August 24, 2023

Why Women Kill- TV Series

මිනී මැරුමකට පස්සේ ඒකට හරියටම හේතු කියන්න පුළුවන් මිනී මරුවාට විතරයි. සමහර හේතු ආත්මාර්ථකාමීයි, දරුණුයි. ඒත් සමහර හේතු නම් එක අතකට සාධාරණයි කියලත් හිතෙන වෙලාවල් නැත්තේම නැහැ.

'Why Women Kill කියන්නේ කාන්තාවන් නිසා/ කාන්තාවන් අතින් සිද්ධ වුණු මරණ වටා ගෙතුණු dark comedy series එකක්. අඩු නැතිව හාස්‍ය තියෙන මේක එක එක කාල වකවානු වලට අයිති සිදුවීම් වලින් තමයි කතාව ගෙනියන්නේ. ඒ හැම කාලයට අදාළ ඇඳුම් මෝස්‌තර, ගෙවල් අලංකරණය, වාහන එහෙමත් බොහොම ලස්සනට කතාවට යොදාගෙන තියෙන එකෙන් ආකර්ෂණය වැඩියි.

දෙවෙනි season එක දක්වාම ප්‍රේක්ෂකයාගේ උද්යෝගය රඳවාගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව මම වගේ series නොබලන කෙනෙක් ගේ පවා කැමැත්ත දිනාගත්ත බව කියන්නම ඕන!

Why Women Kill (2019-2021)

Executive Producer- Mark Cherry


August 19, 2023

ගැලපීම්

වෙනත් තැන් වල හැඩයට
ඔබේ හැඩය ගලපන්නට
තමන්ගේ කොටස් බිඳ
තැත් දැරීමෙන්
පලක් නැත
 
ඉන් වන්නේ
ඔබේ බිඳුණු තැන් වලින්
ලේ ගැලීම පමණි
 
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Pieces of You' Nikita Gill




August 15, 2023

තුන්දහස් වසරක යාඥාව




"In China we say Xiu hai shi ke tong zhou" Mr. Shi says." It takes three hundred years of prayers to have the chance to cross a river with someone in the same boat."

There is a reason for every relationship, that is what the saying means. Husband and wife, parents and children, friends and enemies, strangers you bump into in the street. It takes three thousand years of prayers to place your head side by side with your loved one's pillow."

A Thousand Years of Good Prayers -Yiyun Li (page 192)


එකම යාත්‍රාවක
එතෙර වන්නට නදියක්
තුන්සියක් වසරක් වත්
යාඥා කළ බව අප
පැහැදිලියි නිසැකයි 

චණ්ඩ රළ කැළඹෙද්දී
හැපි හැපී ගල් කුළු මත
දෙහද හඬ පමණක්
මුමුණ මුමුණා රහසෙන්
දෑත් අල්ලා තරයේ
ළංව උන්නා නුඹ, මම

එයිනුදු නොනැවතී
වසර දහසක් වත්
යාතිකා කරනට ඇති
නික්මුණ ද යාත්‍රාවෙන්
අත් අත්හරිනු නොහැකිව
තැවී දැවුණේ එනිසයි

එහෙත්
එක සිතින් එක වර
යාඥා නොකළෙන්
දිගු තුන්දහස් වසරක්
වෙන්ව යන්නට යෙදුණයි

ගැඹුරු නින්දකදී
නුඹේ ඇසිපිය නිසලව
වැතිරෙන අයුරු කොපුලත
දකින්නට වරමක් නැති
හේතුව එයයි, නියතයි

දිගු තුන්දහස් වසරක්
යාඥා නොකළෙන්
එක සිතින් එක වර
 
වෙන්ව යන්නට යෙදුණයි

- හෙල්මලී

පසු සටහන-
මේක ඉස්සර මම ලීව කවියක්. (පරිවර්තනයක් නෙමෙයි) ඒකට නිමිත්ත වුණේ Yiyun Li ගේ කෙටිකතාවක ඉහතින් උපුටලා තියෙන ඡේදය. Yiyun-li ගේ ලියවිලි හරි ප්‍රබලයි, සමහර වෙලාවට සාන්ද්‍රයි. මේ කවිය මම කලිනුත් පළ කළා. ඒත් ඒකට ගැලපෙන චිත්‍රය ඇඳුනේ දැන්. 

Excerpt from the Short Story Collection- A Thousand Years of Good Prayers by Yiyun- Li (2005) Random House Publishers

Digital Painting

August 11, 2023

නිහඬ


ජයහඬ ගුවන් විදුලි නාලිකාව- ප්‍රධාන පිවිසුම් ශාලාව

“රයන් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?”

රයන් ගුවන් විදුලි විකාශන මැදිරියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට පා තැබූ සැණින් ප්‍රධාන වැඩසටහන් නිෂ්පාදක ජයවික්‍රම ඔහු අසලට වේගයෙන් ආවේ ඔහු එනතුරු මඟ බලා සිටි ලෙසිනි..

“ඇයි මිස්ටර් ජයවික්‍රම? මට තව ටිකකින් බොස් එක්ක අර ස්පොන්සර්ස් මීටින් එකට යන්න නම් තියෙනවා.” රයන් පැවසුවේ තම දුරකථනයේ දිස් වූ වෙලාව දෙස බලමිනි.

“මේක බොහොම වැදගත් දෙයක් ගැන.” තම හඬ තරමක් බාල කරමින් ජයවික්‍රම පැවසුවේ ය. ඔහු වෙතින් දිස් වූයේ නොසන්සුන් බවකි.

රයන් හිටි පියවරම නැවතුණේ ජයවික්‍රමගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා යි. ඔහු මෙලෙස කලබලයට පත් ව සිටිනු රයන් මින් පෙර දැක තිබුණේ නැත. සාමාන්‍යයෙන් ඔහු මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන සියලු හැල හැප්පීම් සම සිතින් දරාගෙන වැඩ කටයුතු කරන බව ප්‍රචලිත ව පැවතිණි.

“රයන්ලා ට මුකුත් කම්ප්ලේන්ස් එහෙම ඇවිත් තියෙනවද බ්‍රෝඩ්කාස්ට් ඉෂූ එකක් ගැන?” ජයවික්‍රම සාක්කුවෙන් ලේන්සුවක් ගෙන මුහුණ පිසිමින් ඇසුවේ ය. වායු සමනය කරන ලද පිවිසුම් ශාලාවේ දහදිය දමන්නට නම් ඔහු මහත් කැළඹුමකින් පසු විය යුතු බව රයන් ට සිතුණි.

“අපේ ඩිපාට්මන්ට් එකට ඉතින් එක එක කම්ප්ලේන්ස් එනවනේ. කොයි වගේ දෙයක් ගැනද මිස්ට ජයවික්‍රම ඇහුවේ?” රයන් විමසුවේ කුතුහලයෙනි.

මොහොතක් ඔහු දෙස එක එල්ලේ බලා උන් ජයවික්‍රම “එක්කෝ රයන් ඔය මීටින් එක ඉවරවෙලා මාව හම්බවෙන්න එන්නකෝ. මේක දිග කතාවක්.” කියා කොරිඩෝව ඔස්සේ දිගු අඩි තබා ගොස් තම කුටියට වැදී දොර වසා ගත්තේ ය.

ජයවික්‍රම මෙලෙස නොසන්සුන් වන්නට හේතු වූ යම්කිසි ගැටළුවක් ගැන කනිෂ්ඨ සේවකයෙකු වන තමන්ගෙන් විමසන්නේ ඇයිදැයි සිතා ගනු නොහැකි ව රයන් මොහොතක් ඔහු ගිය දෙස බලා සිටියේ ය. මෑත දිනකදී ජයවික්‍රම ගේ පරිගණකයේ ගැටළුවක් ඇති වී රයන් එය විසඳන්නට නම් උපකාර වී තිබිණි. එදා ඔහු කළේ අතපසු ව තිබුණු අප්ඩේට් කිහිපයක් ක්‍රියාත්මක කර ඒ පරිගනකය පණ ගැන්වීම පමණි. මේ ගැටලුවත් ඊට දුරින් හෝ සම්බන්ධ දෙයක් විය හැකිදැයි තවත් තත්පර කිහිපයක් කල්පනා කළ රයන් ඉක්මන් ගමණින් තම රැස්වීම කරා ගමන් කළේ ය.

--------------------------------------------
ඉහළ කොස්වැව, ගල්ගමුව

“කෙල්ලේ මේ රේඩියෝ එකේ බැස්ටි බැහැලා ද බලහං, එක පාරට සද්දේ නැතිව ගියා.”

ලීලාවතීගේ බෙරිහන් හඬ නිවස තුළ වූ නිහැඬියාව බිඳ දැමුවේ ය. එය අසා ඉස්තෝප්පුවේ පාඩම් කරමින් සිටි ඇගේ මිනිබිරිය නොරිස්සුමෙන් හිස ගැස්සී ය.

“අයියෝ ආච්චි, බණ අහන්න කියලා රේඩියෝ එක දාලා දුන්න වෙලාවේ ඉඳන් එක එක කරච්චල් නේ. එක්කෝ සද්දේ මදි කියයි, එක්කෝ වැරදි චැනල් එක කියයි. දැන් ඒ පාර මොකක්ද?” සමන්ති නෝක්කාඩු කියමින් ලීලාවතී වැතිර උන් ඇඳ වෙතට ආවා ය. වසර කීපයක් තිස්සේ එක්තැන් ව සිටින ලීලාවතීගේ ඒකාකාරී දිවියේ පාලු කැපුණේ මේ කුඩා රේඩියෝවෙනි.

“බැට්රි බැහැලා වෙන්න බැහැ ආච්චියෙ, ගිය සතියෙනේ තාත්තා මේකට අලුත් බැට්රි දැම්මේ.” සමන්ති රේඩියෝව අතට ගෙන බලන්නට වූවා ය. “ආච්චි අතපත ගාන්න ගිහින් මොකක් හරි බොත්තමක් වත් එබුනා ද?”

“මම ඔබපු බොත්තමක් නැහැ බං” ලීලාවතී කේන්තියෙන් පිළිතුරු දුන්නා ය. බණ කතාව ආරම්භයේදී දේශනා කරනු ලබන නිමිති පාඨය මේ වෙද්දී මඟ හැරෙන්නට ඉඩ ඇති වීම ඇගේ නොරිස්සුමට හේතු විය. එහෙත් හදිසියේම සමන්ති ඒ මේ අත හරවමින් සිටි රේඩියෝවේ හඬ කලින් මෙන් පැහැදිලි ව නැවත ඇසෙන්නට වූ අතර ඉන් නිකුත් වූ බණ හඬින් කුටිය පිරුණි. මිනිබිරිය අතින් රේඩියෝව උදුරා ගත් ලීලාවතී, එය කනප්පුව මත තබා ඊට වැඳගත්තා ය.

---------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- සාමාන්‍යාධිකාරි ජයත් වංශරත්නගේ කාර්යාලය

“ඔය දෙන්නා කියන දේ මට පැහැදිලි මදි, මොකද්ද මේ කියන බ්‍රෝඩ්කාස්ට් ඉෂූ එක?”

සාමාන්‍යාධිකාරි වංශරත්න රයන් දෙසත් ජයවික්‍රම දෙසත් තම දෑස යැව්වේ මාරුවෙන් මාරුවටයි.

“මෙහෙමයි සර්, අපිට තොරතුරු ලැබුණා - අපි කිව්වට මිස්ට ජයවික්‍රම තමයි මුලින්ම මේක හොයා ගත්තේ..” රයන් කතාව ඇරඹුවේ දත කට පූට්ටු වූ ලෙසින් ඔහු අසල සිටි ජයවික්‍රම කිසිත් නොකී බැවිනි. “අපේ බ්‍රෝඩ්කාස්ට් එක අතරේ වැඩසටහන් අහන අයට ඉඳ හිට විනාඩියක විතර බ්‍රෝඩ්කාස්ට් ලොස් එකක්...”

තම විස්තරය අවසන් කරන්නට රයන් ට ඉඩ නොලැබුණේ වංශරත්න බෙහෙවින්ම කලබල වූ බැවිනි.

“මොකක්? විනාඩියක ලොස් එකක්?? එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද ජයවික්‍රම මේ මනුස්සයා කියන්නේ?”

“නෑ සර්, අපේ පැත්තෙන් වෙන දෙයක් නෙමෙයි, අහන අයගේ පැත්තෙන් මේක වෙන්නේ. හැම තිස්සෙමත් නැහැ, එකම වැඩසටහනත් නෙමෙයි..” ජයවික්‍රම කතා කළේ වචන පටලවමිනි.

නමුත් වංශරත්නට පරල වන්නට ඒ වචන කිහිපය ද ප්‍රමාණවත් විය.

“දැන් කොච්චර කල් ඉඳන් මේක වෙනවාද?” ඔහු ගුගුලේ ය.

“දවස් තුනක් වගේ තමයි සර්, අපි දන්නා තරමට- නේද මිස්ට ජයවික්‍රම?” රයන් තතනමින් පිළිතුරු දුන්නේ ය.

“මෙච්චර කල් මේකේ වැඩ කරලා තමුසේලා දන්නේ නැද්ද අපිට වෙලාව කියන්නේ සල්ලි කියලා? ස්පොන්ස්ර්ස් ලා මේක දැනගත්තොත් මොනවා වෙයිද? ඇයි මීට කලින් මාව කවුරුවත් මේ ගැන දැනුවත් නොකළේ? ” රතු වූ මුහුණින් යුතු ව කෑ ගසන්නට වූ වංශරත්න ඉන්ටකොම් බොත්තම ඔබා “මේරියන්, ලතීෆ්ටයි, ප්‍රියංකරටයි වහාම මාව හම්බවෙන්න එන්න කියන්න” කියා කීවේ දත් මිටි කමින් ය.

තවත් යමක් කියන්නට සැරසී ඒ වචන ගිලගත් ජයවික්‍රම, ප්‍රධාන ශබ්ද ඉංජිනේරුවන් එහි පැමිණෙන තුරු බලා සිටින්නට වූයේ වෙන කළ හැකි කිසිවක් නොවූ බැවිනි.

----------------------------------------------------
ස්ටෙලා ඇපරල් ආයතනය, රත්මලාන

සේවා මුරය ඇරඹෙන්න පෙර ශබ්ද විකාශ යන්ත්‍ර වෙත සම්බන්ධව ඇති පරිගණකයෙන් රේඩියෝ නාලිකාව හරියාකාර ව ක්‍රියාත්මක වේ දැයි සොයාබලන්නට ප්‍රධාන සුපර්වයිසර්වරිය වූ ශාලිකා කිසි දිනක අමතක කළේ නැත. මැහුම් කාර්යයෙහි නියුතු දහස් ගණනක් සේවක සේවිකාවන්ගේ විඩාව නිවුණේ නිෂ්පාදන ශාලාවේ දස අතින් නිරතුරුව ඇසෙන මේ එෆ් එම් හඬිනි. එහෙත් එදින නම් ඈ මේ සඳහා ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත ගියේ පැමිණිල්ලක් ද සහිතවයි.

“අනේ මිස්ට රුචිර, ෆ්ලෝ එකට මීට පස්සේ ජයහඬ දාන්න එපා හරිද?” හෙඩ් ෆෝන් යුවලක් පැළඳ කාර්යාලයේ පරිගණකයක් ඉදිරිපස වාඩි වී උන් තරුණයාට ඈ උස් හඬින් කීවා ය.

“ආ මොකෝ ශාලිකා ජයහඬ එක්ක තරහා වුණා ද?” රුචිර සිනාසෙමින් ඇසුවේ ඈ වෙත හැරෙමිනි. “නැත්නම් ජයහඬේ වැඩකරන කොල්ලා බූට් එකක් තිබ්බා ද?” ඔහු හඬ බාල කර ඇසුවේ ය.

“අනේ මොන කොල්ලෝ ද මිස්ට රුචිර..” ශාලිකා සිලි බිලි ගා සිනාසෙන්නට විය. “ජයහඬේ සැරෙන් සැරේ සද්ද නැතිව යනවා විනාඩියක් දෙකක්. ඊයේ රෑ ශිෆ්ට් එකේ දෙසැරයක් ම වුණා.”

“සද්ද නැතිව යනවා? එහෙම වෙන්නේ කොහොමද? ඊයේ කරන්ට් ගිහිල්ලාත් නැහැනේ? ඒ ගියත් ජෙනරේටර් ඕන් නේ” රුචිර නළල රැළි කර ගත්තේ ය.

“ඔන්න ඔහේ වෙන එකක් දාමු මිස්ට රුචිර. නදී කිව්වා හාට් එෆ් එම් හොඳයි කියලා. ඒකෙ නන්ස්ටොප් සින්දු යනවාලු. අද ඒක දාමු.”

“ආ නදී ට කියන්නකෝ මම එයා වෙනුවෙන් මගේ හාට් එක වුණත් දාන්නම් කියලා!” රුචිර සිනාසෙමින් පරිගණකය වෙත හැරුණේ අලුත් රේඩියෝ චැනලයේ වෙබ් අඩවිය සොයන්නටයි.

-----------------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රැස්වීම් කාමරය 02

“සර් අපි ඔක්කොම සිස්ටම්ස් බොහොම පරෙස්සමෙන් චෙක් කළා, මේක වෙන්න කිසිම විදිහක් නැහැ.” ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් රැස් ව සිටි කළමනාකරණ කණ්ඩායමට කරුණු දක්වමින් කියා සිටියේ ය. ඔහු පැහැදිලි ව කතා කළ ද, මේසය මත වූ ඔහුගේ දකුණු අත යන්තමින් වෙව්ලන බව රයන් ට පෙනුණි.

“වෙන්න විදිහක් නැහැ කියන්නේ කොහොමද ඕයි, මේ වෙලා තියෙන්නේ!” එය අසා වංශරත්න පුපුරා හැලෙන්නට විය. සාමාන්‍යයෙන් කතාකරද්දී ඔහු කිසිවිටෙක වත් ‘ඕයි, තමුසේ’ වැනි වචන යොදා නොගත් බැවින් ඔහු ද සිටින්නේ ඉමහත් පීඩනයකින් බව පැහැදිලි විය.

ඒ පිළිතුර හමුවේ ලතීෆ් නිහඬ විය. රැස් ව සිටි සෙස්සන් ද මුහුණු මුහුණු බලාගත්තේ ඔවුන් ට ද මීට එකතු කරන්නට දෙයක් නොතිබුණු බැවිනි.

මොහොතක් තම හිස දෑතේ රුවාගෙන කල්පනා කළ වංශරත්න හිස ඔසවා රයන් දෙස බැලුවේ ය.

“රයන්, තමුසේ මේක හොයාගන්න මුල් වුණා නේ. හොයාගත්ත දේවල් වල සමරි රිපෝට් එකක් දෙනවා ටීම් එකට.”

රයන් නැගී සිටියේ තරමක් චකිතයෙනි. මාධ්‍ය ක්ෂේත්‍රයට ආධුනිකයෙකු වූ ඔහු තවමත් මෙහි සේවයට පැමිණ ගෙවී තිබුණේ වසර කීපයකි. ගුවන් විදුලි නාලිකාවේ ඉහළම තලයේ කළමණාකරුවන් රැස් ව සිටි මේ රැස්වීමට ඔහු තල්ලු වී ආවේ ජයවික්‍රම ඔහුවත් මේ ගැටලුවට පටලවා ගත් නිසා ය.

“මේ පහුගිය දවස් දහය ඇතුළත විනාඩි දාහතක මුළු එකතුවක බ්‍රෝඩ්කාස්ට් ලොස් එකක් අපි හොයාගෙන තියෙනවා. මේ හැම එකක්ම තත්පර හැටත් සීයත් අතර ප්‍රමාණයක්. මේවා හැම වර්ගයකම වැඩසටහන් අතරේදී වෙලා තියෙනවා- ඒ කියන්නේ ළමා වැඩසටහන්, ආගමික වැඩසටහන්, විද්වත් සකච්ඡා වගේ ඒවා. මෙතැනදී වෙන්නේ අපේ පැත්තෙන් බ්‍රෝඩ්කාස්ට් එක යද්දී අසන්නාගේ පැත්තෙන් විනාඩියක වගේ නිශ්ශබ්දතාවයක් සිද්ධ වෙන එක. මේ ගැටලුව හොයාගන්න වැඩියත්ම අමාරු වුණේ අපේ පැත්තෙන් වෙනසක් නොවුණු නිසා යි.” රයන් තමන්ගේ සටහනින් දෑස ඔසවා මේසය වටා රැස් ව සිටි පිරිස දෙස බැලුවේ ය. ඒ සෑම මුහුනකම වූයේ බැරෑරුම් පෙනුමකි.

වංශරත්න ද සිය අසුනෙන් නැගිට කාමරය සිසාරා තම දෑස යැව්වේය.

“හරි දැන් වෙලා තියෙන දේ හැමෝම දන්නවනේ. ඒ නිසා වෙන්න බැහැ කිය කිය මෝඩ තර්ක ගේන්න ලැස්ති වෙන්න එපා. මේ හැම කෙනෙක්ම- හැම කෙනෙක්ම අනෙත් හැම වැඩේම නවත්තලා මේකට හේතුවක් හොයන්න ඕන මේ දැන්ම! ස්පෙෂලි යූ!” ඔහු දබර ඇඟිල්ල උරුක් කළේ ලතීෆ් වෙතට ය.

“මේ ගැන අනෙත් රේඩියෝ චැනල් දැනගත්තොත් නිකම් දිවි නහ ගත්තා වගේ තමයි! ඒ නිසා පිටට ලීක් වෙන්න කලින් වහාම මේක හරිගස්සාගන්න ඕන. කවුරුහරි මේ ගැන පිටට එක හුස්මක් පිඹලා තිබ්බොත්, මම නරක මිනිහා කියන්න එපා. එච්චරයි. ” එක දිගට කියූ ඔහු නැවතත් අසුනට කඩා වැටුණේ පරාජිතයෙකු ලෙසිනි.

----------------------------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

“මේ වතාවේ පෘතුවියෙන් දත්ත විශාල ප්‍රමාණයක් හොයාගන්න පාර පෙන්නුව J13 ඇතුළු කණ්ඩායමට මේ සම්බන්ධයෙන් උසස් වීමක් ලැබෙන බව මම දැනුම්දෙන්න සතුටුයි. ඇත්තටම ගුවන් විදුලි නාලිකාවක් පාවිච්චි කරලා අසන්නන් ගේ සිතිවිලි ඇතුළට යනවා කියන එක මීට කළින් කවදාවත් අපට කරගන්න බැරිවුණු දෙයක්. මේ වෙද්දී අපට මනුෂ්‍යයින් ගේ සිතිවිලි රටා ගැන බොහොම වැදගත් දත්ත එකතුකරන්න අවස්තාව ලැබිලා තියෙනවා. මේ සිතිවිලි දත්ත කථනය බවට හරවා ගැනීමට ඉදිරියේදී කරන පර්යේෂණ වලට බොහොම ප්‍රයෝජනවත් වෙයි”

කණ්ඩායමේ නායක S215 මේ විස්තර සහිත තම සන්නිවේදන පුවරුව රැස් ව සිටි කණ්ඩායම වෙත පෑවේ ය. පැසසුම් ලබමින් සිටි J13 ගේ සන්නිවේදන පුවරුව අභිමානයෙන් මෝස්‌තර වැටෙමින් තිබිණි.

“ඒත්..” රැස් ව සිටි කණ්ඩායමේ කෙනෙක් තම පුවරුව එසවූයේ ප්‍රශ්නයක් ඇති බව පෙන්වමිනි.

“අසන්නන්ගේ රේඩියෝ තරංග නවත්තන්නේ නැතිව අපිට මනුෂ්‍ය සිතිවිලි වලට පිවිසෙන්න බැරි ද? එහෙම පුළුවන් වුණා නම් අපිට මේ කුඩා කාල ඛණ්ඩ වෙනුවට ලොකු ඛණ්ඩ හරහා එකතු කරගත්ත සිතුවිලි පාවිච්චි කරන්න පුළුවන් නේද? මොකද රේඩියෝවෙන් අහන දේ ට බාධා වුනාම එයාලගේ සිතිවිලි හරි ඉක්මණින් නොසන්සුන් වර්ගයේ ඒවා වෙනවානේ.”

S215 ගේ සිතුවිලි පුවරුව නොරිස්සුම් නිල් එළියකින් දිලෙන්නට විය.

“එහෙම කරන්න පුළුවන් නම් අපි නොකර ඉන්නේ නැති බව ඔබ දන්නවානේ. මෙහෙම හරි ඒ ගුවන් විදුලි නාලිකාව ඇතුළට පිවිසෙන්න ඒ පරිගණක පද්ධතියේ වෛරසයක් පාවිච්චි කරන්නට සිද්ධ වුණු බව ඔබට මතක ඇති. ගුවන් විදුලි තරංග ගැනම අපි මේ තරම් වෙහෙසෙන්නේ ඒවා පාවිච්චි කරලා මනුෂ්‍යන්ගේ ශ්‍රවන ඉන්ද්‍රියන් හරහා බොහොම පහසුවෙන් මනසට පිවිසෙන්න පුළුවන් නිසා යි. හැබැයි ඔබ කීව එක දෙයක් ඇත්ත. විකාශය ට බාධා වුණු විට මනුෂ්‍යයින්ගෙන් බොහෝ වෙලාවට ලැබෙන්නේ එකම නොරිස්සුම් සිතිවිලි තරංග. එකම සිතිවිලි ලබාගෙන අපේ මේ අධ්‍යයනය අර්ථවත් විදිහට කරන්න බැහැ. හැබැයි දැනට අපට පුළුවන්කම තියෙනවා විකාශන බාධාව සිදුවෙන්න විනාඩි කිහිපයකට කලින් කාල පරාසයක තිබුණු සිතුවිලි ඛණ්ඩයත් ග්‍රහණය කරගන්න. ඒකත් එක්තරා ජයග්‍රහණයක්. කොහොම වෙතත් මම මේ රැස් වෙලා ඉන්න කණ්ඩායමට යෝජනා කරනවා රේඩියෝ තරංග මාලා බාධාවක් රහිත ව ගලා යද්දීම අසන්නන්ගේ සිතිවිලි එක්රැස් කරන්න පුළුවන් විදිහට මේ සොයාගැනීම වැඩි දියුණු කරන විදිහට.”

රැස් ව සිටි සැම දෙනාගේම සන්නිවේදන පුවරු දිලිසෙන්නට වූයේ එම යෝජනාව පිළිගත් බවත්, ඒ ගැන දැනුණු උද්යෝගයත් සනිටුහන් කරමිනි.

-----------------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රයන් මේදිස් ගේ කාර්යාලය

රයන් පරිගණක තිරය දෙස බලා සිටියේ ඇසි පිය නොහෙලා ය. සාමාන්‍යධිකාරී වංශරත්න මේ විකාශන ගැටලුව සොයාගන්නැයි රැස්වීමේදී අණ කළේ මීට දින දෙකකට පෙර යි. මේ දක්වා ශබ්ද ඉංජිනේරු කණ්ඩායම නම් කිසිම සොයාගැනීමක් කර නැති බව ඔහු ස්ථිරව ම දැන සිටියේ එවැනි සුබ ආරංචියක් ඔහුට සන්නිවේදනය නොවුණු බැවිනි. මේ ගැටලුව ගැන සිතේ තෙරපුණු නොසන්සුන්කම නිසාම මේ ගැන තමන් ද තතු සෙවිය යුතු යැයි ඔහුට සිතුණි.

ගුවන් විදුලි විකාශය කඩ වූ හැම අවස්ථාවකම තරංගවල දර්ශන නියැදි රයන් අපහසුවකින් තොර ව ලබා ගත්තේ ය. මේවායේ මුලින් නම් ඔහු කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් දුටුවේ නැත. නමුත් රයන් මේ නොසන්සුන් වී සිටින්නේ පරීක්ෂාවෙන් බලද්දී දුටු අසාමාන්‍ය දසුනක් නිසා ය. විකාශය බිඳ වැටෙන හැම අවස්ථාවක ම ඒ හිඩැසට යටින් ඊට සමාන්තරව දිවෙන කළු පැල්ලමක් වැනි යමක් මේ දර්ශන වල ඇති බව හොඳින් බලද්දී ඔහු දුටුවේ ය. පියවි ඇසට පෙනෙන නොපෙනෙන මට්ටමක වූ මෙය කුමක් විය හැකි ද? එය නොසැලකිය යුතු දෙයක් ද? තමන් දකින මේ දසුන ම ගුවන් විදුලි නාලිකාවේ පළපුරුදු ශබ්ද ඉංජිනේරුවන් දැක නොමැති ද? රයන් ගේ සිත ප්‍රශ්න රැසකින් ව්‍යාකූල විය.

තම කැළඹුණු සිත සන්සුන් කරගැනීමට රයන් මොහොතක් දෑස වසා ගත්තේ ය. තමන්ට අදාළ ම නැති ආයතනික ගැටලුවකට පටලැවී සිටි ඔහු මේ ක්ෂේත්‍රෙය් ප්‍රවීණයෙක් නොවේ. එබැවින් මේ දුටු දේ ගැන ඉහළට කියන්නට යාම තවත් ව්‍යසනයක මුල වන්නට නොහැකි ද? මේ ගැන කිව යුත්තේ ජයවික්‍රමට බව ඔහුට එක් වර සිතුණි. ඔව්! මේ ගැටලුව පළමුවෙන් ම සොයා ගත්තේ ජයවික්‍රම නිසා මේ අමුතු නිරීක්ෂණය ගැන කිව යුත්තේ ද ඔහුට ය.

එහෙත් තම කුටිය වෙත ආ ජයවික්‍රම දෑස කුඩා කර පරිගණක තිරය වෙත එබී බලා කී දේ රයන් කිසිසේත් අපේක්ෂා කළේ නැත.

“කෝ රයන්? මට නම් එහෙම වෙනසක් පේන්නේ නැහැ, කොහොමත් කළුවට පේන බැක්ග්‍රවුන්ඩ් එකේ මොකක්ද ඔයා කියන මේ පැච් එක?”

“ඇයි මිස්ට ජයවික්‍රම, මේ බ්‍රෝඩ්කාස්ට් ලොස් එක පටන්ගනිද්දී ඒ ගැප් එකේ මේ කළු පැල්ලමක් වගේ එකක් තියෙන්නේ.”

රයන් කීවේ තමන් ට දෘෂ්ඨි මායා පෙනේදැයි සැකයෙනි.

“හරි එහෙම එකක් තියෙනවා කියමු, මොකක්ද ඒකට හේතුව? කොහොමද ඒක නතර කරන්නේ?” ජයවික්‍රම නොඉවසිල්ලෙන් ඇසී ය.

“හේතුව නම් දන්නේ නැහැ මිස්ට ජයවික්‍රම, මම කිව්වේ මෙහෙම ඔබ්ස්ට්‍රක්ෂන් එකක් අපිට හරියටම අඳුනාගන්න පුළුවන් නම්… සවුන්ඩ් ඩිපාට්මන්ට් එකට කියලා…”

නමුත් රයන් ට එම වැකිය අවසන් කරන්නට ජයවික්‍රම ඉඩ දුන්නේ නැත.

“රයන් හිතනවද මේ සවුන්ඩ් එන්ජිනියර්ස්ලාටත් හොයාගන්න බැරිවුණු දේවල් අපිට පෙනෙයි කියලා? අනික අපි මෙහෙම දෙයක් කිව්වොත් එයාලා පිළිගනී ද?” ඔහු සිනාසෙමින් කීවත් ඒ සිනාවේ සමච්චලයක් ගැබ් ව ඇතැයි රයන් ට සිතුණි.

තමන් සොයාගත් දේ ගැන මෙතෙක් දැනුණු යම් තරමක විශ්වාසය හා ගැටෙමින් ජයවික්‍රම පවසන දේහි සත්‍යයක් ඇතැයි යන හැඟීම බලවත් වූ බැවින් රයන්ට දැනුණේ තම හිස අවුල් වූ බවකි.

“පුතා, අපි දෙන්නා මුලදී ඉහළට මේ ගැටලුව ඉන්ෆෝම් කළා ට හරි නම් සවුන්ඩ් ඩිපාට්මන්ට් එක තමයි මේවා හොයාගන්නයි පිළියම් යොදන්නයි ඕන. දැන්වත් අපි අපිට අදාළ නැති දේවල් වලට අත නොදා ඔන්න ඔහේ අපේ රස්සාවල් බේරාගෙන ඉමු.” රයන් ගේ පිටට තට්ටු කරමින් ජයවික්‍රම අසුනෙන් නැගී සිටියේ ය.

හිස දෑතේ රුවාගෙන කල්පනාවේ නිමග්න ව සිටි රයන් හදිසියේම හිස ඔසවා “ඇත්තටම මිස්ට ජයවික්‍රම කොහොමද මේක මුලදී හොයාගත්තේ?” ඇසූ නමුත් ඒ වෙද්දී ජයවික්‍රම කුටියෙන් පිටව ගොස් තිබිණි.

-----------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

නව ප්‍රවේශයන් අත්හදා බලන කණ්ඩායම යම් ගැටළුවකට මුහුණ දී ඇති බව S215 ඈත තියාම හඳුනා ගත්තේ ඔවුන්ගේ සන්නිවේදන පුවරු වල දැල්වුණු තැඹිලි පැහැති එළි වලිනි. නොසන්සුන් බවේ රටා ඒ හැම පුවරුවකම ඇඳෙමින් මැකෙමින් තිබිණි.

“විකාශන බාධාව කරන අපේ තරංග පෘතුවියෙන් කිරීක්ෂණය කරලා!” කණ්ඩායම් නායක J13 විමසීමකින් තොරව ම පැහැදිලි කළේ තවත් විස්තර අනවශ්‍යයි යන ස්වරයෙනි.

“ඔව් ඒක වෙන්න නියමිතව තිබුණා… ඒගොල්ලෝ විකාශන හිඩැස් ගැන හොයාගන්නේ නැතිව ඉන්න විදිහක් නැහැනේ.” මේ ආරංචියෙන් S 215 ගේ සන්නිවේදන පුවරුවේ වැඩි කලබලයක් පෙන්නුම් වුණේ නැත.

“එයාලා අපේ තරංග හොයාගන්න එක නෙමෙයි ගැටලුව, ඒවායින් මොකද කෙරෙන්නේ කියලා හොයාගන්න එක. අපේ දත්ත අනුව ඒ තරම් නිගමන දියුණුවක් පෘතුවි වැසියන්ගෙන් අපේක්ෂා වෙන්නේ නැහැ” සැහැල්ලුවෙන් මේසේ සටහන් කළ S215 ඉනික්බිති කණ්ඩායම දෙසට හැරුණේ ය.

“අපි විකාශන බාධාවක් නැතිවම මනුෂ්‍ය සිතුවිලි අස්වැද්දීම කියන අරමුණට ඉක්මණින් ම යන්න ඕන මේ නිසා යි.. ඒ ගැන දැනටමත් පර්යේෂණ කෙරෙන බව මම දන්නවා. තවත් ඒ ගැන මහන්සි වෙන්න දැන් කාලය හරි”

තම සන්නිවේදන පුවරුවේ එසේ සටහන් කළ S215 ආපිට හැරී යන්නට ගියේ ය.

----------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව

තමන් සොයාගත් අද්භූත තරංග පෙළ මේ විකාශ හිඩැස් ගැටලුවට යම් හෝ සම්බන්ධයක් ඇති බව සිතෙන් අත් හැරීම රයන් ට දුෂ්කර විය. ඔහු නිරතුරුව තමන්ගේ අනෙත් රාජකාරි අතපසු වන තරමට තරංග දර්ශනයේ දිස් වන මේ කළු පැහැති තීරුව දෙස බලමින් පසු වූයේ එබැවිනි.

විකාශ හිඩැස් නොමැතිව පැය විසිහතරක් ගතවූ බවට සුභ ආරංචිය ලැබුණේ ඒ ගැටලුව ගැන සොයාගෙන දින දහ හතක් ගතවූ තැනදී ය. මේ වතාවේදීත් පැවැත්වුණු හදිසි රහස්‍ය කළමනාකරණ රැස්වීමට රයන් ද සහභාගී වූ අතර ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් විසින් මෙම ප්‍රකාශය කණ්ඩායම වෙත ඉදිරිපත් කරන ලද්දේ උද්දාමයෙනි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසාගේ උපමාව සිහි ගන්වමින් සාමාන්‍යධිකාරී වංශරත්න ගැටලුව විසඳුනු බව එක්වරම පිළිගන්නට සූදානම් වූයේ නැත. තවත් දින තුනක් දවස පුරාම විකාශ තරංග නිරීක්ෂණය කිරීමට අණ කළ ඔහු තෙදිනකට පසු නැවතත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලතීෆ් ට අණ කළේ ය.

---------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- ශබ්ද පාලක මැදිරිය

“අදත් ඔක්කොම ඩේටා ඕකේ නේද ප්‍රියංකර?” ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් හඬ පාලන මැදිරියට පිවිසෙමින් විමසුවේ ය. ඔහුගෙන් දිස් වූයේ දවස් ගණනකින් නිදි නොලැබූවකු ගේ තෙහෙට්ටු පෙනුමකි.

“ඔව් සර්. මුකුත් ගැප්ස් නැතිව යන තුන් වෙනි දවස” ප්‍රියංකර තම උපැස් යුවල ගලවා දෑස පිසිමින් පිළිතුරු දුන්නේ ය. ඔහු ද දින දෙකක් ම තම නිවෙස බලා ගොස් තිබුණේ නැත. “හැබෑටම සර් මොකක්ද ඒ වෙන්න ඇත්තේ? දැන් මේ ප්‍රශ්නේ හරි ගියේත් අපි මුකුත් කරලා නෙමෙයි නේ.”

මෙය අසා ලතීෆ් හිස ගස්සා ඔහු දෙස බැලී ය.

“මුකුත් කළේ නැහැ? තමුසේ ඕක එහෙම ආයෙත් කොහේවත් කියනවා නෙමෙයි! මම එදා මීටිමට ගිහින් ලොක්කාට කිව්වේ අපි ඒ ප්‍රශ්නේ අයිසොලේට් කරලා විසඳුවා කියලා. දැන් තුන් දවසකට පස්සේත් අවුලක් නැති නම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ ඒක විසඳුණේ කොහොමද කියලා!”

“ඔව් ඒක හරි සර්, ඒත් මං කියන්නේ ඇත්තටම මොකක් වෙන්න ඇතිද?” ප්‍රියංකර නැවත ඇසුවේ ය.

“කවුද හලෝ දන්නේ? ඇති ඔයින් ගියා කියලා තමයි කියන්න තියෙන්නේ. තව ටිකෙන් තමුසෙයි මායි දෙන්නම ගෙදර!” ලතීෆ් හඬ නඟා සිනාසෙමින් කීවේ ය.

-------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රයන් මේදිස් ගේ කාර්යාලය

විකාශ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුණු බව දැනුම්දෙන රැස්වීමෙන් පිටතට පැමිණි පසුත් තමන් ට අපේක්ෂිත තරම් සැනසිල්ලක් නොදැනෙන්නේ ඇයිදැයි රයන් කල්පනා කළේ ය. ගුවන් විදුලි නාලිකාවම බංකොලොත් වීමට මඟ පාදන වර්ගයේ විශාල විනාශයක් මඟ හැරුණු බව සත්‍යයකි. නමුත් කොතැනක හෝ යමක් අතපසු වූ බවට තම සිත යට කැවෙන සිතිවිල්ල මඟ හැර ගැනීමට ඔහු අපොහොසත් විය.

සුබ ආරංචිය දැනුම් දුන් පසු ද රයන් තව දුරටත් රේඩියෝ විකාශ තරංග නිරීක්ෂණය කිරීමේ යෙදුණේ පුරුද්දට මෙනි. සුපුරුදු ලෙස රේඩියෝ නාලිකාවේ තරංග බාධා රහිතව නොකඩවා ඇදී යන අයුරු ඔහු බලා සිටියේ ය.

මෙසේ බලා සිටිද්දී හදිසියේ තිරය මත ඇස ගැටුණු අසාමාන්‍ය යමක් රයන් තුළ කැළඹුමක් ඇති කරන්නට සමත් විය. දෑස පිසදැමූ ඔහු පරිගණක තිරය දෙස හොඳින් බැලුවේ ය. කලින් විකාශය බාධා කළ වර්ගයේම කළු පැල්ලමක් මෙවර රේඩියෝ තරංගවල හැඩයම ගෙන ඊට ඈඳී ඊට යටින් ගමන් කරන බවක් ඔහුට පෙනුණි. රයන් කීප වතාවක් දෑස වසා, නැවතත් විවර කර මේ දෙස බැලුවේ ය. ජයවික්‍රම සමඟ පෙර වූ කතාබහ සිහි කළ ඔහු, මෙය නැවතත් වෙනත් කිසිවෙකුට කීවත් ගණන් නොගන්නා බව සිතුවේ ය. විශේෂයෙන්ම පවතී ගැටලුව විසඳුණු පසු කිසිවෙකු වත් මෙවැනි දේ ට අවධානය යොමු නොකරනු ඇත. වෙන අයට නොපෙනෙන මෙවැනි දෑ තමන්ට පෙනෙන්නේ යම් උමතු බවක් නිසාදැයි රයන් ට සිතෙන්නට විය. ටික වෙලාවක් මේ ගැන දිගින් දිගටම කල්පනා කළ ඔහු අවසන් වතාවට ඒ අසාමාන්‍ය තරංග රටාව දෙස බලා, දිගු සුසුමක් හෙළා නිරීක්ෂණ පරිගණක තිරය නිවා දැමුවේය.

-------------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

මධ්‍යස්ථානය තුළ රැස් වූවන්ගේ සන්නිවේදන පුවරු විචිත්‍ර වර්ණයෙන් දිලිසෙමින් තිබුණි. ඔවුන් මේ සමරමින් සිටියේ ගුවන්විදුලි තරංග වලට බාධා නොකරමින්ම පෘතුවියේ වෙසෙන අසන්නන්ගේ සිතිවිලි අස්වද්දා ගන්නට J13 ඇතුළු කණ්ඩායම සමත් වී තිබීමේ දිනුමයි. මෙවැනි ජයග්‍රහණයක් ලැබීම තවත් බොහෝ සොයාගැනීම් සහ ආක්‍රමණ වලට මඟ පාදන බව ඔවුහු පැහැදිලි ව දැන සිටියහ

උද්දාමයෙන් පිරුණු තවත් දවසක් එසේ නිමා විය.


-හෙල්මලී ගුණතිලක

Picture- Pexels

August 07, 2023

සමුගැනීම

Translation of the short story ‘Sea Lounge’ by Kamala Das

මුහුදුබඩ අවන්හලේ සුදු සහ තද රත් පැහැති බුමුතුරණෙන් යුතු වූ පඩිපෙළ නැගීමට පෙර, සත්‍යාවෘත විසින් තමන් කියන්නට යන දේ බොහෝ වතාවක් පුරුදු පුහුණු වී තිබිණි. නමුත් එහි දොර වෙත එළඹෙද්දී හදිසියේ දැනුණු තැති ගැනීමක් නිසා ඔහු මඳක් නතර වූයේ ය. ඇය වැළපෙනු ඇතිද? අන්තිමට එවන ලද ලිපි දෙකෙහි තිබුණු ආකාරයට ඔහු වෙනුවෙන් ඇති නොසැලෙන ආලය සපථ කරමින් ඈ විකාරරූපී ලෙස හැසිරෙනු ඇතිද? තමන් මේ හමුවීම සඳහා තෝරාගත්තේ වැරදි තැනක් ද? ටාජ් හෝටලය නිරතුරුවම තමන් හඳුනන අයගෙන් පිරී තිබිණි. මේ මුහුදුබඩ අවන්හලේ දී නම් ඇයව විශාල මල් පෝච්චියක් පසුපසින් අසුන් ගැන්වීමට හෝ අවන්හල කෙලවර ඇපොලෝ ජැටිය පේන මානයේ වූ මේස පෙළට කැඳවා යනු හෝ හැකිවනු ඇත. 

අනිවාර්යයෙන්ම මේ හමුවීම පහසු නොවන බව ඔහුට හැඟිණි. ඇය තමන්ගේ සිරුර කැපී පෙනෙන අමුතු ඇඳුම් ඇඳීමට ප්‍රිය කළා ය. පසුගිය වසරේ දිනක වෙළඳ සංකීර්ණයකදී ඔහුට හදිසියේ ඇයව හමු වූ වේලාවකදී ඇය ගෙල වටා රත් පැහැති සාළුවක් ඔතාගෙන සිටි අතර ඇගේ ජීන්ස් කලිසමට අල්ලා තිබුණු අන්ඩ හතර නිසා ඊට විසුළු බවක් එක් වී තිබිණි. “මම නිකම් පිස්සියෙක් වගේද?” ඇය එදා ඔහුගෙන් ඇසුවාය. මේ ගමනටත් ඈ එලෙසම හැඳ පැළඳ ආවොත්? එසේ වුවහොත් ලැජ්ජාව නිසා තමන්ගේ පණ යනු ඇතැයි ඔහුට සිතිණි. 

ඔහු දොර තල්ලු කරගෙන ඇතුළු වූ විගසම ඇයව දුටුවේය. දෙවෙනි මේසයේ අසුන්ගෙන සිටි ඈ දුක්මුසු ලෙස මුහුද දෙස බලා සිටියාය. ඇය බලා සිටි දෙසට නෙත් යැවූ ඔහුට පෙනුණේ සැන්දෑ අහසත්, නිල් පැහැයෙන් දිලිසෙන මුහුදත්, සුළඟට ඉල්පෙන සුදු පැහැති රුවල් සහිත බෝට්ටු පෙළත් ය. ඔහු ඇය ඉදිරිපසින් අසුන්ගෙන ඇයට ‘හෙලෝ’ කීවේ ය. ඈ සෙමෙන් ඔහු වෙත මුහුණ හරවා සිනාසුණා ය. 

“මම විනාඩි කිහිපයක් පමාවුණු එක ගැන සමාවෙන්න. මාව කාර්යාලයේ වැඩකට කොටු වුණා.” ඔහු කීය 

එය අසා ඈ හිස සලා “මම මට ඇණවුම් කළා,” කීවාය. ඈ ඉදිරිපස  කුඩා මධු බඳුනක් විය. 

ඔහු සේවකයෙකු වෙත සන් කර හැම්බර්ගරයක් සහ කෝක් පානයක් ඇනවුම් කළේය. 

“ඔයා කවදාවත් බොන්නේ නැද්ද?” ඇය විමසුවාය.

“අද මට සනීප මදි” මෙනු පත අතපාත ගාමින් ඔහු පිළිතුරු දුන්නේ නොසන්සුන් ලෙසයි. 

‘මම හොඳ සිහියෙන් ඉන්න ඕන’, ඔහු තමාටම කියා ගත්තේය. ‘මත්පැන් බීලා මෙයා ගැන මගේ හිත වෙනස් වෙන්න අරින්න නරකයි.’ 

තමන් ඇයව විවාහ කරගැනීමට අදහස් නොකරන බව ඔහු කෙටියෙන් කිව යුතුය. ඇය ඔහුට දුන් ආදරය ගැනත්, ඇය නගරයට ආ අවස්ථාවන්හි දී කළ කතාබහ වල සහ ඇය එවූ ලිපි වල වූ කරුණාබර බව ගැනත් තමන් ස්තූතිවන්ත බව සඳහන් කළ යුතු ය. ඉන් ඔබ්බට යමක් මෙහි නොමැති බැවින් ඔහු ඈ සමඟ අනුකම්පා විරහිත ව හැසිරෙන්නට ඉටාගෙන තිබිණි. ඔහු සමඟ අනාගතයක් ගැන සිහින මැවීම ඇය සිදු නොකළ යුතුය. ඇය ඔහු කැමති වර්ගයේ කාන්තාවක් නොවිණි. ඈ ම තමන්ට ‘පිස්සියක්’ යැයි කියාගත්තා ඔහුට හොඳහැටි මතක ය. ඔහුගේ කැමැත්ත වූයේ නවීන ගති ඇති ලාලිත්‍යයෙන් යුතු ගැහැනුන්ටයි. 

“මට අනම් මනම් දොඩවන්න කාලය ගත කරන්නේ නැහැ,” ඔහු එක එල්ලේ ඇගේ දෑස දෙස බලමින් කීවේය. “මට ඔයාව කසාද බඳින්න අවශ්‍ය නැහැ. ඇත්තම කියනවා නම් මම තව අවුරුදු දහයකට වත් බඳින්න බලාපොරොත්තුවක් නැහැ.”

ඇය තම අතේ වූ වීදුරුව සෙමෙන් කරකවන්න විය. එය ලා පැහැති මධු පානයක් සහිත සිහින් උස පළිඟු වීදුරුවක් වූ අතර ඒ තුළ දෙහි පෙත්තක් පාවෙමින් තිබිණි. ඇගේ දිගු අතැඟිලි ඉතාම අලංකාර බව ඔහු පළවෙනි වතාවට නිරීක්ෂණය කළේය. අගේ සුරතේ මැද ඇඟිල්ලේ පැළඳ සිටි මුදුවේ වූ නිල් මැණික් ගල් දෙක ඇගේ අහස් නිල් පැහැති සාරියේ පැහැයට මැනවින් ගැලපුණි. ඇගේ නිල් සාරියත් නිල් ගල් ඇල්ලූ මුද්දත් සමඟ ඈ ඒ අවන්හල තුළට සයුරේ සුන්දරබව රැගෙන විත් තිබිණි. ඈ ව පෙනුණේ ඈත අහසේත්, මුහුදේත්, රුවල් බෝට්ටු වලත් කොටසක්ම ලෙසිනි. ඇගේ මේ ලාලිත්‍යය තමන් මීට පෙරදී නොදුටුවේ ඇයිදැයි සිතමින් ඔහුගේ සිත නොසන්සුන් වන්නට විය. 

නමුත් තමන් තීරණය ගෙන අවසාන ය. 

“ඒකට කමක් නැහැ, මට තේරෙනවා, කරුණාකරලා මං ගැන වධ වෙන්න එපා.” ඈ කීවාය.

“ඔයාගේ තාත්තා ඊයේ මට කතා කළා.” ඔහු කීවේය. හැම්බර්ගර් එකෙන් කටක් කද්දී තමන්ගේ හැසිරීම් අපිළිවෙල බව ඔහුට හැඟිනි. 

“ඔව් තාත්තා මට කිව්වා,” ඈ සන්සුන් ස්වරයෙන් කීවාය. “එයා ගැන හිතන්න එපා, මම මේ හැම දෙයක්ම එයාට පැහැදිලි කරන්නම්.”

“ඒත් ඔයා ලබන මාසේ ඇමෙරිකාවට යන්න කළින් විවාහ වෙන එක නේද තාත්තාගේ කැමැත්ත?” ඔහු ව තමන්ට අවශ්‍ය බව කියා තවත් අවස්ථාවක් දෙන ලෙස ඈ ඉල්ලනු ඇතැයි සිතමින් ඔහු ඇසුවේය. 

“මම මගේ පරණ පෙම්වතාව බඳිනවා, එයා අවුරුදු ගානක් තිස්සේ මං ගැන පිස්සුවෙන් හිටියේ. දැන් ඕවා ගැන හිතන්න ඕන නැහැ, ඔයාගේ අලුත් රස්සාව ගැන මට කියන්නකෝ.”

ඉනික්බිති ඔහු තමන්ගේ ආයතන ප්‍රධානියා ගැනත්, ගෙවල් අයිතිකරු ගැනත්, මිතුරන් ගැනත් කතා කරද්දී ඈ උස් වීදුරුව වෙත දෑස යොමු කරගෙනම එය තම ඇඟිලි අතර කරකැවූයේ එය ඔවුන් දෙදෙනාගේ අනාගතය පෙන්වන පළිඟු බෝලයක් වූ ලෙසිනි. ඇගේ ඒ ක්‍රියාව ඔහුගේ අවධානය තදින් පැහැර ගත්තේය. ඇගේ පැහැපත් දෑත ඔහුගේ දෑස ඉදිරියේ රැඟුමක් පාන බවක් ඔහුට දැනුණි. අවන්හලෙන් පිටත අහස කළුවර වෙමින් තිබිණි. ඇගේ සන්සුන් බව දෙස පුදුමයෙන් බැලු ඔහුට ඇගේ දෑසත් කෙමෙන් අඳුරු වෙනවාදැයි සිතාගනු නොහැකි විය. හැම්බර්ගරයෙන් අඩක් පිඟාන මත ඉතිරි කළ ඔහු තම මුව පිසදා ගත්තේය. 

“මේ හැම්බර්ගර් එක හරි නැහැ, මම හිතන්නේ නැහැ මට ඒක කාලා ඉවර කරන්න පුළුවන් කියලා.” ඔහු කීවේය.

ඇය සිනාසුනාය. “දැන් මට යන්න වෙලාව හරි.” ඈ කීවාය. 

තව ටික වෙලාවකින් ඔවුහු එක්ව මුහුදුබඩ අවන්හලේ පඩි පෙළ බසිමින් සිටියහ. එහි බුමුතුරුණු රටාවේ හැඩ අගය කරමින් ගිය ඈ, පිවිසුම් ශාලාවේ වූ පොත් හලේ නැවතී, සඟරාවක පිටුවක් දෙකක් පෙරලා බලා, හෝටලයෙන් පිටව යන්නට සැරසුණා ය. 

“ඔයාට මම ඒ සඟරාව අරන් දෙන්නද?” ඔහු උනන්දුවෙන් ඇසුවේය. 

“එපා, එපා, ඕවා බොහොම මිළ වැඩියි, ඒ වුනාට ස්තූතියි” ඈ කිරිගරුඬ පියගැට පෙළ මත නැවතී කීවාය.

සුළඟ සමඟ ඉගිලෙන්නට වූ ඇගේ කෙහෙරැළි මොහොතකට ඇගේ මුහුණ වසා පැතිරී, නැවත සන්සුන් විය. ඈ දිස් වූයේ බෙහෙවින්ම සුන්දර ලෙසයි. තම ජීවිතයේ තිබෙන සුන්දරත්වය ඈ සමඟ අතුරුදන් වන්නට යන බව තම හද රිදුම් දෙද්දී ඔහුට වැටහිණි. ලිපියක් ගැන හෝ නැවත මුණ ගැසීමක් ගැන සඳහනක් රහිතව ඈ ඔහුගෙන් ඉවත් වෙමින් සිටින්නීය. සියල්ල අවසන් වී තිබිණි. 

කලබල වූ ඔහු, “ඔයා කැමති තැනකට මට ඔයාව බස්සන්න පුළුවන්” කීවේය. 

එහෙත් ඈ හිස සැලුවාය. “නැහැ මට ඇවිදින්න ඕන,” අගේ කටහඬේ සිනාවක් මතු වෙමින් තිබිණි. “නැත්නම් මේ ලස්සන හවස් වරුව අපරාදේ, මට බොහොම දුරක් ඇවිදගෙන යන්න ඕන, ස්තූතියි ඔයාට.”

ඉනික්බිති ඈ වමට හැරී ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය පසුකර, සන්ධ්‍යා සුව විඳින්නන් සහ සිප්පි කටු බෝනික්කන් විකුණන වෙළෙන්දන් අතරින් ඇවිද ගොස් නොපෙනී ගියා ය. ඉන් අනතුරුව අඳුර එළඹිණි.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 


‘Sea Lounge’ is from the book ‘Padmavati the Harlot & Other Stories’ by Kamala Das, Aleph Book Company. First published 1994


සිසිල මාසික ඊ සඟරාව -අගෝස්තු 2023 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Digital Painting




August 05, 2023

කුණාටුව



කුණාටුව අවසන් වූ පසු, ඔබ එතුළින් මඟ ගෙවා ආවේ කෙලෙසකද, ඔබ දිවි ගලවාගත්තේ කෙලෙසකද යන වග ඔබට මතක් නොවෙනු ඇත. කුණාටුව සැබවින්ම අවසන් ද යන වගත් ඔබට සැක සහිත වනු ඇත. එහෙත් එක් දෙයක් නම් නිසැක ය. කුණාටුවෙන් පිටතට එන්නේ එතුළ ට ඇවිද ගිය පුද්ගලයා නොවේ. කුණාටු නම් එවැනි ය. 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of an excerpt of the book 'Kafka on the Shore' (2002) by Haruki Murakami

Digital Painting


August 01, 2023

පාපෝච්චාරණය



Translation of the poem 'Confession' by Charles Bukowski

බළලෙකු ඇඳට පනින ලෙස
මරණය මා වෙත එන තෙක්
බලා සිටිමි මම

ඉතා කණගාටුයි
මට මගේ බිරිඳ ගැන

ඈ දකීවි
මේ දරදඬු, සුදුමැලි සිරුර
වරක් දෙවරක් එය සොලවනු ඇත ඇය

“හෑන්ක්!”
යැයි ඈ කෑගැසුවත්
හෑන්ක් පිළිතුරු නොදෙනු ඇත

මා වඩාත්ම තැවෙන්නේ
මගේ මරණය ගැන නොව
මා මළ පසු
ශූන්‍ය බව පිරුණු පොදියක්
සමඟ ඉතිරිවන
මා බිරිඳ ගැන ය

එහෙත්
මා කැමතියි ඈ ට කියන්නට
ඈ අසල සැතපුණු
හැම රැයක් ම

අප අතර ඇතිවූ
හැම නිෂ්පල
බහින් බස් වීමක් ම
ඉතා කදිම බව

එමෙන්ම
මා මෙතෙක් කීමට බිය වූ
අමාරුම වදන්
දැන් කිව හැක

‘ඔබට ආදරෙයි මම’

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Henry Charles Bukowski ජර්මනියේ උපත ලැබුවත් ඔහු පසුකාලීනව ඇමෙරිකාවේ ජීවත්වූයේ ය. ඔහු වෘත්තීමය වශයෙන් නිර්මාණකරණයේ යෙදුනේ වයස තිස්පහත් පසුවූ පසුයි. Bukowski විසින් ගද්‍ය, පද්‍ය කෘති සහ නවකතා හතළිහක් පමණ ලියා තිබේ.

Digital Painting 

ලන්ඩන් කවි - අගෝස්තු 2023 කලාපය