Showing posts with label ශනිදා දහය. Show all posts
Showing posts with label ශනිදා දහය. Show all posts

November 05, 2023

ඉසබෙල් ආච්චිගේ හීනය

ඉසබෙල් ආච්චිව මට මුණගැහුණේ බොහොම අහම්බෙන්. අඩි හතරහමාරක් වගේ උස එයා ටිකක් කුදු වෙලා හිටියේ. බැලූ බැල්මට වයස නම් අවුරුදු එකසියපනහක් තරම් විතර පෙනුණා- ඇත්තටම නම් අනූ පහක් විතර ඇති. එයාගේ සුදුම සුදු බොකුටු කොන්ඩේ කොටට කපලා තිබුණා, ඇස් දෙක හිනාවෙන් දිලිසුණා.

ඔය වගේ අතරමඟ දි මුණගැහෙන අහඹු චරිත එක්ක කතාවක් දාගෙන ඉන්න මම කැමතියි. කතා අතරේ මම ඉන්දියාවෙන්ද කියලා ඉසබෙල් ආච්චි ඇහුවා. දැන් යුගේ නම් මෙහෙ කවුරුවත් කාගෙන්වත් ආව රට අහන්නේ නැහැ හිත රිදෙයි කියලා. ඒත් ඉසබෙල් ආච්චි ඊට කලින් යුගේ මගේ හිතේ! මම ලංකාවෙන් බව කිව්වාම  එයා ආවේ ඔස්ට්‍රියාවෙන් බව එයා කිව්වා. ඒ වෙද්දීත් එයාට තිබුණු තද accent එක කොහේ එකක්ද කියලා මම කල්පනා කරමින් හිටියේ. ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු බර ගානක් ගත වුනත් එයාගේ accent එක නැතිවුණේ නැති බව එයා කිව්වා.

I've lost everything else from Austria, but not my accent! එයා එහෙම කිව්වේ හිනාවෙමින් උනත් ඒක ටිකක් දුක කතාවක් බව මට තේරුණා.

ඔහොම සාමීචි කතා කර කර ඉන්දැද්දී ඉසබෙල් ආච්චි මගේ රස්සාව ඇහුවා. ඉන්පස්සේ එයා අවුරුදු හතළිස්පහක් නර්ස් කෙනෙක් හැටියට මේ රටේ වැඩ කළා කිව්වා.

"Then you must have been very busy" මම කිව්වා

"Yes, but I never loved nursing. My passion was always in embalming" ඉසබෙල් ආච්චි උත්තර දුන්නා.

මගේ සාමීචි mode එක එකපාරටම නැවතුණා. ඒ මොකක්ද ඒ පැෂන් එක?? මම හිතුවා එකත් එකටම මට ඉසබෙල් ආච්චි කීව දේ ඇහුනේ වැරදියට කියලා.

මම පොඩ්ඩක් අවුල් වුණා කියලා ඉසබෙල් ආච්චි දැක්කා.

"Do you know what embalming is?"එයා ඇහුවා.

"I do know about embalming, but I am not sure if we are talking about the same thing" මම සැකෙන් වගේ කිව්වා.

"dead people, dead people!"එයා බොහොම උනන්දුවෙන් කිව්වා. ඒක කියද්දී එයාගේ ඇස් තව ටිකක් දිලිසුණා.

මේ අපබ්‍රංසේ අහලා ඉබේ ඇරුණු මගේ කට වහගන්නත් මට අමතක වුණා.

තමන් මතක ඇති කාලෙක ඉඳන් embalming ගැන බොහොම උනන්දුවෙන් හිටිය බව ඉසබෙල් ආච්චි මට විස්තර කළා. එයා ඉස්සර හීන මැව්වේ රස්සාවක් හැටියට embalming කරන්නලු. ඒත් ඒ කාලේ ඒ රස්සාව ඉගෙන ගන්න නම් මාස හයක් embalmer කෙනෙක් යටතේ පඩි නැතිව වැඩ කරන්න නියමිත වෙලා තිබුණා ලු. ඒක මාස හයක් පඩි නොලබා ජීවත් වෙන්න අමාරු කාලයක් නිසා අකමැත්තෙන් උනත් ඉසබෙල් ආච්චි හෙදි වෘත්තිය තෝරාගත්ත බව මට කීවේ හිතේ අමාරුවෙන්. එතකොට නම් ඉගෙන ගන්න අතෙරේම පඩි ලබන හෙද රස්සාවක් කරන්න ඉඩ ලැබුණා ලු.

මේ විස්තරය අහගෙන හිටියාට පස්සෙත් මම හිටියේ shock වෙලා. embalming වගේ දෙයක් කරන්න හීන මවන, එහෙම රස්සාවක් තමන්ගේ dream job එක වුණු ගෑනු කෙනෙක් තියා පිරිමි කෙනෙක් ගැනවත් මම කවදාවත් අහලා තිබුණේ නැහැ. අනික දැන් කාලේ වගේ නෙමෙයි, ඉසබෙල් ආච්චිට ඒ හීනේ තිබිලා තියෙන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර!

මගේ පුදුමේ ගැන වගක් නැතිව ඉසබෙල් ආච්චි දිගටම විස්තර කියමින් හිටියා.

එයා නර්ස් කෙනෙක් හැටියට වැඩ කළේ වැඩිහිටි සාත්තු නිවාසයකලු. ඒවායේ ඉතින් නිතරම වයසක උදවිය මැරෙනවානේ. එහෙම මැරුනාම "අනේ මට මෙයාව embalm කරන්න තිබුණා නම්!" කියලා එයාට හැමතිස්සෙම හිතුනා කියලා ඉසබෙල් ආච්චි කිව්වේ කැකිරි පලමින්. ඒක අහලා මටත් හොඳටම හිනා.

තාම උනත් තමන්ගේ හීනේට යන්න පරක්කු නැහැ කියලා මම ඉසබෙල් ආච්චිට කිව්වේ විහිලුවට වගේ. 

"Well at this rate I could do my own embalm soon!" කියලා එයාත් ඒ හිනාවට එකතු වුණා.

ඉතින් මිනිස්සුන්ගේ හීන කියන ජාති ගැන අපට කවදාවත් පිටින් බලලා තක්සේරු කරන්න බැරි බව ඉසබෙල් ආච්චි නිසා මම අද මුල ඉඳන් ඉගෙන ගත්තා!


 ඉසබෙල් ආච්චිගේ පින්තූරේ අන්දවා ගත්තේ Canva AI tool එකෙන්. 



October 29, 2023

Anandi Gopal- Movie Review

 


Anandi Gopal (2019)

Director: Sameer Vidwans
Writer: Karan Shrikant Sharma
Stars: Bhagyashree MilindLalit PrabhakarSonia Albizuri

ආනන්දී ගෝපාල් කියන්නේ ඉන්දියාවෙන් බිහි වූ පලවෙනි බටහිර වෛද්‍ය විද්‍යා වෛද්‍යවරිය. 1865 දී උපන් ඇය ඉතාම ලාබාල වයසේදී ඇයගේ වයසට වඩා විසි වසරක් තරම් වයසින් වැඩි වැන්දඹු තරුණයෙක් සමඟ විවාහ කරනු ලබනවා. ගෝපාල් රාඕ ජෝෂි නම් ඔහුගේ රැකියාව තැපැල් කන්තෝරුවක ලිපිකාර තනතුරක්. නමුත් පොත්පත් කියවීමත් අධ්‍යාපනය ලැබීමත් ගැන ඉමහත් උනන්දුවක් දක්වන ඔහු තම ලාබාල බිරිඳ ට අධ්‍යාපනය ලබාදෙන්න වෙහෙසෙනවා. මේ යුගයේ ඉන්දියාවේ සමාජ පසුබිම ඔහුගේ මේ අරමුණට එරෙහිව බලවත් ව නැගී සිටියත් ගෝපාල් මින් පසු බාන්නේ නැහැ. 

සැමියාගේ තදබල උනන්දුවත් සහයෝගයත් නිසා ආනන්දී අධ්‍යාපනය ලැබීමටත්, ඉන් නොනැවතී වෛද්‍ය විද්‍යාව හැදෑරීමටත් යොමුවෙනවා. විවිධ බාධක මැද ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වාසනාව ලබන  ඇය 1886 දී නැවත ඉන්දියාවට පැමිණ එහි ප්‍රධාන රෝහලක කාන්තා වාට්ටුව භාර වෛද්‍යවරිය ලෙස පත්වීමක් ලබනවා. 

විදේශයක අධ්‍යාපනය ලැබීමටත්, බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලැබීමටත් වරම් ලද පළමු ඉන්දියානු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙන ආනන්දී ගෝපාල් ගැන සැකසුණු මේ චරිතාපදාන චිත්‍රපටිය අගය කළ යුතුයි. අතීත භාරතයේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිබුණු විවිධ වැට කඩොලු ගැනත් තනි මිනිසෙකුගේ අධිෂ්ඨානයෙන් ඒ බාධක බිඳ ජයගැනීමට කාන්තාවකට හැකි වූ අයුරුත් මනාව ඉන් පෙන්නුම් කෙරෙනවා. 

October 22, 2023

සාරි කතා (ශනිදා දහයට)

මේක ශනිදාවට සාරි කතාවක්.

මම මුලින්ම සාරි ඇන්දේ ඉස්කෝලේ සෝෂල් එකට. එතකොට වයස දහ අටක් විතර ඇති. ඒකාලේ fashion එක two colour cotton සාරි සහ cowl හැට්ට අත. නුහුරට සාරි ඇඳන් පේළියට හිටගෙන ගත්ත ඒ කාලේ පින්තුර මතක ඇතිව දැන් හංගලා තියෙන්නේ .

ඊටපස්සේ කැම්පස් යද්දී අපේ බෝඩිමේ රූමියෙක් හදිසියේම සෙකන්ඩ් ඉයර් එකේදී බැන්ද නිසා ආයෙත් සාරි අඳින්න වුණා. ඒ කාලේ ඉතින් හෝ ගාලා සාරි දෙකක් වගේ තමයි සන්තකේට තිබ්බේ. ඒ මගුල් ගෙදර ගැන මතක තියෙන්නේ දවසම සාරිය නොවැටී තබාගැනීමේ දුෂ්කර ක්‍රියාව. එදා ගත්ත පින්තූරත් අර කලින් පින්තූර එක්කම හංගලා තියෙනවා. අක්කලාගේ මඟුල් ගෙවල් වලට ඇන්ද නිසා ඊටපස්සේ සාරි ඇඳීමේ පොඩි හැකියාවක් මතු වුණා. මේ කාලේ වෙද්දී වැඩ දාපු ටිෂූ සාරි කරලියට ආව බව මතකයි. මේවාට ඇන්දේ වාටිවලට පබළු ඇල්ලුව හැට්ට. ඒ කාලේ බොහොම කෙට්ටුවට හිටිය අපි වගේ ගෑනු ළමයි අතරේ මේ ටිෂූ සාරි ජනප්‍රිය වුණේ ඒවා ඇන්දාම 'මහතට පේන' නිසා. එහෙම අරමුණකින් ඇඳුමක් ඇන්ද කාලයක් ගැන දැන් නම් හිතාගන්නත් බැහැ!

convocation එකට අඳින්න අම්මා අරන් දුන්න සාරිය තාම මගේ ළඟ තියෙනවා. ඒකත් beige and jade cotton සාරියක්.  ඒ කාලේ වෙද්දී යන්තම් සාරි දෙකක් තුනක් අයිතිය තිබ්බ මට බොහොම ඉක්මණින් ජීවිතේම සාරි බවට පත්වුණේ නොහිතුව විදිහට. කැම්පස් එකෙන් පිටවෙලා ටික කලකින් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන ජාලයක කොළඹට කිට්ටු ශාඛාවක මට රස්සාවක් ලැබුණා. මේ සතියේ ඉන්ටවීව් තිබිලා ලබන සතියේ ඉඳන් 'සාරි ඇඳන්' වැඩට එන්න කියපු රස්සාවක් ඒක. ඒ නිසා මට ඒ වෙනුවෙන් එකසැරේ සාරි දහයක් දොළහක් ගන්න සිද්ධ වුණා. ඒ දවස්වල අම්මා දිවා රෑ මට හැට්ට මැහුව බව මතකයි. ඉන්පස්සේ එළඹුණේ රෑට සාරි මදින, පාන්දර සාරි අඳින, සති අන්තවල සාරි හෝදන, වත්ත පුරා රෙදි වැල් බැඳලා සාරි වේලන කාලයක්. ඒ කාලෙත් මම ඇන්දේ cotton සහ handloom සාරි නිසා මේ හැම වැඩක්ම සංසාරේ තරම් දිගයි. ඒ තනිකඩ කාලේ- රස්සාවට යනවා එනවා ඇරෙන්න ගෙදර වෙන ලොකු වැඩක් නොතිබුණු නිසා මිසක් දැන් කාලෙක නම් ඔහොම දිග වැඩ කරන්න බැරිවෙයි.

මේ රස්සාව කරන කාලේ සාරි සම්බන්ධ මතක හිටින දේවල් දෙකක් වුණා. දෙකම factory visit අතරේදී. පළවෙනි එක factory floor එකක් හරහා යද්දී බිම තිබුණු grate එකකට මගේ සෙරෙප්පු අඩියක් අහුවෙලා කැඩිලා ගිය එක. සාරි අඳින හැමෝම දන්නවා අඩි උස සෙරෙප්පු නැති උනොත් සාරියේ වාටිය පෑගෙන බව. ඉතින් එදා දවසේ ඒ factory visit එකේ ඉතුරු ටික ගෙවුණේ එක අඩි උස සෙරෙප්පුවක්, එක කොට සෙරෙප්පුවක් සහ තිස්සෙම පෑගෙන සාරියක් එක්ක. දෙවෙනි එක factory visit එකක් ගිහින් ආපිට එද්දී. ගෙදර යන්න බස් එකක් ගන්න ලේසි වෙන්න මම අපි ගිය වෑන් එකෙන් ටවුන් හෝල් වලින් බැස්සා. එහෙම බහිද්දී ඒ වෑන් එකේ නවන සීට් එකක පැටලිලා මගේ සාරියේ පදාසයක් ඉරිලා ගියා. එදා මද්දහනක ඉරිලා එල්ලෙන සාරියක් එක්ක මම වරුවක් ටවුන් හෝල් බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා ඉතින්. මම බොහොම ආදරේ කරපු ඒ සාරිය එහෙම ඉරුණාට පස්සේ  විශ්‍රාම යවන්න වුණා.

ගෑනු අපිට කාගේ හරි මඟුල් ගෙදරකට ආරාධනාවක් ලැබෙනවා කියන්නේ ඒ එක්කම "මොකක්ද අඳින්නේ?" කියන සදාකාලික ගැටලුව මතු වෙනවා කියන එකනේ. එක වයසේ යාළුවො ඔක්කොම වගේ එක වකවානුවක බඳිද්දී මේක තවත් බරපතලයි. මේ හැම මඟුල් ගෙදරකටම එකම කට්ටිය එද්දී තත්ත්වය ශෝචනීයයි. මේ සාරි කතාවේ මමත් එක දිගට මඟුල් ගෙවල් වලට මෙහෙම සාරි ඇන්ද chapter එකකුත් ගතවුණා. මේ කාලේ නම් රස්සාවක් කරපු නිසා සාරි ශොපින් ගිහින් අත දිග ඇරලා වියදම් කරන එක අපේ විනෝදාංශයක් වෙලා තිබුණා. 

හැමදාම සාරි ම ඇන්ද මම බඳින දවසේ ඔසරියක් ඇන්දේ මාව හැඩ ගන්වපු කෙනාගේ උපදෙස් මත සුපුරුදු විදිහට 'මහතට පේන්න'. ඒත් එදා ඔසරියට එහෙම විශ්ව කර්මයක් වුණේ නැති නිසා ඔන්න ඔහේ එදාත් සාරි ම අඳින්න තිබුණා කියලා හිතෙන්නේ දැන් තමයි. දෙයියනේ කියලා එතැනින් එහාට මේ නිරන්තර සාරි ඇඳිල්ල ඉවර වුණේ ඉන්පස්සේ අපි පිටරට පදිංචියට ආව නිසා. කාලයක් තිස්සේ රස්සාවට අඳින්න ඕන නිසා මහන්සිවෙලා ආදරෙන් එකතුකරගත්ත මගේ සාරි එකතුව යාළුවො අතරේ බෙදලා දෙද්දී පොඩි දුකකුත් ලොකු නිදහසකුත් දැනුණා.

දැන් නම් මම සාරි අඳින්නේ බොහොම කලාතුරකින්. මෙල්බර්න් වලදී උත්සවයකට, මඟුල් ගෙදරකට සාරි අඳින්න යෙදෙන්නේ අවුරුද්දකට සැරයක් දෙකක් වගේ තමයි. දැන් ඉතින් ඉස්සර වගේ කොටුවේ සාරි කඩවල 'සාරි රස්තියාදු' නැහැ. හැට්ට මහන්න දැන් අම්මාත් නැහැ. ඒත් නිතර නොලැබෙන නිසා ද මන්දා දැන් ඉඳහිට සාරි අඳින්න ආසාවකුත් නැත්තේ නැහැ. ඔහොම තමයි ඉතින් ලෝක ස්වභාවය! 



photo - Ardy Arjun on Unsplash
(two colour cotton සාරි මේ වගේ තමයි. අපි ඇන්දේ මෙහෙම රත්තරන් පාටවල් නොතිබ්බ ඒවා)


October 15, 2023

මට ඉතිරිව ඇති දේ (ශනිදා දහයට)



ජීවීතේ කොයිතරම් කෙරුම් කළත් අන්තිමට ඉතිරි වුණේ මොනවාද කියලා හැමෝටම හිතෙන වෙලාවක් එනවානේ. සමහර වෙලාවට අපට ඉතුරු වුණු වටිනාම දේවල් වෙන කෙනෙකුට නම් කිසිම වැදගත්කමක් නැති දෙයක් වෙන්න පුළුවන්. මේ පූර්විකාව කවියක් හඳුන්වලා දෙන්නයි. 

සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් කවි හොයන්න මම නිතර ඉංග්‍රීසි කවි අතරේ චාරිකාවේ යෙදෙනවා. එහෙම යද්දී සමහර වෙලාවට හම්බවෙනවා සිංහලට පරිවර්තනය කළොත් වටිනාකම/ රසය අඩුවෙන කවි. ඒවා ආයාසයෙන් සිංහලට නොයෙදීම ඒවාට කරන ගෞරවයක් කියලා මම හිතනවා. Diana L Relles ගේ 'All I Have Left' කියන කවියත් ඒ වගේ එකක්. (ටිකක් දිගයි, සමාවෙලා අන්තිම වෙනකම්ම කියවන්න)

All I Have Left
Diana L Relles

A Polaroid of my childhood home.
split-level, screen door open

A single square of the blanket I was given at birth.
red and white gingham with tiny green leaves

A list of wishes written on yellow paper at summer camp when I was 14.
to love only one person
to be happy alone


Precise directions from Penn Station to my high school boyfriend’s apartment.
Pick up the M4 bus halfway down the street (there will be a deli on the right).

A printout of an AOL Instant Messenger exchange.
If, even after it ends, the friendship remains, protect that.

A rehearsed long-distance confession, scrawled in thick green marker.
Oh, and by the way—I’m still in love with you.

A transcript of the last talk with my grandfather in the days before he died.
It’s time. I think it’s time.

A pink Post-it note to the boy who wrote a poem titled “To the many women in my life, especially Dina.”
I have this fear that you do this with everyone. Is this really as special as I think?

The words to Simon & Garfunkel’s Bookends, emailed the night before graduation.
preserve your memories / they’re all that’s left you

An old horoscope.
You are extremely sentimental about the past and rarely discard old friendships.

A high school teacher’s handwritten inscription in a pocket copy of Garrison Keillor’s Truckstop and Other Lake Wobegon Stories.
May you remain as open and alive to the world as you are today.

The burgundy apron from the waitressing gig where I worked the early shift.
Flip the placard to OPEN, put up the first pot of coffee.

A note passed in philosophy class.
My right ear is fixed on whatever sound you make in the hope that one of your
movements will bring you closer to me.


Or carried through the mail.
I tried to hold you so tight, I’d never let you go. It didn’t work.

A paper menu from a date at the diner.
Friendly’s off Smithfield Road, North Providence

Jottings on jagged-edged paper to the boy who broke my heart.
You tamed me.

The key pouch for the room on campus where we made love.
Grad Center 421B

A list of memories handed to me on our last night.
sitting on telephone books on the fourth story fire escape
trying to get to the river

Mix tape liner notes from after he left.
With or Without You
Iowa

The Sweetest Thing

A letter never sent.
I hope we always know each other.

One from my father.
the elusive butterfly of love

And my mother.
Being too boy crazy doesn’t make for a well-rounded person, does it?

From one old love.
I’m sorry for leaving.

Or another.
Some part of me will always love you.

From a new friend.
I think we’re all longing for something.

And from the oldest.
I have quietly harbored feelings for you for quite a while now.

A pamphlet from St. Paul’s Cathedral.
Be near me, Lord Jesus; I ask thee to stay
Close by me forever, and love me I pray


Journal entry, October 2003.
The problem is I’ve always been able to love two or more people at a time.

A lyric in yellow ink on a wedding invitation.
Can you imagine us years from today,
Sharing a park bench quietly?


The hospital bracelet from birthing my firstborn.
baby boy of Dina Relles

And a Mother’s Day card from him years later.
You’re unique to me, even if you don’t know it.

The first draft of a chapter’s last line.
To love is to long for something lost or left behind.


මේ කවිය ලියලා තියෙන්නේ තමන්ට අකුරින් ඉතුරු වුණු දේ ගැන නේ. දේවල් හැටියට ගත්තත්, අපේ සන්තකයේ තියෙන, අපේ හදවතට බොහොමත්ම ළඟ දේවල් මොනවාද කියලා කල්පනා කරලා බැලුවොත් ඔබටත් පුදුම හිතේවි. මේ සටහන ඒ ගැන හිතන්න පොළඹවන්නයි. 

(චිත්‍රය ගැන පසු සටහන- අපට දැන් වසන්ත කාලේ. බැලූ බැලූ අත මල්. අපේ ගෙදර ජනේලයකින් පේනවා අසල්වැසි වත්තක මල් පිරුණු චෙරි ගහක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි සුන්දර පුංචි ලෝකයක් වගේ. සමහර වෙලාවට මේ කවියේ තියෙන පුංචි දේවල් වගේම අපට අයිතිවත් නැති දෙයක් අපේ හිත් සුන්දරත්වයෙන් පුරවන්න පුළුවන්. )

'ශනිදා දහය' බ්ලොග් පෝස්ට් වැඩේ පටන් ගත්ත බ්ලොග් මිතුරු කැළ ට ජයවේවා! මටත් ආරාධනා කළාට ස්තූතියි. ලංකාවෙන් පිට ඉන්න අපෙන් නම් ලැබෙන්නේ schedule කරපු පෝස්ට් හැබැයි! :) 


Digital painting