Showing posts with label Book Week. Show all posts
Showing posts with label Book Week. Show all posts

August 22, 2024

Book Week 2024

අගෝස්තු මාසේ තුන්වෙනි සතිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල්වල 'Book Week' හෙවත් පොත් සමරන සතිය. මේ සතිය බොහෝ වෙලාවට සංවිධානය කරන්නේ ඉස්කෝලවල පුස්තකාලවලින්. මේ රටේ ප්‍රාථමික පාසල්වල පවා සම්පත් බහුල පුස්තකාල තිබීම විශේෂත්වයක්. ඉතින් පුංචි කාලේ ඉඳන් දරුවන් තුළ ඇති කියවීමේ ආසාව සමරන්න හොඳම කාලයක් මේ Book Week එක. 

මේ සතියේදී පාසල්වල විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙනවා. පොත් කතුවරු අමුත්තන් හැටියට ගෙන්වලා සකච්ඡා, වැඩමුළු පවත්වනවා, පොත් සල්පිල්, ප්‍රදර්ශන, පොත් ගැන පුංචි තරඟ තියෙනවා. ඒ වගේම මේ සතියේ දවසක ඉස්කෝලවල book week parade එකක් තියෙනවා. එදාට ළමයින්ට පොතක තමන් කැමතිම චරිතයක් විදිහට ඇඳගෙන එන්න පුළුවන්. ගුරුවරුත් මේ විනෝදයටම එකතු වෙලා පොත් වල චරිත වගේ ඇඳගෙන එනවා. ඉන්පස්සේ පාසල් රැස්වීමක තමන් ආස පොත් ගැන කතුවරු ගැන හැමෝම අදහස් බෙදාගන්නවා. ඇත්තටම ඒක හරි රසබර අත්දැකීමක්.

Children's Book Council of Australia (CBCA) එකෙන් මේ සතියට සමාන්තරව සම්මාන උළෙලක් පවත්වනවා. එයින් හොඳම ළමා පොතට, යෞවන වයසේ දරුවන්ට ලියවුණු පොත් අතරින් හොඳම පොතට, හොඳම පොත් චිත්‍ර නිර්මාණ ශිල්පියාට වගේ විවිධ අංශවලින් ජයග්‍රාහකයෝ තෝරනවා. ඒ වගේම හැම අවුරුද්දකම Book Week එකට අදාළ තේමා පාඨය තීරණය කරන්නෙත් CBCA එකෙන්. මේ අවුරුද්දේ ඒ පාඨය 'Reading is Magic'. පාසල්වල Book Week උත්සව සංවිධානය කරද්දී මේ තේමාව උදව්වට ගන්නවා. 

මම රැකියාව කරන්නේ ද්විතියික පාසලක පුස්තකාලයක නිසා අපි Book Week සමරන්නේ තරමක් සාහිත්‍යමය පැත්තට බර වෙන්න. පාසලේ විවිධ වසරවලට නිර්දේශිත කියවීම් පොත් ලියූ කතුවරු මේ සතියේ පාසලට ගෙන්වන්න අපි මහන්සි වෙනවා. එයාලාගේ කතාබහ අහද්දී, වැඩමුළු වලට සම්බන්ධ වෙද්දී පාසලේ සිසුවියන්ට ඒ ලිවීම් රටා ගැන, ලිවීමේ ක්‍රමෝපායන් ගැන වඩාත් හොඳ අවබෝධයක් ලැබෙනවා. එයාලට ඒ කතුවරුන්ගෙන් ප්‍රශ්න අහන්න, එයාලා එක්ක තර්ක කරන්න ඉඩකඩ ලැබෙනවා. Book Week එකේ අන්තිම දවස අපි වෙන් කරන්නේ පාසලේ සිසුවියන්ගේ ලේඛන නිර්මාණ බෙදාගන්න අවස්තාවක් දෙන්න. එදාට පුස්තකාලයෙන් open mic event එකක් සංවිධානය කරනවා. දරුවන්ට තමන් ලීව කවි කතා ඉදිරිපත් කරන්න, ඒවා ගැන කතාකරන්න ඒක හොඳ අවස්තාවක්. ඒ වගේම නිර්මාණකරණයේ යෙදෙන ගුරුවරුත් එදාට එයාලගේ නිර්මාණ දරුවන් එක්ක බෙදා ගන්නවා.

ඉතින් මෙහෙමයි ඕස්ට්‍රේලියාවේ අපේ Book Week ගතවෙන්නේ. පොත් කියවීම අපි එදිනෙදා හැමදාම කරන දෙයක් වුණත් පොත් සමරන්න මේ විදිහට සතියක් ලැබෙන එක හරිම සුවිශේෂී දෙයක්. 

Author - Wendy Orr

Caroline Jane Knight- Fifth great niece of Jane Austen

Author - Maxine Beneba Clarke