'Maybe we just love the small pieces of ourselves that we find in others.'- William C.Hannan

September 17, 2022

"ඉස්සර ලීව කවි කෝ දැන්?"

"ඉස්සර ලීව කවි කෝ දැන්?"

අහස ගිනියම් රතු වී
ඉර මිලින වන සිතුවම
අහම්බෙන් ඇස දැවටෙන
හවස්වරු ඉඳහිට ඇත
බිඳුවක් හුස්ම නැවතී
කවියක සියුම් තටු හඬ
හිත පතුළ සර සර ලයි
උපදින්න වෙර දරමින

අනෝරා මහා වැස්සක
තෙමි තෙමි දුර අවිදින
රුවක හුරු පුරුදුම බව
ළඟ නතරවෙයි හදවත
දුර අතීතෙක ළඟ හිඳ
අකුරු එක එක ඇමිණුව
කවියක දුහුල් මතකය
බොඳ වෙයි පෙනී නොපෙනිම

නූපදින කවි කොතැනද
වංකගිරියක සැඟවීද
වැසි දියක තෙතබත් වී
ලිහී විසිරී මැකුණිද
ඉතින් කවි උපදිනු නැත
අතීතය යළි එනු නැත
විසිතුරු සැඳෑවෙන් පසු
එබෙන්නේ ඝන කළුවර

-හෙල්මලී ගුණතිලක
Photo- Bur Marigolds in Cairns QLD


3 comments:

  1. මට ගජමන් නෝනා ටෙලි නාට්‍යයේ තේමා ගීතය මතක් වුනා.....
    මේ ඒකෙ opposite එක නේද

    ජීවිතේ කවියක්...................ආදරේ..සොඳුරු තම වදනක්..
    කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
    එකට එක්වූ විට දැනෙයි.................පෙර නොවිදි රසයක්..

    පසුපසින් හඹා එන අතවර......................හැරදමා..යා නොහැක බෝදුර..
    දුක ද ඉවසා දරා ගන්නට සිතට බල කරනා............
    හැඟුම් අවදිව මැවේ කවිකම..

    ReplyDelete
    Replies
    1. කුමුදු - මේක මම ආසාම සින්දුවක්. නන්දා මාලනී ගේ කටහඬින් ඒක බොහොම හැඟුම්බර ව ගැයෙනවා නේද?

      ඔව් මගේ කවියේ opposite වගේ තමයි එක අතකට, ඒත් තව පැත්තකින් සමානයි. වැලි කැට නැති වුණාම මුතු නැහැ :)

      Delete