විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
20.04.2025
“උඹ ළිඳ වහන්නද හදන්නේ?” මම ඇසුවෙමි. අට හැවිරිදි වූ මා ධුකී කැමතිම තැනැත්තා විය. මා උපදින්නත් පෙර සිට අප ගෙවත්ත රැක බලාගෙන තිබුණු ඔහු, මගේ පියා අන්ත්‍රා වන්නට පෙර ඔහුට සේවය කළ අතර දැන් මගේ මවත් සුළු පියා ත් වෙනුවෙන් සේවය කළේ ය.
“වහලා දාන්න වෙයි මගේ හිතේ,” ධුකී පැවසුවේය. “මේජර් මහත්තයා ඒකනේ කරන්න කිව්වේ. අද හෙටම මහත්තයා ගෙදර එද්දී ළිඳ වහලා නැති බව දැක්කොත් වෙනදා වගේම හොඳටම කේන්ති අරන් මාව රස්සාවෙනුත් එළවයි!”
ඔහු සඳහන් කළ ‘මේජර් මහත්තයා’ මගේ සුළු පියා වන මේජර් සමර්ස්කිල් විය. උත්තුංග දේහ ධාරී පුද්ගලයෙකු වූ ඔහු පෝලෝ ක්‍රීඩාවටත් වල් ඌරු දඩයමටත් ප්‍රිය කළේ ය. එමෙන්ම ඔහු මගේ පියාට වඩා හාත්පසින් වෙනස් පුද්ගලයෙකු විය. මගේ පියා නිරතුරුව මා පොත පත වෙත නැඹුරු කළ මුත් මේජර් ට අනුව නම් වුවමනාවට වඩා පොත් කියවීමෙන් මා අලස සිහින දකින්නකු බවට පත්වීමට ඉඩ තිබිණි. මේ නිසා ඔහු මගේ පොත් පත් මවෙතින් ඉවත් කළේ ය. මා මේජර් වරයාට වෛර කළ අතර මගේ අම්මා ඔහු හා විවාහ වීම ගැන මගේ පැහැදීමක් තිබුණේ නැත.
“කොල්ලා නෝන්ජල් වැඩියි” ඔහු මගේ මවට කියනු මට ඇසී තිබිණි. “ඌ ට අශ්වයෝ පදින්න උගන්නන්න කවුරු හරි කතාකරගන්න ඕන”
නමුත් අශ්වයන් පැදීමේ පන්තිය ආරම්භ වීමට පෙර මේජර් ගේ රෙජිමේන්තුව පේශ්වාර් වෙත අනුයුක්ත කරන ලදී. ඒ පෙදෙසේ යම් ගෝත්‍රිකයන් පිරිසකගේ කලහකාරී හැසිරීමක් අපේක්ෂාවෙන් මෙය සිදු වී තිබිණි. මේ රාජකාරිය වෙනුවෙන් මාස දෙකක් පමණ නිවසින් පිටව සිටි ඔහු, ඒ ගමන පිටත් වීමට මත්තෙන් වත්තේ වූ පැරණි ළිඳ වසා දැමීමට ධුකී ට අණ කළේය.
“වත්තක් මැද්දේ මේ වගේ ළිඳක් ඇරලා දාලා තියෙන එක බොහොම භයානකයි. මම එද්දී මේක සම්පූර්ණයෙන් ම වහලා දාලා තියෙන්න ඕන.”
නිවස තනන්නත් පෙර සිට, වසර පනහක් තිස්සේ ගෙවත්තේ තිබුණු මේ ළිඳ වසා දැමීමට ධුකී ගේ කැමැත්තක් තිබුණේ නැත. එහි බිත්ති වල පරෙවි රංචුවක් විසූ අතර උන්ගේ මුදු හඬ නිසා ගෙවත්තේ නිතරම සොඳුරු ගුම් නදක් පැතිරිණි. රස්නය අධික ගිම්හාන මාසවලදී නිවසේ ජල කරාම සිඳී ගිය විට ජලය ලබා ගැනුණේ මේ ළිඳෙනි. ගෙවත්ත පිරිසිදු කරන මෙහෙකරුවා දුහුවිල්ල දුරු කිරීමට මේ ළිඳෙන් තම එළු හම් පැසට වතුර පුරවාගෙන ගෙවත්ත පුරා ඉස්සේ ය.
ළිඳ නොවසා තැබීමට අවසර දෙන මෙන් ධුකී අම්මාගෙන් බැගෑපත් ව ඉල්ලා තිබිණි.
“මේක වහලා දැම්මොත් පරෙවියන්ට මොකද වෙන්නේ?’ ඔහු ඇසුවේය.
“උන්ට නම් වෙන ළිඳක් හොයාගන්න බැරියැ” අම්මා කීවාය. “අනේ ධුකී ඔන්න ඕක වහලා දාන්න. මහත්තයා ආයෙත් ආවාම ඕක වහලා නැහැ කියලා දකිනවට මම කැමති නැහැ.”
මගේ මව ත් මේජර්වරයාට තරමක බියෙන් පසු වූ බව මට පෙනුණි. අප ආදරය කරන අයට බියවන්නේ කෙසේදැයි එදා මෙන්ම අදත් මට තේරුම් ගැනීමට අපහසු දෙයකි.
මේජර් නිවසේ නොසිටි නිසා ඒ දිනවල මගේ ජීවිතය සුන්දර ලෙස ගෙවුණි. මා නැවතත් පොත් කියවීම ඇරඹූ අතර මගේ ප්‍රියතම නුග ගසේ අතු පතරේ ගැවසීමත්, අඹ බාල්දි පිටින් කා දැමීමත්, ධුකී එක්ක කතාබස් කරමින් ගෙවත්තේ සැරිසැරීමත් මගේ දින චරියාවේ කොටස් විය.
මා මෙන්ම ධුකී ද මේජර්වරයාගේ ආගමනය ගැන කැමැත්තක් දැක්වූයේ නැත. තාත්තාගේ සේවකයෙකු වූ ඔහු, අම්මගේ දෙවෙනි කසාදයෙන් අනතුරුව තව දුරටත් අප නිවසේ රැඳී සිටියේ අම්මාට දැක්වූ භක්තියත් මා වෙත දැක්වූ සෙනෙහසත් නිසා පමණි. නමුත් මගේ අම්මාගෙන් නිරතුරුව දිස් වූයේ කෙනෙකු රැවටීමට තරම් සමත් දුර්වල බවක් සහ අසරණ ගතියකි. මේ නිසා සමර්ස්කිල් මේජර්වරයා ඇතුළු වැඩිමනත් පිරිමි ඈ ව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූහ. තමන්ට මෙලෙස උදවු උපකාර ලැබීම ඇය ද ප්‍රිය කළා ය.
“බේබිගේ තාත්තා ඉස්සර මේ ළිඳට හරි කැමතියි.” ධුකී කීවේය. “හවස්වරු වලට මහත්තයා මෙතැන ඉඳගෙන පොතක මල්, කුරුල්ලෝ, කෘමි සත්තු එහෙම අඳිනවා”
ධුකී සඳහන් කළ ඒ චිත්‍ර මගේ මතකයේ තිබිණි. එමෙන්ම මේජර්වරයා අප නිවසේ පදිංචියට ආ පසු ඔහු විසින් ඒවා විසි කර දමන ලද බවත් මගේ මතකයේ විය. මා කිසි දෙයක් ධුකීගෙන් නොසැඟවූ බැවින් ඔහු ද ඒ බව දැන සිටියේය.
“මට නම් හරිම දුකයි මේ ළිඳ වහලා දාන්න. මේකට වැටුනොත් වැටෙන්නේ මෝඩයෙක් හරි බේබද්දෙක් හරි විතරයි” ඔහු කීවේය.
නමුත් ඔහු ළිඳ වසා දැමීමේ කාර්යය සඳහා සූදානම් වූවේය. ඒ වෙනුවෙන් ගෙනා ලෑලි ද, ගඩොල් සහ සිමෙන්ති ද ළිඳ වට ගොඩ ගසා තිබිණි.
“හෙට” ධුකී පැවසුවේය. “හෙට මම ළිඳ වහලා දානවා, අද නෙමෙයි. කුරුල්ලෝ තව එක දවසක් ඒකෙ හිටියාදෙන්. හෙට උදේට බේබිට පුළුවන් ළිඳෙන් කුරුල්ලෝ ටික එළවන්න මට උදවු කරන්න.”
මගේ සුළු පියා නැවත පැමිණෙන්නට නියමිත දින උදෑසන අම්මා කුලී අස් රියක් ගෙන්වාගෙන වෙළඳපොළට ගියාය. ඒ යුගයේ දී මෝටර් රථ සතු වූයේ සීමිත කිහිප දෙනෙකුට පමණි. කර්නල්වරු පවා ගමන් ගත්තේ මෙවැනි අස් රිය වලිනි.
මේජර්වරයාගේ ආගමනය අපේක්ෂා කෙරුණේ හවස් වරුවේ වූ බැවින් මගේ අවසාන නිදහස් උදේ වරුව උපරිමයෙන් විඳ ගැනීමට මම ඉටා ගත්තෙමි. පළමුවෙන්ම මම මගේ ප්‍රියතම පොත් මට නිරතුරුව කියවීමට ගනු හැකිවන ලෙස වැසිකිළියක සැඟවූයෙමි. ඉනික්බිති මගේ සාක්කු දෙකේම අඹ ගෙඩි පුරවාගෙන නුග ගසට නැග ගත්තෙමි. ජුනි මාසයේ උෂ්ණාධික දවසකට ඒ අතු පතරේ සිසිල සහ අඳුර මැනවින් ගැලපුණි.
අතු අතර සිටි මා වසන් වූ පත්‍ර තිරයට එපිටින් ධුකී ළිඳ අසල එහා මෙහා යනු මට පෙනුණි. ළිඳ වසා දැමීමට ඔහුගේ බලවත් අකමැත්ත පැහැදිලි ව දිස් විය.
ඔහු “බේබි!” යැයි කීප වරක් හඬගා කතා කළ ද මට නුග ගසින් බැසීමට මහත් මැලිකමක් දැනෙන්නට විය. ධුකී දිග ලෑල්ලක් ගෙන ළිඳ හරහා තබා එහි එක කෙළවරකට ඇණ ගසන්නට විය. නුග ගසේ සිට මට ඔහුව පෙනුණේ බෙහෙවින් වයස්ගත ව, කුදු ගැසී ඇති ලෙසයි.
මේ වෙලාවේ අශ්ව රියක ගෙජ්ජි හඬ සහ රෝද වල කිරි කිරියක් ඇසුණු බැවින් කිසිවෙකු ගේට්ටුව දෙසට ළඟා වන බව පැහැදිලි විය. අම්මා ආපිට ඒමට වේලාසන වැඩි බැවින් ඒ පැමිණෙන්නේ කවුදැයි දැනගැනීමට මම ඝන නුග පත් අතරින් එබී බැලුවෙමි. මා ඇස ගැටුණු දෙයින් ඇති වූ පුදුමය නිසා මා හිඳ සිටි අත්තෙන් නොවැටී බේරුණේ අනූ නමයෙනි. ඒ පැමිණ සිටියේ මගේ සුළු පියා වන මේජර් වරයා ය. සිතුවාට වඩා කලින් ඔහු පැමිණ තිබිණි.
මා නුග ගසින් පහළට බැස්සේ නැත. අම්මා එනතුරු මේජර් වරයාට සම්මුඛ වීමට මගේ බලාපොරොත්තුවක් නොතිබුණි..
අස් රියෙන් බට මේජර්වරයා තම බඩු මලු බරාඳය වෙත රැගෙන යන සේවකයන් දෙස මඳ වෙලාවක් බලා සිටියේය. ඔහුගේ මුහුණ රතු වී තිබුණු අතර බ්‍රිලන්ටයින් ආලේප කළ ඔහුගේ උඩු රැවුල මුහුණෙන් මතු වී පෙනුණි. ධුකී ඔහු වෙතට ළඟා වූයේ අකමැත්තෙන් මෙන් ආචාර කරමිනි.
“ආ, මේ ඉන්නේ මෝඩ බූරුවා!” මේජර්වරයා විහිළුවක් කරන්නට උත්සාහ කරමින් උස් හඬින් කීවේය. “මේ වත්තේ වැඩිපුර තියෙන්නේ කැලේ නේ. උඹ දැන් මේ වැඩ වලට වයස වැඩියි, උඹට විශ්‍රාම ගන්න කාලේ හරි වගේ. කෝ නෝනා?”
“නෝනා කඩේට ගියා.” ධුකී පිළිතුරු දුන්නේය.
“එතකොට කොල්ලා?”
ධුකී ඊට පිළිතුරු ලෙස තම උරිස් හැකිලුවේය. “අද දවසටම මම බේබි ව දැක්කේ නැහැ මහත්තයා.”
“මොකක් කිව්වා?” මේජර් කෝපයෙන් කීය. “මදැයි ගෙදර ආවා, මං එද්දී පිළිගන්න කිසි කෙනෙක් නැහැ. පලයන්, ගිහින් උයන කොල්ලා ව ඇහැරවලා මට බොන්න සෝඩා මොනවා හරි ගෙන්න කියපන්.”
“උයන කොල්ලා යන්න ගියා.”
“මොන කෙහෙල්මලක්ද?” මේජර් නොරිස්සුමෙන් කීවේය.
මේ වෙද්දී අස් රිය යන්නට පිටත් වූ අතර මේජර්වරයා කෝපයෙන් ගෙවත්තේ ඒ මේ අත ඇවිදින්නට විය. අඩක් වසා දැමුණු ලිඳ ඔහුගේ ඇස ගැටුණේ එවිටයි. කෝපයෙන් දම් පැහැ වූ මුහුණෙන් යුතුව වහා වහා එහි ගිය ඔහු, මහා හඬින් මහලු උයන්පල්ලාට බැණ වදින්නට විය.
ධුකී තම නිදහසට කරුණු ලෙස බොහෝ දේ කීය. ගඩොල් හිඟයක්, ඥාති දියණියකගේ අසනීපයක්, ප්‍රමිතියට නැති සිමෙන්ති වර්ගයක්, අයහපත් කාලගුණය, දේව කෝපය වැනි විවිධ හේතු කීවත් ඒ එකකින්වත් මේජර්වරයා සෑහීමකට පත් වූයේ නැත. අන්තිමේදී ධුකී ළිඳේ පතුලෙන් යමක් බුබුළු දමමින් මතුවන අයුරු ගැන කියමින් අත දිගු කර පෙන්වන්නට විය. මෙය බලන්නට මේජර් ළිඳ වටා වූ කෙටි තාප්පයට ගොඩවිය. තවදුරටත් ධුකී ළිඳ පතුලේ වූ යමක් පෙන්වමින් සිටි නිසා ඔහු මඳක් ළිඳට එබුනි.
ධුකී ගේ අත සෙලවුණේ මැජික් කරුවකුගේ අතක් මෙන් ඇසුරු සැණකිනි. ඔහු මේජර්වරයා ව තල්ලු කළ බවක් නොපෙනුණි, පෙනුණේ ඔහුගේ පශ්චාත් පෙදෙසට තට්ටුවක් දැමූ බවක් පමණි. මගේ සුළු පියා ළිං පතුලට අතුරුදන් වෙද්දී ඔහුගේ බූට්ස් සපත්තු වල දසුනක් මගේ නෙත ගැටුණි. විස්මලන්තයේ ඇලිස් ගේ කතාවත් ඈ හාවකුගේ ගුලක් පත්ලට අතුරුදන් වූ අයුරුත් ගැන මට එවෙලේ නොසිතා සිටින්නට නොහැකි විය.
ඉනික්බිති දිය මතට යමක් වැටෙන මහා හඬක් නැඟුණු අතර ළිං බිත්තියේ උන් පරෙවියෝ අහසට නැඟී තෙවරක් ළිඳට ඉහළින් කැරකී නිවසේ වහලයේ වැසුවෝ ය.
දිවා ආහාර වෙලාව වෙද්දී ධුකී ළිඳ සම්පූර්ණයෙන්ම ලෑලි ගසා ආවරණය කර තිබිණි.
“මේජර් මහත්තයා හරි සතුටු වෙයි,” අම්මා නිවසට පැමිණි විට කීවාය. “හවස් වෙද්දී ඔය වැඩේ ඉවර කරන්න පුළුවන් නේද ධුකී?”
සන්ධ්‍යාව එළඹෙද්දී ළිඳ මුළුමනින්ම ගඩොලෙන් බැඳ වසා දමා තිබිණි. මෙතුවක් කල් ධුකී කළ වැඩ අතරින් වඩාත් වේගයෙන් නිම කළ රාජකාරිය මෙය විය.
එළඹුණු සති කිහිපයේදී අම්මා වුමනාවෙනුත්, කරදර සිතිනුත්, වේදනාවෙනුත් අවසානයේදී පරාජය භාර ගන්නා විලසිනුත් මේජර් වරයාගේ ආගමනය ගැන බලා සිටියාය. මම නම් විනෝදයෙන් සහ උද්යෝගයෙන් ඇගේ ශෝකය දුරු කිරීමට උත්සාහ ගත්තෙමි. මේජර්වරයාගේ රෙජිමේන්තුවේ කර්නල්වරයාට අම්මා ලිපියක් ලියා තොරතුරු විමසූ විට ඔහු දන්වා තිබුණේ මේජර් ඊට දෙසතියකට පෙර නිවාඩු ලබා සිය නිවස වෙත යන්නට පිටත් වූ බවයි. ඉන්දියාවේ විශාල භුමි ප්‍රදේශයේ කොතැනකදී හෝ මේජර්වරයා අතුරුදන් වී තිබිණි.
ඒ කාලයේදී කෙනෙකුට මෙලෙස සදහටම අතුරුදන් වීම දුෂ්කර කාර්යයක් වූයේ නැත. මේජර්වරයා අතුරුදන් වී මාස කීපයක් ගතවූ පසු එක්කෝ ආපිට දුම්රිය ගමනේදී කිසිවකු විසින් ඔහු ව ඝාතනය කර ඔහුගේ සිරුර ගඟකට වීසි කරන ලද බව හෝ ඔහු යම් ගෝත්‍රික කාන්තාවක් සමඟ පැන ගොස් රටේ කොතැනක හෝ කෙළවරක වසන බව නිගමනය විය.
අප ඔහු රහිතව ජීවිතය ගෙන යා යුතුව තිබිණි. ඒ වෙද්දී මෝසම් වැසි අවසන් වී තිබුණු අතර පේර වාරය එළඹෙමින් තිබිණි. මේ වෙද්දී අම්මා ව බලන්නට රාජකීය පාබල සේනාවේ කර්නල් වරයෙකු නිවසට යමින් එමින් සිටියේය. තරමක් වයස්ගත වූ මොහු, සැරවැරකම් නැති, දේවල් නිතර අමතක වන සුළු පුද්ගලයෙකු විය. ඔහුගෙන් කිසි කරදරයක් නොතිබුණු අතර ඔහුට නිවසේ තැන තැන චොකලට් තබා යන පුරුද්දක්ද විය.
“හොඳ මහත්තෙයෙක්” ධුකී කීවේය. ඔහුත් මමත් බෝගන්විලියා ගස පසුපස සිටගෙන කර්නල්වරයා නිවසට පිවිසෙන පඩි තරණය කරනු බලා සිටියෙමු. “බලන්න ඒ මහත්තයා අර සෆාරි තොප්පිය දාන ලස්සන, ඔලුව හොඳටම වැහෙන විදිහටයි දාන්නේ”
“ඒ තොප්පිය යට එයාට තට්ටේ තියෙන්නේ.” මම කීවෙමි.
“කමක් නැහැ, මං හිතන්නේ එයා හරියයි.”
“හරි නොගියොත් අපි ආයෙත් ළිඳ අරිමු.” මම පිළිතුරු දුන්නෙමි.
එය අසා ධුකී ගේ අත වූ හෝස් පයිප්පය අත හැරුණු අතර ඔහුගේ දෙපා තෙමමින් ජලය ගලා යන්නට විය. නමුත් ඔහු ඉක්මනින්ම පියවි සිහිය ලබා, මගේ අත ගෙන පැරණි ළිඳ වෙත ගියේය. මේ වෙද්දී එය තට්ටු තුනකින් යුත් වේදිකාවක ස්වරූපය ගත් අතර ඉන් දිස් වූයේ මඟුල් කේක් ගෙඩියක පෙනුමකි.
“අපි අපේ පරණ ළිඳ අමතක කරන්න නරකයි.” ඔහු කීවේය. “එන්න බේබි, අපි මල් පෝච්චි ටිකක් තියලා ඒක ලස්සන කරමු.”
ඉනික්බිති අපි විවිධ මීවන සහ ජෙරනියම් මල් ගස් සහිත පෝච්චි ගෙනැවිත් එතැන සැරසුවෙමු. ඒ කාර්යය ඉතා හොඳින් නිම කිරීම ගැන බොහෝ දෙනා ධුකී ට සුබ පැතූ හ. මගේ නම් එකම පසුතැවිල්ල වූයේ ළිඳෙන් පරෙවියන් ඉවත්ව යාමයි.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)
රාජාගේ නම රාජා බව අපි දැනගත්තේ ග්‍රාමසේවකගෙන්. ඒ වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ එයාට හැමෝ ම කීවේ ‘ගොළුවා’ කියලා. ඒක අපහාසෙටවත්, සමච්චලයටවත් කීව නමක් නෙමෙයි. ඇත්තට ම කවුරුවත් එයාගේ නම නොදැන හිටි නිසාත්, දැනගන්න විදිහක් නොතිබුණු නිසාත් කීව නමක්. රාජාට උපතින් කන් ඇහුණේ නැහැ. ඒ නිසා එයාට කතා කරන්නත් බැහැ. ඒත් අවුරුදු ගාණක් තිස්සෙ ම අපි එයාටත්, එයා අපිටත් බොහොම ලෙන්ගතුව ඉන්න ඒක කිසි බාධාවක් වුණේ නැහැ.
රාජා ජීවත් වුණේ ගෙයින් ගෙට ගිහින් කුලී වැඩ කරමින්. උදේට කොතැනක හරි ගෙයක් ළඟින් මතුවෙලා, ඒ අය පවරන ඕනෑම වැඩක් කරන්නත් හවසට දවසේ කුලී අරගෙන අතුරුදහන් වෙන්නත් රාජා පුරුදුවෙලා හිටියා. එයා ජීවත්වෙන තැනක් කවුරුවත් දැනගෙන නොහිටියේ ඒක අහගන්න ක්‍රමයක් නොතිබුණු නිසායි. පවරන ඕනෑම වැඩක් ‘යකෙක් වගේ’ කරන්න රාජා දක්ෂයි. එහෙම වැඩ පවරන්නත් වැඩේ පවරන කෙනාට යම් තරමක සංඥා භාෂා දැනුමක් වුවමනා වුණා. ඒත් රාජාට තියුණු බුද්ධියක් තිබුණු නිසා අනෙත් අය යන්තම් අතින් පයින් කියන දේවල් එයා එක සැණින් තේරුම් ගත්තා.
රාජා අපේ ගෙදර වත්ත පිටියේ වැඩ කරන්න නිතර ම ආවා. කළුම කළු හමක් තිබුණු රජාට තිබුණේ සුදුම සුදු හිනාවක්. රාජා පොඩි ළමයින්ටත්, සත්තුන්ටත් අසීමිතව ආදරය කළා. එයා අපේ වත්තේ වැඩකරන කාලේ ලොකු අක්කා එයාගේ අලුත උපන් පුතා වඩාගෙන ගෙමිදුලට එනවා දැක්කොත් රාජා කරමින් හිටිය ඕනෑම බරපතල වැඩක් නවත්තලා එතැනට යනවා. ඉන්පස්සේ ආදරය පිරුණු ඇස් වලින් ඈත ඉඳන් දරුවා දිහා බලාගෙන ඉන්නවා. තවත් ටික කාලයකින් ඒ පුතා මිදුලේ දුව පැන ඇවිදිද්දී, රාජාට ‘ගෝ මාමා’ කියලා කතාකරද්දී රාජා තමන්ගේ වැඩ නවත්තලා වත්තෙන් කඩාගත්ත මලක්, අහුලාගත්ත පිහාටුවක් පුතාට ගෙනත් දෙන්නේ පිරිකරක් පූජා කරනවා වගේ භක්තියෙන්. රාජාත් කසාද බැඳලා ද, එයාටත් දරුවෝ හිටිය ද කියලා අපිට දැනගන්න වුවමනා වුණත් අනෙත් හැම දේම තේරෙන රාජා අපි සංඥා වලින් ඇහුව ඒ ප්‍රශ්න විතරක් මඟ ඇරියා.
දරුවන්ට ආදරය වුණා වගේ නෙමෙයි, සත්තුන්ට ආදරේ පෙන්නන්න ගිහින් රාජාට සිහිවටන කීපයකුත් ලැබිලා තිබුණා. එයා වැඩ කළ ගෙවල්වල බල්ලන්ව අතගාන්න ගිහින් උන් රාජාව හපා කාලා මැහුම් දාපු විස්තර රඟපාලා පෙන්නමින් සමහර දවස්වලට රාජා හිනාවුණා. සමහරවිට ඒ බල්ලෝ, තමන් ළඟට එන්න එපා කියලා රජාට අනතුරු අඟවන්න ගොරවද්දී ඒ බව නෑහිලා එයා උන්ව අතගාන්න ගියාද කියලා අපිට ඒවා දකිද්දී හිතුණා. අපේ ගෙදර හිටිය බලු පරම්පරාව නම් රාජාට පණ වගේ ආදරය කළා. රාජා ඉන්න දාට උන් අනෙත් හැම රාජකාරියක් ම අමතක කරලා වත්තේ එයා වැඩකරන තැන කිට්ටුවෙන් ඉන්න හරි කැමැත්තක් පෙන්නුවා. රාජාට කෑමට බත් බෙදලා දෙද්දී බල්ලන්ව එතැනින් එළවලා කූඩුවට නොදැම්මොත් රාජා බිම වාඩිවෙලා තමන්ගේ බත් පිඟානෙන් වැඩි කොටසක් බල්ලෝ එක්ක බෙදාගන්න බව අපි දැනගෙන හිටියා.
රාජාට තිබුණු බුද්ධිය අප නිරන්තරයෙන් ම පුදුම කළා. ඕනෑම කැලැන්ඩරයක් අරගෙන දවස් හරියට පෙන්නන්න, ලබන සතියේ එයා ආයෙත් එන දවස හරියටම පෙන්නන්න එයා දැනගෙන හිටියා. කැලැන්ඩරේ මාස, දවස් මුද්‍රණය කරලා තිබුණේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට අමතරව කඩේකට ගිහින් බඩු මිලදී ගෙන හරියට ම මුදල් ගෙවලා ඉතුරු සල්ලි ගණන් කරලා ගන්න, දුර ගමන් බස් කීපයක නැඟලා තමන්ට වුවමනා තැනට හරියට ම යන්න එයාට පුළුවන්කම තිබුණේ එක අකුරක්වත් නොදැනයි. ඒ වගේම රාජාට සමාජ බුද්ධියත් හොඳට ම පිහිටලා තිබුණා. රාජා කතෝලික ආගමේ බවට සාක්ෂියකට තිබුණේ බෙල්ලේ එල්ලාගෙන හිටිය ලොකු රිදී කුරුසය. ඒත් අප්‍රේල් මාසයේ අවුරුදු පහු වුණු ගමන් කොහෙන්දෝ හොයාගත්ත බුලත් අතක් අරගෙන එයා කුලී වැඩ කළ හැම ගෙදරට ම යන්න රාජා පුරුදු වෙලා හිටියා. එහෙම ගිහින් ඒ ගෙවල්වල පොඩි ළමයින්ට පවා බුලත් දීලා බිම වැටිලා වඳින්න උත්සාහ කරන රාජාට ඒ ගෙවල් වලින් සතුටු පඬුරුත්, තෑගි බෝගත්, කෑම බීමත් සෑහෙන්න තරමට ලැබෙන බව එයා පළපුරුද්දෙන් දැනගෙන හිටියා. එහෙම යන දවසට බෙල්ලේ එල්ලුණු රිදී කුරුසය ගලවලා තියලා යන්න එයා අමතක කළේ නැහැ.
මේ වගේ අහිංසක කපටිකම් තිබුණත් රාජාගෙන් කාටවත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතිව එයා වැඩ කළ හැම ගෙදර ම විශ්වාසය රකිමින් එයා රාජකාරි කළා. රාජාට වැඩ පැවරුව හැම කෙනෙකුටම හැමදාම තිබුණු ප්‍රශ්නේ රාජාට පණිවිඩයක් දෙන්නේ කොහොමද කියන එක. එයා හිටිය ඉසව්වක් දැනගෙන හිටියත් කවුරුවත් එයාගේ ගෙදරක් තියෙන තැනක්වත්, පවුලක විස්තරයක්වත් දැනගෙන හිටියේ නැහැ. මේ නිසා රාජාට ම හිතිලා ගෙදරකට එනකම් කාටවත් එයාට පණිවිඩයක් යවලා ගෙන්නගන්න නම් බැරි වුණා.
රාජා මාස ගාණකින් ආවේ නැති බව කාට කාටත් මතක් වෙන්න ගත්තේ වතු පිටි කැලෑ වෙද්දී, ගස්වල පොල් පැහිලා එක දෙක බිම වැටෙද්දී, වැට ඉණි දිරලා වැටෙද්දී. රාජා නිතර යන එන කීප තැනකින් ආරංචි කරලා බැලුවත් ඒ කිසි තැනකට මාස ගාණකින් රාජා ඇවිත් නැති බව අපිට දැනගන්න ලැබුණා. සමහරවිට එයා ඈත පළාතක වැඩකට යන්න ඇති කියලා හැමෝම කතා වුණා. තවත් මාස කීපයක් ගතවුණා. රාජා ගැන ඇත්තම විස්තරය දැනගන්න ලැබුණෙත් බොහොම අහඹු විදිහට. පන්සලේ කඨින පිංකම දවසේ රාජාගේ ගම් පළාතේ ග්‍රාමසේවක මහත්තයාව අපේ තාත්තාට මුණගැහිලා තිබුණා. රාජාගේ හැඩහුරුකම් එක්ක කියලා විස්තර අහද්දී තමයි තාත්තාට හරි විස්තරය දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වෙද්දීත් රාජා ජීවිතෙන් සමු අරන් මාස කීපයක්. කුළී වැඩකට ගිය පළාතක බුලත් විටක් ගන්න රේල් පාර දිගේ ඇවිදගෙන යමින් හිටිය රාජා මහා දවාලක කෝච්චියක හැප්පිලා මිය ගිහින්. කෝච්චියේ නලා සද්දයත්, වටපිට මිනිසුන්ගේ කෑ ගැහීමත් නොඇහුණු හේතුවෙන් එහෙම අවාසනාවන්ත විදිහට රාජාට ජීවිතෙන් සමුගන්න යෙදිලා තිබිලා. ඒ තරම් කාලයක් කළුම කළු මූනකින් අපිට සුදුම සුදු හිනාවක් දුන්නු මිත්‍රයාගේ ඇත්ත නම ‘රාජා’ කියලාත් අපි දැනගත්තේ ඒ දුක්බර ආරංචියත් එක්කමයි.
-හෙල්මලී
photo- unsplash
“හැම විවාහයක්ම විවිධ අවධි පසු කරයි. ඒවා තුළ බොහෝ විට නැවත ඉපදීම් ඇත. ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දෙදෙනකු අතර කාල දෙකකදී හොඳ විවාහයක් සහ නරක විවාහයක් යන දෙකම පැවතිය හැකිය.”
අලුත් පොතක තේමාව වත් අන්තර්ගතය වත් නොදැන පාඨකයන් ලෙස අප එය තෝරාගන්නා අවස්ථාවක් ඇත් නම් ඒ, ඒ කතුවරයා පෙර නිර්මාණවලදී පා ඇති දස්කම්වල රස අප හඳුනන බැවිනි. මට නම් අමෙරිකානු ජාතික කතුවරියක වන ඈන් ටයිලර්ගේ පොත් ගෙන එන්නේ එවැනි හැඟීමකි. ඈන් ටයිලර් මානුෂීය හැඟීම් මනා සේ කියවන, පුද්ගල හැසිරීම් කදිමට විනිවිද දකින ලේඛිකාවකි. මිනිස් හැසිරීම්වල සංකීර්ණ බව සරලව සහ රසවත් ලෙස තම නිර්මාණ මඟින් විදහා පෑම ඇයගේ දස්කමයි. මේ, ඈ 2022දී ප්‍රකාශයට පත් කළ ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ නවකතාව ගැන සටහනකි.
ඈන් ටයිලර්ගේ සෙසු පොත් මෙන්ම ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ පොතද ලියවී ඇත්තේ පවුලක් තුළ දිගහැරෙන අතිශය සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීම පෙළගස්වමිනි. 1959 සිට 2020 දක්වා කාල වකවානුව ඔස්සේ දිවෙන මේ කතාව අමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ එක්තරා මධ්‍යම පාන්තික පවුලක් තුළ සිදු වන හැලහැප්පිලි, කඩාවැටීම්, දිනුම් සහ සුළු සුළු දිලියුම් මැනවින් විස්තර කරයි.
“එහෙනම් මෙහෙමයි දේවල් වෙන්නේ,” ඕ කීවාය. “පවුල්වල සාමාජිකයෝ මෙහෙම දේවල් තමයි එකිනෙකා වෙනුවෙන් කරන්නේ. ඇත්ත බව පිළිගන්න අපහසු දේවල් ටිකක් හැංගීම, ආත්ම වංචාවන් කීපයකට, ඒ වගේම කරුණාවන්තකම් කීපයකට ඉඩ දීම...”
“ඇයි පොඩි කුරිරුකම්?” ඔහු විමසීය.
“ඔව්, පොඩි කුරුරුකම්වලටත් ඉඩ දීම!” ඕ පිළිතුරු දුන්නාය.
‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතියේ කතානායක ගැරට් පවුල, පිටතින් බලද්දී සාර්ථක, ආදරණීය පවුලක් සේ පෙනුණද, එක් වහලයක් යට ජීවත් වන එහි සාමාජිකයෝ එකිනෙකාගෙන් වියුක්ත උප ඒකක වැනිය. ඔවුන් එකිනෙකාගේ අපේක්ෂා නොහඳුනන අතර, ඔවුන්ගේ සිතුම් පැතුම්වල පවා කිසිදු සමාන බවක් නැත. පවුලේ මව වන මර්සි ජීවිත කාලයක්ම චිත්‍ර ශිල්පිනියක වන්නට හීන දකිමින් උන් අයෙකි. ඇයගේ මේ සැබෑ නොවුණු සිහිනය තම දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේද දරුවන්ගේ ජීවිතවලට පවා විවිධ මට්ටමින් බලපෑ බව මේ කතාව ගලා යද්දී පැහැදිලි වේ.
ගැරට් පවුලේ එකම පුතු වන ඩේවිඩ් වැඩෙන්නේ තම පියා තමා නොරුස්නා බව අදහමිනි. මේ නිසා ඔහු නිරතුරුවම සිය පවුලෙන් දුරස්ව වෙසෙන්නට උත්සාහ දරයි. මෙවැනි කුඩා ඉරිතැළීම් බහුල මේ පවුලේ කතාව කියවන්නන්ගේ හදවත් තුළට කාවදින්නේ ඔවුන්ද ඒ පවුලේ සාමාජිකයන් බවට පත්කරමිනි.
මේ කතාවේ හැම පරිච්ඡේදයක් සමඟම ලේඛිකාව ගැරට් පවුලේ සාමාජිකයන් අතීතයේ සිට වර්තමානයට ගෙන එන්නීය. කියවන්නාද ඔවුන් සමඟම ඒ ගමන එන්නේ අලුතින් පවුල තුළ ඇති වන හැලහැප්පිලිවලට තමාද මැදි වෙමිනි. ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතිය ගැන කළ කතාබහකදී ඈන් ටයිලර් මේ චරිතවල විකාශය අපූරු ලෙස විස්තර කරන්නීය. පවුලක සාමාජිකයන් අතර ඇති ආදරය ඔවුන් එකිනෙකා හා නොකියන දේවල සහ එකිනෙකා වෙනුවෙන් නොකරන දේවල පවා ගැබ්ව ඇති බව එහිදී ඇය අපට සිහිපත් කර දෙයි. ඇතැම් විට තමා මවන චරිත තමගේ පාලනයෙන් තොරව හැසිරෙන බවත්, ඔවුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන තමාට වගකිව නොහැකි බවත් ඈ කියන්නේ තම චරිතයේද ඇති විනෝදයට බර පැතිකඩක් විවර කරමිනි.
වර්ෂ 1941දී අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ උපන්නියක වන ඈන් ටයිලර් 1964 සිට මේ වන විට නවකතා 24ක් පළ කර ඇත. ඇයගේ පොත් අතුරින් ‘ඩිනර් ඇට් ද හෝම්සික් රෙස්ටෝරන්ට්’ (1982), ‘ද ඇක්සිඩෙන්ටල් ටුවරිස්ට්’(1985) යන ඒවා ප්‍රබන්ධ සඳහා වන පුලිට්සර් සම්මානයට නිර්දේශ වූ අතර, ‘බ්‍රීදින් ලෙසන්ස්’ (1988) නවකතාව 1989 දී එම සම්මානයෙන් පිදුම් ලැබීය.
මීට අමතරව මේ වෙද්දී ඈන් සිය ලේඛනය වෙනුවෙන් ‘මෑන් බුකර්’ ඇතුළු සම්මාන රැසක් හිමි කර ගෙන තිබේ. ඇයගේ 25 වැනි නවකතාව වන ‘ත්‍රී ඩේස් ඉන් ජූන්’ පසුගිය දා නිකුත් විය.
මගේ කෙටිකතා පොත් දෙක පළ වෙලා දැන් අවුරුදු කීපයක් වෙනවා. සහස් පියවර පොත ලියලා නම් අවුරුදු හයකුත් වුණා. ඒත් තාම මට පොත් කියවූ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙන එක හරිම සතුටු කාරණයක්. මම හිතන්නේ ලියන කෙනෙකුට තමන්ගේ නිර්මාණයක් අනිත් අය රස වින්දා කියලා අහන්නට ලැබීම තමයි උපරිම සතුට.
මට ළඟදී එහෙම පණිවිඩයක් ලැබුණා දක්ෂිණා වික්‍රමසිංහ නංගීගෙන්. මගේ කෙටිකතා රස වින්දා ට අමතරව ඈ තව පියවරක් ඉස්සරහට ගිහින්. ඒ සමහර කෙටිකතා කියවද්දී ඇගේ හිතේ මැවුණු රූප ඈ ඩිජිටල් චිත්‍ර බවට පත් කරලා. දක්ෂිණා මේවා මාත් එක්ක බෙදාගත්තාම මට පුදුම හිතුණා. ඒ කතාවල සාරය ඇගේ හිතට කා වැදුණු බව මේ නිර්මාණවලින් පැහැදිලියි. අනික මේවා මම ආසම විදිහේ සරල, සුන්දර චිත්‍ර!
ඉතින් දක්ෂිණා, මගේ කතන්දර වලට තව මානයක් එක් කළාට, ඒවා මාත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි නංගි 🩷
“මේක කාල නාගයා ට.” ගංගා රාම් පීරිසියකට කිරි වත්කරමින් කීවේය. “හැම රෑ ම මම බිත්තියේ මුල්ලේ තියෙන මේ කුහරය ළඟින් කිරි පීරිසියක් තියනවා. උදේ වෙද්දී කිරි ටික අතුරුදන්.”
“ඕක බොනවා ඇත්තේ බළලා.”ළමෝ කීහ.
“බළලා!” ගංගා රාම් කේන්තියෙන් කෑ ගැසීය. “ඔය කුහරේ ළඟට මොනම බළලෙක් වත් යන්නේ නැහැ. කාල නාගයා තමයි ඕකේ ජීවත් වෙන්නේ. මම ඌට කිරි දෙන තාක් ඌ මේ ගෙදර කිසි කෙනෙක්ව දෂ්ඨ කරන්නේ නැහැ. බේබිලාට හිතේ හැටියට වත්තේ සපත්තු නැතිව සෙල්ලම් කරන්න පුළුවන්.”
ගංගා රාම් ගෙන් උපදෙස් ගන්නට අපගේ සූදානමක් තිබුණේ නැත.
“තමුසේ මහා මොඩ බ්‍රාහ්මින් කාරයෙක්,” මම කීවෙමි. “තමුසේ දන්නේ නැතිද නයි කිරි බොන්නේ නැති බව? බිව්වත් දවස ගානේ කිරි පීරිසියක් බොන්නේ නැති බව? අපේ සර් කීවා සර්පයෝ කෑම කන්නේ දවස් කීපයකට සැරයක් කියලා. දවසක් අපි දැක්කා ගෙම්බෙක් ව ගිලපු ගැරඬියෙක් ව. ඒ ගොදුර දවස් ගානක් යනකම් ගුලියක් වගේ උගේ උගුරේ හිරවෙලා තිබුණා. ඒක දියවෙන්න සෑහෙන දවසක් ගතවුණා. අපේ ඉස්කෝලේ ලැබ් එකේ ස්ප්‍රීතු වල දාලා සර්පයෝ දුසිම් ගණන් තියෙනවා. ගිය මාසේ අපේ සර් නයි නටවන කෙනෙක්ගෙන් නයෙක් සල්ලිවලට අරන් තිබ්බා, ඌට දෙපැත්තටම දුවන්න පුළුවන්! උගේ වලිගෙත් ඔලුවකුයි ඇස් දෙකකුයි තියෙනවා. ඌ ව දාන්න හිස් බෝතලයක් නොතිබුණු නිසා පොළඟෙක් හිටිය බෝතලයකට දැම්මේ. බෝතලේ ඇතුළේ නිකම් කුණාටුවක් වගේ වුණා එකපාරට. දිරාපත්වෙමින් තිබුණු පොළඟා ව නයා තත්පරෙන් කීතු කීතු කළා.”
ගංගා රාම් භක්තිය නිසා උපන් ත්‍රාසයෙන් තම දෑස් වසාගත්තේය.
“මේ කියන දේවල් වලට බේබිලාට කවදාහරි පටිසන් දෙනවා..ඔව්, ඔව් පටිසන් දෙනවා…”
ගංගා රාම් සමඟ තර්ක කිරීමේ පලක් නොවිණි. හැම යහපත් හින්දු බැතිමතෙකු මෙන්ම ඔහු ද බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන බල ත්‍රිත්වය, එනම් මැවීම, සුරැකීම සහ විනාශ කිරීම යන බලයන් ගැන විශ්වාස කළේය. මේවා අතරින් ඔහු වඩාත්ම භක්තිමත් වූයේ විෂ්ණු ගැන වූ අතර හැම උදෑසනක ම ඔහු සඳුන් ආලේපනයෙන් V ලකුණක් තම නළලතේ සටහන් කළේය. බ්‍රහ්මින් කුලයට අයත් වූවත් ඔහු සාක්ෂරතාවයෙන් තොර වූ අතර මිත්‍යා විශ්වාස කරපින්නාගෙන සිටියේය. ඔහුට අනුව නම් සෑම ජීවියෙකුම - සර්පයන්, ගෝනුස්සන් සහ පත්තෑයන් පවා - පුජනීය විය. මෙවැනි සතෙකු ඇස ගැටුණු විට ඔහු උන් ව ඉක්මණින් වසන් කළේ අප උන්ව මරණු ඇතැයි බියෙනි. අප බැඩ්මින්ටන් පිති වලින් පහර දුන් දෙබරුන් ව ඔහු බේරාගෙන උන්ගේ කැඩුණු තටු පිරියම් කරමින් සාත්තු කළේ ය. ඇතැම් අවස්ථාවලදී මේ දෙබරුන් ඔහුට දෂ්ඨ කළ නමුත් එයින් ඔහුගේ භක්තිමත් බව වෙනස් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. යම් සතෙකුගේ විෂ සහිත බව වැඩි නම් ගංගා රාම් ඌට දැක්වූ භක්තිය වැඩි විය. සර්පයන් ගැන ඔහු දැක්වූ උනන්දුව මීට උදාහරණ වූ අතර ඒ අතරිනුත් කාල නාග නම් සර්පයාට ඔහු තදින් බැඳී සිටියේය.
“අපිට උඹේ කාල නගයාව අහු වුණොත් අපි ඌව මරලා දානවා.”
“මම ඒකට ඉඩ තියන්නේ නැහැ. ඌ බිත්තර සීයක් දාලා තියෙන්නේ. ඌව මැරුවොත් බිත්තර සීයෙන් නයි පැටවු සීයක් එළියට ඇවිත් මේ ගේ පුරාම යයි. එතකොට බේබිලා මොකද කරන්නේ?”
“එතකොට අපි උන්ව පණ පිටින් අල්ලලා බොම්බායට යවනවා. එහෙ උන්ගේ විෂ දොවලා ගන්නවලු නයි විස නසන බෙහෙත් හදන්න. පණ ඇති නයෙකුට රුපියල් දෙකක්ම ගෙවනවා ලු. එතැනම රුපියක් දෙසීයක්නේ!”
“බේබිලා ඔය කියන දොස්තරලාට කිරි බුරුළු ඇති, මොකද නයින්ගේ විෂ දොවන්න කිරි බුරුළු තියෙනවා මම දැකලා නැහැ. ඒත් මූට නම් කිට්ටු කරන්න හිතන්න වත් එපා. මේ කාල නාගයාට වියත් තුනක් විතර මහා විසාල පෙනයක් තියෙනවා,” ඔහු පෙනයක් සේ දෑත හිස මතින් අල්ලා දෙපැත්තට වැනෙන්නට විය. “ඌ තණ බිස්සේ අව්ව තපිනවා බලන්න වටිනවා”
“ඒකෙන්ම පේනවා උඹ කීව බොරු වල තරම. එහෙම පෙනයක් තියෙනවා නම් ඌ පිරිමි සතෙක්. එහෙනම් ඌ අර බිත්තර සීය දැම්මා වෙන්න බැහැ. ඒවා දාන්න ඇත්තේ උඹම තමයි”
කොලු රැළ මහා හඬින් සිනාසෙන්නට වූහ.
“ඒවා ගංගා රාම් බිත්තර, ළඟදීම අපිට ගංගා රාම් පැටවු ලැබෙනවා!”
මෙයින් ගංගා රාම් ගේ සිත බලවත් සේ රිදිණි. සාමාන්‍යයෙන් නිවසක මෙහෙකරුවෙකු ට මෙවැනි අපහාස ලැබීම සාමාන්‍ය දෙයක් වූවත් නිවසේ දරුවන් අතින් මෙසේ ලැජ්ජාවට පත් වීම ඔහුට පවා ඉසිලිය නොහැකි විය .ඔවුහු නිරතුරුවම ඔවුන්ගේ අලුත් මනස්ගාත අදහස් කියමින් ඔහු ව පාච්චල් කළහ. එපමණක් නොව ඔවුන් කිසි විටක වත් දේව වාක්‍ය පොත කියවූයේ නැත. අවිහිංසාව ගැන මහත්මා ගාන්ධි කී දේවල් පවා ඔවුහු පිළිපැද්දේ නැත. ඔවුන්ගේ උනන්දුව තිබුණේ කුරුල්ලන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ හැකි තුවක්කු ගැනත් සර්පයන් ගිල්වා මරා දැමිය හැකි ස්ප්‍රීතු ගැනත් පමණි. තමන් අදහන පිළිවෙලට හැම ජීවියෙකුම උතුම් බව ගංගා රාම් දිගටම විශ්වාස කළේය. නොකඩවා සර්පයන් ආරක්ෂා කිරීමට ඔහු ප්‍රතිඥා දුන්නේ උන් දෙවියන් මැවූ සතුන් අතරින් විසකුරුම වර්ගය වූ බැවිනි. උන් ව නොමරා උන්ට ආදරය කළ හැකි නම් ඒ තර්කය ඔප්පු වන බව ඔහු නිතරම පැවසුවේය..
ගංගා රාම්ට ඔප්පු කිරීමට අවශ්‍ය වූ තර්කය පැහැදිලි වූයේ නැතත් නයා වෙසෙන ගුල අසල කිරි පීරිසියක් තැබීමෙන් සහ උදෑසනදී එය අතුරුදන් බව දැකීමෙන් ඔහුගේ යම් තර්කයක් නම් ඔප්පු විය.
දිනක් අපි කාල නාගයා ව දුටුවෙමු. පෙරදා රාත්‍රියේ දරුණු ලෙස මෝසම් වැසි ඇද හැලී තිබිණි. ගිම්හානයේ කුරිරු උණුසුම නිසා වේලී කර වී තිබුණු මහා පොළොව ජීවයෙන් උතුරමින් පසු විය. කුඩා දිය කඩිති වල ගෙම්බන් කෑ ගසමින් සිටි අතර මඩ වූ පොළොවෙන් ගැඩවිලුන්, පත්තෑයන් සහ කුරුමිණියන් සිය ගණනක් මතු විය. තැන තැන තණකොළ මතු වී, කෙසෙල් පත් කොළ පැහැයෙන් බැබලෙමින් තිබිණි.
කාල නාගයා ගේ ගුල වැහි වතුරෙන් පිරී තිබුණු බැවින් ඌ තණ බිස්සේ වැතිරී සිටියේය. උගේ කළු පැහැති පෙනය අව්වට දිලිසුණි. අඩි හයක් තරම් දිග වූ ඒ නාගයා මගේ අතක් තරම් වට ප්‍රමාණයෙන් යුතුව තරබාරු ව පෙනුණි.
“අන්න නයෙක්, ඌ ව අල්ලමු!”
එදින පොලොව ලිස්සනසුලු වූ බැවින්ද, කානු සහ අනෙත් විවර වැසි දියෙන් වැසී ගොස් තිබුණු බැවින් ද, ගංගා රාම් නිවසේ නොසිටි බැවින් ද කාල නාගයාට බේරීමට ක්‍රමයක් තිබුණේ නැත.
දිග බට කෝටු රැගෙන අප ඌ ව වට කළේ ඌ ට අපගේ ඉව දැනෙන්නටත් පෙර ය. ඌ අප ව දුටු විට උගේ දෑස ගිනි රතු පැහැයක් ගත් අතර ඌ සතර අතට පිඹිමින් එසැණින් කෙසෙල් ගාලට ඇදී යන්නට විය. නමුත් පොළොවේ වූ මඩ ගතිය නිසා අඩි පහකට වඩා ඇදී යාමට පෙර පිට හරහා කෝටුපහරක් වැදී ඌ අඩපණ විය. ඉනික්බිති පහර පිට පහර වැදුණු බැවින් බරපතල ලෙස තුවාල ලැබූ ඌ අන්තිමේදී දිස් වූයේ මඩ සහ ලේ වැකුණු කළු- සුදු ජල්ලියක් ලෙසිණි. එහෙත් උගේ හිසට හානි සිදුව තිබුණේ නැත.
“පෙනයට ගහන්න එපා,” එක කොලුවෙක් කෑ ගැසුවේය. “අපි මූව ඉස්කෝලෙට අරගෙන යමු”
බට කෝටු වලින්ම ඔසවා අඩපණ ව සිටි නාගයා ව විස්කෝතු ටින් බඳුනකට දමා ගන්නට අපි සමත් වූයෙමු. ඉනික්බිති එය ලණුවකින් ගැට ගසා ඇඳ යට සඟවා තැබුවෙමු.
ඒ රාත්‍රියේ ගංගා රාම් නාගයාට කිරි පීරිසිය තබන තෙක් මම හොර ගල් ඇහිලුවෙමි.
“අද කාල නාගයාට කිරි තියන්නේ නැද්ද?”
“මම තියන්නම්, බේබි නිදාගන්නකො” ඔහු නොරිස්සුමෙන් කීවේය.
ඊට වඩා ඒ ගැන කතා කිරීමට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැත.
“ඌ ට ආයෙත් නම් කිරි ඕන වෙන්නේ නැහැ”
මෙය අසා ගංගා රාම් මොහොතක් නිසොල්මන් විය.
“නෑ මම මේ කිව්වේ වැස්ස නිසා ඕන තරම් ගෙම්බෝ ඉන්නවනේ. උඹේ කිරි වලට වඩා ගෙම්බෝ රස ඇති. අනික උඹ කවදාවත් කිරි වලට සීනි දාන්නෙත් නැහැනේ”
ඊට පසු දින ගංගා රාම් කිරි සහිත පීරිසිය නැවත ගෙන ආවේය. ඔහු බුම්මාගෙන සිටි අතර ඔහුගේ මුහුණෙන් සැකයක් දිස් විය.
“මම උඹට කිව්වා සර්පයෝ කිරි වලට වැඩිය ගෙම්බෝ කන්න කැමතියි කියලා”
අප පාසල් යාමට සූදානම් වෙද්දී ගංගා රාම් අප අවටම ගැවසෙමින් පසුවිය. පාසල් බස් රථය පැමිණි විට නාගයා සහිත ටින් එකද අතින් ගෙන දනි පනි ගා අප එයට නැඟ ගත්තෙමු. බස් රථය පිටත් වෙද්දීම අප ටින් බඳුන ඔසවා ගංගා රාම් ට පෙන්වා මෙසේ කීවෙමු.
“උඹේ කාල නාගයා මේ ටින් එකේ හොඳ පරෙස්සමට ඉන්නවා. අපි ඌව ස්ප්‍රීතු වල දාන්න ඉන්නේ”
බස් රථය ඈතට ඇදී යද්දී ගංගා රාම් තම සවනට වැකුණු දේ අදහා ගනු නොහැකිව, විවර මුවින් යුතුව දෑස් අයාගෙන බලා සිටිනු පෙනුණි.
එදින පාසලේදී මහත් උද්යෝගයක් ඇති විය. සහෝදරයන් වන අප සිව් දෙනා අපගේ මුරණ්ඩු බව නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි අයයි. මේ සිද්ධියෙන් ඒ බව තවත් තහවුරු වී තිබිණි.
“විසාල නයෙක්”
“අඩි හයක් දිගයි!”
නයා සහිත විස්කෝතු ටින් බඳුන විද්‍යා ගුරුවරයාට ඉදිරිපත් කරන ලදී. අපට අවශ්‍ය වූයේ ඔහු අපගේ දඩයම අගය කරනු ඇසීමයි. නමුත් මේ ගැන ගණන් නොගත් බවක් පෙන්වූ ඔහු අපට විසඳන්නට විද්‍යා ගැටළු කිහිපයක් ලබා දුන්නේය. මෙසේ ටික වෙලාවක් ගතවූ පසු ඔහු තම ඩැහි අඬු අතට ගත්තේ තාලයක් මුමුණමිනි. තවත් විෂ සර්පයෙකු ස්ප්‍රීතු වල බහා තිබුණු වීදුරු බෝතලයක් ද ලං කරගත් ඔහු විස්කෝතු ටින් බඳුන ගැට ගසා තිබුණු ලණුව ලෙහන්නට විය.
ලණුව තරමක් බුරුල් වූ සැණින් එහි පියන වීසි වී ගියේ ගුරුතුමාගේ නහය යන්තමින් මඟ හරිමිනි. ටින් බඳුනෙන් නැගී සිටියේ රතු අඟුරු මෙන් දිලිසෙන දෑස් සහිත කාල නාගයා ය. කිසිදු හානියක්වී නොතිබුණු උගේ පෙනය විහිදී තිබිණි. එක්වරම වේගයෙන් පිඹින්නට වූ නාගයා ගුරුතුමාගේ මුහුණට පහර දෙන්නට පැන්නේය. පුටුවද පෙරළාගෙන බිය වී පස්සට පැන බිමට ඇද වැටුණු ගුරුතුමා බියෙන් ගල් වී නයා දෙස දෑස් අයා බලා සිටියේය. පන්තියේ ළමෝ තම ඩෙස්කු මතට නැඟී වියරුවෙන් කෑ ගැසූහ.
කාල නාගයා ලේ රත් පැහැති දෑසින් හාත්පස බැලුවේය. උගේ බෙදුණු දිව වරින් වර මුවින් මතුවනු පෙනුණි. නොකඩවා වේගයෙන් පිඹිමින් උන් ඌ එක්වරම නිදහස සොයා යන්නට තීරණය කළේය. මේසය මත වූ ටින් බඳුනෙන් මිදී බිමට වැටුණු ඌ තම බිඳුනු සිරුර අද්දවමින් වේදනාවෙන් මිරිකෙමින් බිම දිගේ ඇදී යන්නට විය. ඔහු එළිපත්තට එළඹුණු විට නැවත පෙනය විහිදුවේ එහි තවත් අනතුරක් දක්නට තිබුණු බැවිනි.
පන්ති කාමරයෙන් පිටත පීරිසියක් සහ කිරි ජෝගුවක් අතැතිව ගංගා රාම් සිටගෙන සිටියේය. කාල නාගයා තමන් වෙතට ඇදී එනු දුටු සැණින් ඔහු බිම දණ ගසා පීරිසියට කිරි වත් කර එය දොරකඩින් තැබුවේය. ඉනික්බිති දෑත එක් කර නළල බිම ඔබා ඔහු වැඳ වැටුණේ නාගයාගෙන් සමාව ඉල්ලන ලීලාවෙනි. එහෙත් මහත් සේ කැළඹී, අධික කෝපයෙන් සිටි නාගයා පිඹිමින් ගංගා රාම් ගේ හිසට පැන කිහිප වරක් දෂ්ඨ කළේ ය. ඉන්පසු ඌ ඉතාමත් අපහසුවෙන් ඇදී ගොස් කාණුවට රිංගා අතුරුදන් විය.
තම මුහුණ දෑතින් වසාගෙන ගංගා රාම් බිමට ඇද වැටිණි. ඔහු වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියේය. නයි විෂ ඔහුව සැනෙකින් අන්ධ කර තිබුණු අතර විනාඩි කිහිපයක් යද්දී ඔහු සුදුමැලි වී කටින් සෙම දමන්නට විය. ඔහුගේ නළලේ මතු වී තිබූ ලේ බිඳු ගුරුතුමා තම ලේන්සුවෙන් පිස දැමුවේය. ගංගා රාම්ගේ නළලේ සඳුන් ආලේපනයෙන් ඇඳ තිබුණු V අකුරට යටින් කාල නාගයා දෂ්ඨ කළ තැන පැහැදිලි ව පෙනුණි.
Translation of the story ‘Mark of Vishnu’ bu Kushwant Singh
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
සිසිල සඟරාව - මාර්තු 2025 කලාපය
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)
Photo generated by Canva AI
Digital sketch
ඒ කඳුකර වතුයායේ සීතල දේශගුණයක් පැවතුණත් හාත්පස මීදුම් රහිතව තිබුණු බැවින් ඈතින් හිමාල කඳු පන්තිය පැහැදිලි ව දිස් විය. ඒ දිනවල වතුයාය ට පිවිසෙන මාර්ගවල තැන තැන හිම වැටී තිබුණි. මා වඩාත් ප්‍රිය කළේ නිවසේ ඇඳට වී උණුසුම් ව, පොතක් කියවමින් සිටීමට වුවත් පෙරදිනක අසල්වැසි කපාඩියා යුවළගේ සාදයකට කළ ඇරයුම මා පිළිගෙන තිබුණු බැවින් එහි නොගොසින් සිටීම නොතරම් බව මට සිතුණි. එබැවින් අන්තිමේදී මම ඝන කමිස දෙකක්, පැරණි ෆුට්බෝල් මෆ්ලරයක් සහ කබායක් පැළඳගෙන සඳ එළියෙන් ආලෝකවත් වූ පාර ඔස්සේ පිටත් වූයෙමි.
කපාඩියා නිවස තිබුණේ මගේ නිවසේ සිට හැතැප්මක් තරම් දුරිනි. මේ දුරින් අඩක් පමණ මා ගෙවූ පසු මාවත මැද තරුණියක් සිටගෙන සිටින අයුරු දුර සිටම මම දුටුවෙමි.
බැලූ බැල්මට ඇයට වයස දාසයක්, දාහතක් පමණ විය. ඉනට තරම් දිග කොණ්ඩයකින් යුතු වූ ඈ හැඳ පැළඳ සිටියේ පැරණි තාලයට ය. රෝස සහ දම් පැහැයෙන් යුක්ත වූ ඇගේ දිගු ගවුමේ තැන තැන දිලිසෙන සීක්වින්ස් අල්ලා තිබුණු අතර එය දුටු විට මට සිහි වූයේ මගේ අත්තම්මාගේ පින්තූර ඇල්බම් වල පින්තූරයි. ඈට කිට්ටු වෙද්දී ඇයට සුන්දර දෑසක් සහ මනස්කාන්ත සිනාවක් තිබුණු බව මට පෙනුණි.
“සුබ සන්ධ්‍යාවක්! අද බොහොම සීතල දවසක් නේද?” මම ඇගෙන් ඇසුවෙමි.
“ඔයා සාදයටද යන්නේ?” ඈ මගෙන් විමසුවාය.
“හරියට හරි, ඔයාගේ ලස්සන ගවුම දැක්කාම කියන්න පුළුවන් ඔයා යන්නෙත් එහෙ කියලා. එහෙනම් අපි දෙන්නාම යමු, දැන් ළඟයි.”
ඈ මා අසලින් ගමන් කරන්නට වූවාය. නොබෝ වේලාවකින් දේවදාර තුරු අතරින් කපාඩියා නිවසේ විදුලි ආලෝකය පෙනෙන්නට විය. තමන්ගේ නම ජූලි බව තරුණිය කීවාය. ඒ වෙද්දී මා ඒ වතුයාය ට පැමිණ ගත වී තිබුණේ මාස කීපයක් බැවින් මා ඉන් පෙර ඈ ව දැක තිබුණේ නැත.
සාදයේ සෑහෙන පිරිසක් සිටි නමුත් ඒ කිසිවකු ජූලි හඳුනන බවක් නොපෙනුණි. ඈ මගේ මිතුරියක් බව හැම කෙනෙකුම අනුමාන කළ අතර මා ද ඒ අදහස බැහැර කළේ නැත. ඈ තනිකමින් පීඩා විඳි බවත් මිතුරු ඇසුරක් සොයමින් සිටි බවත් පැහැදිලි ව පෙනුණි. ඒ සාදයේදී ඈ බොහෝ ප්‍රීතියෙන් කාලය ගත කළාය. ඈ කෑම බීම ගැන වැඩි අවධානයක් යොමු නොකළත් එහි හැම කෙනෙකු අසලටම ගොස් සිනාසෙමින්, කතාකරමින්, ඔවුන්ට ඇහුම්කන් දෙමින් කාලය ගත කළාය. ඉනික්බිති සංගීතය වාදනය වීමත් සමඟම ඈ තනිවමත්, වෙනත් අය සමඟත් නටමින් බෙහෙවින් විනෝද වූවාය. බැලූ බැල්මට පෙනුණේ ඈ සංගීතයෙන් මත්ව සිටි බවකි.
මා සාදයෙන් නික්මෙන්නට සූදානම් වෙද්දී මැදියම් රැයට ආසන්න වී තිබිණි. ඒ වෙද්දී මා සෑහෙන තරමට මධුවිත තොලගා තිබුණු අතර මට වුවමනා වූයේ නින්දට වැටෙන්නයි. මා නිවෙස් හිමියන්ගෙන් සමු ගෙන හැමට සුබ නත්තලක් පතද්දී ජූලි මා අසලට විත් ඇය ද නිවෙස බලා යන්නට සූදානම් බව පැවසුවා ය.
“ඔයාගේ ගෙවල් කොහෙද ජූලි?”
අප සාදයෙන් පිටවූ පසු මම ඇගෙන් විමසුවෙමි.
“මම ඉන්නේ වුල්ෆ්ස්බර්න් වල” ඈ කීවාය. “කන්ද උඩ.”
“මේ හුළඟ හරි සීතලයි. ඔයාගේ ගවුම ලස්සන වුණාට ඒකෙන් වැඩි උණුසුමක් ලැබෙන්නේ නැහැ වගෙයි නේද? මෙන්න, මගේ කබාය ඇඳගන්න. පේනවනේ, කබාය නැති වුණත් මම නම් සීතලෙන් ආරක්ෂිතයි.”
මා මගේ කබාය ගලවා අගේ උරහිස් මත රඳවද්දී ඈ විරෝධයක් පෑවේ නැත. ඉනික්බිති අපි නිවෙස් බලා ගමන් ඇරඹුවෙමු.
අප මුලින් මුණගැසුණු ඉසව්වේදීම ඈ නැවතත් නතර වූවාය.
“මෙතැනින් කෙටි පාරක් තියෙනවා. මම මේ කන්ද දිගේ දුවලා යන්නම්.” ඈ කීවාය.
“ඔයාට ඒ පාර පුරුදු ද? පටු පාරක් වගේනේ පේන්නේ.”
“අයියෝ මම මේ පාරේ හැම ගහක් ගලක්ම හොඳට දන්නවා, මම නිතර ඒ පාරේ යනවා එනවා. අනික අද හොඳට හඳ එළිය තියෙන දවසක්නේ.”
“එහෙනම් කබාය ඇඳගෙන ම යන්න. මම හෙට ඇවිත් ඒක ආපිට ගන්නම්.” මම කීවෙමි.
ඈ මොහොතක් නිසොල්මන් ව හිඳ ඉනික්බිති සිනාසී, හිස වනා, මා කී දේ අනුමත කර, ඒ කෙටි මඟ ඔස්සේ නොපෙනී ගිය අතර මම තනිවම නිවස බලා ගියෙමි.
ඊට පසු දින මම වුල්ෆ්ස්බර්න් වෙත ඇවිද ගියෙමි. කුඩා දිය කඳුරකින් එතෙර වී, විවර ව තිබුණු යකඩ ගේට්ටුවකින් ඇතුළු වූ විට මා එහි දුටුවේ ගරා වැටුණු නිවසකි. ඊට වහලයක් නොතිබුණු අතර, ගල් ගොඩක්, කඩා වැටුණු පෝරණුවක් සහ පෙරදී බරාඳයක් තිබුණු බවට ලකුණු පෙන්වූ කණු කිහිපයක් දක්නට විය.
ජූලි මට විහිළුවක් කළා ද? නොඑසේ නම් මා පැමිණ තිබුණේ වැරදි නිවසටද?
කඳු ගැටය වටා ඇවිද ගිය මම ඒ අසල ටේලර් යුවල පදිංචි පැරණි නිවස වෙත එළඹී, ජූලි නම් තරුණියක් ගැන විස්තර දන්නේදැයි වයස්ගත ටේලර් මහත්මියගෙන් විමසුවෙමි.
“නෑ මම හිතන්නේ මම එහෙම කෙනෙක් දන්නේ නැහැ,” ඈ කීවාය. “කොහෙද එයා පදිංචි?”
“වුල්ෆ්ස්බර්න් වල කියලා තමයි කිව්වේ නම්, ඒත් ඒ ගෙදර ගරා වැටිලානේ.”
“පහුගිය අවුරුදු හතලිහට කවුරුවත් වුල්ෆ්ස්බර්න් වල ජීවත් වෙලා නැහැ. මේ පළාතේ මුලින්ම පදිංචි වුණ මැකිනන් ලා තමයි එහෙ හිටියේ. ඒත් එයාලගේ දුව මැරුණා ට පස්සේ..” ටේලර් මහත්මිය හදිසියේම කතාව නවතා මා වෙත අමුතු බැල්මක් එල්ල කළා ය. “මම හිතන්නේ ඒ දැරිවි නම ජූලි, කොහොමහරි ඒ ළමයා මළා ට පස්සේ එයාලා ඒ ගේ විකුණලා කොහේ හරි ගියා. ඊටපස්සේ කවුරුවත් ඒකෙ ජීවත් වුණේ නැහැ, ගේ ටික ටික ගරා වැටුණා. ඔයා හොයන ජූලි එයා වෙන්න බැහැ. ඒ දැරිවි මැරුණේ ක්ෂය රෝගේ හැදිලා. ඒ කාලේ ඒ ලෙඩේ හොඳ කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එයාගේ සොහොන තියෙන්න ඔය පාරේ කෙලවර තියෙන සොහොන් පිට්ටනියේ.”
මා ටේලර් මහත්මියට ස්තූති කර සොහොන් පිටිය වෙත ඇවිද යන්නට විය. ඒ වෙද්දී මට මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්නට වුවමනාවක් නොමැති වුවත් නොදැනුවත්වම මෙන් මා ඒ වෙත ඇදී යමින් තිබිණි.
ඒ කුඩා සොහොන් පිටිය තිබුණේ දේවදාර තුරු පෙළ පාමුලයි. එතැනට තනි නිල් අහස් පසුබිමේ හිමාල කඳු පෙළේ සදාකාලික හිම පතනය මනාව පෙනුණි. අධිරාජ්‍ය ගොඩ නඟන්නට වෙහෙසී මේ වෙද්දී ලෝකයට අමතක වූ සොල්දාදුවන්, වෙළෙන්දන්, ගවේෂකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සිරුරු වල නටබුන් මේ බිමේ වැළලී තිබිණි. ජූලි ගේ සොහොන සොයා ගන්නට මට වැඩි වෙලාවක් ගත වූයේ නැත. වැඩි මෝස්‌තර නොමැති සරල සොහොන් කොතක ඇගේ නම පැහැදිලි ව සඳහන් ව තිබිණි.
මෝසම් වැසි ගණනාවක් මේ සොහොන් පිටිය පිස හමා ගොස් එහි සොහොන් කොත් වල අකුරු මකා දමා තිබුණද, ඒ කිසිවකින් මේ කුඩා සොහොන් කොත පීඩාවට පත් වූ බවක් නොපෙනුණි.
මා ආපසු යාමට හැරෙද්දී සොහොන් කොත පසුපස මා මීට පෙර දැක පුරුදු යමක් මගේ නෙත ගැටුණු බැවින් මම එතැනට පා නැඟුවෙමි.
පිළිවෙලට නවන ලද මගේ කබාය එහි විය.