Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

August 03, 2026

නුහුරු අලුත් ලෝකය



හස්රා සිං වගාවක හෝ වෙනත් සම්ප්‍රදායික ජීවනෝපායක නොයෙදුනත් ඉතා සුවපහසු ව ජීවත් වීම ගම්වැසියන්ට අභිරහසක් වී තිබිණි. නමුත් සත්‍යය දැන සිටි අය, හරක් හොරකමටත් නිවාස මංකොල්ල කෑමටත් ඔහුට තිබුණු විශේෂ හැකියාව අගය කළ අතර ඔවුහු ඒ ගැන ඔහු කියූ අන්දර රස වින්දෝය. 

ළමා පොත් වල නම් අවසානයේදී සොරුන් සිර ගෙවල් වලට කොටු වන නමුත් හස්රා සිං කිසිදිනක සිරගත වී තිබුණේ නැත. පොලීසියේ ඉන්ස්පෙක්ටර්වරයා කාලයෙන් කාලයට ගමට පැමිණ සියලු අපරාධකරුවන් පාසල් පිට්ටනියට එක් රැස් කර, ඔවුන්ට තඩි බෑවේ මට්ටු කිරීමේ අරමුණිනි. නමුත් මේ ගුටි ලබන කණ්ඩායමට හස්රා සිං කිසි දිනෙක අයත් වූයේ නැත. 

පොලිස් ඉන්ස්පෙක්ටර්වරයාගේ මේ ගමනේදී ඔහු පාසලේ නවාතැන්ගත් බැවින් එම වකවානුව අපට නිතැතින්ම නිවාඩු ලැබිණි. නමුත් පොලිසියට ඇති බිය නිසා අප ඒ කාලය තුළ නිවෙස් වලින් පිටතට ගියේ නැත. අප කළේ අපගේ නිවෙස් වල වහල මතට වී පාසල් පිට්ටනියේ තැලුම් ලබන අපරාධකරුවන්ගේ කෑ ගැසීම් වලට හොඳින් සවන් දීමයි. 

මෙවන් අවස්ථාවලදී හස්රා සිං සුදුම සුදු තලප්පාවක් බැඳ, පොලිස් ලොක්කා අසලින්ම අසුන්ගෙන ඔහු සමඟ සල්ලාපයේ යෙදෙන අයුරු හෝ ඒ මේ අත දුවමින් නිලධාරීන් ට සුවපහසුව සැලසීමට වෙහෙසෙන අයුරු දක්නට හැකි විය. 

හස්රා සිං සතුව තිබූ ඉඩකඩම් සියල්ල අඳ ගොවීන් ලවා වගා කෙරුණු අතර බැලූ බැල්මට නම් පෙනුණේ ඔහු කිසිම තැවුලක් හෝ වගකීමක් නොමැතිව ජීවත් වූ බවයි. ගම් වැසියෝ එදිනෙදා ඇන්දේ නිවෙස් වල වියන ලද රෙද්දෙන් මැසූ රළු ඇඳුම් ය. ඔවුන්ට නගරයෙන් මිළදී ගත් ඇඳුම් අඳින්නට ලැබුණේ කලාතුරකින්, උත්සව අවස්තාවලදී පමණි. නමුත් හස්රා සිං නම් නිරතුරුවම අගනා මස්ලින් රෙද්දෙන් තලප්පා බැඳ, යන්ත්‍ර වලින් වියන ලද කැලිකෝ රෙදි ඉන වටා දවටා සිටියේය. 

සමෘද්ධිමත් ජීවිතයක් ගෙවූ හස්රා සිං අවට ගම් වල වෙසෙන නෑ මිතුරන් බැහැ දකින්නට නිතර ගියේය. තම ගමේදීත් ඔහු ප්‍රභූ වැඩිහිටියන් සමඟ නිතර ගැවසුණු අතර ඒ එක්රැස් වීම් වල ඔහු ප්‍රධාන චරිතයක් විය. එකිනෙකට වෙනස් විවිධ දේ ගැන කතා කිරීමට ඔහුට දස්කමක් තිබිණි. උපතින්ම කතන්දරකරුවෙකු වූ ඔහු අසන්නන්ගේ අවධානය ඇද බැඳ ගනිමින් නෙක විස්තර සහ විහිලු කතා කියන්නට හපනෙකු විය.

හස්රා සිං කතා කරද්දී අසා සිටීමට, වැඩියත්ම ඔහුගේ වීර වික්‍රම ගැන ඇසීමට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. නගරයේ පාසලේ නිවාඩු කාලවලදී මා ගෙදර පැමිණ සිටි විට ඔහුගේ මේ විස්තරාත්මක කතන්දර ඇසීමට මම පුරුදු වී සිටියෙමි. හරක් හොරකමටත්, ගෙවල් බිඳීමටත් තමන් සතු ව තිබුණු දස්කම ගැන ඔහු ආඩම්බරයෙන් පසුවිය. ඒ අතරිනුත් ඔහු වඩාත් ප්‍රිය කළේ හරක් හොරකම බවත්, ඉන් ඔහුට මහත් ජයග්‍රාහී හැඟීමක් ලැබුණු බවත් ඔහුගේ කතාවෙන් වටහා ගැනීමට අපහසු වූයේ නැත. ඔහුට නම් එය සතුරු සේනාංක සමඟ සිදු කරන යුධමය ක්‍රියාන්විතයක් වැනි විය. අප එක්රැස් වූ විට ඔහු පරණ මතක අවුස්සන්නට පටන් ගනී.

“දවසක් මගේ නෑදෑ වෙන පුතෙක් ඇවිත් කිව්වා එයාට ගොන්නු දෙන්නෙක් උවමනා බව” ලී කොටයක් මත හිඳ, කෝටුවකින් පොළොවේ ඉරි අඳිමින් ඔහු දිනක් කීවේය. “අජ්නියන්වාලා පැත්තේ චතා පවුලට අයිති හරක් ජෝඩුවක් තමන් දැක්ක බවත්, තමන්ගේ ගොවිපොළට උන් දෙන්නාව ගෙනත් දෙන්න බැරිද කියලාත් තමයි එයා ඇහුවේ. මම කිව්වා චතා පවුල උගේ තාත්තාගේ යාලුවෝ නිසා ඒ මිනිස්සු හරක් දෙන්නා ව හොයාගෙන ආවොත් උන් ව ආපහු බාරදෙන්න සිද්ධ වෙන බව. කවදාහරි එහෙම ආපිට බාර දෙන්න වෙනවා නම් මම මේ හීතල රෑක ගිහින් මේකට මොකට මහන්සි වෙනවාද කියලා මම ඇහුවා. ඒත් කොල්ලා කිව්වා ඒ සත්තු දෙන්නාව කොහොම හරි ගෙනත් දුන්නොත් එයාට පරෙස්සම් කරගන්න පුළුවන් බව. අන්තිමේදී මම වැඩේ කරලා දෙන්න පොරොන්දු වුනා.”

“මේ සත්තු දෙන්නා හොරකම් කරන එක ලේසි වුණේ නැහැ. උන් මම මේ තරම් කාලෙකට දැකපු අපූරු ම, නුවණක්කාර ම හරක් දෙන්නෙක්. පොඩි හෙවනැල්ලකටත් උන් කලබල වෙනවා, ඒ වගේම එහෙම කලබල උනාම උන් ව අල්ලාගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට උන්ගේ බෙල්ලේ බැඳලා තිබුණු ගෙජ්ජි වල සද්දේ අයිතිකාරයන්ට ඇහෙන්නත් පුළුවන්.”

“මම යද්දීම හොඳ තණකොළ අහුරු දෙකක් අරන් ගියා. ඒක ඉව වැටිලා හරක් දෙන්නා මට බය වුණේ නැහැ, උන් මගේ දිහාවට බෙලි දික්කළා. උන් ව ආදරයෙන් අතගාලා මම හෙමින් සැරේ උන්ගේ බෙල්ලේ තිබුණු ගෙජ්ජි වැල් අයින් කළා. ඉන්පස්සේ මම එතැනින් පිට වෙලා එද්දී හරක් දෙන්නා මගේ පස්සෙන් ආවා. ඔය පළාතේ හැතැප්ම නමයක දහයක දුරක හැමෝම මේ හරක් ජෝඩුව අඳුරනවා. ඒ නිසා මම උන් දෙන්නාව මගේ වෙළඹ ගේ සෑදලේට ගැට ගහගෙන පිම්මේ ආවා. සාමාන්‍යයෙන් දුවන අශ්වයෙක් එක්ක මෙහෙම ගැට ගැහුවාම හොඳ වර්ගයේ හරක් නම් පස්සෙන් දුවගෙන එනවා. ඉර නැගෙද්දී මම හැතැප්ම විස්සක් විතර දුර ගෙවලා රනිකේ ගමට ළඟා වෙලා තිබුණා. හරක් දෙන්නාව උක් වගාවක ගැට ගහලා මම ටිකක් විවේක ගත්තා. කළුවර වැටෙද්දී ආයෙත් පිටත් වෙලා පස්සෙන්දා එළිවෙන්න කළින් මම මගේ ඥාති පුත්‍රයාගේ ගොවිපොළ ට ළඟා වුණා.”

“හැබැයි හරක් දෙන්නාගේ අයිතිකාරයෝ මගේ පස්සෙන් එළවමින් ඉඳලා තියෙන්නේ. දුවන සත්තු තුන්දෙනෙක් ගේ මඟ සලකුණු හොයන්න අමාරු නැති නිසා ඊට පහුවදාම එයාලා හරි තැනට හොයාගෙන ආවා. එයාලා ඒ ගොවිපොළේ හරක් ගාල් කරන තැන් හරියටම දැනගෙන හිටියා විතරක් නෙමෙයි උදව්වට තව සගයෝ කීප දෙනෙක්ම ගෙනත් තිබුණා. අන්තිමේදී මගේ ඥාති පුත්‍රයා පැරදිලා ඒ සත්තු දෙන්නා ආපිට බාරදුන්නා. මේ සිද්ධිය ගැන මට නම් තාම කේන්තියි. තමුසෙට ඒ සත්තුන්ව තියාගන්න තරම් එඩිතරකමක් නැත්නම් මොකටද මාව හීතල රෑ දෙකක් තිස්සේ මේ වැඩේට රස්තියාදු කළේ කියලා මම නිතරම උගෙන් අහනවා.”

හරක් හොරකම ත්‍රාසජනක වූවත් වඩාත් වාසිදායක වූයේ නිවෙස් මංකොල්ලාකෑම වූ අතර හස්රා සිං ඊටත් බෙහෙවින් දක්ෂ විය. ඔහුගේ පළමු ප්‍රතිපත්තිය වූයේ කිසිම හේතුවකට වත් ශබ්දයක් නොනැඟෙන සේ කටයුතු කිරීමයි. මේ සඳහා ඔහු උපායන් කිහිපයක් පාවිච්චි කළේය. ඕනෑම භාණ්ඩයක් රෙදි කඩකින් එතූ විට ඉන් නැඟෙන ශබ්දයෙන් බොහෝ ප්‍රමාණයක් ඊට උරා ගැනෙන බව ඔහු දැන සිටියේය. ඒ අවට ගම්මාන ඔහු ‘තමන්ගේ’ සහ ‘අනුන්ගේ’ ලෙස පැහැදිලි ව දෙවර්ගයකට බෙදා වෙන් කර තිබුණි. ‘තමන්ගේ’ ප්‍රදේශ වලින් කිසිවක් සොරා ගැනීමට ඔහු හීනයකින් වත් නොසිතූ අතර ‘අනුන්ගේ’ ප්‍රදේශ වලින් සොරාගැනීමට දෙවරක් කල්පනා කළේ නැත. නමුත් මේවා අතරින් ඔහුගේ හදවතට වඩාත් සමීප වූයේ කවර පෙදෙස්දැයි කීම අපහසු විය. ඒ හැම ගම්මානයකම මාවත් සහ අතුරු මාවත්, ලඳු දෙණි, ගංගා ඇළ දොළ ඔහු හොඳින් හැඳිනුවේය. මලින් මලට ගොස් පැණි බොන මී මැස්සා මුලු උද්‍යානයම තමන්ගේ ලෙස සලකන අයුරින් හස්රා සිං මේ ප්‍රදේශ දෙකොටසටම ආදරය කළේ ය. 

මංකොල්ලාකෑමට තමන් සතු දස්කම ගැන හස්රා සිං ආඩම්බර වූ අතර එය සඟවා ගැනීමට ඔහු මහන්සි වූයේ නැත. ඒ තරම් වේගයකින් සහ සූක්ෂම බවකින් කටයුතු කළ හැකි අය හිඟ බව ඔහුගේ විශ්වාසය විය. 

“මන්ගේවාලා ගමේ පොළී මුදලාලි වතාවක් හොඳ හයියට ගෙයක් හැදුවා.” ඔහු වරක් අපට කීවේය. “ඒකෙ පිටත බිත්ති සිමෙන්තියෙන් කපරාරු කරලා තිබුණු නිසා එයාලා හිතුවේ ඒවා කඩන්න බැහැ කියලා. මට දවසක් ආරංචි වුණා ඉඩමක උකසක් නිදහස් කරලා එයාට හොඳ සල්ලි ටිකක් ලැබිලා කියලා. ඒක තමයි මගේ නියම වෙලාව. අපේ කණ්ඩායමේ හතර දෙනෙක් හිටියා. ඒ ගේ ඉස්සරහා හතර දෙනෙක් නිදාගෙන හිටිය නිසා අපිට වැඩ කරන්න වුණේ ගේ පිටිපස්සෙන්. බිත්ති කඩන්න අමාරු බව දන්නා නිසා මම හිතුවා අත්තිවාරම හාරන්න. පාන්දර වෙනකම්ම හාරලා ගේ ඇතුලට ඇතුල්වෙන්න පුළුවන් වුණා. පුළුවන් දේවල් එකතුකරගෙන අපි ඉක්මණින් පැන ගත්තා. පස්සෙන්දා පොලිස් ඉන්ස්පෙක්ටර් ආවා පරීක්ෂා කරන්න. ඒ වෙලාවේ මාත් එතැන හිටියා. අත්තිවාරම හරහා හාරපු උමඟ දැකලා ඒ උපායශීලී බවත්, මහන්සියත් ඉන්ස්පෙක්ටර් අගය කළා. හොරාව අල්ලාගත්තොත් තමන් පෞද්ගලිකවම ඒ අගය කිරීම කරන්න ලෑස්ති බව ඒ මහත්තයා කීවා.”

නිවෙස් මංකොල්ලාකෑම සමඟ බැඳුණු අවදානම නිසා හස්රා සිං ට එය ක්‍රීඩාවක් බඳු විය. “ගේකට ඇතුල් වුණු පැත්තෙන්ම තමන්ට පිටවෙන්න ලැබේවි ද කියලා කවදාවත් හරියටම කළින් කියන්න බැහැ.” ඔහු කියයි. “මට නම් ඉතින් මිනිස්සු හතර පස් දෙනෙක් එක්ක සටන් කරන්න, හොඳට දුවන්න එහෙම පුළුවන් තමයි. ඒත් මේක බළලෙකුයි මීයෙකුයි අතර සටනක් වගේ.”

“වතාවක් අපි රෑක ගමක ගෙදරක් බින්දා. අපි දෙන්නෙක් බිත්ති හාරද්දී තව එකෙක් ව ඔත්තු බලන්න එළියේ තියලා තිබුණේ. මේ යකාට නින්ද ගිහිල්ලානේ. ඒ බව නොදැන අපි දෙන්නා දිගටම හාරමින් හිටියේ. ඔය අතරේ කවුරුහරි අපිව දැකලා වටපිට අයගෙන් උදවු ඉල්ලලා. අපි හෑරුව උමඟ දිගේ මම රිංගාගෙන ඇතුළට යද්දීම මට ඇහුණා බල්ලෝ බුරනවා. බලද්දී පාර පැත්තෙන් අපිව වටලලා තිබුණේ. උන් හිතුවා අපිට පිටවෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා. හැබැයි අපි ගේ ඇතුළට ගිහින් තාප්පෙන් වෙන වත්තකට පැන්නා. ඔහොම ඔහොම ගිහින් බේරිලා ආවා. පස්සේ කාලෙක අපේ ගමේ මිනිස්සුන්ට ආරංචි වෙලා මේකට මං සම්බන්ධයි කියලා. ‘තමුසේ අපේ පෝසත් අසල්වැසියන්ගේ ගෙවල් බිඳලා තව පොඩ්ඩෙන් අහුවුණාලු නේද?’ උන් මට විහිලු කළා. එදා අහුවුණා නම් හැම දෙයක්ම ඉවර වෙන බව මට පිළිගන්න වුණා. මේවා ඉතින් වාසනාව අනුව තමයි වෙන්නේ!”

ඉන්දියාව දෙකඩ වන බෙදුම්වාදී ගිවිසුම සම්මත වූයේ මේ කාලයේදී ය. හස්රා සිං ට තමන් අඟලක් නෑර ආදරය කළ ගම්මාන, ගොවිපොළවල්, ඇළ වේලි සහ මංමාවත් අත හැර තවත් සරණාගතයින් පිරිසක් සමඟ කර්නාල් දේශ සීමාව හරහා වෙහෙසකර ගමනක යෙදෙන්නට සිදු විය. අලුත් පදිංචි පෙදෙසත් පන්ජාබයම  බවත්, මෙහි ත් ගම්මාන, නිවාස, ගොවිපොළවල් සහ ගංගාවල් ඇති බවත් හැම කෙනෙකුම කීවත් ඒ හැම දෙයක්ම ඔහුට පුරුදු පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් විය. මේ නීරස අවලස්සන ප්‍රදේශය ‘තමන්ගේ ගම’ ලෙස සලකන්නේ කෙලෙසද?

සති කීපයකට පසු මා ද එහි ළඟා විය. නැවතත් හස්රා සිං දකින තුරු මම ඇඟිලි ගනිමින් සිටියෙමි. වෙනස් වන, කැබලි වන ලෝකයක එකම ස්ථිර දේ ඔහු ලෙස මට හැඟිනි. නිසැකවම ඔහු පෙර සේ ම එඩිතර බවින්, උපායශීලී බවින්, වික්‍රමයට සූදානමින් සිටිනු ඇත. නමුත් මගේ සිතිවිල්ල වැරදි විය. සෙසු අප හැම සේ ම මුලිනුපුටා දමන ලද හස්රා සිං අතරමං වී සිටියේය. 

“මාමා ට නම් වෙනසක් නැහැනේ,” දිනක් මා ඔහුට කීවේ තාරුණ්‍යයේ අන්ධ බවින් යුතුවයි. “මාමා ත් ආණ්ඩුවේ නිලධාරී වගේනේ, එහෙදි වගේම මෙහෙදිත් රාජකාරි කරන්න පුළුවන් නේ”

“එහෙම වෙන්නේ කොහොමද පුතා?” ඔහු සෙමෙන් කීය. “මම මගේ සහෝදර ගම්වැසියන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? එයාලගේ දුක් වේදනා මටත් දැනෙන්නේ නැද්ද?”

“ඒක ඇත්ත, හැබැයි මාමා දන්නා කලාවෙන් ඕනෑම තැනක සල්ලි හොයන්න පුළුවන් නේද?”

“ආ, ඒකද! නෑ නෑ එහෙම නෑ, ඇත්තටම ඒකෙ අනිත් පැත්ත තමයි වෙන්නේ,” හස්රා සිං ශෝකයෙන් හිස සැලීය. “මේ නුපුරුදු බිමේ මගේ අඩි වෙව්ලනවා. ඉතින් මම කොහොමද මෙහෙ කිසි දෙයක් කරන්නේ? මට මගේ පුරුදු ගම්මානේ ඇහැට හුරු දේවල්, කනට හුරු සද්ද, නෑ හිතවතුන්ගේ මූනු ඕන යමක් කරන්න. මෙහෙ මට කිසි දෙයක් කරන්න බැහැ” 

එතෙක් කාලයක් නීතියවත්, නීති විරෝධී ක්‍රියාවන් හි අනතුරුදායක බව වත්, බිය වත් හස්රා සිං ගේ චර්යාවට බාධාවක් නොකර තිබුණත් අලුතින් පදිංචි වූ නුහුරු අලුත් ලෝකය ඔහුව පරාජය කර තිබිණි. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the short story Strange New World by Kulwant Singh Virk
Translated from Punjabi to English by Harbans Singh


AI generated picture

July 03, 2026

ටෝබමෝරි

 


එය සීතල, වැසි බර, අගෝස්තු මාසයේ දිනක් වූ අතර බ්ලෙම්ලි නිවසේ නවාතැන්ගෙන සිටි අමුත්තෝ සියලු දෙනා සන්ධ්‍යා තේ පානය වෙනුවෙන් රැස් වී සිටියහ. ඍතුවේ අලස ගතියක් පැවතුණත්, මේ සාදයට නියමිත හේතුවක් නොමැති වූවත්, ඒ කණ්ඩායමේ නම් කිසිම නොසන්සුන් බවක් දක්නට තිබුණේ නැත. ඔවුන් මුව අයා සම්පූර්ණ අවධානය යොමු කර සිටියේ රැස් වූ පිරිස අතර සිටි, තරමක් අවලස්සන පුද්ගලයෙකු වූ කොර්නේලියස් ඇපින් මහතා වෙතයි. මේ අමුත්තන්ට ආරාධනා කිරීමේදී බ්ලෙම්ලි ආර්යාවට පැහැදිලි විස්තරයක් නොලැබී තිබුණේ ඔහු ගැන පමණකි. ඔහු “නුවණැත්තෙකු” බව කවුරුන් හෝ පවසා තිබුණු අතර ඔහුට මේ ආරාධනාව ලැබුණේ මේ නුවණැති බව ඇසුරෙන් ඔහු සෙසු අමුත්තන්ට වින්දනයක් සපයනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එදින සන්ධ්‍යා තේ පානය දක්වාම ඇපින් මහතාගේ ‘නුවණැති බව’ කොයි අතකට විහිදුණු එකක්දැයි සොයාගැනීමට ඇයට හැකිවූයේ නැත. ඔහු විහිලු තහලු කීමටවත්, ක්‍රොකේ ක්‍රීඩාවටවත් දස්කම් නොපෙන්වූ අතර ඔහුට ආකර්ශණීය පෞරුෂයක් හෝ ආධුනික රංගන හැකියාවක්වත් තිබුණේ නැත. සාමාන්‍යයෙන් කාන්තාවන් තරමක් බුද්ධියෙන් අඩු පිරිමින්ට සමාව දුන්නත් ඔහු ඒ වර්ගයේ පුද්ගලයෙකු ද නොවිණි. නමුත් කොර්නේලියස් ඇපින් කියමින් සිටියේ ඔහු ලෝකය වෙත සුවිශේෂී සොයාගැනීමක් දායාද කර ඇති බවයි. ඔහු කීවේ ඔහුගේ සොයාගැනීම හා සසඳද්දී ඒ වෙද්දී කරලියේ පැවතුණු වෙඩි බෙහෙත්, මුද්‍රණ උපකරණ සහ දුම්රිය ආදී සොයාගැනීම් ක්ෂුද්‍ර ලෙස පෙනෙන බව සහ තම සොයාගැනීම විද්‍යාත්මක වර්ගයට වඩා හාස්කම් වර්ගයට අයත් වන බවයි. 

“දැන් ඔබතුමා අපට විශ්වාස කරන්න කියන්නේ ඔබ සත්තුන්ට මිනිස්සුන්ට වගේ කතාකරන්න ඉගැන්නුව බවත්, මේ ගෙදර බළලා ටෝබමෝරි ඔබේ පළමු සාර්ථක ශිෂ්‍යයා බවත් ද?” සර් විල්ෆ්‍රඩ් විමසුවේය. 

“මම පහුගිය අවුරුදු දාහතක් තිස්සේ මේ ගැන මහන්සි වුණා. හැබැයි මට ලොකු දියුණුවක් ලබන්න පුළුවන් වුණේ පහුගිය මාස හත අටේ තමයි. මම විවිධ සත්තු දාස් ගාණක් එක්ක පර්යේෂණ කළත් මෑත කාලේ වැඩ කළේ බළල්ලු එක්ක විතරයි. මම උන්ට කැමති උන් අපේ සමාජයට ඉතා හොඳින් අනුගත වුණත් උන්ගේ සංකීර්ණ කැලෑ ගති නැති කරගෙන නැති නිසා යි. මේ බළල්ලු අතරෙත් සමහර වෙලාවට මට මුණගැහෙනවා ඉතා උසස් බුද්ධියක් තියෙන උන්ව. ගිය සතියේ මට මෙහෙදී ටෝබමෝරි මුණගැහුනාම මට තේරුණා ඌත් ඒ වගේ උසස් බුද්ධියක් තියෙන බළලෙක් බව. ඒ නිසා මට බොහොම සාර්ථකව ඌ එක්ක මගේ පර්යේෂණය කරන්න පුළුවන් වුණා.”

ඇපින් මහතා ඉතා ආඩම්බරයෙන් කී මේ විස්තරය රැස් ව සිටි පිරිසට විශ්වාස කිරීමට දුෂ්කර වූවත් කිසිවෙකු ඊට එරෙහිව කිසිවක් කීවේ නැත. 

මඳ නිහැඬියාවකින් පසු රෙස්කර් මෙනවිය මෙසේ ඇසුවාය. 

“ඔබ කියන්නේ ඔබ ටෝබමෝරිට පොඩි පොඩි වචන කතා කරන්නත්, තේරුම් ගන්නත් ඉගැන්නුවා කියලාද?”

“රෙස්කර් මෙනවිය,” ඇපින් මහතා ඉවසිලිවන්තව කීවේය. “එහෙම සරල විදිහට උගන්වන්නේ පොඩි ළමයින්ටයි, මනසින් බාල අයටයි, නූගත් මිනිස්සුන්ටයිනේ. දියුණු නුවණක් තියෙන සතෙක් එක්ක ඒවගේ ප්‍රාථමික ක්‍රම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ටෝබමෝරිට ඉතා ව්‍යක්තව අපේ භාෂාව කතාකරන්න පුළුවන්.

“නරකද අපි ම මේකේ ඇත්ත නැත්ත හොයලා බැලුවොත්?” බ්ලෙම්ලි ආර්යාව යෝජනා කළා ය. 

මේ කතාබහ අතරේ ටෝබමෝරි විසිත්ත කාමරයට ඇතුලු වී, විල්ලුද ලූ පාද වලින් ගමන් කරනා සේ කිසිම කලබලයක්, තැකීමක් රහිතව, තේ මේසය වටා අසුන්ගෙන සිටි පිරිස වෙත ඇවිද ගියේය. කාමරයේ පැතිරුණේ දැඩි නිහඬ බවකි. ගෘහස්තව සුරතලෙකු ලෙස ඇතිකරන බළලෙකුට සමානයෙකුට ලෙසින් සලකා කතා කිරීමේ ලැජ්ජාවත් මේ නිහඬ බව තුළ ගැබ් ව තිබිණි.

“කිරි ටිකක් ඕනද ටෝබමෝරි?” බ්ලෙම්ලි ආර්යාව ප්‍රවේසම් කටහඬකින් කීවාය.

“තිබුණත් කමක් නැහැ,” උදාසීන කටහඬකින් පිළිතුරක් ලැබුණි. රැස් ව සිටි පිරිස අතරේ විශ්මයේ විදුලියක් පැතිරුණු අතර පීරිසියකට කිරි වත්කරමින් උන් බ්ලෙම්ලි ආර්යාවගේ අත මඳක් වෙව්ලනු පෙනුණි. 

“සමාවෙන්න මගේ අතින් කිරි ටිකක් ඉහිරුණා.” ඈ පසුතැවීමෙන් කීවාය. 

“ඒකට මොකද, ඔතැන තියෙන්නේ මගේ බුමුතුරුණක් නෙමෙයිනේ” ටෝබමෝරි පිළිතුරු දුන්නේය. 

නැවතත් කාමරයේ නිහඬතාවයක් පැතිරුණි. ඉනික්බිති රෙස්කර් මෙනවිය වැදගත් අමුත්තෙකු ලෙස හැසිරෙමින් මනුෂ්‍ය භාෂාව ඉගෙනුම දුෂ්කර වී දැයි බළලාගෙන් විමසුවාය. ටෝබමෝරි මොහොතක් ඈ දෙස එක එල්ලේ බලා ඉවත බලාගත්තේය. මෙවැනි කම්මැලි ප්‍රශ්න උගේ ජීවන දර්ශනයට පරිබාහිර බව පැහැදිලි විය. 

“මනුෂ්‍ය ඥානය ගැන ඔබ මොකද හිතන්නේ?” ඈ නැවතත් තරමක් මෝඩ ලෙසින් ඇසුවාය.

“හරියටම කොයි මනුස්සයා ගැනද ඔයා කියන්නේ?” ටෝබමෝරි හැඟීමක් රහිතව පිළිතුරු දුන්නේය.

“ආ.. උදාහරණයක් හැටියට මගේ,” මේවිස් යන්තමින් සිනාසෙමින් ඇසුවාය. 

“ඔයා මාව හරි අමාරුවකනේ දාන්නේ,” ටෝබමෝරි කීවේ කිසිම අමාරුවක වැටුණු අයෙකු ලෙසින් නොවේ. “ඔයාව මේ සාදයට එකතු කරගන්න අදහස ඉදිරිපත් වුණු වෙලාවේ සර් විල්ෆ්‍රඩ් නම් කීවේ එයා අඳුනන අයගෙන් ඔයා තමයි කිසි මොළයක් නැතිම කෙනා කියලා. ආගන්තුක සත්කාරය වෙනයි, මනස දුර්වල අයට සත්කාර කිරීම වෙනයි කියලාත් එයා කිව්වා. බ්ලෙම්ලි ආර්යාව නම් කීවේ ඔයාගේ මොළේ නැති කමම තමයි කියලා ඔයාට ආරාධනා කරන්න හේතුව කියලා. එයාලාගේ පරණ කාර් එක මිළ දී ගන්න තරම් මෝඩ එකම කෙනා ඔයා තමයි කියලාත් එයා කිව්වා.”

මෙය අසා බ්ලෙම්ලි ආර්යාව වහා වහා ඊට විරුද්ධ වූවත් එදිනම උදෑසන ඈ විසින් තම මෝටර් රථය මේවිස් ගේ ඩෙවොන්ශයර් හි නිවසට ගැලපෙනම දේ බව කියා තිබීම සිය අවාසියට හේතු විය.

මේ වෙලාවේ කතාව වෙනතකට හැරවීමට මේජර් බාර්ෆීල්ඩ් යුහුසුලු විය.

“එතකොට අර අශ්ව ගාලේ ඉන්න කහ-කලු වයිරම් බැළලි එක්ක තමුන්ගේ තියෙන ඇඟලුම්කම ගැන මොනවාද කියන්නේ?” 

නමුත් ඔහු ඒ ගැන කී සැණින් ඒ කතාවේ අනුවණකම හැම දෙනාටම වැටහිණි. 

“මේවා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කතාකරන දේවල් නෙමෙයි,” ටෝබමෝරි සීතල හඬකින් කීවේය.

“ඔබතුමා මේ ගෙදර ගත කළ ටික කාලයේ හැසිරුණු විදිහ බලද්දී ඔබේ ඒ වගේ හැසිරීම් ගැන මම කතා කරන්න ගත්තොත් ඔබටත් යම් අපහසුතාවයක් දැනෙයි කියලා මට හිතෙනවා.”

මේ කතාවෙන් බියට පත් වූයේ මේජර් වරයා පමණක් නොවේ. 

“ටෝබමෝරි, කෝකියා ඔයාගේ රෑ කෑම ලෑස්ති කරලාද කියලා කුස්සියට ගිහින් බලනවාද?” බ්ලෙම්ලි ආර්යාව ඉක්මනින් කීවේ ටෝබමෝරි ගේ රාත්‍රී ආහාර වේලට තව අඩුම තරමේ පැය දෙකක් වත් ඇති බව අමතක කරමිනි. 

“ස්තූතියි,” ටෝබමෝරි කීවේය. “ඕන නැහැ, දැන් හවස තේ වේල පහුවුණා විතරයිනේ, මම කැමති නැහැ කෑම අජීර්ණයකින් මැරෙන්න.”

“බළලුන්ට පණ නමයක් තියෙනවා කියලානේ කියන්නේ” සර් විල්ෆ්‍රඩ් උද්යෝගයෙන් කීය.

“වෙන්න පුළුවන්,” ටෝබමෝරි පිළිතුරු දුන්නේය. “හැබැයි එක අක්මාවයි.”

 “ඇඩිලේඩ්!” කෝනෙට් මහත්මිය කීවාය. “ඔයා අදහස් කළේ මේ බළලා ට ගිහින් සේවකයෝ එක්ක අපි ගැන ඕපාදූප කියවන්න කියලාද?” 

මේ වෙද්දී පිරිස අතර මහත් බියක් පැතිරෙමින් තිබිණි. නිවසේ ඉහළ මාලයේ සියලු නිදන කාමර යා කරමින් එක් සඳළුතලයක් වූ අතර ටෝබමෝරි නිතර මෙහි ගැවසෙමින් එහි වූ පරෙවියන් නරඹමින් සිටි බවත්, ඒ අතරේ ඌ තවත් බොහෝ දේ දකින්නට ඉඩ තිබුණු බවත් හැමදෙනාටම සිහි විය. ටෝබමෝරි මේ ආකාරයට සිතූ දේ කියමින් නන් දොඩවන්නට වුවහොත් එහි ප්‍රතිපලය භයානක විය හැක. තම පැහැපත් පෙනුම ගැන නිතර උදම් ඇනූ කෝනෙට් මහත්මිය දවසෙන් වැඩි ප්‍රමාණයක් තම කැඩපත ඉදිරියේ වත්සුණු තවරමින් ගත කළ බැවින් ඇය මේජර්වරයා තරමටම වික්ෂිප්තව සිටියාය. අහිංසක ජීවිතයක් ගත කළත් රහසේ අනුරාගී කවි ලියූ ස්ක්‍රවෙන් මෙනෙවියගෙන් දිස් වූයේ නොරිස්සුමකි. තමන් කොතරම් අව ක්‍රියා කර ඇත්ද යත් ඒවා ගැන පසු තැවීම අතහැර තිබුණු බර්ටි වෑන් ටෑන් පවා මේ මොහොතේ ගාඩිනියා මලක් මෙන් සුදුමැලි විය. නමුත් අඩුම තරමේ ඔහු නම් ඔඩෝ ෆින්ස්බරි මෙන් විසිත්ත කාමරයෙන් පිටතට දිව ගියේ නැත. ෆින්ස්බරි තරුණ මහතා පූජකවරයට සූදානම් වෙමින් සිටි බැවින් අනුන්ගේ නින්දිත හැසිරීම් ගැන අසන්නට අකමැත්තක් ඔහුට තිබිණි. ක්ලොවිස් නම් බැලූ බැල්මට සන්සුන් පෙනුමෙන් සිටියත් ඔහු සිත ඇතුළෙන් ගණනය කරමින් සිටියේ කොතැනින් හෝ මීයන් තොගයක් මිළට ගෙන ටෝබමෝරිට අල්ලසක් ලෙස පිළිගන්වන ක්‍රමයයි. 

මෙවැනි සංවේදී මොහොතක පවා ඇග්නස් රෙස්කර් ට වැඩි වේලාවක් නිහඬ ව සිටින්නට නොහැකි විය.

“දෙයියනේ! මම මොකට ආවද මේ වගේ තැනකට?” ඈ නාට්‍යානුසාරීව කීවාය.

ටෝබමෝරි ඉක්මණින්ම ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. 

“ඔයා අද උදේ කෝනෙට් මහත්මියට ක්‍රොකේ පිට්ටනියේදී කීව විදිහට නම් ඔයා මෙහෙ ආවේ කෑම නිසා. ඔයා බ්ලෙම්ලි ජෝඩුව හැඳින්නුවේ ඔයා දන්නා නීරස ම ජෝඩුව හැටියට. හැබැයි එයාලාට ඉස්තරම්ම කෝකියෙක් සේවයට ගන්න තරම් මොළයක් තිබුණු බව ඔයා කීවා. එහෙම නැත්නම් කිසි කෙනෙක් එක වතාවකට වඩා මෙහෙ එන්නේ නැහැ කියලාත් ඔයා කීවා.”

“මේ කතාව සම්පූර්ණ බොරුවක්! අහන්න කෝනෙට් මහත්මියගෙන්-” අපහසුතාවයට පත් ඇග්නස් කෑගැසුවාය.

“ඔයා ඒ කීව කතාව පස්සේ වෙලාවක කෝනෙට් මහත්මිය බර්ටි වෑන් ටෑන් ට කීවා.” ටෝබමෝරි දිගින් දිගටම කියන්නට විය. “ඔය ගෑනි මහා සාගිනි කාරියක්, පෙරේතියක්, කෑම වේල් හතරක් ලැබෙනවා කීවොත් ඕනෑම තැනකට යයි,’ කියලායි බර්ටි ඊට උත්තර දුන්නේ. ඊටපස්සේ-”

මේ මොහොතේදී හදිසියේම මේ කතාබහ ඇණ හිටියේ පල්ලියේ පියතුමාගේ සුරතලා වූ තැඹිලි පැහැති බළලා පඳුරු අතරින් අශ්ව ගාල වෙත යන අයුරු ටෝබමෝරි දුටු බැවිනි. එසැණින් ඌ දිව ගොස් විවර කවුළුවෙන් අතුරුදන් විය.

තම දීප්තිමත් සිසුවාගේ අතුරුදන් වීමත් සමඟ කොර්නේලියස් ඇපින් විවිධ කාංසාමය ප්‍රශ්න කිරීම්, අමිහිරි අවලාද සහ බියපත් ආයාචනා රැසකට මැදි විය. ඇතිවී තිබුණු තත්ත්වයට වගකිව යුතු වූයේ ඔහු වූ අතර එය තවත් බරපතල වීම වැළක්වීම ඔහුගේ යුතුකම බව කියැවිණි. ‘ටෝබමෝරිට තම භයානක හැකියාව අනෙත් බළලුන් වෙත ලබා දීමට හැකිද?’ මේ ඔහු වෙත යොමු වූ පළමු ප්‍රශ්නයයි. අශ්ව ගාලේ වෙසෙන සිය මිතුරිය සමඟ ටෝබමෝරි තම හැකියාව බෙදා ගැනීමට ඉඩ ඇති නමුත් ඉන් ඔබ්බට තවත් සතුන් වෙත මේ ඉගැන්වුම ව්‍යාප්ත කිරීමට ඔහුට කාලය නොලැබී ඇතැයි ඔහුගේ අදහස විය. 

“එහෙනම්” කෝනෙට් මහත්මිය කීවාය, “ටෝබමෝරි කොයිතරම් වටිනා බළලෙක් වුණත්, හොඳ සුරතලෙක් වුණත් කරන්න දෙයක් නැහැ. මං හිතනවා ඔයා මම කියන දේට එකඟ වෙයි කියලා ඇඩිලේඩ්, ඌයි අශ්ව ගාලේ බැළලියි දෙන්නාම නැති කරලා දාන්න ඕන” 

“ඔයා හිතන්නේ මම පහුගිය පැය කාල සතුටින් ගත කළා කියලාද?” බ්ලෙම්ලි ආර්යාව අසතුටින් කීවාය. “මේ දරුණු හැකියාව ලැබෙන්න කළින් මායි මගේ මහත්තයයි ටෝබමෝරිට හරි ආදරයෙන් හිටියේ. හැබැයි දැන් අපිටත් හිතෙනවා ඌ ව ඉක්මණින් විනාශ කරලා දාන්න ඕන බව”

“අපිට පුළුවන් උගේ රෑ කෑම එකට වස දාන්න,” සර් විල්ෆ්‍රඩ් කීවේය. “අශ්ව ගාලේ බැළලිව මමම ගිහින් වතුරේ ගිල්වන්නම්. අශ්ව කරත්තේ රියදුරා නම් බොහොම දුක්වෙයි තමන්ගේ සුරතලා නැතිවෙන එක ගැන, ඒත් මම කියන්නම් බෝවෙන කුෂ්ඨ රෝගයක් මේ බළලුන් දෙන්නාගෙන් පැතිරෙන නිසා ඒවා බල්ලන්ටත් බෝවෙන එක වලක්වන්න අපට මේක කරන්න වෙනවා කියලා.”

“ඒත් මගේ විශේෂ සොයාගැනීම!” ඇපින් මහතා විරෝධය පෑවේය, “මම අවුරුදු ගාණක් තිස්සේ ගවේෂණ, පර්යේෂණ කරලා ලබා ගත්ත ප්‍රතිපල--”

“ඔයාට පුළුවන් ගොවිපොළේ ඉන්න බැටළුවෝ එක්ක ඔයාගේ පරීක්ෂණය කරන්න, මොකද උන් පාලනයක් යටතේ නේ ඉන්නේ. නැත්නම් සත්වෝද්‍යානයට ගිහින් අලියෙක්ව තෝරාගන්න, උන්ට හොඳට මොළේ තියෙනවා කියලා කියනවානේ. අනික උන් නිදන කාමරවලට, මේස පුටු අස්සට රිංගන්න එන්නේ නැහැනේ.” කෝනෙට් මහත්මිය කීවාය. 

තම සුවිශේෂී ජයග්‍රහණයට ලැබුණු ප්‍රතිචාරය ගැන කොර්නේලියස් ඇපින් ගේ කලකිරීම අති මහත් විය. නමුත් පොදු මතය ඔහුට එරෙහි ව පැවතුණු අතර තවත් විරෝධය පෑවොත් තමන්ගේ රාත්‍රී කෑම වේලටද වස එකතු වීමට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.

බ්ලෙම්ලි නිවසේ නවාතැන්ගෙන සිටි අමුත්තන් මේ සිද්ධියෙන් අනතුරුව වහා විසිර ගියේ නැත. ඉක්මණින් දුම්රිය ගමන් සැලසුම් කර ගැනීමට නොහැකි වීමත්, මෙහි අවසානයක් දකින්නට ඇති බයාදු කැමැත්තත් මීට හේතු විය. කෙසේ වෙතත් එදින රාත්‍රී ආහාරය නම් සමාජානුයෝජනීය වශයෙන් අසාර්ථක එකක් විය. අශ්ව ගාලේ බැළලියත් උගේ හිමිකරුවා වූ රියදුරුත් නිසා සර් විල්ෆ්‍රඩ් ට විවිධ කරදර සිදු වී තිබූ බැවින් ඔහු පසුවූයේ නොසතුටිනි. ඇග්නස් රෙස්කර් තම රාත්‍රී ආහාර වේලට ගත්තේ කර කළ පාන් පෙත්තක් පමණක් වූ අතර ඈ එය හැපුවේ ඒ හතුරකු යැයි සිතා ඔහු ව විනාශ කරන විලසිනි. මේවිස් පෙලින්ටන් නම් පලිගැනීමකට බර නිහඬතාවයකින් මුලු ආහාර වේලම ගත කළාය. බ්ලෙම්ලි ආර්යාව පිරිස අතරේ කතාබහ අඛණ්ඩ ව පවත්වාගැනීමට උත්සාහ කළත් ඇගේ බැල්ම තිබුණේ දොරකඩ වෙතයි. හොඳින් වස කලවම් කරන ලද මාලු කැබලි කිහිපයක් පිඟානක බහා අසල මේසයක තබා තිබිණි. කෙසේ වෙතත් අතුරුපස ගෙනෙන වෙලාව වෙද්දීත් ටෝබමෝරි පෙනී සිටියේ නැත.

රාත්‍රී ආහාරයෙන් පසු අමුත්තෝ දුම් බොන කාමරයට රැස් වී බලා සිටින්නට විය. කාඩ් කුට්ටම් සෙල්ලමට ගැලපෙන මානසික මට්ටමක් කිසි කෙනෙකුට තිබුණේ නැති අතර සංගීතයට සවන් දීමත් අතහැර දමන ලදී. ගබඩා කාමරයේ කුඩා ජනේලය ටෝබමෝරි වෙනුවෙන් විවරව පවතින බවත් තමන්  නින්දට යන බවත් රාත්‍රී එකොළහ වෙද්දී නිවසේ සේවකයෝ දැනුම් දුන්හ. අමුත්තන් පැරණි බැඩ්මින්ටන් සඟරා කියවමින් කල් මැරූ අතර බ්ලෙම්ලි ආර්යාව වරින් වර ගබඩා කාමරයට ගොස් ආපිට පැමිණියේ කළකිරුණු මුහුණෙනි.

පාන්දර දෙකට ක්ලොවිස් නිහඬතාවය බින්දේය. 

“ඌ අද ගෙදර එන්නේ නැහැ. බොහෝ විට මේ මොහොතේ ඌ ඇත්තේ මේ පළාතේ පත්තර කන්තෝරුවේ, 

උගේ මතක ආවර්ජනාවල පළවෙනි කොටස පත්තරයට කියමින්. ඕක පළ වුණාම හොඳ ප්‍රසිද්ධියක් ලැබෙයි.” 

මෙසේ කියා සභාවේ නොසතුට තවත් වැඩිකළ ක්ලොවිස් ඉනික්බිති නින්දට ගියේය. සෙස්සෝ ද ක්‍රම ක්‍රමයෙන් ඔහු ව අනුගමනය කළහ. 

පසුදින උදෑසන තේ රැගෙන කාමර වෙත ගිය සේවකයන් තමන් වෙත නැඟුණු ප්‍රශ්නයට දුන්නේ එකම පිළිතුරකි, ඒ ටෝබමෝරි නැවත පැමිණ නැති බවයි. පාතරාසය ද පෙර දින රාත්‍රී ආහාර වේල මෙන් අප්‍රසන්නව ගෙවෙමින් තිබුණද එය අවසන් වීමට පෙර සුබ ආරංචියක් ලැබිණි. උද්‍යාන සේවකයෙකු විසින් මියගිය ටෝබමෝරි ගේ සිරුර රැගෙන ආවේ එය ගෙවත්තේ පඳුරු අතරේ තිබුණු බව පවසමිනි. උගේ ගෙල ප්‍රදේශයේ මාරාන්තික දත් පහරවල් තිබුණු අතර නිය අතර වූ තැඹිලි පැහැ ලෝම වලින් ඔප්පු වූයේ ඌ පල්ලියේ සුරතලා වූ විශාල තැඹිලි පැහැ බළලා හා සටන් කර පැරදී ඇති බවයි. 

එදින මධ්‍යහනය වෙද්දී සියලුම අමුත්තන් බ්ලෙම්ලි නිවසින් පිටව ගොස් තිබිණි. දිවා අහාරයෙන් පසු බ්ලෙම්ලි ආර්යාව තම සුරතලා ගේ මරණය ගැන චෝදනා කරමින් පල්ලියේ පූජකතුමාට අවලාද නඟා ලිපියක් ලිවීමට තරම් ප්‍රකෘතිමත් වී සිටියාය. 

ටෝබමෝරි, ඇපින් ගේ එකම සාර්ථක ගෝලයා වූ අතර ඉනික්බිති තවත් ගෝලයන් ඇති වීමට කටයුතු යෙදී තිබුණේ නැත. මීට සති කීපයකට පසු ඩ්‍රෙස්ඩෙන් සත්වෝද්‍යානයෙන් ලැබුණේ අමුතු ආරංචියකි. මීට පෙර කිසිවිටක දරුණු හැසිරීමක් නොපෙන්වූ අලියෙකු තම බැමි බිඳ ගොස් එක්තරා මනුෂ්‍යයෙකු මරා දමා ඇති බවත්, මීට හේතුව ඔහු විසින් ඒ අලියාට උසුළු විසුළු කළ නිසා බවට සැකකෙරෙන බවත් සැළ විය. මේ අනතුරට ගොදුරු වූ පුද්ගලයාගේ නම කොර්නේලියස් ඇපින් බවට වාර්තා විය.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Tobermory’ by Saki

AI Image

June 03, 2026

ලොකු අයියා



ජග්දීෂ් බාබු මුලින්ම ඒ කුඩා කොලුවාව දුටුවේ වෙළඳ පොළ පසු කර එද්දී හමුවන විශාල දැන්වීම් පුවරුවක් සහිත කුඩා අවන්හලේදීය. ඔහුට පැහැපත් සමක්, දිලිසෙන දෑසක් සහ රන්-දුඹුරු මිශ්‍ර කොණ්ඩයක් තිබිණි. එමෙන්ම නෙලුම් පතක් මත රූටා යන දිය බිඳකට ඇති අසාමාන්‍ය ජීවී බවක් ඔහු සතු විය. කොලුවාගේ වයස අවුරුදු නමයක් හෝ දහයක් විය හැකි බව අනුමානු කළ හැකි වූයේ ඔහුගේ දෑසේ වූ තියුණු බැල්මෙනි. 

ජග්දීෂ් බාබු අඩක් දැල්වුණු දුම්වැටිය උරමින් අවන්හලට ඇතුලු වෙද්දී කොලුවා සිටියේ මේස අස් කරමිනි. එහෙත් ජග්දීෂ් බාබු අවන්හලේ කෙලවර මේසයක අසුන් ගනිද්දී කොලුවා ඔහු ඉදිරියේ පෙනී සිටියේ ඒ අසුනට කවුරුන් හෝ එනතුරු පැය ගණනක් බලා සිටි පරිද්දෙනි. ඔහු කිසිත් නොකියා, ගෞරවයෙන් මඳක් හිස පහත් කර සිනාසුණා පමණි. තේ කෝප්පයක් සඳහා ඇනවුම් ලැබ නැවතත් සිනාවක් පෑ ඔහු, ආපිට ගොස් ඉතා ඉක්මණින් එය රැගෙන ආවේය. 

හැඟීම් යනු අමුතු දේවල් ය. කෙනෙකුට කිසිවකු නොමැති තැනක තනි වූවත් කිසිම තනිකමක් නොවිඳ පැවතිය හැකිය. එසේ වන්නේ ඒ හුදකලාව තුළ වුවත් හැම දේම තමන්ගේය යන හැඟීම ඇති විටයි. අනෙත් අතට දස දහසක් සෙනඟ අතරේ වුවත් කෙනෙකුට තනිකමක් දැනීමට ඉඩ තිබේ. මේ, තමන් වටා ඇති කිසි දෙයක් තමන්ගේ නොවන බව, ආගන්තුක බව දැනෙන වේලාවටයි. මේ නිසා පුද්ගලයෙකුගේ හුදෙකලාව හෝ තනිකම පැන නඟින්නේ ඔවුන්ගේ අතීතයේ සිදු වූ වෙන්වීම් හෝ අත් හැරීම් මුල්කොටගෙන බව සත්‍යයකි.

ජග්දීෂ් බාබු ඒ නගරයට පැමිණ තිබුණේ දුර ඈත පෙදෙසකින් වූ අතර ඔහු ජීවත් වූයේ තනිවමය. වෙළඳපොළේ කලබලයත්, අවන්හලේ ඝෝෂාවත් මැද ඔහුට නිරතුරුවම දැනුණේ ඔහු ඒ හැම දෙයකින්ම වියුක්තව පවතින බවකි. සමහරවිට ටික කලක් මේ පෙදෙසේ වාසය කළහොත් ඔහුට ඒ පරිසරයට යම් ළබැඳි බවක් දැනෙන්නට ඉඩ තිබුණි. නමුත් එදින නම් ඔහුට ඒ වටපිටාව සමඟ දැනුණේ අයිතිවීමකට වඩා ආගන්තුක බවකි. තම ගම් පෙදෙසේ මිනිසුන් ගැනත්, එහි පාසල සහ සිසුන් ගැනත්, ඊට අසල්වැසි නගරයක තිබුණු අවන්හල ගැනත් ඔහු අතීතකාමයෙන් යුතු ව සිහි කරන්නට විය. 

“තේ එක, සා’හිබ්”

ජග්දීෂ් බාබු තම දුම්වැටියේ අලු ගසා දැමුවේය. තම තේ කෝප්පය ගෙනා කොලුවා ‘සා’හිබ්’ උච්චාරණය කළ ආකාරයේ හුරු බවක්, එ තුළින් තමන් සොයමින් සිටි දෙයක් ලැබුණු බවක් ඔහුට දැනුණි. ඔහු තම සැකය තහවුරු කරගන්නට කොලුවා ව කතාවට අල්ලා ගත්තේය. 

“උඹේ නම මොකක්ද?”

“මදන්”

“බොහොම හොඳයි, මදන්! උඹේ ගම කොහෙද?”

“මම කඳුකර පළාතේ බාබුජි”

“කඳු නම් කොයිතරම් තියෙනවාද- ආබු, ඩාර්ජීලිං, මසූරි, සිම්ලා, අල්මෝරා… කොයි කන්දේ ද උඹේ ගම තියෙන්නේ?”

“අල්මෝරා, සා’හිබ්” ඔහු සිනාසෙමින් කීවේය. “අල්මෝරා”

“අල්මෝරා වල කොයි ගමද?” ජග්දීෂ් බාබු තව දුරටත් ඇසීය.

කොලුවා මඳක් පැකිලුනි. 

“ඒක බොහොම දුර ගමක් සා’හිබ්. අල්මෝරා ඉඳනුත් හැතැප්ම පහළවක් විස්සක් ඇති.” තම ගමේ අමුතු නම ගැන ලැජ්ජාවෙන්දෝ කොලුවා පිළිතුරු දීම මඟහැරියේ ය. 

“හරි ඉතින් දුර වුණත් නමක් ඇතිනේ.” ජග්දීෂ් බාබු අත හැරියේ නැත. 

“දෝතියල්ගොන්” කොලුවා ලැජ්ජාවෙන් පිළිතුරු දුන්නේ ය. 

ජග්දීෂ් බාබුගේ මුහුණේ වූ තනිකම අතුරුදන් විය. තමන් ඊට අසල්වැසි ගමක බව ඔහු සිනාසී පැවසූ විට මදන් කෙතරම් සතුටු වූවා ද යත් ඔහු අතින් තේ කෝප්පය සහිත තැටිල්ල අත්හැරෙන්නට ද ගියේය. ඔහු කිසිත් නොකියා තෝන්තුවෙන් මෙන් බලා සිටියේ අතීතය සිහි කරගන්නට උත්සාහ දරමින් මෙනි. 

අතීතය… ගම... උස් කඳු.. ගඟ… අම්මා… තාත්තා… අක්කා, නංගි… අයියා..

ජග්දීෂ් බාබු වෙතින් මදන් දුටුවේ කාගේ රුවද? මවගේ? පියාගේ? සහෝදරියන්ගේ? නැත, ඔහු එහි දුටුවේ තම වැඩිමල් සොයුරාගේ රුවයි. ඔව්, ඒ තම ඩාජ්යු වැනි අයෙකි!

දින කීපයක් ගත වෙද්දී ජග්දීෂ් බාබු සහ මදන් අතර වූ ආගන්තුක බව අතුරුදන් විය. ඔහු අවන්හලේ අසුන්ගත් සැණින් මදන් “කොහොමද ඩාජ්යු!” “අද නම් හොඳටම හීතලයි ඩාජ්යු” “මෙහෙටත් හිම වැටෙනවාද ඩාජ්යු?” “අද වැඩිය කාලා නැහැනේ ඩාජ්යු” වැනි යමක් හඬ ගා කියන්නට විය. 

කොතැනකින් හෝ “කොල්ලා!” කියා හඬ ගසනු ඇසුණු විට ඒ හඬේ දෝංකාරය මැකෙන්නත් පෙර ඔහු එතැන පෙනී සිටියි. ඒ ඇනවුම ගෙන ආපසු යන්නට හැරෙද්දී “ඩාජ්යුටත් මොනවා හරි ගේන්නද?” කියා අසන්නට ඔහු අමතක කළේ නැත. 

“මට වතුර ටිකක්.”

“මේ ගේනවා ඩාජ්යු” එවිට මදන් අවන්හලේ එහා කෙළවරේ සිට හඬ නඟා පිළිතුරු දෙයි. ඔහු නිරතුරුවම ‘ඩාජ්යු’ යන වදන කීවේ කලක් වෙන්ව සිටි තම දරුවා වැළඳ ගන්නා මවක් මෙන් සෙනෙහෙසිනි. 

ටික කලක් ගත වෙද්දී ජග්දීෂ් බාබුගේ තනිකම අතුරුදන් විය. වෙළඳපොළත්, අවන්හලත් පමණක් නොව ඒ නගරයම ඔහුට තමන්ගේ බවක් හැඟිනි. එසේ වුවත් අවන්හලේ හැම තැනින්ම මදන් ඔහුට ‘ඩාජ්යු’ යැයි අමතන හඬ නැඟීම නම් ඒ වෙද්දී ඔහුට හිසරදයක් වී තිබිණි. 

මෙලෙස මදන් නිතරම තමන්ට ඩාජ්යු යැයි ඇමතීම ජග්දීෂ් බාබු අලුතින් ආරෝපණය කර ගත් මධ්‍යම පාන්තික සිතුවිලි රටාවට පටහැනි විය. මහන්තත්වයේ බලවත් බව හමුවේ ඇඟලුම්කමේ සිහින් හුයට පැවැත්මක් තිබුණේ නැත.

“මදන්! මෙහෙ වරෙන්!”

“මේ එනවා, ඩාජ්යු! තේ ගේන්නද, ඩාජ්යු?”

“තේ එපා, ඒත් උඹ මොකද මේ හැම තිස්සෙම ඩාජ්යු, ඩාජ්යු කිය කියා කෑ ගහන්නේ? උඹට මනුස්සයෙක්ගේ වැදගත්කම ගැන තේරුමක් නැද්ද?” කේන්තියෙන් රත් පැහැ ගැන්වී සිටි ජග්දීෂ් බාබුට තම මුවින් පිටවෙන වදන් ගැන පාලනයක් තිබුණේ නැත. ‘වැදගත්කම’යනු කුමක්දැයි මදන්ට තේරුමක් තිබේදැයි සිතන්නට ඔහු නැවතුණේ ද නැත. නමුත් පැහැදිලි කිරීමක් රහිතවම මදන් හැම දේම තේරුම් ගත්තේය. ඒ තරම් කුඩා වයසකදී ලෝකයම තේරුම් ගන්නට එඩිතර වූ ඔහුට එක් කුඩා වදනක් තේරුම් ගැනීම අපහසු වූයේ නැත. 

හිසරදයක් ඇති බවට කඩයේ හිමි කරුට හේතු දක්වා මදන් තම කුඩා කුටියට ගොස් දෙදණ මත හිස හොවා හඬා වැටුණේය. තම නිවසින් පිටව බොහෝ දුරක කල් ගෙවද්දී ඔහු ජග්දීෂ් බාබුවෙත පෑ ඇඟලුම්කම ස්වභාවිකව ඉපදුණු දෙයක් විය. නමුත් මේ සිද්ධියෙන් අනතුරුව, මේ නුහුරු ප්‍රදේශයේදී කවුරුන් විසින් හෝ තමන්ව තම පවුලේ අයගේ තුරුලෙන් සහ ආරක්ෂාවෙන් හදිසියේම උදුරා දමන ලද බවක් ඔහුට පළමු වතාවට දැනුණි. 

ඉනික්බිති ඔහු නැවතත් රාජකාරියට ගියේය. 

ඊළඟ දවසේදී අවන්හලට යන අතරමඟ දී ජග්දීෂ් බාබුට තම ළමා කාලයේ මිතුරකු වූ හේමන්ත් මුණගැසිණි. අවන්හලේ අසුන් ගත් පසු ඔහු මදන්ට හඬ ගැසූ විට කොලුවා තමන් ව මඟ හරින බවක් ඔහුට දැනුණි. දෙවන වතාවේදී හඬ ගැසූ විට මදන් ඔවුන් වෙත පැමිණියේය.

වෙනදා දිස් වූ මඳහස ඔහුගේ මුවේ දක්නට තිබුණේ නැත. වෙනදා මෙන් ඔහු “මොනවාද ගේන්න ඕන ඩාජ්යු?” කියා ඇසුවේද නැත. එබැවින් “තේ දෙකයි, ඔම්ලට් දෙකයි” කියමින් තමන්ටම තම ඇනවුම දෙන්නට ජග්දීෂ් බාබුට සිදු විය. ඉනික්බිති මදන් “ඉක්මනට ගේන්නම් ඩාජ්යු,” කියනවා වෙනුවට “ඉක්මණින් ගේන්නම් සා’හිබ්” යැයි කීවේ ඔහුට අමුත්තකුට සේ සලකමිනි. 

“කඳුකරේ පැත්තේ කොල්ලෙක් වගේ නේද?”හේමන්ත් අනුමාන කළේ ය. 

“ඒ වගේ”යැයි මිමිනූ ජග්දීෂ් බාබු කතාව වෙන අතකට හැරවූයේ ය. 

ටික වෙලාවකින් මදන් තේ රැගෙන පැමිණියේය.

“උඹේ නම මොකක්ද?”හේමන්ත් මිතුරු ලීලාවකින් ඇසුවේය.

මේසය වටා නිහඬබවක් පැතිරිණි. ජග්දීෂ් බාබු තම දෑස තේ කෝප්පය වෙත ම එල්ල කර සිටියේය. මදන් ගේ දෑස ඉදිරියේ පා වුණේ නම් අතීත මතකයන් පමණි. මේ ආකාරයටම දිනක් ජග්දීෂ් බාබු තම නම විමසූ හැටි.. ඉනික්බිති “ඩාජ්යු, කෝ අද හරියට කෑම කාලාත් නැහැ” වැනි කතාබහ සහ ඉනික්බිති “උඹට මනුස්සයෙක්ගේ වැදගත්කම ගැන තේරුමක් නැද්ද?” කී දවස…

 ජග්දීෂ් බාබු දෑස ඔසවා බලද්දී දුටුවේ මදන් ගිනි කන්දක් සේ පිපිරුමට ආසන්න ව සිටි බවයි. 

“උඹේ නම මොකක්ද?”හේමන්ත් නැවත වතාවක් ඇසුවේය.

“සා’හිබ්, මෙහෙ හැමෝම මට කියන්නේ කොල්ලා කියලා” කී මදන් ඉක්මණින් එතැනින් ඉවතට ගියේය. 

“මෝඩ බූරුවෙක්” හේමන්ත් තේ කෝප්පය තොල ගාමින් පැවසීය. “ඌට උගේ නමවත් මතක නැහැ!”

 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Big Brother’by Shekhar Joshi

AI Image


May 03, 2026

සෙනෙහසේ මල් කළඹ


ඉන්දියාවේ කඳුකර පෙදෙස් වල තවමත් විසිතුරු ඉංග්‍රීසි නම් ඇති පැරණි බංගලා දකිනු හැකිය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මේවා ඉංග්‍රීසි ජාතිකයන් විසින් තනවා තිබුණේ පහත රට දැඩි උණුසුම් කාලගුණයෙන් මිදී සහනයක් ලබා ගැනීම පිණිසයි. පසු කාලීනව මේවා අතරින් බොහොමයක් ජරා ජීර්ණ වී සතුන්ටත්, ඉඳහිට ඒ අසලින් කොටළුවන් සමඟින් ගමන්ගත් ගැමියන්ටත් සෙවන සැලසුවේය. 

මේ අත් හැර දැමුණු බංගලා අතර ‘මල්බෙරි ලොජ්' නමින් ඉතාමත් පිළිවෙල, සුදු හුණු ගෑ කුඩා නිවසක් විය. එහි මැකෙන්සි මෙනෙවිය නම් වූ අවිවාහක, වයස්ගත ඉංග්‍රීසි කාන්තාවක් ජීවත් වූවා ය. වයස අසූව ඉක්මවා සිටියත් ඇගෙන් ඒ වයස දිස් වූයේ නැත. බෙහෙවින්ම ක්‍රියාශීලී කෙනෙකු වූ මැකෙන්සි මෙනෙවිය පරණ තාලයේ විසිතුරු ගවුම් ඇන්දාය. සතියකට වතාවක් නගරය වෙත ඇවිද ගිය ඈ බටර්, ජෑම්, සබන් සහ කළාතුරකින් සුවඳ විලවුන් බෝතලයක් ද මිළදී ගත්තා ය. 

මැකෙන්සි මෙනෙවිය පළමු ලෝක යුද්ධයට පෙර සිට, එනම් තම යෞවන වයසේ පටන් මේ නිවසේ ජීවත් වූවා ය. ඇගේ දෙමව්පියනුත්, සොයුරාත්, සොයුරියත් මිය ගොස් තිබුණු අතර ඇයට ඉන්දියාවේ වෙනත් ඥාතීන් සිටියේ නැත. ඇගේ ජීවිකාව සඳහා කුඩා විශ්‍රාම වැටුපක් ප්‍රමාණවත් විය. මැකෙන්සි මෙනෙවියගේ නිවසට ආ සීමිත අමුත්තන් අතර ප්‍රදේශයේ පූජකවරයා, තැපැල්කරු සහ කිරි වෙළෙන්දා විය. තනිකමින් පෙළෙන බොහෝ වයස්ගත උදවිය මෙන් ඇයට ද සුරතලෙකු විය. ඒ දිලිසෙන කහ පැහැති ඇස් ඇති විශාල කලු බළලෙකි. 

තම කුඩා ගෙවත්තේ මැකෙන්සි මෙනෙවිය ඩාලියා, ක්රිසන්තමම්, ග්ලැඩිඕලි මල් වර්ග මෙන්ම දුර්ලභ ඕකිඩ් වර්ග කිහිපයක් වගා කළාය. ඈ කැලෑ මල්, ගස්, කුරුල්ලන් සහ කෘමි සතුන් ගැන බොහෝ දේ දැන සිටියාය. කිසි දිනක ඒ දේවල් ගැන ඈ උවමනාවෙන් උගෙන තිබුණේ නැතත් තමන් අවට වූ දේ සමඟ ඇයට මනා සහසම්බන්ධයක් තිබිණි. 

එක් සැප්තැම්බරයක වැසි සමය අවසන් වෙද්දී මැකෙන්සි මෙනෙවියගේ අප්‍රිකානු දාස්පෙති පාත්තිය පුරා මල් දිස් විය. එළෙඹෙමින් තිබුණු සීත ඍතුව සැඩ නොවනු ඇතැයි ඈ ප්‍රාර්ථනා කළේ එන්න එන්නම ඇයට සීතල දරා ගැනීමට අපහසු වූ හෙයිනි. මෙදින ඈ තම ගෙවත්තේ සිටිද්දී තම නිවස අසල කඳු බෑවුමේ කැලෑ මල් නෙලන කුඩා පිරිමි ළමයෙකු දුටුවා ය.

“කොල්ලෝ, ඔය මොකද කරන්නේ?” ඇය උස් හඬින් ඔහුගෙන් ඇසුවාය. 

කලබල වූ දරුවා ඉක්මණින් බෑවුම ඔස්සේ ගොස් පළා යන්නට තැත් කළත් ඉඳිකටු වැනි පයිනස් පත්‍ර මත ඔහුගේ පය ලෙස්සූ බැවින්, ඔහු රූටා විත් මැකෙන්සි මෙනෙවියගේ නාස්ටර්ෂම් පාත්තියටම වැටුණේය. තමන්ට ගැලවීමක් නොමැති බව වැටහුණු බැවින් ඔහු ඇය වෙත දීප්තිමත් සිනාවක් පා “සුබ උදෑසනක් මිස්!” කීවේය. 

ඔහු ඒ ප්‍රදේශයේ වූ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වූ පාසලේ සිසුවකු වූ අතර එහි නිල ඇඳුම වූ කබායත්, ටයි පටියත් පැළඳ සිටියේය. බොහෝ ආචාරශීලී පාසල් සිසුන් මෙන් ඔහු ද සෑම කාන්තාවකටම ‘මිස්’යැයි ආමන්ත්‍රණය කිරීමට පුරුදු පුහුණු ව තිබුණු බවක් පෙනුණි. 

‘සුබ උදෑසනක්,” මැකෙන්සි මෙනෙවිය තදින් කීවාය. “කරුණාකරලා මගේ මල් පාත්තියෙන් අයින් වෙනවාද?” 

දරුවා ප්‍රවේසමෙන් නාස්ටර්ෂම් වැල් මතින් ඉවත් ව මැකෙන්සි මෙනෙවිය දෙස බැගෑපත් බැල්මක් හෙලුවේ ය. 

“තමුන් මේ වෙලාවේ ඉන්න ඕන ඉස්කෝලේ නේ, මෙහෙ මොකද කරන්නේ?” ඇය විමසුවාය. 

“මම මල් කඩන්න ආවේ මිස්.” ඔහු කැලෑ මල් සහ මීවන එකතු කළ මල් පොකුරක් පාමින් කීවේය. 

“ආ!” මැකෙන්සි මෙනෙවිය මඳක් පසුබෑවා ය. පිරිමි ළමයකු මල් ගැන උනන්දුවක් දක්වනු ඈ බොහෝ කාලයකින් දැක තිබුණේ නැත. 

“ඔයා.. මල් වලට කැමති ද?”

“ඔව් මිස්, මම හිතාගෙන ඉන්නේ උද්භිද විද්‍යාඥයෙක් වෙන්න.”

“ඒක අමුතු අදහසක්. ඔයා මේ මල් වල නම් දන්නවාද?”

“නෑ මිස්.”

“මේ බටර්කප්,” මැකෙන්සි මෙනෙවිය කීවාය. “ඔය දම් පාට මල සැල්වියා. ඔයාට පැළ වර්ග ගැන පොත් එහෙම තියෙනවාද?”

“නෑ මිස්.”

“එහෙනම් එන්න, මම පොතක් පෙන්නන්නම්.”

ඈ පිරිමි ළමයා ව කැඳවාගෙන තම කුඩා විසිත්ත කාමරයට ගියා ය. එය ලී බඩු, පොත් පත් සහ මල් බඳුනින් පිරී තිබිණි. ඔහු තරමක් අපහසුතාවයෙන් පුටුවක කෙළවර අසුන් ගත්තේය. බළලා වහා ඔහුගේ උකුලට පැන නිදන්නට වූයේ සෙමෙන් පුරු පුරු හඬ නඟමිනි. 

“මොකක්ද ඔයාගේ නම?” මැකෙන්සි මෙනෙවිය පොත් තෝරන අතරතුර විමසුවා ය. 

“අනිල්, මිස්”

“කොහෙද පදිංචිය?”

“ඉස්කෝලේ නිවාඩු කාලෙට මම දිල්ලියට යනවා, මගේ තාත්තාට එහෙ බිස්නස් එකක් තියෙනවා.”

“ආ මෙන්න තියෙනවා!” ඈ බරැති පොතක් රාක්කයෙන් පිටතට ගනිමින් කීවාය. “මේ Flora Himaliensis කියන පොත 1892දී පළ කරලා තියෙන්නේ. සමහරවිට මේ ඉන්දියාවේ ඉතුරුවෙලා තියෙන එකම පිටපත වෙන්න ඇති, ඒ නිසා මේක බොහොම වටිනා පොතක් අනිල්. වෙන කිසිම උද්භිද විද්‍යාඥයෙක් මේ විදිහට හිමාලයේ කැලෑ මල් ලේඛනගත කරලා නැහැ. හැබැයි මුළු දවසම අන්වීක්ෂ ළඟ මිසක් කඳුකරයේ ගත නොකරන උද්භිද විද්‍යාඥයන්ට තවම හොයාගන්න බැරිවුණු තව පැලෑටි මේ කඳුකරයේ සෑහෙන්න තියෙනවා. සමහරවිට ඔයාට කවදාහරි පුළුවන් වේවි ඒ ගැන යමක් කරන්න.”

“ඔව් මිස්.”

මැකෙන්සි මෙනෙවිය උදුන දල්වා කේතලය ලිප තැබුවා ය. ඉනික්බිති වයෝවෘද්ධ ඉංග්‍රීසි කාන්තාවත් කුඩා ඉන්දියානු දරුවාත් එක පෙළට අසුන්ගෙන පොත ට සම වැදී එය කියවන්නට වූහ. මැකෙන්සි මෙනෙවිය ඒ ප්‍රදේශයේ දක්නට ඇති මල් වර්ග වල විස්තර පෙන්වද්දී අනිල් ඒවායේ නම් සහ ඒවා පිපෙන ඍතු ගැන විස්තර සටහන් කරගත්තේය.

“මම ආයෙත් දවසක එන්නද?” අන්තිමේදී ඔහු පිටත් වන්නට සූදානම් ව ඇසුවේය. 

“කැමති නම් එන්න,” ඈ පිළිතුරු දුන්නා ය. “හැබැයි ඉස්කෝලේ වෙලාවේ නෙමෙයි, පන්ති පාඩු කරගන්න එපා.”

ඉනික්බිති අනිල් සතියකට වතාවක් පමණ මැකෙන්සි මෙනෙවිය බලන්නට ආවේය. ඒ හැම වතාවකම මෙන් ඔහු ඇයගෙන් නම් අසා දැනගන්නට කැලෑ මල් වර්ග ගෙන ආවේය. ඈ ඔහුගේ පැමිණීම කැමත්තෙන් බලාපොරොත්තු වූ අතර ඇතැම්විට සතියක් ගතවී ඔහු නොපැමිණි විට තම බළලා ට ඒ ගැන ගතු කීවාය. 

ඔක්තෝම්බර් මාසයෙන් අඩක් ගෙවෙද්දී දුර ඈත කඳු මුදුන් මතට හිම වැටිණි. ඈත කඳු පන්තියෙන් එක කන්දක් අනෙත් ඒවාට ඉහළින් දිස් වූයේ තනි නිල් අහසක දිලිසෙන ධවල ශිඛරයක් ලෙසිණි. සන්ධ්‍යාවේ හිරු බසිද්දී මේ කන්ද තඹ පැහැයෙන් රෝස පාටටත්, රතු පාටටත් හැරුණි. ඒ වෙද්දී පාසල් නිවාඩුවට ඉතිරි ව තිබුණේ දෙසතියකි.

“අර කන්ද කොයිතරම් උස ද?” දිනක් අනිල් ඇසුවේය.

“අඩි දොළොස් දාහකට වැඩි වෙන්න ඕන,” මැකෙන්සි මෙනෙවිය පිළිතුරු දුන්නා ය. “මට හැමදාම ලොකු ආසාවක් තිබුණා ඒ කඳු මුදුනට යන්න, ඒත් එතැනට හරියකට පාරක් නැහැ. මෙහෙ දකින්න නැති මල් ඒ උසේදී පිපෙනවා ඇති, නිල් ජෙනේෂියන් මල්, දම් කොලම්බයින් මල් එහෙම…”

පාසල් නිවාඩුවට පෙර දින මැකෙන්සි මෙනෙවියගෙන් සමු ගන්නට අනිල් පැමිණියේය. ඔහු පිටව යන්නට සූදානම් වෙද්දී කැලෑ මල් ගැන ලියවුණු පොත ඈ ඔහු අතේ තැබුවාය. 

“මේක බොහොම වටිනා පොතක්නේ!” ඔහු කීවේය. 

“ඒ නිසා තමයි මම ඒක ඔයාට දෙන්නේ, නැත්නම් ඕක පරණ බඩු වෙළෙන්දෝ අතට තමයි කවදා හරි යන්නේ.”

“ඒත් මිස්…”

“මාත් එක්ක වාද කරන්න එපා, මේක අරගෙන යන්න.”

දරුවා පොත තුරුලු කරගෙන සීරුවෙන් සිටගෙන “ආයුබෝවන් මැකෙන්සි මෙනෙවිය” කීවේය. ඒ ඔහු ඇගේ සම්පූර්ණ නම ම කී පළමු වතාව විය. 

නොබෝ දිනකින් සැඩ සුළං හමා හිම වර්ෂා වැටෙන්නට විය. ගෙවත්තේ මල් සියල්ල සීතල නිසා මියැදුණි. බළලා නිරතුරුවම ගෙතුළට වී ඇඳේ කෙළවරක නිදමින් කාලය ගත කළේය. මැකෙන්සි මෙනෙවිය ගනකම් සාලු සහ මෆ්ලර් රැසක් ඔතාගත්තත් ඇයට සීතලෙන් මිදීමට දුෂ්කර විය. සීතල නිසා ඇගේ අතැඟිලි කෙතරම් දරදඬු වී ද යත් ඇයට පිසූ බෝංචි සහිත ටින් බඳුනක් විවර කර ගැනීමට පැයක පමණ වෙලාවක් ගත විය. හිම පතනය ඇරඹුණු විට දින ගණනාවක් ගෙවෙන තෙක් කිරි වෙළෙන්දා පැමිණියේ නැත. 

තමන්ට මහත් වෙහෙසක් දැනුණු බැවින් මැකෙන්සි මෙනෙවිය නිරතුරුව ඇඳට වී කාලය ගත කළාය. ඈ උණුසුම් වතුර බෝතලයක් තම කොන්ද ට තබාගත් අතර බළලා ඇගේ දෙපා උණුසුම් කළේ ය. ඈ වසන්තයත්, ගිම්හානයත් ගැන සිහින දුටුවාය. තව තෙමසකින් නැවතත් ප්‍රිම්රෝස් මල් පිපෙනු ඇත, පාසල් නිවාඩුව අවසන් වී අනිල් ආපිට පැමිණෙනු ඇත. 

එක රාත්‍රියක උණු වතුර බෝතලය පුපුරා එහි වූ දියෙන් ඇඳ තෙතබත් විය. දින කීපයක් යන තුරු හිරු නොනැඟුණු බැවින් ඇඳේ පොරෝනා වියලුණේ නැත. මැකෙන්සි මෙනෙවියට සීතලක් ඇල්ලූ අතර ඇයට අපහසුවෙන් හෝ ඇඳට ම වී සිටින්නට සිදුවිය. 

දිනක් තද සුළඟක් ඇගේ නිදන කුටියේ කවුළුවේ පියන් හැරදමා හඹා ගියේය. මැකෙන්සි මෙනෙවිය ඉතා දුර්වලව පසු වූ බැවින් එය වසා දමන්නට ඇඳෙන් නැගිටීමට ඇයට නොහැකි විය. සුළඟට වර්ෂාවත්, හිම ත් ඇගේ කාමරයට ඇතුළු විය. බළලා තම ස්වාමි දුවගේ සිරුරට තුරුලු වූවේය. එහෙත් උදෑසන වෙද්දී ඒ සිරුරේ උණුසුම නැති වූ බැවින් ඌ ඇඳෙන් බිමට පැන පොළොව පහුරු ගාන්නට විය. 

කවුළුව අතරින් හිරු එළිය විසිරෙද්දී කිරි වෙළෙන්දා පැමිණියේය. දොරකඩ වූ පීරිසියකට ඔහු කිරි ස්වල්පයක් වත් කරද්දී බළලා ජනෙල් පඩියෙන් බිමට පැන ඒ වෙත පැමිණියේය. කිරි වෙළෙන්දා මැකෙන්සි මෙනෙවියට කතා කළ නමුත් පිළිතුරක් ලැබුණේ නැත. ඈ වෙනදාට හිරු උදාවටත් පෙර අවදිවන බව දත් බැවින් ඔහු ඇයට හඬගසමින්ම විවර කවුළුවෙන් නිවස තුළට එබිකම් කළේය.  

මැකෙන්සි මෙනෙවිය පිළිතුරු දුන්නේ නැත. ඒ වෙද්දී ඈ නිල් ජෙනේෂියන් මල් සහ දම් කොලම්බයින් මල් පිපෙන කඳු මුදුන වෙත ගොස් තිබිණි. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘A Bouquet of Love’ by Ruskin Bond

AI generated image

April 01, 2026

ජනවාරියේ රාත්‍රියක්



“අන්න ගෙවල් අයිතිකාරයා ඇවිත්, උඹ අරන් තියාගත්ත සල්ලි ටික ගනින්, අපි මේ මාසේ කොහොමහරි ගෙවාගමු ඒ සල්ලි නැතිව.” හල්කු තම බිරිඳ අසලට විත් කීවේය.

අතුගාමින් සිටි මුන්නි, ඔහු වෙත හැරුණාය. 

“එතැන තියෙන්නේ රුපියල් තුනයි. ඒ සල්ලි දීලා කොහොමද? එතකොට පොරෝනාව ගන්න සල්ලි කෝ? පොරෝනාවක් නැතිව මේ ජනවාරියේ රෑවල් කුඹුරේ ගතකරන්නේ කොහොමද? එයාට කියන්න අපට දැන්ම කාසි දෙන්න විදිහක් නැහැ, අස්වැන්න ගෙට ගත්තාම දෙන්නම් කියලා.”

හල්කු මඳ වෙලාවක් ලත විය. ජනවාරි මස ඔවුන් අසලටම පැමිණ තිබිණි. පොරෝනාවක් නොමැතිව කිසිසේත්ම කුඹුරෙහි රාත්‍රීන් ගත කළ නොහැක. නමුත් තර්ජනය කිරීමටත්, අපහාසයටත් හුරු නිවසේ අයිතිකරු මඟහැර ගැනීමට ක්‍රමයක් තිබුණේ ද නැත. වර්තමානයේ එළඹී ඇති අර්බුදය විසඳා පසු දිනක සීතලේ උන්නත් කම් නැති බව සිතූ හල්කු බිරිඳට කිට්ටු වී මෙසේ කීවේය.

“අපි මොනවා හරි කරගමු, පොරෝනාවක් ගන්න ක්‍රමයක් මම හොයාගන්නම්. ඔය සල්ලි ටික දීපන්.”

මුන්නි ඔහු වෙතින් ඉවත් වෙද්දී ඇගේ දෑස් කෝපයෙන් දිලිසෙමින් තිබිණි. 

“වෙන විදි කීයක් නම් කරලා බැලුවාද, කියන්න බලන්න මේ සැරේ මොන විදිහෙන්ද සල්ලි හොයන්නේ කියලා? ගෙවාගන්න බැරි වුණු ණය කොයිතරම් තියෙනවාද කියලා දෙවියෝ තමයි දන්නේ. මේ අඳ ගොවි රස්සාව අත ඇරලා දාන්න කියලා මම ඔහෙට කොයි තරම් කියනවාද? ඔහේට ඔය විදිහට මහන්සි වෙන්න බැහැ. අසවැන්න ගත්තත් ඒ සල්ලි පරණ ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. අපි උපන්නේ හැමදාම ණය ගෙව ගෙවා ඉඳලා මැරිලා යන්නද? මම නම් මේ සල්ලි දෙන්නේ නෑ නෑමයි.”

“එහෙනම් ඉතින් ඒ මිනිහාගෙන් කුණු බැනුම් අහන්න තමයි වෙන්නේ” හල්කු දුක්බර ව කීවේය. 

“ඒ මොකටද ඒ මිනිහා බනින්නේ? මේක එයාට ගිය රට ද?” මුන්නි කේන්තියෙන් ඇසුවා ය.

නමුත් එසේ කියද්දී පවා හල්කු කී දේ හි අමිහිරි සත්‍යතාව රුදු සතෙකු ලෙසින් ඇය ව හඹා එමින් තිබිණි. අකමැත්තෙන් වුව බිත්තියේ විවරයක් වෙත ගිය ඈ, එහි සඟවා තිබුණු මුදල ගෙන හල්කු අත තැබුවාය. “දැන් වත් මේ අඳ ගොවිකම අත අරින්න. කුලී වැඩ කරන්න ගියොත් අපිට බඩට කාලා ඉන්න පුළුවන් වෙයි, බනින්න කෙනෙකුත් නැහැ. අනුන්ගේ ඉඩම් වල වගා කරලා කවදාවත් වගතුවක් නැහැ. හම්බ කරන දේ ආයෙත් ඒකටම පූජා කරලා අන්තිමේදී අපහාස විඳින්නත් වෙනවා.” ඈ කීවාය.

හල්කු මුදල ගෙන නිවසින් පිටතට යද්දී ඔහුගෙන් දිස් වූයේ තම හදවත ගලවා දෙන්නට සූදානම් අයෙකුගේ පෙනුමකි. පොරෝනාවක් මිළදී ගැනීම වෙනුවෙන් ඔහු මේ මුදල තම ආදායමෙන් ඉතිරි කරගත්තේ අමාරුවෙනි. තමන් දුප්පත්කමේ පතුලටම ගිලෙන බවක් ඔහුට දැනුණි. 

---------------------------

එය ජනවාරි මාසයේ අඳුරු රාත්‍රියක් විය. අහසේ තරු කට පවා සීතලේ ගැහෙන බවක් පෙනුණි. කුඹුරෙහි කෙළවර උක් පත් වියා සැකසූ පියස්සක් යට වූ උණ ලී අට්ටාලයක් මත වැතිර, ගෝනියක් පෙරවාගෙන හල්කු සීතලෙන් වෙව්ලමින් පසුවිය. අට්ටාලය යට ඔහුගේ බල්ලා, ජබ්‍රා වකුටු වී කෙඳිරි ගාමින් සිටියේය. මේ දෙදෙනාටම නින්ද අහලක වත් නොවිණි. 

“උඹට හීතල ද ජබ්‍රා? මම උඹට ගෙදරදී කිව්වානේ පිදුරු ගොඩට වෙලා ඉඳපන් කියලා. උඹ මොකටද මෙහෙ ආවේ? මට කරන්න දෙයක් නැහැ, දැන් උඹටත් හීතලේ තමයි ඉන්න වෙන්නේ. උඹ මට ඉස්සර වෙලා දුවලා ආවේ මම කුඹුරට වෙලා පූරි යි, රසකැවිලි යි කනවා ඇති කියලා හිතලා නේද? දැන් ඉතින් කෙඳිරි ගාපන්!” හල්කු සීතලට ගුලි වෙමින් කීවේය. 

ජබ්‍රා නොනැගිට ම කෙඳිරි ගා, කෙඳිරිය දිගු ඈනුමක් බවට පත් කර නිහඬ විය. සමහරවිට තමන්ගේ හඬ හාම්පුතාගේ නින්දට බාධා කරන බවක් උගේ බලු නුවණට වැටහෙන්නට ඇත.

හල්කු පහත් වී ජබ්‍රාගේ සීතල ලෝම අතගාන්නට විය. 

“උඹ හෙට ඉඳන් මාත් එක්ක නෑවිත් ඉන්න ඕන, නැත්නම් මේ සීතලට උඹ ව මැරෙයි. කොහෙන් එන හුළඟක් ද මන්දා මේක! අද දවසට මම අට වතාවක් දුම් පයිප්පය පිරෙව්වා. කොහොමහරි අපි මේ රෑ එළි කරගන්න එපායැ. ගොවිතැන් කළාම මේක තමයි ලැබෙන තෑග්ග, පින් කළ මිනිස්සු හොඳට උණුහුම් වෙලා තමන්ගේ ගෙවල් වල නිදි. අපි මෙහෙ දුක් වින්දාම වෙන කෙනෙකුටයි ලාබෙ ලැබෙන්නේ.”

ගිනි මැලයෙන් අඟුරු කැට කීපයක් ගත් හල්කු ඉන් තම දුම් පයිප්පය දල්වා ගත්තේය. 

“මේ පයිප්පෙ ඉරුවාම හීතල නැති වෙන්නේ නැහැ, ඒත් හිතට හොඳයි”

ජබ්‍රා ඔහු දෙස බැලුවේ දෑසේ උතුරන ආදරයෙනි.

“උඹ අදට විතරක් ඉවසගෙන ඉඳපන්. හෙට මම පිදුරු ටිකක් බිමට අතුරන්නම්, එතකොට උඹට හීතල අඩුවේවි.”

කෙතරම් උත්සාහ කළත් ඒ රාත්‍රියේ නින්ද හල්කු අසලට වත් පැමිණියේ නැත. නපුරු මායාකාරියකු ලෙස රුදු සීතල නිරතුරුවම ඔහුට බැට දුනි. මෙය තවදුරටත් ඉවසනු නොහැකි වූ තැන ඔහු ජබ්‍රා ව ඔසවා තම උකුල මතා තබාගත්තේය. බල්ලාගේ සිරුරෙන් දුගඳක් විහිදුනද එය ගණන් නොගෙන හල්කු ඌ ව තරයේ වැළඳ ගත්තේ සොයුරකු හෝ මිතුරකු වැළඳ ගන්නා ලෙසිනි. ඔහුට ඉන් මාස ගණනකින් නොදැනුණු සතුටක් දැනෙන්නට විය. ජබ්‍රා ට නම් තමන් දෙව්ලොවට ගිය බවක් දැනෙන්නට ඇත. තමන් ව අකර්මන්‍ය කළ දිළිඳුකම ගැන හල්කු ට ඒ මොහොතේ අමතක විය. ඒ වෙනුවට මේ සුවිශේෂී මිතුරුකම ඔහුගේ හදවතේ දොරටු විවර කර සිරුරේ හැම අණුවක් ම ඒකාලෝක කළ බවක් ඔහුට දැනුණි. 

හදිසියේම ජබ්‍රා ට ඈතින් කුඩා සතකුගේ හඬ ඇසිණි. සුළඟින් බැට කෑම නැවතී, තම හාම්පුතාගේ තුරුලට වී සිටීම නිසා ඌට අමුතු පරීක්ෂාකාරී බවක් ආරූඩ වී තිබිණි. වහා වහා මඩුවෙන් පිටතට දිව ගිය ජබ්‍රා, ඈත සිට බුරන්නට විය. හල්කු කීප වතාවක් ඌ ව නැවත ගෙන්වා ගැනීමට උරුවම් බෑ නමුත් ඌ යළි පැමිණියේ නැත. කුඹුරේ නියර මතින් ඒ මේ අත දුවමින් ඌ බුරන්නට වූයේ රාජකාරියෙන් උමතු වූ ලෙසිනි. 

තවත් පැයක් ගතවිය. සුළඟත් සීතල ත් ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවක් පෙනුණි. හල්කු තම දෙදණ පපුවට තද කර, එහි මුහුණ ඔබා, ගුලි ගැසී සිටි නමුත් ඔහුට දැනුණු සීතලේ අඩුවක් නම් වූයේ නැත. තම ලේ මිදී ඇති බවක් ඔහුට සිතුණි. රාත්‍රිය තව කෙතරම් දිගු ද? තරු පන්ති ඒ වෙද්දී අහසින් අඩක් වත් පසුකර තිබුණේ නැත. පහන් වීමට තව පැය දෙක තුනක් වත් ඇති බව හල්කු ට සිතුණි. 

කුඹුරේ පියස්ස අටවා තිබුණු තැනට කිට්ටුවෙන් අඹ ගස් ගොන්නක් විය. බිම හැලෙමින් තිබුණු ඒවායේ පත් තැන තැන ගොඩ ගැසී පෙනුණි. මේ පත් එකතු කර ගිනි මැළයක් තැනුවොත් තමන්ට උණුසුම් විය හැකි බව හල්කු සිතුවේය. ඔහු වියළි අඹ පත් එකතු කරද්දී ජබ්‍රා ද ඉතා සතුටින් ඒ වෙත දිව ආවේය. තම දෑත ත් දෙපය ත් සීතලෙන් ගල් වී තිබුණ ද අඹ පත් විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමට හල්කු සමත් විය. ටික වෙලාවකින් ගිනි මැලය හොඳින් ඇවිලෙන්නට විය. එහි ආලෝකයෙන් පෙනුණේ අඹ ගස් ගොන්න අඳුරු අහස තම හිස් මතින් ඔසවාගෙන යන ලෙසකි. අඳුර නම් ප්‍රීතිමත් සයුර මැද ගින්දරින් නැඟෙන එළිය ඒ මේ අත පෙරලුණේ රළ මත නැළවෙන බෝට්ටුවක් ලෙසිනි. 

හල්කු ගිනි මැළය ඉදිරිපස වැතිරී එහි උණුසුම විඳින්නට විය. සීත ඍතුව පරාජය කිරීමේ ආඩම්බරකාරී බවක් ඔහුට දැනුණි. 

“උඹට දැන් හීතල නැහැ නේද ජබ්‍රා? අපිට මේක කළින්ම කරන්නයි තිබුණේ, එහෙනම් අපි හීතලේ මැරෙන්න යන්නේ නැහැ.”

ටික වෙලාවකින් ගිනි මැළය නිවී ගියේය. අඹ ගස් ගොන්න වසා නැවතත් අඳුර පැතිරිණි. හල්කු තම සාලුව පොරවාගෙන උණුසුම් අඟුරු ගොඩ අසලම වාඩිවී සිටියේ තාලයක්ද මුමුණමිනි. නැවතත් සීතල පැතිරෙද්දී ඔහුට නිදිමතක් දැනුණි. හදිසියේම ජබ්‍රා මහා හඬින් බුරමින් කුඹුර දෙසට දිව ගියේය. මේ, වන සතුන් රංචුවක් කුඹුරට කඩා වැදී ඇති නිසා විය හැකි බව හල්කු ට සිතිණි. උන් ඒ මේ අත යන හඬත් පැළ ආහාරයට ගන්නා හඬත් අනුව ඒ ගෝන්නු විය හැකි බව ඔහු කල්පනා කළේය. 

“හැබැයි ජබ්‍රා ඉන්දැද්දී මොන සතෙකුටවත් කුඹුරට එන්න බැහැ, ඌ උන් ව කීතු කරයි, මට වැරදිලා වෙන්න ඕන, දැන් නම් ඔන්න ආයෙත් කිසිම සද්දයක් නැහැ. එකත් එකටම මට වැරදිලා.” හල්කු තමාටම කියාගත්තේය. 

ඔහු “ජබ්‍රා! ජබ්‍රා!” කියා හඬ ගැසූ නමුත් ඈත බුරමින් උන් බල්ලා ඔහු වෙත පැමිණියේ නැත.

දිගින් දිගටම කුඹුර දෙසින් සතුන් සැරිසරන හඬ ඇසෙන්නට විය. මේ වෙලාවේ, සීතලේ කුඹුරට ගොස් සතුන් එළවා දැමීමට හල්කු ට මහත් අලසකමක් දැනුණි. තමන් උණුසුම් ව උන් තැනින් නැගිටීම ඔහුට මරන්නා සේ විය. “හෝ, හෝ, හෝ!” ඔහු උන් තැනම හිඳ කෑ ගැසුවේ සතුන් බිය කිරීමේ අදහසිනි. වරක් ජබ්‍රා ගේ බිරීම උත්සන්න වූ විට ඔහු නැගිට ගත්තේ කුඹුර වෙත දිව යාමේ දැඩි අදිටනිනි. කිරි වැදී එන අස්වැන්න සිහි වී ඔහුට ජවයක් දැනුණි. නමුත් සීතල සුළඟ ඔහුගේ පිට මැදට දෂ්ට කළේ ගොනුස්සෙකු ලෙසින් ය. ඔහු නැවතත් ගිනි මැළයේ උණුසුම් අඟුරු ගොඩ අසල හිඳගෙන ඒවා අවුස්සා තම සීතල සිරුර උණුසුම් කර ගත්තේය. 

ඔහු උදෑසන අවදී වෙද්දී අහසේ හිරු නැගී තිබිණි. 

“අද දවසම නිදා ගන්නද හදන්නේ? ඔහේ මෙතැන හොඳට නිදි, අරෙහෙ කුඹුර විනාසයි!” මුන්නි කෑ ගැසුවාය.

හල්කු වහා වහා නැගිට්ටේය. “උඹ කුඹුර පැත්තේ ඉඳන් ද ආවේ?” ඔහු ඇසීය.

“ඔව් කුඹුර ඉවරයි. තමුසේ කොහොමද එහෙම නිදා ගත්තේ? අනික අර මඩුව හැදුවේ මොකටද මෙහෙම එළිමහනේ නිදාගන්න නම්?”

හල්කු තමන්ගේ නිදහස වෙනුවෙන් කියන්නට දෙයක් සොයන්නට විය.

“මාව මැරෙන්න ගිහින් බොහොම අමාරුවෙන් රෑ ගෙවාගත්තේ, උඹ කතාකරන්නේ අස්වැන්න ගැන විතරයි. මට රෑ ඉවසන්න බැරි බඩේ කැක්කුමකුත් හැදුණා”

දෙදෙනා කුඹුර අද්දරට ඇවිද ගියහ. මුලු කුඹුරම පාගා විනාස කර තිබුණු අතර ජබ්‍රා මළා සේ මඩුවේ නිදා උන්නේය. මුන්නි ගේ මුහුණ වසා ශෝකයේ සෙවනැලි පැතිරී තිබුණත් හල්කුගෙන් නම් දිස් වූයේ සතුටකි.

“දැන් ගෙවල් කුළියයි බද්දයි ගෙවන්න ඔහෙට කුළී වැඩ කරන්න වෙයි.” ඈ කීවාය.

“ඒත් මට මින්පස්සේ හීතලේ එළිමහනේ නිදාගන්න ඕන වෙන්නේ නැහැනේ” හල්කු සතුටින් කීවේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘January Night’ by Dhanpat Rai Srivastava (Premchand)

Translated from Hindi to English by David Rubin

AI Image 

March 05, 2026

වල් පැලෑටිය



අංගූරි මගේ අසල්වැසියාගේ අලුත් මනමාලියයි. හැම මනමාලියක්ම අලුත් වූවත් ඈ නම් කීප ආකාරයකට අලුත් සේ සැලකිය හැකි විය. ඇගේ සැමියා පෙරදී විවාහ වී සිටි බැවින් ඔහු නම් කසාදය යන විෂයට ආධුනිකයෙක් නොවිණි. මීට අමතරව ඔවුහු විවාපත්ව වසර කීපයක් යනතුරු අංගූරි ව නිවසට කැඳවාගෙන ඒමට නොහැකි වූ බැවින් ‘අලුත්’ යන විශේෂණය ඇයට තවත් ගැලපුණි.

මීට සය වසරකට පෙරදී ප්‍රභාති තම පළමු බිරිඳගේ ආදාහනයට සිය ගමට ගියේය. අවමඟුල් කටයුතු අවසාන වූ පසු අංගූරි ගේ පියා ප්‍රභාතිව සොයා විත් ඔහුගේ තෙත තුවාය මිරිකා ඔහු වෙත ගෙනහැර පෑවේය. මෙහි අදහස වූයේ ‘ඔබේ කඳුළු මෙලෙස පිසදමමි’ යන්නයි. අඩියක් හමාරක් දිග තුවායක් පෙඟෙන්නට කඳුළු හෙලිය හැකි මිනිසෙකු මේ මිහිපිට නොමැති අතර ඉහත කී තුවාය තෙත බරිත වී තිබුණේ ප්‍රභාති ස්නානයෙන් පසු ඇඟ පිස දැමීමෙනි. නමුත් නාඹර දියණියක් ඇති පියෙකු මෙලෙස වැන්දඹු පිරිමියෙකුගේ තුවායක් මිරිකා හැරීමෙන් ‘මියගිය ඔබගේ බිරිඳගේ තැන ගැනීමට මගේ දියණිය ඔබට දෙමි. තව දුරටත් ශෝක නොවෙන්න’ වැනි අදහසක් ගම්‍ය විය.

ඉතින් අංගූරි ප්‍රභාතිගේ මනාලිය වූයේ එලෙසයි. නමුත් ඇයව නිවසට කැඳවාගෙන ඒම පස් වසරකින් ප්‍රමාද කිරීමට සිදු වූයේ ඇගේ වයසත්, ඇගේ මවගේ අංශභාග තත්ත්වයත් සැලකීමෙනි. පැමිණි මුල් කාලයේදී ඈ කිසිවකුගේ බැල්මට හසු නොවන පරිදි පර්දාවෙන් මුහුණ වසා සිටියාය. නමුත් කාලය ගත වෙද්දී, ක්‍රම ක්‍රමයෙන්, අනෙත් හින්දු කාන්තාවන් කළ පරිද්දෙන් ඈ ඉන් තම හිස පමණක් වසන්නට පුරුදු වූවාය. අංගූරිගේ දසුන සිත පිනවන්නක් විය, ඇගේ සිනාව මිණි කිංකිණි දහසක හඬට සමාන විය. තම රිදී අභරණ ගැන උද්දාමයෙන් පසු වූ අංගූරි, ඒවා පැළඳුවේ ඉමහත් සතුටිනි. ඈ කළ කී හැම දෙයක්ම ඒවායේ දිස්නයත්, ඒවා එකට ගැටීමෙන් උපදින හඬත් තීව්ර කිරීමේ අරමුණින් විය.

ගිම්හාන ඍතුව උදාවෙද්දී කාලගුණය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් විය. මේ නිසා අංගූරිද වැඩි කාලයක් නිවසින් පිටත ගත කරන්නට විය. මගේ නිවස ඉදිරිපස විශාල කොහොඹ ගස් කීපයක් වූ අතර ඒ අසල අත් හරින ලද ළිඳක් ද විය. මේ අවට සිසිලසක් තිබුණු බැවින් ඈ එහි ගැවසීමට ප්‍රිය කළාය. 

“ලොකු නෝනා මොකක්ද කියවන්නේ?”

දිනක් මා කොහොඹ ගසක සෙවනේ පොතක් කියවමින් සිටියදී අංගූරි මා වෙත පැමිණ ඇසුවාය.

“ඔයාටත් ඕනද කියවන්න?”

“මම කියවන්න දන්නේ නැහැනේ”

“කියවන්න ඉගෙන ගන්න ඕනද?”

“අපොයි එපා!”

“ඒ මොකද? කියවන්න ඉගෙන ගන්න එකේ වැරැද්ද මොකක්ද?”

“ගෑනු කියවන එක පවක්!”

“එතකොට පිරිමි?”

“එයාලට ඒක පවක් නෙමෙයි.”

“කවුද ඔයාට මේ විකාර කිව්වේ?”

“මම දන්නවා”

“ඉතින් මම මේ කියවන්නේ, එහෙනම් මම පව් පුරවාගන්නවා වෙන්න ඇති”

“නගරේ ගෑනු අයට ඒක පවක් නෙමෙයි, ගමේ අයට විතරයි”

මීට අප දෙදෙනාම සිනාසුනෙමු. තමා අසා ඇති දේවල් ප්‍රශ්න කිරීමට ඈ උගෙන තිබුණේ නැත. ඈ විශ්වාස කළ දේවල් ඈට සැනසිල්ල ගෙන දේ නම් ඒ පැවැත්ම විනිශ්චය කරන්නට මා කවුදැයි මට සිතිණි.

අංගූරිගේ තලෙළු පැහැ සිරුරින් නිරතුරුව ප්‍රහර්ෂයත්, නොසිඳෙන සුන්දර බවත් විහිදුණි. කාන්තා සිරුර අනන ලද පාන් පිටි ගුලියක් වැනි යැයි මා කොතැනක හෝ අසා තිබිණි. ප්‍රමාණවත් ව අනා නොමැති වීමෙන් බුරුල් වන හෝ උවමනාවට වඩා ඇනීමෙන් ඇලෙන සුළු වන පිටි ගුලි බොහෝ තිබුණත් හරි පදමට අනන ලද ඒවා දක්නට ලැබුණේ කලාතුරකිනි. අංගූරිගේ සිරුර වැටුණේ මේ තෙවෙනි වර්ගයටයි. ඇගේ පේශී වල සෙලවුමේ ලාලිත්‍යය මට සිහි කැඳවූයේ තදින් වෙලන ලද දඟරයක විභවයයි. ඇගේ මුහුණ, පියයුරු, දෑත, දෙපය ආදී හැම දෙයක්ම මේ අදහස තීව්ර කළ අතර ඇය දැකුම මා තුළ වෙනස්ම ආකාරයක ජීවී -අලස සුවයක් ජනිත කළේ ය. ඉනික්බිති මා ප්‍රභාති ගැන සිතන්නට විය. වියපත්, මිටි, ඇදවුණු මුවින් යුතු මිනිසෙකු වූ ඔහුගේ සිරුරේ කෘෂ බව ජ්‍යාමිතියේ පියා වන යුක්ලීඩ් ට පවා හිසරදයක් වන්නට ඉඩ තිබිණි. හදිසියේම විසුළු සහගත  සිතිවිල්ලක් මගේ සිතේ ඇඳිනි. ප්‍රභාති සිටින්නේ අංගූරි ව වසාගෙනයි. එනම් ප්‍රභාති, අංගූරි නම් පිටි ගුලිය වසන ලද රෙදි කඩ මිස එය රස බලන තැනැත්තා නොවේ. මේ සිතිවිල්ල නිසා මට සිනාවක් නැඟෙන්නට ආ නමුත් මා එය ආයාසයෙන් මැඩ ගත්තේ ඊට හේතුව ඇයට වැටහෙනු ඇතැයි බියෙනි. කතාව වෙනතකට හැරවීමට මම ඇගේ ගමේ මඟුල් යෝජනා කිරීමේ ක්‍රමය ගැන විමසුවෙමි.

“ගෑනු ළමයෙක් අවුරුදු පහක් හයක් වගේ කාලෙකදී පිරිමියෙක්ගේ දෙපතුලක් අගය කරලා, ඒ කෙනාව තෝරාගත්තාම තමයි කසාද බඳින්නේ.”

“එයා කොහොමද එහෙම තෝරන්නේ?”

“ඒ ගෑනු ළමයාගේ තාත්තා පිරිමි කෙනාගෙන් සල්ලි අරන් එයාගේ දෙපතුල ළඟ මල් තියනවා ගෑනු ළමයාට දකින්න.”

“ඉතින් අන්තිමට බලද්දී ඒ දෙපතුල තෝරාගෙන තියෙන්නේ ගෑනු ළමයාගේ තාත්තා නේ.”

“එයා ඉතින් දුව වෙනුවෙන් නේ ඒක කරන්නේ. අන්තිමේදී දුව නේ තෝරන්නේ.”

“ඉතින් ඒ ළමයා කවදාවත් අර පිරිමියාව හරියට දැකලා නැහැනේ.”

“ඔව් ගෑනු ළමයින්ට එහෙම දකින්න වෙන්නේ නැහැ ඉතින්”

“ඒ කියන්නේ කිසිම ගෑනු ළමයෙක් තමන්ගේ අනාගත සැමියා ව කල් ඇතිව හරියකට දකින්නේ නැහැ කියන එකද?”

“නෑ” කී අංගූරි මඳ වෙලාවක් කල්පනාභරිතව පසු වූවා ය. “ආදරය කරන අය නම් දකිනවා” 

“ඔයාගේ ගමේ ගෑනු ළමයින්ට එහෙම ආදර සම්බන්ධතා තියෙනවාද?”

“කීප දෙනෙකුට”

“ඉතින් ඒක පාපයක් හැටියට සැලකෙන්නේ නැද්ද?” පෙරදිනක කාන්තාවන් අකුරු උගෙනීම ගැන ඈ කී දේ සිහිවී මම ඇසුවෙමි.

“නෑ. මෙහෙමනේ ඒක වෙන්නේ, එහෙම එයාලා ආදරෙන් බැඳෙන්නේ ඒ පෙම්වතා ගෑනු ළමයාට වල් පැලෑටියක් කවන නිසානේ.” 

“වල් පැලෑටියක්? මොන?”

“කැලේ හැදෙන ජාතියේ එකක්.”

“ඉතින් ඒ බව ගෑනු ළමයා දන්නේ නැද්ද?”

“බුලත්විටක දාලානේ දෙන්නේ. ඒක කෑවාට පස්සේ ඒ ගෑනු ළමයින්ට ඒ පෙම්වතාගෙන් තොර ලෝකයක් නැහැ. මම මේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා ඒක වෙනවා.”

“කාවද ඔයා දැක්කේ?”

“මගේ යාලුවෙක්, එයා මට වැඩිය ටිකක් වැඩිමල්”

“ඉතින් මොකද වුණේ?”

“එයා ඒ මනුස්සයා එක්ක නගරයට පැනලා ගියා.”

“ඔයා කොහොමද දන්නේ ඒක වුණේ වල් පැලෑටිය කැවුණු නිසා කියලා?”

“නැතුව ඉතින් වෙන හේතුවක් තියෙන්න පුළුවන්ද? නැත්නම් එයා එහෙම අම්මා තාත්තාව දාලා යයිද? ඒ කොල්ලා නගරයෙන් මගේ යාළුවාට එක එක විසිතුරු බඩු, ඇඳුම්, රසකැවිලි එහෙම ගෙනත් දුන්නා.”

“ඉතින් වල් පැලෑටිය කොහොමද දුන්නේ?”

“රසකැවිලි වල දාලා දෙන්න ඇති. නැත්නම් කොහොමද ඒ ගෑනු ළමයාගේ ආදරේ ගත්තේ?”

“ආදරේ වෙන විදිවලින් ගන්නත් පුළුවන්. ඔයා හිතන්නේ එහෙම වෙන විදි නැද්ද?”

“වෙන විදිහක් නැහැ. එයාගේ අම්මලාට එයාගේ ඒ ගති එපා වෙලා හිටියේ.”

“ඉතින් ඔයා ඔය වල් පැලෑටිය දැකලා තියෙනවද?”

“නෑ ඒක ඈත පළාතකින් ලු ගේන්නේ. මගේ අම්මා නිතරම මට අනතුරු ඇඟෙව්වා කාගෙන්වත් බුලත්විට වත් රසකැවිලි වත් ගන්න එපා කියලා. ඒවාට පිරිමි ඔය වල් පැලෑටිය දායි කියලා.”

“ඔයා නම් හරිම නුවණක්කාරයිනේ. කොහොමද ඉතින් ඔයාගේ යාලුවා ඕකට අහුවුණේ?”

“එයා ඕක කරගත්තේ විහින් දුක්විඳින්න,” ඈ දැඩි ස්වරයෙන් කීවාය. ඉනික්බිති ඇගේ මුව අඳුරු වූයේ මිතුරිය සිහිවූ බැවින් විය හැක. “පව්, අන්තිමට ඒ කෙල්ලට හොඳටම පිස්සු හැදුණා.” ඈ දුක්මුසු ව කීවාය. “කොණ්ඩේ පීරන්නෙත් නැතිව, රෑ තිස්සේ සින්දු කිය කියා..”

“මොන සින්දුද එයා කිව්වේ?”

“මම දන්නේ නැහැ. ඔය වල් පැලෑටිය කැවුන හැමෝම සින්දු කියනවා, ඒවගේම අඬනවා.”

මේ වෙද්දී මේ කතාබහ විඳ දරා ගැනීමට අපහසු මට්ටමට පැමිණ තිබුණු බැවින් මම ඇගෙන් සමුගතිමි. 

මීට ටික දිනකට පසු  අංගූරි ව්‍යාකුල සිතින් යුතුව කොහොඹ ගස යට සිටිනු මම දුටුවෙමි. සාමාන්‍යයෙන් නම් ඈ ළිඳ අසලට එද්දී ඇගේ පාද වල නූපුර හඬ ඈතට ඇසෙන නමුත් එදා ඒවා නිහඬ ව තිබිණි. 

“මොකද  අංගූරි?”

ඈ මා දෙස හිස් බැල්මෙන් බලා මෙසේ කීවාය. “ලොකු නෝනා මට අකුරු උගන්නනවාද?”

“ඇයි, මොකද වුණේ?”

“මට මගේ නම ලියන්න උගන්නන්න.”

“ඔයාට අකුරු ඉගෙන ගන්න ඕන ඇයි? කාටහරි ලියුම් ලියන්නද? කාටද?”

ඈ පිළිතුරු නොදුන් අතර නැවතත් තම සිතිවිලි අතර අතරමං වූවාය. 

“ඉතින් ඒක පාපයක් නෙමෙයිද?” ඇගේ දුක්මුසු ස්වරූපයෙන් මුදවා ගැනීමේ අදහසින් මම විමසුවෙමි. නමුත් ඈ නිහඬ ව ම පසු විය. හවස්වරුවේ කෙටි නින්දකින් අනතුරුව මා යළි එහි එද්දීත් අංගූරි ශෝකී ස්වරයකින් තනියම ගීයක් මුමුණමින් එතැනම සිටියාය. මා එන හඬ ඇසී හදිසියේම ගැයුම නැවැත්වූ ඈ සන්ධ්‍යාවේ සීත සුළඟ නිසා දෙඋර හකුලුවා ගත්තාය.

“ඔයා ලස්සනට සින්දු කියනවා අංගූරි” මා කියූ විට ඈ කඳුළු වළකාගෙන සිනාවක් නඟන්නට අසාර්ථක උත්සාහයක යෙදුණා ය. 

“මම සින්දු කියන්න දන්නේ නැහැ”

“ඉතින් ඔය දැන් කිව්වේ!”

“ඒක මේ..”

“ඒක ඔයාගේ යාලුවා කීව සින්දුව” මම ඈ වෙනුවෙන් ඇගේ වාක්‍ය සම්පූර්ණ කළෙමි. 

“එයාගෙන් තමයි මම ඒක ඇහුවේ.”

“මට ඇහෙන්න ඒක කියන්න”

“සිව් මසක සිසිරයකි හර්දයේ
මගේ හද ගැහෙමිනි, පෙම්වත
ගිම්හානයේ සිව් මස,
සුළඟ දිලිසේ හිරු රැස් මැද
ඉනිකිබිති සිව් මසක් වැසි වසී,
වළාකුළු සසල වේ ගගනත”

“අංගූරි!” මා දැඩි හඬින් කියද්දී ඈ මදෙස බැලුවේ ධ්‍යානයකට සම වැදුණු, නොඑසේ නම් අර වල් පැලෑටිය කැවුණු එකියක් ලෙසිනි. ඇගේ දෙඋරින් අල්ලා වැරෙන් සොලවන්නට සිතුණත් මම ඇගේ දෙඋරින් අල්ලා ඈ ව මා සමීපයට ගෙන ඈ පිළිවෙලකට කෑම කන්නේදැයි විමසුවෙමි. ඈ නොකෑ බව කීවාය. ප්‍රභාති තම හාම්පුතාගේ නිවසින් ආහාර ගන්නා බැවින් අංගූරි කෑම පිසුවේ තමන්ට පමණි. 

“අද ඉව්වාද?”

“තාම නෑ”

“උදේ තේ එක බිව්වාද?”

“තේ? අද කිරි නෑ”

“ඒ මොකද කිරි නැත්තේ?”

“අද කිරි ලැබුණේ නෑ. රාම් ටාරා..”

“එයාද ඔයාලට කිරි ගේන්නේ?” ඈ හිස සැලුවාය. 

රාම් ටාරා යනු රාත්‍රි සේවයේ යෙදෙන මුරකරුවාය. අතීතයේදී නම් තම වැඩ මුරය උදෑසන අවසන් කරන රාම් අපගේ නිවසින් තේ බී, ළිඳ අසල වූ ඔහුගේ කුඩා ඇඳ වෙත යාමට පුරුදු ව සිටියේය. නමුත් ප්‍රභාති අංගූරිව විවාහ කරගැනීමෙන් අනතුරුව ඔහු උදෑසන තේ පිළියෙළ කළේ ප්‍රභාතිගේ ගෙදරදීය. හැම උදෑසනක ම ඔහුත්, අංගූරිත්, ප්‍රභාති ත් ගිනි මැලය වටා වාඩි වී තේ බීවෝය. මීට තෙදිනකට පෙර රාම් ටාරා කිසියම් කටයුත්තක් සඳහා තම ගම බලා ගොස් තිබිණි. 

“ඔයා දවස් තුනකින් තේ බීලා නැද්ද?” 

ඈ නැති බව හඟවන්නට හිස සැලුවාය. 

“ඒ දවස් ටිකේම කාලාත් නැහැ නේද?”

ඈ නිහඬවම සිටියේ මගේ අනුමානය නිවැරදි බව ඔප්පු කරමිනි. 

රාම් ටාරා ගේ රුව මම සිහියට නඟා ගත්තෙමි. ඔහු මනා පෙනුමින් යුක්ත වූ, කඩිසර, විනෝදකාමී මිනිසෙකු විය. ඔහු කතා කරද්දී නිරතුරුවම දෙතොලග සිනහවක් දඟ කරනු පෙනුණි. 

“අංගූරි?”

“ඔව් ලොකු නෝනා?”

“ඔයාට අර වල් පැලෑටිය කැවුනා වෙන්න බැරිද?”

ඇගේ දෑසින් නොකඩවා කඳුළු කඩා හැලෙන්නට විය.

“මට සාප වේවි!” ඈ වෙව්ලුම්කන කටහඬින් කීවාය. “මම කවදාවත් එයාගෙන් රසකැවිලි ගත්තේ නැහැ, අඩුම ගානේ බුලත් විටක් වත්… ඒත් තේ නම්..”

ඇයට ඒ වාක්‍යය සම්පූර්ණ කරගැනීමට නොහැකි වූයේ ඇගේ වදන් තවත් කඳුළු ගංගාවක ගිලී ගිය බැවිණි. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘The Weed’ by Amrita Pritam
Translated from Punjabi by Raj Gill
AI Image


February 02, 2026

ජෝජ් සහ රංජි



මගේ ඥාති සොයුරු ජෝජ්, නැවත වතාවක් අසල්වැසි නගරයේ මානසික රෝහලින් පැන ගොස් ඇතැයි මට ආරංචි වූ විට වැඩි කල් නොගොස් ඔහු මගේ දොරකඩ පෙනී සිටිනු ඇති බව මම දැන සිටියෙමි. සාමාන්‍යයෙන් මෙය සිදු වූයේ ක්‍රිකට් සමය ඇරඹීමත් සමඟ ය. ‘ප්‍රශ්නයක් නැහැ,’ මම කල්පනා කළෙමි. ‘මිනිහා ආවාම මම කෝච්චියේ දාගෙන ආයෙත් ඉස්පිරිතාලෙට අරගෙන යනවා’

ජෝජ් පහුගිය වසර කීපය පුරාවට කීප වතාවක්ම මේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර ඔහු දරුණු පුද්ගලයෙකු නොවුණු නිසා ඔහුට එහි යම් තරමක නිදහසක් ලැබී තිබුණි. මේ නිසාම ඔහු ඉඳහිට ‘ටෙස්ට් තරඟයක’ ක්‍රීඩා කිරීමට රෝහලින් බැහැරට ගියේය. ජෝජ් සිතා සිටියේ තමන් නැපෝලියන් බව වත් ගෙන්ගිස් කාන් බව වත් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨ රංජි නම් ක්‍රීඩා තරුව බවයි. මින් නොනැවතී තමන් ඉන්දියානු ක්‍රිකට් පිළේ නායකයා බවද ඔහු ඇදහුවේ සැබවින්ම රංජි  ක්‍රීඩා කළේ එංගලන්ත පිළ වෙනුවෙන් බව වත් නොසලකමිනි.

ඉතින් ජෝජ් මගේ දොරකඩ පෙනී සිටි විට ඔහු එක අතකින් ක්‍රිකට් පිත්තක් ද අනෙත් අතින් බෝල් ගාඩ් පැළඳුමක් ද රැගෙන සිටීම ගැන මා පුදුම වූයේ නැත.

“ඔයා ලෑස්ති නැද්ද?” ඔහු ඇසුවේය. “මැච් එක එකොළහට පටන්ගන්නවා”

දුම්රිය පිටත් වන්නේ එකොළහ පසු වී විනාඩි පහළවක් ගෙවුණු තැන බව සිහි වී මම මෙසේ කීවෙමි.

“තව ඕනෑ තරම් වෙලාව තියෙනවා, මම ලෑස්ති වෙනකම් ඇවිත් මොනවා හරි බොමු” 

ජෝජ් අසුන් ගෙන බියර් වීදුරුවක් ඉල්ලුවේය. මා ඔහුට එය ගෙනැවිත් දුන් විට ඔහු නොපමාව එය අසල වූ මීවන පැළයක් සහිත පෝච්චියට වත්කෙරුවේ “ඒකට තිබහ පාටයි” යැයි පවසමිනි. 

මා ඉක්මණින් සූදානම් වූයේ ඔහු මීළඟට වීදුරු ඩිකැන්ටරය සමඟ පිති හරඹ කරතැයි බියෙනි. ඉනික්බිති ඔහුගේ අත ගෙන නිවසින් පිටවූ මම රික්ෂෝවකට හඬ ගැසුවෙමි. 

“ස්ටේෂමට යමු,” මම රික්ෂෝ රියදුරුට රහසින් කීවෙමි. 

“ෆෙරෝස්ශා කොට්ලා,” ජෝජ් දිල්ලියේ ප්‍රසිද්ධ ක්‍රිකට් පිටියේ නම හඬ නඟා කීවේය. 

යා යුතු තැන මඟදී හෝ රියදුරු ට පැහැදිලි කිරීමේ අදහසින් මම ජෝජ් ව රික්ෂෝවට නංවා ගත්තෙමි. 

“ස්ටේෂමටයි යන්න ඕන” මඟදී මම තරමක් හඬ නඟා කීවෙමි.

“කොට්ලා” මගේ ඥාති සොයුරු එවැනිම තානයකින් ස්ථිරව පැවසීය.

රික්ෂෝ රියදුරු ක්‍රිකට් පිටිය වෙත එක එල්ලේම ධාවනය කරන්නට විය. බැලූ බැල්මට මා කී දේට වඩා ජෝජ් කී දේ ඔහු වෙත වැඩි බලපෑමක් කර ඇති බවක් පෙනුණි.

“මේ බලනවා,” මම ඔහුගේ උරහිසට තට්ටු කරමින් පැවසීය. “මේ මගේ නෑදෑ වෙන කෙනෙක්, එයාගේ ඔලුව හොඳ නැහැ. එයා මේ එහෙම අයට බෙහෙත් කරන ඉස්පිරිතාලයකින් පැනලා ඇවිත් තියෙන්නේ. අද දවස ඇතුළත මම මිනිහාව ආයෙත් එතනට බාර දෙන්න නම් අපි එකොළහයි කාලේ කෝච්චිය අල්ලා ගන්න ඕන.”

රික්ෂෝ රියදුරු ධාවනය බාල කර ජෝජ් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. ජෝජ් ඔහු වෙත උද්යෝගීමත් සිනාවක් පා, මා පෙන්වා තම නළලට ඇඟිල්ලෙන් තට්ටු කළේය. රියදුරු අනුකම්පාවෙන් හිස වනා, ක්‍රිකට් පිටිය වෙත නොකඩවා රික්ෂෝව ධාවනය කරන්නට විය. 

උමතු බවත් ප්‍රකෘති සිහියත් අතර වෙනස සියුම් බව මා කවදත් විශ්වාස කළ නමුත් එය මෙතරම් සියුම් යැයි කෙදිනකවත් සිතා තිබුණේ නැත. අන්තිමේදී කරදරේ වැටුණේ මායි! සැබවින්ම උමතුවෙන් පසුවූයේ ජෝජ් ද, මා ද, රියදුරු ද?

මේ වෙද්දී අපි ක්‍රීඩා පිටිය වෙත එළඹෙමින් සිටියෙමු. දවසක් පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාව නරඹන ජෝජ් ව බලාගැනීමට මගේ කිසිම අදහසක් තිබුණේ නැත. ඒ තරඟ කෙතරම් ඒකාකාරී වූවත් ඔහු ඒවා අතරේදී බෙහෙවින් උනන්දුවටත්, කලබලයටත් පත් වෙයි. වරක් ඔහු පිටිය වටා වූ බාධක මතින් පැන තම පිත්ත ද රැගෙන විකට්ටුව වෙත ගොස් තිබුණේ තුන් වන පිතිකරු ලෙස (මෙය රංජි ගේ ප්‍රියතම ප්‍රවේශය ලු) තරඟ කිරීමේ අදහසිනි. මෙදින ජෝජ්ව පිටියෙන් ඉවතට කැඳවාගෙන යන්නට උත්සාහ කළ තරඟ විනිසුරුට ඔහු පහරදී තිබිණි. තවත් අවස්ථාවක ඔහු පිටිය හරහා දිව ගොස් තිබුනේ බෝල් ගාඩ් පැළඳුමෙන් පමණක් සැරසීගෙනයි. 

එදින නම් රික්ෂෝවේ ගමන බාල වෙද්දී ඉන් බිමට පැන ඉවතට දිවගොස්, රියදුරුට නියම ත්‍රාසයක් දුන්නේ මායි. ජෝජ් සතුව මුදල් තිබුණේද, එදින රියදුරු ට ගෙවීමක් සිදුවුණි ද යන වග මට කිසි දිනක දැන ගන්නට ලැබුණේ නැත. සාමාන්‍යයෙන් රික්ෂෝ රියදුරන් දරුණු ජන කොටසක් බවට ප්‍රචලිත නමුත් මානසික රෝගීන් ද එවැනිම අය බවට විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන පසු කලෙක ජෝජ් ට මතක තිබුණු බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. 

මීට දින තුනකට පසු මට මානසික රෝහලින් පණිවිඩයක් ලැබුණේ ජෝජ් විසින්ම නැවත එහි පැමිණ ඇති බව කියමිනි. එසේ පැමිණෙද්දී තමන් ශතකයක් ගැසූ බවට ඔහු පාරම්බාමින් සිටි නිසා ඔහු යම් ආකාරයකට ඒ ක්‍රිකට් තරඟයට සම්බන්ධ වූවා ද විය හැක.

ජෝජ් දරුණු මිනිසකු නොවූවත්, අදටත් මට ඒ රික්ෂෝ රියදුරු ගැන නම් යම් සැකයක් පවතින්නේ මා නැවත කිසි දිනක ඔහු ව දිල්ලියේදී නොදුටු බැවිණි. ඔහු වෙනත් ප්‍රදේශයකට පදිංචියට නොගියේ නම් ඔහුගේ මේ අතුරුදන්වීම ජෝජ් ගේ රික්ෂෝ ගමන සමඟ සම්බන්ධයක් ඇති බව මගේ අදහසයි. කොහොමත් කොට්ලා ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ යමුනා ගංගාව ආසන්නයේම ය.


 පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the story George and Ranji by Ruskin Bond

Picture- Gemini


January 04, 2026

ලාම්පුතෙල් ගඳ



පිටතින් ඇසුණු අශ්ව හේෂාරාවය හැඳිනූ ගුලේරි නිවසින් පිටතට දිව්වාය. එහි සිටියේ තම පියාගේ ගම්මානයෙන් පැමිණි වෙළඹයි. ඈ ආදරයෙන් උගේ ගෙල වැළඳගත්තේ ඒ තම මහගෙදර දොරටුවයැයි  සලකමින් මෙනි.

ගුලේරි ගේ දෙමාපියන් වාසය කළේ චම්බා නම් ගම්මානයෙහි ය. උස් බිමක වූ ඇගේ සැමියාගේ ගම්මානයේ සිට විහිදුණු මාර්ගය එක්තරා වංගුවකින් පසු තද බෑවුමකින් යුක්ත විය. මෙතැන සිට ඒ මඟ යන එන්නන් ගේ දෙපා පාමුළ සිට බොහෝ ඈතකින් චම්බා ගම්මානය දිස් වේ. ගුලේරි ට තම උපන් ගම සිහි වී පාළුවක් දැනුණු වෙලාවල දී ඈ තම සැමියා වන මනක් ද රැගෙන මේ බෑවුම ඇරඹෙන තැනට යන්නීය. හිරු එළිය වැටී දුර ගම්මානයේ නිවෙස් දිලිසෙනු දකින ඈ ආපිට එන්නේ ආඩම්බරයෙන් තම හදවත පුරවා ගනිමිනි. 

සෑම වර්ෂයකම, අස්වනු නෙලා අවසන් වූ පසු ගුලේරි ට තම දෙමව්පියන් සමඟ දින කිහිපයක් ගත කිරීමට අවසර ලැබුණි. ඈ ව චම්බා වෙත ආපිට කැඳවාගෙන එන්නට ඔවුහු ලකරමන්දී වෙත කවුරුන් හෝ යැව්වෝය. විවාහයෙන් පසු චම්බාවෙන් පිටත විසු ඇගේ මිතුරියන් දෙදෙනෙකු ද මේ කාලයේදී තම නිවෙස් බලා පැමිණි අතර මේ තරුණියන් ඇඟිලි ගනිමින් සිටියේ මේ වාර්ෂික හමුවීමේදී තම දුක සතුට බෙදා ගැනීමටයි. එම කාලයේදී ඔවුන් ගමන් බිමන් ගියේ එකටයි. චම්බා හි අස්වනු මංගල්ලය යෙදුණේ ද මේ කාලයේ බැවින් ඔවුහු ඒ වෙනුවෙන් අලුත් ඇඳුම් සකසා ගත්හ. උත්සවය වෙනුවෙන් තම දුපත්තා සාළු විවිධ වර්ණ ගන්වා, කැඳ දමා, දිලිසුම වෙනුවෙන් මයිකා කුඩු ඉසින ඔවුහු වීදුරු වළලු සහ රිදී තෝඩු ද මිළදී ගත්හ. 

අස්වනු කාලය එළඹෙන තුරු ගුලේරි නිරතුරුවම ඇඟිලි ගැන්නා ය. ශරතයේ සුළඟින් මෝසම් වළාකුළු එළි පෙහෙළි වෙද්දී ඈ ට වෙන කිසි දෙයක් ගැන සිතන්නට වේලාවක් නොවී ය. හරකුන්ට කෑම දෙමින්, තම සැමියාගේ දෙමාපියන්ට කෑම පිසිමින් එදිනෙදා කටයුතු වල නියැලුණු ඈ, ඉනික්බිති කාලය ගත කළේ තමන් ව කැඳවා යන්නට චම්බා වෙතින් කවුරුන් හෝ පැමිණෙන්නට තව කොයිතරම් කාලයක් ගතවේදැයි සිතන්නටයි. 

ඉතින්, මෙවරත් ඇගේ වාර්ෂික ගමනට කාලය එළැඹි තිබිණි. ඈ තමා කැඳවාගෙන යාමට ආ වෙළඹ ව ආදරයෙන් අත ගා, තම පියාගේ සේවකයකු වූ නාතු ව පිළිගෙන, පසු දින ගමන ට සූදානම් වූවා ය. මේ ගමන ගැන අගේ සතුට වදනින් විස්තර කිරීම අවශ්‍ය වූයේ නැත, එය ඇගේ මුහුණින් පැහැදිලි ව දිස් විය. ඇගේ සැමියා දුම් උරමින්, තම දෑස වසාගත්වනම පසුවිය. එක්කෝ ඔහු දුම්කොළට අකමැති බවක්, එසේ නොමැති නම් ඔහුට තම බිරිඳට මුහුණ දීමට නොහැකි බවක් පෙනුණි. 

“ඔයා එනවා නේද චම්බා වල අස්වනු මංගල්ලෙට? එක දවසකට හරි එන්න හොඳේ,” ඈ බැගෑපත් වූවාය. 

මනක් තම දුම් පයිප්පය පසෙකින් තැබුවත් ඊට පිළිතුරු දුන්නේ නැත. 

“ඇයි ඔයා උත්තර දෙන්නේ නැත්තේ?” ඈ තරමක් නොරිස්සුමින් විමසුවාය. “මම දෙයක් කියන්නද?”

“මම දන්නවා ඔයා කියන්න යන දේ, ඔයා අම්මලා බලන්න යන්නේ අවුරුද්දට සැරයයි කියලානේ කියන්න හදන්නේ. මේ තරම් කාලෙකට කවුරුවත් ඔයාව නැවැත්තුවේ නැහැනේ.” 

“එහෙනම් දැන් ඇයි මාව නවත්තන්න හදන්නේ?” 

“මේ වතාවේ විතරක් ඔය ගමන නොගිහින් ඉන්න,” ඔහු බැගෑපත් වූයේය.

“ඔයාගේ අම්මා කිසි දෙයක් කීවේ නැහැනේ, ඉතින් ඔයා මොකද මට බාධා කරන්නේ?” ගුලේරි කුඩා දැරියකු සේ මුරණ්ඩු වෙමින් ඇසුවාය.

“අපේ අම්මා..” මනක් යමක් කියන්නට ඇරඹුවත් ඒ වාක්‍යය අවසන් කළේ නැත. 

අන්තිමේදී ගුලේරි කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් උන් දිනය එළඹිණි. ඈ අරුණෝදයට පෙරාතුවම ගමනට සූදානම් වී සිටියාය. ඇයට දරුවන් නොවූ බැවින් ඔවුන් ව දමා යාමේ හෝ ඈ හා රැගෙන යාමේ ගැටළු පැන නැඟුණේ නැත. නාතු වෙළඹ ගේ සෑදලය සකස් කරද්දී ඈ මනක්ගේ දෙමව්පියන්ගෙන් සමුගත්තා ය. ඔවුහු ඇගේ හිස අතගා ඇයට ආශීර්වාද කළ හ. 

“මම මඟක් දුරට ඔයා එක්ක එන්නම්,” මනක් කීවේය. 

ඔවුන් පිටත් වෙද්දී සතුටින් පසු වූ ගුලේරි, මනක් ගේ බටනලාව ඇගේ දුපත්තා සාළුව අස්සේ සඟවා ගත්තා ය. කජ්ජාර් ගම්මානය පසු වූ පසු මාර්ගය ඍජුවම බෑවුම් වූයේ චම්බා වෙතටයි. ඒ ඉසව්වේදී ඈ සඟවාගෙන සිටි බටනලාව පිටතට ගෙන ඔහුට දුන්නා ය. 

“තාලයක් පිඹින්නකෝ,” ඇය ඔහුගේ අත අල්ලා ඉල්ලා සිටි නමුත් තම සිතිවිලි වල අතරමං වී සිටි ඔහු ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. 

“ඇයි ඔයා බටනලාව පිඹින්නේ නැත්තේ?” 

දුක්මුසු ව ඈ දෙස බැලූ ඔහු බටනලාව දෙතොලට තබා වේදනාකාරී අඳෝනාවක් වැයුවේ ය. 

“ගුලේරි, අනේ යන්න එපා,” ඔහු බැගෑපත් ව ඉල්ලා සිටියේය. “මම ආයෙමත් වතාවක් ඉල්ලනවා, මේ වතාවේ යන්න එපා.” තවදුරටත් කතාකරගනු නොහැකිව ඔහු බටනලාව ඈ අත තැබීය. 

“ඉතින් ඇයි ඒ?” ඈ ඇසුවාය. “ඔයා එන්න මා එක්ක, මම පොරොන්දු වෙනවා ඉන්පස්සේ අපි දෙන්නට එකට ආපිට එන්න පුළුවන්” 

මනක් නැවත ඇයට නවතින්නයැයි ඉල්ලීමක් කළේ නැත. 

ඔවුන් මාවත අද්දර නතර වූ වේලාවේදී නාතු, වෙළඹ ව මඳක් ඉදිරියට අරගෙන ගියේ ඔවුන් දෙදෙනාට තනිවන්නට ඉඩ හරිමිනි. මීට සත් වසරකට පෙර තමන් තම මිතුරන් රංචුවක් සමඟ චම්බා හි අස්වනු මංගල්ලයට ගියේ මේ පාරෙන් ම බව මනක් ට සිහි විය. ඔහුට ගුලේරි ව මුණගැසුණේත්, ඔවුන්ගේ හදවත් බැඳුණේත් ඒ උත්සවයේදී යි. 

“ඔයා නොපැහුණු බඩ ඉරිඟු කරලක් වගේ කිරි පාටයි,” එදා ඈ සමඟ තනි වන්නට ඉඩ ලැබුණු විට ඔහු කීවේය. 

“අමු බඩ ඉරිඟු කන්නේ හරක් නේ,” ඈ තම අත වැරෙන් ඔහු වෙතින් මුදා ගනිමින් කීවාය. “මිනිස්සු නම් බඩ ඉරිඟු කන්නේ පුළුස්සලා. ඔයාට මාව ඕන නම් ගිහින් අපේ තාත්තාගෙන් අවසර ඉල්ලන්න.”

මනමාලියක් කැන්දාගෙන ඒමේදීම ඇයට නියමිත මිළ ගෙවා දැමීම මනක් ගේ පරම්පරාවේ සිරිත විය. මනක් කැළඹුමෙන් පසු වූයේ ගුලේරි ගේ පියා ඇය වෙනුවෙන් කෙතරම් මිළක් නියම කරනු ඇත්දැයි නොදැන සිටි බැවිනි. නමුත් ගුලේරි ගේ පියා නගරබද ව පවා වාසය කර තිබුණු, අත මිට සරු පුද්ගලයෙකු වූ බැවින් තම දියණිය වෙනුවෙන් මුදලක් අය නොකරන්නත්, හොඳ පවුලක පිරිමියෙකුට ඈ ව දෙන්නත් පෙර සිට ඉටාගෙන තිබිණි. මනක් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කළ බව ඔහුට හැඟුණු අතර වැඩි කල් නොයවා ඒ විවාහය සිදු කෙරිණි. අතීත මතකයන් අතරේ කිමිදෙමින් උන් මනක් නැවතත් පියවි සිහියට එළඹුණේ ගුලේරි තම උර මත අත තැබූ විටයි. 

“මොනවද කල්පනා කරන්නේ?”

ඔහු පිළිතුරු දුන්නේ නැත. වෙළඹ නොඉවසිල්ලෙන් හේෂාරාවය කළ අතර ගුලේරි යන්නට නැගිට්ටාය. 

“ඔයා දන්නවාද මෙතැන ඉඳන් හැතැප්මක් දෙකක් ගියාම තියෙන බ්ලූ බෙල් කැලය?” ඇය ඇසුවාය. “කතාවක් තියෙනවා ඒක හරහා යන අය බීරි වෙනවා කියලා. අද ඔයාත් ඒ පැත්තෙන් ඇවිල්ලා වගේ, මම කියන කිසිදෙයක් ඇහෙන්නේ නැහැ.”

“ඔයා හරි ගුලේරි, ඔයා කියන කිසි දෙයක් මට ඇහෙන්නේ නැහැ,” මනක් සුසුමක් හෙලුවේ ය. 

ඔවුහු මොහොතක් එකිනෙකා දෙස බලාගත්වනම පසු වූහ. දෙදෙනාටම අනෙකාගේ සිතේ වූ කිසි දෙයක් වැටහුණේ නැත. 

“මම දැන් යන්නම්” ගුලේරි මෘදු ලෙස කීවාය. “ඔයාත් ආපිට යන්න, ගෙදර ඉඳන් බොහොම දුරක් ඇවිල්ලා නේ.”

“ඔයාත් දිගටම පයින් නේ ආවේ, දැන් ඉතුරු ටික වෙළඹ පිටේ යන්න,” මනක් පිළිතුරු දුන්නේය.

“මෙන්න ඔයාගේ බට නලාව”

“ඔයා ඒක තියාගන්න.”

“උත්සවේ අන්තිම දවසේ ඇවිත් මට ඇහෙන්න බටනලාව පිඹිනවා ද?” ඈ සිනාසෙමින් ඇසුවා ය. ඇගේ දෑස හිරු එළිය සේ දීප්තිමත් ව දැල්විණි. මනක් ඉවත බලාගත්තේය. ව්‍යාකූල සිතින් ගුලේරි චම්බා බලා පිටත් වූ අතර මනක් ආපිට හැරී නිවස වෙත පැමිණියේය.

පිළට ගොඩ වූ ඔහු හිස් බැල්මෙන් යුතුව එහි ලණු ඇඳ මත හිඳ ගත්තේය. 

“උඹ ගිහින් සෑහෙන වෙලාවක් ගත වුණානේ, චම්බා වලටම ගියාද?” ඔහුගේ මව විමසුවාය.

“නැහැ කන්ද මුදුනට විතරයි ගියේ.” මනක් පිළිතුරු දෙද්දී ඔහුගේ කටහඬ ශෝකයෙන් බර වී තිබිණි. 

“මොකද උඹ වයසක ගෑනියෙක් වගේ කෙඳිරිගාන්නේ, පිරිමියෙක් වෙයන්!” ඔහුගේ මව තදින් කීවාය.

“උඹත් ගෑනියෙක් නේ, උඹට බැරිද ඉඳ හිටවත් ගෑනියෙක් වගේ අඬන්න?” යැයි ඇගෙන් අසන්නට සිතුණත් ඔහු නිහඬවම පසුවිය. 

මනක් සහ ගුලේරි විවාහ වී සත් වසක් ගත වූවත් ඇයට දරුවෙකු නොලැබුණු බැවින් මේ තත්ත්වය අටවෙනි වසරක් දක්වා ගෙන නොයාමට මනක් ගේ මව රහසින් ප්‍රතිඥා දී තිබිණි. මේ වසරේදී ඇගේ ඒ තීරණය අනුව ඈ මනක් ට දෙවෙනි බිරිඳක් ගෙන ඒමට රුපියල් පන්සීයක් වැය කර තිබුණු අතර අලුත් මනමාලිය කැඳවාගෙන ඒමට ඈ බලා සිටියේ ගුලේරි තම මව්පියන් බලන්නට ගොස් සිටි මේ වකවානුවයි. මේ බව මනක් ද දැන සිටියේය. මවටත්, චාරිත්‍රයටත් කීකරු වෙමින් මනක් ගේ සිරුර අලුත් බිරිඳ වෙත ප්‍රතිචාර දැක්වූවත් ඔහුගේ හදවත ගල් වී තිබිණි. 

එක් උදෑසනක ඔහු පිලේ හිඳ දුම් උරමින් සිටියදී ඔහුගේ පැරණි මිතුරෙකු ඒ අසලින් ගමන් ගත්තේය. 

“ආ භවානි, කොහෙද මේ උදේ පාන්දරම යන්නේ?”

භවානි එය අසා නැවතුණි. ඔහුගේ උර මත කුඩා පොට්ටනියක් විය. 

“කොහෙවත් නැහැ,” ඔහු මනක්ගේ දෑස මඟ හරිමින් කීවේය. 

“නෑ කිව්වාට කොහේ හරි යන පාටයි, ගෙට ගොඩවෙලා යන්න එනවා ද?”

භවානි පිලේ ඇන තබාගෙන මනක් වෙතින් දුම් පයිප්පය ගත්තේය. 

“මම අස්වනු මංගල්ලෙට චම්බා යනවා.” ඔහු අන්තිමේදී කීවේය. 

ඔහුගේ වචන ඉඳිකටු තුඩක් මෙන් මනක් ගේ හදවත පසාරු කරන්නට සමත් විය. 

“අද ද ඒ උත්සවේ?”

“හැම අවුරුද්දෙම එකම දවසේනේ ඒක තියෙන්නේ,” භවානි උපහාසයෙන් පිළිතුරු දුන්නේ ය. “ඇයි උඹට මතක නැද්ද මීට අවුරුදු හතකට ඉස්සෙල්ලා අපි කට්ටියක් එකතුවෙලා ඔය ගමන ගියා?” ඔහු මීට වැඩි දෙයක් නොකීවත් ඒ වදන්වල ගැබ් වූ චෝදනාව මනක් ට හොඳින් වැටහුණු අතර ඔහුට අපහසුවක් දැනුණි. භවානි දුම් පයිප්පය පසෙක තබා තම පොට්ටනිය අතට ගත්තේය. ඔහුගේ බටනලාව ඉන් පිටතට දිස් විය. භවානි නොපෙනී යන තුරු මනක් ගේ දෑස් රැඳී තිබුණේ ඒ බටනලාව වෙතයි. 

ඊට පසු දින මනක් කුඹුරේ සිටිද්දී භවානි ආපසු එනු දුටුවේය. ඔහු ඉක්මනින් ඉවත බලාගත්තේ අස්වනු මංගල්ලය ගැන කිසිවක් දැනගැනීමට ඔහුට උවමනාවක් නොතිබුණු බැවිනි. නමුත් භවානි ඔහු ව සොයා විත් ඔහු ඉදිරිපසින් හිඳ ගත්තේය. ඔහුගේ මුහුණ වේදනාවෙන් අළු පැහැ ව ගොස් තිබිණි.

“ගුලේරි මැරිලා,” භවානි හැඟීම් රහිත ව කීය.

“මොකක්?”

“උඹ තව කසාදයක් කරගත්තා කියලා ආරංචි උනාම ඒකි ඇඟේ ලාම්පුතෙල් හලාගෙන ගිනි තියාගෙන.”

වේදනාවෙන් ගොළු වූ මනක් ට තම ජීවිතය ද දැවී අළු වී යන බවක් දැනුණි. 

කාලය ගත විය. මනක් නැවතත් කුඹුරු වැඩ ඇරඹීය. ඔහු වෙත ආහාර පිළිගැන්වුණු විට ඔහු ඒවා අනුභව කළේ ය. නමුත් ඔහුගෙන් දිස් වූයේ මළ මිනියක පෙනුමකි. ඔහුගේ දෑස හිස් වී, මුහුණ හැඟීම් විරහිත ව ගොස් තිබිණි. 

“මම එයාගේ බිරිඳ නෙමෙයි,” ඔහුගේ බිරිඳ ගතු කීවා ය. “එයා මාව කසාද බැඳලා විතරයි.” 

එහෙත් වැඩි කල් යාමට මත්තෙන් ඈ ගැබ් ගත් බැවින් මනක් ගේ මව අලුත් ලේලිය ගැන සතුටු වූවා ය. ඈ ඒ ආරංචිය ගැන මනක් ට කී විට ඔහු බලා සිටියේ ඒ කිසිවක් නොවැටහුණු ලෙසිනි. ඔහුගේ දෑස හිස් ව ම පැවතිණි. මනක් ගේ මේ ගතිගුණ ටික කලකට ඉවසන මෙන් ඔහුගේ මව සිය ලේලියගෙන් ඉල්ලා සිටියාය. අලුත උපන් දරුවා තම පියා වෙතට දුන් විට මනක් වෙනස් වන බවට ඇයගේ විශ්වාසය විය.

නොබෝ දිනකින් ඇගේ ප්‍රාර්ථනය ඉටු වෙමින් මනක් ගේ බිරිඳ පුතෙකු බිහි කළා ය. සතුටින් ඉපිලෙමින් උන් ඔහුගේ මව බිළිඳා නහවා, අලුත් ඇඳුම් අන්දවා මනක් ගේ උකුලෙන් තැබුවේය. ඔහු කිසිත් නොවැටහුණු ලෙසින් බොහෝ වෙලාවක් දරුවා දෙස බලා සිටියේ හැඟීම් විරහිත මුහුණෙනි. හදිසියේම ඔහුගේ හිස් දෑස ත්‍රාසයෙන් පිරුණි.

“මූව අයින් කරපියව්..අයින් කරපියව්..” ඔහු උමතුවෙන් කෑ ගසන්නට විය. “මූ ළඟ ලාම්පුතෙල් ගඳයි!”

පරිවර්තනය හෙල්මලී ගුණතිලක 

Translation of the short story 'The Stench of Kerosene' by Amrita Pritam

Picture- Gemini

December 07, 2025

නැකැත්කරුගේ එක දවසක්



නැකත්කරු මධ්‍යහ්නය වෙද්දී නොවරදවාම තම රාජකාරිය අරඹා, තම මල්ලෙන් ඔහුගේ වෘත්තියට අදාළ ආම්පන්න පිටතට ගන්නේය. මීට කවඩි බෙල්ලන් දුසිමක්, විවිධ මායාකාරී රේඛා සටහන් සහිත හතරැස් රෙදි කඩක්, සටහන් පොතක් සහ පුස්කොල පොත් කිහිපයක් ඇතුළත් විය. ඔහුගේ නළලත ශුද්ධ වූ අළු සහ සාදිලිංගම් ආලේප කර තිබිණි. ඔහුගේ දෑස නිරතුරුවම අමුතු ආලෝකයකින් දිලිසුණු අතර අන්‍යයන් මෙය ඔහුගේ දුර දක්නා නුවණෙහි සලකුණක් ලෙස සැලකුවත් එය සත්‍ය වශයෙන්ම ගනුදෙනුකරුවන් ගැන නොකඩවා සෝදිසියෙන් සිටීම නිසා ඇතිවූවක් විය. පාට ආලේපිත නළලතට සහ දෙකොපුල් වැසුණු ගණ උඩු රැවුලට මැදිව තිබුණු බැවින් ඔහුගේ දෑසේ බලය දෙගුණ තෙගුණ වී ඉස්මතු විය. එවැනි පසුබිමක මෝඩයෙකුගේ දෑසට වුවත් එවැනි තෙදවත් බවක් ආරූඩ වනු නොඅනුමාන ය. මේ පෙනුම සම්පූර්ණ කිරීමට නැකත්කරු තම හිස වටා කහ පැහැති ජටාවක් ද බැඳ සිටියේය. මේ වර්ණ සංකලනය කිසිදා වැරදුණේ නැති අතර මිනිසුන් ඔහු වෙත ඇදී ආවේ අටපෙතියා හෝ ඩාලියා මල් පොකුරකට ඇදී එන්නන් විලසිනි. ඔහු හිඳ සිටියේ නගර ශාලාව පිහිටා තිබුණු උද්‍යානය අසලින් වැටුණු පාර අද්දර වූ අතු පතර විහිදුණු සියඹලා ගසක සෙවනක ය. උදෑසන සිට රාත්‍රිය දක්වා පුදුමාකාර සෙනඟක් මේ මාර්ගයේ එහා මෙහා ගමන් කළ බැවින් එය අපූරු තැනක් විය. මේ පාර අද්දර තවත් වෙළෙන්දෝ කීපදෙනෙක් සිටියහ. මෙහි බෙහෙත් බඩු වෙළෙන්දන්, සොරකම් කළ විවිධ සුන්බුන් වර්ග විකුණන අය, මැජික්කරුවන් ආදී අය දක්නට වූ අතර ඒ හැමටම වඩා ශබ්ද නඟමින් මුළු නගරයම එතැනට කැඳවූයේ බාල රෙදි වෙන්දේසි කළ වෙළෙන්දා ය. ඝෝෂාවෙන් ඔහුට දෙවැනි වූයේ පසෙක වූ රටකජු වෙළෙන්දා පමණි. ඔහු තම රටකජු සඳහා විවිධ විසිතුරු නම් භාවිත කිරීමට පුරුදු වී සිටියේය. ඇතැම් දිනවල එය ‘බොම්බේ අයිස් ක්‍රීම්’ ලෙසත්, තවත් දිනවල එය ‘දිල්ලි ආමන්ඩ් ඇට’ හෝ ‘රාජා ගේ ප්‍රණීත ආහාරය’ ලෙසත් ඔහු හැඳින්වූ අතර ඔහු වටා ගනුදෙනුකරුවෝ රොක් වූහ. 

මේ සෙනඟින් සැලකිය යුතු ප්‍රමාණයක් නැකත්කරු ඉදිරිපස ද තාවර විය. නැකත්කරු තම ව්‍යාපාරය කළේ රටකජු වෙළෙන්දා ගේ රටකජු ගොඩ අසල දල්වා දුම් දමමින් තිබුණු පන්දමේ ආලෝකයෙනි. මේ පෙදෙසට නගර සභාවේ විදුලි ආලෝකය නොලැබීම නිසා හාත්පස එක්තරා ආකාරයක මායාකාරී පෙනුමක් විය. මෙහි වූ ව්‍යාපාරිකයෝ අසල කඩ වීදියේ සාප්පු වල එළියෙන් හෝ ගෑස් ලාම්පු දෙකතුනක්, කණු මත රැඳවූ පන්දම් හෝ  පැරණි පාපැදි ලාම්පු ආදියෙන් තම ව්‍යාපාර ආලෝකවත් කරගත් අතර නැකත්කරු වැනි කිහිපදෙනෙක් පමණක් තමන්ගේ ම ආලෝක ප්‍රභවයක් රහිතව කටයුතු කළහ. මේ විවිධ ආලෝක තීරු සහ සෙවනැලි නිසා එහි අවට පරිසරයේ එක්තරා ආකාරයක අවුල් සහගත බවක් මැවුනද, නැකත්කරු නම් ඊට බොහොම කැමති විය. මීට හේතුව ඔහු අතීතයේදී නැකත්කරුවෙකු වීමට කිසිම බලාපොරොත්තුවක් නොතිබීමත්, අනාගතයේ සිදුවිය හැකි දේ ගැන සාමාන්‍ය මිනිසුන් තරමටම ඔහු ද කිසි දෙයක් නොදැන සිටීමත් ය. ඔහු තම අහිංසක ගනුදෙනුකරුවන් තරමටම නක්ෂත්‍රයට ආගන්තුකයෙකු විය. නමුත් ඔහු කී අනාවැකි ඇසූ අය සතුටටත් පුදුමයටත් පත් වූහ. ඔහුගේ මේ හැකියාව සත්‍ය වශයෙන්ම පළපුරුද්දත්, නිරීක්ෂණයත්, අනුමානයත් යන ඒවායේ සංකලනයක් විය. කෙසේ වෙතත්, ඔහුගේත් අවංක කුළී කරුවකුගේත් වෙනසක් නොතිබුණු අතර දවස අවසානයේ ඔහු ද තම වෙහෙස මහන්සියෙන් මුදල් උපයා තිබිණි. 

ඔහු පෙර කලෙක තම උපන් ගමෙන් පිටවූයේ විශේෂ සැලසුමකින් තොරවයි. තවදුරටත් එහි විසුවේ නම් තම මුතුන් මිත්තන් කළ පරිදි ඉඩම් අස්වද්දමින්, විවාහ වී, තම බඩ ඉරිඟු වගාවටත්, මහගෙදරටත් සීමා වී වයසට යන්නට ඔහුට ඉඩ තිබිණි. නමුත් එය එසේ සිදු වන්නට නියමිත වූයේ නැත. දිනක් ඔහු කිසිවෙකුටත් නොකියා නිවසින් පිට වූ අතර එදින ගමෙන් පිටවී හැතැප්ම සීයක් දෙසීයක් ගතවන තුරු ඔහුට නිවනක් දැනුණේ නැත. ඔහු වැනි සාමාන්‍ය ගැමියෙකුට මේ දුර සාගරයක් තරම් විශාල විය. 

නැකත්කරු ට මිනිසුන්ගේ ගැටළු ගැන හොඳ අවබෝධයක් තිබිණි. ඒවා බොහෝ විට විවාහ, මුදල් හෝ අන්‍යොන්‍ය බැඳීම් නිසා ඇතිවන අර්බුද බව ඔහු දැන සිටියේ ය. කාලයක් තිස්සේ ලද පළපුරුද්ද ඔහුගේ සංජානනය තියුණු කර තිබිණි. කෙනෙකු ඔහු වෙත පැමිණ ගතවෙනි පළමු විනාඩි පහ ඇතුළත ඔහුට ඔවුන්ගේ ගැටලුව වැටහිණි. එක ප්‍රශ්නයකට පයිස තුනක් අය කළ ඔහු, ගනුදෙනුකරුවා විනාඩි දහයක් වත් කතා කරන තුරු තම කට ඇරියේ නැත. මේ කාලය තුළදී ලැබෙන තොරතුරු, පිළිතුරු සහ උපදෙස් දුසිමකට වුව සෑහිණි. 

“ඔබේ මහන්සියට නියම ප්‍රතිපල ලැබෙන්නේ නැහැ.” 

තමන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ අත්ල දෙස බලා ඔහු මෙසේ කියූ විට පුද්ගලයන් දහයකින් නවයක්ම ඔහු හා එකඟ වීම සාමාන්‍ය සිද්ධියක් විය. 

නොඑසේ නම් ඔහු මෙසේ ප්‍රශ්න කළේය. “ඔබේ පවුලේ කවුරුහරි ගෑනු කෙනෙක් ඉන්නවද- දුරින් නෑදෑ වෙන කෙනෙක් හරි- ඔබත් එක්ක අමනාපයෙන් ඉන්න?” 

ඇතැම්විට ඔහු ඔවුන්ට දුන්නේ චරිත විශ්ලේෂණයකි. “ඔබේ ප්‍රශ්නවලට වැඩිහරියක් හේතුව ඔබේ ගති ස්වභාවය. සෙනසුරු ඔහොම පිහිටලා තියෙද්දී මීට වඩා වැඩි වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔබ පිටතින් රළු ගතියක් පෙන්නන, කලබලෙන් වැඩකරන කෙනෙක්” මෙවැනි දෑ කීමෙන් ගනුදෙනුකරුවෝ ඔහු ගැන වහා පැහැදුන හ. මීට හේතුව ඉතාම මෘදු හදැති අය පවා තමන් ට රළු ස්වභාවයක් ඇති බව ඇසීමට ඇති කැමැත්තයි. 

එදින රටකජු වෙළෙන්දා සිය පන්දම නිවා දමා නිවාස බලා යන්නට සැරසුණේය. මෙය නැකත්කරුටත් තම බඩු මුට්ටු එකලස් කර පිටත්ව යාමට සංඥාවක් වූයේ පන්දම නිවූ පසු ඔහුට ඉතිරි වූයේ දුරකින් වැටුණු කුඩා කොළ පැහැති ආලෝක තීරුවක් පමණක් වූ බැවිනි. කවඩි බෙල්ලන් සහ අනෙකුත් දෑ එකතු කරගත් ඔහු, ඒවා තම මල්ලට දමද්දී ම තමන් ඉදිරියේ වූ කොළ පැහැ ආලෝකය අවහිර වනු ඔහුට පෙනුණි. ඔහු ඉදිරියේ මිනිසෙකු සිටගෙන සිටියේය. මේ ගනුදෙනුකරුවකු විය හැකි බැවින් ඔහු මෙසේ කීවේය. 

“ඔබට මහන්සි පාටයි, ටිකක් ඉඳගෙන මාත් එක්ක කතාකරමු.” 

ඊට පිළිතුරු ලෙස අනෙකා පහත් හඬින් යම් අවලාදයක් කීවේය. නැකත්කරු තවදුරටත් තම ආරාධනය ඉදිරිපත් කළ විට අමුත්තා තම අත්ල ඔහුගේ මුහුණටම දිගු කර මෙසේ කීවේය.

“තමුසේ හිතාගෙන ඉන්නේ මහා ලොකු සාස්තරකාරයෙක් කියලාද?” 

නැකත්කරු ට දැනුණේ තමන් ව අභියෝගයට ලක් කරන ලද බවකි. ඔහු අමුත්තාගේ අත්ල ආලෝක තීරුව පැත්තට හරවා “ඔබේ ගති ස්වභාවය අනුව..” යැයි කියන්නට පටන් ගත්තේය. 

“අනේ මේ, ඕක නවත්තාගන්නවා! මට වැඩක් ඇති දෙයක් කියනවා!” අමුත්තා ගෝරනාඩු කළේය. 

මෙය අසා අපගේ නැකත්කාර මිතුරාට නොරිස්සුමක් දැනුණි. 

“මම එක ප්‍රශ්නයකට අය කරන්නේ පයිස තුනයි, ඒ මුදලට සාධාරණ දෙයක් ඔබට ලැබෙයි.”

මෙය අසා අමුත්තා තම අත වැරෙන් ඉවත් කර අන්නාවක් ගෙන එය නැකත්කරු වෙත දමා ගැසුවේය. “මට ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න, හැබැයි තමුසේ බොරු කිව්වොත් මට මගේ සල්ලි ආපිට ඕන පොළියත් එක්ක,” ඔහු කීය. 

“මම දෙන උත්තර හරි නම් ඔබ මට රුපියල් පහක් දෙනවා ද?” 

“බෑ” 

“එහෙනම් අන්නා අටක්?”

“හරි, හැබැයි තමුසේ වැරදි නම් මට ඒ වගේ දෙගුණයක් ආපිට දෙන්න ඕන.” 

තවත් තර්ක රහිත ව මේ ගනුදෙනුවට දෙපාර්ශවය ම එකඟ විය. නැකත්කරු දෙවියන්ට යාඥා කරද්දී අනෙකා බීඩියක් දල්වා ගත්තේය. නැකත්කරු අමුත්තාගේ මුහුණ දුටුවේ ගිනිකූර දැල්වෙද්දී විහිදුණු එළියෙනි. මාවතේ මෝටර් රථ වෙතින් ඇසෙන නළා හඬ, අස්රිය රියැදුරන් අශ්වයන්ට නොසරුප් වදනින් බනින හඬ සහ මග යන එන්නන්නගේ ඝෝෂාව නිසා උද්‍යානයේ පැතිරුණු අඩ අඳුර කැළඹෙමින් තිබිද්දී ඔහු මොහොතක් නිසොල්මන් විය. අමුත්තා නොසැලකිල්ලෙන් බීඩිය උරමින්, දුම් පිඹිමින් ඔහු ඉදිරිපසින් ඇන තබාගෙන සිටියේය. නැකත්කරුට මහත් අපහසුතාවයක් දැනුණි. 

“මෙන්න ඔබේ අන්නාව අරගන්න, මට වැඩිය පුරුදු නැහැ ඔය අභියෝග. අනික දැන් පරක්කු වෙලා…” ඔහු තම බඩු මුට්ටු එකතු කරගන්නට පටන් ගත්තේය. 

එහෙත් අමුත්තා වැරෙන් ඔහුගේ අතින් අල්ලා ගත්තේ ය. 

“තමුසෙට දැන් මේකෙන් ගැලවෙන්න බැහැ, මම මෙතැනින් යද්දී තමුසෙම නේ මාව නවත්තාගත්තේ!”

ඒ ග්‍රහණයට මැදි වූ නැකත්කරු වෙව්ලන්නට විය. කොඳුරමින් කතා කළ ඔහුගේ කටහඬ බිඳුණි. 

“අදට මට යන්න දෙන්න, මම හෙට ඔහේ එක්ක කතා කරන්නම්.”

නමුත් අමුත්තා තම අත්ල ඔහු වෙත පා මෙසේ කීවේ කේන්තියෙනි. “අභියෝගේ නම් අභියෝගේ, හරි! අනාවැකි කියනවා බලන්න”

තම උගුර කට වියළී යන බවක් නැකත්කරු ට දැනුණි. 

“ඔහේ ගේ පවුලේ ඈතින් නෑදෑ වෙන ගෑනු කෙනෙක් ඉන්නවා…” ඔහු කියන්නට පටන් ගත්තේය. 

“ඕක නවත්තා ගන්නවා,”අනෙකා කෑ ගගැසුවේ ය. “මට ඒවා වැඩක් නැහැ, මම දැන් හොයමින් ඉන්නා දේ මට හම්බවෙනවාද විතරක් කියනවා. ඒකට උත්තර දීලා තමුසෙට යන්න පුළුවන්. හැබැයි තමුසේ ඒකට උත්තරේ කියන කම් මම තමුසෙගෙ ඔක්කොම කාසි ටික ගන්නවා.”

නැකත්කරු ස්ත්‍රෝත කීපයක් මුමුණා ඉනික්බිති මෙසේ කීවේය. 

“හරි, මම උත්තර දෙන්නම්, හැබැයි මම කියන දේ පිළිගන්න පුළුවන් නම් මට රුපියලක් දෙන්න ඕන, නැත්නම් මම කට අරින්නේ නැහැ, ඔහෙට කැමති දෙයක් කරන්න පුළුවන්.” 

සෑහෙන වෙලාවක් කේවල් කිරීමෙන් අනතුරුව අනෙකා මීට එකඟ විය. නැකත්කරු මෙසේ ඇසීය.

“ඔහේ මැරෙන්න කියලා අත ඇරලා දාලා හිටිය කෙනෙක්, මම හරි ද?”

“තව විස්තර කියනවා බලන්න.”

“ඔහේට පිහි ඇනුමක් වෙලා තියෙනවා.”

“තමුසේ මරු මිනිහෙක් නේ!” අමුත්තා තම කමිසය ගලවා කැළල පෙන්වමින් කීවේය. “තව මොනවාද?”

“ඉන්පස්සේ කිට්ටුව පිට්ටනියක තිබුණු ළිඳකට ඔහේ ව තල්ලු කරලා දාලා මැරෙන්න ඇරලා තිබුණා.”

“පාරේ ගිය කෙනෙක් මාව අහම්බෙන් දැක්කේ නැත්නම් එදා මාව මැරෙනවා,” මෙය අසා අනෙකා උද්යෝගයෙන් මත් වී කෑ ගැසුවේය. “කියනවා! මට කවදාද ඌව අහුවෙන්නේ?” ඔහු ඇසුවේ අත මිට මොළවමිනි.

“ඒක නම් සිද්ධ වෙන්නේ එහා ලෝකෙදි” නැකත්කරු පිළිතුරු දුන්නේය. “මීට මාස හතරකට කළින් ඈත නගරෙකදී ඔහේට පිහියෙන් ඇන්න ඒ මනුස්සයා මළා. ඔහෙට ආයෙත් කවදාවත් එයාව හම්බවෙන්නේ නැහැ.” මෙය අසා අනෙකා සිත් තැවුලෙන් කෙඳිරි ගෑවේය. 

“ගුරු නායක්-” 

“තමුසේ මගේ නම දන්නවා!” අමුත්තා කීවේ පුදුමයෙනි.

“අනෙත් හැම දේම වගේම මම ඒකත් දන්නවා. ගුරු නායක්, මම කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔහේ ගේ ගම මෙතැන ඉඳන් උතුරට දවස් දෙකක දුරක්. ඊළඟ කෝච්චියේ නැගලා ගමට යන්න. ආයෙත් වතාවක් ගෙදරින් පිටවුනොත් තමුන්ගේ ජීවිතේ අනතුරේ.” ඔහු දෑඟිලි අතරට ශුද්ධ වූ අළු බිඳක් ගෙන එය අනෙකා වෙත පෑවේය. “මේක තමුන්ගේ නළලේ ගාගෙන ගෙදර යන්න. ආයෙත් කවදාවත් මේ දකුණු පළාතට එන්න එපා, එහෙම නෑවිත් හිටියොත් ඔහෙට අවුරුදු සීයක් ජීවත් වෙන්න පුළුවන්.” 

“මම ආයෙත් මොකට ගෙදරින් යනවාද?” අමුත්තා කල්පනා බරව කීවේය. “මම එහෙ මෙහෙ ගියේ මට මේ විපත කළ එකා හොයලා උගේ බෙල්ල මිරිකන්න.” ඉනික්බිති ඔහු පසු තැවීමෙන් හිස සැලීය. “ඌ මගෙන් බේරුණා. අඩුම ගානේ ඌ කළ දේ පටිසන් දීලා මළා නම් මට ඒ ඇති.” 

“ඔව්.” නැකත්කරු පිළිතුරු දුන්නේය. “එයා මැරුණේ ලොරියක හැප්පිලා.” මේ පුවත අසා අනෙකා සතුටු වූ බවක් පෙනුණි. 

නැකත්කරු තම ආම්පන්න මල්ලට දමාගනිද්දී හාත්පස හිස් ව පැවතිණි. ඔහු ඉදිරියේ වැටී තිබුණු කොළ පැහැති ආලෝක තීරුවත් ඒ වෙද්දී අතුරුදන් ව තිබුණු නිසා දසත පැතිරුණේ අඳුර සහ නිහඬ බව යි. ඔහුට කාසි අහුරක් දීමෙන් අනතුරුව අමුත්තා අඳුරේ නොපෙනී ගියේ ය. නැකත්කරු නිවසට එළඹෙද්දී මැදියම් රැය ද පසු වී තිබිණි. එළිපත්ත මත ඔහු එනතුරු බලා සිටි ඔහුගේ බිරිඳ ඔහු පමා වීමට හේතු කාරණා විමසා සිටියා ය.

“මෙන්න මේ සල්ලි ගණන් කරලා බලන්න, එක මිනිහෙක් ඔය ඔක්කොම දුන්නේ” ඔහු කාසි අහුර ඇය වෙත වීසිකරමින් කීවේය. 

“මෙතැන අන්නා දොළහමාරක් තියෙනවා,” ඈ සතුටින් ඉපිලෙමින් කීවාය. “මට එහෙනම් හෙට හකුරු ටිකකුයි පොල් ගෙඩියකුයි ගන්න පුළුවන්. පොඩි එකී දවස් ගාණක ඉඳන් පැණිරස කෑමක් හදලා දෙන්න කියලා ඉල්ලනවා, දැන් මට පුළුවන් ඒකිට රසකැවිල්ලක් හදලා දෙන්න” 

“ඒ කපටි මිනිහා මට වංචා කළා…ඌ මට රුපියලක් දෙනවා කියලායි පොරොන්දු වුණේ…” නැකත්කරු කීය. 

“ඔයා හිත කරදරයෙන් ඉන්න පාටයි, මොකක්ද ප්‍රශ්නේ?” ඔහුගේ බිරිඳ ඔහු දෙස බලමින් ඇසුවාය. 

“මුකුත් නැහැ” 

රාත්‍රී ආහාරයෙන් පසු, මිටි බංකුවේ අසුන්ගෙන සිටියදී ඔහු ඈට මෙසේ කීවේය. 

“ඔහේ දන්නවාද? අද මගේ හිතේ තිබුණු ලොකු බරක් අයින් වුණා. මේතරම් කල් මම හිතාගෙන හිටියේ මගේ දෑතේ එක මනුස්සයෙක්ගේ ලේ ගෑවිලා තියෙනවා කියලා. මම ගෙදරින් පැනලා ඇවිත්, මෙහෙ පදිංචි වෙලා, ඔහේ ව කසාද බැන්ද හේතුවත් ඒකයි. ඒත් බලද්දී ඒ මිනිහා මැරිලා නැහැ.”

“ඔයා මිනිහෙක් ව මරන්න හැදුවා?” ඈ විමතියෙන් ඇසුවා ය. 

“ඔව් අපේ ගමේ දී, ඒ මම මෝඩ වැඩ කරපු තරුණ කාලේ. ඒ කාලේ අපි  බිව්වා, සූදු කෙළියා, දවසක් ලොකු රණ්ඩුවක් ගියා- ඒත් දැන් මොකටද ඒ ගැන කල්පනා කරන්නේ? අපි නිදාගමු,” 

මෙසේ කියා ඈනුමක් හරිමින් ඔහු මිටි බංකුවේ දිගා විය. 


පරිවර්තනය-  හෙල්මලී ගුණතිලක 

Translation of ‘An Astrologer’s Day’ by R. K Narayan 

Picture Gemini AI



November 08, 2025

ලොක්කාට ජය වේවා!


කල්කටාවේ බොහෝ වෙළඳ සමාගම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වන විවිධ ඖෂධීය පැලෑටි ලබා ගැනුණේ ඈත ගම්මානවල ගැමියන්ගෙනි. අත්පිට මුදලට කෙරුණු මේ ගනුදෙනු වැදගත්කමෙන් අඩු ලෙස සැලකුණු නිසා පොත්පත් වල මේ සැපයුම්කරුවන්ගේ නම් මිස ලිපිනයන් සඳහන් නොවූ තරම් විය. මේ කාර්යය භාරව සිටියේ ආයතනවල කනිෂ්ඨ ලිපිකරුවන් වූ අතර මේ ගනුදෙනුකරුවන් කිසි දිනක අංශ ප්‍රධාන ප්‍රධාන ලිපිකරු තබා වෙනාත් ජ්‍යෙෂ්ඨ ලිපිකරුවකුවත් දුටුවේ නැත. 

හරිපාද ප්‍රථම වතාවට තමන්ගේ ගනුදෙනු ක්‍රියාවලියේ අතරමැදියා වන නාගු ව මඟ හැර තමන්ගේ ඖෂධීය පැලෑටි තොගය නගරයේ කාර්යාලයට ගෙන යාමට තීරණය කළේ ය. ඔහුගේ ගම්මානයේ මෙවැනි පැලෑටි බහුල ව තිබුණු අතර ඒවා මෙසේ විකිණීමට ඔහුට මුලින්ම ඔත්තුව දුන්නේත් නාගු ම විය. මේ සඳහා ගැලපෙන්නේ කුමන පැළෑටිදැයි  තෝරා ගැනීමට ගම්මානයේ වෙදහාමිනේ වූ ශාන්ති ඔහුට ගුරු හරුකම් ලබා දුන්නාය. නමුත් හැම රාත්තල් සියයකටම රුපියල් දෙකක ලොරි කුලියක් ද නාගු ට ගෙවන්නට සිදු වූ බැවින් හරිපාද ට මින් වැඩි ලාභයක් ලැබුණේ නැත. මේ නිසා මේ වසරේ ඔහු තම පැලෑටි තොගය නාගු ට නොදී එකතු කරන්නට විය. නාගු මේ ගැන කීප වරක්ම විමසුවේය. 

“තමුසේ කරන වැඩෙන් ඔය බෙහෙත් බඩු ටික කුණු වෙනවා. ඔය කපොක් මුල්, සුදු පාර්පතී පැල එහෙම මාස හයකට වඩා තියාගන්න බැහැ, නරක් වෙනවා. ඉන්පස්සේ මිළ දෙගුණයකින් අඩු කරලා විකිණුවත් කවුරුවත් ගන්නේ නැහැ. මට දෙනවා, මං ඔය තොගයම කල්කටාවේ ගබඩාව ට යවන්නම්.”

නමුත් හරිපාද, නාගු සිතූ තරම් මෝඩයෙකු නොවීය. 

“නාගු මේ බෙහෙත් බඩු එකතු කරන්න මහන්සි වෙන්නේ වත් නැති එකේ ඌ ට මොකටද වැඩි ලාබය දෙන්නේ?” ඔහු තමාටම කියා ගත්තේය.

ඖෂධීය පැලෑටි මිළදී ගන්නේ හින්දුස්ථාන් සමාගම බව නගරයට එළැඹුණු විට හරිපාදට ආරංචි විය. ඔහු කෙලින්ම එහි කාර්යාලය වෙත ගිය නමුත් එහි දුටු දසුනින් මඳක් පසු බෑවේය. බැලූ බැලූ අත සේවකයන්, දොරටුපාලකයින්, විදුලි සෝපාන, නිරතුරුව හඬ දෙන දුරකථන සහ මහා දවාලේත් දැල්වුණු විදුලි බුබුළු පෙනුණි. මේ බරපතල රාජකාරිය නාගුට ම පැවරුවා නම් යැයි ඔහුට සිතෙන්නට විය. අන්තිමේදී ඔහු මඟ අසාගෙන නියමිත අංශය වෙත පැමිණුනි.

ඖෂධීය පැලෑටි මිළදී ගැනීම භාර ව සිටියේ තරුණ ලිපිකරුවෙකි. ඔහු භාණ්ඩ තොගය පරීක්ෂා කර ලබා දුන් මිළ පෙර ඔහු රාත්තල් සියයට ලැබූ මිළට වඩා අන්නා අටකටත් වඩා වැඩි බව හරිපාද ට වැටහිණි. පැළෑටි තොගයේ බර කිරුමට තරමක වෙලාවක් ගත විය. 

“ඔහේ ට කාසි ද ඕන නැත්නම් චෙක් එකක් ද?” ලිපිකරුවා විමසීය. “කාසි ඕන නම් හෙට එන්න වෙනවා. මම අවශ්‍ය වැඩ ටික කරලා තියන්නම්. මේ රිසිට් එක අරගෙන ගිහින් හෙට ප්‍රධාන ලිපිකාර මහත්තයාගෙන් අත්සනක් දාගෙන අර කවුන්ටරේට අරන් ගිහින් සල්ලි ගන්න.”

පසු දා පඩි දිනය වූ බැවින් මුදල් ලබාදෙන කවුන්ටරයේ මහා සෙනඟක් විය. සීල් තබන ලද ලියුම් කවර මත සේවකයන්ගේ නම් යතුරු ලියන කර තිබිණි. 

“නම? රාම් ශාරන් පාල්? මෙන්න කවරේ” මෙසේ කියමින් ලිපිකරුවා ලියුම් කවර බෙදා හැරියේය. ක්‍රම ක්‍රමයෙන් ලියුම් කවර මිටිය අඩු විය. ඇතැම්හු නික්ම යාමට පෙර තම කවරයේ වූ මුදල ගණන් කළහ. 

H. P. B මුලකුරු සඳහන් ලියුම් කවරයක් හරිපාද ගේ අතට ලැබිණි. ඔහුට නම් එය විවර කර මුදල් ගණන් කිරීමට ලැජ්ජා සිතිණි. මෙවැනි විශාල ආයතනයකට ගණන් වරදින්නට ඇති ඉඩ කුමක්ද? වැඩියත්ම ඔවුන් තම නම පවා කවරයේ සටහන් කරන්නට තරම් මහන්සි වූ විට!

නමුත් හරිපාද සීල්දා දුම්රිය පළ වෙත පැමිණි විට තම කවරය විවර කර මුදල් ගණන් කළ යුතු බව ඔහුට සිතෙන්නට විය. එසේ බැලු විට ඔහුගේ පුදුමය කෙතරම් වී ද යත්, සිය දෙපා පණ නැති වී ඔහුට අසුන් ගැනීමට සිදුවිය. රුපියල් හතළිහක් වෙනුවට එහි රුපියල් එක්දාස් එකසීයක් විය! වහා වටපිට බැලූ ඔහු හැකි ඉක්මනින් මුදල් නෝට්ටු තම සාක්කුවට ඔබාගෙන දිවගොස් නවතා තිබුණු දුම්රියකට ගොඩවිය.

රුපියල් එක්දාස් එකසීයක මුදල ඉතා සරල ගැමියෙකු වූ හරිපාද ට විශාල මුදලක් විය. මේ නම් දෙවියන්ගේ තෑග්ගක් බව ඔහු කල්පනා කළේ ය. තම ජීවිතයේ ඉතිරි කාලයම ඖෂධ පැලෑටි විකිණුවත් ඔහුට මේ මුදල එකතු කර ගනු නොහැකි වනු ඇත. සැබවින්ම ඒ, වාසනාව ඔහු ව සොයා ආ දිනයකි! ඔහුට මේ පුවත තම බිරිඳට පවසන තෙක් ඉවසුමක් නොමැති විය. දුම්රියේ ගමන ඉතා සෙමින් සිදුවන බවක් ඔහුට දැනුණි

ආයතනයේ සේවකයන් වැඩි කල් නොගොස් මේ අත්වැරැද්ද සොයා ගනු ඇති බව හරිපාද කල්පනා කළේ ය. නමුත් ඔවුන්ට තමන් ව සොයාගනු නොහැකි වන්නේ ඔහුගේ ලිපිනය ආදී විස්තර ඔවුන් සතුව නොවූ බැවිණි. කෙසේ වෙතත් මේ මුදල් නෝට්ටු තම සන්තකයෙන් ඉවත් කරගත යුතු බව ඔහු සිතුවේය. 

හරිපාද ගේ බිරිඳ, ආශාලතා මේ නෝට්ටු මිටිය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ කිසිත් වටහාගනු නොහැකි වූ ලෙසිණි. 

“මේ වගේ වැරදි නොවෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් දාලා නැද්ද ඔය කොම්පැනි වල?” අවසානයේදී ඈ විමසුවා ය. 

“ලොකු කන්තෝරු වල තමයි මේ වගේ දේවල් ලේසියෙන් වෙන්නේ,” ඇගේ සැමියා පැහැදිලි කළේ ය. “නීති රීති වැඩි වෙද්දී ඒවායින් රිංගන්න පුළුවන් හිඩැස් වැඩි වෙනවා. ඔය කොටසේම සේවකයෝ පනහක් සීයක් වැඩ කරනවා, ඉතින් චෙක් කඩදාසි ම වුණත්  සෑහෙන්න තියෙන නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්.” 

“ඒත් මේ නෝට්ටු වල අංකයක් තියෙනවා නේද?” ආශාලතා නැවතත් ඇසුවාය. “මේ නෝට්ටු හොයලා දෙන්න කියලා පොලිසිය නිවේදනයක් කළොත් මොකද කරන්නේ? මම නම බය ඒකටයි.” 

“බය වෙන්න එපා. මම හිතන්නේ නැහැ රුපියල් සීයේ නෝට්ටු වල අංක ඔය තරම් ලොකු කොම්පැනියකින් ලියලා තියාගනී කියලා. කොහොමටත් මම හෙට සිරාජ්ගුන්ජු මාමා හම්බවෙන්න ගිහින් ඒ ටික මාරු කරගන්න ඉන්නේ. හොඳම වැඩේ කියන්නේ මේ කොම්පැනියේ මගේ තැපැල් විස්තර නැහැනේ, ඒ නිසා මාව අල්ලන්න බැහැ!”

මේ පැහැදිලි කිරීමෙන් හරිපාද ගේ බිරිඳ සෑහීමට පත් වූ බව පෙනුණි. 

“එහෙනම් ඔය නෝට්ටු ටික මාරු කරගන්න කොහොම හරි. අපි ඊළඟ පෝය දවසට සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තියමු, උන්වහන්සේ අපි ගැන බලලා සන්තෝසෙන් ඇත්තේ.” 

හරිපාද ට මුදල් නෝට්ටු මාරු කරගැනීමට දුෂ්කර වූයේ නැත. කපටි සිතින් යුතුව, මේ මුදල් ලැබුණු ක්‍රමයක් තම මාමා ට හෙළි නොකර, ව්‍යාපාරයක් ඇරඹීමට තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමක් විකිණූ බව පමණක් ඔහු කීවේය. එමෙන්ම සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තැබීමට ද ඔහුට අමතක විය. මාසයක් ගත වූ තැනත් මේ සම්බන්ධයෙන් කිසිම කැළඹුමක් ඇති නොවූවත් හරිපාද නම් පසු වූයේ මහත් චකිතයෙනි. තමන් මේ මුදල තබා ගැනීම වැරදි ද? ඒ වෙද්දී ඒ කන්තෝරුවේ සේවකයන් මේ අත්වැරැද්ද ගැන සොයාගෙන ඇති බව නිසැක විය. මෙහි සම්පූර්ණ වගකීම තමන්ට මුදල් දුන් කනිෂ්ඨ ලිපිකරුවාට පැවරී තිබෙනු හැකි බවත් බොහෝ විට ඔහුට රැකියාව අහිමි වන්නට ඉඩ ඇති බවත් ඔහුට සිතුණි. 

කාලය ගෙවෙද්දී මේ සිදුවීම ගැන හරිපාද ගේ සිත් තැවුල ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. මුලදී, පොලීසිය හෝ එකී සමාගම පැමිණ මේ මුදල තමන්ගෙන් උදුරා ගනී යන බියෙන් පසුවෙද්දී එය තමා සතුව තබාගැනීම වරදක් හෝ පාපයක් ලෙස ඔහුට හැඟුණේ නැත. නමුත් කල් ගත වෙද්දී ඒ බිය පහව ගිය අතර වෙනත් කැළඹුමක් ඔහුගේ සිතේ අරක් ගත්තේය. ඒ, සොරකම් කරන ලද මුදලකට තමන් අයිතිවාසිකම් කීමයි.

මෙලෙස සය මසක් ගත විය. මේ මුදල ආපසු ගොස් භාර දීම ගැන ඔහු නොයෙක් වර කල්පනා කළේය. නමුත් ඒ රුපියල් එක්දාස් එකසීයෙන් ඔහුට ආරම්භ කළ හැකි අපූරු සිල්ලර බඩු වෙළඳ සැල ගැන ඊළඟ මොහොතේ ඔහුට සිහි විය. ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය දැක මේ වරම ලබා දුන්නේ දෙවියන් විය හැකි ද? එසේ නම් මේ මුදල තමා සතුව තබා ගැනීම සුදුසු විය.

මුදල ආපසු භාර දීමට වැඩිම විරෝධයක් මතු වූයේ හරිපාද ගේ බිරිඳගෙනි. තම සැමියා ඒ ගැන කල්පනා කරන බව දැනුණු වහාම ඈ මහා කලබලයක් ඇති කළා ය. දිළිඳු දෙමව්පියන්ගේ දරුවෙකු ව ඉපිද, දිළිඳු මිනිසෙකු සමඟ විවාහ වී සිටි ඇයට ඒ රුපියල් එක්දාස් එකසීය මහා මෙරක් සේ විය. 

“උඹට තේරෙන්නේ නැද්ද? අපි මේ සල්ලි ලබා ගත්තේ රැවටීමකින්. ඒ බව තේරුණු දවසේ ඉඳන් මට නින්ද යන්නේ නැහැ. මට මේක උහුලාගෙන ඉන්න බැහැ. ඒ රුපියල් එක්දාස් එකසීයෙන් අපි හැමදාම ජීවත් වෙන්නයැ. ඔන්නොහෙ ඒක ආපිට දීලා දාමු” ඔහු ඇයව එකඟ කරවා ගැනීමට කරුණු දැක්වූයේ ය. 

“මොකක්ද මෙතැන රැවටිල්ල?” ඈ පිළිතුරු දුන්නා ය. “ලක්ෂ්මි දේවතාව අපේ ගෙදරට ඇතුල් වෙද්දී අපි ඈ ව පිටමං කරන්න ඕන ද? අපි කාවවත් රැවැට්ටුවේ නැහැනේ. මේක එයාලගේ වරදක්, අපේ නෙමෙයි. අනික ඔය වගේ ලොකු කොම්පැනියකට රුපියල් එක්දාස් එකසීය මොකක්ද? ඒ වගේද අපිට? අපිට ඒක ජීවිත කාලෙටම ඇති. ඔහේ බෙහෙත් පැලෑටි හොයන්න තිස්සෙම අකුල් අස්සේ රිංගලා, බලනවා හැටි! මේ සල්ලි වලින් කඩයක් ඇරලා සැනසිල්ලේ ඉන්න පුළුවන්.”

තම බිරිඳ ගේ මේ අදහස් හරිපාද ට මහත් කන්කරච්චලයක් විය. තමන් ඇයට වෙළඳ සැලක් ආරම්භ කිරීමේ අදහස ගැන කීවේ ඇයිදැයි ඔහු කල්පනා කළේ ය. එහෙත් ඇගේ මුහුණේ පීඩිත බව දකිද්දී, ඇගේ ඉල්ලීමේ දුක්ඛිත බව ඇසෙද්දී ඒ මුදල තමා සතුව තබාගත යුතු යැයි ඔහුට නැවත සිතෙන්නට විය. ‘මේ අවාසනාවන්ත ගෑනිට මට කවදාවත් සතුටක් දෙන්න බැරි වුණා, ඒ නිසා මේ කඩේ ඇරලා වත් අපේ ප්‍රශ්න විසඳාගන්න ඕන’ ඔහු සිතුවේය. ‘ආශාලතා තාම තරුණයි, ඒත් ඈ ජීවිතේ කිසිම සතුටක් විඳලා නැහැ. එයා වෙනුවෙන් මම මේ පාපය කරනවා’

දිවා කාලයට මෙසේ සිතුණත් රාත්‍රියේ මුළු ගම්මානයම නිහඬ බවේ ගිලී ගොස්, ආශාලතා තමා අසල තද නින්දේ පසුවෙද්දී හරිපාද ගේ සිතිවිලි වෙනස් විය. තමන් කර ඇත්තේ සොරෙකු වීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය හේතු කාරණා සොයා ගැනීම පමණක් බව ඔහුට ඒ අවස්ථාවලදී සිතුණි. ගැහැනුන් නම් වන අමුතු ජීවින් කොටස කල්පනා කරන්නේ මුදල්, රන් අභරණ සහ ගෘහස්ථ කටයුතු ගැන පමණක් බව ඔහු සිතුවේය. කෙසේ හෝ ඒ මුදල ආපසු භාර දුන්නොත් තමන්ගේ ආත්ම වංචාව අවසන් වනු ඇත. 

කල් ගතවෙද්දී තමන්ට තම බිරිඳ නුරුස්සන බව හරිපාද ට වැටහිණි. තම ආදරණීය ආශාලතා! ඈ දැකීමෙන් ඔහුට කිසි සතුටක් දැනුණේ නැත. මෙවැනි තත්ත්වයකට ඔහු පත් වූයේ කෙසේද?

ඔවුන්ගේ වසු පැටවා මිය ගියේ මේ කාලයේදී ය. 

හරිපාද ට ඒ ගැන පුදුමයක් දැනුණේ නැත. මෙවැනි ගැහැනියක් වෙසෙන ගෙදරක එවැනි දේ බලාපොරොත්තු විය යුතු බවත්, ඇගේ පාප ඇසුර නිසා ඔහුට සිදුවන්නේ අගතියක් පමණක් බවත් ඔහුගේ මතය විය.

බිරිඳ ගැන දැනුණු මේ අප්‍රසාදය හරිපාද ගේ එදිනෙදා හැසිරීම ක්‍රම ක්‍රමයෙන් වෙනස් කළේය. ඔහු නිරන්තරයෙන් ඇයට දොස් පවරන්නට විය, කුඩා දේටත් ඇගේ ඇඟට කඩා පැන්නේය. අශාලතා ට මේ හැසිරීම තේරුම් ගන්නට නොහැකි විය. සැමියාගේ මේ වෙනස් වීමට හේතු විය හැක්කේ කුමක්ද? හිරු උදාවේ සිට හිරු බැස යන තෙක්ම තමන් මහන්සි වූවත් ඒ ගැන කරුණාවන්ත වදනක් පවසනු වෙනුවට ඔහු කුඩා දේටත් ඇයට බැණ වදින්නේ ඇයි? 

පසුගිය මාසයක කාලයක් තුළදී හරිපාද තමන්ට අනිසි ව ලැබුණු මුදලෙන් රුපියල් තිහක් හෝ හතළිහක් වියදම් කර තිබිණි. 

“මේ මනුස්සයා ගිනි මද්දහනේ බෙහෙත් පැලෑටි හොය හොයා කැලෑ වල රිංගන නිසාද මන්දා අසනීප පාටයි, මම එයා ගැන මීට වැඩිය හොඳින් බලන්න ඕන” යැයි සිතූ ආශාලතා ඔහුගේ රාත්‍රී ආහාරය වෙනුවෙන් දිනපතා ලූචි බදින්නටත්, වෙනත් රස මසවුළු සකසන්නත් විය. 

දිනක් හරිපාද රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී ආශාලතා ඔහුට උණුසුම් කිරි බඳුනක් ගෙනත් දුන්නාය. හදිසියේම ලූචියක් හපද්දී දිව හැපී ඔහු වේදනාවෙන් කෑගැසීය. ඒ ගැන බිරිඳගේ විමසුම් වලට පිළිතුරක් නොදී වේදනාවෙන් ඇඹරී ගිය මුහුණින් යුතුව ඔහු මුනිවතින් පසුවිය. 

“මොකද වුණේ?” ඈ නැවතත් කලබලයෙන් විමසුවාය. 

“උඹ නිසා තමයි මේ හැම දෙයක්ම. මේ ගෙදර එළිපත්තට උඹේ හෙවණැල්ල වැටුණු දවසේ ඉඳන් විපත්මයි වෙන්නේ. අර වහු පැටියා මැරුණෙත් ඒකයි.. තව ..”මෙසේ කෑ ගැසූ හරිපාද, ලූචි විසිරී යන සේ වැරෙන් පිඟාන තල්ලු කර, හුන් තැනින් නැගිට, නිවසින් පිටව ගියේය. කිරි බඳුනත් අතැතිව ආශාලතා ගල් ගැසී ඒ දෙස බලාගත්වනම සිටියාය.

එදින හරිපාද නැවත නිවසට එද්දී බොහෝ රෑ බෝවී තිබිණි. තම බිරිඳ නිසොල්මන් ව බරාඳයේ සිටිනු ඔහු දුර සිටම දුටුවේය. ඒ වෙද්දී ඔහුගේ දිවේ වේදනාව සමනය වී තිබුණු අතර තමන් අතින් කියවුණු රළු වදන් ගැන ඔහුට පසුතැවීමක් දැනෙමින් තිබිණි. ඔහු ඈ වෙත ගොස් සෙමෙන් මේසේ කීවේය.

“කෝ, නැගිටින්න, ඔයා කේන්තියෙන්ද ඉන්නේ? කෑම කෑවා ද?” 

ආශාලතාගේ දෑසෙන් කඳුළු බේරුණු අතර ඈ තව දුරටත් නිහඬව සිටියාය. ඔහු මුදු ලෙස ඇගේ අත ස්පර්ශ කළේ ය. ඉනික්බිති ඈ සාරියේ කෙළවරකින් දෑස පිසදා අන්තිමේදී මෙසේ කීවාය.

“ඔතැනින් වාඩිවෙන්න, මට දෙයක් කියන්න තියෙනවා.” 

“මොකක්ද?”

“අර සල්ලි ආපිට ගිහින් දෙන්න. වියදම් වුණු ගාණක් මගේ වළලු දෙක උකස් කරලා හරි, විකුණලා හරි පියවාගමු. ඔය සල්ලි මේ ගෙදරට ආව දවසේ ඉඳන් අපේ ගෙදර සාමය පිටමං උනා. ඕක අපි ළඟ තියෙනකම් අපිට සැනසිල්ලක් නැහැ, හෙටම යන්න.” 

මුදල ගණන් කර බලද්දී ඉන් රුපියල් සියයක් වියදම් වී ඇති බව හරිපාද ට වැටහිණි. පසුදින බිරිඳ ගේ වළලු ද ගෙන කල්කටාවට ගිය ඔහු ඉන් කිහිපයක් විකුණාගැනීමට සමත් විය. හින්දුස්ථාන් ආයතනයට එළැඹි විට ඔහු කනිෂ්ඨ ලිපිකරු වෙත යනවා වෙනුවට කෙළින්ම ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට ගියේ කනිෂ්ඨ සේවකයා අතින් කළින් සිදු වූ අතපසු වීම නිසා ය. කාර්යාලයේ වෙන කිසිවෙකු නොවීය.

“මොකද?” නිලදරුවා විමසීය.

හරිපාද සම්පූර්ණ විස්තරයම පැවසුවේය. ප්‍රධාන ලිපිකරුට තම සවන අදහා ගන්නට නොහැකි විය. මේ මුදලේ අඩුව කාර්යාලය තුළ මහත් කලබගෑනියක් ඇති කර තිබිණි. මුල් වතාවේ හරිපාද එහි පැමිණ දෙදිනකට පසු ඒ වැරැද්ද සොයා ගැනුණු අතර ඔහුගේ විස්තර සොයන්නට ඔවුන් කෙතරම් වෙහෙස වූවත් ඉන් පලක් වූයේ නැත. අන්තිමේදී අදාළ කනිෂ්ඨ ලිපිකරුවාගේ මාස් පඩියෙන් රුපියල් තිහක් බැගින් කපන්නටත් ඔහුට වාර්ෂික දීමනාව ද අහිමි කරන්නටත් නියම විය. 

දැන්, ඊට මාස ගණනාවකට පසු මුදල් ගෙන අතුරුදන් වූ තැනැත්තා නැවතත් මුදල් රැගෙන පැමිණ ඇත! අවුරුදු පනස් දෙකක් වූ තම ජීවිත කාලය තුළදී ප්‍රධාන ලිපිකරු මීට පෙර මෙවැන්නක් දැක තිබුණේ නැත. 

“තමුසේ මුළු ගාණම ගෙනාවද? දැන් ඔක්කොම දෙනවාද? කළින් ආවේ නැත්තේ මොකද?” ඔහු ප්‍රශ්න කළේය. 

“එදා මෙතැනින් යද්දී එහෙම වැඩියෙන් සල්ලි ලැබුණු බව මම දැනගෙන හිටියේ නැහැ සර්, පස්සේ දැනගත්තාම මගේ තණ්හාව මාව අන්ධ කළා. අපි දුප්පත් මිනිස්සුනේ සර්” 

මුදල් ගණන් කර භාරගත් පසු හරිපාද එසැණින් යන්නට ගියේය. නමුත් ඒ වෙද්දී මේ අරුම පුදුම ආරංචිය කන්තෝරුව වටා පැතිරී තිබිණි. විස්තර දැනගැනීමට සෙසු සේවකයෝ ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට රොක් වූහ. 

“තමුසෙලා දන්නේ නැහැ හරියටම සිද්ද වුණ දේ” ලොක්කා සිනාසෙමින් පැවසීය. “මම මේ කොම්පැනිය වෙනුවෙන් කොයිතරම් මහන්සි වුණත් කවදාත් මට ප්‍රසිද්ධියක් ලැබිලා නැහැනේ. අර මිනිහා හිතන්න ඇති මාස කීපයක් ගත වුණු නිසා කාටවත් ඌව මතක නැතිව ඇති කියලා. ආයෙත් මොනවහරි විකුණන්න එන්න ඇත්තේ. මම දැක්ක ගමන් ඇහුවා ‘තමුසෙගෙ නම මොකද්ද, තමුසෙට නේද කළින් වතාවක වැඩිපුර මුදල් ලැබුණේ කියලා.’ මම ඕකාගේ අත්සනින් ඇඳිරුවේ. ඌ බයට සුදුමැලි වුණා. මම කිව්වා සල්ලි නොදුන්නොත් පොලිසියට කියනවා කියලා. ඌ බිස්නස් කාරයෙක්ද කොහෙද, උගේ ළඟ ඒ වෙලාවේ සල්ලි තිබුණා. කොහොමහරි ඌ සල්ලි දීලා ඉක්මණින් පැනලා දිව්වා!”

“ලොක්කාට ජය වේවා!” රැස්‌ ව සිටි සේවක පිරිස ප්‍රීති ඝෝෂා කළහ. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Bravo to the Boss’ by Bibhuti Bhushan Banerji

Picture- Gemini