානු සරණාගත දරුවෙක්. චිත්‍රපටියේ දෙබස් හැඩගැස්වීමට ඔහු සරණාගත කඳවුරු වල වාසය කිරීමේදී ලැබුණු අත්දැකීම් ඇසුරෙන් දායකත්වයත් ලබා දුන්නා ලු. මේ චිත්‍රපටියේ සේන් ඇතුළු අනෙත් නළු නිලියන්ගේ, විශේෂයෙන්ම ළමුන්ගේ- බොහොමත්ම තාත්වික රඟපෑම නරඹන්නා තුළ ඇතිකරන්නේ තදබල කම්පනයක්.

සේන් වැනි කුඩා දරුවන්ට සමාජයේ තමන්ගේ පැවත්ම වෙනුවෙන් වයසට වඩා වැඩියෙන් මුහුකුරා ගිය විදිහට හැසිරෙන්නට සිදුවීමත්, ඒ කටුක බව ඇතුළත දැල්වෙන මනුෂ්‍යත්වයේ කුඩා එළි තිතත්, නොසැලෙන ගුණයත් මේ චිත්‍රපටියෙන් අපූරු විදිහට නිරූපණය වෙනවා.

Capernaum චිත්‍රපටිය 2019දී Best Foreign Language Film එකට හිමි Academy සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම ඒක තවත් විවිධ සම්මාන විශාල ප්‍රමාණයකට නිර්දේශ වීමත්, සම්මාන රාශියක් හිමිකරගෙන තිබීමත් පුදුමයක් නෙමෙයි.

Capernaum චිත්‍රපටයේ නැරඹුවාට පස්සේ ඒකෙ එන සේන්, සහාර්, යෝනාස් වගේ දරුවන් ලෝකය පුරා කොයිතරම් විසිරිලා ඇතිද යන සිතිවිල්ල ගෙන එන්නේ ගැඹුරු රිදුමක්.  

May 27, 2020

Pihu



මම චිත්‍රපටි බලන්නේ බොහොම අඩුවෙන්. අඩුම කාලයක් ඇතුලත වැඩිම චිත්‍රපටි ගණනක් බැලුවේ මේ පහුගිය කාලේ කොරෝනා විවේකයේදී කියන්න පුළුවන්. ඒ බැලුව චිත්‍රපටි අතරින් මාව වැඩියෙන්ම කම්පනය කළේ අවුරුදු දෙකක විතර කෙල්ලෙක් කියන එක තමයි පුදුමම වැඩේ! චිත්‍රපටිය Pihu. 2018 දී Vinod Kapri තිර රචනය/අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියක්. පුංචි දැරියක් ගෙයක් ඇතුළේ අනපේක්ෂිත විදිහට හිර වෙලා ගතකරන වෙලාව ඇතුලෙදි වෙන සිදුවීම් මාලාවක් ඒකට පසුබිම් වෙලා තියෙන්නේ. Pihu ගේ චරිතය රඟපාන චූටි කෙල්ලගේ (Myra Vishwakarma) රඟපෑම ගැන කියන්න වචන නැහැ. ඒ චිත්‍රපටියේ එකම රඟපෑම ත් Pihu ගේ විතරයි. 

දරුවෙක් ඉන්න, එහෙම නැත්නම් එක පැයක් හරි දරුවෙක් බලාගත්ත කෙනෙකුට මේ චිත්‍රපටියේ වෙන්න තිබුණු අනතුරු දැකලා ඇඟේ ලේ වතුර නොවුණොත් ඒක පුදුමයක්. මම නම් තාමත් කම්පනයෙන්!

February 11, 2019

The Shape of Water



"Unable to perceive the shape of you, I find you all around me. Your presence fills my eyes with your love. It humbles my heart, for you are everywhere."


Narration at the end of the movie "The Shape of Water" 
Adapted works of Hakim Sanai


From the beginning of time, many definitions and interpretations have been laid out in an attempt to identify the universal phenomenon, love. But these infinite attempts at definition makes it clearer that there is no uniformity, no rules or laws, and most importantly no limits to where love can bloom.

The Shape of Water (2017) is a American film directed by Guillermo del Toro and written by del Toro and Vanessa Taylor. Sally Hawkins and Doug Jones star in the film bringing to life the desperation and uniqueness of love. Set in the American Cold War era this film has enough suspense and emotion to capture the undivided attention of viewers. 

The Shape of Water has won 4 Oscar awards. It has also accumulated 117 other wins and 322 nominations of various awards. That says it all, really. 


Rating: R (for sexual content, graphic nudity, violence and language)
Genre: Drama, Science Fiction & Fantasy, Romance
Runtime: 119 minutes
Studio: Fox Searchlight Pictures