Showing posts with label ගී පද. Show all posts
Showing posts with label ගී පද. Show all posts

June 17, 2025

"ඉතින් මම ඉන්නවා..."




මෑතක ජනප්‍රිය වුණු සනුක වික්‍රමසිංහ ගේ 'ඉතින් මම ඉන්නවා' ගීතය අහන්නත් දකින්නත් ලැබුණු නිසා ඒ ගැන පුංචි සටහනක් හිතුණා. 

සනුකගේ සින්දුවක් මම 'හරියට' ඇහුව පළවෙනි වතාව මේක. මේ සින්දුවේ පද, තනු සහ ගායනය තුනම සනුකගෙන්. ඒක සුවිශේෂී දක්ෂකමක්. මොකද ඒ වචන බොහොම හැඟීම්බරයි, ඒ වගේම ලගන්නාසුළුයි. තනුවත්, හඬත් ඊටම ගැලපෙනවා.

අලුතෙන් නිකුත් වෙන සින්දුවලට අරුත්බර visual එකක් එකතු කරන එක මෑත කාලේදී ඇතිවෙලා තියෙන හොඳ ට්‍රෙන්ඩ් එකක්. පහුගිය කාලේ ජනප්‍රිය වුණු සින්දු කීපයක්ම මේ ක්‍රමය අනුගමනය කරලා තිබුණා. සමහර වෙලාවට සින්දුවේ පද යටපත් වෙන තරමට රූප රාමු ප්‍රබල වුණු අවස්ථා නැත්තෙත් නැහැ. අද කාලේ visual එකක් නැතිව සින්දුවක් මාකට් කරගන්න බැරිවත් ඇති. 

මේ සින්දුවටත් බොහොම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් එකතු කරගෙන කළ visual එකක් තියෙන්නේ. පාසල් දැරියක් තරුණ ගුරුවරයෙක් ගැන හිතේ ඇතිවුණු අහිංසක crush එකක් සහ නොහිතූ විදිහට ඒක නිසා ඇතිවෙන ලොකු ප්‍රශ්නයක් මේ සින්දුවේ පුංචි ඉඩේ දී පෙන්නනවා. ඒ වගේම ඒ තරුණ ගුරුවරයා ඒ ප්‍රශ්නය ඇතිවෙන්න කළින් ඉඳන්ම anxiety, panic attacks වගේ දේවල් වලට ලක් වෙන කෙනෙක් බවත් බොහොම සියුම් ව පෙන්නනවා. පුංචි සිද්ධියක් නිසා මහා විනාසයක් වෙන්න පුළුවන් හැටි, ජීවිත පවා විනාස වෙන්න පුළුවන් හැටි හැබෑම දක්ෂයෝ ටිකක් එකතු වෙලා අපූරු නිර්මාණයකට එකතු කරලා. ධනුෂ්ක ඩයස්, කුෂන්‍යා ෆොන්සේකා, චන්ද්‍රලේඛා පෙරේරා රංගනයෙන් දායක වෙන මේ visual එක උසස් මට්ටමක වැඩක් බවට විවාදයක් නැහැ.

දැන් මේ ටික තමයි ඒ සින්දුව ගැන unpopular opinion වර්ගයට වැටෙන මගේ අදහස. මට නම් සින්දුවක වචන- තනුව- හඬ තමයි වැදගත්ම. visuals ඕනෑම නැහැ. සින්දුවේ පද වලට visual එකකින් බලෙන් අර්ථකථනයක් ඔබ්බනවට මගේ නම් වැඩි මනාපයක් නැහැ. මේ සින්දුවේ පද බොහොම හිත කම්පනය කරන සුළුයි, ඒ වගේම අනන්‍යයි. ඒවාට පවතින්න, ප්‍රසිද්ධ වෙන්න රූප රාමු අත්‍යවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස.

තමන් ආදරෙන් ඇදහූ රුවත්, හිතේ රැව් දුන්නු හඬත් නොඇසෙන නොපෙනෙන මානෙක ඉන්න වීම කෙනෙකුට කරන්න වෙන අමාරුම දෙයක් වෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ වගේ දුෂ්කර දේවල් වලින් අපිට ගැලවීමක් නැහැ. 

අනේ මං ආදරෙන් ඔපලූ
හඬින් රැව්දෙයි වදන් තෙපලූ
ඉතින් මම ඉන්නවා
නුඹේ හඬ නෑසෙනා මානේ

අනේ මං ආදරෙන් ඇදහූ
රුවින් රුදු වේදනා කැඳවූ
ඉතින් මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ



//සදාතන පෙම් කතා අතරේ අපේ පෙම මැකීයයි කතරේ// මේකත් මේ පද අතරේ තියෙන බොහොම සිත රිදවනසුළු කාරණාවක්. ලෝකයේ තියෙන සදාකාලික පෙම් කතා අතරේ සමහර අයගේ කතන්දර වටිනාකමක් නොලබාම මැකිලා යනවා. ඒත් ඊට සම්බන්ධ අයගේ රිදුම නොවෙනස් ව පවතිනවා. //නුඹේ සුවඳින් පිරී හසරේ හඹා එමි හැම භවේ සසරේ// අන්තිමට ඉතුරුවෙන්නේ එහෙම ප්‍රාර්ථනාවක් විතරයි.

visual එක කොයිතරම් ලස්සන වුනත් මම නම් මේ සින්දුව අහන්න කැමති රූප රාමු නැතිව. සනුක ගේ පද, තනු වගේම හඬ හොඳටම හිතට දැනෙන්නේ එතකොටයි. මේ සින්දුවේ තරමක 'රූකාන්තමය' ලක්ෂණ තියෙන බවට සනුකට පොඩි චෝදනාවක් කරලා තියෙනවාත් මම කොහේ හරි දැක්කා. එහෙම බවක් නම් ගීතය අහද්දී දැනෙනවා තමයි. ඒත් මම නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ. එකිනෙකා ඇසුරේ ඉන්දැද්දී නිර්මාණකරුවෝ එකිනෙකාගේ ආභාෂය ලබන එක සාමාන්‍ය දෙයක්. කොහොම කළත් සනුකත්, රූකාන්ත ත් දෙන්නෙක් මිසක් කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ, ඒ වගේම මේකට සනුකට රූකාන්තගේ ආශිර්වාදය ලැබුණු බව පැහැදිලියි.

හිත කම්පනය කරන්න පුළුවන් සින්දු වලට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මේ සින්දුවත් අනිවාර්යයෙන් ඒ වර්ගයට අයිති වෙනවා.
.
.
.

සඳේ මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ හඬ නෑසෙනා
අසල්වැසි තාරුකා මඬලේ
.
.
.

ඉතින් මම ඉන්නවා
Lyrics - Sanuka Wickramasinghe
Composition, Music Arrangement, Programming & Production - Sanuka Wickramasinghe
Mix & Master - Sanuka Wickramasinghe
Music Video Created by Chamil Pathirana

October 21, 2024

"එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී"

කාලෙකින් ලස්සන සින්දුවක් අහන්න ලැබුණා. visual එක වෙනමත්, වචන වෙනමත්, දෙකම එකටත් රස විඳින්න පුළුවන් නිර්මාණයක්.



ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳගමි...

රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි...

හමුවන්න යැයි සසර නොකියන
කරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි....

Artiste  |  Chapa Jayaruk
Lyrics  |  Himali Weerakkodi
Melody & Music  |  Mahesh Vithana
Video Director | Pramod Rathnayake
Cast
Uddika Premarathna
Malini Fonseka

June 23, 2016

ලා ඉරෙන් ඉල්ලා | නීලා වික්‍රමසිංහ

 වසරේ පාසලේ වාණිජ උළෙල සංවිධානය කළේ අප ය. 'අප' නම් වූයේ අතලොස්සක් වූ කෙල්ලන් රංචුවකි. සුපුරුදු ලෙසට අනන්ත අප්‍රමාණ බාධා තිබිණි. අතන මෙතැන දුවමින්-අවම නිදහස, අවම අරමුදල් ඇතිව සිදු කළ මේ කටයුත්ත අතුරේ යාමකට සමාන විය. මේ වාණිජ උළෙලට අංග රැසක් ඇතුළත් වී තිබුණද, උත්සවයේ අවසාන අංගය ලෙස වාණිජ අංශයම එක් වී සමූහ ගීයක්ද ගැයිය යුතු යැයි යෝජනා වූයේ අහම්බෙනි. ඊට සූදානම් වීමට පවා කාල වේලාව මඳ වූවත් එම යෝජනාව එසැණින් සම්මත විය. මීට ගැලපෙන ගීයක් සොයාගෙන ඒමේ වගකීම එක් මිතුරියකට පැවරිණි. ඒ අනුව දිනක මධ්‍යහ්නක, ආර්ථික විද්‍යාව කාල පරිච්ජේදය කට්කර, අප ප්‍රධාන ශාලාවේ තිරයෙන් පසුපසට රැස් වුනෙමු. සී ඩී තැටි වෙනුවට කැසට් පට තිබුණු යුගයක,  කැසට් යන්ත්‍රයක් සහ කැසට් පටයක් අතින් ගෙන අප එනතුරු සිටියා ය.

මා මුල් වරට මේ ගීතය ඇසුවේ එදා, පාසැල් වේදිකාව මත, තද රත් පැහැ තිර වලින් වටවූ අඳුරු ඉඩකඩේ දී ය. තවත් දැරියන් රැසක් මා සමඟ එදා උන්නත් මට දැනුණේ ඒ ගීතය ගැයෙන්නේ මටම පමණක් බවයි. ඒ කුඩා ඉඩකඩේ දී මා හද පසා කරගෙන ගිය ඒ ගීය ඊට පෙර දී වත්, ඉන්පසුව ඊයේ පෙරේදා වනතුරුවත් කිසිදිනෙක මා සවන් වැකුණේ නැත. පළමු වරට ගීය ඇසෙද්දීත්, සැමගේ ඉල්ලීම පරිදි දෙවැනි තුන්වෙනි වර එය අසද්දීත්, දෑස් අග කඳුලක් නොනැඟුණු කෙනෙක් එතැන සිටියේ නැත. එදා අප ඒ ගීයේ පදවැල අකුරෙන් ලියාගත්තේ කැසට් පටය කිහිප වරක් වාදනය කරමින්-නතර කරමින් ය. ජායා පිටපත් ගැනීම බහුල නොවුණු එකල තමන්ගේ අත් අකුරින් තම තමන්ගේ පිටපත් ලියාගැනිණි. දහසක් වැඩ රාජකාරි මැද ගීය පාඩම් කර ගැනිණි.

වාණිජ දිනය එළැඹි නිමවිය. එදා උත්සවයේ අඩුපාඩු සිදුවිණි ද, අමුත්තන් සතුටට පත්වූයේ ද, ගුරුවරියන්ගෙන් අප දොස් ඇසුවාද කියා මට මේ වෙද්දී මතක නැත. එහෙත් ඒ දවස ගැන විසි වසරකට පසුවත් මතකයේ තිබෙන්නේ මේ ගීතයයි. එදා මෙන්ම අදත් එහි පද කට පාඩම් ය. එදා අප මේ ගීය ගයද්දී සභාවෙන් 'හ්ම්' හඬක් නෑසිණි. ගීතය නිම වූ විට වරුවක් තිස්සේ අත්පොලසන් නාදයක් ඇසිණි.

මවගෙන් ඈත් වී යන්නට සිදුවූ දියණියක් ගැන මෙහි නීලා ගයන්නීය. දියණිය යළි එනතුරු මවගේ තනි රකින්න යැයි ඈ සියොතුන් ගෙන් ඉල්ලයි. හීනෙන් හැමදාමත් ඈ අම්මා ළඟම බව පවසයි. මේ පද වැල් එදා අප ජීවිත වලට එක එල්ලේ බලනොපෑව ද ඒ වෙද්දී පාසැල් දිවියේ අවසන් මාස කීපය ගත කරමින් උන් අපි, වෙන්වීම් වල සේයා දකිමින් උන්නෙමු.  පාසැල සමඟම අතැර යන්නේ සොඳුරු ළමා කාලය බවත්, ඉතින් මෙතැනින් නික්මී පිවිසෙන ලෝකය සොඳුරු ම, සුභ ම නොවන බවත්  අප දැන සිටියෙමු. පාසැල වට කළ පවුරු හතරෙන් එපිටට ඉගිලීමේ තදබල ආසාවත්, නිම් නැති බියත් එක ලෙස අප හදවත් වසා පැතිරී තිබිණි. එදා, වේදිකාව මතින් ඇසුණේ අපගේ ඒ සුසුමේ ත් සිනහවේත් හඬයි.

ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා
සීතලේ පින්නේ පීදිලා
මාලතී සේනා, මල් ලන්දේ, ගම් මැද්දේ
තාම මට සුවඳයි සේ එදා

මාල ගිරවුන්නේ අතු පතරේ සැංගී
බාල වසු පැටියෝ නාඬන්නේ
නීල නල රැල්ලේ මුතුලැල්ලේ පාවෙලා
මා කෙසේ ඉම්දෝ ඉතින් අනේ

අම්මේ, ඔබේ තුරුලෙන් වෙන් වෙලා
යන්නේ සිත ඔබ ළඟ රඳවලා
මා, රෑ සිහිනෙන් සෑමදා
ගං පියසේ ගී ගයා
ඔබ නින්දෙන් ඇහැරවා
සැඟවී යන්නේ

නාඬන් දූ ගැන කඳුළැල් සලා
හීනෙන් ඈ ඔබ ළඟමයි සදා
මා එනතුරු හෙට ගම් බලා
අම්මා ඇත මඟ බලා
සියොතුන් නොරැඳී කැලේ
ඈ සනහන්නේ

පද- ගාමිණි විජේතුංග
තනු- නිමල් මෙන්ඩිස්
හඬ- නීලා වික්‍රමසිංහ




June 16, 2016

කිසිවෙක් මා හට ගී ගයයි| දයාන් විතාරණ


කිසිවෙක් මා හට ගී ගයයි
මම නිදමි, මම නිදමි
සසර සයුර මත සිහින නැවක් තුළ
දුක සැප රැළි මත නගිමින්, බසිමින් ගලා බසී

නොමියෙන සෙනෙහස දෙනෙත පුරාගෙන
ආසිරි පැතුමෙන් අත්ල පුරාගෙන 
කිසිවෙක් මගේ හිස ඇකයේ හොවාගෙන
හිස පිරිමැද සනහයි
මම නිදමි, මම නිදමි

මගේ ජීවිතය කරදිය දහරක්
මගේ ජීවිතය රුදු විස බඳුනක්
කිසිවෙක් එය සිය මධුරස්වරයෙන්
මධුමය කර ​වස්වයි 
මම නිදමි, මම නිදමි

දයාන් විතාරණ | යශෝධා විමලධර්ම| රෝහණ වීරසිංහ



ඇසූ පමණින් පෙමින් බැඳෙන ගීත ජීවිතයට ලැබෙන්නේ කළාතුරකිනි. මේ ගීතය ඇසෙද්දී සිත පහුරු ගාන්නේ ශෝකයත් සතුටත් මුසු වූ තනිකමකි. දයාන් ගේ ලබැඳි කටහඬ නිසා ඒ සීරුම තවත් රිදුම් දේ. නින්දත් සුව නින්දත් වෙනස් බව කවුදෝ කියනු මතක ය. නින්දකට සුවයක් එක් කරන්නා සේ දිවියකට මධුර බවක් එක් කරන්නට කිසිවෙකුට නොහැකි ද? ඉතින්... මම නිදමි.

නින්ද බොහෝ දුර විට
එන්න සුසුමක් මිටි කර
නිමා කරලනු බැරිවූ 
දහසක් කතා කීමට

මුදුව හිස පිරිමැද
දැවටෙන්න ගීයක් ලෙස
විසැති දිවි බඳුනට
මිහිරි රසයක් මුහු කර