January 31, 2023

ඔබ මට හඬගැසුවොත්

Translation of the poem 'If you call me' by Korean poet Sin Sok-Chong


ශාරදයේදී කහ පැහැ වූ ගින්කෝ පත්
සුළඟ සමඟ දඟ කරමින් නටද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
විල මිහිදුම් සළුවෙන් වැසී ඇති නිශාවේදී
කඳු මුදුන් වලට ඉහළින් නිහඬව අලුත් සඳ ඇදී යද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
මෘදු ව දියවුණු වසත් අහස යට
ස්වර්ගය අද්දරින් දිය දහර සෙමෙන් ඇදෙද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
ඍතුවේ මුලදී තණබිම හිරු එළිය උරා ගනිද්දී
ඉග්රට් කොකුන් පැහැදුල් අවකාශය මැදින් ගී ගයද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

From the book 'Postcards from Planet Earth: An Anthology of International Poetry' (1980)

Painted with watercolour pencils


January 28, 2023

After Life- (TV Series)

 මේ comedy-drama series එකක් ගැන ඔත්තුවක්. series බලන්න අකමැති මමත් එක දිගට බැලුව නිසා series ෆෑන්ලා කැමැත්තෙන් බලයි කියලා මට හිතෙනවා.

බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුන After Life කියන කතා මාලාව ගෙතිලා තියෙන්නේ මෑතක තම බිරිඳ වන ලීසාව අහිමි වුණු ටෝනි නමැති පුවත්පත් වාර්තාකරුවා වටේ. බිරිඳ නැතිව ජීවත් වීම ඔහුට ඉතාම දුෂ්කර කාරණාවක් බව දැනෙනවා. ඔහු මේ ශෝකය දරාගන්නේ 'සමාජයට වාතයක් වෙමින්'. ඒත් ඔහුගේ සමීපතමයන්, ඔහුට ආදරය කරන අය ඔහුව ඉවසමින් දරාගන්නවා. ටෝනි තමන්ගේ ශෝකය කළමනාකරණය කරගන්නට ඉගෙන ගන්නා චාරිකාව තමයි මේකේ ප්‍රධානම නිමිත්ත. 

ඒත් ශෝකය ගැන පදනම් වුණත් මේ කතා මාලාවේ හාස්‍යයත් නොඅඩුව තියෙනවා. වැඩියත්ම ටෝනි වටේ ඉන්න අය සමාජයේ එක එක වර්ගයේ extreme චරිත නිසා. ඔහු රැකියාව කරන පත්තර කන්තොරුවත් සුවිශේෂී තැනක්. ඔවුන්ගේ ප්‍රදේශයේ විශේෂ සිදුවීම් ගැන වාර්තා කරන එක ටෝනි ගේ රැකියාවේ කොටසක්. ඔහුට මේ ගමන් වලදී මුණගැහෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ 'විශේෂ' සිදුවීම් ගැන අඬන්න බැරි නිසා හිනාවෙන්න වෙනවා සමහර වෙලාවට. හැම කෙනෙක්ම ඇතුළේ ලෝකයට නොපෙන්වන සැඟවුණු චරිතයක් තියෙන බව මේ නිර්මාණයෙන් අපට මතක් කරලා දෙනවා. සමහර විට මනෝ විශ්ලේෂකයාට වඩා සාර්ථකව ඒ රාජකාරිය අහම්බෙන් සොහොන් පිට්ටනියකදී මුණගැහුණු කෙනෙක් ඉටු කරලා දෙන්න පුළුවන්. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණු කෙනෙක් කෙනෙක්ට ඉතා හොඳ මිතුරෙක් වෙන්න පුළුවන්. හැමෝම එක්ක රණ්ඩු ඇතිකරගන්න ටෝනි ඇතුලෙත් දයාබර සැමියෙක් ඉඳලා තියෙන්න පුළුවන්. 

ශෝකයේ පතුලේ ගැලිලා, ඉන් මිදෙන්න බැරිව ඉන්න ටෝනි ට ලෝකය ගැනම කේන්තියි. 'හැමෝම එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා!' ඔහු එක තැනකදී කියනවා. ඒත් ඔහුත් ශෝකයට ඇබ්බැහි වුණු බව ඔහුටම තේරෙන්නේ නැහැ. මේ කතා මාලාවේ අන්තිම හරියේදී එක සංවේදී අවස්ථාවක මිය යන්න කලින් ලීසා ටෝනි වෙනුවෙන් කවියක් පටිගත කරලා තියනවා. ඒ Mary Elizabeth Fryeගේ Do not stand at my grave and weep කියන කවිය. මගේත් ප්‍රියතම කවියක් වන මේක මේ අවස්ථාවට බෙහෙවින්ම ගැලපෙනවා. මේ කතා මාලාවේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වන Ricky Gervais ම ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑම සුවිශේෂී සිද්ධියක්. බොහොම විචිත්‍රවත් චරිත සමූහයක් එකතු කරගෙන නිර්මාණය කරලා තියෙන මේ කතා මාලාව කම්මැලි නැතිව නරඹන්න පුළුවන්, බලද්දී කඳුළු වගේම සිනා නොඅඩුව ගෙන එන බවට සහතික වෙන්නත් පුළුවන්. 

After Life- (TV Series) 
No. of series 3 
No. of episodes 18

 

January 24, 2023

සතුට සඳහා වට්ටෝරුව

Translation of the poem 'Recipe for Happiness' by Lawrence Ferlinghetti

දෙපස ගස් වැවුණු අලංකාර මාවතක්
හිරු එළිය ඇති තැනක අපූරු කෝපි හලක්
ඉතා කුඩා කෝප්ප වල සැර කළු කෝපි
 
ඔබට ආදරය කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්
(ඔවුන් ඉතා ලස්සන වීම අත්‍යවශ්‍ය නැත)

යහපත් කාලගුණයක් ඇති දවසක්

 
පරිවර්තනය හෙල්මලී ගුණතිලක


Watercolour painting




January 22, 2023

For lovers of all things Japanese

මුලින්ම මගේ ෆෑන් ක්ලබ් එකට පොඩි පණිවිඩයක්- මගේ නිවාඩු කාලේ අදින් ඉවරයි, ඒ නිසා තව කාලෙකට තනිකර චිත්‍ර පෝස්ට් නැහැ, මේ අන්තිම එක. ඉස්සරහට පරිවර්තන බලාපොරොත්තු වෙන්න! 

All things Japanese වලට කැමති පුත්‍රයෙක් මට ඉන්නවා. ඉස්කෝලේ භාෂාවක් තෝරාගන්න අවස්ථාවක් ලැබුනාම එයාටම ඕනමයි කියලා Japanese තෝරාගෙන ඒකට දිගටම ඉහල ලකුණු ගත්තා පහුගිය ටිකේ. කිසිම අභාෂයක් නැතිව එහෙම ආසාවක් ඇතිවුණේ කොහොමද කියලා මට හිතාගන්නත් බැහැ. සමහරවිට එයා බලන ජපන් anime චිත්‍රපටි නිසාද දන්නේ නැහැ. පුතා ජපන් වචන පාඩම් කරද්දී ඉස්සර කාලෙක ඉගෙන ගත්ත වචන එක දෙක මටත් ආයෙත් මතක් වෙනවා. 

කොහොම හරි, කවදා හරි ජපානේ ක්යෝටෝවලට යන්නත් ෆුජි කන්ද බලන්න යන්නත් මිනිහා මාව පොරොන්දු කරගෙන ඉන්නේ. 

මේ All things Japanese වලට ආසා අයට මගෙන් තෑග්ගක්. බොහොම කෙටි වෙලාවකින් ඇන්දේ. පුතාත් අනුමත කරා හොඳ උත්සාහයක් කියලා :D 


Sketched by hand and painted digitally



January 19, 2023

Unorthodox (2020)

සමහර වෙලාවට මූලික මනුෂ්‍ය නිදහස සීමා වෙන්නේ ආගමක නමින් වෙන්න පුළුවන්. සමහරු ඒ සීමා කිරීම් ජීවිතයේ කොටසක් හැටියට වැළඳ ගනිද්දී තවත් කෙනෙකුට ඒවා හිරිහැරයක් හැටියට දැනෙන්න පුළුවන්. 

Unorthodox නම් mini series එක කොටස් හතරකින් යුත් කතා මාලාවක්. මේක පදනම් වෙලා තියෙන්නේ Deborah Feldman 2012 දී රචනා කළ ස්වයං චරිතාපදානය Unorthodox: The Scandalous Rejection of My Hasidic Roots යන කෘතියෙන්. 

Esty නම් යුදෙව් තරුණිය යෝජිත විවාහයක් තුළ අසතුටින් ගෙවන ජීවිතය නිමා කරමින් තදබල ආගමික නීති සහිතව තමන් නිව් යෝක්හි වෙසෙන Hasidic Jewish සමාජයෙන් පළා යාමේ කතාන්දරයයි මේ. ඈ පළා යන්නේ අතීතයේදී යුදෙව්වන් විනාශ කරන්නට මුල් පියවර ගැනුණු ජර්මනියේ බර්ලින් නගරයට. මේ කතාවේ irony එක තියෙන්නේ එතැනයි. 

විශිෂ්ඨ තිර රචනයක්, අධ්‍යක්ෂණයක් දකින්න පුළුවන් මේ කතා මාලාවේ රංගනයත් ඉතා ඉහළයි. මේ miniseries එක බලනවානම් ඒ එක්කම මේ වගේ තදින් විවේචන එල්ල විය හැකි චිත්‍රපටියක් සාර්ථකව රූගත කරන්නට ඔවුන් ගත් මහන්සිය පෙන්වන Making of Unorthodox කෙටි වීඩියෝවත් බලන්න අමතක කරන්න එපා. 

Written by :Anna Winger & Alexa Karolinski
Directed by: Maria Schrader
Starring: Shira Haas, Amit Rahav, Jeff Wilbusch


January 16, 2023

මාසෙයිල් සහ වික්සන් - අසම්පූර්ණ සුරංගනා කතා#1


.
.
මාසෙයිල් ඇස් අරිද්දි එයාට මුලින්ම පෙනුණේ ඇස් නිලංකාර වෙන තරම් දිලිසෙන එළියක්. "ඒ පාර මම මේ කොහෙද ඉන්නේ?' එයා තමන්ටම කියාගත්තා. ආලෝකයට ඇස් දෙක හුරු වුණාම එයා වටපිට බැලුවා. තමන් ඉන්නේ තනියම බව එයාට තේරෙන්න වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.
මේ වතාවේ මාසෙයිල්ට බැලූ බැලූ අත පෙනුණේ එක එක පාට. අහස සේදුණු නිලකින් දිලිසුණා. බිම තණකොළ නිල්- කොළ පාටකින් බැබලුණා. වැතිරිලා උන්නු තැනින් හිමින් හිමින් නැගිට ගත්ත මාසෙයිල් වටපිට ඇවිදින්න පටන් ගත්තා.
 
මෙදා පාර තමන් ඇවිත් ඉන්න ලෝකය පාට හැඩ තල වලින් පිරිලා බව එයාට හිතුණා අමුතු හැඩවල උල් කොළ තිබුණු ගස් දම් පාට ගෙඩි වලින් බර වෙලා තිබුණා. තැඹිලි පාට ලොකු හොටවල් තිබුණු කෑදැත්තෝ ඝෝෂා කරමින් ඒ ගස් වල අතු අතරේ පියාඹමින් හිටියා. සමහර ගස් වල තිබුණේ තනි රතු පාට කොළ. ඒ නිසාද කොහෙද ඒවායේ මල් කොළ පාටින් පාට ගැන්විලා තිබුණා. සමහර නූස් පඳුරුවල තරු හැඩේ පලතුරු පිරිලා තිබුණා. මාසේයිල්ට බඩගින්නක් දැනුණත් නාඳුනන ඒ ගෙඩි ජාතිය කන්න එයාට බය හිතුණා. උසම උස පතොක් පඳුරු යෝධයෝ වගේ වනාන්තරේ තැන තැන හිටගෙන හිටියා. එයින් එක පතොක් ගහක් ළඟට ගිය මාසෙයිල් ඊට අත තිබ්බේ බයෙන් බයෙන්. ඒත් ඒ ලෝකේ පතොක් ගස්වල අමුතු රැළි රටාවක් මිසක් කටු තිබුණේ නැහැ!

මේ අමුතුම පාට පාට වනාන්තරය මැද්දෙන් ටික දුරක් ගිය මාසෙයිල් ට මහන්සියක් දැනෙන්න වුණා. මේ වතාවේ වත් තමන්ගේ අරමුණ ඉටු කරගන්න බැරි වෙයිද කියලා එයාට සැක හිතුණා. වනාන්තරය මැද්දේ ටිකක් ඈතින් ගස් තුනී වුණු තැනිතලාවක් තියෙන බව එයා දැක්කේ ඒ වෙලාවෙයි. සමහරවිට එතැන තමන් හොයන පිළිතුර ඇති කියලා හිතුණ නිසා මාසෙයිල් හෙමින් හෙමින් ඊට කිට්ටු කළා.

පාට පෙට්ටියක් ඉහිරිලා වගේ ඒ තැනිතලාවත් වෛවර්ණව දිලිසුණා. මාසෙයිල් මේතරම් වෙලා වනාන්තරයේ කොහේවත් නොදැක්ක දෙයක් මෙතැන තිබුණා. තැන තැන පොලොවෙන් පැන නැඟුණ යෝධ මල් අහසට එසවිලා තිබුණේ විශාල පාට පාට කුඩ වගේ. මේ මල් වල තට්ටු තට්ටු පෙති රවුම් දාහක් විතර තිබුණා. ඒ මල් පෙති රවුම් මැද්දේ නොපෙනෙන මානෙක තදින් ගුම් හඬක් ඇහුණේ ඒ මල් වල පැණි බොන මී මැස්සන්ගෙන් වෙන්න ඇති කියලා මාසෙයිල් හිතුවා. වටපිට බලමින්ම එයා තැනිතලාවට අඩිය තිබ්බා.

මේ යෝධ මල් නිසා තැනිතලාවේ අහස සම්පූර්ණයෙන්ම වගේ වැහිලායි තිබුණේ. මල් පෙති අතරින් ඉර එළිය ඉහිරිලා එක එක පාට හෙවනැලි පොළොවේ මැවුණා. මාසෙයිල් ඒවා අතරින් ඇවිද්දේ හීනෙක ඇවිදින තාලෙට.

යෝධ මල් වල නටු අතරින් හදිසි සෙලවීමක් මාසෙයිල් දැක්කේ අහම්බෙන්. එක තත්පරයකින් ඒ ඡායාව ඇඳිලා මැකිලා ගියා. මාසෙයිල් තවත් පරෙස්සමෙන් අඩි තියමින් තැනිතලාව මැදටම ගියා. යෝධ මල්වල නටු අතරින් එයා රිංගුවේ අමාරුවෙන්. ඒ මල් වල සුවඳින් තමනුත් මත් වෙන බවක් එයාට දැනුණා.

හදිසියේම මාසෙයිල් හිටි තැනම නැවතුණා. කහ පාට යෝධ මලක් පාමුල මෙන්න වික්සන්! වික්සන් නරි කුමාරියක් වුණත් එයා එතන නම් වාඩිවෙලා හිටියේ රාජ කුමාරියක් වගේ. යෝධ මල් අතරින් පෙරෙන ආලෝකයට එයාගේ තැඹිලි පාට ලෝම රත්තරන් පාටින් පෙනුණා. වෙනදාට කේන්තියෙන් ගස්සන වික්සන්ගේ බූසි වලිගය අද නම් නිසොල්මන්ව එයාගේ දෙපා වටේ එතිලා තිබුණා. මාසෙයිල්ගේ අඩි සද්දේ ඇහුණත් එයා ඔලුව නූස්සාම ගැඹුරු කල්පනාවක වගේ හිටියා.

"වික්සන්!" මාසෙයිල් ඈත තියාම කීවේ තරමක් හඬ වැඩි කරලා.
"මට සමාවෙන්න. ඒ වෙලාවේ මට සිහිය නැතිවුණා. මම ආයෙත් ඇස් ඇරලා බලද්දී ඔයා පේන්න හිටියේ නැහැ. නැතිව මම ඔයාව දාලා ගියා නෙමෙයි."

වික්සන් මාසෙයිල් දිහා බලන්න ඔලුව හැරෙව්වේ බොහොම හෙමින්. එයා මොනවාදෝ කියන්න ගිහින් ගිලගත්ත බවක් මාසෙයිල් දැක්කා.

යෝධ මල් වෙව්ලවමින් ඈතින් දෙදරුමක් ඇහෙන්න ගත්තේ ඒ වෙලාවෙයි...
.
.
.
- හෙල්මලී ගුණතිලක
Art- watercolours on paper
Marceille & Vixen



January 13, 2023

පොපී මල්? ඕනෑමයි!




පුංචිම පුංචි ගෙදරක්
එක ජනේලයකුත් ඇති
හිරු රැස් එබෙන පැත්තට
ජනේලය තිබ්බාම ඇති
 
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි

ඉර පරවෙලා මියයන
කහ පැහැ හවස් වරුවල
ලේ රත් පාට මල් පෙති
එකින් එක ඉහිරෙනු ඇති

වචනෙන් වචනේ නොකියා
දෑසින් දෑස බලමින්
කවි කතා සිය දහසක්
අපි දෙන්නාට කිව්වැකි
.
.
.
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි

- හෙල්මලී ගුණතිලක

Painting - watercolour on paper

January 11, 2023

තෝරාගැනීම්



Translation of the poem 'Choices' by Tess Gallagher

දුර ඇති කන්දත්
එහි හිම වැටුණු දසුනත්
නිවසට පැහැදිලිව පෙනෙන්නට
ඒ පස ගස්වල
අතු රිකිලි පාහින්නට
කියතත් අතින් ගෙන ගියෙමි

නමුත් එක් ගසක, උඩම අත්තක
කුරුළු කූඩුවකි

මා ඒ ගස කපා දැමුවේ නැත
අනෙත් ගස් කපා දැමුවේද නැත

එක්වරම, හැම ගසකම
කන්දක් තිබිය යුතු තැන
අදිසි කූඩුවක් විය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Sketch- Ink on paper

January 06, 2023

තව තවත් චිත්‍ර!

ගිය අවුරුද්දේ චිත්‍ර ඇඳීමේ සතුටු උල්පත පාදාගත් නිසා මේ අවුරුද්දෙත් තව තවත් චිත්‍ර අඳින්නට ප්‍රතිඥා දෙමි! 





-sketched by hand and painted digitally


January 02, 2023

නොවැදගත් දේ





බළලුන්ට
එදිනෙදා දේවල් ගැන
මතක ඇත්තේ මොනවාද?
නිදන්නට උණුසුම් ම තැන,
කෑම ඇත්තේ කොතැනද,
වේදනා දෙන දේ ගැන,
තමන්ගේ හතුරන් ගැන
පක්ෂීන්ගේ කරදරය,
පසෙහි උණුසුම් පුසුඹ
දූවිලිවල ප්‍රයෝජනවත් බව,

ඔවුන්ට මතකයි
ඇඳක කිරි කිරිය
අයිතිකරුගේ පා හඬ
මාළු කද්දී අම රස,
කිරි බඳුනක සොඳුරු බව
බළලුන්ට මතක ඇත
එදිනෙදා දේවල් වල
වැදගත්ම කොටස
ඔවුන් අපට වඩා
සුවෙන් නිදන්නේ එබැවිනි

අප
නොවැදගත් දේ
මතකයේ රඳවාගෙන
හදවත් බිඳගනිමිනි.

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Inessential Things’ by Brian Patten

Brian Patten 1946 දී එංගලන්තයේ ලිවර්පූල් නගරයේ උපන්නෙකි. ගැටවර වියේ සිටම කාව්‍යකරණයේ යෙදුනු ඔහු පාසල් වයසේදී තමන්ගේම කවි සඟරාවක් ලියා පළ කළේය. වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන්ද කවි ලියූ ඔහු කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්ම පළ කර ඇත.

ලන්ඩන් කවි - ජනවාරි 2023 කලාපය 

Sketch- watercolour and ink