Showing posts with label වසත් සුළඟ. Show all posts
Showing posts with label වසත් සුළඟ. Show all posts

November 07, 2024

ආත්මාර්ථකාමී යෝධයා

 

හැම හවසකම පාසැල ඇරී නිවෙස් වෙත යන අතරතුරේදී ළමුන් පිරිස යෝධයාගේ උයනේ සෙල්ලම් කරන්නට පුරුදු ව සිටියහ. 

එය සිනිඳු තණකොළ පිරුණු විශාල සොඳුරු උයනක් විය. පොළොවේ තැන තැන තාරුකා වැනි මල් විසිර තිබිණි. වසන්ත කාලයට ලා රෝස පැහැති මල් පිපෙන, සරත් කාලයට රසවත් ඵල දරන පීච් ගස් දුසිමක් ද එහි එක කෙළවරක විය. ගස්වල අතු පතරින් ඇසුණු කුරුලු ගී හඬ කෙතරම් මිහිරි වී ද යත්, ළමුන් වරින් වර තමන්ගේ සෙල්ලම් නවතා ඊට සවන් දෙනු පෙනිණි. “අපි කොයිතරම් සතුටින් ද?” ඔවුහු නිතරම එකිනෙකාට කියා ගත් හ.

නමුත් දිනක් යෝධයා ආපසු පැමිණියේ ය. ඔහුගේ මිතුරු කෝනිෂ් රාක්ෂයා බලන්නට ගොස් සිටි ඔහු, එහි සත් වසරක් නවාතැන්ගෙන හිඳ තිබිණි. වසර හතක් ගතවෙද්දී කතාකරන්නට තිබුණු සියල්ලම කියා හමාර ව තිබුණු බැවින් යෝධයාට යළිත් තමන්ගේ මාලිගය වෙත යන්නට සිත් පහළ වී තිබිණි. ඔහු නැවත එද්දී කුඩා ළමුන් ඔහුගේ උයනේ සෙල්ලම් කරන අයුරු දුර තියාම ඔහුට පෙනිණි. 

“මෙතැන මොකද කරන්නේ?” ඔහු රළු හඬකින් කෑ ගසද්දී ළමෝ පලා ගියහ. 

“මගේ උයන, මගේම උයනයි" යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඒ බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. මෙතැන සෙල්ලම් කරන්න පුළුවන් මට විතරයි, වෙන කාටවත් බැහැ"

උයන වටා උස් තාප්පයක් ඉදිකළ යෝධයා එහි දැන්වීමක් ද එල්වී ය.  

‘අනවසරයෙන් ඇතුල්වීම තහනම්’

ඔහු ඉතාමත් ආත්මාර්ථකාමී යෝධයෙකි. 

අසරණ ළමුන්ට සෙල්ලම් කරන්නට තැනක් අහිමි විය. ඔවුන් මහපාරේ සෙල්ලම් කරන්නට උත්සාහ කළත් එහි තිබුණු දූවිලිත් ගල් බොරළු ත් නිසා එය ඉතා අප්රසන්න විය. පාසැල නිම වූ පසු ඔවුහු උස තාප්පය අසලින් ගමන් කරමින් ඇතුළත ගෙවත්ත ගැන කතා කරන්නට පුරුදු වූහ. 

“අපි එහේ කොයිතරම් සතුටින් හිටියාද?" ඔවුහු එකිනෙකාට කියා ගත් හ. 

වසන්තය උදා වූ විට මල් පිපී, කුරුලු පැටවුන් ඉගිලෙමින් වටපිටාව ඉතා අලංකාරව තිබිණි. ඒත් ආත්මාර්ථකාමී යෝධයාගේ උයනේ පමණක් නොවෙනස් ව දක්නට ලැබුණේ ශීත කාලයයි. එහි ළමුන් නොසිටි නිසා කුරුල්ලන් ගී ගැයීමට වෙහෙසුණේ නැති අතර ගස් වලට මල් පුබුදුවන්නට අමතක විය. වරක් එක මලක් පොළොවෙන් හිස ඔසවද්දී යෝධයාගේ දැන්වීම් පුවරුව නෙත ගැටී, ළමුන් ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් නැවතත් පොළොව යටට ගොස් නිදන්නට විය. මේ වෙනස ගැන සතුටු වූයේ හිම ත් තුහින ත් පමණි. ‘වසන්තයට මේ උයන අමතක වෙලා!’ ඔවුහු ප්රීති ඝෝෂා කළ හ. ‘දැන් අපිට අවුරුද්ද පුරාම මෙතැන ඉන්න පුළුවන්'. හිම ඇගේ විසල් ශ්වේත ලෝගුවෙන් උයනම වසා ගත් අතර තුහින උයනේ ගස් සියල්ලම රිදී පාටින් පාට කළේ ය. ඉනික්බිති ඔවුහු ඔවුන්ගේ මිතුරු උතුරු සුළඟට එහි නවතින්නට ඇරයුම් කළ හ. උණුහුම් ලොම් කබා ඇඟලාගෙන ආ උතුරු සුළඟ, දවස පුරාම ගෙරවිලි නඟමින් උයන වටා දිව යන්නටත්, මාළිගාවේ දුම් කවුළු කඩා දමන්නට උත්සාහ කරන්නටත් විය. “මේක බොහොම ලස්සන තැනක්" ඔහු කීය. “අපි හිම වැස්සටත් ඇවිල්ලා යන්න එන්න කියමු" ඉතින් ඒ ආරාධනාවෙන් උයනට පැමිණි හිම වැස්ස අළු පැහැති ඇඳුම් ආයිත්තම් ඇඟලා සිටි අතර ඔහුගේ හුස්මත් හිම මෙන් සීතල විය. හැම දවසකම පැය තුන හතරක් තිස්සේ මාළිගාවේ වහලය මත රැඟුම් පෑ ඔහු එහි උළු කැට විශාල ප්රමාණයක් බිඳ දැමුවේය.  

“මට තේරෙන්නේ නැහැ මේ සැරේ වසන්තය ඇයි මේ තරම් පරක්කු කියලා" තමන්ගේ සීතල අඳුරු උයන දෙස මාළිගාවේ කවුළුවකින් බලා සිටි ආත්මාර්ථකාමී යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඉක්මණටම දේශගුණයේ වෙනසක් වුණොත් හොඳයි"

ඒත් වසන්තයවත්, ගිම්හානයවත් උයනට ආවේම නැත. සරත් කාලය අනෙත් හැම ගෙවත්තකටම රසවත් ඵල ලබාදුන්නත් යෝධයාට නම් කිසිවක් ම නොදුන්නේය. “ඔහු ආත්මාර්ථකාමී වැඩියි!’ සරත් කාලය ප්රකාශ කර තිබිණි. ඒනිසා යෝධයාගේ උයනේ හිම ත්, තුහින ත්, හිම වැස්ස ත්, උතුරු සුළඟ ත් පමණක් ගස් අතර රැඟුම් රඟමින් පසු වූහ. 

එක් උදෑසනක යෝධයා නිදි ඇඳේ හිඳිද්දී අපූරු සංගීතයක් කණ වැකිණි. එය කෙතරම් මිහිරි ද යත් ඔහුට මුලදී සිතුණේ රජතුමාගේ සංගීත කණ්ඩායම උයන අසලින් ගමන් කරනවා විය හැකි බවයි. ඒත් ඒ හඬ ඔහුගේ කවුළුව අසල ගී ගයමින් උන් පුංචි කුරුල්ලෙකුගේ බව ඔහු දුටුවේ පසුව ය. යෝධයා ට කලකින් කුරුලු ගීයක් ඇසී නොතිබුණු නිසා එය ලොව ඇති මිහිරිම තනුව බව ඔහුට සිතිණි. එවිටම වහල මත හිම වැස්සේ දැඟලුම නැවතුණු අතර උතුරු සුලඟේ ගෙරවිල්ලද අඩු විය. කවුළුව අතරින් මන පිනවන මල් සුවඳක්ද ගලා එන්නට විය. “වසන්තය ඇවිල්ලා වගේ!” යැයි කෑගසමින් යෝධයා ඇඳෙන් බිමට පැන කවුළුවෙන් එබී බැලුවේ ය. 

ඔහු දුටුවේ කුමක් ද?

තාප්පයේ සිදුරකින් ළමුන් උයනට රහසින් ඇතුළු වී තිබිණි. ඔවුන් සිටියේ ගස් වල අතුපතර වාඩිගෙන ය. බැලු බැලූ අත හැම ගසකම කුඩා දරුවෙක් විය. ළමුන් ආපසු පැමිණීම ගැන ගස් කොයිතරම් සතුටු වී ද යත් ඒවා තම අතු මලින් පුරවා තාලයට සොලවමින් විය. කුරුල්ලන් ප්රමෝදයෙන් ගී ගයමින් පියාඹමින් සිටි අතර  මල් තණ බිස්සෙන්  හිස්  ඔසවා සිනාසෙමින් පසු විය. එහෙත් මේ සොඳුරු දසුන් පිරි උයනේ එක් කෙළවරක පමණක් ශීත කාලය තවමත් පෙනෙන්නට තිබිණි. උයනේ ඈත මුල්ලක කුඩා දරුවෙක් ගසකට නැග ගනු නොහැකිව හඬමින් පසු විය. “නගින්න දරුවෝ නගින්න!’ යැයි උනන්දු කරමින් ගස තම අතු පහත් කළ නමුත් දරුවා ඊට නගින්නට කුඩා වැඩි බවක් පෙනුණි. 

මෙය බලා සිටි යෝධයාගේ පපුව උණු විය. “මම කොයිතරම් ආත්මාර්ථකාමී විදිහටද වැඩ කරලා තියෙන්නේ" ඔහු කීය. “දැන් මම දන්නවා ඇයි වසන්තය මගේ උයනට ආවේ නැත්තේ ඇයි කියලා. මම අර පුංචි දරුවා ව ගහ මුදුනින් තියනවා. ඊටපස්සේ තාප්පය කඩා දානවා. මගේ උයන හැමදාටම පුංචි ළමයින්ට සෙල්ලම් උයනක් වෙන්න ඕන” ඔහු මෙතක් කල් කළ දේ ගැන ඔහුට මහත් පසු තැවිල්ලක් දැනෙමින් තිබිණි. 

ඉතින් ඔහු හෙමින් සීරුවේ මාළිගාවේ බිම් මහලට ගොස් එහි ඉදිරිපස දොර විවර කර උයනට පා තැබුවේය. ඒත් ඔහු ව දුටු සැණින් උයනේ සෙල්ලම් කරමින් සිටි ළමුන් රංචුවම බියෙන් පැන දිවූහ. ඒ සමඟම උයන යළි වරක් ශීත කාලයේ ගිලුනි. උයනේ කෙළවර හඬමින් සිටි පුංචි දරුවා පමණක් උයනෙන් පලා නොගියේ ඔහුගේ දෑසේ පිරී තිබුණු කඳුළු නිසා ඔහු යෝධයාව නොදුටු හෙයිනි. යෝධයා හෙමින් සීරුවේ ඔහු ළඟට ගොස් ඔහුව ඔසවා ගසේ අත්තක් මතින් තැබුවේය. එසැණින් ගස පුරා මල් පිරී ඉතිරුණු අතර කුරුල්ලන් ගී ගැයීමට ඒ වෙත රොක්විය. පුංචි දරුවා යෝධයාගේ ගෙල වටා දෑත යවා ඔහුට හාදුවක් දුන්නේය. යෝධයා නපුරු නැති බව දුටු සෙසු ළමුන් ද දිව ආ අතර ඔවුන් සමඟම වසන්තයත් යළි උයන වෙත එළඹිණි. 

‘ළමයිනේ, දැන් මේ උයන උඹලාගේ’ කී යෝධයා විශාල පොරොවක් ගෙන උයන වටා තිබුණු තාප්පය කඩා බිඳ දැම්මේය. මධ්යහනයේ නගරය වෙත ගොස් ආපසු එමින් සිටි ගම්වැසියන් දුටුවේ යෝධයා ඉතාමත් අලංකාර උයනක තම දරුවන් හා සෙල්ලම් කරන දසුනයි. දවස පුරාම මෙලෙස සෙල්ලම් කළ ළමුන් සවස් වෙද්දී යෝධයා වෙත ආවේ ඔවුන් නිවෙස් වෙත යන බව කියා සමු ගැනීමට යි. 

“කෝ උඹලාගේ පුංචි යාළුවා?” යෝධයා ඇසීය. “අර මම ගහට නගින්න උදවු කළ ළමයා?” ඒ කුඩා දරුවාට යෝධයා වැඩියෙන්ම ආදරය කළේ ඔහු යෝධයාව වැළඳගෙන හාදුවක් දුන් නිසා ය. 

“අපි දන්නේ නැහැ" ළමෝ කීහ. “එයා යන්න ගිහින් වගෙයි"

“එයාට කියන්න හෙට මතක ඇතිව ආයෙත් එන්න කියලා" යෝධයා කීවේ ය. ඒත් ඒ ළමයා ව තමන් නොහඳුනන බවත්, ඔහු වෙසෙන තැනක් නොදන්නා බවත්, ඉන් පෙර ඔහුව කිසි දවසක දැක නැති බවත් ළමුන් කී විට යෝධයාට මහත් ශෝකයක් දැනිණි. 

හැම දිනකම පාසැල හමාර වූ පසු ළමෝ පිරිස යෝධයා හා සෙල්ලම් කරන්නට පැමිණියහ. ඒත් යෝධයා ආදරය කළ කුඩා පිරිමි ළමයා නම් යළි කෙදිනකවත් දකින්නට ලැබුණේ නැත. යෝධයා ළමුන් හැම දෙනාටම කරුණාව පෑ නමුත් ඔහුගේ පළවෙනිම පුංචි යාළුවා යළි දකින්නට ඔහු මඟ බලා සිටියේ ය. යෝධයා නිතර ඔහු ගැන දෙඩූ අතර “අනේ ඔහුව දකින්නට ඇත්නම්” යැයි තැවුනේ ය. 

මෙලෙස අවුරුදු ගණනක් ගතවෙද්දී යෝධයා කෙමෙන් වයෝවෘද්ධ විය.  ඔහුට දැන් දැන් ළමුන් හා සෙල්ලම් කරන්නට සවිය තිබුණේ නැත. ඒ වෙනුවට හාන්සි පුටුවක වැතිරී ළමුන් සෙල්ලම් කරන අයුරු නරඹමින්, උයනේ විසිතුරු බලමින් ඔහු කාලය ගත කළේ ය. “මගේ උයනේ කොයිතරම් සුන්දර මල් වර්ග තියෙනවාද" ඔහු කීය. “ඒත් ලස්සනම මල් වර්ගය තමයි පුංචි ළමයි"

ශීත කාලයේ දිනක් යෝධයා තම කවුළුවෙන් පිටත බලා සිටියේ ය. ඔහු ඒ වෙද්දී ශීත කාලයට වෛර නොකළේ එය වසන්තය නිදා උන් කාලයත්, මල් විවේක ගන්නා කාලයත් බව දැන සිටි නිසා ය. 

උයනේ කෙළවර දුටු දෙයක් දෙස  ඔහු හිටිහැටියේ ම යළිත් බැලුවේ පුදුමයෙන් දෑස පිසලමිනි. එතැන අපූරු දසුනක් මැවී තිබිණි. උයනේ ඈතම කෙලවරේ ගසක් සුදු පැහැ මලින් පිරී තිබිණි. ඒ ගසේ අතු රන් පැහැයෙන් බැබලුණු අතර ඒවා රිදී ඵල වලින් බර ව තිබිණි. ඒ ගස යට යෝධයා ආදරය කළ කුඩා දරුවා දකිනු හැකි විය. 

යෝධයා පහළ මාලයටත්, උයනටත් දිව ගියේ ඉතා සතුටිනි. ඔහු වහා වහා තණ පිටිය හරහා දිව ගොස් කුඩා දරුවා අසලට ගියේ ය. එහෙත් දරුවාට ළං වෙද්දී යෝධයාගේ වත කේන්තියෙන් රත් පැහැ විය. 

“කවුද ඔබට තුවාල කළේ?” ඔහු කෑගෑවේය. 

ඒ, කුඩා දරුවාගේ දෙඅත්ලේත් දෙපයේත් ඇණ ගැසූ සලකුණු පෙනුණු නිසා ය. 

“ඔබට අත තියන්නට කිට්ටු වුණේ කවුද?” යෝධයා කේන්තියෙන් පිපිරී ය. “මට නම කියන්න! මම මගේ කඩුව අරගෙන ගිහින් ඔහුව මරලා දානවා"

“එපා” කුඩා දරුවා පිළිතුරු දුන්නේ ය. “මේ ආදරය වෙනුවෙන් ලද තුවාල"

යෝධයාට දරුවාගේ අමුතු ගාම්භීර බවක් හදිසියේ දැනිණි. 

“ඔබ කවුද?” ඔහු ඇසුවේ දරුවා ළඟ දණින් වැටෙමිනි.

දරුවා යෝධයා වෙත සිනාවක් පෑවේ ය. 

“ඉස්සර දවසක ඔබ මට ඔබේ උයනේ සෙල්ලම් කරන්නට ඉඩ දුන්නා. අද ඔබ මගේ උයන ට යන්න එන්න. මගේ උයන පාරාදීසය යි" 

එදා හවස ළමුන් පිරිස උයනට දිව ආ විට දුටුවේ යෝධයා ගසක් යට වැතිරී මිය ගොස් සිටි ආකාරය යි. ඔහුගේ සිරුර සුදු මල් පෙති වලින් වැසී තිබිණි.   


Translation of the story ‘The Selfish Giant’ by Oscar Wilde

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 


දිනමිණ වසත් සුළඟ අතිරේකය - 07.11.2024 

Picture generated by Canva AI

පසු සටහන 

දිනමිණ පත්තරේ වසත් සුළඟ අතිරේකය ආයෙමත් පටන් අරගෙන කියලා දැනගැනීම ලොකු සතුටක්. මේ ආරංචිය කියලා ආයෙත් නිර්මාණ යොමු කරන්න මාව උනන්දු කරන කාංචනා කරුණාමුනි මිතුරියටත්, ඒ පිටුව හැඩ වැඩ ඇතිව ඉදිරිපත් කරන 'නිර්මාණ එවන්න එවන්න!' කියලා බලකරන රජිත බස්නායක සොයුරාටත් මගේ ප්‍රණාමය! 


December 28, 2022

ගබඩාව



Translation of the poem 'Storage' by Mary Oliver

නිවසකින් නිවසකට මාරු වෙද්දී
මා සතුව වූ බොහෝ දේ වෙනුවෙන්
අලුත් නිවසේ ඉඩකඩ නොමැති විය
එබැවින් ගබඩාවක් කුළියට ගෙන
ඒ හැම දේ ගබඩා කළෙමි.
වසර ගණනක් ගත විය
ඉඳහිට මා ඒ ගබඩාවට ගොස්
කර පොවා බැලුවත්
ඒ කිසිවක් ගැන
හදේ කුඩා රිදුමක් හෝ
ඇති නොවිණි

වයස්ගත වෙද්දී
මා උනන්දු වන දේවල්
කෙමෙන් අඩු වූවත්
ඉතිරි වූ දේහි වැදගත්කම
කෙමෙන් වැඩි විය
එබැවින් දිනක්
ගබඩාවේ අගුලු ඇර
කසලකරු ට ඇමතුවෙමි
ඔහු ඒ සියලු දේ ගෙන ගියේය

පිටෙහි වූ බර ඉවත් කරනු ලද
කොටලුවාගේ ප්‍රීතිය මට දැනුණි
නුවුමනා දේ!
පුළුස්සන්න, පුළුස්සන්න
ඉන් අලංකාර ගිනි මැලයක් තනන්න
ආදරය වෙනුවෙන්
ගහ කොළ වෙනුවෙන්
සියොතුන් වෙනුවෙන්
හදේ ඉඩකඩ වැඩි කරගන්න

සියොතුන් සතුව කිසිවක් නැත
ඔවුන් ඉගිලෙන්නේ එබැවිනි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ වසත් සුළඟ, 28.12.2022

Sketch- watercolours and ink on paper

December 21, 2022

මට ඔබේ මව මුනගැසුණු අයුරු



Translation of the poem 'How I Met Your Mother' by George Bilgere

සාදයකදී ඇය ව දැක
ඈ වෙත ගොස් මෙසේ ඇසුවෙමි
"කැමතිද මා හා විවාහ වෙන්න,
එක්ව නිවසක් මිළට ගන්න
වරක් දෙවරක්
දරු ප්‍රසූතියේ කටුක වේදනාව විඳින්න
එක්ව ඇතිතරම් නෙට්ෆ්ලික්ස් බලන්න
අවන්හල් වලින් කෑම කන්න
(විශේෂයෙන්ම රුගේරි අවන්හලේ කෑම)
සුරතල් බල්ලෙක් හදන්න
නිවාස ණය ගැන තර්ක කරන්න
අන්තිමේදී මගේ අවසාන දවස් වල
මගේ ළඟ සිටින්න
මගේ මළගම සුදානම් කරන්න
සියලු දේ පිළිවෙල කරන්න
ඉනික්බිති මා නොමැති
ඒ අමුතු අලුත් දිවිය
තනියම අරඹන්න
මේ ඉල්ලීම බරපතල වැඩිද?"

තම මොජිටෝ පානය තොල ගාමින් සිටි ඈ
මෙසේ කීවාය
"කැමතියි! අපි මොකටද තව බලාගෙන ඉන්නේ?"

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ - වසත් සුළඟ 21.12.2022 


sketch- felt pens on paper

December 07, 2022

කරුණාබරිත ගස

නිතර පසු කර යමි
කරුණාබරිත ගසක්
එහෙත් නොදනිමි එහි නම නම්
 
හිස නමා ආචාර කළ විට මා
පිළිතුරු ලෙස, කාරුණිකව
අතු රිකිල්ලක් වනයි, එය
 
වෘක්ෂය, මම ඔබේ නම නොදනිමි
(ඔබ හෙම්ලොක් ගසක් ද දේවදාර ගසක්ද?)
එහෙත් ඇයි මා මේ ඒ ගැන ලැජ්ජාවෙන්?
නොදන්නවා ඇත බොහෝවිට
ඔබ, මගේ නමත්
 
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Tit for Tat' by Christopher Morley

දිනමිණ වසත් සුළඟ 07.12.2022
https://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=ddb73efe

painting- watercolour on paper





November 30, 2022

පූජාව

Translation of the poem 'The Offering' by Laura Davies Foley

විල් තෙර ඇති වනය
ශිශිරයේ අඳුරට
සූදානම් වෙමිනි

රැහැයියන්, මීවන, වගුරෙහි තණ ගස්
මින් යමක් මියෙන්නට තිබුණා නම්
මේ වෙද්දී යන්නට ගොසිනි

පිටියෙහි පුළුල් ඉඩ
පසෙන් පමණක් වැසී ඇත

ඒත් මේ බලන්න,
තනි ඕක් පතක්
හම් පසුම්බියක් ලෙසින්
දුඹුරු පැහැයෙන් දිදුලමින්

මාවත මැද, උඩුකුරුව හිඳ
එය ඉසියුම්ව දෙන දේ බලන්න
එහි විවර අත්ල මත
ගැඹුරු, නොනිමි අහස් බඳුනක්

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
දිනමිණ වසත් සුළඟ 30.11.2022 

Digital painting with oil brush tools




November 23, 2022

අපට අවැසි දෑ


 Translation of the poem 'What We Need' by David Budbill


ආදිපාද වරයාත්
ඔහුගේ මැරයන් සහ
හෙන්චයියනුත්
දිනපතාම
ලෝකය
බියෙන් ත්‍රස්ත කරවයි

මෙබැවිනි
අපට
හැමදිනකම අවශ්‍ය

කරුනාභාරිත
කුඩා කවියක්

සාමයෙන් යුත්
කුඩා ගීයක්

සතුට පිරි
කුඩා මොහොතක්

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital sketch
දිනමිණ වසත් සුළඟ 22.11.2022 



November 16, 2022

ශෝකය

Translation of the poem 'Grief' by Louise Erdrich

ඇතැම් වෙලාවට
අතරමං වූ දරුවෙක් ලෙසින්
ඔබට ඔබවම
අතින් අල්ලාගෙන
අයිස් කඳු අතරින්
පය පැකිලෙමින්
නිවස වෙත කැඳවාගෙන ආ යුතු වනු ඇත

ඔබේ නිවස වටා
ශ්වේත වර්ණය පැතිරේ
විවර ඉදිරිපස දොරින්
උණුසුම් එළිය තීරුවක්
නොසැලී ඉහිරේ

මෙන්න, දිගහරින ලද ඔබේ ඇඳ
හාන්සි වෙන්න,
හාන්සි වෙන්න
නිල් පැහැති හිමෙන්
ඔබව වැසෙන්නට ඉඩ දෙන්න

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක   

දිනමිණ වසත් සුළඟ 16. 11. 2022

Sketch- Watercolour paint on paper




November 09, 2022

සපුෂ්පික වීම



Translation of the poem 'Flowering' by Linda Buckmaster

ගල් කුළු දෙකක් අතර
කුඩා, සුවපහසු ඉඩක් තෝරාගෙන
එය ඔබේම කරගන්න

සුළඟින්, වර්ෂාවෙන්
හුණුගල් අතර රැඳුණු
පුරාණ අතීත මතකයන්ගෙන්
මෙතැන ජීවයක් උපද්දන්න

මී මැස්සන්
මිහිරි මී පැණි වෙනුවෙන්
ඔබව යොදාගනු ඇත
ගල් කුළ
ඔබේ ස්පර්ශයෙන්
මුදු වනු ඇත 
මිහිදුමෙන් තෙතමනය උරා
ඔබ රඳවා ගනු ඇත
ඔබේ පැවැත්ම
පස නිමවනු ඇත

කුඩා මෘදු මුල් සඳහා
ගල් කුළු අතර ඉඩක්, විවරයක්
සපුෂ්පික වීමක්

මේ ජීවිතයේ
අපට හිමි,
අපට අයිති මෙපමණකි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

දිනමිණ වසත් සුළඟ - 09.11.2022
Sketch- pencil on paper

November 02, 2022

සුවිශේෂී ජීවිත


ඔබේ දරුවන්ට
සුවිශේෂී ජීවිත දිනන්න වෙහෙසීමට
උනන්දු නොකරන්න
මෙවැනි වෙහෙසීම්
අගය කළ යුතු බව පෙනුනද
ඒවා මෝඩකම් පමණි
 
ඒ වෙනුවට
සාමාන්‍ය ජීවිතයේ අපූර්ව බවත් ආශ්චර්යයත්
සොයා ගැනීමට ඔවුන්ට සහාය වන්න
ඇපල් ගෙඩියක්, පෙයාර්ස් ගෙඩියක්, තක්කාලි ගෙඩියක්
රස බැලීමේ ප්‍රීතිය පෙන්වන්න
මිනිසුන් සහ සුරතල් සතුන් මියගිය විට
හඬන හැටි කියාදෙන්න
අතක් ස්පර්ශ කළ විට දැනෙන
නොතිත් හර්ෂය පෙන්වන්න
 
ඔවුන් වෙනුවෙන් සාමාන්‍ය දේ
ජීවමාන කරවන්න
එවිට ඔවුන්ට සුවිශේෂී දේවල්
ඉබේම පහල වනවා ඇත
 
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Do not ask your children' by William Martin
දිනමිණ වසත් සුළඟ 02.11.2022

sketch- ink on paper

October 26, 2022

ඒ කුඩා සත්ත්වයා



Translation of the poem 'That Little Beast' by Mary Oliver
කවිය නම්
ඒ කුඩා සොඳුරු සත්ත්වයා
හිතුවක්කාරයෙකි

ඌ ඇපල් ප්‍රිය කළ යුතුයැයි
මා පතන වෙලාවට
ඌ ඉල්ලන්නේම රතු මස්

ඉවුරු තෙර නිස්කලංකව
ඇවිදයනු මට රිසිවිට
ඌ කැමති
ඇඳුම් උනා පනින්නයි දියඹට

සරලම වචන ගෙන
වැදගත්ම දෙයක්
කියනු මට රිසි විට
ඌ පටන්ගනී කෑ ගසන්නට
මුළු ශබ්ද කෝෂයත්
එහි සියලු රූපකත්

ස්තූති කථාවක් කර
සියල්ල පෙළගස්වා
නිමකරනු මට රිසිවිට
ඌ හිනැහෙමින්
තම බූල් පා හතරින්
කාමරය වටා නටමින්
චෝදනා කරයි මා සාහසික බවට

ඒත්,
මුවග රැඳී සිනාවෙන්
මා නුඹ ගැන සිතන විට නම්
ඌ නිහඬව වාඩිවී
කොට්ට අත නිකට යට තබාගෙන
සවන්දෙයි නිසලව

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 
දිනමිණ වසත් සුළඟ 26.10.2022 

චිත්‍රය -කවිය පරිවර්තනය කළ ගමන්ම ළඟ තිබුණු Post it කොලයක ඇන්ද මගේ හිතේ මැවුණු 'කවිය නම් සත්ත්වයා' යි 🙂

October 19, 2022

අගුල් තිස් තුනක්



Translation of the poem '33 Locks' by Lang Leav

මේ නිසල, අලස නගරයට
මේ මුහුදුබඩ නිවසට
මා පැමිණ
දස වසකට ආසන්නය

මෙහි දොරවල් හයකි
ජනෙල් දාහතරකි
අගුල් තිස් තුනකි

නින්ද නොඑන රාත්‍රීන්වල
මා සිතින් එම අගුල් කරකවමි
ඇඳෙන් බැස
කවුළු වීදුරුවේ මුහුණ තබමි

කලක්, කිසිම කවුළුවක් නැති
කාමරයක විසුවෙමි
මා නිය අගින් සූරා
එහි සායම් වියැකූ තැන්
තවම දිස් වනවා ඇත

මම තවමත් ඇතැම්විට ඒ ගැන සිතමි
ඇතැම් රාත්‍රීන් වල
මගේ මනස
ඒ කාමරය වැනි යැයි දැනේ

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

දිනමිණ වසත් සුළඟ - 19.10.2022 

Photo- Unsplash
 


October 12, 2022

විශ්වය පිළිබඳ න්‍යායන්

මා යම් යම් දේ
වෙනත් දෘෂ්ඨි කෝණයකින් 
දකින්නට උත්සාහ කරමිනි

මා ආහාරයට ගනිමින් සිටින
චොකලට් කැබලි සහිත, පීනට් බටර් තැවරූ
බනිස් ගෙඩියෙන් කොටසක්
මගේ බල්ලා ඉල්ලා සිටියි
 
බල්ලන්ට චොකලට් ඉතාමත් අගුණ බැවින්
ඌට එය දිය නොහැකි බව
මා දන්නා මුත්
ඌ ඒ බව නොදනී
 
අමනාපයෙන් මුහුණ දිගු කර ගනිමින්
ඌ සාලුවක් සේ
මගේ පාදය වටා එතෙන්නේ
පාන් කැබැල්ලෙන් ඉතා කුඩා කොටසක් හෝ
ඌට දෙන ලෙස
මට ඒත්තුගන්වන්නට මෙනි
 
මා ඊට යටත් නොවූ විට
ටික වෙලාවකින්
පියානෝව යට ඈත කෙළවරකට
ඌ යන්නේ
දුක්මුසුව, කළකිරීමෙනි
 
මා මගේ බල්ලාට සුදුසුම දේ
ගැන දන්නා අයුරින්ම
මේ විශ්වයත් මට සුදුසුම දේ
දන්නවා ඇතැයි සිතමි

මගේ මුළු ආත්මයෙන්ම යමක් පතද්දී
විශ්වය එය මට නොදී
තමන්ටම මෙලෙස කියාගනු ඇතැයි සිතමි
 
"පිස්සු කෙල්ල, එයා හිතනවා මේ තමයි එයාට වුවමනා දේ කියලා
ඒත් මේකෙන් කොයිතරම් වේදනාවක් ලැබේවිද කියලා එයා දන්නේ නැහැ.."

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Theories about the Universe' by Blythe Baird

Digital painting using oil brush tools from touch pad

දිනමිණ - වසත් සුළඟ 12.10. 2022





October 05, 2022

මේ මොහොත

Translation of the poem 'The Moment' by Linda Pastan

ඔබ නික්ම යාමට පෙර මේ මොහොතේදී
මට කිව හැක්කේ කුමක්ද?
ගිම්හානයේ පැහැදුල් ලා පැහැයන් මැකී යමිනි
ඔබේ සම මත වැටුණු හිරු එළිය
වියැකෙමින් තිබුණත්
තවමත් මගේ මුවට උණුසුම් ව දැනේ

පත්‍රවල පැහැයන්
තද පැහැයට හැරෙද්දීම
ශාරදය නම් පිල් මාරු කරන්නා
වනයේ කෙළවර කල්මරමින් සිටී.
අප දෙපා පාමුළින්ම
ලෝකය නිවෘත්තියෙන් නිවෘත්තියට
ගමන් කරමින් ඇති බව
මට දැනේ

ආලෝකය එක්ක සම්බන්ධ වීම
සෙවනැලි හැඳිනීමක
පූර්වකල්පනයක් බව
රොත්කෝ කියා ඇත
ඔහු අදහස් කළේ
අප දෙදෙන
ගිම්හානය පුරාවටම
මේ මොහොත එනතුරු බලාසිටීමද?

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ වසත් සුළඟ- 05.10.2022
photo - Autumn in Melbourne


October 01, 2022

කළු කබායේ හිඩැස්

මරණයට අධිපති මහත්මයාණෙනි
කියන්න සතුටුයි මට
ඔබේ දිගු කළු කබායේ
හිඩැස් ඇති බව
 
වර්ෂ 1273දී මියගිය රූමි
ඔබේ කබායෙන් රිංගා
පැමිණියා අද මා මුණගැහෙන්නට
ඒ ඔහු ආ පලවෙනි වතාවත් නොවේ

ඔහු මා මතකයට ආවා මිස
වදනින් නො දෙඩූ බව සත්‍යයයි
එමෙන්ම ඔහුගේ උස මහත ගැන
තවම මා බිඳක් හෝ නොදනී
 
ගසක සෙවනක සිටි මට
ඒ ගස මෙන් ඔහු ජීවමාන බව හැඟුණි
එමෙන්ම
භෞතික වූ පමණින්ම
හැම දෙයක්ම මහඟු නැතැයිද දනිමි
 
මට කවියක් දෙකක් දී
රූමි යන්නට ගියේය
ටික වෙලාවක් තෘප්තිමත් සතුටින් ගත කළෙමි
ගස තුළද මට දැනුණේ ඒ සතුටමයි
මෙලොව හැම දෙයක්ම හවුලේ බෙදා නොගැනේ ද?
ඔහු දුන් එක් කවියක්, ගසක් ගැන ලියවුණකි
එබැවිත් ගසටත් ඊට හිමිකමක් දැනෙන්නට ඇත

ඉතින්
මරණයට අධිපති මහත්මයාණෙනි
කිසිම අපහසුවකින් තොරව
ඔබේ දිගු කළු කබායෙන්
රහසේම පිටතට පැමිණෙන ඔහු
රූමි ය.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'I Am Pleased to Tell You' by Mary Oliver

photo - Unsplash
දිනමිණ- වසත් සුළඟ 28.09.2022
http://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=db806455




September 21, 2022

සයුරෙන් ජනිත දිය බිඳු

ජීවිතය
කන්දක් නගින, බෑවුමක් බසින
තරණයක් නොවේ
කඳු මුදුනට ළඟා වූ පසු
එළඹෙන්නේ පසුබෑමත්, මියයෑමත් නොවේ

අප
සයුරෙන් ජනිත
දිය බිඳු වැනිය
මුදු වැස්සක් ලෙසින්
පොළොවෙහි විසිර
දියපාරක් වී, දොළක් වී,
අවසානයේ සවිමත් ගැඹුරැති නදියක් ලෙසින්
ස්පර්ශිත හැම දේම පෝෂණය කර
අපි නැවත සයුරු නිවහන වෙත ඇදෙමු

වියපත් වීම ගැන කියා ඇති
අලුත් මිත්‍යාවන් පිළිනොගන්න
ඔබ පසුබාමින් නොවේ
ඔබ පලක් නැති කමින් මැකී යන්නේද නොවේ
ඔබ නුවණ ඇත්තෙකි
ඔබ නදියක ගැඹුරුම, පොහොසත්ම තැනයි

ඉඳහිට ගං ඉවුරක හිඳ
ගං දිය දෙස අවධානයෙන් බලා සිටින්න
එය ඔබට ජීවිතය ගැන කියාදෙනු ඇත

පරිවර්තනය හෙල්මලී ගුණතිලක
Translation of the poem "We Are a River" by Lao Tzu

දිනමිණ 21. 09.2022 - වසත් සුළඟ
http://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=ec1f2f41

Sketch- watercolour on paper
 

March 30, 2022

කවියෙක් සමාව ඉල්ලයි

















මා අතින් නොලියවුණු කවි ගැන
සමාව දෙනු මැන මට

උත්ප්‍රාසයෙන් අවුරා දැමූ
කේන්තියෙන් පාගා දැමූ
ආත්ම- ආරක්ෂාවට පිළිකෙව් කළ
බිය නිසා නොසලකා හළ
ඒ කවි සියල්ල ගැන

නොතේරුම්කමින්, බියෙන් අන්ධව
නොතැකුවෙමි ඒවා මම
ඒ නොලියූ කවි
දස අත මහා ඝෝෂා කර
දිවා රෑ මා සොයා ආ නමුත්

පළවා හැරියෙමි ඒ හැම
ඒවාට සැරසෙන්නට හැකිව තිබුණු වර්ණ
පළඳින්න ඉඩ නොදුන්නාට
මට සමාවෙන්න
අඳුරේ හෙලූ ඒවායේ මුහුණු ගැන
මට සමාවෙන්න
නොලියූ පද පේළි වෙතින් මිදෙන්නට
ඒ කවි එඩිතර වූයේ නැත

මා නිෂ්ක්‍රියව ගත කළ හැම පැයකදීම
නොසලකා හරිනු ලැබ
කවියක් මියගොස් ඇත

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

A Poet asks for Forgiveness- Fay Zwicky

වසත් සුළඟ 30.03.2022
https://epaper.dinamina.lk/Home/ShareImage...

photo- Pixabay

February 02, 2022

සම්බන්ධය




Translation of the poem The Affair by Katherine Gallagher
 
පුරුද්දක් තිබුණා ඔහුට
ආ විගස, ඇඳුම් උනමින්
ඔරලෝසුව බලන්නට

ඔහු පැයකින් දෙකකින්
යන්නට යන බව
ඈ දැන සිටියා
නොබලාම ඔරලෝසුව

ඔහුගේ ඒ පුරුද්ද
සුපුරුදු ලෙස ඔහු ආපිට යන බව,
කෑමට ගෙදර යන බව,
දන්වන පණිවිඩයක් යැයි
දැන සිටියා ඇය.

සුරක්ෂිතව මෙසේ
වසර ගණන් ගතවිය හැකිව තිබිණි.

බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම
එය නොසෑහෙන තරම් වූවත්
යම් තරමක දෙයක් විය

එය කොයිතරම් නොසෑහේදැයි
වැටහුණා ඇයට
ඇගේ උපන්දිනය සිහිවී
ඔහු මල් කළඹක් එවූ දා
ඈට හැඬුම් ආ විට

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
දිනමිණ වසත් සුළඟ - 02.02.2022 


January 06, 2022

කාලය


Translation of the poem 'Time does not bring Relief ' by Edna St. Vincent Millay

ගෙවීයද්දී කාලය
ලැබේ යැයි සිත සැනසුම
මුසාවකි ඒ ඔවදන

ඇදහැලෙන මෝසම මැද
ඔහු නැතිව වැළපේ සිත
උදම් රළ වියැකෙන විට
ඔහු යදී උමතු ව ගත

පැරණි හිම කැටි දියවේ
බෑවුමක, දුර කඳු මත
ගෙවුණු සෘතුවක තුරු පත්
දැවී අළු වෙයි මඟතොට
එහෙත් තවමත් බරැතිව
නොමැකී හදේ පෙර ලෙස
ගෙවුණු වසරක ප්‍රේමය

සිය දහස් තැන් ඇත තව
ඔහුගේ මතකය උතුරන
යනු බැරිව පය පැකිලෙන

ඔහු නොගිය යම් තැනකට
මහත් සතුටින් එළඹෙමි
“ඔහු ගැන මතක නැත මෙහි!”
සිත සහනයෙන් මුමුණමි
එහෙත් සසැලී නවතිමි
පැරදුණු සිතින් ලතවෙමි
අමතක කරනු රිසියෙන්
ඔහු ගැන සිතා ඇත යළි

කිසිදා නොසිටි තැනකට
සිතුවිල්ලක් ව ඔහු ආ හැටි!

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
දිනමිණ වසත් සුළඟ- 05.01.2022

Photo- Unsplash




December 10, 2021

උපදෙස්


 

 

 

 

 

 

 

 

 

-උපදෙස්-
Translation of the poem 'Instruction' by Linda Pastan


ඔබේ වේදනාව
දෑතට ගෙන නළවා
අඳුරු කුටියක එය නිදි කර තබා
රහසේම ඉන් පිටව පැමිණිය යුතුය.


එවිට, මොහොතකට
සැනසිල්ලේ හිස් බව
ඔබට දැනෙනු ඇත 


එහෙත් ඒ කුටිය තුළ
ඔබේ වේදනාව
යළි ඇහැරෙමිනි 


ඉක්මණින්ම නැවතත්
එය ඔබේ නම කියා
අඬගසනු ඇත.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
දිනමිණ වසත් සුළඟ - 08.12.2021
https://epaper.dinamina.lk/Home/ShareImage...

November 24, 2021

තනි ඉරක ඇවිදීම

Translation of the poem Walking at Noon | Nicolette Stasko


වසන්තයට කිට්ටු දවසක
කෙටි දුරක් ඇවිදිද්දී
පෙනෙන දසුන් කෙතරම් අපූරු ද

අයෙක් ගල් පවුරකට පිටදී
හිරු රැස් නාන්නේ
ඵල පිරුණු රට දෙහි ගසක් මෙනි

පෙම්වතුන් දෙදෙනෙක්
දෑත් නොඅල්ලාම
ඉතා උද්යෝගයෙන්
එකිනෙකා වෙත නැඹුරුව සිටී
ඔවුන්ගේ හාත්පස
උයන පුරා මල් පිපෙමිනි

තරුණ කතක්, තනිවම
දේවදාර ගසක සෙවනේ
ලී කොටයක් මත හිඳ
ලිපියක් කියවමිනි

ගලාහ් කුරුල්ලන් මෙන්
රොක් වෙන සිසුන්
දොඩමින්, සැන්විච් පෙති කමිනි

මා පසු කර යන
බයිසිකල්ද, දුවන්නන්ද
බොඳවී පෙනේ

විශාල ගිරවෙක්
විදිලියක් සේ ඉගිල යයි

මම
ඔවුන් අතරින්
දළ වශයෙන් තනි ඉරක ඇවිදිමි

තව කෙනෙක් දකිනු ඇත්තේ

ලෙලෙන දිගු වැහි කබායක් පැළඳි
එතරම්ම තරුණ නැති කාන්තාවක් බවයි

ඈ සිනාසෙමිනි 

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


දිනමිණ වසත් සුළඟ 17.11.2021  

https://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=19b66508

Photo- summer in Ballarat VIC