September 11, 2024

ගිම්හාන කවිය




නිවසින් නික්මී
විවිධ දේ බලන්නට යමි

දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස

ඉහලට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව

බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය

බලා සිටිමි
නිසල දිය මත

තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Summer Poem’ by Mary Oliver

Mary Oliver (1935-2019) ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ උපත ලැබූ කිවිඳියකි. ස්වභාව ධර්මයේ සුන්දර බව කවියට කැටි කරගැනීමට මහත් සමත්කමක් දැක්වූ ඇය, කවි පොත් තිහක් පමණ පළ කර තිබේ. Mary Oliver කාව්‍යකරණය සඳහා පුලිට්සර් සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කරගෙන තිබේ.

ලන්ඩන් කවි - සැප්තැම්බර් 2024 කලාපය https://tinyurl.com/4s3n8ra5

Digital art


September 09, 2024

අයිරිස්!

 


අයිරිස්!
තෙත සුළඟ සිපගෙන
නිම්නයක සුපිපෙනු මැන

දේදුන්න නැති දිනයක
කවියක් ව ඉහිරෙනු මැන

*අයිරිස් මලට නම ලැබී ඇත්තේ ග්‍රීක බසින් දේදුන්න යන තේරුම ඇතිවයි

Photo-the very first Iris bloom in my garden


September 02, 2024

වීරයාගේ වීදි කොණ


ඔහුගේ ව්‍යාපාරික ආයතනය තිබුණේ සති පොළ පාරත් ෆාමසියට යන පාරත් කැපෙන තැන වීදියේ කෙළවරයි. මෙයට ‘ආයතනය’ යැයි කීම ගැන විරෝධය පෑමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබුණේ එහි පැවැත්ම දෘෂ්ඨි මායාවක් තරම් වූ බැවිනි. ඔබ රාත්‍රී අටට එහි ගියහොත් ඔහුව දකින්නේ නැත, එමෙන්ම රාත්‍රී දහයටත් ඔහු එතැන නැත. නමුත් අටත් දහයත් අතර කාලයේදී ඔහු පැමිණ තම භාණ්ඩ විකුණා යන්නට යයි. 

“උගේ වාසනාව! දවසටම පැයක් විතර වැඩකරලා රුපියල් දහයක් සාක්කුවේ දාගෙන යනවා, අරෙහෙ උපාධිකාරයෝ ඉන්නවා රස්සාවල් නැතිව - මූට මාසෙට රුපියල් තුන්සීයක්!” ඔහුව දකින්නෝ එසේ කියති. මෙවැනි දේ ඇසෙන විට ඔහුට දැනෙන්නේ නොරිස්සුමකි. “මම දවසම ලිප ළඟ ඉඳන් මේ කෑම ජාති බදින හැටි එයාලා දන්නේ නැහැනේ…” ඔහු කියයි. 

තම යාබද නිවසේ කුකුලා හඬලන විට ඔහු පිබිදෙන නමුත් ඒ කුකුලා පාන්දර තුනට අවදි වී ලතෝනි දෙන දවස් ද ඇත. “අද මොකද කුකුලා කලින් නැගිටගෙන?” රාමා මෙවන් දිනවල පිබිදෙමින් කල්පනා කරන නමුත් ඒ සංඥාව කුමන වෙලාවක ලැබුණත් ඔහුට එය මගහැරිය නොහැක. එබැවින් වේලාව තුන වුවත් හතර වුවත් පිබිදෙන ඔහු, තම දවස අරඹයි. 

රාත්‍රී 8.15 පමණ වෙද්දී තම බඩු මුට්ටු රැගෙන ඔහු නියමිත තැනට පැමිණියේය. ඔහු කෙතරම් දේ ඔසවාගෙන ආවේද යත් බැලූ බැල්මට පෙනුණේ ඔහුට අත් සතරක් ඇති බවයි. විවධ කෑම ජාති සහිත බන්දේසියක් ඔහු තම හිස මත සමබරව විය. ඔහුගේ එක් බාහුවක කුඩා බංකුවක් එල්ලිණි. එක් අතක ලාම්පුවක් සහ අනෙත් අතේ බංකුවේ ගැලවිය හැකි කකුල් විය. මේ ලාම්පුවට පස්තෑල පහක වටිනාකමින් යුතු භූමිතෙල් වැය වූවත් ඔහු එය දල්වා ළඟින්ම තබාගත්තේ විදුලි ආලෝකය පමණක් මත යැපෙන්නට ඔහු අකමැති වූ බැවිනි. ඔහුට සුරැකීමට මාරු කාසි සහ ආම්පන්න බොහෝ විය. 

ලාම්පුවේ එළියෙන් ආලෝකමත් වූ ඔහුගේ කෑම බන්දේසිය දුටු විට ආම රෝගයෙන් පෙලෙන්නෙකුට පවා ඒ දෙස නොබලා එතැනින් යාමට අපහසු විය. එහි එක් පසෙක බොන්ඩා අහුරකි. ඒවා පිම්බී, විශාල ව පෙනුණද මුව තුළම දියවී යාමට සමත් ය. තව පසෙක තට්ටු ගැසූ මස්ලින් රෙදි කැබලි සේ පෙනෙන සුදු පැහැති තෝසේ මිටියකි. ඔහුගේ චපාති කෙතරම් සැහැල්ලු ද යත් සුලැඟිල්ලක් මත ඉන් පනහක් වුව එසවිය හැක. තැම්බූ තාරා බිත්තර පෙනුණේ ඇත්දළින් නිමවූ ගෝල ලෙසයි. මීට අමතරව උදුනක් මත නිරතුරුව නටන කෝපි පෝච්චියක් ද විය. රාමා සතුව වෙනම ඇලුමිනියම් බඳුනක චට්නියක් තිබුණු අතර ඔහු හැම මිළදී ගැනීමක් සමඟම පාහේ ඉන් ස්වල්පයක් නොමිලේ බෙදුවේය. 

සිනමා ශාලාවේ හවස තිරගතවීම අවසන් වූ පසු ඉන් නික්මෙන සෙනඟ තමන්වෙත කැඳවා ගැනීමට ඔහු හැම දිනකම නියම වෙලාවටම ඒ වීදි කොණට පැමිණියේ ය. ඔහු පැමිණීමට පෙර වැරහැලි පෙනුමකින් යුතු වූ එක්තරා කෙසඟ තරුණයෙක් මේ සිංහාසනයට හැමදාම බොරු කිමිකම් පෑ නමුත් අපගේ මිත්‍රයා ඒ ගැන අනවශ්‍යව වද වූයේ නැත. “ඔන්න ඔහේ මම නැති අතරේ ඒ අසරණ මීයාට මෙතැන බිස්නස් කරන්න ඉඩ අරිනවා” යැයි කීමට පවා ඔහු කරුණාවන්ත විය. වීදි කෑම ලෝකයේ කුමාරයා එහි පැමිණෙන්නට විනාඩියකට පෙර අනෙකා අතුරුදන්වීම නිසා මේ කරුණාවට මනා සේ ගරුසරු ලැබී තිබුණු බවක් පෙනුණි. 

රාමාගේ ගනුදෙනුකරුවන් ඔහු ව ප්‍රිය කළේ ය. 

“පයිස හයකට කෝපි කෝප්පයකුත් ඇනාවකට චපාති හතරකුත් වෙන කොහෙන්ද ලැබෙන්නේ?” ඔවුහු ඔහුව අගය කරමින් පැවසූහ. ඔවුහු රාමාගේ බන්දේසිය වටා වටවී ඉන් රිසි රිසි දේ ගත් හ. හැම මොහොතකම ඒ වටා අත් දුසිමක් තරම් කැරකෙනු පෙනුණි. මීට හේතුව ඔහුගේ ගණුදෙනුකරුවන්ට විවිධ ආහාර වර්ග මිළදී ගැනීමට පෙර ඒවා අල්ලා, හොඳින් පරීක්ෂා කර බැලීමට බලය ලැබී තිබීමයි. 

තමන් විකුණන ද්‍රව්‍ය අල්ලා බලන බොහෝ දෑත් ඔහු වටා තිබුණ ද, කවුරුන් විසින් කුමන කෑමක් ගනු ලැබී ද යන්න ඔහු නිවැරදිව දැන සිටියේ ය. ඕනෑම වේලාවකදී චපාති තෝරන්නේ කවර අශ්ව කරත්තකරු ද යන වග විස්මය දනවන ඉවකින් දැන සිටි ඔහුට, අවශ්‍ය නම් ඒ කරත්තයේ ලියාපදිංචි අංකය පවා කියන්නට හැකියාව තිබිණි. බියෙන් සැකයෙන් යුතුව සෙනඟ අතරින් මතුවෙන මේ පැල්ලම් සහිත අත නම් සපත්තු මදින කොලුවාගේ බවත්, මල්ලව පොර ශූරයාගේ අත ඉස්තරම් තාරා බිත්තරයක් සොයා මතුවන වෙලාවත්, කෑමට පෙර ඒ බිත්තරය බන්දේසියේ වැදෙන මොහොතත් ඔහු හරියාකාවරම දැන සිටියේය. 

රාමාගේ ගනුදෙනුකරුවෝ පදික වේදිකාවේ සැරිසැරූ ජනගහනයෙන් කොටසක් විය. උදාහරණයක් හැටියට ඔහු වෙතට එන සපත්තු මදින කොල්ලෝ දවස පුරාවටම සපත්තු පොලිෂ් සහ බුරුසුවක් ලූ මල්ලක් කරේ එල්ලාගෙන “පොලිෂ් සර්, පොලිෂ්!” කියමින් ඒ මේ අත යන අයයි. මේ අසරණයන් වෙනුවෙන් ඔහුගේ හදවතේ මෘදු පදාසයක් තිබිණි. කිසියම් තරබාරු ගනුදෙනුකරුවෙකු මේ කොල්ලන් සමඟ සපත්තු මැදීමේ සේවාවේ මිළ පිළිබඳ ව හෙට්ටු කරනු දුටු විට “ලෝබකම් නොකර ඒ අහිංසකයාට ටිකක් වැඩිපුර කීයක් හරි දෙනවා! තව අන්නාවක් වැඩිපුර ලැබුණොත් ඌ ට තෝසෙකුයි චපාතියකුයි කන්න පුළුවන්. නැත්නම් ඌ ට බාගෙට කාලා දවස පුරාම බඩගින්නේ ඉන්න වෙන්නේ” යැයි කෑ ගසා කීමට ඔහුට සිතේ. 

ඒ දරුවන්ගේ ගිලී ගිය කුසගිනි දෑස් ඔහුගේ හදවත රිදවුවේය. ඔවුන් ඇඳ සිටි වැරහැලි දැකීම ඔහුට වේදනාවක් විය. ඔවුන් තම දුඹුරු පැහැ මලු පසෙක තබා ඔහු වෙත එද්දී පෙන්වන දැඩි උනන්දුව ඔහුව ශෝකයෙන් පුරවාලීය. එහෙත් ඔහුට කළ හැක්කේ කුමක්ද? ඔහුට ඔහුගේ වෙළඳාමද පින් පිණිස කළ හැකි වූවක් නොවේ. ඔහු ඔවුන් වෙනුවෙන් සකසන කෝපි කෝප්ප බාගය අඟලට මැන දුන් නමුත් ඔවුන්ට ඕනෑතරම් වෙලාවක් ඒ වීදුරුව වෙත ඇලී ගැලී සිටීමට ඉඩ ලැබුණි. 

දවස පුරාම විශාල හෝටලය ඉදිරිපස හිඟමන් ඉල්ලා බැගෑපත් වන අන්ධ හිඟන්නා දවස අවසානයේ තමන්ගේ ඉපයීම් වලින් කොටසක් රාමා වෙත ගෙනැවිත් දී කෑම බීම ඉල්ලා සිටියේය. තණකොළ විකුණන ගැහැණුන් ද මෙසේ පැමිණි ගනුදෙනුකරුවන් අතර විය. ඔවුන් පැමිණියේ තම හිස් මත තබාගෙන උන් තණකොළ මිටි සාර්ථකව විකුණා අවසන් වූ පසු ය. ඔවුන්ගේ උස් කරච්චල් කටහඬ ඔහුට නොරිස්සුම්සහගත වූ අතර ඔවුන්ට කෑම ලබාදීමට ඔහු ප්‍රිය කළේ නැත. නොන්ඩියක් සහිතව ඇවිදින කපටි මිනිසාත් දිනපතා ඔහු වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් අතර විය. හැම ආහාර වර්ගයක්ම එක් කර සැකසූ පාර්සලයක් මිළදීගන්නා ඔහු, එය පාරෙන් අනෙත් පස පදික වේදිකාවේ ගසක් යට සිටගෙන සිටින වෛශ්‍යාවක් වැනි ගැහැනියක් වෙත ගෙන ගියේ ය.

මේ පෙදෙසේ ගැහැනුන් සහ මිනිසුන් විවිධ රැකියා කර උපයාගත් කාසි සියල්ලම දවස අවසානයේදී පැමිණියේ රාමා වෙතටයි. මේ මුදල ඔහු කුඩා රෙදි මල්ලක බහා තම කමිසය යටින් බෙල්ලේ එල්ලාගෙන සිටියේය. සිනමා හලේ රාත්‍රී විකාශය ඇරඹී, එහි යන හැම කෙනෙකුම චිත්‍රපටිය බලද්දී කන්නට දෙයක් මිළදී ගත් බවට සැක හැරගත් පසු ඔහු තම නිවස බලා පිටත් වේ. 

ඔහු ජීවත් වූයේ සති පොළ පසුපස වූ දෙවන වීදියේ ය. ඔහුට ඇතුළු වන්නට බිරිඳ දොර විවර කළ විට ඒ නිවසේ නිරතුරුව දැනුණු දැවුණු තෙල් පුසුඹ රාත්‍රී අවකාශයට එක් විය. ඇය ඔහු අත වූ බඩු මුට්ටු ඩැහැගෙන, ඔහුගේ කමිසය යටින් අත යවා රෙදි මල්ල ඉවතට ඇද වහා වහා එහි වූ මුදල ගණන් කළා ය. ඉනික්බිති එළඹුණේ ඔවුන් ඒ මුදල ගැන උදම්වන වෙලාවයි. “උදේ ආයෝජනය කළ රුපියල් පහට දැන් තව රුපියල් පහක් ලැබිලා..” ගණිතයේ ගුණකිරීම නම් විශිෂ්ඨ මායා බලැති ක්‍රියාව ගැන ඔවුහු මෙනෙහි කළහ. පසුදින ආයෝජනය සඳහා සෑහෙන මුදල නැවතත් රෙදි මල්ලට දැමූ ඈ, ප්‍රවේසමෙන් ලාභය වෙන් කර, වසර ගණනකට පෙර තමන් විවාහ වී මෙහි එද්දී ගෙන ආ කුඩා ලී පෙට්ටියක එය බහාලූවාය. 

රාත්‍රී ආහාරයෙන් පසු රාමා බුලත් කොළයක් සහ දුම්කොළ කැබැල්ලක් හක්කට තද කරගෙන නිවසේ බරාඳයට ගොස් නින්දට වැටුණි. ඔහු සිහිනයෙන් දුටුවේ තමන්ට පදික වේදිකාවෙන් ඉවත් වන්නැයි ගෝරනාඩු කරන පොලිස් කොස්තාපල්වරුන් සහ තමන් විවිධ ලෙඩ රෝග පතුරවමින් නගරයේ ජනගහනය අඩු කරන බව චෝදනා කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ය. නමුත් වාසනාවකට මෙන් සැබෑ ජීවිතයේදී නම් කිසිවෙකු ඔහුට මෙවැනි බරපතල කරදරයක් කළේ නැත. තම සේවා මුරය අවසන් ව එතැනින් නිවස බලා යන පොලිස් කොස්තාපල් ට සහ සෞඛ්‍ය පරීක්ෂක කන්තෝරුවේ සේවකයාට ඉඳහිට කෑම පාර්සල දෙන්නට ඔහු අමතක කළේ නැත. 

සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණි වෙලාවට නම් “මේ කෑම ඔක්කොම වීදුරු පෙට්ටියක දාලා නොවික්කොත් මට දවසක ඒවා විනාශ කරන්න වෙයි, බලාගෙන!” යැයි කීවත් ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ බැවින් ඉන් ඔබ්බට ඒ කාරණය ගැන එළවූයේ නැත. නමුත් ඔහු තනිවම නම් ඒ ගැන බොහෝ කලපනා කර තිබිණි. “මේ මිනිස්සු මේවා කාලා කොහොම ජීවතුන් අතර ඉන්නවද කියලා මට නම් හිතාගන්න බැහැ. එක පැත්තකින් දූවිලි, අනෙත් පැත්තෙන් කුණු කානුව- සමහර විට මේවා කාලා කාලාම මිනිස්සුනට මේ වස විස වලට ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා ඇති.” පිරිසිදුබවේ සහ සනීපාරාක්ෂාවේ මූලික නීති මාලාව රාමා අතින් උල්ලංඝනය වූ බවට සැකයක් නැතත් ඔහුගේ ගනුදෙනුකරුවන් වසර ගණනක් තිස්සේ කිසිම ගැටළුවක් රහිතව ඒ ආහාර අනුභව කර නොමැරී බේරුණා පමණක් නොව යහතින් වැජඹුණු බවක් ද පෙනුණි. 

රාමාගේ ජීවිතය කිසිදු සෝ සන්තාපයක් රහිතව ගෙවුණු ඉතා තෘප්තිකර එකක් බව කිව හැක. තමන්ගේ මහන්සියෙන් පමණක්ම තම ජීවිකාව කළ බව ඔප්පු කළ මේ මනුෂ්‍යයාගේ ජීවිතය, විශ්වය ඝනීබහවනය වී විනාශ වන තුරුම නොවෙනස් ව පැවතීමට ඉඩ තිබිණි. ඔහුගේ වෙළඳාමත් මුදල් සෙවීමත් නිසා කිසිවෙකුට හානියක් නොවූ අතර, ඔහුගේ ආහාර අනුභවයෙන් වැඩිදෙනෙකු මිය ගොස් තිබුණේ නැත. නගරසභාවේ අවිචාරවත් කටයුතු වල ප්‍රතිපලයක් ලෙස ඇතිවන හදිසි අනතුරුත් ඔහුගේ කෑම බීම සැපයීම නිසා ඇති වූ ඒවාත් අතර වැඩි වෙනසක් තිබුණේ නැත. 

නමුත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේදී සදාකාලිකව මෙවැනි සුරක්ෂිතබවක් ළඟා කරගැනීම දුෂ්කර ය. වැඩියෙන් සන්තුෂ්ඨිය ඇති තැන් දකින දෙවිවරු ඒ ගැන කෝප ගෙන හදිසියේම තම නොපහන් බව පෙන්වති. දිනක් රාමා සුපුරුදු ලෙස තම වීදි කොණ වෙත පැමිණි විට එහි සෙනඟ රැස් ව සිටින බවක් දුටුවේය. “කරුණාකරලා අයින් වෙලා ඉඩදෙන්න” ඔහු ආඥාත්මක හඬින් කීවද කිසිවෙකු එය ගණන් ගත්තේ නැත. 

“හවස ඉඳන් කට්ටිය මොකක්දෝ දෙයකට රණ්ඩු වෙනවා!” ලිපිද්‍රව්‍ය වෙළඳසැලේ කුඩා කොලුවා රාමාගේ කමිස අතින් ඇද කීවේය.

“මොනවටද?” ඔහු ඇසුවේය.

“මොනවට හරි…” කොලුවා කීවේය. “මිනිස්සු කියනවා වෙළඳ බදු කන්තෝරුව ළඟ මොකක්ද ඡන්දයක් ගැන පත්‍රිකා බෙදුව කෙනෙකුට පිහියෙන් ඇනලා ලු. කාගේ හරි කෝන්තරයක් වෙන්නත් පුළුවන්. අපිට මොකද? රණ්ඩු වෙන්න ඕන කෙනෙක් රණ්ඩුවුන දෙන්!” 

“තමුසේ කවුද අපි ගැන එහෙම කියන්න?” මෙය ඇසුණු කෙනෙක් කීවේය. 

හැම දෙනාම ඔහු දෙස නොමනාපයෙන් බලන්නට විය. “මනුස්සයෙකුට කතාකරන්නවත් බැරිද දැන්..?” රැස්ව සිටි පිරිසෙන් අයෙක් කීවේය. එය අසා ඔහු අසල සිටි අයෙක් ඔහුට අතුල් පහරක් එල්ල කළේය. රාමා තම බඩු මුට්ටු එල්ලාගෙන අසරණව වටපිට බලමින් පසුවිය. මේ අතුල් පහර සේව නූලක් ඇවිලුවා සේ විය. නොබෝ වෙලාවකින් එතැන රැස්ව සිටි උන් ගුටි ඇන ගනු පෙනුණි. 

“පවතින ක්‍රමය භංග වේවා!” කවුරු හෝ කෑ ගැසීය. 

“අපි හිතුවා වගේම අපිව යටත් කරන්න මේ හැම දෙයක්ම කළින් සැලසුම් කළ, සංවිධානය කළ දේවල්..” තවත් පැත්තකින් ඇසුණි. 

මිනිස්සු කෑ ගැසූහ, සෝඩා බෝතල ප්‍රහාර එල්ල විය, හැම කෙනෙකුම තව කෙනෙකුට පහර දෙන බවක් පෙනුණි. වීදියේ වූ කඩ වෙත කඩා වැදුණු පිරිසක් ඒවා වසා දමන්නට අණ කරනු පෙනුණි. 

“ඇයි අපි වහන්න ඕන?” කඩහිමියෝ විමසූහ. 

“මේ තරම් දෙයක් වෙද්දී තමුසෙලාට බිස්නස් කරන්න හිත හදාගන්න පුළුවන් ද?”

ශිෂ්ඨ සමාජයේ සීමා මායිම් හදිසියේ අතැර දමන ලද බවක් පෙනුණි. හැම කෙනෙක්ම තව කෙනෙකු හා කේන්තියෙන් පසු වූහ. පැයක් යද්දී වටපිට යුධ පිටියක් බවට පත්විය. ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් පැමිණියත් ඉන් තත්ත්වය තවත් නරක අතට හැරුණේ සටනට තවත් පාර්ශවයක් එක් වූ බැවිණි. නීතිය හා සාමය රැකීමටත්, තමන්වම ආරක්ෂා කර ගැනීමටත්, තුවාල වූ බවට සැලකෙන අයව රැකීමටත් පොලිසියට තුන් ආකාරයක රාජකාරියක් විය. වසා නොදැමූ කඩ සාප්පු මංකොල්ලකා තිබිණි.

එක්වරම සිනමා ශාලාවේ දර්ශනවාරය අවසන් වී මහා ජනකායක් මාවතට ඉහිරුණි. මොවුන් ද මේ ගැටුමේ විවිධ තැන් වලට එක් වූහ. පිහි අතින් ගත් මිනිස්සු ඒ මේ අත දිවූ අතර ලේ පෙරා ගත් අය කෙඳිරි ගාමින්, කෑ ගසමින් විය. ගිලන් රථ තැන තැන දක්නට ලැබිණි. පොලීසිය මුලදී පොලු වලින් පහර දීමත්, කඳුළු ගෑස් ප්‍රහාරත් සිදු කළ අතර අන්තිමේදී පිරිස වෙත වෙඩි තබන්නට විය. බොහෝ දෙනා මරණයට පත්විය. තුවාල ලත් සංඛ්‍යාව තුන්දහසට වැඩි බවට මිනිසුන් අතර කතාවක් පැතිරුණද, නිල ආරංචි මාර්ග කියා සිටියේ තුවාල ලැබුවේ පස් දෙනෙකු පමණක් බවත් මරණයට පත් වූ සංඛ්‍යාව හතරකුත් කාලක් බවත් ය. මැදියම් රැයේදී රාමා තමන් සැඟව සිටි බෝක්කුවෙන් පිටතට පැමිණ නිවස බලා ගියේ ය. 

“අද මම වෙනදා ගෙනියන ප්‍රමාණ ගෙනියන්නේ නැහැ, අද වැඩි සෙනඟක් ඉඳී කියලා මම හිතන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මොන යකෙක් වැහුණාද කියලා දෙවියෝ තමයි දන්නේ! ඡන්ද කීපයක් වෙනුවෙන් උන් එකිනෙකාව මරාගන්න ලෑස්තියි...” ඊට පසු දින රාමා සිය බිරිඳ ට කීවේය. ඔහුගේ අනුමානය නිවැරදි විය. එදින සති පොළ වීදියේ සාමාන්‍ය ජනතාවට වඩා පොලිස් නිලධාරීන් දක්නට වූ අතර ඔහුගේ සුපුරුදු වීදි කොණ තදින් රැකවල් ලා තිබිණි. පොලිස්කරුවෙකු පෙන්වූ ඉන් ඈත තැනක ඔහුට තම වෙළඳාම කරන්නට සිදු විය. 

කෝලාහලයේදී සිදු වූ වෙඩි තැබීම් සාධාරණ ද යන වග සහ මින් මතු මෙවැන්නක් සිදුවීම වළක්වන්නට පොලිසිය ගත් පියවර යනාදී දේ ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සියලුම පුවත්පත් ඝෝෂා කරන්නට පටන් ගෙන දින දහයක් පමණ ගතවෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. තමන් ඉදිරිපිට නූතන ඉතිහාසය දිගහැරෙන ආකාරය පුවත්පත් විකුණන කොලුවන්ගේ සිරස්තල කෑ ගැසීම් ඔස්සේ නිරීක්ෂණය කළ රාමා, ටික දවසක් ගතවෙද්දී නැවතත් තමන්ගේ සුපුරුදු වීදි කොණ වෙත යන්නට උත්සාහ කළේය. ඔහු එහි තම බන්දේසිය සූදානම් කර බංකුවේ අසුන් ගත් සැණින් නිල පදක්කම් පැළඳු තරුණයන් දෙදෙනෙක් ඔහු වෙත පැමිණියහ.

“මෙතැන වෙළඳාම් කරන්න බැහැ.”

“ඇයි බැරි සර්?”

“මෙතැන තමයි එදා අපේ නායකයා තුවාල ලැබූ ශුද්ධ වූ තැන. පොලිසියේ උන් මෙතැනදී තමයි එයාගේ හදවතට තුවක්කු එල්ල කළේ. අපි මෙතැන එයා වෙනුවෙන් ස්මාරකයක් හදනවා. දැන් මේක අපේ තැන. නගර සභාවෙන් අපට මෙතැන දුන්නා.”

නොබෝ දිනකින් මේ වීදි කොණ ලණු ඇද වෙන්කර දැමුණු අතර එහි නිතරම කිසියම් පිරිසක් රැස්ව සිටි බව පෙනුණි. ආධාර සඳහා කැට සෙලවීමත්, ඒවාට මිනිසුන් මුදල් දැමීමත් සිදුවිය. එතැන මුදල් ආකර්ෂණය අතින් කෙතරම් බලගතු ද යන වග රාමා නම් හොඳින් දැන සිටියේය. ගලින් තැනු ස්මාරකයක් ඉදි කිරීමට මුදල් එකතු වූ අතර ඊට අලංකාර වැටක් සහ මල් පෝච්චි එකතු වූ පසු ඒ වීදි කොන සම්පුර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. 

බරපතල, සැර පරුෂ පෙනුමෙන් යුත් විවිධ පුද්ගලයෝ මෙතැනට පැමිණ නිතරම කතා බහේ යෙදී සිටියහ. මෙතැන සිට මීටර් දෙසීයක් තරම් දුර, වීදියේ මැද තැනකට රාමා ට විතැන් වීමට සිදුවිය. මේ නිසා ඔහුගේ ගනුදෙනුකරුවන්ට ඔහු ව එකවර නොපෙනුණි. සිනමා ශාලාවෙන් පිටතට එන්නෝ වෙනත් පැති වලට ඇදී ගියහ. රථවාහන පොලිස් නිලධාරියාගේ මඳ ඉවසීමෙන් ප්‍රයෝජන ගෙන තම රිය පාරේම නවතා යමක් මිළදී ගැනීමට දිව ආ අස් රිය රියැදුරන්ට මෙතරම් දුරක් ඒම දුෂ්කර විය. පෙරදී රාමා ඒ වීදි කොණෙහි නොමැති වෙලාවට එතැන අයිති කරගෙන සිටි කෙසඟ තරුණයා පාරෙන් අනෙත් පස විය. සපත්තු මදින කොලුවන් ඔහු වෙත යමින් සිටි අතර ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙමින් තිබිණි. 

කොයිතරම් අඩුවෙන් කෑම වර්ග සැකසුවත් හැම දිනකම බොහෝ කෑම ඉතිරි වී ආපසු නිවසට ගෙන යාමට රාමාට සිදු විය. මින් කොටසක් ඔවුහු ආහාරයට ගත් අතර බිරිඳගේ උපදෙස් මත ඉතිරිය රත් කර ඔහු පසු දින නැවතත් විකිණීමට ගෙන ආවේය. මේවා ආහාරයට ගත් කීප දෙනෙක් ඔක්කාර කර රාමාගේ කෑම දැන් පෙර සේ රසවත් නොමැති බවට කතාවක් පැතිරවූහ. දිනක් අන්නා දෙකක් පමණක් රෙදි මල්ලේ ඇතිව නිවසට ගිය ඔහු නිවසේ බරාඳයේ හිඳ තම බිරිඳට මේසේ නිවේදනය කළේය.

“මම හිතන්නේ දැන් අපේ ව්‍යාපාරය අසාර්ථකයි. අපි මීට පස්සේ ඒ ගැන හිතන්නේ නැතිව ඉමු.”

තම භාජනත්, බන්දේසියත්, ලාම්පුවත් පසෙකට දැමූ රාමා විශ්‍රාම සුවයෙන් ජීවිතයේ ඉතිරි ටික ගෙවන්නට සූදානම් වූයේය. ටික කලකින් තම ඉතුරුම් අවසන් වූ පසු ඔහු නිතරම ශබ්ද විකාශන යන්ත්‍ර ඝෝෂාවෙන් යුක්ත වූ කෝහිනුර් නම් ආපානශාලාවක රැකියාවක් ලබාගැනීමට කටයුතු කළේ ය. එහි ඔහු මසකට රුපියල් විස්සක් ඉපයීම වෙනුවෙන් දවසට පැය අටක් වේටර් රැකියාව කළේය. කොහෙන්දෝ නිරතුරුව ඇසුණු රේඩියෝ හඬ නොරිස්සුවත්, දවස පුරාම ගනුදෙනුකරුවන් යන එන එතැන රැකියාවේ ඔහු රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි. කිසියම් ගනුදෙනුකරුවෙක් ඔහුට ගරු සරු නොමැතිව කතා කළහොත් ඔහු මෙසේ කියනු ඇසේ. 

“පරෙස්සමෙන් කතාකරන්න සහෝදරයා, ඉස්සර කාලෙක මාත් හෝටලයක අයිතිකාරයෙක්!” 

මේ කුඩා ස්මරණයෙන් රාමා මහත් තෘප්තියක් ලැබූ බවක් පෙනුණි. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the short story ‘The Martyr’s Corner’ by R. K Narayan 


සිසිල සඟරාව - සැප්තැම්බර් 2024 කලාපය 

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Picture generated by Canva AI

August 30, 2024

collage චිත්‍ර

ඉස්සර මම ආසාම වැඩක් තමයි collage චිත්‍ර හදන එක. පුංචි පුංචි පාට කොළ කෑලි කපලා කරන මේ වැඩේ මට ඒ කාලේ පිස්සුවක් වෙලා තිබුණා. මේ කලාව මම කොයිතරම් ප්‍රගුණ කරලා තිබුණා ද කියනවා නම් ටිකක් කල් යද්දී මම බොහොම පුංචි, සියුම් collage පවා කළා. මේවායේ සමහර පුංචි කොළ කෑලි කොයි මම ඇලෙව්වේ ඉඳිකටු තුඩින්. මේ සියුම් කැපිලි වලට මට පුංචි කතුරකුත් තිබුණා මතකයි.

මෙහෙම චිත්‍ර හදන්න උවමනා පාට කඩදාසි එකතු කරන එක ඒ කාලේ මගේ ලොකුම වැඩක්. ඉස්සර ඒවා තියෙන සඟරා එහෙම වැඩිය තිබුණේ නැහැනේ. මගේ මේ mission එක දන්නා නිසා මගේ නෑදෑ හිත මිත්‍රයෝ මට එයාලාට හම්බවුන පාට කොළ තියෙන කැලැන්ඩර්, කාඩ් එහෙම දෙනවා. මේවා පුරවපු පෙට්ටියක් ඒ කාලේ මගේ ඇඳ යට තිබුණා. collage එකක් හදන්න හිතුනාම ඇඳ යටින් මේ පෙට්ටිය ඇදලා අරගෙන කාමරේ පුරාම කොළ කෑලි විසුරුවාගෙන මම පින්තූර හදනවා. සමහර වෙලාවට ඒවාට පැය ගාණක් යනවා. ඒත් වෙලාව ගතවෙනවා දැනෙන්නේ වත් නැහැ.

මගේ teen වයසේ වගේම වයස විසි ගණන් කාලේත් මගේ මිතුරු circles වල හිටිය හැමෝටම වගේ මම මේ විදිහට collage එකක් කරලා හදපු නිර්මාණයක් මගෙන් ලැබිලා තියෙනවා මගේ හිතේ. ඒ කාලේ එයාලගේ උපන්දින වලට, දුක හිතුණු කෙනෙකුට හිත හැදෙන්න වගේම කිසිම හේතුවක් නැතිව ආදරේටත් මම මේවා දුන්නා. ඒ වගේම කැම්පස් යන කාලේ මම නැවතිලා හිටිය බෝඩිමක බිත්ති පාලුයි කියලා කාටූන් චරිත කීපයක්- Sylvester, Piglet, Pooh වගේ කට්ටියගේ පින්තූර මම collage හදාගෙන ගිහින් බිත්තිවල ගැහුවා කියලා මගේ බෝඩිම් සගයෝ සාක්කි.

එක වතාවක් මගේ යාලුවෙකුගේ උපන්දිනයට කාඩ් එකකට මම Donald Duck කෙනෙක් හැදුවා. පැය ගාණක් මහන්සි වෙලා හදපු කාඩ් එක හරි ලස්සනට ආවා, ඉතින් මම ඒක ඉක්මණින් තැපැල් කළා. දවසකට දෙකකට පස්සේ ඒ යාලුවාගෙන් මට කෝල් එකක් එනවා. "හෙල්මලී, මට මේ ආව Donald Duck කාඩ් එක ඔයාගෙන්ද?" බලද්දී පැය ගාණක් මහන්සි වෙලා හැදුව කාඩ් එක මම යවලා තියෙන්නේ ඇතුලේ කිසිම දෙයක් නොලියායි! මේ වගේ collage පිස්සුවක් තියෙන්නේ මට නිසා ඒ මගෙන් බව එයා අනුමාන කරලා.

Stress relief activities ගැන ලොකුවට නොදන්නා කාලෙක පාඩම් වැඩ වලින් හෙම්බත් වුණාම මෙහෙම එක දේකට පැය ගාණක් අවධානය යොමු කරගෙන collage කරපු එකත් එක්තරා විදිහක භාවනාවක් නේද කියලා දැන් හිතෙනවා.

දැන් නම් මම වැඩිපුරම කරන්නේ චිත්‍ර අඳින එක. ඒත් පොඩ්ඩක් හිතුවොත් දැනුත් collage බැරි නැහැ.

මේ එහෙම හදපු collage book mark එකක්. මේකේ මුළු දිග අඟල් හයක් විතර ඇති. 




August 22, 2024

Book Week 2024

අගෝස්තු මාසේ තුන්වෙනි සතිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල්වල 'Book Week' හෙවත් පොත් සමරන සතිය. මේ සතිය බොහෝ වෙලාවට සංවිධානය කරන්නේ ඉස්කෝලවල පුස්තකාලවලින්. මේ රටේ ප්‍රාථමික පාසල්වල පවා සම්පත් බහුල පුස්තකාල තිබීම විශේෂත්වයක්. ඉතින් පුංචි කාලේ ඉඳන් දරුවන් තුළ ඇති කියවීමේ ආසාව සමරන්න හොඳම කාලයක් මේ Book Week එක. 

මේ සතියේදී පාසල්වල විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙනවා. පොත් කතුවරු අමුත්තන් හැටියට ගෙන්වලා සකච්ඡා, වැඩමුළු පවත්වනවා, පොත් සල්පිල්, ප්‍රදර්ශන, පොත් ගැන පුංචි තරඟ තියෙනවා. ඒ වගේම මේ සතියේ දවසක ඉස්කෝලවල book week parade එකක් තියෙනවා. එදාට ළමයින්ට පොතක තමන් කැමතිම චරිතයක් විදිහට ඇඳගෙන එන්න පුළුවන්. ගුරුවරුත් මේ විනෝදයටම එකතු වෙලා පොත් වල චරිත වගේ ඇඳගෙන එනවා. ඉන්පස්සේ පාසල් රැස්වීමක තමන් ආස පොත් ගැන කතුවරු ගැන හැමෝම අදහස් බෙදාගන්නවා. ඇත්තටම ඒක හරි රසබර අත්දැකීමක්.

Children's Book Council of Australia (CBCA) එකෙන් මේ සතියට සමාන්තරව සම්මාන උළෙලක් පවත්වනවා. එයින් හොඳම ළමා පොතට, යෞවන වයසේ දරුවන්ට ලියවුණු පොත් අතරින් හොඳම පොතට, හොඳම පොත් චිත්‍ර නිර්මාණ ශිල්පියාට වගේ විවිධ අංශවලින් ජයග්‍රාහකයෝ තෝරනවා. ඒ වගේම හැම අවුරුද්දකම Book Week එකට අදාළ තේමා පාඨය තීරණය කරන්නෙත් CBCA එකෙන්. මේ අවුරුද්දේ ඒ පාඨය 'Reading is Magic'. පාසල්වල Book Week උත්සව සංවිධානය කරද්දී මේ තේමාව උදව්වට ගන්නවා. 

මම රැකියාව කරන්නේ ද්විතියික පාසලක පුස්තකාලයක නිසා අපි Book Week සමරන්නේ තරමක් සාහිත්‍යමය පැත්තට බර වෙන්න. පාසලේ විවිධ වසරවලට නිර්දේශිත කියවීම් පොත් ලියූ කතුවරු මේ සතියේ පාසලට ගෙන්වන්න අපි මහන්සි වෙනවා. එයාලාගේ කතාබහ අහද්දී, වැඩමුළු වලට සම්බන්ධ වෙද්දී පාසලේ සිසුවියන්ට ඒ ලිවීම් රටා ගැන, ලිවීමේ ක්‍රමෝපායන් ගැන වඩාත් හොඳ අවබෝධයක් ලැබෙනවා. එයාලට ඒ කතුවරුන්ගෙන් ප්‍රශ්න අහන්න, එයාලා එක්ක තර්ක කරන්න ඉඩකඩ ලැබෙනවා. Book Week එකේ අන්තිම දවස අපි වෙන් කරන්නේ පාසලේ සිසුවියන්ගේ ලේඛන නිර්මාණ බෙදාගන්න අවස්තාවක් දෙන්න. එදාට පුස්තකාලයෙන් open mic event එකක් සංවිධානය කරනවා. දරුවන්ට තමන් ලීව කවි කතා ඉදිරිපත් කරන්න, ඒවා ගැන කතාකරන්න ඒක හොඳ අවස්තාවක්. ඒ වගේම නිර්මාණකරණයේ යෙදෙන ගුරුවරුත් එදාට එයාලගේ නිර්මාණ දරුවන් එක්ක බෙදා ගන්නවා.

ඉතින් මෙහෙමයි ඕස්ට්‍රේලියාවේ අපේ Book Week ගතවෙන්නේ. පොත් කියවීම අපි එදිනෙදා හැමදාම කරන දෙයක් වුණත් පොත් සමරන්න මේ විදිහට සතියක් ලැබෙන එක හරිම සුවිශේෂී දෙයක්. 

Author - Wendy Orr

Caroline Jane Knight- Fifth great niece of Jane Austen

Author - Maxine Beneba Clarke



August 15, 2024

අප හොඳින් සූදානම් ව සිටිය යුතු ය



ප්ලෝවර් කුරුල්ලන් සමුගැනීමේ ගීතය ගයන තාලයට
මිය ඇදුණු නරියෙක්, එක් විවර ඇසකින් කඳු පල්ලම දෙස බලන විදිහට
සියලු පත් ගිලිහී ගොස්, ඉනික්බිති ඇතිවන දිගු ඉසිඹුවට
‘අප කිසිදිනක නැවත හමුනොවිය යුතුයි’ කිසිවෙකු කියන ආකාරයට
කේක් ගෙඩිය පුස්වලින් වැසෙන රටාවට
කිරි යොදය ඇඹුල් වන වේගයට
ආපසු නොඑන්නම ගං දිය ගලා යන රිද්මයට
ආපසු නොඑන්නම දවස් ගතවන තාලයට
යමෙකු නැවත පැමිණියත් ඒ හීනයකම පමණක් වන මොහොතට

අප හොඳින් සූදානම් ව සිටිය යුතුය


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the poem 'We should be well prepared' by Mary Oliver

පසු සටහන
Mary Oliver මම බොහොම කැමති කිවිඳියක්. ඈ ස්වභාව ධර්මය ගැන කවි ලියන විදිහ හරි නැවුම්. ඒ වගේම ඒ කවි වල ජීවිතයත් ලස්සනට පටලවලා තියෙනවා. මෑතක මම මටම තෑග්ගක් හැටියට Mary Oliver ගේ කවිපොතක් ගත්තා. ඒකෙ පිටු 455ක්! ඒ පොත ගැන සටහනක් වෙනම ලියන්න වෙනවා. ඒත් නිසොල්මන් වෙලාවක, අලුතින් අතට ලැබුණු පොත පෙරලද්දී මේ කවිය ළඟ මම නතර වුණා. මේක ඒ මොහොතට හරියටම ගැලපෙන කවිය. මම ඒක ඒ වෙලාවේම පරිවර්තනය කළා. 
මේ හැමදේටම අපි හොඳින් සූදානම් ව සිටිය යුතුයි !  

photo- early spring view from my window

August 12, 2024

කැන්වස් චිත්‍ර!


අපේ පළාතේ පුස්තකාල ජාලයෙන් ළඟදි Tiny Art Show කියලා වැඩසටහනක් සංවිධානය කළා. ඒකෙ ප්‍රචාරණ විස්තර වලදී කියලා තිබුණේ මේ තරඟය වෙනුවෙන් තරඟකරුවන්ට පුස්තකාලයෙන් 10cm x 10cm පුංචි කැන්වස් එකක් ලැබෙන බව. මේකේ චිත්‍ර ඇඳලා පුස්තකාලයට බාර දුන්නාම එයාලා අපිට අංකයක් දීලා චිත්‍ර ටික නම ගම නැතිව තරඟයට ඇතුල් කරලා ජයග්‍රාහකයෝ තෝරනවා කියලාත් තිබුණා. Tiny art show කියලා දෙයක් මම කලින් අහලා තිබුණේ නැති නිසා කුතුහලයටම මාත් මේ තරඟයට ඇතුල් වෙලා කැන්වස් එකක් ගත්තා. 

ඇත්තටම නම් මේ තරම් චිත්‍ර අඳින මම කවදාවත් කැන්වස් එකක චිත්‍ර ඇඳලා තිබුණේ නැහැ  ඒ වගේම කැන්වස් වල අඳින්න පාවිච්චි කරන්න ඕන විශේෂ තීන්ත වර්ග තියෙනවද එහෙමත් මම හොයලා තිබුණේ නැහැ. ඒ නිසා ඕන දෙයක් කියලා හිතලා මගේ ළඟ තියෙන පාටවලින් මේ චිත්‍රය ඇඳලා පුස්තකාලයට භාර දුන්නා. 

ඉතින් එහෙම බොහොම අහඹු විදිහට ඇන්ද චිත්‍රයට මට peoples choice තෑග්ග ලැබිලා කියලා දැනගන්න ලැබුණාම මට ම පුදුමයි!

It is never too late to try something new කියන්නේ ඕවාට තමයි! 



August 02, 2024

අන්තිම පත්‍රය



වොෂින්ටන් චතුරශ්‍රයෙන් බටහිර පෙදෙසේ මංමාවත් බොහෝ පැටලිලි සහගතය. ඒවා ඒ මේ අතට දිව යයි, ‘පෙදෙස්’ යැයි නම් කළ කොටස් වලට කැඩී යයි. මේ ‘පෙදෙස්’ ද නගරයට අමුතුම හැඩතල සහ කෝණ ලබා දී තිබිණි. මින් එක් මාවතක් නම් වට කීපයක් කැරකී දෙතුන් වතාවක් එයම කැපී යන සේ පිහිටා ඇත. වරක් එක් චිත්‍ර ශිල්පියෙක් මේ මාවතේ මෙවැනි සිදුවීමක් විය හැකි යැයි සිතුවේය. මුදල් නොමැති නිසා වෙළඳ සැලකින් චිත්‍ර ඇඳීමේ ආම්පන්න ණයට ගත් සිත්තරෙකු සිටී යයි උපකල්පනය කරන්න. ණයකරු සිත්තරාව සොයාගෙන මේ වීදිය දිගේ පැමිණියේ නම් ඔහුට ණය මුදල නොලබා ආපිට එන තමන්ව වුව මේ මාවතේදී මුණගැසිය හැක!

ඉතින් වැඩි කල් නොගොස් ග්‍රිනිච් විලේජ් යැයි නම් ලබා තිබුණු නගරයේ මේ අපූරු කොටස වෙත සිත්තරුන් පැමිණෙන්නට විය. ඔවුන් සෙව්වේ තමන්ගේ නිර්මාණ කටයුතු වලට ගැලපෙන, මනා සේ ආලෝකය ඇති උතුරු දෙසට හැරුණු ජනේලද, දහ අට වෙනි සියවසේ ආරට තැනුණු කුරිංචි වහලද, ඕලන්ද මෝස්තරයේ සොල්දර සහ මිළෙන් අඩු ගෙවල් කුළී ආදී දෑ ය. ඉනික්බිති ඔවුහු හය වන වීදියෙන් පිව්ටර් ලෝහ කෝප්ප ද, ව්‍යංජන දමන බඳුන් ද ගෙන්වාගෙන ඒ පෙදෙස ජනාවාසයක් බවට පත් කරගත් හ.

සූ සහ ජොන්සි ජීවත් වූයේ මෙහි නූස් තෙමහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ වූ කුඩා නිවසක ය. ‘’ජොන්සි’ නම ජොආනා නමේ කෙටි ව්‍යවහාරය විය. මේ දෙදෙනාගෙන් එක් අයෙකු මේන් නගරයෙන් ද අනෙකා කැළිෆෝනියාවෙන් ද පැමිණ තිබිණි. අටවෙනි වීදියේ “ඩෙල්මෙනිකෝ’නම් අවන්හලකදී මුලින්ම හමුවූ මොවුහු, කතාබහේදී තමන් එකම වර්ගයේ කලා නිර්මාණ, චිකරි සලාද සහ ලොකු අත් දැමූ ගවුම් වලට කැමති බව සොයාගත් අතර පසු කලෙක දෙදෙනා එක නිවසක් කුළියට ගැනීමේ තීරණයට මේවා හේතු විය.

මේ පහුගිය මැයි මාසයේ දී ය.

ශීත කාලය එළඹෙද්දී ග්‍රීනිච් විලේජ් වෙත අමුතුම අමුත්තෙක් පැමිණියේ ය. දොස්තරවරු නියුමෝනියාව ලෙස හැඳින්වූ ඔහු, අයිස් මෙන් සීතල තම අතැඟිලි වලින් අතර මඟ දී හමුවන අය ස්පර්ශ කරමින් ජනපදය පුරා ඇවිද්දේය. මේ අමුත්තා නගරයෙන් නැගෙනහිර පෙදෙසේ එඩිතරව ඇවිද්දේ මහත් සෙනඟක් ගොදුරු කර අඩපණ කර දමමිනි. එහෙත් වංකගිරියක් සේ සැදුණු පටු මාවත් සහ පාසියෙන් හැඩ වූ ‘පෙදෙස්’ සහිත නගරයේ මේ කොටසේ ඔහු ඇවිද ගියේ හෙමි හෙමිනි.

නියුමෝනියා මහතා යහපත් ගති ඇති කරුණාවන්ත මහතෙක් නොවීය. කැලිෆෝනියාවේ මෘදු සුළඟ වැදී තුනී වූ ලේ සහිත, සිරුරෙන් කුඩා තරුණියක් ඔහු වැනි කලහකාරී, තදින් හුස්ම ගන්නා වියපත් මිනිසෙකුට ගැලපෙන ප්‍රතිමල්ලවයෙක් වූයේ නැත. නමුත් ජොන්සි ඔහුගේ ප්‍රහාරයට හසු වූවාය. ඉනික්බිති ඇය තම යකඩ ඇඳේ නිසොල්මන්ව වැතිර, කවුළුවෙන් එපිට යාබද නිවසේ ගඩොල් බිත්තිය දෙස බලාගත්වනම බලා සිටියා ය.

දිනක් කාර්යබහුල දොස්තරවරයා සූ ව කොරිඩෝව වෙත කැඳවූවේය.

“ඇගේ ජීවිතේ බේරීමේ සම්භාවිතාව දහයෙන් එකක් වගේ තමයි,” ඔහු තම අත වූ උෂ්ණත්වමානය සොලවමින් කීවේය. “ඒකත් ඈට ජීවත්වෙන්න උවමනාවක් තියෙනවා නම් විතරයි. අසනීප වුණාම මිනිස්සු මෙහෙම මල්ශාලා ගැනම හිතන්න ගත්තාම වෛද්‍ය විද්‍යාව විහිළුවක් වෙනවා. ඔයාගේ යාලුවා හිත හදාගෙන ඉන්නේ එයාට හොඳ වෙන්නේ නැහැ කියලා. එයාගේ හිතේ මොකක් හරි කරදරයක් තියෙනවද?”

“එයාට කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න වුවමනා වෙලා තිබුණා.” සූ කීවා ය.

“චිත්‍ර? පුහ්! එහෙම නෙමෙයි, දෙසැරයක් හිතන්න වටින මොනවා හරි දෙයක් එයාගේ හිතේ තිබුණා ද? පිරිමියෙක් ගැන එහෙම?”

“පිරිමියෙක්?” සූ අසද්දී ඇගේ කටහඬේ යුදෙව්වන්ට ආවේනික උච්ඡාරණය පැහැදිලිව රැව් දෙනු ඇසිනි. “පිරිමියෙක් ගැන දෙසැරයක්- නෑ නෑ ඩොක්ටර්, එහෙම දෙයක් තිබුණේ නැහැ.”

“ඒක තමයි දුර්වලකම එහෙනම්,” දොස්තරවරයා කීවේය. “විද්‍යාවට කරන්න පුළුවන් හැම දේම මම කරන්නම්. හැබැයි මගේ ලෙඩෙක් තමන්ගේ අවමංගල පෙරහැරේ අශ්ව කරත්ත ගාන ගණන් කරන්න පටන් ගත්ත ගමන් මම මගේ බෙහෙත් වල ඇති සුව කිරීමේ ගුණයේ අනාවැකිය සීයට පනහකින් අඩු කරනවා. ඔයා කොහොමහරි කරලා එයාව ළඟ එන සීත ඍතුවට ගැලපෙන කබා මෝස්‌තර ගැන කතා කරන්න පෙළඹෙව්වොත් එයාගේ ජීවත් වීමේ සම්භාවිතාව පහෙන් එකක් දක්වා ඉහළ යාවි.”

දොස්තරවරයා යන්නට ගිය පසු සූ ඔවුන් චිත්‍ර අඳින කාමරයට ගොස් ජපන් කඩදාසි නැප්කිනයක් පෙඟෙන තුරු හැඬුවාය. ඉනික්බිති ඈ ජොන්සිගේ කාමරයට තම චිත්‍ර ආම්පන්න ද රැගෙන ගියේ කිසි බරක් පතලක් නැති ගමනින්, තාලයක් උරුවම් බාමිනි.

ජොන්සි කවුලුව වෙත මුහුණ හරවා වැතිර සිටියේ ඇඳේ රැල්ලක් වත් නොනඟා ය. ඈ නින්දේ පසු වේ යැයි සිතමින් සූ උරුවම් බෑම නැවත්වූවාය.

ඈ තම ආම්පන්න සකසාගෙන සඟරාවක් වෙත යැවීමට තීන්තයෙන් සිතුවමක් අඳින්නට විය. තරුණ සිත්තරුන් කලාව වෙත මං පාදා ගැනීම සඳහා තරුණ ලේඛකයන් සාහිත්‍යය වෙත මං පාදා ගැනීමට සඟරා වෙත එවූ කතන්දර වෙනුවෙන් සිතුවම් ඇඳිය යුතු ය. සූ මේ කතාවේ කතානායකයා වූ අයිඩහෝ ගොපල්ලාගේ සිතුවම ඇඳ, අශ්වයන් මත ගමනටම ගැලපෙන සේ ඔහු හැඳ සිටි අගනා කලිසම සිතුවම් කරද්දී ඇයට ඇඳ දෙසින් නොකඩවා නැඟෙන පහත් හඬක් ඇසුණි. ඈ වහා වහා ඒ අසලට ගියා ය.

ජොන්සි දෑස් අයාගෙන කවුළුවෙන් පිටත බලා ආපස්සට ගණන් කරමින් සිටියා ය.

“දොළහයි,” ඈ කීවා ය. ඉනික්බිති ටික වෙලාවකින් “එකොළහයි,” කී ඇය, “දහයයි, නමයි, අටයි, හතයි” යැයි එකවරම මෙන් කීවා ය.

මෙසේ ගණන් කිරීමට ඇත්තේ කුමක්දැයි සූ මහත් උනන්දුවෙන් කවුළුවෙන් එපිට බැලුවා ය. පහත පෙනෙන්නට තිබුණේ හිස්, මූසල ගෙවත්තකි. අඩි විස්සක් එපිටින් වූයේ යාබද නිවසක හිස් ගඩොල් බිත්තියයි. මුල කොටස දිරූ පැරණි අයිවි වැලක් මේ ගඩොල් බිත්තියේ මඟක් දුර පැමිණ තිබිණි. ශාරදයේ සීතල හුස්ම වැදී මේ වැලේ බොහෝ පත් ගිලිහී තිබුණු අත‍ර, නිරුවත් වීමට ආසන්න එහි ඉපල් අතු, කැඩී යමින් තිබුණු ගඩොල් අතරේ එල්ලී තිබෙනු පෙනුණි.

“මොකක්ද අනේ?” සූ ඇසුවා ය.

“හයයි,” ජොන්සි රහසින් මෙන් කීවා ය. “දැන් ඒවා ඉක්මණින් ඉක්මණින් වැටෙනවා. දවස් තුනකට කළින් එතැන සීයක් විතර තිබුණා. ඒවා ගනිද්දී මගේ ඔලුවත් රිදුණා. ඒත් දැන් ලේසියි. අන්න තව එකක් වැටුණා. දැන් ඉතිරි පහක් විතරයි.”

“මොනවා පහක් ද කෙල්ලේ? කියන්නකෝ මට”

“අර අයිවි වැලේ කොළ. අන්තිම කොළේ වැටුණාම මාත් යන්න ඕන. ඒ බව මම දවස් තුනක් තිස්සේ දැනගෙන හිටියා. ඇයි දොස්තර ඔයාට කිව්වේ නැද්ද?”

“මේ මොන විකාරයක්ද?” සූ කීවේ මනා සේ මවා ගත පිළිකුලෙනි. “මේ වැලක පරණ අයිවි කොළ වලයි ඔයාට සනීප වෙන එකෙයි මොකක්ද තියෙන සම්බන්දෙ? ඔයා හරි නරකයි, ඉස්සර මේ වැලට ඔයා හරි ආදරෙයි නේ. නිකම් පිස්සියෙක් වෙන්න එපා. මොනවද දන්නවාද දොස්තර උදේ කිව්වේ? එයා කිව්වා ඔට්ටු අල්ලන බාසාවෙන් කිව්වොත් ඔයාට හොඳ වෙන්න තියෙන ඉඩ දහයට එකක වාසියක් කියලා. ඒක නිකම් අපි ට්‍රෑම් එකක නැගලා නිව් යෝක් යන්න, එහෙම නැත්නම් අලුත් ගොඩනැගිල්ලක් පහු කරගෙන යන්න තියෙන සම්භාවිතාව වගේ. දැන් මේ කැඳ ටිකක් බොන්නකෝ. ඊටපස්සේ මේ සුඩී එයාගේ චිත්‍රෙ ඇඳලා ඉවරකරන්න ඕන. එතකොට එයාට පුළුවන් අර කතෘ මිනිහාට ඒක විකුණලා සල්ලි අරගෙන එයාගේ අසනීප දරුවාට පෝට් වයිනුත් කෑදර තමන්ට ඌරු මස් ගාතයකුත් අරගන්න.”

“ඔයා තව වයින් ගේන්න අවශ්‍ය වෙන එකක් නැහැ,” ජෝන්සි කීවේ තම දෑස කවුළුවෙන් එපිට රඳවාගෙනම ය. “අන්න තව එකක් වැටුණා. එපා, මට කැඳ ත් එපා. දැන් ඉතුරු හතරයි. කළුවර වැටෙන්න කලින් අන්තිම කොළෙත් වැටෙනවා මට බලන්න ඕන. ඊටපස්සේ මාත් යනවා.”

“ආදර ජොන්සි,” සූ ඈ වෙත නැඹුරු වෙමින් කීවා ය. “මට පොරොන්දු වෙනවද මම මේ වැඩේ කරලා ඉවර වෙනකම් ජනේලෙන් එළිය නොබලා, ඇස් දෙක වහගෙන ඉන්නවා කියලා. මම මේ චිත්‍ර ටික හෙට වෙද්දී දෙන්න ඕන. මට ඒකට ආලෝකය ඕන, නැත්නම් මම මේ පැලැල්ල පහත් කරනවා.”

“ඔයාට බැරිද එහා කාමරේ ඉඳන් චිත්‍ර අඳින්න?” ජොන්සි සීතල හඬකින් ඇසුවා ය.

“මම වඩාත් කැමතියි ඔයා එක්ක මෙතන ඉන්න,” සූ කීවාය. “අනික මම කැමති නැහැ ඔයා ඔය විකාර අයිවි කොළ දිහා බලනවාට.”

“එහෙනම් ඔයා ඉවර වුන ගමන් මට කියන්නකෝ,” කී ජොන්සි දෑස් පියාගෙන නිසොල්මන් වූවේ බිමට ඇද වැටුණු පිළිමයක් ලෙසිනි. “මට ඒ අන්තිම කොළයත් වැටෙනවා බලන්න ඕන. මට දැන් බලාගෙන ඉඳලා මහන්සියි. මට කල්පනා කරලාත් මහන්සියි. මට හැමදේම අත ඇරලා අර මහන්සිය නිසා වැටිලා යන අසරණ කොළ වගේ පහතට පාවෙලා යන්න ඕන.”

“දැන් නිදාගන්න උත්සාහ කරන්නකෝ,” සූ කීවාය. “මම දැන් යන්න ඕන බර්හ්මන් ට කතා කරලා මට පතල් කාරයාගේ චිත්‍රෙ අඳින්න එයාට ඒ චරිතේ අනුරුවක් හැටියට ඉන්න පුළුවන් ද අහන්න. මම විනාඩියෙන් එනවා, මම එනකම් හෙල්ලෙන්න එපා.”

බර්හ්මන් ඔවුන්ට පහත මාලයේ විසූ වයස්ගත චිත්‍ර ශිල්පියෙකු විය. වයස හැටත් පසු කරමින් සිටි ඔහුට මයිකල් ආන්ජලෝගේ චිත්‍රයේ මෝසස්ට වැනි කැරළි සහිත යටි රැවුලක් තිබිණි. නරාශ්වයෙකුගේ වැනි හිසක් තිබුණත් ඔහුගේ සිරුර කුඩා බහිරවයෙකුගේ වැනි විය. බර්හ්මන් කලාවේ පරාජිතයෙකි. හතලිස් වසරක් තිස්සේ ඔහු පින්සල් හරඹ කළත් කලාවේ දෙවඟනගේ දිගු ගවුමේ වාටිය ස්පර්ශ කිරීමටවත් ඔහුට හැකි වී නැත. හැම විටම ඔහු විශිෂ්ඨ කළා නිර්මාණයක් බිහි කිරීමට සූදානම් ව සිටියත් කිසි දිනක ඒ කාර්යය ආරම්භ කර නොතිබුණි. වසර ගණනක් පුරාවටම ඔහු ඉඳහිට වෙළඳ දැන්වීමක් වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කළා මිස වෙන කිසිම චිත්‍රයක් ඇඳ තිබුණේද නැත. ජනපදයේ තරුණ සිත්තරුන්ට චිත්‍ර ඇඳීමට වෘත්තීය ලෙස පෙනී සිටින මිනිස් අනුරුවක් වෙනුවෙන් ඉහළ මිළක් ගෙවීමට නොහැකි නිසා ඔහු ඒ කාර්යය කර දී යම් මුදලක් ඉපයුවේය. වුවමනාවට වඩා ජින් පානයට ලැදි වූ ඔහු නිතරම කතා කළේ බිහිවන්නට නියමිත තම විශිෂ්ඨ කලා නිර්මාණය ගැනයි. අන් අය ඔහුව දුටුවේ දෙවෙනි මහලේ විසූ තරුණ සිත්තරියන් දෙදෙනා ව ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් ව සිටින, අනුන්ගේ දුර්වලකම් ගැන අවඥාවෙන් සලකන සැර පරුෂ කුඩා වයසක මිනිසෙකු ලෙසයි.

සූ යද්දී ඔහු පහත මාලයේ තම කුටියේ අඩ අඳුරේ සිටි අතර ඔහු වෙතින් ජුනිපර් බෙරී සුවඳක් තදින් වහනය විය. ඔහුගේ කුටියේ එක් කෙළවරක හිස් කැන්වසයක් තිබුණේ ඔහු විසිපස් වසරක් තිස්සේ බලා සිටින විශිෂ්ඨ නිර්මාණයේ නිමිත්ත එළඹෙන තුරුයි. ජොන්සිගේ හිතළුව ගැන ඔහුට විස්තර කළ සූ, ඇයත් නොබෝ දිනකින් ලෝකය අතහැර පත්‍රයක් ලෙසටම දුර්වල ව, සැහැල්ලු ව පාව යනු ඇතැයි තමන්ට ඇති බිය ගැන පැවසුවාය.

මෙවැනි විකාර රූපී මනස්ගාත ගැන තමන්ගේ ඇති පිළිකුලත් අවඥාවත් ගැන බර්හ්මන් කෑ ගසා කීවේ බමන මතින් රත් පැහැ වූ තම දෑසින් කඳුළු වැගිරෙද්දී ය. “මොන විකාරයක්ද?” ඔහු කෑ ගැසුවේය. “වැලකින් කොළ වැටුණා කියලා මිනිස්සු මැරෙනවා කියලා හිතන්න තරම් මෝඩයෝ ඉන්නවාද? මම එන්නේ නැහැ තමුන්ගේ චිත්‍ර ඇඳිල්ලට පෙනී ඉන්නත්, තමුන්ට බැරි වුණා මේ විකාරවලින් යාලුවාව බේරාගන්න. පවු අසරණ ජොන්සි මිස්!”

“ඈට බොහොම අසනීපයි, ඒ වගේම ඈ දුර්වලයි.” සූ කීවාය. “උණ විකාරය නිසා එයාට මේ වගේ අමුතු දේවල් හිතෙනවා. කමක් නැහැ බර්හ්මන් මහත්තයා, මගේ චිත්‍රයට පෙනී ඉන්න ආවේ නැතිවාට කාරි නැහැ, මම නම් හිතන්නේ තමුන් මහා නරක නාකි මිනිහෙක් කියලා.”

“කවුද දැන් එන්න බැහැ කිව්වේ?” බර්හ්මන් කෑගසන්නට විය. “හරි හරි මම එන්නම්, මේක අසනීප ජොන්සි මිස් ට ඉන්න සුදුසු තැනක් නෙමෙයි. මම කවදාහරි මගේ හොඳම චිත්‍රය ඇන්ද දවසට අපි ඔක්කොම මෙහෙන් යමු, දෙවියනේ ඇත්තටම යමු!”

ඔවුහු ඉහල මාලයට යද්දී ජොන්සි නින්දට වැටී සිටියා ය. සූ කවුළුවේ පැලැල්ල පහත් කර බර්හ්මන්ට අනෙත් කාමරය වෙත එන්නට සන් කළා ය. මෙහි සිට ඔවුහු බියපත් දෑසින් කවුළුවෙන් එපිට අයිවි වැල දෙස බලා නිහඬව එකිනෙකා දෙස බැලූහ. හිම ද මුසු වූ නොනවතින වැස්සක් ඇද වැටෙමින් තිබිණි. බර්හ්මන් සූ ගේ චිත්‍රය වෙනුවෙන් පතල්කරුවෙකුගේ අනුරුවක් වන්නට යටිකුරු කරන ලද කේතලයක් මත වාඩි විය.

පසුදා උදයේ පැයක නින්දෙන් පසු අවදි වූ සූ දුටුවේ කවුළුවේ පැලැල්ල වෙත අයාගත් උදාසීන දෑසින් බලා සිටින ජොන්සි ගේ රුවයි.

“මේක අයින් කරන්න, මට බලන්න ඕන” ඈ රහසින් අණ කළා ය.

සූ වෙහෙසුණු මනසින් යුතුව ඒ අණ පිළිපැද්දා ය. පසුගිය රාත්‍රිය පුරාවටම ඇද හැලුණු මහා වැස්සත් හැමූ වියරු සුළඟත් ඉවසාගෙන එකම එක අයිවී පතක් බිත්තිය අද්දර පෙනුණි. එය වැල මත වූ අවසාන පත්‍රය විය. එහි නටුව අසල තවමත් කොළ පැහැති ව පෙනුණු අතර දාර යන්තමින් කහ පැහැති වී තිබිණි. පොළොවෙන් අඩි විස්සක් පමණ උසකින් වූ එය, එඩිතරව වැල මත එල්ලී සිටියේය.

“මේ අන්තිම කොළය,” ජොන්සි කීවාය. “ඊයේ රෑ හුළඟ හමනවා මට ඇහුණා. මම නම් හිතුවේ මේක ඊයේ වැටෙයි කියලා. අද වැටෙයි, ඒ වෙලාවටම මාත් මැරෙයි.”

“අනේ අනේ!” සූ ජොන්සි වෙත නැඹුරුවෙමින් කීවාය. “ඔයාට තමන් ගැන හිතන්න බැරි නම් මං ගැන හිතන්න. එතකොට මම මොකද කරන්නේ?”

එහෙත් ජොන්සි පිළිතුරු දුන්නේ නැත. කෙනෙක් මේ මායාකාරී දුර ගමනට සූදානම් වීම මහත් සේ තනිකම දනවන ක්‍රියාවකි. මේ ගමනේ අරුමෝසම කෙතරම් ඇගේ සිත් ගෙන තිබිණිද යත් ඇගේ ජීවිතයේ වූ සෙසු මිතුදමේ බැමි බුරුල් වූවා සේ විය.

ඒ දවස ගෙවී ගියේ ය. අන්තිම අයිවී පත්‍රය බිත්තිය අද්දර එල්ලී ඇති අයුරු සැන්දෑ අඳුර අතරින් පවා ඔවුන්ට පෙනුණි. ඒ රාත්‍රියේ නැවතත් උතුරු සුළඟ වියරුවෙන් හැමූ අතර වර්ෂාව කවුළුවට පහර දෙනු ඇසිණි. පසු දින උදා වූ විගස කවුළුවේ පැලැල්ල විවර කරන ලෙස ජොන්සි සිත් පිත් නැති ලෙස අණ කළා ය.

එහෙත් අයිවි පත එලෙසම තිබිණි.

ජොන්සි බොහෝ වෙලාවක් ඇඳේ වැතිර ඒ දෙස බලා සිටියා ය. ඉනික්බිති ඈ උදුන අසල කුකුල් මස් සුප් හැඳි ගාමින් සිටි සූ ට කතා කළා ය.

“මම හරි නරක කෙල්ලෙක් සූඩී,” ජොන්සි කීවා ය. “මම කොයි තරම් නපුරු ද කියලා ඔප්පු කරන්න මොකක් හරි බලවේගයක් නිසා අර අන්තිම කොලය ඉතිරිවෙලා. මැරෙන්න හිතෙන එක පවක්. මට දැන් සුප් ටිකක් ගේන්න. ඊටපස්සේ කිරි වලට පෝට් වයින් ටිකක් දාලා ගේන්න- නැහැ මුලින්ම මට අර පොඩි කණ්නාඩිය ගේන්නකෝ. ඊටපස්සේ මගේ කොට්ට ටික ටිකක් උස්සන්න, මම ඇඳේ වාඩිවෙලා ඔයා උයන හැටි බලාගෙන ඉන්නම්.”

ඉන් හෝරාවකට පසු ඈ මෙසේ කීවාය

“සූඩී මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න.”

ඒ හවස්වරුවේ දොස්තර පැමිණියේය. “දැන් ඈ ජීවත්වීමේ සම්භාවිතාව පනහට පනහයි. හොඳට හෙදකම කළොත් ඔයා දිනන ලකුණු තියෙන්නේ.” ඔහු කොරිඩෝවේදී සූ ගේ දුර්වල වෙව්ලන අත අල්ලා කීවේය. “දැන් මම යන්න ඕන පහල තට්ටුවේ තව ලෙඩෙක් බලන්න. බර්හ්මන් කිව්වා එයාගේ නම, සිත්තරෙක් ලු. එයාටත් නියුමෝනියාව. වයසයි දුර්වලයි නිසා එයාගේ නම් තත්ත්වේ බරපතලයි, බේරගන්න බැරි හැඩයි, ඒත් වැඩි සුවපහසුව වෙනුවෙන් අද ඉස්පිරිතාලෙට ගෙනියනවා.”

ඊට පසු දිනයේදී දොස්තර සූ ට මෙසේ කීවේය. “ඔයාගේ යාලුවා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඔයා දිනුවා. හොඳට කෑම බීම දීලා බලාගන්න, එච්චරයි.”

ඒ හවස්වරුවේ සූ, ජොන්සි ඇඳේ වාඩිවී සාළුවක් ගොතමින් සිටි තැනට පැමිණ ඈ වැළඳ ගත්තාය.

“පුංචි සුදු මීයෝ, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. අද බර්හ්මන් මහත්තයා නිවුමෝනියාව හැදිලා ඉස්පිරිතාලේදී නැතිවුණා. එයා අසනීපෙන් හිටියේ දවස් දෙකයි. ගොඩනැගිල්ල පිරිසිදු කරන මනුස්සයා තමයි එයා කාමරේ වේදනාවෙන් ඉන්දැද්දී හොයාගෙන තියෙන්නේ. එයාගේ ඇඳුම් සපත්තු එහෙම තෙතබත් වෙලා ලු තිබුණේ. කාටවත් හිතාගන්න බැරි වෙලා එයා ඒවගේ සීතල වැස්ස දවසක කොහේ ගියාද කියලා. ඊටපස්සේ එයාලා දැකලා එළියේ ඒ වෙද්දීත් පත්තු වෙන ලන්තෑරුමකුත්, ඉනිමගකුත්, කොළ කහ පාට මිශ්‍ර කළ චිත්‍ර අඳින පලත්තකුත් තියෙනවා. අර බලන්න අර බිත්තියේ අන්තිම අයිවි කොලය දිහා. ඒක එක වතාවක් වත් හුළඟට හෙලවුණේ නැත්තේ ඇයි කියලා ඔයාට හිතුණා ද? ඒක තමයි බර්හ්මන්ගේ විශිෂ්ඨ කලා නිර්මාණය. ඒ වැලේ අන්තිම කොලය වැටුණු දවසේ එයා බිත්තියේ ඔය චිත්‍රය ඇඳලා.”


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the short story ‘The Last Leaf’ by O. Henry

සිසිල සඟරාව- අගෝස්තු 2024 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

digital art 

පසු සටහන - මේ කතාව හොයාගන්න ඔත්තුව දුන්න ප්‍රවීණ බ්ලොග් රචක රවී වීරසිංහ තුමා ට ස්තූතියි.

August 01, 2024

සබඳකම



පුරුද්දක් තිබුණා ඔහුට 
ආ විගස, ඇඳුම් උනමින් 
ඔරලෝසුව බලන්නට 

ඔරලෝසුව නොබලාම 
ඈ දැන සිටියා
ඔහු පැයකින් දෙකකින් යන බවත්   

ඔහුගේ ඒ පුරුද්ද 
සුපුරුදු ලෙස 
ඔහු කෑමට ගෙදර යන බව 
ඇයට දැන්වීමට බවත් 

සුරක්ෂිත ව මෙසේ 
ඔවුන්ට වසර ගණනාවක් ගෙවිය හැකිව තිබිණි 
බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම 
නොසෑහෙන නමුත් එහි යමක් විය 

ඒ නොසෑහීමේ තරම 
වැටහුණා ඇයට 
ඇගේ උපන්දිනය සිහිවී 
ඔහු මල් කළඹක් එවූ දා 
ඈට හැඬුම් ආ විට 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 
Translation of the poem ‘The Affair’ by Katharine Gallagher

1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි රැකියාව කරමින් වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි. 

ලන්ඩන් කවි - අගෝස්තු 2024 
Digital art

July 29, 2024

සුවපත් වීම

 


තමන්ගේ විඳවීම තුළ තමන්ගේම භූමිකාව අවංකව තේරුම් ගැනීමත් සුවපත්වීමේ ම කොටසකි.

-Unknown
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

digital art

July 24, 2024

පුතුට


මීට අවුරුදු කීපයකට කළින් මම පුතාට ලීව කවියක් මෑතක දී Suno AI වලින් ගීතයකට හැරෙව්වා. 
මේ- අද කොලූ ගේ උපන්දිනය වෙනුවෙන්

 

July 18, 2024

පළිඟු මැණිකේ මතකද?

කාටද මතක පළිඟු මැණිකේ ටෙලි නාට්ටිය ටී වී එකේ යන කාලේ? මෙහෙම ඇහුවාට මටත් ඒක මුලින් බැලුව හැටි මතක හීනෙන් වගේ තමයි. මේක මුලින්ම ජාතික රූපවාහිනියේ විකාශය වුණේ අසූ ගණන් වල මුල.

1983 අවුරුද්දේ ඉඳන් අවුරුදු කීපයක් අපි සේෂෙල්ස් වල ජීවත් වුණේ. අම්මාත් තාත්තාත් එහේ ගුරුවරු හැටියට රැකියාව කළා, අක්කලාත් මාත් ඉස්කෝලේ ගියා. අසූ ගණන් වල සේෂෙල්ස් වල තව ලංකාවේ පවුල් හත අටක් හිටියා. ඒ අයත් වැඩිහරියක් අපේ දෙමව්පියෝ වගේ ගුරුවරු. රට පොඩි නිසාත්, ලංකාවේ කට්ටිය සීමිත නිසාත් මේ පවුල් ටික හොඳ යාළුවො, නිතරම මුණ ගැහුණා, ට්‍රිප් ගියා, ළමයි එකට සෙල්ලම් කළා.

මේ කාලේ ඒ රටේ රූපවාහිනී නාලිකාවක් පටන් ගත්තම කාලේ. ඒකෙ පොඩි අපිට නම් කාටුන්, ළමා චිත්‍රපටි වගේ දේවල් තිබුණා. හැබැයි වැඩිහිටියන්ට නම් එහෙමකට බලන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා එයාලා මේකට පිලියමක් හොයාගෙන තිබුණා. ඒ තමයි ලංකාවෙන් ටෙලි නාට්‍යය රෙකෝඩ් කරලා ගෙනත් බලන එක. මේ කාලේ ඇත්තටම නම් ලංකාවෙත් ටෙලි නාට්‍යය විකාශය වෙලා තිබුණේ දෙක තුනයි. හැබැයි, ලංකාවෙන් පිට හිටියා කියලා නැහැ අපි ඒවා බැලුවා.

මේ ඩෙක් පීස් හෙවත් VHS යුගය. ඒ කාලේ ටෙලි නාට්ටියක් හරියටම පැය බාගයක් විකාශය වුණා. ඉතින් එක කැසට් එකකට මෙයින් කොටස් පහක් හයක් රෙකෝඩ් කරන්න පුළුවන් වුණා වගේ තමයි මට මතක. මේවා ලංකාවේ කොහෙන් හරි ගත්තාද නැත්නම් ලංකාවේ හිටිය අය ලවා රෙකෝඩ් කරලා තියාගෙන සේෂෙල්ස් වලට ගෙන්නා ගත්තාද කියන විස්තර මට මතක නැහැ- ඒ කාලේ ඉතින් මම පොඩියි නේ! හැබැයි ලංකාවට යන එන අය මේ 'ටෙලි නාට්‍ය කැසට්' නිතරම ගෙනාව බව තමයි මට මතක.

ඉතින් මෙහෙම කැසට් එකක් ලැබුණ දවසට සේෂෙල්ස් වල ලංකාවේ පවුල් හත අට අනිවාර්යයෙන් එකතු වෙනවා. එදාට ඉතින් පොඩි පාටියක් වගේ තමයි. හැමෝම මොනවා හරි කෑම ජාති හදාගෙන එනවා, තාත්තලා ටික බියර් බොනවා. අපි පොඩි උන් ටික හති වැටෙනකම් සෙල්ලම් කරනවා. ලොකු අක්කලා අයියලා බැඩ්මින්ටන් ගහනවා. මේ අතරේ ගෙදර තියෙන ඔක්කොම පුටු ටික ටී වී එක ළඟට එකතු කරගෙන අර ටෙලි නාට්ටිය බලන්න පටන් ගන්නවා. පුටු මදි නම් සමහරු බිම, ඒත් කාටවත් ඒවා ගාණක් නැහැ. මේවා වැඩියෙන්ම රස වින්දේ වැඩිහිටියෝ තමයි. ළමයි නම් මේවා බැලුවේ. එතැනින් එහේ මෙහෙ දුවන ගමන්, හැංගිමුත්තන් සෙල්ලම් කරන ගමන්.

ඔය විදිහට මුල් වතාවට පළිඟු මැණිකේ බලපු වෙලාවෙන් මගේ මතකේ හොඳටම රැඳිලා තියෙන්නේ 'පට් පට් ගාලා සම්තින් එකක් හොයන්න' ඕන බව කීව සූරසේන හෙවත් ශ්‍රියන්ත මෙන්ඩිස්ව. තඩි කැසට් ප්ලේයර් එකකුත් කරේ තියාගෙන පිටරට ඉඳලා ඇවිත් ගමටම සෝබනේ දාන චරිතයක් ඒක. මීට අමතරව මැණික්හාමි ගුරුන්නාන්සේ හැටියට රඟපෑව රෝහණ බැද්දගේ නම් හොඳටම මතක තිබුණේ එයා තාත්තාගේ යාලුවෙක් වුණු, ඉස්සර හොරණ අපේ ගෙදර නිතර ආව ගිය 'රෝහණ අන්කල්' නිසා. චිත්තයක් ඇඳපු මැණිකේ අත්තනායක නුහුරට සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිදලා හැඩ බලන ජවනිකාවක් මතකයි, කෙට්ටුම කෙට්ටු ජැක්සන් ඇන්තනි ගේ මොකක්ද ආදර පලහිලව්වක් මතකයි, තව තොවිලයක් මතකයි. ඇත්තටම නම් ඒ ටෙලි නාට්‍යය බැලිල්ලෙන් මට මතක ඔය ටික විතරයි. ඒත් මට හොඳටම මතක ඒ වයිබ් එක, බොහොම දුරක තිබුණු ලංකාවේ විකාශය වුණු අලුත්ම ටෙලි නාට්‍යයක ඊළඟ කොටස් ටික බලන්න අපේ දෙමව්පියන්ගේ තිබුණු ආසාව, උනන්දුව. ඒවගේම එහෙම හැමෝම එකතු වුණු දවස් වලට අපට ඒ නාට්‍යය ලොකුවට නොතේරුණත් එයාලගේ ඒ සතුට අපටත් බෝ වුණු හැටි. ඇත්තටම පළිඟු මැණිකේ කතාවේ අග මුල තෝරාගන්න මට නම් හම්බවුණේ ඊට අවුරුදු කීපයකට පස්සේ ඒක ලංකාවේදී ආයෙමත් විකාශය වෙද්දී. 

දැන් නම් ලංකාවේ ටෙලි නාට්‍යය ඕන තරම්, ඒවාත් කොටස් සිය ගණන්. ලංකාවේ විකාශය වෙලා ඉවර වුණු මොහොතේම අන්තර්ජාලයෙන් මඟ තොටක ඉඳන් වුණත් අලුත්ම කොටස බලන්න පුළුවන්. දැනුත් ලංකාවෙන් පිට ඉන්න අපි ඉඳලා හිටලා හිතට සෙට් වුණු කතාවක් දෙකක් මෙහෙම බලනවා තමයි. ඒත් ඉතින් ඒවා හිත් වදිනවා අඩුයි. මේ විදිහටම පිට රටක ඉඳන් දශක කීපෙකට එහා බැලුව පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය තාමත් හිතේ සුන්දර හැඟීමක් ඉතුරු කරලා තියෙන්නේ ඒක ඒ කාලේ අමාරුවෙන් බලපු, කලාතුරකින් ලැබුන දෙයක් නිසා වෙන්නැති. එහෙම දේවල් කොහොමත් අගය වැඩිනේ. 


photo- mirrorarts.lk

July 15, 2024

නිහඬ ව පෙම් කරමි



ඔබට නිහඬ ව පෙම් කිරීමට මම තෝරාගනිමි 
ඒ, නිහඬ බව තුළ පිළිකෙව් කිරීමක් නොමැති බැවිනි

ඔබට තනිකම තුළ පෙම් කිරීමට මම තෝරාගනිමි
ඒ, තනිකමේදී මා හැර වෙන කිසිවෙකුට ඔබ අයිති නොවන බැවිනි

ඔබව දුර සිට අගය කිරීමට මම තෝරාගනිමි
ඒ, අප අතර ඇති දුර, වේදනාවෙන් මා මුවාකරන බැවිණි

සුළඟ මත මම ඔබට හාදු එවමි
ඒ, මගේ දෙතොලට වඩා සුළඟ මෘදු බැවිනි

සිහින තුළ මම ඔබව වැළඳ ගනිමි
ඒ, මගේ සිහිනවල ඔබ සදාකාලික බැවිනි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘I choose to love you in silence’ by Rumi

Jalāl al-Dīn Muḥammad Rūmī 13 වන ශතවර්ෂයේ ජීවත් වූ පර්සියානු කවියෙකු සහ දාර්ශනිකයෙකි. මේ වෙද්දී ඔහුගේ කවි භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. ඔහුගේ මරණයෙන් පසු ශතවර්ෂ ගණනාවකට ගෙවී ඇතත්, අදටත් ඔහුගේ නිර්මාණ ලොව පුරාම ප්‍රසිද්ධ ය.

ලන්ඩන් කවි ජූලි 2024

Digital painting  

July 08, 2024

නරි!

 



ඉස්කෝලෙ නිවාඩු කාලෙට නරියෙක් ඇන්දේ නැත්නම් අඩුපාඩුවක්!

Water colour pencils on paper


July 06, 2024

කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති



කැළලිකාරයෝ (2023) - ලියනගේ අමරකීර්ති 
විදර්ශන ප්‍රකාශනයකි 


මේ ලොව හැම කෙනෙක්ම කැළලි සහිත වූවෝ වෙති. මෙයින් ඇතැම් කැළලි ඇසට පෙනෙන ඒවා වන අතර බොහෝ ඒවා එසේ පෙනෙන්නේ නැත. මෙසේ පෙනෙන නොපෙනෙන කැළලි රැසක් සහිත මිනිසුන්ගේ කතාවයි - කැළලිකාරයෝ.

මෙහි කතානායිකාව වන දීපිකා සම්ප්‍රදායට රාමු නොවූ ස්ත්‍රී චරිතකි. ඈ යෞවන වයසේ සිටම තමන්ගේ සිතැඟි මනා සේ හඳුනා, ඒවාට තම ජීවිතය හසුරුවන්නට ඉඩ දෙන්නී ය. පෙම්වතුන් වුව රැකියාව, ධනය, බලය ආදී සම්ප්‍රදායික මිනුම් දඬු වලින් මනින්නේ නැති නිසා ඇය ම ඇගේ ජීවන මඟ අනාවැකි ලැබ තිබුණු මාර්ගයෙන් වෙනස් කරගනී. පසු කාලීනව, කැළලිම සිතුවමට නඟන දරුවා ඉන් මුදවා පාඩම් වැඩ වෙත තල්ලු නොකිරීමටත්, දෛවය විසින් චක්‍රාකාර ගමනකින් පසු යළි සම්මුඛ කළ පැරණි පෙම්වතා වෙත යළි සමීප නොවීමට ත් ඇගේ මේ වෙනස් ගති හේතු වේ. එනිසාම දයාවංශ, සමින්ද, විහඟ සහ ආදිත්‍ය යන පිරිමි චරිත සමඟ ගැටෙමින් එහෙත් නොඇලෙමින් ඇය දිවි මඟ තරණය කරන්නී ය.

මෑත යුගයේ ලංකාවේ සිදුවුණු ජාතිවාදී සංසිද්ධි නිසා ද, ඊට පෙර යුගයේ යුද්ධය නිසා ද රටවැසියන් තුළ ඇතිවූ කැළලි මෙන්ම යෞවනයේ හැඟීම් හරියාකාරව තේරුම් නොගත් වැඩිහිටියන් ඒ තරුණ ජීවිත වල සදාකාලික ව ඉතිරි කළ කැළලි ද - කැළලිකාරයෝ නවකතාව අපට ගෙන හැර පායි.

කැළලිකාරයෝ නවකතාව එක හුස්මට කියවා අවසන් කිරීමට සිත් දෙන මායා බලය සහිත පොතකි.

//දෛවය කරන්නේ නොදන්නා වෙනත් ලෝකයකින් මිනිසුන් ගෙනත් අප හමුවේ තැබීම නොව, අප දන්නා කියන මිනිසුන්ම අලුත් ආකාරයකින් පෙනෙන දෘෂ්ටිකෝණ අප සඳහා විවර කිරීම. හදිසියේ වැටුණු එළියක් වන එවන් කෝණයකින් මනුෂ්‍යයෙක් දැක්කම අපිට ඔවුන් පෙනෙන්නේ ඇහැට විතරක්ම නෙමෙයි, හදවතට // 
-75 පිටුව

July 03, 2024

මා අත්තම්මාට අකුරු ඉගැන්වූ හැටි



මම දොළොස් වියැති තරම් වයසේදී උතුරු කර්නාටකයේ ගම්මානයක මගේ අත්තම්මා සහ සීයා විසූ නිවසේ ඇතැම් කාල වල නතර වී සිටියෙමි. ප්‍රවාහන පහසුකම් ඒ තරම් හොඳ මට්ටමක නොතිබුණු ඒ කාලයේදී අපට උදෑසන පුවත්පත ලැබුණේ හවස් වරුවේ ය. සතිපතා පළ වූ සඟරාව පැමිණියේ දිනක් ප්‍රමාද වූ පසු යි. ගමට පුවත්පත්, සඟරා සහ තැපැල් ගෙන ආ බස් රථය පැමිණෙන තුරු එකල අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු.

මේ කාලයේදී ත්‍රිවේණි නමින් කන්නඩ බසින් ලියූ ඉතා දක්ෂ ප්‍රසිද්ධ ලේඛිකාවක් විය. ඇය ලියූ දේ කියවීමට පහසු වූවා මෙන්ම ඒවා හදවතට ඉතා ළඟ බවක් දැනුණි. ඇගේ රසවත් කතාවලට බොහෝ විට විෂය වූයේ සාමාන්‍ය මිනිසුන් මුහුණ දෙන සංකීර්ණ මානසික ගැටළු විය. ත්‍රිවේණි අඩු වයසින් මිය යෑම කන්නඩ සාහිත්‍යයට සිදු වූ බලවත් අඩුපාඩුවකි. හතලිස් වසරකට පසු පවා තවමත් රසිකයෝ ඇගේ නවකතා අගය කරති.

‘කාශි යාත්‍ර’ නම් ඇගේ නවකතාවක් එකල කර්මවීර නම් සතිපතා නිකුත් වූ කන්නඩ සඟරාවක කොටස් වශයෙන් පළ විය. කාශි නගරයට හෝ බරණැසට වන්දනා ගමනක් යන්නට බලවත් ආසාවෙන් සිටි වයස්ගත කාන්තාවක් ගැන මේ කතාව ගෙතී තිබිණි. කාශි වෙත ගොස් විශ්වේශ්වර දෙවියන් ට පුද පූජා පැවැත්වීම උසස්ම පුන්‍යකර්මයක් ලෙස බොහෝ හින්දුවරු විශ්වාස කළ හ. මේ කතාවේ වයස්ගත කාන්තාවත් මේ විශ්වාසයේ එල්බ සිටි අතර මේ ගමන යාමට සැලසුම් කරද්දී ඇතිවූ අභියෝග මෙහි විස්තර කෙරුණි.. මීට අමතරව මේ කතාවේ අනාථ දැරියක් ද විය. ඈ ආදරයෙන් බැඳී සිටියද ඇයට විවාහය සඳහා මුදල් තිබුණේ නැත. අන්තිමේදී වයස්ගත කාන්තාව තමන් කාශි වෙත යාමට එක්රැස් කරගත් මුදල තරුණියට දෙන්නීය. “විශ්වේශ්වර දෙවියන්ට වන්දනා කරනවාට වඩා මේ අනාථ කෙල්ලගේ සතුට මට වැදගත්” ඈ කියයි.

ක්රිෂ්ටක්කා නම් වූ මගේ අත්තම්මා කිසිදාක පාසැල් ගොස් නොතිබුණු නිසා ඈ කියවීමට දැන සිටියේ නැත. හැම බදාදා දිනකම සඟරාව පැමිණි විට මේ කතාවේ ඊළඟ කොටස ඈට ඇසෙන්නට කියවීමට මම පුරුදු වී සිටියෙමි. මේ වෙලාවට ඈ තමන්ගේ සියලුම වැඩ කටයුතු අමතක කර ඉතා උනන්දුවෙන් මට සවන් දුන්නාය. ඉනික්බිති ඈ මුළු කතාවම මතකයෙන් ආපිට කීවා ය. අත්තම්මා ද කිසිදිනක කාශි වෙත ගොස් නොතිබූ නිසා ඈ කතාවේ කතා නායිකාව සමඟ සිතින් බැඳී සිටියා ය. එබැවින් අන් කවරෙකුටත් වඩා කතාවේ ඊළඟට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ඈ උනන්දු වූ අතර මවෙතින් එය ඇසීමට මඟ බලා සිටියා ය.

සෑම සතියකම ‘කාශි යාත්‍ර’ කතාවේ සිදු වූ දේ දැනගත් පසු ඈ කෝවිල් බිමේ දී තම මිතුරියන් සමඟ ඒ ගැන සාකච්ඡා කළා ය. කුඩා අප ඒ අවට තැන තැන දුවමින් හැංගි මුත්තමේ යෙදුණු එකල නම් මට ඒ කතාවේ ඒ තරම් අවධානය ලැබිය යුතු දෙයක් නොවැටහිණි.

වරක් මම විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට මගේ ඥාති සොයුරු සොයුරියන් සමඟ යාබද ගමකට ගියෙමි. ඒ කාලයේ මේවා සුවිශේෂී උත්සව විය. නිරතුරුව රස කෑම ත්, සෙල්ලම් කිරීමට ඉඩ කඩත් ලැබුණු බැවින් අප කාලය ගතකළේ මහත් ප්‍රීතියෙනි. කාර්යබහුල වැඩිහිටියන්ට අප ගැන සොයාබලන්නට ඉඩකඩ නොතිබුණු බැවින් අපි නිදහස උපරිමයෙන් භුක්ති වින්දෙමු. දිනක් දෙකක් එහි නවතින්නට සූදානම් ව ගිය මම අන්තිමේදී සතියක්ම එහි නැවතී සිටියෙමි.

මා නැවතත් නිවසට පැමිණි විට අත්තම්මා කඳුළු පිරි දෑසින් සිටිනු පෙනුණි. මින් පෙර ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා ඈ කිසි විටෙක හඬනු නොදැක තිබූ නිසා එය දැක මම පුදුමයට පත් වුණෙමි.

“ඇයි අව්වා? මොකක් හරි ප්‍රශ්නයක් ද?” මම ඇසුවෙමි.

මා ඇයට ‘අව්වා’ කී අතර උතුරු කර්ණාටකයේ භාවිත වුනු කන්නඩ බසට අනුව එහි තේරුම ‘අම්මා’ විය. ඈ හිස වැනුවත් පිළිතුරු දුන්නේ නැත. ඇගේ කනස්සල්ලට හේතුව මට නොවැටහුණු අතර ටික වෙලාවකින් මට එය අමතක විය. එදින රාත්‍රී අහාරයෙන් පසු අප නිදාගත්තේ ඇගේ නිවසේ විවෘත බරාඳයේ යි. එය ගිම්හාන රාත්‍රියක් වූ අතර අහසේ පුන් සඳක් පායා තිබුණි. අත්තම්මා මගේ හිස පිරිමදිමින් සිටියා ය. ඈට මා හට යමක් කීමට අවශ්‍ය බව මට දැනුණි.

“ඇයි අව්වා?”මම නැවතත් ඇසුවෙමි.

“මම පුංචි කාලේ මගේ අම්මා නැතිවුණා. ඒ නිසා මාව බලාගන්නවත් මට මඟ කියන්නවත් කවුරුවත් හිටියේ නැහැ. මගේ තාත්තා හරියට වැඩ රාජකාරි තිබ්බ කෙනෙක්. එයා වැඩි කලක් යන්න කළින් ආයෙත් විවාහ වුණා. ඒ කාලේ ගෑනු ළමයි ඉගෙන ගන්න වුවමනායි කියලා කවුරුත් සැලකුවේ නැහැ, ඒ නිසා මම කවදාවත් ඉස්කෝලේ ගියේ නැහැ. බොහොම අඩු වයසකින් මම කසාද බැන්දා, දරුවෝ ලැබුණා. ජීවිතේ බොහොම කලබල වුණා. තව කාලයක් යද්දී මට මුනුපුරු මිනිපිරියොත් ලැබුණා. ඔයාලා හැමෝටම කන්න උයලා දෙන එක මට ලොකු සතුටක් වුණා. ඉස්කෝලේ යන්න බැරි වුණ එක ගැන මට දුකක් දැනුණා තමයි, ඒත් මගේ ළමයින්ටත් එයාලගේ ළමයින්ටත් හොඳින් ඉගෙන ගන්න ඉඩ දෙන්න මම හැමදාම මහන්සි වුණා.”

ඒ රැයේ මැදියමේදී මගේ හැට දෙහැවිරිදි අත්තම්මා, දොළොස් හැවිරිදි මට තම ජීවිත කතාව කියන්නේ ඇයිදැයි මට වැටහුණේ නැත. එහෙත් මා ඈට බෙහෙවින්ම ආදරය කළ අතර ඈ මේ විස්තර කීමට හේතුවක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. ඇගේ මුහුණ බලද්දී එහි කනස්සලු පෙනුමත් ඇගේ දෑසේ පිරුණු කඳුලුත් මට පෙනුණි. ඈ සාමාන්‍යයෙන් නිතරම සිනා මුසු ව සිටි සුන්දර කාන්තාවකි. එදා ඇගේ මුහුණේ වූ දුක්මුසු පෙනුම අදටත් පැහැදිලි ව මගේ මතකයේ රැඳී ඇත. ඉදිරියට නැඹුරු වූ මම ඇගේ අත ගත්තෙමි.

“අව්වා, අඬන්න එපා, මොකක්ද ප්‍රශ්නේ කියලා මට කියන්නකෝ. මට උදව්වක් කරන්න පුළුවන් දෙයක් ද?”

“ඔව් මට දුවගේ උදවු ඕන. ඔයා ගෙදර නොහිටි අතරේ වෙනදා වගේම කර්මවීර සඟරාව ආවා. මම ඒක පෙරළලා බැලුවා, කාශි යාත්‍ර කතාව එක්ක තියෙන පින්තූරේත් මම දැක්කා. ඒත් මට ඒ කිසි දෙයක් කියවාගන්න බැරි වුණා. ඒ කියලා තියෙන දේ තේරුම් යයි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒ අකුරු කීප පාරක් අතගෑවා. ඒත් ඒක එහෙම නොවෙන බව මම දැනගෙන හිටියා. අනේ මම අකුරු ඉගෙන ගත්තා නම් කියලා මට හිතුණා. දුව එනකම් මම මඟ බලාගෙන හිටියා. මට හිතුණා ඔයා වේලාසන ඇවිත් මට කතාව කියවයි කියලා. මට වෙලාවකට හිතුණා ඒ ගමට ඔයාව හොයාගෙන ඇවිත් ඔයාට සඟරාව දීලා කතාව කියවගන්න. මට ඒක මේ ගමේ වෙන කෙනෙකුට වුණත් කියලා කරගන්න තිබුණා, ඒත් මට එහෙම කරන්න ලැජ්ජා හිතුණා. මට දැනුණේ මහා අසරණ, ගැති බවක්. අපිට හොඳින් සල්ලි බාගේ තියෙනවා, ඒත් ස්වාධීන වෙන්න බැරි නම් සල්ලි වලින් වැඩක් තියෙනවද?”

කීමට කිසිත් සිතාගනු නොහැකිව මම නිරුත්තර වූයෙමි. අව්වා තව දුරටත් කතා කළා ය.

“මම තීරණය කළා මම හෙට ඉඳන් කන්නඩ අකුරු ලියන්න කියන්න ඉගෙන ගන්නවා කියලා. ඒකට මම බොහොම මහන්සි වෙන්න ලෑස්තියි. දශේරා උත්සව කාලේ සරස්වතී පූජාව තියන දවස වෙද්දී ඒක කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එදාට මට තනියම නවකතාවක් කියවන්න පුළුවන් වෙන්න ඕන. මට ස්වාධීන වෙන්න ඕන.”

ඇගේ මුහුණෙහි වූ අධිෂ්ඨානය දුටුවත් මට සිනා පහල විය.

“අව්වා, වයස අවුරුදු හැට දෙකක් වෙලා ඔයාට අකුරු ඉගෙන ගන්න හිතුණා? ඔයාගේ කොන්ඩෙත් සුදු වෙලා, අත් දෙකත් රැළි වැටිලා, ඔයා කණ්ණාඩි දානවා, කුස්සියේ වැඩත් සෑහෙන්න තියෙනවා…”

බොළඳ දැරියක ලෙසින් මම ඇයට විහිළු කළෙමි. එහෙත් ඈ සිනාසුණා පමණයි.

“හොඳ දෙයක් වෙනුවෙන් මහන්සි වෙද්දී බාධක ජය ගන්න පුළුවන්. කාටත් වැඩියෙන් මහන්සිවෙලා මම කොහොම හරි ඒක කරගන්නවා. ඉගෙනීමට වයස් සීමාවක් නැහැ.”

ඊට පසු දින සිට මගේ ඉගැන්වීම ඇරඹිණි. අව්වා අපූරු සිසුවියක් විය. ඈ සම්පූර්ණ කළ ගෙදර වැඩ ප්‍රමාණය මා මවිත කළේ ය. ඉගැන්නූ දේ කිහිප වතාවක් කියවමින්, ලියමින්, වර නඟමින් ඈ උගත්තා ය. මා ඇගේ එකම ගුරුවරිය වූ අතර ඈ මගේ පළමු ශිෂ්‍යාව වූවා ය. මා පසු කලෙක පරිගණක විද්‍යාව විෂයේ ගුරුවරියක් වී සිසුන් දහස් ගණනකට උගන්වනු ඇතැයි එකල මා දැන සිටියේ නැත.

දශේරා උත්සව සමය එළඹිණි. ඒ වෙද්දී කාශි යාත්‍ර කතාව නවකතාවක් ලෙස පළවී තිබුණු අතර මා එය රහසින් මිළදී ගෙන තිබිණි. දිනක් පූජා මණ්ඩපය වෙත මා කැඳවූ අත්තම්මා, මා නූස් අසුනක හිඳුවා, මට ගවුම් රෙද්දක් තෑගි කළා ය. ඉනික්බිති අමුතු දෙයක් කරමින් බිමට නැඹුරු වූ ඈ මගේ දෙපා අල්ලා නමස්කාර කළා ය. මහත් පුදුමයට පත්වූ මම මඳක් පසුබෑවෙමි. වැඩිහිටියන් කිසි විටෙක දරුවන්ට නමස්කාර කරන්නේ නැත. සාමාන්‍යයෙන් මෙලෙස නමස්කාර ලබන්නේ දෙවියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන් පමණක් වූ අතර එය ගෞරව දැක්වීමේ ක්‍රමයක් විය. එහෙත් එදින සිදු වූයේ මේ විශිෂ්ඨ චාරිත්‍රයේ අනෙත් පැත්තයි. එහි නොගැලපෙන බවක් මට දැනුණි.

“මම මේ පාද නමස්කාර කරන්නේ මගේ මිනිපිරියගේ නෙමෙයි, මගේ ගුරුවරියගේ. දුව මට බොහොම ආදරයෙන්, කෙටි කාලයක් ඇතුලත හරිම සාර්ථක ව අකුරු ඉගැන්නුව නිසා මට දැන් බය නැතිව ඕන කතා පොතක් කියවන්න පුළුවන්. දැන් මම ස්වාධීනයි. ගුරුවරයෙකුට ගෞරව දක්වන එක මගේ යුතුකමක්. අපේ පුරාණ පොත පතේ කියලා තියෙනවා නේද වයසවත්, ගෑනු පිරිමි කම වත් නොසලකා ගුරුවරුන්ට ගෞරව කරන්න කියලා?” අත්තම්මා කීවා ය.

ආපිට අත්තම්මාගේ දෙපා නමස්කාර කළ මම මගේ පළමු සිසුවියට ගෙන ආ ත්‍යාගය දුන්නෙමි. එය විවර කළ වහාම ඈ ‘ත්‍රිවේණි ලියූ කාශි යාත්‍ර’ යනුවෙන් එහි නමත් කතෘගේ නමත් කියවූවා ය.

මගේ සිසුවිය ඉහළින්ම සමත් ව ඇති බව එයින් මට වැටහිණි.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘How I Taught My Grandmother to Read’ (2004) by Sudha Murthy

සිසිල සඟරාව - 2024, ජූලි කලාපය. 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

-මේ කෙටිකතාව හොයාගන්න ඔත්තුව දුන්නේ මගේ බ්ලොග් මිතුරියක් වන කුමුදු. ඉතින් ඒ වෙනුවෙන් මේ  ස්තූතිය ඇයටයි. මේ වගේ translatable කතා දැක්කොත් මට කියන්න අමතක කරන්න එපා, ඒ ඔත්තු මට හරි වටිනවා!

Picture generated by Canva AI

June 28, 2024

පිස්සුවෙන් පොත් කියවීම

මේ මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ කතාවක්. මේ පාසල මෙල්බර්න් වල ද්විතීයික බාලිකා පාසලක්, ඒකෙ  දැරිවියෝ පොත් කියවිල්ලට බොහොම මනාපයි. මේ විස්තරය පොත් කියවන්න කැමති එකේ ඊළඟ ලෙවල් එක හෙවත් පිස්සුවෙන් පොත් කියවීමේ අවස්තාවක් ගැන.

ළඟදී දවසක හතේ පන්තියේ දැරියක් පුස්තකාලයේදී මාව හොයාගෙන එනවා. අපි ඈ ට අදීති කියමු. ඈ Keeper of the Lost Cities පොත් මාලාවේ පළවෙනි පොත කියවපු බව කියලා දෙවෙනි පොත හොයාගන්න ඈ ට උදවු කරන්න පුලුවන්ද කියලා අහනවා. පොත available බව library system එකේ පෙන්නුවත් පුස්තකාලය පීරලා හොයද්දි අපි දෙන්නටම ඒක හොයාගන්න බැරිවෙනවා. ඒ එක්කම විවේක කාලය ඉවරවෙනවා. පන්තියට යන්න වෙලාව ආවත් අදීතිගේ මූන හොඳ නැහැ. මම ඇගේ නමත් පන්තියත් අහගන්නවා පොත හොයලා ඈට ඊමේල් පණිවිඩයක් තියන්න පොරොන්දු වෙමින්. ඒ වෙනුවෙන් මට ස්තූති කරන ඈ යන්න කලිනුත් 'මම කොහොම හරි ඉක්මණින් මේ දෙවෙනි පොත කියවන්න ඕන' කියලා මට මතක් කරලා දුවලා යනවා. 

Exile- Part 2 of the Series Keeper of the Lost Cities by Shannon Messenger

අදීති ගියාට පස්සේ තව ටිකක් නිවිහැනහිල්ලේ පොත හොයද්දි මට ඒක හම්බවෙනවා. Winter Reads වෙනුවෙන් හදලා තියෙන display එකක ඒක තිබුණු නිසා යි පොත් රාක්ක අතරේ අපි ඒක නොදැක්කේ. ඉතින් මම ඈට email කරනවා පොත හම්බවුණා ඇවිත් අරගෙන යන්න කියලා. ඊළඟ කාලපරිච්ඡේදයේම පුස්තකාලයට එන ඈ  ප්‍රීතියෙන් ඉපිලෙමින් පොත අරගෙන යනවා. 

කතාව පටන්ගන්නේ දැනුයි. මේ සිද්ධියට පස්සේ දවසේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අදීති පුස්තකාලයට දුවගෙන එනවා කළින් දා අරගෙන ගිය පොතත් අතේ තියාගෙන. මාව හොයාගෙන එන ඇගේ ඇස් දෙක දිලිසෙනවා. 

"මම පොත කියවලා ඉවර කළා!" ඈ රහසින් කියනවා. "ඊයේ රෑ නිදාගන්නේ නැතිවම මම පොත කියෙව්වා!" ඈ කියන්නේ ලොකු හපන්කමක් කළ ගානට. 

පුදුම වෙන මම ඒ පොත අතට අරගෙන පෙරළලා බලනවා. පිටු 568ක්! මට හිනා. "ඉතින් අද නිදිමත නැද්ද?" මගේ ප්‍රශ්නෙට "නෑ!" කියලා හිනාවෙමින්ම උත්තර දෙන ඇය පොත් රාක්ක අතරට දුවලා යනවා. අදීති ඊළඟට මා ළඟට එන්නේ Keeper of the Lost Cities පොත් මාලාවේ ඊළඟ පොත් හතර උස්සාගෙන. ඈ ඉන්නේ පුදුම සන්තෝසෙකින්. 

Keeper of the Lost Cities Series bu Shannon Messenger

"නිදිමරන්න එපා ඉතින් අදීති, හෙමින් සැරේ කියවන්න!"පොත් ටික ඇගේ නමට නිකුත් කරන ගමන් මම කියනවා. 

ඈ හිනාවෙලා පොත් ටික අරගෙන දුවලා යනවා. මම මොනවා කිව්වත් ඈ තව දවස් කීපයක් පොත් කියවන්න නිදි මරණ බව නම් ඒකාන්තයි. ඉතින් ආසාවෙන් පොත් කියවීමෙයි පිස්සුවෙන් පොත් කියවීමෙයි වෙනස ඕක තමයි!

මේ පුංචි  සිද්ධියෙන් මගේ හිත අතීතෙට ගියා. දෙයියනේ අපිත් මෙහෙම පිස්සුවෙන් පොත් කියෙව්ව කාලයක් තිබ්බා නේද කියලා මට මතක් වුණා. මම එහෙම කියවපු එක පොතක් තමයි උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය පොත.

වස්සාන සිහිනය පොත ප්‍රකාශයට පත් වුණේ මම ඕලෙවල් පන්තියේ වගේ ඉන්න කාලේ මගේ හිතේ. ඒ කාලේ ඒක පොතක් විතරක් නෙමෙයි උන්මාදයක් වුණා. ඒකෙ තිබුණු නිසඳැස් කෙල්ලෝ පොත්වල අන්තිම පිටුවල ලිව්වා. පෙම්වතුන්ට ලියුම් වල ලියලා දුන්නා. එහෙම වුණාට ඒ වෙද්දී මට නම් මේ පොත කියවන්න ලැබිලා තිබුණේ නැහැ. අලුතින්ම පළ වුණු ආදර කතාවක් අරන් දෙන්න කියලා අම්මලාට කටක් ඇරලා කියන්නත් බැහැනේ. පොත කියවන්න නොලැබුණු එකට විස්සෝපයෙන් කාලය ගතවෙද්දී එක සිකුරාදා හවසක මගේ නෑදෑ අයියා කෙනෙක් අපේ ගෙදර ආවා. එයාගේ ළඟ අලුත්ම වස්සාන සිහිනය පොතක් තිබුණා. අයියාගෙන් පොත ඉල්ලගෙන බලද්දී මට කැමති නම් ඒක කියවන්න පුළුවන් බවත්, ඒත් ඊළඟ දවසේ එයා පාන්දරින් පිටත් වෙලා යද්දී පොත වුවමනා බවත් කීවා. අදීති ට වගේ නෙමෙයි ඔන්න එදා මට නම් deadline එකක් තිබුණා! ඉතින් මම එදා රෑ නිදාගන්නේ නැතිව වස්සාන සිහිනය කියෙව්වා. අවුරුදු දාසයක විතර කෙල්ලෙක් රැයක් තිස්සේ වස්සාන සිහිනය පොත කියවද්දී කතාවේ ඉන්න චාපා සහ කසුන් වෙනුවෙන් අඬන්නත් සෑහෙන්න වෙලාවක් ගතවුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම හිතන්නේ ඒ මහා රෑ පානේ මම ඒ පොතේ තිබුණු නිසඳැස් සටහන් පොතක ලියාගත්තා ද කොහෙද. කොහොමහරි පස්සෙන්දා වෙද්දී කියවලා ඉවර වෙලා පොත අයිතිකාරයාට භාරදෙන්න මට පුළුවන් වුණා. රෑ තිස්සේ නිදිමරලා අඬ අඬ පොත කියවලා ඇස් රතු වෙලා මූන තඩිස්සි වෙලා තිබුණත් මම හිටියේ කොහොමහරි වස්සාන සිහිනය කියවපු ප්‍රීතියෙන් පිනා ගිහින්. ඉන්පස්සේ සෑහෙන්න කාලයක් යනකම් අර පොතෙන් ලියාගත්ත නිසඳැස් කටපාඩම් වෙලා තිබුණු බවත් දැන් නම් ආසාවට එකක් වත් මතක් නොවෙන බවත් ඒ එක්කම කියන්න වෙනවා. 

උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය source refresh.lk


රැයක් නිදිමරාගෙන පොතක් කියවන්න urge එකක් වැඩිහිටි අපිට එන්නේ නැත්තේ පස්සෙන්දාට තියෙන වැඩ ගැන, නිදි මැරුවාම හැදෙන ඔලුව කැක්කුම් ගැන එහෙම මතක් වෙලා අර සිතිවිල්ල යටපත් වෙන නිසා වෙන්න ඕන. ඒත් යෞවන කාලේදී මේ කිසි දෙයක් වැදගත් නැහැ, එකම එක නැවුම් බලාපොරොත්තුවකින් කිසි මහන්සියක් නැතිව motivate වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට මේ වගේ ඇතිවෙන ඇබ්බැහිවීම් ජීවිතේට පාට එකතු කරනවා කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ කාලේ නිදි මරාගෙන වස්සාන සිහිනය කියපු මං වගේ අයත්, මේ කාලේ නිදි මරාගෙන Keeper of the Lost Cities පොත් කියවන අදීති ලා වගේ අයත් හැමදාටම ඉඳීවි! 


June 25, 2024

සමතුලිතය

සිතින් මවාගත් කුඩා තරාදියක
එක් පසෙක ලමි
මතකය ඉතිරි කර ගිය සුන්බුන්
ඒවා ඇත්තේ බොහොම ටිකකි.

අනෙත්පස ලමි
මට අනුමාන කළ හැකි අනාගත සිද්ධි
සංවත්සර, අහිමිවීම්

එක් පසෙක ලමි
අම්මාගේ සිනිඳු හම් අත්වැස්ම
එය දැන් වැහැරුණු තන බුරුල්ලක් වැනි ය

අනෙත් පස ලමි
මගේ කුඩා මුනුපුරාගේ අතින් ගිලිහුණු
වූල් අත්වැස්මක්
ළඟදීම ඔහුට එය කුඩා වැඩි වනු ඇත

ඔහු තෙහැවිරිදි ය
ඈ යන්නට ගොස් හරියටම තෙවසරකි

සමතුලිතය නම් සරලව
අනාගතය හා අතීතය තරම්ම
වර්තමානය සැබෑවක් වන මොහොතයි
අප පෝෂණය කරන වාතය
නොසිතාම ආශ්වාස ප්‍රශ්වාස කිරීමයි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Balance' by Linda Pastan
Digital painting




June 20, 2024

හොල්මන් ගුහාවට වෙච්ච දේ!


වෙසක් පොසොන් කාලේ ලංකාවේ නම් හැම හන්දියකම දන්සැල් මතු වෙනවානේ. දන්සැල් 'වඳිනවා'කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක්. මේ වතාවේ ලංකාවේ ගංවතුර තිබුණු නිසා දන්සැල් වල දෙන ජාතිත් ඒවා හදන ක්‍රම ගැනත් PHI මහත්තුරු වැඩියෙන් අවධානය යොමුකරනවා කියලා ආරංචි වුණා.

දන්සැල් වලට අමතරව මේ කාලෙට සංවිධානය කෙරෙන ආගමට සම්බන්ධයක් නැති දේවල් දෙදාස් ගණන් වල මුල කාලේදී යම් තහනමකට ලක් වුණා කියලා මතකයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔලු බක්කෝ නටනව වගේ දේවල්. ඒ වගේම දැන් දැන් බුද්ධාගම ගැන අලුත් සැලකිල්ලක් තියෙන නිසා වෙසක් පොසොන් කාලවලට හොල්මන් ගුහාවල්, අපායවල් වගේ දේවලුත් නැවතිලාද කියලා මම නම් දන්නේ නැහැ. මතක ඇති කාලෙක වෙසක් පොසොන් කාලෙට ලංකාවේ නොහිටිය නිසා මේවා ගැන අප්ඩේටඩ් නැහැ.

ලංකාවේ අපේ පළාතේ නම් හොල්මන් ගුහා තහනම් වුණේ ඒ කාලෙමයි. ඒක වුණේ මෙහෙමයි.

එක වෙසක් පෝයකට අපේ පැත්තේ මල්ලිලා සෙට් එකක් හොල්මන් ගුහාවක් හදන්න ලෑස්ති වුණා. මේක ටවුමට කිට්ටුව ලෑස්ති කළ නිසා ටවුමේ තොරණ බලන්න එන සෙනඟ මේකත් බලන්න එයි කියලා තමයි ප්ලෑන් කළේ. ඉතින් වට පිට ඇවිදලා ආධාර එහෙම හොයාගෙන කොල්ලෝ ටික වැඩේට බැස්සා. එක මල්ලි කෙනෙක්ගේ ගෙදරට ඉස්සරහ තිබුණු හිස් ඉඩමේ තමයි මේ ප්‍රොජෙක්ට් එක කෙරුණේ. මෙයාලා කළු ඉටිකොළ වලින් සැහෙන්න දුරට වංගු සහිත ගුහාවක් හදලා, ඒකෙ තැන තැන ඉඳන් නරඹන්නන්ගේ ඇඟට පනින්න වෙස්මූණු දාපු යක්ෂයෝ භූතයෝ ලෑස්ති කළා. ඒ වගේම යටිගිරියෙන් කෑ ගහන සද්ද රෙකෝඩ් කරලා ගුහාවේ තැනින් තැන ඇහෙන්න ස්පීකර් හයිකරන්නත් මේ කොල්ලෝ කුරුට්ටෝ අමතක කළේ නැහැ. මීට අමතරව දෙමව්පියන්ට කණිපින්දම් කියලා එයාලගේ ඇඳිරුම්කම් හරහා මෙයාලා මල් ශාලාවකින් මිනී පෙට්ටියක් පවා හොයාගෙන තිබුණේ ඒකේ මිනියක් වගේ කවුරුහරි වැතිරිලා ඉන්නත් ප්ලෑන් කරමින්. මේ වියදම් කවර් කරන්නත් හදිසියෙවත් ලාබයක් ලැබුණොත් කියලා හිතලාත් හොල්මන් ගුහාවට ඇතුල්වෙන දොරටුවෙන් ටිකට් එකකුත් කඩන්න තමයි නියමිතව තිබුණේ. ඉතින් පලවෙනි දවසේ ඇඳිරි වැටෙද්දී නමෝ විත්තියෙන් කොලු නඩය කළු ඇඳුම් ඇඳලා බය හිතෙන වෙස් මූණු දාගෙන එහෙම ලෑස්ති වුණා. එක කොලුවෙක් අත් දිග සුදු ෂර්ට් එකක්, කළු කලිසමක් එහෙම ඇඳලා මූන සුදු වෙන්න පවුඩර් උලාගෙන අර මිනී පෙට්ටියේ වැතිරිලා හිටියා. එයාට භාරව තිබුණේ, කළුවරේ එතැනින් කවුරු හරි යද්දී එකපාරට නැගිටලා පෙට්ටිය ඇතුළේ ඉඳගන්න.

ඉතින් මෙයාලා හිතුව විදිහටම හොල්මන් ගුහාව ගැන ආරංචිය ලැව් ගින්න වගේ පැතිරිලා තිබුණු නිසා පලවෙනි දවසෙම හොල්මන් ගුහාවේ ඇතුල්වීමේ දොරටුව ළඟ දිග පෝලිමක් තිබුණා. මුල ඉඳන්ම වැල නොකැඩී සෙනඟ ආවා. අර රෙකෝඩ් කරපු යටිගිරියෙන් කෑ ගහන සද්දවලට අමතරව හොල්මන් ගුහාව ඇතුලේ ඉන්න අය බයවෙලා කෑ ගැහුව සද්දෙත් වටපිටේ දෝංකාර දුන්නා. ටිකට් විකිණීමත් ජයටම කෙරුණා. මේ කාලේ 'අක්කලා' කියන කැටගරියට අයිති වෙලා හිටිය අපි කෙල්ලෝ ටික මේ වැඩ වලට කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි හොල්මන් ගුහාව තිබුණු ඉඩමට ඉස්සරහ ගෙදර ඉඳන් ඒකෙ ප්‍රගතිය බලාගෙන ඉන්න අපි අමතක කළේ නැහැ.

රෑ වෙලා හොල්මන් ගුහාව අවට නොහිතුව තරමේ සෙනඟක් එකතු වෙලා හිටිය වෙලාවක එකපාරට ඒක ඇතුළේ කලබලයක් ඇහෙන්න ගත්තා. හොයලා බලද්දී මිනී පෙට්ටියෙන් නැගිට්ට මිනිය දැකලා ගෑනු ළමයෙක් බයවෙලා කලන්තේ දාලා! දැන් මොකද කරන්නේ? වෙස් මූනු දාපු යක්කු භූතයෝ ඔක්කොම එතැනට එකතු වුණා. මේ කලබලේ මැද ප්‍රධාන දොරටුවෙන් අලුතින් සෙනඟ ඇතුල් කිරීම නැවැත්තුවා. ටික වෙලාවක් ගියත් කෙල්ල ට සිහිය එන්නෙම නැති පාටයි. ඉතින් අන්තිමේදී යක්කු භූතයෝ ටිකයි මළ මිනියයි හැමෝම එකතුවෙලා කෙල්ල ව ඉස්සරහ ගෙදරට උස්සගෙන ගිහින් ඒ ගෙදර සෙටියේ හාන්සි කෙරෙව්වා. එයා ඇවිත් තිබුනේ තව යාළුවො ටිකක් එක්ක මිසක් වැඩිහිටියෝ එක්ක නෙමෙයි. ඉතින් ඒ ඉතුරු ගෑනු ළමයි ටිකත් තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා විතරයි. අන්තිමේදී වටපිටේ හිටිය වැඩිහිටියෝ මැදිහත් වෙලා මූනට වතුර එහෙම ගහලා අමාරුවෙන් ඒ දැරිවි ට සිහිය ගත්තා. අමාරුවෙන් ඇස් අරින කෙල්ල ව දැකලා වැඩියෙන්ම සතුටු වුණේ මළ මිනියට හිටිය කොලුවා. වට වුණු සෙනඟ එහා මෙහා කරගෙන ඉක්මනින් එතැනට කිට්ටු වුණු ඒකා කෙල්ලගේ මූන ට පහත් වෙලා

"නංගි, මොකද වුණේ? දැන් ඔයාට සනීප ද?"කියලා ඇහුවා.

යන්තම් සිහිය ආව ගෑනු ළමයා තමන්ගේ මූන ඉස්සරහින්ම දැක්කේ අර මිනී පෙට්ටියේ ඉඳන් කෑ ගහගෙන නැගිට්ට මළ මිනිය. කළින් වතාවේ වගේ නෙමෙයි මේ වතාවේ මළ මිනිය කතාකරනවා! අනේ කෙල්ල ආයෙමත් කලන්තේ දැම්මා! මේක දැකලා මළ මිනියට කට්ටියගෙන් දෝස් මුරේ, වැඩියත්ම එතැන හිටිය වැඩිහිටියන්ගෙන්. අන්තිමේදී කවුදෝ ඇවිත් මළ මිනිය අහකට ඇදගෙන ගියාට පස්සේ තමයි ඒ ගෑනු ළමයාට ආයෙත් සිහිය අරගෙන ගෙදරට ඇරලුවේ.

කොහොමින් කොහොමින් හරි පහුවෙනිදා වෙද්දී හොල්මන් ගුහාවේ සිද්ද වුණු මේ ජවනිකාව ගැන විස්තර පළාතේ පැතිරිලා තිබුණා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කණටත් මේක යන්න වැඩි වෙලාවක් ගිහින් තිබුණේ නැහැ. ඉතින් ඊළඟට වුණේ හාමුදුරුවන්ගෙන් මේ කොලු නඩයට කැඳවීමක් ලැබුණු එක. එතැන සංවිධායක පිරිසෙන් වැඩිහරියක් දහම් පාසල් ශිෂ්‍යයෝ වෙච්ච නිසාත් මේ කැඳවීමට නොගිහින් ගමේ වසන්න ලැබෙන්නේ නැති නිසාත් කොල්ලෝ ටික පන්සලට ගිහින් බොහොම යටහත් පහත් ව හාමුදුරුවෝ ඉස්සරහ හිට ගත්තා ලු.

හාමුදුරුවෝ ඇහුව පළවෙනි ප්‍රශ්නේ 'වෙසක් පෝය සමරන්න හොල්මන් ගුහාව වැදගත් වෙන්නේ කොහොමද?'කියලා ලු!

අන්තිමේදී කොලු නඩේ අර තරම් මහන්සි වෙලා හදපු හොල්මන් ගුහාවට තිත තියන්න වුණා. ඒ විතරක් නෙමෙයි ඊළඟ වතාවේ ඉඳලා මෙහෙම මැරෑටි වැඩ නොකර පන්සලෙන් සංවිධානය කරන දන්සැලටත් වෙසක් කූඩුවටත් සම්බන්ධ වෙන්න හාමුදුරුවෝ එයාලා ව බලෙන්ම පොරොන්දු කරගත්තා ලු.

දැන් මේ කොලු තාත්තලා ඇත්තටම තාත්තලා. මළ මිනියට හිටිය ඉලන්දාරියා එහෙම අපිට නිතර හම්බවෙනවා. එහෙම වෙලාවට මේ පරණ හොල්මන් ගුහා කතා ඇතුළු පරණ කතා වල නොස්ටැල්ජියාවත් විනෝදයත් විඳින්න ලැබෙනවා. ඒත් දන්සැල් වල, හොල්මන් ගුහා වල ආතල් එක ලංකාවෙන් පිට ඉපදිලා හැදෙන වැඩෙන අපේ ළමයින්ට කවදාවත් පහදලා දෙන්න බැරි බව දැනුණාම පොඩි දුකක් නොදැනෙනවා නෙමෙයි. ඒ විස්තර in context මිසක් බාහිරින් විස්තර කරලා තේරුම් ගන්න බැරි දේවල් නේ. ඒත් ඉතින් කවදාහරි උන්ටත් උන්ගේ ළමයින්ට පහදලා විස්තර කරන්න බැරි වෙනම විනෝද ජවනිකා තියේවි!



photo - Unsplash