Showing posts with label විදෙසක ලිවිසැරිය. Show all posts
Showing posts with label විදෙසක ලිවිසැරිය. Show all posts

July 11, 2026

තටු සලා පියඹන්න කතුන් හද දිරි වඩන සෙසීලියා අහර්න්


ජීවිතයේ එක්තරා යුගයකදී කෙනෙකු අතින් සිදුවූ වැරදීම් වෙනුවෙන් මුලු ජීවිත කාලයම කැප කර වන්දි ගෙවිය යුතු නැති බවත්, තමන්ගේ දෛවය තීරණය කරගත යුත්තේ තමාම බවත් අපට මතක් කර දෙන නිර්මාණයකි, සෙසීලියා අහර්න් ගේ ‘පේපර් හාට්’ නවකතාව. ග්‍රාමීය අයර්ලන්තය පසුබිම් කරගත් මෙම කතාව හදවතට සමීප, සරල භාෂා රටාවකින් ලියවී තිබේ. ඉන් විස්තර වන්නේ ළාබාල වියේදී වියවුල් රැසකට මුහුණ දී තම දිවිය ගැන තීරණ ගැනීමේ වරම අහිමි කරගත් ‘ෆිලිපා’ නම් තරුණිය, පසු කාලීනව තමන් වෙනුවෙන් පෙනී සිට සිය අනාගතයේ පාලනය සතු කරගත් ආකාරයයි. 

සෙසීලියා අහර්න් ලේඛිකාව මේ නවකතාව පුරාවට රූපක භාවිත කරමින් එහි විස්තරයට අලුත් මානයන් දෙන්නීය. ඔරිගමි කඩදාසි නිර්මාණයේ යෙදෙන මෙහි කතා නායිකාව තම සිත් රිදවීම් සහ රහස් සියල්ල ලියූ කඩදාසිවලින් හදවත් සහ විවිධ රූප සකසමින් සඟවා තබයි. පවුලක් තුළ පවා ඇයට දැනෙන තනිකම, අසරණ බව මේ සැඟවීම් තුළින් හුවා දැක්වේ. එමෙන්ම ඔවුන් වෙසෙන නිවසේ බිත්තියක ක්‍රමක්‍රමයෙන් පැතිරීයන ඉරිතැළීම, තමන් වටා පවතින දැඩි පාලනයෙන් මිදීමට ෆිලිපා ගේ ඇති කැමැත්තට සමගාමීව ඉස්මතු කර ඇත. මීට අමතරව කුඩා ගමකට සීමා වූ තරුණියකට ඉන් මිදී ලෝකය වෙත පියාසර කරන්නට මඟ පෙන්වන්නේ විශ්වය අධ්‍යයනය කරන නිරීක්ෂණාගාරයක සේවයේ නියුතු අයෙකු වීමද මෙම නවකතාවේ සුවිශේෂ ලක්ෂණයකි. 

‘පේපර් හාට්’ නවකතාවේ ප්‍රධාන චරිත වල මනෝභාවයන් ඔස්සේ සමාජයට පණිවිඩයක් දීමටද කතුවරිය උත්සාහ කර තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන ෆිලිපා, තාරුණ්‍යයේදී තමා අතින් වූ වරදක් නිසා නිරතුරුව දැඩි වරදකාරී බවකින් පෙළෙන තැනැත්තියකි. මේ හැඟීම අවියක් කරගනිමින් ඇයගේ පවුලේ සෙසු සාමාජිකයෝ ඇයට තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීමට ඉඩ නොදෙමින් ඇයව නිරතුරුව පාලනය කරති. ෆිලිපා ගේ මව ජෝසෆින් ද මේ කතාවේ ප්‍රබල, ආඥාදායක චරිතයකි. තමන්ට නිවැරදි ලෙස දැනෙන හැම දෙයක්ම සැබවින්ම ඒ ඒ අවස්ථාවට සුදුසුම දේ නොවන අතර ඉන් යහපතකට වඩා හානියක් වුව සිදුවිය හැකි බව ජෝසෆින් ගේ චරිතයේ දිගහැරුම අපට නිරතුරුව සිහි කැඳවයි.

‘පේපර් හාට්’ යනු හුදෙක් ආදර කතාවක්ම පමණක් නොව, තමන් වටා සමාජය සහ පවුල විසින් ඉදිකර ඇති අදෘශ්‍යමාන පවුරු බිඳ දමා, තමාගේ සැබෑ අනන්‍යතාවය සහ නිදහස සොයා යන ඕනෑම කාන්තාවකට දිරියක් සපයන, සර්වකාලීන වටිනාකමකින් යුතු විශිෂ්ට නිර්මාණයකි. බාධක මැඬ, ආදරය සහ මාතෘත්වය වෙනුවෙන් නැගී සිටීමට කිසිවිටකත් ප්‍රමාද නොමැති බව කතුවරිය මේ මඟින් අපූරු ලෙස පෙන්වා දෙයි.

අයර්ලන්තයේ උපන් සෙසීලියා අහර්න් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. විසිඑක්වෙනි වියේදී ප්‍රකාශයට පත් කළ ඇගේ පළමු නවකතාවත්, එම වසරේම පළ වූ ඇගේ දෙවෙනි නවකතාවත් පසු කාලීනව අති සාර්ථක සිනමා නිර්මාණ බවට පත් වීම නිසා ඇය අන්තර්ජාතික කීර්තියට පත් වූවාය. මේ වන විට සෙසීලියා අහර්න්ගේ නවකතා භාෂා 37කට පරිවර්තනය වී, පිටපත් මිලියන 25ක් පමණ අළෙවි වී ඇත. පේපර් හාට් ඇගේ විසි එක් වෙනි නවකතාවයි. 

සෙසීලියා අහර්න්ගේ නිර්මාණ සතු සුවිශේෂී ගුණයන් වන්නේ ඒවා තනිකම, ආදරය සහ බලාපොරොත්තුසහගත බව ආදී මිනිස් හැඟීම් ඉතා සූක්ෂම ලෙසත්, සංවේදී ලෙසත් ඉදිරිපත් කිරීමයි. "පේපර් හාට්" නවකතාව තුළින්ද ඇය එම සුපුරුදු ආකර්ෂණීය ශෛලිය මැනවින් පවත්වා ගෙන ඇත.

- හෙල්මලී ගුණතිලක 


Paper Heart- Cecilia Ahern (2025)
Harper Collins Publishers

සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය -12.07.2026

 


March 17, 2026

දිවි මංපෙත නොපෙනී යන සීමා සිත්තමට නඟන පෝල් තෙරෝ



හැම ජීවිතයකම සියලු දේ නොපෙනී යන එක්තරා ලක්ෂ්‍යයක් ඇත. එනම්: ඒ දිවිය හරහා දිවෙන සියලු රේඛා අභිසරණය වී, ඉන් ඔබ්බට කිසිත් නොපෙනෙන සීමාවයි. එවන් අවස්ථාවකට එළඹුණු විට ඔබ ජීවිතයේ ගන්නා තීරණ කොයි ආකාරයේ ඒවා විය හැකිද? ලේඛක පෝල් තෙරෝගේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෙටිකතා එකතුව විවිධ ජීවිතවල මෙවැනි නොපෙනී යන ලක්ෂ්‍යය ගැන කතා කරයි. ඒ තේමාව ඔස්සේ හාස්‍යය, භීතිය, සහකම්පනය, කුතූහලය ආදි විවිධ සංවේදනා දනවමින් ඉදිරිපත් වන මේ කතා දහඅට, පාඨකයා විචිත්‍ර සාහිත්‍යමය ගමනක කැඳවාගෙන යෑමට සමත් වෙයි.

1941දී අමෙරිකාවේ මැසචුසෙට්ස්හි උපන් පෝල් තෙරෝ, තරුණ වියේ පටන් සංචාරය ප්‍රිය කළේය. වසර ගණනාවක් උගන්ඩාව, සිංගප්පූරුව සහ එංගලන්තය ආදි රටවල විශ්වවිද්‍යාලයන්හි දේශක තනතුරු හොබවා ඇති ඔහු, තවත් බොහෝ රටවල සංචාරය කර ඇත. මේ රටවල අත්දැකීම් ඇසුරෙන් ලේඛනයේ යෙදී, ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ චාරිකා සටහන් ලේඛකයකු හැටියටයි. 1975 දී ඔහුගේ ‘ද ග්රේට් රේල්වේ බසාර්’ නම් චාරිකා සටහන් පොත එළිදැක්වීමේදීම එහි පිටපත් මිලියන එකහමාරක් අලෙවි වූ බව සඳහන් වේ. වසර කීපයක් තුළ මෙවැනිම තවත් පොත් කිහිපයක් ලිවීමෙන් අනතුරුව ඔහු අමෙරිකාවේ ප්‍රසිද්ධතම චාරිකා සටහන් ලේඛකයා ලෙස විරුදාවලිය ලැබුවේය.

2025 ජනවාරි මස පළ වූ තෙරෝගේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෙටිකතා එකතුවද එක්තරා ආකාරයක චාරිකා සටහනකි. එහි කතන්දර ඔස්සේ ඔබට හවායිහි පැරණි උක් වගා බිම් හරහා ඇවිද යන්නට, සැම්බියාවේ දුෂ්කර පාසලක ගුරු නිවෙසක වෙසෙන්නට, අමෙරිකාවේ බොස්ටන්හි පල්ලියක පසු පෙළේ අසුන් ගන්නට, යාත්‍රාවක නැඟී මැලේසියාවේ කෝටා කිනබාලු මුහුදු තීරය තරණය කරන්නට ඉඩ හසර ලැබේ. එහෙත් කතුවරයා මේ කතන්දරවලදී වදනින් අප ඉදිරියේ මවා දෙන්නේ ඒ ඒ තැන්හි භූ විෂමතා නොව, මිනිස් හැසිරුම්වල විචිත්‍ර බවයි. එක්තරා ආකාරයකට මේ කතන්දර හැම එකක්ම යම් අවසානයක් ගැන කියයි. ඒවා වයෝවෘද්ධ බව හා බැඳුණු තනිකම, අහිමිවීම් හා මරණය ගැන කතා කරයි. තනිකමේ අන්තයට ගිය කෙනකු තෝරාගන්නේ මරණයද, අලුත් ජීවන සගයෙක්ද? සියල්ල අහිමි වූවකුට පළි ගැනීමට තරම් මානසික ඒකාග්‍රතාවක් තිබෙනු හැකිද? අප ස්වභාවධර්මය රකින්නේ නම් නිතැතින්ම ස්වභාවධර්මය අප රකිනු ඇතිද? ‘වැනිෂින්ග් පොයින්ට්’ කියවාගෙන යද්දී මෙවැනි ප්‍රශ්න නිතැතින්ම පාඨකයාගේ සිතේ ඇඳී මැකී යයි. 

මේ කෙටිකතා අතුරින් වඩාත්ම මා සිත් ගත්තේ අනපේක්ෂිත අවසානයන් සහිත කතන්දරය. සරලව සුන්දරව ගලා යමින් තිබී පාඨකයා වැරෙන් සොලවා කම්පනයට පත් කිරීමට ‘අඩෝබෝ’ සහ ‘හෙඩ්මාස්ටර්’ වැනි කතා සමත් වේ. කතාව තුළ සුරක්ෂිත බව මවා ගෙන ඇත්තේ අපම බවත්, අප සිත්වල මවා ගන්නා ලෝකය තරම් යථාව ඇතැම් විට සුන්දර නොවන බවත් ඒ කතන්දර මඟින් සිහි කැඳවාලීමට තෙරෝ සමත් වේ. තම ලේඛනයේදී පෙර කිසි කලෙක කෙටිකතා නොලියුවුණු තේමා තෝරා ගනීමට ඔහු දක්ෂයෙකි. ඔහුගේ ඇතැම් කතන්දර බොහෝ දිගු කෙටිකතාය. එහෙත් ඒවා තුළ ධ්‍යානයට සමවැදෙන කියවන්නාට ඒ බව දැනෙන්නේ වත් නැත. තෙරෝ මේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෘතියේ කෙටිකතා දහ අට හවායිහි සිදු වූ ඒවා, අන් තැන්වල සිදු වූ ඒවා සහ මතක සැමරුම් වශයෙන් තුන් කොටසකට බෙදා ඉදිරිපත් කරයි. මතක සැමරුම් කතන්දර සෙසු ඒවා තරම් ත්‍රාසයෙන් සහ කුතූහලයෙන් පිරුණු ඒවා නොවීම මේ පොතේ තරමක දුර්වලකමක් සේ පෙනුණද, ඒවායේ තේමා හා නිමිතිද කිසි සේත් එකිනෙකට සමාන නොවන බවද සඳහන් කළ යුතුය. පෝල් තෙරෝගේ විචිත්‍රවත් ලේඛන ශෛලිය නිසා ඔහුගේ ඇතැම් නිර්මාණ සලරූ බවටද හරවා තිබේ. මේවා අතුරින් ඔහු ලියූ ‘ද මොස්කිටෝ කෝස්ට්’ නම් නවකතාව චිත්‍රපටයක් හා මාලා නාටකයක් බවටද,  ‘ද ලන්ඩන් එම්බසි’ නම් ඔහුගේ කෙටිකතා එකතුව බ්‍රිතාන්‍ය රුපවාහිනී ජාලයේ කොටස් හයක මාලා නාටකයක් බවටද පත් කර තිබීම සුවිශේෂයි.’ මේ වෙද්දී පොත් හැටකට වඩා රචනා කර ඇති තෙරෝ බොහෝ කෙටිකතා රචකයන්ට වඩා කෙටි කතා සංග්‍රහ ලියා ඇති බව සඳහන්ය. 

තම දිවියේ අට වැනි දශකය ගෙවද්දීත් පාඨකයා සසල කර, මතකයේ රැඳෙන නිර්මාණ දායාද කිරීමට සමත් පෝල් තෙරෝ වැනි ලේඛකයන් නිසා සාහිත්‍ය ලෝකයේ විචිත්‍රත්වය සුරැකෙන බව මගේ විශ්වාසයයි.

-හෙල්මලී ගුණතිලක 

විදෙසක ලිවිසැරිය විශේෂාංගය, සිළුමිණ, 2026, මාර්තු 15


February 16, 2026

දාරක වියෝගයේ වේදනාව කටු තුඩින් ලියන අයියන්දේ - විදෙසක ලිවිසැරිය



මෙලොව කවර මවකට හෝ පියකුට වුව සිදු විය හැකි ලොකුම ඛේදවාචකය තමන්ගේ දරුවකු අහිමි වීම බවට විවාදයක් නැත. එය ඔවුන්ගේ මනසට කිසි දින සුව නොවන තුවාලයකි. ඉසබෙල් අයියන්දේ විසින් රචිත ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ නම් පොතට පදනම් වන්නේ දශක කිහිපයක් ඔස්සේ මෙලෙස එකිනෙකා අහිමි වූ දරුවන් සහ මවුපියන් කිහිප දෙනකුගේ එකට ඈඳුණු ජීවිත පිළිබඳ කතාවකි. 

“ලෙටීෂියා සතු වඩාත් බියකරු මතකය නම් රාත්‍රියක රියෝ ග්‍රන්දේ ගඟින් එතෙර වූ දිනයයි. එවේලේ ඇයගේ පියා රබර් ටියුබයක ආධාරයෙන් පා වෙද්දී, ඈ ලණුවකින් ඔහු වෙත ගැටගසා තිබිණි. ලෙටීෂියා එතෙක් පරිස්සම් කරගෙන තිබුණු, අඳුරේ පවා දිලිසෙන කුඩා කුරුසය සැඩ දියේ වැටී සැඟව ගියේ එදිනය. පසු කලෙකත් ඈ ඇතැම් රාත්‍රීන්වල බිය වී අවදි වූයේ ඒ බියකරු දිනයේ දැනුණු සීතල, ත්‍රාසය, අඳුර, නිහඬ බව, යාච්ඤා මිමිනුම් සහ ගං දියේ සැඩ රළ ළඟ ළඟම දැනීම නිසාය.” 

‘ද වින්ඩ් නෝස් මයි නේම්’ හි කතාන්දරය ගෙතෙන්නේ එකිනෙකාට කිසිම ඥාතිත්වයක් නැති සැමුවෙල්, ලෙටීෂියා සහ ඇනීටා වටාය. මේ තිදෙනාම තම ළමා අවධියේ විවිධ ආකාරයේ බිඳවැටීම්වලට ලක් වූ, විවිධ හේතු මත තම මවුපියන්ගෙන් වෙන් වීමට සිදු වුණු අයයි. ඒ හැම වෙන් වීමක්ම තමන්ගේ කිසිම වරදක් රහිතව, ඔවුන් කිසියම් ජාතියක්, ජන වර්ගයක් නියෝජනය කිරීම නිසා සිදු වූ ඒවාය. තනිකමේ සහ අසරණ බවේ පතුලක් නොපෙනෙන දුක ඔවුහු හොඳින් හඳුනිති. එමෙන්ම ඒ දුක් ජය ගැනීමේත්, ඊට අනෙකාට සවියක් වීමේත් ක්‍රම ඔවුහු ඉවෙන් මෙන් දනිති. මේ නිසා අවසානයේදී ඔවුන් එකිනෙකා වෙත බැඳෙන්නේ ලේ ඥාතිත්වයටත් වඩා සවිමත් බැම්මකිනි. 

“ඒ කතාබහ අතරතුරදී ඇති වූ දිගු විරාමයේදී ලෙටීෂියා කඳුළු පිසලන්නට වූ අතර, සැමුවෙල් තමන්ගේම අතීතය සිහියට නඟාගත්තේය. තම හදවතේ රහස් කුටියක සිර කර තිබුණු වේදනාත්මක මතක නැවත ඔහු වෙත වේගයෙන් ගලා එන්නට විය. ඒ කෑගැසීම්, දසත පැතිරුණු දුම්රොටු, තමන්ට දැනුණු බිය සහ දුම්රියපොළේදී තමාට සමු දුන්, ශෝකයෙන් පීඩිත තම මවගේ රුව ඔහුට යළි සිහි විය.”

අයියන්දේ මේ කතාව ඉදිරියට ගෙනයන්නේ එහි එක් එක් චරිතයේ දෘෂ්ටිකෝණයෙනි. මේ නිසා අවතැන් වීමේ පීඩාකාරි බව කොයි තරම් සංකීර්ණද යන බව මෙන්ම ඒ හැම කතාවකම හරය කොතරම් එකිනෙකට සමානද යන බව පෙන්වීමට ඈ සමත් වී තිබේ. මීට සමාන්තරව, මෙවැනි හඬක් නැති අවතැන් වූවන් වෙනුවෙන් කිසිම වාසියක් නොලබා, තම කාලය, ශ්‍රමය, ධනය කැප කර සටන් කරන කණ්ඩායම් ගැනත් ලේඛිකාව මේ කෘතියෙන් තතු මතු කරන්නීය. මේ අරමුණට කැප වූ විවිධ ස්වේච්ඡා ආයතනවල සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාත්, මූල්‍ය, නෛතික සහ සමාජීය දායකත්වය නිසාත් මේ පීඩිතයන්ගේ ජීවිත අංශුමාත්‍රිකව හෝ යහපත් අතට හැරෙන බව ඇය මේ කතාවෙන් පෙන්වයි. 

චිලී සම්භවයක් ඇති ඉසබෙල් අයියන්දේ 1942දී උපත ලැබුවේ පීරුහිදීය. ඈ පොත් 30කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති අතර, ඒවා භාෂා 42කට පරිවර්තනය වී ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා තිබේ. සාහිත්‍ය ලෝකයට ඇයගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙන් අයියන්දේ ගෞරව ආචාර්ය පදවි පහළොවකින් පිදුම් ලබා තිබේ. ලිවීමට අමතරව ඈ මානව හිමිකම් සුරැකීමේ අරමුණ වෙනුවෙන්ද තම කාලය වෙන් කරන අතර, ඇය අරඹා ඇති මානවවාදි පදනම ලොව පුරා පීඩාවට පත් කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් පෙනී සිටී.  

ඉසබෙල් අයියන්දේ තම පදනමේ කටයුතු ගැන පවසන මේ අදහසින් ඇයගේ ජීවන දර්ශනයත් ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ කතාවේ සාරයත් මැනවින් හුවා දැක්වේ:

“ඇතැම් විට අප සතුව ඇති සීමිත සම්පත්වලින් කළ හැකි දේ ක්ෂුද්‍ර වීම ගැන මම කම්පාවට පත් වෙමි. එහෙත් අප විසින් ලෝකය වෙත කරනු ලබන බලපෑම සංඛ්‍යාවලින් ගණනය කළ නොහැකි බව මගේ කණ්ඩායමේ සාමාජිකයෝ මට සිහිපත් කරති. අපගේ මෙහෙය මැනිය හැක්කේ ජීවිතවලිනි.”

හෙල්මලී ගුණතිලක

සිළුමිණ - විදෙසක ලිවිසැරිය 15.02.2026 

April 21, 2025

පරිසරයේ සෙනෙහෙවත් බව කවියේ සෞන්දර්යයට නඟන මේරි ඔලිවර්



කවියක් යනු සියුම් ලෙස මිනිස් සන්තානය ස්පර්ශ කළ හැකි බලගතු මායා යෂ්ටියක් බැව් කව් රස විඳින්නෝ දනිති. මේවා අතුරින් පරිසරයෙන් උකහා ගත් සෞන්දර්යයද, නැණවත්කම්ද එකට කැටි කර ගෙන සරල භාෂාවෙන් ලියවුණු කවි අප ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මේරි ඔලිවර්ගේ ‘ඩිවෝශන්ස්’ කවි එකතුව මට නම් මෙවැනි රස පිරි ආකරයක් හා සමානය.

වර්ෂ 1935දී අමෙරිකාවේ ක්ලේව්ලන්ඩ් ප්‍රදේශයේ උපන් මේරි ඔලිවර් කාව්‍යකරණයට පිවිස ඇත්තේ දාහතර වැනි වියේදීය. කටුක ළමාවියක් ගෙවා ඇති ඈ කවි ලිවීමට පෙලඹී ඇත්තේ සිය තනිකම දුරු කර ගැනීම සඳහාය. යොවුන් වයසේදී මෙන්ම පසුකාලීනවද මේරි ඔලිවර් තම කවි සඳහා නිමිති සපයා ගෙන ඇත්තේ අවට පරිසරයෙනි. තම නිවෙස අසල ඇවිදින්න යද්දී ඇස ගැටුණු ගහකොළ, පක්ෂීන්, පොකුණු සහ ඒවායේ නිවසන ජලජ සතුන්, තෘණ මල් ආදිය ඇයගේ හැම කවියකම පාහේ හිස ඔසවනු දක්නට හැකිය.

නිවෙසින් නික්ම
විවිධ දෑ බලන්න යමි

දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇයගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස

ඉහළට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව

බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය

බලා සිටිමි
නිසල දිය මත
තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු
(‘සමර් පොයම්’)

‘ඩිවෝශන්ස්’ කවි එකතුව දශක පහක් තිස්සේ මේරි ඔලිවර් ලියූ පැදි අතුරින් ඈ විසින්ම තෝරා ගත් කවිවලින් සමන්විතය. මෙහි කවි දෙසියයකට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර, ඊට ඈ 1963දී ලියූ කවි මෙන්ම 2015දී කළ නිර්මාණද ඇතුළත්ය. එකම කිවිඳියක මේ තරම් කාල පරාසයකදී කළ නිර්මාණ එකතුවක් රස විඳිද්දී පාඨකයා ඇයගේ ජීවන දෘෂ්ටියේ භක්තිවන්තයකු බවට පත් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. මේරි ඔලිවර් සියලු මනුෂ්‍ය හැඟීම් පරිසරයේ කෝණයෙන් දකින්නියකි. ඇයට අනුව නම් මිනිසුන් සහ සතුන් වෙන් කර අඳින ඉර අහසත් පොළොවත් වෙන් කරන කඩයිම මෙන් අස්පෘශ්‍ය රේඛාවකි.

ඒ රතු කුරුල්ලා
වෙන කිසිවකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනි ලමින්
මුළු සීත කාලය පුරා පැමිණීම ගැන
මම කෘතඥ වෙමි
(‘රෙඩ් බර්ඩ්’ කවියේ කොටසක්)

මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවිද?
ගංගා නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?

අන්තිමේදී මේ වද වීම් කිසිවකින්
කිසිම පලක් නැති බව වැටහුණු නිසා
මම එය අත්හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි
(‘අයි වොරීඩ්’ කවියේ කොටසක්)

ඩිවෝශන්ස් කෘතියේ කවි අතර තනිකම, ප්‍රතික්ෂේප වීම සහ මරණය යන තේමා ඔස්සේ කවි ද තිබුණත් එහි පොදු තේමාව ලෙස ඈ ජීවිතය කෙරෙහි දක්වන විස්මයත්, කෘතඥ බවත් පැහැදිලිය. ඉතා සරල දේ තුළින් දෙවියන් දකින ඈ ඒ දෘෂ්ටිය පාඨකයා තුළද ඇති කරන්නට වැර දරයි.

දෙවියන්ගෙන් අනන්‍යතා සහතික සොයමින්
මිනිසුන් වෙහෙසෙන්නේ ඇයි?
අඳුර බිඳී අරුණලු නැඟීමම ඊට ප්‍රමාණවත් නොවේද?
(‘අයි වේක් ක්ලෝස් ටු මෝනින්’ කවියේ කොටසක්)

අවට පරිසරයේ සෙනෙහෙවත් බවත්, කවියේ සෞන්දර්යයත් බොහෝ අවස්ථාවලදී තමාගේ දිවි බේරා දුන් බව ඈ තම නිර්මාණ ගැන කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ජීවිතයේ නේකවිධ කඩාවැටීම් හමුවේ නොවැටී ඉන්නට ඈ පන්නරය ලබා ඇත්තේ මේ අරමුණු දෙකෙනි.

ශෝකය රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත යෑම ගැන
කල්පනා කර බලන්න
මින් පෙර කිසි දිනක නොදුටු දෙයක් දකින්න

ඔබේ මහපටැඟිල්ලක් තරම් වූ
හිම පළඟැටියකුගේ
ටැම්බරීන් නාදයක් වැනි හඬ අසන්න

ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලකු
තම තටුවලින් දිය බිඳු විසුරුවන යුරු බලන්න
(‘ද ලීෆ් ඇන්ඩ් ද ක්ලවුඩ්’ කවියේ කොටසක්)

1984දී ‘පුලිට්සර්’ සම්මානයත්, 1992දී ‘නැෂනල් බුක් අවෝඩ්’ සම්මානයත් ඇතුළු ඇගයීම් රාශියක් දිනා ඇති මේරි ඔලිවර්, අමෙරිකාවේ වැඩිම කවි පොත් අලෙවියක් ඇති කිවිඳිය ලෙස නම් දරා සිටින්නීය. එරට අද්‍යතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන ලකුණක් ඉතිරි කළ කිවිඳිය 2019 වසරේදී ජීවිතයෙන් සමු ගත්තද, පරිසරය හා ඇය සතුව පැවති ගැඹුරු බැඳීමත්, පරම්පරා කිහිපයක පුළුල් රසික පිරිසකගේ හද බැඳ ගත් සරල කාව්‍ය රටාවත් තවත් බොහෝ කාලයක් පාඨක සිත් තුළ නොනැසී පවතිනු ඇත.

-හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
20.04.2025


පසු සටහන

දිනමිණ පුවත්පතේ කවි පිටුවේ 'විදෙස් කවිය' කියන විශේෂාංගයට මම අඛණ්ඩ ව පරිවර්තිත කවියක් යවපු යුගයක් තිබුණා. හැම සතියටම එක බැගින් අවුරුදු හතක විතර කාලයක් මම මෙහෙම කවි යැව්වේ ඒ පිටුවේ කතෘ, මගේ මිතුරියක් වන කාංචනා අමිලානිගේ ඉල්ලීමට. ඇත්තටම නම් සතිය ගානේ සිංහලට ගැලපෙන, පුවත්පතේ වචන සීමාවන්ට ගැලපෙන ඉංග්‍රීසි කවියක් හොයන එක ටිකක් අමාරු වැඩක්. ඒත් මම ඒ මුළු කාලයම ඒ කටයුත්ත බොහොම සතුටින් කළා. ගණන් කර කියන්න බැරි තරමට විදෙස් කවි කියවමින්, ඉන් සමහරක් පරිවර්තනය කරමින් මම ගිය ඒ නිර්මාණ චාරිකාව මගේ ජීවිතයත් පොහොසත් කළා වගේම වර්ණවත් කළා කියලා කියන්න පුළුවන්. මේ ගමනේදී මට නිතරම මුණගැහුණු කෙනෙක් Mary Oliver. ඇගේ කවි මම සෑහෙන්න ප්‍රමාණයක් පරිවර්තනය කරලා ඇති. ඒ වගේම අවට ලෝකයේ සුන්දරත්වයෙන්, සාමයෙන් ටිකක් මගේ ලෝකයටත් එකතු කරගන්න ඒවා හේතු වෙන්න ඇති.


අන්තර්ජාලයෙන් Mary Oliver. ගේ කවි කියෙව්වත් මුලදී ඇගේ පොතක් මගේ සතුව තිබුණේ නැහැ, අනෙක ඈ ලියා ඇති කවි පොත් වලින් වැඩි ප්‍රමාණයක් දැන් මුද්‍රණයේත් නැහැ. ඔය අතරේ දවසක මට මෙල්බර්න් පොත් සාප්පුවකින් gift card එකක් ලැබුණා. පුස්තකාලයක රැකියාව කරන මම ඊට අමතරව පොත් ලක්ෂ ගණනක් තියෙන මෙල්බර්න් නගරයේ පුස්තකාල ජාලයක සාමාජිකාවක්. ඒ නිසා මට මෙරට දී පොතක් මිළදී ගන්න ඕන වෙන්නේ හරිම කළාතුරකින්. (ලංකාවෙන් නම් සිංහල පොත් තොග පිටින් අරගෙන එන එක වෙනමම කතාවක්) අනෙක, පොතකට ආදරේ වුණත් ඒ පොත මගේ ළඟ තිබිය යුතුයි කියලා මගේ අදහසක් නැහැ. ඒ නිසා මේ gift card එකෙන් මිළදී ගන්න ඕන පොත ගැන මම සෑහෙන්න කල්පනා කළා. අන්තිමේදී මගේ මතකෙට ආවේ Mary Oliver. ඇගේ කවි නම් ළඟ තියාගෙන ආයෙත් ආයෙත් කියවන්න පුළුවන් බව මට මතක් වුණා. ඇගේ පොත් ගැන හොයද්දි මට Devotions පොත ගැන දැනගන්න ලැබුණා. ඒ දශක ගාණක් තිස්සේ ඈ ලියූ කවි අතරින් ඈ ම තේරූ කවි දෙසීයක එකතුවක්! ඉතින් මටම තෑග්ගක් හැටියට මීට වැඩිය ගැලපෙන වෙන මොනවාද? මම Devotions පොතේ අයිතිකාරිය වුණේ එහෙමයි.

Devotions පොත නිතරම අත පාතින් තියාගෙන, අහඹුව දිග ඇරලා, ඒ පිටුවේ තියෙන කවිය කියවන්න මම කැමතියි. ඒ හැම වතාවකම ජීවිතය ගැන, ලෝකය ගැන හිතේ මතක හිටින සලකුණක් ඉතිරි කරන්න Mary Oliver කිවිඳිය සමත් .

March 11, 2025

මනුසත් හැසිරුම් කදිමට විනිවිද දකින ඈන් ටයිලර්

“හැම විවාහයක්ම විවිධ අවධි පසු කරයි. ඒවා තුළ බොහෝ විට නැවත ඉපදීම් ඇත. ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දෙදෙනකු අතර කාල දෙකකදී හොඳ විවාහයක් සහ නරක විවාහයක් යන දෙකම පැවතිය හැකිය.”

අලුත් පොතක තේමාව වත් අන්තර්ගතය වත් නොදැන පාඨකයන් ලෙස අප එය තෝරාගන්නා අවස්ථාවක් ඇත් නම් ඒ, ඒ කතුවරයා පෙර නිර්මාණවලදී පා ඇති දස්කම්වල රස අප හඳුනන බැවිනි. මට නම් අමෙරිකානු ජාතික කතුවරියක වන ඈන් ටයිලර්ගේ පොත් ගෙන එන්නේ එවැනි හැඟීමකි. ඈන් ටයිලර් මානුෂීය හැඟීම් මනා සේ කියවන, පුද්ගල හැසිරීම් කදිමට විනිවිද දකින ලේඛිකාවකි. මිනිස් හැසිරීම්වල සංකීර්ණ බව සරලව සහ රසවත් ලෙස තම නිර්මාණ මඟින් විදහා පෑම ඇයගේ දස්කමයි. මේ, ඈ 2022දී ප්‍රකාශයට පත් කළ ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ නවකතාව ගැන සටහනකි.

ඈන් ටයිලර්ගේ සෙසු පොත් මෙන්ම ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ පොතද ලියවී ඇත්තේ පවුලක් තුළ දිගහැරෙන අතිශය සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීම පෙළගස්වමිනි. 1959 සිට 2020 දක්වා කාල වකවානුව ඔස්සේ දිවෙන මේ කතාව අමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ එක්තරා මධ්‍යම පාන්තික පවුලක් තුළ සිදු වන හැලහැප්පිලි, කඩාවැටීම්, දිනුම් සහ සුළු සුළු දිලියුම් මැනවින් විස්තර කරයි.

“එහෙනම් මෙහෙමයි දේවල් වෙන්නේ,” ඕ කීවාය. “පවුල්වල සාමාජිකයෝ මෙහෙම දේවල් තමයි එකිනෙකා වෙනුවෙන් කරන්නේ. ඇත්ත බව පිළිගන්න අපහසු දේවල් ටිකක් හැංගීම, ආත්ම වංචාවන් කීපයකට, ඒ වගේම කරුණාවන්තකම් කීපයකට ඉඩ දීම...”

“ඇයි පොඩි කුරිරුකම්?” ඔහු විමසීය.

“ඔව්, පොඩි කුරුරුකම්වලටත් ඉඩ දීම!” ඕ පිළිතුරු දුන්නාය.

‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතියේ කතානායක ගැරට් පවුල, පිටතින් බලද්දී සාර්ථක, ආදරණීය පවුලක් සේ පෙනුණද, එක් වහලයක් යට ජීවත් වන එහි සාමාජිකයෝ එකිනෙකාගෙන් වියුක්ත උප ඒකක වැනිය. ඔවුන් එකිනෙකාගේ අපේක්ෂා නොහඳුනන අතර, ඔවුන්ගේ සිතුම් පැතුම්වල පවා කිසිදු සමාන බවක් නැත. පවුලේ මව වන මර්සි ජීවිත කාලයක්ම චිත්‍ර ශිල්පිනියක වන්නට හීන දකිමින් උන් අයෙකි. ඇයගේ මේ සැබෑ නොවුණු සිහිනය තම දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේද දරුවන්ගේ ජීවිතවලට පවා විවිධ මට්ටමින් බලපෑ බව මේ කතාව ගලා යද්දී පැහැදිලි වේ.

ගැරට් පවුලේ එකම පුතු වන ඩේවිඩ් වැඩෙන්නේ තම පියා තමා නොරුස්නා බව අදහමිනි. මේ නිසා ඔහු නිරතුරුවම සිය පවුලෙන් දුරස්ව වෙසෙන්නට උත්සාහ දරයි. මෙවැනි කුඩා ඉරිතැළීම් බහුල මේ පවුලේ කතාව කියවන්නන්ගේ හදවත් තුළට කාවදින්නේ ඔවුන්ද ඒ පවුලේ සාමාජිකයන් බවට පත්කරමිනි.

මේ කතාවේ හැම පරිච්ඡේදයක් සමඟම ලේඛිකාව ගැරට් පවුලේ සාමාජිකයන් අතීතයේ සිට වර්තමානයට ගෙන එන්නීය. කියවන්නාද ඔවුන් සමඟම ඒ ගමන එන්නේ අලුතින් පවුල තුළ ඇති වන හැලහැප්පිලිවලට තමාද මැදි වෙමිනි. ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතිය ගැන කළ කතාබහකදී ඈන් ටයිලර් මේ චරිතවල විකාශය අපූරු ලෙස විස්තර කරන්නීය. පවුලක සාමාජිකයන් අතර ඇති ආදරය ඔවුන් එකිනෙකා හා නොකියන දේවල සහ එකිනෙකා වෙනුවෙන් නොකරන දේවල පවා ගැබ්ව ඇති බව එහිදී ඇය අපට සිහිපත් කර දෙයි. ඇතැම් විට තමා මවන චරිත තමගේ පාලනයෙන් තොරව හැසිරෙන බවත්, ඔවුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන තමාට වගකිව නොහැකි බවත් ඈ කියන්නේ තම චරිතයේද ඇති විනෝදයට බර පැතිකඩක් විවර කරමිනි.

වර්ෂ 1941දී අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ උපන්නියක වන ඈන් ටයිලර් 1964 සිට මේ වන විට නවකතා 24ක් පළ කර ඇත. ඇයගේ පොත් අතුරින් ‘ඩිනර් ඇට් ද හෝම්සික් රෙස්ටෝරන්ට්’ (1982), ‘ද ඇක්සිඩෙන්ටල් ටුවරිස්ට්’(1985) යන ඒවා ප්‍රබන්ධ සඳහා වන පුලිට්සර් සම්මානයට නිර්දේශ වූ අතර, ‘බ්‍රීදින් ලෙසන්ස්’ (1988) නවකතාව 1989 දී එම සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව මේ වෙද්දී ඈන් සිය ලේඛනය වෙනුවෙන් ‘මෑන් බුකර්’ ඇතුළු සම්මාන රැසක් හිමි කර ගෙන තිබේ. ඇයගේ 25 වැනි නවකතාව වන ‘ත්‍රී ඩේස් ඉන් ජූන්’ පසුගිය දා නිකුත් විය.



හෙල්මලී ගුණතිලක

විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය  09.03.2025



February 10, 2025

පාඨකයා නිසොල්මන් කරවන යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’

“සතුට යනු: නිරතුරුවම හෙට දවස, ඊළඟ මාසය හෝ වසර ගැන දෑස් දල්වා බලා සිටීම නොවේ. එමෙන්ම සතුට යනු: දෑත විදහා, එළඹෙන හැම දිනයක්ම අතීතයට එක් වීම වැළකීමට ගන්නා උත්සාහයද නොවේ.”

මේ, යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොතෙන් උපුටා ගත් කොටසකි. මේ ලේඛිකාවගේ නිර්මාණ කියවද්දී පාඨකයා නිසොල්මන් කරවන, කියවූ දේ ගැන යළි යළිත් සිතන්න පොලඹවන මෙවැනි වැකි නිරතුරුව මුණගැසේ.

යීයුන් ලී 1972 දී චීනයේදී උපන් කතුවරියකි. ඈ සිය රටේදී හිමි කරගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව අමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්‍රයෙන් පශ්චාද් උපාධියක් සම්පූර්ණ කර තිබේ. ඉනික්බිති ඊට හාත්පසින්ම වෙනස් මඟක් ඔස්සේ යමින් ඈ අමෙරිකාවේ අයෝවා සරසවියෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳවත් පශ්චාත් උපාධියක් ද සම්පූර්ණ කළ බව සඳහන් වේ. පසුකාලීනව තම විද්‍යා අධ්‍යාපන පසුබිම පසෙක ලූ ඈ අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේත්, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව ආචාර්ය ධුර හොබවා තිබේ.

2024දී ප්‍රකාශයට පත් වූ යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොත කෙටිකතා එකොළහකින් සමන්විත ය. මේ කතාවල තේමා එකිනෙකට හාත්පසින්ම වෙනස් වීම නිසා පාඨකයා ඊට නිරායාසයෙන් ආසක්ත වීම වැළක්විය නොහැකිය. උදාහරණයක් ලෙස: මෙහි ඇතුළත් ‘අ ශෙල්ටර්ඩ් වුමන්’ කෙටිකතාව අලුත උපන් බිලිඳුන් කෙටි කාලයකට රැක බලාගැනීම තම රැකියාව වූ අවිවාහක මැදිවයසේ කාන්තාවක ගැන ගෙතුණු එකකි. මතුපිටින් පෙනෙන දිනචර්යාවක විස්තරවලට යටින් ඒ කතාවේ පෙනී නොපෙනී පාඨකගේ සිත පාරවන්නේ ලෝකයේ කොයි රටකත් ගැහැනුන්ට උරුම වුණු අහිමිවීම්, හැරදා යෑම්, ප්‍රසවය හා බැඳුණු විශාදය වැනි වේදනාත්මක කාරණාය.

“තමන්ගේ ජීවිතයට මිතුරකු තරම් හද බැඳ ගැනීමට හතුරකුට හැකි බවත්, වෛරයක් නිසා දෙදෙනකුට සහෝදර බැම්මක් තරම් බැඳීමක් ඇති වන බවත් ඈ දැන සිටියාය. ජීවිතයට හමු වන හැම කෙනකුම අමුත්තකු ලෙස සලකා කටයුතු කළ හැකි අය වාසනාවන්තයෝ ය.” (- අ ශෙල්ටර්ඩ් වුමන්)

‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ මේ කෙටිකතා එකතුවේ ඇති තවත් කතාවකි. යොවුන් දරුවකුගේ දිවි නසාගැනීමකින් අනතුරුව ඔහුගේ මවුපියන් ජීවිතයට මුහුණදීමට වැර දරන අයුරු ඊට පාදක වී තිබේ. හද බිඳී තිබියදී නොවෙනස්ව කැරකෙන ලෝකයට අනුගතව දිවි ගෙවීමේ දුෂ්කර බව ඔවුන්ට දැනෙන අයුරින්ම පාඨකයාටද දැනෙන්න සැලැස්වීම ලීගේ ලිවීමේ දස්කමයි.

“ඇතැම් දිනවලදී ජියායු තම නිවෙස වෙත පැමිණ, එය ඉදිරිපස තම රථය නවත්වා ගරාජයේ දොර විවර කරන බොත්තම ඔබනු නොහැකිව අකර්මණ්‍යව සිටින්නීය. තවත් දිනවල ඈ වෙහෙස නොතකා, නොකඩවා නිවෙස පිරිසුදු කළාය; එළවළු කපන ලෑල්ල මත කඳුළින් පෙඟුණු ලූනු ගොඩක් පමණක් ඉතිරි වන තුරු උමතුවෙන් මෙන් ලූනු කැපුවාය. මේ කිසි දෙයක් මෙලෙස සිදු වීමට හේතු ඈ ප්‍රශ්න කළේ නැත. උමතු බවක් පෙනුණු හෝ නොපෙනුණු මේ ඕනෑම ක්‍රියාවක් අයත් වූයේ ශෝකය නම් නිර්වචනයටයි.” (- වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්)

මේ ලෙස නිර්මාණ ඇසුරෙන් පාඨකගේ සිත් ඇද බැඳ ගත් යීයුන් ලී, තම ජීවිතයේත් මහත් සේ හැලහැප්පීම්වලට ලක් වුණු තැනැත්තියකි. ඈ එක්තරා කාල වකවානුවකදී තදබලව මානසික අවපාතයට ලක් ව සිටියාය. ඇයගේ විශේෂත්වය නම් ඒ අත්දැකීම් ගැන තම නිර්මාණ මඟින් විවෘතව කතා කිරීමයි. ඉහත සඳහන් ‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ කෙටිකතාවත් ඈ 2019 දී ලියූ ‘වෙයා රීසන්ස් එන්ඩ්’ නවකතාවත් ඇයගේ දරුවකු දිවි නසාගැනීමේ වේදනාව නිසා උපන් නිර්මාණ බව සඳහනි. මීට අමතරව, ලී 2017දී ලියූ ‘මයි ෆ්‍රෙන්ඩ්’ නම් ස්වයං අපදානය ඈ මනසින් සුවපත් වීමේ චාරිකාව ගැන ලියවුණු කෘතියකි.

චීනයේ ගෙවූ ජීවිතයෙන් ලද අත්දැකීම්වලින් පෝෂණය වී, අමෙරිකාවේ අත්දැකීම්වලින් හැඩ වැඩ වුණු ලී ගේ නිර්මාණ, කියවන්නාට අලුතින් ජීවිතය දකින්න මඟ කියයි. ඇයගේ බොහෝ කෙටිකතාවල ප්‍රධාන චරිත, ඈ මෙන්ම චීනයෙන් අමෙරිකාවට සංක්‍රමණය වූ අයයි. මෙවැනි සංක්‍රමණිකයන් තම උපන් රටටවත්, පදිංචි රටටවත් සම්පූර්ණයෙන්ම මනසින් අයත් නොවී ගෙවන දෙබිඩි ජීවිතය ඈ තම නිර්මාණවලදී මනා ලෙස හුවා දක්වන්නීය. මේ කෙටිකතා එකතුවේ ‘අලෝන්’ නම් කෙටිකතාවේ ප්‍රධාන චරිතයත් මෙවැන්නියකි. තම ජීවිතයේ හිමිවීම් සහ අහිමිවීම්වල මූලයන් තේරුම්ගන්න වෙහෙසෙන ඈ, අපටද හුරු පුරුදු චරිතයකි.

“ජීවිතයත් මරණයත් අතර දේශ සීමාවේ අමතක වීම නම් නදියක් ඇති බව ජනකතාවල පැවසේ. එය හරහා ඇති පාලමක් මත සිහින මාතාව නම් කාන්තාවක් සිටින්නීය. ගඟ තරණය කරන සංචාරකයන්ට ඈ තේ බඳුනක් පිරිනමන්නීය. ඔබ මෙය පානය කළ පසු මරණයට යද්දී ජීවිතයේ මෙපිටින් ඇති සියලු දේ අමතක වී යනු ඇත.”
(- අලෝන්)

ස්වකීය නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනා ඇති මේ නිර්මාණකාරිය, 2023 දී විදෙස් ලේඛිකාවක ලෙස ලෝ ප්‍රකට ‘රෝයල් සොසයිටි ඔෆ් ලිටරිචර්’ සංගමයට තේරී පත් වී තිබේ. කෙටිකතාකරණයට අලුත් තේමා හඳුන්වා දෙන යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ වැනි කෙටිකතා සංග්‍රහයන් පාඨකයාගේ පරිකල්පනය අලුත් මානයකට රැගෙන යන බව ඒකාන්තය.

හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
08.02.2025

අලුතින් පණ ගැන්වුණු සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයට 'විදෙසක ලිවිසැරිය' නමින් තීරු ලිපියක් ලිවීමට මට ඇරයුම් කළ පුවත්පතේ උප කතෘ ජයත් පියදසුන් සොයුරාට මගේ ස්තූතිය හිමි වේ .