February 26, 2024

කරුණාවන්ත මරණය

දෙවියනි,
කරුණාකර
අධිවේගයේදී මියෙන මුවන් ව
උසැති මෘදු තෘණ පිරුණු
නැවත ප්‍රියයන් මුණ ගැසෙන
කිනම් හෝ දෙව්ලොවකට යවන්න

පියැසි පහන්හි
ගැටෙන සළබයන්ට
දහසකින් හිරු නැගෙන
උන්ට එකවර ගිලී යා හැකි තරම්
පැණි රසැති ගුලාවකට
යන්නට ඉඩ හරින්න

තෙල් හා මැලියම්හි
සිරවූ මීයන්ගේ
කුස් පුරවා
සදා උණුසුම්, වියළි ලෝම
ලබා දෙන්න

ජීවත් වීම නිසාම
මා මරා දමනු ලැබේනම්
ඒ මරණය
මිනිසාට වැඩියෙන්
කරුණාවන්ත කරන්න

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Kinder than Man' by Athea Davis
Digital painting\




February 21, 2024

සිහි නොවන දිනයක් නැත


කලබල වීදියක
දස අත දුවන සෙනඟ'තර
නාඳුනන මුහුණක
ඒ අඩ දෑස් සිනහව ම

ඔබ සිහි නොවන දිනයක් නැත


හිස රැඳි ඔටුනු බර
දැනෙන වෙහෙසී හවසක
රිය ගාලේ ඉරි තැල්මක
ඔබ දුන් දම් පැහැ මල ම

ඔබ සිහි නොවන දිනයක් නැත


නොසෙල්වෙන රිය පෙළ මැද
සිරවුණු අනෝරාවක
"පාලු අඳුරු නිල් අහසේ"
තාල සූරයි හදවත

ඔබ සිහි නොවන දිනයක් නැත

~හෙල්මලී~  

Digital painting



February 20, 2024

අරුත

සාමාන්‍යයෙන් ඩැෆඩිල් මල් වලත්, විසිතුරු ඉර බැස යාම් වලත්, විශේෂ කිසිත් සිදු නොවූ සුන්දර දිනවලත් අරුත වැටහෙන්නට නම් ජීවිතය විසින් ඔබව තරමක් දුරට තලා පෙළා දැමිය යුතු ය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of a quote by Alain de Botton

Digital painting

February 12, 2024

සදාකාලික දරුවෝ

සමහර කවි තියෙනවා පරිවර්තනය කළොත් ඒවායේ සුන්දර බව ගිලිහෙන්න ඉඩ තියෙන ඒවා. එහෙම කවි කියවලා රස විඳලා මම ආපහු හැරිලා එනවා. ඒත් මේ කවිය පරිවර්තනය නොකළත් බෙදාගන්න හිතුණේ හිතට ළඟ බව නිසායි. 

මේ කවියෙන් කියවෙන දේ ලෝකයේ හැමතැනම දෙමව්පියන්ට පොදු සංසිද්ධියක් මං හිතන්නේ. අපේ ළමයි කොයිතරම් ලොකු වුණත් එයාලා හැමදාම අපේ හිත් ඇතුලේ 'ළමයි'ම තමයි. මැදිවියේ ඉන්න අපි ගැනත් අපේ දෙමව්පියෝ  "කෑවාද -වෙලාවට බෙහෙත් බිව්වාද?" වගේ දේවල් ගැන ලතැවෙන්නේ මේ නිසාම තමයි ඉතින්.

මේ එක්කම මම කොහේ හරි දැක්ක තවත් සටහනක් මතක් වුණා. මේ කතාවට සම්බන්ධ නැහැ, නැත්තෙත් නැහැ. 

"Our children will never know how often they have given us reasons to live"


Sentimental Moment or Why Did the Baguette Cross the Road? by Robert Hershon

Don’t fill up on bread
I say absent-mindedly
The servings here are huge

My son, whose hair may be
receding a bit, says
Did you really just
say that to me?

What he doesn’t know
is that when we’re walking
together, when we get
to the curb
I sometimes start to reach
for his hand


Digital painting

February 11, 2024

කවියෙකු සමාව ඉල්ලයි



මා නොලියූ කවි ගැන
සමාව දෙනු මැන මට

උත්ප්‍රාසයෙන් අවුරා දැමූ
කේන්තියෙන් පාගා දැමූ
ආත්ම ආරක්ෂාවට පිළිකෙව් කළ
බිය නිසා අත්හැර දැමූ
බොහොමයක් කවි ඇත

නොතේරුම්කමින්, බියෙන් අන්ධව
නොතැකුවෙමි ඒවා මම
ඒ නොලියූ කවි
දස අත මහා ඝෝෂා කර
දිවා රෑ මා සොයා ආ නමුත්
පළවා හැරියෙමි ඒ හැම

ඒවාට සැරසෙන්නට හැකිව තිබුණු වර්ණ
පළඳින්න ඉඩ නොදුන්නාට
මට සමාවෙන්න
ඒවා අඳුරේ හෙලීම ගැන
මට සමාවෙන්න
නොලියූ පද පේළි වෙතින් මිදෙන්නට
ඒ කවි එඩිතර වූයේ නැත

මගේ නිහඬ බව තුළ
මා නිෂ්ක්‍රියව ගත කළ හැම පැයකදීම
නොසලකා හරිනු ලැබ
කවියක් මියගොස් ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘The poet asks forgiveness’ by Fay Zwicky

ඕස්ට්‍රේලියානු ජාතික කිවිඳියක් වූ Fay Zwicky, ලේඛිකාවක් සහ කථිකාචාර්යවරියක්ද වූවාය. යුරෝපයේ යුදෙව් පවුලකින් පැවත ආ ඇය ඒ පසුබිම ඇසුරෙන් නිර්මාණ රැසක් බිහි කර ඇත

ලන්ඩන්කවි 2024 පෙබරවාරි කලාපය

Digital Painting


February 04, 2024

මීයා


තම නිවසේ වෙසෙන ගැහැනුන් රාත්‍රී දෙකක් තිස්සේ නොකඩවා එක ලෙසම කටයුතු කිරීම ගැන ගනේසන් ට දැනුණේ කේන්තියකි. එදිනත් රාත්‍රී ආහාරයෙන් පසු කිසිම කෑම කැබැල්ලක් ඉතුරු නොවන සේ ඔවුන් මුළුතැන්ගෙය පිරිසිදු කර නින්දට ගොස් තිබිණි.

මොවුන් ට මේ ගැන අවබෝධයක් නොමැති වීමට ඉඩ නැත. තම සොයුරියට වයස පනහට වැඩි ය. බිරිඳ ට හතළිහකට ආසන්න ය. දියණියට ළඟදීම දහතුන් විය එළඹෙනු ඇත. එහෙත් කුස්සියේ එකම තෝසේ කැබැල්ලක්, අප්පලමක් හෝ පොල් ඉරුවක් දක්නට නොවිණි.

ඉතින් මීයාට උගුල් අටවන්නේ කුමකින් ද?

“උඹලා බම්බු ගහගනිල්ලා!” තමන්ටම මුමුණා ගත ගනේසන්, නිදන්නට ගියේය. 

රෙදි වනන්නට යොදාගැනෙන උණ බම්බුව යන්තමින් සෙලවෙනු ඔහුට ඇසුණේ ඔහු නින්දට ගොස් පැය බාගයක්වත් ගතවන්නට පෙර ය.  මීයා එහි යට අත ඔස්සේ ඇවිදිමින් සිටියේය. තවත් විනාඩි දෙකක් යද්දී උණ බම්බුව තවත් සෙලවෙනු ඇසුනි.  ඒ වෙද්දි මීයා එහි මතුපිටට නැග තිබුණි.  ඉනික්බිති ඇසුණේ තඹ පලංගනාවක් බිත්තියේ ගැටෙන හඬකි. මීයා සොල්දරයට නැග තිබුණි.  සර සර හඬින් කියවුණේ ඌ  පරණ පත්තර ගොඩක් මතින් ඇවිද යන බවයි. 

“දඩස්!”

මීයා සොල්දරයේ සිට ලී අල්මාරිය මතට පනිද්දී ඒ මත ඇති පැරණි ටින් බෙලෙක්ක පෙරලී යන හඬක් ඇසේ. ඉන්පසු එතැනින් ඌ ඇණයකින් බිත්තියේ එල්ලා ඇති කුඩා රාක්කය මතට පනී. ඉනික්බිති පැතිරෙන්නේ මද නිහැඬියාවකි. එහෙත් ඒ සන්සුන් බව බිඳිමින් කුමක් හෝ මහා හඬින් පෙරළෙනු ඇසේ. ගනේසන් සහ බිරිඳ අවදි වී, විදුලි බුබුල දල්වා වටපිට බලද්දී දුටුවේ මීයා විසින් තෙල් බඳුනේ පියන පෙරළා ඇති බවයි. 

ගනේසන් දත් මිටි කමින් සිය බිරිඳට රවාගෙන සිටිද්දී ඈ නිදිමතින්ම තෙල් බඳුන කූඩයකින් වසමින් සිටියාය. 

“මම හැමදාම ඔහෙට කියනවා මොනවා හරි කෑම ඉතුරු කරන්න කියලා මී උගුලට තියන්න. එහෙම කියලා තියෙද්දීත් ඔහේ කිසිම දෙයක් ඉතුරු නොකර කුස්සිය අස් කරලා දානවා!”

“මොනවා තියන්නද? මීයාට කියලා රසම් හැන්දක් තියන්නද මට කියන්නේ?එහෙම නැත්තම් උප්පුමා ගුලියක් කොක්කක අමුනන්නද?”

මෙය අසා ගනේසන් මහත් සේ කෝපයට පත් වූයේය. “මට ඔහොම කතාකරන්නේ උඹ කවුරු කියලා ද හිතාගෙන ද?” ඔහු ගුගුලේ ය. 

“මම කවුරුවත් කියලා හිතාගෙන නැහැ. මේ ගෙදර තෝසේ හරි වඩේ හරි හදනවානම් මීයාට කියලා මොනවා හරි ඉතුරු කරන්න තිබුණා. අපි ඉතින් දවස ගානේ තෝසේයි වඩේයි නේ කන්නේ, නැද්ද හොඳයි?”

“හරි එහෙනම් හැමදාම මීයා ආවදෙන්, ඇවිත් හැම දේම හලලා නාස්ති කළදෙන්!”

මීට ගනේසන් ගේ බිරිඳ පිළිතුරු දුන්නේ නැත.ඒ වෙනුවට ඈ එළවලු කූඩයේ පතුලේ තිබී වියලුණු ළූනු ගෙඩියක් ගෙන එය ඔහු වෙත පෑවාය. “කැමති නම් මේක පාවිච්චි කරලා බලන්න.”

“මේ වගේ ළූනු ගෙඩියක් කන්න මීයෝ ආවේ කොයි ලෝකේ ද?” ඔහු එය ඇය වෙත දමා ගැසූ විට ඇයට යම් වේදනාවක් දැනෙන්නට ඇත. නමුත් ඈ කිසිත් නොකියා නැවතත් ඇඳට ගියාය. 

ගනේසන්ට නැවත නින්දට යා නොහැකි විය. පුද්ගලයන් දස දෙනෙකුට එකවර කෑමට හෝ නින්දට පවා ඉඩකඩ මදි වූ ඒ කුඩා ඉඩකඩ තුළ හැම රාත්‍රියකම මීයන් හතර පස් දෙනෙක් මහත් නිදහසින් කෙළි සෙල්ලම් කළහ. උන් රෙදි පෙරෙදි හපා විනාශ කර, හට්ටි මුට්ටි පෙරළා, තක්කාලි ගෙඩි කා දමා ඉවුම් පිහුම් සඳහා වූ තෙල් බීවෝය. මීට අමතරව උන් නොවරදවාම දෙවියන් වෙනුවෙන් දැල්වූ පහනේ පහන් තිරය පවා ඇදගෙන යන්නට අමතක කළේ නැත. 

ගනේසන් කමිසයක් පැළඳගෙන ශත විසිපහක් සාක්කුවෙහි දමා ගත්තේය. නිවසින් පිටත් වූ ඔහු තමන්ගේ පසුපසින් ඉදිරිපස දොර අගුලු දැමුවේය. 

මේ වෙද්දී මඟ දෙපස ආපන ශාලා වසා දමා තිබිණි. විවරව තිබුණේ තේ කඩ සහ බුලත් විට විකිණූ පෙට්ටි කඩ පමණි. එක වඩයක් සොයාගනු හැකි නම්, අඩුම තරමේ වඩයකින් අඩක් වත්..ඒත් කොතැනක වත් වඩයක් ඉතිරි වී තිබුණේ නැත. පාන්, විස්කෝතු, කෙසෙල් වැනි දේවල් ආපන ශාලා වල ඉතිරි වී තිබුණත් මේ හැම එකක්ම මීට පෙර මීයා වෙනුවෙන් අත්හදා බලා අසාර්ථක වී තිබිණි. මීයා ප්‍රිය කළේ ගැඹුරු තෙලේ දින ලද වඩේ, පකෝඩා හෝ පපඩම් වැනි දේ පමණි. එහෙත් තෙල් වල මිළත් පරිප්පුවල මිළත් බලද්දී මේවා නිවසේදී පිළියෙළ කළ හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගේ නිවසේ හාල් කොටා සකසන උප්පුමා, රුලං උප්පුමා හෝ පොංගල් මාරුවෙන් මාරුවට පිසිනු ලබන්නේ වෙන කෑම වර්ග සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිවසේ නොතිබුණු නිසා යි. ‘උප්පුමා’ සහ ‘පොංගල්’ යන වචන පවා ගනේසන් ට ඒ වෙද්දී පිළිකුල් ව තිබුණු අතර මීයාටද එසේ වන්නට ඇතැයි ඔහු අනුමාන කළේ ය. 

“මීයාගේත් වෙලාව තමයි, අද උදේම ඌ අසුබ නිමිත්තක් දකින්න ඇත්තේ’ සිතූ ගනේසන් ආපසු හැරී නිවස බලා පිටත් වුණේය. 

නගරයේ චතුරශ්‍රය දෙසින් මහජන රැස්වීමක හඬක් ඈතින් ඇසුණි. එහි සෙනඟ තිහ හතළිහකට වඩා රැස්ව නොසිටියත් කවුදෝ තම අත පය විසිකරමින් කතාවක් පවත්වමින් සිටියේය. ටික වෙලාවක් මීට සවන් දෙන්නට සිතූ ගනේසන් රැස් ව සිටි සෙනඟ ට එකතු වූවේය. 

සභාව අමතන්නා නික්සන් ට තදින් දොස් පවරමින් සිටියේය. ඉනික්බිති ඔහු චීනයටත්, බ්‍රිතාන්‍යටත් රුසියාවටත්, පකිස්තානයටත් වග පල කියා ඉන්දිරා ගාන්ධිටත් තමිල්නාඩුවේ පාලකයන්ටත් සිය අවසාන නිවේදනය නිකුත් කළේය. මේ තර්ජන වලින් සීයෙන් එකක් වත් ප්‍රදේශයේ මී සමාජ පන්තියට අසන්නට ලැබෙන්නේ නම් උන් බෙන්ගාල බොක්කේ පිළිසරණ සොයා යනු නොඅනුමානය. මීයන්ට දෙමල භාෂාව නොවැටහුණේ කිමද?

නමුත් මෙහි මේ කථිකයාට අමතරව තවත් දෙයක් ගනේසන් ගේ අවධානය පැහැර ගත්තේය. රැස්ව සිටි පිරිසෙන් මඳක් ඔබ්බෙහි වූ අත් කරත්තයක් වටා කීප දෙනෙකු වටවී සිටිනු ඔහුට පෙනුණි. මේ කරත්තයේ ලිපක් තිබුණු අතර ඒ මත බුබුළු දමමින් තිබුණු තෙල් තාච්චියෙන් බානු ලබන කෑම වර්ග තත්පර කිහිපයක් ඇතුළත අලෙවි වෙමින් තිබුණි. ගනේසන් අත් කරත්තය වෙත කිට්ටු වී එය අසලින් සිට ගත්තේය. පාන් පිටි දවටන ලද මිරිස් කරල් විස්සක් පමණ තෙලේ බැදෙමින් තිබෙනු පෙනුණේ සයුරේ පාවෙන සබ්මැරීන මෙනි. අසල සිටි මිනිසෙක් “වඩේ හදපන්කෝ අයියා, වඩේ!” කීවත් ඊළඟ වතාවේත් තෙල් තාච්චියට දමනු ලැබුවේ මිරිස් කරල් ම පමණි. “වඩේ හදපන්කෝ අයියා!” ගනේසන් ද කීය. මිරිස් බජ්ජි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව පෙනුණි. මෝටර් රථයකින් බට පුද්ගලයෙක් “බජ්ජි අටක් ඔතලා තියනවා,” කියා අඳුරු ඉසව්වකට ගියේ මුත්‍රා කිරීමටයි.

“මේ වතාවේ වඩේ හදපන් අයියා, හරිද?” ගනේසන් නැවතත් කීවේය. මිරිස් කරල් තෙලෙන් පිටට ගත් සැණින් ඒවා දෙකක්, හතරක් හෝ දහයක් ලෙස වහා වහා පාර්සල් කෙරුණි. 

“සර් වඩේ ඉල්ලුවද? කීයක් ඕන ද?”

එක වඩයක් පමණක් ඉලීමට ගනේසන් ට මැළිකමක් දැනුණි. “දෙකක් ඇති” ඔහු කීවේය. 

“එහෙනම් ඊළඟ වටේට වඩේ බදින්නම්” කී වෙළෙන්දා යලිත් වතාවක් තෙලට දැම්මේ මිරිස් කරල්ම ය. වරුවක් තිස්සේ වඩේ ඉල්ලමින් සිටි අනෙත් පුද්ගලයා උස් හඬින් තම විරෝධතාවය පළ කරන්නට විය.

“මේක බැදිලා ඉවර වෙන්න ලඟයි සාර්.. තව විනාඩියයි! අර බලන්න අර මහත්තයාත් බලාගෙන ඉන්නේ වඩේ දෙනකම්.”

ගනේසන් ට අපහසුතාවයක් දැනුණි. කෑම විකුණන අත් කරත්තය වටා සෑහෙන්න තරමක පිරිසක් රැස් වී සිටියහ. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ඇනවුම ලැබෙනතුරු කෑමට සුදානම් ව බලා සිටියහ. තමන් ද තමා ඇනවුම් කළ වඩේ ආහාරයට ගැනීමට නොඉවසිල්ලෙන් සිටින බවක් ඔවුන් සිතනවා ඇත. ඒ ඇනවුම මී උගුලකට බව ඔවුන් දන්නවා නම්! ඔහුට මහත් කනස්සල්ලක් දැනුණි. 

බැදී අවසන් වූ පසු ඔහුට ඔහුගේ ඇනවුම මුලින්ම ලැබුණි. ඒවා ‘මාලයි මරසු’ නම් සවස පුවත්පතේ පිටුවකින් ඔතා තිබිණි. ඉන් කාන්දු වූ උණුසුම් තෙල් පත්තර පිටුව පෙඟී ඔහුගේ අත්ලේ ගෑවුණි. මේ වඩේ දෙකෙන් විහිදුණේ ප්‍රනීත සුවඳකි.

ගනේසන් තම නිවාස බලා නික්මුණි. වඩේ පාර්සලයේ උණුසුම දරාගනු නොහැකිව ඔහු එය අත්ලෙන් අත්ලට මාරු කරමින් ඇවිද ගියේය. මින් ඔහුගේ දෙ අත්ලේත් පත්තර පිටුවේත් බෙහෙවින්ම තෙල් තැවරිණි. 

මේ වඩේ මීයෙකු වෙනුවෙන් සැකසුණු බවක් ඒ වෙළෙන්දා දැන සිටියා නම්! මේවා තම නිවසේදී පිසිනු ලැබී නම් ගනේසන් ට මේ වරදකාරී හැඟීම නොදැනෙනු ඇත. එහෙත් දැන් ඔහුට දැනුනේ මහත් අපහසුතාවයකි.

තම කමිසයේ තෙල් පල්ලම් නොගෑවී එහි සාක්කුවෙන් නිවසේ යතුර පිටතට ගැනීම කළ නොහැක්කක් විය. ඔහු වඩේ පාර්සලය බිමින් තබා තම තෙල් තැවරුණු දෑත දෙපයේත් විලුඹේත් පිසදා ගත්තේය. නිවස තුළ ට ගිය පසු ඔහු එක් වඩයක් මී උගුලේ කොක්කෙහි ඇමිණූ අතර දෙවැන්න කා දැමුවේය. 

වයස පනහට වැඩි පුද්ගලයෙක් රාත්‍රී දහයට පමණ වඩයක් කෑ විට එහි යම් අයහපත් ප්‍රතිපලයක් 

ඇති වනු නියත ය. මේ තමන්ට ලැබෙන්නේ එක්තරා ආකාරයක දඬුවමක් බව කල්පනා කළ ගනේසන් ඒ මේ අත පෙරළෙමින් වැතිර හිඳ අන්තිමේදී නින්දට වැටුණේය. 

උදෑසන වෙද්දී ගනේසන්ගේ උදරය මහත් සේ පීඩා දෙමින් තිබිණි. එමෙන්ම රාත්‍රියේදී මීයා මී උගුලට හසු වී මහත් කලබලයක් කරමින් පසු වූ බව ඔහු දැනගත්තේ බිරිඳ කියූ විටයි. 

දැන් ඉතින් මීයා ව කොතැනකට හෝ ගොස් අත ඇරිය යුතු ය. ඔහු මී උගුල අතින් ගෙන නිවසින් පිටත් විය. මීයා උගුලේ වූ කුඩා සිදුරකින් තම හොම්බ පිටතට දැම්මේ ය. ඒ හොම්බේ තරමින් නම් ඌ විශාල මීයෙක්ද, කුඩා එකෙක් ද යන වග අනුමාන කිරීම දුෂ්කර විය. නමුත් ඌ ට පිටි බෙලෙක්කයක් පෙරළන්නත්, තෙල් බඳුනේ පියන ගලවන්නත්, කිලිටි රෙදිත් එළවලුත් කා දමන්නත් හැකි නම් උගේ ප්‍රමාණය දැනගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?

මෙවර නම් මීයා ව කාණුවට අත් නොහරින්නට කල්පනා කළ ගනේසන්, මී උගුලත් ගෙන චතුරශ්‍රය වෙත ගියේ ය. මේ මීයාට නම් ඔවුන්ගේ නිවස නැවත සොයාගැනීමට අඩුම තරමේ සතියක්වත් ගතවනු ඇත. ඒ අඩුපාඩුව ලොකු ගැටළුවක් නොවන්නේ තම නිවසට පැමිණීමට තවත් ඕනෑතරම් මීයන් සිටි බැවිනි. 

තමන් පසුපස එන කොලු කුරුට්ටන් මඳක් ඉවත්වන්නේ නම් මැනවි යැයි ගනේසන් ට සිතුණි. නමුත් ඔවුන් බලා සිටියේ තමන් මී උගුල විවර කරන තුරුයි. ඔහු එය බිම තබා එහි දොර විවර කළේ ය. එළියට දිව ආ මීයා මධ්‍යම තරමේ එකෙක් විය. ඌට ඉඩකඩ සහිත එළිමහන නුහුරු බැවින් කලබලයට පත් ව ඒ මේ අත දුවන්නට විය. අසල වූ කොල්ලෙක් ඌ වෙත ගලක් ගැසී ය. 

“එපා, කොල්ලෝ එපා!” ගනේසන් කෑ ගැසීය. 

එවෙලේම කොහේදෝ සිට පියඹා ආ කපුටෙක් මීයාට එක වරක් කොටා නැවතත් පියාඹා ගියේ ය. උඩුකුරුව වැටී ගැහෙමින් උන් මීයා ටික වෙලාවකින් නැවත නැගිට කොර ගසමින් වඩාත් වේගයෙන් දුවන්නට විය. කපුටා වටයක් පියාසර කර වේගයෙන් පහතට පැමිණෙන්නට විය. මීයාට සැඟවෙන්නට තැනක් තිබුණේ නැත. කපුටා ඌ ව එක්වරම ඩැහැගෙන ඈතට පියාඹා ගියේය. ගනේසන්ට වේදනාවක් දැනුණි. 

එහෙත් ඔහුට වඩාත්ම දුකක් දැනුණේ වෙනත් කරුණක් නිසා යි. නැවත නිවස බලා යාමට පෙර ඔහු මී උගුල තුළ බැලුවේ ය. ඔහු පෙර දිනයේදී එහි රැඳවූ වඩය එලෙසින්ම ඒ තුළ විය. 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘The Rat’ by Ashokamitran translated from tamil to English by Vasantha Surya

From the book ‘Short fiction from South India’ (2008)-  Oxford University Press

Image generated from Canva AI

සිසිල සඟරාව- පෙබරවාරි 2024 කලාපය 

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)