March 27, 2019

'සහස් පියවර' මෙල්බර්න් පිය නැඟුම

 

මගේ 'සහස් පියවර' කෙටි කතා පොත ලංකාවේදී එළිදක්වා මාස දෙකක් පමණ ගත වුණා. ඒ කෙටි කාලය ඇතුලත මට ඒ ගැන ලැබුණු ප්‍රතිචාර අති විශාලයි. ලංකාවේ කියවන, ලියන සමාජයෙන් බැහැරව පිටරටක වෙසෙන මට පොත ගැන  මේතරම් විශාල ප්‍රතිචාරයක් ලැබේවි කියා මා හීනෙකින්වත් හිතුවේ නැහැ. පොත කියවා සතුටු වූ අය, කම්පනයට පත්වූ අය දැනටත් මට නිරතුරුව පණිවිඩ එවනවා. තම තමන් කැමති කෙටිකතා නම්කර ඒවාට කැමති හේතු කියා එවනවා. ඇතැම් පණිවිඩ දෑසට කඳුළු ගෙනෙන තරම් සංවේදීයි. ඉතින් 'සහස් පියවර' කෙටි කතා පොත හරහා පොත පතට ආදරය කරන අයගේ හදවතේ පුංචි සලකුණක් තබන්න හැකිවූවානම් ඒ මා ලබන ඉහලම දිනුමයි.

දශක එකහමාරක් පමණ කාලයක් තිස්සේ ලංකාවෙන් පිට වෙසෙන අපට, මේ වෙද්දී මෙරටත් නෑ හිත මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා . ඉතින් ලංකාවේ පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙන්න බැරිවුණු ඒ අයගෙන් ඒ ගැන පුංචි නෝක්කාඩු අහන්න නොලැබුණා නෙමෙයි. මේ ගැටලුව ඉබේම  විසඳුනේ  මෙල්බර්න් නගරයේ මා වෙසෙන ප්‍රදේශයේ පුස්තකාල සමූහයෙන් මා ලැබූ ආරාධනාවක් නිසා. Casey Cardinia Libraries සමූහය මාසිකව පවත්වන Authors Corner වැඩසටහනකට සහභාගී වන්නට මට පසුගියදාක ආරාධනයක් ලැබුණා. මගේ පොත ගැනත්, පොදුවේ ලිවීම ගැනත් කතාකරන්නටත්, මට කැමති අකාරයකට පුංචි එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කරන්නටත් ඔවුන් ඇරයුම් කළා.

ඉතින් 'සහස් පියවර' මෙල්බර්න් පියනැඟුම එළඹෙන්නේ අප්‍රේල් 7 ඉරිදා. එය පැවැත්වෙන්නේ පස්වරු  1.00- 3.30 දක්වා Bunjil Place පුස්තකාලයේ දෙවෙනි මහලේදී. ඔබත් මෙල්බර්න් වෙසෙන්නෙක් නම්, එදාට පුංචි විවේකයක් ලැබෙනවා නම්, සහස් පියවර ගැන කතාබහකට ඇවිත් යන්න එන්න!

3 comments: