Showing posts with label photos. Show all posts
Showing posts with label photos. Show all posts

December 14, 2023

'Forget-me-not'

මම ඈට රෙබෙකා කියන්නම්. රෙබෙකා මම කළින් රැකියාව කළ ආයතනයක මගේ ප්‍රධානියා. ඒ රැකියාවට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තෝරලා ගත්තේත් රෙබෙකා. "ඔයාව දැක්ක ගමන් අපේ ටීම් එකට හරියනම කෙනා ඔයා බව මම දැනගත්තා" රැකියාවට ගිය මුල් දවසේ එයා මට එහෙම කීවා. රෙබෙකා පුංචි සිරුරක් තියෙන බොහොම ප්‍රියමනාප, හිනාවෙන් දවස ගෙවන කෙනෙක්. ඒත් ඒ පුංචි ශරීරය ඇතුළේ ඕනෑම අභියෝගයකට ඔලුව කෙලින් තියාගෙන මුහුණ දෙන, හරි කෙලින් තීරණ ගන්න බොහොම ශූර කාන්තාවක් ඉන්න බව මම නොබෝ දවසකින් ඉගෙන ගත්තා.

අපේ කණ්ඩායමේ උන්නු තුන්වෙනියා නිකී. රෙබෙකා අනාවැකි කීව විදිහටම අපි තුන්දෙනා බොහොම ඉක්මණින් හොඳම යාළුවො වුණා. මම සතුටින්ම රැකියාව කළ ආයතනයක් ඒක. අපි ඒ දවස්වල විනාඩි පහට ලොකු තීරණ ගත්තේ උදේ කෑම කන ගමන් මේසේ වටේ වාඩිවෙලා. ලොකු ප්‍රශ්න විසඳුවේ කිට්ටුව තිබුණු කොෆී ෂොප් එකකට ඇවිදගෙන ගිහින් කැපුචිනෝ බොන ගමන්. අපි තුන්දෙනා එක වගේ මහන්සි වෙලා ඒ ආයතනයේ ව්‍යාපෘති කීපයක්ම කළා. මෙහෙම බොහොම සමීපව වැඩකරන අතරේ අපි අපේ විස්තර හැම දෙයක්ම බෙදාගත්තා. ඒ දවස්වල රෙබෙකාගේ තාත්තා ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳිමින් හිටියේ. තාත්තාගේ අසනීපය නිසා එයාලගේ ජීවිතවල ඇතිවුණු හැල හැප්පිලි රෙබෙකා අපි එක්ක කීවා. තාත්තා වෙනුවෙන් නිවාඩු ගන්න ඕන උනාම නිකී ත් මාත් රෙබෙකාගේ වැඩ බෙදාගෙන එයාව නිදහස් කළා.

මෙහෙම කාලය ගතවුණා. එක්තරා කාලයකදී රෙබෙකාත් නිකී ත් මාත් තුන්දෙනාම ඒ ආයතනයෙන් වෙන් වෙලා විසිරිලා ගියා. ඉන්පස්සේ අපි තුන් තැනක වැඩ කළත් මාස කීපයකට වතාවක් වත් මුනගැහෙන්න උත්සාහ කළා. එහෙම මුණගැහුණු වෙලාවල් වලට පරණ කතා මතක් කරලා ඇති තරම් හිනාවුණා. කොරෝනා කාලයෙදී අපේ මේ මුණගැහීම් අතපසු වුණත් දුරකථන ඇමතුමකින් කෙටි පණිවිඩයකින් අපේ යාළුකම් ඒ විදිහටම පැවතුණා. ඒත් ඉන්පස්සේ ටික කලක් යද්දී රෙබෙකා ක්‍රම ක්‍රමයෙන් නිහඬ වුණා. එයාගේ ජීවිතේ තිබුණු කරදර සමනය වෙනකම් එයාට නිදහසේ ඉන්න දෙන්න හිතුව නිසා මම නම් ඒ නිහඬ බව දුරස්වීමක් හැටියට ගත්තේ නැහැ.

මෑත දවසක මට නිකී ව හම්බවුණා. අපි ඒ මුණගැහුණේ සෑහෙන්න කාලෙකින්. දැක්ක ගමන් නිකී දුවලා ඇවිත් මාව බදාගෙන එකපාරට අඬන්න පටන්ගත්තා.

"ඇයි නිකී? මොකක් හරි ප්‍රශ්නයක් ද?" මම පුදුමයෙන් ඇහුවා. නිකී කියන්නේ එහෙම ලේසියෙන් අඬන  කෙනෙක් නෙමෙයි.

"ඔව් හෙල්මලී. ප්‍රශ්නයක් තමයි. මට නෙමෙයි හැබැයි රෙබෙකාට." නිකී කඳුළු අතරින් කීවා. "ඔයාට මේක ෆෝන් එකෙන් කියන්න මට හිත දුන්නේ නැහැ, ඒකයි කළින් නොකීවේ. ඒකට සොරි"

"ඇයි රෙබෙකා ට මොකද?" මම ඇහුවේ කලබලයෙන්.

"රෙබෙකාට.." නිකී අමාරුවෙන් වචන ගැලපුවා. "රෙබෙකාට ඇල්සයිමර් හෙල්මලී. එයා අපේ පණිවිඩ වලට උත්තර එවන්නේ නැති නිසා මම කියන්නෙත් නැතිව බලෙන් වගේ එයාගේ ගෙදරට ගියා. එයා තමයි ගෙදර දොර ඇරියේ. ඒත් එයා මාව ඇඳිරුවේ වත් නැහැ! කාව හම්බවෙන්නද ආවේ කියලා මගෙන් ඇහුවා. එයාගේ මහත්තයා ඉක්මනට ඇවිත් මට විස්තරේ කිව්වා. රෙබෙකා ගෙදර කිසි කෙනෙක් ව අඳුනන්නෙත් නැහැලු" එහෙම කියලා නිකී ආයෙත් මාව බදාගෙන අඬන්න ගත්තා.

ඉතින්, අසනීපයක කුරිරු බව නිසා හරිම කෙටි කාලයක් ඇතුළත බොහොම සුන්දර මනුස්සයෙක් ඒ විදිහට වියැකිලා ගිහින් තිබුණා.

ඇල්සයිමර්, ඩිමෙන්ෂියා වගේ අසනීප ගැන කළින් අහලා තිබුණත්, ජීවිතේ පළවෙනි වතාවට මට සමීපම කෙනෙක් ගැන එහෙම ආරංචියක් ලැබුණාම දැනුණු කම්පනය නිසායි මේ සටහන ලියවුණේ. රෙබෙකාගේ සැහැල්ලු හිනාව මට දැනුත් මැවිලා පේනවා. ඒ දවස්වල තාත්තාගේ ඇල්සයිමර් රෝගය නිසා පීඩිත වෙලා හිටිය ඈට දෛවය දීලා තියෙන්නේ කුරිරු තෑග්ගක්.

මතකය කියන්නේ අපිව අතීතෙට වගේම වර්තමානයට බැඳලා තියන බොහොම සියුම් තන්තුවක්. ඒක ගිලිහුණු දවසට අපිට අපිවම නැතිවෙනවා වගේම අනෙත් අයටත් අපිව නැතිවෙනවා. මතකය අහිමි වුණත් ඒ පුද්ගලයා ජීවත් වෙනවා. පවුලේ අයට, රැක බලාගන්න අයට රෝගියාගේ අතීත මතක එක්ක ගැටෙමින් මතකය හිස් වුණු අලුත් පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න වෙනවා. 

නිකී මුනගැහිලා ආපිට ආවට පස්සේ මට මේ වගේ දේවල් කල්පනා වුණා. සමහර දේවල් අපට වෙනස් කරන්න බැහැ ඒවා ගැන කල්පනා කරන්න විතරයි පුළුවන්. ඒ එක්කම, මතකය අහිමි වුණු රෙබෙකා, ජීවිතේ කලබල අතරේ වුණත් අපි 'අපි' හැටියට ගතකරන හැම මොහොතක්ම වටිනා බව මට මතක් කරලා ගියා කියලාත් හිතුණා.


Have you ever walked along a shoreline, only to have your footprints washed away? That's what Alzheimer's is like. The waves erase the marks we leave behind, and all the sand castles.- Pat Summit


Photo- The perennial version of the Forget-me-not flower, Pentaglottis- captured in the Dandenong Ranges, Melbourne

(පින්තූරය ගැන පසු කතාව- ළඟදී දවසක අපි Dandenong Ranges ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබුණු මඟුල් ගෙදරකට සහභාගී වුණා. ඒක තිබුණේ හරිම ලස්සන පරිසරයක. ඒ ලස්සන බලමින් යද්දී මම අහඹු විදිහට මේ මල් කිනිත්තේ පින්තූරයක් ගත්තා. මම ඒ පරිසරයේ වෙන කිසිම පින්තූරයක් අරගෙන නැති බවත්, ගත්ත මේ මල් කිනිත්ත Forget-me-not වර්ගයේ මලක් බවත් මම දැනගත්තේ ගෙදර ආවාට පස්සේ යි. රෙබෙකා ගැන ආරංචිය මට ලැබුණේ ඊට පස්සේ දවසේ. ඉතින් මේ මල් කිනිත්ත ඈටම තමයි) 

July 18, 2023

ගමනාන්ත


Translation of an excerpt from the book 'Authentic Success' by Robert Holden

ගමනාන්තයන් වෙත ඇබ්බැහිවීම ගැන ප්‍රවේසම් වන්න. සතුට ඇත්තේ මින් ඔබ්බෙහි ඇති තැනක, ඊළඟ රැකියාවක, වෙනත් සහකරුවෙක් ළඟ යන අදහස ඔබේ  අවධානය සොරාගැනීමට ඉඩ තිබේ. සතුට ඇත්තේ වෙනත් තැනක ය යන අදහස ඔබ අත් හරින තුරු කෙදිනකවත් සතුට ඔබ ළඟට නොඑනු ඇත.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Photo- sunrise at Loch Sport, Victoria


December 20, 2022

පුංචි කහ මල




පුංචි කහ මල* මම
දැන් ඇඬූ සේ දිස් වෙන
කැළඹුන මේඝ සහසක
නම් මතක් කර හිනැහෙන

*the meadow buttercup. has shiny, wet-looking petals. Toxic to both humans and animals.

හෙල්මලී ගුණතිලක
-2013-

ගිම්හාන නිවාඩුවේ විවේකයක් ලැබුණු වෙලාවේ අද අපි තුන්දෙනා කඳුකර පැත්තක ඇවිදින්න ගියා. පහුගිය ටිකේම වැස්ස නිසා ඒ පැතිවල හැමතැනම ඇහැ නිවන නිල්ලක් පැතිරිලා තිබුණා. මෙහෙම යද්දී මඟ දිගට පුංචි කහ පාට මලක් යායට පිපිලා තියෙනවා මම දැක්කා. ළඟට ගිහින් බලද්දී ඒ meadow buttercups කියන කැලෑ මල බව මම අඳුරා ගත්තා.

meadow buttercups මලේ විශේෂත්වය තමයි දුරට පේන්නේ ඒ මල පිණි වැටිලා තෙත් වෙලා දිලිසෙන විදිහට. ඒත් ඒ මලේ හැටි. ඒ දිලිසිල්ල මලට කෘමීන් ඇදගන්නයි. ඒ වගේම මේතරම් ලස්සන මේ මල සත්තුන්ටත් මිනිස්සුන්ටත් විෂ සහිතයි.

මීට අවුරුදු කීපෙකට කලින් මේ වගේම ගමනකදී මේ විදිහටම ඒ මල දැකලා, ඒ ගැන මේ විස්තර හොයලා කවියක් ලීව බව මගේ මතකයේ කොණක තිබුණා. ඉතින් මම අද ඒ මලේ පින්තූරයක් ගත්තේ ගෙදර ගිහින් ඒ කවිය හොයාගන්න අදහසින්. මේ තමයි ඒ කවිය. පරණ කවි ෆෝල්ඩර පීරලා යි හොයාගත්තේ. මේ පුංචි කවියට නිමිති වුණේ ඉහත කීව මල ගැන විශේෂ කරුණු දෙකයි. ඒ මම පේළියෙන් දෙකෙන් කවි ලීව කාලේ- දැන් අවුරුදු දහයකටත් කිට්ටුයි!

photo- Rainforest Gallery, Warburton, Dec 2022


September 17, 2022

"ඉස්සර ලීව කවි කෝ දැන්?"

"ඉස්සර ලීව කවි කෝ දැන්?"

අහස ගිනියම් රතු වී
ඉර මිලින වන සිතුවම
අහම්බෙන් ඇස දැවටෙන
හවස්වරු ඉඳහිට ඇත
බිඳුවක් හුස්ම නැවතී
කවියක සියුම් තටු හඬ
හිත පතුළ සර සර ලයි
උපදින්න වෙර දරමින

අනෝරා මහා වැස්සක
තෙමි තෙමි දුර අවිදින
රුවක හුරු පුරුදුම බව
ළඟ නතරවෙයි හදවත
දුර අතීතෙක ළඟ හිඳ
අකුරු එක එක ඇමිණුව
කවියක දුහුල් මතකය
බොඳ වෙයි පෙනී නොපෙනිම

නූපදින කවි කොතැනද
වංකගිරියක සැඟවීද
වැසි දියක තෙතබත් වී
ලිහී විසිරී මැකුණිද
ඉතින් කවි උපදිනු නැත
අතීතය යළි එනු නැත
විසිතුරු සැඳෑවෙන් පසු
එබෙන්නේ ඝන කළුවර

-හෙල්මලී ගුණතිලක
Photo- Bur Marigolds in Cairns QLD


February 23, 2022

පියපත

 

අදත් ඉඳහිට දවසක
අළු අඳුරු රුදු හවසක
මතක කඳු දෙදරවමින්
සිහින මතුවන දින ඇත

බෝ දුර ඉගිල යද්දී
නුඹ අතැර ගිය පියපත
අත්ලත මුදු ව සතපා
සිප ගැනෙන හෝරා ඇත

-හෙල්මලී-
23| පෙබරවාරි | 2022

June 21, 2021

මීදුම් කවි

ඇතැම් දින ඇත
දම් පැහැති දුර කඳුද නොපෙනෙන
මුදු කුරුළු මිමිණුම්ද නොඇසෙන
කවුළුවෙන් ඔබ්බෙහි
තරුණ තුරු හිස් මත
එකම හිරු බිඳුවක්ද නොරැඳෙන
 
එවන් දිනවල
බිඳක් තාවර වී
කවුළු වීදුරුවේ
තබමි සීතල කොපුලත

අත ළඟ සේම දැවටෙන
සිත ප්‍රමෝදය අවුලන
දැනෙනමුත් නොදැනෙන
මේ මීදුමත් ඔබමය

 

Photo- misty day in Burwood, Melbourne




October 28, 2020

Some days...


 "Missing someone is like hearing a name sung quietly from somewhere behind you. 

Even after you know no one is there, you keep looking back"

-from the poem “Slow Dance” by Tim Seibles



April 29, 2020

Serendipity and Jim Moore's poems



Sometimes wonder awaits you as a glimpse of a flower during a walk, the sharp bright blue of the sky or.... as a poem that you stumble upon by accident.

Some emotions cannot be put to words. But seems that Jim Moore, the poet, manages to.

True Enough, by Jim Moore

               I have forgotten many things.
But I do remember
              the bank of clover along the freeway
we were passing thirty years ago
               when someone I loved made clear to me
it was over.


Love in the Ruins by Jim Moore

1. I remember my mother toward the end,

folding the tablecloth after dinner
                so carefully,
as if it were the flag
               of a country that no longer existed,
but once had ruled the world.


5. Survived

another winter: my black stocking cap,
                my mismatched gloves,
my suspicious, chilly heart.


photo- flowers on a corkscrew vine, on my morning walk- Burwood Vic

April 16, 2020

නිමා වූ



රත් පැහැ ව ගිනි අරන්
මඟ දෙපස තුරු පෙළ ම
එකින් එක අත හරී
මතක රැස, පත් විලස

නිමා වූ කතාවක
අවසාන පිටු අහුර

at Burwood, Vic

November 28, 2019

වෙනත් නම් තිබුණා

'when we were happy we had other names'- Yiyun Li ගේ කෙටිකතාවක හමුවූ වැකියක් 

සිනාවන් විසිරුණ 
කහ පැහැ හවස් වරුවල
දම් පැහැති, දුක්බර 
මන්දාරම් හි කෙළවර 
අපහට 
වෙනත් නම් තිබුණා
දෑසින් දෑස මිමිණුව  

ලිහී ගිය කවියක  
සිතුවමක පාට බිඳුවක 
දෙතොල් මත නැවතුණු 
සුලැඟිල්ලක පහසක 
අපහට 
වෙනත් නම් තිබුණා 
සුසුමෙන් සුසුම කියැවුණ

සතුට නම් නිම්නය
අත්හළ දුර්ග ගමනක 
අසනි සරයක් සේ
සිහිවේ අදත් ඉඳහිට
අපහට
වෙනත් නම් තිබුණා 
හද බිතු අතර ලියැවුණ


Designs etched on boulders over centuries - Nobby's Beach, Newcastle, NSW


May 05, 2019

රතු මල් පොකුර

සරත් කාලය පිරී ඇත්තේ වැස්සෙන් හා සුළඟිනි. එය ගස් වැල් පවා මල් පුබුදනු වෙනුවට පත් එකින් එක අත හරිමින් ශෝක වන කාලයකි. එහෙත් මේ, ඒ මල් හිඟ අඳුරු සෘතුවේ මා අතට ලැබුණු රතු මල් පොකුරක කතාවයි.

මා රැකියාවේ නියුතු ව සිටින්නේ මෙල්බර්න් නගරයේ පෞද්ගලික බාලිකා පාසලක ය. එහි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියන් සැලකිය යුතු පිරිසක් ඇතත් කාර්ය මණ්ඩලයේ නම් ඇත්තේ මා පමණි. මේ වසරේ මෙම පාසැලේ කණිෂ්ඨ අංශයේත් ජ්‍යෙෂ්ඨ අංශයේත් ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් දෙදෙනාම ශ්‍රී ලංකික වීම තවත් විශේෂත්වයකි. පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ඛේදවාචකය ගැන කතාකරන්නට, ඉන් දිවි අහිමි වූවන් හා තුවාල ලැබුවන් සිහි කරන්නට වැඩසටහනක් පසුගිය සතියේ පාසැලෙන් සංවිධානය කෙරිණි. මෙහි මුල්තැන ගෙන කටයුතු කළේ පාසැලේ ක්‍රිස්තියානි සංගමය වූවත් එය එක් ආගමකට සීමා වූවක් නොවිණි. ඊට සහභාගී වීමට යද්දී මා බලාපොරොත්තු වූයේ ශ්‍රී ලාංකික දැරියන් කිහිප දෙනෙක් පමණක් එහි සිටිනු ඇති බවයි. එහෙත් මා පුදුමයට පත් වූයේ ජාති හෝ ආගම් භේදයක් නොමැතිව එහි උන් දැරියන් පිරිස දැකීමෙනි. ඔවුහු වෙහෙස වී ලංකාවේ ජාතික කොඩියක් ද, සිතියමක් ද සොයාගෙන තිබුණු අතර මාද නොදැන සිටි, ලංකාවටම වෙන් වූ ජාතික ගීතිකාව (hymn for Sri Lanka) ද වාදනය කරමින් සිටියහ. මල් හිඟ මේ සරත් කාලයේ ඔවුන් කෙසේ හෝ පාසලේ ඇති ගම් ගසකින් රත් පැහැ මල් පොකුරක් සොයාගෙන එය ලංකාවේ ජාතික කොඩිය ඉදිරිපස තබා තිබිණි. වැඩසටහන අතරතුරේදී මේ දැරියන් ශ්‍රී ලංකාව ගැන ඔවුන් දන්නා පුංචි දේවල් බෙදා ගත්හ. ඇතැම් ශ්‍රී ලංකික දැරියන් ගේ පවුල් වල අය විපතට පත් අය අතර විය. මේ කතා බහ අතරේ කඳුළු ද හුවමාරු වූ නමුත් එතැන පිරී ඉතිරිණු සෙනෙහස ඒ දුක දරා ගන්නට උදවු විය.

වැඩසටහන අවසානයේ මා පිටව එන්නට සැරසෙද්දී එක් දැරියක් දිව විත් ජාතික කොඩිය අසල තබා තිබුණු මල් පොකුර මා අතේ තැබුවා ය. සමහරවිට ඒ, එතැන සිටි, ඔවුන් හඳුනන වැඩිහිටියන් අතරින් එකම ශ්‍රී ලාංකිකයා මා නිසා වන්නට ඇත. මා එය නිහඬවම පිළිගෙන ඇගේ හිස අතගා යන්නට යද්දී ඈ එකම එක වැකියක් කීවා ය. එය තවමත් මසිත දෝංකාර දෙමින් පවතී.

" It was so unnecessary!.. why Sri Lanka?.. why at all??"





May 01, 2019

නිහඬ බව

The Silence | Michael Faudet

නිහඬ බව
ඇතැම් දින තිබිණි
බිම වැටෙන අල්පෙනිති හඬ
දුර ඈත බඹර ගුම් නද
සබන් පෙණ බිඳී යන හඬ
පවා මට ඇසෙන

එහෙත් කෙලෙසක හෝ
නෑසිණි මට
කන් බිහිරි කරවන
මා හද බිඳෙන හඬ

ඇසුණේ නිහඬ බව පමණි
ඔබ යන්න ගිය විට


Link to original poem - michaelfaudet 


Photo- Autumn colours in Kalorama, Dandenong Ranges- VIC


March 04, 2019

බිඳීම්



හද බිඳුණු දිනවල 
අත් හරින පාඩම 
කියාදෙන මුල්පොත


photo- first days of autumn-Melbourne

April 30, 2018

autumn days



















කාලය මිදී නැවතුන
ශරතයේ හවස් වරුවල
සෙවනැලි දිගු ව ඇදෙමින්
හිරු ඉරි රටා සඟවන

තනි නොතනි පිරිමැස්මට
විසිරෙන සුළඟ කුමට ද
බදා සිත අත් නොහැර ම
තනිකම තවම මා ළඟ


photo- Burwood, Vic

February 27, 2018

Early Autumn





















-එක වැනිම ගස් පෙළක් කොළ පැහැයෙන් බබලද්දී එක ගසක පමණක් පත් රත් පැහැ වී ඇත 

හරිතවන් සිහිනෙක මැද 
සරද්දී නුඹ හැම දෙන 
රත් පැහැති සළු පොරවා 
සන් කරමි සිසිරය වෙත 

පත් එකින් එක අත්හැර 
පා කරද්දී සුළඟට 
සරතයක මුදු ගී තනු 
ඇසේවී බෝ දුර සිට

දුවවා කෙසර මුල් රැස
බදා සීතල පොළොවම 
සිසිරයේ නිද්‍රාවට
කල් තබා එළඹෙමි මම

සීතලම හදවතකට
කුමටද දැවෙන උණුහුම
සදාකල් සිසිරයකට
හිරු නිවමි හුස්මක් පිඹ


photo-Burwood- Vic

January 09, 2018

දුර-ළඟ



















මා සමඟ එක පෙළටම
බොහෝ දුර නුඹ එන විට
මැකී වියැකී මොහොතක 
යළි යළිත් හිනැහෙන විට 

අප අතර ඇති සිය ගව් 
හැකිලී එකම මිටකට 
හුස්මක් දැනෙන තරමට
හැඟේ නුඹ ළඟ ළඟ බව 


on the way to Lakes Entrance, Gippsland-Jan 2018

November 14, 2017

හිරු බැස යද්දී




අහසක් පුරා ගණ කළුවර වැසුණු කල
තරුවක තිතක වත් නෑඳුනි සෙනෙහෙ දුල
හැපෙමින් හඬන විට නිම් නැති කඳුළු රළ
කිසිවක් නොකියාම වියැකුණි වළා පෙළ

හඳුනමි කලක සිට, මිතුරුයි නිහඬ බව
හසරැලි නූපන් ම යුග නම් තිබුණි තව
එනමුදු නුඹේ කටහඬ සිත මවන කව
නුබ රුදු අඳුර දුරලන රන් කිරණ රුව























Sunset, Barwon Heads beach, Victoria




September 21, 2017

පොත්, පුස්තකාල සහ මම


ඉස්සර හැම සෙනසුරාදාම අක්කලාත් මාත් පුස්තකාලේ යනවා. අම්මයි තාත්තයි සතියට ගෙදරට වුවමනා දේවල් ගන්න යන්නේ අපිව එතැන තියලා. ඉතින් අපි පැයක් හමාරක් එතැන ගත කරනවා. ඒ සේෂෙල්ස් වල වික්ටෝරියා නගරේ ප්‍රධාන පුස්තකාලය. නගරයේ කෙළවරකට වෙන්න තිබුණු වහල උස, තට්ටු දෙකේ පරණ ගොඩනැගිල්ලක්. ඒකෙ පොත් නම් සෑහෙන්න තිබුණා. ඒත් පුංචි පරහකට තිබුණේ ළමා පොත් වැඩිපුර නොතිබුණු එක. ඒ වෙද්දී මට අවුරුදු හයක් හතක් විතර. ඒ පුස්තකාලේ තිබුණු ළමා පොත් එකතුව ඉවර කරන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සෙනසුරාදා ගේන පොත් ටික ඉරිදා වෙද්දී කියවලා ඉවරයි. ඉතින් ඊළඟ සෙනසුරාදා වෙනකම් මොනවාද කියවන්නේ!! කියවන්න පොත් නැතිව සතියක් ගත කරන්න අමාරු වෙන තරමේ පොත් ගුල්ලියක් වෙලා තිබුණා මම ඒ වෙද්දීත්. ඒනිසාම වෙන්න ඇති මගේ පොත් ටික ඉරිදා වෙද්දී ඉවර කරලා එතැන ඉඳන් පොඩි අක්කා ගෙනාව පොත් ටික කියවන්න පටන් ගත්තේ. පොඩි අක්කා මට වඩා අවුරුදු පහක් වැඩිමල්. ඒ නිසා අපි දෙන්නාගේ කියවීමේ මට්ටම් පැහැදිලිවම දෙකක්. එයා ඒ කාලේ Famous Five, Secret Seven කියවන කාලේ. මම මුලින්ම Secret Seven පොතක් කියවද්දී මට අවුරුදු හතයි. එදා පොතෙන් බාගෙට බාගයක් තේරුණේ නැහැ කියලා නම් පැහැදිලිවම මතකයි. ඒත් එහෙමයි කියලා මම අක්කාගේ පොත් කියවන එක අත ඇරියේ නැහැ. කාලයක් යද්දී නොතේරෙන ප්‍රමාණය අඩු වුණා. කියවන්න ආසාව වැඩි වුණා. පොඩි අක්කා කියව කියවා හිටිය පොතම මමත් කියවන්න අරන් ගෝරි ඇතිවුණේ නැත්තෙත් නැහැ. ඒත් මේ විදිහට මම පොඩි කාලයක් ඇතුලත බොහොම තදින් කියවීමට ඇබ්බැහි වුණා.
ආපස්සට බලද්දී මම ඒ කාලේ හරි වේගෙන් කියවීම් මට්ටම් කීපයක්ම පහු කරලා කියලා හිතෙනවා. ටික කලක් යද්දී මම රහස් පරීක්ෂක කතා කියවන්න ඇබ්බැහි වුණේ Nancy Drew, Hardy Boys පොත් කියවලා වෙන්න ඇති. Erle Stanley Gardnerගේ Perry Mason පොත්, Agatha Christieගේ පොත් කියවන මට්ටමට මම ආවේ අවුරුදු දහයක් වෙන්න කළින් නේද කියලා තේරෙන්නේ මට අවුරුදු දහයේදී අපි පදිංචියට ලංකාවට ආව නිසායි, ලංකාවේදී මට ඒ විදිහට පොත් කියවන්න පහසුකමක් තිබුණේ නැති නිසායි. වික්ටෝරියා පුස්තකාලෙන් ඒ පොත් ගනිද්දී ගැටළුවක් නොවුණේ අපි තුන්දෙනාගෙම පොත් එකට ගත්තු නිසා වෙන්න ඇති. නැත්නම් අවුරුදු අටක නමයක ළමයෙකුට ඒවගේ පොත් පුස්තකාලෙකින් ගන්න ලැබෙන එකක් නැති බව නම් මට විස්වාසයි, ඒ කාලේ වුණත්!
ලංකාවට ආවාට පස්සේ මගේ කියවීම එහෙමම අඩාල වුණා. අපේ ගෙවල් කිට්ටුව තිබුණු පුස්තකාලේ පොත් තිබුණේ ඉබි යතුරු දාලා. මං වගේ දොඩම් ගෙඩි දෙකක් උස නැති කෙල්ලෙක් ගිහින් ඒවා කියවන්න ඉල්ලන එක අමුතු දෙයක් වුණා. ඒත් මම මගේ උත්සාහය අත් ඇරියේ නැහැ. දවස් දෙකතුනකට සැරයක් ඇවිත් පොත් ඉල්ලන මගේ කරදරෙන් බේරෙන්න බැරි තැන ඉංග්‍රීසි නවකතා තිබුණු අල්මාරියේ දොර මං වෙනුවෙන් ඇරුනා. ඒ පොත් ඔක්කොම කොළ පාට හම් බැම්මෙන් බැඳලා තිබුණේ. පොතේ නම බලන්න අතට අරගෙන පෙරළලා බලන්නම වුණා. එතැන තිබුණු සමහර පොත් සෑහෙන්න පරණයි. ඒවා වැඩි හරියක්ම මට ඇල්ලුවේ නැහැ. ඒත් කියවන්න වටිනා පොත් නොතිබුණාමත් නෙමෙයි. මදි පාඩුවට මම ගෙදර මිටි ගණන් තිබුණු තාත්තාගේ පරණ Readers Digest පොත් ආයෙත් ආයෙත් කියෙව්වා. මේ කාලේ වෙද්දී අපේ ගෙවල් වලට තරමක් එහා, ප්‍රජා සංවිධානයකින් පෞද්ගලික පුස්තකාලයක් පටන්ගත්තා. සාමාජිකයින්ට එක සැරයකට පොත් දෙකයි, ඒ පොත් දෙක ගනිද්ද්දී රුපියල් දෙකක් ගෙවන්න ඕන. මෙතැනට බස් එකේත් ටිකක් දුර යන්නත් ඕන, තනියම ඒ වගේ ගමන් යන්න ගෙදරින් අවසර ලැබෙන්නෙත් නැහැ. මේවගේ බාධක තිබුණත්, පොත් කියවන්න තිබුණු උනන්දුව නිසාම ඒවා විසඳාගන්න පුළුවන් වුණා. අහල පහළ අක්කලා කවුරුහරි එක්ක ඒ පුස්තකාලෙට යන්න මට අවසර ලැබුණා. පිටරටවලින් ප්‍රදාන ලැබුණු පොත් මහා තොගයක් ඒ පුස්තකාලේ තිබුණා. බොහොම වේගයෙන් කියවන්න තිබුණු හැකියාව නිසා මට සතියකින් පොත් දෙකක් ඉවරකරන්න පුළුවන් වුණා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග නිසා පහු කාලෙක විවේකයක් නැති වෙනකම්ම මම ඒ පුස්තකාලෙන් පොත් කියෙව්වා.
ඊළඟට මගේ පොත් ඉල්ලම වුණේ ජ'පුර සරසවියේ පුස්තකාලය. බෝඩිම් ජීවිතය නිසා ඉක්මනට ගෙදර යන්න හදිසියක් නොතිබුණු කාලයක් ඒක. සරසවියේ වැඩ ත් දාහකුත් එකක් අමතර රාජකාරිත් අතරතුරේදී වුනත් දේශන පටන්ගන්නකම්. දේශන අතර කාලවල, හවස දේශන ඉවරවෙලා හය හත වෙනකම් පොත් කියවන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුණා. එතැන සිංහල පොත් එකතුවත් ඉංග්‍රීසි පොත් එකතුවත් දෙකටම මම එක විදිහට රස වැටුණා. කියවීම් ශාලාවේ කෙළවරක මේසයක් අල්ලාගෙන, ෆෑන් වල ගහලා තිබුණු අංක බලලා හරියටම ඉහට ඉහළින් තිබුණු ෆෑන් එකත් දාගෙන පොත් මිටියක් ළඟ තියාගෙන එක හුස්මට කියවගෙන යන්න කාගෙන්වත් බාධාවක් තිබුණේ නැහැ. මගේ තනියට ඒ වගේම පොත් පිස්සුව තියෙන යාලුවොත් හිටියා. සමහර දාට පොත් කියවලා හෙම්බත් වෙලා අපි එහෙමම මේසෙට ඔලුව තියාගෙන නිදාගත්තා. මේ පොත් කියවිල්ලට තිබුණු එකම බාධාව කාලෙන් කාලෙට පැවරුම්, පරීක්ෂණ තිබුණු එක. පාඩම් වැඩ තිබුණු දාට විතරක් පුස්තකාලේ යටම තට්ටුවේ reference hall එකට යන්නත් අනිත් හැමදාම පොත් කියවීමේ ඇබ්බැහියට නතු වෙලා ඉහළ තට්ටුවල සැරිසරන්නත් අපි පුරුදු වුණා. පැවරුම් වලට කරුණු හොයන්නත් අමතර කියවීම් වලටත් British Council Library එකේ සාමාජිකත්වය ගන්න අපිට ඒ කාලේ වුවමනා වෙලා තිබුණා. ඒත් ගෙදරින් මාසෙට වියදමට දෙන සල්ලි වලින් ඒ වගේ ලොකු වියදමක් දරන්න බැරි වුණා. ඒ නිසා අපි දෙතුන්දෙනෙක් එකතුවෙලා එක සාමාජිකත්වයක් අරගත්තා. විජේරාමේ ඉඳන් 112 බස් එකේ කොල්ලුපිටියට ගිහින් පොත් තෝරාගෙන ආයෙත් එන්න දවසෙන් බාගයක් ගතවුනත් කිසිම දවසක ඒක කරදරයක් හැටියට අපි සැලකුවේ නැහැ. සමහරවිට විෂය කරුණු පොත් එකක් ගනිද්දී නවකතා දෙකක් අරගෙන ඇවිත් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා නවකතා කියවන්න පුළුවන් නිසා වෙන්න ඇති.
ලංකාවේ මම මුලින්ම රස්සාවකට ගිය තැනත් පුංචි පුස්තකාලයක් තිබුණා. හැබැයි ඒක තිබුණේ එතැන මෙඩිකල් සෙන්ටර් එකේ-පොත් නිකුත් කළේ නර්ස්! ඉරුවාරදයකට සහනයක් හොයාගෙන එතැනට ගිය දවසක ඒ පොත් අල්මාරිය දැකලා මගේ අසනීප ඉබේම හොඳ වුණා. ඒ රස්සාවට යන්න උදේ හවස පැය තුනක් මම මඟ ගත කළා. ඒ ගමනේ එකම සහනය වුණේ ඒ පුංචි පුස්තකාලයෙන් ලැබුණු පොත් ටික. එතැන හිටිය කෙටි කාලේදී මට ඒ පොත් අල්මාරිය කියවලා ඉවරකරන්න පුළුවන් උනා. ලංකාවෙන් එද්දී මගේ පොත් එකතුව එතැනට දීලා එන්නත් පුළුවන් වුණා.
ඒත් මේ හැම කාලෙටම වැඩියෙන් මගේ හිතේ හැටියට සිංහල පොත් කියවන්න ලැබෙන්නේ පිටරටකදී කියලා කවුරුහරි මට ඒ කාලේ කීවා නම් මම හිනාවෙනවා සිකුරුයි. මගේ පොත් කියවීමේ දොළදුක හරියටම සංසිඳුනේ මෙල්බන් නගරයේ පුස්තකාලවලින්. මෙහේ, ගෙදර ඉඳන් පයින් යන දුරකින් තියෙන පුස්තකාලයක අලුත්ම සිංහල පොත් එකතුවක් තිබීම හීනයක් හැබෑ වීමක්මයි. එතැන නැති පොත් අවට සිංහල පොත් තියෙන වෙන පුස්තකාලවලින් ඉල්ලලා ගෙන්නගන්න පුළුවන් වීමත් ඒ හීනයේම තවත් කොටසක්. ඉංග්‍රීසි පොත් නම් ඉතින් කොහොමත් ඕන තරම් තියෙනවානේ. මතක ඇති කාලෙක ඉඳන් පොත් ගැන තිබුණ ආසාවේ ලොකුම හීනය Master of Library Studies තරම් දුර ඉගෙන ගන්න ලැබීම.මේ හැබෑ වුණු හීනේ අතුරුඵල තමයි අළුත් සුවඳ පොත් එක්ක හැමදාම දවස ගත කරන්න ලැබෙන, පුස්තකාලෙට අලුතින්ම ගන්නේ මොන පොත් ද කියලා නිරන්තරයෙන්ම තීරණය කරන්න ලැබෙන (ඒ පොත් කියවලා බලන්නත් ලැබෙන!) රස්සාවක් කරන එක.
මේ විදිහට කියවන්න පොත් නම් ඕන තරම් තිබුණත් ඉස්සර වගේ එක දිගට, එක හුස්මට කියවගෙන කියවගෙන යන්න වෙලාවක් නැති කම තමයි දැන් නම් තියෙන බාධකය. වගකීම යුතුකම් වැඩිවෙද්දී පොඩි කාලේ වගේ ඒ වෙනුවෙන් වෙන්කරන්න තියෙන කාලේ අඩුයි. ඒත් මම වෙලාව හොයා හොයා පොත් කියවනවා කොහොමහරි. කෑම කන ගමන් පැය බාගයයි, (කෑම කද්දී පොත් කියවිල්ල ඉස්සර තාත්තාගෙන් බැනුම් අහන වැඩක්) පුතාව පන්තියෙන් ගන්න ගිහින් වාහනේ ඉඳන් විනාඩි දහයයි... නිදාගන්න කළින් පැය කාලයි. කියවන්න ඕන තරම් පොත් හැම තිස්සෙම අත පාත තියෙන එකම එක විදිහක සැනසිල්ලක්. ඉතින් පොත් තියෙනකම් ජීවිතේ කවදාවත් තනි නැති බව මම දන්නවා. “I have always imagined that Paradise will be a kind of library.” කියලා මම කොහේ හරි කියෙව්වා මතකයි.
Pic- September book purchases at my library




August 25, 2017

සතුට!


කවුළු දොර අත ළඟ ළඟ
හිනැහේ හිස මල් පිරි ගස 
දහස් වර දුටුවත් පෙර
හැඟේ මුල් වර දුටු ලෙස

මල් විසිරුවා සුළඟට
හිනැහෙන දෑස අඩ කොට 
දකිමි, මේ නම් සතුට ය!

ඉතින් හඳුනමි මම
නැතත් හිස ගැවසි මල් රැස





August 11, 2017

වෙහෙසද?



වලාකුළු අතුරන්නා වෙත-

මලානික දුර තරු එළි
නිව නිවා රහසින් පිඹ
සීරුවට රැළි අතුරා...
නිදිගත් තුරුණු කඳු මත


ඉතින් වෙහෙසද මිත?



pic- Bruny Island, Tasmania