'ගුවන් විදුලි රඟමඬල' ඉස්සර අපි ආසාවෙන් අහපු රේඩියෝ වැඩසටහනක්. කටහඬවල් කීපයක දෙබස් ඇසුරින් චරිත මවමින් ඒ කාලේ ඒ වැඩසටහන අපේ හිත්වල කතන්දර පණ පිහිටවපු හැටි තාමත් හොඳින් මතකයි. ඒත් ඒ කාලේ රේඩියෝව ළඟට වෙලා ඒ කතන්දර අහද්දී මටත් කවදා හරි ඒ ගුවන් විදුලි රඟමඬලට නාට්‍ය පිටපතක් ලියන්න ලැබේවි කියලා මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ.
මගේ ලිවීමේ රටාව අනුව මට රේඩියෝ නාට්‍යය පිටපත් ලියන්න පුළුවන් වෙයි කියලා මුලින්ම අනාවැකි කිව්වේ ස්වදේශීය සේවයේ වැඩසටන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු සහ ශාන්ත බණ්ඩාර විජේකෝන් යුවල. කලින් මගේ කෙටිකතා කීපයක් ස්වදේශීය සේවයේ කෙටිකතා වැඩසටහනට තෝරා ගන්න මුල් වුණෙත් ඉනෝකා තමයි.
ඉතින් බොහොම ඉවසීමෙන් ගුරුහරුකම් දෙමින්, අඩුපාඩු හදාගන්න උපදෙස් දෙමින් මේ දෙන්නා මාව මේ වැඩේට උනන්දු කළා.
මේ නාට්‍යයට හඬ කවන්න ලිලානි පෙර්රා, නිරංජලා සරෝජිනී, ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය, සුනන්දා හෙට්ටිආරච්චි වගේ ප්‍රවීණ හඬ ශිල්පීන් සම්බන්ධ වෙනවා කියලා දැනගත්තාම මට දැනුණේ පුදුමයක් වගේම ලොකු සතුටක්. පටිගත කිරීම අතරතුරේදී වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙලා ඒ අය එක්ක කතා බහ කරන්න ලැබුණු අවස්ථාව සොඳුරු මතකයක්. ඒ අවස්ථාව වෙනුවන් ස්තූතිය ඉනෝකාටයි.
ඉතින් නිර්මාණකරණයේ අලුත් මාන හොයාගන්න උදවු කරන, මගේ හැකියාවන් ඔප මට්ටම් කරගන්න උදවු වෙන මිතුරු සම්පතට මගේ ස්තූතිය කියන්න වචන මදි. මගේ කතාවක් මේ තරම් හැඩ කළ මේ හඬ ශිල්පීන්ටත් වැඩසටහන නිෂ්පාදන කණ්ඩායමටත් මගේ හද පිරි ප්‍රණාමය.
ස්වදේශීය සේවයේ ගුවන් විදුලි රඟමඬල 10.06.2023
රේඩියෝ නාට්‍යය - 'අම්මලා'
පිටපත- හෙල්මලී ගුණතිලක
හඬ- නිරංජලා සරෝජිනී, ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය, සුනන්දා හෙට්ටිආරච්චි, ලිලානි පෙරේරා, හිරුති ප්‍රහර්ෂා රන්දුණු
නිෂ්පාදනය- ඉනෝකා බොතේජු