Showing posts with label පුංචි කතා. Show all posts
Showing posts with label පුංචි කතා. Show all posts

August 27, 2025

මිතුරුකම්



බැලූ බැල්මට එයාව පෙනුණේ ඉස්කෝලේ ඇරිලා එන තවත් පිරිමි ළමයෙක් වගෙයි.

පොත් මිටියක්ම උස්සාගෙන හිටිය එයාගේ ඇස් කණ්නාඩි දෙක නහයෙන් පහතට ලෙස්සමින් තිබුණා..

ඒක සිකුරාදා දවසක්. අනෙත් හැම කෙනෙකුටම කළින් ලෑස්ති කරගත්ත ක්‍රීඩා තරඟ, සාද, යාලුවෝ මුණගැහෙන්න යන ගමන් බිමන් වගේ එක එක වැඩ තිබුණා- ඒත් මෙයා නම් යමින් හිටියේ තනියම. 

තව පොඩ්ඩෙන් මම එයා දිහා නොබලාම යනවා.

ඒත් ඒ මොහොතේම කොලු රංචුවක් අපි ව පහුකරගෙන දුවගෙන ගියා. එහෙම යද්දී එයාලා අර පිරිමි ළමයාගේ ඇඟේ හැප්පුණා. එයා බිමට ඇදගෙන වැටුණා, එයාගේ අතේ තිබුණු පොත් මිටිය සී සී කඩ විසිරුණා. කොල්ලෝ ටික නම් හිනාවෙමින් දිව්වේ නවතින්නේවත් නැතිව. මේක දැකලා මගේ හිත ඇතුළේ මොකක්දෝ වුණා. 

මම එයාට නැගිටින්න උදවු කළා, කණ්නාඩි දෙක අහුලලා දුන්නා. “අරුන් මහා පිස්සෝ ටිකක්” මම එයාට කිව්වා. 

එයා මාත් එක්ක හිනාවුණා, ඒක නිකම් හිනාවක් නෙමෙයි, කෘතඥ හිනාවක්, මතක හිටින වර්ගයේ හිනාවක්. 

අපි දෙන්නා කතාවට වැටුණා. බලද්දී එයාගේ ගෙදර මගේ ගෙවල් කිට්ටුවමයි තිබුණේ. එයා විනෝදයට බර, බුද්ධිමත් කෙනෙක් බවත්, ෆුට්බෝල් ගහන්න බොහොම කැමති බවත් කතාවේදී තේරුණා. ඒ සති අන්තයේදී අපි ආයෙත් මුණගැහුණා. ඒවගේම ඊළඟ සති අන්තයේත්, ඊටපස්සේ එකේත්… ටික කලක් යද්දී අපි හොඳම යාලුවෝ වුණා.

කාලය ගත වුණා. අපි පාසලෙන් පිටවෙන දවස ආවා. එදා පැවැත්වුණු උත්සවයේදී එයා අපි අතරින් වැඩිම ලකුණු ලබාගත්තු ශිෂ්‍යයා හැටියට සභාව ඇමතුවා. ආත්ම විශ්වාසයෙන් කෙරුණු ඒ කතාව ඉතා සාර්ථක එකක්, හැම දෙනාම ඊට බොහොම  කැමති වුණා. 

ඒ කතාවේ අන්තිමේදී එයා කීව මේ කොටස මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. 

“අවුරුදු කීපෙකට කළින් මම මගේ ජීවිතය නැතිකරගන්න තීරණය කළා. එහෙම හිතලා සිකුරාදා දවසක ඉස්කෝලේ මගේ ලොකර් එකේ තිබුණු ඔක්කොම බඩු ටික අස් කරලා ගෙදර ගෙනියන්න ගත්තා. එහෙම නොකළා නම්  ඒ වැඩේ මගේ අම්මාට කරන්න වෙන නිසායි ඒක කළේ. මං ගැන කවුරුවත් හිතන්නේ නැහැ කියලායි මම එදා හිතාගෙන හිටියේ. ඒත් එක්කෙනෙක් මං ගැන හිතුවා. එයා මගේ පොත් ටික බිමට වැටුණු වෙලාවේ අහුලලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, නොදැනුවත්වම මගේ ජීවිතයත් බේරලා දුන්නා.”

මේක අහලා සභාව ම නිහඬ වුණා. මාව ගල් ගැහුණා. ඒ වෙනකම්ම මම ඒ බව දැනගෙන හිටියේ වත් නැහැ. 

සමහර වෙලාවට අපි කරන පුංචි දෙයක් තවත් කෙනෙක්ගේ ජීවිතයේ ලොකුම දෙයක් වෙන්න පුළුවන්.

ඉතින් කරුණාවන්ත වෙන්න. අවදියෙන් ඉන්න.

උදවු උවමනා කෙනෙක් ඔබ ළඟම ඉන්නවා වෙන්න පුළුවන් 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of a note from Old Photo Club


Digital art

May 27, 2025

නෝනා පෝසත් ද?


“නෝනා කඩදාසි තියෙනවද?” 

ගෙදර ඉස්සරහ දොර ළඟ කුඩා දරු දෙදෙනෙක් මුවා වෙලා උන්නා. මට පෙනුණු හැටියට නම් එයාලා ඇඳගෙන හිටියේ තමන්ගේ තරමට වඩා සෑහෙන්න ලොකු කබා දෙකක්.. 

ඒ මම කාර්යබහුල වෙලාවක්. මට උවමනා වුණේ මෙයාලාගේ ප්‍රශ්නෙට ‘නැහැ’ කියලා උත්තර දෙන්න. ඒත් අහම්බෙන් වගේ මම මේ දෙන්නාගේ කකුල් දිහා බැලුවා. එයාලා දාගෙන හිටියේ බොහොම තුනී පටි සපත්තු. එළියේ වැටුණු හිම වැස්සෙන් ඒවා තෙතබත් වෙලා තිබුණා. 

“ගෙට එන්න, මම රස්නෙට කොකෝවා කෝප්ප දෙකක් හදලා දෙන්නම්.”

එයාලා ඇතුලට ආවේ නිහඬවමයි. ගිනි උදුන ළඟ අර තුනී සපත්තු කුට්ටම් දෙක ගලවලා තියද්දි එතැන තෙත පැල්ලමක් ඇඳුනා. 

එළියේ සීතල මැකෙන්නත් එක්ක මම එයාලට ජෑම් ගෑව ටෝස්ට් කළ පානුත්, රස්නෙට බොන්න කොකෝවාත් දුන්නා. ඉන්පස්සේ මම ආපිට කුස්සියට ගියේ ගෙදර වියහියදම් සටහන් කරන වැඩේ ඉවර කරන්න.

ටික වෙලාවකින් සාලය පැත්තේ පැතිරුණු නිහඬ බව නිසා මම ආයෙත් එබිකම් කරලා බැලුවා. 

දැරිය හිටියේ හිස් කෝප්පය අතේ තියාගෙන ඒ දිහා බලාගෙන. 

“නෝනා ඔයා පෝසත් ද?” පිරිමි දරුවා මගෙන් ඇහුවේ හැඟීමක් නැති කටහඬකින්.

“පෝසත්? දෙයියනේ නැහැ!” එහෙම කියලා වටපිට බලද්දී මට පෙනුණේ සාලේ පුටුවලට දාලා තිබුණු පරණ, පාට මැකුණු පුටු කවර. 

දැරිය බොහොම පරෙස්සමෙන් කෝප්පය පීරිසිය උඩින් තිබ්බා

“ඒත් ඔයාගේ කෝප්පයි පීරිසියි එකට ගැලපෙනවානේ.”

ඇගේ කටහඬේ තිබුණේ කෑමෙන් නිවන්න බැරි කුසගින්නක ලකුණු. 

ඒ දෙන්නා ටික වෙලාවකින් යන්න ගියේ සීතල හුළඟට මුවා වෙන්න තමන්ගේ කඩදාසි මිටි ඉහළට අල්ලාගෙන. එයාලා මට ස්තූතියි කිව්වේ නැහැ, එහෙම කියන්න උවමනා උනෙත් නැහැ. එයාලා ඊට වැඩිය වටිනා දෙයක් ඉතුරු කරලා ගිහින් තිබුණා. 

ඒ තනි නිල් පාට පීරිසි කෝප්ප කුට්ටම්- බාල වර්ගයක ඒවා. ඒත් ඇත්තටම ඒ කෝප්ප පීරිසි වලට ගැලපුණා. මම ආපිට ඇවිත් ලිප උඩ පැහෙමින් තිබුණු අල සාස්පාන හැඳි ගෑවා. රෑ කෑමට අලත් මස් හොදි ත්, අපේ ඉහට උඩින් වහලක්, ස්ථිර රස්සාවක් කරන සැමියෙක් - ඇත්තටම ඒ හැමදේම ත් ගැලපුණා. 

උදුන ළඟ තිබුණු පුටු ඉවත් කරලා මම සාලය අස් කළා. යන්න ගිය දරුවන් දෙන්නාගේ තුනී සපත්තු වලින් ඉතුරුවුණු තෙත පැල්ලම තාමත් උදුන ළඟ බිම. ඒ පැල්ලම මම එහෙමම තියෙන්න ඉඩ ඇරියේ මගේ පෝසත්කම ගැන අමතක වේවි කියලා බයට. 

Translation of the story ‘Lady are you Rich?’ by Marion Doolan 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

AI generated image