Showing posts with label Mary Oliver. Show all posts
Showing posts with label Mary Oliver. Show all posts

July 09, 2026

පත්‍රය සහ වලාකුළ





තනිකම රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත ගොස්
ලෝකයේ ක්‍රමවත් බව ගැන
කල්පනා කර බලන්න

ඔබේ මහපට ඇඟිල්ලක් තරම් වූ
ලා කොළ පැහැති හිම පළගැටියකුගේ
ටැම්බුරීන් නාදයට සමාන හඬ වැනි
ඔබ මින් පෙර කිසිදිනක අත්නොදුටු දෙයක් විඳින්න

ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලෙකු
තම තටු වලින් දිය බිඳු විසුරුවන අයුරු
ඇසි පිය නොහෙලා බලන්න

ශෝකයට
ඔබේ සොයුරිය වන්නට ඉඩ දෙන්න
එක්කෝ ඇය වියැකී යනු ඇත
නැතිනම් පවතිනු ඇත
කනස්සල්ල නම් දර කොටයෙන්
හරිත පත්‍ර සේ
අනලස් ව ඉහලට මතුවෙන්න

මෙලොව සුන්දරත්වය සඳහාත්
ජීවිතයේ වගකීම් සඳහාත්
එක් ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවේ

සොහොන් මත මල් විසුරුවා
ඉවතට යන්න
ඔබගේ ප්‍රහර්ශයෙදී
කාරුණික වන්න
අපිළිවෙල වන්න

ඔබේ මනසේ දිලිසුම අභියස
නිරහංකාර වන්න
ස්පෘශ්‍ය දේටත්, ප්‍රීතිය ගෙනෙන දේටත්
ස්තුතිවන්ත වන්න

කුරුමිනියකු සමඟ,
සුළඟ සමඟ
ජීවත් වන්න

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of part 12 of the poem 'Flare', from the poetry collection 'The Leaf and the Cloud' by Mary Oliver

Digital art


May 07, 2026

බල්ලන්ගේ සොඳුරු බව




“මට හිතුණා වැලි තලාවේ වාඩිවෙලා
පුර හඳ පායන හැටි බලන්න
මොකද කියන්නේ පර්සි? යමුද?”

ඉතින් සඳ දුරින් නැඟෙමිනි, කෙතරම් සුන්දර ද?
ඒ දසුන මට මා ගැනම සිතන්නට පොළඹවයි
දෙව්ලොව ගැන කල්පනා කරන
අංශු මාත්‍රික ජීවියෙක්මි
සඳේ පරිපූර්ණ රූ සපුව ගැන
කෘතඥ වෙමි
ලෝකයට ප්‍රේම කිරීම
කෙතරම් පොහොසත් ක්‍රියාවක් ද!

මේ අතරතුර පර්සි
මගේ ගතට ඇල වී
මගේ මුව දෙස බලාගත්වනම සිටින්නේ
ඔහුගේ ලෝකයේ පරිපූර්ණ සඳ
මා යැයි සිතමින් මෙනි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the poem 'The Sweetness of Dogs' by Mary Oliver

Digital sketch

March 29, 2026

ආයුබෝවන් නරියෝ



ගසක සෙවනක
තුටින් වැතිර සිටියා ඌ

“කොහොමද නරියෝ?’ මා කීවා
පැන නොගොස්, මා දෙස බලා
“ආයුබෝවන් ඔබටත්” නරියා පිළිතුරු දුන්නා

“මගෙන් මිදී දිව යන්නේ නැද්ද?” මා ඇසුවා

“ඔබ අප ගැන කතාබහ කරන දේ මට ආරංචියි
ඔබ දන්නවා වෙන්න පුළුවන්
නොදන්නවා වෙන්නත් පුළුවන්
නරි අතර පවා ඒ පුවත් පැතිරෙනවා”

“මගේ මොන කතාබහ ද?”

“ඔබට එක්තරා කාන්තාවක් කීවාලු
නරි දඩයම නරින්ට යහපතක් ගෙන එන බව,
‘කොයි නරියාටද?’ කියා ඔබ ඇයගෙන් ඇසුවාලු”
ඔව් මට මතකයි, ඈ ඉන් කෝප වුණා

“ඉතින් මගේ පොතේ හැටියට, ඔබ හොඳ කෙනෙක්”

“ඔබේ පොත!
ඔබ උන්නේ මගේ පොතක,
ඒක තමයි අප අතර වෙනස”

“ඔව්, මම එකඟයි,
ඔබ බුහුටි වදනින් ජීවිතය ගැන කරදර වෙමින්,
ජීවිතයේ අරුත සොයමින්..
අප නම් ජීවත්වෙනවා පමණයි”

ආ!

“කාටවත් ජීවිතේ අවසන් තේරුම වටහා ගන්නට පුළුවන් ද?
ඉතින් උත්සාහ කරමින් මහන්සි වන්නේ ඇයි?
ඔබ කරදර වෙමින්, අප ජීවත් වෙමින්”

මෙසේ කියා,
වයෝවෘද්ධ බව නිසා
ඉතා සෙමෙන් නැගිටගත් ඌ
යන්නට ගියේය

Translation of the poem 'Goodbye Fox' by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Image - hand drawn fox, digitally enhanced

March 13, 2026

බර



මීටත් වඩා
ශෝකයට සමීප වීමට නම්
මා මියැදිය යුතු බව
මට සිතුණු කාලයක් විය

නමුත් මා තවත් ශෝකයට සමීප වූවත්
මියැදුණේ නැත
එකත් එකටම
මීට දෙවියන්ගේ ද,
මගේ මිතුරන්ගේ ද
දායකත්වයක් තිබෙන්නට ඇත

නමුත් මා සිටියේ පීඩිතවයි
කවියන් කියනා පරිදි
මගේ සිනහව අතුරුදන් ව තිබිණි

මගේ මිතුරු ඩැනියෙල්
(ඔහු සිංහයන් අතර පවා නිර්භීතයි)
මෙසේ කීවේ එවිටයි

“ඔබ උසුලන බර
පොත් හෝ ගඩොල් හෝ ශෝකය
මින් කවර එකක් වූවත්
වඩාත් වැදගත් වන්නේ
එය බිම තැබිය නොහැකි විට
ඔබ එය
වැළඳ ගන්නා ආකාරයයි,
සමබර කරගනිමින්
උසුලනා ආකාරයයි”

ඉතින් මම තව දුරටත් ඒ කලාව ප්‍රගුණ කළෙමි
ඔබ ඒ බව දුටුවේද?

විස්මිත මගේ මුවින්
ඉඳහිට සිනාවක් නික්මෙනු
ඔබට ඇසී ඇත්ද?

සුළඟට හසු වූ රෝස මල්,
සැඩ රළ මත මුහුදු පාත්තයන්,
ආපිට නොලැබෙන ප්‍රේමයන්
වැනි
මේ ලෝකයේ කරුණාවන්ත
එහෙත්
ඇතැම්විට කරදරයට ලක් ව ඇති දේ දෙස
මා නතර වී
ප්‍රසාද බැල්මෙන් බලනු ඔබ දැක ඇත්ද?

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Heavy' by Mary Oliver


Digital art

February 20, 2026

නොනිමි නරි කතා


ඉතින් ඒ නරියා මොන වගේද?
සුරංගනා කතාවක, රහස් ආයිත්තම් ඇඟ ලූ කුමාරයෙක් වගේ

ඌ මොනවාද හොයමින් හිටියේ?
තරු අතරින් තණබිමට වැටුණු හාවෙක්ව

ඌ හැඩට කොණ්ඩය පීරලා කුමාරයෙක් වගේ ඔටුන්නක් හිසලා හිටියාද?
නෑ, ඌ රළුයි, උරුලෑ ගඳකුත් තිබුණා, හැබැයි හරිම ලස්සනයි
අපිට ලස්සන අවතක්සේරු කරන්න බැහැනේ නේද?


ඉතින් ඔයා කාර් එක නැවැත්තුවා ද?
නෑ, මම යමින් උන් ගමන දිගටම ගියා, මට ඒ ගමන ගැන මතක නැහැ

එහෙනම් මොනවාද මතක?
නරියා ගැන, නරියා ගැන!

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'More of the Unfinishable Fox Story' by Mary Oliver

පසු සටහන- මම නරින්ට බොහොම කැමති කෙනෙක්නෙ. මෙල්බර්න් නගරයේ නරි හිටියාට අපිට උන්ව දකින්න වෙන්නේ පාර තොටේ වාහන වලට හැපිලා මැරිලා ඉන්දැද්දී තමයි. මෙයාලගේ මායාමය ලස්සන නිසා මම නිතරම නරි අඳිනවාත් එක්ක. මගේ ප්‍රියතම කිවිඳියක් වන Mary Oliverත් මං වගේම නරි ෆෑන් කෙනෙක් බව මම දැනගත්තේ මේ කවිය දැක්කාම!
මේක තමයි මේකේ මම කැමතිම කෑල්ල-

//එහෙනම් මොනවාද මතක? නරියා ගැන, නරියා ගැන!// 😅


image of fox sketched by hand

 

January 20, 2026

ජීවත් වීමේ ක්‍රමය




මා ජීවත් විය යුත්තේ කෙසේදැයි
මම පර්සිගෙන් විමසමි

ආදරය, ආදරය, ආදරය පර්සි කියයි
අනික
දිලිසෙන වෙරළේ, සුන්බුන් අතරින් සහ දූවිල්ල මැදින්
නිතරම ඉක්මන් ගමනින් යෑම
ඉනික්බිති නිදා ගැනීම

ඔබගේ සිරුර
උණුසුමටත්, ගැහෙන හදටත් බාර දීම
තව,
විශ්වාස කිරීම

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem I Ask Percy How I Should Live My Life by Mary Oliver

Digital art

December 24, 2025

සිහිනය



මා තුළ මෙවැනි සිහිනයක් ඇත
තුරුවැලින් වටවූ නිහඬ නිවසක්

කරදරකාරී නගර වලින් එපිට
කම්හල්, පාසල්
සහ දුක් අඳෝනා වලින් ඔබ්බෙහි
හරිත පැහැ අක්කර කීපයක්

එතැන,
මට විවේකීව ගෙවන්නට
වුවමනාවටත් වඩා කාලය තිබෙනු ඇත
මගේ තනියට
දොළ පාරක් සහ කුරුල්ලන් පමණි

එහිදී
මගේ දිවිය තුළින්
වනයේ සිලෝ හඬ මවන්නට
වරමක් ලැබෙනු ඇත

ඉනික්බිති මට කල්පනා විය
මරණයද මෙවැන්නකි
එයද,
හුරුපුරුදු හැම තැනකින්ම
මඳ දුරක් ඔබ්බෙනි

Translation of the poem A Dream of Trees by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital art

November 04, 2025

බෙන්ජමින් ට



නොදන්නා තැනක සිට මා වෙත පැමිණි බෙන්ජමින් ට

ඉතින් මා කුමක් කරම් ද?
මා කොස්සක් අතට ගත් විට
ඌ කාමරයෙන් පිටවෙයි

උදුන දැල්වීමට දර සකසද්දී
ඌ ගෙවත්තට පලා යයි

ඉනික්බිති, ඌ නැවත පැමිණි විට
අපි වරුවක් තිස්සේ වැළඳගනිමු

තැති ගැන්ම නිසා උත්සන්න වුණු
බෙන්ජමින් ගේ හද ගැහෙන වේගය
කෙමෙන් අඩුවනු මට දැනේ

මම උගේ උරහිස් පිරිමැද
දෙපා සිඹිමි
දිගු කන් සුරතල් කරමි

බෙනී- මම කියමි
බය වෙන්න එපා.
මමත් දන්නවා …
අලුත් ජීවිතය පසුපස්සෙන්
පරණ ජීවිතය හොල්මන් කරන හැටි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem "Benjamin, Who Came From  Who Knows Where" By Mary Oliver


Digital art

September 05, 2025

කල්පනා කිරීම

මා ඇඳෙන් බැස ගොස්
විසිත්ත කාමරයේ සැප පුටුවක හිඳ
බැලූ බැල්මට
කිසි දෙයක් නොකරමින් සිටිද්දී
පර්සි ට පැහැදිලි කිරීමක් කළ යුතු විය

“මා මේ කරන්නේ කල්පනා කිරීමයි
ගහ කොළ, මල් හෝ බල්ලන් මෙන්
මිනිසුන්-
සම්පූර්ණයෙන්ම
මිහිකතගේ දරුවන් නොවන බැවින්
එය ඔවුන් සාමාන්‍යයෙන් කරන දෙයකි”

පර්සිගේ දෑසේ
මේ ක්‍රියාව ගැන ප්‍රශ්නාර්ථයක් විය

‘හරි, ඔයා කියන දෙයක් තමයි
ඇත්තම කියනවා නම්
මම නම් ඊට වඩා කැමතියි සිප ගැනීමට’

එසේ කියා ඌ
මා අසල හරි බරි ගැසී
තම කැරළි ලොම් සහිත හිස නවා
මලක් සේ සුන්දරව නිදන්නට විය

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Percy 2002-2009' by Mary Oliver


Digital art




August 20, 2025

ප්‍රේමය ගැන කියන දේ




“ප්‍රේමය සම්බන්ධ කාරණා වලදී 
මම නම් ඉතා ප්‍රවේසම් වෙමි,
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”

මෙසේ කියන්නන් නොව

තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්

ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver

Digital art

July 30, 2025

පර්සි සහ පොත්

මා පොත් කියවීම ගැන
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි

‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’

‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’

‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’

Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital art




June 28, 2025

වැසි දිනක දී



මෝනිං ග්ලෝරි මල් ගාලේ
ඇදී යන ගොළුබෙල්ලන්
රෝස පැහැති හිම යානා පදවන්නන් මෙනි
රාස්බෙරි පඳුරේ
රත් පැහැ ඇඟිලි වන් එල මැද
මකුළුවෙකු තද නින්දේ ය
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

වැස්ස සෙමෙන් ඇද හැලේ
ඒ මැද පුංචි කුරුල්ලන් පමණක් නොව
කුරුමිණියන් පවා ප්‍රීතියෙනි
හරිත පැහැ පත්‍ර
වැසි දිය සියල්ල උරාගනිමිනි
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

දෙබෙරෙකු,
තම කඩදාසි මාලිගාවේ පිල උඩ සිටී
නිල් පැහැති කෙකින්න වළාකුලකින් පාව එමිනි
අඳුරු දියෙන් ඉහළට පනින මාළුන්ගේ 
පෙනෙන්නේ මුව සහ දේදුන්නක් පමණි

අද උදෑසන
විලේ වූ නෙලුම් මල්
මොනේ ගේ චිත්‍රයේ නෙලුම් මල් වලට නොදෙවෙනි විය
දෙනියේ ගැවසෙන කුඩා දරුවන්
ඉන් ඉවතට කැඳවාගෙන විත්
කීකරු ලෙස, ප්‍රයෝජනවත් ලෙස
ශිෂ්ටත්වයේ අකුරු වෙත යොමු කරන්නට
මට තවදුරටත් උවමනා නැත
ඔවුන් තෘණ පැලයකට වඩා උසස් යැයි උගන්වන්නට
මට අවශ්‍ය නැත
(ඔවුන් ඊට වඩා උසස් නැත)

Translation of the poem 'Early Morning, My Birthday' by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Digital art


May 17, 2025

එක්තරා වර්ගයක උමතුවක් අගය කිරීමකි



මගේ අත්තම්මා සතුව තිබුණේ 
සිහිකල්පනාවෙන් අඩක් පමණි.
ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි   

සීතල සැන්දෑවරුවල 
නිවසේ පිල මත 
ඈ පත්තර පිටු අතුරන්නීය 
ඒ, ගෙවත්තේ කුහුඹුවන්ට
එහි යටට රිංගා 
බ්ලැන්කට්ටුවක් යටදී මෙන් 
උණුසුම් වීම පිණිසයි 

කාලයේ අකුණු සර වැදුණු පසු,
ඉතිරි වී ඇති සිහියෙන් 
මටත් 
ඈ වැනිම වන්නට ඇත්නම්
ඒ තරමටම ආදරණීය වන්නට හැකිනම් ,
ඒ මගේ පැතුමයි 

Translation of the poem 'In Praise of Craziness, of a Certain Kind'
by Mary Oliver 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital Art


April 21, 2025

පරිසරයේ සෙනෙහෙවත් බව කවියේ සෞන්දර්යයට නඟන මේරි ඔලිවර්



කවියක් යනු සියුම් ලෙස මිනිස් සන්තානය ස්පර්ශ කළ හැකි බලගතු මායා යෂ්ටියක් බැව් කව් රස විඳින්නෝ දනිති. මේවා අතුරින් පරිසරයෙන් උකහා ගත් සෞන්දර්යයද, නැණවත්කම්ද එකට කැටි කර ගෙන සරල භාෂාවෙන් ලියවුණු කවි අප ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මේරි ඔලිවර්ගේ ‘ඩිවෝශන්ස්’ කවි එකතුව මට නම් මෙවැනි රස පිරි ආකරයක් හා සමානය.

වර්ෂ 1935දී අමෙරිකාවේ ක්ලේව්ලන්ඩ් ප්‍රදේශයේ උපන් මේරි ඔලිවර් කාව්‍යකරණයට පිවිස ඇත්තේ දාහතර වැනි වියේදීය. කටුක ළමාවියක් ගෙවා ඇති ඈ කවි ලිවීමට පෙලඹී ඇත්තේ සිය තනිකම දුරු කර ගැනීම සඳහාය. යොවුන් වයසේදී මෙන්ම පසුකාලීනවද මේරි ඔලිවර් තම කවි සඳහා නිමිති සපයා ගෙන ඇත්තේ අවට පරිසරයෙනි. තම නිවෙස අසල ඇවිදින්න යද්දී ඇස ගැටුණු ගහකොළ, පක්ෂීන්, පොකුණු සහ ඒවායේ නිවසන ජලජ සතුන්, තෘණ මල් ආදිය ඇයගේ හැම කවියකම පාහේ හිස ඔසවනු දක්නට හැකිය.

නිවෙසින් නික්ම
විවිධ දෑ බලන්න යමි

දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇයගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස

ඉහළට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව

බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය

බලා සිටිමි
නිසල දිය මත
තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු
(‘සමර් පොයම්’)

‘ඩිවෝශන්ස්’ කවි එකතුව දශක පහක් තිස්සේ මේරි ඔලිවර් ලියූ පැදි අතුරින් ඈ විසින්ම තෝරා ගත් කවිවලින් සමන්විතය. මෙහි කවි දෙසියයකට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර, ඊට ඈ 1963දී ලියූ කවි මෙන්ම 2015දී කළ නිර්මාණද ඇතුළත්ය. එකම කිවිඳියක මේ තරම් කාල පරාසයකදී කළ නිර්මාණ එකතුවක් රස විඳිද්දී පාඨකයා ඇයගේ ජීවන දෘෂ්ටියේ භක්තිවන්තයකු බවට පත් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. මේරි ඔලිවර් සියලු මනුෂ්‍ය හැඟීම් පරිසරයේ කෝණයෙන් දකින්නියකි. ඇයට අනුව නම් මිනිසුන් සහ සතුන් වෙන් කර අඳින ඉර අහසත් පොළොවත් වෙන් කරන කඩයිම මෙන් අස්පෘශ්‍ය රේඛාවකි.

ඒ රතු කුරුල්ලා
වෙන කිසිවකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනි ලමින්
මුළු සීත කාලය පුරා පැමිණීම ගැන
මම කෘතඥ වෙමි
(‘රෙඩ් බර්ඩ්’ කවියේ කොටසක්)

මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවිද?
ගංගා නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?

අන්තිමේදී මේ වද වීම් කිසිවකින්
කිසිම පලක් නැති බව වැටහුණු නිසා
මම එය අත්හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි
(‘අයි වොරීඩ්’ කවියේ කොටසක්)

ඩිවෝශන්ස් කෘතියේ කවි අතර තනිකම, ප්‍රතික්ෂේප වීම සහ මරණය යන තේමා ඔස්සේ කවි ද තිබුණත් එහි පොදු තේමාව ලෙස ඈ ජීවිතය කෙරෙහි දක්වන විස්මයත්, කෘතඥ බවත් පැහැදිලිය. ඉතා සරල දේ තුළින් දෙවියන් දකින ඈ ඒ දෘෂ්ටිය පාඨකයා තුළද ඇති කරන්නට වැර දරයි.

දෙවියන්ගෙන් අනන්‍යතා සහතික සොයමින්
මිනිසුන් වෙහෙසෙන්නේ ඇයි?
අඳුර බිඳී අරුණලු නැඟීමම ඊට ප්‍රමාණවත් නොවේද?
(‘අයි වේක් ක්ලෝස් ටු මෝනින්’ කවියේ කොටසක්)

අවට පරිසරයේ සෙනෙහෙවත් බවත්, කවියේ සෞන්දර්යයත් බොහෝ අවස්ථාවලදී තමාගේ දිවි බේරා දුන් බව ඈ තම නිර්මාණ ගැන කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ජීවිතයේ නේකවිධ කඩාවැටීම් හමුවේ නොවැටී ඉන්නට ඈ පන්නරය ලබා ඇත්තේ මේ අරමුණු දෙකෙනි.

ශෝකය රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත යෑම ගැන
කල්පනා කර බලන්න
මින් පෙර කිසි දිනක නොදුටු දෙයක් දකින්න

ඔබේ මහපටැඟිල්ලක් තරම් වූ
හිම පළඟැටියකුගේ
ටැම්බරීන් නාදයක් වැනි හඬ අසන්න

ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලකු
තම තටුවලින් දිය බිඳු විසුරුවන යුරු බලන්න
(‘ද ලීෆ් ඇන්ඩ් ද ක්ලවුඩ්’ කවියේ කොටසක්)

1984දී ‘පුලිට්සර්’ සම්මානයත්, 1992දී ‘නැෂනල් බුක් අවෝඩ්’ සම්මානයත් ඇතුළු ඇගයීම් රාශියක් දිනා ඇති මේරි ඔලිවර්, අමෙරිකාවේ වැඩිම කවි පොත් අලෙවියක් ඇති කිවිඳිය ලෙස නම් දරා සිටින්නීය. එරට අද්‍යතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන ලකුණක් ඉතිරි කළ කිවිඳිය 2019 වසරේදී ජීවිතයෙන් සමු ගත්තද, පරිසරය හා ඇය සතුව පැවති ගැඹුරු බැඳීමත්, පරම්පරා කිහිපයක පුළුල් රසික පිරිසකගේ හද බැඳ ගත් සරල කාව්‍ය රටාවත් තවත් බොහෝ කාලයක් පාඨක සිත් තුළ නොනැසී පවතිනු ඇත.

-හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
20.04.2025


පසු සටහන

දිනමිණ පුවත්පතේ කවි පිටුවේ 'විදෙස් කවිය' කියන විශේෂාංගයට මම අඛණ්ඩ ව පරිවර්තිත කවියක් යවපු යුගයක් තිබුණා. හැම සතියටම එක බැගින් අවුරුදු හතක විතර කාලයක් මම මෙහෙම කවි යැව්වේ ඒ පිටුවේ කතෘ, මගේ මිතුරියක් වන කාංචනා අමිලානිගේ ඉල්ලීමට. ඇත්තටම නම් සතිය ගානේ සිංහලට ගැලපෙන, පුවත්පතේ වචන සීමාවන්ට ගැලපෙන ඉංග්‍රීසි කවියක් හොයන එක ටිකක් අමාරු වැඩක්. ඒත් මම ඒ මුළු කාලයම ඒ කටයුත්ත බොහොම සතුටින් කළා. ගණන් කර කියන්න බැරි තරමට විදෙස් කවි කියවමින්, ඉන් සමහරක් පරිවර්තනය කරමින් මම ගිය ඒ නිර්මාණ චාරිකාව මගේ ජීවිතයත් පොහොසත් කළා වගේම වර්ණවත් කළා කියලා කියන්න පුළුවන්. මේ ගමනේදී මට නිතරම මුණගැහුණු කෙනෙක් Mary Oliver. ඇගේ කවි මම සෑහෙන්න ප්‍රමාණයක් පරිවර්තනය කරලා ඇති. ඒ වගේම අවට ලෝකයේ සුන්දරත්වයෙන්, සාමයෙන් ටිකක් මගේ ලෝකයටත් එකතු කරගන්න ඒවා හේතු වෙන්න ඇති.


අන්තර්ජාලයෙන් Mary Oliver. ගේ කවි කියෙව්වත් මුලදී ඇගේ පොතක් මගේ සතුව තිබුණේ නැහැ, අනෙක ඈ ලියා ඇති කවි පොත් වලින් වැඩි ප්‍රමාණයක් දැන් මුද්‍රණයේත් නැහැ. ඔය අතරේ දවසක මට මෙල්බර්න් පොත් සාප්පුවකින් gift card එකක් ලැබුණා. පුස්තකාලයක රැකියාව කරන මම ඊට අමතරව පොත් ලක්ෂ ගණනක් තියෙන මෙල්බර්න් නගරයේ පුස්තකාල ජාලයක සාමාජිකාවක්. ඒ නිසා මට මෙරට දී පොතක් මිළදී ගන්න ඕන වෙන්නේ හරිම කළාතුරකින්. (ලංකාවෙන් නම් සිංහල පොත් තොග පිටින් අරගෙන එන එක වෙනමම කතාවක්) අනෙක, පොතකට ආදරේ වුණත් ඒ පොත මගේ ළඟ තිබිය යුතුයි කියලා මගේ අදහසක් නැහැ. ඒ නිසා මේ gift card එකෙන් මිළදී ගන්න ඕන පොත ගැන මම සෑහෙන්න කල්පනා කළා. අන්තිමේදී මගේ මතකෙට ආවේ Mary Oliver. ඇගේ කවි නම් ළඟ තියාගෙන ආයෙත් ආයෙත් කියවන්න පුළුවන් බව මට මතක් වුණා. ඇගේ පොත් ගැන හොයද්දි මට Devotions පොත ගැන දැනගන්න ලැබුණා. ඒ දශක ගාණක් තිස්සේ ඈ ලියූ කවි අතරින් ඈ ම තේරූ කවි දෙසීයක එකතුවක්! ඉතින් මටම තෑග්ගක් හැටියට මීට වැඩිය ගැලපෙන වෙන මොනවාද? මම Devotions පොතේ අයිතිකාරිය වුණේ එහෙමයි.

Devotions පොත නිතරම අත පාතින් තියාගෙන, අහඹුව දිග ඇරලා, ඒ පිටුවේ තියෙන කවිය කියවන්න මම කැමතියි. ඒ හැම වතාවකම ජීවිතය ගැන, ලෝකය ගැන හිතේ මතක හිටින සලකුණක් ඉතිරි කරන්න Mary Oliver කිවිඳිය සමත් .

March 16, 2025

එකම ලෝකයක්

අද උදෑසන
අලංකාර ශ්වේත පැහැ කෙකින්න
ජල තලයට ඉහළින් පාව ගියාය

ඉනික්බිති ඈ
අප හැම අයිති මේ ලෝකයට ඉහළින් ඇති
නිල් අහසේ නොපෙනී සැඟවිණි

මේ ලොව හැම දෙයක්ම
කෙදිනක හෝ
අන් හැම දේකම කොටස් වේ

ඒ සිතිවිල්ල නිසා
මොහොතකට
මා ද ලස්සන බව මට දැනුණි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of 'Poem of the One World' by Mary Oliver

Digital art