Showing posts with label පරිවර්තිත කවි. Show all posts
Showing posts with label පරිවර්තිත කවි. Show all posts

August 28, 2026

පර්සි මා ඇහැරවයි



පොරෝනා යටට වී උණුසුම් ව 
රෑ පුරාම නිදා සිටි පර්සි,
මා අවදි වන්නට සූදානම් නැති වේලාවකදී 
මා ඇහැරවයි 

ඌ ක්‍රියාශීලී වීමට නොඉවසිල්ලෙනි  
මුලින්ම ඇවිදින්නට යාම, ඉන්ක්බිති පාතරාසය 

කුස්සියේ කවුන්ටරය උඩට නැගීම 
තහනම් බව දැන දැනම 
ඌ එහි හිඳ සිටී 

“ඔයා කොයිතරම් අපූරුද” මම කියමි 
“ඔයාට මාව උවමනා වුණු වෙලාවට ඇහැරවපු එක 
කොයිතරම් නුවණක්කාර ද!”

මේ ගැන බැනුමක් අසන්නට වේ යැයි 
සිතමින් සිටි පර්සි ගේ දෑස 
ගැඹුරින් දිලිසෙන්නට වේ 
තවත් අගය කිරීම් ලබන්නට 
ඌ සෝපාවට පනී 
කෙඳිරිගාමින් දඟලයි 

තමන්ට උවමනා දෙයක් කළ පසු 
ඊට කම් නැති බව ඌට අසන්නට ලැබී ඇත 
මම පර්සි ව අතගා සුරතල් කරමි 
මේ ‘කමක් නැති බව’ ඌ ව උමතු කර ඇත 

ඉනික්බිති අපි ඇවිදින්නට ගොස් 
පාතරාසය ගනිමු 
ඌ සතුටිනි 

මේ පර්සි ගැන කවියකි 
මඳක් කල්පනා කළහොත් 
මේ කවිය පර්සි ගැන පමණක් නොවේ  

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

translation of the poem 'Percy Wakes Me' by Mary Oliver 

 
Digital art

August 20, 2026

තදින්ම ප්‍රේම කළ අය

තදින්ම ප්‍රේම කළ අය
තම ප්‍රේමයන් ගැන නොදොඩති

ෆ්රැන්චෙස්කා, ග්වීනවියර්,
ඩෙයිඩ්රේ, ඉසූල්ට්, හෙලෝයිස්
ඉතිහාසයේත්, සාහිත්‍යයේත්
මේ වීරවරියෝ
දෙව්ලොව සුවඳවත් උද්‍යාන වල සැරිසරති
ඔවුන් පසුවන්නේ නිහඬවමයි
දොඩන්නේ නම් ඒ
සියුම්, නොවැදගත් දේ ගැනයි

එලෙසම
මා දන්නා ගැහැනියක්
තරුණ වියේ සිට
දෛවය හා ඔට්ටු වෙමින්
මානය හා සටන් වදිමින්
එක්තරා තරුණයෙකුට පමණක් පෙම් කළා ය
ඒ ගැන කිසිවිටෙක කිසිවක් නොකීවාය
එනමුදු අහම්බෙන් හෝ
ඔහුගේ නම ඇසුණහොත්
මොහොතකට
ඇගේ උවන මත
ආලෝකයක් විහිදෙනු පෙනුණි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Those who love most' by Sara Teasdale

Digital art



July 09, 2026

පත්‍රය සහ වලාකුළ





තනිකම රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත ගොස්
ලෝකයේ ක්‍රමවත් බව ගැන
කල්පනා කර බලන්න

ඔබේ මහපට ඇඟිල්ලක් තරම් වූ
ලා කොළ පැහැති හිම පළගැටියකුගේ
ටැම්බුරීන් නාදයට සමාන හඬ වැනි
ඔබ මින් පෙර කිසිදිනක අත්නොදුටු දෙයක් විඳින්න

ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලෙකු
තම තටු වලින් දිය බිඳු විසුරුවන අයුරු
ඇසි පිය නොහෙලා බලන්න

ශෝකයට
ඔබේ සොයුරිය වන්නට ඉඩ දෙන්න
එක්කෝ ඇය වියැකී යනු ඇත
නැතිනම් පවතිනු ඇත
කනස්සල්ල නම් දර කොටයෙන්
හරිත පත්‍ර සේ
අනලස් ව ඉහලට මතුවෙන්න

මෙලොව සුන්දරත්වය සඳහාත්
ජීවිතයේ වගකීම් සඳහාත්
එක් ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවේ

සොහොන් මත මල් විසුරුවා
ඉවතට යන්න
ඔබගේ ප්‍රහර්ශයෙදී
කාරුණික වන්න
අපිළිවෙල වන්න

ඔබේ මනසේ දිලිසුම අභියස
නිරහංකාර වන්න
ස්පෘශ්‍ය දේටත්, ප්‍රීතිය ගෙනෙන දේටත්
ස්තුතිවන්ත වන්න

කුරුමිනියකු සමඟ,
සුළඟ සමඟ
ජීවත් වන්න

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of part 12 of the poem 'Flare', from the poetry collection 'The Leaf and the Cloud' by Mary Oliver

Digital art


May 07, 2026

බල්ලන්ගේ සොඳුරු බව




“මට හිතුණා වැලි තලාවේ වාඩිවෙලා
පුර හඳ පායන හැටි බලන්න
මොකද කියන්නේ පර්සි? යමුද?”

ඉතින් සඳ දුරින් නැඟෙමිනි, කෙතරම් සුන්දර ද?
ඒ දසුන මට මා ගැනම සිතන්නට පොළඹවයි
දෙව්ලොව ගැන කල්පනා කරන
අංශු මාත්‍රික ජීවියෙක්මි
සඳේ පරිපූර්ණ රූ සපුව ගැන
කෘතඥ වෙමි
ලෝකයට ප්‍රේම කිරීම
කෙතරම් පොහොසත් ක්‍රියාවක් ද!

මේ අතරතුර පර්සි
මගේ ගතට ඇල වී
මගේ මුව දෙස බලාගත්වනම සිටින්නේ
ඔහුගේ ලෝකයේ පරිපූර්ණ සඳ
මා යැයි සිතමින් මෙනි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the poem 'The Sweetness of Dogs' by Mary Oliver

Digital sketch

March 29, 2026

ආයුබෝවන් නරියෝ



ගසක සෙවනක
තුටින් වැතිර සිටියා ඌ

“කොහොමද නරියෝ?’ මා කීවා
පැන නොගොස්, මා දෙස බලා
“ආයුබෝවන් ඔබටත්” නරියා පිළිතුරු දුන්නා

“මගෙන් මිදී දිව යන්නේ නැද්ද?” මා ඇසුවා

“ඔබ අප ගැන කතාබහ කරන දේ මට ආරංචියි
ඔබ දන්නවා වෙන්න පුළුවන්
නොදන්නවා වෙන්නත් පුළුවන්
නරි අතර පවා ඒ පුවත් පැතිරෙනවා”

“මගේ මොන කතාබහ ද?”

“ඔබට එක්තරා කාන්තාවක් කීවාලු
නරි දඩයම නරින්ට යහපතක් ගෙන එන බව,
‘කොයි නරියාටද?’ කියා ඔබ ඇයගෙන් ඇසුවාලු”
ඔව් මට මතකයි, ඈ ඉන් කෝප වුණා

“ඉතින් මගේ පොතේ හැටියට, ඔබ හොඳ කෙනෙක්”

“ඔබේ පොත!
ඔබ උන්නේ මගේ පොතක,
ඒක තමයි අප අතර වෙනස”

“ඔව්, මම එකඟයි,
ඔබ බුහුටි වදනින් ජීවිතය ගැන කරදර වෙමින්,
ජීවිතයේ අරුත සොයමින්..
අප නම් ජීවත්වෙනවා පමණයි”

ආ!

“කාටවත් ජීවිතේ අවසන් තේරුම වටහා ගන්නට පුළුවන් ද?
ඉතින් උත්සාහ කරමින් මහන්සි වන්නේ ඇයි?
ඔබ කරදර වෙමින්, අප ජීවත් වෙමින්”

මෙසේ කියා,
වයෝවෘද්ධ බව නිසා
ඉතා සෙමෙන් නැගිටගත් ඌ
යන්නට ගියේය

Translation of the poem 'Goodbye Fox' by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Image - hand drawn fox, digitally enhanced

March 13, 2026

බර



මීටත් වඩා
ශෝකයට සමීප වීමට නම්
මා මියැදිය යුතු බව
මට සිතුණු කාලයක් විය

නමුත් මා තවත් ශෝකයට සමීප වූවත්
මියැදුණේ නැත
එකත් එකටම
මීට දෙවියන්ගේ ද,
මගේ මිතුරන්ගේ ද
දායකත්වයක් තිබෙන්නට ඇත

නමුත් මා සිටියේ පීඩිතවයි
කවියන් කියනා පරිදි
මගේ සිනහව අතුරුදන් ව තිබිණි

මගේ මිතුරු ඩැනියෙල්
(ඔහු සිංහයන් අතර පවා නිර්භීතයි)
මෙසේ කීවේ එවිටයි

“ඔබ උසුලන බර
පොත් හෝ ගඩොල් හෝ ශෝකය
මින් කවර එකක් වූවත්
වඩාත් වැදගත් වන්නේ
එය බිම තැබිය නොහැකි විට
ඔබ එය
වැළඳ ගන්නා ආකාරයයි,
සමබර කරගනිමින්
උසුලනා ආකාරයයි”

ඉතින් මම තව දුරටත් ඒ කලාව ප්‍රගුණ කළෙමි
ඔබ ඒ බව දුටුවේද?

විස්මිත මගේ මුවින්
ඉඳහිට සිනාවක් නික්මෙනු
ඔබට ඇසී ඇත්ද?

සුළඟට හසු වූ රෝස මල්,
සැඩ රළ මත මුහුදු පාත්තයන්,
ආපිට නොලැබෙන ප්‍රේමයන්
වැනි
මේ ලෝකයේ කරුණාවන්ත
එහෙත්
ඇතැම්විට කරදරයට ලක් ව ඇති දේ දෙස
මා නතර වී
ප්‍රසාද බැල්මෙන් බලනු ඔබ දැක ඇත්ද?

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Heavy' by Mary Oliver


Digital art

February 20, 2026

නොනිමි නරි කතා


ඉතින් ඒ නරියා මොන වගේද?
සුරංගනා කතාවක, රහස් ආයිත්තම් ඇඟ ලූ කුමාරයෙක් වගේ

ඌ මොනවාද හොයමින් හිටියේ?
තරු අතරින් තණබිමට වැටුණු හාවෙක්ව

ඌ හැඩට කොණ්ඩය පීරලා කුමාරයෙක් වගේ ඔටුන්නක් හිසලා හිටියාද?
නෑ, ඌ රළුයි, උරුලෑ ගඳකුත් තිබුණා, හැබැයි හරිම ලස්සනයි
අපිට ලස්සන අවතක්සේරු කරන්න බැහැනේ නේද?


ඉතින් ඔයා කාර් එක නැවැත්තුවා ද?
නෑ, මම යමින් උන් ගමන දිගටම ගියා, මට ඒ ගමන ගැන මතක නැහැ

එහෙනම් මොනවාද මතක?
නරියා ගැන, නරියා ගැන!

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'More of the Unfinishable Fox Story' by Mary Oliver

පසු සටහන- මම නරින්ට බොහොම කැමති කෙනෙක්නෙ. මෙල්බර්න් නගරයේ නරි හිටියාට අපිට උන්ව දකින්න වෙන්නේ පාර තොටේ වාහන වලට හැපිලා මැරිලා ඉන්දැද්දී තමයි. මෙයාලගේ මායාමය ලස්සන නිසා මම නිතරම නරි අඳිනවාත් එක්ක. මගේ ප්‍රියතම කිවිඳියක් වන Mary Oliverත් මං වගේම නරි ෆෑන් කෙනෙක් බව මම දැනගත්තේ මේ කවිය දැක්කාම!
මේක තමයි මේකේ මම කැමතිම කෑල්ල-

//එහෙනම් මොනවාද මතක? නරියා ගැන, නරියා ගැන!// 😅


image of fox sketched by hand

 

January 20, 2026

ජීවත් වීමේ ක්‍රමය




මා ජීවත් විය යුත්තේ කෙසේදැයි
මම පර්සිගෙන් විමසමි

ආදරය, ආදරය, ආදරය පර්සි කියයි
අනික
දිලිසෙන වෙරළේ, සුන්බුන් අතරින් සහ දූවිල්ල මැදින්
නිතරම ඉක්මන් ගමනින් යෑම
ඉනික්බිති නිදා ගැනීම

ඔබගේ සිරුර
උණුසුමටත්, ගැහෙන හදටත් බාර දීම
තව,
විශ්වාස කිරීම

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem I Ask Percy How I Should Live My Life by Mary Oliver

Digital art

December 24, 2025

සිහිනය



මා තුළ මෙවැනි සිහිනයක් ඇත
තුරුවැලින් වටවූ නිහඬ නිවසක්

කරදරකාරී නගර වලින් එපිට
කම්හල්, පාසල්
සහ දුක් අඳෝනා වලින් ඔබ්බෙහි
හරිත පැහැ අක්කර කීපයක්

එතැන,
මට විවේකීව ගෙවන්නට
වුවමනාවටත් වඩා කාලය තිබෙනු ඇත
මගේ තනියට
දොළ පාරක් සහ කුරුල්ලන් පමණි

එහිදී
මගේ දිවිය තුළින්
වනයේ සිලෝ හඬ මවන්නට
වරමක් ලැබෙනු ඇත

ඉනික්බිති මට කල්පනා විය
මරණයද මෙවැන්නකි
එයද,
හුරුපුරුදු හැම තැනකින්ම
මඳ දුරක් ඔබ්බෙනි

Translation of the poem A Dream of Trees by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital art

November 15, 2025

The Girls Who Grow Antlers by Ellanya Sivasubramaniam




අගෝස්තු අග භාගයේදී
පාසලේ යුවතියන් තිදෙනෙකුට
හදිසියේම අං තට්ටු මතුවිය
මේ රූපක භාවිතයක් නොවේ
ඒවා සැබවින්ම
අස්ථියෙන් සැදුණු ඒවා විය

මුලින්ම නළලත
කැළලක් වැනි මොට්ටුවක් මතු විය
ඉනික්බිති නිහඬ ව, සෙමෙන්
ඒවායේ අතු බෙදුනේ
තම මානය තීරණය කරන
ගස් විලසිනි
සැප්තැම්බර් වෙද්දී
ඔවුන් ඒවා පැලැන්දේ
නොඉල්ලා ලැබුණු ඔටුණු විලසිනි

දොරටු වලින් ඇතුල්වෙද්දී
ඔවුන් පහත් වන අයුරු
අං පැටලී ඔවුන්ගේ ස්වෙටර්
ඉරී යන අයුරු
නොදැක්කා සේ අපි සිටියෙමු
ගුරුවරු මේ ගැන රැස්වීම් පැවැත්වූහ
පාසලේ හෙදිය
ඒවායේ සේයාරූ ගත්තේ 
ලේඛනගත කිරීම් සඳහායි
ඉන් එක් යුවතියක් දැන් පාසැල් නොපැමිණේ

තවත් එකියක්
පාන් කපන පිහියකින්
තම අං තට්ටුව කපා දමන්නට තැත් කළා ය
ගණිත පාඩම අතරමැද දී
ඇයට පිටවී යන්නට වූයේ
ඇගේ හිසකේ මැදින්  
තවත් අනතුරු ඇඟවීමක් ලෙසින්
ලේ ගලන්නට වූ බැවිණි

අනෙත් යුවතිය
තම අංතට්ටුවට
රිසි සේ වැඩෙන්නට ඉඩ හැරියා ය
සීත කාලයේදී එහි අතු අතර
විදුලි බුබුළු වැල් පැටලුවා ය
අන් අය ‘ගෝනා’යැයි විහිළු කළ විට
ඊට සිනාසුණාය

මේ සංසිද්ධිය ඇරඹුණු අයුරු ගැන වත්
එහි වේදනාවක් ඇති නැති බව ගැනවත්
කිසිවෙකු කතා කරන්නේ නැත
නමුත් වෙලාව බලන තරම් නිරතුරුවම
වැසිකිලි වලදී
අප නළලතට ඇඟිලි තුඩු තබා
තියුණු යම් දෙයක්
මතුවෙමින්දැයි
සොයමු


The Girls Who Grow Antlers
by Ellanya Sivasubramaniam
අනුවර්තනය - හෙල්මලී ගුණතිලක 

පහළොස් හැවිරිදි Ellanya Sivasubramaniam ගේ The Girls Who Grow Antlers කවිය, ලොව පුරා වයස 11-17 අතර නිර්මාණකරුවන් වෙනුවෙන් පැවැත්වෙන Foyle Young Poets තරඟයේ 2025 වසරේ විශිෂ්ඨ ම කවි 15 අතරට තේරී ඇත. මේවා තේරී තිබුණේ රටවල් 135කින් යොමු වූ කවි 28344 අතරිනි. Ellanya එංගලන්තයේ රීඩින් නගරයේ වෙසෙන්නියකි. 

Image- Gemini

November 04, 2025

බෙන්ජමින් ට



නොදන්නා තැනක සිට මා වෙත පැමිණි බෙන්ජමින් ට

ඉතින් මා කුමක් කරම් ද?
මා කොස්සක් අතට ගත් විට
ඌ කාමරයෙන් පිටවෙයි

උදුන දැල්වීමට දර සකසද්දී
ඌ ගෙවත්තට පලා යයි

ඉනික්බිති, ඌ නැවත පැමිණි විට
අපි වරුවක් තිස්සේ වැළඳගනිමු

තැති ගැන්ම නිසා උත්සන්න වුණු
බෙන්ජමින් ගේ හද ගැහෙන වේගය
කෙමෙන් අඩුවනු මට දැනේ

මම උගේ උරහිස් පිරිමැද
දෙපා සිඹිමි
දිගු කන් සුරතල් කරමි

බෙනී- මම කියමි
බය වෙන්න එපා.
මමත් දන්නවා …
අලුත් ජීවිතය පසුපස්සෙන්
පරණ ජීවිතය හොල්මන් කරන හැටි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem "Benjamin, Who Came From  Who Knows Where" By Mary Oliver


Digital art

October 13, 2025

මුණගැසීම

අරුණෝදයකදී, හිම මිදුණු මිටියාවතක් හරහා
අපි අස්රියක ගමන් කරමින් සිටියෙමු
අඳුර මැදින් ආලෝකය නැඟුණේ රත් පියාපතක් මෙනි

හදිසියේම, පාර හරහා හාවකු දිව ගිය විට
ඔබ අත දිගු කර එය පෙන්වීය

ඒ බොහෝ කලකට පෙරදීයි
දැන් ඒ හාවාත්,
ඒ දසුන පෙන්වූ මිනිසාත්,
ජීවතුන් අතර නොමැත

ප්‍රේමවන්තය,
කොතැනකද ඒ හැමදේම?
අතක සෙලවීම, ගල් කැටවල සර සරය
ඒවා සැඟවුණේ කොහි ද?

මා විමසන්නේ ශෝකයෙන් නොව,
විමතියෙනි

Translation of the poem Encounter, by Czeslaw Milosz
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

පෝලන්ත සහ ඇමෙරිකානු මිශ්‍ර සම්භවයක් ඇති Czeslaw Milosz ලිතුවේනියාවේ උපන්නෙකි. විසිවන සියවසේ විශිෂ්ඨ ම කවියන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ඔහු, 1980 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත්තේය

Digital art



September 05, 2025

කල්පනා කිරීම

මා ඇඳෙන් බැස ගොස්
විසිත්ත කාමරයේ සැප පුටුවක හිඳ
බැලූ බැල්මට
කිසි දෙයක් නොකරමින් සිටිද්දී
පර්සි ට පැහැදිලි කිරීමක් කළ යුතු විය

“මා මේ කරන්නේ කල්පනා කිරීමයි
ගහ කොළ, මල් හෝ බල්ලන් මෙන්
මිනිසුන්-
සම්පූර්ණයෙන්ම
මිහිකතගේ දරුවන් නොවන බැවින්
එය ඔවුන් සාමාන්‍යයෙන් කරන දෙයකි”

පර්සිගේ දෑසේ
මේ ක්‍රියාව ගැන ප්‍රශ්නාර්ථයක් විය

‘හරි, ඔයා කියන දෙයක් තමයි
ඇත්තම කියනවා නම්
මම නම් ඊට වඩා කැමතියි සිප ගැනීමට’

එසේ කියා ඌ
මා අසල හරි බරි ගැසී
තම කැරළි ලොම් සහිත හිස නවා
මලක් සේ සුන්දරව නිදන්නට විය

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Percy 2002-2009' by Mary Oliver


Digital art




August 20, 2025

ප්‍රේමය ගැන කියන දේ




“ප්‍රේමය සම්බන්ධ කාරණා වලදී 
මම නම් ඉතා ප්‍රවේසම් වෙමි,
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”

මෙසේ කියන්නන් නොව

තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්

ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver

Digital art

August 11, 2025

අත්හැර යෑම්


























ගොඩනැගිල්ලකින් නික්මෙන්නෙක් සේ
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න

එහි ආරුක්කු වල නැමි
ආදර බැල්මෙන් පිරිමදින්නට
එහි දොරටු අසල
ලාලසාවෙන් තාවර වන්නට

ආපසු නොහැරී
එලෙස, නිරායාසයෙන්
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න

මට රිසි වෙලාවක
ආලෝකය හෝ අඳුර වෙත
නික්මෙන්නට ඉඩ දෙන්න

බසයකට, දුම්රියකට, ගුවන් යානයකට
ගොඩ වෙන්නෙක් සේ,
අන් ජීවිත වලට පිවිසෙන්නට
මට ඉඩ දෙන්න

එමෙන්ම ඒ තරමටම ලේසියෙන්
ඒවායින් නික්මෙන්නටත් හරින්න

ඒ අතරතුර
ඉඳ හිට පය පැකිලුනත්
නැවත ප්‍රකෘතිමත් විය හැක

බරපතල අනතුරකින් මිදුණ සේ
යන්තමින් පණ ඇතිව
බිඳී, ලේ ගලමින්
හිරි වැටී, වෙව්ලමින්
අන් ජීවිත වෙතින්
මට නික්මෙන්නට ඉඩ නොදෙන්න

ඉන් වසර ගණනාවකට පසු
සාදයක, මහා සභාවක
අනුන්ගේ දුක රස විඳීමේ ගිජු කමින්
අසා හිඳින්නන් හට
ඒ කතාව කියන්නට ඉඩ නොතබන්න

ඔබ මුණගැසුණු විලසටම
කල් යල් නොබලා
සොඳුරු අහඹුවක් ලෙසින්
ඔබව හැර යන්නට
ඉඩ හරින්න

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Translation of the poem Departures by Marianne David

~ Departures ~

let me leave you
like one would
a building
no turning back
to give it
second glances,
caress the curves
of its arches,
or linger in its doorways
hesitant, longing

let me leave you
like that,
effortlessly –

step out into the light
or the night
at my convenience

let me enter lives
like one enters
a train, coach, plane,
exit just as easily –

sometimes there is
some stumbling,
but one recovers

let me not leave
the way one does
a horrific accident
broken, bleeding,
barely alive
numb, trembling
and find myself
relating the tale years later
a party trick
the audience, enraptured,
indulging in the sick pleasure
of reliving visceral pain

let me leave you
as I found you,
unthinkingly
serendipitously

By Marianne David

ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ 'All of the Oranges' කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.


පසු සටහන
මට Marianneගේ කවි මුණගැහුණේ අහම්බෙන්. ඒවායේ හෘදයංගම ගතියට වගේම raw, දැනෙනසුලු ගතියට මම කැමතියි. මේ කවිය මීට අවුරුදු කීපයකට කලින් දිනමිණ පුවත්පතේ පළ වුණු වෙලාවෙත් මම share කළා. ඒත් මේ වගේ කවි තවත් රසිකයන් අතරට යන්න ඕන නිසා මුල් කවියත් එක්කම ආයෙත් share කරන්න හිතුවා.


Digital art

July 30, 2025

පර්සි සහ පොත්

මා පොත් කියවීම ගැන
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි

‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’

‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’

‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’

Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital art




June 28, 2025

වැසි දිනක දී



මෝනිං ග්ලෝරි මල් ගාලේ
ඇදී යන ගොළුබෙල්ලන්
රෝස පැහැති හිම යානා පදවන්නන් මෙනි
රාස්බෙරි පඳුරේ
රත් පැහැ ඇඟිලි වන් එල මැද
මකුළුවෙකු තද නින්දේ ය
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

වැස්ස සෙමෙන් ඇද හැලේ
ඒ මැද පුංචි කුරුල්ලන් පමණක් නොව
කුරුමිණියන් පවා ප්‍රීතියෙනි
හරිත පැහැ පත්‍ර
වැසි දිය සියල්ල උරාගනිමිනි
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?

දෙබෙරෙකු,
තම කඩදාසි මාලිගාවේ පිල උඩ සිටී
නිල් පැහැති කෙකින්න වළාකුලකින් පාව එමිනි
අඳුරු දියෙන් ඉහළට පනින මාළුන්ගේ 
පෙනෙන්නේ මුව සහ දේදුන්නක් පමණි

අද උදෑසන
විලේ වූ නෙලුම් මල්
මොනේ ගේ චිත්‍රයේ නෙලුම් මල් වලට නොදෙවෙනි විය
දෙනියේ ගැවසෙන කුඩා දරුවන්
ඉන් ඉවතට කැඳවාගෙන විත්
කීකරු ලෙස, ප්‍රයෝජනවත් ලෙස
ශිෂ්ටත්වයේ අකුරු වෙත යොමු කරන්නට
මට තවදුරටත් උවමනා නැත
ඔවුන් තෘණ පැලයකට වඩා උසස් යැයි උගන්වන්නට
මට අවශ්‍ය නැත
(ඔවුන් ඊට වඩා උසස් නැත)

Translation of the poem 'Early Morning, My Birthday' by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Digital art


May 17, 2025

එක්තරා වර්ගයක උමතුවක් අගය කිරීමකි



මගේ අත්තම්මා සතුව තිබුණේ 
සිහිකල්පනාවෙන් අඩක් පමණි.
ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි   

සීතල සැන්දෑවරුවල 
නිවසේ පිල මත 
ඈ පත්තර පිටු අතුරන්නීය 
ඒ, ගෙවත්තේ කුහුඹුවන්ට
එහි යටට රිංගා 
බ්ලැන්කට්ටුවක් යටදී මෙන් 
උණුසුම් වීම පිණිසයි 

කාලයේ අකුණු සර වැදුණු පසු,
ඉතිරි වී ඇති සිහියෙන් 
මටත් 
ඈ වැනිම වන්නට ඇත්නම්
ඒ තරමටම ආදරණීය වන්නට හැකිනම් ,
ඒ මගේ පැතුමයි 

Translation of the poem 'In Praise of Craziness, of a Certain Kind'
by Mary Oliver 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital Art


March 16, 2025

එකම ලෝකයක්

අද උදෑසන
අලංකාර ශ්වේත පැහැ කෙකින්න
ජල තලයට ඉහළින් පාව ගියාය

ඉනික්බිති ඈ
අප හැම අයිති මේ ලෝකයට ඉහළින් ඇති
නිල් අහසේ නොපෙනී සැඟවිණි

මේ ලොව හැම දෙයක්ම
කෙදිනක හෝ
අන් හැම දේකම කොටස් වේ

ඒ සිතිවිල්ල නිසා
මොහොතකට
මා ද ලස්සන බව මට දැනුණි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of 'Poem of the One World' by Mary Oliver

Digital art


February 25, 2025

උසුලා සිටීම


ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
නිවෙස් සහ පවුල්
දරුවන් සහ ආහාර වේල්
මිතුදම්
රැකියාවන්
ලෝකයකම රාජකාරි
මනුසත් බවේ වැඩපල

ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
මතකයන් සහ කරදර
ශෝකයන් සහ දිනුම්
ඒ හැම අතරේම
ආදරය

පිරිමින්ද මේවා උසුලා සිටිනමුත්
ඒ මෙලෙසම නොවේ

ඇතැම් දිනවල
මා සතුටින් හෝ තෘප්තියෙන් පසු වෙද්දී
මට මිනිසුන් සේනාවක් වුව
පෝෂණය කළ හැකි බව සිතේ

එහෙත් තවත් දිනවල
මට මගේ කුටිය හරහා පවා යා නොහැක
මගේ දෑත ගල් ගැසී ඇති සේ දැනේ

ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
මේ උසුලා සිටීමේ නිමක් නැත
තමන් කළ දේ ප්‍රමාණවත් නැතැයි
ඔවුන්ට බොහෝ විට සිතේ
එහෙත් හෙට දිනයත්,
ඉන් පසු තවත් බොහෝ දිනත් උදා වේ
උසුලා සිටීම නොනිමේ

-Maira Kalman, 'What do women hold'
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital sketch
 

Maira Kalman කිවිඳියක් සහ චිත්‍ර ශිල්පිනියක්. පසුගිය වසංගත කාලයේදී තම අතින් නිමවූ චිත්‍ර 86ක් සහිතව ඈ What do Women Hold නමින් පොත් පිංචක් පළ කළා. ගැහැනුන්ට උරුම උසුලා සිටීම ඈ මෙහිදී මනාව අර්ථ දක්වා තිබෙනවා. ඉහතින් ඇත්තේ එහි කොටසක පරිවර්තනයක්. මේ කොටස වෙනුවෙන් නාඳුනන නිර්මාණකරුවෙකු අතින් නිමවුණු වීඩියෝවත් මගේ සිත් ගත්තා.