Showing posts with label Narayan. Show all posts
Showing posts with label Narayan. Show all posts

December 07, 2025

නැකැත්කරුගේ එක දවසක්



නැකත්කරු මධ්‍යහ්නය වෙද්දී නොවරදවාම තම රාජකාරිය අරඹා, තම මල්ලෙන් ඔහුගේ වෘත්තියට අදාළ ආම්පන්න පිටතට ගන්නේය. මීට කවඩි බෙල්ලන් දුසිමක්, විවිධ මායාකාරී රේඛා සටහන් සහිත හතරැස් රෙදි කඩක්, සටහන් පොතක් සහ පුස්කොල පොත් කිහිපයක් ඇතුළත් විය. ඔහුගේ නළලත ශුද්ධ වූ අළු සහ සාදිලිංගම් ආලේප කර තිබිණි. ඔහුගේ දෑස නිරතුරුවම අමුතු ආලෝකයකින් දිලිසුණු අතර අන්‍යයන් මෙය ඔහුගේ දුර දක්නා නුවණෙහි සලකුණක් ලෙස සැලකුවත් එය සත්‍ය වශයෙන්ම ගනුදෙනුකරුවන් ගැන නොකඩවා සෝදිසියෙන් සිටීම නිසා ඇතිවූවක් විය. පාට ආලේපිත නළලතට සහ දෙකොපුල් වැසුණු ගණ උඩු රැවුලට මැදිව තිබුණු බැවින් ඔහුගේ දෑසේ බලය දෙගුණ තෙගුණ වී ඉස්මතු විය. එවැනි පසුබිමක මෝඩයෙකුගේ දෑසට වුවත් එවැනි තෙදවත් බවක් ආරූඩ වනු නොඅනුමාන ය. මේ පෙනුම සම්පූර්ණ කිරීමට නැකත්කරු තම හිස වටා කහ පැහැති ජටාවක් ද බැඳ සිටියේය. මේ වර්ණ සංකලනය කිසිදා වැරදුණේ නැති අතර මිනිසුන් ඔහු වෙත ඇදී ආවේ අටපෙතියා හෝ ඩාලියා මල් පොකුරකට ඇදී එන්නන් විලසිනි. ඔහු හිඳ සිටියේ නගර ශාලාව පිහිටා තිබුණු උද්‍යානය අසලින් වැටුණු පාර අද්දර වූ අතු පතර විහිදුණු සියඹලා ගසක සෙවනක ය. උදෑසන සිට රාත්‍රිය දක්වා පුදුමාකාර සෙනඟක් මේ මාර්ගයේ එහා මෙහා ගමන් කළ බැවින් එය අපූරු තැනක් විය. මේ පාර අද්දර තවත් වෙළෙන්දෝ කීපදෙනෙක් සිටියහ. මෙහි බෙහෙත් බඩු වෙළෙන්දන්, සොරකම් කළ විවිධ සුන්බුන් වර්ග විකුණන අය, මැජික්කරුවන් ආදී අය දක්නට වූ අතර ඒ හැමටම වඩා ශබ්ද නඟමින් මුළු නගරයම එතැනට කැඳවූයේ බාල රෙදි වෙන්දේසි කළ වෙළෙන්දා ය. ඝෝෂාවෙන් ඔහුට දෙවැනි වූයේ පසෙක වූ රටකජු වෙළෙන්දා පමණි. ඔහු තම රටකජු සඳහා විවිධ විසිතුරු නම් භාවිත කිරීමට පුරුදු වී සිටියේය. ඇතැම් දිනවල එය ‘බොම්බේ අයිස් ක්‍රීම්’ ලෙසත්, තවත් දිනවල එය ‘දිල්ලි ආමන්ඩ් ඇට’ හෝ ‘රාජා ගේ ප්‍රණීත ආහාරය’ ලෙසත් ඔහු හැඳින්වූ අතර ඔහු වටා ගනුදෙනුකරුවෝ රොක් වූහ. 

මේ සෙනඟින් සැලකිය යුතු ප්‍රමාණයක් නැකත්කරු ඉදිරිපස ද තාවර විය. නැකත්කරු තම ව්‍යාපාරය කළේ රටකජු වෙළෙන්දා ගේ රටකජු ගොඩ අසල දල්වා දුම් දමමින් තිබුණු පන්දමේ ආලෝකයෙනි. මේ පෙදෙසට නගර සභාවේ විදුලි ආලෝකය නොලැබීම නිසා හාත්පස එක්තරා ආකාරයක මායාකාරී පෙනුමක් විය. මෙහි වූ ව්‍යාපාරිකයෝ අසල කඩ වීදියේ සාප්පු වල එළියෙන් හෝ ගෑස් ලාම්පු දෙකතුනක්, කණු මත රැඳවූ පන්දම් හෝ  පැරණි පාපැදි ලාම්පු ආදියෙන් තම ව්‍යාපාර ආලෝකවත් කරගත් අතර නැකත්කරු වැනි කිහිපදෙනෙක් පමණක් තමන්ගේ ම ආලෝක ප්‍රභවයක් රහිතව කටයුතු කළහ. මේ විවිධ ආලෝක තීරු සහ සෙවනැලි නිසා එහි අවට පරිසරයේ එක්තරා ආකාරයක අවුල් සහගත බවක් මැවුනද, නැකත්කරු නම් ඊට බොහොම කැමති විය. මීට හේතුව ඔහු අතීතයේදී නැකත්කරුවෙකු වීමට කිසිම බලාපොරොත්තුවක් නොතිබීමත්, අනාගතයේ සිදුවිය හැකි දේ ගැන සාමාන්‍ය මිනිසුන් තරමටම ඔහු ද කිසි දෙයක් නොදැන සිටීමත් ය. ඔහු තම අහිංසක ගනුදෙනුකරුවන් තරමටම නක්ෂත්‍රයට ආගන්තුකයෙකු විය. නමුත් ඔහු කී අනාවැකි ඇසූ අය සතුටටත් පුදුමයටත් පත් වූහ. ඔහුගේ මේ හැකියාව සත්‍ය වශයෙන්ම පළපුරුද්දත්, නිරීක්ෂණයත්, අනුමානයත් යන ඒවායේ සංකලනයක් විය. කෙසේ වෙතත්, ඔහුගේත් අවංක කුළී කරුවකුගේත් වෙනසක් නොතිබුණු අතර දවස අවසානයේ ඔහු ද තම වෙහෙස මහන්සියෙන් මුදල් උපයා තිබිණි. 

ඔහු පෙර කලෙක තම උපන් ගමෙන් පිටවූයේ විශේෂ සැලසුමකින් තොරවයි. තවදුරටත් එහි විසුවේ නම් තම මුතුන් මිත්තන් කළ පරිදි ඉඩම් අස්වද්දමින්, විවාහ වී, තම බඩ ඉරිඟු වගාවටත්, මහගෙදරටත් සීමා වී වයසට යන්නට ඔහුට ඉඩ තිබිණි. නමුත් එය එසේ සිදු වන්නට නියමිත වූයේ නැත. දිනක් ඔහු කිසිවෙකුටත් නොකියා නිවසින් පිට වූ අතර එදින ගමෙන් පිටවී හැතැප්ම සීයක් දෙසීයක් ගතවන තුරු ඔහුට නිවනක් දැනුණේ නැත. ඔහු වැනි සාමාන්‍ය ගැමියෙකුට මේ දුර සාගරයක් තරම් විශාල විය. 

නැකත්කරු ට මිනිසුන්ගේ ගැටළු ගැන හොඳ අවබෝධයක් තිබිණි. ඒවා බොහෝ විට විවාහ, මුදල් හෝ අන්‍යොන්‍ය බැඳීම් නිසා ඇතිවන අර්බුද බව ඔහු දැන සිටියේ ය. කාලයක් තිස්සේ ලද පළපුරුද්ද ඔහුගේ සංජානනය තියුණු කර තිබිණි. කෙනෙකු ඔහු වෙත පැමිණ ගතවෙනි පළමු විනාඩි පහ ඇතුළත ඔහුට ඔවුන්ගේ ගැටලුව වැටහිණි. එක ප්‍රශ්නයකට පයිස තුනක් අය කළ ඔහු, ගනුදෙනුකරුවා විනාඩි දහයක් වත් කතා කරන තුරු තම කට ඇරියේ නැත. මේ කාලය තුළදී ලැබෙන තොරතුරු, පිළිතුරු සහ උපදෙස් දුසිමකට වුව සෑහිණි. 

“ඔබේ මහන්සියට නියම ප්‍රතිපල ලැබෙන්නේ නැහැ.” 

තමන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ අත්ල දෙස බලා ඔහු මෙසේ කියූ විට පුද්ගලයන් දහයකින් නවයක්ම ඔහු හා එකඟ වීම සාමාන්‍ය සිද්ධියක් විය. 

නොඑසේ නම් ඔහු මෙසේ ප්‍රශ්න කළේය. “ඔබේ පවුලේ කවුරුහරි ගෑනු කෙනෙක් ඉන්නවද- දුරින් නෑදෑ වෙන කෙනෙක් හරි- ඔබත් එක්ක අමනාපයෙන් ඉන්න?” 

ඇතැම්විට ඔහු ඔවුන්ට දුන්නේ චරිත විශ්ලේෂණයකි. “ඔබේ ප්‍රශ්නවලට වැඩිහරියක් හේතුව ඔබේ ගති ස්වභාවය. සෙනසුරු ඔහොම පිහිටලා තියෙද්දී මීට වඩා වැඩි වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔබ පිටතින් රළු ගතියක් පෙන්නන, කලබලෙන් වැඩකරන කෙනෙක්” මෙවැනි දෑ කීමෙන් ගනුදෙනුකරුවෝ ඔහු ගැන වහා පැහැදුන හ. මීට හේතුව ඉතාම මෘදු හදැති අය පවා තමන් ට රළු ස්වභාවයක් ඇති බව ඇසීමට ඇති කැමැත්තයි. 

එදින රටකජු වෙළෙන්දා සිය පන්දම නිවා දමා නිවාස බලා යන්නට සැරසුණේය. මෙය නැකත්කරුටත් තම බඩු මුට්ටු එකලස් කර පිටත්ව යාමට සංඥාවක් වූයේ පන්දම නිවූ පසු ඔහුට ඉතිරි වූයේ දුරකින් වැටුණු කුඩා කොළ පැහැති ආලෝක තීරුවක් පමණක් වූ බැවිනි. කවඩි බෙල්ලන් සහ අනෙකුත් දෑ එකතු කරගත් ඔහු, ඒවා තම මල්ලට දමද්දී ම තමන් ඉදිරියේ වූ කොළ පැහැ ආලෝකය අවහිර වනු ඔහුට පෙනුණි. ඔහු ඉදිරියේ මිනිසෙකු සිටගෙන සිටියේය. මේ ගනුදෙනුකරුවකු විය හැකි බැවින් ඔහු මෙසේ කීවේය. 

“ඔබට මහන්සි පාටයි, ටිකක් ඉඳගෙන මාත් එක්ක කතාකරමු.” 

ඊට පිළිතුරු ලෙස අනෙකා පහත් හඬින් යම් අවලාදයක් කීවේය. නැකත්කරු තවදුරටත් තම ආරාධනය ඉදිරිපත් කළ විට අමුත්තා තම අත්ල ඔහුගේ මුහුණටම දිගු කර මෙසේ කීවේය.

“තමුසේ හිතාගෙන ඉන්නේ මහා ලොකු සාස්තරකාරයෙක් කියලාද?” 

නැකත්කරු ට දැනුණේ තමන් ව අභියෝගයට ලක් කරන ලද බවකි. ඔහු අමුත්තාගේ අත්ල ආලෝක තීරුව පැත්තට හරවා “ඔබේ ගති ස්වභාවය අනුව..” යැයි කියන්නට පටන් ගත්තේය. 

“අනේ මේ, ඕක නවත්තාගන්නවා! මට වැඩක් ඇති දෙයක් කියනවා!” අමුත්තා ගෝරනාඩු කළේය. 

මෙය අසා අපගේ නැකත්කාර මිතුරාට නොරිස්සුමක් දැනුණි. 

“මම එක ප්‍රශ්නයකට අය කරන්නේ පයිස තුනයි, ඒ මුදලට සාධාරණ දෙයක් ඔබට ලැබෙයි.”

මෙය අසා අමුත්තා තම අත වැරෙන් ඉවත් කර අන්නාවක් ගෙන එය නැකත්කරු වෙත දමා ගැසුවේය. “මට ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න, හැබැයි තමුසේ බොරු කිව්වොත් මට මගේ සල්ලි ආපිට ඕන පොළියත් එක්ක,” ඔහු කීය. 

“මම දෙන උත්තර හරි නම් ඔබ මට රුපියල් පහක් දෙනවා ද?” 

“බෑ” 

“එහෙනම් අන්නා අටක්?”

“හරි, හැබැයි තමුසේ වැරදි නම් මට ඒ වගේ දෙගුණයක් ආපිට දෙන්න ඕන.” 

තවත් තර්ක රහිත ව මේ ගනුදෙනුවට දෙපාර්ශවය ම එකඟ විය. නැකත්කරු දෙවියන්ට යාඥා කරද්දී අනෙකා බීඩියක් දල්වා ගත්තේය. නැකත්කරු අමුත්තාගේ මුහුණ දුටුවේ ගිනිකූර දැල්වෙද්දී විහිදුණු එළියෙනි. මාවතේ මෝටර් රථ වෙතින් ඇසෙන නළා හඬ, අස්රිය රියැදුරන් අශ්වයන්ට නොසරුප් වදනින් බනින හඬ සහ මග යන එන්නන්නගේ ඝෝෂාව නිසා උද්‍යානයේ පැතිරුණු අඩ අඳුර කැළඹෙමින් තිබිද්දී ඔහු මොහොතක් නිසොල්මන් විය. අමුත්තා නොසැලකිල්ලෙන් බීඩිය උරමින්, දුම් පිඹිමින් ඔහු ඉදිරිපසින් ඇන තබාගෙන සිටියේය. නැකත්කරුට මහත් අපහසුතාවයක් දැනුණි. 

“මෙන්න ඔබේ අන්නාව අරගන්න, මට වැඩිය පුරුදු නැහැ ඔය අභියෝග. අනික දැන් පරක්කු වෙලා…” ඔහු තම බඩු මුට්ටු එකතු කරගන්නට පටන් ගත්තේය. 

එහෙත් අමුත්තා වැරෙන් ඔහුගේ අතින් අල්ලා ගත්තේ ය. 

“තමුසෙට දැන් මේකෙන් ගැලවෙන්න බැහැ, මම මෙතැනින් යද්දී තමුසෙම නේ මාව නවත්තාගත්තේ!”

ඒ ග්‍රහණයට මැදි වූ නැකත්කරු වෙව්ලන්නට විය. කොඳුරමින් කතා කළ ඔහුගේ කටහඬ බිඳුණි. 

“අදට මට යන්න දෙන්න, මම හෙට ඔහේ එක්ක කතා කරන්නම්.”

නමුත් අමුත්තා තම අත්ල ඔහු වෙත පා මෙසේ කීවේ කේන්තියෙනි. “අභියෝගේ නම් අභියෝගේ, හරි! අනාවැකි කියනවා බලන්න”

තම උගුර කට වියළී යන බවක් නැකත්කරු ට දැනුණි. 

“ඔහේ ගේ පවුලේ ඈතින් නෑදෑ වෙන ගෑනු කෙනෙක් ඉන්නවා…” ඔහු කියන්නට පටන් ගත්තේය. 

“ඕක නවත්තා ගන්නවා,”අනෙකා කෑ ගගැසුවේ ය. “මට ඒවා වැඩක් නැහැ, මම දැන් හොයමින් ඉන්නා දේ මට හම්බවෙනවාද විතරක් කියනවා. ඒකට උත්තර දීලා තමුසෙට යන්න පුළුවන්. හැබැයි තමුසේ ඒකට උත්තරේ කියන කම් මම තමුසෙගෙ ඔක්කොම කාසි ටික ගන්නවා.”

නැකත්කරු ස්ත්‍රෝත කීපයක් මුමුණා ඉනික්බිති මෙසේ කීවේය. 

“හරි, මම උත්තර දෙන්නම්, හැබැයි මම කියන දේ පිළිගන්න පුළුවන් නම් මට රුපියලක් දෙන්න ඕන, නැත්නම් මම කට අරින්නේ නැහැ, ඔහෙට කැමති දෙයක් කරන්න පුළුවන්.” 

සෑහෙන වෙලාවක් කේවල් කිරීමෙන් අනතුරුව අනෙකා මීට එකඟ විය. නැකත්කරු මෙසේ ඇසීය.

“ඔහේ මැරෙන්න කියලා අත ඇරලා දාලා හිටිය කෙනෙක්, මම හරි ද?”

“තව විස්තර කියනවා බලන්න.”

“ඔහේට පිහි ඇනුමක් වෙලා තියෙනවා.”

“තමුසේ මරු මිනිහෙක් නේ!” අමුත්තා තම කමිසය ගලවා කැළල පෙන්වමින් කීවේය. “තව මොනවාද?”

“ඉන්පස්සේ කිට්ටුව පිට්ටනියක තිබුණු ළිඳකට ඔහේ ව තල්ලු කරලා දාලා මැරෙන්න ඇරලා තිබුණා.”

“පාරේ ගිය කෙනෙක් මාව අහම්බෙන් දැක්කේ නැත්නම් එදා මාව මැරෙනවා,” මෙය අසා අනෙකා උද්යෝගයෙන් මත් වී කෑ ගැසුවේය. “කියනවා! මට කවදාද ඌව අහුවෙන්නේ?” ඔහු ඇසුවේ අත මිට මොළවමිනි.

“ඒක නම් සිද්ධ වෙන්නේ එහා ලෝකෙදි” නැකත්කරු පිළිතුරු දුන්නේය. “මීට මාස හතරකට කළින් ඈත නගරෙකදී ඔහේට පිහියෙන් ඇන්න ඒ මනුස්සයා මළා. ඔහෙට ආයෙත් කවදාවත් එයාව හම්බවෙන්නේ නැහැ.” මෙය අසා අනෙකා සිත් තැවුලෙන් කෙඳිරි ගෑවේය. 

“ගුරු නායක්-” 

“තමුසේ මගේ නම දන්නවා!” අමුත්තා කීවේ පුදුමයෙනි.

“අනෙත් හැම දේම වගේම මම ඒකත් දන්නවා. ගුරු නායක්, මම කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔහේ ගේ ගම මෙතැන ඉඳන් උතුරට දවස් දෙකක දුරක්. ඊළඟ කෝච්චියේ නැගලා ගමට යන්න. ආයෙත් වතාවක් ගෙදරින් පිටවුනොත් තමුන්ගේ ජීවිතේ අනතුරේ.” ඔහු දෑඟිලි අතරට ශුද්ධ වූ අළු බිඳක් ගෙන එය අනෙකා වෙත පෑවේය. “මේක තමුන්ගේ නළලේ ගාගෙන ගෙදර යන්න. ආයෙත් කවදාවත් මේ දකුණු පළාතට එන්න එපා, එහෙම නෑවිත් හිටියොත් ඔහෙට අවුරුදු සීයක් ජීවත් වෙන්න පුළුවන්.” 

“මම ආයෙත් මොකට ගෙදරින් යනවාද?” අමුත්තා කල්පනා බරව කීවේය. “මම එහෙ මෙහෙ ගියේ මට මේ විපත කළ එකා හොයලා උගේ බෙල්ල මිරිකන්න.” ඉනික්බිති ඔහු පසු තැවීමෙන් හිස සැලීය. “ඌ මගෙන් බේරුණා. අඩුම ගානේ ඌ කළ දේ පටිසන් දීලා මළා නම් මට ඒ ඇති.” 

“ඔව්.” නැකත්කරු පිළිතුරු දුන්නේය. “එයා මැරුණේ ලොරියක හැප්පිලා.” මේ පුවත අසා අනෙකා සතුටු වූ බවක් පෙනුණි. 

නැකත්කරු තම ආම්පන්න මල්ලට දමාගනිද්දී හාත්පස හිස් ව පැවතිණි. ඔහු ඉදිරියේ වැටී තිබුණු කොළ පැහැති ආලෝක තීරුවත් ඒ වෙද්දී අතුරුදන් ව තිබුණු නිසා දසත පැතිරුණේ අඳුර සහ නිහඬ බව යි. ඔහුට කාසි අහුරක් දීමෙන් අනතුරුව අමුත්තා අඳුරේ නොපෙනී ගියේ ය. නැකත්කරු නිවසට එළඹෙද්දී මැදියම් රැය ද පසු වී තිබිණි. එළිපත්ත මත ඔහු එනතුරු බලා සිටි ඔහුගේ බිරිඳ ඔහු පමා වීමට හේතු කාරණා විමසා සිටියා ය.

“මෙන්න මේ සල්ලි ගණන් කරලා බලන්න, එක මිනිහෙක් ඔය ඔක්කොම දුන්නේ” ඔහු කාසි අහුර ඇය වෙත වීසිකරමින් කීවේය. 

“මෙතැන අන්නා දොළහමාරක් තියෙනවා,” ඈ සතුටින් ඉපිලෙමින් කීවාය. “මට එහෙනම් හෙට හකුරු ටිකකුයි පොල් ගෙඩියකුයි ගන්න පුළුවන්. පොඩි එකී දවස් ගාණක ඉඳන් පැණිරස කෑමක් හදලා දෙන්න කියලා ඉල්ලනවා, දැන් මට පුළුවන් ඒකිට රසකැවිල්ලක් හදලා දෙන්න” 

“ඒ කපටි මිනිහා මට වංචා කළා…ඌ මට රුපියලක් දෙනවා කියලායි පොරොන්දු වුණේ…” නැකත්කරු කීය. 

“ඔයා හිත කරදරයෙන් ඉන්න පාටයි, මොකක්ද ප්‍රශ්නේ?” ඔහුගේ බිරිඳ ඔහු දෙස බලමින් ඇසුවාය. 

“මුකුත් නැහැ” 

රාත්‍රී ආහාරයෙන් පසු, මිටි බංකුවේ අසුන්ගෙන සිටියදී ඔහු ඈට මෙසේ කීවේය. 

“ඔහේ දන්නවාද? අද මගේ හිතේ තිබුණු ලොකු බරක් අයින් වුණා. මේතරම් කල් මම හිතාගෙන හිටියේ මගේ දෑතේ එක මනුස්සයෙක්ගේ ලේ ගෑවිලා තියෙනවා කියලා. මම ගෙදරින් පැනලා ඇවිත්, මෙහෙ පදිංචි වෙලා, ඔහේ ව කසාද බැන්ද හේතුවත් ඒකයි. ඒත් බලද්දී ඒ මිනිහා මැරිලා නැහැ.”

“ඔයා මිනිහෙක් ව මරන්න හැදුවා?” ඈ විමතියෙන් ඇසුවා ය. 

“ඔව් අපේ ගමේ දී, ඒ මම මෝඩ වැඩ කරපු තරුණ කාලේ. ඒ කාලේ අපි  බිව්වා, සූදු කෙළියා, දවසක් ලොකු රණ්ඩුවක් ගියා- ඒත් දැන් මොකටද ඒ ගැන කල්පනා කරන්නේ? අපි නිදාගමු,” 

මෙසේ කියා ඈනුමක් හරිමින් ඔහු මිටි බංකුවේ දිගා විය. 


පරිවර්තනය-  හෙල්මලී ගුණතිලක 

Translation of ‘An Astrologer’s Day’ by R. K Narayan 

Picture Gemini AI



September 03, 2025

අශ්වයෙකු සහ එළුවෝ දෙදෙනෙකු




ඒ ගම්මානය කෙතරම් කුඩා එකක්ද යත් එය කිසිම සිතියමක සලකුණු ව තිබුණේ නැත. ප්‍රාදේශීය මිනින්දෝරු සිතියම් වල පවා එය ලකුණු වුයේ ඉතා කුඩා තිතකිනි. ‘කිරීටම්’ නම් වූ එහි දෙමළ බසින් තේරුම ඔටුන්නයි. ගම්මානයට පිවිසෙන තැන, දොරටුපාල ස්වරූපයෙන් දක්නට වූයේ මැටියෙන් තනා, පුළුස්සා, විවිධ පැහැ තවරන ලද අශ්වයකුගේ පිළිමයකි. මේ අශ්වයා ඉතා ගාම්භීර ලෙස හිස හරවා, තම ඉදිරි ගාත් ඔසවා සිටි අතර උගේ වලිගය අලංකාර ලෙස විසිරී තිබිණි. අශ්වයාට පසුපසින් තිබුණේ රණශූරයකුගේ පිළිරුවකි. ඔහු දෑකැති වැනි උඩු රැවුලක්, පිටතට නෙරූ දෑස් සහ තියුණු නාසයකින් හෙබි විය. මේ පිළිම නෙළූ අය සටන්කරුගේ විශාල දෑසින් ශක්තියත්, ගෙලේ වූ මැණික් මාලයෙන් ඔහුගේ ධනවත් බවත් පෙන්වීමට උත්සාහ කර තිබිණි. මේ වෙද්දී හිරු එළියට පිළිස්සී, වැස්සට සේදී පැහැය වියැකී තිබුණත් අතීතයේදී මේ මාලය කොළ, රතු මැණික් හා දියමන්ති එබ්බවූ ලෙසින් දිස් විය. දැන් දැන් අශ්වයා පුල්ලි සහිත බවක් පෙනුණද අතීතයේදී ඌ ඇපිල්ලූ රෙද්දක් සේ සුදු පැහැයෙන් බැබලුණු අතර උගේ පිට මත- රතු කළු කොටු සහිත බ්‍රොකේඩ් රෙද්දක් පින්තාරු කළ බවක් පෙනුණි. සටන්කරුගේ අතෙහි වූ කඩුව විචිත්‍ර වර්ණ වලින් අලංකාර කර, ඔහුගේ ඉන බැඳි රෙදි පටිය ඊට හාත්පසින් වෙනස් වර්ණයෙන් පාට ගන්වා තිබිණි. 

මේ අවට ප්‍රදේශයේ තැන තැන තිබුණු මෙවැනි අනෙත් පිළිම රැස විලසින්ම මෙයත්, හැම දෙනාටම නොපෙනී, අමතකව ගිය එකක් විය. ගඳපාන සහ පතොක් පඳුරු වැවී වල් බිහිවී තිබුණු මේ පිළිම, ගමේ රස්තියාදුකරුවෝ පවා නොසලකා හැරියෝහ. මේ දිනයේ පිළිමයට සමීපයේ වූ පතොක් පඳුරක හෙවනක මහලු මිනිසෙකු නිදි කිරමින් සිටියේය. ඔහුගේ එළුවෝ දෙදෙනා අසල උලා කමින් පසුවූහ. කොළ පැහැති බසය ඈත කන්ද බැස එදෙසට පැමිණෙන තුරු මිනිසා බලා සිටියේ ඔහුට එතැනින් ඉවත්ව නිවස බලා යන්නට ලැබෙන සංඥාව එය වූ බැවිනි. එහෙත් ඒ වෙනුවට එහි පැමිණියේ මෝටර් රථයකි. එහි රියදුරු පිළිමය දුටු සැණින් වැරෙන් තිරිංග තද කර, රථය නවත්වා, බිමට පැන, ඒ වෙත ගියේය. 

“නියමයි!” ඔහු පිළිමය වටා ඇවිදිමින් කෑ ගැසුවේය.

ඔහුගේ මුහුණ අව්වට පිළිස්සී රත් පැහැ ව තිබිණි. ඔහු හැඳ සිටියේ කාකි පැහැති කොට කලිසමක් සහ කමිසයකි. අසල උන් මහලු මිනිසා දැක ඔහු ආචාරශීලීව ඉංග්‍රීසි බසින් “ඔබට කොහොමද?” කීවේය. 

මහලු මිනිසා පිළිතුරු දුන්නේ ඔහුගේ එකම සන්නිවේදන මාර්ගය වූ පිරිසිදු දෙමළ බසිනි. 

“මගේ නම මුනි. අර ඉන්න එළුවෝ දෙන්නා තනිකරම මගේ. මුළු ගමක්ම ඕකට අනම් මනම් කියන්න පුළුවන් හැබැයි මුන් දෙන්නාට වෙන කිසි කෙනෙකුට අයිතිවාසිකම් කියන්න බැහැ.”

රතු මුහුණින් යුත් ආගන්තුකයා ගල් කුළු අසල උලා කමින් සිටි එළුවන් දෙස මොහොතක් බලා, සිගරට්ටුවක් පිටතට ගෙන, “ඔබ දුම් බොනවාද?” විමසුවේය. 

“මම නම් ඔය විස්තරය ඇහුවෙත් ඊයේ තමයි.” මුනි කලබලයෙන් කීවේය. ඔහු සිතුවේ මේ කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලදරුවෙකු බවත්, ළඟදී ඒ ප්‍රදේශයේ වූ මිනී මැරුමක් ගැන ඔහු තමන්ගෙන් තොරතුරු විමසන බවත් ය. 

“මම ආවේ නිව් යෝක් ඉඳන්, අහලා තියෙනවාද? අමෙරිකා?” 

නිව් යෝක් කෙසේ වෙතත් අමෙරිකා යන වදන තමන් උච්චාරණය කරන ලෙසට, එනම් ‘ඇහ්-මෙ-රික්යා’ ලෙසට කියනු ලැබුවේ නම් මහලු මිනිසා එය තේරුම් ගන්නට ඉඩ තිබිණි. නමුත් මේ අවස්ථාවේදී නම් ඔහුට කිසිවක් නොතේරුණි. 

“මේ දවස්වල නරක මිනිස්සු හැම තැනම. ඔය සිනමා බලලා තමයි මිනිස්සු නරක් වෙන්නේ, වැරදි  දේවල් කරන්න ඉගෙන ගන්නේ ඒවායින්. ඇත්තටම දැන් කාලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්” ඔහු යටහත් පහත් ව කීවේය. 

“ඔබ දන්නවා ඇති මේ අශ්ව පිළිරුව තනන්නට ඇත්තේ කොයි කාලේද කියලා” අමුත්තා කෘතඥ ව සිනාසෙමින් ඇසුවේය. 

මේ සාමකාමී වාතාවරණයට ගැලපෙන පරිද්දෙන් මහලු මිනිසා ද හිනැහුණි. හිනැහෙමින් ම ඔහු මෙසේ බැගෑපත් විය.

“අනේ මහත්තයා මෙතැනින් යන්න. මම කිසි දෙයක් දන්නේ නැහැ. වැරදි වැඩ කරන කෙනෙක් හම්බවුණොත් මහත්තයා වෙනුවෙන් අල්ලලා තියාගන්න බවට මම පොරොන්දු වෙනවා. හැබැයි අපේ ගමේ නම් කවුරුත් එහෙම නැහැ, සමහරවිට එහා ගමේ වෙන්න ඇති.” 

“මම කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හෙමින් කතාකරන්නම්,” රතු මුහුණැති මිනිසා කීවේය. “මම මේ රටට ආවේ සති තුනකට කළින්. මේ වෙද්දී මම ඔබේ අලංකාර රට පුරා හැතැප්ම පන්දාහක් විතර ඇවිදලා තියෙනවා.”

මෙය අසා මහලු මිනිසා යටි උගුරෙන් ශබ්ද කිහිපයක් නැගුවේය. මින් දිරිමත් වූ අමුත්තා තමන් එරටට පැමිණි කාරණාව දීර්ඝ ලෙස පැහැදිලි කළේ හැම වචනයක්ම සෙමින්, පැහැදිලි ව උච්චාරණය කරමිනි. ඔහු ඒ රටට කෙතරම් කැමති ද යන වග, ඔහු තම උපන් රටේ කළ රාජකාරි, ඉන්දියාවේ සංචාරය කිරීමට ඔහු වසර ගණනක් තිස්සේ සැලසුම් කළ හැටි, අනාගත බලාපොරොත්තු - මේ හැම දෙයක්ම ඔහු පැහැදිලි කළේ වරින් වර කතාව නවත්වමින්, මිතුරු සිනහවක් පාමින් ය. මහලු මිනිසා මීට පිළිතුරු ලෙස සිනාසුණත් කිසිවක් කීවේ නැත. අන්තිමේදී අමුත්තා මෙසේ කීවේය. 

“ඔබගේ වයස කීයද? ඔබට හරි ලස්සන දත් දෙපෙළක් තියෙනවනේ, ඒ ඇත්ත ඒවාද? ඔබේ රහස කුමක්ද?” 

මහලු මිනිසා නළල රැළි ගන්වා දුක්මුසුව මෙසේ පිළිතුරු දුන්නේය. 

“සමහර වෙලාවට අපෙත් හරක් අතුරුදන් වෙනවා, එතකොට අපි ගිහින් නැකත්කාරයෙක් හම්බවෙනවා. එයා කපුරු දැල්ලක් දිහා බලලා අපිට කියනවා නැතිවුණු සත්තු හොයන්න කොයි අතට ද යන්න ඕන කියලා… මම දැන් ගෙදර යන්න ඕන,” මෙසේ කියමින් ඔහු යන්නට හැරුණේය. 

අනෙකා ඔහුගේ උරෙන් අල්ලා නවත්වා ඉතා උනන්දුවෙන් මෙසේ ඇසුවේය. 

“මේ හරියේ කවුරු හරි- කවුරුම හරි ඉන්නවද මම මේ කියන දේ පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්?” ඔහු මේ උණුසුම් හවස් වරුවේ පාලුවට ගොස් තිබුණු මාවතේ ඒ මේ අත බලන්නට විය. හදිසියේ හැමූ සුළඟක් දුහුවිල්ලත්, මාවත අයිනේ වූ වියළි පත්‍රත් අවුස්සා, විනිවිද පෙනෙන කුලුනක් සේ ඒවා මොහොතකට රඳවා, කඳු පාර වෙත තල්ලු කළේය. 

“මේ පිළිමය ඔබේද? මට ඒක විකුණනවාද?”

අමුත්තා මේ අසන්නේ අශ්ව පිළිමය ගැන බව මහලු මිනිසා ට වැටහිණි. ඔහු මඳක් කල්පනා කර මෙසේ කීවේය. “මගේ සීයා මේ අශ්වයාත්, සටන්කාරයාත් ගැන මට විස්තර කියද්දී මම මේං මේ තරම් විතර පැංචෙක්. මම හිතන්නේ සීයාට එයාගේ සීයා ඒක කියද්දීත් එයා ඒ තරම් විතර ඇති.. ඒ සීයාගේ සීයාත්…” පිළිමයේ පැරණි බව ගැන විස්තර කියන්නට ගොස් අතීතාවර්ජනය නමැති ගොහොරුවේ ඔහු තව තවත් ගිලෙන්නට වූ අතර අන්තිමේදී ඔහු මෙසේ කියමින් අමාරුවෙන් ඉන් ගොඩට පැමිණියේ ය. 

“මගේ සීයාගේ සීයාගේ මාමා මේ ගැන හරියටම දන්නවා, හැබැයි මට එයාව මතක නැහැ.” 

“මට මේ පිළිමය කොහොමහරි ගන්න ඕන.” අමුත්තා කීවේය. “ඔබ මට වැඩි මිළක් නොකියාවි කියලා මම හිතනවා” 

“මේ අශ්වයා,” මහලු මිනිසා තවදුරටත් විස්තර කරන්නට විය. “කලියුගය අවසානේ දහවෙනි අවතාරය හැටියට පෙනී ඉන්න නියමිතයි.”

අමුත්තා එයට හිස සලා එකඟ විය. ඔහු ‘අවතාර’ යන වචනය දැන සිටියේය. 

“මේ කලියුගය අවසානයේදී මේ ලෝකයත්, අනෙත් හැම ලෝකයක්මත් විනාස වෙනවා. එතකොට තමයි කල්කි කියන අශ්වයාගේ වේසයෙන් ගැලවුම්කාරයා එන්නේ. උන්නාන්සේ හොඳ මිනිස්සුන්ට උදවු කරලා නරක මිනිස්සුන්ව මහා ගං වතුරකින් යටවෙන්න අරිනවා. එදාට මේ පිළිමයේ අශ්වයාට පණ එනවා. ඒ නිසා තමයි අපේ ගම මුළු ලෝකෙන්ම උතුම් ම ගම වෙන්නේ.” 

“මම සාධාරණ ගාණක් ගෙවන්න ලෑස්තියි-” අමුත්තා කියන්නට ගත් නමුත් මේ වෙද්දී මහලු මිනිසා විවිධ අවතාර හෙවත් දේව මූර්ති කතන්දරවල මායාවට වශී වී සිටි බැවින් ඒ ප්‍රකාශයට බාධා විය.

“විෂ්ණු දෙවියෝ තමයි දෙවියන් අතරින් උසස්ම- එහෙම තමයි අපේ කෝවිලේ පණ්ඩිත් ගුරු නිතරම කියන්නේ. මීට කලින් මේ ලෝකේ නපුරු මිනිස්සු බලවත් වුණු නව වතාවකදී විෂ්ණු දෙවියෝ පෙනී ඉඳලා තියෙනවා.”

“මම ලොකු පෝසතෙක් නම් නෙමෙයි..”

“පළවෙනි අවතාරය මාලුවෙක් ගේ වෙස් අරන් ආවේ,” මහලු මිනිසා කීවේය. ඉනික්බිති ඔහු විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය වේශය ගැනත් ඔහු විසින් ශුද්ධ ලියවිලි මූදුබත් වීමෙන් බේරාගත් අයුරුත් පැහැදිලි කළේය. මේ පළමු අවස්ථාව විස්තර කළ පසු විෂ්ණු දෙවියන්ගේ ඊළඟ මූර්ති- එනම් ඉබ්බෙකු, වල් ඌරෙකු ආදිය ගැන විස්තර කීම නොවැළක්විය හැකි විය. 

“මේක ප්‍රවාහනය තමයි මගේ ලොකුම ගැටලුව වෙන්නේ, හැබයි මම ඒ ගැන පස්සේ වද වෙන්නම්. මට කියන්න, ඔබ මේ අශ්වයා වෙනුවෙන් විතරක් රුපියක් සීයක් භාරගන්න කැමතිද? ඇත්තම කියනවා නම් මම මේ උඩුරැවුල්කාර සොල්දාදුවාටත් කැමතියි, හැබැයි මේ වතාවේ එයාව ගෙනියන්න ඉඩ නැහැ, ඒකට ලබන අවුරුද්දේ එන්න වෙනවා.” 

“විෂ්ණු දෙවියෝ තමයි හැම වතාවෙම විපත් වලින් මිනිස් සංහතිය බේරා ගන්නේ. එක වතාවක් උන් වහන්සේ රාමා හැටියට ඉපදුනා. ලෝකෙම හොල්ලපු, ඔලු දහයක් තියෙන රාවණා ව විනාශ කරන්න පුළුවන් වුණේ එයාට විතරයි. මේ මහත්තයා රාමායනය ගැන දන්නවාද?”

“මගේ ස්ටේෂන් වැගන් එක තියෙනවානේ. මට ඔබ මට පොඩි උදව්වක් දුන්නොත් මට පුළුවන් සීට් එක පහත් කරලා අශ්වයා ව දාගන්න.”

“මහත්තයා මහා භාරතය දන්නවාද? ක්‍රිෂ්ණා තමයි විෂ්ණු ගේ අට වෙනි අවතාරය. ඒ වතාවේ විෂ්ණු, සහෝදරයෝ පස් දෙනෙකුට තමන්ගේ රාජධානිය බේරාගන්න උදවු කළා. ක්‍රිෂ්ණා පුංචි බබෙක් කාලේ නයි පෙන දාහක් තියෙන විශාල නාගයෙක් ගේ ඇඟ උඩ නටලා, ඌව පාගලා මරලා දැම්මා ලු.”

මේ වෙද්දී දෙදෙනා, අනෙකා පවසන දේ නොතේරීම නිසා උපරිම ලෙස එකිනෙකාව ව්‍යාකුල කරවා තිබිණි. මහලු මිනිසා කතාබහක අන්‍යොන්‍ය බව සමබර කිරීම සඳහා තමන්ගේ වාරයේදී නොකඩවා යම් යම් දේ කියවමින් සිටියේය. අමුත්තාගේ සිත දිනාගැනීමේ අදහසින් ඔහු මෙසේ කීවේය. 

“මේ උතුම් මහත්තයාට දෙවියෝ දරු මුණුබුරෝ රාශියක් තෑගි කරලා ඇති කියලා මම හිතනවා. මම එහෙම කියන්නේ මම වගේ වයසක මනුස්සයෙක් ළඟ ඉඳන් මෙහෙම කතාකරන්න මේ මහත්තයා හොඳ කෙනෙක් වෙන්න ඕන නිසා. වෙනදාට නම් මේ පාරේ යන කෙනෙක් දුම්කොළ කෑල්ලක් ඉල්ලන්න මාත් එක්ක කතා කළොත් මිසක් මට කතාකරන්න වෙන කිසි කෙනෙක් නැහැ. ඔබතුමාට ළමයි කීයක් ඉන්නවාද?”

“මහන්සි නොවී කිසි දෙයක් ලබාගන්න බැහැ” අමුත්තා තමන්ට කියා ගත්තේය. 

“එහෙනම් ඔබ මේකට රුපියල් සීයක් භාරගන්න කැමතිද?” ඔහු මහලු මිනිසාගෙන් විමසූ අතර මීට පිළිතුරු ලෙස තවත් ප්‍රශ්න රැසක් ලැබිණි. 

“මහත්තයා ට දූලා කීයද, පුත්තු කීයද? එයාලා කොහේද ඉන්නේ? දූලා බැඳලා ද? ඒ රටෙත් ගැලපෙන බෑණාලා හොයාගන්න අමාරුද?”

අමුත්තා තම සාක්කුවට අත දමා පසුම්බිය පිටතට ගෙන ඉන් රුපියල් සියයේ නෝට්ටුවක් එළියට ගත්තේය. මෙය දැක තම කතාබහ යම්කිසි මුල්‍යමය පරිච්ඡේදයකට පිළිපන් බව මහලු මිනිසාට වැටහිණි. ඔහු ඒ දෙස පරීක්ෂාවෙන් බලන්නට විය. රුපියල් පහේ, දහයේ නෝට්ටු වල පැහැයන් ඔහු හොඳින් දැන සිටියේ ඒවා අනුන් අත දැක තිබුණු බැවිනි. මේ නෝට්ටුව නම් ඔහු ජීවිතයේ කිසි දිනක දැක නොතිබුණේ ඔහුගේ ඉපයුම තඹ සහ නිකල් කාසි වලට සීමා වූ බැවිනි. මේ අමුත්තා නෝට්ටුවක් දිග හැර පෙන්වන්නේ කුමකටද? සමහරවිට ඔහුට මේ නෝට්ටුව මාරු කරගැනීමට උවමනා වී තිබෙනවා විය හැක. විශාල අගයකින් යුත් මුදල් නෝට්ටුවක් ගෙන හැර පා කිසිවෙකු තමන් වෙතින් මාරු සල්ලි ඉල්ලීම ගැන ඔහුට සිනා පහල විය. 

“මාරු සල්ලි උවමනා නම් ගම්මුලාදෑනියාගෙන් ඉල්ලන්න වෙයි මහත්තයා. උන්දැ තමයි ගමේ උන්ට ණය දෙන්නේ. රුපියල් ලක්ෂයක් වුණත් රන් කාසි වලින් දෙයි ඉල්ලුවොත්. උන්දැගේ හිතේ කවුරුත් දන්නේ නැහැ කියලා, ඒත් උන්දැගේ පූජා කාමරේ බිම හෑරුවොත් වළලලා තියෙන වස්තු සම්භාරය දැක්කාම කලන්තේ හැදේවි. ඔය මිනිහා වැරහැලි ඇඳන් ඉන්නේ මිනිස්සුන්ව මුලා කරන්න.”

“මේ මදි නම් මට ගාන වැඩි කරන්න පුළුවන්.” අමුත්තා කීවේය. 

“මහත්තයාටම තමයි ගම්මුලාදෑනියා එක්ක කතාකරන්න වෙන්නේ, උන්දැට මාව පේන්න බැහැ. කවුරුහරි මිනිහාගේ වට්ටක්කා වැලක් ගෙඩි පිටින්ම හොරකම් කරලා. උන්දැගේ හිතේ ඒක කළේ මායි මගේ එළුවෝ දෙන්නායි කියලා. ඔන්න ඕක හින්දා තමයි මම ඔය ගොවිපොළවල් පැත්තට වත් මගේ එළුවෝ යවන්නේ නැත්තේ,” මහලු මිනිසා එසේ කීවේ ගල් කුළු අතරේ ඇති කුඩා ළදළු පවා කන්නට උත්සාහ කරමින් සිටි තම එළුවන් දෙස බලමිනි. 

අමුත්තා ද ඒ දෙස බැලූ අතර මහලු මිනිසාගේ සුරතලුන් වෙත ආදරය පෑම මේ අවස්ථාවට ගැලපෙන කාර්යයක් බව සිතුවේය. ඔහු උන් වෙත ගොස් සෙමෙන් උන්ගේ සිරුරු පිරිමැද්දේ ය. 

මහලු මිනිසාට සිදුවෙමින් තිබුණු දේ වැටහුණේ එවිටයි. ඔහු ජීවිත කාලයක් පුරා දුටු සිහිනයක් සැබෑ වෙමින් තිබිණි. මේ රතු මුහුණෙන් යුත් ආගන්තුකයා ඔහුගේ එළුවන් මිළට ගැනීමට ඉල්ලමිනි. ඔහු මේ එළුවන් උස් මහත් කළේ කෙදිනක හෝ උන් ව විකුණා මෙතැනම කඩයක් විවෘත කරන අරමුණ ඇතිවය. පොල් අතු සෙවිල්ලූ වහලක් යට ගෝනියක් අතුරා බදින ලද කජු, විවිධ පැහැයෙන් යුත් රසකැවිලි සහ මාවත ඔස්සේ පැමිණෙන මගීන්ගේ පවස නිවීමට කුරුම්බා විකිණීමට ඔහු සිහින මැව්වේය. මේ සඳහා ඔහුට රුපියල් විස්සක ප්‍රාග්ධනයක් අවශ්‍ය වූ අතර මඳක් පෙරැත්ත කිරීමෙන් අගන්තුකයාගෙන් ඒ මුදල ලබාගත හැකි බවට ඔහු කල්පනා කළේය. මේ සතුන් දෙදෙනා සත්ත්ව ප්‍රදර්ශනයක සම්මාන ලැබීමට තරම් සුවිශේෂී නොවුණත් ඉඳ හිට උන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට ඔහු වියදම් කර තිබුණු නිසා උන් හොඳ පෙනුමකින් යුතු විය. 

“මේ සල්ලි ඔක්කොම ඔබට, කැමති නම් ඔබේ සගයෙක් එක්ක බෙදා ගත්තත් ප්‍රශ්නයක් නැහැ,” මෙසේ කියමින් ආගන්තුකයා මහලු මිනිසාගේ අත රුපියල් එකසිය විස්සක් තැබුවේය. 

මහල්ලා මෝටර් රථය වෙත අත දිගුකර ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවේය. 

“ඔව් ඔව්, හරියට හරි” අනෙකා පිළිතුරු දුන්නේය. 

“හැබැයි මේක එළුවෝ දෙන්නා කාර් එකක යන පළවෙනි වතාව. එහෙනම් මම මෙතැනින් ගියාට පස්සේ උන් දෙන්නාව වාහනේට දාගන්න. නැත්නම් උන් කවදාවත් මහත්තයාගේ පස්සෙන් නම් එන එකක් නැහැ. මම පරලෝකෙට ගියත් උන් දෙන්නා මගේ පස්සේ තමයි!”  තමන්ගේම විහිලුවට සිනාසුණු ඔහු ඉනික්බිති දෑත් එක් කර අමුත්තාට ආචාර කර අනෙත් පස හැරී පඳුරක් අතරින් රිංගා නොපෙනී ගියේය. 

නිදහසේ උලාකමින් සිටි එළුවන් දෙස බැලූ අමුත්තා අශ්ව පිළිමයේ පාදම වෙත ගියේය. බැස යන හිරුගේ එළියෙන් පිළිමයේ අව පැහැ ගැන්වුණු වර්ණයන් අමුතු අලංකාරයකින් දිස් විය. 

“වයසක මනුස්සයා උදව්වට කවුරු හරි අඬගහගෙන එන්න යන්න ඇත්තේ” මෙසේ සිතූ ඔහු ඔවුන් එනතුරු බලා සිටීමට හරි බරි ගැසී හිඳ ගත්තේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 


Translation of the short story ‘A Horse and Two Goats’ by R. K Narayan

Picture generated by AI

May 31, 2024

මනමාලයා

 


ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් විරූපී අයෙකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේද නැත. ඔහු කුඩා දරුවෙකු මෙන් තතනමින් ගොත ගැසුවේ ය. ඔහුගේ වයසත් අභිරහසක් විය. එය වයස විස්සත් පනහත් අතර ඕනෑම ගණනක් වන්නට ඉඩ තිබිණි. ඔහු ජීවත් වූයේ ගම්මානය කෙළවර වූ පාරක තිබුණු නිවෙසක යි. ඒ නිවසේ හිමිකරුට දාසිගේ තිබුණු නෑකම ගම්වැසියන් අතර නිතරම විවාදයට බඳුන් වූ කරුණක් විය. දාසි නිවසේ හිමිකරුගේ බාල සහෝදරයෙකු බව ඇතැමුන් විශ්වාස කළ අතර තවත් අය කීවේ දාසි ඒ නිවැසියන් විසින් හදා වඩාගත් අනාථයෙකු බවයි. සැබෑ විස්තරය මින් කවරක් වූවත් එය දාසි වෙතින් නම් පැහැදිලිව විමසා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැත. ඊට හේතුව මා පෙර කී පරිදි දාසිට තම වයස වත් හරියාකාරව කියාගනු නොහැකිවීමයි. වයස අසනු ලැබුවොත් ඊට පිළිතුරු ලෙස එක් දිනෙක ඔහු වයස අවුරුදු සීයයි කියනු ඇති අතර ඊළඟ දිනයේදී වයස අවුරුදු පහයි යැයි කියනු ඇත. ඔහු විසූ නිවසින් ලැබුණු ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඔහුගේම ක්‍රමයකට එහි වැසියන්ට සේවය කළේ ය. ඔහු හැම දවසකම මධ්‍යහ්නය වන තුරු ළිඳෙන් දිය ගෙන ඒමත්, දර පැලීමත්, වත්ත කෙටීමත් සිදු කළේ ය.

හැම හවස් වරුවකම දාසි නිවසින් පිටතට ගියේය. ඔහු පිටත් වූ සැණින් ඔහුට උසුළු විසුළු කරමින් කුඩා ළමයින් රංචුවක් ඔහු පසුපස වැටීම සාමාන්‍ය සිද්ධියක් විය. මඟ යන එන්නන් සහ වෙළෙන්දන් පවා මෙලෙස ඔහුට කෙරෙන සමච්චලයට එක් විය. දාසි යන මඟ මන්තාපම් ලෙස නම් ලද නිවසක ඉදිරි ආලින්දයේ එක්තරා කණ්ඩායමක් දිනපතා එක් රැස් විය. මොවුන් අතීතයේ තමන්ගේ පලදායී කාලයේදී ප්‍රයෝජනවත් රැකියාවන් කළ වයසක මිනිසුන් පිරිසකි. දැන් ඔවුන්ට දවස පුරාම නියැලෙන්නට කිසිම රාජකාරියක් නොවිණි. ඔවුහු නිරතුරුව කුමක් හෝ විශේෂ සිදුවීමක් හෝ ඕපාදූපයක් සෙවීමට වෙහෙසුනහ. මේ නිසා දාසිගේ පැමිණීම ඔවුන්ට ගෙන ආවේ මහත් සතුටකි. ඔහු ඇස ගැටුණු මොහොතේම “ඒයි, උඹ මනමාලියෙක් හොයා ගත්තාද?” යැයි ඇසීම ඔවුන්ගේ පුරුද්දක් විය. මේ ප්‍රශ්නය දාසි ඔවුන් වෙත අනිවාර්යයෙන් ගෙන්වා ගැනීමට හේතු වූයේ ඔහු ද තමන්ගේ විවාහය ගැන ගැඹුරින් සහ උනන්දුවෙන් කල්පනා කළ බැවිනි. ඔහු ඔවුන් වෙත පැමිණ ඇන තබා ගත් විට “මංගල්ල වලට නියමිත කාලේ ඉවර වේගෙන යන්නේ කොල්ලෝ, ඉක්මන් කරන්න වෙයි” වැනි දෙයක් ඔවුහු කියති.

“ඔව්, ඔව්,” දාසි එවිට පිළිතුරු දෙයි. “මම ස්වාමි හම්බවෙන්න යන්නේ. එයා පොරොන්දු වුණා අද මේක විසඳලා දෙනවා කියලා.”

“අද?”

“ඔව් අද රෑට මම බඳිනවා. එයාලා එහෙම කිව්වා.”

“කවුද?”

“මගේ මාමා…”

“කවුද උඹේ මාමා?”

“මගේ අයියා තමයි මගේ මාමා. මම ඉන්නේ එයාගේ ගෙදර, මම වතුර අදින්නේ එයාගේ ළිඳෙන්. මේ බලන්න මගේ අත්දෙක, ඔක්කොම හම ගිහින් තියෙන්නේ…” මෙසේ කියා ඔහු තම දෑත් විදහා දෙඅත්ල පායි. ඔවුහු ඔහුගේ දෑත අල්ලා මෙසේ කියති. “අත් දෙක ලෑලි වගේ ගනකම් වෙලා! පවු මේ මිනිහා, මේක හරියන්නේ නැහැ, ඉක්මණින් මේක නතර කරගන්න නම් උඹ කසාද බඳින්න ඕන..”

මෙය අසා දාසිගේ දෑස් දීප්තිමත් වී, ඔහුගේ දෙතොල සතුටු සිනාවකින් මෑත් වන්නේ එක් විශාල දතක් පෙන්වමිනි. අවට හැමකෙනෙකුම මේ සිනාවට එකතු වෙද්දී ඔහු වැනෙමින් පැද්දෙමින් තව තවත් සිනා වේ.

ඉනික්බිති ඊළඟ ප්‍රශ්නය මතු වේ. “කෝ උඹේ මනමාලි?”

“එයා ඉන්නවා.. මදුරාසියේ.. මදුරාසියේ…”

“එයා කොයි වගේද?”

“එයාගේ ඇස් මේ වගේ,” දාසි තමන් ඉදිරිපස අවකාශයේ විශාල කවයක් අඳියි.

“එයාගේ හම මොන පාට ද?”

“සුදු ම සුදුයි.”

“එයාට දිග කොණ්ඩයක් තියෙනවද?”

දාසි කඩා හැලෙන කෙහෙරැළි තම දෑතින් පෙන්වයි.

“එයා ලස්සන ද?”

“ඔව්, ඔව්, එයා ලස්සනයි.”

දාසි තම දෑතින් මුහුණ වසාගෙන, තමන් ඉදිරිපස පිරිස දෙස හොරැහින් බලමින් “ඔව්, ඔව්, මමත් එයාට කැමතියි” යැයි ලජ්ජාවෙන් කියයි.

“උඹට ඉතින් කසාද බඳින්න සල්ලි තියෙනවාද?”

“එයාලා මට රුපියල් තුන්දාහක් දෙන්න ඕන,” දාසි පිළිතුරු දෙයි.

“ඔය කියන්නේ එයාගේ පඩිය එකතුවෙලා තියෙනවා කියන එක.”අසල සිටින කෙනෙක් මෙය පැහැදිලි කරති.

ඔහු ආපිට නිවසට ගිය විට මෙතෙක් වෙලාවක් කොහි සිටියේද අසනු ලදුව “මගේ කසාදෙ” යැයි ඔහු පිළිතුරු දෙයි. ඉනික්බිති ඔහු මඩුවට ගොස් ඔහු සතු වූ එකම වස්තුව වූ පැදුර මත වාඩි වී මහා රැයේ දී රාත්‍රී අහාරය ගැනීමට අඬගසන තුරු ඔහු මෙතැනම හිඳ තම කසාදය ගැන කල්පනා කරමින් සිටියි. ඔහු බත්, මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් නිසා ඔහුට කෑම ලැබුණේ අන්තිමට යි. අන් අය ආහාර ගෙන අවසන් වීමට පෙර ඔහුට කෑමට අඬගැසීම අනවශ්‍ය අවදානමක් ලෙස නිවැසියෝ සැලකුවෝය. කෑමෙන් පසු ඔහු විශාල කල්දේරම් පුරවා දිය ගෙනවිත් කුස්සියේත් කෑම කාමරයේත් පොළොව සෝදයි. ඉනික්බිති තම පැදුර වෙත ගොස් නිදාගන්නා දාසි පාන්දර නැවත පිබිද දිය ගෙන ඒමට ළිඳ වෙත යයි.

ගණන් කිරීමට පවා අපහසු වසර ගණනාවක් තිස්සේ මේ සියල්ල මෙලෙසම සිදුවෙමින් තිබිණි. දාසි ගේ ජීවිතයේ පවා එක්තරා ආකාරයක තානයක් සහ රිද්මයක් විය. ඔහු කිසිවක් පසුපස එළවූයේ නැත, කිසි කෙනෙකුගේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැත. ඔහුට කිසිවෙකු කතා නොකළේ නම් ඔහු කතා කළේ නැත. තමන් විහිලුවට ලක්වෙන බව වටහා ගත්තේ නැත. ඔහු හැම කෙනෙකුටම එක ලෙසම බැරෑරුම් ව සැලකුවේය. ගම්මානයේ පාසල් දරුවන් ඔහුට විසුළු කරමින් පසුපස දිව යද්දී ඔහු ඒ බව දුටු බවට වත් ලකුණක් පෙන්වූයේ නැත. ඔහුට කුළු හරකෙකු තරමට ශක්තිය තිබුණු බවට සැකයක් නැතත් මිහිතලය තරමට දරාගනීමක් ද තිබිණි. ඔහු කිසි දෙයකින් කරදරයට පත්වූ බවක් පෙනුණේ නැත.

මතක ඇති කාලයක පටන් තුන්වන වීදියේ හිස් ව තිබුණු කුඩා නිවසේ ‘කුලියට දීමට තිබේ’ යයි සඳහන් දැන්වීම හදිසියේම අතුරුදන් විය. වෙනදාට ගමට පුවත්පත් සහ ලිපි පමණක් ගෙන එන දුම්රිය එක් දිනක උදෑසන ගමට මදුරාසියේ සිට සිනමා නිළියක් රැගෙන විත් තිබිණි. බාමිණි බායි නම් තරුණ කාන්තාවක් වූ ඇය අලංකාර සිනාවෙන්ද, සේද සහ වත්සුණු වලින්ද සැරසී සිටියාය. ඈ පෙර කී කුඩා නිවසේ පදිංචි වූවා ය.

වැඩි කලක් ගත වන්නට මත්තෙන් ගම්වැසියෝ ඇය ගැන සියලුම තොරතුරු සොයා ගත් හ. ඈ මල්ගුඩියේ විසූ ප්‍රසිද්ධ සංගීතඥයෙකු ගෙන් එම ශාස්ත්‍රය ඉගෙනුම පිණිස පැමිණ තිබුණු අතර ටික කලක් එහි විසුමට අපේක්ෂා කළ බව ආරංචි විය. ඈ සමඟ ඇගේ මහලු මවද ඒ නිවසේ විසුවාය. හැම දිනකම මේ කාන්තාව පාන්දරින්ම පිට ව ගොස් මධ්‍යහ්නයේදී පෙරළා පැමිණෙන බවත්, හවස තුන වන තුරු නිදා ගන්නා බවත්, ඉනික්බිති හවස පහට ට්‍රන්ක් පාර ඔස්සේ ඇවිදීමට යන බවත් ආදී තොරතුරු ගම්වැසියෝ දැන සිටියහ.

දිනක් මන්තාපම් හිදී ඔවුහු දාසි ට මෙසේ කීහ.

“දාසි අන්න උඹේ මනමාලි ඇවිත්.”

“කෝ?” දාසි ඇසුවේය. කලබල වී සිටි ඔහු තම සතුටත්, උද්වේගයත් පිට කිරීමට මහන්සි වන බවක් පෙනුණි. ඔහු වටා රැස්ව සිටි පිරිස බොහොම බැරෑරුම් ලෙස විස්තර කියන්නට වූහ.

“උඹ දන්නවා නේද අර එහා පාරේ තියෙන ගෙදර, අර පුංචි ගෙදර?”

“ඔව්, ඔව්”

“ඒකෙ එයා ඉන්නේ. එයා හැමදාම හවස පහට එළියට යනවා. උඹට ට්‍රිචි පාරට ගියානම් බලාගන්න තිබුණා.”

දාසි ලජ්ජාවෙන් හිස නමාගෙන සිටියේය. නමුත් ඔවුන් ඔහුව උසි ගැන්වූ තරම නිසාම අන්තිමේදී ඔහු ට්‍රන්ක් පාරට ගොස් පාර අද්දර ගසක සෙවනකට වී ඇන තබාගෙන බලා සිටියේය. ඒ වෙද්දී වෙලාව හවස දෙකට වත් වී නොතිබුණු බැවින් ඔහුට හවස හය වනතුරු බලා සිටින්නට විය. ඔහුගේ මුහුණට හිරු එළිය කෙළින්ම වැටී තිබිණි. ඔහු ගසේ කඳට හේත්තු වී කල්පනා කරමින් පසු විය. දූවිලි අවුස්සමින් මෝටර් රථ කිහිපයක් ද, ගෙජ්ජි සොලවමින් ගොනුන් බැඳි කරත්ත කිහිපයක්ද ගම්වැසියන් කීපදෙනෙක්ද ඔහුව පසු කර ඒ මේ අත ගිය මුත් දාසි ඒ කිසිවක් දුටුවේ නැත. ඔහු පාර දෙස බලාගත්වනම පසුවිය. ටික වෙලාවකට පසු ඈ එනු පෙනුණි. ඇගේ දසුනින් දාසිගේ උගුර වේලී ගියේ ය. ඔහුගේ නළල පුපුරු ගසන්නට වූ අතර සිරුර දාඩියෙන් තෙත් විය. ඔහු ඒ තරම් සුන්දර දසුනක් මුළු ජීවිතය පුරාම දැක තිබුණේ නැත. ඇගේ සුන්දරත්වයෙන් සහ තාරුණ්‍යයෙන් ඔහුගේ දෑස් නිලංකාර විය. ඔහුගේ සිත අවුල් වී, කැළඹී තිබිණි. වහා වහා උන් තැනින් නැගිට ගත් ඔහු හැකි තරම් වේගයෙන් ගෙදර දිව ආවේය. මඩුවේ තම පැදුරට වැටුණු ඔහු කෙතරම් කල්පනාවේ නිමග්න ව සිටියේද යත් රෑ කෑමට අඬ ගසනු ලදුවත් ඔහු නැගිට්ටේ නැත.

හාම්පුතා මඩුව වෙත පැමිණ ඔහුගේ සිරුර සෙලවීය. “උඹට මොකද වෙලා තියෙන්නේ?” ඔහු විමසුවේය.

“මගේ කසාදෙ… එයා ඇවිත්. එයා හොඳයි.”

“ගිහින් කෑම කාලා උඹේ වැඩ කරපන් මෝඩයා.” හාම්පුතා කීවේය.

ඊළඟ හවස් වරුවේ ත් දාසි ට්‍රන්ක් පාර වෙත ගියේය. නොබෝ දිනකින් මෙය දිනපතා සිදුවෙන පුරුද්දක් බවට පත් වීය. එසේ යන හැම දිනකම ඔහුගේ නිර්භීතකම වැඩි විය. අන්තිමේදී ඈ දෙස බැලීමට හැකි තරමට ඔහුට එඩි ලැබුණු දිනයක් උදා විය. ඈ ඔහු ව පසු කර යද්දී ඔහුගේ මුහුණ සැහැල්ලු වී සිනාවක් පාන්නට ඔහුගේ දෙතොල මෑත් විය. නමුත් වෙන කල්පනාවක පසු වූ තරුණිය මේ බව දුටුවේ නැත. ඈ නැවතත් නිවස වෙත පැමිණෙන තුරු බලා සිටි ඔහු ඒ වෙද්දී බිම් කළුවර වැටෙමින් තිබුණද, ඈ ඉවත බලා සිටියද, ඒ ගැන නොතකා යළි වරක් ඈ සමඟ සිනාසෙන්නට උත්සාහ කළේ ය. ප්‍රීතියෙන් විකසිත වූ මුහුණෙන් ඔහු ඈ පසුපස ගියේ ය. ඈ ගේට්ටුව විවර කර ඇවිද ගොස් ඇගේ නිවස වෙත පිවිසුණාය. මඳක් තාවර වූ ඔහු ඈ පසුපසින් නිවසට ඇතුලු වී, දොරකඩ පිවිසුම් ආලින්දයේ විදුලි ලාම්පුව යට සිටගත්තේ ය. තරුණියගේ මව මුළුතැන්ගෙයින් පිටව එද්දී ඔහු ව දැක “කවුද උඹ?” යැයි ඇසුවා ය.

දාසි ඇය දෙස බලා සිනාසෙනු දැක ඈ බියපත් වූවා ය.

“බාමා, කවුද මේ සාලේ මිනිහෙක් ඉන්නේ?” ඈ කෑ ගැසුවා ය.

බාමිණි බායි තම කාමරයෙන් පිටතට පැමිණ, “උඹ කවුද?” කියා දාසිගෙන් ඇසුවාය.

ඇගේ දසුනින් දාසි දිය වී ගියේ ය. ඒ වෙද්දී යම් කුඩා ප්‍රකාශණ හැකියාවක් ඔහු සතුව ඉතිරිව තිබුණේ නම් මේ මොහොතේ ඔහුට එයද අහිමි විය. ඇසි පිය ගසමින්, කෙළ ගිලිමින් සිටි ඔහුගෙන් දිස් වූයේ හුස්ම සිරවෙන මිනිසෙකුගේ පෙනුමකි. ඔහුගේ දෑස ප්‍රේමයෙන් දැල්වී තිබිණි. දෙතොල සිනාසෙන්නට වෙර දරමින් පසුවිය. ඉතා අපහසුවෙන් ඔහු මෙසේ කීවේය.

“මගේ මනමාලි .. මනමාලි, ඔයා මනමාලි”

“මොකක්ද උඹ කියන්නේ?”

“ඔයා මගේ මනමාලි,” ඔහු නැවතත් කියා ඈට මඳක් සමීප විය.

ඈ භීතියෙන් පසුපසට පැන ඔහුට අතුල් පහරක් එල්ල කළා ය. ඉනික්බිති ඇයත් ඇගේ මවත් මහා හඬින් කෑ ගැසූ තරමට අසල්වැසියෝ සහ මඟ යන එන්නෝ දිව ආහ. කිසිවෙකු විසින් පොලීසියේ උප පරීක්ෂකවරයා කැඳවා එන ලදී. අන්තිමේදී දාසි ව පොලීසියට රැගෙන ගිය නමුත් මන්තාපම් හි සාමාජිකයෝ තමන්ගේ ඇඳුරුම්කම් පාවිච්චි කර එදින රාත්‍රියේම ඔහු ව නිදහස් කර ගත් හ. නිදහස් වූ පසු ඔහු ආපිට තම නිවසට ගොස් පැදුරට වැටුණේ ය. ඒ හවස්වරුවේ දී ඔහුට විවිධ පුද්ගලයන්ගෙන් පහර වැදී තිබුණත් ඔහුට ඒවා දැනුණේ වත්, මතක තිබුණේ වත් නැත. ඔහුගේ ආත්මය එරෙහි වෙමින් තිබුණේ තම මුහුණට ලැබුණු අතුල් පහරට යි. ඔවුහු ඔහුට කෑමට හඬ ගසද්දී ඔහු නැගිටීම ප්‍රතික්ෂේප කළේ ය.

“ගිහින් කෑම කාපන් දාසි, උඹ මටත් අවනම්බු කරනවා. මින්පස්සේ එළියට එහෙම බහිනවා නෙමෙයි!” ඔහුගේ හාම්පුතා ඔහු වෙත ගොස් අණ කළේ ය.

නමුත් දාසි නැගිටීම ප්‍රතික්‍ෂ්ප කරමින් පසුවිය.

“යන්න. මම කන්නේ නැහැ” කී ඔහු පැදුරේ ගුලි වී බිත්තිය වෙත හැරුණේ ය.

නමුත් අවාසනාවට මීට පසු දිනයේදී දාසි නිවසින් එළියට බැස්සේ ප්‍රථමික පාසලේ දරුවන් දිවා විවේකයට පිටතට එද්දීම යි. මොවුන් හැම දෙනාටම පෙර දිනයේදී වූ සිදුවීම ආරංචි වී තිබිණි. දාසි ව වට කරගත් ඔවුහු “ආ! මනමාලයා!” කියමින් කෑගසන්නට වූහ. ඔහු ආපසු හැරී ඔවුන් දෙස බලද්දී ඔහුගේ දෑස කඳුලින් පිරී තිබිණි. “යන්න, යන්න, මට කරදර කරන්න එපා..” ඔහු අසරණ ලෙස ඔවුන්ගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියේ ය.

“ආ මනමාලයා තාම අඬනවා, ඇයි මනමාලි ඊයේ මෙයාට ගහලානේ,” එක කොලුවෙක් කීවේය. මෙය ඇසූ දාසි යක්ෂාවේශ විය. ඔහු එම කොලුවා වෙත පැන ඔහු ව කොලරයෙන් අල්ලා ඔසවා රැස්ව සිටි පිරිස වෙත වීසි කළේය. ඉනික්බිති ඔහු තම දෑත දෙපසට වනන්නට වූ අතර ඔහුට කිට්ටු වන්නට ආ හැමකෙනෙකුටම ඒවායෙන් පහර වැදිණි. පාසල වෙත දිව ගිය දාසි එහි මේස පුටු කඩා බිඳ දමන්නට විය. ඔහුව පරක් කරගැනීමට උත්සාහ කළ ගුරුවරු හතර දෙනෙකුට ඔහු පහර දුන් අතර එතැනින් දිව යද්දීත් ඔහුට මුණගැසුණු හැම කෙනෙකුටම පහර දුන්නේ ය. කඩ සාප්පු වලට වැදී බඩු මුට්ටු ඒ මේ අත වීසි කළ ඔහු එක තැනකින් තව තැනකට පැන්නේ දිවියෙකු ලෙසිනි, ගම පුරා සැනෙකින් දිව ගියේ කුණාටුවක් ලෙසිනි.

වහා වහා අවට වූ ගේට්ටු වැසිණි. කිහිපදෙනෙකු දාසි ව හඹා ගිය අතර වැඩි දෙනෙකු තෝරාගෙන තිබුණේ සැඟවීමයි.වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පොලිස් නිලධාරීන් පැමිණ දාසි ව යටත් කරගන්නා ලදී.

ඒ රාත්‍රිය දාසි පොලිස් කූඩුවේ ගත කළ අතර පසු දිනයේදී ඔහුව මානසික රෝහලට යවන ලදී. මුලදී ඔහුව පාලනය කිරීම පහසු වූයේ නැත. සති කීපයක් යනතුරු ඔහු ව කුටියක වෙන් කර තැබිණි. මේ කාලයේදී ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් පාර දෙස බලන්නට අවසර ඉල්ලා දාසි දොස්තරගෙන් බැගෑපත් වී තිබුණු අතර යහපත් ලෙස හැසිරුනොත් ඊට අවස්තාව දෙන බවට දොස්තර පොරොන්දු වී ය. මේ පාරිතෝෂිකය දාසිට කෙතරම් වැදගත් වී ද යත් ඔහු සතියක්ම හැම දෙනාගේ උපදෙස් පිලිපැද්දේය. මේ නිසා ඔහු ව සේවකයෙක් සමඟ ප්‍රධාන ගේට්ටුව වෙත යවන ලදී. ඒ මුළු පැය ම ඔහු එහි රැඳී තමන්ගේ මනමාලිය ඒ දැයි මඟ බලමින් පාර දෙස බලා සිට තිබිණි.

Translation of the short story Dasi the Bridegroom by R. K Narayan

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
සිසිල සඟරාව- ජුනි 2024 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)


Picture generated by Canva AI

September 05, 2023

තාත්තා කළ උදව්ව

 


Translation of the short story ‘ Father’s Help’ by R. K Narayan

සඳුදා උදෑසන එළඹ ඇති බව වැටහුණු විට ඇඳේ වැතිරී සිටි ස්වාමි කිලිපොලා ගියේය. ඔහුට දැනුණේ සිකුරාදා පාසලේ අන්තිම පරිච්ඡේදය අවසන් වූයේ මීට මොහොතකට කළින් බවයි. ඉතා ඉක්මණින් නැවතත් සඳුදා එළඹී ඇත! භූමි කම්පාවක් ඇතිවී පාසල් ගොඩනැඟිල්ල ධූලි බවට පත්වන්නැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය. නමුත් ඇල්බර්ට් මිෂන් පාසල නම් වූ එය, වසර සියයකට වැඩි කාලයක් මෙවැනි ප්‍රර්ථනා ලබා තවමත් නොසැලී පසුවිය. උදෑසන නමයට “මගේ ඔලුව කැක්කුමයි,” කියා ස්වාමිනාදන් කෑ ගැසුවේ ය. 

“කුලී කරත්තයක් ගෙන්නාගෙන ඉස්කෝලේ පලයන්.” ඔහුගේ මව කීවා ය. 

“එහෙම වුණොත් ඉස්කෝලෙට යද්දී මම සම්පූර්ණයෙන්ම මැරිලා ඉඳීවි. අම්මා දන්නවද කරත්තයක යද්දී කොයි තරම් ගැස්සෙනවා ද කියලා?”

“අද මුකුත් වැදගත් පාඩම් කෙරෙනවද?”

“වැදගත්! හහ්! අපේ භූගෝල ගුරුතුමා අවුරුද්දක් තිස්සේ එකම පාඩම උගන්වමින් ඉන්නේ. ඊළඟට තියෙන්නේ ගණිතය, ඒ කියන්නේ මුළු පාඩම පුරාවටම අපිට ගුරුවරයාගෙන් ගුටිකන්න තමයි වෙන්නේ… වැදගත් පාඩම්!”

මෙය අසා ස්වාමි ගෙදර නැවතිය යුතු බව අම්මා යෝජනා කළේ බොහොමත්ම නිර්ලෝභී ලෙසයි. 

උදෑසන නමයහමාරට, තමන් පාසලේ ශාලාවේ සිට මහා හඬින් යාඥා කිරීමට නියමිත වෙලාවේ ස්වාමි තම මවගේ කාමරයේ බංකුවක වැතිරී සිටියේ ය. 

“මොකද, අද ඉස්කෝලේ නැද්ද?”  තාත්තා ඔහුගෙන් ඇසී ය. 

“ඔලුව කැක්කුමයි,” ස්වාමි පිළිතුරු දුන්නේ ය. 

“විකාර! ලෑස්ති වෙලා යනවා.”

“ඔලුව කැක්කුමයි.”

“ඉරිදාට රස්තියාදු ගැහිල්ල අඩු කළොත් සඳුදාට ඔලුව කැක්කුම් නැති වෙයි.”

පියාගේ මුරණ්ඩු ගති ගැන හොඳින් දන සිටි ස්වාමි තම ක්‍රියා පිළිවෙල වෙනස් කළේ ය. 

“මට පරක්කු වෙලා පන්තියට යන්න බැහැ.”

“ඒක හරි, ඒත් ඒක කරන්න වෙනවා, උඹේම නේ වැරැද්ද. ගෙදර නවතින්න තීරණය කරන්න කලින් උඹට තිබ්බේ මගෙන් අහන්න.”

“මම මේ තරම් පරක්කු වෙලා ගියොත් සර් මොනවා හිතයිද?”

“උඹ පරක්කු ඔලුව කැක්කුම නිසා කියපන්.”

“එහෙම කිව්වොත් මට ගහයි.”

“එහෙමද? අපි බලමුකෝ. මොකද්ද එයාගේ නම?”

“සැමුවෙල්”

“එයා ඔක්කොම කොල්ලන්ට ගහනවා ද?”

“එයා හරි දරුණු යි, වැඩියත්ම පරක්කු වෙලා එන කොල්ලන්ට. මීට ටික දවසකට කළින් පරක්කු වෙලා ආවා කියලා ළමයෙක් ව පීරියඩ් එකක්ම පන්තියේ කෙළවරක දණ ගස්සලා තිබ්බා. මෙහෙම කළේ වේවැල් පාර හයකුත් දීලා කන් දෙකත් මිරිකුවාට පස්සේ. සැමුවෙල් ගේ පන්තියට පරක්කු වෙලා යන්න මම නම් කැමති නැහැ.”

“එයා ඔය තරම් දරුණුයි නම් ඇයි ලොකු මහත්තයාට කියන්නේ නැත්තේ?”

“හැමෝම කියන්නේ ලොකු මහත්තයාත් එයාට බයයි කියලා. මහා දරුණු මිනිහෙක්.”

ඉනික්බිති ස්වාමි සැමුවෙල් ගේ දරුණු ක්‍රියාකාරකම් ගැන බියකරු විස්තරයක් කළේ ය. කොලුවෙකුට වේවැල් පහර දීමට පටන් ගත් විට ලේ දකින තුරු ඔහු එය නොනවත්වන හැටි, ඉන්පසු නළලේ ලෝහිත සලකුණක් ඇඳෙන සේ ඒ ලේ ගලන අත්ල තම නළල ට තද කරන ලෙස කොලුවාට බල කරන හැටි ඔහු විස්තර කළේ ය. මෙය අසා තමන්ට පමා වී පන්තියට යා නොහැකි ඇයිද යන වග තම පියා විසින් තේරුම් ගනු ඇතැයි ස්වාමි බලාපොරොත්තු විය. නමුත් සිදු වූයේ අනිකකි. තාත්තාගේ හැසිරීම අනපේක්ෂිත ලෙස වෙනස් විය. ඔහු උද්යෝගයෙන් පසුවන බවක් පෙනුණි. “මේ ඌරෝ අපේ ළමයින්ට ගහලා මොනවද ඔප්පු කරන්න හදන්නේ? උන් ව සේවයෙන් පන්නලා දාන්න ඕන. ඉඳපන්කෝ හොඳ වැඩක් කරන්න…”

මෙහි ප්‍රතිපලය වූයේ ගුරුවරයාට කරනු ලබන එක්තරා අභියෝගයක් ලෙස ඔහු ස්වාමි ව ප්‍රමාද වී පන්තියට යැවීමට සූදානම් වීම යි . මේ ගැන ස්වාමි කෙතරම් විරෝධය පෑවත් ඉන් පලක් වූයේ නැත. ස්වාමි පාසල් යා යුතු විය. 

ස්වාමි ලක ලැහැස්ති වන අතරතුර තාත්තා විසින් විදුහල්පති ට දීමට දිගු ලිපියක් ලියා, එය කවරයක දමා වසා තිබිණි.

“තාත්තා මොනවාද ඕකේ ලියලා තියෙන්නේ?” ස්වාමිනාදන් බියෙන් ඇසුවේ ය. 

“උඹට අදාළ දෙයක් නෙමෙයි, මේක ලොකු මහත්තයාට දීලා උඹේ පන්තියට පලයන්.”

“තාත්තා ඕකේ අපේ සැමුවෙල් සර් ගැනත් ලිව්වාද?”

“එයා ගැන හොඳ විස්තරයක් ලිව්වා. ලොකු මහත්තයා ඕක කියෙව්වාම ඔය සැමුවෙල් කාරයව රස්සාවෙන් අස් කරලා පොලිසියට භාර දෙයි සමහර විට.”

“එයා මොනවා කළා කියලාද තාත්තා ලිව්වේ?”

“එයා කරපු දේවල් සේරම ඔය ලියුමේ ලියලා තියෙන්නේ. ඕක ලොකු මහත්තයාට දීලා උඹේ පන්තියට පලයන්, හවසට එද්දී මට ලියුම ලැබුණු බවට ලොකු මහත්තයාගෙන් තුණ්ඩුවක් අරන් වරෙන්.”

බොරුවට දිව්රීම අතින් ලෝකයේ සිටින නරකම කෙනා තමන් බව සිතමින් ස්වාමි පාසලට ගියේ ය. ඒ වෙද්දී ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට වධ දෙමින් තිබිණි. තමන් සැමුවෙල් ගැන විස්තර කරද්දී සත්‍යම කීවාද යන වග ඔහුට සැක සහිත වූ අතර ඉන්  කෙතරම් ප්‍රමාණයක් ඇත්ත ද, කෙතරම් ප්‍රමාණයක් මවාගත් දේ ද ඔහුට ම තීරණය කළ නොහැකි විය. සැමුවෙල් ගැන තීරණයක් ගැනීමට ඔහු මහමඟ අයිනේ මොහොතක් නැවතුණේ ය. සැබවින්ම නම් සැමුවෙල් එතරම් නරක මිනිසෙක් නොවී ය. ඔහු අනෙත් ගුරුවරුන්ට වඩා ප්‍රිය මනාප විය. ස්වාමි ගේ අලසකම් ගැන ඔහු ඉඳහිට විහිළුවක් දෙකක් පවා කළේ ය. ස්වාමි මේවා සැලකුවේ තමන්ට කරනු ලබන විශේෂ සැලකිල්ලක් ලෙසයි. නමුත් ඔහු අතීතයේ කෙදිනක හෝ සිසුන්ට දරුණු ලෙස සලකා තිබෙන්නට ඉඩ ඇත. ඔහුගේ වේවැල් පහරින් වරක් හෝ සිසුන්ගේ අත්ල හම ගැලවී තිබෙන්නට ඉඩ ඇත. මෙවැනි සිද්ධියක් ගැන මතක් කරගන්නට ස්වාමි වෙහෙස වූයේ ය. නමුත් එවැන්නක් ඔහුට මතක් වූයේ නැත. මීට වසර ගණනාවකට පෙර පළමු කාණ්ඩයේ කොලුවෙකුගේ අත්ල ට වේවැල් පහර දී ඉනික්බිති ඉන් ගැලූ ලේ කොලුවාගේ මුහුණේ තවරාගන්නට ඔහු අණ කර තිබිණි. නමුත් මේ සිද්ධිය ඇසින් දුටුවෙක් නොවූ අතර පාසලේ ළමුන් විසින් වසරින් වසර මේ පුරාවෘත්තය ඉදිරියට රැගෙන ගියහ. සැමුවෙල් ගේ චරිත ස්වභාවය ගැන ඇති වූ පටලැවිල්ලෙන් ස්වාමිගේ හිස බමන්නට විය. ඔහු සැබවින් ම හොඳ ද නරක ද යන වග, ලිපියේ වූ ඒ චෝදනා ලබන්නට ඔහු සුදුසු ද යන වග… නැවතත් ගෙදර දිව ගොස් මේ ලිපිය නැවත ගන්නට තාත්තාගෙන් යාප්පුවෙන් ඉල්ලන්නට ස්වාමි ට සිත් විය. නමුත් තාත්තා බෙහෙවින් මුරණ්ඩු අයෙකි.

කහ පැහැති පාසල් ගොඩනැගිල්ල වෙත ළඟා වෙද්දී තමන් සිදු කරන්නට යන්නේ වැරදි සාක්ෂි දී තම ගුරුවරයා විනාශ කරන්නට බව ස්වාමි ට වැටහිණි. විදුහල්පති සැමුවෙල් ව අස් කිරීමට ඉඩ ඇති අතර පොලීසිය ඔහුව යදම් ලා හිරේ ලනු ඇත. මේ සියලු නින්දාවන්, මදි පුංචිකම්, වේදනාවන් ට වගකිව යුත්තේ කවුද? ස්වාමි වෙව්ලා ගියේ ය. සැමුවෙල් ගැන තව තවත් සිතද්දී ස්වාමි ට ඔහු ගැන දැනෙන ශෝකය වැඩි විය. ඒ තලෙළු මුහුණ, රත් පැහැ ගැන්වුණු කුඩා දෑස, සිහින් උඩු රැවුල, රැවුල් කොට සහිත දෙකොපුල සහ නිකට, කහ පැහැති කබාය - මේ හැම දෙයක්ම ස්වාමි තුල ශෝකයක් ජනිත කළේ ය. තම සාක්කුවේ වූ ලියුමේ බර දැනෙද්දී ඔහුට හැඟුණේ තමන් අලුගොසුවෙක් බව යි. මොහොතකට තම පියා ගැන තද කෝපයක් ඔහුට දැනුණි. පියා වැනි අසාධාරණ මුරණ්ඩු අයෙක් ලියු ලිපියක් තමන් කාණුවට වීසි නොකරන්නේ ඇයිදැයි ඔහුට සිතුනි. 

පාසල් ගේට්ටුවෙන් ඇතුල්වෙද්දී ස්වාමි ට මීට විසඳුමක් ලෙස එක්තරා ආකාරයක අදහසක් පහළ විය. ඔහු එවේලේම විදුහල්පති වෙත ලිපිය නොදී දවස අවසානයේ දී එය දෙන්නට තීරණය කළේ යම් මට්ටමකට තාත්තාගේ අණ ට විරුද්ධ වීමක් සහ තම ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමක් ලෙස ය. මේ ගැන තාත්තාට දැනගන්නට නොලැබෙන බැවින් ඉන් හානියක් සිදුවන්නේ නැත. මීට අමතරව මේ ලිපිය දවස අවසානයේදී භාර දීමට තබා ගැනීමෙන් ඒ දවස තුළ සැමුවෙල් ගුරුතුමා මෙහි සඳහන් දේ සාධාරණීකරණය වන දෙයක් කරන්නටත් ඉඩ ඇත. 

ස්වාමි තමන්ගේ පන්තියේ දොරකඩ සිටගෙන සිටියේ ය. ගණිතය පාඩම උගන්වමින් පසු වූ සැමුවෙල් මොහොතකට ස්වාමි දෙස බැලුවේ ය. සැමුවෙල් තමන්ගේ ඇඟට පැන සම ඉරා දමනු ඇතැයි අපේක්ෂාවෙන් ස්වාමි පසු විය. නමුත් ගුරුවරයා “තමුසේ දැන් ද පන්තියට එන්නේ?” ඇසුවා පමණි. 

“ඔව් සර්.”

“තමුසේ පැය භාගයක් පරක්කුයි.”

“මම දන්නවා.” දැන් වත් ගුරුවරයා තමන්ට පහර දෙනු ඇති සිතමින් ස්වාමි කීවේ ය. ‘තිරුපති දෙවියනි සැමුවෙල් ගෙන් මට ගුටි කන්න ඉඩ සලස්වන්න.’ යනුවෙන් යාඥා කරන්නට පවා ඔහු සූදානම් ව සිටියේ ය.

“මොකද තමුසේ පරක්කු?”

‘පරක්කු උනොත් සර් මට මොකද කරන්නේ බලන්නමයි’ කියා පිළිතුරු දීමට ස්වාමි ට අවැසි වූවත් ඔහු කීවේ “මට ඔලුව කැක්කුමක් හැදුණා සර්” කියා පමණි. 

“එහෙනම් තමුසේ ඉස්කෝලේ ආවේ මොකද?’ 
මෙය සැමුවෙල්ගෙන් අපේක්ෂා නොකළ වර්ගයේ ප්‍රශ්නයක් විය. 

“මගේ තාත්තා කිව්වා ඉස්කෝලේ පාඩු කරගන්න එපා කියලා සර්.” ස්වාමි පිළිතුරු දුන්නේ ය. 

මෙය අසා සැමුවෙල් සතුටට පත් වූ බවක් පෙනුණි. “තමුසෙගෙ තාත්තා හරියට හරි, හොඳ නුවණක්කාර මිනිහෙක්. අපි කැමතියි ඒ වගේ තව දෙමව්පියෝ ඉන්නවානම්.”

“අනේ අසරණ පනුවෝ!’ ස්වාමි සිතුවේ ය. “උඹ දන්නේ නැහැ මගේ තාත්තා උඹට කරලා තියෙන දේ.” ඔහු සිටියේ සැමුවෙල් ගේ හැසිරීම ගැන මහත් වියවුලෙනි.

“හරි තමුසේ ගිහින් ඉඳගන්නවා. තාම ඔලුව කැක්කුම ද?”

“යන්තම් තියෙනවා සර්.”

ස්වාමි තම අසුන වෙත ගියේ මහත් තැවුලෙනි. සැමුවෙල් තරම් යහපත් මිනිසෙක් ඔහුට කෙදිනකවත් හමු වී නැත. ගුරුවරයා ගෙදරදී කරන්නට දුන් අභ්‍යාස පරීක්ෂා කරමින් සිටියේ ය. ස්වාමි ගේ අදහස අනුව නම් මෙය මහත් සේ දරුණු හැසිරීම් ඇතිවිය යුතු මොහොතකි. මේ අභ්‍යාස පොත් මුහුණු වෙත දමා ගැසීම්, කොල්ලන්ට බැණ වැදී වේවැල් පහර දීම්, ඔවුන් ව බංකු මත සිටුවා තැබීම් සිදු විය යුතු වේලාව යි. නමුත් එදින නම් සැමුවෙල් ඉවසීම සහ මෘදු බව ප්‍රගුණ කළා වැනි විය. වැරදි සහිත වූ පොත් ඉවතට තල්ලු කළ ඔහු වේවැලෙන් යන්තම් තට්ටු දැම්මා පමණි. එමෙන්ම ඔහු කිසි කෙනෙක් විනාඩි කිහිපයකට වඩා සිටුවා තැබුවේ නැත. ඉනික්බිති ස්වාමි ගේ වාරය එළඹිණි. ඔහුට මේ වරම ගැන දෙවියන්ට ස්තුති කරන්නට පවා සිත් විය. 

“ස්වාමිනාදන්, කෝ තමුසෙගෙ ගෙදර වැඩ?”

“මම ගෙදර වැඩ කළේ නැහැ සර්” ඔහු ගණනකට නොගෙන කීවේ ය.

නිහැඬියාවක් පැතිරිණි.

“ඒ මොකද- ඔලුව කැක්කුම නිසා ද?” සැමුවෙල් ඇසී ය. 

“ඔව් සර්.”

“හරි එහෙනම් ඉඳගන්නවා.” 

ස්වාමි නැවතත් අසුන් ගත්තේ සැමුවෙල් ට කුමක් වී ද යයි සිතමිනි. ඒ කාල පරිඡේදය අවසන් වෙද්දී ස්වාමි ට දැනුණේ මහත් අසරණ කමකි. ඒ දවසේ අවසාන කාල පරිඡේදය ද වෙන් වූයේ සැමුවෙල් ට ය. මෙවර ඔහු පැමිණියේ ඉන්දියානු ඉතිහාසය ඉගැන්වීමට යි. මේ කාල පරිඡේදය 3.45ට ආරම්භ වී 4.30ට අවසන් විය. ස්වාමිනාදන් ඒ දවස ගෙවූයේ තදින් කල්පනා කරමිනි. සැමුවෙල් ව කේන්ති ගැස්විය හැකි ක්‍රමයක් ඔහුට කල්පනා වූයේ නැත. ඔරලෝසුවේ හතර වදිද්දී ඔහුට නොඉවසුම් බවක් දැනුණි. තව පැය භාගයයි! සැමුවෙල් වස්කෝ ද ගාමා ගේ ඉන්දියානු ආගමනය විස්තර කරන පරිච්ඡේදයක් කියවමින් සිටියේ ය. පන්තියේ සිසුහු තරමක අලසකමින් මීට සවන් දුන් හ. හදිසියේම ස්වාමි මහා හඬින් මෙසේ ප්‍රශ්න කළේ ය.

“මොකද සර් කොලොම්බස් ඉන්දියාවට ආවේ නැත්තේ?”

“එයාට පාර වැරදුණා.”

“මට නම් ඒක විශ්වාස කරන්න බැහැ, එක වෙන්න බැරි දෙයක් සර්.”

“ඇයි ඒ?”

“ඔච්චර ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් පාර දන්නේ නැති වෙන්න පුළුවන් ද?”

“කෑ ගහන්න එපා, මට තමුසේ කියන දේ හොඳට ඇහෙනවා.”

“මම මේ කෑ ගහනවා නෙමෙයි සර්. මේ දෙවියෝ මට දීපු කටහඬ, ඒ ගැන මම මොනවා කරන්න ද?”

“කට වහගෙන වාඩිවෙනවා”

තම ක්‍රියාවේ සාර්ථකත්වය ගැන තරමක් සතුටින් ස්වාමිනාදන් නැවතත් අසුන් ගත්තේ ය. ගුරුවරයා ඔහු වෙත සැකය මෙන්ම ප්‍රශ්නාර්ථය පිරුණු බැල්මක් හෙලා නැවතත් තම පාඩම ඇරඹුවේ ය. 

ඔහුගේ දෙවෙනි අවස්ථාව එළඹුණේ ඉදිරිපස බංකුවේ අසුන්ගෙන සිටි සංකර් නැගී සිට “සර්, ඉන්දියාවට ආව පලවෙනි මනුස්සයා වස්කෝ ද ගාමා ද?” යැයි ඇසූ විට යි. 

ගුරුවරයා ට මීට පිළිතුරු දෙන්නට අවස්ථාව ලැබෙන්නට පෙර ස්වාමි පසුපස බංකුවක සිට “එහෙම තමයි එයාලා කියන්නේ” කියා කෑ ගැසී ය. 

ගුරුවරයා ඇතුළු පන්තියේ සියලු දෙනා ස්වාමි දෙස බලන්නට වූහ. ස්වාමිනාදන් ගේ මේ කරදරකාරී හැසිරීම ගැන ගුරුවරයාට ගැටළු සහගත ව තිබිණි.
“ස්වාමිනාදන් තමුසේ ආයෙත් කෑ ගහනවා.”

“මම මේ කෑ ගහනවා නෙමෙයි සර්, දෙවියෝ දුන්නු කටහඬ ගැන මම මොනවා කරන්න ද?”

පන්ති කාමරයේ ඔරලෝසුවේ හතරයි කාල වැදුණි. තව පැය කාලයි. ඒ වෙලාව ඇතුළත ඔහු යම් බැරෑරුම් දෙයක් කළ යුතු ය. සැමුවෙල් ඔහු දෙස රවා බලා ඔහුට සැරෙන් කතා කර තිබුණත් එය ප්‍රමාණවත් නොවිණි. තමා තව ටිකක් මහන්සි වූවොත් සේවයෙන් පහ කර හිරේ දැමීමට සුදුසු හැසිරීමක් සැමුවෙල් වෙතින් ලබා ගත හැකි යැයි ස්වාමි ට සිතුණි. 

පාඩම් පොතේ එක් කොටසක අවසානයට එළැඹි විට ගුරුවරයා පාඩම නතර කළේ ය. ඉතිරි විනාඩි කිහිපය සිසුන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඔහුගේ අදහස විය. මුළු පන්තියටම තම පොත් ඉවත් කරන්නට අණ කළ ඔහු, දෙවෙනි පේළියේ සිසුවෙකුගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය. 
“වස්කෝ ද ගාමා ඉන්දියාවට ගොඩ බැස්සේ කවද්ද?”

“1648 දෙසැම්බර් 20,” ස්වාමිනාදන් වහා නැගිට කෑ ගැසුවේ ය. 

“කෑ ගහන්න අවශ්‍ය නැහැ,” ගුරුවරයා කීවේය. “මොකද ඔලුව කැක්කුම නිසා තමුසෙට පිස්සු හැදිලා ද?” 

“මට දැන් ඔලුව කැක්කුමක් නැහැ සර්, “ ඔහු උද්යෝගයෙන්, මහා හඬින් කීවේය.

“වාඩි වෙයන් මෝඩයා,” තමන්ට මෝඩයා කියනු අසා ස්වාමිට මහත් සතුටක් දැනුණි. “තමුසේ ආයෙත් නැගිටලා තිබුණොත් වේවැල් පාර දෙනවා,” ගුරුවරයා කීවේ ය. 

මේ පොරොන්දුව ගැන සතුටින් ස්වාමි අසුන් ගත්තේ ය. 

“මම දැන් මෝගල් අධිරාජ්‍ය යුගය ගැන ප්‍රශ්න කීපයක් අහනවා. මෝගල් අධිරාජ්‍යවරු අතරින් ශ්‍රේෂ්ඨතම, ආගමට වඩාත්ම ලැදි අධිරාජ්‍යයා කවුද?”

ස්වාමි නැගී සිටියේ ය. ඔහු නැගිටිනු දුටු වහාම “වාඩිවෙනවා!” යැයි ගුරුවරයා තදින් කීවේ ය.
“මට උත්තර දෙන්න ඕන, සර්.”

“වාඩිවෙනවා”

“නැහැ සර්, මට උත්තර දෙන්න ඕන.”

“දැන් තමුසේ ආයෙත් නැගිට්ටොත් මම මොනවා කරනවා කියලාද මම කළින් කීවේ?”

“සර් කිව්වා මගේ අතේ හම යනකම් මට වේවැල් පාර දීලා ඒ තුවාල මගේ නළලට තදකරගන්න කියනවා කියලා.”

“හරි, මෙහෙ එනවා.”

ස්වාමිනාදන් මහත් ප්‍රීතියෙන් යුතුව තම අසුනෙන් නැගිට ගොස් පන්තියේ වේදිකාවට නැග්ගේය. ගුරුවරයා මේස ලාච්චුවෙන් තම වේවැල ගෙන “අත අල්ලපන් පොඩි යක්ෂ පැටියා” යැයි කේන්තියෙන් කෑ ගැසී ය. ඉනික්බිති ඔහු ස්වාමිගේ දෙඅත්ලට තද පහරවල් තුනක් එල්ල කළේ ය. ස්වාමි කිසිම පැකිලීමකින් තොර ව ඒවා භාර ගත්තේය. පහරවල් දුසිම් භාගයක් ලැබුණු පසු “මේ ඇති ද, තව ඕනෙද?” කියා ගුරුවරයා ඇසුවේ ය.

ස්වාමි කිසිත් නොකියා නැවතත් තම අත්ල පෑ අතර ඔහුට තව පහරවල් දෙකක් ලැබුණි. එවෙලේම සීනුව නාද විය. තම දෙඅත්ල පුපුරු ගසමින් තිබුණද ස්වාමි වේදිකාවෙන් බිමට පැන්නේ සැහැල්ලු හදවතිනි. තම පොත් පත් එකතු කරගත් ඔහු තම සාක්කුවේ තිබුණු ලිපිය ද ගෙන විදුහල්පතිගේ කාමරය ට දිව ගියේ ය. එහි දොර අගුලු ලා තිබුණි.

“ලොකු සර් කෝ?” ඔහු එහි වූ කාර්යාල සහායක ගෙන් විමසුවේ ය. 

“මොකටද හොයන්නේ?”

“මගේ තාත්තා ලොකු සර් ට දෙන්න ලියුමක් දුන්නා.”

“ලොකු සර් හවස් වරුව නිවාඩු. ලබන සතියෙත් එයා නෑ. මේ ළමයා ට පුළුවන් දෙවෙනි ලොකු සර් ට ලියුම දෙන්න. එයා තව ටිකකින් ඒවි.”

“ඒ කවුද ඒ?”

“ඔයාගේ ගුරුවරයා, සැමුවෙල්. තව තත්පරයකින් එයා එයි.”

ස්වාමිනාදන් එතැනින් ඉවත් වූයේ ඉගිලෙමින් මෙනි. ඔහු ලිපියත් අතැතිව ම නිවසට එනු දුටු විට ඔහුගේ පියා “මම දැනගත්තා උඹ ඕක දෙන්නේ නැති බව, බය ගුල්ලා!” යි කීය.

“ලොකු සර් නිවාඩු, සත්තයි” ස්වාමිනාදන් විස්තර කිරීමට තැත් කළේ ය. 

“බියගුළුකමට අමතරව තව බොරු ත් කියනවා.” තාත්තා පිළිතුරු දුන්නේ ය. 

“ලොකු සර් ආයෙත් ආව ගමන් මම මේක දෙන්නම්” ස්වාමි ලිපිය ඔසවා පෙන්වමින් කීවේය. 

තාත්තා ඔහුගේ අතින් ලියුම උදුරාගෙන, එය ඉරා, මේසය යට වූ කුණු කූඩයට දැම්මේ ය. 

“මින්පස්සේ සැමුවෙල් උඹේ බෙල්ල මිරිකුවත් මට නම් ඇවිත් කියන්න එපා, උඹටම ගැලපෙනවා උඹේ සැමුවෙල්!” ඔහු කේන්තියෙන් මිමිණුවේ ය. 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘ Father’s Help’ by R. K Narayan
From the book ‘Malgudi Days’ (1972) - Penguin Publishers
Image Pexels from Pixabay


සිසිල මාසික ඊ- සඟරාව - සැප්තැම්බර් 2023 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)



July 20, 2023

රසකැවිලි වෙළෙන්දා



Translation of Chapter 1 of the novel 'The Vendor of Sweets' by R. K Narayan

“කෙනෙක් රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගන්නවා කියන්නේ තමන්ගේ ආත්මය පාලනය කර ගත්තා වගේ තමයි” ජගන් කීවේය.

“ඒ මොකටද ආත්මය පාලනය කරන්නේ?” ඔහුගේ කතාවට සවන් දෙමින් සිටි ඥාතියා පෙරළා ප්‍රශ්න කළේය.

“මන්දා, එහෙමනේ අපේ ශාස්තෘවරුන් කියලා තියෙන්නේ” ජගන් කීය.

ඔහුගේ සවන් දෙන්නාට මේ ප්‍රශ්නය කෙරෙහි වූ උනන්දුව නැති විය. ජගන් ගේ පුටුව අසල වූ නූස් ලී බංකුවක හිඳ සිටි ඔහු, ප්‍රශ්න ඇසුවේ කතාබහ ඉදිරියට රැගෙන යාමට පමණකි. ජගන් ගේ පුටුවට ඉහළින් බිත්තියේ ලක්ෂ්මි දෙවඟන ගේ රාමු කළ පින්තූරයක් ගසා තිබිණි. සෑම දිනකම දවසේ පළමු කාර්යය ලෙස බොහෝ භක්තියෙන් මෙහි පිච්ච මල් මාලයක් දවටා යාඥා කිරීමත්, දැල්වූ හඳුන් කූරක් බිත්තියේ සිදුරක රැඳවීමත් ජගන් නොවරදවාම සිදු කළේය. මෙහි අවට වාතය පිච්ච මල් සුවඳින්, හඳුන් කූරු සුවඳින් සහ මුළුතැන්ගෙහි ගිතෙලෙන් බැදෙන රසකැවිලි වල සුවඳින් පිරී පැවතිණි.

මේ සවන්දෙන්නා ජගන් ගේ ඥාති සහෝදරයෙක් වූවත් ඒ නෑකම එක එල්ලේ පැහැදිලි කළ හැකි එකක් නොවූයේ ඔහු නගර වැසියන්ගෙන් වැඩි ප්‍රමාණයක් සමඟ මෙවැනි නෑකම් කී නිසාය. (මින් සමහර ඒවා කෙසේ වත් විය නොහැකි ඒවා විය) නමුත් මේ ගැන අභියෝගයට ලක් කරනු ලැබුවහොත් ප්‍රශ්න කරන්නා හෙම්බත් කරවන වංශාවලියක විස්තර ඉදිරිපත් කරන්නට ඔහුට හැකියාව තිබිණි. මහත් සේ සමාජශීලී අයෙකු වූ ඔහු උදෑසන සිට රාත්‍රිය වන තුරුම විවිධ නිවෙස් වෙත යමින් කාලය ගත කළේය.හැම දිනකම නොවරදවාම හවස හතරහමාරට පමණ ඔහු ජගන් ගේ නිවසට පැමිණියේය.

මෙදිනත් සුපුරුදු වෙලාවටම එහි පැමිණි ඔහු, ජගන් වෙත යන්තම් බැල්මක් හෙලා, හිස සන් කර කෙළින්ම මුළුතැන්ගෙයට ගියේය. විනාඩි දහයකට පසු ඔහු ඉන් නික්මුණේ උරෙහි රැඳි සාලුවේ කෙළවරකින් මුව පිසිමිනි.

“සීනි පාවිච්චිය ගැන ටිකක් බලන්න වෙනවා, මට ආරංචියි ආණ්ඩුව සීනි මිළ වැඩිකරන්න යනවා කියලා. තිරිඟු පිටි නම් අද වරදක් නැහැ. ඊයේ ගොඩ්වුන් පාරේ යද්දී තොග වෙළෙන්දා මුණගැහිලා මම ඌට හොඳවැයින් දෙකක් කතා කළා. ඒ පාරේ මම මොනවා කළා ද කියලා අහන්න එපා ඉතින්, මට මේ නගරේ පුරාම යාළුවොයි නෑයොයි ඉන්නවා. එයාලා හැම තිසේම මට අරකට මේකට මට කතාකරනවා. අපි එකිනෙකාට උදවු නොකරනවා නම් මේ ජීවිතෙන් වැඩක් තියෙනවද?”

“කෝකියා අත්හදා බලන්න හැදුව රසකැවිල්ල කාලා බැලුවද?” ජගන් ඔහුගෙන් ඇසීය.

“ඔව්, නැතුව නැතුව.. ඒක රසයි.”

“හැබැයි මට නම් හිතෙන්නේ ඒක අලුත් මුහුණුවරක් දුන්නු පරණ රසකැවිල්ලක් කියලා. අන්තිමේදී ඔය කෝකත් එකයි, නැද්ද හොඳයි?”

“නෑ මහත්තයෝ,” ඥාතියා කීවේය. “මට නම් තාම හැම රසකැවිල්ලක් අතරේම ලොකු වෙනසක් පේනවා. කවදාහරි දවසක මං යෝගියෙක් වෙලා කෑම වල රස නොදැනෙන තැනට වැටෙන්නේ නැතිවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.”

කෙනෙක් රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගැනීම ගැන තමන්ගේ දර්ශනය ජගන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ මේ වෙලාවේදීයි. මෙ ලෙස තවත් පැය භාගයක් ගතවන තුරු ඔවුහු සල්ලාපයේ යෙදුනහ. ඉනික්බිති ජගන් මෙසේ ඇසුවේය.

“උඹ දන්නවද මම මේ දවස්වල කන්නේ මොනවද කියලා?”

“මොනවා හරි අලුත් දෙයක්ද?” ඥාතියා ඇසුවේය.

“අද උදේ ඉඳන් මම ලුණු පාවිච්චිය අත් ඇරියා.” ජගන් ආඩම්බරයෙන් දිලිසෙමින් කීවේය. ඔහුගේ මේ නිවේදනය නිසා අසන්නා තුළ ඇතිවුණු කම්පනය දැක සතුටු වූ ඔහු තවදුරටත් තම න්‍යාය ඉදිරිපත් කරන්නට විය. “අපි හරි නම් කන්න ඕන ස්වභාවික ලුණු විතරයි.”

“මොනවද ස්වභාවික ලුණු කියන්නේ?” ඥාතියා විමසුවේය. “කෙනෙක් අව්වේ හැතප්මක් දුවලා දාඩිය දාලා වේලුනාම පිටේ ඉතිරිවෙන ලුණු ටිකද?”

මේ ග්‍රාම්‍ය උදාහරණය අසා ජගන් මුහුණ ඇඹුල් කරගත්තේය. ඔහුගෙන් දිස් වූයේ මේ කිළුටු ලෝකයේ නොගැටී පාවෙන ආත්මයක ස්වරූපයකි. වයස පනස් පහක් වූවත් ඔහුට තිබුණේ කුඩා සිහින් සිරුරකි. ඔහුගේ දුඹුරු සම විනිවිද පෙනෙනසුළු වූ අතර පුළුල් නළල කෙළවරින් ඇරඹුණු, තැන තැන සුදු වූ ඔහුගේ කෙහෙ රැළි ගෙල තෙක් දිගු ව තිබිණි. ඔහුගේ නිකට සුදු රැවුල් කොට වලින් වැසී තිබුණේ ඔහු රැවුල බෑවේ කලාතුරකින් බැවිනි. මීට හේතුව දිනපතා තමන්ගේ පිළිබිඹුව දෙස කැඩපතකින් බැලීම නරක යුරෝපීය පුරුද්දක් ලෙස ඔහු සැලකීමයි.

ජගන් තම දෝතියට උඩින් හැඳ සිටි බුරුල් කබාය ඔහු විසින්ම වියන ලද රෙද්දකින් මැසූ එකක් විය. හැම දවසකම ඔහු පැයක කාලයක් රෙදි විවීමෙහි යෙදුණි. එක් වරකට ඇඳුම් කට්ටල දෙකකට වඩා පාවිච්චි නොකළ ඔහු ඒ සඳහා රෙදි ප්‍රමාණයක් ඉතිරි කරගෙන ඉතිරිය මනා සේ මිටි බැඳ, ප්‍රදේශයේ අත් යන්ත්‍ර රෙදි කමිටුව වෙත විකිණුවේය. ඔහු මෙසේ ඉපයූ මුදල මසකට රුපියල් පහකට වඩා අඩු වූවද ඔහු ඉන් භාවාතිශය සතුටක් ලැබුවේය. ජගන් ගේ මේ පුරුද්ද ඇති වූයේ ඊට වසර විස්සකට පමණ පෙර ගාන්ධි තුමා ඔවුන්ගේ නගරයේ සංචාරය කළ අවස්ථාවේ මේ කාර්යය වෙනුවෙන් ඔහු පැසසුම් ලැබූ පසු යි.

ජගන් පැළඳ සිටි ආමන්ඩ් ඇටයක හැඩති, කහ පැහැති රාමුවෙන් යුතු වූ උපැස් යුවලට ඉහළින් ලොව දෙස එබිකම් කළේය. ලොකු අලංකාරයක් රහිත කහ පැහැති මෝස්තරයකින් යුතු වූ කදාර් සාළුවක් උර වටා පෙරවාගෙන සිටි ඔහු දෙපයේ ලාගෙන සිටියේ වයස්ගතව මිය ගිය හරකෙකුගේ හමින් සැකසුණු පටි සහිත ගනකම් පාවහන් ජෝඩුවකි. ගාන්ධිගේ අනුගාමිකයෙකු වූ ඔහු, මේ ක්‍රියාවන් පැහැදිලි කළේ “මගේ දෙපයේ සුවපහසුව වෙනුවෙන් පණ තියෙන සතෙක්ගේ බෙල්ල කපන්න අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරනවා” යනුවෙනි. මේ නිසා හරකෙකු හෝ පැටියෙකු මිය යමින් ඇතැයි යන ආරංචි ඔස්සේ ඔහු ඉඳ හිට ඈත ගම් වෙත සංචාරය කළේය. මෙසේ ගොස් ඒ සතාගේ හම ලබා ගත් පසු ඔහු ප්‍රථමයෙන් එය යම් ද්‍රාවණයක ගිල්වා තබා, ඉනික්බිති එය ඇල්බර්ට් මිෂන් වත්තේ ගසක් යට කුඩා කඩයක් කළ ඔහුගේ හිතවත් සපත්තු මසන්නෙක් වෙත ලබා දුන්නේය.

ජගන් ගේ පුතා හය හැවිරිදි වියේදී පමණ පසු වෙද්දී තම පියා නිවසේ පසුපස බරාඳයේ සිදු කළ මේ හම් පදම් කටයුතු ආදියට සතුටින් එකතු වූයේය. නමුත් ඔහු වයසින් වැඩෙද්දී ජගන් සත්ත්ව හමක් නිවසට ගෙන ආ විට එහි ගඳ ගැන නෝක්කාඩු කියන්නට විය. ජගන් ගේ බිරිඳ පුතා තරම්වත් එය නොරිස්සූ අතර හම් පදම් කිරීමේ කාර්යය අවසන් වන තුරු ඈ තම කාමරයෙන් පිටතට ඒම ප්‍රතික්ෂේප කළාය. මෙය දවස් කිහිපයක් ගත වූ ක්‍රියාවලියක් බැවින් ජගන් තම පාවහන් අලුත් කිරීමට උත්සාහ කළ හැම වතාවකදීම ඔහුගේ නිවසේ සිදු වූ වියවුල සුළු පටු නොවේ. මේ පදම් කිරීමේ ක්‍රියාවලියේ මුල් අවධියේ දී සම් කැබැල්ල බිරිඳට හසු නොවන සේ දර මඩුවේ සැඟවිය යුතු නමුත් එහිදී එය මීයන් කෑමට ඉඩ තිබිණි. ජගන්ගේ බිරිඳ මරණාසන්නව හිඳිද්දී වරක් ඔහුට කිට්ටුවට එන්නට සන් කර යමක් කීවාය. ඈ කී දේ ඔහුට හරි හැටි වැටහුණේ නැතත් ඈ කීවේ “හම් කැබැල්ල වීසි කර දමන්න” යැයි අනුමාන කිරීම නිසා ඔහුගේ සිත රිදිණි. ඇයගේ අවසාන කැමැත්ත විය හැකිව තිබුණු ඒ ඉල්ලීමට හිස නවමින් ඔහු නිවසේ තිබුණු අවසාන හම් කැබැල්ල පුණ්‍යායතනයකට දුන්නේ කෘර බැවින් තොර පාවහන් ලබාගැනීමට තවත් කෙනෙකුට අවස්ථාව ලබා දීම ගැන සතුටු වෙමිනි. ඉනික්බිති ඔහු තමන්ගේ සංකීර්ණ පාවහන් අවශ්‍යතාව සපුරාලීමට ඇල්බර්ට් මිෂන් හි සපත්තු තනන්නා මත යැපුණේය.

දැන් ස්වභාවික ලුණු ගැන තම ඥාතියා කී කතාව අසා ව්‍යාකූල වූ ඔහුගේ මුහුණ රත් පැහැ ගැන්විණි. තම වදනින් ජගන් තුළ ඇතිවූ කම්පනය ගැන සතුටට පත් ඥාතියා එහි කළින් පැවති සතුටු සාමීචිය නැවත ඇතිකරගැනීමේ අටියෙන් මෙසේ කීවේය.

“ඔබ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම සරල කරගෙන, මම ළඟදී සමූපකාරයේ ලොක්කාටත් කීවේ ඒකයි…”

මේ වැකියෙන් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිපලය ලැබුණි.

“මම සීනි පාවිච්චියත් නවත්තලා තියෙන්නේ, දන්නවාද? උණු වතුර වීදුරුවක මී පැණි බින්දු විස්සක් දිය කරලා බිව්වාම අපේ ස්වභාවික සීනි අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා.”

“ඔබ අල්පේච්ඡ ජීවිතය හොඳින් ප්‍රගුණ කරලා,” ඥාතියා කීවේය.

මින් දිරිමත් වූ ජගන් තම ප්‍රකාශයට තවත් තතු එකතු කළේය. “මම බත් කන එකත් අත ඇරියා. මම දැන් එළවළුවක්, මී පැණි ටිකක් එක්ක කන්නේ ගලේ ඇඹරුව තිරිඟු ටිකක්.”

“එහෙම තියෙද්දීත් මට හිතාගන්න බැහැ ඔබ වැඩකරමින්, සල්ලි උපයන්න කරදර වෙමින් මේතරම් මහන්සි වෙන්නේ ඇයි කියලා!”

ඥාතියා වීදුරු කවුළුවේ ප්‍රදර්ශනයට තබා ඇති රසකැවිලි වෙත අත දිගුකරමින් කීවේය.

තමන් පැණිරස නොකමින් අන් අය තමන්ගේ ලාභය වෙනුවෙන් පැණිරස කෑ යුතු යැයි ඔහු බලාපොරොත්තු වන්නේ ඇයිදැයි ඇසීමෙන් ඔහු වැළකුණි. තමන් කී දේවල් ප්‍රමාණවත් යැයි සිතුණු බැවින් ඔහු නැගිට යන්නට සූදානම් වන ලකුණු පෙන්වන්නට විය. ජගන් මුදල් ගණන් කරන වෙලාව එළඹෙමින් තිබුණු අතර ඒ කාර්යය අන් අය නැරඹීම ඔහුගේ අකැමැත්තට හේතු විය. වෙලාව හවස හය වී තිබිණි. ඒ, දවසේ ප්‍රධාන වෙළඳ කටයුතු අවසන් ව ඉදිරිපස වෙළඳසැලේ සේවක කොලුවා ඉසින් දවසේ එකතු වූ මුදල් ගණන් කිරීම සඳහා ගෙන එනු ලබන වේලාවයි. මේ වෙලාවට ජගන් ට දැනුණේ ඔහු සිහසුනට වී තම රාජධානිය පාලනය කරන, තම යටත් වැසියන්ගෙන් (මීට කෝකියන් හතර දෙනෙක් සහ කඩේ කොලුවා ඇතුළත් විය) පඬුරු ලබන රජ කෙනෙක් බවයි. මෙහිදී සිහසුන ලෙස සැලකුණේ තමන්ගේ රසකැවිලි රාජධානියේ හතර අතම පෙනෙන ලෙස උපායශීලිව කුඩා වේදිකාවක් මත තබන ලද, තුනී කොට්ටයක් දමා තිබුණු ලී පුටුවයි. මේ පුටුව ශතවර්ෂයක් තරම් පමණ පැරණි එකක් විය. එහි අත් වාරු දෙක, පසුපස කොටස සහ කැටයම් කළ කකුල් දිලිසෙන පිත්තල තීරු වලින් අලංකාර කර තිබිණි. මේ පුටුව, ලෝව්ලි පිළිමය පසුපස මේ නිවස තනද්දී ජගන් ගේ පියා විසින් විශේෂයෙන්ම තනවන ලද්දකි. සාමාන්‍යයෙන් තම පවුලේ උදවිය නිවසේ ඔප දමන ලද බිම මත අසුන් ගන්නා බැවින් පුටුවක් තනවන්නට අවශ්‍යතාවයක් නොතිබුණත් ඉංග්‍රීසි ජාතික බදු එකතු කරන්නෙකු වූ නෝබල් මහතා නක්ෂත්‍රය ඉගෙනුමට නිතර මේ නිවසට ආ ගිය නිසාත්, පාඩම් වේලාවට ඔහුට බිම හිඳ ගන්නටත්, බිම හිඳ සිට නැගිටින්නත් වේදනාකාරී වූ නිසාත් පුටුවක් සඳහා අවශ්‍යතාවයක් ඇති විය. එකල ඉතා වටිනා ත්‍යාගයක් ලෙස සැලකුන නෝබල් මහතාගේ අත්සන සහිත පින්තූරයක් කාලයාගේ ඇවෑමෙන් දුර්වර්ණ වී සොල්දරයේ සුන්බුන් අතර තිබී සොයාගන්නා ලදී. පසු කලෙක එය සොල්දරෙයන් රැගෙන විත් දරුවන්ගේ කෙළි බඩුවක් ලෙස තැන තැන විසි කරමින් තියෙද්දී පින්තූරය රාමුවෙන් ඉවත් කර ඒ රාමුවේ දෙවියන්ගේ පින්තූරයක් බහා බිත්තියේ එල්ලා තිබිණි. නෝබල් මහතාගේ රාමුවක් රහිත පින්තූරය තව දුරටත් දරුවන් විසින් සෙල්ලමට ගනු ලද අතර ඔහුගේ කොපුල් හි වූ විසිළු සහගත රැවුල ඔවුන්ට හවස් වරු පුරාවටම සිනා ගෙන ආවේය. ග්‍රීෂ්ම ගිම්හාන සමයේදී පවන් ගැසීමටත් මේ පින්තුරය යොදා ගන්නා ලදී. අන්තිමේදී එය නැවතත් පැරණි ගිණුම් ජර්නල සහ අනෙකුත් පවුලේ සුන් බුන් සමඟ නැවතත් සොල්දරයටම යවා තිබිණි.

මෙතැන අසුන්ගෙන සිටිද්දී ජගන්ට මහත් තෘප්තියක් දැනුණි. එක් පසෙකින් ඔහුට මුළුතැන්ගෙහි සිදුවන හැම දෙයක්ම දකින්නත්, අහන්නත්, සුවඳ විඳින්නත් හැකි විය. එහි සිට නිරතුරුවම වෙළඳ සැල වෙත වෛවර්ණ රසකැවිලි පිරවුණු තැටි යැවිණි. මුළුතැන්ගෙහි රසකැවිලි බැදෙන හඬ ඇසෙන තාක් ජගන් ඒ වෙත අවධානය යොමු කළේ නැත. ඒ වෙනුවට ඔහු රත් පැහැති බැම්මෙන් යුතු වූ භගවත් ගීතා පොතේ සංස්කෘත පද වෙත නොසැලෙන බැල්මකින් බලා සිටියේය. නමුත් මුළුතැන්ගෙහි කැවිලි බැදෙන හඬේ කුඩා හෝ විරාමයක් ඇති වුවහොත් ශුද්ධ වූ පාඨයෙන් දෑස් ඉවතට නොගෙනම “මොකද ඔතැන වෙන්නේ?” යැයි ඔහු අසයි. එවිට ප්‍රධාන කෝකියා “මුකුත් නැහැ” කියා තම සුපුරුදු පිළිතුර දෙනු ලබන අතර මෙය ජගන්ගේ මනස සන්සුන් කර නැවතත් දේව වාක්‍ය වෙත යොමු කිරීමට සමත් වේ. නමුත් ඒ ඉදිරිපස වෙළඳ සැලේ යම් පමාවක් ඔහුගේ අවධානයට ලක් වන තුරු පමණි. එවිට ජගන් නැවතත් කෑ ගසන්නට ගනී.

“කැප්ටන්, ඔය කහ පාට සායක් ඇඳගෙන ඉන්න පොඩි කෙල්ලගෙන් අහන්න මොනවාද ඕන කියලා, දැන් එයා සෑහෙන්න වෙලා ඔතැන බලාගෙන හිටියා.”

ඔහුගේ හඬින් වෙළඳ සැලේ කොලුවා මෙන්ම දොර ළඟ සිටින මුරකරු ද යුහුසුළු ව තම රාජකාරි වෙත යොමු වූහ. මේ මුරකරු අතීතයේදී යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි අයෙකි. කාකි ඇඳුමින් සැරසී සිටින ඔහු නිරතුරුව තම ලී පුටුවේ අසුන්ගෙනම නිදා වැටීමේ සම්භාවිතාවක් තිබිණි. ඇතැම් විට ජගන් “කැප්ටන්, අර මොකද අර හිඟන්නෙක් ඇවිත්? සිකුරාදාට විතරයි හිඟන්නන්ට එන්න පුළුවන්, මේක දන්සලක් නෙමෙයිනේ” යනුවෙන් කෑ ගසනු අසන්නට ලැබිණි.

ඉදිරිපස වෙළඳ සැලේ කොලුවා විසින් හාම්පුතා වෙත දවසේ ආදායම ගෙන එනු ලබන විට වටපිටාවේ නිහැඬියාවක් පැතිරිණි. කොලුවා ගනුදෙනුවලින් මුදල් ලබාගත්තත් ඔහු එහි මුළු එකතුව දැන සිටී යයි අපේක්ෂා කෙරුණේ නැත. ඔහු අතට ලැබුණු හැම පයිසයක්ම දිගු ගෙලක් සහිත වූ පිත්තල ජෝගුවකට දමනු ලැබූ අතර හැම දිනකම හවස හයට ඒ ජෝගුව ජගන් වෙත ගෙන යන ලදී. ඉන් අනතුරුව නැවත තම අසුන වෙත යන ඔහු රාත්‍රී හතට කඩයේ දොර පලු වසද්දී ඒ පැයේ එකතු වූ මුදල් සහිත වෙනත් කුඩා බඳුනක් ගෙතුලට ගෙන යයි. මේ වෙද්දීත් මුදල් ගණන් කිරීම නො අරඹා ඇති ජගන් තව දුරටත් දේව වාක්‍ය සහිත පොත කියවමින් සිටින්නේය. හිස ඔසවන්නේ නැතිවම වුවත් මුළුතැන්ගෙහි රසකැවිලි බැදීම නැවතුණු බව, උදුනේ ගින්දර නිවද්දී ඇසෙන හඬ, තැටි සහ හැඳි හේදෙන හඬ ඔහුගේ අවධානයට ලක් වේ. ඉනික්බිති කුස්සියේ සිට පාද ජෝඩු හතරකුත්, දවසේ අවසාන ක්‍රියාව ලෙස වෙළඳසැලේ සිට ඉතිරි වූ රසකැවිලි රැගෙන එන එක පාද ජෝඩුවකුත් පැමිණෙන අයුරු ඔහුට ඇසේ.

ඔවුන් සියලුම දෙනා තමන්ගේ මේසය අසල රැස් වී ඇති බව දැනුණු විට ජගන් ඔවුන්ගෙන් සුපුරුදු ප්‍රශ්නය අසන්නේය.

“කොච්චර ඉතුරුද?”

“වැඩිය නැහැ”

“හරියටම කියන්න”

“මයිසොර් පැක් වලින් සියර් දෙකක් විතර”

“ඒවා හෙට විකුනන්න පුළුවන්”

“ජිලෙබි සියර් භාගයයි”

“ඒක හෙටට වැඩක් නැහැ. හරි දැන් යන්න”

කඩයේ කොලුවා ඉතිරි රසකැවිලි තැටි ගෙතුලට ගෙනැවිත් තබා හෙමින් සීරුවේ පිටව ගියේය. එහෙත් කෝකියෝ තවමත් යාමට අවසර ලැබෙන තුරු බලා සිටියහ.

“ජනෙල් ඔක්කොම වහලාද?” ජගන් ඇසුවේය.

“ඔව්”

“හෙට ජිලෙබි හදන්න එපා. මොකද්ද ඒකෙ ප්‍රශ්නේ?”

රසකැවිලි ඉතිරි වීම ඔහුගේ සිතට වධ දෙන කාරණයක් වූ අතර එය හිස් කබල යට ඇනුණු කටුවක් සේ එය ඔහුට කරදරකාරී විය. දවස අවසානයේදී දිලිසෙන හිස් තැටි මුළුතැන්ගෙය වෙත එනු දකින්න ඔහු ප්‍රිය කළේය. ඉනික්බිති මේ ගැන විවිධ අදහස් දැක්වීමක් සිදුවිය.

“දැන් මේ ඉතුරු වුණ ටිකට මොකද කරන්නේ?” ජගන් විමසුවේය.

“මහත්තයා අවසර දෙනවා නම් අපි හෙට අලුත් රසකැවිල්ලක් අත්හදා බලන්නම්. එතකොට ඔය ඉතුරුවා ගැන ප්‍රශ්නයක් නැහැනේ. ඔක්කොම පොඩි කරලා වෙන හැඩයකින් හෙට බදින්න පුළුවන්.”

ප්‍රධාන කෝකියා සුපුරුදු ලෙස නිවුණු හඬින් කීවේය.

“ඔව් ඉතින් අන්තිමේදී හැම දෙයක්ම හදලා තියෙන්නේ පිටියි සීනියි රස කාරකයි වලින් නේ..” ජගන් දාර්ශනික ලෙස කීවේ මෙතෙක් වේලා තමන් නොගෙන සිටීමට තැත් කළ තීරණයට අවසානයේදී එළඹෙමිනි. ආහාර ද්‍රව්‍ය වල මිළ ඉහළ යමින් තිබුණු බැවින් ප්‍රායෝගිකව බලද්දී මෙය ගත යුතු වූ තීරණයක් විය.

තම සේවකයන් නික්ම ගිය පසු ජගන් තම දේව වාක්‍ය පොත පසෙකින් තබා තම මේසයේ ලාච්චුව ඇරියේය. පිත්තල ජෝගුවෙන් ලාච්චුවට කාසි හලද්දී හඬ නොනැඟෙන සේ ඒ තුළ තුවායක් අතුරා තිබිණි. සියුම් කලාවෙහි දක්ෂයෙක් පියානෝවක යතුරු පුවරුව මතින් තම අතැඟිලි ගෙනයන ශෝභාවෙන් ඔහු ඉක්මනින් මේ කාසි ඒවායේ වටිනාකම් අනුව වෙන් කළේය. එකතු වූ මුදල් ප්‍රමාණය වෙත තම බැල්ම රැඳවූ ඔහු පැය කාලක් ඇතුළතදී එහි මුළු වටිනාකම ගණනය කර අවසන් කළේය. සටහන් පොතක සටහනක් යෙදු ඔහු, ඉන් අනතුරුව ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැකි ලේජරයේ වඩාත් සංකීර්ණ සටහන් කීපයක් යෙදුවේය. ජගන් සිය කුඩා සටහන් පොතේ යෙදුවේ හවස හයෙන් පසුව ලැබී කුඩා ජෝගුවේ තිබුණු ආදායම පමණි. මේ මුදල අන් ආදායමෙන් වියුක්තව, නිදහස්ව පවතින ලෙස ඔහු සැලකුවේය. මෙය එක්තරා ආකාරයකින් ස්වයං ජනිත බවත්, ඒවා බදු ආදියෙන් මුක්තව පැවතීමට සුදුසුකම් ඇති බවත් ඔහු සැලකුවේය. ඉඩ ලැබුණු වහාම මේ කාසි නැවුම් මුදල් නෝට්ටු බවට හරවා, මිටියක් බැඳ සොල්දරයේ නෝබල් මහතාගේ පින්තූරයට පාලු කැපීමට එහි තැන්පත් කෙරෙනු ඇත.

ලාච්චුවේ ඇති කාසි දෙස අවසන් වතාවට බැල්මක් හෙලූ ජගන්, ප්‍රවේසමෙන් ලාච්චුව වසා දැමුවේය. ඉනික්බිති ලාච්චිවේ අල්ලුව හතර වතාවක් ඇද, එය ඇරේවිදැයි පරීක්ෂා කර, ශබ්ද නංවමින් තම පුටුව පසුපසට තල්ලු කළේය. ඉන් අනතුරුව ඔහු දොරට විශාල පිත්තල ඉබ්බෙකු දමා, යතුර කරකවා තම සාක්කුවේ රුවාගත්තේය.

“කැප්ටන්! මේ ඉබ්බා හරියට වැටිලාද බලනවා” ජගන් කී විට කැප්ටන් එය අත් බෝම්බයක් විලසින් දෑතට මැදි කර තදින් අල්ලා ගත්තේ රණකාමී ස්වරූපයෙනි. .

“මේක හොඳ හයිය ඉබ්බෙක් සර්, මේ වගේ ඒවා දැන් හොයාගන්න නැහැ. මම ඉබි යතුරු ගැන හොඳට දන්නවා. මේක ගමක කම්මලක හදන්න ඇත්තේ” මෙලෙස ඉබි යතුරු සහ කම්මල් ආදිය ගැන ඔහු බොහෝ විස්තර කියන්නට ගත් විට ඔහු ට බාධා කළ ජගන්, “හරි, වටපිට ගැන කල්පනාවෙන් ඉන්නවා ” කීවේය.

කැප්ටන් ඔහුට යුධ හමුදාමය සැලියුට් ආචාරයක් දුන් පසු ඒ දවස එලෙසින් නිමා විය.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

The Vendor of Sweets (1967) by R. K Narayan- Indian Thought Publications

Digital painting

September 05, 2022

බිරිඳගේ නිවාඩුව



Translation of the Short Story 'Wife's Holiday' by R. K Narayan

කන්නන් තම පැල්පතේ දොරකඩ හිඳ තමන්ට ඉදිරියෙන් ඇති පාරේ ගම්වැසියන් එදිනෙදා කටයුතු සඳහා යන එන අයුරු බලා සිටියේය. තෙල් වෙළෙන්දා වන සාමි තම ගොනා දක්කාගෙන ඈත සිට ඒ දෙසට එනු පෙනුණි.


“ආ අද උඹ කම්මැලිකමට ඉන්න දවස වගේ නේද? හවස් අතේ මන්තාපම් පැත්තේ වරෙන් එහෙනම්,” ඔහු එතැනින් යද්දී කීවේය.


ඉන් පසුවත් කීපදෙනෙක්ම එතැනින් ගියත් කන්නන් ඒ වගක් දුටුවේ වත් නැත. තෙල් වෙළෙන්දාගේ වචන ඔහුව සිහිනයකට අතහැර තිබුණි. මන්තාපම් යනු බොහෝ පැරණි, කුළුණු සහිත ගොඩනැගිල්ලකි. බදාම ගැලවෙමින්, ගරා වැටෙමින් තිබුණු එය පිහිටා තිබුණේ වැව අද්දරයි. කන්නන් සහ ඔහුගේ මිතුරු පිරිසට මෙය සමාජ ශාලාවක් වැනි විය. ඇතැම් හවස් වරු වලදී ඔවුහු එතැනට එක් රැස් වී මහත් උද්යෝගයෙන් සහ උන්මාදයෙන් දාදු සෙල්ලම් කළහ. කන්නන් මේ සෙල්ලමට පමණක් නොව ඒ ස්ථානයේ දැනෙන මඩ පුසුඹටත්, ගරා වැටුණු ආරුක්කු අතරින් අහසත් දුර ඈත කඳු ගැට පෙනෙන ආකාරයටත් ඉතා ප්‍රිය කළේය.


තම දොරකඩ හිඳ අව්ව තපිමින් සිටින තමන් කම්මැලියෙක් යැයි මිනිසුන් චෝදනා කරනු ඇති බව කන්නන් දැන සිටි නමුත් ඔහු ඒ ගැන තැකීමක් නොකළේ ය. රැකියාවට යාමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණේ නැත - බිරිඳ තවමත් නිවසින් පිටව සිටි නිසා එසේ යන්නට ඔහුට බල කරන්නට කෙනෙක් සිටියේ නැත. දින කිහිපයකට පෙර ඔහු විසින් සිය බිරිඳව ඒ ගමන යන්නට කරත්තයකට නග්ගනු ලැබුවේ නිහඬ සතුටකිනි. අඩුම තරමේ තව දින දහයක්වත් එහි නවතින්නට ඇගේ දෙමව්පියන් ඇයට බලකරනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කළේය. තම පුතුගෙන් වෙන්වී සිටීම දුකක් වූවත් බිරිඳ නොමැතිව කල් ගෙවන්නට ලැබීමේ වරප්‍රසාදය වෙනුවෙන් එය ගෙවන්නට සිදුවන නොවැලැක්විය හැකි මිළක් බව කන්නන් භාරගෙන සිටියේය.


“ඒ ගෑනි ගෙදර හිටියා නම් මට මේ වගේ විවේක ගන්න ඉඩ දෙයිද?” ඔහු කල්පනා කළේ ය. එසේ වූවා නම් ඔහු මේ වෙද්දී පොල් ගස් නගිමින්, ඒවායේ කුරුමිණියන් සහ වෙනත් කරදරකාරී කෘමීන් ඉවත් කරමින්, කුම්මැහි ගස් අයිතිකරුවන් සමඟ හෙට්ටු කරමින්, දවසකට රුපියලක් උපයමින් සිටිනවා ඇත. දැන් ඔහු තම බිරිඳ නිවසේ නැති ප්‍රීතිය සැමරුවේ දවසින් වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳීමෙනි. නමුත් මෙහි අවාසිය වූවේ ඔහු සන්තකයේ ආනා කාලක්වත් නොමැති වීමයි. එමෙන්ම අද දවසේ ගස් බඩගෑමක් සිදු නොකළහොත් ඔහුට කිසිම කාසියක් දක්නට ලැබෙන්නේ ද නැත.


අතපය දිගු කර ඇඟ මැලි කැඩූ කන්නන් ගස් නැගීම ගැන නොසතුටින් කල්පනා කළේය. අර විශාල නිවසේ ගෙවත්තේ තිබුණු පොල් ගස් දහයට තම සේවාව අවශ්‍ය බව සත්‍යයකි, තමන් එහි යාමට සූදානම් ඕනෑම වෙලාවක ඒ කාර්යය ඔහු වෙනුවෙන් වෙන්වී තිබුණි. එහෙත් එය කළ නොහැක්කක් බව ඔහුට හැඟුණි. තම අත පය දරදඬු වී ඇති බවත්, අද දවසේ ඒවා අවනත වන්නේ මන්තාපම් යාමට පමණක් බවත් ඔහු සිතුවේය. නමුත් හිස් අතින් එහි ගොස් ඇති පල කුමක්ද? ඔහු අතේ අඩුම තරමේ ආනා හතරක්වත් තිබුණි නම් හවස ආපිට එද්දී රුපියලක් රැගෙන ඒමට හැකිවනු ඇති බව ඔහු විශ්වාස කළේය. අර ගෑනි! තමන් මහන්සියෙන් ඉපයූ මුදලින් ආනාවක් වත් තමන් සතුව තබාගැනීමට ඉඩ නොදෙන බිරිඳ ගැන සිතද්දී පවා ඔහුට කෝපයක් දැනුණි. තමන්ගේ නමට එක ආනාවක් වත් නොමැතිවීම! තමන් වසර ගණනක් තිස්සේ දුකසේ මුදල් ඉපයූ බව කන්නන් මතක් කළේ ය. ඒ කාලය වසර කීයක්දැයි ගණන් කරන්නට උත්සාහ කළත් ඔහු ඒ සිතිවිල්ල අත්හැර දැමුවේ ඒ වෙනුවෙන් ඉලක්කම් රාජධානියට පිවිසිය යුතු නිසාය. දාදු සෙල්ලමේදී සහ මුදල් ගණන් කිරීමේදී හැර අන් හැම විටකදීම ඔහුට දැනුණේ ඉලක්කම් යනු තමන්ගේ ග්‍රහණයෙන් පිට ඇති සංකීර්ණ දේවල් බවයි.


හදිසියේම යමක් සිහි වූ බැවින් ඔහු හුන් තැනින් නැගිට නිවස තුළට ගියේය. නිවසේ එක කෙළවරක විශාල යකඩ පෙට්ටගමක් විය. වසර කීපයකට පෙර කළු තීන්ත ආලේප කර තිබුණු එය මේ නිවසටම තිබුණු එකම වැදගත් දේ විය. පෙට්ටගම ඉදිරිපස හිඳගත් කන්නන් එහි අගුල දෙස අසරණ ලෙස බලා සිටියේය. එය තියුණු දාර සහිත තනි යකඩ අගුලකි. එහෙත් ඔහු එය අල්ලා වැරෙන් අදිද්දී පුදුමයකට මෙන් එය විවර විය. “දෙවියන් මට කරුණාවයි,” තමාටම කියාගත් ඔහු පෙට්ටගමේ පියන විවර කළේය. මෙහි තිබුණේ ඔහුගේ බිරිඳගේ වටිනාම වස්තූන් කිහිපයකි. එහි හැට්ට කිහිපයක් සහ සාරි දෙකතුනක් විය. තමන් තරුණ මනමාලයෙක් ලෙස ඇයට මිළදී ගෙන දුන් සාරියත් එහි ඇති බව දුටු විට මේ තරම් කාලයක් ඇය එය ප්‍රවේසම් කර තිබීම ගැන ඔහු පුදුම විය. එදා සිට ගත වූ කාලය ගණනය කරන්නට උත්සාහ කළත් මෙවරත් ඉලක්කම් ඔහුට හරස් විය.


“මට නම් පේන්නේ එයා මේක පරෙස්සම් කරලා තියාගෙන ඉන්නේ ඒක අඳින්න තියෙන ලෝබකම නිසායි!” කී ඔහු තනිවම සිනාසුණේ මේ නපුරු නිගමනය ගැන සතුටිනි. මේ ඇඳුම් කැඩුම් නොඉවසිලිමත් ලෙස වීසි කර දැමූ ඔහු පෙට්ටගම පතුලේ ඈ මුදල් දමන කුඩා ලී පෙට්ටිය සොයන්නට විය. නමුත් එය හිස් ව පැවතුණි. එහි තිබුණේ වාසනාව උදෙසා ඉතිරි කරන ලද සුමට තඹ කාසියක් පමණි.


“සල්ලි ටික කොහේ අතුරුදහන් වුණා ද?” ඔහු කේන්තියෙන් ඇසුවේය.


“එයාගේ සහෝදරයාට හරි එහෙ ඉන්න වෙන කෙනෙකුට හරි දෙන්න ආනා ඔක්කොම අරන් යන්න ඇති! මම මෙහෙ දවස ගානේ වහල්කම් කරන්නේ එයාගේ සහෝදරයා පෝසත් කරන්නද? ඊළඟ වතාවේ ඕකාව හම්බ වුණාම මම උගේ බෙල්ල මිරිකනවා,” මෙසේ තමන්ටම කියාගනිද්දී ඔහුට යම් තෘප්තියක් දැනුණි. තවත් පෙට්ටගම අවුස්සද්දී එහි කෙළවරක වූ දුම්වැටි අසුරන වර්ගයේ බෙලෙක් භාජනයක් ඔහුගේ ඇස ගැටුණි. එය සොලවා බැලූ විට ඉන් නැඟුණේ කාසිවලින් නැඟෙන සතුටු හඬයි. එය දකිද්දී ඔහුගේ පපුව උණු විය. මේ රත් පැහැති බෙලෙක් බඳුන ඔහුගේ පුතුගේ යි. සංචාරක බංගලාව පසුපස කුණු ගොඩේ තිබී මෙය අහුලාගත් පුතු එය තම පපුවට තදකරගෙන දිව ආ හැටි ඔහුට සිහි විය. ඉනික්බිති මුළු දවසම පාරේ සිට ඊට දුහුවිලි පුරවමින් සහ හිස් කරමින් ඔහු එය සමඟ සෙල්ලම් කළේය. මෙයින් කාසි කැටයක් තනන්නට යෝජනාව ගෙන ආවේ කන්නන් ය. මුලදී කුඩා දරුවා දැඩි ලෙස මීට විරුද්ධ විය. නමුත් කන්නන් දිගටම කරුණු දැක්වූ නිසා ඔහුට මේ අදහස දරුවාට ඒත්තු ගන්වන්නට හැකි වූ අතර අවසානයේදී ඔහු උනන්දුවෙන් ඊට එකඟ විය.


“කාසි කැටය පිරුණාම මම අර ලොකු ගෙදර පිරිමි ළමයා වගේ කාර් එකක් ගන්නවා, තව හාමොනිකාවකුයි කොළ පාට පැන්සලකුයි ගන්නම ඕන.” පුතුගේ මේ සැලසුම් අසා කන්නන් හඬ නඟා සිනාසුණේය. බෙලෙක් බඳුන කම්මලට රැගෙන ගිය ඔහු කම්මල්කරු ලවා එහි පියන පාස්සා මුදුනෙහි කාසියක් දමන්නට පමණක් ඉඩ සෑහෙන විවරයක් කපාගත්තේය. කුඩා දරුවාට මෙය මහඟු වස්තුවක් වූ අතර තාත්තාට එතුළට කාසියක් දමන්නට එය ඔසවාගෙන සිටීමට ඔහු ප්‍රිය කළේය.


“තාත්තේ කැටේ පිරිලා ද? මට ඒක අරින්න පුලුවන්ද?” ඔහු රැළි කරගත් දෙබැමින් යුතුව නිරතුරුව ඇසුවේය. මවගේ පෙට්ටගමේ සාරි අතරේ සුරක්ෂිතව තම කැටය තබන්නට උත්සුක වූ දරුවාට පෙට්ටගම නිසි ලෙස අගුලුලන තුරු නිවනක් නොවිණි.


“බොහොම පරෙස්සම් ළමයා, මෙයා ලොකු දේවල් කරයි. ටවුමේ ඉස්කෝලෙකට දාන්න ඕන,” මේ දෙස බලා සිටින කන්නන් ආඩම්බරයෙන් කීවේය.


දැන් කන්නන් කාසි කැටය සොලවා එහි විවරය ආලෝකයට අල්ලා බැලුවේ එහි ඇති මුදල දැනගැනීමටයි. බිරිඳ ගැන දැනුණු ගැඹුරු නොරිස්සුම නිසා ඔහු නපුරු අදහසකට ගොදුරු විය. කාසි කැටය උඩු යටිකුරු කළ ඔහු එහි කාසි ගැටෙන හඬින් දෙකන් බිහිරි වන තුරු එය වැරෙන් සෙලවූවේය. නමුත් කම්මල්කරු තමන්ගේ රාජකාරිය මනාව ඉටු කර තිබුණි. කැටයේ විවරය කාසියක ගනකමම වූ නිසා ඊට කාසි දමනු හැකි වූ නමුත් ඒවා ඉන් පිටතට ආවේ නැත. මෙලොව කිසිම බලයකට ඒවා පිටතට ගැනීමට නොහැකි බවක් පෙනුණි.


මඳ වෙලාවකට පසු තම කාර්යය මොහොතකට නැවැත්වූ කන්නන් තමන්ගෙන්ම මෙසේ ප්‍රශ්න කළේ ය. “දරුවාගේ මේ සල්ලි මම ගන්න උත්සාහ කරන එක හරි වැඩක්ද?” “මොකද නැත්තේ?” ඔහු තුළින්ම සිත වශී කරවන සුළු කටහඬක් නැඟුණි. “තාත්තාත් පුතාත් දෙන්නාම එක්කෙනෙක්. අනික තමුන් ඔය මුදල වගේ දෙතුන් ගුණයක් හොයාගත්තාම ඒ ටික ආයෙත් කැටයට දාන්න පුළුවන්. ඒ හින්දා හරියටම බැලුවොත් නම් ඔය කැටය කඩන එකෙන් ඔයා පුතාට කරන්නේ වාසියක්.” මේ සිතිවිල්ලෙන් ඔහුගේ සිතේ වූ කුකුස සමනය විය. කැටයේ විවරය පළල් කරන්නට සුදුසු උපකරණයක් සොයමින් ඔහු වටපිට බැලුවේය. නිවස වටා ගොස් ඔහු ඒ සඳහා තේරුමක් නැති දේවල් - නූල්, පොරෝප්ප ඇබ, ඉවත දමන ලද හරක් ලාඩමක්- වැනි දේවල් එක් රැස් කළේය. එහෙත් ඔහුට එකම මුවහත් උපකරණයක් වත් සොයා ගැනීමට හැකි වූයේ නැත. මෙහි තිබුණු පිහියට කුමක් වී ද? තමන්ගේ බිරිඳගේ සෑම දෙයක්ම සඟවා තැබීමේ පුරුද්ද ගැන ඔහුට නොරිස්සුමක් දැනුණි. ඇය එය තම සහෝදරයා වෙත රැගෙන ගියා විය නොහැකිද?


කාසි කැටය අතින් ගත් කන්නන් තව ටික වෙලාවක් එය පොළොවේ ගහමින් පසුවිය. මේ නිසා එහි හැඩය වෙනස් වී අබලි වූවා මිස ඒ තුළ වූ වස්තුව නම් එළියට ආවේ නැත. වටපිට බලද්දී කන්නන් ගේ නෙත ගැටුණේ දේව රූපයක් ඇණයකින් එල්ලා ඇති අයුරු ය. රූපය ඉවත් කර ඇණය බිත්තියෙන් ගලවා ගැනීමට ඔහු සමත් විය. ඉනික්බිති බිම වැටුණු දේව රූපය දෙස බැල්මක් හෙලූ ඔහුට මඳ අපහසුතාවක් දැනෙන්නට වූ නිසා ඔහු වහා වහා එහි දෙපය වෙත තම දෑස යොමු කළේය. ගල් කුට්ටියක් ගෙන ආ කන්නන්, එක් අතකින් ඇණය කාසි කැටය මත තබා අල්ලාගෙන අනෙත් අතින් ඒ වෙතට වැරෙන් ගල් පහරක් එල්ල කළේ ය. නමුත් ඇණය ලිස්සා ගිය නිසා ගල් පහර ඔහුගේ මහපටඇඟිල්ලට වැදී එය නිල් විය. වේදනාවෙන් කෑ ගැසූ කන්නන් කාසි කැටය වීසි කර දැමුවේය. එය නිවසේ මුල්ලකට වීසි වී ගොස් තමන් දෙස නපුරු ලෙස බලා ඉන්නා බවක් ඔහුට හැඟිණි.


“උඹ මහා බල්ලෙක්!” ඔහු ඊට බැන වැදුණේ ය. තැලුණු මහපටඇඟිල්ලේ වේදනාව විඳිමින් මඳ වෙලාවක් ගත කළ ඔහු අන්තිමේදී රතු බෙලෙක් බඳුන දෙස බැල්මක් හෙලා “දෙන්නම් උඹට වැඩක්,” යැයි කියා නැගිට ගියේය. නිවසේ කුස්සිය ලෙස ගැනුණු මුල්ලට ගිය ඔහු නැවත ආවේ මිරිස් ගලේ අත් ගල හිසට ඉහළින් දෑතින්ම ඔසවාගෙනයි. ඉනික්බිති බෙලෙක් බඳුන වෙත ගොස් ඔහු සිරස් ව අත් ගල එය මතට අත හැරියේය. මෙය නම් සවිමත් බවෙන් කාසි කැටයට වඩා ඉදිරියෙන් තිබුණු බව ඔප්පු කරමින් මේ පහරින් බෙලෙක් බඳුන පැතලි වී ගොස් එක පසෙකින් විවර විය. ඉක්මණින් එතුළට අතැඟිලි යවා එහි වූ කාසි පිටතට ගත් ඔහු ඒවා ගිජු ලෙස ගණන් කරන්නට විය. එහි පයිස තුනේ තඹ කාසි වලින් ආනා හයක් විය. තම දෝතියේ ඉනේ මේ කාසි රඳවාගත් ඔහු නිවසේ දොර අගුලු ලා ඉන් පිටව ගියේය.


මන්තපාම් හිදී වාසනාව ඔහුව හැර ගියා නොව එය ඔහු අහලකටවත් ආවේ වත් නැත. ටික වෙලාවකින් ඔහුට ඔහුගේ මුදල් සියල්ල අහිමි විය. තව ටික වෙලාවක් ඔහු ණයට සෙල්ලම් කළත් ඔහුගේ වාරය ඊට වඩා ගෙවීමේ හැකියාව ඇති කෙනෙක් වෙනුවෙන් ලබාදිය යුතු බව කිසිවෙක් විසින් යෝජනා කරන ලදී. එක් වරම හුන් තැනින් නැගිටගත් ඔහු නිවෙස බලා පිටත්ව යද්දීත් හිරු දීප්තිමත්ව බැබලෙමින් තිබිණි.


කන්නන් තමන්ගේ වීදියට හැරෙද්දී එහි එහා කෙළවරේ දුටුවේ එක් අතකින් පොට්ටනියක් එල්ලාගෙන අනෙත් අතින් දරුවාගේ අත අල්ලාගෙන පැමිණෙන සිය බිරිඳයි. ඔහු විස්මයෙන් බලා සිටියේය. “මේක හීනයක් වේවා!” ඔහු තමාටම කියාගත්තේය. “මේ පැත්තට එන බස් එකක් හම්බවුණ නිසා මම ගෙදර ආවා.” ඔහු අසලට පැමිණි බිරිඳ කීවාය. ඇය නිවසේ ඉදිරිපස දොර වෙත යමින් සිටි අයුරු ඔහු බලා සිටියේ නැඟී එන නොපැහැදිලි භීතියකිනි. ඇයගේ බඩු බාහිරාදිය එළියට අදින ලද පෙට්ටගම, බිම දමන ලද දේව රූපය, තලා දමන ලද රතු බෙලෙක් කාසි කැටය- ගෙතුළට පා තැබූ සැණින් ඇය මේ හැම දෙයක්ම එක වර දකිනු ඇත. මේ අවස්ථාවෙන් ගැලවීමක් නොවිණි. ඔහු දොර විවර කළේ යාන්ත්‍රිකවයි.


“මොකද ඔය මූනේ හැටි?” ගෙතුලට පා තබද්දී ඇය ඇසුවාය. පුතු ඔහු වෙත කාසි කීපයක් පෑවේය.


“මේවා මගේ කැටයට දාන්න කියලා මාමා දුන්නා.” ඔහු කීවේය.


කන්නන් ගේ මුවින් නැඟුණේ කාලකණ්නි බවේ කෙඳිරියකි.


“ඇයි තාත්තේ?” දරුවා ඇසුවේය.


“මුකුත් නැහැ, මගේ ඇඟිල්ලක් තැලුණා,” ඔහු සිය මහපටඇඟිල්ල පෙන්වමින් මිමිණුවේය.


එළඹෙන්නට නියමිත කුණාටුවට මුහුණ දෙන්නට හිත හදා ගනිමින් ඔහු ඔවුන් පසුපසින් නිවස තුළට පිවිසුණේය.




පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

From the book Malgudi Days by R. K Narayan, first published Viking Press USA (1982)
Photo- Udit Saptarshi on Unsplash