මම ඈට රෙබෙකා කියන්නම්. රෙබෙකා මම කළින් රැකියාව කළ ආයතනයක මගේ ප්‍රධානියා. ඒ රැකියාවට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තෝරලා ගත්තේත් රෙබෙකා. "ඔයාව දැක්ක ගමන් අපේ ටීම් එකට හරියනම කෙනා ඔයා බව මම දැනගත්තා" රැකියාවට ගිය මුල් දවසේ එයා මට එහෙම කීවා. රෙබෙකා පුංචි සිරුරක් තියෙන බොහොම ප්‍රියමනාප, හිනාවෙන් දවස ගෙවන කෙනෙක්. ඒත් ඒ පුංචි ශරීරය ඇතුළේ ඕනෑම අභියෝගයකට ඔලුව කෙලින් තියාගෙන මුහුණ දෙන, හරි කෙලින් තීරණ ගන්න බොහොම ශූර කාන්තාවක් ඉන්න බව මම නොබෝ දවසකින් ඉගෙන ගත්තා.
අපේ කණ්ඩායමේ උන්නු තුන්වෙනියා නිකී. රෙබෙකා අනාවැකි කීව විදිහටම අපි තුන්දෙනා බොහොම ඉක්මණින් හොඳම යාළුවො වුණා. මම සතුටින්ම රැකියාව කළ ආයතනයක් ඒක. අපි ඒ දවස්වල විනාඩි පහට ලොකු තීරණ ගත්තේ උදේ කෑම කන ගමන් මේසේ වටේ වාඩිවෙලා. ලොකු ප්‍රශ්න විසඳුවේ කිට්ටුව තිබුණු කොෆී ෂොප් එකකට ඇවිදගෙන ගිහින් කැපුචිනෝ බොන ගමන්. අපි තුන්දෙනා එක වගේ මහන්සි වෙලා ඒ ආයතනයේ ව්‍යාපෘති කීපයක්ම කළා. මෙහෙම බොහොම සමීපව වැඩකරන අතරේ අපි අපේ විස්තර හැම දෙයක්ම බෙදාගත්තා. ඒ දවස්වල රෙබෙකාගේ තාත්තා ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳිමින් හිටියේ. තාත්තාගේ අසනීපය නිසා එයාලගේ ජීවිතවල ඇතිවුණු හැල හැප්පිලි රෙබෙකා අපි එක්ක කීවා. තාත්තා වෙනුවෙන් නිවාඩු ගන්න ඕන උනාම නිකී ත් මාත් රෙබෙකාගේ වැඩ බෙදාගෙන එයාව නිදහස් කළා.
මෙහෙම කාලය ගතවුණා. එක්තරා කාලයකදී රෙබෙකාත් නිකී ත් මාත් තුන්දෙනාම ඒ ආයතනයෙන් වෙන් වෙලා විසිරිලා ගියා. ඉන්පස්සේ අපි තුන් තැනක වැඩ කළත් මාස කීපයකට වතාවක් වත් මුනගැහෙන්න උත්සාහ කළා. එහෙම මුණගැහුණු වෙලාවල් වලට පරණ කතා මතක් කරලා ඇති තරම් හිනාවුණා. කොරෝනා කාලයෙදී අපේ මේ මුණගැහීම් අතපසු වුණත් දුරකථන ඇමතුමකින් කෙටි පණිවිඩයකින් අපේ යාළුකම් ඒ විදිහටම පැවතුණා. ඒත් ඉන්පස්සේ ටික කලක් යද්දී රෙබෙකා ක්‍රම ක්‍රමයෙන් නිහඬ වුණා. එයාගේ ජීවිතේ තිබුණු කරදර සමනය වෙනකම් එයාට නිදහසේ ඉන්න දෙන්න හිතුව නිසා මම නම් ඒ නිහඬ බව දුරස්වීමක් හැටියට ගත්තේ නැහැ.
මෑත දවසක මට නිකී ව හම්බවුණා. අපි ඒ මුණගැහුණේ සෑහෙන්න කාලෙකින්. දැක්ක ගමන් නිකී දුවලා ඇවිත් මාව බදාගෙන එකපාරට අඬන්න පටන්ගත්තා.
"ඇයි නිකී? මොකක් හරි ප්‍රශ්නයක් ද?" මම පුදුමයෙන් ඇහුවා. නිකී කියන්නේ එහෙම ලේසියෙන් අඬන කෙනෙක් නෙමෙයි.
"ඔව් හෙල්මලී. ප්‍රශ්නයක් තමයි. මට නෙමෙයි හැබැයි රෙබෙකාට." නිකී කඳුළු අතරින් කීවා. "ඔයාට මේක ෆෝන් එකෙන් කියන්න මට හිත දුන්නේ නැහැ, ඒකයි කළින් නොකීවේ. ඒකට සොරි"
"ඇයි රෙබෙකා ට මොකද?" මම ඇහුවේ කලබලයෙන්.
"රෙබෙකාට.." නිකී අමාරුවෙන් වචන ගැලපුවා. "රෙබෙකාට ඇල්සයිමර් හෙල්මලී. එයා අපේ පණිවිඩ වලට උත්තර එවන්නේ නැති නිසා මම කියන්නෙත් නැතිව බලෙන් වගේ එයාගේ ගෙදරට ගියා. එයා තමයි ගෙදර දොර ඇරියේ. ඒත් එයා මාව ඇඳිරුවේ වත් නැහැ! කාව හම්බවෙන්නද ආවේ කියලා මගෙන් ඇහුවා. එයාගේ මහත්තයා ඉක්මනට ඇවිත් මට විස්තරේ කිව්වා. රෙබෙකා ගෙදර කිසි කෙනෙක් ව අඳුනන්නෙත් නැහැලු" එහෙම කියලා නිකී ආයෙත් මාව බදාගෙන අඬන්න ගත්තා.
ඉතින්, අසනීපයක කුරිරු බව නිසා හරිම කෙටි කාලයක් ඇතුළත බොහොම සුන්දර මනුස්සයෙක් ඒ විදිහට වියැකිලා ගිහින් තිබුණා.
ඇල්සයිමර්, ඩිමෙන්ෂියා වගේ අසනීප ගැන කළින් අහලා තිබුණත්, ජීවිතේ පළවෙනි වතාවට මට සමීපම කෙනෙක් ගැන එහෙම ආරංචියක් ලැබුණාම දැනුණු කම්පනය නිසායි මේ සටහන ලියවුණේ. රෙබෙකාගේ සැහැල්ලු හිනාව මට දැනුත් මැවිලා පේනවා. ඒ දවස්වල තාත්තාගේ ඇල්සයිමර් රෝගය නිසා පීඩිත වෙලා හිටිය ඈට දෛවය දීලා තියෙන්නේ කුරිරු තෑග්ගක්.
මතකය කියන්නේ අපිව අතීතෙට වගේම වර්තමානයට බැඳලා තියන බොහොම සියුම් තන්තුවක්. ඒක ගිලිහුණු දවසට අපිට අපිවම නැතිවෙනවා වගේම අනෙත් අයටත් අපිව නැතිවෙනවා. මතකය අහිමි වුණත් ඒ පුද්ගලයා ජීවත් වෙනවා. පවුලේ අයට, රැක බලාගන්න අයට රෝගියාගේ අතීත මතක එක්ක ගැටෙමින් මතකය හිස් වුණු අලුත් පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න වෙනවා.
නිකී මුනගැහිලා ආපිට ආවට පස්සේ මට මේ වගේ දේවල් කල්පනා වුණා. සමහර දේවල් අපට වෙනස් කරන්න බැහැ ඒවා ගැන කල්පනා කරන්න විතරයි පුළුවන්. ඒ එක්කම, මතකය අහිමි වුණු රෙබෙකා, ජීවිතේ කලබල අතරේ වුණත් අපි 'අපි' හැටියට ගතකරන හැම මොහොතක්ම වටිනා බව මට මතක් කරලා ගියා කියලාත් හිතුණා.
Have you ever walked along a shoreline, only to have your footprints washed away? That's what Alzheimer's is like. The waves erase the marks we leave behind, and all the sand castles.- Pat Summit
Photo- The perennial version of the Forget-me-not flower, Pentaglottis- captured in the Dandenong Ranges, Melbourne
(පින්තූරය ගැන පසු කතාව- ළඟදී දවසක අපි Dandenong Ranges ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබුණු මඟුල් ගෙදරකට සහභාගී වුණා. ඒක තිබුණේ හරිම ලස්සන පරිසරයක. ඒ ලස්සන බලමින් යද්දී මම අහඹු විදිහට මේ මල් කිනිත්තේ පින්තූරයක් ගත්තා. මම ඒ පරිසරයේ වෙන කිසිම පින්තූරයක් අරගෙන නැති බවත්, ගත්ත මේ මල් කිනිත්ත Forget-me-not වර්ගයේ මලක් බවත් මම දැනගත්තේ ගෙදර ආවාට පස්සේ යි. රෙබෙකා ගැන ආරංචිය මට ලැබුණේ ඊට පස්සේ දවසේ. ඉතින් මේ මල් කිනිත්ත ඈටම තමයි)













